Showing posts with label office. Show all posts
Showing posts with label office. Show all posts

Saturday, 20 September 2014

සොරොව්වෙන් එළියට කෝච්චියකින්

ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ සොරොව්ව පොතේ මුල් පිටු කීපය කියවද්දිම ඒක එක දිගට කියවගෙන යන්න පුළුවන් පොතක් බව මට තේරුණා. සුසන්ත කියන පාසල් ගුරුවරයගෙ සංකීර්ණ මනෝභාවයන් පිළිබඳ කතාවක් වුණත් ගුණසිරි මහතාගේ සරළ ලේඛණ විලාසය හින්දා ඔළුවට බරක් නැතිව කියවන ගමන් ආයෙ ආයෙමත් සුසන්තගේ ජීවිතේ මට දක්වන සමානකම් ගැන හිතන්න මට පුළුවන් වුණා. ඒක ඇත්තටම එක විධියකට මාවම නැවත කියවීමක් වගේ. සුසන්ත කියන්නෙ මම නෙවෙයි. නමුත් සුසන්තට සමාජය ගැන තියෙන ඇතැම් කියවීම්වලට සෑහෙන්න සමාන කියවීම් මටත් තියෙන බව මට තේරුණා. මම ටික වෙලාවක් සුසන්තවයි මාවයි ගලපන්න උත්සාහ ගත්ත. තම තමංගෙම ලෝක හදාගෙන බාහිර ලෝකයත් එක්ක සීමිත සම්බන්ධකම් විතරක් තියාගත්තු දෙන්නෙක්... ඒත් ටිකකින් මට වැටහුනේ සුසන්තගේ චරිතය වෙන ඕනම කෙනෙකුගේ චරිතය වෙන්න පුළුවන් කියල. පිටත සමාජෙ ගැන තියෙන අදහස් සුසන්ත හෝ මම දරනව වගේම වෙන ඕනම කෙනෙක් තමංගෙ ජීවිත කාලෙ කොයි මොහොතක හෝ දරල ඇති කියල මට හිතුණ.

රස්සාව කරන තැන වෙනස්වෙල සති කීපයක්ම ගතවෙලා තිබුණට තවමත් මට ඒ වෙනසට හුරුවෙන්න අමාරුයි. රස්සාවල් කරපු අවුරුදු දහයකට වැඩි කාලෙ පුරාම ගෙදර ඉඳන් රැකියා ස්ථානයට යන්න පැයකට වඩා කාලයක් ගත කරන්න වුණේ අළුත් සේවා ස්ථානයට ස්ථාන මාරුව ලැබීමත් එක්ක. කලින් වැඩ කරපු තැන් කීපයටම ගෙදර ඉඳන් විනාඩි දහයක් පහලොවක් විතර ගතකරල පයින් යන්න පුළුවන්. ඒ නිසා පාන්දර හයට නැගිටල හතට වාද්දුවෙන් කෝච්චියෙ නැගල අටට කොල්ලුපිටියෙන් බැහැල අටයි කාල වෙන්න කලින් ඇඟිලි සලකුණු මැෂින් එකේ ඇඟිල්ල තියාගන්න එක තවමත් අමාරු වැඩක්. එහෙම කරගත්තු දවස්වලදි හවස හතරට ඕෆ් වෙලා කොච්චියකින් ගෙදර යද්දි හවස හය වෙනවා. ගෙදර ගියාම තියෙන තෙහෙට්ටුව සිගරට්ටුවකිනුයි අම්මගෙ කිරි තේ එකෙනුයි නැති කරගන්න ගන්න උත්සාහය තවම ඒ හැටි සාර්ථක නෑ.

‘කෝච්චියෙ ඔයාට තවම යාළුවො ටිකක් නැද්ද පුතේ?‘

මම තේ එක තොලගාන අතරෙ අම්ම ඇවිත් ඉදගන්නව.

‘නෑ...‘

මම කියනව.

‘තවම අළුත්නේ. ටික දවසක් යද්දි කට්ටියක් හම්බවෙයි‘

‘හපෝ නැති එක හොඳයි. නැත්තං කච කචේ කච කචේ ඉවරයක් නැහැ. ඊට වඩා හොඳයි කල්පනාවක් දාගෙන යන එක‘

‘එහෙම තමයි පුතේ... ඒ මිනිස්සු දවසකට පැය දෙක තුනක් එකටම ඉන්න මිනිස්සුනේ...කියවන්න දේවල් ඇති ඕන තරං‘

‘ඒ වුණාට සමහර වෙලාවට වදයක්නේ. කියවන්නෙත් මෙලෝ වැඩක් නැති වල්පල්.‘

අම්මා නිහඬ වෙනවා. ඈ මුලදිම තර්ක කරන එක ඉවත දානවා. හරියට තර්කයේ නිශ්ඵලත්වය ඈ අත්දැකීමෙන් වටහාගෙන තියෙනව වගේ.

සංවාදය වෙනුවෙන් ඇගේ තර්කය පිළි නොගත්තත් අම්මා නිවැරදි බව මම කතාව පටංගද්දිම දන්නවා. උදේ හවස කෝච්චියේ යන මිනිස්සු එකම පන්තියක මිනිස්සු ටිකක්. බාගෙට බාගයක් රජයේ සේවකයො සහ පෞද්ගලික සේවකයින්. කෝච්චියෙ ගමන්කරන අයගෙ කියුම් කෙරුම් ගැන ඕන තරම් කියවල තිබුණත් ඒක සැබෑ අත්දැකීමක් වෙන එක දිරවගන්න ටිකක් අමාරු වුණා මට. මුලදි දිගින් දිගටම දුර ගමන් දුම්රියවල තෙරපෙමින් තැම්බෙමින් ගිය මට කාර්යාල දුම්රියවලට මගේ කාල සටහන හුරු කරගන්න ටික දවසක් ගියා. ඒත් ඒ කෝච්චිවල යන මිනිස්සුත් එක්ක මුලදි ඒක ඒ තරම් ලේසි වුණේ නැහැ. එදිනෙදා සාමාන්‍ය වල්පල් එක්ක ටීවී එකේ මෙගා මලවිකාරත් ආයෙ ආයෙමත් රිපීට් වුණා. එක එකාව, විශේෂයෙන් ගෑණු අයව බයිට් වුණා. වතාවක් පානදුරෙන් නැගපු දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑණු කෙනෙක්ට පිරිමියෙක් නැගිටල සීට් එක දුන්නෙ ‘මේකි සීට් එක ගන්න ඕන නිසාම කොට්ටයක් බැඳන් එනවද කොහෙද?‘ කියලයි. කොල්ලුපිටිය දක්වාම ඔවුන් අතරෙ සිද්ධ වුන සුහද කතාවත් එක්ක මට තේරුණෙ ඔවුන් බොහොම සමීප මිතුරු කණ්ඩායමක් බවයි.

කෝච්චියෙ ඉන්න තනි තනි කණ්ඩායම් අතරෙ තියෙන සුහදකම ඒ අය අතරෙ වෙනම පුංචි ලෝක නිර්මාණය කරල තිබුණ. ඒත් තනිකම හැමදේටම වඩා වින්දනීය වුණ මට ඒක කරච්චලයක් වුණා. මම කල්පනා කළේ බ්ලොග් එකට ඒ ගැන කවියකුත් ලියන්න.

කාර්යාල කෝච්චියේ
එකම පන්තියක යන අපෙන්
කොටසක් සීට් වල ඉඳගෙන
කාපට් පාරවල් ගැන
කුඩු කන්ටේනර් ගැන
උස්සපු ළමයි ගැන
ස්ත්‍රී දූෂණ ගැන
සුදු නංගිලෙග ටෙලි ගැන
බුජුම්පියෝ ගැන
තළු මරන අතරෙ
සීට්වල ඉඳගන්න වරම් නැති
අපෙන් තවත් කොටසක්
සීට් අතරෙ හිටගෙන
බකං නිලාගෙන
කෝච්චියෙන් බහිනකොට
කැනිබලෙක්ට උවමනානම්
ගම්මිරිස් ඉහාගෙන
කන්න හැකි තරමට තැම්බීගෙන

සුසන්ත ටිකෙන් ටික සාමාන්‍ය මනුස්සයෙක් වෙනවා. ඒ කියන්නෙ එක විධියකට කපටියෙක්. සාමාන්‍යයෙන් නම් එක මිනිහෙක්වත් තමන් කපටියෙක් බව විශ්වාස කරන්නෙ නැහැ. නමුත් ජීවත්වීමට අපි කරන අරගලයම කපටි සහගතයි. සොරොව්ව පොතේ මහ ලොකු පිටු ගණනක් ඒ ගැන වෙන් නොවුණත් ජීවිතේට අපට තියෙන එකම විකල්පය විධියට ඉදිරිපත් වෙන්නෙ ඒක.

මගේ කල්පනා ලෝකය බිඳුණෙ නහය කඩාගෙන ගිය පල් ගඳකින්. කොහොමත් මුහුදුබඩ මාර්ගයේ ඔහොම පල් ගඳ එන තැන් කීපයක්ම කෝචිචිය පහු කරවනවා. අදාල නගරයේ සේරම කසල වතුර මූදට වැටෙන තැන් තමයි ඒ. කොයි තරම් ගැඹුරු කල්පනාවකින් වුණත් කෙනෙක්ව මුදවන්න ඒක සමත්.

කෝච්චියෙ මිතුරන් හමුවුණාද කියන එක ගැන අම්මා ආයෙ වතාවක් ඇහුවා දවසක්. ඒත් මට දෙන්න තිබුණෙ එකම උත්තරේ. මම දන්න කවුරුවත් කෝච්චියෙ නෑ. ඒ වෙද්දි හැමදාම හමු නොවුණට එදිනෙදා කෝච්චියෙ යන, එකම තැන්වලින් නගින බහින කීප දෙනෙක් මට නිච්චි වෙලා තිබුණත් ඒ අය එක්ක කතා කරන්න මට උවමනා වෙලා තිබුණෙ නෑ.

‘මිනිස්සුන්ව අඳුණගන්න එක වටිනවනෙ පුතේ‘

අම්ම කියන්නෙ එහෙම.

‘මිනිස්සු තමංගෙ වැඩේ හරියට කරනවනං පුද්ගලිකව දැන ගත්තෙ නැතිවට කමක් නෑ අම්මා. තමන්ගෙ වැඩේ හරියට නොකරන නිසා තමයි පෞද්ගලික දැන හැඳුනුම්කම් ඕන වෙන්නෙ‘

එතකොට මම කියන්නෙ එහෙම.

