Showing posts with label mother. Show all posts
Showing posts with label mother. Show all posts

Friday, 26 May 2023

අම්මගෙ රොටිය

 


 

අම්මා රොටි හදද්දි
පැටි කාලෙදි ඉල්ලුවා මතකයි
අම්මා හීනි රොටියක් ඕන
කර කර ගාල හැපෙන්න
අම්මා කොහොම හරි
රොටියක් හදල දුන්නත්
සමහර වෙලාවට හිතපු තරම්
ඒක තුනී නැතිවෙනකොට
හිත නොරොක් වුණත් මතකයි

අද ඉඳහිට පවුලට
ගෑස් ලිපේ රොටී හදනකොට
තේරෙනවා අමාරුව
අඟුරු නොවී අමුත් නැතිව ගාණට
රොටි තුනී කරල පුච්චන
මතක් වෙනව අම්මව
අකීකරු ගින්දර එක්ක
දර ලිපේ රොටි පුච්චපු
හිත කඩා වැටෙනවා එතකොට

පවුලේ අය රොටි දෙක තුන
හරිම රහයි කියා කනකොට
හිත යටින් නැගෙන සතුටට
දැනෙනවා අම්මාත් හවුල් බව
අම්මා හදන විදියටම
ඒ රහටම සුවඳටම
රොටිය පිච්චිලා එනකොට
හිත පිරී සැනසෙන්නෙම
මතක් වෙලා අම්මාව

2023-05-21

Sunday, 23 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමින් තටමමි


අලුතෙන් හොයාගත්තු තටමන ක්‍රමේ සාමාන්‍ය වෙලාවලදි බොහොම ප්‍රයෝජනවත්. ඒ උණාට අසාමාන්‍ය වෙලාවලදි ඒකත් හරියන්නෙ නෑ කියල මට මේ දැන් හිතුණා. ඇත්තට ඒකෙ අලුත් දේකුත් නෑ. ඉස්කෝලෙදි ඉගෙනගත්තු ආහාර මාර්ග පද්ධතියෙ රූපෙ අමතක වෙලා නැත්තං වැඩි ප්‍රතිඵල ලැබෙන විදියට තටමන්නෙ කොහොමද කියන එක ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඔය මහ බඩවැල කියන එක ඇඟ ඇතුළෙ විහිදිල තියෙන විධිය හොයාගත්තම හරි. ඒ අනුව සිරුර නම්‍යශීලීව හසුරවන්නෙ කොහොමද කියල අත්හදාබැලුවම ගොඩ!

දැන් මේ ඉඳගත්තු දෙවෙනි වතාව ගෙවෙන්නෙ. මුල් වතාවෙ ගොඩක් සැහැල්ලුවෙන් එළියට ගියාට පැය භාගයක් ඇතුළත ආයෙම ඇතුළට එන්න වුණා. අම්මට නෝටිෆයි කරගෙනම රිංගපු නිසා දැන් මට ඇහෙනව එයා බැදපු දුරු කොටන සද්දෙ. දාඩිය දාන්න තරං වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉද්දිත් අම්ම ගැන ආදරේ ෂොක් වෙන්න මට මොහොතක් ගියෙ නෑ. වැඩිය සමාජ ආශ්‍රයට කැමති නැතත් එයා ආදරේ කරන අය එක්ක විතරක් ජීවත්වෙලා ඉගෙනගෙන තිබුණු එයාගෙ සංවේදීකම හැමදාම එහෙමයි. ඒ නිසා එයා මටත් නොකියම බෙහෙත ලෑස්ති කරනව. තුන්වෙනි වතාවෙ ආයෙ ඉඳගන්න නොවෙන බව මට දැන් ෂුවර්. බඩේ අමාරුවට දුරු ටිකක් බැදල කුඩු කරල උණු වතුර ටිකක කලවම් කරල ටිකක් වෙලා තැම්බෙන්න තියල බොන එක ෂුවර් ෂොට්! හැබැයි හැම ජාතියෙම රුජාවලට ඒක සෙට් වෙනවද කියල මං දන්නෙ නෑ.

දවල් ඔපිස් එකටම කෑම ගෙනත් දුන්නෙ දානෙ ගෙදරකින්. සෙක්ෂන් එකේ වැඩ කරන ළඟපාත ගෙවල් තිබුණ පොරක් බාස්කට් තුන හතරකට බතුයි වෑංජනයි දාගෙන ඇවිත් තිබුණා. සාමාන්‍යයෙන් සෙනසුරාදාව කෑම සම්බන්ධයෙන් ආතල් දවසක්. එදාට හැමෝම කැෂුවල් එන්නෙ ගොඩක් රිලැක්ස් එකේ. සතියෙ දවස්වල කරල ඉවර කරගන්න බැරි වැඩ කොටස සෙනසුරාදා නිවි සැනසිල්ලෙ කරන්නෙ වෙනදට නැති සැහැල්ලුවකින්. ඒ සැහැල්ලුව වැඩි වෙන්නෙ කවුරු හරි ගෙදරින් හදාගෙන එන කිරිබතක්, රොටියක් වගේ එකක් සෙට් වුණාම. එහෙම නැත්තං දවල් එකයි කාලට රුහුණු බේකරියෙන් උණු උණුවෙන් දාන පාන් දෙක තුනක් කට්ටිය සල්ලි දාල ගේන්නෙ සිසිල හෝටලේ පරිප්පු මාළු හොදි මික්ස් එකත් එක්ක. පාං ගෙඩි තුන විනාඩි දහයක් ඇතුළත ඉවර වෙන්නෙ ඇඟට පතට නොදැනී. ඒකත් එක්කම හැදෙන ප්ලේන්ටියත් ගැහුවම මරු.

දවල් දාණෙ ගිලල හවස ගෙදර ඇවිත් නෙට් එකෙත් එහෙ මෙහෙ රවුම් ගහලා මේ දවස්වල බලන එක්ස් ෆයිල්ස් එකෙත් තව එපිසෝඩ් එකක් දෙකක් බලාගෙන හිටියෙ බුදු ෆිට් එකේ. මායා දමයන්ති කියන 'පුරහඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ' සින්දුව මොකක්දෝ රියැලිටි ෂෝ එකක කෙල්ලෙක් කියනව නියමෙට. ඒක ඉස්සර ටීවි එකේ ගියා විෂුවල් එකකුත් එක්ක. මායා දමයන්ති සාරියකුත් පටලගෙන වැවක් අයිනට වෙලාද කොහෙද ඒ සින්දුව කියනවා. නළලෙ තිලකයක් තිබුණද කියල මතක නෑ. ඇත්තට මරු සින්දුව. ගී පැදුරට ලිව්වද මන්දා. මොනව වුණත් රියැලිටි කෙල්ලගෙ වොයිස් මරු. සින්දුව ඉවරයි. දැන් ඇහෙන්නෙ විනිශ්චය බුවාල ඒකිට මොනව හරි කියන්න ඕන කමට කියවන බයිල ටිකක්. අම්මල පැල් බැඳගෙන ඒව ෆලෝ කරනව. මම මගේ ලෝකෙ වෙනම ෆලෝ කරනව. අපි දෙන්නගෙ වෙනසක් නෑ. ඒ අතරෙ චිකන් ගන්න සල්ලි නැති නිසා ගෙනාපු චිකන් රසැති සෝයා මීට් එක්ක අම්ම අලුතෙන් හොයාගෙන තිබුණ බිත්තර පපඩං අනාගෙන රතු ලූණු ගෙඩි දෙක තුනකුත් හපාගෙන බත් ටිකකුත් කාල හැරෙද්දි තමයි අභ්‍යන්තර විප්ලවයක් පටංගන්නව කියල තේරුණේ.

දානෙට හම්බුණ කිසිම එකක් අවුල් වෙලා තිබුණෙ නෑ. මස් මාළු මුකුත් නොතිබුණ පියෝ වෙජිටේරියන් කෑමක් නිසා එහෙම අවුලක් වෙන්නත් බෑ. ඒත් මොකක් හරි අවුල් ගිහින් තියෙනවා. මුලින් වැඩේ සිම්පල් එකක් වගේ වුණාට පිඟාන හෝදන්න කුස්සියට ගිහින් ටිකකින් තමා බරපතල වෙන්න ආවෙ. හොඳ වෙලාවට වෙන කවුරුවත් ටොයිලට් එකට රිංගල නොහිටියෙ. ඇතුළට ගියෙ පැය බාගෙකට එන්නෙ නෑ කියාගෙන. කොහොමත් වැඩේ බරපතල වුණත් නැතත් ටොයිලට් එක කියන්නෙ පැය කාලක් බාගයක් නිදහසේ ගත කරන්න පුළුවන් තැනක්.

