Tuesday, 5 May 2009

Official වෙසක් කූඩුයි හමයි නමයි

කොහොමද කට්ටිය වෙසක් කූඩු හදනවද? නැත්තං කඩෙන් අරන් අලවනවද? මොනව වුණත් වෙසක් කියන්නෙ කූඩු ඇලවිල්ලට වඩා දෙයක්නේ. ඒ වුණාට වෙසක් දිනය උත්සවයක් වෙන්නෙ මේ ආමිස පූජා ‍නිසයි. ඒ වගේම වෙසක් කූඩු හැදිල්ලෙනුයි ඇලවිල්ලෙනුයි සතුටක් ලැබෙන්නෙ නැත්තෙමත් නෑ.

මම පුංචි කාලෙ හැම වෙසක් එකටම එක එක විධියෙ කූඩු හැදුව වුණාට පස්සෙ කාලෙ කූඩු හැදිල්ල නතර වුණ. අධ්‍යාපනයට හිත වැටීම සහ එක එක ප්‍රතිපත්ති වලට අනුගත වීම තමයි ඒකට හේතුව. ඒ වුණාට වෙසක් කූඩුවක් හදන එකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්.

මේ පාර ගෙදර වෙසක් කූඩු හදන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය කරන්න වෙලාවක් නැති කම සහ සේරටම වැඩියෙන් කම්මැලිකමත් තමයි හේතුව. බකට් ටිකක් එල්ලල ෂේප් වෙමු කියල අම්මට කියල මම පැත්තකට වෙල හිටිය.

ඒ වුණාට අද කාර්යාලෙදි වෙසක් කූඩු කමිටුව කියල එකක් පත් කරල මාවත් ඒකෙ සාමාජිකයෙක් කලා. අළුතින් කාර්යාලයට ගිය අපේ කණ්ඩායම දැන් හැම එකකටම මාට්ටු කරල පරණ අය කර අරින ගතියක් තියෙනවා. ඒකෙන් අපටත් ගැලවෙන්න බෑ. තාම අළුත් නිසා මුකුත් කියන්නත් බෑ.

ඒ නිසා අද දවසෙම මම තවත් අය එක්ක ලී පටි ගෙනාව. අත් රතු කරගෙන තැන් දෙක තුණක් තුවාල කරගෙන කියත් පටි වලින් ඒව කැපුව. බොහොම අමාරුවෙන් සැකිලි කීපයක් හදල අඩු තරමෙ අපේ සැලැස්ම ප්‍රායෝගික බව දැනගත්ත. ඔය අතරෙ වැඩේ නොකරන උපදෙස් දෙන්නන්ගෙ බර බරෙත් අහගෙන හිටිය. හෙටත් ආයෙ පටන්ගන්න ඕන ඉතිරි ටික.

මෙතන තියෙන වැඩේ මේකයි. සතුටත් එක්ක කලකිරීමත් දැණෙනවා. මොකද අපේ හම යද්දි තව කට්ටියකගෙ නම යන විධියටයි වැඩේ සිද්ධ වෙන්නෙ.

අපි සැනසුණා. කමක් නෑ අපට සතුට ඉතිරි වෙනවනේ අන්තිමේදි.

Monday, 4 May 2009

යන්න තැනක් නැති පාලමක්

මම ඉන්න අපේ නගරෙ තියෙනව පුංචි ගමක්. මේ ගමට යන්න ගඟකින් එගොඩ වෙන්න ඕන. මට මතකයි මම දෙකේ තුනේ වගේ පංතියක ඉද්දි මේ ගමේ හිටපු පාසල් මිතුරෙක්ගෙ ගෙදර ගියා අපි ග‍ඟෙන් එගොඩ වෙලා.

මේ ගමට වාහන වලින් යන්න පුළුවන් පාරක් තියෙනව වුණාට ඒකට වටයක් යන්න ඕන. පයින් යද්දි යන්න තියෙන ලේසිම විධිය තමයි ග‍ඟෙන් එගොඩ වෙලා යන එක.

මෑතකදි මගේ තවත් මිතුරෙක් එක්ක මම මේ ගමට එහා ගමේ මිතුරෙක් හමුවෙන්න ගියා. ගිහින් ආපසු එද්දි ඒ මිතුරා මාව කෙටි පාරකින් එක්කරගෙන ආවා. ඒ කෙටි පාර තියෙන්නෙ අර මුලින් කියපු ගම හරහායි. මම එතකොටයි දැක්කෙ. ගඟ හරහා ලොකු පාලමක් හදලා. ඒ පාලම ගමේ ගෙවල් කීපයක් තියෙන තැනකට වැටෙනවා.

අවාසනාව සහ හාස්‍යය මේකයි. පාලම ගමත් එක්ක සම්බන්ධ වෙන හරියෙ තියෙන්නෙ බයිසිකලයකින් වුණත් අමාරුවෙන් විතරක් යන්න පුළුවන් පටු පාරක්. ඒ කියන්නෙ පාලමෙන් ගමට පිවිසෙන වාහනයකට පා‍ලමෙන් එපිටට පිවිසෙන්න පුළුල් මාර්ගයක් නෑ. එතන තියෙන ගෙදර උදවිය පාර හරස් කරල වැ‍ටක් ගහල.

හේතුව හොයල බලද්දි වෙලා තියෙන්නෙ වන්දි ප්‍රශ්ණයක් මත මේ නිවසේ උදවිය තමන්ගෙ ඉඩමෙන් පාලමේ ඉදිකිරීම් වලට කොටස් දී නැති වීමයි. ඒ නිසා ලක්ෂ ගාණක් මුදල් වියදමින් හදපු පාලමෙන් නිසි ප්‍රයෝජනයක් නැති වෙලා. පයින් යන අයයි බයිසිකල් වලින් යන අයයි විතරක් පාලම පාවිච්චි කරනව. ඊට අමතරව අවට උදවිය රෙදි වේලගන්න පාල‍මේ දෙපස කොන්ක්‍රීට් අත් වාරු පාවිච්චි කරනව.

මම දන්නෙ නෑ වරද කාගෙද කියල. නමුත් කාලයක් දුෂ්කරව ගමට ගිය ගමේම අය වෙනුවෙන් හැදුන පාලමෙන් නිසි ප්‍රයෝජනයක් අරගන්න ගමේම අය නිසා ගමේම අයට බැරි වෙලා. ඉතිං අපේ පාලකයන්ටම හරියනව නේද අපි.

නැන්දලා, මාමලා සහ ඇන්ටිලා අන්කල්ලා...

මගේ මිතුරෙක් වසරකට කලින් විවාහ වුණා සාමාන්‍ය පෙළ විද්‍යාව උගන්වපු ගුරුවරියකගේ දියණියක් සමග. ඒ අවදියෙ අපි ඒ ගුරුතුමියට කතා කලේ සුපුරුදු විධියට ටීචර් කියලයි. නමුත් දැන් මගේ මිතුරා ඇයට කතා කරන්නෙ 'ඇන්ටි' කියලා. මේක ඔස්සේ ගිය මගේ සිතිවිලි නතර වුණේ කොහේවත් නැති තැනක. රටේ පවතින දේශපාලනික, ආර්ථික සහ යුධමය වාතාවරණය යටතේ මේක තවත් තේරුමක් නැති කතාවක්.

අපි අපේ ඥාති වන නැන්දලා සහ මාමලාට නැන්දා සහ මාමා නමින්ම අමතනව. ඒ කියන්නෙ මව් පාර්ශවයේ සොහොයුරන්ට සහ ඔවුන්ගේ භාර්යාවන්ට මාමා සහ නැන්දා ‍විධියටත් පිය පාර්ශවයේ සොහොයුරියන්ට සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට නැන්දා සහ මාමා විධියටත් තමයි අපි කතා කරන්නේ.

නමුත් ඊට පරිබාහිරව අපට හමුවන අපේ පියාගේ සහ මවගේ මිතුරු මිතුරියන් අපි හඳුන්වන්නෙ අංකල්ලා සහ ඇන්ටිලා කියල. ඒ වගේම අපේ ඥාති නොවන ඕනම වැඩිහිටි පිරිමියෙක් සහ කාන්තාවක් අපට අංකල් සහ ඇන්ටි වෙනව. ඒක අපේ දෙමව්පියන්ම තමන්ගෙ මොකක් හරි හීනමානයක් වහගන්න අපට හුරු කරවපු එකක්. නමුත් ඒක දැන් අපට හුරු වෙලා. මේ හුරුකිරීම් බොහොමයක් නිසා අපි නොදැනුවත්වම බොහොමයක් දේවලට හිර වෙලා තියෙනව. ඒ අතරෙ නැන්ද මාම කියන එක ඇන්ටි (ආන්ට් කියන එකට ආදරේ එකතු වෙලා නේද ඇන්ටි හැදිල තියෙන්නේ :P) සහ අංකල් වීම සරල සහ කරදරකාරී නොවන එකක් විතරයි.

තව එකක්...

මෑතකදි මමත් මගේ මිතුරෙකුත් බස් රියක ගමණක් යද්දි නැග්ග ඇන්ටි කෙනෙක් පොඩි පුතා එක්ක. ඇය දරුවට කතා කලේ ඉංග්‍රීසියෙන්. නමුත් එක වතාවකදි දරුව කුමක් හො දෙයක් කටේ ඔබාගත්ත. එතකොට ඇය දරුවට කෑ ගැහුවෙ 'චී බබා කැත වැඩ කරන්න එපා. අහකට දාන්න.' කියලයි.

අමතක වුණ එකක්....

සරම සහ චීත්ත අඳින හෝ ගැමි පෙනුම ඇති සියලුම වැඩිහිටියන්ට නැන්දා සහ මාමා ලෙස අමතන මාගේ තවත් මිතුරකු සිටී. නමුත් ඔහු කලිසම සහ ගවුම් ඇඳි බටහිර පන්නයේ වැඩිහිටියන්ට අංකල් සහ ඇන්ටි කීමට ද නොපැකිලේ.

Sunday, 26 April 2009

යානි සමග සංගීතයෙන් මත් වෙන්න

මේ කියන්න යන්නෙ තවත් ග්‍රීකයෙක් ගැන. ඔහු යානි හෙවත් යානි ක්‍රිසොමැලිස් (Yanni Chryssomallis) මොහු ගැන මෙච්චර කාලයක් මම නොලිව්වෙ ඇයිද මන්දා. කොහොම නමුත් ඔහු නූතනයේ මාව සංගීතයෙන් මත් කරවපු තවත් ලෝක පූජිත සංගීතඥයෙක්. කියන්නෙ නම් ඔහු සංගීතය තනිවම ඉගෙනගත්තා කියලයි.

යානිගේ එක් සංගීත ප්‍රසංගයක වීඩියෝ පිටපතක් යා ටීවී එකේ තිස්ස අයියා මාර්ගයෙන් අපට ලැබුණා වසර කීපයකට කලින්. මාසයක් විතර අපට එපා වෙනකල් ඒ පැය එක හමාරක පමණ ප්‍රසංගය පසුබ්මේ වාදනය වෙද්දි අපි වැඩ කලේ.

පසුව අපට ඔහුගේ ගීත, වීඩියෝ DVD පෙලක්ම ලැබුණා. ඒ වගේම ලංකාවෙ වගේම ලෝකයේත් බොහොමයක් වෙළඳ දැන්වීම් සහ රූපවාහිනී වැඩසටහන් වල පසුබිම් සංගීතයන් ඔහුගේ නිර්මාණ බව අපට දැණුනා. පුරා පැයගානක් සංගීතයෙන් මත් වෙලා ඉන්න ඔහු නිසා අපට පුළුවන් වුණා. ඔහු විශිෂ්ඨයෙක් වෙනව වගේම ඔහුට සහය වෙන සංගීත භාණ්ඩ වාදකයන් වුණත් විශිෂ්ඨයන්. ඒ ව‍ගේම ඔහුගේ ප්‍රසංග අදටත් ලෝකයේ විවිධ තැන් වල පැවැත්වෙනවා වසරකට වරක් හෝ දෙවරක්.

මම වැඩිය කියන්නෙ නෑ. ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්නේ.


Yanni - The Storm


Yanni - Reflections of passion - Royal Albert Hall, London

මේ විකිපීඩියාවෙන්

මේ ඔහුගෙ වෙබ් පිටුව

ඔයාලත් මත් වෙන්න.

Tuesday, 21 April 2009

Dance with සොර්බා නම් ග්‍රීකයා

සෝර්බා නම් ග්‍රීකයා මුලින්ම පොතකින් මම හඳුනගත්ත මනුස්සයෙක්. මේ පොත ලියල තියෙන්නෙ ග්‍රීක රචක නිකොස් කසන්ට්සාකිස් (Nikos Kazantzakis). නමුත් පරිවර්තනය කරල තියෙන්නෙ සද්ධාතිස්ස වඩිගමංගාව මහත්මය. මුලින්ම මේ පොත මම මිලට ගත්තෙ 2001දි විතර ඒ කාලෙ නුගේගොඩ තැපැල් කන්තෝරුව ඉදිරිපස පිහිටල තිබුණ විදර්ශන පොත්හලෙන්. ඒ දවස්වල පොතේ ඇතැම් දේ නොතේරුණත් මම ඒක ආසාවෙන් රසවින්ද. මේ පොත ගැන ආනන්දවර්ධන මහත්මයගෙ සටහනක් මම පසුව දැක්ක.

සොර්බා කියන්නෙ නිදහසේ ජීවත් වුණ මනුස්සයෙක්. ඔහු වටා තිබුණෙ අතිශය සීමිත බැඳීම් ටිකක්. ජීවිතය පිළිබඳ ඔහුට තිබුණෙ පුළුල් දැනුමක්. කිසි දෙයක් සැලෙන්න හේතුවක් නොවෙන බව ඔහු ප්‍රත්‍යක්ෂ කර තිබුණා සහ දුක සතුට හැම දේම ඔහු විඳගත්තෙ සුන්දර නර්තනයකින්.

කොහොම හරි මේ පොත මගෙන් ඉල්ල ගත්ත කෙනෙක් නැවත මට මේක දුන්නෙ නෑ. පසු කාලෙක පොත ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන් මිතුරන් කීප දෙනෙක් හමුවුණත් ඔවුන්ට කතාව කියනව ඇරෙන්න මට යමක් බෙදාගන්න තිබුණෙ නෑ.

පහුගිය දවසක නුගේගොඩ සරසවියෙදි ආයෙත් මම පොත ගත්ත. ඒක කියවන්න නැවතත් මගෙ හොඳම මිතුරෙක්ට දුන්න. (එයා පොත කිළුටු කලත් නැති කරන්නෙ නෑ. :D)

මේ නමින් තියෙන චිත්‍රපටිය මම හොයාගත්තෙ පසුවයි. ඒකෙ නමත් Zorba the Greek තමයි. ඒ වුණාට ග්‍රීක බසින් තමයි තිබුණෙ. ප්‍රධාන චරිතය කරන්නෙ ඇන්තනි ක්වින් කියන නළුව. මම වැඩිය අහල නෑ එයා ගැන. ඒ වුණාට රඟපෑම් නම් උපරිමයි. පොතේ තරම් විස්තර චිත්‍රපටියෙ නැති වුණාට තියෙන ටිකත් ඇති. මේ හැම මගුලක්ම අපි මැරෙනකල් විතරයිනේ. ඒ නිසා කිසි දෙයක් ඕනවට වඩා ගණංගන්න ඕන නෑ.

