Showing posts with label cloths. Show all posts
Showing posts with label cloths. Show all posts

Saturday, 9 April 2011

අවුරුද්දට යට ඇඳුමක්!


ඔබ කූඹින්ගෙන් කරදර සිදුවන අළුත් අවුරුද්දට කියා ඇඳුම් ගත්තාදැයි මම නොදනිමි. කෑමටවත් දෙයක් නැති වුවත් දිළින්දන්ද ණයක් හෝ රෝල්කර අවුරුද්දට ඇඳුමක් මිලදී ගන්නේ සමහර විට ඒ මුළු අවුරුද්දේදිම ඔවුන්ට ලැබෙන එකම ඇඳුම නිසා වෙන්නට පුළුවන. මාගේ වට පිටාවේ සැම දෙනාමද අවුරුද්දට කියා ඇඳුම් මිලදී ගනිති. කඩවල සෙනග අස්සේ තෙරපෙමින් තෝරති. මෙය හැම අවුරුද්දකම සිදුවන ක්‍රියාවයි. මා දැන හුන් එක් මිතුරෙක් පැවසුවේ තෙරපෙන්නට ඇති ආසාව නිසාම ඔහු අළුත් ඇඳුමක් ගැනීමට අවුරුද්ද කිට්ටු වෙනතෙක් සිටන බවය. තෙරපීම එවැනි දෙයකි.

තෙරපී අහවර වී සියළු දෙනා අළුත් ඇඳුම් ඇඳ පෙනුම අළුත් කරගත්තද අභ්‍යන්තරය කිසිසේත් අළුත් නොවන පරණ එකමය කියා මම ඒ හැම අවුරුද්දකම කියා ඇත්තෙමි. ඒ කතාව දැන් පැරණිය. එවැනි කතා වලින් ඇති වැඩක්ද නැත. මගේ කතා අසා අළුත් වන උන්ද නැත. මිනිසුන් අළුත් වන්නට කැමති නැත. එබැවින් ඒ කතාව මම මෙවර නොකියන්නට තීරණය කළෙමි. මමත් අළුත් ඇඳුමක් ඇඳ අන් අය සමරනා ලෙසටම අවුරුද්ද සමරන්නට සිතාගෙන ඇත්තෙමි.

සති දෙකකට පෙර මම ඇයත් සමග නුගේගොඩ ඇඳුම් සාප්පු අවට සැරිසරා මිතුරෙක් වෙනුවෙන් ඇඳුමක් මිලදී ගතිමි. සාමාන්‍යයෙන් අවුරුදු කාලයට තියා අවුරුදු නැති කාල වලදීද ඇඳුම් සාප්පුවල ඇවිදීම මා ප්‍රිය කරන්නක් නොවේ. ජීවිතේ අති බිහිසුණු කාලයක් පුරා මා සතු වූයේ අතක ඇඟිලි ගානට වූ ඇඳුම් කීපයකි. ඒවා අපිරිසිදු නොවන මානයේ තබා එවකද මම ඇඳුම් ඇන්දෙමි.

දැන් සියල්ල වෙනස් වී ඇත. මා රස්තියාදු ජීවිතයෙන් මුදවා මහත්මයෙකු කිරීමට වෙහෙසෙනවුන් ගණනාවක් වෙනුවෙන් මම හැඩ ගැසී ඇත්තෙමි. ඉතින් ඇඳුම් අංශයෙන් ගත් කල මාගේ අල්මාරිය පිරෙන තරමට ඇඳුම් දැන් මට ඇත. සාමාන්‍යයෙන් වසරකදී කමිස සහ ටීෂර්ට් 4-5ක්, කලිසමක් හෝ දෙකක් වශයෙන් පසුගිය වසර දෙක තුන පුරා මා හට ඇඳුම් ලැබී ඇත.