ඒක ගැන ගොඩක් ඉස්සර ඉඳන් අපි කතා කරල තියෙනව. ටොයිලට් එක මාර නිදහස් තැනක්. අතිශය පෞද්ගලික තැනක්. ඒකෙන් එළියෙදි ඕන කෙනෙක්ට, අපේ ජීවිතේට එබෙන්න පුළුවන්. අපිව මොනිටර් කරන්න පුළුවන්. අපි ගැන තීරණය කරන්න පුළුවන්. ඒත් ටොයිලට් එක එහෙම නෙවෙයි. දොර වහගත්තට පස්සෙ ඒක කොච්චර ගඳ ගැහුවත් ගාණක් නෑ. අපි බොහොම සැහැල්ලු වෙන තැනක් ඒක. මානසිකව ගත්තත් ශාරීරික ක්‍රියාවලිය පැත්තෙන් ගත්තත් ටොයිලට් එක අපිව බරකින් නිදහස් කරන තැනක්.

දොරක් සම්පූර්ණයෙන් වැහුණම තියෙන ආරක්ෂිත හැඟීමත් එක්ක මිනිස්සු වැඩි වෙලාවක් ටොයිලට් එකේ ඉන්න හින්දද මන්දා ඔය පොෂ් තැන්වල පොදු වැසිකිළිවල සම්පූර්ණ දොරක් වෙනුවට දො‍රේ යටින් හිස් ඉඩක් තියෙන බාග දොරක් තියෙන්නෙ. සමහර විට ඒකට වෙන හේතුවක් ඇති. නමුත් ඒක මානසිකවත් බලපානවා වෙන්න ඕන. මොකද සම්පූර්ණයෙන් නොවැහුණු දොරකින් කූඩු වෙල ඉද්දි ආරක්ෂිත හැඟීමක් දැනෙන්නෙ නෑ. ඒ නිසා එහෙම ටොයිලට් එකක් ඇතුළෙදි මනෝ ගහන්න වෙන්නෙ නෑ. ඒ නිසා පොෂ් තැන් වල තියෙන පොදු වැසිකිළිවල ට්‍රැෆික් හිටින්න ඉඩ අඩුයි. මොකද කට්ටිය ඒකට යන්නෙ වැඩේ කරන්න මිස සැහැල්ලු ‍වීමේ මානසික අවශ්‍යතාවය නිසා නෙවෙයි.

පින්තූර කඩේ වැඩ කරද්දි දවසක් රෙසිප්ෂන් එකේ වැඩ කරපු කෙල්ලෙක් පින්තූර කපල කොටල දාමින් හිටපු අපි ළඟට ඇවිත් හිනා වෙවී ආතල් කතාවක් කිව්ව. 'ලේඩීස් ටොයිලට් එක මාර සුවඳයි අප්පා... අර දැන් එළියට ගිය කස්ටමර් මගෙනුයි ලොකේෂන් අහගත්තෙ. එයා එළියට ඇවිත් හෙණ සන්තෝසෙං ගියේ. ලොකූ අමාරුවකින් ගැලවුණා වගේ...' ඒ දවස්වල ස්ටාෆ් එකට වෙනම ටොයිලට් තිබුණෙ නෑ. ස්ටාෆ් එකයි කස්ටමර්ලයි එකම ටොයිලට් සිස්ටම් එක තමයි පාවිච්චි කළේ. මොනව වුණත් අනුන්ගෙ ඒව තරං තමංගෙ ඒව ගඳ නෑ නේද කියල එදා අපි හෙණ වාදයක් පටංගත්තා.

ඒක කියද්දි තමයි ගනේගොඩයට මොරකැටිය හන්දියෙ තිබුණ ටොයිලට් හෝටලේ මතක් වෙන්නෙ. මිනිහට සෙක්ෂන් එකක හෙඩ් තනතුර දුන්නට පස්සෙ උදේ 8 වෙද්දි වැඩට එන්න ඕන වුණා. වෙනද මිනිහ ආවෙ 9 ට. මාසයක් දෙකක් යනකල් මිනිහ 8 ට ආවා. හැබැයි එන අතරමග මොරකැටියෙදි බස් එකෙන් බැහැල අර හෝටලේ ටොයිලට් එකටත් ගිහින් තමයි පොර එන්නේ. මොකද මාසයක් විතර යනකල් මිනිහට ටොයිලට් ටයිම් එක ටියුන් කරගැනීමේ ප්‍රශ්නෙ ආවා. පස්සෙ හෝටලේ මිනිස්සු ගනේගොඩයව දකිද්දිම 'ආ එන්න මහත්තයා' කියල කෙළින්ම ටොයිලට් එක ක්ලියර් කරල දුන්නලු. කොහොම වුණත් පස්සෙ කාලෙක දුමක් ගන්න හෝටලේට ගියත් ඒකෙ කොල්ලො බුවා දිහා බැලුවෙ නෝන්ඩි හිනාවකින්.

ගොඩක් ඉස්සර දවසක මහ රෑ ගමේ ඉඳන් කොළඹ එද්දි රෑ එකොළහට විතර කුරුවිට හරියෙදි මටත් අද වගේම පෙරළිල්ලක් ආවා. දෙතුන් වතාවක් ඉවසල බැරි තැන 'ඉස්සරහ දාල යන්න' කියල බැහැල කෙළින්ම ගියෙ වහන්න ඔන්න මෙන්න කියල තිබුණ සිල්ලර කඩේකට. මං හිතන්නෙ ඒක සිගරට් විකුණන්නම රෑ වෙනකල් ඇරගෙන හිටපු කඩයක්. හොඳ වෙලාවට පිටිපස්සෙ මෝඩ ගඩොල් බිත්ති තිබුණ ටොයිලට් එකක් තිබුණා. ඒක ලෑල්ලක් හේත්තු කරල දොර වහගන්න වෙන විදියෙ එකක්. ලෑල්ලත් දොරට හේත්තු කරලම දියවෙලා ගිහින්. ඇතුළෙ ලයිට් එකකුත් නෑ. ඒ දවස්වල මගෙ ෆෝන් එක ටෝච්, ෆ්ලෑෂ් තිබුණ එකක් නෙවෙයි. ස්ක්‍රීන් එකේ එළියෙන් වැඩ ටික කරගත්ත. මුදලාලි මහත්තය මොනව වුණත් වතුර එකත් ගෙනත් තිබ්බ දොර ගාවින්. මිනිහට ස්තූති කරල මදි හින්දා මම ක්‍රිස්කො පැකට් එකකුයි රට ඉඳි පන්සීයකුයි ගත්ත. සිගරට් ගන්න ඇවිත් හිටපු තවත් හොඳ කොල්ලෙක් උගෙ මොපෙඩ් එකේ දාගෙන ගිහින් මාව කුරුවිට හන්දියෙන් බැස්සුවා.

ඵලදායි තැටමිල්ලත් හරි යන්නෙ නෑ වගේ. මම ආයෙමත් ඉරියව්ව වෙනස් කළේ ඒකෙන්වත් සෙතක් වෙයිද බලන්න.. ම්හු... ඒක හරියන්නෙත් නෑ... උණ්ඩුකපුච්චෙ හරියෙ ඉඳන් මහාන්ත්‍රය දිගේ එහෙ මෙහෙ හතර අතට අඬු විහිදුන ලොකු යකඩ බැකෝ එකක් හිමින් හිමින් බඩවැල් බිත්ති හාරගෙන එනවා. මට දාඩිය දානවා. අම්ම උණු වතුර බෝතලෙන් කෝප්පෙට වතුර වක් කරනවා. ඇඟ ඇතුල ත්‍රීඩී බලන්න පුළුවන් සයිට් එකකින් දැකපු අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතියෙ රූපරාමු හතර පහක් වේගෙන් හිතේ මැවෙනවා. අන්තිමේ රූපයි සිතුවිලියි නැති වෙලා වේදනාව ඉතිරි වෙනවා. කොමඩ් එක උඩ මම ඇඹරෙනවා.

