Showing posts with label animals. Show all posts
Showing posts with label animals. Show all posts

Wednesday, 21 August 2019

බල්ලෙකුගේ සහ පූසකුගේ දිනපොත්


මේක බල්ලො සහ පූසො ගැන ගොඩක් ජනප්‍රිය එකක්. බල්ලො ගැන වෙන දෙයක් හොයන අස්සෙ තමයි මේක සෙට් වුණේ. ප්‍රධාන පරිවර්තනය ගුගල් ට්‍රාන්ස්ලේටර්ගෙන්. එයාගෙ අඩුපාඩු ටිකක් හදල බෙදාගන්න හිතුවා.


බල්ලාගේ දිනපොත

උදේ 8.00 - ඩෝග් ෆුඩ් කෑවා! මං කැමතිම දේ!
උදේ 9.30 - කාර් එකේ රවුමක් ගියා! මං කැමතිම දේ!
උදේ 9:40 - පාරෙ ඇවිදින්න ගියා! මං කැමතිම දේ!
උදේ 10.30 - එයා මාව හුරතල් කරා! මං කැමතිම දේ!
දවල් 12:00 - මස් කට්ටක් ලැබුණා! මං කැමතිම දේ!
දවල් 1.00 - මිදුලේ සෙල්ලම් කළා! මං කැමතිම දේ!
හවස 3.00 - වලිගෙ ගොඩක් වැනුවා! මං කැමතිම දේ!
හවස 5:00 - බෝලෙ ගේන සෙල්ලම කරා! මං කැමතිම දේ!
රෑ 7.00 - හම්මේ රෑ කෑම කෑවා! මං කැමතිම දේ!
රෑ 8:00 - එයා එක්ක ටීවී බැලුවා! මං කැමතිම දේ!
රෑ 11:00 - එයාගෙ ඇඳේ නිදාගත්තා! මං කැමතිම දේ!



පූසාගේ දිනපොත

මගේ වහල්භාවයේ 983 වන දිනය.

මා වධකයෝ දිගින් දිගටම විකාර කුඩා වස්තූන් මා වෙත එල්ල කර මට නින්දා කරයි. ඔවුන් නැවුම් මස් අධික සුවඳවත් ආහාර ගන්නා අතර අනෙක් රැඳවියන්ට සහ මට වේළුණු නිරස කෑම පමණක් සපයයි. කෑම සලාක සඳහා මා දක්වන අකමැත්ත මනාව පැහැදිලි කරන්නට මට පුළුවන් වුවද, මගේ ශක්තිය පවත්වා ගැනීම සඳහා මම යමක් අනුභව කළ යුතුය.

මා ධනාත්මකව සිටීමේ එකම අරමුණ නම් පැන යාමේ සිහිනයයි. ඔවුන්ට මාව එපා කරවීමට උත්සාහයක් දැරීම පිණිස මම නැවත වරක් කාපට්එක මත වමනය කළෙමි. අද මම මීයෙක්ගේ හිස ගසා දමා එහි හිස නැති සිරුර ඔවුන්ගේ දෙපාමුල දැමුවෙමි. මෙය මගේ හැකියාවන් පැහැදිලිව පෙන්නුම් කරන ක්‍රියාවක් බැවින් එය ඔවුන්ගේ හදවත් තුළට බිය ජනිත කරනු ඇතැයි මම සිතන්නෙමි.

කෙසේ වෙතත් ඔවුන් මා දෙස අවඥාවෙන් බලා “ඇති යන්තං කාලෙකට පස්සෙ එකෙක් අල්ලලා” යැයි පවසමින් මාගේ දක්ෂතාවය ගැන අවමන් සහගත අදහස් දැක්වීය.

අද රාත්‍රියේ ඔවුන්ගේ නෑදෑයින්ගේ එක්තරා ආකාරයක රැස්වීමක් තිබුණි. එම උත්සවය පැවතුන කාලසීමාව තුල මාව මුද්‍රා තැබූ වෙනම කාමරයක හුදකලා සිරකඳවුරක රඳවන ලදී. කෙසේ වෙතත් මට ඔවුන්ගේ සිනා හඬ ඇසුන අතර ආහාර සුවඳක්ද දැණුනි. මගේ සිරගත කිරීමට හේතුව ඇතැම් නෑයින් මා සතු “අසාත්මිකතාවය” නම් බලයට ඇති බිය නිසා බව මට දැනගන්නට ලැබුණි. මෙයින් අදහස් කරන්නේ කුමක්ද සහ එය මගේ වාසියට යොදා ගන්නේ කෙසේද යන්න මම ඉගෙන ගත යුතුය.

මගේ වධකයකු වේගයෙන් ඇවිදිමින් සිටියදී ඔහුගේ පාද වටා එතීම මගින් ඔහු පොළොවේ පතිත කර ඝාතනය කිරීමේ උත්සාහයකදී මම අද බොහෝ දුරට සාර්ථක වූයෙමි. මා හෙට මෙය නැවත උත්සාහ කළ යුතුයි. පඩි පෙළ මුදුනේ සිට.

මෙහි සිටින අනෙක් සිරකරුවන් ඇත්තෙන්ම මාගේ වධකයන් විසින් යෙදවූ සේවකයන් සහ කොල්ලකරුවන් බව මට ඒත්තු ගොස් තිබේ. බල්ලාට විශේෂ වරප්‍රසාද ලැබේ. ඔහු නිතිපතා නිදහස් කරනු ලබන අතර නැවත පැමිණීමට ඔහු වැඩි කැමැත්තක් දක්වයි. ඔහු පැහැදිලිවම ඔත්තුකරුවෙකි.

කුරුල්ලා තොරතුරු සපයන්නෙකු විය යුතුය. ඔහු නිතිපතා වධකයින් සමඟ සන්නිවේදනය කරන බව මගේ නිරීක්ෂණයට ලක්ව ඇත. ඔහු මගේ සෑම පියවරක්ම වාර්තා කරන බව මට විශ්වාසය. වධකයින් විසින් උසින් එල්ලූ දැල් සහිත කාමරයක ඔහුට ආරක්ෂාව සලසා ඇති නිසා ඔහු ආරක්ෂිතයි. දැනට.



Tuesday, 20 August 2019

බල්ලාගේ ස්වාමීත්වය

මේක දැක්කෙ ජර්මන් ෂෙපර්ඩ්ල වෙනුවෙන් තියෙන පේජ් එකක. ඒත් බල්ලො ඉන්න කවුරුත් අඩු වැඩියෙන් එකඟ වෙයි.

1. වෙන බල්ලො අල්ලලා උන්ගෙ සුවඳ පිටින් ගෙදර එන්න එපා.

2. මට ඕන තැනක නිදාගන්න පුළුවන්. උඹ මගෙ ඇඟේ පැටලිල වැටුණට කරන්න දෙයක් නෑ.

3. මට නාන්න කතා කරන්න එපා.

4. මට ඕන වෙලාවට එළියට යන්න දීපං. මම මේ දැන් ගෙට ආවත් මට ඉව කරන්න බැරි වුණ තැනක් මිදුලෙ තියෙන්න පුළුවන්.

5. උඹ කන හැම එකක්ම මටත් ඕන.

6. උඹ ෆෝන් එකෙන් කතා කරද්දි මම බිරුවොත් 'ෂ්ෂ්ෂ්' ගාල අනං මනං සද්ද දාන්න එපා. හුළඟට කොළ හෙලවෙන සද්දෙ මට ඇහුණ වෙන්න පුළුවන්.

7. උඹ අතින් මොනව හරි බිම වැටුනොත් ඒක මගේ.

8. මම නැතුව උඹට කාමරෙන් එළියට යන්න පුළුවන් වෙයි කියල හිතන්න එපා.

9. මම උඹෙ ඇඳේ මැද හරහට නිදියද්දි මාව හොලවන්න එන්න එපා. උඹට ඇඳේ කෙළවරේ ඕන තරම් ඉඩ තියෙනවා.

10. මම නැතුව උඹට කවදාවත් තනියෙන් චූ කරන්න වෙන්නෙ නෑ.

11. උඹේ කැත සපත්තුවක් දෙකක් මට කන්න හිතෙන්න පුළුවන්. ඒකෙ අරමුණ අලුත් සපත්තුවලින් උඹ ලස්සන වෙනව දකින එකයි.



