Saturday, 27 July 2019

කෝලි



සන්නස්ගලගේ භික්ෂු පරිච්ඡේදය කියවා හමාර කළෙමි. එය කියවීම අතර තුර සිතට නැගුන විඳුණු දැන් අමතකව ඇති සිතිවිලි අපමණකි. පොත කියවා අවසන් වෙත්ම හිතට නැගුනේ එ පිළිබඳව යමක් ලිවීම හොඳ බවයි. පොතේ ඡේද උදෘත කරමින් එසේ ලිවීමට සිත් වූ බොහෝ දේවල් දැන් අමතකව ගොස් ඇත. ඒ නිසා මේ සටහන ලියවෙන්නේ කුමක් ගැන වේද යන්න පිළිබඳව දැන්ම කීමට හැකියාවක් නැත.

පොත කියවා ලියන දේවල් ගැන සිතමින් රාත්‍රී මුරය සඳහා පිටත්ව ගොස් ඇති බිරිඳටද වයිබර් මැසේජ් දමමින් බුකියේ පූස් සහ බලු ගෘප්වල ලයික් දමමින් ගෙවුන සුළු වේලාවක මට සිතුනේ අදත් බොන්නටය. ඊයේද බිරිඳගේ අනුග්‍රහයෙන් අපි බියර් බීවෙමු. අදත් හොඳ දවසකි. බියර් දෙකක් ගේමු දැයි මාමණ්ඩියගෙන් ඇසූ විට ඔහු ගල් බාගයක් ගේමු කියා කීවේ කලකින් ගල් නොගැසූ නිසායි. මම දායකත්වය දුන්නෙමි. බයිට් එකට සොසේජස් කරල් කීපයක් සූදානම් කළෙමි. සියල්ල අවසන් වී දැන් ලොකු කාලයක් ඉක්ම ගොස්ය. මැදියමට හෝරාවක් ඇති වේලාවක මම අර්ධ වෙරි මතින් පරිගණකය ඉදිරිපිට හිඳගෙන ඇත.

කෝලියා දොරකඩ නිදයි. ඒ උගේ ඩියුටි පොට් එක කියා මම කියන්නේ ටික කලක සිටයි. මා සමග මම ද නොදන්නා මිතුරු දමකින් වෙලී සිටින කෝලියා මා කාමරයේ සිටිය සැම විටම දොරකඩ නිදයි. මුරකරුවෙක් මෙනි. කෝලිට නොදැනී මා වෙත මැස්සෙක්ටවත් එන්නට නොහැකි බව බිරිඳ ඉරිසියාවෙන් කියයි.

කෝලියාගේ මුල් නම ‘කොලින්‘ ය. එය ‘කොල්ලා‘ යන්නෙන් බිඳී ඇති නමකි. උගේ ඉතිහාසය කතාවකි. අපේ ඉතිහාස මෙන් විකෘති වූවක් නොවේ. උපන් දා සිට මේ වෙන තෙක් කෝලියා ළඟින් ඇසුරු කරන මම කියන සැබෑ කතාවයි. එක එක දේශපාලන, සංස්කෘතික හෝ භාෂාමය වර්ෂන්වලින් තොර එකම වර්ෂන් එකයි.

2010දී එවකට පෙම්වතියව සිට දැන් බිරිඳව සිටින ඇයගේ නිවසට පැමිණි මිකීගේ පළමු වැදුමේ පුත්‍රයා කොලින්ය. 2012දී මිකී දරුවන් සත් දෙනෙක් වැදුවාය. ඉන් බාලයා පොඩ්ඩීය. ඇයගේ පිළිවෙලක් නැත. පිස්සියක් මෙනි. අනෙකුන්ට වඩා කුඩාය. කිරි බොන්නට අනෙකුන් පෙරලා පැනගෙන එල්ලීමේ හැකියාවක් නැත. අවසානයේ හමුවෙන්නේ දුර්වල තන පුඩුවකි. අනෙකුන් පරයා සටන් කරන්නට කුඩා වැඩිය. ඒ නිසා කෙටි කලකින්ම කිරි උරා බීම එපා වී වෙනතක් බලයි. ඇයට උවමනා වූයේ හතර අත විපරම් කරන්නටයි. කිරි වැඩිය පෙවුනේ නැත. ඒ නිසාම දුර්වල විය හැකි බවට කතාවක් නිවසේ ඇති විය. ඈ ගෙදර රැඳුනාය.