‘ඒ වුණාට ඔයා කට්ටිය එක්ක කතා කරල අඳුනගනියි පස්සෙ‘

අම්ම හදන්නෙ එහෙම කියල තමන් සැනසෙන්නද එහෙම නැත්තං ආදරණීය විධානයක් දෙන්නද කියන කතාව දන්නෙ අම්ම විතරයි.

ඒත් මට කිසිම උවමනාවක් නෑ මිනිහෙක් එක්ක බලෙන් කතා කරන්න. අවශ්‍යතාවයකට කතාකරන එක හෝ මිනිහෙක්ට උදව් අවශ්‍ය වෙලේක දැන හැඳුණුම් නොතකා උදව් කරන එක වෙනම කතාවක්. කොහොමත් රාජකාරියෙදි හෝ පෞද්ගලික ජීවිතේදිවත් දැන හැඳුනුම්කම්වලට වඩා අවශ්‍යතාවයට මුල් තැන දෙන එකයි මගේ පුරුද්ද. ඒ වගේම උදව්වක් උවමනා වෙලේක ඒ උදව්ව ඇත්තටම ඒ මිනිහට උවමනාද කියන කාරණාව ගැන මගේ විනිශ්චය මත ඒ මිනිහට උදව් කරන එක හෝ උදව් නොකරන එකට වෙන කිසිම සාධකයක් අදාල නෑ. ඒ නිසා මිනිහෙක් මාත් එක්ක එකම වෙලාවට වැඩට යනවා කියන කාරණය මත විශේෂයෙන් ඒ මිනිහව අඳුණගන්න මට උවමනා වුණේම නෑ.

නමුත් අම්මා ඒ වෙලාවෙදිත් හරි කියල මම දැනගෙන හිටිය. මේ වෙනකොට ජීවිතේ කියන්නෙ එහෙම එකක්. දැන හැඳීනීම් මත ඕනම දෙයක් ‘කරගන්න‘ පුළුවන්.

ගුණසිරි මහත්මයගෙ කලින් පොත්වලින් දෙකයි මම කියවල තියෙන්නෙ. හැබැයි මේ පොතේ රටාව කලින් පොත් ලියවිල තිබුණු සාර්ථක සහ කතාව පුරාම වගේ සංවිධානය වුණ විඥානධාරා ආකෘතියට ඒ තරමටම ගැලපෙන්නෙ නෑ කියල මට හිතුණ. චරිතයක් විධියට ගොඩනැගෙන්නෙ සුසන්ත විතරයි. ඒ අතින්නම් ඔහු බොහොම ගැඹුරකට ගිහිං තියෙනව. ඒත් සමහර වෙලාවලදි ටිකක් කෘතිම බවක් දැණෙන්න ගන්නව. ඒ එක්කම ඔහුගේ කතා ශෛලිය ගැන තියෙන පූර්ව දැනීම හින්දම කතාවෙ අවසානය ගැන මට දෙවෙනි පරිච්ඡේදය වෙනකොට ඉඟි ලැබුණා. ඔහුගේ අනිත් කතාවලත් චරිතවල හැසිරීම මම දැනගෙන හිටපු නිසා ඒ ඉඟි නිකංම ඉඟි නොවෙන බවට තිබුණ මගේ සැකය අවසානෙ නිරවුල් වුණා. කොහොම වුණත් ගුණසිරි මහත්තයගෙ මම කියවපු අනිත් පොත් වගේ සොරොව්ව පොත ප්‍රමාණවත් කාලයක් සැලසුම් කරල නෑ වගේ ගතියක් මට තේරුණේ. සුසන්තගේ චරිතය ගැන ඇතිවෙන බැඳීමට අමතරව පොත කියවන්න වාසියක් වෙන්නෙ ගුණසිරි මහතාගේ පහසු වාග් ශෛලිය විතරයි.

කාර්යාල කෝච්චියෙ යන මිනිස්සු ගැන මගේ ආකල්ප වෙනස් වෙමින් තියෙනවා. එහෙම වෙනස් වෙන්න කලින්ම අර වගේ කවියක් බ්ලොග් එකේ නොලියන්න මම තීරණය කළේ හැමෝටම අවස්ථාවක් අවශ්‍යයි කියන අදහස මට තියෙන නිසා. පුද්ගලික හෝ සංකල්පීය වෙනස්කම් මත මිනිස්සුන්ව කපල දාන එක මම නතර කරල නොසෑහෙන්න කාලයක් ගිහින්. හොරු, තක්කඩි වගේම ආගමික, ජෝතිෂ්‍යමය හැම මිනිහෙක් සම්බන්ධයෙන්ම අවසාන තීරණය මරණය විතරක්ය කියන එක තේරුම් අරගෙනත් සෑහෙන්න කාලෙකට පස්සෙයි එහෙම වුණේ. මිනිස්සුන්ව අයින් කරන එක ලස්සන චිත්‍රයක් හෝදල නිකංම නිකං කැන්වස්එක මතුකරගන්නව වගේ වැඩක්. ගහකොල කඳු වැටි කපල නිම්නවලට පුරවල ලෝකය පැතලි කරනව වගේ වැඩක්.

මේ වෙනසට බලපාපු තවත් එක සිදුවීමක් වුණේ දවසක් උදේ කෝචිචියෙ මිතුරු කණ්ඩායමක් සින්දු කියන්න ගත්තු එක. හැරෙන්නවත් බැරිවෙන්න තෙරපිල හිටපු මට ඒ කවුද කියලවත් දැනගන්න විධියක් තිබුණෙ නෑ. ඒක වුණේ කෝච්චි පෙට්ටියෙ අනිත් කෙලවරේ. මුලින්ම ඇහුනෙ ටී.එම්. ජයරත්නගෙ සින්දු ටිකක්. ලේසියෙන්ම පස් වෙනි වටය දක්වා යන්න පුළුවන් හඬවල් ටිකක් එතන තිබුණා. රත්මලාන පහුවෙද්දි ටී.එම්.ගෙන් ජෝතිට මාරු වුණේ තවත් සුන්දරම සින්දු පෝලිමක් එක්ක. මේ මිනිස්සු උදේ පහටවත් නැගිටිනව ඇති. හවසට ගෙදර යද්දි හය හතවත් වෙනව ඇති. අවදියෙන් ගෙදර ගත කරන පැය කීපයට අමතරව වින්දනයකට ඉඩක් තියෙන්නෙ කෝච්චියෙ මිතුරු හමුවෙ වෙන්නත් ඇති.

මම මේ ගැන හාමිනේට කිව්වම උන්දැ ඇහුවෙ ‘ඇයි ඉතිං ඔයා එතනට ගියෙ නැත්තෙ?‘ කියලයි. එහෙම අහනකල් මට ඒක කල්පනා වුණේ නෑ. යන්න විධියක් නොතිබුණත් උවමනාවක් තිබුණ නම් සෙනග මැදින් ගිහින් එතනට එකතුවෙන්න පුළුවන්කම තිබුණ නේද කියල මට හිතුණා. ඒත් උවමනාව විතරක් මදි. නොදන්න මිනිස්සු ටිකක් අතරට එකපාර එකතු වෙන්න ආත්ම විශ්වාසයත් ඕන.

සුසන්ත තියන්නෙ අතිශය ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙක්. නමුත් ඔහු ඒ ආත්ම ශක්තිය භාවිතා කරන්නෙ නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයක් ඔහුට නෑ. එදිනෙදා ජීවිතේදි ආත්ම ශක්තිය මත මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයන් දිනාගනිද්දි සුසන්තට දිනාගන්න තරම් අවශ්‍යතා නෑ. සුසන්ත තමන්ගෙ ඉස්කෝලෙදි බංකු තුනක් එකතු කරල හදාගත්තු ඇඳක නිදාගන්න එක ගැන දුක් වෙන්නෙ නෑ. ඒක ඔහු ජීවත් වෙන විධිය. නමුත් පොත දිගහැරෙන්නෙ ඔහු තමන්ගෙ ආත්ම ශක්තිය භාවිතා කරල මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගන්න අවස්ථාවල් එක්ක.

ඒ බව කියවද්දි මට මතක් වෙන්නෙ මගේ ජීවිතේ නුගේගොඩ නගරය වටේ ගැවසුන කාලය. එක පැත්තකින් බැඳුම් ලණු ලිහිල ගැලවිල තිබුණ පන් පැදුරුකුයි පෙරවන්න රෙද්දකුයි විතරක් එක්ක තට්ටු හතරක බිල්ඩිමක උඩම තට්ටුවෙ තුන් පැත්තකින් විවෘත ආලින්දයක මම නිදාගත්තු රාත්‍රීන් ගැන කිසිම දුකක් හෝ කණගාටුවක් මට නැහැ. ඒක ඒ කාලෙදි දැණුන ස්වභාවික ජීවිතයේ රසය විඳීමක් විතරක් වුණා. එහෙම නිදාගත්තු සමහර රාත්‍රීන්වල වහිනකොට ඒක දැණෙන්නෙ කකුල්වලට හිරිකඩ වැටෙද්දි. එතකොට බිත්තිය අයිනටම ගිහින් ගුළි වෙනවා. ඒව ජීවිත කාලෙම මතක තියෙන සුන්දර මතක. ජීවිතේ ඉදිරි කාලය ශක්තිමත් කරන්න පදනම් වුණ අත්දැකීම්.