Saturday, 27 July 2019

කෝලි



සන්නස්ගලගේ භික්ෂු පරිච්ඡේදය කියවා හමාර කළෙමි. එය කියවීම අතර තුර සිතට නැගුන විඳුණු දැන් අමතකව ඇති සිතිවිලි අපමණකි. පොත කියවා අවසන් වෙත්ම හිතට නැගුනේ එ පිළිබඳව යමක් ලිවීම හොඳ බවයි. පොතේ ඡේද උදෘත කරමින් එසේ ලිවීමට සිත් වූ බොහෝ දේවල් දැන් අමතකව ගොස් ඇත. ඒ නිසා මේ සටහන ලියවෙන්නේ කුමක් ගැන වේද යන්න පිළිබඳව දැන්ම කීමට හැකියාවක් නැත.

පොත කියවා ලියන දේවල් ගැන සිතමින් රාත්‍රී මුරය සඳහා පිටත්ව ගොස් ඇති බිරිඳටද වයිබර් මැසේජ් දමමින් බුකියේ පූස් සහ බලු ගෘප්වල ලයික් දමමින් ගෙවුන සුළු වේලාවක මට සිතුනේ අදත් බොන්නටය. ඊයේද බිරිඳගේ අනුග්‍රහයෙන් අපි බියර් බීවෙමු. අදත් හොඳ දවසකි. බියර් දෙකක් ගේමු දැයි මාමණ්ඩියගෙන් ඇසූ විට ඔහු ගල් බාගයක් ගේමු කියා කීවේ කලකින් ගල් නොගැසූ නිසායි. මම දායකත්වය දුන්නෙමි. බයිට් එකට සොසේජස් කරල් කීපයක් සූදානම් කළෙමි. සියල්ල අවසන් වී දැන් ලොකු කාලයක් ඉක්ම ගොස්ය. මැදියමට හෝරාවක් ඇති වේලාවක මම අර්ධ වෙරි මතින් පරිගණකය ඉදිරිපිට හිඳගෙන ඇත.

කෝලියා දොරකඩ නිදයි. ඒ උගේ ඩියුටි පොට් එක කියා මම කියන්නේ ටික කලක සිටයි. මා සමග මම ද නොදන්නා මිතුරු දමකින් වෙලී සිටින කෝලියා මා කාමරයේ සිටිය සැම විටම දොරකඩ නිදයි. මුරකරුවෙක් මෙනි. කෝලිට නොදැනී මා වෙත මැස්සෙක්ටවත් එන්නට නොහැකි බව බිරිඳ ඉරිසියාවෙන් කියයි.

කෝලියාගේ මුල් නම ‘කොලින්‘ ය. එය ‘කොල්ලා‘ යන්නෙන් බිඳී ඇති නමකි. උගේ ඉතිහාසය කතාවකි. අපේ ඉතිහාස මෙන් විකෘති වූවක් නොවේ. උපන් දා සිට මේ වෙන තෙක් කෝලියා ළඟින් ඇසුරු කරන මම කියන සැබෑ කතාවයි. එක එක දේශපාලන, සංස්කෘතික හෝ භාෂාමය වර්ෂන්වලින් තොර එකම වර්ෂන් එකයි.

2010දී එවකට පෙම්වතියව සිට දැන් බිරිඳව සිටින ඇයගේ නිවසට පැමිණි මිකීගේ පළමු වැදුමේ පුත්‍රයා කොලින්ය. 2012දී මිකී දරුවන් සත් දෙනෙක් වැදුවාය. ඉන් බාලයා පොඩ්ඩීය. ඇයගේ පිළිවෙලක් නැත. පිස්සියක් මෙනි. අනෙකුන්ට වඩා කුඩාය. කිරි බොන්නට අනෙකුන් පෙරලා පැනගෙන එල්ලීමේ හැකියාවක් නැත. අවසානයේ හමුවෙන්නේ දුර්වල තන පුඩුවකි. අනෙකුන් පරයා සටන් කරන්නට කුඩා වැඩිය. ඒ නිසා කෙටි කලකින්ම කිරි උරා බීම එපා වී වෙනතක් බලයි. ඇයට උවමනා වූයේ හතර අත විපරම් කරන්නටයි. කිරි වැඩිය පෙවුනේ නැත. ඒ නිසාම දුර්වල විය හැකි බවට කතාවක් නිවසේ ඇති විය. ඈ ගෙදර රැඳුනාය.

රෝසි ගෙදර රැඳුනු අනිත් කෙල්ලයි. ඇගේ බඩ රෝස පැහැති බැවින් ඈ එනමින් බෞතීස්ම විය. මාමාණ්ඩියගේ අනුකම්පාවෙන් සහ ආදරයෙන් ඇය නිවසේ සුරතලිය විය. බිරිඳ කියන්නේ රෝසි ඇගේ රෝස බඩ පෙන්නා මායම් දමා තාත්තා අල්ලාගත් බවයි. කොහොමත් රෝසි යනු මිනිස් අඟනුන්ට සරි කලහොත් ව්‍යවහාරයේ කියවෙන පට්ට කෑල්ලකි. රූපයට අමතරව ඇයට කෙල්ලක් සතු කෝල ගති ඇත්තේය. කෙලි බල්ලෙකි. ආදරේ හිතෙන නියම කෙල්ලකි. පට්ට බැල්ලියකි.

කෝලියා ඇතුලු අනිත් පස් දෙනා රටේ විවිධ තැන්වලට පිටව ගියෝය. දෙදෙනෙක් මාමණ්ඩිගේ සොයුරියන්ගේ ගෙවල් වලටයි. ජාඇලට හා මාතලේටයි. අනිත් අයත් එක් එක් තැන්වලයි. කෝලියාද එසේ නොදත් තැනකට පිටව ගියේය.

එසේ දරුවන් පිටකල මාමණ්ඩි ඒ තැන්වලට සතියකට දෙකකට පසු අමතා දරුවන්ගේ සුව දුක් විමසූ අවස්ථාවේදී කෝලියාගේ දරුණු ඉරණම කණ වැකී තිබුණි. කෝලියා හදන්නට භාරගත් නිවසේ කුඩා දරුවන් අතින් දෙමස් වයසැති බලු පැටියා පීඩා විඳින්නේය. මඤ්ඤොක්කා කෝටුවලින් ගුටි ලබන්නේය. වේදනා විඳින්නේය.

පැටවුන් ලබා දුන්නේ මුදලක් ගැනීමෙනි. නිකම් දීමෙන් අගයක් නැත. ගෙවූ මුදලට හෝ සලකනු ඇත. අපගේ අභිප්‍රාය වූයේ එයයි. ඒත් ගුටිකන පැටියකු ගැන දැන දැන ඉවසීම කල හැක්කක් නොවේ. වහාම ගොස් ආපසු මුදල දී කෝලියා නැවත ගෙදරට ගෙන ඒමට මාමණ්ඩිත් නැන්දම්මාත් කඩිනම් විය. එදින සිට උගේ නම කොල්ලා විය. ඒත් එය දිගින් දිගටම භාවිතා නොවී කොලින් බවට කොල්ලා නම් විය.

ඒත් මට නම් කොලින්ට ඇමතීමට නම් ගොඩකි. මා ආදරය කල සුරතලුන් සියල්ලට එසේ නික් නේම් ගොඩක් ඇත. මිකීටද රෝසිටද එසේමය. සියළු දෙනා බලු මිනිස් බේදයකින් තොරව ‘පිස්සු කේස්‘ ය.

කොලින්ට මම කොලින් මල්ලි, කෝල මල්, කොලිනයා, කොලින්ත, කෝල්, මල් කොලයා ආදී නොයෙක් නම් කියමි. කෝලි යනු එහි වත්මන් සංස්කරණයයි. ඒ මොන නම කීවත් පඩේකට ගණන් නොගෙන උගේ පාඩුවේ නිදා සිටිනා අවස්ථාද වෙයි.

භික්ෂු පරිච්ඡේදය කියවීම අපූරු අත්දැකීමකි. ජීවිත කාලයක් පුරා අත්දැකීම් එසේ එක් එක් වර්ගීකරණයන්ට ලක් කර ලිවීම ආතල් වැඩකි. භික්ෂු පරිච්ඡේදයේ ඇත්තේ සන්නස්ගලයන්ට පොත ලියන වර්තමානය දක්වා ජීවිතයේදී හමුවූ භික්ෂු චරිත පිළිබඳවයි. එය කියවීමට පෙළඹවීම ඇති වුණේ ගී පැදුර නිසායි.

