Showing posts with label alternative. Show all posts
Showing posts with label alternative. Show all posts

Wednesday, 17 June 2020

හිතන්න දේවල් නැතිකමට



සමන් සහ මගේ මිත්‍රත්වයට අවුරුදු 16කට වැඩි මිසක් අඩු නෑ. ඌ ජීවිතේ ගැන වෙන පැත්තක් හිතන්න පෙළඹවීම් ඇති කරපු යාළුවෙක්. කොළඹ ටවුන්වලත්, ගම්වලත්, කැලෑවලත් ඇවිදින්න මාව ඇදන් ගිය යාළුවෙක්. ජීවිතේ ගියපු හොඳම චාරිකාවත් උගේ අනුග්‍රහයෙන් ලැබුණ එකක්. මොන ප්‍රශ්ණ ආවත් කොයි තරම් ඈත් වුණත් දැනටත් ඕන දෙයක් කතා කරන්න පුළුවන් යාළුවෙක්.

කොවිඩ් අස්සෙ ගේ ඇතුලටම වෙලා ඉද්දි ඌට ඉස්සර කතා කරපු දර්ශනවාදය මතක් වෙලා අපි සෑහෙන්න ඒ ගැන චැට් කලා. ජීවිතේ සමහර දේවල්වලදි අපි ක්‍රියා කරන විධිය හරිද වැරදිද කියන ප්‍රශ්ණය හිතන්න ඌට වෙලාවක් ලැබිලා. ඒකෙදි ලියපු දීර්ඝ ඊමේල් එකක් මේක. ඌ හිතන විධියත් මම හිතන විධියත් වෙනස් වීම ගැන පැහැදිලි කරන්න ලියපු එකක්. මේව සර්ව සම්පූර්ණ ලිවීම් නෙවෙයි. ඕන දිහාකට වැවෙන්න ඇකිලෙන්න පුළුවන් ඒව...

මේ ටික උඹේ චැට් එක බලන අතරෙ හිතුණ බයිල ටිකක්. උඹට හිතෙන ඒවත් කියපං.



ඔය පයිතගරස් ප්‍රමේය ප්‍රායෝගිකව සාධනය කරන වීඩියෝ එක එව්වේ නිකං. සීමාවල් සහ සීමාවල් බිඳින එක ගැන කතා කරපු නිසා. සීමාවල් බිඳින්න පුළුවන් වෙන්නේ මුලින්ම ලෝකය තේරුම් ගන්න උත්සාහ කළොත් විතරයි. සීමාවල් අඳුනගන්නෙ එතකොට. පයිතගරස් ලොක්කා ලෝකෙ තියෙන දේවල් තේරුම්ගන්න උත්සාහ කළා විතරක් නෙමෙයි හැමෝටම ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට ඒක මූලධර්මවලට ගෙනාවා. එයා ලෝකයේ චින්තනයේ වෙනස්වීමක් වෙනුවෙන් ලොකු දායකත්වයක් කලා.

අපි බුදුන් වහන්සේව සලකන්නෙත් හිත කියන එක තේරුම් ගන්න උත්සාහ කරපු හිතේ ස්වභාවය මූලධර්ම වලට/ තියරිවලට ගොඩනගන්න උත්සාහ කරපු කෙනෙක් විදියට.

මම මේ චැට් එක ඊයෙ දවසෙ මුල ඉඳන්ම කියෙව්වා. උඹ මගෙන් අහල තියෙන සමහර දේවල් අපි සෑහෙන කලින් කතා බහ කරලා තියෙනවා. හැබැයි උඹ ඊට පස්සේ ඉදිරියට ඒ ගැන හිතලා නෑ වගේ කියලා මට හිතෙන්නේ. එහෙම උනානං උඹට තාමත් ඒ ප්‍රශ්න තියෙන්න විදිහක් නෑ. නමුත් මම උඹට මොකුත් කියන්නෑ ඒකට. උඹ ගෙවන ජීවිතේ එක්ක උඹට ඒ ගැන හිතන්න පොඩ්ඩක්වත් චාන්ස් එකක් ලැබෙන්නෙ නැතිව ඇති. නමුත් මට කාලය ගැන ලොකු ප්‍රශ්නයක් නැති නිසා මම එක එක දේවල් හිත හිත ඉන්නවා. වැඩක් ඇති නැති ඔළුවට එන හැම එකම හිතනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ මම ගොඩක් දේවල් තේරුම් අරන් කියලා. නමුත් උඹ තාම කරමින් ඉන්න කතාබහ තවදුරටත් කරන එක තේරුමක් නෑ කියල නම් මට තේරිලා තියෙන්නේ. ඒ වගේම මම ලොකු රවුමක් වටයක් ගහලා තේරුම් ගන්න දේ උඹ අසුරු සැනින් තේරුම් ගන්නවා කියලත් මම දන්නවා. සමහර දේවල් උඹ තේරුම්ගන්නෙ ජානමය හැකියාවෙන්. කිසිම තියරියක් නැතුව මේක මෙහෙම තමයි කියලා උඹ තේරුම් ගන්නවා. හැබැයි ඊට පස්සේ ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නවා.

උඹගේයි මගෙයි වෙනස අපි දෙන්න හිතන විදිය ක්‍රම දෙකක් වීම. Two separate thinking patterns. උඹ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත ආගමික පොත් ටිකයි හාමුදුරුවන්ගේ බණ ටිකයි ඔළුවේ තියාගෙන කතා කරන්නේ. මම ඊට වෙනස් ලයින් එකක ඉන්නේ. ඔය දෙකේම ලොකු වෙනසක් නැතුව ඇති. නමුත් අපිට වඩාත් පැහැදිලි මාවත මොකක්ද කියලා තෝර ගන්න ඕනේ. ඒකෙදි අපි දෙන්නා තෝරගන්න පාරවල් දෙක දෙකක් වෙන්නත් පුළුවන්.

උඹ සිද්ධාර්ථ කියන පොත කියවල තියනවද? ඒක ලියලා තියෙන්නේ හර්මන් හෙස කියල ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක්. මහාචාර්ය සෝමරත්න බාලසූරිය පරිවර්තනය කරල තියෙනව. ෆිල්ම් එකකුත් තියෙනව. මම හිතන්නේ අපි බලලා ඇති. ඒකෙ තියෙන්නෙ යාළුවො දෙන්නෙක්ගෙ කතාවක්. උන් දෙන්නම සත්‍යය සොයාගෙන යනවා. දෙන්නටම මගදී බුදුහාමුදුරුවන් හම්බෙනවා. එක යාලුවෙක් ඒ වෙලාවෙම බුදුහාමුදුරුවො ගැන පැහැදිලා මහණ වෙනවා. අනිත් කෙනාට ඒක හරියන්නෙ නැහැ. එයා කියනවා සත්‍යය කියන එක තමන්ම තේරුම් ගත යුතු දෙයක් මිස වෙන කෙනෙක්ව අනුගමනය කිරීමෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එනිසා එයා යාළුවට සමුදීලා එයාගෙ ගමන යනවා. එයා නගරයකට ගිහිල්ලා පොඩි රස්සාවක් කරලා ටික ටික ධනවතෙක් වෙනවා. හොඳට සල්ලි හොයනවා. නගරයේ ඉන්න ලස්සනම කෙල්ලො ආශ්‍රය කරනවා. දරුවෙක් හදනවා. ජීවිතයේ කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒත් අවසානයේ එයා හොයන සත්‍යය එයාට හමු වෙන්නේ නැහැ. එනිසා එයා සියලුදේ අතහැරලා යනවා. එතකොට එයාට හම්බෙනවා ගඟක ඔරු පදින තොටියෙක්. මෙයා මේ තොටියාට උදව් කරගෙන ඉන්නවා. ඔය අතරේ එයා දවසක් ගඟේ තමන්ගෙ ඡායාව දකිනවා. ඒ දකින්නේ තමන්ගේ ම තාත්තාව. ඒ කියන්නෙ ඒ වෙද්දි එයා වයසට ගිහිල්ලා එයාගේ තාත්තාගෙ මුහුණුවර තමයි දැන් එයාට තියෙන්නේ. එයා ඒ ඔස්සේ හිතන්න ගන්නවා. එතකොට එයාට තේරෙන්න ගන්නවා ජීවිතය කියන්නේ ප්‍රවාහයක් කියලා. ඒක හරියට ගඟක් වගේ එක දිගට ගලනවා. තාත්තාලා අපිව බිහි කළා. අපි තව දරුවන් බිහි කරනවා. දරුවෝ තවත් දරුවන් බිහි කරනවා. ඒක හරියට ගඟක් වගේ. ජීවිතය ප්‍රාණීන් අතරින් ගලාගෙන යනවා. තාත්තලා සීයලා වෙද්දි පුතාලා තාත්තලා වෙනවා. එයාට ජීවිතේ චක්‍රීය ස්වභාවේ වැටහෙන්න ගන්නවා. අවසානයේ එයා ඒක තමයි සදාතනික ඇත්ත කියල තේරුම් ගන්නවා. ඇතිවීම, පැවතීම හා නැති වීම.

ඔය පොත මමත් ආයෙ කියවන්න ඕනේ. දැන් කියවද්දී එකේ වෙනත් අර්ථයක් මට තේරෙන්න ඉඩ තියෙනවා.

