Sunday, 31 August 2008

ජයකොඩි අයියගෙ අම්මා

ජයකොඩි හෙවත් ජයකොඩි පතිරත්නලාගේ හේමන්ත කුමාර ජයකොඩි කෑගල්ලේ ඉපදිල හැදිල වැඩිල අවුරුදු බර ගානක් ලංකාවෙ සහ මාස කීපයක් තවත් රටවල් දෙකක චාටර් වෙලා දැන් මාත්‍ එක්ක එකම ආයතනයේ වැඩ කරන සහ එකම කාමරයේ වාසය කරන මගේ සහෝදරයෙක්. එයා මරිසිය නම් දන්නෙම නෑ. හික් හික්. අපේ ලොක්කවත් එයාගෙ සාක්කුවට දාගන්න එයා දන්නවා. ඒත් මනුස්සයෙක් වශයෙන් එයාගෙ හොඳ සහ දැනුම ගැන කියන්න වචන නෑ.

මේක පහුගිය දිනයක මම එයත් එක්ක අපේ රාත්‍රී ආහාරය ගන්න පුංචි හෝටලයකට ගොඩ වැදුණු වෙලාවක වුණ වැඩක්. අපේ කෑම ඇණවුම දීලා අපි දෙන්නා හුලං වදින්නත් එක්ක එලියට ආවා. පාරෙ වාහන සහ අල්ලපු ඇඳුම් කඩේට ආපු නා නා ප්‍රකාර වාහන අපේ ඇස් වලට එලි එව්වා. මිනිස්සු කඩිමුඩියෙ දුවනවා ගෙවල් වල‍ට. වෙලාව රෑ 8 විතර වෙලා තිබුණ. අපි යෝගට් එකක් අතට අරන් කතාවක් දාන්න සෙට් වුණා. (එයා හොඳට වියදම් කරනවා. ඒ නිසා එයා එක්ක ඉද්දි මට නොමිලේ රස මසවුළු ලැබෙනවා. :D :D)

හෝටලය ඉදිරියෙ පාරෙ හිටිය වයසක කාන්තාවක්. අම්ම කෙනෙක්. වැරහැලි නොවුණත් ඇඳුම් කිලුටුයි. ලොකු පොලිතින් මල්ලක එයාගෙ අඩුම කුඩුම හොයනවා. නමුත් හිඟාකන කෙනෙක්ට වඩා ටිකක් පෝසත් ගතියක් තිබුණා.

එයා ඉද්දි අපට යෝගට් කන්න මොනාද වගේ. මටත් අප්සෙට්. මම නොදැක්ක වගේ ඉන්න ගියාට ජයකොඩිට එහෙම ඉන්න බැරි වුණා. එයා අර අම්ම ගාවට ගියා.

"අම්ම කාලද ඉන්නේ?"

ඒ අම්ම ජයේ දිහා බලල මොනවද කිව්වා.. එයා රෑට කාපු බවක් තමයි ඇඟවුණේ. ඒත් ජයකොඩි තවත් මොනවද ඇහුවම එයා කිව්ව මොනව හරි බොන්න ඕන වගේ එකක්.

පස්සෙ එයාව කඩේ ඇතුලට එක්ක ගිහින් ශීතකරණය ඇරල එයාටම තෝරගන්න දුන්නම එයා තත්පර 15ක් විතර බීම වර්ග තෝරල (ඒ තත්පර 15 එයාට විනාඩි 15ක් වෙන්න ඇති කියල මට පස්සෙ හිතුණ.) අන්තිමේ තැඹිලි පාට බෝතලයක් ගත්ත. පස්සෙ මුල්ලක තිබුණ රවුම් මේසයක ඉඳන් එයා හෙමින් ඒක බොන්න ගත්තා. අපි වෙනම මේසෙක ඉඳන් ආයෙත් කතාවට සෙට් වුණා. විනාඩි දෙක තුනකට පස්සෙ මේ අම්මා තොල කට පිහිදමින් ඇවිත් ජයකොඩි ගාවට කිට්ටු වුණා.

"පුතා මාව දන්නවද?" එයා ඇහුවා.

"ඒ මොකෝ ඒ?"

"ඇයි මට බීම එකක් අරන් දුන්නේ?" ආයෙත් ගැටළුවක්.

"ආ .. ඔයා බඩගින්නෙ ඉන්නව කියල හිතලනෙ මම කතා කලේ." ජයේට මාර හිනාවක් ගියා. ඒ අම්මගෙ මූණෙත් හිනාවක් ඇඳුණා. මට මාර ආතල්.

"ඕකට ඉතිං දැනගන්නම ඕනද?" මමත් හිනාවෙලා කිව්වා.

ඒ අම්මා යන්න ගියා හෙමින්. මම තීරණය කලා මේක ලියන්න ඕන කියලා.

"ඔය ගෑණි ෂුවර් එකට අද අඬයි" මම කිව්වා.

"ඒ මොකෝ?"

"එයාව ජීවිතේටම ඒ වගේ අගය කරල නැතුව ඇති" මම කිව්වා.

ජයකොඩි හිනා වුණා විතරයි.

මේ ජයේ මම ඉද්දිම මේ දේවල් කරපු මුල් වතාව නෙවෙයි. එයා අතේ තියෙන ගානක් ඕන වෙලාවක දෙන්න සූදානම්. ඒ නිසාම එයා සතු වස්තුව මිනිස්සු සහ හිතේ සතුට විතරයි. වෙන ධනයක් නෑ. ම‍ම හිතුවා මම මේ වගේ අය එක්ක ඉන්න ලැබුණ මාර චාන්ස් කාරයෙක් කියලයි.

ඒ එක්කම මතක් වුණේ මට අපේ මහ ගෙදරදි Gadol කියන යාළුවා හොයල දුන්න මේ සින්දුවයි. මේක තිබුණෙ මෙතන. මම දන්නවා අපි හිනාවෙන විධිය. ඒ අපි විසින්ම හෝ වෙනත් කෙනෙක් විසින් කරන හොඳ දෙයක් නිසා දැනෙන සතුටට. ඒත් ඇත්තටම නම් අපට හිනාවෙන්න බෑ තමයි.

SKITZO - Oba Hinawenne Kohomada?(Acoustic Live)
මේකෙ අවසන් පද කීපයෙ කියන දේවල් මට හරියට ඇහෙන්නෙ නෑ. කවුරු හරි ඒක හරියට මට කිව්වොත් මේක වෙනස් කරල දාන්න පුළුවන්. ෴ සංශෝධනය - නිවැරදි පද මෙතන ඇත.

Friday, 29 August 2008

ආදරය - ප්‍රකාශ කිරීම සහ දරාගැනීම

මේකත් මට හිතුණ තව ප්‍රලාපයක්. කාලයක් ‍වෙනව කල්පනා වෙලා. ඒත් ඉතිං කියන්න කලින් තවත් කල්පනා කරන්න ඕන වුණා.

කොහොමත් මම ‍හැමදාම කියන්නෙ නොයෙක් ඇසුරු කිරීම් හරහා ගොඩනගාගත්ත මගේ මතයක් තමයි. මමත් ඒ තුල නොඉන්න පුළුවන්. ඒත් මම ඉන්න තැන අනුව මම හිතන දේ සීමා කරගන්න මම සූදානම් නෑ. ඒ නිසා මට කල්පනා වෙන, සංවාද කල යුතුයි කියල හිතෙන දේවල් කියන්න මැලි කමක් නෑ මට. මම මේ ගැන කතා කරන්න මිස මේ කිසිවක් නරකයි හෝ හොඳයි කියන්න සූදානම් නෑ. මගේ වත්මන් ගුරෙක් වන නදීක ගුරුගේ කියපු විධිය‍ට සමාජය තුල වර්තමානය කිසිවිටක හොඳක් හෝ නරකක් වෙන්නෙ නෑ. ඒක හුදු තත්ත්වයක් විතරයි. ඒක ගැන කතිකාව හරහා සාධනීය යමක් බෙදාගන්නව හැර ඒක අන්ත වලට ඇදල දාන එක නම් තේරුමක් නෑ. මොකද මම ඉන්නෙත් මේ කතාව ඇතුලෙමයි. මමත් හැමෝම වගේ. ඒත් යම් යම් මතවාද සහ ජීවන රටාවන් අනුව මම ටිකක් වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් හැමෝම එකිනෙකාට වෙනස්නේ.

ඉතිං මේ ගැනත් අපි කතා කරමු.

පහුගිය ටිකේම විටින් වි‍ට කතා කරපු ආදරයේ තවත් පැත්තක් කතා කල යුතුයි කියල හිතුණ. අපි කියන විශ්වීය ආදරය සහ අනේමන්දා ආදරය ඇරඹුමේ සිටම වෙනස්. ඒ කියන්නේ අනේමන්දාව අපි ප්‍රකාශ කරනවා. සරලව කිව්වොත් 'අහනවා'. මේක මේ ආදරයේ සිම්පල්, මැන්ඩලින් සහ අනිවාර්ය එකක් නේ. අහන්නෙ නැතිව ඒ ආදරය ඒක පාර්ශවිකයි. තනියම ලව් කරනවා. මනෝ කඳු හදනවා. හිතෙන් අනාගතය මවනවා. ඒක ප්‍රකාශ කලාම තමයි ආදරය පරිසමාප්ත වෙන්නේ.

මේ ප්‍රකාශ කිරීම අපි තුල තියෙන ආදරණීය ආත්මාර්ථකාමී හැඟීම හෙවත් අයිතිකරගැනීමේ ආසාව නේද? මොකද අයිති කරගැනීමේ උවමනාවල් නැති වෙනත් අයට අපි ආදරය ප්‍රකාශ කරන්නේ නෑනේ. මේක ආදරයේ හැම ප්‍රභේදයකටම අදාලයි. අපි අපේ අම්මට තාත්තට ආදරය ප්‍රකාශ කරන්නෙ එයාල අපේ නිසා. නංගිට අක්කට මල්ලිට නංගිට ඇතුළු බොහෝ අයට අපි ආදරය ප්‍රකාශ කරනවා ‍විවිධ ක්‍රම වලින්. ඒ එයාල අපේ හින්දා. පෙම්වතියකට හෝ පෙම්වතාට ආදරය ප්‍රකාශ කරන්නෙ එයාල තමන්ගෙම කරගන්න ඕන නිසා.

ඒ තමයි ප්‍රකාශ කිරීම ගැන මගේ සිතිවිල්ල.

එහෙම නැතිව ආදරය කරන්න නම් ඒක දරාගන්න වෙනව. ඒකෙන් අපිට පිරෙන්න පුළුවන්. අපි තුලම තෘප්ත වෙන්න පුළුවන්. ස්වයං වින්දනයක් වගේ. හික් හික්! ඒ වගේම ටිකක් විශ්වීයයි. හිතන්න අමාරු වුණත් අපට යම් යම් හේතු මත ආදරය දරාගන්න පුළුවන්. ඒ කියන්නෙ මම දන්න අයගෙ සහ මගේම පවා යම් අත්දැකීම් අනුව අපට ආදරය ප්‍රකාශ කරන්න බැරි ඒත් ආදරය හිතෙන වෙලාවල් තියෙනවා. පාරෙ යන කෙල්ලො කී දාහක් ගැන ආදරේ හිතෙනවද අපට? ;) ලිංගික උවමනාවකින්ම නොවුණත් ඒක ආදරයට සමාන හැඟීමක් නෙවෙයිද? ඒක අපට දරාගන්න වෙනව නේද? ඒ නැතත් අයිතිකරගැනීමේ හැඟීමකින් තොරව අපට අප තුලම ආදරය දරාගන්න වෙන අවස්ථා ඕන තරම් නේද?

මේ ආදරයන් දෙකම එකම අරමුණක් මත පදනම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනේමන්දාව.

මම නම් ආදරය ප්‍රකාශ කරනවට වඩා දරාගත්ත අවස්ථා වැඩියි. බොහොමයක් අයට ආදරය ප්‍රකාශ කරන්න හිතන් එයාල ගැන හිතමින් ආදරය දරාගනිමින් ඉන්න කාලෙදි ඒ ෆැන්ටසිය බිඳ වැටෙන යමක් වෙනව. එකකොට ප්‍රකාශ වීමක් වෙන්නෙ නෑ. හැබැයි දිගටම දරාගන්නව. ගෑණු ළමයි මිතුරියන් විධියට ඇසුරු කරන කාලයෙදි බොහෝ පිරිමින් මේ ආදරය දරාගන්න අතර ඒක ප්‍රකාශ කරල ඇයව තමන්ගේ කරගන්න හීනයක් දකිනව. ඒක මම හිතන්නෙ ඕනම පිරිමියෙක්ට අදාලයි. පිරිමි කතිකා තුල අපි කතා වෙන විධියට ඒ ට්‍රයි කරන කාල සීමාව මාරම සුන්දරයි.

ඒ ගැන මම පණ යනකල් අහල තියෙන සහ දැනටත් අහන MLTR - Michael Learns to Rock සෙට් එක ලස්සන සින්දුවක් කියල තියෙනව.

More Than A Friend You got me counting the seconds
It happens every time
I'm waiting for the moment
we can sit down and talk for a while
And every time that you're near me
my heart is running away
How can I tell you when words don't come easy
and there is so much I'm trying to say

Chorus:
I wanna know that love will surround us
and you'll share it with me every day
Tell me you'll care for me now and forever
I'll give anything to hear you say
that I'm more than a friend

I'm gonna try in the future
not to live in the past
I guess that I was a dreamer
if I thought it could ever last
But every time that I see you
you bring me out in the sun
How can I hide it when we are together
I just know that you're the only one

Chorus:
I wanna know...

I wanna make you see
everything you are to me
Try to understand
I wonder if you can
The love I have for you
will always be true




Thursday, 28 August 2008

මගේ භාෂා ලෝකය

මේක කවියක්. හික්!

විස්තර කමෙන්ට්ස් වලින් කතා කරමු.


Wednesday, 27 August 2008

රවියි බෝයි මායි කවියි ඉරිදයි

හික් හික්! මේක ඉරිද දිනයේ (24) දින සටහනක් වගේ.

ඉරිද නැගිටිනකොට 9.30යි. ඉරිද තියෙන්නෙ පරක්කු වෙලා නැගිටින්න. දන්න අය නම් කියන්නෙ උදේම නැගිටින්න කියලයි. ඒත් හැමදාම උදේම නැගිටිනවනේ.

උදේ නැගිටීම ගැන කියද්දි මතක් වුණේ ඉන්දියාවෙ නළුවො අතර මම ආසම නළුවෙක් වෙන නස්රුදීන් ෂා සහ එයාගෙ දුවත් එක්ක මොකක්ද පත්තරේකින් කරපු සම්මූඛ සාකච්ඡාවක්. හෙන කාලෙකට කලින් මම දැක්කේ.

ඔයාල මෙයාව දැකල ඇතිනේ...