අන්තර්ජාල වැසියෙක් වුණ මුල්ම කාලෙක ලියපු ජරාම ජරා කවිය මගේ නිර්මාණයක්මත් නෙවෙයි. ඒක රවි මහත්තයගෙයි මගෙයි සම නිර්මාණයක්. අයියෝ මිස්ටර් රවි... මට මගඇරුණු සිරා පොරවල් අතරෙ තවත් එකෙක්. ටොයිලට් යන එක සිල්ගන්න එකට වඩා ප්‍රැක්ටිකල් බව කියනව ඇහුණ මුල්ම මනුස්සයා. ඒ වෙද්දි වාක්‍යයක් නොවී මගේ හිතේ තිබුණ ඒ අදහස මගේ පිස්සු අදහසක් නොවෙන බව කියපු මනුස්සයා.

වේදනාව ගුද මාර්ගයේ කෙළවරට ඇවිත් නතර වෙලා තියෙන්නෙ මොන කෙහෙල්මලකටද?.. සාමාන්‍යයෙන් අන්තිම හරියෙදි සාම්ප්‍රදායික තැටමිල්ල හොඳට වැඩකරනව වුණාට මේ පාර ඒකටත් උත්තර නොදී ඉන්න තරං හයිය තියෙන්නෙ මොන විධියෙ එකකටද? මම කාපු මොකක්ද මේ පිස්සු කෙළල තියෙන්නෙ... බැකෝ එකේ දිග අඬුව මොකක හරි පැටලිලාද? මොන මල මගුලක්ද... මට තේරෙනව මේකෙන් පස්සෙ බඩු ඉවරයි කියල. ආයෙ කොහෙවත් වේදනාවක් දැනෙන්නෙ නෑ. ඉතිං මේකෙන් පස්සෙ සම්පූර්ණයෙන් මං නිදහස් කියල මං දන්නව. මට ස්වර්ගස්ථ වෙන්න පුළුවන් කියල මං දන්නව. මට මොහොතකට නිර්වාණයට සමවදින්න පුළුවන් කියල මං දන්නව. මං ඉන්නෙ ඒකෙ දොර ගාව කියලත් මට තේරෙනව. අයියෝ..හ්... ඉක්මනට එළියට පලයංකො බෙට්ට!

Tuesday, 31 July 2012

ප්‍රේමකීර්ති, ගනේගොඩ, අම්මා සහ මම


ප්‍රේමකීර්ති එක විධියකට වීරයෙක් විධියට මම සලකන පුද්ගලයෙක්. ඔහු වීරයෙක් වුණේ ගනේගොඩ අයිය නිසා. රජයේ චිත්‍රපටි අංශයේ ඉන්න කාලෙ ප්‍රේමකීර්තිව පුද්ගලිකවම දැනගෙන හිටපු ඔහු ප්‍රේම්ගේ උග්‍ර රසිකයෙක්. ඒ නිසාම අපි සෙට් වුණාම පට්ට ගහන මර්වින් පෙරේරගෙ සින්දු ටික අස්සෙ ගනේගොඩ සැරින් සැරේ ප්‍රේමකීර්තිව මතක් කරන්නෙ ඔහුගෙ වචන අතර මාව අතරමං කරමින්.

ප්‍රේමකීර්ති මං මුලින්ම අඳුනගන්නෙ රූපවාහිනියෙ මහජන සම්පත වැඩසටහනින්. ඒ කියන්නෙ 1986-88 වගේ කාලෙ වෙන්න ඕන. මම හෙණ පොඩියි. ඒ වුණාට අම්මට ඒක බලන්න උණක් හැදිල තිබුණ. අම්ම එක්ක මමත් ඒක බලනව. ඒකෙ ආරම්භක නිවේදකයෝ වුණේ ප්‍රේමකීර්ති, රේණුකා බාලසූරිය සහ නිල්මිණි සිගේරා. ‍දිනුම් වාරයක් පාසා රේණුකයි නිල්මිණියි මාරු වුණා. මම නං ඒ දවස්වල(ත්) කැමති රේණුකාට :P ඔය වැඩසටහන හිට් වුණේ ප්‍රේමකීර්ති නිසා. පැය බාගයක් විතර විකාශනය වෙද්දි ඔහු සෑහෙන්න රස කතා ගොඩක් කියෙව්වා. ප්‍රශ්ණ ඇහුවා. තැපැල්පත් වලින් ප්‍රශ්ණ වලට පිලිතුරු ගෙන්නුව කියලත් මතකයි. ඒක ලොතරැයි වැඩසටහනක් වුණත් සෑහෙන්න රසවත් එකක් වුණා.

පසුව ප්‍රේමකීර්ති මෙහෙයවනවා 'හරි පුදුමයි නේද?' කියල එකක්. ඒක ඔය ලොතරුයි වැඩසටහන අස්සෙම ගියාද වෙනමම ගියාද කියල මතක නෑ. නමුත් ඒකෙ විකාශනය වුණෙ ඔය ලෝකෙ තියෙන පුදුම සහගත දේවල් ගැන. ඔහු ඒ හැම දෙයක් ගැනම කියල අවසන් කළේ 'හරි පුදුමයි නේද?' කියල අහලා. දැන් නම් අපි ඒ පෙන්නපුව වගේ ඒවට කියන්නෙ hoax කියලා.

ඒ කාලෙදිම ඔහු හැම ඉරිදාම (මතක විධියට පස්සෙ සෙනසුරාදාත්) ආයුබෝවන් වැඩසටහනින් හම්බවෙනවා. ඒවට ඔහුත් එක්ක නිවේදනයට අසෝකා වනමලී, අනෝමා වත්තලදෙණිය, රවි ජෝන්, අරුන් ඩයස් බණ්ඩාරනායක වගේ අය සම්බන්ධ වෙනවා. ඒකෙ හිටපු අයගෙ නම් මතක නැති එක නම් හෙණ අපරාදයක්. ඒ වැඩසටහන් අපි මගඇරියෙ නැති තරම්. (ඉරිද ඉස්කෝලෙ නොගිය එකේ වාසිය :P) එක එක රස කතා, විහිළු වගේම මොළේ කචල් වෙන විධියෙ ගැටළු ගොඩකින් ප්‍රේමකීර්ති සන්නද්ධ වෙලා හිටියා. ඒ දවස්වල මම දන්නෙ ඔහු රූපවාහිනී නිවේදකයෙක් කියල විතරයි. ඒ වෙද්දි අම්මත් මමත් දෙන්නම ඔහුගෙ උග්‍ර පංකා හෙවත් fans බවට පත්වෙලයි හිටියෙ.

ඔහු මිය ගිය ප්‍රවෘත්තිය අපට අදහගන්න බැරි එකක් වුණා. ඒක අපට කිව්වෙ තාත්තා. ඔහු ඒක දැනගෙන තියෙන්නෙ ගුවන්විදුලියෙ පාන්දර ප්‍රවෘත්ති වලින්. අම්මයි මමයි දෙන්නම ඉන්න තැන තාත්ත ඒ ගැන කිව්වෙ 'අන්න ඔය දෙන්නගෙ යාළුවට වෙඩි තියල' කියලයි. ඊට පස්සෙ මම සාමාන්‍ය විධියට හැසිරෙන්න උත්සාහ කලත් එදා දැණුන ඒ හැඟීම වචන වලින් කියන්න බැරි එකක් බව මම අද දන්නවා. ඒ හැඟීම ආයෙම දැණුනෙ 1993දි ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය දවසෙ. දේශපාලනය ගැන මෙලෝ දැනුමක් නැති වුණාට ඒ කාලෙ ඔහු අපට පෙණුනු/පෙන්නපු පරමාදර්ශයක් වීමයි ඒකට හේතුව.

ඊට පස්සෙ කතාව සාමාන්‍ය වෙනවා. ප්‍රේමකීර්ති තියා සංගීතෙත් නොදැණුන කාන්තාරමය කාලෙකට පස්සෙ ආයෙත් ඔහු මට අනුව පොරක් වෙන්නෙ 2003දි ගනේගොඩව හම්බ වුණාට පස්සෙ. මර්වින්ගෙ සින්දු අස්සෙ ප්‍රේමකීර්ති ලියපුව ගනේගොඩ අඳුණගන්නෙ වචන වලින්. මට ඒ ගැන තේරුමක් නොතිබුණත් ගනේගොඩ අයියට ප්‍රේමකීර්තිගේ වචන ගැන ඒ තරම් දැනුමක් තිබුණා.