කෝච්චියෙ ඒකමිතික ශබ්ද රටාව හිටිගමන් වෙනස්වෙන්නෙ පාලමක් උඩින් යද්දි. ආපහු ටිකකින් සුපුරුදු ශබ්දයම. ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ පොත් ලිවීමත් ඒ වගේ ඒකමිතිකයිද කියල මට හිතුණ. කියවපු පොත් තුනේම අඩු වැඩි වශයෙන් තියෙන ආකෘතිය ඔහු ලේඛණයට භාවිතා කරන සූත්‍රයක්ද කියල මට හිතෙනව. ඔහු චරිත කීපයක් සහ කතාවක් සහිත සැකිල්ලක් හදාගන්නව. කතාවේ ආරම්භය, ගලා යෑම සහ අවසානය සැකිලිගත කරනව. කතාව හැමවේලේම උත්තම පුරුෂයෙන් ලියවෙන හින්දා ඒ චරිතය වඩාත් ගැඹුරට සැලසුම් කරනව. අවශේෂ චරිත කීපයක් භාවිතා කරල ඔහුගෙ අවසානෙට ඍජුවම යන්න අපහසු විධියට කතාව විකෘති කරනව. චරිත තෝරගනිද්දි ඒ ඒ චරිත අතර සම්බන්ධයක් තිබීම හෝ නොතිබීම මත කතාවේ සිදුවීම් ගොඩනැගෙනව. ඉතින් අපි කියවන්නෙ විකෘති වුණ සාමාන්‍ය සරළ කතාවක්. කතාව තුල සිදුවීම් එකින් එකට මුහුණ දෙමින් අපි කරන්නෙ අර විකෘතීන් ටික ලිහාගන්න එක. ඒක කියවමින් අවසානය දක්වා යද්දි අදාල සම්බන්ධතා වටහාගැනීමත් එක්ක අපි පොතේ විකෘතීන් විසඳගන්නව. අන්තිමේදි අපිට කතාව ඉවර කරගන්න අවශ්‍ය වෙන විධියටම කතාව අවසාන වෙනවා.

ඒ ගැන ආයෙම හිතද්දි කල්පනා වුණේ කවුරුත් කරන්නෙ ඒ දේම නේද කියලයි.

මම පොත වහල බෑග් එකේ දාගත්තෙ පින්වත්ත ස්ටේෂම පහුවුණ බව දැණුන හින්දයි. සොරොව්ව ආයෙම වතාවක් මම මොනවද කරන්නෙ කියන එක ගැන සීරියස් වෙන්න අවස්ථාවක් දීල තියෙනවා. ඒ එක්කම එහෙම සීරියස් වෙන්න ඕනද කියන ප්‍රශ්ණෙත් ආයෙම එනවා. ජීවිතේට නිරපේක්ෂ තීරණ අවශ්‍යයි. ප්‍රතිපත්ති සහ මූලධර්මත් අවශ්‍යයි. නමුත් ජීවත් වෙනවා කියන්නෙ ඔය දෙක තුනම සහ තව තව ඒව ගොඩක් එක එක විධියට පාවිච්චි කරන්න වෙන අලකලංචියක්. මම බෑග් එකත් කරේ එල්ලගෙන සීට් එකෙන් නැගිට්ටා. සෙනග පොදියක් දොර ගාව පොදි කනවා බැහැගන්න. ඒ එක්කම වාද්දුව නැවතුමේ යකඩ කට බෙරිහන් දෙනවා.

‘පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ගාල්ල බලා ධාවනය වේ. මෙම දුම්රිය ගාල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...‘


ආශ්‍රිත සටහන් -

පොත් 10 අභියෝගය සහ ඔත්තු

මා වඩාත් සසල කළේ මෙහි නිරූපිත මානුෂීය බැඳීම්

සොරොව්ව නැවත හදන්න!

Sunday, 12 May 2013

ස්ටාර්ට් ලයින් එක අඳිමුද?



මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්. නමුත් ගොඩක් අය ඇහෙන්නෑ පේන්නෑ වගේ ඉන්න නිසා මේ ගැන මෙහෙමවත් කතා කරන්නෙ ඉවසන් ඉන්න බැරිම වුණ මනුස්සයෙක් විතරයි. ඉතිං බස්සගේ ඒ කතාව කියෙව්වම ආතක්පාතක් නැතිව මගේ හිතේ එහෙ මෙහෙ යමින් තිබුණ අදහස් කීපයක් එලියට දාන්න ඒක හොඳ ස්ටාට් එකක් කියල හිතුණා.

මේ වෙන දේවල් බැලුවම කියෙව්වම අපි ජීවත්වෙන සමාජය සීඝ්‍රයෙන් කඩාවැටෙමින් යනව කියල තේරෙනවා. ඒකට කියන අනිත් වචනෙ පිරිහෙනවය කියන එක. ඕක එක එක විධියට දකින්න පුළුවන්. දියුණුවෙන් දියුණුවට පත් වෙන ඒවත් සමාජෙ තියෙනව. නමුත් ඒකට සාපේක්ෂව මානුෂික වටිනාකම්වලින් අපි දියුණු වෙන්නෙ අනිත් පැත්තට. පත්තරවල, ටීවීවල සහ කටින් කට ආරංචි වෙන අපරාධ හැමතැනම. කෙනෙක් කියයි ඒ කාලෙත් එහෙම තමයි. දැන් ජනමාධ්‍ය දියුණු වෙලා කියලා. ඒ කතාව වැරදි නෑ. නමුත් හරියටම හරිත් නෑ. පහුගිය අවුරුද්ද දෙක ඇතුලත අපි අහන දකින දේවල් සෑහෙන්න වෙනස් වෙලා කියන එක මග අරින්න බැරි ඇත්තක්. අය යුද්දෙ නැතුව පාළුයි සෙට් එක කියනව වගේ යුද්ධෙ අවසන් වීම නිසා ලංකාවට මගහැරුණු කුරිරු ත්‍රාසය නැවත ලබාගන්න තියෙන උවමනාව නිසා උදාවුණ තවත් තත්ත්වයක්ද ඒක?

වැඩේ කියන්නෙ මේ කාලෙ වෙද්දි වෙන කවරදාටත් වඩා ආගමික ප්‍රබෝධය 'කියන එක' තියෙන්නෙ ‍ගොඩක් ඉදිරියෙන්. මම හිතන්නෙ හැම ආගමකම. නමුත් ඇත්තටම ආගම්වල තියෙන අර්ථයන් මිනිස්සු අතරෙ තියෙනවද කියන ප්‍රශ්ණයට උත්තර නෑ. සාමාන්‍යයෙන් ඕන මිනිහෙක් එක්ක කතා කරද්දි හිතෙන්නෙ 'මූ මාර හොඳ මිනිහෙක්' කියලා. හම්බවෙන හැමෝම වගේ සර්ව සාධාරණයි. අවංකයි. පරාර්ථකාමීයි. නමුත් සමාජයක් විධියට අපි ජීවත්වෙන වටපිටාව එහෙම නැහැ. අවුල කොතනද?

මේ දවස්වල වෙසක් එකට අපේ ඔෆිස් එකෙන් සංවිධානය වෙන සීල ව්‍යාපාරය ඇතුලෙ තියෙන පඩ ෂෝ ටික ගැන වුණ කතාවකදි කෙල්ලෙක් කියපු කතාව වටින්නෙ ඒක කෙල්ලෙක් කියපු නිසාමයි.

'ඉස්සර තමයි සීලෙ තිබුණෙ. ඊට පස්සෙ සීල ව්‍යාපාර තිබුණා. දැන් සීලෙ හැලිල ව්‍යාපාර තමයි තියෙන්නේ.'

පඩ ෂෝ සමාජය කියන එක මේ වෙනකොට සමාජය නම් කරන්න පුළුවන් එක ක්‍රමයක්. පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි එහෙම කියන්නෙ කියල තේරෙයි.

ඔය සියළු දේවල් අස්සෙ අපේ විශ්වාසයන් සේරම විනාශ වෙනවා. අපි පිළිගත්තු සාරාර්ථ අපේ ජීවිත පෝෂණය කරනවා වෙනුවට අපිට කෙලවනවා. සමහරුන්ට මේක තේරෙනවා. අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නෑ. ගොඩක් කපටි තවත් කොටසක් තේරුණත් තේරෙන්නෙ නෑ වගේ ඉන්නවා. එ‍් එක්කම අනිත් මිනිස්සුන්ට කොචෝක් දානවා. හැබැයි ඒ අය තමයි පරිණාමිකව ඉදිරියෙන් ඉන්න මිනිස්සු. එයාල ඕන පැත්තට හැරෙන්න පුළුවන් ලැජ්ජාවක් නැති අය. ලැජ්ජාව නැති වීම අද යුගයේ අවශ්‍යතාවයක්.

අපි විතරක් නෙවෙයි. අපෙන් පස්සෙ එන පරම්පරාව, අපේ දරුවො එන්නෙත් මෙහෙම විකාර වුණ සමාජ‍යකට. ඒ නිසා මේක වෙනස් කරන්න අවශ්‍යයි කියන කතාව තමයි බස්ස කියල තිබුණෙ. කතාව ඇත්ත. මේක ගොඩක් පරණ කතාවක්. හැම තිස්සෙම තියෙන සිස්ටම් එක අවුල් තමයි. වඩා හොඳ සිස්ටම් එකක් වෙනුවෙන් අනාදිමත් කාලෙක ඉඳන්ම හීනයක් තියෙනවා. ඒ හීනය ගොඩක් මිනිස්සුන්ව ජීවත් කරල තියෙනව වගේම ඒ හා සමාන මිනිස්සු ටිකක් මරණයට පත් කරලත් තියෙනවා. ඒ හීනය හොඳ මාකට් එකක් තියෙන වෙළඳ භාණ්ඩයක් දැන්.

ටික කාලෙකට කලින් වුණ සෙට් වීමකදි එක යාළුවෙක් කිව්වෙ ඇමරිකාව වගේ රටක් මාර හොඳ ඇති කියලා. ඒ වගේ රටක හිටියනං මෙහෙම අවුලක් වෙන එකක් නෑ කියලා. ඌ එහෙම කිව්වෙ ඒ වගේ රටක ටැලන්ට් එක මාකට් කරන්න තියෙන ඉඩ වැඩි නිසා. ලංකාවෙදි ටැලන්ට් එක කියන්නෙ මිනිහෙක්ට දියුණු වෙන්න තියෙන අවම සාධකය වෙලානෙ තියෙන්නෙ. ගොට්ට ඇල්ලුවොත් තමයි ගොඩ යන්නේ. කොහොම නමුත් මේ වෙනකොට ලෝකෙටම තියෙන්නෙ සහ පොම්ප කරන්නෙ ඇමරිකානු සිහිනයක්. ඉතිං ඇමරිකාව ගැන ඒ දවස්වල මමත් එහෙම හිතුවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇමරිකාව වගේ දියුණුයි කියල කියන රටවල් තරම් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් පාගන රටවල් තවත් නැහැ. එකම වෙනස ඒ පෑගිල්ල පරම්පරා කීපයක් තිස්සෙ බොහොම සංවිධානාත්මකව වෙන නිසා දැණෙන්නෙ නැතිව ගිහින් තියෙන එක. එහෙම කියන්න මම ඇමරිකාවට ගිහිල්ලවත්, ගියපු කෙනෙක් එක්ක ඒ ගැන කතා කරලවත් නෑ. නමුත් ඇමරිකාවෙන් එලියට එන චිත්‍රපටි අස්සෙ තියෙන අතුරු කතාවල සහ යටින් යන කතාවල ඇමරිකාවෙ හෙළුව ප්‍රදර්ශණය වෙනවා. මම දන්නව චිත්‍රපටි බොරුයි කියල. නමුත් අතුරු කතා බොරු නෙවෙයි.