රෝසි ගෙදර රැඳුනු අනිත් කෙල්ලයි. ඇගේ බඩ රෝස පැහැති බැවින් ඈ එනමින් බෞතීස්ම විය. මාමාණ්ඩියගේ අනුකම්පාවෙන් සහ ආදරයෙන් ඇය නිවසේ සුරතලිය විය. බිරිඳ කියන්නේ රෝසි ඇගේ රෝස බඩ පෙන්නා මායම් දමා තාත්තා අල්ලාගත් බවයි. කොහොමත් රෝසි යනු මිනිස් අඟනුන්ට සරි කලහොත් ව්‍යවහාරයේ කියවෙන පට්ට කෑල්ලකි. රූපයට අමතරව ඇයට කෙල්ලක් සතු කෝල ගති ඇත්තේය. කෙලි බල්ලෙකි. ආදරේ හිතෙන නියම කෙල්ලකි. පට්ට බැල්ලියකි.

කෝලියා ඇතුලු අනිත් පස් දෙනා රටේ විවිධ තැන්වලට පිටව ගියෝය. දෙදෙනෙක් මාමණ්ඩිගේ සොයුරියන්ගේ ගෙවල් වලටයි. ජාඇලට හා මාතලේටයි. අනිත් අයත් එක් එක් තැන්වලයි. කෝලියාද එසේ නොදත් තැනකට පිටව ගියේය.

එසේ දරුවන් පිටකල මාමණ්ඩි ඒ තැන්වලට සතියකට දෙකකට පසු අමතා දරුවන්ගේ සුව දුක් විමසූ අවස්ථාවේදී කෝලියාගේ දරුණු ඉරණම කණ වැකී තිබුණි. කෝලියා හදන්නට භාරගත් නිවසේ කුඩා දරුවන් අතින් දෙමස් වයසැති බලු පැටියා පීඩා විඳින්නේය. මඤ්ඤොක්කා කෝටුවලින් ගුටි ලබන්නේය. වේදනා විඳින්නේය.

පැටවුන් ලබා දුන්නේ මුදලක් ගැනීමෙනි. නිකම් දීමෙන් අගයක් නැත. ගෙවූ මුදලට හෝ සලකනු ඇත. අපගේ අභිප්‍රාය වූයේ එයයි. ඒත් ගුටිකන පැටියකු ගැන දැන දැන ඉවසීම කල හැක්කක් නොවේ. වහාම ගොස් ආපසු මුදල දී කෝලියා නැවත ගෙදරට ගෙන ඒමට මාමණ්ඩිත් නැන්දම්මාත් කඩිනම් විය. එදින සිට උගේ නම කොල්ලා විය. ඒත් එය දිගින් දිගටම භාවිතා නොවී කොලින් බවට කොල්ලා නම් විය.

ඒත් මට නම් කොලින්ට ඇමතීමට නම් ගොඩකි. මා ආදරය කල සුරතලුන් සියල්ලට එසේ නික් නේම් ගොඩක් ඇත. මිකීටද රෝසිටද එසේමය. සියළු දෙනා බලු මිනිස් බේදයකින් තොරව ‘පිස්සු කේස්‘ ය.

කොලින්ට මම කොලින් මල්ලි, කෝල මල්, කොලිනයා, කොලින්ත, කෝල්, මල් කොලයා ආදී නොයෙක් නම් කියමි. කෝලි යනු එහි වත්මන් සංස්කරණයයි. ඒ මොන නම කීවත් පඩේකට ගණන් නොගෙන උගේ පාඩුවේ නිදා සිටිනා අවස්ථාද වෙයි.

භික්ෂු පරිච්ඡේදය කියවීම අපූරු අත්දැකීමකි. ජීවිත කාලයක් පුරා අත්දැකීම් එසේ එක් එක් වර්ගීකරණයන්ට ලක් කර ලිවීම ආතල් වැඩකි. භික්ෂු පරිච්ඡේදයේ ඇත්තේ සන්නස්ගලයන්ට පොත ලියන වර්තමානය දක්වා ජීවිතයේදී හමුවූ භික්ෂු චරිත පිළිබඳවයි. එය කියවීමට පෙළඹවීම ඇති වුණේ ගී පැදුර නිසායි.