මම වැඩිය ඒ ගැන කියන්නෙ නෑ. මම චිත්‍රපටියෙ දෙබසක් කියල නවතින්නම්. මේ දෙබසට පූර්විකාව වෙන්නෙ ග්‍රීකයන් තුර්කි ජාතිය සමග වෛරයකින් පසුවීමයි. මෙය සිදුවෙන්නෙ සෝර්බා සහ ඔහුගේ ස්වාමියා අතරයි.

Boss - I don't believe you give a damn about your country.

Zorba - Don't you talk to me like that!

Look here, here, here! (Shows healed wounds on his chest)
Nothing on the back.
I have done things for my country...
that would make your hair stand.
I have killed, burned villages,raped women.
And why?
Because they were Turks or Bulgarians!
That's the rotten damn fool I was.
Now I look at a man,any man...
and I say he is good,he is bad.
What do I care if he's Greek or Turk?
As I get older, I swear by the bread I eat...

I even stop asking that.
Good or bad? What is the difference?
We all end up the same way:
Food for worms.
And as for women...

උත්කර්ෂය

උපන් දා සිට දුටු
නෙත් සිත් පිනවූ සියළු දෑ
සම කර
මවාගන්නට තැනූ
වර්ණවත් සිතුවම
අවර්ණයි

නන් වූ කලා රචකයින්ගේ
කවි කතා නාටක කියවා
විඳින්නට තැතනූ
සිතිවිල්ල
අසම්පූර්ණයි

එක් ඇසිල්ලක
වර්ණවත්ව
එම සිතිවිල්ලෙන්
සංතෘප්ත වූ විට
සැබැවින්ම දැණෙන
නිසල තෘප්තිය හමුවේ


Ech on 21st of April 2009

Tuesday, 14 April 2009

අළුත් අවුරුද්දට කූඹි වහලා

අළුත් අවුරුද්දට කූඹි වහලා

ඩෝං!

රතිඤ්ඤයක් පිපිරුණා
සද්දෙ ඇහුණා වටේටම
කෙලවර කිරිමැටි ගුලියක් එක්ක
ඉරුණු කඩදාසි කෑලි ටිකක්
බිම ඉතිරි වුණා

හිතට සතුටක් දැණුනා
අවුරුද්ද සැමරුවා

ගෙදර හැම තැනම
බිමත් රාක්ක වලත්
එස් එම් එස් කිරි පැණි
ගොඩ ගහලා
කූඹි වහලා


ecH on 14th of April 2008

අවුරුද්දට විතරක් මතක් වෙන අය

අහල බලන්න මීඩියා කොහාල මේ දවස්වල පට්ට ගහන සින්දුවක්.
මේක ගත්තෙ මෙතනින්.



Me Aurudu Kale by Lionel Ranwala

අවුරුද්දට විතරයි ලංකාවෙ කට්ටියට ලයනල් රන්වල මහත්තයව මතක් වෙන්නෙ. ඒ වුණාට ලයනල් රන්වල මහත්තයගෙ එක සින්දුවක් විතරයි අවුරුද්ද ගැන තියෙන්නේ. ඒකත් හරියට එස්එම්එස් සුභ පැතුම් වගේ තමයි.

මොනව කරන්නද? මිනිස්සු කාර්ය බහුල වෙලානේ...

මෙන්න මේක ගොඩක් ඉස්සර රන්වල මහත්තය ගැන අපි කරපු කතාවක්.

මෙන්න ලයනල් රන්වල මහත්තයගෙ සින්දු එකතුවක්.අරන් අහල බලන්න.

Sunday, 12 April 2009

තුන්වෙනි ලෝකයේ රටක අජිත් කුමාරසිරි එක්ක

සංගීතය කියල අපි අඳුනගන්නෙ යම් රටාවක් අනුව ඇසෙන ශබ්ද සමූහයක්. ඒක එහෙම තියෙද්දි අපි ඒක තුල එක එක්කෙනා කැමති රටාවල් අනුව සංගීතයට මායිම් පනවගන්නවා. ඒ අනුව ඒ සීමාව ඇතුලෙ ඉඳන් සංගීතය විඳිනවා.

නමුත් සංගීතය කියන්නෙ මහා ලොකු ප්‍රදේශයක පැතිරුණ දෙයක් කියල මට තේරුණේ අජිත් කුමාරසිරිගෙ සංගීතය සහ හඬ භාවිතය නිසයි. ඇත්තටම අපි අපේ සීමාවන් තුල හිරවීම නිසා අපිට අහිමි වෙන දේ බොහෝමයි කියල මට ආයෙත් හිතුණ මොහුගෙ සංගීතයට සවන් දුන්නම.

අජිත් කුමාරසිරි ගැන හොඳ කියන්නෙ මම දන්න අය කීප දෙනයි. බොහෝ දෙනා ඔහුව සමච්චලයට ලක් කරනව. මම නම් හිතන්නෙ ඒක අපේ ස්වභාවික මිලේච්ඡ ගතිය කියලයි.

බොහෝ දෙනා තමාට නොතේරෙන දේ අමතක නොකර හෝ තේරුම්ගන්න උත්සාහ නොකර ඒව භංග කරන්න යනව. ඒක හරියට අපට අමුතු නෙතේරෙන වස්තුවක් හමු වුණා වගේ. අපිට ඒක තේරෙන්නෙ නැත්නම් අපි කරන්නෙ ඒක කඩල බලන එක. මුකුත්ම කරගන්න බැරි වුණොත් අපි ඒක විනාශ කරල දාන්නත් පෙලඹෙයි.

අජිත් ගැන මම දන්නෙ නෑ. නමුත් ඔහුගෙ සංගීතය තුල ඔහු මට ගොඩක් උසස් කලාකරුවෙක්. ඔහුගේ සංගීතය සහ වචන මාව මුලින් වශි කරගත්තා. පස්සෙ ඔහුගෙ හඬ භාවිතයත් ඔහු කරන වැඩක් කියල මට තේරුණ.

මේක ඔහු ගැන කෙටි හැඳින්වීමක්...

මේ සින්දු ටික මට දුන්නෙ මගේ සංගීත ලෝලී මිතුරෙක්. අජිත් මේ ඇල්බමය දෙන්නෙ නොමිලේ. ඒ නිසා මේ ඇල්බමය මම දෙනව කට්ටියටම ඕන නම් අරන් අහල බලන්න. ‍3rd World - Ajith Kumarasiri අහල බලන්න... සමහර විට එක පාරක් මදි වෙයි.

Thursday, 9 April 2009

මීඩියා කොහා

මීඩියා කොහා

හැමදාම මේ කාලෙ
මීඩියා පරිපාලනයට බදු දුන්න
අපේ ජීවිත වලට ඉහලින්
මීඩියා කොහා කෑ ගහනවා

අතරින් පතර
පැතිරුණ ගසක අතුපතර
ඇත්ත කොහා
පෙම්වතිය එක්ක පෙම් කෙලිද්දී
ඇන්ටනා ගස් අතර
මීඩියා කොහා
සල්ලි එක්ක පෙම් කෙලිනවා

කොහාගේ සද්දයට නැගිට
සංස්කෘතියේ මගුල සිහි වී
ඔන්න දැන් අපි කඩිමුඩියේ
අවුරුද්දේ සැමරුම වෙන්න
ලෑස්ති වෙනවා....

මීඩියා කොහා එක්ක
අවුරුද්දත් ඔන්න ආයෙමත් ඇවිත්
අපව සමරා යන්න
බලං ඉන්නවා...


ecH on 2009-04-09

Thursday, 26 March 2009

Lage Raho Munna Bhai බාගෙන බැලීම

Lage Raho Munna Bhai කියන්නෙ මම බලපු හොඳම හින්දි චිත්‍රපටි අතරිනුත් හොඳම එකක්. මේක ආවෙ 2006දි. මේකට කලින් Munna Bhai MBBS කියල එකකුත් ආව. ඒකත් මරු. ඒකටත් කලින් කමල් හසන් ඉන්න ඒකෙ දෙමළ පිටපත ඇවිත් තිබුණ. ඒකත් මරේ මරු.

මම Munna Bhai MBBS ගැන කියන්නෙ නෑ. ඒත් Lage Raho Munna Bhai ගැන නම් කියන්නම ඕන කියල හිතුණ. මේක මම මුලින් බැලුවෙ 2007දි විතර. ඒ දවස් වල ඒක තුන්පාරක් විතර බැලුවා එක එක යාළුවො එක්ක. චිත්තර පටි බාන්න අවස්ථාව ලැබීමත් එක්ක ආයෙත් මේක බැලීමේ උවමනාව ඇතිවුණා. පිළිවෙලින් බලන්න ඕන නිසා මුලින් Munna Bhai MBBS බැලුවා. ඒක torrent එකක තිබිලා දවස් එකහමාරක් තිස්සෙ මම බෑවා.

ඒ වුණාට Lage Raho Munna Bhai බාන්න torrent නෑ. තිබුණ එකත් දවස් දෙකක් විතර බෑවිලා 60% විතර නතර වෙලා තියෙනවා දැකලා මගේ හිත දුක් වෙන්න ගත්තා. හොයන්න පුළුවන් හැම තැනම හෙව්වත් හම්බ වුණේ නෑ torrents. තිබුණ ඒවයෙත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කලේ නැති නිසා ඊට පස්සෙ direct links හොයන්න ගත්තා.

Direct links තිබුණෙත් Rapid Share ඒවයි. ඒ ගැන හැමෝම දන්නව ඇතිනේ. මම නම් ආසම නැති වෙලයි හිටියෙ RS වලට. නමුත් Lage Raho Munna Bhai බාන්න වෙන විකල්පයක් තිබුණෙත් නැති නිසා මම වෙන ක්‍රමයක් බැලුවා. පස්සෙ ගුගල් දෙයියන්ගෙ උදව්වෙන් මෙන්න මේ මෘදුකාංගය හොයාගත්තා. මේකෙ නම Rapidshare Auto Downloader. හරිම ප්‍රයෝජනවත් උපාංගයක් වෙනව මට ඉදිරියෙදි. ඔයාලටත් වැදගත් වෙයි. අපට අවශ්‍ය ගොනු වල RS ලිපින මේකට ඇතුල් කලාම මේකෙන් පිළිවෙලින් එක එක බානව. waiting time එකේදි මෙයා වරින් වර request යවල waiting time එක ඉවර වුණ ගමන් ඊළඟ ගොනුව බාන්න ගන්නව. දාගෙන බලන්න. සමහර විට torrents වල seeds නැති චිත්‍රපටි බාද්දි RS links තිබුණොත් මේක වැදගත් වෙයි.

ලගේ රහෝ මුන්නා භායි එකේ කතාව තිර රචනය සංස්කරණය සහ රඟපෑම් ඉතාම ඉහලයි. සංජේ දත්ගෙ රඟපෑමටත් වඩා මම එයාගෙ සගයා සර්කිට්ගෙ රඟපෑමට ආසයි. දෙන්න පොඩි එවුන් වගේ විහිළු කතා කියද්දි පණ යනකන් හිනා වෙන්න පුළුවන්.

මෙතනින් බලන්න ලගේ රහෝ මුන්නා භායි එකේ විස්තර.

මෙන්න මෙතන හොඳ avi පිටපතක් තියෙනව.

මෙතන තියෙන්නෙ mkv පිටපතක්. හැබැයි ඒකෙ ඉංග්‍රීසි උපසිරැසි embedded.

මෙන්න සින්දුවක්.




Pal Pal Har Pal - Lage Raho Munna Bhai

Friday, 20 March 2009

එන්න, කොන්ද පණ නැති ශ්‍රී ලාංකිකයෙක් වෙන්න.

මේ සටහන මතවාදී යුධ බිමේ යුධ වදින රණ විරුවකු‍ගේ තවත් ඒක පාර්ශවීය මානුෂීය මෙහෙයුමකි. එකම වෙනස මින් ජයගත ‍නොහැකි වීමයි.

අනේ මන්ද මට රූපවාහිනී වල තියෙන මල විකාර ගැනම ලියන්න හිතෙන්නෙ ඇයි කියල. ඒකට හේතුව ගොඩක් දරුණු එකක්. ඒක මොකක්ද කියල පසුව කියන්නම්.

අද රූපවාහිනිය බලල මම මට හැමදාමත් හිතෙන ඒත් කවදාවත් කියන්න නොහිතුණ දෙයක් ගැන කියන්න කල්පනා කලා. පවුලේ අනිත් අයගේ හිත සුව පිණිස එයාල බලන නාලිකා බලන්න වෙන තවත් කාලකණ්නියෙක් තමයි මමත්. මට නොදැනුවත්වම මම රූපවාහිනිය අසල රැ‍ඳෙන හැම වෙලාවෙම ඒකෙ යන මල විකාර මගේ ඔළුවට වැටෙනව.

මේ රූපවාහිනී නාලිකා වල පෙන්වන රබර් නාට්‍ය ගැන විතරක් දැනට කතා කලාම ඇති කියල මට හිතුණ. දැන් ලංකාවෙ හැම නාලිකාවකම වගේ රබර් නාට්‍ය යනව. ‍මේව අතරෙ හොඳ ඒව නෑ කියනව නෙවෙයි. ඒ වුණාට මිනිස්සුන්ව ඉන්න තැනින් ඉහලට ගෙනියන ආකාරයේ නිර්මාණ නම් නැති තරම්. මේ කතා මේ තරම් දිගට ඇදෙන්නෙ මේ වගේ.

tvteledrama road

මේකෙ රතුපාටින් පේන ඉර දිගේ කතාව සරලව කියන්න පුළුවන් වුණාට මේ පෙන්නන ඒවයෙ මිනිස්සුන්ගෙ මන්ද බුද්ධික වැඩ නිසා කතාව කියවෙන්නෙ කළු පාට ඉර දිගේ වටේම අරන් ගිහින්.

සරලව වෙන්න පුළුවන් දේවල් මිනිස්සුන්ගෙම ගොං කම් නිසා දිගට ඇදීම මත තමයි මේ කතා මේ තරම් දිගට ඇදෙන්නේ. මේ නාට්‍ය වල මිනිස්සු එකෙකුට එකෙක් විශ්වාස නෑ. සුදු මිනිස්සු නොහිතන මොහොතක කළු වෙනව. කෙලින් තීරණ ගන්න බැරි ගතිය නිසා සරලව වෙන්න තියෙන දේ දිගට ඇදිල රබර් වෙලා නාට්‍ය කාරයව පෝසත් කරනව.

මේ දිහා මිනිස්සු බලන්නෙත් තමන්ට වෙන ගානට හායි හූයි කියාගෙන. අපේ ගෙදර අයටත් වැඩේ තේරුණාට බලන්න වෙන එකක් නෑ. රූපවාහිනිය ක්‍රියා විරහිත කරලත් ඉන්න බෑ. මම ගෙදර අයට කිව්ව මේව බලල සත්තුන්ටත් අන්න වෙනව කියල. තීරණයක් ගන්න බැරිව ලත වෙන කොන්ද පණ නැති පී වර්ගයේ අය වෙනව කියල.