මෙයාගෙ චිත්‍රපටි ගොඩක් මම බලල නෑ. බලපුවගෙන් මතක තියෙන්නෙ චයින ගේට් විතරයි. ඒත් මෙයා රඟපාපු හැම චරිතයක්ම හරි අපූරුයි කියල මතකයි.

මේ සම්මුඛ සාකච්ඡාවෙදි එයාගෙන් අහනවා පිබිදීම සහ නින්ද ගැන. මෙයා කියනවා මම පුළුවන් තරම් උදේම නැගිටලා පුළුවන් තරම් කලින් නිදාගන්නවා කියල. ඒ ප්‍රශ්ණෙම දුවගෙන් ඇහුවම එයා කියන්නෙ මම පුළුවන් තරම් පරක්කු වෙලා නිදාගෙන පුළුවන් තරම් පරක්කු වෙලා නැගිටිනවා තියල. පරම්පරා වෙනස. මම නම් මෙයාගෙ දුවගෙ පරම්පරාවේ. සමහර විට ඊටත් පස්සෙ එකේද මන්දා. මොකද මම ඒ විධියට අමතරව සමහර දවස් වලට පුරා දවසක් දෙකක් නිදාගන්න එක විතරක් කරනවා. අර වලස්සු වගේ. :D :D

කොහොම හරි ඉතිං නැගිට්ටා. රෙදි කීපයක් තිබුණා හෝදන්න. පහුගිය සතියෙම පට්ට ගහපුවා. හේදුවා. රැවුල කපන්න විදුලිය තිබුණෙ නෑ. සති 3 - 4 ක් දිගට රැවුල වැවිල නිසා ඉරිද කපන්න හිටිය මගේ කාමරේ මිතුරගෙ විදුලි රේසරයෙන්. ඒකටත් කෙලියා. ඒක තියෙන හින්දා වෙන රේසරයක් තිබුණෙත් නෑ. කමක් නෑ ලබන සතියෙ කපනවා කියල නිකන් හිටියා. 12.00 විතර එලියට බැහැලා පිටි ගුලි කීපයක් ඇද්දා උදේටයි දවල්ටයි දෙකටම. පස්සෙ එල්ලුනා කොට්ටාවක.

මම කොට්ටාවෙන් බහිනකොට හරියටම 1යි. හරියටම කියපු වෙලාව. මම හිතුවෙ බස් එක ඉක්මනට යයි කියල වුණාට මෙයා මහරගම හිටියනේ විනාඩි 10ක්ම. කොහොම හරි බෝට කතා කලා. ම්හු. වදිනවා වදිනවා ගන්නෙ නෑ. පස්සෙ ගත්තා රවිට. ගත්තෙ බෝ මං හිතන්නේ. එහෙම්මම වම් පැත්තට හැරෙන්න කිව්වා. හැරෙද්දි මෙන්න බඩු දෙක එතන.

ඊට පස්සෙ ඉතිං විනාඩි කීපයක් හිටගෙනම කතා කලා. අදාල දේවල් අතරෙ අදාල නැති ඒව සහ අදාල නැති ඒව අතරෙ අදාල ඒව. මම නොදන්න live ඒව ගොඩක් මම දැනගත්ත. ඒ නිසා දැං මට හොයන්න දේවල් ටිකක් තියෙනව. මට තේරුණේ මේ online සමාජයෙත් සීතල යුද්ධයක් තියෙනව කියලයි. ඒ සීතල යුද්ධ නිසා පුද්ගලික ජීවිත කැලඹෙන තරම ඇත්ත ජීවිතේට වඩා භයානකයි. මොකද මේ online ජීවිතය තුල මනෝකඳු හරහා මිනිස්සු පුදුම විධියට ඇන්දෙනවා. ඇත්තටම ඒකෙන් ගැලවෙන්නත් අමාරුයි වගේ. තමන් කවුද කියල අමතක නොකර ඉන්න තරමට හොඳයි.

රවිට අපි එක්ක ඉන්න ලැබුණෙ නෑ. බෝයි මායි බෝ වුණා. සුදු ලේබල් කෑල්ලක්, කණා මැදිරියො තුන් දෙනෙක් සහ දිවට දැණෙන්න දෙයක් එක්ක ගත කරපු පැයකට මදක් වැඩි කාලය හරියට මහ මුහුදක් ගාව ඉන්න හැඟීමක් මට ගෙනාවා. මට ගිලෙන්න පුළුවන් මුහුදක්. අපි අතර තර්ක නැති මතවාද සහ එකඟවීම් රාශියක් හුවමාරු වුණා. පොත්, චිත්‍රපටි සහ දන්න අඳුරණ අය ගැන දිග කතාවල් අතරෙ නිහඬවීමක් තිබුණෙ නෑ. ඒ කතා කරපුව මෙතන කියන්න දිග වැඩියි. බෝ සහ මම කවි වලින් ඒව කතා කරල තියෙනව ඕනවටත් වඩා. අර පීනන කතාවෙදි කතා වුණා වගේ බෝ කිවුවෙ අතපය ගහන විධිය කියන්න පුළුවන් වුණාට පීනන එක තමාගෙ වැඩක් කියලයි.

අපි වෙන් වුණා. මම ගෙදර ඇවිත් පැය බාගයක් කැරකෙමින් ඉඳලා නිදාගත්තා. නැගිටිනකො‍ට රෑ 11ට ලඟයි. බඩගින්නක් දැණුනෙත් නෑ. ඉතිං පහුවදා උදේ වෙනකල් ආයෙත් නිදි. ෂාහ්!

ඊට පස්සෙ ඉඳන් හිතන්නවත් වෙලා නැති තරම් වැඩ අයියෝ.... :(

Sunday, 24 August 2008

ආදරය - ලිංගිකත්වය උදෙසා සංස්කෘතික මරිසියක්?

මම ගුටි කන වැඩ කරන්න මාර ආසද කියල මම දන්නෙ නෑ. පුළුවන් තරම් ගුටි කෙලි වලින් වැලකිල ඉන්නයි මම කැමති. ඒත් හිතෙන දැණෙන දේවල් බොක්කෙන්ම වමනෙ දාන්න ඕන නිසා ගුටි කන්න බලාගෙන හරි ආදරය හෙවත් අපේ ජනප්‍රිය අනේමන්දාව ගැන මගේ විශ්ලේෂණනයක් දාන්න ඕන කියල හිතුණා. මේ ගැන කලින් කතා කරපු අයත් අම්බානක්ම ඇති. මේ මම හිතන දේ.

මිනිස්සු අනිත් සත්තුන්ගෙන් ලිංගික චර්යා අතින් වෙනස් වෙන්නෙ මිනිස්සු සංස්කෘතික පදනමක් මත ලිංගික පාලනයක් පවත්වන නිසයි. සත්තු බොහෝමයකට මම දන්න තරමින් සංස්කෘතියක් කියල විශේෂ යමක් නෑ. සාමූහික සත්ත්ව කණ්ඩායම් තුල ලිංගිකත්වය සමූහය තුල පාලනය වන විධියේ යම් යම් අවස්ථා තියෙනව වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ ලිංගික චර්යා සැලකුවම සතුන් සහ මිනිසුන් සංස්කෘතිය කියන කාරණය මත සෑහෙන වෙනස් කියල මනුස්සයෙක්ට තේරෙන්න ඕන.

මිනිස්සු අතර ලිංගිකත්වය පාලනය වන ප්‍රධාන සාධකය සංස්කෘතික බැඳීම් තමයි. මම ඒක නරකයි කියනව නෙවෙයි. ඒක එහෙම නොවී මිනිස්සු මේ තරම්, මේ දේවල් ගැන මේ වගේ නැවත කතා කරන්න තරම් තාක්ෂණිකව සහ සාමාජිකව දියුණු වීම (?) අරුමයක්. මිනිස්සු කුතුහලය සහ සිතීම හරහා දේවල් නිපදවන්න, සොයන්න ගත්තම ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය විවේකය හදල දුන්නෙ පවුල කියන සංස්ථාවද? දරුවෙක් තරුණයෙක් සහ වැඩිහිටියෙක් කියන හැම මට්ටමකදීම පවුල තුල යම් මානසික නිදහසක් තිබුණද මානවයට? ඒ තුලින් ද මේ සංස්කෘතිය විහිදුණේ?

කොහොම හරි ආයෙත් වර්තමානයට ආවොත් අපි අද අපට තියෙන යම් යම් පවුල් සීමා තුල ලිංගික දේවල් නොහිත ඉන්න එකනෙ කරන්නේ. ඕක ගැන කියන එකත් මළ මගුලක් තමයි. ඒත් කමක් නෑ. අපි අපේ සහෝදරියන් හෝ සහෝදරයින් ගැන හෝ වෙනත් ඥාති කාන්තාවන් හෝ පිරිමින් ගැන සිතිවිලි පහල නොකරගෙන ඉන්න නේද උත්සාහ කරන්නේ? එහෙම නැතිනම් එයාල ගැන ඇත්තටම සිතිවිලි පහල නොවීමද වෙන්නේ? මන්දා මම නම් යම් යම් අවස්ථාවලදි මගේ ඥාති.. හ්ම් ඕන නෑ ;)

කොහොම හරි ඕක අපේ සංස්කෘතික සීමාවනේ. ඒ සීමාව ඇතුලෙ අපි අපේ ඥාතීන්ව සහ මිතුරන්ව ඇසුරු කරනවනේ. මේ හරහා අපි එයාලට දක්වනවනේ යම් ආදරයක්.... ඒ අ‍ය එක්ක ගැවසෙන්න, දේවල් ‍‍බෙදාගන්න, උදව් කරන්න වගේ දේවල් හරහා අපි ඒ අය වෙනුවෙන් දක්වනවනේ යම් කැපවීමක්! එයාල වෙනුවෙන් අපේ කාලය, මුදල් සහ අපේ ජීවිතය පවා දෙන්න තරම් සූදානම් වෙන කැපවීමක්.

ඕක ආදරය වෙන්න ඕන නේ නේද?

මේ කැපවීම මුළු සමාජයක්ම, නැත්නම් දන්න නොදන්න සෑම මිනිසෙක් වෙතම, ඒත් නැතිනම් ගමන් කරන සහ එක තැන සිටින සියළු සත්ත්වයන් (සතුන්, ගස්, ගල් වගේ ජීවී අජීවී හැම දේම) වෙතම දක්වන්න පුළුවන් නම් ඒක විශ්වීය ආදරයක් වෙනව. බුද්ධ ජේසුස් සහ බොබ් මාලෙ වගේ අපි දන්න බොහොමයක් දාර්ශනිකයන් සහ නොදන්න අති මහත් දාර්ශනිකයන් කන්දරාවක් මේ විශ්වීය ආදරය ගැන ‍කතා කලා. කලාකරුවො තමන්ගෙ නිර්මාණ හරහා මේ විශ්වීය ප්‍රජාව පිළිබඳ තියෙන ආදරය ගැන කතා කලා. ඒ හරහා මතවාද ගොඩ නගල සමාජය මානුෂික කරන්න දායක වුණා. මිනිස්සු ශිෂ්ඨ කලා. පසු කාලෙක ආගමික කණ්ඩායම් හරහා කාලාන්තරයක් පවතින්න තරම් එයාල සමාජය සහ විශ්වය වෙනුවෙන් දක්වපු මේ ආදරය බලවත් වුණා. මේක විශ්වීය ආදරයයි!

ලිංගික ජීවිතයක් කියල එකක් සංස්කෘතිකව හෝ පුද්ගලානුබද්ධ ලෙස ඇරඹෙන කාලයට හෝ ඒ වෙනුවෙන් සබඳතාවයක් පවත්වද්දි දක්වන කැපවීම නොහොත් අනේමන්දා ආදරයත් අර සංස්කෘතික රාමුවේ තියෙන නිසා ඒ සම්බන්ධව ආදරණීය ප්‍රලාප, ගීත, කතා, බයිලා, සංවාද සහ මල විකාර ගොඩයි. ඒත් ඒ ආදරය දිවෙන්නෙ කොහාටද? තව දුරටත් මනුස්සයෙක්ව සංස්කෘතික ලිංගික සීමාවන්ගෙන් මායිම් නොකරන අතිශය විවෘත බැඳීමක් වෙතට. ඒත් ඒ බැඳීම සංස්කෘතිය තුල පවතින, සංස්කෘතිය විසින් වෙලාගත් එකක් නිසා ඒක සම්බන්ධව අතුරු කතා ගොඩයි. ඒ අතුරු කතා හරහා නැවත ආදරය කියන සංකල්පයට අර්ථ සහ වටිනාකම් ලැබිල තියෙනව සහ ඒ හරහා චක්‍රීයව මුළු සංස්කෘතියම පවා මේ සම්බන්ධයේ පැවැත්ම මත තීරණය වෙනව. මොකද මේ කියන ආදරය හරහා ගොඩනැගෙන ඒකකය තුලින් තමයි සංස්කෘතිය පවත්වගන්නත් මිනිස්සු බිහි වෙන්නේ. මේක අති විශාල ලෙස චක්‍රීයව පවතින ක්‍රමයක් හෙවත් system එකක් වෙන්නෙ ඒකයි. බුදුන් කිව්ව වගේ චක්‍රයක්. මේ චක්‍රීය පැවැත්මේ එක තැනක අපි පවතිනවා. නටන වතුරෙ පෙණ බුබුලු මතු වෙනව වගේ අපි ඇවිත් යනව. එක පෙන බුබුලක තිබුණ ජල අංශු බිඳිල තවත් වෙනම බුබුලක් හදනව. පරම්පරාව වගේ.

හික්...

මටත් මොංගල්! කතා කරන්න ගත්තෙ ලව් ගැන... මේ මල විකාර දොඩවනවා. කොහෙද මේ බයිල අස්සෙ ආදරය අමතක වුණා.

මේ අනේමන්දා ආදරය මට අනුව සංස්කෘතික මිනිසාගේ ලිංගික උවමනාව සංස්කෘතිකව සපථ කිරීමේදී භාවිතා කරන ක්‍රමවේදයයි. නිකං ලිංගිකත්වය උදෙසා වන සංස්කෘතිය මරිසියක් වගේ එකක්. නිකම්ම ලිංගිකව එක් වීමට වඩා මිනිසා කියන හැඟීම් මත සංස්කෘතික වුණ සත්ත්වයා හැඟීම් හරහා ලිංගික සම්බන්ධයක් වෙත ගමන් කරන්න අවිඥාණිකව කැමතියි. ඒ කැමැත්තත් සංස්කෘතිය විසින් කාලයක් තිස්සෙ ඔළුවල හදපු ගලවල වැඩක් නැති පරිපථයක්. ආදරය යනු ලිංගික උවමනාව සංස්කෘතික කරන වචනයයි. ඒ වචනය හරහා බිහි වුණ සංස්කෘතික නිර්මාණයන් කොයි තරම්ද? අර කිව්ව වගේ කවි, කතා, ගීත වලින් පටන් අරන් කොයිතරම් තියෙනවද අප්පා....

මාත් එකක් ලිව්වා....





හික් හික්!