හැම සිදුවීමක්ම මට මතක නැතත් ප්‍රේම් ලියපු මර්වින් කියන 'නිමා නොවෙන පෙම් හැඟුම්' කියන සින්දුව ගනේගොඩ මට තේරුම් කරපු විධියනං මතකයි.

'උඹ ලව් කරන කෙල්ල එක්ක යද්දි වෙන කෙල්ලො දිහා බලන්නෙ නැද්ද?'

ගනේගොඩ ඇහුව.

'නෑ'

මම ඒ දවස්වලත් හෙණ පඬිය.

'අනෙ පළයං බං යන්න බොරු නොගහ'

ගනේගොඩගෙ කිණ්ඩි හිනාව මාව කූඹියෙක් කලා.

'බලන්න ඕන වුණාට බලන්නෙ නෑ ඉතිං හරි නෑනෙ'

මං ෂේප් වුණා.

'ඒක තමයි කියන්නෙ. උඹ කොයි තරම් ලව් එකේ හිටියත් උඹේ හිත හැම තැනම යනවා. බලපං ඔය සින්දුවෙ කියන්නෙ ඒක ගැන තමයි'

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම්
සොරෙන්

'ඕකෙ විධියට උඹ උඹේම කියල ගෙයක් හදාගෙන ඉන්න ගියාට හිත උඹටත් නොදැනීම පිටවෙලා වෙන ගෑණු පස්සෙ යනවා... පෙම් හැඟුම් කියන ඒව එක ගෑණියක් කියල සීමාවක් දාගෙන තියාගන්න පුළුවන් ඒව නෙවෙයි.'

ගනේගොඩ කියාගෙන ගියා. මම සින්දුව රිවයින් කරල මුල ඉඳන් ඇහුවා.

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්

පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්
නුරා ලවන් සොයා පියා සලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...

හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...



'එහෙම වෙනව කියල උඹ උඹේ කෙල්ලට ආදරේ නැති ලබ්බක් නෙවෙයි කියන්නෙ. ආදරේ එහෙම්මම තියෙයි. හිතේ සීමාවක් නැති එක ගැනයි කියන්නෙ'

මම එදා ඒක තේරුම්ගත්තෙ ආදරේ සහ කෙල්ලො ගැන මට තිබුණ ප්‍රශ්ණ ‍කීපයක්ම විසඳගෙන. පෙම් හැඟුම් නිමා වෙන්නෙ නෑ...

එදා ඉඳන් අද වෙනකල් ගනේගොඩ එක්ක සෙට් වෙන ඕනම වෙලාවක සින්දු කියන්න පුළුවන් මෝඩ් එක ආවොත් මර්වින්ගෙ සින්දු සෙට් එක වරදින්නෙ නෑ. ඒක අපිත් එක්ක සාමාන්‍යයෙන් සෙට් ‍වුණ පුද්ගලයින් අනුව නිරායාසයෙන්ම ඉදිරිපත් වුණ ඉල්ලීමක් වුණා. කවදාවත් සින්දුවක් පාඩම් හිටල නැති මට 'කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී' සින්දුවෙ අන්තරා කෑලි පැටලිලා හරි මතක හිටියෙ ඒ සෙට්වීම් නිසා. ඒ හැමවෙලේම ප්‍රේමකීර්තිගෙ වචන ගැන ගනේගොඩ පුන පුනා කියන්නෙ ඔහු ගීතය තනිකරම වචන වලින් ආස්වාදනය කරපු නිසා. ඒ වගේම ඔහුත් එක්ක මෝටර් සයිකලේ ගිය කතා, බේබදු කතා, සහ අඹ ගැට වලට තිබුණ ප්‍රේම්ගෙ පෙරේතකම ගැන කතා ගනේගොඩ සැරින් සැරේ කියවනව.

ඒ එක්කම ඒ අර්ථයෙන් ප්‍රේම් දිහා බලන්න මමත් හුරු වෙනව. ඔහු මගේ වීරයෙක් වෙන්නෙ එහෙම. වික්ටර්ගෙ මර්වින්ගෙ ප්‍රියාගෙ සින්දු අහද්දි මම ඒ සංවාද වලට යන්නෙ නිරායාසයෙන්.

ප්‍රේමකීර්ති ගැන අයිටීඑන් එකේ ගිය අවුරුද්දෙ ගිය ප්‍රෝග්‍රෑම් එක මට බලන්න බැරි වුණා. ඒක මේ වතාවෙ ආයෙමත් පෙන්නුවා. ඒකෙදි දිලීප අබේසේකර මරු කතාවක් කිව්වා. 'ප්‍රේමකීර්ති ජීවත්වෙලා හිටපු කාලෙදි කරපු දෙවල් බැලුවම ඔහු මේ වෙනකොටත් ජීවත් වෙලා හිටියනම් කොහොම දේවල් කරයිද කියල හිතාගන්න බැහැ. ඔහු චිත්‍රපටියක් කරන්න තිබුණා. ටෙලි නාට්‍යයක් කරන්න තිබුණා. අපට පුළුවන් ඒ ගැන හිතල ඔහු කරපු ටික රසවිඳින්න විතරයි'

ඔහුගෙ අතිවිශාල හිතේ තිබුණ දේවලින් අපි දන්නෙ බොහොම පොඩ්ඩක් විතරයි. සමහර විට ඔහු ජීවත්වෙලා හිටියනම් ලොකු දෙයක් නොවෙන්නත් පුළුවන්. නැති දේ ගැන දුක් වෙන එක අපි කාටත් පොදු දෙයක්.

අන්තිමේදි ඔහු වෙනුවෙන් අපට කරන්න පුළුවන් ඔහුගේ නිර්මාණ බෙදාගන්න එක. ඒ රසය ඒ ගැන නොදන්න අයට යොමු කරන එක. මේ සටහන ඒකට පොඩි තල්ලුවක් වෙයි කියල හිතන එක ඇරෙන්න මටත් කරන්න දෙයක් නැති තරම්.

ප්‍රේමකීර්ති සම්බන්ධයෙන් මම මුලින්ම ලියන්න ගියේ ක්ලෝඩ් ප්‍රනාන්දු මහත්තය ලියපු ලිපියක් ආශ්‍රයෙන් කරපු පරිවර්තනයක්. ඒක කම්මැලිකමත් එක්ක සම්පූර්ණ වුණේ සෑහෙන්න හෙමින්. නමුත් ඒකත් බ්ලොගේ දානව.

ප්‍රේම් ගැන අනාගතේදි වෙන දෙයක් ගැන ඊටත් පස්සෙ...

Wednesday, 6 July 2011

‍පැත්තකට කෙළ හලමින් තක්කාලි සෝස් හැදුවෙමි


තක්කාලි සෝස් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියල කාලෙකට ඉස්සර ආරංචි වුණ වෙලේ ඉඳන් ගෙදර තක්කාලි සෝස් හදන්න මට හෙන.... පොඩි ආසාවක් ඇති වුණා. ඒත් එක එක එව්ව මෙව්ව නිසා ඕක හදාගන්න එක ටිකෙන් ටික කල් ගියා. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔය සුකුරුත්තන් කෑම හැදුවෙ තාත්ත. අම්ම නං ගොඩක් අනිත් අම්මල වගේම ටීවී එකේ හදන හැම කෑමක්ම බලාගෙන ලියාගත්තත් කවදත් එකම රෙසිපිය දාන්න කමයි කැමති. කොහොම හරි අන්තිමේ ඔය වැඩේ ඇඟේ ගහන්න උන්න අපේ තාත්තත් යන්න ගියා. ඒකෙන් වුණේ වැඩේ මටත් අමතක වුණ එක.

පහුගිය දවසක ඔපීසියෙ කෑම වෙලාවෙදි කාන්තාවො සෙට් එක කතා වුණා තක්කාලි වල ගණන් සෑහෙන්න අඩු වෙලා... කිලෝව රුපියල් 10-15ටත් තියෙනවා කියල. ඔතනදි තමයි අර හැංගිල තිබුණ තක්කාලි සෝස් හැදීමේ ආසාව ආයෙත් මතුවුණේ. එදාම ඕක අම්මට කියල බැලුව. බැලින්නම් එයත් ඒ වෙද්දි ඔය ලොයිඩ් මහත්තයගෙ වස සරණිය එහෙම බලල වැඩේ පොඩ්ඩක් අල්ලගෙනයි හිටියෙ. ඉතිං බල බලා ඉන්නෙ නැතිව අම්මට කිව්ව පොළට ගියාම තක්කාලි කිලෝවක් විතර ගේන්න කියලා...