උඹ හිතනවා ලෝකෙ කෙළවර හොයාගන්න බැරිකම අපිට තියෙන සීමාවක් කියලා. මිනිස්සු කියන්නේ සීමාවල් බිඳගෙන දියුණු වෙච්ච සත්ව කොට්ඨාශයක්. උඹ අකැමති නං ඒක දියුණුවක් විදියට සලකන්න එපා. නමුත් පොදු අර්ථයෙන් ඒකට කියන්නේ දියුණුව කියලා. කැළෑවේ ගල් ගුහාවක් අස්සේ ගල් ආයුධ වලින් මුගටියෙක්ව තලාගෙන කාපු කාලෙ ඉඳන් අපි මේ වෙද්දි සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන වෙනත් ග්‍රහලෝකයකට යානයක් යවල ඒ ග්‍රහලෝකය ගැන හොයන්න පුළුවන් තරමට දියුණු වෙලා තියෙනවා. ඒ වැඩේ මීට අවුරුදු සීයකට කලින් හිතන්න පුළුවන් කමක් තිබුන එකක් නෙවෙයි. ඒ පැත්තෙන් එහෙම දියුණු වෙද්දී අපි අනිත් පැත්තෙන් මිනිස් ශිෂ්ටාචාරය සංවර්ධනය වුනේ කොහොමද කියලා ඉතිහාසය දිහාවට පරීක්ෂණ කරමින් යනවා. ඒ අනුව උඹ, මම, ඇමෙරිකාවෙ මිනිස්සු, චීන මිනිස්සු, ඕස්ට්‍රේලියාව මිනිස්සු ආදී සියලු හෝමෝ සේපියන්ලා අප්‍රිකාවෙන් සම්භවනය වුණ බව අපි හොයාගෙන තියනවා. ඒක තනි මිනිහෙක් හොයාගත්ත එකක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ එක එක මිනිස්සු එක එක පැති ඔස්සේ පරික්ෂා කරල සනාථ කරගත්ත දෙයක්. ඒකෙදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලෝකෙ තේරුම් ගැනීම කියන කාරණය මනුස්සයෙක්ට තමන්ගේ ජීවිත කාලය තුලදී සම්පූර්ණ කරලා ඉවර කරන්න බැරි බව. ඕන මිනිහෙක්ට පුළුවන් සාමූහික ක්‍රියාවලියක කොටස් කාරයෙක් වෙන්න විතරයි.

විශ්වය කෙළවර හොයාගෙන ගියත් අපිට වෙන්නේ ඒ ගමනේ අවුරුදු 70ක 80ක විතර කාලයක් නියෝජනය කරන්න විතරයි. ඉස්සර මිනිස්සු හිතාගෙන හිටියේ ඉර පෘථිවියේ වටේ කැරකෙනවා කියලා. ඊටත් කලින් මිනිස්සු ඉර දෙවියෝ කියලා හිතාගෙන වන්දනාමාන කරා. 1500 ගණන්වලදී කොපනිකස් තමයි සූර්ය කේන්ද්‍රීය වාදය කියලා එකක් ගෙනාවේ. එයා ඒකෙන් අදහස් කරන්නේ ඉර මැදි කරගත්ත ඉර වටා යන සෞරග්‍රහ මණ්ඩලයක්. ඒක එයා කිව්වෙ නිකං නෙවෙයි අභ්‍යවකාශයේ තියෙන වස්තූන්වල චලනය නිරීක්ෂණය කරලා. හැබැයි පල්ලියෙන් එයාගේ අදහස් වලට සීමාවල් දැම්මා. එයා කිව්වෙ බොරු කියලා පිළිගන්න කියලා එයාට බල කරා. තමන් විසින් හොයාගත්ත දේවල් ප්‍රතික්ෂේප කරන්න එයාට සිද්ධ වුණා. පහුකාලෙක ජෝර්දානෝ බෘනෝ කියන ඉතාලියේ දාර්ශනිකයා කොපර්නිකස්ගේ අදහස හරි කියලා කිව්වා. එයාටත් පල්ලියෙන් බලපෑම් කරා. හැබැයි එයා තමන්ගේ මතය වෙනස් කර ගත්තෙ නෑ. ඒ නිසාම එයාව පණපිටින් පුච්චලා මැරුවේ. සත්‍යය හොයන්න උත්සාහ කරපු මිනිස්සුන්ට තිබුණේ ඔහොම අතීතයක්. හැබැයි ඒ සියලු දෙනාම විසින් මිනිසුන්ගේ සිතීමේ සීමා පුළුල් කරලා තියෙනවා. ඉස්සර පෘථිවිය විතරක් ලෝකය කියලා හිතපු මිනිස්සු දැන් විශ්වය ගැනත් මන්දාකිණි ගැනත් විශ්වයේ සීමාවෙන් එපිට තියෙන තවත් විශ්ව ගැනත් කතා වෙනවා හිතන්න පටන් අරන් තියනවා.

හිතපං උඹ 1400 ගණන්වල ඉපදුන එකෙක් කියලා. එතකොට උඹට විශ්වය ගැන තියෙන අදහස දැන් තියෙන එක වෙන්නෙ නෑ. ඒ කියන්නෙ අපි විශ්වාස කරන සත්‍යය පරම එකක් නෙවෙයි. කරුණු ගොඩකට සාපේක්ෂයි. සත්‍යය කියන අදහස වෙනස් වනසුළුයි.

සත්‍යය කියන්නේ ඒක නෙමෙයි කියලා උඹ කියයි. ඒකත් සත්‍යයේ කොටසක්. විශ්වයේ කෙලවර ගැන උඹ උනන්දුයි නම් ඒකෙ කෙළවරක් ගැන හොයන්න පටන්ගත්ත උන්ට වුන දේවල් දැනගන්න එක හොඳ නිසයි ඔය ටික කිව්වෙ.

මේ දේවල් කියන්නෙ මගේ තිංකිං පැටර්න් එක පැහැදිලි කරන්න. ලෝක ඉතිහාසයේ විද්‍යාත්මක සත්‍යය හොයපු අය ගැන දැනගන්න විවේකය සහ ඩේටා තියෙන වෙලාවක cosmos (2014) කියන වාර්තා වැඩසටහන් ටික හොයාගෙන බලන්න.

හැබැයි ඉඳලා හිටල ආගමික ශාස්තෘවරු කියන කට්ටිය බිහිවෙලා ලෝකයට පරම සත්‍යය කියලා එකක් දේශනා කරනවා. ඒ අනුව බිහිවෙච්ච ආගම් හාරදාස් ගාණක් ලෝකෙ තියෙනවා. අපි උපන් ආගම හොඳම එක කියලා විශ්වාස කරන්න අපිට පුරුදු කරලා තියෙන නිසා අපි හිතෙනවා අපි විශ්වාස කරන ආගම තමයි හරිම එක කියලා. නමුත් ලෝකයේ තියෙනවයි කියන ආගම් හාරදාස් ගණන බැලුවම පස්සෙ අපේ ආගම නිවැරදිම එක වෙන්න තියෙන හැකියාව හාර දාහෙන් එකයි. ආගමක් කියල දෙයක් බිහි වෙන්නෙ අනුගාමිකයො ටිකෙන් ටික වර්ධනය වෙලා පසුකාලීනව. මුලදි ඒක එක මනුස්සයෙක් විසින් පවතින ක්‍රමයට අභියෝග කරමින් ඉදිරිපත් කරන අදහස් ටිකක් විතරයි. සමහර විට ඒ මනුස්සය ජීවත් වුණ පරිසරය, කාලසීමාව වගේ දේවල් එක්ක ඒ කාලෙට ඒක පරම සත්‍යය කියල පේන්න පුළුවන්.

අපි ඉපදුන ආගම බුද්ධාගම වුන නිසා අපි රහත් වෙන එක ගැන නිර්වාණය ගැන ඒව මේව හිතන්න පෙළඹිලා තියෙනවා. ලෝකෙ තව මිනිස්සු තම තමන් විශ්වාස කරන ආගම් අනුව අපි ඉපදුනේ කොහොමද අපි ඉන්න ඕනි කොහොමද අපි යන්නේ කොහෙටද වගේ ප්‍රශ්න වලට උත්තර හොයමින් ඉන්නවා. බහුතරයක් දෙනා ආගමික වතාවත් කරමින් ආගමෙන් කියල දෙන විධියට ජීවත් නොවෙමින් නමට ආගමික වෙලා ඉන්නවා.

හැබැයි ලෝකෙ තියෙන බුද්ධාගම නොවෙන අනිත් බොහොම ආගම් සැලකුවම ඒවයෙ තියෙන්නෙ ලෝකය දෙවියෙක් විසින් මැවුවා කියල එකක්. ලෝකයේ සිද්දවෙන දේවල් තීරණය කරන්න සර්වබලධාරී පොරක් ඉන්නවා. උඹට වෙන හොඳ-නරක සියල්ල තීරණය කරන්නේ උන්නාන්සෙ.

එහෙම අදහසක් නැතුව ආගමක් වගේ දේකට පවතින්න අමාරුයි. මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අවසාන උත්තරේ තියෙන්නෙ 'ඒක දෙවියන්ගේ කැමැත්ත' කියන අයිඩියා එකේ.

දැන් එතකොට බුද්ධාගම ඊට වැඩිය වෙනස් ද? බැලූ බැල්මට බුද්ධාගමේ දෙවියෙක් ගැන කියන්නේ නෑ. අඩුගානේ ලෝකයේ සියලු දේවල් සර්වබලධාරී දෙවියෙක් විසින් තීරණය කරන දේවල් කියලා උගන්වන්නේ නැහැ. එතකොට බුද්ධාගම මෙච්චර කාලයක් පැවතුනේ කොහොමද? මිනිස්සු බුද්ධාගම ප්‍රශ්න කරල නැද්ද? බුද්ධාගම අදහන මිනිහෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැද්ද? ඔය උඹට ආව වගේ ප්‍රශ්න බෞද්ධ මිනිස්සුන්ට ඇතිවෙලා නැද්ද? එක එක මිනිස්සු එක එක විදිහට ඉපදෙන්නේ ඇයි කියන එක ප්‍රශ්ණයක් වුනේ උඹට විතරද?