බොහෝවිට අපි ආදරය කියල එක වරම කියන්නෙ මේ ලිංගික ආදරයටයි. නමුත් හැමෝටම අපි දක්වන්නෙ ආදරයක් තමයි. ඒකෙ ප්‍රභේද තියෙනව. ගොඩක් අය ලෝකෙ වැඩිපුරම ආදරය කරන ගැහැණිය හෝ පිරිමියා අම්ම තාත්ත එක්ක පටලවගන්නෙ මේ ආදරයේ වෙනස් ප්‍රභේද හඳුනා නොගන්න නිසයි. ලිංගික ආදරය වෙන එකක්. අම්මටයි තාත්තටයි අපි දක්වන්නෙ වෙනස් විධියෙ ආදරයක්. මෙතැන් පටන් මේ වමනෙ ගොඩේදි මම ආදරය කියන්නෙ මේ ලිංගික ආදරයටයි.

මේ ආදරය ආත්මාර්ථකාමී වෙන්නෙත් සංස්කෘතිය විසින් පුංචි කාලෙ ඉඳන් ඔළුවෙ හදපු පරිපථ නිසා තමයි. බටහිර සංස්කෘතිය තුල ආදරය හරිම සරල ක්ෂණික දෙයක් වෙන්නෙත් (එහෙම නොවෙන අවස්ථාත් ඒ වගේම තියෙනව හො‍ඳේ) එයාලගෙ හි‍ත් වල මේ ආදරය කියන එක හැදිල තියෙන්නෙ වෙනස් විධියකට නිසයි. ඒ කියන්නෙ ඒ රට වල තියෙන්නෙ වෙනස් සංස්කෘතියක් නිසයි. හැබැයි ආදරයේ මේ ආත්මාර්ථකාමී හැඟීම නම් පොදුයි මට හිතෙන විධියට. ඒක එහෙම නොවුනොත් මේ කැපවීම් කරන්න අමාරුයි ලිංගික ආදරයකදි. මොකද තමන් යමක් අපේක්ෂාවෙන්නේ ඒ ආදරය තුල ඉන්නේ. ගණු දෙනුවක්නෙ ඒක. ආත්මාර්ථකාමී නොවුණොත් ඒ ආදරය විශ්වීය වෙනව. ඒත් ලිංගික ආදරය පවතින්නෙ මේ ක්‍රමය හෙවත් වෙන ආකාරයකින් කියනවා නම් වර්ගයා පවත්වන්න. (කවදාවත් අපි හිතල තියෙනවද ඇයි ඔය මගුල පවත්වගන්න ඕන කියලා, එහෙම හිතන්න පුළුවන්කම තිබිලත්) එතනදි ආත්මාර්ථය යම් මෙහෙයක් කරනව කියලයි දැනට මම හිතන්නේ. මොකද මේ කතාව සම්පූර්ණයෙන් නිවැරදියි කියන්න තරම් මම ඒක ගැන හිතල නෑ. සහ ඒ ගැන කතා කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙත් අඩුවෙන් මට මගේ යාළුවන් අතරෙදි පවා.

මට මතක් වෙනව කාලෙකට කලින් රූපවාහිනියෙ ගිය වැඩසටහනක් මිනිසාගේ පරිණාමය ගැන. ඒකෙ එක තැනක ආදි වානර මානවයෙක් තමන්ගෙ හිත ගත්තු තැනැත්තිය එක්ක ලිංගික බැඳීමක් අරඹන්න කලින් මාළුවෙක් අල්ලල එයාට ගෙනත් දෙනව. එයාව සතුටු කරන්න. ඉතිං මේ ආදරණීය පුරුද්ද මානව පරිණාමයේ පවා අතිශය ඈතට දිවෙනව කියල මට හිතුණ.

කොහොම නමුත් මේ ආදරය තවම මට අනේමන්දාවක්. වටහාගත නොහැක්කක්. ඒක කියාගන්නත් බෑ වගේ. කොහොම නමුත් මේ නුරාව හරහා ‍ගොඩනැගුණු අනේමන්දා ආදරයත් යම් දවසක විශ්වීය ආදරයක් වෙනව කියල මම දන්නව.

ඒ ගැන මගේ 16 පන්තියෙ ගුරුවරයෙක් කියල තියෙන දේ බලන්නකෝ.




Bob Marley - Is This Love

I wanna love you and treat you right;
I wanna love you every day and every night:
We'll be together with a roof right over our heads;
We'll share the shelter of my single bed;
We'll share the same room, yeah! - for Jah provide the bread.
Is this love - is this love - is this love -
Is this love that I'm feelin'?
Is this love - is this love - is this love -
Is this love that I'm feelin'?
I wanna know - wanna know - wanna know now!
I got to know - got to know - got to know now!

I-I-I-I-I-I-I-I-I - I'm willing and able,
So I throw my cards on your table!
I wanna love you - I wanna love and treat - love and treat you right;
I wanna love you every day and every night:
We'll be together, yeah! - with a roof right over our heads;
We'll share the shelter, yeah, oh now! - of my single bed;
We'll share the same room, yeah! - for Jah provide the bread.

Is this love - is this love - is this love -
Is this love that I'm feelin'?
Is this love - is this love - is this love -
Is this love that I'm feelin'?
Wo-o-o-oah! Oh yes, I know; yes, I know - yes, I know now!
Yes, I know; yes, I know - yes, I know now!

I-I-I-I-I-I-I-I-I - I'm willing and able,
So I throw my cards on your table!
See: I wanna love ya, I wanna love and treat ya -
love and treat ya right.
I wanna love you every day and every night:
We'll be together, with a roof right over our heads!
We'll share the shelter of my single bed;
We'll share the same room, yeah! Jah provide the bread.
We'll share the shelter of my single bed


මේකෙ මුල් පද වල එයා කියනව I wanna know කියල. ඒත් පසුව කියනව Yes, I know කියල. එයත් මේ සියළු ආදරයන් විශ්වීය ආදරයෙන් කෙලවර වෙනව කියලයි කියන්නේ මට හිතෙන විධියට. ඒ විශ්වීය ආදර සර්වත්‍ර කුලකය තුල ඇති එක් මියුරු ආදරයකදි කරන භෞතික දේවල් ටික එයා කියල දානව.....

ආදරයෙදි කොයි තරම් වට රවුම් ගැහුවත් ඔය ටිකනේ අන්තිමට කරන්නෙ නේද?

මම නං දන් නෑ ඕං. හිතල බලන්නකෝ...


Friday, 22 August 2008

පරිපථ

පරිපථ හෙවත් සර්කිට්! මේව තියෙන්නේ ඔළුවෙ. අපේ ඔළුවෙ අපි පුංචි කාලෙ ඉඳන්ම ක්‍රමයෙන් වර්ධනය වෙලා පසු කලෙක අපේ ඔළුවටම බද්ධවෙන මූලධර්ම හෙවත් නිර්නායක වලට තමයි මේ පරිපථ කියල කියන්නේ.

මේකට මේ පරිපථ කියන වචනය මුලින්ම කියනව ඇහුනෙ නදීක ගුරුගේ. එයා දෙරණෙ අවකාශයට ආපු වෙලාවක. එයා කිව්වෙ ඔළුවෙ තියෙන සේරම නැතත් පුළුවන් පරිපථ ගලවල දාන තරමට අපි නිදහස් වෙනව සහ අපට ඒ පරිපථ වලින් වැහිල තිබුණ සැබෑ අපිව පේනව කියලයි. මම කාලයක් පුරා ඔය කතාවම කිව්ව සහ දැනටත් කියනව. විශ්ව තරණය හරහා මම කියන්න ගියෙත් ඕකයි. විශ්ව තරණයට තියෙන මානසික බාධක තමයි අපේ හිතේ නිදහස නැති කරන හිත සීමා කරන පරිපථ. බුදුන් විශ්වයේ කෙලවර ගැන කොහේ හරි කියල ඇති. මොකද එයාට ඒ ගැටළුව එන්න ඇති. එයා අනිවාර්යයෙන්ම හොයන්න ඇති. යම් සාපේක්ෂ නිර්ණායකයක් තුල එයා යම් පරිපථයක් හදාගන්න ඇති. මොකද කෙලවරක් නැති හින්දා. කොහොම හරි විශ්වයේ කෙලවර හොයන්න ගිහින් එයාට එයාව හමුවෙන්න ඇති. ඒක නම් මට සක්සුදක් සේ පැහැදිලියි. දැන් ඉන්න අයට ඕක නොතේරෙන නිසා ලියන පොත්වල සහ කියන කතන්දරවල තියෙන්නෙ බුදන් ඒ ගැන හොයන්න එපා කිව්ව කියලයි.

පරිපථ ගලවන්න නම් විශ්වයට යන්න වෙනව. විශ්වය ඒ තරම් ඈත නෑ. අපි හදාගත්ත අපේ ලෝකෙන් ගැලවුණ ගමන් තියෙන්නෙ සෑහෙන ඉඩක් තියෙන අනන්ත විශ්වය තමයි. මේ ලෝකෙ තියෙන මල විකාර වලින් අපිව වැහිල නිසා ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂයකින් බැළුවත් අපට අපව හොයාගන්න නම් වෙන්නෙ නෑ. ඒක කරන්නත් අමාරුයි. ඒ නිසා විශ්වය තමයි අපට අපි දිහා බලන්න සුදුසුම තැන. ඒකට අපෙන් ගැලවෙන්න වෙනව. හොඳම ක්‍රමය තමන් හිතන දේ ගැන නැවත සිතීමයි. මුලින් මඤ්ඤං වුණත් පසු කාලෙකදි ඒ හරහා අපට අපේ වැරදි අහුවෙනව. මනෝ කඳු නැගීම හරහා මම උත්සාහ කරන්නෙ මේ දේවල් හිතන්න. ඒකෙදි මට උදව් කරන දේ (X, Y, Z) මාව ගඟකින් එතෙර කරන ඔරුවක් වගේ. ග‍ඟෙන් එගොඩ වුණාම තව දුරටත් අපට ඔරුව ඕන වෙන්නෙ නෑනෙ.

කෙනෙක් අහයි ඇයි පරිපථ ගලවගන්නෙ කියල. පරිපථ ගැලවීම හරහා සාමූහික විමුක්තියක් ලබන්න බෑ. තනියෙන් ගොඩ යන්න පුළුවන්. කහනව නම් මේ වගේ වමනෙ දාන්නත් පුළුවන්. කොහොම හරි මේ පරිපථ කාරයෝ (මාත් ඇතුලත්) මේ ලෝකය අද ගෙනත් තියෙන තැන පේනවනේ. ඉතිං පරිපථ තුල ගැලී සිටීම ඒ තරම් සාර්ථක නෑ නේද?

කී‍ දෙනෙක්ට මේ කතාව ‍තේරෙයිද මන්දා. මම මාවම ගන්නම් උදාහරණෙකට. මම කියන දේවල් නිසා කට්ටිය (සමහර විට අපේ සෙට් එක හැර) හිතන්න පුළුවන් මම හෙන සංකීර්ණ, ජීවිතේ ඕන කමින්ම මාර යුද්ධයක් කරන් දඟලන මෝඩයෙක් කියල. අපේ පුංචි මට කියන්නෙ උගත් මෝඩය කියල. එයාට ජීවිතේ ලේසි කරගන්න විධි කියල දෙන්න ගිහින් මම අහගන්න ඒව. හික්.. ඒත් එයා දන්නව මම කියන්නෙ නිකන් නෙවෙයි කියල.

කොහොම හරි මම Complex & Simple. ඕන වෙලාවක මට පුංචි එකෙක් වගේ නිදහස් වෙන්න පුළුවන් උවමනාව අනුව. මම කාටුන් පිස්සෙක්. ගනේගොඩ අයියත් එක්ක පුංචි එවුන් වගේ හිනා වෙවී මම ඕන තරම් කාටුන් බලල ඒවයින් අම්බානක දේවල් අරන් තියෙනව. ලොකුයි කියල හිතන් ඉන්න අයියල ඉන්නව කාටුන් කියන්නෙ පොඩි එවුන්ට තියෙන දෙයක් කියල හිතන. මායි ගනේගොඩයි දෙන්න නම් Finding Nemo බලල ඊට පස්සෙ Betty Blue ත් බලල ඔය අතරට Shall We Dance නැත්නම් Sound of Music බලන්නත් එක වගේ කැමතියි.

පොඩි එවුන් එක්ක ගැවසෙන එක මුලදි මට මාර අවුලක් වුණත් දැන් නම් මම ඉක්මනට එයාල එක්ක යාළු වෙනව. මටත් පුංචි එකෙක් වෙන්න පුළුවන් ක්ෂණිකව. ඒක කරන්න පුළුවන් වෙන්නෙ හිත නිදහස් වූණාම තමයි. නැතුව ඒක kid fever එකක් නෙවෙයි. (එහෙම අයත් ඉන්නවා 40 වුණාට ළමා වැඩ කරන. හික් හික්...) ඉතිං අර කිව්ව පරිපථ එක්ක නම් කවදාවත් පොඩි එවුන් එක්ක ගැවසෙන්න වෙන්නෙ නෑ. මගේ අභ්‍යන්තරයෙ තියෙන පරිපථ ගැ‍ලවෙන්න වෙන්න මම බොහෝමයක් දේවල් වලින් මානසිකව නිදහස් වෙනව. ජීවිතය තුල නම් නැවත නැවත මම විවිධ චරිත වල ඉන්නව විවිධ අය එක්ක.

මම දන්න තවත් පරිපථ තියෙනවා මා තුල. ඒවයින් ගැලවිලා මට මේ ක්‍රමය තුල පැවැත්මක් නෑ. මම ඒව අවබෝධ කරගන්න උත්සාහ කරනව. ඒ අවබෝධය හරහා ඒව පාලනය කරල මාව ඒ හරහා පාලනය කරනව. ගලවල තේරුමක් නැති පරිපථ ගලවන්න පුළුවන් බව අවබෝධ කරන් මම නිහඬ වෙනව. පුළුවන් උපරිම නිදහස මම ඒ තුල ලබනව. ඒක හිතෙද්දි නම් මාර ආතල් එකක් දැණෙනව.

අනිත් කාරණය පරිපථ ගලවල නිකං ඉඳල හරියන්නෙ නෑ. නිවැරදි පරිපථයක් හොයල හෝ නිර්මාණය කරගෙන හයි කරගන්නත් වෙනව ජීවත් වෙද්දි. නැත්නම් බෙල්ලෙන්ම යයි. මේ ස්වාධීන පරිපථ නිර්මාණය කරගන්න නම් සමාජය හදාරන්න වෙනව. ඇසුරු කරන්න වෙනව. කල්පනා කරන්න වෙනව. මනෝලෝක වල සැරිසරල, මනස හදාරල, මනෝ කඳු නැගල, කඳු පාමුල දිහා බලල සිතියම් ඇඳල, භූමි ලක්ෂණ ලකුණු කරල ක්ෂේම භූමියක් හොයාගෙන ආපහු බහින්න වෙනව.

හික් හික්...