මම තක්කාලි සෝස් හදන වීඩියෝ කීපයක් හොයල ඒව අම්මටත් පෙන්නුව. ඊට පස්සෙ ඔන්න පහුගිය දවසක අම්මයි මමයි දෙන්න එකතු වෙලා හදන්න පටන් ගත්ත තක්කාලි සෝස්.

තක්කාලි සෝස් හැදිල්ලෙ විශේෂත්වය තමයි ප්‍රධාන ක්‍රමය ඇරුණම සෝස් එක හදන්න ක්‍රම ගොඩක් තිබීම. ඒ එක්කම තමන්ගෙ කැමැත්ත අනුව ඒකට එකතු කරන්න පුළුවන් රසකාරක වල සීමාවකුත් නැහැ. ඒ වගේම තමන්ට කැමති විධියට තක්කාලි වලට අමතරව වෙනත් එලවලු වලින් පොඩ්ඩක් බැගින් එකතු කරගන්නත් පුළුවන්.

එහෙනම් අපි හදමු. මේක ගැන පෝස්ට් එකක් ලියන්න පුළුවන් නේද කියල මතක් වුණේ පස්සෙ නිසා පියවරෙන් පියවර දාන්න නම් පින්තූර නෑ. තියෙන ටිකත් මගෙ K770i එකෙන් දුර්වල ආලෝක තත්ත්වය උඩ ෆ්ලෑෂර් සහිතව සහ රහිතව ගත්තු එව නිසා කොලිටිය පිළිබඳ සමාව භජන්න.


අවශ්‍ය ද්‍රව්‍ය -

ඉදුණු තක්කාලි කිලෝවක් පමණ

සීනි ග්‍රෑම් 75ක්

ලුණු කුඩු මේස හැඳි 1ක් හෝ අවශ්‍ය ප්‍රමාණයට

හෝ මිරිස් කරලක් දෙකක් (මේවට නයි මිරිස් කියලත් කියනවා. වෙන නමක් තියෙනවද දන්නේ නෑ.. හෙන සැරයි සහ සුවඳයි. මේව අපි හිතල දැම්මේ සුවඳ වෙන්නත් එක්ක... කරල් දෙකක් ටිකක් වැඩියිත් වගේ.)

කෑලි මිරිස් මේස හැඳි 2-3ක් (සැරට ඕනනම් තව දාන්න පුළුවන්. මම හෝ මිරිස් දාපු නිසා කෑලි මිරිස් ඒ තරම් දැම්මෙ නෑ.)

කරපිංචා ටිකක්

කෝන් පිටි හැඳී කීපයක් (ඔය කෑම හදන උදවිය මේවට කියන්නෙ කෝන් ෆ්ලා කියල. මේව නැතත් අවුලක්නම් නැති වෙයි.)

සුදු ළූණු බිකි 5-6ක්

තව ඔය එනසල්, කරාබු නැටි, ගම්මිරිස්, කුරුඳු වගේ රසකාරක ඕන දෙයක් පොඩ්ඩ පොඩ්ඩ

ඔලිව් ඔයිල් නැති නිසා පොල්තෙල් මේස හැඳි කීපයක්

විශේෂ උපකරණ විධියට බ්ලෙන්ඩරයක් සහ ටිකක් ලොකු සිදුරු තියෙන පෙණේරයක් හොයාගන්න වෙනවා. තේ පෙරණ, පිටි හලන එව්ව නෙවෙයි... ඔය පොල්කිරි පෙරන්න ගන්න මිලිමීටරේ විතර සයිස් සිදුරු තියෙන එකක්.


සාදන ක්‍රමය

මුලින්ම තක්කාලි ටික තම්බන්න පුළුවන් තරම ප්‍රමාණයකට වතුර ටිකක් උණු වෙන්න තියන්න. ඒක රත් වෙන අතරෙ තක්කාලි ටික සෝදලා ඒවයෙ පැත්තකින් උඩ ඉඳන් පහලට පොත්ත විතරක් කැපෙන ගානට කැපුමක් දාන්න. වතුර ඩාන්ස් කරද්දි ඒකට තක්කාලි ටික දාල විනාඩි 6-7ක් විතර තම්බන්න.

ඊට පස්සෙ තක්කාලි ටික හැන්දකින් අරගෙන සීතල වතුරෙ දාල රස්නෙ යනකල් ටිකක් වෙලා තියෙන්න දෙන්න. එතකොට තක්කාලි වල පොත්ත නිකංම බුරුල් වෙලා යනව අර කැපුම නිසා. ඒ තක්කාලි එක එක අරගෙන පොත්ත ගලවලා අයින් කරන්න. ලොකු සිදුරු තියෙන පෙනේරය භාජනයක් උඩින් තියලා ඒකට තක්කාලි ටික දාල විනාඩියක් විතර තියන්න වතුර බේරෙන්න. (වතුර බේරුවෙ නැතත් කමක් නෑ... මොකද පස්සෙ වතුර එකතු කරන්න වෙන්නත් පුළුවන්. අපි මේ තියරියට හදන්න ගිය නිසයි වතු‍ර බේරුවේ...)

වතුර බේරෙන අතරෙ අර මිරිස්, ළූනු වගේ ඒව පොඩියට කපල (ලොයිඩ් අංකල් කියන්නෙ චොප් කරනව කියල) තියාගන්න...

ටිකක් උස සාස්පානක් ලිපේ තියල ඒකට තෙල් ටික දාල කරපිංච එක්ක පොඩියට කපාගත්තු එව්ව සේරමත් දාල පොඩ්ඩක් තෙම්පරාදු කර‍ගන්න. ලිපේ ගින්දර වැඩි නොකර මද ගින්නේ තමයි වැඩේ වෙන්න ඕන.

ඒකට වතුර බේරපු තක්කාලි ටික දාල කෑලි වෙන් වෙන විධියට හැඳිගාන්න. විනාඩි 10-15ක් එහෙම කරලා කුරුඳු, ගම්මිරිස්, කරදමුංගු, කරාබු නැටි වගේ හොයාගත්තු සේරම රසකාරක ඒකට දාන්න. ඒ එක්කම කෑලි මිරිස්, සීනි, අවශ්‍ය තරමට ලුණු එක්ක අනිත් නොදාපු සේරමත් දාගන්න. දාල ආයෙත් හැඳිගාන්න. ඒ අතරට කෝන් පිටි මේස හැඳි 2-3ක් ඒ තරලයට එකතු කරන්න. ඒකෙන් සෝස් එක ටිකක් උකු වෙනවා.



ඔය සේරම එකතු කලාට පස්සෙත් තව විනාඩි 20-30ක් විතර හැඳිගාමින් සෝස් එක හදන්න වෙනවා. රස බලල අඩුවැඩිය එකතු කරන එකත් ඒ අතරෙ කරන්න පුළුවන්. උකු වැඩියි වගේ දැණෙනවනම් වතුර පොඩ්ඩක් එකතු කරල ආයෙ හැඳි ගාන්න. ‍ඊට පස්සෙ භාජනේ ලිපෙන් බාල ටිකක් නිවෙන්න තියන්න. බ්ලෙන්ඩර් එකට සේරම දාල ‍විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගන්න. ඊටත් පස්සෙ ඒක ආයෙමත් අර ලොකු සිදුරු සහිත පෙනේරයට දාල තක්කාලි ඇටයි වෙනත් පොඩි නොවුණු හප ටිකයි පෙරල අයින් කරන්න.



දැන් සෝස් එක හරි. මම කලා වගේ ඇඟිල්ල ඔබල ටිකක් අරන් දිවේ ගාල බලන්න :P


අපි හදපු එකේ කඩේ තියෙන ඒවට වඩා ගතියක් තිබුණත් අර නයි මිරිස් කරල් දෙකක් දාපු නිසා ටිකක් විතර සැර වැඩි වුණා මුලදි. අදට දවස් 2ක් වෙනව හදල. දැන් නම් සැර අඩුයි. ගෙදර උන් කන විධියට තව දවස් කීපයක් තියෙයි :D

මේක ශීතකරණයක තියාගෙන සතියක් විතර කන්න පුළුවන් වෙයි. අපි කල් තියාගන්න රසායන ද්‍රව්‍ය නොදැම්ම නිසා ඊට වඩා තියාගන්න නම් බැරි වෙයි.