එහෙම වෙන්න බෑනෙ. මිනිස්සුන්ට ඔය ප්‍රශ්න ඇවිත් ඇති. එතකොට ඒකට දෙන උත්තරය මොකක්ද? ලොකු වටයක් ගහල අන්තිමට ලැබෙන උත්තරේ තමයි ඒක උගේ කරුමේ කියන එක. ඒ කියන්නෙ කර්මය.

මම කියන්නේ බුද්ධාගමේදි සර්වබලධාරී දෙවියෝ කියන අදහස හැදෙන්නේ වෙන විදිහකට. කර්මය විදිහට. උඹ උනත් ඔය වචනෙන් දමල ගහනව ඇති මිනිස්සුන්ට. කර්මය. මම හිතන විදියට නම් බුද්ධාගමේ දී කර්මය කියන්නේ දෙවියන් වහන්සේ. කර්මය කියන වචනෙ දාපු ගමන් සියලු තර්ක අහෝසි වෙනවා.

'සියලු දේ ඔබේ කර්ම ශක්තිය මත තීරණය වෙනව. මේ ආත්මෙදි ඔබ විඳින දුකට හේතුව පහුගිය ආත්මයකදී ඔබ කරන ලද පාපකර්ම. මේ ආත්මෙදි ඔබ පෝසත් වීමට හෝ දුප්පත් වීමට හේතුව පසුගිය ආත්මයකදී ඔබ දානමානාදිය ලබා දුන්නාද නැද්ද කියන එක. ඔබ ගිය ආත්මයේදී විරූපී මනුස්සයෙකුට හිනා වුණා නම් ඔබ මේ ආත්මෙදී විරූපී මිනිහෙක් වෙලා ඉපදෙනවා. එහෙම නැත්තං සතෙක් වෙලා ඉපදෙනවා. ඔබ මේ ආත්මෙදි කාලකන්නි වෙලා ඉන්නෙ ගිය ආත්මෙදි පාපකර්ම කරල තියෙන හින්ද.'

ඕක නෙවෙයිද උඹ ඉගෙන ගෙන තියෙන්නෙ?

අපේ පාලනයෙන් තොර දෙයක් විසින් අපිව පාලනය කරනව. හරියට දෙවියන් වහන්සේ වගේ.

මම අදහස් කරන්නේ නෑ බෞද්ධ දර්ශනය වැරදියි කියලා. අනිත් සියලු ආගම් සහ දර්ශනයන් වගේම ඒක ලෝකය තේරුම් ගන්න පුළුවන් එක ක්‍රමයක්. කැමති කෙනෙක්ට ඒ ක්‍රමයට ලෝකය තේරුම් අරගෙන සිස්ටම් එකේ පැවැත්මට අවම වශයෙන් දායක වෙලා මැරෙනකම් ෂේප් එකේ ඉන්න පුළුවන්. ඒකෙදි පරිස්සම් වෙන්න වෙනවා. මොකද අවුරුදු දෙදහස් ගාණක් තිස්සේ පැවත එන එකක් ඒ විදිහටම පවතිනවා කියලා අපිට හිතන්න අමාරු නිසා. ඒ නිසා බුද්ධ දර්ශනය වර්තමාන ස්වභාවය තේරුම් ගනිද්දි පරිස්සම් වෙන්න වෙනවා.

හරි. එතකොට නිවන් දැක්කම හරිද සේරම? කියන්නෙ එහෙමයි. හැබැයි දැකපු අය ඉන්නවද? දැක්කයි කියල කියන අය ඉන්නවා. එයාලව ෂුවර්ද? අපි නිවන් දැකලද සෝවාන් වෙලාද කියල දැනගන්නෙ කොහොමද?

නිර්වාණ මාර්ගයේ ඔය කියන සෝවාන් සකෘදාගාමි වගේ වචන වලින් අදහස් කරන්නේ එක එක බුද්ධි මට්ටම්. ඒ කියන්නේ ඒ මට්ටමට ආවට පස්සෙ ඌ අනිත් පැත්තට හැරෙන්නෙ නැහැ මළාටවත්. ඒක හරියට එකතු කරන්න දන්න එකෙක් 2+2 සමානයි 5යි කියලා කවුරු කිව්වත් පිළිගන්නෙ නෑ වගේ එකක් තමයි. ඒ දැනුම් මට්ටමට ආවට පස්සෙ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ මට්ටම් ළඟා කරගන්න මිනිස්සු හැම කාලෙකම ඉන්නවා. සමහරු කතා කරනවා බොහොම අය කතා නොකර ඉන්නවා. මොකද මේ කාලය එහෙම සුදුසු කාලයක් නෙවෙයි. මම රහත් කියල ඇත්තටම රහත් වුන එකෙක් කිව්වොත් ඌව මරාගෙන කන්නෙ නැති එක විතරයි. බෝසත් දිව්‍ය රාජයා බුදුවෙන උපතේ ඉපදෙන්න පස් මහ බැලුම් බැලුවෙ ඒකයි. මේ බුද්ධෝත්පත්ති කාලයක් නෙවෙයි. හැබැයි හිට් නොවන බුදුවරු අදටත් ඕන තරම් ඉන්නවා. සමහර විට බොහොම දෙනෙක් තමන් ඉන්න මට්ටම ගැන අවබෝධයක් නැතුව ජීවත් වෙනවා. බුද්ධාගම වගේ හිතේ මට්ටම් ගැන කතා කරන දර්ශනයක් ගැන අහල තියෙන, ඒ ගැන උනන්දු කෙනෙක් පොඩ්ඩක් ඒ ගැන හිතන්න හොයන්න පෙළඹෙනවා. ව්‍යාපාරික දැනුමක් සහ ඔය බුද්ධි මට්ටම කියන දෙකම තියෙන අය තමන්ගෙ රහත් බව ප්‍රකාශ කරල ඒකෙන් ව්‍යාපාරයක් කරනවා.

උඹ කැමති නං දිගට කතා කරමු.



Tuesday, 16 June 2015

අදහසක් ආවොත් කණේ පාරක්

The Hitchhiker's guide to the galaxy (2005) කියන චිත්‍රපටියෙ එක ස්ථානයක් තියෙනවා ප්‍රධාන චරිත ටික පහු කල යුතු. මෙතනදි හිතේ කිසිම විදියක අදහසක් ඇති වෙන්න බෑ. අදහසක් හිතට ආවොත් වැලි අතරින් මතු වෙන සවලකින් (මැස්සන්ට ගහන fly swatters කියල කියන්නේ) මූණට පාරක් වදිනවා.


අවුරුදු ගාණකට කලින් මේ සීන් එක දැකපු වෙලේ ඉඳන් හිතෙන්නෙ අපේ රටේ බහුතර උන්ව වගකිවයුතු පුරවැසියො කරන්නත් මෙහෙම එකක් ඕන කියලයි.



Friday, 12 April 2013

ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද!


පහුගිය 06 වෙනි සෙනසුරාද කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක ‍වගේ නේ... මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.

සංගීතය, ලංකාවෙදි නං ගීතය, සින්දු ගැන අපි ඕන තරම් කතා කරනවා. ඕන තරං සින්දු අහනවා. සාමාන්‍යයෙන් සංගීතය කියන එක විතරක් අහන්න තරං ඇම්මක් තියෙන උන් නං ටිකක් අඩුයි. නමුත් කොයි කවුරුත් සින්දුනං අහනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට සින්දු අහන්නෙ අහන්නං වාලෙ කිව්වොත් හරි. කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි, බූට් එකක් එහෙම කෑවම නං සින්දු හිටු කියලා මතක් වෙනව වුණාට සාමාන්‍යයෙන් වෙන අවස්ථාවලදි අපි සින්දු සීරියස් ගන්නෙ නෑ.

හැබැයි ඩවුන් ටවුන් පල්ස් කියන්නෙ සීරියස් වැඩක්. අඩු ගානෙ මම එහෙම හිතන්න කැමතියි. ඒ නිසාම ඒක අළුත් වැඩක් විධියට අඳුණගන්න තවත් සාධකයක් එකතු වෙනවා. රහක් නැති දියාරු බෝරිං සංගීත ව්‍යාපෘති අතරෙ මේක දැණෙන වැඩක් වෙන්නෙ ඒක නිසයි.

මුල්ම කාරණේ ම‍ට මේක සම්පූර්ණයෙන්ම ජීර්ණය කරගන්න බැරිවීම. ඒ කියන්නෙ ගෙදර ඉඳන් නිදහසේ අහන තරම් අවබෝධයෙන් මේක පහලට යවාගන්න බැරි වීම. දැනීම්, විඳීම් අතින් නම් වැඩේ යන්තම් ෂේප් කරගත්තා. නමුත් මේක එතනින් නතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැනිලා විඳලා එතනින් නතර කරන්න නම් මේ ගැන මෙහෙම කතා කරන එකෙත් වැඩක් නෑ.

ඒ නොහැකි වීමට හේතු වෙන පළවෙනි එක කොළඹ ආවම හැදෙන හිසේ ඇම්ම. සාමාන්‍යයෙන් ඇම්ම තියෙන්නෙ වෙන තැනක වුණාට කොළඹදි හිසේ ඇම්මකුත් එනවා. ඒක මට මෙතනට සෙට් වෙන්න ලොකුම බාධකය වුණා කියල මට හිතෙන්නෙ. අනිත් කාරණේ ඒක බලන්න යන්න සෙට් වුණ උන් ටික. උන්ගෙ රහ තිබුණෙ වෙන තැනක ;-) එතන වෙන ප්‍රොජෙක්ට් එකක් තිබුණ නිසා ඒකට සෙට් වෙන එක ප්‍රධාන වුණා. ඒ නිසා මේ සටහන ලියන්නෙ ඩවුන් ටවුන් පල්සෙදි රැප් කියපු drill team එකේ සින්දු එකහමාරක් විතර යද්දි නැගිටල ආපු එකෙක්.