ඊට පස්සෙ ක්ෂේම භුමිය හොයාගෙන දාන්න ඔරේ රන් එකක්෴


.

කණ්ඩායම්

මිනිස්සු එකයි කියල හිතන්න මිනිස්සුන්ව පොළඹවන නොයෙක් නිර්මාණ අපි නෙවෙයි අපේ සීයල සහ එයාලගෙ සීයල දන්න කාලෙත් බිහි වෙලා ඇති. මිනිස්සු ඒව ඇසුරු කරලත් ඇති. ඒත් හැම මනුස්සයෙක්ම එකයි කියල පිළිගන්න හැම මනුස්සයම පැකිලෙන නිසා කවදාවත් කලාව හෝ ආගම් හරහා හෝ විකල්ප දේශපාලන න්‍යායන් හරහා සාක්ෂාත් කරගන්න උත්සාහ කරන විමුක්තිය හෝ සාමූහික සමාජය හිතළුවක්. ඒ කියන්නෙ කවදාවත් බිහි නොවෙන එකක්. හැමදාම අපි එකම කතාව අහනව සහ කියනව. හැමෝගෙම ලේ රතුයි කියනව. හැමෝගෙම ඇට සැකිල්ලත් එක වගේ කියනව. හැමෝම මැරුණම පොළොවට පස් වෙනව කියල අපේ ආච්චිලත් කියනව. එයාලම තෝසෙ කමින් දෙමළුන්ට බනිනව. හික්!

ඔය ගැන විවිධ අය විවිධ මත පල කරල තියෙනව. හැම මතයක්ම පොදුවෙ හැමෝම ගැන සානුකම්පිතව ප්‍රකාශ වුණ ඒව. ඒත් ඒ දේවල් සමාජගත වෙනකොට අනවශ්‍ය විධියට වෙනස් වෙන නිසා සහ මතවාද කාරයින් විසින් නොතේරෙන අන්ත වලට ඇද දැමීම නිසා පුස් වෙලා යනව.

මට බොබ් මතක් වෙනව. මේ හැමෝම දන්න එයාගෙ ජනප්‍රිය සින්දුවක්.



Bob Marley ~ One Love

One love, one heart
Let's get together and feel all right
Hear the children crying (One love)
Hear the children crying (One heart)
Sayin', "Give thanks and praise to the Lord and I will feel all right."
Sayin', "Let's get together and feel all right."
Whoa, whoa, whoa, whoa

Let them all pass all their dirty remarks (One love)
There is one question I'd really love to ask (One heart)
Is there a place for the hopeless sinner
Who has hurt all mankind just to save his own?
Believe me

One love, one heart
Let's get together and feel all right
As it was in the beginning (One love)
So shall it be in the end (One heart)
Alright, "Give thanks and praise to the Lord and I will feel all right."
"Let's get together and feel all right."
One more thing

Let's get together to fight this Holy Armageddon (One love)
So when the Man comes there will be no, no doom (One song)
Have pity on those whose chances grow thinner
There ain't no hiding place from the Father of Creation

Sayin', "One love, one heart
Let's get together and feel all right."
I'm pleading to mankind (One love)
Oh, Lord (One heart) Whoa.

"Give thanks and praise to the Lord and I will feel all right."
Let's get together and feel all right.
(Repeat)



බොබ්ගෙ හැම ගීතයක් වගේම මේකත් අර්ථයන්ගෙන් බිහිසුණු ලෙස පෝසත්. මේකෙ මේ Father of Creation කියන්නෙ සොබාදහම‍ට. සොබාදහමත් අපේ හිතේ නිර්මිතයක් නිසා ඕන නම් Father of Creation = අපේ හිත කියල හිතන්නත් පුළුවන්.

කොහොමත් දෙවියන් වහන්සේ කියල ඔය ආගම් වල කියන්නෙ අපේ හිතට කියලයි මම හිතන්නේ. ඒකෙන් සෑහෙන විසඳුම් ටිකක් එනව. හැමදේම බාගෙට දැනගෙන කෑ ගහන අය නම් කියයි ජීසස් සහ බුද්ධ අහසට පොළොව වගේ කියල. හික්... පන්සිල් පද පහත් යන්තම් මතක තියෙන මම නම් දන්නව දෙන්නම එකයි කියල. After all, it all resides in our selves ne...

චික් මේ off road යන එක නම් හොඳ නෑ තමයි. මම හැදුවෙ හැම මිනිහම නැතත් එදිනෙදා හමුවන සාමාන්‍ය මනුස්සයෙක් හෝ සරලව මිනිහෙක් කියල හිතන්න අපට බැරි ඇයි කියල කියන්නයි.

මට දැනට හිතෙන දේ අනුව නම් අපි මිනිස්සුන්ව categories වලට, නැත්නම් විවිධ ප්‍රභේද වලට වෙන් කරලයි වටහගන්නේ. ඒ කියන්නෙ මිනිස්සුන්ව ඇසුරු කිරීම හරහාම එයාලව අඳුණගන්න තියෙන නොහැකියාව හින්ද අපි මිනිස්සුන්ව ප්‍රභේද වලට බෙදනව. ඒ වෙන් කිරීමට අපි නොයෙක් සාධක යොදාගන්නව. දැනට ප්‍රධානම දේ බාහිර පෙනුමයි. පෙනුම, අඳින විධිය, කතාබහ වගේ විවිධ බාහිර සාධක අනුව අපි මිනිස්සුන්ව තීරණය කරනව. සමහර විට ඒ නිසාම අපිට හොඳ මිනිස්සු මග හැරෙනව. හොඳ කියල කිව්වෙ සාපේක්ෂව. නරක මිනිස්සු ගැන වැරදි අවබෝධයෙන් එයාල ලං කරගත්තම පසුව අපිට එයාල ඇණයක් වෙනව සහ සමහර විට කරුමයක් වෙනව. හික් හික්...

මනුස්සයෙක් විධියට මනුස්සයෙක්ව මැනීමේ සාධක මොනවද කියල අපි දන්නෙ නෑ. අපට දැණෙන්න ඇසුරු කරන්න ලැබෙන්නෙ කී දෙනාද. අවුරුද්දකට එක අළුත් යාළුවෙක්! ඔව්! ඕන නම් ටිකක් වැඩි වෙයි. අපි ඉන්න විධියට වඩා ආසන්න ක්‍රම වලට ඉන්න පොදු රසයක් තියෙන අය මිතුරන් විධියට අපි පිලිගන්නව. (මේකෙදිත් අපි ඉන්න විධිය අපට පුද්ගලිකයිනේ.) ඒත් ඊට කලින් අපි කොයි තරම් පරෙස්සම් වෙනවද එයාල ගාවදි. එයාලව නොදන්න නිසා. අපි එයාලව නොදන්නෙ ඇයි? පොදු ලක්ෂණ හරහා මිනිසුන් මැනීමේ ක්‍රම අපි නොදන්න නිසාද? නැත්නම් කිසිම පොදු ලක්ෂණයක් වලංගු නොවෙන විධියට තමන්ගෙ ප්‍රතිරූපය හදාගෙන අපව රවටන බොරුකාරයින්ට අපි බය නිසාද?

මොන මගුල්ද අප්පා මම ලියන්නේ...

මට කියන්න ඕන කලේ මෙච්චරයි.

මිනිසුන් සියළු දෙනා එකා මෙන් පිළිගැනීමට ඇති අපහසුවට හේතුව වන්නේ අප එම අයවලුන් කණ්ඩායම් වලට අනුයුක්ත කර සිතීමයි.

මේ කණ්ඩායම් අප්සට් නම් අර හොඳ මනුස්සයව නිරපරාදෙ කණ්ඩායමකට දාල එයාව හලල දාන්න අපි පැකිලෙන්නෙ නෑ නේද?

ඉතිං බොබ්, ජීසස් සහ බුදුන් වදාල මේ සියළු ඇත්තවල් ‍අපට තේරිලා නෑ නේද කයිවාරු ගැහුවට.

එක මොහොතක මුළු ලෝකෙම මේක තේරුම් අරන් ලියාපදිංචි සත්‍යයක් කලොත් මිස සමාන සමාජයක් වෙනුවෙන් කරපු මේ සියළු පැතුම් සහ නිර්මාණ අතිශය සුළුතරයක් මිනිස්සුන්ට ආතල් දීපු දියවෙන අයිස් ක්‍රීම් වගේ දේවල් නේද?

ඒත් මිනිස්සු එක වගේ නොවෙන නිසා කවදාවත් එහෙම නිෂ්චිත තැනක රැ‍ඳෙන්න සාමූහිකයකට බෑ නේද ඒක මොන තරම් සාධාරණ වුණත්...

මේ හැමදේම අපේ තෘෂ්ණාව නේද... මේ මම ලියන එක පවා?

හික් හික්.... කිසිම බාහිර උදව්වකින් තොරව මම නැග්ග මනෝ කන්දක ඉඳන් පහල බැලුවම මම දැක්ක මේ හැම දේම ටි‍කෙන් ටික.

දැන් මම ආයෙත් පහලට බහිනව. මගේ කාලෙ කාපු ම‍ටම බැණ බැණ.

Tuesday, 19 August 2008

විශ්වයේ කෙලවර හිඳ හෝර්ටන් එක්ක...

විශ්වයේ කෙලවර හොයන්න එපා කියල බුදු හාමුදුරුවො කිව්ව කියල මම කියවල තියෙනව. හික්.. ඒ ගැන මම අනිත් අයට බණත් දේශනා කරල තියෙනව කෙලවරක් නැති තර්ක ඇදගෙන නාද්දි. විශ්වයේ කෙලවර ගැන යන්තම්වත් නොහිතපු අය මට ඒ ගැන හිතන්න එපා කියල නොයෙක් වතාවලදි කියල තියෙනව. විශ්වයේ කෙලවර ගැන හිතුවනම් කාටත් තේරෙන්න තිබුණා කොයිතරම් ප්‍රශ්ණ ටිකක් ඊට කලින් විසඳගන්න තියෙනවද කියලා. හික් නොකියා වෙන මොනව කියන්නද?

කොහොම හරි මම නම් මට යන්තම් දැණෙන්න ගත්ත කාලෙ (මේ කාලය ගැන මට නිසි මතකයක් නෑ. ඒක කාල පරිච්ඡේදයක්) පටන් දීර්ඝ කාලයක් තිස්සේ නොදැන හිතපු දේවල් සහ ඇසුරු කරපු දේවල් හරහා විශ්වයේ ඇරඹුම සහ ඒකෙ ව්‍යාප්තිය ගැන අදහසක් ගන්න හිතුව. අන්තිමේ මම විශ්වයේ කෙලවර හොයාගනිද්දි තවත් අමතර ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලැබුණ මට.

මම මේක පැහැදිලි කරන්න හෝර්ටන්ගෙ උදව් ගන්නම්. එයාව මම හොඳට දන්නව. ඔයාල එයාව දන්නෙ නැද්ද දන්නෙ නෑ. දැනගන්න වටින කෙනෙක්. මම නම් අවුරුදු 7ක විතර පොඩි එකෙක් වෙලා මෙයාව වරක් ඇසුරු කලා. ආයෙත් වර්තමාන මම විධියටත් මෙයාව ඇසුරු කලා.



'HORTON HEARS A WHO!' MOVIE TRAILER

හික් හික්... මම මේකෙන්ම පටන් ගන්නම්.

මේකෙ ඉන්න හෝර්ටන් කියන අලියට හම්බවෙනව පුංචි මලක් වගේ එකක්. ඒක ඇතුලෙ තියෙනව වෙනම ලෝකයක්. හරියට පෘථිවි‍යෙ වගේම දියුණු සමාජගත සත්ත්ව පිරිසක් ඉන්නවා ඒක තුල. හෝර්ටන් ට මෙයාලගෙ හඬ ඇහෙනවා. එයා ‍මේ ලෝකයේ අය එක්ක කතා කරන අතරෙ මේ ලෝකය, ඒ කියන්නේ මේ මල ආරක්ෂා කරනවා. අනිත් කැලේ සත්තු සේරම හිතන්නෙ හෝර්ටන්ට පිස්සු කියලා. එයාල හොර්ටන්ට දඬුවම් දෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර ලෝකෙන් එන හඬක් අනිත් සත්තුන්ටත් ඇහෙනවා. අන්තිමේ හැමෝම මේ මල ආරක්ෂා කරනවා හෝර්ටන්ගෙන් සමාව ඉල්ලල.

අන්තිමේදි හෝර්ටන් ප්‍රධාන අනෙක් සත්තුන්ගෙන් කැමරාව Zoom out වෙනව. ඒ කියන්නෙ ටික ටික සත්තු ඈතට ගිහින් එයාල ඉන්න කැලේ පුංචි වෙනව. අන්තිමේ බලද්දි මේ හෝර්ටන් ඉන්න ලෝකය තියෙන්නෙත් අර වගේම මලක් ඇතුලේ. ඒ කියන්නේ මේ මුළු ලෝක සේරම එකක් තුල තව එකක් වශයෙන් පිහිටල තියෙනව.

මේක තමයි මම විශ්වය ගැන දරන අදහස. හික්... තමන්ට පුළුවන් ඉමකට හිතන්න විශ්වය සීමා කරගන්න ඕනද නේද? මේ ගැන නොහිත ඕන නම් හිතන්න ඕන තරම් දේවල් තියෙනව දැන් නම්. ටීවී එක දැම්මම හිටු කියල බලන්න දේවල්. ඒ නිසා මේක තේරෙන්නෙ නැත්නම් ගණං ගන්න එපා. හික්.. අමතක කරල ටීවී බලන්න.


මම විශ්වයේ කෙලවර තෙක් ගියා මගේ මනසින්. ‍සියළු ග්‍රහලෝක, සූර්යයන්, චක්‍රාවාට, මහා චක්‍රාවා‍ට පොකුරු, චක්‍රාවාට තරම් ලොකු දුහුවිල්ලෙන් හැදුණු මහා නෙබියුලාවන් පහු කරන් මම විශ්වයේ කෙලවරට ගියා අනන්ත දුරක තිබුණ. ඒකෙ කෙලවර තිබුණෙ පටලයක්! බැලුමක් වගේ ඇදෙන සුළු පටලයක්. එතනින් එහාට යන්න හරිම ලේසියි. මම ඒක කඩාගෙන විශ්වයෙන් එලියට ගියා.

හික් හික්...

මම හිටියෙ ඉලෙක්ට්‍රෝනයක් මතින් ඔළුව දාගෙන. ඒ ඉලෙක්ට්‍රෝනය අයිති පරමාණුවක් තිබුණා. ඒ පරමාණුව අයිති තව විශ්වයක් තිබුණා. ඒක ගැන හිතාගන්නවත් බැරි තරම් ඒක විශාල වුණාට ඒකෙ කෙලවර ඇරෙන්නෙත් ඊටත් එහා තියෙන වෙනත් විශ්වයකට කියල මම ඒ වෙනකොට දැනගෙන ඉවරයි.