මෙවර නව වසර වෙනුවෙන්ද මා හට ඇඳුම් ලැබී ඇත. ඇය විසින් මිලට ගෙන දුන් කලිසමේ වාටිය අම්මා විසින් මට උවමනා ප්‍රමාණයට සකසන ලද්දේය. ඇය විසින්ම ගෙන දුන් කමිසයක් අවුරුද්දට පසු කාර්යාල දිනය කිට්ටු කර එලි බැසීමට නියමිතව තවමත් පැකට් එක තුලය. කාර්යාල ප්‍රධානී විසින් ස්ව වියදමින් මුළු ආයතනයටම ටීෂර්ට් රැගෙන දුන් අතර ඉතා හොඳ යැයි සැලකිය හැකි වර්ගයේ එකක් මටද ලැබී ඇත. අම්මාද තවත් ටීෂර්ටයක් රැගෙනවිත් ඇත. මාගේ කිලුටු බැනියම් සේදීමට සිදුවීම පිළිබඳ විස්සෝපයෙන් මිදීමට ඒ සමගම ඇය විසින් බැනියම් දෙකක්ද ගෙනවිත් ඇත.

අළුත් මේස් කුට්ටමක් මා සතුව ඇති අතර අකුරු තුනේ කොංපැණියෙන් මිළට ගත් පැරණි සපත්තු කුට්ටමේ එක් සපත්තුවක අඩිය මැදින්ම පැලීයාම හේතුවෙන් මසකට කලින් මම නමවත් අසා නැති, ඒත් හොඳ වේ යැයි සිතු වර්ගයක සපත්තු ජෝඩුවක් මිළට ගත්තෙමි.

දැන් සියල්ල හරිය. එහෙත් තවමත් අළුත් යට ඇඳුමක් හෙවත් තේරෙන සිංහලෙන් ජංගියක්නම් කාගෙන්වත් ලැබුණේ නැත. සපත්තු ජෝඩුව හැර සියල්ල අන් අය සැපයූ බැවින් ජංගියක් හෝ දෙකක්ද වෙනත් අයෙකු විසින් රැගෙන දේ යැයි මම බලාපොරොත්තු වෙමි. එහෙත් සියල්ලන් මා බාහිරව අලංකාර කිරීමට තැත් දරනවා විනා යටට අඳිනවාද නැද්ද කියා සොයාබලන්නේ නැත.

ඒක හරියට ජීවිතේ වගේය. හරියට අවුරුද්ද වගේමය. උඩින් අළුත් ඇඳුමක් අඳින බොහෝ දෙනා යටට ඇඳ ඇත්තේ අවුරුද්දක්ම ඇඳි යට ඇඳුමක් වීමට ඉඩ තිබේ. සමහර විට ඒ ගැන සොයා නොබලන්නේ ඒවා අතිශය පුද්ගලික යැයි සැලකෙන නිසා විය හැක.

ඒ කියන්නෙ මගේ අභ්‍යන්තරය කාටවත් වැඩක් නැත.

පිටින් හොඳට හිටියාම ඇති වාගේය.

Wednesday, 23 March 2011

අපිත් මමීකරණය වෙයිද?


ඥාතීන් කීප දෙනෙක්ගෙන් දුරස් වුණ මගේ ඥාති ආච්චි කෙනෙක් පහුගියදා මෙලොවින් සමුගත්තා. අපේ ගෙදරට ගෙවල් කීපයකට එපිටින් තමයි මළගෙදර තිබුණේ. දරුවන් හත් අට දෙනෙකුගෙ (මමවත් ගාණ දන්නෙ නෑ) අම්ම කෙනෙක් වුණ මේ ආච්චි ගමේ බොහොම ආදරයට පාත්‍රවුණ කාන්තාවක් වෙලා හිටියා.

මළ ගෙදර වැඩ කටයුතු එක්ක හතර වටේට ලයිට් දාන්න, වයර් අදින්න ටෙන්ට් ගහන්න වගේ වැඩ වලට උදව්වක් වෙන්න මම උදේ ඉඳන් එහෙ හිටියා. සුමනෙ අංකලුත් ඇල්බට් අංකලුත් කුමාර අයියත් එකතු වෙලා ගේ දෙපැත්තෙ ටෙන්ට් එල්ලුවා. ඊට පස්සෙ ඇල්බට් සහ කුමාර දෙන්න පුවක් කපද්දි සුමනෙ අංකලුත් මමත් පාර පැත්ත අඳුරු නිසා පාරට වෙන්න බල්බ් එකක් දාන්න වයර් එකක් අදින්න සූදානම් වුණා.