මේක හැදිල්ල ඉගෙනගන්න බලපු වීඩියෝවක විධියට හරියටම සෝස් එකේ පදම එන්න නම් ඒක පැය 1 1/2ක් ලිපේ තියන්න ඕනලු.

විනාකිරි සහ සෝඩියම් බෙන්සොඒට් එකතු කරල මේක බෝතල් කරල කල් තියාගන්න පුළුවන් විධියට හදාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් අපි දන්නෙ එකම එක තක්කාලි සෝස් එකක් වුණාට ‍තක්කාලි සෝස් කිව්වම එකක් නෑ.... ඒක වෙනත් කෑමක් රස කරන්න පාවිච්චි කරන එකක් නිසා තමන්ට උවමනා දේවල් එකතු කරල සහ උයන වෙලාව වෙනස් කරල සෝස් එකේ රස සහ ස්වභාවය වෙනස් කරගන්න පුළුවන්. මම දැකපු එක වීඩියෝවකදි කෙනෙක් කැරට්, බෙල් පෙපර්, ගෝව වගේ ඒවත් දැම්මා... මොනව වුණත් ගොඩක්ම තියෙන්නෙ තක්කාලි නිසා බ්ලෙන්ඩ් වුණාට පස්සෙ ‍කෝකත් තක්කාලි සෝස් තමයි.

මේක ගැන හොයද්දි මේ සෝස් හැදිල්ල ගැන සිංහලෙන්ම කියාදෙන වීඩියෝවක් හම්බ වුණා. ඒක මෙතනින් බලන්න. ඒ එක්කම ඒ සයිට් එකත් ගොවිතැන් ගැන උනන්දු අයට මරුවට හිතට අල්ලයි.

ඔයිට අමතරව එක එක විධි වලට තක්කාලි සෝස් හදන විධි දැනගන්න මෙතනින් පුළුවන්!

Thursday, 24 March 2011

මගෙ අම්මා සහ ඇගෙ අම්මා | සියළු සත්වයෝ දුප් යන්න



මේ කියන්නට යන සිදුවීම් කීපය මුල් කරගෙන මගෙ අම්මාවත් ඇගෙ අම්මාවත් විග්‍රහ කරන්නට නොයන මෙන් මුලින් ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.

මුලින් මගෙ අම්මාගේ කතාව කියන්නට උවමනාය.

තාත්තා නැති වූ පසු අම්මාගේ හිත හදන්නට එකී මෙකී නොකී සියළු දෙනා එක එක විජ්ජා යෝජනා කළෝය. කට්ටියක් කියවන්නට සුදුසු එක එක බැරෑරැම් පොත්පත්ද, පත්තරද ගැන කියවීය. මනස ගැන කියවන්නට උපදෙස් දුන්නෝය. නිවන ගැන බරපතල පොත් ගැන කිව්වෝය. අහන්නට හොඳ ධාර්මික ගීත ගැන ගායනා කළෝය. නින්දට යන විට අසන්නට කියා අලවතුරේ බ්‍රෑන්ඩඩ් හොඳ කවි බණ කැසට් නිර්දේශ කළෝය.

හැමෝටම උවමනා වූයේ තාත්තාගෙන් හිස්වූ අම්මාගේ හිතේ ආගම පුරවන්නටය. හාවක් හූවක් නැතිව සියල්ලටම කන් දුන් අම්මා දැන් ඉස්සර ජීවත් වූ ලෙසම ජීවත් වන්නීය. ඇය පන්සලට ගියේ මරණාධාර සමිතියේ රැස්වීමට පමණි. විශේෂයෙන් ඇසූ බණක්ද නැත. ඒත් ඇයගෙන් කාටවත් කරදරයක්ද වූයේ නැත. යහපත්ව ජීවත් වන්නට පන්සලවත් අගමවත් අත්‍යවශ්‍ය නැත කියන කාරණේ ඇයට කියා දී තිබුණේ පන්සලේ පස් නොපෑගූ තාත්තාය.

ඒත් තාත්තාගේ මරණයෙන් තෝන්තු වී සිටි ඇයට ආගමික පුරුදු එන්නත් කිරීමට ඇගේ අම්මා හෙවත් මගේ ආච්චි අම්මා තැත් දැරුවාය. අවසානයේ සීයාගේ මරණයෙන් පසු තමා ප්‍රතිස්ථාපනය වූ අයුරින්ම අම්මාවද සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට ආච්චි අම්මා සමත් වූවාය. දැන් අපෙ අම්මා බුදුන්ට පහන තියන්නීය. හවස හයට මල් පූජා කර හඳුන් කූරක්ද දල්වා බුදුන් වඳින්නීය. ආච්චි අම්මා විසින් නිර්දේශ කරනු ලැබූ ගාථා අඩංගු පොත් වහන්සේ ළඟ තබාගෙන එම ගාථා කියවන්නීය. ඇගේ මේ වතාවත් හවස හයේ සිට නොවරදින දෛනික පිළිවෙතක් බවට පත් වී ඇත.

...............................

අපෙ අම්මා බළලුන්ට කැමති නැත. උන් ඇල්ලීමටද කැමති නැත. උන්ගේ ඥාව්වද ඇයට හිරිහැරයකි. බළලුන්ට ආදරය කරන්නට අම්මාට උගන්වන්නට තාත්තා අසමත් වුවත් තාත්තා විසින් නිවසේ ඇති කරන ලද බැළලිය වෙත අම්මා තවමත් කරුණාව දක්වන්නීය.

එම බැළලිය විසින් ප්‍රසූත කරන ලද පැටවුන් දෙදෙනෙක්ද මේ දිනවල අප නිවසේ වෙසෙයි. තවමත් දොට්ටපිලට යාමට උවමනා වූ විට නිවසෙන් එලියට යාමට අසමත් මුන් ගේ හැමතැනම උන්ට රිසි අහු මුළු සුවඳ කරයි. මෙය අම්මාට ඉවසුම් නොදෙන්නකි. නිවසේ වූ බළලුන්ගේ අතිශයින් දුර්ගන්ධ වූ මළ පිරිසිදු කිරීමද, මුත්‍රා පිස දැමීමද ඇය කලේ බළල් පැටවුන්ටද උන්ට කිරි දෙන උන්ගේ මෑණියන්ටද බැණ වදිමින් බව මම දනිමි. එයට තිබූ අකමැත්ත නිසාම ඇය බළලුන් නිවසේ අහුමුළු වෙත, කාමර වෙත ඇදෙනවා දුටු සැණින් ආවේස වී උන් එලවන්නීය. එවිට ඇය උන් හිටිතැන් අමතක වන තරමටම විස්සෝප වන්නීය.

මේ සිදුවීම සිදු වන විට අම්මා සිටියේ නිවසේ බුදු පිළිමය තබා තිබූ වේදිකාව යට කුෂන් එකක් දමා එහි හිඳගෙන ඇ‍ගේ දෛනික වන්දනාවේ යෙදෙමිනි. නිහඬ පරිසරය අතරින් ඇයගේ මිමිණීම මට ඇසුණි. බුදු ගෙය අසලම පුටුවක මා සිටියේ කියවමිනි.

එක් වරම අම්මා කෑ ගැසුවාය.

"දු:ප් යන්න"

මම හැරී බැලුවෙමි. අම්මා වහා වන්දනාව නතර කර හුන් තැනින් නැගිට නිවසේ ප්‍රධාන දොර වෙත දිව ගියාය.

"පෙනේද මේකා කරන්න ගිය වැඩේ... මං බලාගෙන හිටියෙ හෙමින් හෙමින් දොර මුල්ලට කිට්ටු කරනව... දැක්කෙ නැත්තං චූ කරනව."

ඇය බළල් පැටවෙක් සෙමෙන් පාදයෙන් තල්ලු කර නිවසෙන් එළියට දැමීය. පසුව නැවත පැමිණ දොහොත් එක්කොට වඳින්නට වූවාය.

...............................