මේ සංකල්පය මහා මිථ්‍යාවක් තමයි. කොටින්ම හිතළුවක්. නමුත් මේ අදහස වෙනත් අයටත් තිබිල තියෙනව කියල මම පසුව දැනගත්තා. එක විද්‍යා ප්‍රබන්ධයක් තියෙනවා විද්‍යාඥයෙක් තමාගේ දරුවන් කණ්ඩායමක් යම් ක්‍රමවේදයකින් පරමාණුවක් වෙත යවන. මේක ටිකක් පරණ කතාවක්. ඒ නිසා ‍ඒ කාලෙදි පරමාණුක ව්‍යූහ ගැන එයා දැනගෙන ඉන්න නැතිව ඇති. කොහොම හරි එයා හොයාගන්නව මේ හැම පදාර්ථයක්ම හැදිල තියෙන්නේ පුංචි පුංචි සෞරග්‍රහ මණ්ඩල වලින් කියල. ඒ අනුව එයා කරන පරීක්ෂණ අනුව එයා හොයාගන්නව පරමාණු තුල වෙනම ජීවයක් පවතින බව. එයා තමන්ගෙ දරුවන් සහ එයාලගෙ මිතුරු කණ්ඩායමක් මේ පරමාණුක සෞරග්‍රහ මණ්ඩලයකට යවනව.

පරමාණුක කාලය අපේ සාමාන්‍ය කාලයට වඩා අතිශය වේගවත්. මේ දරුවන් කණ්ඩායම මේ පරමාණුක ලෝකය තුල ඉන්නෙ තත්පර කීපයයි. ආයෙත් එලියට එයාලව ගනිද්දි හෙන සෙට් එකක් එනවා. බැලින්නම් ඒ එයාලගේ හතරවෙනි පරම්පරාවෙ කට්ටිය. සාමාන්‍ය මිනිස් තත්පරයක් තුල ‍මේ ක්ෂුද්‍ර ලෝකයේ පරම්පරා හතරක් ගතවෙලා.

මේ සියළු දේවල් අදහන්න බෑ තමයි. හික් හික්... අදහන්න බැරි කොයිතරම් දේවල් අහවල් අහවල් අය කියපු / කියන නිසා අපි අද විශ්වාස කරනවද? ඒව ගැන ආයෙ නිර්වචන දෙන එකත් මැරෙන්න වටින දේවල්නේ. ‍කොහොම වුණත් තමාගෙ හිත තමාගෙ. ඒක වෙන කාගෙවත් නෙවෙයි. වෙන අයට ඕන දේවල් විතරක් හිතන්න ඒක පාවිච්චි කරනවා කියන එක නම් මාර පව් වැඩේ! ඒත් ඕක තේරුම් ගන්න එක ගැන හිතන්නත් කම්මැලි වුණ මිනිස්සු තමයි දැන් බහුතරයක් ඉන්නේ.

ඒවයින් වැඩක් නෑ.

මට දැනට විශ්වයේ කෙලවර සම්බන්ධව මේ කතාව මාර ඇත්තක්. බුදුන් මේ කෙලවර හොයන්න එපා කිව්වෙ ඇයි කියල මම තේරුම් ගත්තෙ බුදුන් කියපු දේ අහල නෙවෙයි. විශ්වයේ කෙලවර තරණය කරල. හික්! එක අතකට මම ඒක තරණය කරන්න භාවිතා කරපු දේවල් කිසිම දෙයක් නැතිව බුදුන් ඔය කතාව කිව්ව එක මොන තරම් විශිෂ්ඨද කියල හිතුණ. අපේ සිතට නැගෙන හැම සිතිවිල්ලක් ගානෙම පැහැදිලි කිරීම් කරපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා.

කොහොම හරි මිනිහෙක් විධියට නැගෙන මූලික ප්‍රශ්ණය වන මම මෙහෙම ඉන්නෙ ඇයි? කියන ප්‍රාථමික ගැටලුව තමයි මේ වගේ විමසිලිමත් වෙන්න අපට පොළඹවන්නේ. ඒ ගැටලුව ආවොත් අපට විශ්වයට යන්න හිතෙනව. විශ්වය තුල ඉඳන් ආයෙත් අපි දිහා බලද්දි පේනව අපි කොයි තරම් වැරදිද කියල. අපේ අඩු පාඩු, වැරදි ලක්ෂණ කොයිතරම් තියෙනවද කියල. කවදාවත් මම තුල ඉඳන් මාව නිවැරදි කරගන්න බෑ. මගෙන් මාව ගලවගෙන පිට ඉඳන් මාගෙ දිහා බැලුවොත් තමයි මට මාව හරියට පේන්නේ. එහෙම නැත්නම් ඉතිං මම ම හදාගත්ත ලෝකෙක මගේ නිර්වචන තුල තනි මට මගේ ජීවිතේ ගෙවන්න පුළුවන්. මේකෙදි මේ මගේ ලෝකය කියන එක බහුතර අයට ක්‍රමය විසින් මවල දුන්න එකක්. ඒක තුල එයා සර්ව සම්පූර්ණයි කියලත් ඒ‍ ක්‍රමයම කියනවා. ඒක පීඩාවක් වෙද්දි ධනාත්මක චින්තනය කියල එකක් තියෙනවා. ඒක ප්‍රශ්ණ අමතක කරන්න අරක්කු ගහනවා වගේ භාවිතා කරන්න පුළුවන්. තමන්ගෙ ප්‍රශ්ණ වලට බාහිර අය තුල පිලියම් සෙවීම නිසා කෙලවරක් නැති නූල් බෝලයක් වගේ එකක මාත් ඇතුළුව අපි සේරම පැටලිලා.

ඉතිං දැන් ඇති.. එන්න විශ්වයට යන්න.

විශ්වයේ ඉඳන් ඔයා දිහා බලද්දි ඔයාටම තේරෙයි ඔයා මොන තරම් නිර්වචන කන්දරාවක් තුල ඔයාව සීමා කරන් මේ ලෝකයට සහ ඔයාටම වදයක් වෙවී (ඒ බව නොදැන ඒත් යම් කිසි තැවිල්ලකින් හැම විටම) සහ මේ ලෝකයේ ස්වභාවික සෑම දෙයකටම වයිරසයක් වෙවී ඉන්න අපූරුව.

උත්සාහයක් ගන්න! හෝර්ටන් උදව් කරයි. පුංචි දරුවෙක් වෙන්න මොහොතකට!

රාග හල...

සෙනසුරාද හවස නලිනුයි, නිශාන්තයි, මමයි ගනේගොඩ අයියලගෙ ගෙදර ගියා. මනෝ කන්දක නැගල කතාවක් දාගෙන ඔලිම්පික් බැලුව. රෑ සමන්‍ට කතා කලාම එයත් ආවා. නලින් ගෙදර ගියා. පහුවදාට රා පාරක් දාමුද කියල ගනේගොඩ අයිය දාපු යෝජනාවට කලබල වුණ සමන් දුරකතන ඇමතුමකින් ඒක සූදානම් කලා.

උදේ 6.00ට විතර සීතලේ මායි සමනුයි එයාගෙ බයිසිකලේ ගියා අංගම්පිටියට. රා මදින අයිය පහුවදා රෑ හොඳට දාල මිදුලෙ වමනෙත් දාල සාලෙ බුදියන් හිටිය. නැගිටලත් මිනිහට ආතල් තවම සූර් ඕයි කියල. කොහොම හරි මිනිහ මත යනකල් පැය බාගයක් විතර ඉඳල මිදුලෙ තිබුණ තැඹිලි ගහ‍ට නැගල මුට්ටියක් බෑව. ස්ප්‍රයිට් වගේ පෙණ. ඇඟිල්ලක් ගහල බැලුව. පැණි රසයි. අපි ඒක අරන් ආව.

සමන් ගෙදර වැඩකට ගියා. නිශාන්ත අමධ්‍යප. මායි ගනේගොඩයි දහයට විතර ගහන්න ගත්ත. වීදුරුවක් ගහල ටිකක් යද්දිම මාර ගතියක් දැනෙන්න ගත්තා. නිදි මතක් එක්ක හරි කූල් ගතියක්. ඔලිම්පික් දාගෙන බලන්න ගත්තා. කෑමත් බඩ‍ට යන අතරෙ ටින ටික රා ජොග්ගුව හිස් වුණා. වීදුරු 3ක් ගත්තම මට හිතුණා දැන් නම් ඕන නෑ කියල. ගනේගොඩ අයියත් ෂේප් එකේ සනීපෙට නිදි. මමත් ඔලිම්පික් නිවලා කුංග්ෆු පැන්ඩා බැලුව ආයෙමත් තුන්වෙනි වතාවට.

ඒ එක්කම පොඩි ඇඩ්වර්ටයිසින් කෑල්ලක් දාන්න හිතුණා.. හික්.. හික්...


Jack Black -Kung Fu Panda Trailer Movie (Teaser) 6 June 2008



මේකෙ Original Trailer එක මේක නෙවෙයි. කොහොම වුණත් ජැක් බ්ලැක් ගෙ වැඩ කෑල්ලක් තියෙන නිසා මේක මාර ගති කියල හිතුණා.කොහොම වුණත් මේ චිත්‍රපටිය මට නම් නැවත නැවත පට්ට ගැසිය හැකි වර්ගයේ එකක්. පුංචි පුංචි දේවල් ගොඩක් තියෙනව. දැනට එකක් කියන්නම්. මේකෙ ඉන්න ඉබි පූජකයා ඌග්වේ (Oogway) කියන දෙයක් මේක.

Yesterday is History
Tomorrow is a mystery
Today is a Gift...
That's why it calls Present

ඒක නෙවෙයි කියන්න ඕන කලේ. මමත් ‍චිත්‍රපටියෙ භාගයක් යද්දි නිදි. නැවතත් හරියට ඇහැරුණේ අද (18) උදේ 10ට විතර. කාලෙකින් පැය10ක විතර දිග නින්දක්. මම 12.30ට විතර රාජකාරිය‍ට වාර්තා කලා.

අද දින මට ලැබුණ පුංචි විෂුවල් එකක් මට හිතට ඇල්ලුවා. මේක බලල ඇති ඔයාල සමහර විට. කියන්නෙ මධුමාධව. තිබුණෙ cyberlk2003 ගේ අඩවියේ.




Lamba Sawan Ranpatin


මේක ගැන කතා කරන්න යන්නෙ නෑ මම. නමුත් මේ විෂුවල් එකට සම්බන්ධ Little Buddha චිත්‍රපටිය සහ ඒක හදපු Bernardo Bertolucci ගේ Dreamers කියන චිත්‍රපටිය මගේ හිතේ ඇඳුණ.

Dreamers නම් වෙනම එකක්. Little Buddha චිත්‍රපටියෙ එන එක දසුනක් තියෙනව. බුදුන් බුද්ධත්වය ලබන මොහොතෙදි එයාට එයාවම පේනව. නමුත් ඒ තමයි නපුරු සිතිවිල්ල හෙවත් යක්ෂයා. එයා තමන් වගේමයි, නැත්නම් එයා ඉන්නෙ තමන් තුලමයි කියන දේ නිරූපනය වෙනව මෙතනින් ලස්සනට. අන්තිමේදි ඒ යක්ෂ ප්‍රතිබිම්භය නැතිව යනව බුද්ධත්වය ලැබීමත් එක්ක. මම කීප වරක්ම කියල තියෙනව වගේ සහ මේ මිතුරු කැලේ බොහෝ අය එකඟත් වෙනව වගේ සත්‍යය තියෙන්නේ තමා තුලම තමයි. ‍බාහිර ක්‍රම වලින් ඒක හොයන්න උත්සාහ ගන්න එක දැනගෙන කලොත් නම් හොඳයි.

විශ්වයේ කෙලවර
මට හම්බවුණ විධිය කියන්නත් හිතෙනව. ඒත් දැන් නිදිමතයි!


හික්! මේ.. මේකෙ මාතෘකාවෙ වචනවල පද බෙදුනෙ වැරදියට අප්පා...

Saturday, 16 August 2008

අබාට ජේසු පිහිටයි!

මේක මම ලියන්න හිතුවෙ ක්ෂණිකව. ටිකක් දුර දිග හිතුව නම් මේවගේ මල විකාර දේවල් ගැන කතා නොකර ඉඳියි මම.

මම දැක්ක අබා චිත්‍රපට විචාරයක තියෙනව අබා හරහා කතෝලික පල්ලිය සංස්කෘතිය ආක්‍රමණය කරනවා වගේ දෙයක්.

මම ඒක ගැන කියන එක එතනින් නවත්වනවා.

මම දන්න තරමින් අබාගෙ කාලෙ මේ කතෝලික ආගම ලංකාවෙ තිබුණෙ නෑ. ඒ නිසා මේ කියන විධියට ජීසස්ව සිහි කරන දර්ශන හරහා ඇත්ත පහදන්න වගේම ඕන නම් බුදුන්ගේ චරිතය හරහාත් යම් සත්‍යයක් කියන්න ජැක්සන් උත්සාහ කලා නම් හොඳයි තමයි.

ජැක්සන්ට අභියෝගයක් තියෙනව මුහුණ දෙන්න මීළඟට. මොකද මේ තර්කය අසාර්ථක නෑ. බුදුන් හෝ අදාල කතාවක් අදාල කරගන්න පුළුවන් කම තියෙන්න තිබුණා මීට වඩා. කොහොමත් ඒක කලාකරුවගෙ කැමැත්ත වෙන්න ඇති!

හැබැයි මම කියන්නෙ නෑ ජීසස් වැරදියි කියලා. සමාගම් නම් කෝකත් එකයි. ලොක්කො පරමාදර්ශ වුණත් දුවවන්නෙ අප්සෙට් සොක්කොනේ.

ජීසස් බුදුන් කියපු සත්‍යයම කියන්න ගිහින් (එයාගෙම ආරකට) බුදුන්ට තිබුණ රාජ්‍ය අනුග්‍රහය නොතිබුණ නිසා ක්රමය විසින් විනාශ කරපු නියම සත්‍යවාදී මනුස්සයෙක්. එයා මිය ගියෙ අපි වෙනුවෙන්. මිනිස්සුන්ගෙ සමාන අයිතිය වෙනුවෙන්. සෑම මිනිසෙක්ටම සුවසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න තනිව කරපු අසාර්ථක විප්ලවයක ප්‍රතිඵලයක් වශයෙන්.

එයාට අපි කොයි තරම් ගරු කරන්න ඕනද? බුදුන්ට හෝ වෙනත් ඕනම ආගමික සාස්තෘවරයෙක්ට වගේම. බුදුන් ගැන මේ චිත්‍රපටියෙ දර්ශන තිබුණ නම් මෙහෙම ප්‍රශ්ණයක් නෑ නේද?