ඒක කියද්දි මතක් වෙන්නෙ ළඟදි බලපු sirius (2013) වාර්තා චිත්‍රපටිය. ඒක ඇමරිකානු රජයේ රහස් ව්‍යාපෘති ගැන එලිකරන්න කරපු චිත්‍රපටියක්. තේමාව පිටසක්වල ජීවීන්. (මේ ගැන උනන්දු අය අනිවා බලන්න) ඒකෙ එක තැනක කියවෙනව මෙහෙම. ඇමරිකාවෙ තියෙන සල්ලිවලින් 40%ක අයිතිය තියෙන්නෙ 1%ක ජනතාවට. 80%ක ජනතාවට තියෙන්නෙ සල්ලිවලින් 7%ක් විතරයි. ලංකාව වගේමයි නේ...

Sirius චිත්‍රපටියෙ අදාල රූප රාමුව



මට අනුව නම් ඇමරිකාවෙ ගොඩක් ඉන්නෙ ආසාව මියගිය මිනිස්සු. තව දුරටත් උන්ගෙ ජීවිතවල ගන්න දෙයක් නැහැ. උන්ට ජීවත්වෙනව කියල දනවන එකම හැඟීම බය විතරයි. ලෝකෙ වෙන රටකින් ඇවිත් අපට ගහයි කියන බය විතරයි උන්ට හැඟීමක් කියල තියෙන්නේ. එහෙම නොවෙන අය නෑ කියල ඒකෙන් කියවෙන්නෙ නෑ. උන් තමයි මෙහෙ වගේම ලොක්කෝ. අර කති බොති සුඛති ඩයල් ටික. හැබැයි ජීවිතේ කියන්නෙ ඒකමද? ඔයාලත් හඳට ගල් විසි කරනවද?



ඉතිං අපි ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්නෙ ඇමරිකාව ටාගට් කරගෙන නම් ඒකෙ කිසි තේරුමක් නෑ. ඇමරිකාව ලංකාවට වඩා සාටර්. නමුත් වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕන. කොතනින්ද පටන්ගන්නේ.

මට හිතෙන්නෙ අධ්‍යාපනය කියලා. මිනිස්සුන්ව වගේම ළමයින්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මේ ගැන නදීක ජයවර්ධන පහුගිය දවසක misic.lk එකෙන් කරපු google hangout එකේදි කතා කලා. එයා කතා කලේ සංගීතෙට අදාලව විතරක් වුණාට ඒ කියපු කතාව සමස්ථ සමාජයේම ගැටළුවලට උත්තරයක් දෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මිනිස්සුන්ට දැක්මක් අවශ්‍යයි. ඒ දැක්ම ලබා දෙන්න තිබුණ ක්‍රම සේරම විනාශ වෙලා තියෙද්දි කොහොමද ආයෙත් පටංගන්නෙ කියන එකයි ඉතිරි වෙන ප්‍රශ්ණය.

මම හිතන්නෙ සමාජය තුල ලෝකය ගැන මිනිස්සු ගැන තියෙන දැණුම අල්ප වීම ලොකු අවුලක්. මිනිස්සු ඉන්නෙ ළිං මැඩියො වගේ. ළමයි ගැන කතා කරල වැඩක් නෑ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ කියවීම අඩු වීම කියලයි මට හිතෙන්නේ. හැබැයි කියවනව කියල කියවන්නෙ පත්තර විතරක් වීමත් අවුලක්. එකෙන් වෙන්නෙ අවුලෙන් අවුලට පත්වීම. සාහිත්‍යය නැති වීම ලොකුම අවුලක්. ඉස්සර පොත්පත් කියවන මිනිස්සු හිටපු කාලෙක ළමයි විධියට අපි මුහුණ දීපු සමාජය ‍මීට වඩා හොඳයි කියන කතාව ඕන කෙනෙක් කියයි. දැන් කියවීමේ මාධ්‍යයන් පොත්වල ඉඳන් වඩා දියුණු ක්‍රමවලට මාරු වෙලා තියෙනවා. තවමත් මිනිස්සු කියවනවා. කියවන්නෙ මොනවද කියන එකෙයි අවුල තියෙන්නෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් තරම් සමාජය ලිබරල් වෙලා තියෙද්දි ඒ ගැන පැත්තක ඉඳන් බයිල ගහන එකත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අනික මොන සාහිත්‍යය කියෙව්වත් ඇඟට ගන්නෙ නැත්තං ඇති වැඩක් නැහැ. බුද්ධියක් වැඩෙන්නෙ නැහැ. දැනුම සහ බුද්ධිය කියන්නෙ දෙකක්. (knowledge and intelligence) ඕන තරං දැනුම තියෙන උන් හොයාගන්න පුළුවන්. හැබැයි ජීවිතේ සම්බන්ධයෙන් ක්‍රියා කරද්දි තමයි තේරෙන්නෙ උන්ට බුද්ධිය නෑ කියලා. දැන් දැන් එදිනෙදා හම්බවෙන මිනිස්සු අතරෙනං 'සිහි බුද්ධිය' නැති උනුත් සෑහෙන්න ඉන්නවා.

අනිත් කාරණේ දැනුවත් කිරීම. දැනුවත් කරල මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්ද? මේක ටිකක් අවුල් සහගතයි. දැනුවත් කිරීම අවශ්‍යයි කියල මම ම කලින් කිව්වත් මට හිතෙන්නෙ දැනුවත් කිරීම මේ වෙනකොට අසාර්ථක වැඩක් කියල. මොකද සමාජයෙ ඉන්නෙ සියල්ල දත් මිනිස්සු. එහෙම උන් දැනුවත් කරන්න යද්දි උන් අහනව ‘ඇයි අවුල්ද’ කියලා. විෂය ගැන ඉගෙනගෙන එන්න කියල කියනවා සෑහෙන්න විධග්ග විධියට. ඉතිං දැනුවත් කරන්නෙ කාවද?

හැබැයි ඔය ගොඩක් දැනුවත් කිරීම් ෆේස්බුක් එකේදිනම් වෙනවා අස්ප ගණංවලින්. ඒකෙ ඉතිං නොවෙන මගුලක් නෑනෙ. මේ ලියන බ්ලොග් අතරෙත් මේ ගැන ඕන තරං කතා වෙනවා. මෙතනින් එලියට ඒක යන්නෙ කොහොමද කියන එක තමයි අවුල. ඇත්ත ජීවිතේදි කතාකරන්න තියෙන නොහැකියාව ෆේස්බුක් එකෙන් හෝ බ්ලොග් එකෙන් පිටකරනවද කියලත් මට හිතෙනවා. හැබැයි ඔන්ලයින් පෙනී ඉන්න මතවාද වෙනුවෙන් ඇත්ත ජීවිතේදිත් පෙනී ඉන්න කෙනෙක් නිරායාසයෙන්ම වැඩට බැහැල ඉන්න බවත් මෙතනදි කියන්න ඕන.

අපේ පොඩි මාමා (අම්මගෙ ලොකු මලයා) අපේ තාත්තට පස්සෙ අපිව සැලකිය යුතු තරම් වෙනස් කරපු මනුස්සයෙක්. ඒක පොඩි කාලෙ ඉඳන් මේ දක්වාම එහෙම්ම ම තියෙන දෙයක්. තාත්ත නැති නිසා අදටත් ඕනම දේකදි පොඩි මාමගෙන් ටිකක් උපදෙස් අහන එක අපි කරන දෙයක්. එයා කියන්න තියෙන දේ කෙලින් කියන, වැරැද්දට එතනම බනින, සරළ නිර්ව්‍යාජ ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අපේ ඥාති වර්ගයා අතර අපිට සමීපතම පුද්ගලයා එයායි. වැඩේ කියන්නෙ පවුලෙ අනිත් ඥාතීන් අතරෙ එයා ඉන්නෙ පැත්තක. එයාගෙ ඍජු විවේචන අනිත් අයට දිරවන්නෙ නෑ. අනිත් අය කරන මෝඩ ජෝක් වලට පොඩි මාමා බණින නිසා එයාව හැම එකකටම සම්බන්ධ කරගන්නෙ නෑ. දැනුවත් කරන්න යාම තුල ඕන කෙනෙක්ට අත්වෙන ඉරණම ඒ වගේ වෙන්න පුළුවන්. සමාජයෙන් පැත්තකට වෙන්න වෙන එක. තමන්ගෙ ආතල් කැඩෙන දේවල්වලට මිනිස්සු කැමති නෑනෙ.

මිනිස්සු හැමෝම ඉන්නෙ රෝලක. ලොකු පඩියක් ගත්ත කියල ඒකෙ වෙනසක් වෙනව කියල මම හිතන්නෙ නෑ. මොකද පඩියට හරියන්න තියෙන වියදම් ඒ වගේ. හම්බවෙන පඩියට හරියන්න ජීවත් වෙනවට වඩා ‍අපි ජීවත් වෙන්නෙ හම්බවෙන පඩිය යාන්තම් ගැටගහගන්න සිද්ධ වෙන ගානට. ඒක ගැන කතාකරන්න ගියොත් කතාව වෙන වෙන පැති වල යනව. මොනව වුණත් ජීවිතේ නැතිකරගන්න, හෝ කෑම නැතිව මැරෙන්න වෙන ගානට දුප්පත් වුණ කවුරුත් නෑ මට හිතෙන විධියට. අනික සති දෙකෙන් දෙකට ජනතාවට දෙන චුයින්ගමුත් දවස් කීපයක් හපන්න පුළුවන්. ඒ නිසාම මේ යන විධිය තාමත් බහුතරයකට ලොකු බලපෑමක් කරල නෑ.