ඩවුන් ටවුන් පල්ස් නිකංම නිකං සංගීත ප්‍රසංගයකින් වෙනස් වෙන්නෙ කොහොමද? මේ ගැන දැනටමත් තැන් කීපයක කතා කරල තියෙනව මම දැක්ක. ප්‍රධානම දේ මේ ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් වුණ ශිල්පීන් ප්‍රධාන ධාරාවේ නිර්මාණකරුවො‍ නොවීම. ඔවුන් විකල්ප සංගීතවේදීන් වීම. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල මේක කියවගෙන යනකොට සමහර විට පත්තු වෙයි. අනිත් කාරණේ ලංකාවෙ අපි ඉන්න සමාජ තලයෙදි ලයිව් නෑසුණ සංගීතයක් වෙනුවෙන් ඉඩක් ලැබීම. ඒ සංගීතය තුල සිංහල චවන මීට පෙර ඇහුණට වඩා වෙනස් විධියකට හඬනැගීම.

ප්‍රසංගය සම්බන්ධ මතකය පින්තූර ටිකකට එහා ගෙනියන්න අවස්ථාවක් ලබා දීම තමයි අනිත් විශේෂත්වය. ඒ තමයි මහා Down Town Pulse පුස්ථකය.

පොත


මේ වැඩේ කරන බේකරියෙ සෙට් එකේ විරාජ් මහත්තය මෙතන කියල තියෙන විධියට ලංකාවෙ විකල්ප සංගීතයේ මෑත යුගයේ තදයො විධියට අපි දන්න ඉන්ද්‍රචාප, නදීක වගේ අයගෙ අදහස් නම් පොතේ නැති වුණාට ප්‍රමාණික දැනුමක් තියෙනවයි කියල හිතන්න පුළුවන් කට්ටියක් පොතේ ගොඩක් දේවල් කියල තිබුණ. මම හැමදාම හිතනව වගේ මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි. ඒ නිසාම පොත මරු! ඇරියස් ටික ඊළඟ පාර අල්ලමු!

පොත කියවද්දිත්, වෙනත් ලිවීම් කියවද්දිත් මට තේරුණේ අපි ඕනම දෙයක් තේරුම්ගන්න කලින් ඒව අපි දන්න ආකෘතිවලට රිංගවන්න යනවය කියන එක. ඒක අපි හැමෝම කරන වැඩක්. ඒ ගැන ඉස්සර දවසක ලිව්ව මතකයි මෙතන සහ ඊටත් ඉස්සර මෙතන. (දැන් ඒ අතීතය ගැන ඉරිසියයි ඕයි!) අපි ලේසියටයි එහෙම කරන්නෙ. මොකද අපි දන්නෙ නැති, ඉගෙනගෙන නැති දෙයක් ගැන තේරුම්ගන්න කරන්න වෙන හැදෑරීම කරන්න අපි මාර කම්මැලියි. නැත්තං එහෙම හැදෑරීමක් ඕනය කියල අපිට හිතෙන්නෙ නෑ. ඒ නිසාම අපි දන්න ස්ට්‍රක්චර්ස් කීපයක් අස්සට දාල හැමදේම තේරුම්ගන්න යනව. ‍

ඩවුන් ටවුන් පල්ස් කණ්ඩායම් ගැනත් එහෙම කියවීම් කීපයක් මම දැක්ක. නිර්මාණකරුවා ගේන යෝජනාව අහනව වෙනුවට තමන් හිතං ඉන්න එක ඇතුලට නිර්මාණකරුවව ගේන්න යන එක. හරියට අපිට ඉන්න බොස්ල වගේ. එලියට බැහැල කල්පනා කරන්න කැමතිම නෑ. කොහොම වුණත් ඒ හින්ද සමහර කියවන්නන්ට ‍ඩවුන් ටවුන් පල්ස් නිර්මාණකරුවන්ව අහුවෙන්නෙ නෑ. ඕනවට වඩා ගොඩක් පොත් කියෙව්වමත් ඔහොම ඒව වෙනව මගෙ හිතේ.

එකපාර පොතට පැන්නට මට මුලින්ම කියන්න ඕන එතනදි සහ පසුව හිතුණ අමු දේවල් ටිකක් ගැන. මට මුලින්ම හිතුණෙ ‍ඩවුන් ටවුන් පල්ස් අතරෙදි ඔය කියන පල්ස් දෙකක් අතරෙ හෙන පත සානුවක් තියෙනව නේද කියලයි. ඒ කියන්නෙ ලොකු පල්ස් දෙකක් අතර ලොකු ෆ්ලැට් ගතියක්. එහෙම වුණේ ගොඩක් සංගීත කණ්ඩායම්වල නිර්මාණ එකම ටෝන් එකකින් තිබීම. සමහර විට ඔවුන්ට තියෙන එකම නිර්මාණ ටික ඒව වෙන්න පුළුවන්. නමුත් මේක අළුත් වැඩක්, සහ ප්‍රසංගයක් නිසා තෝරගන්න ගීත අතරෙ පොඩි ටෝන්මය විවිධත්වයක් තිබුණ නම් හොඳයි කියල හිතුණ.

ගෝෂා - චින්තක ගීතදේව


අජිත් කුමාරසිරි මේ කැටගරියෙ තදයා හෙවත් ආරම්භකයා කිව්වොත් හරි. ඔහු ගැන අපි දන්නෙ අවුරුදු ගාණක ඉඳන්. ඒ නිසාම මේ විධියෙ සංගීතෙකට කැමති අය අතරෙ අජිත් දැන් ස්ටාර් කෙනෙක්. එදා ඒක මට තේරුණා. ඔහුට එහෙම වෙන්න ඕනවට වඩා අවශ්‍යතා සම්පූර්ණයි. නමුත් ඔහු ගායනා කරපු ගීත ගැන මගෙ කැමැත්තක් නෑ නයි නටවන එක ඇරුණම. මේ දවස්වල ජිනීවා කේස් එක ආයෙමත් නැගල යන නිසා මාත් එක්ක හිටපු එක්කෙනෙක් පෙරුම් පුරාගෙන හිටියෙ ඒක කියයි කියලා. ඒ කොහොම වුණත් ඒ වගේ තැනකදි කලින් අපි අහපු දන්න සින්දුවක් කිව්වනං ‍වඩා හොඳ වෙන්න තිබුණා.

අජිත් කුමාරසිරි


කලිනුත් කිව්ව වගේ ‍ඩවුන් ටවුන් පල්ස් අවබෝධයෙන් ජීර්ණය කරගන්න විධියක් නෑ එතන තත්ත්වෙ උඩ. ඒ නිසා අළුත්ම සින්දු යූ ටියුබ් හරි මොකක් හරි එකකින් අහනකල් දිරවගන්න එක ලේසි වෙන එකක් නෑ.

අනිත් එක ඩ්‍රිල් ටීම්. එයාල එනව කිව්වම මම සතුටු වුණා. නමුත් එයාල වෙනුවෙන් තිබුණ ඇරෙන්ජ්මන්ට් එක ටිකක් අවුල් වගේ. ඒ නැතත් මොකක්දෝ අවුලක් තිබුණා. එතන හිටපු ක්‍රවුඩ් එකට එයාලව අල්ලගන්න පුළුවන් වුණාද මන්දා. අපිත් රැඳිල හිටියෙ එයාල එනකල්. නමුත් මැදදි නැගිටින්න වුණා.

ඩ්‍රිල් ටීම්


සමහර වෙලාවට සින්දුවලට පොලිටික් කෑලි උවමනාවෙන්ම දාලද මන්දා කියලත් හිතුණා. ඒ වෙලාවෙ හිතුණෙ. දැන් මතක නෑ මොනව ගැනද හිතුණෙ කියල. සමහර විට විකල්ප වීමේ උවමනාවම ඒකට පෙළඹෙව්වද මන්දා. ඔතනදි විකල්ප වෙන්නෙ කොහොමද, ඇයිද කියන එකත් හිතන්න වෙනවා. ලෝකෙ එක එක කාලෙදි ඒ ඒ තත්ත්වයන්ට අදාලව විකල්ප සංගීතඥයො බිහි වෙලා ඇති. ඒ කියපු විකල්ප සංගීතය කියල අපි දන්නෙ සංගීතෙ ප්‍රධාන ධාරාවකට අභියෝගයක් කරන වෙනත් සංගීතයක් කියල නම් ඒක ‍මෙතනදි හරි. මොකද මෙතනදි එලියට ආපු වචන සහ සංගීතය අපි සාමාන්‍යයෙන් සින්දුවලින් අහන වචන හෝ සංගීතය නෙවෙයි.