මම හිතන්නෙ දැන් අබා හදල අපි ඒක බලලත් ඉවරයි. රටේ සැලකිය යුතු පිරිසක් මේක බලයි! මේ හැමෝම මේ සංකේත අඳුනගන්න එකක් නෑ. අපි නොදන්න live නේ ලංකාව. ඔන නම් ජීසස්ව මතක් වෙයි. ඒ මොහොතින් අමතක වෙයි. චිත්‍රපටිය ඉවර වෙනකොට ජීසස් කවුද කියල මතක් කරගන්නත් ටික වෙලාවක් යයි. හික්!

කොහොමත් මේ ගැන තර්ක තේරුමක් නෑ දැන්. මේක කුමණ්ත්‍රණයක ප්‍රතිඵලයක් නම් චිත්‍රපටිය බලද්දි ඒ කුමන්ත්‍රණ කාරයො ටික කට කොනකින් හිනා වෙයි. එපමණයි.

අබා අපේ රටේ මිනිස්සු තුල ජාති ආගම් හෝ කුල භේද හදනවට වඩා තනි රටක් විධියට නැගී සිටීමේ අභිප්‍රාය වර්ධනය කරනව නම් හොඳයි. ඉන් පසුව බැරියැ ලෝකයක් විධියට නැගී සිටින්න. නමුත් ඒක මගෙ හිතළුවක් විතරක් වෙයි සමහර විට.

බොහෝ අයට මේක තවත් එක චිත්‍රපටයකට වඩා දෙයක් වෙන එකක් නැද්ද?

ඉස් පෑම්

අද හරිම මහන්සියි. බ්ලොගට අළුත් ඇඳුමක් අන්දන්න ගිහින් නා ගත්තා. ‍සේරම ප්‍රතිෂ්ඨාපණය කරන්න වුණා. ඉතිං අද දාන්න හිතපු එක දාන්න කම්මැලියි වගේ දැන්. කොරන්ට දෙයක් නෑ. එහෙම තමයි. පහුගිය දින කීපයේ ඇහැරල හිටපු ඇහැරිල්ල අද මාව නිදිබර කරල.

ඒ වුණාට මෙන්න බලන්න...

මේ දැන් මගේ එක ලියවිල්ලකට තිබස් බුවෙක් එයාගෙ ලින්ක් එක කමෙන්ට් කරල තිබුණ. වැඩි දෙනාගෙ පහසුවට Word Verification ඉවත් කරල දැම්මට ආයෙ හිතුණ දැම්ම නම් හොඳයි කියල. සිංහල බ්ලොග් එකේ මම දැකපු මුල්ම ස්පෑම් වීම. මේක නවත්තන්න බැරි වෙයි. ඒත් ඒව අයින් කරන්න පුළුවන් බ්ලොග් අයිතිකරුවන්ට ඕන නම්.

මම නම් අයින් කලා.

Friday, 15 August 2008

මගේ ඇස්....

අද ලියන්න හිතේ තියාගෙන හිටියෙ වෙන දෙයක්. ඒත් රවුම් ගහල එද්දි අදත් පරක්කුයි. ඒ නිසා ඒක කල් දැම්මා හෙටට හෝ පුළුවන් දවසකට.

මගේ ඇස් දෙක දැන් දවසේ පැය 24න් පැය 14ක් විතර තියෙන්නෙ අඩි 1 1/2ක් දුරට නාභිගත වෙලා. ඒ කියන්නෙ මොනිටරයට!

මේ කෙහෙල්මල් බ්ලොග් ලිවිල්ලක් නිසා දැන් කියවන්න වෙලා සෑහෙන්න. සිංහල අක්ෂර දෝෂ හොයන යෙදුමක් අපට නැති නිසා ලියන දේවල් කියවන්න වෙනව කීප වරක් වැරදි හොයන්න. ඒ කරලත් වරදිනවනේ සෑහෙන්න. අපේ Font Master අධිපති (කවුරුත් දන්න FM ‍Fonts හදපු තැන) පුෂ්පානන්ද ඒකනායක මහත්තයා කාලෙකට ඉහතදි ඒ වගේ එකක් කරන්න උත්සාහ දැරුවා. මට මතකයි පහුගිය වතාවෙ Colombo International Book Fair එකේදි මම එයා ලියපු පරිගනක සිංහලය පොත ගත්තා. සිංහල භාෂාව නිවැරදිව ගවේෂණය කරල ඒක අංකිත ව්‍යුහයකට (digital Structure) ගොනුකිරීම ගැන එයා සෑහෙන්න හොයල තිබුණ. සිංහලයේ තියෙන නා නා විධ ව්‍යාකරණ රීති හා පණ්ඩිතයො තමන්ට අවශ්‍ය විධියට භාෂාව වෙනස් කිරීම නිසා ව්‍යාප්ත වුණ ගලවගන්න අමාරු භාෂා/ව්‍යාකරණ යෙදීම් හේතුවෙන් මේ කාරණය අතිශය සංකීර්ණ වෙලයි තිබුණේ. අනික ඉංගිරිසිය වගේ කෝකටත් අකුරු 26ක් නෙවෙයිනේ. විවිධ විධියෙ හෝඩි ම කීයක් තියෙනවද සිංහලෙන්. මම දන්නෙත් නෑ. දන්න කෙනෙක් කියන්න.

මම තවත් දෙයක් දන්නෙ නෑ. ඒ තමයි චීන ජපන් සහ දෙමළ වගේ සිංහල තරම්ම සංකීර්ණයි කියල මට වැටහෙන භාෂා වලට මෙහෙම අක්ෂර දෝෂ විශ්ලේෂකයක් තියෙනවද කියන එක. එහෙම තියෙනව නම් අද හෙට නැතත් කවද හරි සිංහල භාෂාවට දෝෂ විශ්ලේෂකයක් ලැබීමේ භාග්‍යය අපට හිමියි. සිංහලත් විධිමත් වෙයි පරම්පරාවක් යද්දි.

කතා ඇති. දැන් ඇස්!

මම මේ පරිගණක ආශ්‍රිත රැකියාව කරන 9 වෙනි අවුරුද්ද. තවම කණ්නාඩි දාන්න උවමනාවක් වුණේ නෑ. නමුත් කල් යද්දි ඒ වගේ බාහිර උදව් ඕන වෙයි.

ඒකත් නෙවෙයි කියන්න ඕන කලේ. මම දවල්ට කෑම ගන්න යනව මගේ කොළඹ බෝඩිමට හෙවත් මගේ බාප්ප සහ පුංචි ඉන්න නිවසට. යන එන දුර කිලෝමීටරයක්. බොහෝවිට ගිණිගහන අවුවෙ හෝලට් දෙකක් බස් එකේ යනව කෑම පැය ඉතිරිකරගන්න.

පාරෙ යද්දි මගෙ පුරුද්ද ඈතට ඇස් නාභිගත කිරිමයි. ඒක මම ඒ ගැන හිතන්න පටන්ගත්ත කාලෙදිම ඉබේම ඒ තුලින්ම හුරු වුණු දෙයක්. කීප වතාවක් මගේ තාත්ත මට පාරෙදි හමු වෙල මම නොදැක ගිහින් එයා කතා කරල තියෙනව. මම යන්නෙ ළඟ ගැන අවධානයෙන් වුණා‍ට දුරකට ඇස් තියාගෙන බොහෝවිට. ළඟ බැලීමේ උවමනාවක් නැත්නම්. වතාවක් මගේ පෙම්වතියක් මගේ මූණ ඉදිරියෙම මාව නතර කලේ කුඩේ හරස් කරල. හරියට වාහනේකට අත දානව වගේ... හික් හික්... එයාට තිබුණෙ දුඹුරු වර්ණ මාව විනාශ කල ඇස් යුගලක්. මම ඒව දැක්කෙ නෑ හරියට හැබැයි.

ඕව ගැන කියද්දි කොහොමත් මගේ ඇස් පෙනීම දුරවල් සම්බන්ධව දුර්වල බවක් මට පේන නිසා මේ ඈත බැලීමේ චර්යාව යම් ස්වභාවික පිළියමක් වගේ කියල මට හිතෙනව. දවසකට පැය 14ක් අඩි 1 1/2 කට නාභිගත වෙලා තියෙන ඇස් විනාඩි 15-20ක් ඈතට නාභිගතව!

හ්ම්...

දවසේ අවදි වෙලා ඉන්න පැය ගානෙම එක එක තැන් වලට නාභිගත වෙලා වල්මත් වෙලා එහෙ මෙහෙ දුවන මගෙ හිත එක මොහොතකට මගෙ හිත ඇතුලට නාභිගත කරගන්න කරපු තවත් ලියවිල්ලක්!

හික් හික්... මම ඔය වගේම තමයි... හික් හික්...!

Thursday, 14 August 2008

අබාගෙන් පටන්ගෙන...

අද 2008-08-14 වෙනිද... අද මම වැඩ!

මේක අද සම්පූර්ණ වුණාට ලියවුණේ ඊයෙ දිනයට අදාලව. කාලය පිළිබඳ ගැටළුවක් නෑ. අද හෝ ඊයේ... තවත් එක මානසික කාල ඇදිල්ලක් විතරයි... ඉතිං මේ අද හෝ ඊයෙ සිදු වුණ මගේ ජීවිතේ සිදුවීම් වැලක්....

අද, ඒ කියන්නෙ 2008-08-13 වෙනිදත් මම පිට පිට තුන් වෙනි දවසටත් නිවාඩු! මහ වීර කමක් නෙවෙයි. උදේම ඇහැරුණත් කම්මැලි කමට නිදාගත්ත. දහයට විතර නැගිටල එහෙ මෙහේ විසි වෙවී ඉද්දි කවි දෙකක් ලියවුණ. කඩදාසි කෑල්ල සාක්කුවෙ දාගෙන මම කරු හෙවත් ප්‍රසාද්ට කතා කලා. අද කොහොමද බන්? කට්ටිය ඉන්නවද අම්බානක? කරු ඉතින් සුපුරුදු ස්වරයෙන්ම කිව්ව ඒ තරම් නෑ බං. උඹට ඕන නම් හිටපං

ආයෙ මොනවද? පොතක් අරන් කියවන්නත් හිතක් නෑ. සින්දු කොල කෑලිවගයක් ක්‍රමවත්ව පොතක ලියල තියාගැනීමේ අතරමග ඇන හිටල තිබුණ ව්‍යාපෘතියක් මතක් වෙල ඇදලගත්ත ආයෙත්. ඒත් ලියන්න වුණේ නෑ. ඒ අතරෙ අබා මතක් වූණා. ක්වින්ලන් එකේ බඩු 4.15ට. වහාම 3.30ට එලාම් තියල නිදාගත්ත. හරියටම වෙලාවට නැගිටල නුගේගොඩට ගිහින් උදේටයි දවල්ටයි දෙකටම හරියන්න පිටි ගුලියක් ගිල්ල. එළකිරි බෝතලයක් එක්ක.

4.05ට විතර හෝල් එක ගාවට යද්දි කවදාවත් මම ක්වින්ලන් එකේ නොදැකපු සෙනගක්. කෙල්ලො කොල්ලො සහ පවුල් පිටින්. මට මාර සතුටක් දැණුන. ඒ වෙනකොටත් කලින් දර්ශනය ඉවර වෙලා මිනිත්තුවක් ඇති. බලපු අය හෝ ගාලා එනවා එලියට. ටිකට් කවුන්ටර ඇරලත් නැති නිසා ටිකක් එළියට වෙලා ඉන්න වුණා.

අන්තිමේ ඇතුලට යනකොට පසුබිමින් යන්නෙ Elephant foot සෙට් එකේ දළු. අපේ EK Gadol මතක් වුණා මට. එයාලගේ rain forest හොයල දෙනව කිව්ව මලී ගැන පුෂ්පදාන පාරමිතාව පිරෙන්න කලින් මම දළු වලට වහ වැටුණ. මම ODI කොටස අවසන් වෙන ඉදිරි පෙලේ ඉඳගෙන හරිබරි ගැහුණා. මට දැණුන මට පිටිපස්සෙන් මුළු ‍ශාලාවම පිරිල තියෙන බව කවදාවත් නැති තරම්. මාර සතුටක් ආයෙමත් දැණෙන්න ගත්ත. ඒක තීවෘ වුණා මිනිස්සු සේරම ඒ විධියට ගත කරපු විනාඩි ගාන පුරාවටම දළු වලට වශී වෙල වගෙ හිටපු නිසා. මේ නිර්මාණ එතන හිටපු අයගෙන් කී දෙනෙක් අහල තියෙන්න ඇද්ද ඊට කලින්.

ඔන්න අබා පටන්ගත්ත. මොන.. ඒක විෂබීජ නාශක සබන් දැන්වීමක්. විනාඩි 10ක විතර කෙටි චිත්‍රපටියක්. මම ඒ ප්‍රචාරණ ක්‍රමවේදය දැක්කමයි. කොහෙද, හෝල් වලට යනවයැ දැන් පික්චර් බලන්න. කොහොම නමුත් Matrix ක්‍රමවේද භාවිතා කරල නගරය වනසන විෂ බීජ වලට පහර දෙන ළමා සොල්දාදුවො ටිකක් ගැන තමයි ඒ ඇඩ් එක. විෂබීජ වලට මාර බයක්නෙ මිනිස්සුන්ගෙ ඔළු වල හදන්න යන්නේ. සබන් නොගාන එවුන් ඕන තරම් ඉන්නවා යහතින්!

ෂිට් මේ පාර ලිස්සනවා අනේ....

ඉතිං අබා!

මේ දෘෂ්‍ය කැබැල්ල අපේ Designer255 යාළුවට හමුවෙල තිබුණ. හබරාගේ සින්දුව කියල.


Habara song - From the movie ABA


මම හිතන්නෙ මේක චිත්‍රපටිවලට ආස කරන ඕන කෙනෙක් බලන්න වටින එකක්. ගෙවල්වලට වෙලා වැල්බයිල බලන අය අනිවාර්යයෙන් නැරඹිය යුතු වර්ගයේ එකක්. එයාලට පුංචි වෙනසක් ගේන්න සමත්වෙයි වැඩිය එහෙ මෙගෙ කළඹවන්නෙ නැතිව.

මම මට යන්තම් දැණෙන කාලෙදිම බලපු බටහිර වීර කතා වලින් සහ කාටුන් වීර කතා වලින් උන්මාද වෙලයි හිටියෙ. මේ වීර කතා එක්ක 6 පන්තියෙ ඉඳන් වැදිල තිබුණ දුටුගැමුණු (හික්!) කතාව මම හොඳටම කික් වෙලයි තිබුණෙ. මම කල්පනා කලා ලංකාවෙ එහෙම චිත්‍රපටි හදන්න බැරිද කියල. දුටුගැමුණු කතාවම හෝ දුටුගැමුණු රජතුමාගෙ යෝධයො සෙට් එක ගැනම වුණත් වෙනම කතා හදන්න තරම් ඒ මූලාශ්‍ර සාහිත්‍යයෙන් පෝසත් කියල මට හිතුණ. ඒ වගේම බටහිර වීරකතා වල තියෙන විධියෙම ත්‍රාසය සහ වීරත්වය වෙනත් අවශ්‍ය කරන හැඟීම් එක්ක (දේශානුරාගය, නැගී සිටිම හෝ වෙන ඕන මගුලක් මිනිස්සුන්ව මේ වලෙන් නැනෝමීටරයක් උඩට අදින) මේ කතා පුවත් නිර්මාණය කරන්න පුළුවන් කියල මට හිතුණ.