ඒත් පැය බාගෙකින් ඉවර වෙන්න තිබුණ ඒ වැඩේට අපට පැය තුනක් ගියා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ආච්චිව මමීකරණය කරන්න තිබුණ නිසා.

දේහයට අවසන් ගෞරව දක්වන්න ගෙදරට ආපු පන්සලේ හාමුදුරුවන්ගෙන් පටන්ගෙන, මරණාධාර සමිතියෙන්, දායක සභා අරමුදලෙන්, තරුණ ජවය සමිතියෙන්, ප්‍රජා සංවර්ධන කමිටුවෙන්, කුළඟන සමිතියෙන්, තිස්සපුර ගමේ වැඩිහිටි සමිතියෙන්, දහම් පාසල් ගුරු මණ්ඩලයෙන් වගේම..... ලොකු පුතා වැඩ කරපු විදුලි බල මණ්ඩලේ සුභ සාධක සමිතියෙන්, ඒකෙම ආරක්ෂක අංශයෙන්, කළමනාකරණ සහකාර නිලධාරි සමිතියෙන්..... ලොකු දුව උගන්වපු ඉස්කෝලෙ ගුරු මණ්ඩලයෙන්, සමාජ සත්කාර්ය සමිතියෙන්.... මද්දු පුතා වැඩ කරපු කොම්පැණියෙ සුභසාධක සමිතියෙන් වගේම නාලිකා දුව වැඩ කරපු ක්‍රීඩා අමාත්‍යංශෙ කාර්යාල සමිතියෙන් වගේ නම් වලින් මතක තියාගන්න බැරි තරම් සමිති ගාණකින් මේ මමීකරණ කටයුත්තට ඕන කරන රෙදි කෑලි ගෙනාවා.

පරණ මමීකරණයෙයි මේ වතාවෙ මුහුණ දෙන්න වුණ මමීකරණයෙයි වෙනස්කම් නම් සෑහෙන්න තියෙනවා. එකක් තමයි මේ මමීකරණයෙදි කල් තබාගන්න උත්සාහ කරන්නෙ අදාල දේහය නොවීම. මේකෙදි කල් තබාගන්නෙ මේ රෙදි කෑල්ල ලබාදෙන පාර්ශවයයි. ඉතිං රෙදි කෑල්ල ලබා දුන්නෙ කවුද කියල අඳුනගන්න රෙද්ද පුරා අදාල පාර්ශවයෙ නම ගම එක්ක මොකක් හරි ශෝක ප්‍රකාශයක් ලියල තියෙනව. ‍



මේ රෙද්ද ලබාදුන් පාර්ශවය කියන එක බොහොම වැදගත්. ඒක මළගෙදරට එන උදවියට පේන්න තියෙන්න ඕන. ඒ නිසා දේහය වටේ ඖෂධ එක්ක එකතු කරල ඔතනව වෙනුවට මේ රෙදි කෑලි මළ ගෙදර වටේ එල්ලනව. එන අයට පේන තැනක හොඳට පේන්න.

මේ මමීකරණ වැ‍ඩේ කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් අපට අනිත් වැඩ නතර කරන්න වුණා. අනිත් එක ඒව ගහන්න ඉඩක් තිබුණෙත් නෑ. අන්තිමේ කලින්ම ඇවිත් ගිය, ආයෙත් ඒවිය කියල නොහිතන පාර්ශව කීපයක රෙදි උඩින් අළුත් ඒව එල්ලුව. මොනව කරන්නද?

ඉතිං... මේ තරම් වටේ රවුම් ගහමින් මම කියන්න යන කතාව දැන් ෂඛ්ෂුඩඛ් ෂේ පැහැදිලියි නේද? මේ කියන්න යන්නෙ මළ ගෙවල් වල බැනර් ගැහිල්ල ගැන...