මෙහෙම අච්චාරුවක් වෙනස් කරන්නෙ කොහොමද? දන්න දේශපාලන විකල්ප ගැන බලාපොරොත්තු අතාරින්න වෙලා තියෙද්දි කොහොමද මේක කරන්නේ. කවුද පටංගන්නෙ? මොනවද කරන්නේ? කරන්නනං වැඩ ඕන තරං ඇති. ඒ අතරෙ ගොඩක් තියෙනව ඇත්තෙ ප්‍රසිද්ධියෙ කියන්න බැරි ඒව. එදා මෙදා තුර අපේ සාම්ප්‍රදායික විකල්පය වුණ ඉඟුරු දීල මිරිස් ගැනීම තව දුරටත් කරනවද? නැත්තං 'විකල්ප' විකල්ප ගැන හිතනවද? ෆේස්බුකියෙම තිබුණ යෝජනාවක් අනුව අළුත් ‍දේශපාලන පක්ෂයක් සංවිධානය කරන එකත් හොඳ වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං සමාජය තුල අපි බලාපොරොත්තු වෙන වෙනස පුළුවන් තරං අපේ තනි ජීවිතවලට ඇතුල් කරගන්න ඕන. අනිත් අයට ගයිඩ් එකක් වෙන්න ඕන.

නමුත් වැඩක් වෙයිද?

සමාජය වෙනස් කරන්න ඕනය කියන එක ඇත්තක්. සමාජය කියන්නෙ මිනිස්සු. මිනිස්සු වෙනස් වෙන්න සූදානම්ද?

Wednesday, 25 July 2012

හිඟන ස්ටාර් අරමුදල

සල්ලි නැති කෙල්ලක් පාරෙ ගියපු ගෑණියෙක්ගෙ මාලයක් කැඩුවා. කෙල්ල පොලිසි ගිහින් කිව්වෙ මාර අනුවේදනීය කතා පුවතක්. ඒ කතා පත්තරවලින් පට්ට ගැහුව. ටීවී නිව්ස් පටි අස්සෙ සිංහල බාසාවෙ තියෙන ඇඬන වදන් වලින් තරුණියගෙ කතාව කොටස් කලා. ඒ මදිවට නිව්ස් කියන ඩයල් එක කතා කලේ කෙල්ලව කසාද බඳින්න වුණත් කැමති ගාණට.

තමන්ගෙ දුප්පත්කම වෙනුවෙන් එහෙම පියවරක් ගත්තු ඒ කෙල්ල දවසින් වීරයෙක් වුණා. එක අතකට සාධනීය වීරයො මැරිල ඉද්දි ඕන කෙනෙක්ට වීරයෙක් වෙන්න කරන්න තියෙන්නෙ එහෙම නීති විරෝධී වීරකමක් විතරයි.

බැරි වෙලාවත් ඕක කොල්ලෙක් කරානං උගේ ඇට නැතිව එන්න වෙන්නෙ.... නෑ නෑ.. ඌ තාම කූඩුවෙ එහෙනං.

ඒක කියනකොට මතක්වෙන්නෙම මේ දවස්වල හිට් වෙන නිව්ස් කෑලි. මම බොහොම සන්තොසෙන් ගෙදර ඉන්නෙ මේ දවස්වල ටීවී එක කැඩිල නිසා. නිකමටවත් ඔය කුණු නිව්ස් අහන්න සිද්ධ වෙන්නෙ නෑ. ඒ වුණාට ඔෆිස් ගිය ගමන් එතන ඉන්න ගෑණු ටික කලින් දා ගියපු කුණු නිව්ස් කියන්නෙ රහ කර කර.

ගෑණු දූෂණය කරපුව, ළමයි පිච්චුන ඒව, අම්මල කිරි බොන වයසෙ ළමයි දාල ගිය ඒව, පොඩි කොල්ලන්ව අපයෝජනය කරපුව රූප රාමුවෙන් රාමුවට විස්තර කරන්නෙ සියුමැලි ළඳවල් කියල බැලූ බැල්මට පේන ගෑණු. අනේ උන්ගෙ සියුමැලිකම. උන්ට හරියට ඒ අපරාධකාරයො දැන් මාර පොරවල් වෙලා වගේ කියල මට හිතෙනව. මොකද ඔය සිදුවීම් උස්සල දාල කියවන විධියට ඒව කරන උන් නිකංම ස්ටාර්ල වෙලා... ළඟදිම එකක් පටන්ගනියි එස්.එල්. පෝන් ස්ටාර් කියල. ඒ වෙනකොටනං ටී.වී. එක හදාගන්න වෙනව.

දැන් කාලෙ පොඩි කෙල්ලක් අපයෝජනය කරාම මාර පොරක් වෙන්න පුළුවන්. එහෙම කරපු උන් අල්ලල හිරේ දැම්මම උන් වෙනුවෙන් බැනර් උස්සන් පාරට බහින උන් ටිකකුත් ඉන්නවනේ.

එව්ව වැඩක් නෑ... ඔන්න අර මාලෙ කඩපු කෙල්ල අන්තර්ජාලෙ අස්සෙත් පොරක් වුණා. එයාගෙ කතාව ලෝකෙ පුරාම පැතිරුණා. ඒ එක්කම කවුදෝ කරපු යෝජනාවකින් කෙල්ල වෙනුවෙන් අරමුදලක් පටන්ගත්තා. ඒක ‍සෑහෙන්න නැගල ගියා. පරම්පරා ගාණකට හරියන්න කෙල්ලගෙ එකවුන්ට් එක පිරුණා.

මේක නිහඬව බලාගෙන හිටපු කීප දෙනෙක් වැඩේ අල්ලගත්තා. මේක මරු වැඩේ. හරියට අර බස් වලට නැගල තාත්ත පොල් ගහෙන් වැටුණ, කසාදෙ කැඩුණ අක්ක ළමයි දුසිමක් එක්ක ගෙදර ඇවිත් ඉන්න, ගෑණිට පිළිකාවක් හැදුණ, ළමයි හතර දෙනෙක් ඉස්කෝලෙ යන්න බැරිව ඉන්න, වගේ කතා කියල ලංකාවෙ දුගී දුප්පත් බස් මගීන්ගෙන්ම ගාණ කපාගන්න දුගී දුප්පත් අයියල කරනව වගේ වැඩක්.

ඔන්ලයින් හිඟමන් යැදීමක්. කොහොමද ඒක?

මේ කාලෙ හැම ඉලව්වක්ම ඔන්ලයින් නිසා හිඟමනට විතරක් එහෙම නොවී තියෙන්න බෑනෙ. අර ඉස්සෙල්ලාම සව්දි ගිහින් ආවම අපේ යාළුවෙක් කිව්ව වගේ 'උන්ගෙ බලු කූඩුවක් හැදුවත් ඒකත් ඒසී කරනව බං' වගේ වැඩක්. විශ්ව ගම්මානයට ලංකාව යද්දි හිඟන්නො ටික දාල යන්න බෑනෙ.

කට්ටිය වැඩේ පටන්ගත්තා. වැඩිය මතු වෙන්නෙ නැතිවෙන්න ගාණට වැඩේ ගියා. බො‍රුවට කරදරයට ලක්වුණ විධියට මිනිස්සුන්ව පෙන්නලා අරමුදල් හැදුවා.

වැඩේ නැගල ගියා.

මේක බලාගෙන හිටියෙ අන්තර්ජාලෙ හිටපු ආණ්ඩුවට සම්බන්ධ කට්ටියක්. අන්තර්ජාලය මාර්ගයෙන් සමාජ සේවය කියල සල්ලි හොයන එක හරි ලේසි වැඩක්. ඔය රට ඉඳන් වැඩ කරන උන් ලොකු ගණං දානවා. කම්පැණි වලින් ඇට්ටි හැලෙන්න ගරන්න පුළුවන්. එස් එම් එස් කැම්පේන් කරලත් බර ගාණක් හොයාගන්න පුළුවන්නේ....

උන්දල රැස්වීමකදි යොජනාවක් ගෙනාවා. අසරණ වුණ මිනිස්සු වෙනුවෙන් පිහිට වෙන අරමුදලක්. ඒකට ඔන්ලයින් දායක වෙන්න පුළුවන්. ලංකාවෙ යම් අසරණකමකට ලක්වෙන ඕන කෙනෙක්ට ඒකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන්. මේක මරු වැඩක්. රාජ්‍ය ආරස්සාවත් තියෙනවනේ...

කට්ටිය ඔය යෝජනාව සකස් කරලා ලොක්කන්ට ඉදිරිපත් කලා.

‍හප්පා.... තවත් අරමුදලක්....!!!

ලොක්කන්ගෙ කටවල්වල කොන් කන්වලට ඇදුණා...

Saturday, 21 July 2012

ගල් ජීවිතයෙන්...



කාර්යාලයෙ ඉතාම හදිස්සි වැඩක යෙදෙන්න පටන්ගන්නකොටම දුරකථනය සාක්කුව ඇතුලෙ වෙව්ලන්න ගත්තා. මේ වෙලාව ලේසියෙන් කෙනෙක්ට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒත් මේ ඇමතුම කොයිම වෙලාවකදිවත් රිජෙක්ට් කරන්න පුළුවන් එකකකුත් නෙවෙයි. ජීවිතේ ඉතිරිවෙලා තියෙන මනුස්ස සම්බන්ධ කීපය අතරින් එකක් එහා කොනේ තියෙන බව මම දන්න නිසයි ඒ.

හලෝ....

මම ඇමතුමට පිළිතුරු දුන්නා...

උඹ අම්බාණක් වැඩද?

ගනේගොඩ අද නම් තවමත් හොඳ සිහියෙන්...

නෑ නෑ ෂේප්...

ඒ මම කවදත් දෙන උත්තරය. ගනේගොඩ වෙනුවෙන් මම දන්න තරමින් මම ලේසියෙන් බිසි වෙලා නෑ. කොහොමත් ඔහු එහෙම කතා කරන්නෙ මාසෙකට දෙකකට සැරයක් විතරයි...

උඹ බිසි වුණත් කරන්න දෙයක් නෑ බං.. මම දැන් ටිකකට කලින් අම්බාණක් ඇඬුව. මේක දරාගන්න අමාරුයි බං.

ඔහු කියාගෙන ගියා.

ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?

මුකුත් වෙලා නෑ. දරාගන්න අමාරුයි බං. මේව මං කාටද කියන්නෙ?

මොකද ඉතිං අඬන්න හේතුව?

හේතුවක් නෑ හර්ෂ මට අම්ම මතක් වුණා. චූටි මතක් වුණා. අමරෙගෙ පරණ සින්දු ටික ඇහෙනකොට හිස්ට්‍රියට ගිහින් ඉතිං ඇඬුණ. මේව කියන්න එකෙක් නෑ බං. මිනිස්සුන්ට කවදද මේව තේරෙන්නෙ.