ඇගෙ අම්මාගේ හෙවත් මගේ නැන්දම්මාගේ කතාවේ ප්‍රධාන චරිතය ඇය නොවේය. එසේම සාමාන්‍ය දිනයකදී නම් එම සිදුවීම වැඩි දුර නොසිතාම බැහැර කරන්නට මට හැකියාව තිබෙන්නට ඉඩ තිබුණි. එහෙත් මේ දිනය විශේෂය.

එදා ඇගෙ අම්මාගේ නිවසෙන් පන්සලේ දිවා දානය පිරිනමන දිනයයි. සෑම මසකම කලින් වෙන් කරගත් දිනක ඇය බැතිබර සිතින් පන්සලට දානය පිළියෙල කරන්නීය. ඒ සඳහා සම දායකත්වය සපයන්නේ නැන්දම්මාගේ අල්ලපු ගෙදර මිතුරිය වන කාන්ති නැන්දාය. දෙදෙනා ගජ මිතුරියන් වනවා මෙන්ම මෙවන් දාන මාන ආදී කටයුතු වලදී අන්‍යෝන්‍ය වශයෙන් උදව් පදව් කරගනියි.

මෙදින දානය පිළියෙල කිරීමද දෙදෙනා විසින් සිදු කල අතර ඇය හෙවත් මගේ බිරින්දෑද සහයට ඩැනීවරියක් සේ කටයුතු කළාය. මා සාලයට වී සිටියේ පසුගිය සතියේ පුවත් පත දිගඇරගෙනය. පුවත්පත මත දෑස තිබුණද සවනට වැටුණේ කුස්සියේ වූ කතා බහයි.

තිදෙනා එක්ව අර්තාපල් සුද්ධ කිරීම සඳහා සූදානම් වන හඬ මට ඇසේ...

"අනේ ඕක ඔයාට කරන්න බෑ.. කෝ දෙන්න මම කරන්න. මේව පිළිවෙලට කරන්න එපැයි ඔයා යන්න අර කරපිංච, මිරිස් ටික සෝදල ගන්න..."

නැන්දම්මා තම දියණියට පවසන්නීය.

"අනේ ඒක තමයි දූ... අම්මට දෙන්න ඕක කරන්න. දානෙ දෙන්නනේ..."

කාන්ති නැන්දාද ඇගෙ අම්මාගේ පැත්තේය.

කතාවත් වැඩත් එක දිගට ගලා යයි. මමත් පත්තරේ එකම ඡේදය කියවමින් නිදිමතේ සිටිමි. මගේ නිදිමත බිඳුණේ එක වරම ඔවුන්ගේ කතාව වෙනස් වූ බැවිණි.

"ආනේ මේ.... තෙල් කූඹි ආයෙත් ඇවිත්.... බලන්න කාන්ති අක්කෙ මේ තෙල් කූඹි වගයක් ඇවිත් හරිම කරදරේ"

"කෝ බලන්න.... ආ... "

"කලිනුත් ඇවිත් ඉඳල මම පිහිදාල දැම්මා... දැන් ආයෙත් ඇවිත්... මේ.. මේ... බිත්තිය අයින දිගේ එනවා..."

"ඔය කූඹි පිහිදැම්මට යන්නෙ නෑ... ලාම්පු තෙල් දාන්න ඕන... කෝ ලාම්පු තෙල් තියෙනවද?"

"දූ.. ඔන්න ඔය කෑන් එක දෙන්න නැන්දට..."

"කෝ දෙන්න කෑන් එක... පොල් මුඩ්ඩක් කෝටුවක ගැටගහල ගන්න දුව..."

සැර භූමිතෙල් සුවඳක් සමග ඔවුන්ගේ ජරමරය මට ඇසුණි. සෙමෙන් කුස්සිය වෙත ඇදුණු මා දුටුවේ හිරමණ බංකුව මත නැගී කුස්සියේ එක් බිත්තියක භූමිතෙල් ආලේප කරන කාන්ති නැන්දාය. ඇගෙ අම්මා භූමිතෙල් දැමූ පොල්කටුවක් අල්ලාගෙන සිටින අත ඇය ඉණට දෑත තබාගෙන බලා සිටියාය.

...............................

මේ කතා යුග්මයම අප දෙදෙනා විසින් සාකච්ඡා කර ගන්නා ලද අවසන් තීරණය වූයේ අප දෙදෙනා කෙසේ වෙතත් අවම වශයෙන් අපේ අම්මලා‍ එක බෝට්ටුවේ බවය.





හුදු නිර්මාණයක් පමණි. නම් ගම් මන:කල්පිතයි. සිදුවීම් තුල කතාව මවාපෑම පිණිස යොදාගත් චරිත, අන්තර් සම්බන්ධතා සහ අතිශයෝක්ති සහිතයි.

Tuesday, 22 February 2011

තීන්ත බාස්



තීන්ත බඳුණට වැටුණු කෘමියා ඒ මේ අත දඟලන්නට විය. මම වහා බුරුසුව පැත්තකින් තබා දබරඟිල්ල තීන්ත බඳුණට ඔබා කෘමියා එලියට ගත්තෙමි. එහෙත් තිනර් යොදා තනුක කල එනැමල් තීන්ත ද්‍රාවණයෙන් ඌට ගැලවීමක් පෙනෙන්නට තිබුණේ නැත. තීන්ත සීරැවෙන් කෘමියාගේ සිරැර වසා පැතිරී ඌ වර්ණ ගැන්විණි.

මොහොතකින් උගේ දැඟලිල්ල නතර විය. ඌ මට සිතාගතවත් නොහැකි මරණයකට ගොදුරු වී ඇත. ඇඟිල්ල ඒ මේ අත හරවා හොඳින් බැලූ විට කෘමියා මදුරුවෙක් බව පෙණුනි. වෙනදාට හොඳින් දැකිය නොහැකි ඌ ලේ උරා බොන කීලය ලා කොළ පැහැයෙන් වර්ණවත්ව හොඳින් පෙණෙන්නට තිබුණි. පිහාටු යුගල එනැමල් තීන්තෙන් එකට ඇලී දිස් විය. අඬු සහිත සිරුරේ ඉතිරි කොටස ඇඟිල්ල මත තීන්ත ගුලියකින් ඇලී තිබුණි.

මගේ සිතේ සියුම් දුකක් මතු වී එන්නට විය. මම වෙනදාට මදුරුවන් සිත්සේ මරුමුවට යවා ඇත්තෙමි. ඇ‍ඟේ වසා ලේ උරා බොන විටදීද, මදුරු දැල තුලට සිදුරකින් රිංගා නැවත පිටවීමට නොහැකිව පසු දින උදෑසන තෙක් රුඳී සිටි අවස්ථා වලදීද මම කිසිදු හැඟීමකින් තොරව උන් අත්ලෙන් තලා ඇත්තෙමි. මදුරු කරදරය දැඩි කාල වලදී කාමරයේ අහුමුළු වල එල්ලී සිටි මදුරුවන් බිත්තියට අත්ලින් ගසා පොඩි කල සලකුණු අද ද මාගේ කාමරයේ දකින්නට ඇත.

එහෙත් තීන්තෙන් පෙඟී මියගිය මදුරුවා මා තුල දුකක් ඇති කර ඇත.


......................


තාත්තාගේ අභාවයේ තෙමස් පූර්ණ දානමය පිංකම වෙනුවෙන් නිවසේ තීන්ත ආලේප කරන්නට උවමනා වූයේ අම්මාටය. අප නිවස අවුරුදු දහයකින් මෙපිට වර්ණ නොගන්වා දුර්වර්ණ වී තිබූ බැවින් එම අදහසට පවුලේ සියළු දෙනා විවාදයකින් තොරව එකඟ විය. මා තීන්ත උලන්නකු බවට පත්වූයේ එහි ඇවෑමෙනි.

නිවස තුල බිත්තිවල වර්ණ ආලේප කල පසු මම ජනෙල් රාමුවල ආලේප කරන්නට ගෙනා එනැමල් තීන්ත ආලේප කරමින් සිටියෙමි.

තාත්තා පසුගිය වසර කීපයේම නිවසේ තීන්ත ආලේප කරන්නට උනන්දු වූයේ නැත. ඒ පිළිබඳව අම්මා මැසිවිලි නැගූ හැම මොහොතේම 'වැඩ වැඩි කරගන්න එපා' යයි කියමින් තාත්තා එම අදහස ඉවත හෙලීය. නිවසේ වර්තමාන තීන්ත ආලේපය ප්‍රමාණවත් බවත් අනුන් කරන පලියට වසර දෙක තුනක විරාම සහිතව නැවත නැවත තීන්ත ආලේප කිරීම අනවශ්‍ය බවත් තාත්තා පැවසීය. එහෙයින්ම වැඩ වැඩි කර ගැනීමට කිසිසේත්ම කැමති නොවූ මා ද තීන්ත ආලේපය පිළිබඳව උනන්දු වූයේ නැත.