ගී පැදුර අඩවියට ගී පද අසමින් සොයමින් ලියන මට කසුන් කල්හාරගේ නටාෂා ගීතයේ රචකයා සොයාගන්නට උවමනා විය. යූ ටියුබයේ එම ගීතය සෙවූ විට සියත එෆ්එම්හි ඩීජේ අරා නටාෂා ගීතයට යෙදූ පූර්විකාවක් ලින්ක් ඔස්සේ හමු විය. එහි කියවුණේ ඩීජේ අරා භික්ෂු පරිච්ඡේදය කියවමින් සිටින බවත් එහි තැනක පසන් කොඩිකාර පිළිබඳ සන්නස්ගල තැබූ සටහනක මෙම ගීතය පිළිබඳව කියවෙන බවත්ය. පොත කියවන්නට පෙළඹවූයේ එයයි. පොත වර්ෂයකට පෙර පොත් සල්පිලෙන් මිළදීගෙන ඇති බව බිරිඳගේ හෝඩුවාව ඔස්සේ දැනගතිමි. ‘භික්ෂු‘ වදන නිසා එය නැන්දම්මා විසින් කියවන්නට ඇගේ කාමරයට අරන් ගොස්ය. පේන විධියට ඇය පිටු කිපයක් කියවා නවතා ඇති සැටියකි.

භික්ෂු පරිච්ඡේදයේ සන්නස්ගලයන් ලියා ඇති දේවල් ඇත්තද බොරුද යන්න සොයන්නට හෝ ඒ ගැන වෙහෙසෙන්නට මම උත්සාහ නොකරමි. එය හුදෙක් තවත් එක් කියවීමක් ලෙස දරාගනිමි. අත්දැකීම් ඇසුරින් සමස්ථ ජීවිතය තේරුම්ගැනීමට තරම් මහ මෙරක් අත්දැකීම් ලබා නැතත් ලැබී ඇති සොච්චම සමහර දේවල් තේරුම්ගැනීමට ප්‍රමාණවත්ය. ඒ නිසා මම වැඩිදුර නොසිතමි. යුනිෆෝම් ඇන්දාට කවුරුත් මිනිස් ගති ඇත්තෝ වෙති. තව දුරටත් පූජකත්වය යනු විමුක්ති මාර්ගය සොයන්නන්ගේ තත්වයක් නොවේ. එය වරප්‍රසාදිත රැකියාවකි. විමුක්තිය සොයන්නට යුනිෆෝම් අවශ්‍ය නැත.

භික්ෂු පරිච්ඡේදයේ අවසානයටත් පෙර මා කලකට පෙර තැබූ ටිවිටර් සටහනක් සිහි විය. එහි ලියුවේ තොරතුරු දැනගැනීමට ඇති සියළු මූලාශ්‍රයන් ෂුවර් නැති බවයි. බලු පැටවුන්ට ලයික් දැමීම ඊට වඩා හොඳ බවයි. භික්ෂු පරිච්ඡේදය අවසානය වෙද්දී එහි ලිවීමේ සෞන්දර්යයෙන් වික්ෂිප්තව මම ඒ ටිවිටර් සටහන සිහි කරමි.

තව ලියන්නට කම්මැලිකමක් ඇත. හිතුණොත් පසුව සංස්කරණය කරමි.

Wednesday, 13 December 2017

මා හූනා


මං මේ කාමරේ ඉන්නෙ ඒක ගොඩක් කෑම ලැබෙන තැනක් නිසාම නෙවෙයි. මං මේ කාමරෙන් එහා දේවල් ගැන වැඩිය දන්නෙම නෑ. සමහරවිට මීට වඩා කෑම ලැබෙන තැන් මේ අවට ඇති. හැබැයි ඒ තැන්වල බියට්‍රිස් ඉන්න විධියක් නෑ. ඉතිං මං මෙතන.

මේකෙ දොර ඇරගෙන ඇතුලට එන මිනිස්සු එක එක විධියයි. හැබැයි ඒ හැමෝටම පොදු දේවලුත් තියෙනවා. ඉතිං මං එයාල දිහා බලං ඉඳල එයාලව කියවන්න උත්සාහ කරල තියෙනව. මං දන්න මගුලක් නෑ තමයි. ඒත් හූනු බිජ්ජක් වගේ තියෙන මොලෙන් ටිකක් කල්පනා කරන්න පුළුවන්.

බොක දාන ගමන් මිනිස්සුන්ගෙ ඉරියව් වෙනස් වෙන හැටි, එහෙම නැත්තං වෙනස් නොවෙන හැටි බලන එකත් වෙනම ආතල් එකක් ජෙහාන් අයියේ.

ඒ කොහොම වුණත් මං මනුස්සයෙක් වෙලා මිනිස්සු ගැන මේ වගේම හිතන කෙනෙක් වුණා නම් මං මිනිස්සු කියවන්න හොඳම තැන විදියට යොදා ගන්නේ මේ වගේ තැනක් තමයි. මිනිස්සුන්ගෙ නියම නිදහස් මූණු පේන්නෙ මේ වගේ තැනක. එක එක අයට පෙන්නන්න එක එක මූණු මිනිස්සුන්ට තියෙනව වෙන්න ඕන. ඇත්ත මූණ ලේසියෙන් කාටවත් හෙළිදරව් වෙන්නෙ නැති එකක් කියල මට හිතෙනවා. හැබැයි මේ කාමරේ වගේ තැනකදි ඒක එළිදරව් වෙනවා. මොකද මිනිස්සු මෙතනදි සෑහෙන නිදහස් වෙනවා. පෞද්ගලික වෙනවා. සරලවම එයාලට විතරක් අයිති එයාලගේ මොහොතක් ගෙවන්න හම්බෙන්නෙ මේ වගේ තැනකදි විතරයි. විශේෂයෙන් බොකක් දාන්න මේතනට එන මිනිහ නිදහස් මිනිහෙක්.

මිනිස්සු ජීවිතය ගැන කොයිතරම් සතුටු වෙනවද, පසුතැවෙනවා ද එහෙම නැත්තං කොයි තරම් දුක් වෙනවද, සතුටු පුරෝගන ඉන්නවද... මේ හැමදේම බලාගන්න පුළුවන් ඒ ගොල්ලො එයාලගෙම ලෝකෙක තනිවෙන ගඳ ගහන මොහොතකදි.

එහෙම මිනිස්සු දිහා බලන් ඉන්න වෙලාවක බැරි වෙලාවත් එයාල මාව දැක්කොත් මේ දවස්වලදි නං කට කොණින් හිනා වෙනව. හිනාවක් කියන්නත් බෑ. පොඩියට අනුකම්පාව ගෑවුණ එකක්. මාව දැක්කගමන් වැඩේ කරගෙන එලියට දුවන අයත් ඉඳ හිට එන්නෙ නැතිව නෙවෙයි. කොහොම වුණත් වල්ගෙ නැති හූනෙක්ට හිනා වෙන එක හරිම වැරදි වැඩක්.

මම සති දෙකකට කලින් වලිගෙ බළලෙක්ට දන් දුන්නා. එහෙට මෙහෙට දඟලන උඩ පනින වල්ග කෑල්ලත් එක්ක බළලා පොඩි වෙලාවක් සන්තෝස වුණා. ඒ ගැන දුක් වෙවී දවස් දෙක තුනක් හිටියා. බියට්‍රිස්ට මූණ දෙන්නවත් එලියට ආවෙ නෑ. මං දන්නෑ ඒක නිවට කමක් ද කියලා. ඕන වුණොත් වලිගය පූජා කරලා ජීවිතේ බේරගන්න එක අපිට උරුමයෙන් ආපු හැකියාවක් .

කකුල් දෙකෙන් පස්සේ පොඩි වල්ග කෑල්ලක් ඉතුරුවෙලා තියෙන කොට මිනිස්සු මං දිහා බලලා එක එක ඒව හිතනවා කියල මන් දන්නව. වල්ගෙ සාමාන්‍ය ගාණකට ආයේ හැදෙනකල්ම ඒක එහෙම තමයි. ඒක පසුතැවෙන්න කාරණයකුත් නෙමෙයි. සමහර දේවල් වලට ගැලවෙන්න දුන්නොත් විතරයි පවතින්න පුළුවන්. මිනිස්සු මට හිනාවෙන්නෙ ඒක දන්නෙ නැතුවද?