මිනිස්සුන්ට වැඩ තියෙනවනෙ ඉතිං. දරාගන්න වෙනවා.

උඹ කියන්නෙ විකල්පයක් නෑ කියලද? උඹ කවදාවත් එහෙම අඬල නැද්ද?

සෑහෙන්න ඉස්සර. අම්මයි තාත්තයි හින්ද.

උඹ මොකද කළේ ඉතිං.

මං ගල්ගැහුණ ඉතිං. වෙන කරන්න දෙයක් නෑ. ඒ කාලෙ එහෙම ඒව කතා කරන්න තරං ෆිට් මනුස්සයෙක් හිටියෙ නෑනෙ.

දරාගන්න එක තමයි නේද බං සීන් එක? දරාගන්නෙ කොහොමද මචං. ඒකෙත් ඉවරයක් නෑ බං. හැඟීම් දැණෙනව වැඩි වුණාමත් මාර වාතයක්.

දැන් අපි ඉන්න ලෝකෙදි ඒක ලෙඩක්.

මොනව කරන්නද බං.. උඹ එහෙනං වැඩක් කරගනිං.

ළඟපාත දුමක් තියෙනවනං ඉතිං ඔය ෆීලිං එක වාෂ්ප කරල දාන්න... නැත්තං නින්දක් දාල නැගිටින්න.

වෙන කරන්න දෙයක් නෑ බං. මං ගාව රුපියල් දහයක් තිබුණා. ගේ අස්සෙ අවුස්සල බලල ඉතිරි ගාන හොයාගන්න ඕන දුමක් ගේන්න.

හා හා ඕන එකක්. හොයාගන්න බැරි වුණොත් ආයෙත් ඇති තරම් අඬන්න.


දුරකථන සංවාදය සුපුරුදු බායි කීපයකට පස්සෙ නිමා වුණේ හිතේ තැන්පත් වුණ බරක් එක්ක. හැමදාම ඔහුත් එක්ක සංවේදී සංවාදයකින් පස්සෙ මට තනියෙන් හිතන්න ඉතිරි වෙන හැඟීම මට දැණුනෙ කාලෙකින්. ඒ තරමට ඔහුත් මමත් ඈත් වෙන්න අරන්. ඇත්තම කිව්වොත් ජීවිතේ අපි අතර ලොකු ප්‍රතිරෝධයක් ඇති කරලා. එකිනෙකා එක්ක සංවාදෙකට වඩා අදහස් තමන් තුලම ගොනු වෙන තනිකමක් ගොඩනැගිලා.

ජීවිතේ අර්ථදැක්වීම් සෑහෙන්න ප්‍රමාණයක් අළුතෙන් හඳුනාගත්තු මිනිහෙක්ට ආදරේ වෙනුවට මිනිස් සම්බන්ධ වල ගනුදෙනු තේරෙද්දි ජීවිතේ අමාරු වෙන එක සරල ඇත්තක්. ඒ අස්සෙ වටේ තියෙන සීමිත මිනිස් සම්බන්ධතා අස්සෙ තියෙන ආදරේ දැණෙද්දි ඇඬනව තමයි. අඬනව ඇරෙන්න ඒකට වෙන විසඳුමක් නැති තරම්. තමන් අසරණයි නම්, තමන්ට උදව් කරන්න ඉන්න අය ඊටත් වඩා අසරණයි නම් මිනිහෙක්ට වෙන විකල්පයක් නැතුව ඇති.

ජීවිතයත් මරණයත් අතර එක්තරා යුද්ධයක් කරමින් ජීවත් වෙන මනුස්සයෙක් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද? හැම මාසෙකදිම ගිගා බයිට් විස්සක තිහක චිත්‍රපටි ටිකක් එක්ක දුම් කූරු හතරක් පහක් විතරක්??? සමහර විට ඔව්. ජීවිතේ වෙනස්වීම් එක්ක එතනින් එහා සංවාද සේරම වචන කීපයකට විතරක් සීමා වෙද්දි, මට ඔහු එක්ක රැඳෙමින් චිත්‍රපටියක් ගැන මොළේ අවුල් කරන සාකච්ඡාවක යෙදෙන්න කාලයක් නැති වෙලා ගිහින්.

එහෙම නැත්තං මුල්ලකින් ඇදල ගන්න 'මම කවුද' කියන උත්තර නැති ප්‍රශ්ණෙ ඔස්සේ හාවගේ ලොම්වලිනුත් මිදිල අභ්‍යවකාශයේ නිමක් නැති එකඟත්වයකුත් නැති සංවාදවල කිමිදෙන්න....

ජීවිතේ සංකීර්ණ වෙලා... හැඟීම් ගල්කරගන්න ඕන වෙලා. අච්චු වලට හැඩගැහුණ ජීවිත අස්සෙ හුරු පුරුදු ඇනුවල් වෙනස්වීම් ඇරුණම කිසිම අහම්බයක් නැතිවීම ඔහුගෙත් ම‍ගේත් සිග් සැග් සයිනාකාර ජීවිත ලීනියර් කරන්න අරන්...

උඹ ආයෙ එනකොට එහෙනං අළුත් වස්තු සම්භාරයක් අරන් වරෙන්...

ඔහු හැමදාම සමුගනිද්දි කිව්වෙ එහෙම.

ගිගා බයිට් විස්සක තිහක වස්තු සම්භාරය...

අඩු තරමෙ ඒ වචන කීපය තාමත් අපි සම්පූර්ණයෙන්ම ගල් වෙලා නෑ කියන එකට සාක්ෂියක් වුණා...

Thursday, 26 May 2011

පින්තූරේ...


ආරියපාල මහත්තය විසි අටවෙනිද පෙන්ෂන් ගන්නව. ඒ ගැන කාටත් තිබුණෙ පුංචි දුකක්. කාර්යාලෙ වැඩ කරපු බොහොම සුහදශීලී මනුස්සයෙක්. අපට වඩා ලොක්කෙක් වුණාට හිටියෙම ‍පොඩි මිනිස්සු එක්ක. රාජකාරියට පණ ඇරලා. වැඩක් කරගන්න ආපු මනුස්සයෙක්ව වැඩේ කරල දෙන්න බැරි වුණත් පුළුවන් තරම් සතුටින් පිටත් කරන්න හැකියාව තිබුණ නිලධාරියෙක්.

පුද්ගලිකවම මට බොහොම දැනමුතුකම් දීපු ගුරුවරයෙක්. කාර්යාලයේ රාජකාරිවලදි වගේම මගේ පුද්ගලික සහ වෙනත් ආර්ථික ගැටළු වලදිත් හොඳ යාළුවෙක් වගේ උදව් කලේ ආරියපාල මහත්තයා.

සමහර විට ඒ මිතුරුකම ඇතිවුණේ එයාටත් මගේ වයසෙම වගේ පුතාල දෙන්නෙක් හිටපු නිසා වෙන්න පුළුවන්.

පෙන්ෂන් යද්දි එයාට මොනවද දෙන්නේ...? ඒක හැමෝටම තිබුණ ගැටළුවක්.

මට තදින්ම දැණුන ගැටළුවක්.

හිතල හිතල අන්තිමේ මම තීරණය කලේ සමරුවක් විධියට එයාගෙ පින්තූරයක් රාමු කරල දෙන්න.

කාර්යාලෙන් අවුරුදු දෙකකට කලින් ත්‍රිකුණාමලේ ට්‍රිප් එක ගිය වෙලේ ගත්තු පින්තූර වගයක් මගෙ ළඟ තිබුණා. ඒ අතර ආරියපාල මහත්තයව බොහොම සුන්දර කෝණ කීපයකින් අරගත්තු ලස්සන පින්තූරය කීපයක්ම තිබුණා.

මම ඉන් එකක් අරන් කොම්පියුටරෙන් කපලා කොටල ඇද හදල ලස්සන මතුකරල ගත්තා. ඒක පින්තූර ස්ටුඩියෝවකින් ප්‍රින්ට් කරලා පෙනුම තියෙන රාමුවකුත් දැම්මෙව්වා. අපරාදෙ කියන්න බෑ බැලූ බැල්මට නියම පින්තූරයක්. මම ඒක ආරියපාල මහත්තයට හොරෙන් කාර්යාලෙ අනිත් යාළුවන්ට පෙන්නුවා. කට්ටියම ඒක බැලුවෙ ලොකු පෙරේතකමකින්. උපරිම වර්ණනාවකින් මගේ හිතේ ආඩම්බරයක් ඇති කරමින්.

කට්ටිය බැලුවට පස්සෙ අදාල දවස වෙනකල් මම ඒක ඔතල අරන් තිබ්බා.

විසි අටවෙනිද උදා වුණා. දවසම ගෙවුණෙ ටිකක් පාළු මූසල බවක් එක්ක. බොහොම තදින් අපේ දුක සැප බෙදාගත්තු සහෝදරයෙක් වගේ වැඩිහිටියෙක් අදින් පස්සෙ අපෙන් සමුගන්නවා. ඒ ගැන තිබුණ දුක නොකිව්වට කාටත් තදින් දැණිල තිබුණා. ආරියපාල මහත්තයා සුපුරුදු හිනාවෙන් වෙනදටත් වඩා ලෙන්ගතුකමින් දවස ගෙවන්න ලොකු උත්සාහයක යෙදුණත් එයාගෙ හිතේ තිබුණ දුකත් හැමෝටම තේරුණා.

හවස ‍තේ වෙලාවත් එක්ක පුංචි සාදයක් පිලියෙල වුණා. ගුණ කථන, ගුණ වැයුම්, සින්දු, කවි, කතා එක්ක බටර් පාරවල් කීපයක්ම අවකාශයට එකතු වුණා. සේරම ලොක්කොයි සොක්කොයි කතා කරල ඉවර වුණාම කවුරුත් තම තමන්ගෙ තෑගි ආරියපාල මහත්තයට දුන්නා. ඊට පස්සෙ තමයි එයාගෙ කතාව පටන්ගත්තේ...