ගෙනත් දෙන අය මේ බැනර් ගෙනත් දෙන්නෙ ඒකෙන් තමන් මේ ක්‍රියාවලිය පසුපස ඉන්නව කියන එක පෙන්නන්න. ඒක අදාල පාර්ශවයට සහ පවුලට සම්බන්ධ මනුස්සයටත් පොඩි කික් එකක්. උදාහරණයක් විධියට විදුලි බල මණ්ඩලේ වැඩ කරන පුතාට තමන්ගෙ ආයතනයේ බැනර් එකක් ගහල තියෙන එක පොඩි ආඩම්බරකාර කාරණයක් වෙනව ඇති. නමුත් බැනර් එක ගැහිල්ල හැර මළගෙදර කටයුතු වලට වෙනත් දායකත්වයක් බැනර් එක දෙන අය නොකරනව වෙන්නත් පුළුවන්.

මොනව වුණත් බැනර් දැමීම ගැන මටනම් හිතෙන්නෙ ඒක ලකුණු දාගැනීම සහ දමා දීම පිණිස හැදුණ එකක් කියලයි. ඒක නිකං ටැලි විෂ න් එකේ ක්‍රිකට් මැච් එකක්, ටෙලි නාට්‍යයක් වගේ ඔය එක එක ඒවයෙ තියෙන ඇඩ් දැමිල්ලට දෙවෙනි නෑ. මියගිය මනුස්සය වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ මළගෙදර උදවියට අනවශ්‍ය කරදරයක් නොවී දේහයට අවසන් ගෞරව දක්වන එක. උදව්වක් කරන එක. (අඩු තරමෙ තමන් බැනර් එකක් ගෙනාවනම් ඒක එල්ලන්න සපෝට් එකක්වත් දෙන එක?)

ඒ විධියට ගත්තම මේකෙ තියෙන අවුල විධියට මට පේන්නෙ වෙන එකක්. ගොඩක් විට මේ බැනර් ගේන උදවිය බැනර් එක මළ ගෙදරට සම්බන්ධ කාට හරි දීල මාරු වෙනව. පස්සෙ ඒක එල්ලීම, බලාගැනීම, ගැලවීම, සේදීම සහ නැවත බාර දීම කියන කාරනා සේරම මළගෙදර උදවිය විසින් බලාගන්න වෙනව. කෙනෙක් මියගියාම කරන්න ඉතිරි වෙන නොයෙක් වැඩ අස්සෙ මේ බැනර් කෙරුවාව ඇත්තටම ලකුණු සඳහා ඇර වෙනත් කිසිම වැඩක් නැති අමතර වැඩක් විධියට ගෙදර උදවියගෙ කර උඩ වැටෙනව කියල තමයි මට නම් හිතෙන්නේ.

හැබැයි එකක්. මේක පටන් ගන්නෙ මළ ගෙයක් තියෙන ස්ථානය පැමිණෙන අමුත්තන්ට දන්වන්න සුදු කොඩියක් දැමීමේ චාරිත්‍රයෙන්. ගොඩක් ඉස්සර මම සහභාගි වුණ මළ ගෙදරකදි සෑහෙන්න වයසක සීය කෙනෙක් තමයි මට ඒ කතාව කිව්වෙ. ඉස්සර මළ ගෙදර ඉදිරියෙ සුදු කොඩියක් දාන එක හැර වෙන දෙයක් තිබිල නෑ. පස්සෙ පස්සෙ මේ සුදු කොඩියට අනුග්‍රාහකයො සෙට් වෙනව. ඉතිං නම ලොකුවට පේන්න ඕන නිසා කොඩිය බැනර් එකක් වෙනව. අනුග්‍රාහකයො වැඩි වෙනකොට මළ ගෙදරට එන පාර දිගේම තියෙන හන්දි වල බැනර් වැටෙනව. ඒක එක අතකට නොදන්න මළ ගෙයක් හොයාගෙන යද්දි සෑහෙන්න උදව්වක් වෙනව තමයි.

දැන් ඉතිං කාලෙ වෙනස් තාලෙ අළුත්. මදය කෙසේ වෙතත් පොත්ත ලස්සනට තියෙන්න ඕන නිසා හැම තැනකදිම වෙනව වගේ මළ ගෙවල් වලත් සෝබන වලට තමයි වැඩිම කාලයක් එක්ක වියදමත් වෙන්නේ.

ඒක ඉතිං කෑල්ලෙන් කෑල්ල කතා කරත් ඉවර කරන්න බැරි දෙයක් නිසා මම කියන්නම් නූතන විධියට මමීකරණය වෙන්න ඕන නම් කරන්න ඕන වැඩේ.