සාම්ප්‍රදායිකව අපි අහපු සිංහල ගීතයෙ වචන වෙනස් කලේ චාමින්ද රත්නසූරිය කියලයි මට හිතෙන්නෙ. අජිත් කුමාරසිරිව මට අහුවෙන්නෙ ඊට පස්සෙ. ඩැඩීල අහුවෙන්නෙ ඊටත් පස්සෙ. වෙන කව්රු නව රැල්ලට සින්දු කිව්වත් ඒ වචන හරිම සාම්ප්‍රදායිකයි. හැමදාම අපිට ආදරේ විග්‍රහ කරගන්න හඳයි, වැවයි, ඇසුයි නැතිව අමාරුයි. දැන් දැන් මේ සංකේත ටික නාගරීකරණය වෙලා වුණාට යොදාගන්නෙ අර අර්ථයෙන්මයි. පැහැදිලි චිත්‍රයක් වගේ දර්ශණය ගානට මවල දෙනවා. ඇස් දෙක පියාගත්තම සමනල්ලු පියාඹනවා. දැන් නං සමහරු මුලින් වීඩියෝ එකට නටලා ඒකට හරියන්න තනුවක් දාලා ඒකට වචන දාලයි සින්දු හදන්නෙ කියල තේරෙනවා.

මොනව වුණත් අපි විඳින හැඟීම් අමාරුවෙන් හරි වචන කරන එක චාමින්දට, අජිත්ට සහ ඩැඩීට පස්සෙ මට ටොප් එකටම අහුවුනේ ‍ඩවුන් ටවුන් පල්ස් වලින්. ඒ වචන අළුත්!

ඒ එක්කම අමිල සඳරුවන් ගැන මට තිබුණ අදහස තව පළල් වුණා කියල හිතෙනවා මේකෙන්. එයාගෙ ස්වභාවික ගැයිල්ල මට මතක් කලේ බොබ් ඩිලන්ව. ඩිලන්ගෙ අහල තියෙන සින්දු අතරෙ ඔහුත් බොහොම ස්වභාවිකව හඬ හැසිරෙව්ව කියල මතකයි. අමිල කියන මේ සින්දුව ඊයෙ පෙරේදා දවසක හමුවීම ආයෙමත් අමිලව අළුත් කලා.




කව්රු මොනව කිව්වත් මෙහෙම තැනකට ආපු ‍ඩවුන් ටවුන් පල්ස් සංගීතවේදීන් ගැන මට තියෙන්නෙ ලොකු පැහැදීමක්. සංගීතය කියන එක අවශ්‍ය අයට ඒක පිපාසයක් වගේ එකක්. එහෙම එකේ මිරිඟු ගොඩක් එක්ක ඉඳල හිටල වතුර වලක් හම්බවෙන කාන්තාරෙක උන් කරන වැඩේ සිරා.

මම දන්නෙ නෑ එතන හිටපු කී දෙනෙක් කවදා වෙනකල් වැඩේ දිගටම කරයිද කියලා. මොකද ලංකාවෙ නෙවෙයි කොහෙදිත් ජීවත් වෙද්දි මාකට් එක ඕන වෙනවා. ජීවිතේ එක්ක ගනුදෙනු කරද්දි පැෂන් එක අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. මමනං කියන්නෙ එහෙම වෙන දවසක අතෑරලා දාන්න කියලයි. නිකං පඩ ෂෝ සහ බයිල ගගහ අසාර්ථක ප්‍රොජෙක්ට්වල රැඳිල ඉන්න එපා.

මට අහුවුණ තව එකක් මේ විකල්ප කියන අයගෙ තියෙන සමාජ භීතිකාව ගැන කතා. මීඩියා භීතිකාව හෝ මීඩියා වලින් හැංගීම හෝ වෙනම කොටසක් විධියට කැපිල පෙන්න තියෙන උවමනාව කියල ගමු. ඒක මානසික අසහනයක්? මටනං එහෙම හිතෙන්නෙ නෑ. ඒ තරං මම එක්කෙනෙක්ගෙවත් ඇත්ත ජීවිතේ දන්නෙ නෑ. අර කලින් කියපු විරාජ්ගෙ ඉන්ටවිව් එ‍කේ තිබුණ විධියටනං මාධ්‍යවලට විකිණෙන්න ඕන නෑ කියල කට්ටිය කිව්වලු. අනේ මන්දා ඕවා.

උඹලට සල්ලි නෑ කියලනං මට හිතෙනව. තිබුණ නම් වීඩියෝවක් කරල දායි. මොකද ඇත්තටම එහෙම මීඩියාවලට ගියා කියල අවුලක් නෑ. සමහර විට යම් දවසක උඹල බලපෑමක් කරන්න පුළුවන් කොටසක් විධියට හැදෙද්දි ඒ අවකාශය ඕපන් වෙයි. එතකොට හැංගිල වැඩක් නෑ. හැබැයි මීඩියාවලට තමන්ව උරාගන්න දුන්නොත් විනාසයි. ඒක ගානට වෙන්න ඕන වැඩක්. පුළුවන් නම් මීඩියා එක්ක ගනුදෙනු කරන අළුත් විධියක් හොයාගනිල්ලා.

කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා උඹල කරන විධියට හරි කරන එක ලොකු දෙයක් කියල මම හිතන්නෙ. මොකද එහෙම නොකර ඉන්න අය ඉන්නවා. උන් වෙන වෙන බිස්නස් කරනවා. නැත්තං කම්මැලිකම හරි වෙන මොකක් හරි නිසා උන් මෙහෙම වැඩ කරන්නෙ නෑ. ඔය රියැලටි ප්‍රෝග්‍රෑම්වලින් එහෙම කුණු මුල්ලට වෙලා හිටපු උන්ට තල්ලුවක් දුන්නා. නමුත් අපි දන්නව රියැලටියෙන් එලියට එද්දි ගොඩක් විට උන් ආයෙත් හරි යන්නෙ කුණු මුල්ලටම තමයි කියල. මොනව වුණත් රියැලටියටවත් නොයා අතෑරල දාල ඉන්න උන්ට පට්ට මානසික අසහනයක් තියෙනව වෙන්න ඕන.

මේ ලියවිල්ලෙ තරංග ආයාමය සෑහෙන්න දිග නිසා නතර කරන්න වෙලාව හරි. අන්තිමේදි කියන්න තියෙන්නෙ කතා කාරයො මොනව කිව්වත් තමන්ට දැණෙනකල් වැඩේ ඇදගෙන යමු කියලයි. කොහොමත් අපේ රටේ න්‍යායකාරයො වැඩියි. ඒකට මාත් ඇතුලත්. දන්න මගුලකුත් නෑ කොරන උලව්වකුත් නෑ. දන්නෙ රටේ නැති මල විකාරවලින් කොල පුරවන්න විතරයි. ඒ පුරවන‍්නෙත් අනිත් මිනිස්සු කරපු කියපුව ගැන. ඒවත් ඕන තමා. හැබැයි ඒව බේස් කරගෙන වෙනස් වෙන්න උවමනාවක් නෑ. ඒ නිසා මම කියපුවවත් ගණං ගන්න එපා.

පුළුවන් තාක් දිගටම ගේමෙ ඉමු! ජය වේවා!



-----------------------------------------------------------------
පින්තූරවලට අනුග්‍රහය ලබා දුන් ලිෂාන්ට ස්තූතිය!

ඩවුන් ටවුන් පල්ස් පස්සෙන් යන්න ඕන නම්!
down town pulse on FB

Monday, 14 March 2011

බහිර්ශීල දමනය | පොතේ නැති කතාවක්!


තවද එක් සමයෙක්හි අප මහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩ වාසය කරන කල්හි අනේපිඬු සිටාණන්ගෙන් නිරන්තරයෙන් දානමානාදිය ලබන්නේ වරෙක් ඉන් ම‍ඳෙක් ඉවත්ව බුද්ධ වංශය ප්‍රකාරව පිණ්ඩපාතයෙහි වැඩීම යෙහෙකැයි කල්පනා කල සේක.

උන් වහන්සේ පාත්‍රයද විවෘතව ගෙන යටිකුසෙහි තෙරපා මද ජනාකීර්ණ පුළුල් මාවතක් පසෙකින් සන්සුන් ගමනින් පිඬු සිඟා වඩින්නට වූහ.

මෙකල්හි බුදුන්ගේ කීර්තියත් උන්වහන්සේගේ ධර්මයෙහි ස්වාධීනත්වයත් එහි වූ නොබිඳිය හැකි භාවයත් පිළිබඳව ඊර්ෂ්‍යා සහගතව බුදුන් පර්වශයෙහි ක්‍රෝධ සිත් ඇත්ව සිටි බහිර්ශීල නම් වූ එක්තරා බ්‍රාහ්මණයෙක් වේදයන් කියවා මඳ ඉසිඹුලන ඇසිල්ලේ ආරාමයේ කවුළු තිර අතරින් බුදුන් දිටී. සතුරා දුටු ක්ෂණයෙන් ගිණිදළු ලා සිරුර වෙලාගත් ක්රෝධයෙන් අනූනව මෙකී බ්‍රාහ්මණයා වහා මාවතට පිළිපන්ව බුදුන් මග අවුරා බුදු නෙතට මුහුණ ලා සිට හොත්තේය.

තම ගමන ඉදිරියේ අදිසියේ පහළ වූ රූපකාය දෙස නොබලාම ඒ පහළ වූයේ යහපත් අරමුණකින් නොවන බව වටහාගත් බුදුරජාණන් වහන්සේ ‘මොහු හා මුහුණ බැලීමෙන්ම අර්ථ විරහිත අගතියක්ම වේය’යි සිතා බහිර්ශීල බ්‍රාහ්මණයා මගහැරයාමට දකුණු පසට පා තැබූහ. එකෙණෙහිම බහිර්ශීලයාද ස්වකීය වම්පසට බරවී නැවත බුදුන් මුහුණ ලා ‍සිටියේය. එවිට බුදුන් තම වම් පසට හැරී නැවත බහිර්ශීලයන් මගහැරීමට තැත් දැරූහ. එකල්හි නැවතත් බහිර්ශීල තෙම බුදුන් අභිමුඛ වන ලෙසට තම දකුණු පසට බර වීය.