මේ ගැන කාලෙක ඉඳන් කතාවක් යන්තම් තිබුණත් තාම මේ මානසිත අවපාතකරණය බරපතල සමාජ ගැටළුවක් විධියට තේරුම් අරන් නෑ කවුරුවත්. මම කලිනුත් නොයෙක් තැන්වල කියල තියෙනව වගේ අපට ප්‍රභාකරන්ට වඩා සතුරෙක් ඉන්නව. ඒ සතුරා කොයි තරම් කපටිද කියනවනම් එයා අපේ සතුරෙක් කියලවත් කට්ටියට තේරෙන්නෙ නෑ. එයා අපිට විෂ කවන්නෙ සීනි තවරල. සීනි බෝල කන්න මිනිස්සු හරි කැමතියිනේ.

සමහර විට උතුරේ මානුෂික මෙහෙයුමට පස්සෙ ලොක්කන්ට තේරුණොත් තව යුද්ධ කරන්න තියෙනව සමාජය දියුණු කරන්න. දැනට යන්තම් පවතින ඒ යුද්ධයක මමත් යුධ සෙබලෙක් ;) තවත් සෙබලු යුධ වදිනව. සමහර විට එයාල දන්නෙත් නෑ එයාල යුද්ධයක් කරනව කියල. කොහොමත් මේ ‍නොපැහැදිලි සතුරාගෙන් මිනිස්සුන්ව මුදාගන්න පුළුවන් හැම තැනම එයාල සටන් කරනව. බොහෝ විට මට නම් ඒක නිසා හෙම්බත් වෙන එකට වඩා දෙයක් වෙන්නෙ නෑ. නමුත් සෙබලෙක් මිය යන තුරු යුද්ධය නවත්වන්නෙ නෑ.

ඒ නිසා මමත් මේ කිසිම තේරුමක් නැති සටහන දානව.

මේක කියවල වැඩක් නැති නිසා මම මෙතනින් ගත්තු මේක අහන්න. ඒකත් වැඩක් නැත්තං ඉතිං.....




Pitastharaya Kasun Kalhara-The Romantic Opera(New Album)

අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් - මේ සින්දුව උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය ලියපු එකක්. සංගීතය සහ ගායනය කසුන් කල්හාර.

ඒ වගේ තව සින්දුවක් අහන්න මෙතනට යන්න.

Monday, 16 March 2009

දෙවියන් විසින් තේරූ යුවලක්...

මම Rab ne bana di jodi චිත්‍රපටිය බැලුව. ඒ ගැන කියන්න ඕන කියල හිතුණ.

දෙවියන් විසින් තේරූ යුවලක් කියන්නෙ Rab ne bana di jodi චිත්‍රපටයෙ තේරුම කියල අන්තර්ජාලයෙම තිබුණ. RNBDJ මම කාලෙකට පස්සෙ බලපු ලස්සන හින්දි චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් ෂාරුක් ඉන්න ඒව පරක්කු වෙලා හරි බලනව. නමුත් මේක බලන්න ඕන කියල එක්කෙනෙක් කියපු නිසා එයා වෙනුවෙන් බාගෙන මම බැලුව. කවුරුත් හැබැයි දැන්ම බාන්න එපා. තවම හොඳ පිටපතක් නෑ හොයාගන්න. සේරම කැමරා කොපි තමයි තියෙන්නේ. මේ බාපු එකෙත් ශබ්දය ටිකක් අවුල්. සමහර තැන් කීපයකදි හොඳටම අවුල්. රූප රාමුත් කීප වතාවක් කැමරාව නාභිගත නොවීම නිසා බොඳ වෙනව. ඒ වුණාට ඒ දවස් වල අපට හරියට රූපවාහිනී නොපෙනෙන දවස්වල සුදු තිත් එක්ක අමාරුවෙන් උප සිරැසි කියවමින් චිත්‍රපටි බලපු මට මේක බලන එක කජ්ජක් වුණේ නෑ.

චිත්‍රපටි‍ය හොඳයි. අන්තිම වෙනකල් හොඳට රස විඳින්න පුළුවන්. හරිම සාම්ප්‍රදායික සැමියෙක් තමන්ගෙ බිරිඳ වෙනුවෙන් වෙනස් වෙන විධිය තමයි කතාවට තේමාව වෙන්නේ. නමුත් ඔහු වෙනස් වෙන්නෙ වෙනම පුද්ගලයෙක් විධියටයි. ඔහු තමන්ගෙ බිරිඳව වෙනත් ස්වරූපයකින් ඇවිත් දිනාගන්න ආකාරය සහ ඒකෙදි වෙන සිදුවීම් පෙලක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි.

හින්දි චිත්‍රපටි වලට ආස අයට හොඳට රස විඳින්න පුළුවන් වෙයි. මෙතනින් විස්තර බලන්න. මේකෙ තියෙන Haule Haule කියන සින්දුව කියන Sukhwinder Sing මේ ගීතය වෙනුවෙන් පසුගිය filmfare උළෙලෙදි හොඳම ගායකයාට හිමි සම්මානයත් දිනාගත්ත. හරිම ලස්සන සිංදුවක්. ෂාරුක් මේකෙදි දාන ඩාන්ස් එකටත් මගෙ හිත ගියා.





Rab Ne Bana DI Jodi - Haule Haule

Saturday, 14 March 2009

ලස්සනම ග්‍රහය ඉන්නෙ අපේ සෞරග්‍රහ මණ්ඩලේ හරිද?

වර්ෂ 4045....
ඔය කාලෙදි පෘථිවිය අයිති සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත් වෙනම තාරුකා වලට අයිති ග්‍රහලෝක වල මිනිස් ජනාවාස තියෙනව. ඒවයෙත් පරම්පා කීපයක් පුරා වර්ධනය වුණ සංස්කෘතියක් හරහා එයාල වෙනමම මිනිස් කණ්ඩායම් විධියට ජීවත් වෙනව.

ඒ වගේම 25 වෙනි ශතවර්ෂයෙදි විතර මිනිස්සු පිටසක්වල ජීවීන් එක්ක ඇතිකරගන්න සම්බන්ධ හරහා ආලෝක වර්ෂ ගාණක් ඈත තියෙන පිටසක්වල ලෝක එක්ක අපි නොයෙක් ගණු දෙනු කරනව.

විශ්වය පුරා විහිදුණ අඳුරු අංශු මූලික වුණ සන්නිවේදන ජාලය මේ සියළු ලෝක පරිගණක හරහා විශ්ව ව්‍යාප්ත ජාලයක් බවට පත් කරලයි තියෙන්නේ. ඒ හරහා මිනිස්සු වෙනත් මිනිස් ජනාවාස වල ඉන්න මිනිස්සු සහ වෙනත් ජීවීන් සමග තොරතුරු හුවමාරු කරගන්නව.

ඒ වෙනකොට සිංහල බ්ලොග් සංසදය විශ්ව ව්‍යාප්ත වෙලා ඉවරයි. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට ඒක විශ්ව බ්ලොග් සංසදයේ සාමාජිකයෙක් වෙලා. විශ්ව බ්ලොග් සින්ඩිකේටරය ඕනම භාෂාවකින් කියවන්න තාක්ෂණික හැකියාව ඒ වෙනකොට ලැබිල තිබුණ නිසා ඕනම බ්ලොග්කරුවෙක්ට භාෂා භේදයකින් තොරව ඕනම කෙනෙක් ලියන දෙයක් කියවන්න පුළුවන්කම තිබුණ.

මෙන්න විශ්ව බ්ලොග් සින්ඩිකේටරයේ බ්ලොග් සටහනක් සහ පලවුණ අදහස්. මේක ලියල තියෙන්නෙ A කියල වෙනත් වර්ගයක ජීවියෙක්.


A - මා මිතුරෙකු හමුවීමට ඔහු ජීවත්වන විශ්වයේ සුන්දරම ග්‍රහලොවට මම අද පැමිණියෙමි. මෙය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ 17වන තැන පිහිටි පයෙටන් ‍ලෝකයයි. මෙය අලංකාර වන්නේ මෙහි වටා දිවෙන අලංකාර ග්‍රහක වලල්ල නිසාවෙනි. දිනපතා උදෑසන සහ සවස හිරු එලියෙන් අහස පුරා සිහින් චාපයක් මෙන් දිස්වන මෙය නෙතට රස ගෙනෙයි. වසරේ ඇතැම් කාලවලදී පයෙටන් ලෝකයේ චන්ද්‍රයා සහ මෙම වලලු එකම විට අහසේ දිස්ව මනස්කාන්ත දසුනක් මවන බව මා මිතුරා පැවසීය.....

මේක දිග වැඩියි.. අපි කමෙන්ට් වලට එමු.


B - සංචාරය ගැන කිව්වට ස්තූතියි. මාත් ආසාවෙන් ඉන්නෙ පයෙටන් වල සවාරියක් දාන්න.

C - මම හිතන්නෙ විශ්වයේ තියෙන ලස්සනම ලෝකය පයෙටන් නෙවෙයි. ඒක තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු. ඒකට ඔය තනි පටියක් වගේ නෙවෙයි. ඝණ වළලු තීරයක් තියෙනවා.

D - ඔව් ඔව්... පයෙටන් කොහෙද ලස්සනම ග්‍රහලෝකය වෙන්නේ. අපේ මව් ලෝකය පෘථිවිය අයිති ග්‍රහ මණ්ඩලයෙ තියෙන සෙනසුරු තමයි දැනට මමත් දැකල තියෙන ලස්සනම ග්‍රහලෝකය. පහුගිය නිවාඩුවට මම එහෙ තියෙන නැවතුම්පලක හෝටලයක ඉඳන් පැය ගානක් සෙනසුරු දිහා බලන් හිටියා.

B - C, D කියන කතා ඇත්ත වෙන්න පුළුවන්. මමත් සෙනසුරු වල පින්තූර දැකල තියෙනව. ඒ වුණාට පයෙටන් ලොකයෙ තරම් සුන්දරත්වයක් ඒ වළලු වල නෑ. අනික පයෙටන් ලොකයේ වළලු වල දියමන්ති සංඝටක නිසා හිරු එලියෙදි ඒ වලල්ල දිලිසෙනව.

C - මහාචාර්ය මිගෙත් සොරන්ගෙ යුනිපීඩියා පිටු බලන්න. පයෙටන් ලෝකයේ වළල්ල ඉස්සර හිටපු රජ කෙනෙක් කෘතිමව හදපු එකක්. එයාගෙ ලොකුකම් පෙන්නන්න. ඒ වගේද සෙනසුරුගෙ වළලු. ඒව සෙනසුරුගෙ වයස තරම්ම පැරණියි. අනික ඒව ස්වභාවිකයි.

E - මේ මේ පයෙටන් වල රජවරුන්ට විතරක් බණින්න එපා හරිද? පයෙටන් වළලු නිර්මාණය කලේ රජ කෙනෙක් තමයි. අවුරුදු දෙදාස් ගාණකට කලින් තිබුණ තාක්ෂණයක් ඒක. ඔය පෘථිවියෙ ඔළුවල මයිල් තියෙන අය කොහෙද ඒච්චර කෙරුවාවක් කරන්නෙ. ඒ දවස් වල ඔය පෘථිවියෙ කට්ටිය රෙදි එල්ලගෙන රළු පාරවල් වල රෝද තියෙන වාහන වල ගියෙ. අපි එතකොටත් විශ්වයේ වෙනත් ලෝකත් හොයාගෙන.

D - @ E ඔයා ඔළුවෙ මයිල් නැති ගෙඹි මූණක් තියෙන පයෙටනයෙක් වෙන්න ඇති. ඒ වුණාට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය ගැන දන්නෙ නෑ. අපේ සෙනසුරු තමයි විශ්වයේ ලස්සනම ග්‍රහය. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ඔයා අත් දෙකින් හිටගෙන කිව්වත් මම ඔයා කියන එක පිළිගන්නෙ නෑ... අනික ඔයාලා....

හික් හික්... ඊට පස්සෙ ඇත්තටම වැඩක් ඇති කමෙන්ට් එකක් තිබුණෙ නෑ. ඊට පස්සෙ තිබුණ කමෙන්ට් වගේ ඒව මේ ‍කාලෙ සිංහල බ්ලොග් සින්ඩිකේටරෙත් තියෙනව. මුලින් කතාව කියන මනුස්සය කියන දේ ඒ මනුස්සයගෙ පැත්තෙන් නොබල තමන් අයිති පාර්ශවය හෝ තමන් දරණ මතයට අර මනුස්සය නම්මගන්න යනව.

අපි ඒ කතාව අමතක කරමු.....

දැන් අද මම ලියන බ්ලොග් සටහන කියවන්න...

තමන් අයිති පාර්ශවය කියන එක මිනිස්සුන්ට අවිඥානිකවම තියෙන දෙයක්. මටත් ඒක තියෙනවා. නමුත් දේපල වෙනුවෙන්, ජාතියක් හෝ ආගමක් වෙනුවෙන් වෙන මනුස්සයෙක්ව නොසලකා හැරීම ඇ‍‍ර‍ඹෙන්නෙ එතනින්. ඒක වෙනත් කුලයකට අයිති මනුස්සයෙක්ව මරා දැමීම සාධාරණීකරණය කරන්න තරම් බලවත්. ඒක නිසයි අපි මිය යන රණවිරුවන් ගැන දුක් වෙන ගමන් අතපය කැඩිල සීසීකඩ විසිරුණ LTTE සංවිධානයේ සාමාජිකයන්ගෙ සිරුරු දිහා බලල සතුටු වෙන්නේ. ඔකුන්ට ඔහොම වෙලා මදි කියල සාප කරන්නේ. ඒ ගැන මම මෙතනදි කියන්න යන්නෙ නෑ.

මේ තමන් අයත් පාර්ශවය අපි කතා කරන මාතෘකාවට (විෂය) අදාලව ව්‍යාප්ත වෙන එකක්. මුලින්ම ඉන්නෙ මම. මම මුලින් මාව ආරක්ෂා කරගැනීම හෙවත් මගේ මතය දැරීම වෙනුවෙන් සටන් කරනව. ඊට පස්සෙ මගේ පවුල වෙනුවෙන් කතා කරනව. පවුලෙ කෙනෙක්ගෙ දේකදි පවුලෙ නොවන කෙනෙක්ගෙ දේකදි දක්වනවට වඩා උනන්දුවක් දක්වනව. පවුලෙ අයට උදව් කරන්න කැප වෙනව. ඊට පස්සෙ අපිට මිතුරන් සහ සමාජයෙ අපිට තියෙන විවිධ සම්බන්ධ වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වෙනව. ඒ වෙනුවෙන් කතා කරන්න සහ පෙනී සිටින්න පෙළඹෙනව.

ඊටත් පස්සෙ අපට පෙනී සිටින්න රටක් තියෙනව. රටට කලින් මම සහ පවුල වගේ සමාජ සම්බන්ධයන් නෑ වගේ සයිබර් අවකාශයේ ප්‍රකාශන කරන අයටත් සැබෑ ජීවිතේ රට එන්නෙ පසුව. ක්‍රිකට් ගහන අය සහ රට වෙනුවෙන් පෙනී ඉන්න තව නොයෙක් අයටත් නොදැනුවත්වම රට වෙනුවෙන් පෙනී ඉන්න එයාල කරන රස්සාව උදව්වක් වෙලා තියෙනව. රස්සාව කරන්නෙ තමන් සහ තම පවුල වෙනුවෙන්. හත්ඉලව්වට ගහපු කලාබරේ වගේ ඒ රස්සාව රට වෙනුවෙන් පෙනී සිටීමක් වුණා. ඉතිං එයාල හරි ආඩම්බරයි....