සාම්ප්‍රදායික ස්තූතියකින් පටන් අරන් කාර්යාලෙ හැමෝගෙම හොඳ කියපු ආරියපාල මහත්තයා තමන්ගෙ ඉතිහාසය ගැනත් රාජකාරි ජීවිතය ගැනත් දිගට කතා කලා. රාජකාරියේ නොයෙක් දුක් විඳල කැපීම්, ඇදීම්, නොසැලකීම් ගොඩකට මූණ දීල හොඳ ස්ථාවරයකට ආපු ගමන්මග ගැන දැණෙන්න කියන්න එයාට පුළුවන් වුණා. රාජකාරියට තිබුණ ආදරයත් රාජකාරියෙන් තෘප්තිමත් වීමත් ඒක ජීවිතේටම විහිදුවීමත් වගේ දාර්ශණික දේවල් ගැනත් කතා කලා.

අපට තේරුණේ එයා රාජකාරියට තදින් ඇලිල හිටපු නිලධාරියෙක් කියලයි. ජීවිතේ අවුරුදු හතලිහක්ම රාජකාරියේ නියැලිලා හිටපු නිලධාරියෙක් විධියට එයාගෙ ජීවිතේම වෙලා තිබුණෙ රාජකාරිය. ඒකෙන් ගැලවීම ජීවිතේ නෙවෙයි වගේ කියල එයා හිතන බව අපට තේරුණා.

කතාව අවසානයේ එයාට ඇඬුම් ආවා. ලේන්සුවෙන් ඇස් දෙක පිහින ගමන් එයා කතාව නතර කරල ඉඳගත්තා. කාටත් තිබුණෙ දැඩි දුකක්. ඒත් වන්දනා කිරීම්, වැළඳගැනීම් ගොඩකට පස්සෙ එයාට සමුදෙන්න අපට සිද්ධ වුණා. වාහනේට තෑගි ටික පටවල දීපු කිට්ටුවෙන්ම හිටිය අපි කීප දෙනෙක්ව ආයෙත් වැළඳගෙන ආරියපාල මහත්තයා ගෙදර යන්න පිටත් වුණා.


********************


පහුවදා උදේ වැඩට යද්දි හැමෝම කලබල වෙලා හිටිය හේතුව දැනගත්තම මට උන් හිටි තැන් අමතක වුණා. විජිතවත් ඇදගෙන එවෙලෙම පිටත්වෙන්න මට උවමනා වුණත් කාර්යාලෙම පොදු වාහනයකින් කට්ටියක්ම පිටත් වෙන්න සූදානමින් හිටියා.

ආරියපාල මහත්තය දුක වැඩිකමටද කොහෙද කලින්දා හොඳටම බීල වාහනේ හප්පගෙන.

අපි යද්දි බොඩිය ගෙදරට ගෙනල්ලත් ඉවරයි. ගෙදරට යන පාරෙ දිගටම වාහන නතර කරල නිසා අපේ වාහනේ ඈතින් නතර කරල අපි පයින් ගේ දිහාවට පිටත් වුණා. ආරියපාල මහත්තයගෙ පොඩි පුතා ඇස් රතු කරගෙන අපිව පිළිගත්තා.

කලින්දා රාජකාරියෙන් සමුගත්තු ආරියපාල මහත්තය අද ජීවිතයෙනුත් සමු අරන් තිබුණා. එයාගෙ නිසල දේහය ගේ මැදක නිහඬව තිබුණා. අනතුරක් වුණ බවක් පේන්න නැහැ. මිය ගිහින් වුණත් ‍තේජාන්විත මුහුණ ඒ වගේමයි.

මගේ ඇස් වලට සීරුවෙන් කඳුළු ගලාගෙන ආවා.

මට පේන දර්ශනය ටිකෙන් ටික බොඳ වුණා. ඒ අතරින් මට පෙණුනා...

මම දුන්නු පින්තූරෙ ආරියපාල මහත්තයගෙ ඉහ අද්දරින් තියලා....

ඒකට මල් මාලයකුත් දාලා...




පින්තූරයේ ඉන්නේ Wilfrid Brambell නම් අයර්ලන්ත ජාතික නළුවෙකි.

Thursday, 21 April 2011

ගණංජෙනී බීඩි | For a healthy smoke

වැල වගේ පෝස්ට් දැම්මට පස්සෙ ආයෙ කාලෙකට ලියන්න මාර කම්මැලියි. ඒ වුණාට දවස් කීපයකින් මුකුත්ම ලියන්න වෙන එකත් ෂුවර් නැති නිසා පොඩි ආතල් පෝස්ට් එකක් දාන්න හිතුණා. මේ වර්ගයේ පෝස්ට් දාන්න වෙනම එකක් හදාගෙන යමින් හිටියට කම්මැලිකම හින්දා ඒ සේරම දේවල් ගොළුබෙලි වේගෙන් තමයි සංවර්ධන කරා යැවෙන්නේ...

ඔන්න ඉතිං අපේ ඔෆිස් එකේ ඉන්නවා සස්සන නංගි කෙනෙක් ජෙනී කියලා. එයා ඉතිං ටිකක් ගණං නිසා අපි කියන්නෙ ගණංජෙනී කියල. එයාට ඔය තරුණ ගෑණු ළමයින්ට තියෙන පුංචි පුංචි අසනීප වර්ග ටිකකුත් තියෙනව. හැබැයි කොයි තරම් අප්සෙට් වුණත් එයා අපේ අහිංසක විහිළු උපරිමේකට දරාගන්න පුළුවන් හරිම හොඳ ළමයෙක් තමයි.

ඉතිං එයාගෙ උපන් දිනේ හෙවත් බීඩී එක තිබුණා අප්‍රේල් මුල් සතියෙ.

උපන් දින වලදි සාමාන්‍යයෙන් වෙන විධියට සෙක්ෂන් එකේ සෙට් එකේ දිළිඳු දායකත්වයෙන් එයාට තෑග්ගක් අරන් දෙන අතරෙ මම එයාට දෙන්න හදපු බර්ත් ඩේ කාඩ් එක තමයි පහල තියෙන්නේ. ඉස්සර පින්තූර කඩේ වැඩ කරද්දි නම් ෆොටෝෂොප් වලින් දාපු වැඩ කෑලි දැන් දාන්නෙ අතින් තමයි.

වැඩි කතා ඕන නෑ...




Tuesday, 19 October 2010

කම්කරුවාගේ ණය අයදුම්පත

“පුළුවන් දෙයක් කරල දෙන්න සර්...”

රත්නපාල ණය අයදුම්පත මගේ මේසෙ උඩින් තිබ්බා...

ඔහුගේ මුහුණේ තිබුණෙ යටහත්පහත් බවයි, බයාදුකමයි එක්ක මුසු වුණ හිනාවක්. ජීවිතේ දශක පහකට ආසන්න වෙන්න ගෙවපු මනුස්සයෙක්ට වඩා වයස්ගත බවක් ඔහුගෙ මුහුණෙන් පෙණුන.

“මට ඉතිං ‍මේක අනුමත කරන එක තීරණය කරන්න බෑනේ....”

මම කෘතිම හිනාවක් එක්ක වැටුප් ලේඛණය අතට ගත්තා.

“පඩියෙන් සීයට හතලිහ ඉක්මවද්දි ණය වලට කපල යවන්න බෑනෙ රත්නපාල...”

“සීයට හතලිහ යනවද සර්...?”

“ඉන්නකෝ බලන්න... ම් ම්... පනිනව නේන්නම්.... මොකද කරන්නේ...?”

“අනේ සර් පුළුවන් දෙයක් කරල දෙන්න...”

“මට මොනවද කරන්න පුළුවන්? මම කරන දේටත් සීමාවක් තියෙනවනේ...”

“පුළුවන් නම් එකවුන්ටන් සර්ට කතා කරල බලන්න සර්... ‍දුවගෙ කසාදෙ ලබන මාසෙ තියෙන හින්දයි සර් මේ ලෝන් එක දාන්නේ...”

“ඔහොම ඉන්නකෝ ටිකක්”

මම ගණකාධිකාරිගේ කාමරයට එබුණා. මම දැණගෙන හිටිය ඒ වෙද්දිත් ඔහු ප්රධාන අධ්යක්ෂ කාර්යාලයේ රැස්වීමක බව. ඒත් කාමරයට නොඑබී රත්නපාලට කටින් ඒක කිව්වට විශ්වාස කරන්නෙ නෑ...

“සර් නං නෑ රත්නපාල... රැස්වීමක... පුළුවන් නම් එනකල් ඉන්න”

“හා සර්...”

දෙකට නැමිල ගෞරවය උපරිමව දක්වමින් ආපහු ණය අයදුම්පත ගත්ත රත්නපාල අපේ අංශයෙන් පිටත සේවාදායකයන්ගෙ පුටු තිබුණ පැත්තට ඇදුණා.
.........................

මම මේ කාර්යාලයේ රාජකාරි ආරම්භකරල වැඩි කාලයක් නැතත් රත්නපාල කියන සාමාන්ය කම්කරු තනතුරේ වෘත්තිකයා මම හොඳට දැනගෙන හිටිය. මම රාජකාරි කරපු පරිපාලන කාර්යාලය යටතේ තිබුණ උප කාර්යාලයක සේවය කරපු ඔහු එම කාර්යාලයේ සියළුම සේවකයන්ගෙ රාජකාරිමය අවශ්යතා වෙනුවෙන් මගේ කාර්යාලයට නිතර පැමිණියා. ඔහුගේ රාජකාරි සගයන්ගෙ සියළු දුක්ගැනවිලි වාර්තා කලේ ඔහු. ඒ පැමිණි හැම වෙලේම තමන්ගෙ දරුවන් දෙදෙනා ගැනත් ඔහුට තේරෙන දේශපාලනය ගැනත් වචනයක් දෙකක් කියවන්න ඔහු පුරුදු වෙලා හිටිය. මම මගේ වැඩේ කරමින් වුණත් ඔහුට ඇහුම්කන් දුන්න නිසා (අඩු තරමෙ එහෙම පෙන්නපු නිසා) ඔහු ‍මාව ගෞරවණීය මිතුරෙක් කරගත්ත. වෙන නිලධාරියෙක් හමුවෙන්න පැමිණියත් ඔහු මට වචනයක් කතා කරල යන්න අමතක කලේ නෑ. මාසෙක දෙකක ඉඳන් ඔහු ඔහුගේ දියණියගේ විවාහය වෙනුවෙන් වෙහෙසුණා.