බහිර්ශීලයන්ගේ දුෂ්ට අභිප්‍රාය වූයේ බුදුන් හා ගැටුමක් නංවා තම වේද දැනුමින් බුදුන් පරාජය කොට මාවතෙහි යනෙනා මගීන්ගෙන්ද දුෂ්ට බස් අසවන්නට සලස්වා උන් අතර බුදුන් අවමානයට පත්කරලීමටය. එහෙත් ඉවසිලිවන්ත වූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ගොඩනැගෙන්නේ තේරුම්සහගත කිසිවක්ම නොවන බව වටහාගත්තේ බහිර්ශීල මගහැරයාමටම තැත් දැරීය. අවසන බහිර්ශීල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ උරයට තම අත ගසා තදින් තෙරපා උන්වහන්සේ නවතාලීය.

“වහසි බස් දොඩන ශ්‍රමණය, මා හා සම්මුඛ වන්නට මැලි වන්නේ කිම්ද? තට එතරම් කඩිනමක් කිමද?”

බහිර්ශීලයා ගුගුරාලීය.

“පින්වත් බ්‍රාහ්මණය, මා කුසගිනි නිවාගනු පිණිස යමක් සොයාගැනීම පිණිස පිණ්ඩපාතයෙහි වඩින්නෙමි. තොපට අවැඩක් වන කිසිවක් මා සිදුකර නැති බව තොප දන්නවා ඇත. මාගේ මග අවුරන්නේ කිමද?”

බුදුරාජාණන් වහන්සේ කරුණා වදන් බහිර්ශීලයන් වෙත මුදාහල සේක.

එහෙත් බහිර්ශීල බ්‍රාහ්මණ තෙම කිසිවක් අත්හැර දැමීමට සූදානම් වූවෙක් නොවේ. වේද ශාස්ත්‍රය සමගින් තර්ක ශාස්ත්‍රයද ඔහු මැනවින් ප්‍රගුණ කර සිටියෙකි.

“මා හට අවැඩක් සිදුකළ බව ‍තොපට සිහි නොතිබුණාට කලයුත්තක් මට නැත. තා තාගේ වහසි බස් දෙඩීම ඇරඹූ දා පටන් කළේ මා හටත් මාගේ දහමටත් නින්දාවක්මය.”

“බ්‍රාහ්මණය, මා ඔබටවත් ඔබගේ දහමටවත් නිගරුවක් කියා නැත. මා හුදෙක් මවිසින් ගවේෂණය කර සාක්ෂාත් කරගත් කාරණා ගැන පමණක් දේශනා කරන්නෙමි. තොපගේ දැනුම අනුව තොප මාගේ වහසි බසට කන් යොමුකරවූවා නම් තොපගේ බුද්ධි මහිමය අනුව තොපටම එය අවබෝධ වී ද තිබිය යුතුය.”

බහිර්ශීලත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවෙමින් පවතින වාදයට යොමුවෙනු වස් ආරාමයේ හුන් බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයෝ පිරිසක්ද බහිර්ශීල අසලින් පෙළගැසී සිටගති.

“තගේ වහසි බස් තා තියාගනුව. තා මේ නගරයේ වැසියන් මුළා කරන්නේය. සිටාණන්ද මහ රජුන්ද රවටා අනුග්‍රහ ලබන්නේය. උන් අප කුලය කෙරේ බිඳවන්නේය. අප හට උවටැන් කල වැසියන් මුළාවෙන් වශී කර උන්ගේ උවටැන් ලබන්නේය.”

“බ්‍රාහ්මණය, මා කිසිවෙකු රවටා නැත. උවටැන්ද යැද නැත. ප්‍රභූ හෝ වේවා දිළිඳු හෝ වේවා මට එහි දුහුවිලි පිඩක් බඳු වූද වෙනසක් නැත. මාගේ ධර්මයේ අර්ථයක් දැක ඉන් තම ජීවිතය ආලෝකමත් කරගත්තෝ මා හටත් මාගේ ධර්මයටත් සඟරුවනටත් අනුග්‍රහ දක්වන්නෝ වෙති. මා ඒ කිසිවක් සඳහා යදින්නෙකු නොවේ. මා ඒ මත යැපෙන්නෙක්ද නොවේ...”

බුදුන්ගේ කරුණා වදනත් බහිර්ශීලයන්ගේ ගොරහැඬි භාෂිතයත් කරණ කොටගෙන සිය ගණනක් ජනයා මේ අවනඩුව වටා රොක්වන්නට විය. ඇතැමුන් බහිර්ශීල වෙත පක්ෂවද ඇතැමුන් විපක්ෂවද උනුන් අතර රහසින් හේතු මුමුණන්නට වූහ. වැසියන් ඇතැමෙක් උපේක්ෂා සිතින් නිහඬව සවන් යොමු කල අතර බුදුන් සරණගොස් හුන් ඇතැමුන් බුදුන් තෙපලන වදනක් පාසා සාධුකාරය දෙන්නට විය. සහය පල කරන්නට වූ ඇතැම් පිරිසක් බහිර්ශීලයා සහ බුදුන් වහන්සේ විසින් දොඩන වදනක් පාසා ඔල්වරසන් දෙමින් කෑ ගසන්නට වීය.

රැස්වී සිටි වැසියන්ගෙන් ‍තමා වෙත ලැබෙන උත්තේජයෙන් ප්‍රාණවත්ව ඔද වැඩී බහිර්ශීල තෙම ගුගුරන්නට විය.

“තාගේ කෙරුම් ගැන තා එසේ කීවාට සැබෑව ලොව දනී. තා මේ දනව්වට නිග්‍රහයෙකි. අපගේ පුරයෙන් තා නෙරපිය යුතුය. එතැනින් නොනැවතී තා මේ දේශයෙන්ද පිටමං කල යුතුය.”

“එසේය... නිවට ශ්‍රමණය... තා මේ දේශයේ මායිමෙන් පිටමං කල යුතුය. තා මේ දේශයටම නින්දාවකි. දේශයට මුළාව වගුරුවන බරකි.”

“ලොව ඇරඹි දා පටන් ලෝ වැසියන් අර්ථයෙන් පෝෂණය කල අපගේ වේදයන් තා හෙළාදකින්නේය. තාගේ මුග්ධකම ඉන්ම ප්‍රදර්ශණය වන බව නොපෙනේද? තා අපගේ පාරම්පරික දැණුම පාගා ඒ මත සිට මුසාවාද පතුරුවන අධමයෙකි. වහා මෙරටින් පිටවෙව.”

“මෙතුවක් අපගේ ශාස්ත්‍ර ඇසුරෙන් උපදෙස් ලබා රට පාලනය කල රජුන්ද මේ වහසි බස් දොඩන්නා විසින් මුලාවේ හොවා ඇත. මෙතුවක් සාමයෙන් පැවතුණු දේශය තොපගේ මුසා කියුම් වලින් බෙදී වෙන් වී යන්නේය. තා වහා මෙරටින් පිටමං කල යුතුය.”

බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයන්ද වාදයට එකතු වී බිරුසම් දෙන්නට විය.

බ්‍රාහ්මණයන්ගේ කෑ ගැසීම විසින් වාදය කෙමෙන් අරගලයක් බවට පත් කල අතර වටකොට සිටි ජනයා අතරින් සියුම්ව ඇරඹි වාග් හරඹය එකිනෙකා පොරබැදීමක් බවට පත් වීය. බුදුන් හා බහිර්ශීල වටා හුන් සාමාන්‍යය ජනයා දෙපිරිස එකිනෙකා අවුළුවා පොරයෙහි යෙදුණු අතර ඉන් ඔද වැදුණු බ්‍රාහ්මණ ගෝල පිරිසෙහි නොදැමුණුන් කීප දෙනෙක් බුදුරජාණන් වහන්සේ තෙරපාලීමටත්, පොළොවේ පෙරළාලීමටත් උත්සාහ ගති.

එහෙත් එම ස්ථානයෙහි රැඳී සිටි විහාරය අසල මාවත් පිරිසිදු කරන බුදුන් දහම් අසා පැහැදී හුන් කම්කරු පිරිසක් බුදුරජාණන් වහන්සේ වට‍කොට උන්වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ග්‍රහණයෙන් මුදවා පසෙක වූ ගසක් මුලට කැඳවා ගෙන ගියෝය.

මෙකෙණෙහිම මාවතේ දුහුවිලි අවුස්සමින් අනේපිඬු සිටු වාසල ප්‍රධාන සෙනෙවියා ප්‍රමුඛ අසරුවන් පිරිසක් පවන් වේගයෙන් එම ස්ථානයට පැමිණියෝය. වහා ගැටුම් නතර කල ජනයා රක්ෂා ස්ථාන කරා පසුබෑ අතර ගැටුමට මුල් වූ අන්ත පාක්ෂිකයන් කිහිප දෙනෙක් පමණක් බහිර්ශීල ප්‍රමුඛ බ්‍රාහ්මණයන් වටා රැඳී සිට අවසන් මොහොතේ හිස් ලූ අත දිව ගියෝ බහිර්ශීල ස්වකීය ගෝලයන් සමගින් තනිව සිටගති.

සිටු ආරක්ෂකයන් බහිර්ශීල හා උහු ගෝලයන් වටකොටගත්තේ වහා උන් බිම දණ ගැස්වීය. ප්‍රධාන සෙනෙවියා බුදුන් අසලට ගොස් වැඳ වැටුණේය.

“ස්වාමීණී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට මිසදිටුවන් අඩන්තේට්ටම් කරන බව වාත වේගයෙන් වාසලට සැලවීය. අප මහසිටුතුමා කෝපයෙන් සැලෙයි.”