රටටත් පස්සෙ අපට දකුණු ආසියාව තියෙනව. අපි දකුණු ආසියානු කලාපීය සහයෝගීතාවයක් හදාගෙන ඒ තුල ඒකරාශී වුණ ස්ථායි පැවැත්මක් වෙනුවෙන් සාකච්ඡා කරනව. දකුණු ආසියාව ගැන කතා කරනව. ඊටත් පස්සෙ අපිට ආසියාව තියෙනව. ආසියාවෙ සංස්කෘතිය දේශගුණය වගේ හොයාගන්න පුළුවන් හැම එකකින්ම අපි ආසියාව ගැන ආඩම්බර වෙනව. ඒ වෙනුවෙන් පෙනී ඉන්නව. ඇමරිකාව ආසියාවෙම පොදු සතුරා කරන් ඇමරිකාවට බනිනව. ඊටත් පස්සෙ අපි අපේ වපරිසයට මැදපෙරදිග යුරෝපය සහ හැකි වුණොත් අප්‍රිකාවත් ඈඳගන්නව. ලෝකයේ බිහිවුණ ආගම් සියල්ල ආසියාවෙන් සහ මැදපෙරදිගින් බිහිවුණා කියනව. මිනිසාගේ සම්භවය අප්‍රිකාවෙන් කියල කියනව. අප්‍රිකාවට ළඟින් ඉන්න එක ගැනත් ආඩම්බර වෙන්න ඕන නම් අපට පුළුවන්කම තියෙනව.

ඊට පස්සෙ අපට ඇමරිකාව හෝ ඔස්ට්‍රේලියාවත් ගාවගන්න පුළුවන්.

ඕක ගැන ඔය තරම් කියවන්න ඕනත් නෑ... ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරද්දි ලංකාවට සපෝට් කරන අපි ඉන්දියාව ඔස්ට්‍රේලියාවත් එක්ක සෙල්ලම් කරද්දි ඉන්දියාවට සපෝට් කිරීම තරම් මේ තමන් අයත් පාර්ශවය කියන අදහස සරලයි.

ඉතිං අනාගතේ දවසක අපි පෘථිවිය වෙනුවෙන් කතා කරයි. තවත් ඈත අනාගතේකදි අපි සෞරග්‍රහ මණ්ඩලේ වෙනුවෙන්මත් කතා කරයි. සමහර විට යම් දවසක අපේ අනාගත පරම්පරාව ක්ෂීර පථය වෙනුවෙන් යුධ වදියි.

Wednesday, 11 March 2009

පැල්ලම්


දුක හිතුණා මට
මගේ නොසැලකිල්ලෙන්
මඩ පැල්ලම් ඉසුණාට
අපි දෙදෙනා එක්ව
පාට කල බිත්තියේ

ඒ නොසැලකිල්ලට
සිත දුකින් පිරී නුඹෙ
දෑස් රතු වූ විට
තවත් දුක් වුණා මම
නුඹෙ දුකත් හිතාගෙන

තව වරක් එක්ව අපි
මඩ කහට ‍සෝදලා
වර්ණ ගන්වමු විනා
අන් යමක් නොමැත මට
දැන් නුඹට කියන්නට

එන්න නුඹ නෙත් පිහන්
මේ අපේ බිත්තියේ
මඩ කහට විසිරුවා
ආයෙමත් එකතු වී
එකට පැල්ලම් මකමු


ecH on 2009-03-09


මෙය රෙදි සෝදන කුඩු, සබන්, සිමෙන්ති හෝ තීන්ත දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

Monday, 9 March 2009

වෙනස් කිරීම

අපි හැමෝම අ‍පි මෙහෙමයි කියල ප්‍රතිරූපයක් හදාගෙනයි ඉන්නේ. අපි ආසයි ඒ ප්‍රතිරූපයම අනිත් හැමෝගෙන්මත් දකින්න. අපේම ප්‍රතිපත්ති තුල අපි අතිශය ප්‍රජාතන්ත්‍රවාදී හෝ අන් මත ගරු කිරීමේ ස්ථාවරයක් හදාගෙන හිටියත් අන් අය අපේ කතාව පිලිගන්නවා දැකීම අපේ පරම බලාපොරොත්තුවයි.

ඒක මිනිස්සුන්ට පරම්පරාවෙන්ම, නැත්නම් පුංචි කාලෙ ඉදන් ඔළුවට දාගන්න ඒවයිම වර්ධනය වෙන විකාර(?) උවමනාවක්.

ඒක නැති කරන්න පුළුවන් අධ්‍යාපනයෙන්ම. අනිත් අයට ගරු කරන, එයාලට ඇහුම්කන් දෙන සාවධාන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒත් ඒ දේවල් විධිමත්ව හදාරන්න පවතින ජීවිතය ඇසුරින් ඒ දේවල් උගන්වන ක්‍රමයක් නෑ. යම් තරමකට අගම් වලින් මේ හික්මීම ඇති කලත් ආගම් කියන්නෙ තව දුරටත් මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් සාධකයක් නෙවෙයි. ඒ වුණාට යම් කෙනෙක්ට ආගමක් හරහා වුණත් තමා ලොකුයි කියල හිතන ගතිය නැති කර ගන්න පුළුවන්. එහෙම අය ඉන්නව.

මොනව වුණත් තමන් නොහිතන මොහොතක ආයෙත් තමා තුල ඉන්න සත්ත්වයගෙ අමු හැඟීම් එලියට එන්න පුළුවන්.

ඒ වෙලාව කලින් කියල එන්නෙ නෑ. ඒ නිසාම පරෙස්සම් වෙන්න වෙනව. මොකද අධ්‍යාපනය හරහා හික්මවන හඟීම් අතිශය දරුණු වෙන්න පුළුවන්.

ඒ ගැන නෙවෙයි ඇත්තටම කියන්න ඕන කලේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අනිත් අයව වෙනස් කරනව. නැත්නම් වෙනස් කරන්න උත්සාහ කරනව. අපට ඕන විධියට.

එක අතකට අපි යම් කෙනෙක්ට තමන්ගෙ මතයෙ ඉන්න දෙන අවස්ථාව හරහා අපි එයාලට අපේ මතයේ තියෙන නිදහස් බව ගැන ඇඩ් එකක් දානව.

මේ හැම දෙයින්ම අපි කරන්න යන්නෙ අනිත් මනුස්සයව අපේ ඇස් වලට ලස්සන විධියට සරසල දකින්න යන එකයි.

යම් කෙනෙක් තුල තියෙන සුන්දරත්වය එයාව වෙනස් නොකර දකින්න අපට පුළුවන් නම්...

උළුපුව රත් වූ නිසා...

දවසක් දෙකක් මුළු රැයක් පුරා චිත්‍රපටි බාද්දි මගේ උළුපුව හොඳටම රත්වෙනව කියල මට තේරුණ. ඒකට කරන්න තිබුණෙ රත්වීම වලක්වන ක්‍රමයක් හොයාගන්න එකයි. නමුත් heat sink එකක් වගේ දෙයක් හොයාගන්න තිබුණෙ නෑ. මට මතකයි කවුදෝ බ්ලොග් මිතුරෙක් හොඳ ඇලුමිනියම් heat sink එකක් හයි කරල වැඩේ කරගෙන තියෙනව ලියල තිබුණ. ඒ යාළුවව දැන් මට මතක නෑ. මේක කියෙව්වොත් අදාල සටහනට link එකක් දෙන්න comment එකක් විධියට.

කොහොම හරි මට එහෙම එකක් හොයාගන්න ලැබුණෙ නෑ.

කුස්සිය පැත්තෙ යවුමක් දාද්දි තිබුණ ඇළුමිනියම් කෝප්පයක්. ඒක ගෙනත් උළුපුව උඩ තිබ්බා. එතකොට වැඩේ හරි ගියාට කෝප්පෙත් එකසිය ගානට රත් වෙනව. ඉතිං මොකද කලේ. දැම්ම කාලක් විතර පිරෙන්න වතුර. ඊට පස්සෙ ඔන්න නියමෙට වැඩ. උළුපුවත් රත් වුණාට දැන් සෑහෙන්න අඩුයි.

ඉතිං වැඩේ හරි. වතුර ටික වාෂ්ප වෙද්දි තව ටිකක් දාන්න විතරයි තියෙන්නේ. හැබැයි වතුර දාන්න ගිහිල්ල හලාගත්තොත් නාන්නයි වෙන්නේ.


upuluwa

TCP View - කලාට කමක් නෑ කෙලවගන්න එපා...

සාමාන්‍යයෙන් තාක්ෂණික දේවල් ගැන කියන්න තරම් මම ඒ ගැන දන්නෙ නෑ. මම හිර වෙන වෙලාවලදි කොහෙන් හරි හොයාගෙන ගැලවෙනව මිස ඒ දේවල් මට මතක තියෙන්නෙ නෑ. ඒ නිසා එකම දේ දෙපාරක් කරද්දි මම එක වගේම නාන්න පුළුවන්.

කොහොම වුණත් අද මට හම්බ වුණ TCP View කියන පුංචි මෘදුකාංගය මගේ පරිගණකයේ ඇති කරපු වෙනස නිසා මේක බෙදාගන්න හිතුවා. සමහර විට මේ ගැන ඔයාල දන්නව ඇති. පුළුවන් නම් වැඩි විස්තර කියල දෙන්න.

මගේ ජාල සම්බන්ධයේ වේගය එන්න එන්නම දුර්වල වුණ හින්ද මම එක එක ඒව කල්පනා කලා ඒකට හේතුව හොයන්න. මට හිතුණ මගේ පරිගණකයෙන් ඇති කරගන්න සම්බන්ධතා ප්‍රමාණය යම් විධියකට බලපානව ඇති කියල. රවුටරෙත් හැමවෙලේම රත් වෙන්නෙ නෑනේ. ඒ නිසා මම නිකං google ‍දෙයියගෙ කණට මෙහෙම කෙඳිරුව

view list of network connections

මේක මුමුණන්න කලින් එක එක ඒව කියල බැලුව. හරි ගියේ මේක විතරයි.

කොහොම හරි ඒකෙදි ලැබුණ ප්‍රතිචාර ඔස්සේ ගියාම ම‍ට TCP view බාගන්න සබැඳිය හම්බ වුණා. මේක පුංචි zip ගොනුවක එන exe ගොනුවක්. ඒක දුවද්දි දැනට පරිගණකයෙන් ජාලයට සම්බන්ධ වෙලා තියෙන සේරම සම්බන්ධ පෙන්නනවා. මම ඉතිං ආතක් පාතක් නැති කීපයක් select කරලා right click කරලා delete කලා. අවුලක් නැ. තව ටිකක් කලා. හ්ම්... වැඩ. අන්තිමේ අර svchost කට්ටියගෙ ටිකකුත් මැකුවා. එතකොට නම් යන්තරේ හරිම කාරුණිකව restart වෙන බව කියල මිනිත්තුවකින් restart වුණා.

ඊට පස්සෙ ඉඳන් මාර speed නෙ අනේ.....

(ඒ කිව්වෙ අපට පෙන්නන උපරිමය වෙන 50KBps තමයි)

මේ ගැන දන්න කෙනෙක් මේක පොඩ්ඩක් බලල අයින් කල යුතු නැති system connections ගැන ටිකක් කිව්වොත් නියමයි.

Sunday, 8 March 2009

Helixed...

Helixed...

In my 2D sine curved life
I was just believing
that all the nonsense they talk
is just some other crap
which is going to stop
my free and calm tour
of the life I was going
to be made splendid

Then there was you
on the other dimension
which made it deep
on the other axis...
it was simply a revolution
I was not planning
in any way I could think

Now my life is a helix
in the 3D world


ecH on 2009-03-08


yakomapo

Thursday, 5 March 2009

ප්‍රතිචක්‍රීකරණය

රූපවාහිනී නාලිකා වල දැන් යන ටෙලි නාට්‍ය වල තියෙන්නෙම සමාජයෙ තියෙන කුහකකම්. එෆ් එම් නාලිකා වලත් තියෙන්නෙම ඒ වගේ සමාජයේ මල විකාර පැතිකඩවල් සම්බන්ධ කතා. ප්‍රවෘත්ති ගත්තත් තියෙන්නෙම ඒව තමයි. මිනිස්සු කරන ‍ජඩ වැඩ, කුපාඩිකම්, දූෂණ, වංචා, මිනී මැරුම් තමයි ප්‍රවෘත්ති වලත් තියෙන්නේ. ඊට අමතරව ලණුත් තියෙනව තමයි.

පත්තර ගත්තත් එහෙමයි. පිටු හැටක විතර සති අග පත්තරේක මිනිස්සු කරපු හොඳ වැඩ වලට වෙන් වෙන්නෙ පිටු බාගයයි.

මිනිස්සු හොඳ වැඩ කරන්නෙ නැද්ද?

නැත්නම් මේ සදාචාරවත් සත්‍ය මාධ්‍ය වාර්තාකරණයද?

කොහොම වුණත් ගෙවල්වල මිනිස්සු ආයෙ ආයෙත් මිනිස්සුම කරන කුණු වැඩ දකිනව, අහනව සහ කියවනව. ඒ අස්සෙ පෝය දවසට නිදි කිර කිර බණත් අහනව. පහුවදා ඉඳන් ආයෙත් අර දේවල්ම ඇසුරු කරනව.

මාධ්‍ය වලින් කරන්නෙ සමාජයේ තියෙන දේම ආයෙ ආයෙත් සමාජය තුලම කරකවන එකයි. ඉතිං මොන තරම් ආණ්ඩු මාරු වුණත්, මොන තරම් දේශපාලකයො ආවත්, මොන තරම් බ්ලොග් ලිව්වත් වචන වලින් ඇරගත්තත් ලංකාවට ඉදිරියක් නෑ.

අපි හැමදාම එකම තැන.

සපත්තු


පහුගිය දවසක මම සපත්තු ජෝඩුවක් ගන්න කඩේට ගිහින් ආවෙ හිස් අතින්. හිතට හරියන එක සපත්තුවක්වත් එතන තිබුණෙ නෑ.

මෙච්චර කාලයක් මම දාපු එක සපත්තුවක්වත් මගේ කකුලේ හැඩයට ගැලපුණේ නෑ. එක්කො ඇඟිලි තියෙන හරිය රවුම්. නැත්තං හතරැස්. දැන් කඩවල් වල තියෙන්නෙ කඩු දාන්න හදපු කොපු වගේ උල් සපත්තු. කාලයක් තිබුණ හිමේ යද්දි දානව වගේ උඩට නැමුණු සපත්තු. ඒ එක්ක අඩිය අඟල් එක හමාරක් විතර උස සපත්තු. වතාවක් තෑග්ගකට හම්බවුණ ඒ ‍වගේ සපත්තු දෙකක් දාපුවම කකුල්වලට නොයෙක් අමාරුකම් දැණෙන්න ගත්ත.