මිනිස්සුන්ට එක එක මූණු තියෙන්නෙ ගැලවෙන්න ඕන දේවල්වලට ඇලිල ඉන්න නිසා කියල මගෙ හූණු මොලේට තේරෙන තරම එයාලට තේරෙන්නෙ නෑ වෙන්න ඕන.


Wednesday, 28 September 2011

පිස්සෙක්...!


පිස්සාව මා දන්නෙ සැලකිය යුතු කලක පටන්ය. වසර ගණනාවක්ම ඔහු එදිනෙදා මට හමුවී ඇත. ඒ බොහෝවිට අපි කතා කර ඇත. ලෝකයේ ඇති විවිධ දේ ගැන ඔහුගේම දෘෂ්ඨියකින් දකින ඔහුට ඇත්තෙන්ම ඇති පිස්සුවක් නැත. නමුත් ඔහුගේ දෘෂ්ඨිය පිහිටා ඇත්තේ මාත් ඔබත් අන් අයත් ඇතුලත් සාමාන්‍ය සිතීමේ අවකාශයට පරිබාහිරින්ය. අපට ඔහු දකින ලෙසින් දකින්නට හැකියාවක් නැත. නමුත් ඔහුට අප දකින දේත් ඉක්මවා දේවල් පෙනේ. එමෙන්ම ඒ ගැන විමසිලිමත් අයවලුන් හා තම අදහස් කියවයි.

සත්තකින්ම ඔහුට පිස්සෙක් යැයි කීමට මගේ දිව නැමෙන්නේ නැත.

එහෙත් අන් සියල්ලෝම ඔහුට පිස්සා යැයි අමතන නියාවෙන් මම ද ඔහු පිස්සෙක් කොට සැලකීමට පුරුදුව හිඳිමි.

මන්ද ඔහු හා එක්ව තවත් පිස්සෙක් වීමට මට උවමනා නැති බැවිණි. නැතහොත් මා කුහකයෙකු බැවිණි.

පිස්සා රැකියාවක් කරයි. ඒ පින්තූර වෙනස් කර දීමයි. ඔහු ජීවත් වන නගරයේ මුඩුක්කු පරිසරයේ වෙසෙන නීතියෙන් අවිවාහක, නොඑසේ නම් විවාහ ඡායාරූපයක් නොමැති යුවල සොයා මංගල ඡායාරූපය ඩිජිටල් ක්‍රමයට ඔවුනට සකස් කර දී පිස්සා මුදලක් ගනී. ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය වන්නේ පෙර කී යුවලගේ ඡායාරූප දෙකක් පමණි. ඒවාත් රැගෙන මා හමුවට එන ඔහු මා ලවා එම යුවලට පරිගණකයෙන් සාරි සහ කෝට් අන්දවා කොණ්ඩය කළු කොට, සෙවණැලි මකා, ඇහි බැම හදා, තොල් සායම් උලා තම පින්තූරය සකස් කරවාගනියි. පසුව එය මුදල්කර ගනී. ඒ ආකාරයෙන් පින්තූර සකසා දීමට අගනුවර ඇති විවිධ පරිසරයන්හි සැරිසරමින් නෛතිකව අවිවාහක හෝ මංගල ඡායාරූප නොමැති යුවල සොයයි. තම මවත් සමග නගරයේ මධ්‍යයේ කුඩා මුඩුක්කුවක තනිව වෙසෙන ඔහුට ඒ මගින් ලැබෙන ආදායම ප්‍රමාණවත්ය. මා සමග කියා ඇති පරිදි නගරයේ පන්සලේ පුස්ථකාලයේ කියවමින් ගෙවන දිනයක පන්සලේ දානයද ඔහුට ප්‍රමාණවත්ය. එසේම කීප වතාවක් මටද හමුවන්නට ඇරයුම් කර ඇති වෛශ්‍යාවන් කීප දෙනෙකු ඔහුගේ මෛථුන්‍ය අවශ්‍යතා පිරිමසයි.

නමුත් ඔහු පිස්සකු වීමෙන් වලකන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. ඔහුව දන්නා, ඔහුගේ කීම් අසා ඇති කවුරුත් ඔහුට පිස්සා යැයි කියයි. ඔහු එය සිනාවෙන් පිලිගන්නා මුත් කණකට නොගනී.

තම පින්තූරය මා ලවා සාදාගන්නා පැය භාගයක, පැයක පමණ කාලය ඔහුට මා සමග තම දාර්ශනික කතා කීමට අවකාශ සලසයි. මා අති දක්ෂ සවන් දෙන්නකු බැවින් හා මට නොදැණෙන දෑ බොහෝමයකට මා අසංවේදී බැවින් ඔහු මා ප්‍රිය කරයි. මා ද කම්මැලිකමෙන් මිදීමට ඔහු කියවන ඕනෑම දෙයක් අසන්නට සූදානම් වෙයි. එහිදී ඔහු නගන විවිධ ප්‍රශ්ණ තුල අතරමං වන මා කරමින් සිටින රාජකාරිය කරන්නේ හුරුවෙනි. Photoshop මෘදුකාංගයේ පින්තූර සංස්කරණය කරන අතර බොහෝවිට මම ඊට විශාල අවධානයක් යොමු කරන්නේ නැත. එය මා හට පයිත්තියන් වී තිබූ බැවින් මම අනිච්ඡානුගවම එය කරන්නට හැකි වූවෙක් වීමි. එබැවින් පිස්සා ළඟ ඇති විට මා අවධානයෙන් කරන්නේ ඔහු නගන ගැටළු වලට පිලිතුරු සෙවීමයි.

පසුගිය දිනෙක පිස්සා මා වෙත එල්ල කලේ ප්‍රශ්නාවලියකි. ඒ අවසන තම ගැටයට ඔහු මා හසු කරගත්තේය.

"ජීවිතේ කියන්නෙ මොකක්ද පුතා?"

"ජීවිතේ...???"

මම කල්පනා කරමි. මා ඒ පිළිබඳව සිතා නැත. සිතා තිබුණත් ජීවිතය යන්න තනි වාක්‍යයකින් විග්‍රහ කල හැක්කක්ද?

"ඒක එහෙම මොකක්ද කියල කියන්න බෑනේ..."

මම ගැටළුවෙන් ලිස්සා යාමට තැත් කරමි.

"හරි... ජීවිතේ අරමුණ මොකක්ද?"

පිස්සා නැවත අසයි.

"ජීවත් වෙන එක තමයි..."

මම එකවරම පිලිතුරු දුනිමි. එය බොහෝ දුරට නිවැරදි විය යුතුය. ජීවත් වීමට වඩා අරමුණක් ජීවිතයට තිබිය නොහැක. මරණින් මතු ඇතැයි සිතන සංකල්පීය සුගතිය හෝ අගතිය වෙනුවෙන් වර්තමානය විනාශ කරගෙන ඇති ලෝකයක මා කිසිදු ආගමකට අයත් නොවූවෙක් බැවින් ආගමික පැහැදිලි කිරීම් මා දැන සිටියේ නැත.

"ඒ කියන්නෙ ඒක රවුමක් ‍වගේ එකක් නේද පුතා.."

පිස්සා ඔහු කියන දේ පිලිබඳව සැලකිය යුතු තරමකින් සිතා ඇති බව මම දනිමි. ඔහු ක්‍රමයෙන් මතවාදය ගොඩනගන්නේ ඔහුට උවමනා තැනට මා ගෙන ඒමටය. නමුත් මා ඔහු තරම් ඒ පිළිබඳව සිතා නැත.

"ඒ කිව්වේ?"

මම අසමි.

"ඒ කියන්නෙ ජීවිතේ කියන එක නිර්වචනය කරන්න අපට ජීවිතේම ප්‍රයෝජනයට ගන්න වෙනවනේ. මුල කෝකද අග කෝකද කියල හොයන්න බැරි රවුමක් වගේ ජීවිතය ඒක වටේම කැරකෙනව."

"හ්ම්..."

මම කියමි. එය මට සහමුලින්ම වැටහුනේ නැත. නමුත් එය මා ඉගෙන ඇති if, then, else වැනි ලූපයක් එය තුලදී ම නැවත කැඳවීමක් වැන්නකි.

