මේ සිංහල චිත්‍රපටිය හෝල් එකේ බලන්න උවමනාව ඇති වුණේ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරු අපිව අමාරුවේ දාපු අවස්ථා අවම නිසා. ඒ කියන්නෙ රංගනය පැත්තෙන්. අධ්‍යක්ෂකවරු විදියටත් එයාල සුපිරි වැඩක් කරයි කියන බලාපොරොත්තුව තිබුණා. ඒ නිසාම විවිධ සමූහවල මේක බලපු උදවිය පල කරපු එක සටහනක්වත් කියවන්නෙ නැතිවයි මම හෝල් එකට ගියේ. ට්‍රේලර් එක බැලුවෙත් මේ සටහන ලියද්දි. ඒක මට මගහැරිල තිබුණෙ.
මේක සෑහෙන්න පරිසමාප්ත හැඟීමක් ඇති කරපු චිත්‍රපටියක්. නියර්ලි පර්ෆෙක්ට්. ඒක මට තේරෙන මට්ටමින් රඟපෑම්, තිර රචනය, අදියුරුවම, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය හා සංගීතය වගේ කලාත්මක සහ තාක්ෂණික අංග සියල්ලම සමව සහ උපරිමයෙන් දායක වෙලා වුණ වැඩක්. අඩුපාඩුවක් නොපෙනුණ තරම්. ඒ කතාව මුලදිම කියල ඉන්න ඕන.
සිංහල චිත්‍රපටියක් විදියට මීට කලින් අවසානෙට මෙහෙම හැඟීමක් ආවෙ 'හෝ ගාන පොකුණ' චිත්‍රපටියෙන්. ලාංකික චිත්‍රපටියක් විදියට 'කෝමාලි කිංග්ස්' චිත්‍රපටියෙන්. ඔය කාල සීමාව ඇතුළත හෝල් එකකට ගිහින් සිංහල චිත්‍රපටියක් බලල නෑ. ඒ නිසා තිබුණත් මට අහුවෙන්න විදියක් නෑ.
මේක ඉදිරිය ගැන සුබවාදී බලාපොරොත්තු ඇති කරවන්නක්. සිංහල සිනමාව වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් තව දෙන්නෙක්ම ඉන්නවා. එයාලගෙ කුළුදුල් වැඩේ සාර්ථක වුණොත් ඉදිරියටත් එයාලා ලංකාවට වගේම ලෝකෙටමත් රසවිඳින්න තරම් කොලිටි වැඩ කරයි.
චිත්‍රපටියක් සාර්ථක වීමේ පළමු අවස්ථාව තිර රචනයයි බොහෝ විට. රටවල්, අනුව ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. නළු නිළියො නිසා හෝල්වලට ඇදෙන රසිකයො ලංකාවෙ නෑ මම හිතන්නෙ. එයාලට ඕන කතාවක්. තමන්ට කනෙක්ට් වෙන්න පුළුවන් කතාවක්. රජ කතා සහ ආගමික කථාවලට කොහොමත් ඇදෙන පිරිස ගැන නෙවෙයි මේ කියන්නේ. ඊට වෙනස් විදියකට ජීවිතේට මූණ දෙන, ජීවත් වෙන්න කට්ටක් කන අතරෙ පොඩි විනෝදෙකට, හෝ වෙනසකට චිත්‍රපටියක් බලන සැලකිය යුතු කොටසක් ගැන. ඒ කොටසත් අර කලින් කියපු ආගමික කතා රසිකයිනුත්, ඒ දෙගොල්ලොම නොවෙන රසිකයිනුත් එකතු කරගන්න පුළුවන් තිර පිටපතක් ලියන එක ලේසි වැඩක් නෙවෙයි. 'නිව්ස්පේපර්' ඒ මට්ටමේ වැඩක්.
අවුරුදු දෙක තුනකට කලින් මලයාලම් චිත්‍රපටිවල මැජික් නොවන මැජික් එකට මම අහුවෙන්නෙ අහම්බයකින් නෙවෙයි. ඒ චිත්‍රපටි අතරින් සැලකිය යුතු ප්‍රමාණයක තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වගේම ඒවා. ඒ කතා අපේම කතා. වෙන සංස්කෘතියක කතාවලට වඩා ගැමි මලයාලම් සංස්කෘතියෙ කතා ලංකාවෙම කතාවක් වෙනවා. ටැප් වතුරෙන් සැන්ඩි කරල අරක්කු බොන, සෙට් වෙනවයි කියල ප්ලෑන් ගහල සෙට් වෙන අවස්ථාවල ඉඳල ගඟෙන් රෙදි හෝදල රබර් සෙරෙප්පු දාගෙන චිරිස් චිරිස් සද්දෙ එක්ක ගෙට ගොඩ වෙන චරිත දක්වා දේවල් දකිද්දි ලංකාවෙ චිත්‍රපටි ගැන දැනෙන්නෙ හිස් හැඟීමක්. ඒ හිස්කම පුරවන චිත්‍රපටියක් විධියට දැනුණ එකක් තමයි ‘නිව්ස්පේපර්‘ කියන්නේ.