මගේ හිතට හොඳටම හරිගියෙ කැන්වස් සපත්තු විතරයි. ඒක කකුලට පහසුවක් වුණා. ගානත් සැලකිය යුතු තරමක් අඩුයි.

ඒ වුණාට ඒව දාන්න බෑනෙ වැඩට යද්දි. ඒ නිසා මම මගේ කකුල රිදවන සපත්තු දාගෙන උදේ වැඩට යනව. :(

මම දන්නව මම මට සපත්තු දාන්න තියෙන අපහසුව ගැන කතා කලාට සපත්තු ගන්න සල්ලි නැති ලක්ෂ ගානක් ලෝකෙ ඉන්නව. සපත්තු දාන්න කකුල් නැති අයත් ගොඩක් ඉන්නව.

මේක වගේ කිසිම තේරුමක් නැති සටහනකින් එයාලට කිසිම වැඩක් නෑ කියලත් මම දන්නව.

ඒ වුණාට උදේට සපත්තු දාද්දි හැමදාම මට මේ ගැන හිතෙනව.

Wednesday, 4 March 2009

ගොඩගසාගත් ඉතිහාසය විනාශ කලෙමි

ජීවත්වෙන තුරාවට අපි දේවල් ගොඩගසාගනිමින් ඉන්නව. අපේ ඔළු ගෙඩිය එක එක දේවල් වලින් පිරෙනව. සමහරක් දේවල් ජීවිතේ ගෙනියන්න ගොඩක් ප්‍රයෝජනවත්. සමහරක් දේවල් කිසිම වැඩක් නෑ. ඒ වුණාට ඒ දේවල් අපේ ඔළු වලට වැටෙනව.

සාමාණ්‍යයෙන් මිනිස්සුන්ට අනවශ්‍ය දේවල් අමතක වෙනව. අවුරුදු ගාණකට කලින් ඉගෙනගත්ත දෙයක්, හමුවුණ කෙනෙක් අපිට යලි යලිත් සිහි නොවුණොත් අමතක වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ඉබේ සිද්ධ වෙන දෙයක්. නමුත් එහෙම වීමේ හැකියාව එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.

ඔළු ගෙඩිය වගේම අපි භෞතික දේවලුත් දවසින් සවස ගොඩගහගන්නව. ඒ විවිධ දේ වෙන්න පුළුවන්.

පුංචි කාලෙ ඉඳන් මම එකතු කරපු දේවල් බොහොමයක් ගෙදර අල්මාරියක් පුරා පුරවල තිබුණ. පත්තර වලින් කපාගත්ත ඒව, පත්තර අතිරේක, සඟරා සහ ඉස්කෝලෙ පොත් පත් වගේ බොහොමයක් දේවල් එක් අල්මාරියක තට්ටු කීපයක් පුරා තිබුණ. ඉස්කෝලෙන් පස්සෙ මම ගෙදර නොහිටපු අවුරුදු ගණනාව පුරාම කවුරුවත් ඒව අත පත ගාල තිබුණෙ නෑ. නමුත් නැවත ගෙදර ඇවිත් ඒව ගැන හොයල බලද්දි ඒව අතිශය යල් පැනල කියල මට හිතුණ. පරණ විදුසර පත්තර වල තිබුණ දේවල් බොහොමයක්, පරිගණක සඟරා.. සටහන් පොත් වගේ සියල්ල තුල තිබුණ දැණුම අදට වලංගු වුණේ නෑ.

ඉතිං මම ඒ සේරම වගේ ඉවත් කරලා මගේ අළුත් ලට්ට ලොට්ට ටිකකින් ඒ ඉඩ පිරෙව්වා.

මගේ ඔළු ගෙඩියත් මට ඕන වෙලාවට එහෙම නවීකරණය කරගන්න පුළුවන් නම්....

Tuesday, 3 March 2009

නදීක ජයවර්ධන එක්ක සිහිනයක්

පහුගිය පෙබරවාරි 23 වෙනිද නදීක ජයවර්ධන එයාගෙ පළවෙනි ගීත ඇල්බමය එලි දැක්වුව. අනිවාර්යයෙන්ම යන්න ඕනකම තිබුණත් මට යන්න ලැබුණෙ නෑ. ඒ වුණාට ඇල්බම් එක මට ලැබුණ.

හරිම අපූරු ගීත එකතුවක් කියල මට හිතුණ. හැබැයි සමහර ගීත බටහිර ගීත වල සංගීත කොටස් යන්තමින් අනුකරණය කරල තියෙනව. ඒ නිසා සංගීතයේ genuine භාවයට 100%ක් ලකුණු දෙන්න බෑ. නමුත් ගීත ටික විඳින්න ඒක බාධාවක් නෙවෙයි.

මේ ඇල්බමය සම්පූර්ණයෙන්ම බටහිර සංගීත රටා අනුසාරයෙන් තමයි හැදිල තියෙන්නේ. ඒ වුණාට කන් අඩි පුපුරණ සංගීතයකට වඩා ගිටාරයත් එක්ක මුසු වුණ ලයාන්විත බවක් හැම ගීතයකම තියෙනවා. සංගීතයට ලැදි ඕන කෙනෙක්ට ආයාසයකින් තොරව අහන් ඉන්න පුළුවන්.

මේක නදීකගෙ ජනප්‍රියම ගීතය. තව ඕන අය ඔබනළයේ හොයල බලන්න.





Kiyanna Kiyanna - Nadeeka Jayawardena

Sunday, 1 March 2009

ශ්‍රී ලංකාවේ අභිමානය

මේ කියන්න යන දේ මම කලක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක්. අද කියල දාන්න හිතුණා.

කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවේ අභිමානය ඔස්සේ විකාශනය වුණ සිංහල චිත්‍රපටියක් බලන්න ලැබුණා. නම කස්තුරි සුවඳ. විකාශනය වුණේ ඊයෙ හෙවත් සෙනසුරාදා දවල්. මේක ජනප්‍රිය සින්දු තියෙන ගාමිණී මාලනී රඟපාන ලස්සන චිත්‍රපටියක්. ෆ්‍රෙඩී සහ බන්දු දෙන්නත් විකටයන් විධියට රඟපානවා. ඒ වුණාට මට ඒ දෙන්නගෙ විකට වැඩ වලට වඩා හිනා ගියා වෙනත් දෙයක් නිසා.

‍මේ චිත්‍රපටියෙ අවස්ථා කීපයක්ම තියෙනවා ප්‍රධාන සහ සෙසු නළුවන් දුම් පානය කරන. දුම් වැටිය අතේ තියාගෙන ඉන්න දර්ශනය හොඳට පෙන්නලා ඒක උරද්දි කොටු දානවා. ඒ කියන්නේ දුම් වැටි නරක වෙන්නෙ උරන්න විතරයි නිසා වෙන්න ඇති. මොකද පත්තු වෙන දුම් වැටියක අතේ තියාගෙන හිටිය කියල මුකුත් වෙන්නෙ නෑනේ නේද?

මම දුම් පා‍නයේ ආදිනව ගැන හෝ ඒකෙ හොඳ නරක ගැන කියන්න යන්නෙ නෑ. කවුරුවත් ඒ ගැන කතා කරන්නත් එපා. ඒක නෙවෙයි මට කියන්න ඕන. මේ කරන දෙපැත්තටම නැති පොන්න වැඩ ගැන. එක්කො පෙන්නන්න ඕන නැත්නම් කපලම දාන්න ඕන.

මේ අය මේ වාරණය දාන්නෙ පුංචි ළමයි බලන නිසානේ. ඒ වුණාට මේකෙන් වෙන්නෙ පුංචි එකෙක්ගෙ කුතුහලය තවත් ඇවිස්සෙන එකයි. ඇයි අච්චර හොඳට තිබුණ රූපරාමුවට කොටු දාන හේතුව හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕන පුංචි එකෙක් විමසනවනේ.

මේක අපි කතා කරල වැඩක් නැති තවත් එක මාතෘකාවක් විතරයි. මොකද ලංකාවෙ මාධ්‍ය සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නැති නිසා. එක්කෝ මේ වගේ චිත්‍රපටි නොපෙන්වා ඉන්න ඕන. නැත්නම් ඒව වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් වෙලාවලට පෙන්වන්න ඕන.

එහෙම වුණොත් දිවා කාලයේ මේ නාලිකා වලට විකාශනය කරන්න දෙයක් නැති වෙනව. නැත්නම් ඒ වෙලාවෙත් කච පච වැඩසටහන් බලන්න වෙනව.

මම වැඩිය රූපවාහිනී නොබලන නිසා මට එයාල මොනව පෙන්නුවත් කමක් නෑ. නමුත් රටේ ඉන්න අනිත් මිනිස්සු සහ ළමයි හරක් කියල හිතාගෙන කරන වැඩ දකිද්දි පොඩ්ඩක් නලියනව.

මම දන්නව මම නලියල වැඩක් නෑ කියල. මමත් ඇතුළුව අපි සේරම ගතින් හරක් නොවුණට දිවා රෑ නොබලා රටේ සුළුතරයක් සල්ලිකාරයන්ට බර අදින හරක් තමයි.

ඇත්තටම හරක් අපට වඩා උසස්. අඩුගානෙ උන් දන්නෙ නෑ උන් හරක් කියල.

Thursday, 26 February 2009

ගෙ ගෙ ගෙ ගෙ ගෙම්බෝ

මේක සෑහෙන්න කාලයකට කලින් අපි කීප දෙනෙක් අතර ඇති වුණ කතාවක්. හරිම මුග්ධ සටහනක් වෙන්න පුළුවන්...

පාරෙ යද්දි වාහනේකට අහු වෙල බැගෙට තැලිල දඟලන ගෙම්බෙක් දැක්කොත්?

නොදැක්ක වගේ යන එක හොඳම විසඳුම වෙන්න පුළුවන්.

මොකද බාගෙට තැලුණම ගෙම්බ සාමාන්‍ය තත්ත්වෙට ව‍ඩා ආතල් එකේ ඉන්නවද කියල අපි දන්නෙ නෑනේ.

ඕන නම් ගෙම්බාව වේදනාවෙන් මුදවාගන්න හොඳට තියෙන ටිකත් පාගල ගෙම්බව මරලම දානවද?

මොකද කරන්නේ?

Tuesday, 24 February 2009

සතුට මා තුල...

සතුට තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ. අපි මොනව කලත් අවසානයේ සතුට මිස අපි වෙන යමක් ගැන හිතන්නෙ නෑ. සතුට ගැන නොහිතනවාය කියල වෙන මොන මොන දේවල් කලත් ඒ හැම දේම කෙලවර වෙන්නෙ අපි සතුට හඹා යාම හමුවේයි.

සතුට වෙනස් එකිනෙකාට. සතුට විවිධයි. ඒක අනෙක් ඕනම හැඟීමක් විඳිනවා වගේම එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඒ කොහොම වුණත් සතුට විධියට කෙනෙක්ට දැණෙන හැඟීමේ ලොකු වෙනසක් නැතිව ඇති.

සතුට දැණෙන්න නිදහස ඕන. නිදහස කියන්නෙ නිරායාස සතුටක් ලැබෙන දෙයක්. සතුට විඳින්න නිදහසක් නැත්නම් ඒ සතුටට අරුතක් නෑ.

ඒ අතරෙ අපි හිතන දේ ඒ විධියට ඉටු වීම තුල ආයෙමත් සතුටට අර්ථ තියෙනව.

අපි හිතන දේවල් සිද්ධ වීම තුල. හිතෙන අය එක්ක ඉන්න ලැබීම තුල. හිතන දේවල් ලැබීම තුල...

හැමෝගෙම ජීවිත වල හෙටක් තියෙනව. එහෙම නැතිව ඉන්න පුළුවන්. ඒ කියන්නෙ අද පමණක් ඉන්නවය කියන එකයි. අද පමණක් ඉන්න පුළුවන් වුණාට ඒ විධියට පවතින්න අමාරු වට පිටාවක් තමයි අපි අවට තියෙන්නේ. රස්සාවක් කරන්න වෙනව. මිනිස්සු ඇසුරු කරන්න වෙනව. සම්බන්ධතා ගොඩනගන්න සහ පවත්වගන්න වෙනව. එහෙම ඉන්න මිනිස්සු අතර අද විතරක් ජීවත් වෙන්න ඕන වුණොත් ලොකු කැපකිරීම් ටිකක් කරන්න වෙනව. එහෙම පුළුවන් වුණොත් නම් ඔය සතුට දුක කියන දේවලුත් වැඩක් නෑ තමයි. ඔය හැම දේකටම උපේක්ෂාව තුල විසඳුමකුත් තියෙනව.

ඒ වුණාට සතුට දැණෙද්දි ඒක නොවිඳ මොනව කරන්නද?

ඉතිං.....





රෑ සඳුත්
උදෑසන මල් පෙතිත්
දිවා තුරු යට සිසිල් සෙවණත්
මෙතුවක් කවියන් නුඹව සම කල සියල්ලත්
එක පෙළින් ගෙන...
ඒ නුඹට සම කරමි
බිය හැර

රෑ සඳු බැස ගොස්
උදා මල් පර වී
පත් හැලී තුර යට උණසුම් ව
කවි සිතිවිලි වියලී ගොස් වියැකුණත්
බියක් නෑ මට
නුඹ ඒ කිසිවකට
සම නොවන නිසාම

නුඹ අසම සම නුඹමයි
මා සිත ගෙන දොවා පිසදා
සියුම්ව දෑතින්ම ගෙන විමසිලි කොට
එහි වූ නෙක සියුම් සිතිවිලි බිඳිති කැටි කර
සුවඳ කවා හැඩ කල
නුඹම මිස අන් අයෙක් නැත
මා ඉදිරි මාවතේ අතර තුර




හික් හික්...

සතුට ඉස්මොල්ලෙ ගියාම ඔහොම වෙනවා. ගණං ගන්න එපා. ;)

Thursday, 19 February 2009

සතුට සත්තු වත්තේ....

අපි සතුට ලබනව විවිධ ක්‍රමවලින්.

සත්තු වත්තෙදිත් අපි ලබන්නෙ සතුටක්ද?

මෑතකදි මම මගේ ඥාතියෙක් (මෙතැන් පටන් ප්‍රියන්ත කියල ගමු) එක්ක කරපු කතාවක් මගේ කලින් බ්ලොග් සටහන ලියද්දි මතක් වුණා. ඔහු වතාවක් මගේ නුගේගොඩ කාර්යාලයට ආපු වෙලේක ඔහුගේ බිරිඳට සත්තු වත්ත බලන්න යන්න ඕන වුණා. ඔවුන්ගේ පදිංචිය ටිකක් ඈත නිසා කොළම එන්නෙ කලාතුරකින්. කොහොම වුණත් ප්‍රියන්ත මේ ගමනට කැමති වුණේ බොහොම අකමැත්තෙන්. ඔහුට සත්තු වත්තට යන්න කිසිම උවමනාවක් තිබුණෙ නෑ.

සත්තුවත්තෙදි අපි ලබන්නෙ කාලකණ්නි සතුටක්. ඔහු කිව්වා.