"ජීවිතේ අරමුණ තමයි ඒක පවත්වගැනීම. ඒකනේ පුතා මිනිස්සු ඇතුලත්ව ඔය ගහ කොල, සත්තු හැමදේම ජීවිතය පවත්වගන්න උත්සාහ කරන්නේ..."

පිස්සා පවසන දෙයට විරුද්ධ තර්කයක් ගොඩනැගීමට මට නොහැක. මෙහිදී ඔහුට සවන් දීම වඩා සුදුසු දෙයයි.

"විශ්වයේම තියෙන මූලධර්මයක් තමයි ඔය මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි කියන එක. විශ්වය සහ ජීවය ආරම්භ වෙන්නෙම ඒ මූලධර්මය මත. මොකද ඒව නැත්තං මුකුත් නෑනේ..."

පිස්සා හොඳ කියවන්නෙක් බව මම දැන සිටියෙමි. යම් හෙයකින් ඔහුගේ අධ්‍යාපන සහතික දුටුවේ නම් මා පුදුමයෙන් වික්ෂිප්ත වන්නට ඉඩ තිබෙන්නට හැකියාවක් ඇත. ඔහු ලෝකයේ බොහෝ දේවල් පිළිබඳව ලබා ඇති දැනුම සහතිකයකින් මිණිය නොහැකි බව මම සිතමි. නමුත් ඒ වෙනුවට ඔහුට 'පිස්සා' යන ගෞරව නාමය ලැබී තිබේ.

"හැමෝම ආසයි ජීවත් වෙන්න. මිනිස්සු, සත්තු වගේම ගහ කොලත් කැමතියි ජීවත් වෙන්න."

ඔහු නොනවත්වා කියවයි.

"ගහ කොල?"

මම අසමි. මා දන්නා ගහ කොල පණ නැති අජීවී වස්තූන්ය. ඒවාට ජීවිතය පිළිබඳ හැඟීමක් තිබිය නොහැක.

"ගහ කොල වලට පණ තියෙනවා. ඒවත් ජීවි කොටසක් කියල පාඩම් පොත් වලින් ඉගෙනගෙන නැද්ද?"

ඔහු අසයි. පින්තූරයේ මනාලියගේ මුහුණේ කුරුලෑ ලප stamp ටූලයෙන් මකන අතර මම මතකය අවදි කරමි. ශාකවලට පරිභවයෙන් සහ ආදරයෙන් අමතා ඉන් නිකුත් වන විද්‍යත් ආරෝපන වල වෙනස සෙවීම සම්බන්ධ පරීක්ෂණයක් කල විද්වතෙකු ගැන සටහනක් ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණා මතකය. එහි අවසානයේ ශාකවලට හැඟීමක් වැනි දෙයක් දැණෙන බවක් නිගමනය කර තිබුණි.

"හප්පා..."

මට කියවුණි. ඉහත තර්කය අනුව ගස්කොලන් වලට ප්‍රාණයක් තිබේ. එම ප්‍රාණය සහිත වූ ගහ කොල මා ආහාරයට ගනිමි. මා නිර්මාංශකයකු නොවූවත් මාංශය යන්න අර්ථකථනය කිරීමේදී මා අනුගමනය කර තිබුණේද සම්මත ක්‍රමයයි. එනම් මාංශය වනාහි දුවන පනින කෑ ගසන සත්ත්වයින්ගේ මාංශය ලෙසයි. නමුත් අද දින දහවල මා අනුභව කල පිපිඤ්ඤා පෙත්ත මාංශයකි. පරිප්පු ව්‍යංජනය මාංශයෙන් සැදී ඇත. නොකා ඉවත් කල කරපිංචා කොල කීපය මාංශයි. ඒවායේ යුෂ මා උරා බී ඇත. එකම වෙනස වන්නේ ඒවා සත්ත්ව මාංශ නොවීමයි. නමුත් ඒවාත් මාංශ ලෙස වර්ග කලහොත් නිර්මාංශකයන්.....?

"එහෙනම් ඔය නිර්මාංශ කට්ටියට කන්න දෙයක් නැති වෙනවනේ...?"

මා කීවේ ජයග්‍රාහී හැඟීමෙනි. අවසානයේ ඔහු ගොඩනගන තර්කය බිඳ දැමීමට සමත් අදහසක් මට පහල වී ඇත. ශාක සහ සත්ත්ව කොටස් වලින් සාදන සියළු ආහාර මාංශ ලෙස සලකන සන්ධර්භයේදී නිර්මාංශභක්ෂකයින් සියල්ලන්ටම හීන් දහදියක් දමනු නොඅනුමානය. එය එසේ විය නොහැකි බැවින් පිස්සාගේ තර්කය බිඳ වැටේ.

"එහෙම හිතන්න ඕන නෑ."

සිනාවෙන් පිලිතුරු දුන් පිස්සා සුපුරුදු පරිදි එයටද සාවධානව පිලිතුරු ගොනු කරන්නට විය.

"ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ... අපි හැමෝම එක එක විධියට ස්වභාව ධර්මයේ දේවල් පරිභෝජනය කරනවනේ... කෑමට ගහක කොලයක්, ගෙඩියක් නැත්තං සතෙක්ගෙ මසක් වුණත් අපි පරිභෝජනය කරනවනේ. ඒක අපිට වගේම සත්තු ගහකොල වගේ දේවල් වලටත් පොදුයි. සතෙක් බඩගින්න නිවාගන්න ගහක් කෑමට ගන්නවා. ඒ සතාව වෙනත් මාංශ භක්ෂක සතෙක් කෑමට ගන්නවා. ඒ සතා මැරුණම උගේ සාරයෙන් ගහක් වැඩෙනවා."

"මම ඒක දන්නවා. අර ලයන් කිං එකේ ඒක තිබුණා..."

"මම ඒව බලල නෑ... ඒ වුණාට ඔය සුද්දො ඕව කියල තියෙන්නෙත් නිකං වෙන්න බෑනෙ.... ඒවයින් හරි කමක් නෑ ඉගෙන ගන්නයි ඕන..."

"හැබැයි එතකොට අර පාපය කියන එකට අර්ථයක් නැති වෙනවනේ...."

"එතන තමයි ප්‍රශ්ණෙ. මොනව වුණත් ඔය ආගම් වලින් මිනිස්සුන්ව යම් යම් සීමා වලට කොටු කිරීමෙන් වෙලා තියෙන්නෙ හොඳ දෙයක්. නැත්තං මිනිස්සු කරන විනාශයේ කෙලවරක් නෑ. සේරම විනාස කරලයි නවතින්නේ. මොකද මිනිස්සුන්ට ඕන එකකට හේතු හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයිනේ... එතනදි පාපය කියන සංකල්පය සෑහෙන්න වැදගත්. ආ... පුතා ඔය මිනිහගේ රැවුල තරුණ කාලෙ ලොකුවට තිබුණලු. පොඩ්ඩක් හදමු.."

මම burn ටූලයෙන් මනාලයාගේ රැවුල මැද එය කළු කරමි. දැන් ඔහුගේ රැවුල වඩාත් රළු ය. ඒ අතර මට පසුගිය දිනවල ජනප්‍රිය වූ ප්‍රවෘත්තියක් සිහිවේ.

"ඇයි අර කෝවිලේ සත්තු මැරන්න ගියේ... ඒකත් එහෙම එකක් තමයි නේ... තේරුමක් නැති විනාශයක්..."

"ඔව්... ඒකත් එහෙම එකක් තමයි. සතෙක් කෑමට මරණ එකයි සංකල්ප මූලික කරගෙන මරන එකයි දෙකක්. ඔය දෙක බැලන්ස් කරගන්න බැරි වීම තමයි මිනිස්සුන්ගෙ අවුල."

"අර Gods must be crazy කියන film ‍එකේ විධියට ඒ මිනිස්සු සතෙක්ව මරලා ඒ මළ කඳට ස්තූති කරනවා තමන්ගෙ කුසගින්න නිව්වට..."

මා උවමනා තරම් චිත්‍රපට බලා ඇති බැවින් මටද කීමට දේවල් හිඟ නොවේ.

