ශ්‍රී කාන්ත/ ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මි පොත් යුගල ගෙදර පුස්තකාලෙ තියෙන්නෙ
2011 ඉඳන්. නමුත් මට ඒ පොත් යුගල කියවන්න ඕන වෙන්නෙ චිත්‍රපටියක් නිසා. (ශරත් චන්ද්‍ර චැටර්ජි, චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි)
ප්‍රදීප්ත
භට්ටාචාර්ය කියන බෙංගාලි සිනමාකරුවාගේ Bakita Byaktigato (2013)
චිත්‍රපටිය මායා යථාර්ථවාදී අරුම පුදුම චිත්‍රපටියක්. මේක බලන්නෙ 2020
කොවිඩ් කාලෙදි. මේකෙන් අධ්‍යක්ෂවරයා ගැන පැහැදිලා ඔහුගේ තව නිර්මාණ ගැන
හොයන්න ගත්තම Rajlokhi O Srikantho (2019) චිත්‍රපටියත් හමු වෙනවා.
චිත්‍රපටියෙ ඩිජිටල් පිටපතක් 2020 දි ම බාගන්න පුලුවන් වුනත් ගැලපෙන
සබ්ටයිටල් එකක් නොතිබුණ නිසා බලන එක අතෑරලා තිබුණා. 2022 අගෝස්තු මාසෙදි
විතර දාපු සර්ච් එකකදි ඉංග්‍රීසි සබ් එකක් ලැබෙනවා. හෙණ කට්ටක් කාලා ඒකෙ
ටයිමින් ඇජස්ට් කරගෙන බැලුවට පස්සෙ මට පොත කියවන්න ඕන වෙනවා.
මේකෙ
සයිකොලොජිකල් කෑල්ල මොකක්ද? රාජලක්ෂ්මි ශ්‍රීකාන්ත වෙනුවෙන් කැපවී සිටීම
කියන කාරණය අස්සෙ පිරිමි ආස තැනක් තියෙනවා. ශ්‍රීකාන්ත සෑහෙන්න නිදහස්
මිනිහෙක්. ඔහු තමන්ට උවමනා දේ හොයාගෙන යන පිහාටුවක් වගේ සැහැල්ලු මිනිහෙක්.
ඒත් ඔහුට අවශ්‍ය මොහොතේ සල්ලිකාර, රූමත් කාන්තාවක් ඔහු වෙනුවෙන් ඉන්නවා.
ඔහුට යන්තම් මතක, ඒත් ඇයට හොඳින් මතක ඉතිහාසයක් ඔවුන් දෙදෙනාටම තියෙනවා. ඒ
මතකය ඇය සතුව හැමදාම තියෙනවා. ඒ නිසාම ඇය ඔහුව හොයාගෙන එනවා. ඒක එක විධියක
පිරිමි ෆැන්ටසියක්. අවසානයට එද්දි ශ්‍රීකාන්තට රස්සාවකුත් නොකර පොත්
කියවමින් විතරක් ඉන්න පුලුවන් ජීවිතයක් විවෘත වෙනව. ශ්‍රීකාන්ත වගේ
පිරිමියෙක්ට ඔයිට අමතරව ඕන මොනවද?
ඔය අස්සෙ මට මෙහෙමත් කල්පනා
වෙනවා. පොතේ කියවෙන රාජලක්ෂ්මි චරිතය ශ්‍රීකාන්ත ගැන දක්වන අසීමිත ආදරය
සමහර විට මේ පොත් රචනා වුණ කාලෙ එක්ක ගත්තම කාන්තා ෆැන්ටසියක් වෙන්නත්
පුළුවන්. ඒ කියන්නෙ තමන් ආදරය කරන පිරිමියට සලකගෙන ඔහුගේ සියළු වතාවත්
කරමින් එක්තරා ආගමික වර්ගයේ භක්තියකුත් එක්ක පවුල් කන්න කල්පනා කරන ගැහැණු
කියන්නෙ ඒ කාලෙ උත්කර්ෂයක් වෙන්නත් ඇති. වර්තමාන කාලෙ වෙද්දි මේ තත්ව
එහෙම්මම වලංගු නෑ. නමුත් පොත රස විඳින්න ඒක බාධාවක් නෑ.