“සෙනෙවිය, සිටුතුමාවත් ඔබවත් කවුරුන්වත් එසේ කෝප වීමට අවශ්‍ය නැත.”

බුදුරජාණන් වහන්සේ ‍බිනීය.

“බහිර්ශීල සහ ගෝලයන් තම නොදැමුනු බව පෙන්වාලූවා පමණයි. ඔවුන් මට හානියක් කළේ නැත. මා ගතේ එක් සීරීමකුදු රහිතව රක්ෂා සහිතව සිටින බව සිටුතුමා වෙත සැල කරන්න.”

“එසේය ස්වාමීනි, එහෙත් මේ නීචයන්ට දඬුවම් පැමිණවීමට අපහට අණ ලැබී තිබේ. ඔබ වහන්සේගේ අවසරය සහිතව මම මුන් කුදලා වාසලට ගෙන යමි. අවසර ස්වාමිනි...”

ප්‍රධාන සෙනෙවියා නැගිට බහිර්ශීල ඇතුළු පිරිස යදම්ලෑමට අනෙකුත් ආරක්ෂකයින්ට සන් කළේය.

“නවතින්න සෙනෙවිය...”

බුදු රජාණන් වහන්සේ ඉදිරියට විත් ආරක්ෂකයන් වලකාලීය.

“මාගෙන් අයෙකුට දඬුවම් පැමිණවීමට අවසර ඉල්ලීමට තරම් සිටුතුමා මා කෙරේ අව‍බෝධ හීන වීද? මොවුන්ට දඬුවම් දීමට අවසර මාගෙන් ලැබෙන්නේ නැත. මොවුන්ව නිදහස් කරන්න.”

“එහෙත් ස්වාමිනි, මොවුන් ඔබතුමාට කෙනෙහිලිකම් කළෝය. ප්‍රසිද්ධියේ ඔබ වහන්සේට නිග්‍රහ කළෝය. අවමානයට පත් කළෝය. මොවුන් යළි එවැන්නක් නොකිරීම පිණිස දඬුවමට ලක් කල යුතුයි...”

“නැත සෙනෙවිය. වෛරය සන්සි‍ඳෙන්නක් නොවේ. වෛරය මාගේ දේශනයෙන් ඉවතහල යෙදුමකි. මා ඒ වෙනුවට මොවුන් වෙනුවෙන් මෙත් වඩමි. මොවුන් මුදා හරින්න. ඔවුන්ට නියමිත දණ්ඩනය ඔවුනගේම කර්ම ශක්තිය අනුව ලැබෙනු ඇත.”

“නැත ස්වාමිනි, ‍අප හෝ මෙම කම්කරුවන් මෙහි නොවන්නට මොවුන් ඔබවහන්සේට තුවාල සිදු කරන්නටද ඉඩ තිබුණා. ඔබවහන්සේගේ ජීවිතයට පවා අනතුරක් කරන්නට ඉඩ තිබුණා. මොවුන් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි”

“ඔබ පවසන අයුරු මාගේ කර්ම ශක්තිය අනුව මා මෙතැනදී බහිර්ශීලයන් අතින් පිරිනිවන් පාත්‍ර වූවා නම් සහ එය වැළකීමට කිසිදු ක්‍රමයක් නොවූවා නම් එය එසේ සිදු විය යුතු වූවක්. එහෙත් එය එසේ සිදු වූයේ නැත. එසේ හෙයින් උපකල්පිත අපරාධයක් හේතුවෙන් මොවුන්ට දඬුවම් දීමට අවශ්‍ය වන්නේ නැත. මට අහිමි මා ගැන මා කරදර වන්නේ නැත. මාගේ ධර්මය ලෝවැසි සියලු දෙනාටම මෛත්රි ය වැඩීම මත පදනම් වූවක් වන්නේ එලෙසයි. ඔබට මා යම් පමණකින් හෝ අගයක් වේ නම් වහාම මොවුන් නිදොස් කොට වාසලට පිටව යන්න.”

බුදුරජාණන් වහන්සේ නිගරුවට ලක්වන බව සවන් ලූ ඇසිල්ලේ සිට උණුසුම්ව හුන් ප්‍රධාන සෙනෙවියා බුදුන්ගේ මෙම වදනින් සිසිලසට ලක්වීය. හෙතෙම නැවතත් බුදුන් වහන්සේ වන්දනා කළේය.

“ස්වාමීනි, ක්ෂමා කළ මැනව. ඔබ වහන්සේ කෙරේ ඇති අපමණ භක්ත්‍යාදරය හේතුවෙන් මා හට ඔබවහන්සේගේ ධර්මය අමතක වී ගියේය. අප මහ සිටාණන්ද මෙවෙලේ ඇත්තේ එලෙසින්මය. ඔබට සිදුවූ ගැහැට සවන් වැටුණු ක්ෂණයෙන් බහිර්ශීල බ්‍රාහ්මණයා තලාපියා දඟගෙට යැවීමට එතුමා ගුගුළේය. අප කෙරේ අනුකම්පාවෙන් වාසලට වැඩම කර අප මහ සිටාණන් කෝප සිඳනු වස් එතුමාණන් වෙත ධර්ම දේශනා කළ මැනව.”

“එසේය සෙනෙවිය. මා විහාරයට වැඩම කර දන් වළඳා සවස් යාමයේ වාසල වෙත පැමිණෙන බැව් ඔබ දැන් පිටව ගොස් සිටාණන් වෙත සැලකරන්න.”

ප්‍රධාන සෙනෙවි ඇතුළු ආරක්ෂක පුරුෂයන් බුදුන් වහන්සේ එම ස්ථානයෙන් නික්මෙන තුරු බහිර්ශීල ඇතුළු ගෝල පිරිස රැකවල් ලීමට සූදානම් විය. බුදුන් බහිර්ශීල දෙසට අවධානය යොමු කල සේක. බහිර්ශීල තෙම බිම වැටී දුහුවිලි වැකී මුඛයෙන්ද හුස්ම පිඹිමින් හුන්නේය. ආරක්ෂකයින් ඔහු හා ගෝලයන් වටකොට සිටගෙන සිටියෝය.

“බහිර්ශීලය... මා කිසිවකුට අයිති නැත. අවම ලෙස මා මටද අයිති නැත. එබැවින් මා හට තැවෙන්නට කිසිවක් නැත. මගේ ධර්මය ප්‍රකාශ කිරීමේ කුසලතාව මා වඩා තිබුණද ධර්මය මාගේ යමක් නොවේ. එය ස්වභාවධර්මයේ ඇති සත්‍යය මාගේ දැණුමින් හා විග්‍රහයෙන් ප්‍රකාශ කිරීමක් පමණි. මා හට අයත් වූවක් නොවේ. සත්‍ය වශයෙන්ම එයද පරම සත්‍යය වන සියල්ලෙහි ඇති නැසෙනසුළු භාව ප්‍රකාර වූ ස්වභාවධර්මයාගේ අර්ථයන්ට යටත්ව කලෙකදී නැති වී යන්නකි. ‍එහෙයින් මා ඒ ගැනද නොතැවෙමි. ඔබම මොහොතකට පෙර ප්‍රධාන සෙනෙවි තෙම කෙරෙන් දුටු ලෙස භක්තියෙන් අන්ධ වූ කළ ධර්මය නොපෙනී යයි.

ඔබ ඔබගේ ධර්මය බදා වැළඳ සිටියි. ඊට භක්තිමත්ව සිටියි. එහෙත් එතුළ ඇති හර ඔබට නෙපෙනී ගොස් ඇති සෙයකි. ඔබ ඉන් ඉගෙන නොගනී. එය නැතිවේ යැයි බියෙන් සිටී. සදාකල් එය රැක්මට හැකැයි සිතා එය ආරක්ෂා කරයි. එහෙයින් එය අන් ධර්මයන් කෙරේ වෛරයම පතුරුවයි. අන් ධර්මයක් ඔබේ සතුරකු කරගනියි.

ඔබ අවබෝධ කටයුත්තේ සදාකල් පවතින්නක් නොමැති බව නොවන්නේද? එසේනම් හැකි තරම් යහපත් වීමට ක්‍රියා කරනු විනා කළ හැකි අන් යමක් වේද? යහපත් වූ අදහස් ගොන්නක් වෙත භක්ත්‍යාදරය පාමින් එම අදහස් සුරකිමින් එහෙත් එය අමතක කර එයට විරුද්ධ සෑම දෙයක්ම විනාශ කරන්නට යාමෙන් ඔබේ වෘතය ආරක්ෂා වේද? ඔබට සිතන්නට ඇති ඉඩ බොහෝමයි බහිර්ශීලය...

මාගේ ධර්මයේ වෛරය නැත. එහි ඇත්තේ හුදෙක් මෛත්‍රිය පමණි. එහෙයින් ඔබටද මාගෙ මෛත්‍රිය හිමිවේ. ඔබ මගේ සතුරකු නොවේ. යන්න. නැගිට ගොස් හොඳින් ස්නානය කර පිරිසිදු වී ඔබගේ අද දවස නැවත විමසීමක යෙදෙන්න. ඔබට ඔබවම ගැටලුවක් වන ඕනෑම මොහොතක මා ඔබට උදව් කිරීමට සූදානම්...”

බුදුරජාණන් වහන්සේ බහිර්ශීල වෙත දීර්ඝ ලෙස අවවාද කොට නැවත ශාන්තව පිණ්ඩපාතයෙහි වැඩීම පිණිස නික්ම ගිය සේක.

බහිර්ශීල බ්‍රාහ්මණයා ආරක්ෂකයන්ගේ දෙපා අතරින් පෙනෙන සන්සුන් ගමනින් ඉවතට වඩින බුදුන් දෙස දෑස් අයා සිටියේය.