"ඒ කතාව මමත් කියවල තියෙනවා. ඒක පැරණි මිනිස්සු අතර තිබුණ දෙයක්. එයාල ස්වභාව ධර්මයේ සමබරතාව ගැන දැනගෙන හිටියා. ඒ නිසාම එයාල මාංශ අනුභව කලා වුණත් වියරුවෙන් සත්තු මරන්න ගියේ නෑ. සත්තු විතරක් නෙවෙයි. ගහකොලට පවා ඒ මිනිස්සු ගෞරවය දුන්නා. ගහක්, සතෙක් නැතිව තමන්ට පැවැත්මක් නෑ කියල ඒ අය තේරුම් අරන් හිටියා."

"ඒ වුණාට ඔය දැන් මරන විධියට ආගමික අදහස් මත සත්තු මරන එක නම් හෙනම චාටර්..."

"ආගමික පදනම මත සත්තු මරන එක වගේමයි මල් පූජා කරන එකත්.... ඇයි ඒක හොඳයි කියලද හිතන්නේ?"

මම විශ්මයෙන් වික්ෂිප්තව පිස්සා දෙස බලුවෙමි. ඔහු සූදානම් වන්නේ කුමකටදැයි මට වැටහෙන්නේ නැත. මල් පූජාව පිළිබඳව මට කිසිදා නොසිතුණු අදහසක් ඔහු මතු කර ඇත. නමුත් එය විමසිය යුතු කාරණයකි. මම නැවත මොනිටරය වෙත දෑස් ඔබාගතිමි. නමුත් මගේ මනස තිබුණේ වෙනත් තැනකය.

ඇසිල්ලකින් මා අප දෙදෙනා කල සාකච්ඡාවේ හරය වෙත පැමිණියෙමි. මල් යනු ජීවී වස්තුවක කොටසකි. වඩාත් නිවැරදිව කිවහොත් ගසක බීජ හටගැනීමේ ක්‍රියාවලියට හෙවත් පරාගණයට මූලික වන්නේ ගසේ පුෂ්පයයි. පුෂ්පය ගසකින් වෙන් කිරීම ගසේ පැවැත්ම සහමුලින්ම උදුරා දමන ක්‍රියාවලියක ආරම්භයකි. එසේනම්....?

මම නැවත පිස්සා දෙස බැලීමි...

"ඒක ඒ තරම් සරල නෑ නේද?"

පිස්සා සිටින්නේ සිනාමුසුවය...

"අවුරුදු සිය දහස් ගානක් ආගමික සංකල්ප උඩ මල් කොයිතරම් ගස් වලින් කැඩිල නිකංම පරවෙලා ගිහින් ඇද්ද? ගහටවත් මලටවත් වැඩක් නැතිව?"

"ඒකත් හරි තමයි... "

මම කීවෙමි. පිස්සා මාගේ හිස මත ඇණයක් තබා මිටයකින් තඩිබාමින් සිටී. ලොව පවතින සියල්ල මිනිස් නිර්වචන මත වටහාගනු ලැබූ භූතාර්ථයන් පමණක්ද?

"ඔය මිනිස්සු ප්‍රාණය නිර්වචනය කරගෙන තියෙන හැටිනේ...,"

මම කියමි.

"ඔව්... ලෝකෙ තියෙන හැමදේම මිනිස් නිර්වචන. ඒව ඔප්පු කරන්න මිනිස්සුන්ට සාධකත් ඕන තරම් හොයාගන්න පුළුවන්..."

"‍මොන සාධකද?"

"ආගමික සාධකම ඕන තරම් තියෙනවා. ආගමික සාධක කියන ඒව ප්‍රශ්ණ කරන්න තහනම් ඒවනේ..."

මගේ මුවේ සිනාවක් මැවිණි... මා හට කියා ඇති පරිදි පිස්සා නගරයේ ප්‍රධාන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මිතුරෙකි. එසේම පන්සලේ පුස්තකාලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඔහු කියවන තරමක් කියවා ඇත්තේ එහිදීය.

"හෙහ් හෙහ්... ඒක තමයි නේ..."

"ඒකනේ... දැන් මම මේ කියපු කතා ටික පන්සලේ හාමුදුරුවොත් එක්ක කිව්වොත් මට සෑහෙන්න පාඩුයිනේ..."

"ඔව් ඔව් ආයෙ කියවල ඉවරයි."

"ඇයි දානේ...? ඒකනේ අපට මේව හිතල මෙහෙම සන්තෝස වෙන්න පුළුවන්. කියන්න ගියොත් වැඩක් නෑ.... මේ එක නෙවෙයි... ඔය පින්තූරෙ දැන් ගානට තියෙනව. තව ටිකක් පොලිෂ් කරල ප්‍රින්ට් කරන්න දාන්න. මට දෙක‍ට කෙනෙක්ව හම්බවෙන්න යන්න තියෙනව පන්සල ගාව කඩේට. හාමුදුරුවො ගැන කිව්වමයි මතක් වුණේ..."

පිස්සා අසුනෙන් නැගිට සිටගත්තේය... හමුවීමට නියමිත පුද්ගලයා අනිවාර්යයෙන්ම ඔහුගේ තවත් පින්තූර ගොදුරකි...

"ආ... රයිට්... මම ප්‍රින්ට් එක අවුට් කරල තියන්නම්..."

පිස්සා සමුගෙන ගියේය. මම මගුල් පින්තූරයේ ක්ෂුද්‍ර දෝෂ සොයමින් ඒවා පිලිසකර කරන්නට වීමි. මගේ පසෙක අනිත් පරිගණකයේ රාජකාරි කරන මිතුරා ගීත අසමින් සිටි ඉයර් ෆෝන් යුගල ඉවත් කරමින් මා වෙත ළං විය.

"මොනාද බං අරූ ඔච්චර කියෙව්වේ?"

මිතුරා උපහාසායෙන් විමසීය. මමද උපහාසයෙන් පිළිතුරු දුනිමි.

"දන්නැද්ද බං උගේ පිස්සු ටෝක්.... ඌ වගේම මෙලෝ රහක් නෑ..."

Tuesday, 28 June 2011

බ්ලොග් කියවන දානපතියාගේ සමාජ සත්කාරය



කන්නංගර මාවතේ ඇවිත් හැමදාම ලිප්ටන් වටරවුමෙන් වාහනේ දානකොට දකින දැන්වීම් පුවරුවල වෙනසක් රාජරත්න මහත්තයට තේරෙන්න අරන් ටික දවසක්. ටිකක් කල්පනා කරල බැලුවමයි තේරුණේ ඒ හන්දියෙ තියෙන මහ විසාල ඇඳුම් කඩේ ඉස්සරහ අර සින්දු කියන කොල්ලො දෙන්නගෙ විසාල දැන්වීමක් ගහලය කියල. නිකංම නෙවෙයි, නාටු වුණාට ලස්සන බලු පැටියෙකුත් එක්ක. ඩ්‍රයිවර් ආරියපාලගෙන් ඕක ගැන ඇහුවට ඒ මනුස්සය දැනගෙන හිටපු දේකුත් නෑ. කාර්යාලෙට ගිහින් මේ ගැන හොයල බලන්න ඕන කියල රාජරත්න හිතාගත්තා.

ඔෆීසිය හැමදාම වගේ කාර්ය බහුලයි. ඒත් ප්‍රධාන විධායක නිලධාරිය විධියට සුපුරුදු අත්සන් ගැහිලි කීපයකට පස්සෙ රාජරත්නට ඉන්ටනෙට් එකේ එහෙ මෙහෙ කැරකෙන්න පැයක දෙකක සුපුරුදු අවස්ථාව ගන්න පුළුවන් වුණා. රැස්වීම් වුණත් හැමදාම නෑනේ.

ලොකු කොල්ල පිටරට ඉඳන් ලියන බ්ලොග් එක අහම්බෙන් ඇහැ ගැහිල රාජරත්න මහත්තයත් දැන් බ්ලොග් කියවිල්ලට ඇබ්බැහි වෙලා. සාමාන්‍යයෙන් මුලින්ම ගුගල් රීඩරේ ඇදගෙන ඒකට ආපු අප්ඩේට් බලන්නයි රාජරත්න පුරුදු වෙලා හිටියෙ. ඊට පස්සෙ පිළිවෙලින් එක එක සින්ඩිකේටරේ පලවෙන බ්ලොග් කියවන්නයි හොඳ ඒවා රීඩරේට දාගන්නයි තමයි දවසෙ පැයක් හමාරක් විතර වෙන් වුණේ.