ගී පැදුර අඩවියට ගී පද අසමින් සොයමින් ලියන මට කසුන් කල්හාරගේ නටාෂා ගීතයේ රචකයා සොයාගන්නට උවමනා විය. යූ ටියුබයේ එම ගීතය සෙවූ විට සියත එෆ්එම්හි ඩීජේ අරා නටාෂා ගීතයට යෙදූ පූර්විකාවක් ලින්ක් ඔස්සේ හමු විය. එහි කියවුණේ ඩීජේ අරා භික්ෂු පරිච්ඡේදය කියවමින් සිටින බවත් එහි තැනක පසන් කොඩිකාර පිළිබඳ සන්නස්ගල තැබූ සටහනක මෙම ගීතය පිළිබඳව කියවෙන බවත්ය. පොත කියවන්නට පෙළඹවූයේ එයයි. පොත වර්ෂයකට පෙර පොත් සල්පිලෙන් මිළදීගෙන ඇති බව බිරිඳගේ හෝඩුවාව ඔස්සේ දැනගතිමි. ‘භික්ෂු‘ වදන නිසා එය නැන්දම්මා විසින් කියවන්නට ඇගේ කාමරයට අරන් ගොස්ය. පේන විධියට ඇය පිටු කිපයක් කියවා නවතා ඇති සැටියකි.

භික්ෂු පරිච්ඡේදයේ සන්නස්ගලයන් ලියා ඇති දේවල් ඇත්තද බොරුද යන්න සොයන්නට හෝ ඒ ගැන වෙහෙසෙන්නට මම උත්සාහ නොකරමි. එය හුදෙක් තවත් එක් කියවීමක් ලෙස දරාගනිමි. අත්දැකීම් ඇසුරින් සමස්ථ ජීවිතය තේරුම්ගැනීමට තරම් මහ මෙරක් අත්දැකීම් ලබා නැතත් ලැබී ඇති සොච්චම සමහර දේවල් තේරුම්ගැනීමට ප්‍රමාණවත්ය. ඒ නිසා මම වැඩිදුර නොසිතමි. යුනිෆෝම් ඇන්දාට කවුරුත් මිනිස් ගති ඇත්තෝ වෙති. තව දුරටත් පූජකත්වය යනු විමුක්ති මාර්ගය සොයන්නන්ගේ තත්වයක් නොවේ. එය වරප්‍රසාදිත රැකියාවකි. විමුක්තිය සොයන්නට යුනිෆෝම් අවශ්‍ය නැත.

භික්ෂු පරිච්ඡේදයේ අවසානයටත් පෙර මා කලකට පෙර තැබූ ටිවිටර් සටහනක් සිහි විය. එහි ලියුවේ තොරතුරු දැනගැනීමට ඇති සියළු මූලාශ්‍රයන් ෂුවර් නැති බවයි. බලු පැටවුන්ට ලයික් දැමීම ඊට වඩා හොඳ බවයි. භික්ෂු පරිච්ඡේදය අවසානය වෙද්දී එහි ලිවීමේ සෞන්දර්යයෙන් වික්ෂිප්තව මම ඒ ටිවිටර් සටහන සිහි කරමි.

තව ලියන්නට කම්මැලිකමක් ඇත. හිතුණොත් පසුව සංස්කරණය කරමි.

Wednesday, 17 July 2019

අවසන් මිටියාවතේ ගසක් යට...


සිනා දහසක් මැද
කදුලක ලුණු රස දැණුනාද
පැටළුණු අත් දහසක් අතර
ඔබ දෑත් බැඳගෙනද
තරු පිරුණු අහසක් යට
පෙනෙන්නේ සඳේ තනිකමද
සොඳුරු මිහිරක් දකින්නේ
ගුප්ත අඳුරක් තුල විතරමද

පාලනය කල හැකිනම් සිහින
සදා නිදන් ඉන්න හිතෙනවද
අයිතියක් ඇත්නම් හැඟීම්වලට
උදුරා ගිණිබත් කරන්න හිතෙනවද
ගලන කඳුලක් සිසිල් කිව්වට
ලෝදිය මෙන් ගිණියම්ව දැණෙනවද
හයියෙන් කෑ ගහන්න ඕන වුණත්
හඬ නොඇසෙන්න උගුර වියලී ගිහින්ද

අගයන සිය ගාණක් අතර
දැණෙන්නේ හුදකලාවද?
පිරුණු ජීවිත ගොඩක
ඔබට ඇත්තේ හිස්කමක්ද?
ආදරේ කියන්නන් ළඟ
ඇත්තෙ තව බොරුවක්ද?
යුතුකම් ඉටු කරනු හැර
තව කුමක් කරන්නද?