ඇත්තටම අපි නොදැනුවත්වම සත්තුවත්තෙදි ලබන දේ සතුට හෝ මොකක් වුණත් ඒක හරිම අසාධාරණ සතුටක් නෙවෙයිද? නිකමට හිතන්න අපි කූඩුවක ඉද්දි සත්තු වත්තෙ සත්තු අප දිහා බලමින් විහිළු කරමින් නිදැල්ලේ හැසිරුණොත්?

සමහර විට සත්තුන්ට කන්න බොන්න දෙනව නම් ඉන්න තැන කෘතිම පුංචි එකක් වුණාට කමක් නැද්ද දන්නෙ නෑ. මට
Madagaskar චිත්‍රපටිය මතක් වුණා. මේකෙ තියෙන සත්වෝද්‍යානයේ ඉන්න සිංහය මිනිස්සුන්ට පේන්න කෑගහල ෂේප් එකේ ඉන්න කෙනෙක්. තමන්ට වෙලාවට හම්බ වෙන මස් කුට්ටිය තමයි ඔහුගෙ එකම සිතිවිල්ල. ඉන්න පරිසරය ගැන ගානක් නෑ.

ඒ වුනාට ලංකාවෙ සත්වෝද්‍යාන වල නම් සත්තු ඉන්නෙ අතිශය සීමිත පරිසරයක. අපට වැඩිය ඇවිදින්න ඕන නෑ. ලේසියෙන් සත්තුන්ව බලල සතුටු වෙන්න පුළුවන්.

ඉතිං සතුටු වෙන්න....

Tuesday, 17 February 2009

දැල් දැමීම

පුංචි කාලෙ ඉඳන් කියවල විතරක් තිබුණ සංසිද්ධියක් සතියකට විතර කලින් මම අත්වින්ද සජීවීව. බටහිර වෙරල තීරයේ පුංචි නගරයකට ගිය සවාරියකදි මුහුදෙ දැල් දාල මාළු අල්ලන විධිය මම දැක්ක. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ බොහොමයක් දෙනාට. ඒ නිසා මම ඒකෙ තාක්ෂණික දේවල් ගැන කියන්න යන්නෙ නෑ.

මොනව වුණත් එතන හිටපු කෙනෙක්ගෙන් මම දැනගත්තු කරුණු කීපයක් ඒ සිද්ධියත් එක්ක ගලපන්න හිතුවා.

වෙලාව දවල් 1ට කිට්ටුයි. අපි කීප දෙනෙක් වෙරලෙ එහෙ මෙහෙ ඇවිදිමින් හිටිය ටිකක් ඈත දැල අදිමින් ඉන්න අය දිහා බලාගෙන. එතනට නොයා ඉන්න බැරි වුණා මට. ඒ වෙලාවෙ දැල සෑහෙන්න තරමක් ගොඩට ඇදලයි තිබුණෙ. එතන ගැහැණු පිරිමි සෙරම 20කට වඩා හිටිය. දැලේ ලූපයේ කෙලවර මුහුදෙ මීටර 50කට වඩා ඈතින් තිබුණෙ. ඒ වුණාට බොහොම ඉක්මනින් දැල ගොඩට ආවා.

මම හිතපු තරම් මාළු හිටියෙ නෑ. ඒ වුණාට සට සට ගාමින් පණ ගැහෙන මාළු රොත්තක් ඒ දැලේ රැඳිල හිටිය. ඒ අතරෙ බොහොමයක් රිදී පාට අඟල් 6 කට වඩා දිග මාළු. අඩියකට වඩා දිග අය කීප දෙනෙකුත් දැල්ලො කීපදෙනෙකුත් හිටියා. කලබල වුණාම බඩ පිම්බෙන වර්ගයේ පුංචි මාළු හිටිය. මට මතක් වුණේ
Finding Nemo චිත්‍රපටිය. ඒකෙත් ඉන්නවා ඒ වගේ එක්කෙනෙක්.

කොහොම හරි මාළු ටික එතන හිටපු 20-30ක් මිනිස්සු බලන් ඉද්දි විනාඩියකට වඩා දඟලල මිය ගියා. ඒ අර මිනිස්සු 20-30 දෙනත් එයාලගෙ පවල් වල අයත් ජීවත් කරවන්න. මට මොහොතකට හිතුණා මම ලබන කාලකණ්නි සතුට ගැන. ඒත් ඒක එහෙම තමයි. ඒක තමයි ස්වභාවධර්මය. අපි ඒක වෙනස් කලාට තවමත් අපි ස්වභාවධර්මයට යටයි.

මේ මාළු දැල දිනකට කීප වතාවක් එලනවා කියල එතන හිටපු ධීවර මහත්මයෙක් කිව්ව. ඒ වගේම පවුල් 10-15ක් මේ දැල නිසා ජීවත් වෙනවලු. පසුව දැනගන්න ලැබුණා මේ දැල අයිති මනුස්සයෙක් ඉන්න බව. දැල්ලො ටික එයා අරන්. ඉතිරි මාළු ටිකම රුපියල් 2000කට විකිණිලා. එහෙම විකිණුනේ නැති පුංචි මාළු වෙරලෙම ඉතිරි වෙන්න ඇති.

ඒක එතනින් ඉවරයි. මම ලබපු අත්දැකීම එපමණයි. ඊට පස්සෙ මම කැරකෙන්න ගත්තා. කලින් දා සමහර විට අර දැලෙන්ම ගොඩට ආපු පුංචි මාළු තෙලින් කර වෙල අපේ දිව පිනවන්න ගත්තා රසම රස සුදු ළූණු බයිට් එකක් එක්ක. හතරැස් බෝතලයක් රැස් විහිදුවමින් ඉවර වුණා.

ජීවිතේ එහෙමයි. මිනිස්සු දැල් දානවා. ඒ සල්ලි වලින් කාල බීල පවුල් නඩත්තු කරනවා. ගොඩ එන මාළු තෙල් නාගෙන ආයෙත් වෙරළට ගිහින් දැල් දානව බලන්න යන මිනිස්සුන්ගෙ බඩවල් වලට යනවා.

Monday, 16 February 2009

අභිමානය

අභිමානය හැමෝටම තියෙන දෙයක්නේ. කවුරු මොනව කිව්වත් ඕනම කෙනෙක් තමන් ගැන, තමන්ගෙ හැකියාවන් ගැන, තමන්ට තියෙන පිළිගැනීම ගැන යනාදී නොයෙක් හේතු මුල් කරගෙන ස්වයං අභිමානයකින් තමයි ඉන්නේ. අභිමානයත් මිනිස් හැඟීමක්. ඒක මේ සමාජයේ තුලනයට උවමනා කරනවා කියලයි මට හිතෙන්නේ.

ප්‍රශ්ණෙ ඒක නෙවෙයි. හැම දේම වගේ මේක හින්දත් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. මේ අභිමානය ඉහවහා ගියාම තමයි ලොකුම ප්‍රශ්ණෙ. ඇත්තටම අද අපි මුහුණ දෙන ලොකු, පුංචි, දේශීය සහ ජාත්‍යන්තර, පවුල් සහ අසල්වැසි හැම ප්‍රශ්ණයක්ම නොවිසඳී පවතින්නත් මේ අභිමානය හේතුවක් වෙනව.

අභිමානය ඔළුව පුරා ඔඩු දුවපුවම ඕන කෙනෙක් අධිමානයකට පත් වෙනව. එතකොට මේ ලෝකෙ ඉන්න සිරාම සිරා පොර තමන්ය කියන හැඟීම එනව. ඒක ආවට පස්සෙ හැම වෙලේම අවට සමාජයෙන් තමාට ඒ ඉහල මානසික තත්ත්වයෙන් පවතින්න ඕන කරන පිළිගැනීම බලාපොරොත්තු වෙනව. ඒක නැති වුණාම යකා නැගල හතර වටේ දෙවනත් කරල එක එක විකාර කරනව.

අභිමානය බිඳ වැටෙද්දි ඕන කෙනෙකුට පවතින්න අමාරුයිනේ. ඒක ඉහවහ ගිය කෙනෙක්ට තමන් කවුද, ඉන්නෙ කොහෙද කියල පවා අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අභිමානයත් ඕනවට වඩා වැඩි වුණාම ඒක ලෙඩක් වෙනව.

මගේ ජීවිතේ මට හමුවුණ බොහොමයක් ලොක්කො මේ අභිමානය ඔළුවෙ තියාගත්තු උදවිය. ඒ නිසාම එයාල හැම වෙලේම නිවැරදියි. තමන්ගෙ වරදක් නිවැරදි කරනවටත් අකමැතියි. අතපසු වීමකින් හරි අපි වගේ පොඩි අය අතින් වෙන වැරැද්දක් නිසා එයාලගෙ අභිමානයට හානි වුනොත් ලොක්කො මුළු සේවා කාලය පුරාම අපව කපල දාන්නත් ඉඩ තියෙනව.

මොන විධියෙන් අභිමානය ගොඩනගාගත්තත්, ඒ පුද්ගලයගෙ තරාතිරම මොකක් වුණත් සරල සත්‍යය කියන දේ ඒ අභිමානයටවත් තරාතිරමටවත් යටත් නෑ. ඒ නිසා සත්‍යයට පුළුවන් අභිමානය බිඳින්න. නමුත් ප්‍රවේශමෙන්. අභිමානයෙන් පිරුණ අයත් එක්ක ඇත්ත කතා නොකරන තරමට හොඳයි. ඒ වගේ අයට තවත් අභිමානය ටිකක් දීල තමන්ගෙ වැඩේ කරගන්න එක තමයි කල යුත්තේ.

අභිමානය දෙන්න. ඒත් ගනිද්දි සැලකිලිමත් වෙන්න. :D

Saturday, 14 February 2009

මගේ තනි විනෝද ගමන

කොස්ලන්ද කියන්නෙ පුංචි නගරයක්. තියෙන්නෙ බෙරගල නගරයෙන් කන්ද පහලට වැල්ලවාය දක්වා දිවෙන පාරෙ හරි මැදක. එහෙම කියන්නෙ කොස්ලන්ද නගරයෙ ඉඳන් බෙරගලටත් වැල්ලවායටත් අය කරන බස් ගාස්තුව එකක් වීම නිසයි.

අද උදේ මම බදුලු කොළඹ බස් එකක බෙරගලට ගිහින් එතනින් වැල්ලවාය බස් එකක් අරන් කොස්ලන්දට ගියා. බෙරගල කියන්නෙත් පුංචි හන්දියක්. එතනින් කන්ද ඉහලට යන පාර යන්නෙ හපුතලට. කන්ද පහලට යන පාරෙ තමයි කොස්ලන්ද තියෙන්නේ. හපුතලේ ඉඳන් කන්ද බැහැගෙන එද්දි පහලින් පෙනෙන ඈත ක්ෂිතිජය දක්වාම දිවෙන කඳු වැටි පිරුණ නිම්නය වෙතට තමයි බෙරගලින් ඇරඹෙන කොස්ලන්ද පාර ඇදෙන්නේ.

මේ පැත්ත හරිම ලස්සනයි. කඳු මුදුන් මීදුමෙන් වැහිලයි තියෙන්නේ. පරිසර දූෂණයක් නෑ. මධ්‍යස්ථ කාලගුණයක් තියෙන්නේ. මිනිස්සු වුණත් අහිංසක දිළිඳු අය.

කොස්ලන්ද දිසා රෝහල ඉදිරිපිට තියෙන පුංචි කඩෙන් උදේ ආහාරය විධියට මම පොල් රොටි දෙකයි පැටිස් එකයි ලැවරියයි ප්ලේන්ටියයි සේරම රුපියල් 65කට ගත්තා. ගාණ අදහන්න බැරි නිසා මම ආයෙත් ඇහුවම ගාණත් වැරදි නෑ. කොළඹදි ඔය ටික කන්න රුපියල් 150ක් වත් යනව.

මම මං ගිය වැඩේ කරගෙන ආයෙමත් කොස්ලන්දෙන් වැල්ලවාය බස් එක අරන් මම වැල්ලවායට ගියා. ආ පාරෙම නොගියෙ රට තොට බලන්න ඕන නිසයි. ඒ මගදි තමයි දියළුම දිය ඇල්ල තියෙන්නෙත්. ඒක මහ විශාල කන්දක් මුදුනෙ ඉඳන් පහලට වැටුණෙ මාව මා තුලම හකුලවමින්. මොකද ඒක වැටෙන්නෙ හරිම ඉහලකින්. හරියට දුරකථන කුළුණක් ගාව ඉඳන් ඒකෙ මුදුන බලනව වගේ එකක් තමයි ඒකත්.



මට මතකයි හයේ පන්තියෙද කොහෙද සිංහල පාඩම් පොතක දියළුම ගැන පාඩමක් තිබුණා. ඒ වුණාට කවදාවත් මට ඒක බලන්න යන්න වුණේ නෑ. ඔන්න අද ගියා. :D

කොහොම හරි වැල්ලවායට ගිහින් එතනින් ආයෙත් ඇල්ල නගරය හරහා බදුල්ලට යන බස් එකක මං ගෙදර ආවා. ඒ පාරට කවුරුත් කට වහරේ කියන්නේ ඇල්ල-වැල්ලවාය පාර කියලා. ඒ පාරෙ තමයි රාවණ ඇල්ල තියෙන්නේ. ඒක නම් මම කලින් දැකල තියෙනවා. ඒක ඒ තරම්ම උස නැතත් ගලා යන රටාවෙ ලතාවක් තිබුණ.



රාවණ රජ මහ විහාරයත් තියෙන්නෙ ඊට ටිකක් නුදුරින්. ඔය එකක්වත් මම බැලුවෙ බස් එකෙන් බැහැල නෙවෙයි. බස් එකේම කවුළුවෙන්. කොහොම වුණත් ආයෙ විශේෂ අවස්ථාවකදි මිස ඔය පලාතෙ යන්න නොවෙන නිසා ඕන වුණෙත් දැනගන්නත් එක්ක මම ගිය ඒ චාරිකාවෙන් මම ලොකු තෘප්තියක් ලැබුව.

සමහරවිට දවසක ආයෙත් වඩා හොඳින් ඒ දේවල් විඳින්න පුළුවන් වෙයි.

බලාගෙන ඉමු.

Friday, 13 February 2009

තාත්තයි මමයි වැඩට ගියා

අද උදේ මම නැගිට්ටෙ 4.15ට. තාත්තත් ඒ වෙලාවටම. දෙන්නම උදේ 5.45 වෙද්දි බස් එකේ නැගල පැය තුනකටත් වඩා දිග ගමනකින් පස්සෙ මාව අනුයුක්ත කරල තියෙන සේවා ස්ථානයට ගියා. ඇත්තටම තාත්ත ආවෙ එයාට ඒ පරිසරය බලන්න ඕන කියලයි. මීට කලින් එයා ඒ පළාතට ගිහින් නෑ. කොහොම හරි උදේ නැගිටල පැයගානක් බස් එකේම යන විධියෙ රාජකාරියකට මම කැමති වුණේ නෑ මුලින්. මම අර්ධ නිශාචරයෙක් නිසා කොයි තරම් රෑ වෙනකල් ඇහැරල හිටියත් උදේ නම් නිදාගන්න ඕන. මම දන්න තරමින් අපේ පරම්පරාවෙ බොහොම දෙනෙක්ගෙ තත්ත්වෙ ඒකයි.