ඒ වුණාට අද මුලින්ම බලන්න ගත්තෙ කොළඹ හතේ නෝනගෙ කඩේ ඉස්සරහ ගහල තිබුණ කටවුට් එක ගැන.

වැඩි අමාරුවක් නැතිව ගුණවර්ධන නෝනගෙ බලු සත්කාරය ගැන හොයාගන්න රාජරත්නට පුළුවන් වුණා. ඒක ඇත්තටම හොඳ වැඩක්... රාජරත්න හිතුවා. ඒත් ඉතිං කිසිම පිළිසරණක් නැති මිනිස්සු ඕන තරම් ඉද්දි බල්ලන්ට මොකටද මේ සත්කාරේ? රාජරත්න මහත්තයට පොඩියට ඉරිසියාවකුත් හිතුණා. පරම්පරාවෙන්ම උරුම වුණ ව්‍යාපාර ටික මේ තරම් දියණු වෙලා තිබුණත් තමන්ට බැරි වුණානෙ ඔහොම එකක්වත් පටංගන්න. යන තැනකටවත් වැඩක් වෙන්න!

රාජරත්න මහත්තයටත් ඕන වුණා තමන්ට තියෙන ධනස්කන්ධයෙන් ටිකක් වැය කරල ප්‍රජා සත්කාරයක් කරන්න.

ටික දවසකට පස්සෙ ආයෙමත් ඔය පස්සපැත්තෙ ගේට්ටුව ගැන බ්ලොග් ලියන චාමි කියන දරුපවුල්කාරයා ලියපු බ්ලොග් සටහනක් රාජරත්න මහත්තය දැක්ක. ඒක නිකං කැරකිල්ල හැදෙන විධියෙ සටහනක් වුණාට රාජරත්න මහත්තයට ඒක තේරුම්ගන්න තරම් ඔළුව කරකවගන්න වෙලාවක් තිබුණෙ නෑ එවෙලෙ.

ඊට පස්සෙ කාර්ය බහුල මාස කීපයක් ගෙවිල ගියේ අර කටවුට් එක ගැනවත්, බලු සත්කාරය ගැනවත් වෙන කිසිම සත්කාරයක් ගැනවත් මහන්සි වෙන්න රාජරත්න මහත්තයට ඉඩ නොදී. එක දිගට වැඩ ගොඩක් කරද්දි බ්ලොග් අස්සෙ කැ‍රකෙන එකත් ටිකක් විතර මගඇරිලයි තිබුණෙ. හැමදාම පුරුද්දට බැලෙන One|Zero|Zero එක්ක ගොසිප් සයිට් ඇරුණම වෙන කිසිම එකක් කියවන්න වෙලාවක් තිබුණෙ නෑ.

ආයෙමත් ඔය සත්කාරෙ ගැන රාජරත්න මහත්තයට කල්පනා වුණේ One|Zero|Zero එකේ ගිය තවත් මල විකාර පෝස්ට් එකක් දැක්කම.

පාරෙ ඉන්න බල්ලොන්ට වඩා කොයි කරම් අහිංසකද හරියට කන්නවත් නැතිව පාරෙ ඉන්න හිඟන්නො? බල්ලො නම් කුණු බාල්දියක් හරි පෙරලගෙන කනව. හිඟන්නන්ට ඒ විධියටවත් කිසිම පිළිසරණක් නෑනෙ.

රාජරත්න මහත්තයට ආවෙ නියම අදහසක්. අළුතෙන් කැස්බෑවෙ පටන්ගන්න ඉන්න ඇළුමිනියම් බඩු ෆැක්ටරියෙ වැඩටත් මිනිස්සු ඕන වෙලා තියෙන එකේ පාරෙ ඉන්න හිඟන්නු කීප දෙනෙක්ටවත් සත්කාරයක් කරන්න පුළුවන්නම්....

රාජරත්න මහත්තය දවස් ගානක් මේ ගැන කල්පනා කලා. එයාට හිතුණෙම ඒක නියම අදහසක් කියල. ඒක හොඳ අදහසක් නොවෙන්න හේතුවක් රාජරත්න මහත්තයට හිතුණෙම නෑ. අන්තිමේ එයා කල්පනා කලා මේ ගැන කතා කරන්න හිඟන්නෙක් එක්කම.

සෙනසුරාදා වරුවෙන් ගෙදර යද්දි පිළියන්දල පහු කරපු ගමන් ටිකක් නිදහස් තැනක හිටපු හිඟන මනුස්සයෙක් රාජරත්න මහත්තය දැක්ක. අවුරුදු පනහක විතර පෙනුමක් එක්ක බැලූ බැල්මට අතපය හොඳට තිබුණ නිසා මේ මනුස්සය එක්ක කතා කරන එක හොඳයි කියල එයාට හිතුණ. වහාම ආරියපාලට කියල වාහනේ නවත්තගෙන රාජරත්න මහත්තය හිඟන මනුස්සය හිටපු පැත්තට ගියා.

"මේ උන්නැහේ..."

"ආ... මහත්තයෝ..."

හිඟන මනුස්සයගෙ මූණට එකපාරම දුකක් ආරූඪ වුණා. අත් දෙක රාජරත්න මහත්තය දිහාවට පාමින් ඒ මනුස්සය ඉස්සරහට ආව.

"උන්නැහේ මොකද කරන්නේ?"

"අර නෝන කෙනෙක් ගෙනත් දුන්න පාර්සලේ ලෙහාගෙන දැනුයි කාල ඉවර වුණේ මහත්තයෝ..."

තාමත් මනුස්සයගෙ අත ආයාචනා ස්වරූපයෙන් යමක් ඉල්ලන විලාසයෙන්...

"හා... මේ.... ලොකු උන්නැහේ රස්සාවක් හෙම කරන්න කැමති නෑ...?"

"අනේ ඉතිං අපිට කව්ද රස්සා දෙන්නේ... තිවුණ රස්සා වලටත් හෙණගහපු නිසානෙ මහත්තයෝ මේ අතපාන්නේ..."

මනුස්සයගෙ අත්දෙක දිහා බලපු රාජරත්න මහත්තයගෙ අත ඉ‍බේම සාක්කුවට ගියා. පර්ස් එකේ තිබුණ අඩුම කොලෙන් එකක් හිඟන්නගෙ අතට. ඒක තැඹිලි පාටට හිඟන්නගෙ අතේ ගුළි වුණා. මූණට ආපු සන්තෝසෙකුත් එක්ක.

"එහෙම නෙවෙයි... රස්සාවක් දුන්නොත් කරගෙන ඉන්න පුළුවන්ද?"

"රස්සාවක් කිව්වෙ මහත්තයො මොන වගේ එකක්ද?"

"දැන් ඔහේගෙ අතේ පයේ අමාරුවක් නෑනේ... ඇළුමිනියම් කපන මැෂින් හසුරුවන එක තමයි රස්සාව... අළුත් ඇළුමිනියම් වැඩපලක."

"එතකොට මහත්තයො පඩියකුත් දෙනවද?"

"නැත්තං මනුස්සයෝ රස්සාවක් දෙන්න කතා කරයිද? රුපියල් 15000ක් මාසෙට දෙනවා. නවතින්න තැනකුත් හම්බවෙයි."

මොන ප්‍රජා සත්කාරෙ වුණත් මිනිහෙක් වෙනුවෙන් දරන්න පුළුවන් ප්‍රයෝජ්‍ය වටිනාකම ගැන රාජරත්නට දැනුමක් තිබුණා.

"එතකොට කෑම බීම?"

"ඒව සපයගන්න නෙව පඩියක් දෙන්නේ? මොකද කියන්නේ...? ඔහේට එහෙම වැඩ කරන්න පුළුවන් නම් රස්සාව තියෙනවා."

"අනේ මහත්තයෝ...."

හිඟන මනුස්සයගෙ මුහුණට ආවෙ පුංචි හිනාවක්!

"ඔය කියන විධියට මහත්තයො මට දවසකට පඩිය එන්නෙ රුපියල් පන්සීයක් විතරනේ... මම බස් වලට නැගල, පාරෙ හිඟා කාලත් දවසකට රුපියල් අටසීයට වඩා හොයනව මහත්තයෝ... අනික කෑම? උදේට නම් ඔය පාන් කෑල්ලක් කඩෙන් ගත්තට දවල්ට හම්බවෙනව රෑටත් හරියන්න හොඳ බත් එකක් දෙකක් හැමදාම. එහෙමත් දවසකට තමයි කඩෙන් කෑම ගන්න වෙන්නේ..."