සාමාන්යයෙන් රජයේ සේවකයෙක්ගෙ වැටුපෙන් ණය සඳහා බැංකුව වෙත යවන්න පුළුවන් වෙන්නෙ ඔහුගේ වැටුපෙන් සියයට හතලිහක උපරිමයක් විතරයි. ආයතන සංග්‍රහය කියල අපි පාවිච්චි කරපු නීති පොතේ මේ බව පැහැදිලිව කියල තිබුණ. ඒ නිසාම කෙනෙක්ගෙ මූලික වැටුපෙන් සියයට හතලිහ ඉක්මවල ණය වාරික යවන්න අනුමත වෙන්නෙ නෑ කොහොමත්...

මාසෙකට රුපියල් දොලොස්දාහක මූලික වැටුපක් අරගන්න රත්නපාලගේ වැටුපෙන් දැනටත් සියයට හතලිහේ සීමාව සුළු ගණනකින් ඉක්මවල ණය සඳහා කැපෙමින් තිබුණ.

‍රාජකාරිය නීතියට කරනවද නැත්තං මනුස්සකම වෙනුවෙන් කරනවද කියන එක හැමදාම උහතෝකෝටිකයක්...

වතාවක් එක උසස් නිලධාරියෙක් තමන්ගෙ කතාවකදි ඔහුටත් අහන්න ලැබුණ කතාවක් කිව්ව. ඒ අනුව ලංකාවෙ රාජ්ය සේවකයෝ වර්ග තුනක් ඉන්නව. එක් වර්ගයක් කිසිම වැඩක් කරන්නෙ නෑ... ඔවුන් හදන්නෙ පුළුවන් තරම් වැඩේ නොකර ඉන්න. අනිත් වර්ගය වැඩ කරනවා. ඒත් නීති රීති අකුරටම ක්රියාත්මක කරන්න යාම මත ඔවුන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑ... අනිත් පාර්ශවය කොහොම හරි වැඩේ වෙන තැනට වැඩ කරන අය. ඔවුන් නීතියේ සිදුරු වලින් රිංගල හරි වැඩේ කරන්න උත්සාහ කරන අය.

මට ඕන වුණේ ඔය තුන්වන කණ්ඩායමේ ඉන්න. ඒත් ඒක හිතන තරම් ලේසි නෑ... හැම වෙලාවෙම අභ්‍යන්තර කැපිල්ල එක්ක පරෙස්සම් වෙන්න වෙනව. වරදිනකල් බලන් ඉන්න අර මුල් කණ්ඩායමේ අය ඉන්නව. ඒ මදිවට විගණන විමසුමක් වගේ දේකදි මොන දේ කිව්වත් වරද වරද විධියට අරන් අර නීති පොත් වල වගන්ති අතර අපව හිර කරල රස්සාවත් නැති කරන තත්ත්වයක් තියෙනව.

වචන ගොඩක් ලියවුණ රෙගුලාසි පොත් දෙකක් මගේ මනුස්සකම කියන එක දෙපැත්තෙන් තෙරපන්න අරන් තිබුණ.
.........................

“එකවුන්ටන් සර් ඇවිල්ලද සර්?”

රත්නපාල ආයෙත් මගෙ මේසෙ ගාව හිටගෙන.

“ආ.. ඔව් ආවා... ගිහින් කතා කරල බලන්න”

මට සිදුරක් විධියට පෙණුනෙ ගණකාධිකාරීගෙ කාර්යාලයේ යතුරු සිදුර.... ඔහුගේ අනුමැතිය මගේ සීමාව ලිහිල් කරන බව මම දැනගෙන හිටිය.

රත්නපාල හෙමින් හෙමින් ගණකාධිකාරිගේ කාර්යාලය පැත්තට ගියා...

Monday, 11 October 2010

චන්ද්‍රයන් තුනක් එක්ක බෝගහකුඹුරට...

මම මගේ රාජකාරියට කැමති එක හේතුවක් තමයි ඒක නිසා මට රාජකාරි ගමන් විධියට දිස්ත්‍රික්කයේ එක එක පැති වල ගමන් බිමන් යන්න ලැබීම. ඒක ඇරුනම රාජකාරියෙන් තෘප්තිමත් වෙන්න තවත් බොහොම සුළු දේවල් ටිකක් තියෙනව. කොහොමත් කාර්යාලය තුල හිර වෙලාම ඉඳල වෙනත් තැනක රාජකාරියක් යෙදුණම ඒක එක වගේ ගෙවෙන ජීවිතේට ලොකු වෙනසක් ගේනව.

මේ වතාවෙ මට යන්න පුළුවන් වුණා රාජකාරියක් වෙනුවෙන් බෝගහකුඹුරට. යන්න වුණේ හඳවල් තුනක් එක්ක. ලොක්ක තමයි 'චන්ද්‍ර', අනිත් දෙන්නා 'චන්ද්‍රිකා' සහ 'චන්ද්‍රානි'. තුන් දෙනාම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරින්. මම විතරක් මුකුත් දන්නැති බබා වගේ ගියා. හැබැයි රාජකාරිමය දේවල් සෑහෙන ප්‍රමාණයක් ඉගෙනගන්න මේක අවස්ථාවක් වුණා මට. 2010 සැප්තැම්බර් මාසෙ 22 සහ 23 දිනවල සහ 2010 ඔක්තෝබර් 9 සහ 10 විධියට අවස්ථා දෙකකදි අපි බෝගහකුඹුරට ගිහින් 22 සහ 09 රාත්‍රීන් දෙකත් නැවතිල අපේ රාජකාරිය අවසන් කලා...

නුගතලාව හන්දියෙ හෝටලෙන් උදේට පොල් රොටී

බෝගහකුඹුර කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ ඉඳන් නුවර එළිය පැත්තට ටික දුරක් යද්දි තියෙන කැප්පෙටිපොල නගරයෙන් හැරිල හපුතල පැත්තට එද්දි හමුවෙන පුංචි නගරයක්. එහෙම නැත්තං හපුතලේ ඉඳන් බොරලන්න පහුකරලා බෝගහකුඹුරට එන්න පුළුවන්. බදුල්ලෙ ඉඳන් වැලිමඩට කිලෝමීටර් 23ක් විතර තියෙනව. එතන ඉඳන් බෝගහකුඹුරටත් කිලෝමීටර් 17ක් වගේ තියෙනව. මේ හරියෙ ඉඳන් හෝර්ටන් තැන්නට තියෙන්නෙත් හෝර්ටන් තැන්නේ බලපෑම දැණෙන දුරක්. බෝගහකුඹුරෙ ඉඳන් බොරලන්දට කිලෝමීටර් 7ක් වගේ සහ බොරලන්දෙ ඉඳන් හෝර්ටන් වලට කිලෝමීටර් 22ක් විතර තියෙනවලු. ඒ කියන්නෙ බදුල්ල නුවර එලිය සීමාව ආසන්නව නිසා බෝගහකුඹුර නගරය මුහුදු මට්ටමෙන් සැලකිය යුතු තරමින් උසකින් තමයි පිහිටල තියෙන්නේ. මගේ දැණුම අනුව වැලිමඩ සානුවේ හෝ ඒ ආසන්නවයි පිහිටීම තියෙන්නේ. ඒ නිසාම හෝර්ටන් තැන්න හරහා හමාගෙන එන හුළඟ බොහොම සැරට මේ පැත්තෙදි දැණෙනවා...

බෝගහකුඹුර නගරයේ පිහිටීම

ගුගල් වලින් තැන හොයාගන්න මම මහන්සි වුණත් පැහැදිලි සටහනක් ‍නොතිබීම නිසා සිතියමක් ලබාදෙන්න අමාරුයි. නමුත් මේ ප්‍රදේශය පුරාම ගොවිබිම් විසිරිලා තියෙන විධිය හොඳටම දැකගන්න පුළුවන් වුණා.

මග දෙපස වගාව

අවුරුද්ද පුරාම සීතල කාලගුණයක් තියෙන බෝගහකුඹුර ප්‍රදේශයට අපි ගියේ සාමාන්‍යයෙන් සීත කාලය පටන්ගන්න මේ කාලෙ නිසා අපට නම් හොඳටම සීතල දැණුනා... සීතලත් හුළඟත් මේ පැත්තෙ මිනිස්සුන්ට නම් හොඳට හුරුයි.

මීදුම් ගලා කන්දේ...

මේ ප්‍රදේශය ප්‍රසිද්ධ අල වගාවට. වෙන මොන රස්සාව කලත් ගෙදර පුංචියට හරි අල පාත්තියක් එක්ක මිරිස්, සලාද, ගෝවා මාළු මිරිස් වගේ එලවළුවක් ගොඩක් ගෙවල්වල වගා කරල තියෙනවා. අපටත් අපට නවාතැන් ලැබුණ, කණ්ඩායමේ සාමාජිකාවකගෙ ‍සොයුරියගෙ ගෙදරින් හොඳ අළුත් අර්තාපල්වල රස බලන්න ලැබුණා.

තේ වත්තක් පසු කරමින්

ප්‍රදේශයේ ජනගහනය ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විතයි. රජයේ රෝහලක්, තැපැල් කන්තෝරුවක් වගේම රජයේ ප්‍රධාන බැංකු සහ ආගමික ස්ථාන පිහිටා තියෙනව. හුළඟට ගස් වල අතු කඩාගෙන වැටීම නිසා නිතරම විදුලිය සැපයුමේ දෝශ ඇතිවෙන බව අපිටත් හොඳටම තේරුණා...

මේ ඈත පේන්නෙ වැලිමඩ සහ හැටන් පැත්ත වෙන්න ඕන

හපුතල පැත්තෙ ඉඳන් නුවර එලියට යනවනම් ළඟම පාර තියෙන්නෙ බෝගහකුඹුර හරහා වෙන්න ඕන. පාරවල් ගැන මගේ දැණුම බින්දුවයි හින්දා ඊට වඩා දෙයක්නම් මම දන්නෙ නෑ.

යන අතරමග හාලි ඇල - වැලිමඩ අතර තැනක්

වැලිමඩ ඉඳල එනවනම් බෝගහකුඹුර හරහා බොරලන්ද කියන බස් එකේ එන්න වෙනව. බොරලන්දෙ ගියත් බෝගහකුඹුර හරහා නොයන බස් එකකුත් තියෙන නිසා පරෙස්සම් වෙන්න වෙනව හරි බස් එක තෝරගන්න. චන්ද්‍ර අයියත් එක්ක සයිකලේ ආපු නිසා මට නම් යන එන ගමනෙ පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුනා....

පින්තූර සෙට් එකම මෙතනින් බලන්න.

බෝගහකුඹුර ආශ්‍රිතව තිබුණ ලිපි කීපයක්