විකල්ව ඇවිස්සී ඒ මේ අත විසිරී තිබූ තම සිත තුළ මහා සැනසීමක සලකුණු කෙමෙන් පහළවන බැව් ඔහුට දැනෙන්නට විය.

Friday, 19 November 2010

සතුකරගත් වස්තුව...

මම නිවසට වස්තුවක් ගෙන ආමි. එය නැවුම්ය. නොයිඳුල්ය. සුවඳවත්ය. සුපිරිසුදුය. තවත් පොත් පත්තර පෙරලා සුන්දරත්වය විවරණය කරන වදන් සියල්ලක්ම ගෙන වර්ණනයේ යෙදෙන්නට තරම් එය මනරම්ය. එහෙත් මා මේ කතාව ඔබට කිව යුතුය. එහෙයින් මම පොත් පෙරලන්නට නොයමි.

එය ගෙන ඒමට මට මහා කර්තව්‍යයන් රැසක් කිරීමට සිදු විය. මෙ වූ මහාර්ඝ වස්තුව දුටු මොහොතේ පටන් නිවසට ගෙන ඒම දක්වා ගතවූ දිගු කාලය එලෙසින්ම කීම දුෂ්කර බැවින් සැකෙවින් කියමි.

එය දුටු මොහොත කාලානුරූපීව නිශ්චිත නැතත් එය දිස්වූ මොහොත මා විඳගත් අපූරුව මට හොඳහැටි මතකය. එහි සුවඳට රැවටී පියඹා ආ සමනළුන් රෑනක් ඒ අසලින් පියාඹා ගියේ මා වික්ෂිප්තවමිනි. විහඟ ගී රාවයක් නිරතුරුව ඒ අස රැඳුණේ එය නිරතුරු එලිමහනේ සොබාදහමේ රඳවමිනි... ඒ සියල්ල එක් ක්ෂණයකින් ම සිත වෙලා වශීකෘතකොට ශුන්‍ය වී ගියේ එයත් මාත් අතර හිඩැසද ශුන්‍ය කරමිනි. සමනළුන්ට කෙදිනකවත් පුරවා සැනසෙනු නොහැකි සෞම්‍ය වූ හැඟුම් රාශියක් විසින් එකී හිඩැස පුරවා දමන ලදී... ඉතින් මා ඒ වස්තුව අසල විය.

එතැන් පටන් දින ගණනක්ම මා ඒ අස රැඳුණු අතර නිරතුරුවම මාගේ පුද්ගලික සියලු දෑ නවතා දමා එකී වස්තුව වෙත ආශක්තව හුන්නෙමි. මා ඒ වටා ගී කීයෙමි. කවි ගැයීමි. ගිතාරය තාල භාණ්ඩයක් කොට නිතැතින් ඒ අස්වසනු පිණිස වැයීමි. මා ඒ අස වැතිරී දින ගණන් ගෙවීමි.

ම ජීවිතය මේ මනනන්දනීය වස්තුවෙන් විනිර්මුක්ත කරගත නොහෙන බැව් පසක් වන තුරුම මම ඒ අසල දැවටී හුන්නෙමි. අවසන මම ප්‍රත්‍යක්ෂයන් අත්විඳිමි. මා ඉන් තොරව ජීවිතයේ අර්ථ නොදකින බැව් මම ප්‍රත්‍යක්ෂ කළෙමි... ඉදින් වහා එහි අයිතිකරුවන් ඇමතීමි.

දිගු කලෙක මතවාදී වාග් සංග්‍රාමයන්ට පසුව මා ප්‍රමාණවත් තරම් මේ වස්තුව ම සතුකර ගැනීමේ කාරණා වලින් සන්නද්ධ වූයෙමි. එකල්හිම අයිතිකරුවන් වෙත ඉන් දමා ගසා උන් අවනත කරවා කෙටි උත්සව ශ්‍රීයක් මවා පා වස්තුව නිවසට පන්නා ගෙන ආමි.

ඉන් පසු මා නිරතුරුවම වස්තුව වටා ප්‍රීතියෙන් නැටීමි... නැවත නැවතත් ගී ගැයීමි... ඒ සනසාලීමි... ඒ දෝවනය කරලීමි... එය නැවුම්වම තාරුණ්‍යයෙන් තබා ගනු වස් නේක වූ වෛවාරන්න කොස්මෙටිකයන් ගෙනවුත් ගල්වාලීමි. ලත් ඇසිල්ලක පිරිසිදු කලෙමි.

දින සති මාස ගෙවී ගියේ මා හා වස්තුව අතර වූ කුහුල බිඳවමිනි. පෙර ඒ පිළිබඳ නොදැන හුන් අවදියේ චිත්ත මස්තකයේ මැවුම් පෑ දර්ශනයන් තවත් නම් අරුමයක් නොවී හුරු පුරුදු විය. එවිට වස්තුව පිළිබඳ මා නොදැන හුන්නක් නොවීය. මා පිරි නොමැදි තැනක් නොවීය. මා නොදැවටුණු තැනක් නොවීය. මා නුදුටු ඇස නොගැටුණු මුල්ලකුදු නොවීය. මා ආදරය නොකල පෘෂ්ඨයකුදු නොවීය.

අවසන ඒ මා හට කිසිවකුදු නොවීය. හුදෙක් ඒ මගේ අයිතියක් වූවා මිස තවත් මට ඒ සන්තානයේ ආදරයක් නොවීය. මුලින්ම වස්තුව දුටු‍ කෙනෙහි දැණුනු ආශ්වාදය එලෙසින්ම සිත්වදින එක් මොහොතක තෘප්තියක් පමණක් මා සතු විය. ඒ ද කෙමෙන් කෙමෙන් කල් ගනිමින් දැනී නොදැනී ගෙවෙමින් තිබූ දෛනික චර්යාවේ වර්තනයක් ඇතිකිරීමට අසමත් වී ය. සදාකල්ම ස්පර්ශ වේ යැයි උපකල්පිත සිතිවිලි කිසිවක් මා තුල ඉතිරි නොවී වියෝජනය වී යන්නට විය. මා වියවුල්ව තනිවන්නට වීමි.

සැකෙවින්ම මා වරෙක දැඩිව ලොල්ව විසූ වස්තුව කෙමෙන් කෙමෙන් මා තුල අවිශේෂව නිදන්ගතව ඇති සියල්ල මෙන් විශේෂණය නොවී පවතින්නට විය. එහෙයින්ම මා තුල ඒ කෙරේ වූ සැලකිල්ල මදින් මද වියැකී ඒ හුදෙක් මා මෙතෙක් නිවසට ගෙනා සෑම වස්තුවකටම අත්වූ ඉරණම වෙත අනාතගය හොවමින් වී ය.

කලෙක ඇවෑමෙන් මා තරුණ විය ඉක්මවා වයෝවෘධ විය. මාගේ මහාර්ඝ වස්තුවද කෙමෙන් දුහුවිලි නැගී, කඩතොලු වී, රැල් නැගී සුනම්‍ය වූ ලක්ෂණ වියැකී වන්නට විය. මා ඒ පිළිබඳ අවබෝධ හීන ව සිටි අතර තවත් ඒ මා නිවසේ අංගයක් දෝ යන්න නොනැගෙන තරමට ඒ මට එදිනෙදා පසුවන එක් සිද්ධියක් පමණක්ම වෙමින් හොත්තේය.‍ මේ සිතන ‍මොහොතේද එය මා පසෙක පවතින අතර ම සිතේ ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැත්තේ ය. දැන් ඒ ඉවත හෙලා විනාශ කිරීමට කාලයයි.

මා වෛරී නෙතින් ඒ දෙස බලමි. ඒත් මොහොතක් නැවතත් සිත් යොමා බැලිය යුතු බැව් මට හැ‍ඟේ.

මා ඉන් උගෙන ඇත්තෙමි. මා ජීවිතය තුල අත්පත් කරගන්නා ලද සියළු වස්තු කෙරෙන් මා අවශෝෂණය කොට නොගත් දෑ රාශියක් මා මෙකී වස්තුවෙන් උකහා ඇත්තෙමි. කලෙක මාගේ සමස්ත තෘප්තියම දරාගත් වස්තුව තවත් එක් වස්තුවක් පමණක්ම යන වග මා උගෙන ඇත්තෙමි. එය මාගේ පරිහරණයෙන් ඉඳුල්ව යන, කුණු වැකී දිරාපත් වන සේම මගේ මසැස තව වරක් රවටන එක් වස්තුවක් පමණක් වුව මට ඒ විනාශ කර දැමුමට සිත් නොදේ. වරෙක එය මාගේ ජීවිතය විය. එක් මොහොතක හෝ මාගේ ජීවිතයේ සමස්ථයම ඒ වස්තුව වෙන ඌණනය වූ නිමේෂයන් මා පසු කර ඇත. එහෙයින් එය ජීවී ලෙස මා පැවැත්වූ සාධකයකි. මාගේ සිහිය නොවිකල්ව පැවැත්වූ මාගේ නේක පිරිමැදීම් හා පෙම් කිරීම් සුවචව විඳගත් නිෂ්චලයකි. මාගේ ආදරය දරාගත් උසුලන්නකි.

මා නැවත ඒ වස්තුව දෙස දෙවූ දෑසින් බලමි.

දකින්න එය!

එසේය. එය ‍මුල් වර මෙන් පැහැපත්ය. නොයිඳුල්ය. මනරම්ය. සුපිරිසිදුය. සුවඳවත්ය.

එය නැවතත් නැවුම්ය.

.............................

සේයාව මෙතනිං