කොහොම හරි ජැක්සන් මගේ ඒ හීනය සැබෑ කරන මුල් පියවර තියලා. මේක හැමෝම කියනව වගේ ලංකාවෙ චිත්‍රපටි ඉතිහාසයේ ලොකු පියවරක්. හරි විධියට කොපි කරනව නම් කාටත් හොඳ අවස්ථාවක්.

මේ ගැන විවිධ මති මතාන්තර පල වුණා. මම දැක්ක පත්තරේ තියෙනව මේ පණ්ඩුකාභය කතා පුවතම මහාවංශ කතුවරයගෙ වියමනක් විතරයි කියල. ඒ හරහා ඒ ලිපිය ලියපු කෙනා මේ චිත්‍රපටිය වැඩක් නෑ කියල කියන්න උත්සාහ අරන් තිබුණ.

මම කියන්නෙ ඒ බයිල වැඩක් නෑ. මේක Brave heart වගේ, නැත්නම් Troy, Patriot වගේ චිත්‍රපටි මාලාවක ඇරඹුමක්. මිනිස්සුන්ගෙ නිදාගෙන ඉන්න හැඟීම් නැවත සුළු මොහොතකට හරි (ඒ ගැන කතා ඕන නෑ. කතා කරන මම මෝඩය නිසා තවමත් කියවනවා.) මිනිස්සුන්ට විඳින්න සලස්වන්න පුළුවන් නම් හරි.

මම හිතන්නෙ අබා ඒ අතින් සාර්ථකයි.

රවීන්ද්‍ර රන්දෙණියගෙ පණ්ඩුල චරිතය මට මතක් කලේ Lord of the Rings ත්‍රිත්වය. ඒකෙ වරදක් නෑ. නිකන් හැමදේම පාලනය කල හැකි ගැලවුම්කාරයෙක් වගේ හැඟීමක් දැණෙනවා ඒකෙන්. මේ චරිතයමයි Kung Fu Panda එකේ මහලු ඉබි පූජකයාගෙ චරිතය.

හබරා හෙවත් සෞම්‍ය ලියනගේ කවදත් කියන්න දෙයක් ඉතිරි නොකරන නළුවෙක්. දුලානි අනුරාධා මාව වශී කලා. එයාගෙ පින්තූර වගයක් අපේ මහගෙදර දාල තියෙනව දැක්ක. රඟපෑම් නම් හදාගන්න වෙයි.

නදීකගේ සංගීතය හරහා මේ චිත්‍රපටියෙ වටිනාකම සැලකිය යුතු තරම් වැඩි වෙලා තියෙනව. ඇඟට දැණෙන මූලධර්ම සංගීතයක් එක්ක අපූරුවට ගැලපුණ රූපාවලියක් කැමරා අධ්‍යක්ෂ සුමින්ද වීරසිංහ මහත්තය මවල තියෙනව. සංස්කරණය ගැනත් මට නම් කියන්න දෙයක් නෑ. පැය දෙක හමාරක විතර කාලයක් තුල අවශ්‍ය සිද්ධි ටික සාර්ථකව කැටි වෙල තිබුණ.

අන්තිමට මට කියන්න තියෙන්නෙ හැමෝම මේක බලන්න කියලයි. ඒක වරදක් වෙන එකක් නෑ අනිවාර්යයෙන්ම.

Wednesday, 13 August 2008

කාලය... ..

ෂිට්! මට එපා වෙලා. මේ බ්ලොග ලියන්න කලින් මිදෙන්න ඕන තැන් තියෙනවා කියල හිතෙනවා. මට ලැබෙන කාලය එක්ක මේ කරන්න ගත්තු වැඩේ අසාර්ථක වෙන්නත් පුළුවන්. අනික මේ නිසා සංවාදයට වඩා ලියන්න සිද්ධ වෙනවා. ඒක මගේ කාලය සෑහෙන්න පාවිච්චි කරනවා. කොහොම වුණත් මේ ඇරඹුම පවත්වගත්තෙ නැත්නම් වැඩක් නෑ.. නිකංම ලියන්න තරම් දේවලුත් නෑ.

මට මගේ රස්සාව එපාවෙලා මාර කල්. ඒත් වෙන එකක් හොයන්න තියෙන කම්මැලිකමටයි දැනට මෙතනින් ලැබෙන ප්‍රතිලාභ වල තියෙන ෂේප් බවයි ම‍ට මෙතනින් ලැබෙන වටිනාකම් හරහා මම ලබන වෙනත් ප්‍රයෝජනයි නිසා දැනට මෙතන ඉන්න වෙනවා.

රස්සාවල් අපිව සෑහෙන්න හිර කරල. මම මේ ගැන අවුරුදු ගානකට කලින් කරපු එකක් මතක් වුණා. අපේ මහගෙදර අය නම් මේක බලල තියෙනව.




Works

රස්සාවල් නිසා තමයි එක අතකට අපට ජීවත් වෙන්න වෙන්නේ. ඒත් මේ රස්සාවල් නිසාම තමයි අපට අපේ ජීවිතේ නැති වෙලා තියෙන්නෙත් එක අතකට. මොකද රස්සාවයි ගෙදරයි අතරෙ දෝලනය වෙද්දි ජීවිතේ අමතක වෙනව.

යම් විධියක තීරණාත්මක වෙනසකදි ටිකක් නැගිටිනව හැරෙන්න අපේ ජීවිතවල වැඩි වෙනසක් නැතිව ඔහේ ගෙවෙන මේ ස්වභාවය ගැන ‍හිතන එක අප්සට්ද?

Monday, 11 August 2008

මනෝ සානුව

මනෝ සානුවට කලින් මනෝ කඳු ගැන දැනගන්න

මේ අදහසේ නිර්මාතෘ සම්පත් තමයි. මම ඒක වෙනස් විධියට භූගෝලීය කලා...

පහුගිය මාස කීපය පුරාවටම අපේ කාර්යාලීය සෙට්වන්නෝ සෙට් එකට සෙට් වෙන්න ලැබුණෙ නෑ.
අපේ සුපුරුදු අවන්හලේ මාසෙකට වරක් පඩි හම්බවෙන 10 වෙනිද අව‍ට දියනයකදි මධුවිතකට, කතාවකට සහ සින්දුවකට සෙට් වීමේ පුරුද්ද අපේ චාරිත්‍රයක් වෙලා තිබුණ. පහුගිය මාස කීපය පුරාවට සිද්ධ වුණ ආර්ථික විපර්යාසයත් එක්ක ඒ සෙට් වීම ටිකක් අමතක වුණා කට්ටියටම.

ඒත් පහුගිය සතිය තුල නිශාන්ත ඕක ගැන කට්ටිය එක්කම කතා කලා. මේ වතාවෙ මේක කොහොම හරි කරමුය කියන ස්ථාවරයට අපි ආවා. සිකුරාදට පැකට් එක අරගන්නත් පුළුවන් නිසා සෙනසුරාද දිනය (09) මේකට යොදාගත්ත.

කිව්ව වගේ ඊයෙ (දැන් නම් 11 වෙනිද උදේ 1.21යි. තවම මට ඊයෙ කියන්නේ 09වෙනිද හො‍ඳේ) හවස 8 විතර වෙද්දි කාර්යාලයේ සදා සෙට් යාළුවෙ කීප දෙනා එක්ක අළුත් යාළුවො ටික දෙනෙක් සහ මාස ගණනාවක් තිස්සෙ සෙට් වෙමු සෙට් වෙමු කිය කියා ඉන්න කස්ටමර් යාළුවො කීපදෙනෙකුයි සුපුරුදු අවන්හලේ මේස දෙකක් ඈඳලා සෙට් වුණා.

මධු විත අපි සේරම කට්ටියව එකම තැනකට අරන් ගියා. තනි මනෝ සානුවකට! කාටවත් ප්‍රශ්ණයක් තිබුණෙ නෑ. මුතුකුඩ ඉහලන මල් වරුසාවෙන් පටන් අරන් රෝස තොල් ඉඹල, පිදුරු සෙවිකල පැත්පතේ සාමය හොයල, තව එකී‍ මෙකී නොකී තැන්වල සරන ගීත ගණනාවක් හරහා අපි උපරිම ප්‍රීතියක් භුක්ති වින්ද. ඒ අතර පුංචි පුංචි මනෝකඳු එහෙ මෙහෙ පාවුණා අතරින් පතර මාව තනියම කඳුමුදුනේ නතර කරමින්. මිනිස්සු බොන්නෙ ඇයි කියන දේට උත්තර හොයන්න කලින් මම බොන්නෙ ඇයි කියන දේ හිතන්න මට ඕන කරල තිබුණ. පෙරේත කම නම් නෙවෙයි. ඒක පෙරේතකමට ගහන්න තරම් රසවත් බීමක් නෙවෙයි. ඒත් ඒ හරහා ලබන්න පුළුවන් නිදහසේ හැඟීම නම් පෙරේත වෙන්න වටිනවා. ඒ එක්ක තමයි ඔය බොන හේතුව අත්වැල් බැඳන් ඉන්නේ.

මට මතක් වෙන්නෙ Fight Club ෆිල්ම් එකයි. මම එඩ්වඩ් නෝර්ටන්ව දැනගත්තෙ මේකෙන්. දැන් නම් එයා Hulk නේ.




fight club movie trailer


මේ චිත්රපටියෙ කියවෙන්නෙ සාමාන්‍ය ජීවිතයේ තියෙන පීඩනය හමුවේ මිනිසෙක් තුල ඉන්න නිදහසේ ජීවියා එලියට බැසීම ගැනයි. එයා කැමති නෑ මේ තියෙන විධිමත් භාවයන් එකකටවත්. එයා ක්‍රමයට විරුද්ධයි. කොටින්ම එයා ඉන්නෙ ක්‍රමය බිඳල දාන්නයි. මේ එයා ඉන්නෙ අදාල මනුස්සය තුලම තමයි.

ඒ අතරෙ මේ තමාගෙ නිදහසේ කොටස හරහා ක්‍රමය තුල ඉන්න මනුස්සයට ගැහැණියක් හමු වෙනව. ඒ හරහා එයා නැවත වතාවක් අවදි වෙනව.

චිත්‍රපටියෙ අවසානෙදි එයා තේරුම්ගන්නව මේ හැමදේම හරිම තාවකාලිකයි කියල. නිදහස නිදහස් කිරීම තමාට නොවුණ‍ට වෙනත් අය‍ට කරදරයක්. නිදහස තමා තුලම ඇසුරුකිරීමක් වගේ දෙයක් තමයි අවසානයෙදි හොඳයි කියල අපට හි‍තෙන්නේ. මොකද අන්තිමේදි නිදහසේ ජීවියා මැරෙනව.


මටත් මැන්ටල් අප්පා... මනෝ සානුව හරිම පුළුල්නේ.

මට හිතෙන්නෙ මිනිස්සු බොන්නෙ හැබෑ ජීවිතේ නැති පුංචි නිදහසක් ලබන්න. හැබැයි ඒක මල විකාරයක් කරන් චා වෙන අයත් ඉන්නවා. අනික හැමෝම ට්‍රැක් එකට වැටෙන කල් ටිකක් චා තමයි. බොද්දි හලාගත්තට, වීදුරු බිඳගත්තට, හැඳි වට්ටගත්තට කිසිම අවුලක් වෙන්න බෑ. අපි කතා වුණ විධියට කලිසමේ චූ කක්කා කරගත්තත් කමක් නෑ වගේ. වෙන වෙලාවක කවදාවත් ඕන කමින් ඕව කරයියැ. ඒව කරන්න ඕන කියනව නෙවෙයි. ඒත් ඒව කරන එක ගැන කතා කිරීම පවා චුට්ටක් අප්සෙට් වෙන එකේ බිව්වම ඕක සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්ණයක් තියෙන්න බෑ හරියට බොනව නම්. කොයි දේත් හරියට කරන්නෙ නෑ කියන අපේ මිනිස් ලක්ෂණය බීමටත් එසේම ද?

හික්! හික්!

කොහොම හරි අපි 10.30ට විතර එලියට ඇවිත් වෙන් වුණා. කට්ටිය එතනත් හිටියා පැය භාගයක් විතර. හැමෝම වගේ මොටර් සයිකල් වල යන්න හිටපු නිසා තව ටිකක් ප්‍රමාද වුනාට අවුලක් නෑ වගේ. දැන් ටිකක් ඕෆ් යන සින්දු ටිකකටයි වාරය. චමිල මගේ මූණ දිහා බලාගෙන කසුන්ගෙ සින්දුවක් මතක් කලා. මම පටන් ගත්තා. 'පාවෙලා යන්න මට ඉඩක් දෙන්න... හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න...' කට්ටියම මාරම අප් වීමක. ඒක ඉවර වුණා විතරයි නිශා කියන්න ගත්ත එයයි මායි කියන සින්දුව උගුරෙන් කෑ ගහගෙන. 'ඉරිමා උදයේ.. සීතල මුතු පිණි මල්..." මේකෙ අන්තිමේ චාපගේ කෑගැහිල්ලෙදි තමයි කට්ටියම උඩගියේ. නිෂායි මායි ආයෙත් හිනාවුණා.. :D :D

සෙටා වීම ඉවර වුණා. ආයෙත් සඳුද මී තරගය දුවන්න හමුවන සිතිවිල්ලෙන් කට්ටිය සමුගත්තා.

මිනිස්සු හරිම හොඳයි. මේ ජීවන රටාව නිසා මිනිස්සු (මාත් ඇතුලත්ව) විකෘති වෙලා නොඉන්න කොයි තරම් හොඳට අපට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවද. මං කියන්නෙ බීල නෙවෙයි. නොබී. ඒත් බොන වෙලාවට ළඟ තියෙන අවබෝධයෙන්.


Saturday, 9 August 2008

අහේනිය

බත් ගැන කතාවත් එක්ක මට අද මුහුණ දෙන්න වුණ තවත් කතාවක් කියන්න හිතුවා. අද දවල් ආහාරය ගන්න ගිය වෙලාවෙ මගේ නැන්ද කෙනෙක් එක්ක කතාවක් දාන්න අවකාශ ලැබුණා. කතා කලේ ජීවත් වෙන්න අද තියෙන අමාරුව ගැනයි.

මට නම් ඔය ආහාර වල මිල ගණන් ගැන කිසිම අදහසක් නෑ. කෑම බීම ගෙවල් වලට අරන් යෑමේ උවමනාවක් තවම නෑනේ. ඒත් අපේ වැඩිහිටි පරපුර නම් ඒව ගැන විමසිලිමත්නේ. පරිභෝජන ද්‍රව්‍ය වල මිල ගණන් වල විචලනය වීම් එයාල දන්නව. මම දන්නෙ එහෙම ආර්ථික විපර්යාසයක් වෙනව කියල විතරයි.