හරි ලේසියි... ඔය දන්න කියන හැම සමිතියකම සංගමේකම සාමාජිකත්වෙ ගන්න. වැඩ නොකලට කමක් නෑ. නමට පෙනී ඉන්න. මැරුණට පස්සෙ කට්ටියම ඇවිත් මමීකරණය කරයි....

ඉතිං මේ අපි යම් දවසක මරණයට පත්වුණාට පස්සෙ මෙන්න මෙහෙම මමි බැනර් තියෙයි නේ... :P



------------------------------------------------------------------------------------------------------

අනිච්ඡාවත සංඛාරා...
ඔබ ගිය පසු නොහඬා කුමක් කරන්නද?
ඩෙඩ් කැටගරියට දමනවා මිසක

සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය

------------------------------------------------------------------------------------------------------

වයධම්මා සංඛාරා...
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම ඔබ ගිහින්
නැවත ප්‍රතිසන්ධිය ලද වහා පටස් කරන්න

ශෝකී ලාංකීය සිතුවිලි

------------------------------------------------------------------------------------------------------

ජීවිතේ බස් රියකි. දිනෙක කැ‍ඩෙනවා සත්තයි
බෘම් බෘම් බෘම් ගාල හුචස් ගා නැවතුනේ ඇයි?

සිව්හෙලේ මහා සම්මත ගූ ගල් බස් සංගමය

------------------------------------------------------------------------------------------------------

System Failure.
කලින් බැකප් කලත් දැන් ‍ෆෝමැට් කලත් පලක් නම් නැත.

ටෙක් කතා.com

------------------------------------------------------------------------------------------------------

අයියෝ!

sindiya.com

------------------------------------------------------------------------------------------------------

සමුගත්තද ඔබ, මියෙන්නේ නැත
ඔබේ පොරත්වය
ඔබට නිවන, මෝක්ෂය හෝ නැවත මහ පොළොව

හත්மாளுwa

------------------------------------------------------------------------------------------------------

Have a nice time at Heaven!
Gods may read you then

kottu

------------------------------------------------------------------------------------------------------


තව ඕන තරම් කට්ටිය බැනර් නම් දායි... මට ඒව හිතන්න කම්මැලියි... ඔය ලොකුම බැනර් ටිකක් ගැන තමයි ලිව්වේ...

ඇත්තටම මමීකරණය ගැන දැනගන්න ඕනනම් සත්සමුදුර කියවන්න.

Monday, 4 May 2009

නැන්දලා, මාමලා සහ ඇන්ටිලා අන්කල්ලා...

මගේ මිතුරෙක් වසරකට කලින් විවාහ වුණා සාමාන්‍ය පෙළ විද්‍යාව උගන්වපු ගුරුවරියකගේ දියණියක් සමග. ඒ අවදියෙ අපි ඒ ගුරුතුමියට කතා කලේ සුපුරුදු විධියට ටීචර් කියලයි. නමුත් දැන් මගේ මිතුරා ඇයට කතා කරන්නෙ 'ඇන්ටි' කියලා. මේක ඔස්සේ ගිය මගේ සිතිවිලි නතර වුණේ කොහේවත් නැති තැනක. රටේ පවතින දේශපාලනික, ආර්ථික සහ යුධමය වාතාවරණය යටතේ මේක තවත් තේරුමක් නැති කතාවක්.

අපි අපේ ඥාති වන නැන්දලා සහ මාමලාට නැන්දා සහ මාමා නමින්ම අමතනව. ඒ කියන්නෙ මව් පාර්ශවයේ සොහොයුරන්ට සහ ඔවුන්ගේ භාර්යාවන්ට මාමා සහ නැන්දා ‍විධියටත් පිය පාර්ශවයේ සොහොයුරියන්ට සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට නැන්දා සහ මාමා විධියටත් තමයි අපි කතා කරන්නේ.