නමුත් අපේ තාත්ත මට මතක කාලෙදි අවුරුදු 8ක් පැය තුනක කාලයක් ගෙවම්න් උදේ පාන්දර වැඩට ගියා. ඊට කලින් තව අවුරුදු දෙකක් ඊටත් වඩා ඈතක වැඩ කලා . ඊටත් කලින් තවත් අවුරුද්දක් විතර තව කොහේදෝ දුරක වැඩ කලා කියල කිව්වා. කොහොම හරි ඒ සේවා ස්ථාන සියල්ලටම ගෙදරින් පැය තුනකට එහා කාලයක් ගතකරලයි යන්න තිබිල තියෙන්නේ.

මට මතකයි මං අටේ පන්තියෙ ඉද්දි පන්තියෙ ටීචර්ගෙ පොත අත්සන් කරන්න ඕන නිසා පාන්දර 4.30ට විතර තාත්තට වඳින්න නින්දෙන් ඇහැරුණා. පස්සෙ තාත්ත ඒක නිකංම අත්සන් කලේ අපි උදේ නැගිටින්න ඕන නෑ කියල හිතල.

ඒ කාලෙ තාත්ත ගෙදර අවෙ රෑ 9ත් පහු වෙල. එයා රෑ වෙලා සුරුට්ටුවකුත් පත්තු කරන් ඇවිත් දොරේ සීනුව ගැහුව. ඒක පුරා අවුරුදු 8ක් මම අත්වින්ද. ඒ කාලෙ ඒක ගානක් නෑ. නමුත් පසුව මම ඒ හරහා මගේ තාත්තව සෑහෙන්න තේරුම්ගත්ත. මගේ තාත්ත ලෝකෙ ඉන්න හැම තාත්තෙක්ම වගේ ගොඩක් කැපකිරීම් අපි වෙනුවෙන් කරපු කෙනෙක්. යුතුකමක් විධියට සලකල හරි අපිව මිනිස්සු කරන්න එයා එයාගෙ ජීවිතයම පාරට වැය කරල තියෙනව යම් කාලෙකදි.

ඒ අතින් ගත්තම මාව එල්ලන්න වටිනව. රස්සාවකදි ඒ රස්සාවෙ සුදුසුකම් වලට අමතරව මම දාහක් දේවල් දිහා බලනව. අපිට ගානක් නෑ. මොකද අම්මල තාත්තල සැප දීලනෙ හදල තියෙන්නේ.

මේ තමයි පරම්පරා දෙකක් අතරදි ලෝකයේ වුණ වෙනස ඒ පරම්පරා වලට බලපාල තියෙන විධිය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි මේ විධියට හැදිල. යම් දවසක අපිටත් අපේ තාත්තගෙ/අම්මගෙ භූමිකාව රඟදක්වන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නොවුණත් අපේ කලින් පරම්පරාව ගෙවපු ජීවිතය ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් අපේ ජීවිතේ මීට වඩා හොඳ කරගන්න ගොඩක් දේවල් ගන්න පුළුවන්.

Thursday, 12 February 2009

තාත්තයි මමයි SALE ගියා

අපේ තාත්ත සෑහෙන්න වැඩ කරනව. මේ වියපත් වයසෙදි පවා එයා නිකං ඉන්න කෙනෙක් නෙවෙයි. ගෙදර තියෙන සුළු සුළු වැඩවල ඉඳන් නොයෙක් වැඩ එයාට තියෙනව. එයා කරන වැඩ එක්ක බලද්දි මම එයින් දහයෙන් එකක්වත් කරන්නෙ නෑ. එක්කො පරිගණකය ඉදිරියෙ. නැත්නම් පොතක් බදාගෙන. මම ඒ ගැන කල්පනා කලාමයි හිතුණෙ ඒක බොහොමයක් දෙමව්පියන් සම්බන්ධයෙන් සාමාන්‍ය ඇත්තක් බව. අපේ අම්මල තාත්තල දැන් පවා කරන වැඩත් එක්ක අපට හැරෙන්නවත් බෑ.

හවස තාත්තයි මමයි ගියා බදුළු මහ රෝහලට තාත්තගෙ මිත්‍රයෙක් හම්බ වෙන්න. රෝහල් භූමිය තුල තියෙනවා ජනප්‍රිය ගෘහ විදුලි උපකරණ සමාගමක ජංගම අලෙවිසැලක්. අද මම ඒක දැකපු තුන්වෙනි දවස. මම දන්නෙ නෑ ඒක නිසා රෝහලට අමතර ආදායමක් ලැබෙනවද කියල. කොහොම හරි සනීප වෙලා ගෙදර යන ගමන් බ්ලෙන්ඩර් එකක්, ටෝස්ටරයක් වගේ දෙයක් ගෙදර අරන් යන්න කැමති රෝගීන් ඇති කියල මට හිතුණා.

Tuesday, 10 February 2009

නිදහස

මම තාමත් හිතන්නෙ පාරෙ සින්දු කියන, බස් වල සින්දු කියන සහ හිඟා කෑම වගේ එදා වේල පමණක් ගැන කල්පනා කරන්න වෙන තනි ජීවිතයක් තුල මම බලාපොරොත්තු වෙන නිදහස මට ලැබෙයි කියලයි. කාලයක් මම හිතුව ඇත්තටම හිඟා කන එක පවතින්න හොඳ ක්‍රමයක් කියලයි. ඒ කාලෙ මට ජීවිතේ වෙනත් බලාපොරොත්තුවක්වත් රක්ෂා කරන්න තියෙන අය ගැන ලොකු හැඟීමක්වත් තිබුණෙ නෑ.

නමුත් දැන් තත්ත්වෙ වෙනස්. මං වෙනුවෙන් වෙහෙසෙන අය වෙනුවෙන් කැපවීම මගේ ජීවිතේ අරමුණ වෙලයි තියෙන්නෙ. තාමත් මං වෙනුවෙන් මහන්සි වෙන මගෙ අම්මයි තාත්තයි ඒ අතරින් ඉහලින්ම ඉන්නව. මං හැමදේම කරන්නෙ එයාල වෙනුවෙන්. ඒ ඔස්සේ එයාල දකින හීනය තමයි මං ඇත්තක් බවට පත් කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා ජීවිතේ යම් කාලෙක තනියෙන් ඉන්න වුණ වෙලාවක පාරට බහින එක කෙසේ වෙතත් දැනට මට විධිමත් රස්සාවක් කරන්නම වෙනව. ඒ ඔස්සේ බලාපොරොත්තු ගොඩනගන්න සහ ඒ වෙනුවෙන් කැපවෙන්න සිද්ධ වෙනව මට.

ඉපදීම නම් දුකක්. ඒක දුකක්ය කියල තේරෙණ එක තව දුකක්. එහෙම තේරෙන එක වරදක්ද? උදේ හවස ඉර පායල බැහැල යනව වගේ ඔහේ ජීවත් වෙන එකද මම කල යුත්තේ? අයි මට බැරි මට ඕන විධියකට ඉන්න මේ බැඳීම් වලින් ගැලවෙලා.

ජීවිතේ විඳින්න කියල තමයි හැම වෙලේම හැමෝම කියන්නේ. ඔව්! ජීවිතේ විඳින්න ඕන තමයි. භෞතික දේවල් ගොඩක් එක්ක ජීවිතේ සංකීර්ණ වෙලා තියෙද්දි ජීවිතේ තවත් විඳින්න දෙයක් නම් නෑ. භෞතික වට පිටාව හැමවෙලේම වින්දනීය ලෙස ජීවිතේ එහෙට මෙහෙට ගෙනියනව හුස්මක්වත් ගන්න ඉඩ නොදී.

ජීවිතේ නියම සුවය සහ අර්ථය දැනෙන්න අපි නිදහස් වෙන්න ඕන බොහොමයක් දේ වලින්. ඒ වුණාට එහෙම නිදහසක් නම් නෑ පේන තෙක්මානෙක.

දැන් මට ජීවිතේ අභියෝගයක්! දිනන්න ඕන තරගයක්. අනිත් බොහෝ දෙනා දුවනව වගේ මාත් දුවන්න පටන්ගන්නව. මෙතෙක් කල් මට ඕන පාරවල දුවපු මම දැන් දුවනව අනිත් අය ඇඳපු පාරක. බලමු මම දිනයිද කියල.

Friday, 6 February 2009

එකම කතාවක්

මං දන්නව මගේ ආදරේ මම කියන්න ඕන මේ විධියට නෙවෙයි කියල. ඒත් මං දුප්පත්. මට තියෙන ටික තමයි මේ. මීට වඩා දෙයක් මම දන්නෙ නෑ. මං දන්නෙ නෑ තව දුරටත් ඒකට ලස්සන එකතු කරන්න. මං දන්නෙ නෑ තවදුරටත් ඒක සුමට කරන්න. මං දන්නෙ නෑ ආදරය දිහා ආදරෙන් බලන්න. මං දන්නෙ නෑ තව දුරටත් ආදරේ කරන්න. මට දැණෙන ටික වත් කියාගන්න මට දැණුමක් නෑ.

මං මෝඩයෙක්!

මං ඉගෙනගත්තෙ නෑ.මට ඉගැන්නුවෙත් නෑ. මට ජීවිතේ ගැනත්, ආදරේ ගැනත්, මරණය ගැනත් කියන්න තියෙන්නෙ මං දන්න ටිකක් විතරයි. ඉතිරිවා මං කොහෙන් ඉගෙන ගන්නද? මට ඒවා කියල දුන්නෙ නෑ. මං තරහයි ඒ ක්‍රමය එක්ක. මට ඒක පේන්න බෑ. මට කියල දුන්නෙ උදේම නැගිටල දත් මැදල මූණ හෝදල ඉස්කෝලෙ යන්න. රෑට නිදියන්න. මට මගේ ආදරේ හොයාගන්න ආදරේ කරන්න ඉගෙනගන්න වුණා තනියම. පාරවල් දිගේ ඔයාගෙ අතින් අල්ලන් ඇවිදින අතරෙ මං හීන දැකපු ආදරය ඒකය කියල හිතන්න මං මටම බලකලා. මං ඒ වෙනුවෙන් මාව නැති කරගත්ත. දැන් මට මාවවත් නෑ.

මං දන්නෙ නෑ මගේ ආවේග කියන්න. ඒව මාව විනාශ කරල දානව. මාව පුච්චල දානව අළු වෙනකල්. ඒත් මංවත් මගේ වේදනාවවත් නැති වෙන්නෙ නෑ. මං දැවෙමින් ආයෙත් පණ ගහල නැගිටිනව. මං දන්නෙ නෑ මට දැණෙන වේදනාවෙ තරම හිතාගන්න. මට දැණෙන තරහ, මගෙ දුක මං දරාගෙනයි ඉන්නෙ. හරියට ලොකු යකඩ කිණිහිරක් මගේ පපුව උඩ තියාගෙන ඉන්නව වගේ. ඒක රත් වෙලා මගේ පපුව ගිණි ගන්නවා.

එන්න බිත්තර බදින්න.

මං හිතුව මං මැරෙන්න යනව කියල. ෂික්! ඒකවත් වෙන්නෙ නෑ. මං මහ බූරුවෙක්. මං දන්නව ඔයා ගැන සිතිවිල්ල මට වෙඩි තියනව කියල. ඒකෙන් ගැලවෙන්න මම දඟලනව. මම ඔයාට වෛර කරන්න පටන්ගන්නව. මට පේන්න බෑ ඔයාව. උදේ නැගිටිනකොට ඔයාගෙ ලස්සන ඇස් ය කියල මම හිතාගෙන හිටපු ඇස් වල කබ පිරිල තියෙනව. ඔයාගෙ නහය ලස්සනයි කිව්වට ඒක එහෙම නෑ. මට පේන්න බෑ ඒක. කවුද කියන්නෙ ඔයාගෙ දෙතොල් ලස්සනයි කියල මං වගේ මෝඩයෙක් මිස. දැන් මං ඒක දන්නවා. මට හිතාගන්න බැරි තරම් ගඳ ගහන දේවල් ඔයා තොලගානව. ඔයා ඇවිදින විධිය මට පේන්න බෑ. මට මතක් වෙනව පඹයෙක්. ඔයා පඹයෙක්. ගඳ ගහන මස් ගොඩක්. ඔයාට රවටගන්න පුළුවන් ඕන නෝට්ටුවක් එක්ක ඔයා බුදියනව. ඔය මුදල් එක්ක විවාහ වෙලා. ඒද දැන හෝ නොදැන තාමත් ඔයා එහෙමමයි. ඔයාට ඒක කොයි තරම් ගැලපෙනවද කියල ඔයා දන්නෙ නෑ.

මං දන්නව ඔයා හැරෙනකොට, ඔයාගෙ දහදිය වදිනකොට ඔයා රත් වෙලා කියල. මට මැවෙනව ඔයා ජීවිතේට බය වෙනව. ඔයා විනාශ කරගත්ත ජීවිතේට. හැමදාම ඔයා සතු හැමදේම පවතින්නෙ නෑ. ඔයා දන්නෙ නෑ ඒක. ඔයා මහ ආඩම්බරකාරියක්. මගෙන් ඔයා සතුවුණ කිසිදෙයක් තව දුරටත් ඔයාගෙ නෙවෙයි. මට දැනෙනව ඔයා සතුටු වෙනව. ඔයාගෙ ඇස් සතුටින් දිලිසෙනව. ඔයා බලාපොරොත්තු වෙන මරණය ඔයා ගාවට එනව. ඔයාට අවසානයෙ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක විතරයි.

ඒක විතරයි ඔයාට සුදුසු.

ඊට කලින් මට නෝට්ටුවක් හොයාගන්න පුළුවන් වුණොත් මම එන්නම්.

Tuesday, 3 February 2009

රාජ්‍ය සේවය පිණිස මහත්මයෙක් වීමි!

මම රාජ්‍ය සේවයට ගියේ මගේ උවමනාවට නෙවෙයි. ඒ තුල හිමිවෙන අමතර වාසි නිසා දැන් ඒක මගෙත් උවමනාවක් බවට පත් වෙමින් තිබුණත් රජයේ රැකියාවකට ඉල්ලුම් කිරීමේ සිට දැනටත් හරියටම නිශ්චිත නැති මගේ සේවා ස්ථානය ගැන වෙහෙසෙන්නේ මගේ දෙමාපියන් සහ ඥාතීන්.