Rajlokhi O
Srikantho (2019) චිත්‍රපටියෙ ශ්‍රීකාන්ත රඟපාන්නේ මේ වෙද්දි ඉන්න
විශිෂ්ඨතම තරුණ ඉන්දියානු චරිතාංග නලුවා කියල මම පිළිගන්න රිත්වික්
චක්‍රබෝර්ති. ඔහුට චරිත අස්සෙ දිය වෙන්න පුළුවන්. රාජලක්ෂ්මි චරිතය
රඟපාන්නෙ කලින් දැකලාවත් නැති ජ්‍යෝතිකා ජ්‍යෝති කියන බංගලිදේශ නිලිය.
කාලෙකට පස්සෙ ඇයත් මම කැමති වුණ නිලියක්. මේ චිත්‍රපටිය ශරත්චන්ද්‍ර
චට්ටෝපාධ්‍යායගෙ ශ්‍රී කාන්ත පොතේ චරිත සහ සිදුවීම් ආශ්‍රයෙන් ගොඩනගපු
වර්තමානයෙ කතාවක්. ඒ නිසා පොතේ චරිත සහ සිදුවීම් එක්ක චිත්‍රපටිය ඒ විදියටම
පෑහෙන්නෙ නෑ.
මගේ කාර්යාලීය මිතුරෙක් සහ මිතුරියක් අතර තියෙන දැඩි
මිතුරුකම මට පේනවා. ඒ මිතුරුකම ගැන වෙනත් අය කියන කතාත් මම අහල තියෙනවා.
මම ඒ දෙන්න අතර තියෙන්නෙ මොන විධියෙ සම්බන්ධයක්ද කියල හිතන්න උත්සාහ කරන්නෙ
නැහැ. ඒ දෙන්නම දරුවනුත් ඉන්න පවුල් නඩත්තු කරන අය. හැබැයි මේ සම්බන්ධය
අස්සෙ ඔවුන් දෙන්නම තමන්ට වෙන තැනකින් නොලැබෙන දෙයක් තෘප්ත කරගන්නවා කියල
මට හිතෙනවා. දෙන්නා අතරෙ ඇතිවෙන රණ්ඩු සහ කතාබහ මට ඇහෙනවා. ඒ ගැන අවධානය
යොමු කරන්න ලැබුණොත් මට තේරෙන්නෙ ඒ දෙන්න අතර තියෙන්නෙ වේදනාත්මක බැඳීමක්
කියල. පීඩාවෙන් තෘප්ත වීමක්. මට තේරෙන සරල දෙයක් ඒක. කිසිසේත්ම ඕවර්
තිංකින් නෙවෙයි.
ඒ කතාව කියන්නෙ ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මි අතරත්
එහෙම පීඩාකාරී බැඳීමක් නිරීක්ෂණය වුණ නිසා. දෙන්නා උවමනාවෙන්ම වෙන් වෙනව.
දෙදෙනා අතර දුරස්ථ බවක් රඳවගන්නවා. ඒ නිසාම වේදනාවට පත් වෙනවා. හිස් තැන
සම්පූර්ණ කරන්න තියෙන එකම හැකියාව අනෙකා විධියට තේරුම් අරන් ඒ ගැන කල්පනා
කරමින් ඉන්නව. ඒත් තමන් විශ්වාස කරන වෙනත් දේවල් නිසා උවමනාවෙන්ම දෙන්නා
අතර දුරස්ථ බව තියාගන්නව. සමහර විට ඒක වඩාත් තෘප්තිමත් තත්ත්වයක් වෙන්න
ඇති.
මේක ලියවෙන්නෙ 1900 මුල් ගණන් වලදි වෙන්න ඇති. ඒ නිසා විසි
එක්වෙනි ශතවර්ෂයේ ආරම්භයේ මානසික තත්වයකින් මේ කතාව තේරුම් ගන්න අමාරුයි.
කොහොමත් පොතේ දැක්වෙන බ්‍රාහ්මණ පූජා අවස්ථා මම කියෙව්වෙ හිනාවක් එක්ක.
භක්තියයි පාරම්පරික පුරුදුයි නිසා මිනිස්සු පියවි තත්වයෙන් කොයි තරම් වෙනස්
වෙන්න පුලුවන්ද කියන එක ගැන මට ඕන තරම් උදාහරණ මතක් වුණත් පොතේ දැක්වෙන
ඒවත් හරිම විහිළු සහගත වුණා. ආගමික භක්තිය තම තම නැණ පමණ කියල දැනගෙන
හිටියත් හිනාවෙන්න තියෙන අවස්ථා මගහැර ගන්නෙ ඇයි ඉතිං.