නමුත් ඊට පරිබාහිරව අපට හමුවන අපේ පියාගේ සහ මවගේ මිතුරු මිතුරියන් අපි හඳුන්වන්නෙ අංකල්ලා සහ ඇන්ටිලා කියල. ඒ වගේම අපේ ඥාති නොවන ඕනම වැඩිහිටි පිරිමියෙක් සහ කාන්තාවක් අපට අංකල් සහ ඇන්ටි වෙනව. ඒක අපේ දෙමව්පියන්ම තමන්ගෙ මොකක් හරි හීනමානයක් වහගන්න අපට හුරු කරවපු එකක්. නමුත් ඒක දැන් අපට හුරු වෙලා. මේ හුරුකිරීම් බොහොමයක් නිසා අපි නොදැනුවත්වම බොහොමයක් දේවලට හිර වෙලා තියෙනව. ඒ අතරෙ නැන්ද මාම කියන එක ඇන්ටි (ආන්ට් කියන එකට ආදරේ එකතු වෙලා නේද ඇන්ටි හැදිල තියෙන්නේ :P) සහ අංකල් වීම සරල සහ කරදරකාරී නොවන එකක් විතරයි.

තව එකක්...

මෑතකදි මමත් මගේ මිතුරෙකුත් බස් රියක ගමණක් යද්දි නැග්ග ඇන්ටි කෙනෙක් පොඩි පුතා එක්ක. ඇය දරුවට කතා කලේ ඉංග්‍රීසියෙන්. නමුත් එක වතාවකදි දරුව කුමක් හො දෙයක් කටේ ඔබාගත්ත. එතකොට ඇය දරුවට කෑ ගැහුවෙ 'චී බබා කැත වැඩ කරන්න එපා. අහකට දාන්න.' කියලයි.

අමතක වුණ එකක්....

සරම සහ චීත්ත අඳින හෝ ගැමි පෙනුම ඇති සියලුම වැඩිහිටියන්ට නැන්දා සහ මාමා ලෙස අමතන මාගේ තවත් මිතුරකු සිටී. නමුත් ඔහු කලිසම සහ ගවුම් ඇඳි බටහිර පන්නයේ වැඩිහිටියන්ට අංකල් සහ ඇන්ටි කීමට ද නොපැකිලේ.

Thursday, 5 March 2009

සපත්තු


පහුගිය දවසක මම සපත්තු ජෝඩුවක් ගන්න කඩේට ගිහින් ආවෙ හිස් අතින්. හිතට හරියන එක සපත්තුවක්වත් එතන තිබුණෙ නෑ.

මෙච්චර කාලයක් මම දාපු එක සපත්තුවක්වත් මගේ කකුලේ හැඩයට ගැලපුණේ නෑ. එක්කො ඇඟිලි තියෙන හරිය රවුම්. නැත්තං හතරැස්. දැන් කඩවල් වල තියෙන්නෙ කඩු දාන්න හදපු කොපු වගේ උල් සපත්තු. කාලයක් තිබුණ හිමේ යද්දි දානව වගේ උඩට නැමුණු සපත්තු. ඒ එක්ක අඩිය අඟල් එක හමාරක් විතර උස සපත්තු. වතාවක් තෑග්ගකට හම්බවුණ ඒ ‍වගේ සපත්තු දෙකක් දාපුවම කකුල්වලට නොයෙක් අමාරුකම් දැණෙන්න ගත්ත.

මගේ හිතට හොඳටම හරිගියෙ කැන්වස් සපත්තු විතරයි. ඒක කකුලට පහසුවක් වුණා. ගානත් සැලකිය යුතු තරමක් අඩුයි.

ඒ වුණාට ඒව දාන්න බෑනෙ වැඩට යද්දි. ඒ නිසා මම මගේ කකුල රිදවන සපත්තු දාගෙන උදේ වැඩට යනව. :(

මම දන්නව මම මට සපත්තු දාන්න තියෙන අපහසුව ගැන කතා කලාට සපත්තු ගන්න සල්ලි නැති ලක්ෂ ගානක් ලෝකෙ ඉන්නව. සපත්තු දාන්න කකුල් නැති අයත් ගොඩක් ඉන්නව.

මේක වගේ කිසිම තේරුමක් නැති සටහනකින් එයාලට කිසිම වැඩක් නෑ කියලත් මම දන්නව.

ඒ වුණාට උදේට සපත්තු දාද්දි හැමදාම මට මේ ගැන හිතෙනව.