නැන්ද හරිම දුකින් කතා කරනව එයා ගැන. හැමදේම මිල වැඩිවෙලා ලැබෙන සොච්චම ඒ තරමටම තියෙද්දි. ටික කාලෙකට කලින් රුපියල් 30ට ගත්තු ලුණු පැකට් එක දැන් රුපියල් 45ක් ලු. රට වටේම මුහුද තිබුණට බලන්න ලුණු වලට ගිය කලක්! වෙනද ලුණු පැකට් 3ක් රුපියල් 10ක ඉතිරි මුදල් එක්ක රුපියල් සීයට ලැබෙද්දි දැන් ඒ මුදලම ඉතිරි ලැබෙනවලු ලුණු පැකට් දෙකක් එක්ක. ලයිට් බිල වතුර බිල සියයට එකසිය පණහකට වඩා වැඩි වෙලා.

වෙනද රුපියල් 5000ක් වියදම් කරල ගෙදරට ගන්න බඩු ටිකම ගන්න දැන් 12000ක් යනවලු. මේව හරියටම හරි කියල මම හිතනව. මොකද ඒයාල නුගේගොඩ පාරම්පරික පදිංචිකාරයෝ. කොහොම හරි කඩේ මුදලාලි නැන්දට කියනවලු "නෝන වෙනද ගන්න බඩු ටිකම තමයි අදත් ගන්නේ. පොඩ්ඩක් වත් එහා මෙහා වෙලා නෑ" කියලා. ඇත්තනේ. එකම බඩු ටික වුණාට ඒවයේ මිල දෙගුණයකින් වැඩි වෙලා.

මේ අහේනිය තියෙන්නෙ දුප්පතුන්ට විතරයි. පෝසතුන්ට මේ ආර්ථික වෙනස දැනෙන්නේ නෑ. හරිම වැඩක් තමයි. කොච්චර නෑ කිව්වත් ඇඳුම් සාප්පු වල මාර සෙනග. ඒවයෙ වාහන නැවතුම් හවසට පිරෙනවා හැමදාම. අළුතෙන් දාපු නුගේගොඩ ඩොනල්ඩ් අප්පුහාමිගෙ කඩේ හුස්මක් ගන්න බැරි තරම් සෙනග දකින හැම වෙලේම.

ඇත්තම ප්‍රශ්නය ආදයම් බෙදීයාමේ විෂමතාවය කියල තමයි කියන්න වෙන්නේ. ඒත් ඒ ගැන මෙතන කියන්න ගියොත් කෙලවරක් නැති පැති ගොඩක සරන්න වෙනවා...

දුප්පතුන් අද ගොඩක් කැපකිරීම් කරලයි තියෙන්නේ මේ යුද්ධය වෙනුවෙන්. ඒක ගැන මතවාදත් සෑහෙන්න තියෙනවනේ. මෑත කාලෙකදි මිනිස්සු බහුතරයක් එක අරමුණක් වෙනුවෙන් කැප වුණේ මේ ‍යුද්ධය වෙනුවෙන් තමයි. "අපි ටිකක් ඉවසමු යුද්ධෙ ඉවර වෙනකල්" කියල තමයි බොහොමයක් දෙනා කිව්වෙ. එයාල වෙනුවෙන් හැමදාම යුධ පුවත් ලැබෙනව. ඒවයින් දුප්පතුන් සැනසෙනව ඇති. මේ අහේනිය දරාගෙන.

බලමු යද්ධෙ ඉවර වුණාම (?) මේ ගැටළු විස‍ඳෙයිද කියලා.. ඊට කලින් යුද්ධෙ ඉවර වෙනකල් ඉමුකෝ.

බත්....

මේක ලියන්න හිතුණෙ ඇයිද කියල අහන්න එපා. කිසි තේරුමක් නැති වෙන්න පුළුවන්. ඒත් මට හිතුණ දේ නේ.

මට මේ බත් බත් විධියටම කාල එපා වෙලා. අද දවල් කෑමට ගෙදර ගියාම කන්න බත් ව්‍යංජන කීපයක් එක්කම තිබුණත් මගේ හිත ගියෙ සිලි මල්ලක ඔතල තිබුණ පාන් කාලකට! ඒ එක්කම පොල් සම්බල් දීසියක් වහල තිබුණ. කවර කතාද? දවල් කෑම එපමණයි. ඒක හිතේ තියාගෙන කල්පනා කරද්දි තමයි කාලාන්තරයක් මගේ හිතේ හොල්මන් කරපු මේ අදහස ලියන්න හිතුණේ.

අද තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අපේ ආහාර පුරුදු ක්‍රමයෙන් වෙනස් වේගෙන යනව. පාන් කියන ආහාරය ප්‍රධාන ආහාරය වෙලා තිබුණ කාලයක්ම. සාපේක්ෂව තිරිඟු පිටි කෑම වල මිල ගණන් පහුගිය වසර කීපය තුල දරුණුවටම ඉහල ගිය නිසා නැවත මිනිස්සු සහල් ආහාර වලට පුරුදු වෙමින් ඉන්නව. ඒත් මම අහල තියෙන විධිය අනුව අපට සහල් හරහා විවිධ කෑම වර්ග පිලියෙල කරගන්න තියෙන හැකියාව අල්පයි. අවුරුදු සීයකට විතර කලින් සිට එපිටදී නම් සහල් ප්‍රධාන ආහාරය වුණා විතරක් නෙවෙයි, ඒ හරහා විවිධ ආහාර වර්ග පිළියෙල වුණ හැටියකුත් තියෙනව. ඒත් දැන් ඉඳි ආප්ප, ආප්ප වගේ ඒව හැර ෂෝ කේස් වල දාල උදේට කඩවල තියෙන නොයෙක් කෙටි කෑම වර්ග වගේ ලේසියෙන් සහල් වලින් ආහාර පිලියෙල වෙන්නෙ නැති තරම්. අවුරුදු කාලෙට නම් තියෙනව වුණාට ඒ කැවිලි නේ. ඒ මාසෙට පස්සෙ ආයෙත් බත් බත් ම තමයි.

‍සහල් වලින් බැරිද වෙනස් වෙනස් කෙටි කෑම හදන්න. රෝල්ස් පැටිස් නොවුණට ඒ වගේ ලේසියෙන් පරිභෝජනය කරන්න පුළුවන් කෙටි කෑම වර්ග?


ඒක කරන්න පුළුවන් නම් සෑහෙන්න ප්‍රචාරයක් දීල හරියට රණ විරුවන් ගැන මොරාල් එක හදනව වගේ දෙයක් කරන්න පුළුවන් සහල් ආශ්‍රිත කෑම වලටත්.

එහෙම කිව්වම ඔයාල කියයි "ඇයි ඕයි බත් තියෙන්නෙ! කනවකෝ" කියල. මං මුලින්ම කිව්වෙ මට බත් එපා වෙලා කියල. හික්! වෙනස් ආකාරයකට බත් කන්නයි මට දැන් ඕන. ඒක කරන්න පුළුවන් සහ ව්‍යාපාරික මට්ටමින් පවා සෑහෙන්න දියුණු කරන්න පුළුවන් මගේ සිතිවිල්ලක් තමයි මම කිව්වෙ.

සහල් භාවිතා කර නිපදවූ කෙටි කෑම වලට හොඳ ඉල්ලුමක් හදන්න බැරි වෙන එකක් නෑ මගෙ හිතේ..

Friday, 8 August 2008

පිස්සු කෝච්චිය

මලී වමනෙ දාන්න පටන් අරන්...

මට එළකිරි හරහා හමුවුණ හොඳම යාළුවො කීපදෙනා අතර එක්කෙනෙක්. මගේ තව ඊ මිතුරියක්. මොනවද මන්දා පුනරුත්පත්තියක් ගැන මල විකාරයක් ලියල තියෙනව. කට්ටිය ගොහින් බලන්නකෝ...

ඇබ්නෝර්මල් කෙල්ලකගේ නෝර්මල් සිතුවිලි

Wednesday, 6 August 2008

තනි ආතල් එකක්!

හික් හික්!

මට අද තනියම මාර ආතල් එකක් දැණුනා. මගේ යාළුවා රන්දිකගේ වෙබ් සයිට් එක අද අප් කලා...

The Wedding Home

මම දැනං හිටපු බින්දුවක් තරම් වෙබ් ඩිවෙලොපින් දැණුමේ උපරිම ප්රතිඵයයක්. කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නෑ රන්දික නිසා නෙවෙයි නම්. මම මාර දැණුමක් ලැබුව මේ හරහා. දැන් මේක බ්‍රව්සරය හරහා බලද්දි මාර ගතියක් ආව ඇඟට! පින්තූර හරහා විතරක් කරල තියෙන නිසා ටිකක් slow වගේ. ඒත් මුකුත් නැතිවට වඩා හොඳයිනේ. මමයි රන්දිකයි දෙන්නම හිතුවට වඩා හොඳට මේක තියෙනව කියල හිතෙනව. තව දුරටත් සංවර්ධනය කරන්න පුළුවන් වෙයි...



Monday, 4 August 2008

Hi5

මම මගේ Hi5 එකවුන්ට් එක අද විනාශ කලා. අහම්බයකින් ආපු මේල් එකක් හරහා ඒකට සම්බන්ධ වුණාට අවුරුද්දකට වැඩි කාලයක් ඒ තුල කරපු දෙයක් නැති කරම්. කට්ටිය හිටු කියලා යාළුවො එකතු කරනවා මිස කරන මගුලක් නම් නෑ. සෑහෙන කාලෙක ඉඳන් ඒක ඉවර කරන්න ඕනකම තිබුණා.
අද යහූ ගියාම තවත් යාළුවෙක් මිතුරු වෙන්න අහලා. මම එයාව එකතු කලා. ඒත් ක්ෂණයෙන් හිතුණා මේ මොන මගුලක්ද කියලා. ඉතිං වහාම කැන්සල් කලා. හොඳ වෙලාවට ඒක ඉක්මනට කරගන්න පුළුවන් විධියටයි හදල තිබුණෙ වැඩිය වැල් වටාරම් නැතිව.

Delon සහ Mia

ඩෙලොන් කියන ශ්‍රී ලාංකික රැප් ගායකයගෙ සින්දුවක් මේ දවස් වල සයිබර් කට්ටිය ප්‍රමෝට් කරනව බැඳගෙන. මටත් යෝජනාවක් ආවා ඒක ඔබනළයේ දාන්න කියලා. මට හිතාගන්න බෑ. මොකද ඒක එක අතකට මාකටින් වැඩක් වගේ. ඒත් ඉතිං අපි කසුන්ව, නදීකව පැල් බැඳන් ප්‍රමෝට් කරන එකේ මේක මොකක්ද?


mia exposed naked - Delon


මේක හොඳ හිප් හොප් සින්දුවක්. ගොඩක් හොඳ කමෙන්ට්ස් කීපයක්ම මට ලැබුණ මේක පෙන්නපු සංගීත රසිකයින්ගෙන්. කොහොමත් ඇමරිකාවෙ ඉඳන් මෙහෙම නොකලොත් ‍ඩෙලොන්ට අල්ලලා ගහන්න ඕන!

Sunday, 3 August 2008

මියැසි තටාකය

පහුගිය දෙවෙනිදා අවසන් මියැසි තටාකයට යන්න අවස්ථාව ලැබුණා ඉතාම හදිසියෙන්. නොහිතපු විධියට අපි කට්ටියකටම. පුදම පූර්ණ වීමක්! මගේ ඊ මිත්රයා සම්පත් කියන මනෝ කන්ද මගේ ඉදිරියේ මැවුණා ඉක්මනට නගින්න ලෝබකමකුත් එක්ක..

හැමෝම අනිවාර්යයෙන්ම ලොකු වින්දනයක් ලැබුව කාලෙකට පස්සේ. සිරස කරන බොහෝ දේවල් යම් විධියකින් වෙනස් විය යුතු බව මම හිතුවත් මේ ගැන නම් හොඳ කතා කරන්න වෙනව. මෙහෙම දෙයක් පටන් ගත්තෙත් සිරසමනේ. අනිත් අයට බැරිව ඇති පාඩු විඳගෙන මේව කරන්න.

මේක ගැන කතාකරද්දි අපට විඳින්න වුණ අමිහිරි අත්දැකීම් කියන්න ඕන. වැඩ ඉවර වෙලා අපි මහරගමට යද්දි වෙලාව 8ට විතර ඇති. තරුණ සේවා සභාවේ ප්‍රධාන ගේට්ටුව ගාව එසකසිය පණහක් විතර පොදි කනවා. එයාලට ටිකට් නෑ. අපි ටිකට් අරන් තිබුණ නිසා සෙනග පීරගෙන යන්න පුළුවන් වුණා ඇතුලට. අපි ඇතුලට යද්දි එතන පොදි කන කොල්ලො කීපදෙනෙක් කිව්වා ඇතුලට ගිහින් මේ බව කියලා එයාලව ඇතුලට දාන්න කියලා. හික් හික්.. එතන සංවිධායකයො වෙනුවට හිටියෙ පොලිසිය. යන්තම් අපේ වයස වගේ පොඩි පොලිස් කොල්ලෙක්ට මම කිව්වා "මෙයාල ගැන සලකන්න අයියේ කියලා" එයා කියනවා "අපි දන්නව බං සීන් එක. අපි මොනව කරන්නද?" කියලා.

ප්‍රධාන ශාලාවේ ඉහල මාලයෙන් තමයි රුපියල් 200 ටිකට් වල ඇතුල්වීම තිබුණේ. ඒත් එතන හිටපු ආරක්ෂකයො කිව්වා "පහලට යන්න. මෙතන වහලා" කියල. පහලට යනකොට එතනත් 4-5 දෙනෙක් පොදි කනවා. ටිකට් තිබිලත් ඇතුලට ගන්නෙ නෑ. අපිත් එතනට ගියාම එතන හිටපු තග් ඇඟක් තිබුණ අයිය කෙනෙක් දැම්ම සාර්ථක පොර ටෝකක්.

"ෂෝ එක පටන්ගන්නෙ හතට. ඔයාල පරක්කු වුණා නම් කරන්න දෙයක් නෑ. ඇතුලට ගන්න බෑ." කියලා.

මම ඇහුවා මේක නාට්‍යයක්ද කියලා. අරහෙ අම්බානක මිනිස්සු කයිය ගහන සද්දෙ. සංගීතය පිරිල තියෙද්දි පරක්කු වෙලා ඇතුල් වුණා කියල කාට බාධා වෙන්නද?

තවත් කට්ටිය වට වෙලයි හිටියෙ. එයාල කියනව උඩට ගිහින් කතා කරන්න කියල. අපි කිව්ව අපට පණිවිඩකාරයො වෙන්න බෑ කියල. අන්තිමේ තවත් ගෙම්බර් ටිකක් බලල අපට උඩ දොරෙන් ඇතුල් වෙලා හිටගෙන බලන්න පුළුවන් වුණා.