ජීවිතය පුරවන්න
ගත් තැත ව්‍යර්ථද?
පුරවන්න ආ අය
තවත් හිස් කර ගොස්ද?
දැනුත් ළඟ ඉන්න අය
උනුත් ඒ පහුරෙමද?
ජීවිතේ හිස්කමින්
දැන් ඔබට තෙහෙට්ටුද?

කරන්නට ඇති හැමදේම
අවසන්ය හිතෙනවද?
අන් අයට වදයෙකැයි
ඔවුන් මගැර හිඳියිද?
එදිනෙදා දේවල්
නොසිතාම ඔහේ වෙනවද?
ජීවිතේ හෙට දවසට
අරමුණක් නැද්ද තව?

ජීවිත් වෙන්නට අරමුණක්
ඕනෑ කියූවන් කොහෙද?
අරමුණක් නැති ජීවිතය
අභියොගයක්ව ඇත්ද?
අන් අය කරදර වන දේ ගැනම
කරදරවන්නට තිබුණා නම් හොඳද?
ජීවිතේ ගත් අතීත තීරණ
ආයෙත් විනිෂ්චය වෙනවාද?

අහිමි දේවල් ගැන
විටින් විට හිතෙනවද?
හිමිකරගන්නත් ඒත්
ආසාවක් නැතිද?
ආසාවෙන් කල හැමදේම
දැන් තේරුමක් නැද්ද?
ගසා බසා හැමදේම
යන්නම හිතෙනවද?

ජීවිතේ හිස්කම
තදින්ම දැනෙනවද?
සතුට මුහුණු සියල්ල
ඇත්තටම සතුටින්ද?
මරණයේ ගිණි දෑස
හැඟීම් පුබුදයිද?
ආදරෙයි මරණයට
දැන් ඒක දැණෙනවද?

Monday, 1 July 2019

මධ්‍යප කවි


ලියන කවියක් හතරපද
ගණන් දැම්මේ කවුරුද
පහ හයක් තියෙන්න බැරිද
ගැලපෙන්න අවසන් අකුර
කියවෙන්න එක රටාවෙන්
ලියන්න ඕන කිව්වේ කවුද
වෙන අකුරු තියෙන්න බැරිද

ලොකු ඉඩක මිනිසුන් ගොඩක
හෙන පාලුවක් ඕයි මට
ඕයි කිව්වෙ තමුසෙට
කියවන තෝ කවුරු වුනත්
පාලුව දරන්න කරන්න
දේවල් නැතිව ඇත්තට
හෙනම අවුල් ඕයි ආයෙත් මට
වෙනදට එහෙම පාලුවට
සින්දුවක් අහන්න තිබුනා
යූටියුබේ කෑම ටුවර් යන
වීඩියෝ බලන්න තිබුනා
දැන් මෙතන බැහැ කරුමෙට

අනිත් උන් උන්ගෙම ලෝකවල
බුකියෙයි අරකෙයි මේකෙයි
සැරින් සැරේ ලොක්කට අවධානෙන්
මෙතන නිසඳැස් කොටනකොට
හතරපද නීති කැඩුවැයි
අවධානෙන් නොසිටියැයි
හිරේ දමයිද මාව
ඊළඟ සතියෙම උඹලට
තලු මරල රස විඳින්නට පුවතක්
ජනපතිගෙ කතාව මැද
කවි ලියල මිනිහෙක්
අමධ්‍යප රැස්වීමට ආවට
ඌ හොඳට බොනවලු
පහුවදා ඔලුව කැක්කුම හැදුනට
දෙරණ හිරු නෙත් ඇවිත්
ගෑණි අඬනව ලයිව් දෙයි
ගෑණි ඇඬුවොත්
අම්මල දෙන්නම අඬයි
එයාල අඬනව ගනියි
උන්ට ඇති ඒකත්
ප්‍රවෘත්ති හිට් කරගනියි
දඬුවම් නම් ගාණක් නැතිවෙයි
රිදුන තරමට ඉස්සර
රිදෙන්නෙ නෑ තවත්
නිශ්ක්‍රියයි මම එන්න එන්නම

මොකක්ද ඕයි මේ
පැත්තකට වෙලා
ජොබ කරගෙන හිටපු මම
මොන රෙද්දකටද
එන්න හිතුවේ මේකට
රෙද්ද
ඉන්නැතිව ගෙදර


https://youtu.be/vt1Pwfnh5pc

නිමිත්ත - ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහනට රාජකාරි මට්ටමින් සහභාගි වන්නට සිදු විය.