පුංචි කාලෙ ඉඳන්ම රජයේ රැකියාවක තියෙන දූරදර්ශී වාසි ගැන වරින් වර මගේ ඔළුව පුරවල තිබුණත් රාජ්‍ය සේවය ගැන දන්න කාලෙක ඉඳන් මගේ හිතේ පැහැදීමක් තිබුණෙ නෑ. පොඩි කාලෙ රජයේ ආයතනවලට ගිය හැම වෙලේකම මට ලැබුණෙ අප්‍රසන්න අත්දැකීම්. රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම වෙන රස්තියාදුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ ලංකාවෙ මිනිස්සුන්ට :)

මම දැනට ඉන්න ආයතනයට මාත් ඇතුළුව අළුත් පත්වීම් ලබපු කීප දෙනෙක්ම ගියා. දැනටත් ස්ථිර දෙයක් කරන්න නෑ. තවම අනිත් අය නාගෙන ගූ කරගත්ත කුණු වැඩ ටික අපි කරනවා. ඒව මහලොකු දේවල් නෙවෙයි. නමුත් එකම ඉලක්කම පොත් හතර පහක තියෙන වගු වල වාර්තා කරමින් බොහොම පුංචි දේ ලොකු කරගෙනයි ඉන්නේ කට්ටිය. ඇත්තටම කිව්වොත් පරිගණක පද්ධතියක් හරහා ඒ දේවල් කරන්න දැනට ඉන්න කාර්ය මණ්ඩලයෙන් ¼ ක් ඇති කියල මට හිතුණා. මොකද අළුතෙන් ඒ ස්ථානයට ගිය අපි ‍සියළු දෙනා මේ දිනවල කලේ වැරදි නිවැරදි කිරීම් තමයි.

කොහොම වුණත් පරිගණක භාවිතා වෙන්නෙ හරිම සුළුවෙන්. word, excel පාවිච්චි වුණත් excel වලින් කරන්න පුළුවන් සරල එකතු කිරීම්වත් මෙයාල කරන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම පොත් වල තියෙන අංක නැවත වගු වලට ඇතුලත් කරල දෘඩ පිටපත් අරන් වාර්තා සැකසීම පමණයි මම ඉන්න කොටසේ තියෙන පරිගණක වල කාර්යභාරය. කොහොම නමුත් ඉදිරියෙදි ඒක වෙනස් වෙන්න පුළුවන්.

මේ සේවා ස්ථානයේ මුළු සේවක සංඛ්‍යාව 50 ඉක්මවනවා. ඒ සියළු දෙනා කතාබහෙන් හරිම සුහදශීලීයි. හිනාව පිරිලා. ඒ වුණාට වැඩ කරන්න අරන් ගෙවුණ සති දෙක තුළ අපිට තේරුණා මේ බොහොමයක් දෙනා තුල එකිනෙනකා කෙරේ ක්‍රියාත්මක වෙන සීතල යුද්ධයක් තියෙනව කියල. මෙතෙක් මම වැඩ කරපු පුද්ගලික ආයතන වල නම් එහෙම එකක් ලොකුවට තිබුණෙ නෑ. කරන්න වැඩත් තිබුණ නිසා ඕප දූප වලට ඉඩක් නෑ. නමුත් රාජ්‍ය සේවයේ තත්ත්වය වෙනස්. කරන්න වැඩ ඕන තරම් තිබුණත් හදිසියක් නෑ. කල් අරන් හෙමිහිට කරන්න පුළුවන්. කීපදෙනෙක් 1.30ට යනව ළමය ගන්න ඉස්කෝලෙට. දරුවව ආයතනයට ගෙනත් කවල පොවල ආයෙ පන්ති එක්ක යනව 2.30ට. පස්සෙ රවුමකුත් දාල 3.30ට විතර ඇවිත් 4.15 වෙනකල් කහට කෝප්පයක් සමග ඕපයකට ‍ස්ටෙලා වෙලා ගානට 4.15 වෙද්දි ගෙදර යනව. සමහරු උදේ ඉන්නව. දවල් පේන්න නෑ. ආයෙ හවස ඉන්නව. තවත් අය වැඩ කරන්නෙ 4.15න් පස්සේ. ඊට අමතරව සිකුරාද දිනවල නිවාඩු යන තවත් අය සෙනසුරාද ඉරිද වැඩ කරනව.

මම ඒ ගැන හොඳ නරක කියන්න යන්නෙ නෑ. තමන්ගෙ වැඩේ එයාල අතින් හරියට වෙනව ඇති. අනික එයාල කිසිසේත්ම පීඩනයෙන් (stress කියන්නේ) තොරයි. මොකද ඔළුව කචල් වෙන තරම් වැඩක් නෑනේ. ඒ නිසා බොහෝ විට හිනාවෙනවා.

හිනා වෙන අතරෙම තමයි යටින් ගේම දෙන්නේ. ඒ නිසා අළුත් අපි පරිස්සමින් තමයි කතා කරන්නේ.

මේ රැකියාව නිසා මට මාව බාහිරින් වෙනස් කරගන්න වුණා. මගේ කේෂ කලාපය කපන්න වුණා. රැවුල අඩු තර‍මේ මාස කීපයක්වත් කපන්න වෙයි. කොහොම වුණත් මම මම ම තමයි. පෙනුමෙන් මහත්තයෙක් වෙලා. මගේ රස්තියාදුකාර නිදහස් විලාසිතා වලට සමු දීලා අත් දිගට ඇඳලා මැදපු සපත්තු දාල ජෙන්ටල්මෑන් වගේ තමයි මම වැඩට යන්නේ.

ඒ වුණාට ඒ තැන එහෙම යන්න වටින තැනක් නෙවෙයි. කොහොම වුණත් පඩ ෂෝ කියන්නෙ අපේ රටේ අළුත් දෙයක් නොවෙන නිසා ඒක එහෙම තමයි.

ඔන්න ඔහොමයි මං මහත්තයාගෙ දැං රැකියාවෙ වග තුග. තව ඒවා උගුරට එන විධියට වමනෙ දාන්නම්.

Thursday, 15 January 2009

සඳ සහ පොලොව

මේ අදහස
කවියකට ගන්න එක
අසාර්ථක වුණා.

ඒ වුණාට මේක
අපි ජීවත් වෙන
රටාවන් පහැදිලි කරගන්න
මං දරපු
මෝඩ උත්සාහයක්.

හඳේ භ්‍රමණ සහ
පරිභ්‍රමණ වේග වල
තියෙන සමානකමක් නිසා
හැමවිටම පොලොවට පේන්නෙ
හඳේ එකම පැත්ත.

හඳේ එහා පැත්ත
අපට කවදාවත්
පේන්නෙ නෑ.

අපි හැමෝමත් හඳ වගේ.
අපි දිහා බලන අයට
පේන්නෙ අපේ කොටසයි.
අනිත් පැත්ත
සහමුලින්ම වැහිලා.

වෙලාවකට
අපේ හිත් වුණත්
එහෙමයි.

Wednesday, 14 January 2009

උවමනාව

අපට යමක් කරන්න හෝ නොකර ඉන්න උවමනාව තිබුණ නම් ප්‍රමාණවත්. යමක් කරන්න උත්සාහ දරන්න පුළුවන් උවමනාව තියෙනවනම්. යමක් නොකර ඉන්නත් පුළුවන් උවමනාව තියෙනවනම්.

මේ උවමනාව කියන එකට අපි සලකනව මදි. ලෝක උවමනා දිනය වගේ එකක් නම් කලා නම් හරි.

දිනයක් වශයෙන් නම් උවමනාවත් අල වෙයි තමයි. ඒකට කරන්න දෙයක් නෑ...

වෙනස් වීම

මම හිතං හිටියෙ මට වෙනස් වෙන්න ඕන කියල වුණත් වෙනස් වෙන්න අවස්ථාවක් ආවම මම කැලඹෙන විධිය මටම ප්‍රහේලිකාවක් වෙලා. අවුරුදු ගානක් මම ජීවිතේ වෙනසක් හෙව්වා. දැන් මට නැවත මගේ දෙමව්පියන් වෙතට ගිහින් රැකියාවක් කරන්න ලැබිල. ඒ වුණාට දැන් මම පුරුදු වෙලා ඉන්න කොළඹ ජීවිතය මාව අවහිර කරන්න අරන්. අන්තර්ජාලය, මගේ යාළුවෝ, මම ඇසුරු කරපු වෙනත් මිතුරන්, මගේ පාරිභෝගික මිතුරන්, මගේ ඥාතීන්, මගේ පෙම්වතිය සියල්ලන්ගෙන්ම මට තාවකාලිකව වෙන් වෙන්න වෙලා. ඒ බැඳීම් එක්ක මම දැන් කැළඹිලා. මම දන්නවා ඒවයින් ගැලවෙන්න ඕන සහ මට ඒක පුළුවන් කියලා. නමුත් මම ඒ ඇලීමට කැමති වෙලා ට්ක කාලයක් ඉන්න ආස වෙලා.

නැවත තුරුදැල පැත්තෙ කවද එයිද‍? ගෙදරට ගන්න උත්සාහයක් ගමු හෙමිහිට. කොහොම වුණත් මට ආයෙත් කියවන්න නම් අවස්ථාවක් ලැබෙයි.

හැමදේම වෙන්නෙ හොඳටයි කියල හිතන්න මහලොකු අමාරුවක් නැති නිසා හැමදේම හොඳින් සිද්ධ වෙයි.

Monday, 5 January 2009

අහෝ මා ප්‍රිය පෙම්වතිය :(

පුරා වසර පහකටත් වැඩි කාලයක් පුරා මාත් එක්ක ජීවත් වුණ, මගේ සියළු දේ බෙදාගත්ත, මට බොහොම දේවල් ලබාගන්න අතරමැදියෙක් වුණ, මගේ යාළුවන්ට අනුව මගේ girl friend වුණ මගේ කාර්යාලීය පරිගනකයෙන් සමුගන්න කාලය ඇවිත්.

වසර පහකුත් මාස හයක් පුරා මගේ නිවස සහ කාර්යාලය වුණ ආයතනයෙන් සමුගන්න සිද්ධ වෙලා මට. ඉතිං ඒ කාලය පුරාම මාත් එක්කම ගැවසුණ පරිගණකයෙනුත් සමුගන්න වෙනවා මට. එයා වසරකට විතර කලින් අළුත් වුණා මොළ දෙකේ සකසනයක් එක්ක. ඒ වුණත් එයා මාත් එක්ක කරන ගනුදෙනුව නම් වෙනස් වුණේ නෑ මේ වෙනකල්ම.

මේ කාලය තුල මම ‍ඉගෙනගත් දේවල්, ම‍ගේ අළුත් ජාල මිතුරන්, වෙනත් දැනුම සහ පුද්ගලික වෙනත් කාරණා සියල්ලත් එයා මට ලබාදුන්නෙ කිසිම මැසිවිල්ලකින් තොරව. හනේ මම එයාට වද දුන්න තරමක්! කී වතාවක් නම් එයාව brain wash කරන්න ඇද්ද.

මේ සටහන එයා වෙනුවෙන්... නැවත කවමදාවත් හමුවන්න නියමිත නැති මගේ පරිගණක පෙම්වතිය වෙනුවෙන්.... දුකින්...

Thursday, 1 January 2009

දුප්පතුන්ගේ නව වසර

මම කල්පනා කරමින් හිටියා ලබපු අවුරුද්ද විශේෂ වෙන්නෙ කොහොමද කියලා. සමහර විට මේ කියන දේ අතිශය නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙනවා මෙහෙම.

නුගේගොඩ හන්දියෙ සහ බෝ ගහ අවට පදික වේදිකාවෙ ඉන්න යාචක පිරිස් අතර ඉන්න පුංචි ළමයෙක් මම දැක්කා. එයාට කිසි ගානක් නෑ. අදත් එයාගෙ මූණෙ තිබුණෙ හැමදාම තියෙන හැඟීම් විරහිත ගල් හැඟීමමයි. අළුත් ඇඳුම් සුවඳ විලවුන් අළුත් විලාසිතා එක්ක පාරෙ යන එන සෙනග අතර මේ නිසල කොළු පැටියා එයාගෙ කල්පනාවක හිටියා. එයාට අළුත් බලාපොරොත්තු තියෙනවද මන්දා. අළුත් ඇඳුමක් නම් තිබුණෙ නෑ. ඒ වුණාට අපේක්ෂා විරහිත එක් මොහොතක සැනසිල්ල මේ දරුව ගාව තිබුණ බව මම දැක්කා. එයා හිටියෙ
වාහන යන එන පාරෙ අද්දරම දූවිලිත් එක්ක. එයාගෙ අම්ම තවත් පුංචි බබෙක්ව තුරුළු කරන් ටිකක් එහායින් හිටිය. මේ දරුවට ඒ ගැන වගක්වත්, වෙන කිසිම දෙයක් ගැන ගානක්වත් තිබුණෙ නෑ.

මම ‍අද වෙනද වෙලාවටම නැගිටල වැඩට යනකොට එහෙ කට්ටිය සුපුරුදු ලෙසම පිරිත් ශ්‍රවණය කරල පිරිත් නූල් හෙමත් බැඳගෙන හිටිය. අවුරුදු ගාණක්ම එයාල ඒක කරනව වුණාට එහෙමට කියල සෙතක් නම් වෙලා නෑ. ඒ කිසි දෙයක් නොකරන මට තරම්වත්. කොහොම වුණත් හොඳ කිරිබත් කෑල්ලක් සහ කැවිලි කීපයක් එක්ක උදේ කෑම ෂේප් කරල දාන්න පුළුවන් වුණා.

මන් දන්නෙ නෑ අළුත් අවුරුද්දක් කියල කට්ටිය ගොඩනගාගන්න බලාපොරොත්තු ඉටු කරගන්න කොයි තරම් කට්ටිය කැප වෙනවද කියල. අළුත් අවුරුද්ද අළුත් ඇඳුම් ආයිත්තම් සහ වෙනත් විවිධ දේවල් වලින් සැරසිල නොයෙක් දේවල් අළුත් කරගෙන පටන්ගත්තත් හැමදාම මම දකිනව ජනවාරි දෙක තුන වෙද්දි හැමෝම ආයෙත් පරණ ටිකම කරමින් ඉන්නව. ඒක හැම අවුරුද්දෙම වුණා. ඉදිරියටත් වෙනසක් වෙන එකක් නෑ. සරලවම කිව්වොත් අළුත් අවුරුද්ද සැමරීම කියන එකත් දැන් පුරුද්දට ගිය චාරිත්‍රයක් වගේ එකක් නිසා ඒකෙදි ඇති කරගන්න අළුත් පැතුම්, සිතුම් සේරමත් එදාට විතරක් ‍තියෙන දේවල් බවට පත් වෙලාද?

මිනිස්සු වෙනස් වෙන්න කැමති නෑ. ඒක ස්වභාවයක්. තමන් පාරම්පරිකව කාලාන්තරයක් කරන දේවල් වෙනස් කරන්න බැරි නිසා මිනිස්සු එක එක කතා කියනව ඒක වහගන්න. හැබැයි අළුත් අවුරුද්දට නම් අළුත් වෙනව කියනව. ඒ වුණාට වෙනසක් නෑ. වෙනස් වෙනවාය කියල කියන එක අළුත් අවුරුදු චාරිත්‍රයක් වෙලා නිසා අවුරුද්දේ උණුසුම් ගියාම ඒක මතක නෑ. ආයෙත් පරණ තැටියමයි.

මම හිතන්නෙ ඒ අතින් අපි හැමෝම දුප්පත්. දැනට ගෙවන ජීවිතේ අප්සෙට් නම්, ඒක වෙනස් කරගන්න ඕන නම් ඒකට අවුරුද්දක් ඕන නෑ. අළුත් වෙන්න අවුරුද්දු එනකල් ඉන්න ඕන නෑ. නමුත් අපි වෙනස් වෙනවාය කියල කියන්නෙ අවුරුද්දට.

නමුත් වෙනස් වෙන පාටක් නෑ.