මේක දුවවන්නෙ සරත් සහ කුමාර දෙන්නත්, පසුව මාෂිත් වුණාට බොහොම සුළු චරිතෙකට ඉන්නෙත් රඟපෑමේ හොඳම ජීවය හිමි කලාකරුවන් වීම නිසා අපිට ගොඩනැගෙන විශ්වාසය වාසියක් වෙනවා චිත්‍රපටියට. ට්‍රේලර් එකට තියෙන යූටියුබ් කමෙන්ට් අස්සෙත් ඒක තමයි කියවෙන්නේ. ඒ විශ්වාසය චිත්‍රපටිය පුරාම පලුදු නොකර තියාගන්න කට්ටිය සමත් වෙලා තියෙනවා. විශේෂයෙන් සරත් කුමාර (තනි නමක්) රසායනය අස්සෙ අපට දැනෙන හෘදයාංගම මිත්‍රත්වය චිත්‍රපටිය පුරාම අපිව වශී කරන සාධකය වෙනවා. මොනව වුණත් උන් දෙන්නට උන් දෙන්න ඉන්නවා කියන අදහසින් අපට ආරක්ෂාවක් දැනෙනවා. රූප රාමුත්, අවශ්‍යම මොහොතේ යෙදවෙන සංගීතයත්, මට සිලුටු ඡේදනයත් මේ හැඟීම පවත්වගන්න දෙන්නෙ උපරිම සහයක්. මේ සියල්ලේ ගිනියම අවසාන ජවනිකාවෙදි ඔබේ දෑස් කෙවෙනි උණු කරමින් ගලා යන්න පුළුවන්.
මට හිතුණා ලුවිස්ගේ චරිතය තව ටිකක් සංවර්ධනය වෙන්න තිබුණ කියලා. සමහර අවස්ථාවලදි ඒ තරම්ම ඔහුව ගොන් නොකර දෙබස්වලින් වැඩි රසයක් දෙන්නත් තිබුණා කියල මට හිතුණා. මට ඒ චරිතය පැහැදිලිව විස්තර නොවෙන චරිතයක්. ඒක ගොඩ දාන්න ලේසි චරිතයකුත් නෙවෙයි. මොනව වුණත් තිරිමාදුර මහත්තයාගේ රඟපෑම ඉස්තරම්. කර්කශ අවස්ථාවක ලුවිස් කියන වචන රත්තරන්.
සාමාන්‍යයෙන් චිත්‍රපටියක එසෙන්ස් එක, එහෙම නැත්තං සාරය වචනවලට ගේන ඒම කරන්න අමාරු වැඩක්. ලොකු දාර්ශනික සහ සාමාජයීය හැදෑරීමක් එක්ක උත්සාහ කළයුතු දෙයක් ඒක. ඒ කොහොම නමුත් අවසානයෙදි චිත්‍රපටියෙ මතකයේ රැඳෙන සහ අපිව කම්පනය කරන කොටස ඒක. එහෙම සාරයක් නැති චිත්‍රපටි අපට ඉක්මනින්ම අමතක වෙලා යනවා. සාරවත් චිත්‍රපටි අපි නැවත නැවතත් බලනවා. අපේ ජීවිතවලට ඒ සාරයෙන් අංශුවක් හරි තව අරගන්න උත්සාහ කරනවා. ‘නිව්ස්පේපර්‘ චිත්‍රපටියත් ආයෙත් බලන්න තරම් ආත්මයක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය පුරාම දැනෙන හැඟීම ඒ අපිව ඒ චරිතවලට සම්බන්ධ කරනවා. එයාලගෙ හැඟීම් අපට දැනෙනවා. ඒ බැඳීම් අපේ බැඳීමක් වෙනවා. ඒ අස්සෙ සමහර මොහොතක අපට අපිවම විනිශ්චය වෙන මොහොතක් එළඹෙන්න පුළුවන්.
මේක දූවිලි ගැන චිත්‍රපටියක්. දූවිලි අපි කවුරුත් ගණං ගන්නෙ නැහැනෙ. මේකත් එහෙම ගණං නොගන්න මිනිස්සුන්ගෙ කතාවක්. ඕනම කෙනෙක්ට දූවිල්ලක් වෙන්න යන්නෙ සුළු මොහොතයි. බලය සහ ධනය තියෙන අය ඒකෙන් ගැලවුණත් සාමාන්‍ය අපිට ගැලවෙන්න ලේසි නෑ. අපි විශ්වාස කරන පරමාදර්ශවත්, අපේ පැමිණිලි අහන්න පඩි ගන්න අයවත්, අපි විශ්වාස කරන බොහොම අයවත් එහෙම මොහොතක අපි වෙනුවෙන් ඉදිරියට එන එකක් නෑ. එයාලත් ගොඩක් විට අපිව දූවිල්ලක් කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද බොහෝ විට ඒ අයටත් ඒ නිසා දූවිලි වෙන්න සිද්ධ වෙනවා. එහෙමයි සාමාන්‍ය අපට වෙන්නේ. ඒ නිසා මේක අපේ කතාවක්.
මේක අපි බැලුවෙ වාද්දුවෙ නිව් වින්ස් සිනමාහලේ. කොවිඩ් වසා දැමීමෙන් පස්සෙ විවෘත කරල දවස් දෙකයි. බලන්න හෝල් එකේම හිටියෙ අපේ පවුලෙ හතර දෙනා විතරයි. හෝල් එක වායු සමණිත රු. 250 ටිකට් එකට සරිලන එකක්. චිත්‍රපටිය බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් අඩු පතෝලමය පෙනුමකින් බලන්න ලැබුණෙ. ලෙන්ස් එකේ අවුලක් කියල ඔපරේටර් මල්ලි කිව්වා.
අවසාන වශයෙන්, මේක විචාරයක් නෙවෙයි. රස කෑමක් ලැබුණ කපුටෙක්ගෙ කෑ ගැසීමක්. ඔබ ලංකාවෙ සිනමාවක් දකින්න කැමති කෙනෙක්නම් අනිත් අයටත් ඒ පෙළඹීම කරන්න. මේක හොඳ කාලයක් නෙවෙයි. ඒ නිසා තමන්ගෙත් අනිත් අයගෙත් ආරක්ෂාව තහවුරු වෙන විදියට ගිහින් නිව්ස්පේපර් බලන්න.
https://www.imdb.com/title/tt9711868/