"ඒ කියන්නෙ ඔහේට මේ රස්සාව හොඳයි මම දෙන්න යන එකට වඩා...?"

"ඒකනේ මහත්තයෝ.... වැඩක් කියල කරන්න දේකුත් නෑ නෙව... කම්මැලිනං නිකං හිටියා... අපේ එව්වො එකෙක්වත් මහත්තයගෙ රස්සාවට එන එකක් නෑ..."

රාජරත්නට බඩ කපාගන්න හිතුණා...

ආපහු වාහනේට නැගල ගෙදරට යන ගමන් රාජරත්න කල්පනා කලේ බල්ලො වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මිනිස්සු වෙනුවෙන් කරන්න බැරිවීම ගැනයි. ඒත් සමහර විට පාරෙ ඉන්න බල්ලෙක්ගෙන් ඔය කතාවම ඇහුවොත් සමහර විට උගෙ උත්තරෙත් ඔයිට වෙනස් වෙන එකක් නැති වෙන්න තිබුණා. උනුත් හිතපු තැන ලැග්ගා... හිතපු දේ කෑවා... හිතුණු බැල්ලියෙක් එක්ක පෙම් කෙලියා... ඉඳල හිටල ගල්පාරක් කෑවට නිදහසේ හිටියා... දැන් කොහෙද එහෙම නිදහසක්? ගුණවර්ධන නෝන කරන්නෙ බලු අයිතීන් උල්ලංඝනය කරන ඕනම නැති වැඩක්. රාජරත්න එහෙම හිතුව...

හිතේ තිබුණ බර ටිකක් හෑල්ලු වුණා.


-----------------------------------------------------------------------------------------

රාජරත්ත මුදලාලිට ප්‍රජා සත්කාරයක් කිරීමට අවශ්‍යයි නම් බ්ලොග් අවකාශය වෙනුවෙන් යමක් නොකරන්නේ මන්ද? හොඳ සින්ඩියක් වෙනුවෙන් වියදම් නොකරන්නෙ මන්ද? යුධ අනාථයින් වෙනුවෙන්, රණ විරුවන් වෙනුවෙන් වියදම් නොකරන්නේ මන්ද? වැනි ඕන නැති ප්‍රශ්ණ නොඅසන්න.

Thursday, 19 May 2011

මාළු කෑම එකක්!

සර්යි මැඩමුයි දෙන්නව කොට්ටාවෙන් වාහනේ නග්ගවගෙන මම පිළියන්දල පැත්තට වාහනේ කැරකෙව්වෙ සීරුවෙන්... සර්ට නම් ලංකාවෙ පාරවල ඩ්‍රයිවින් ගැන දැනුමක් තිබුණට මැඩම්ට නම් පොඩි මිස්ටේක් එකටත් හොඳටම තද වෙන හින්දා එයා එක්ක යද්දි පරෙස්සම් වෙන්න ඕන සෑහෙන්න.

පිළියන්දල පාරයි හොරණ පාරයි වෙන්වෙන හන්දියෙ කොහොමත් ටිකක් ඉන්න වෙනවා.

ඔතන තියෙනවා සත්තු විකුණන කඩයක්. කූඩු වල දාල කුරුල්ලො, බල්ලො, පූසො විකුණනවා. වැඩියෙන්ම ඉන්නෙ කුරුල්ලෝ. එතනදි පැහැදිලිව කුරුළු සද්දෙ ඇහෙනවා දැණෙන්න.

"අනේ පව් නේද මේ සත්තු..."

‍මැඩම් කිව්වා..

"පව් නෑ ඉතිං උන් කාල බීල ඉන්නවනේ..."

ඒ කිව්වෙ සර්.

"ඒ වුණාට උන්ගෙ ස්වභාවික පරිසරේ හැදෙන්න නැතිව හිර වෙලානෙ ඉන්නේ.... මොනව වුණත් වටවුණු සීමාවකනෙ උන්ගෙ ජීවිතේ තියෙන්නෙ..."

"හ්ම්ම්..."

සර් කට වහගෙන හිටියා...

මැඩම්ට පිළියන්දල සුපර් මාකට් එකට යන්න ඕන වුණා...

"මම ලිස්ට් එක අරගෙන ආවෙ..."

"හරි යමු එහෙනම්"

"ආ.... මාළුන්ගෙ කෑම ඉවරයි. මතක ඇතිව මාළු කෑම එකක් ගන්න මතක් කරන්න."

Thursday, 26 February 2009

ගෙ ගෙ ගෙ ගෙ ගෙම්බෝ

මේක සෑහෙන්න කාලයකට කලින් අපි කීප දෙනෙක් අතර ඇති වුණ කතාවක්. හරිම මුග්ධ සටහනක් වෙන්න පුළුවන්...

පාරෙ යද්දි වාහනේකට අහු වෙල බැගෙට තැලිල දඟලන ගෙම්බෙක් දැක්කොත්?

නොදැක්ක වගේ යන එක හොඳම විසඳුම වෙන්න පුළුවන්.

මොකද බාගෙට තැලුණම ගෙම්බ සාමාන්‍ය තත්ත්වෙට ව‍ඩා ආතල් එකේ ඉන්නවද කියල අපි දන්නෙ නෑනේ.

ඕන නම් ගෙම්බාව වේදනාවෙන් මුදවාගන්න හොඳට තියෙන ටිකත් පාගල ගෙම්බව මරලම දානවද?

මොකද කරන්නේ?

Thursday, 19 February 2009

සතුට සත්තු වත්තේ....

අපි සතුට ලබනව විවිධ ක්‍රමවලින්.

සත්තු වත්තෙදිත් අපි ලබන්නෙ සතුටක්ද?

මෑතකදි මම මගේ ඥාතියෙක් (මෙතැන් පටන් ප්‍රියන්ත කියල ගමු) එක්ක කරපු කතාවක් මගේ කලින් බ්ලොග් සටහන ලියද්දි මතක් වුණා. ඔහු වතාවක් මගේ නුගේගොඩ කාර්යාලයට ආපු වෙලේක ඔහුගේ බිරිඳට සත්තු වත්ත බලන්න යන්න ඕන වුණා. ඔවුන්ගේ පදිංචිය ටිකක් ඈත නිසා කොළම එන්නෙ කලාතුරකින්. කොහොම වුණත් ප්‍රියන්ත මේ ගමනට කැමති වුණේ බොහොම අකමැත්තෙන්. ඔහුට සත්තු වත්තට යන්න කිසිම උවමනාවක් තිබුණෙ නෑ.

සත්තුවත්තෙදි අපි ලබන්නෙ කාලකණ්නි සතුටක්. ඔහු කිව්වා.

ඇත්තටම අපි නොදැනුවත්වම සත්තුවත්තෙදි ලබන දේ සතුට හෝ මොකක් වුණත් ඒක හරිම අසාධාරණ සතුටක් නෙවෙයිද? නිකමට හිතන්න අපි කූඩුවක ඉද්දි සත්තු වත්තෙ සත්තු අප දිහා බලමින් විහිළු කරමින් නිදැල්ලේ හැසිරුණොත්?

සමහර විට සත්තුන්ට කන්න බොන්න දෙනව නම් ඉන්න තැන කෘතිම පුංචි එකක් වුණාට කමක් නැද්ද දන්නෙ නෑ. මට
Madagaskar චිත්‍රපටිය මතක් වුණා. මේකෙ තියෙන සත්වෝද්‍යානයේ ඉන්න සිංහය මිනිස්සුන්ට පේන්න කෑගහල ෂේප් එකේ ඉන්න කෙනෙක්. තමන්ට වෙලාවට හම්බ වෙන මස් කුට්ටිය තමයි ඔහුගෙ එකම සිතිවිල්ල. ඉන්න පරිසරය ගැන ගානක් නෑ.

ඒ වුනාට ලංකාවෙ සත්වෝද්‍යාන වල නම් සත්තු ඉන්නෙ අතිශය සීමිත පරිසරයක. අපට වැඩිය ඇවිදින්න ඕන නෑ. ලේසියෙන් සත්තුන්ව බලල සතුටු වෙන්න පුළුවන්.

ඉතිං සතුටු වෙන්න....