එහෙත් අවසානයේ තාත්තා විසින්ම නිවසේ තීන්ත ආලේප කරන්නට හේතුවක් සපයා දී ඇත.

ඔහුගේ නික්ම යාමේ තෙමස් පූර්ණ පිංකම සඳහා ඉතිරිව ඇත්තේ සතියකට මදක් වැඩි කලකි. සියල්ලෝ ඊට සූදානම් වූයේ බොහොමත්ම සැදැහැවත් සිතකිනි. ධර්ම දේශණයට පෙර, නිවසේ සූදානමේ සිටම දානමය පිංකම අවසානය දක්වාම සියල්ල සැලසුම් වූයේත් ඒවාට අදාල දින වකවානු වෙන් වී වගකීම් බෙදී ගියේත් වසර ගණනාවකින් අප නිවසේ පැවැත්වෙන පිංකම වෙනුවෙන් භක්තිමත් සිතිණි.

මා තවත් කීප දෙනෙකු හා එක්ව කල් තියා තීන්ත ආලේප කරන්නට වූයේ දින ආසන්නවත්ම වෙනත් රාජකාරි අධික වන හෙයිනි.

නිවසේ කවුළු වලට ඉහලින් තිබූ වා කවුළු තුල තීන්ත ආලේපයේදී මම ඒවා තුල බැඳ තිබූ කුඹලුන්ගේ මැටි ගෙවල් කීපයක්ම කඩා ඉවත් කලෙමි. ඒව ඉතා පැරණි වූ අතර මේ වන විට වාසස්ථාන වී තිබුණේ නැත. එබැවින් ඒවා විනාශ කිරීම පිළිබඳ වරදකාරී හැඟීමක් මට දැණුනේ නැත.

නිවස තුල මෙන්ම පිටතද බැඳ තිබූ මකුළු දැල් රාශියක් අම්මා විසින් කොස්සකින් කඩා ඉවත් කරන ලදී. කොස්සෙන් ඉවත් කිරීමට නොහැකි මුළු වල තිබූ සියුම් මකුළු දැල් තීන්ත ආලේප කරන අවස්ථාවේදී කෝටු කැබැල්ලක අමුණා ඉවතලන ලදී. මකුළුවන් කිහිප දෙනෙකුට වඩා මා නුදුටු අතර උන් ඇතැම් විට පැමිණෙන විපතේ සේයාව දැනී කලින්ම ඉවත්ව ගොස් සිටින්නට ඇත.

නිවසට පිටින් සහ ඇතුලතින් විහිදී තිබූ කුහුඹු මාවත් සහමුලින්ම විනාශ විය. ආලේපයට පෙර රෙදි කැබැල්ලකින් ගසා කුහුඹුවන් ඉවත් කලද ආලේපයෙන් පසු උන් ඒ මත ඇවිදින්නට යාමෙන් තීන්තෙහි ඇලී කණ්ඩායම් වශයෙන් මියගොස් සිටි අයුරු මම දුටුවෙමි. උන් මත ආලේප වන සේ නැවතත් බුරුසුවෙන් තීන්ත පාරක් යැවීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.


......................


මම තවමත් මාගේ දබරඟිල්ල මත මියගොස් සිටි මදුරුවා දෙස බලා සිටින්නෙමි. මදුරුවා මහා ජීවිත සංහාරයක් පිළිබඳව මාගේ සිහිය අවදි කලද ඒ වෙනුවෙන් ඌට දිවියෙන්ම වන්දි ගෙවීමට සිදුවී ඇත. ආසන්නව ගත්කල ජීවිත සියයකට වැඩි ප්‍රමාණයක් මේ තීන්ත ආලේප සංග්‍රාමය නිසා විනාශ වී ඇත. නමුත් පිංකම පිළිබඳ හැඟීම බලවත් වී ඇති බැවින් එම ජීවිත සංහාරය පිළිබඳව අප සවිඥාණික වූයේ නැත.

දානමය පින්කමේ පින් බලය ජිවිත සියයක සංහාරය වෙනුවෙන් තුලනය වෙයිද?

මගේ මනස තෝන්තුවන්නට විය. කලාතුරකින් දැණෙන ආගන්තුක තැනක වෙසෙනවා වැනි හැඟීමක් මොහොතකට මට දැණුනි. වහා මේ සියල්ලෙන් පලායන්නට මට උවමනා විය.

මම දබරඟිල්ල මහපටඟිල්ලට තෙරපා දුන්නක් සේ බලය කවා නැවත ක්ෂණයෙන් විහිදා මදුරුවා කවුළුවෙන් පිටතට විසි කළෙමි.

රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක හඬ මට ඇසේ. ඉන් කියවෙන්නේ පැවති අධික වර්ෂාවෙන් හා නාය යාම්වලින් අවතැන් වූවන් සහ මරණයට පත් වූවන් ගැන නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවය.


පින්තූරය මෙතනින්

Sunday, 13 February 2011

ලොකු අක්කා...


මනෝජ් ගීතිකා එක්ක ඉස්පිරිතාලෙට ආවෙ ලොකු අක්කව බලන්න. කලින්දා රෑ රුධිර පීඩනේ වැඩි වෙලා ලොකු අක්කව ඉස්පිරිතාලෙ නවත්තල.

ඉහල මාලෙට නගින පළල් පඩිපෙලේ වයසක සීය කෙනෙක් අමාරුවෙන් හෙමින් හෙමින් අත්වැල අල්ලගෙන ඉහලට නගිනවා...

"නගින්න අමාරුයි නේද සීයා..." මනෝජ් සීයගෙ දකුණු අත යටින් අත දාල සීයව වත්තම් කරගෙන හෙමින් ඉහලට එක්කගෙන ගියා...

සීයා රෝහලේ රෝගියෙක් බව පේන්න තිබුණා. මැණික් කටුවෙ තිබුණ සේලයින් දෙන්න අමුණපු කටුවක්.

ඒත් මේ උඩ තට්ටුවෙ තියෙන්නෙ කාන්තා වාට්ටුවක්.

"මේ... සීය වාට්ටුව වරද්දගෙනද දන්නෑ... උඩ තියෙන්නෙ ගෑණු අයගෙ වාට්ටුවනේ" ගීතිකා මනෝජ්ගෙ කණට කෙඳිරුව.

"සීය හරි වාට්ටුවටද යන්නේ...?" මනෝජ් ඇහුවා.

වැරදි වාට්ටුවට ගිහින් අනිත් පාර බලධාරියගෙන් බැණුම් අහගන්නත් වෙයි උදව් කලා මදිවට...

"නෝන ඉන්නෙ උඩ වාට්ටුවෙ මහත්තයෝ..." සීය හරිම හෙමින් මිමිණුවා...

ඒ කියපු කතාව මනෝජ්ට තේරුණෙ නැතත් සීයට යන්න උවමනා උඩ වාට්ටුවට බව ඒ කතාවෙන් තේරුණ නිසා මනෝජ් ආයෙ මුකුත් කියන්න ගියෙ නෑ...

වාට්ටුව පටන් ගන්න කොරිඩෝව ගාවදි මනෝජ් සීය‍ට සමු දීල ලොකු අක්ක හිටපු පැත්තට හැරුණා. සීය මූණ පුරා හිනාවක් ඇඳන් මනෝජ් දිහා බැලූ බැල්මෙ වචන වලට පෙරලන්න බැරි තරම් ස්තූතියක් ගැබ්වෙලා තිබුණ.

මනෝජ් ගීතිකාවත් ඇදන් සෙනග අස්සෙන් ලොකු අක්කගෙ ඇඳ ගාවට ගියා. අක්කගෙ පුතයි දුවයි දෙන්නත් ඇවිත් හිටිය. ඒ එක්කම ලොකු අක්කලගෙ ගෙදරට අල්ලපු ගෙදර සින්ති අක්කත් ඇවිත්.

ආගිය තොරතුරු කතා කරමින් දොස්තරල කියපුව ගැන අහමින් ඉන්න අතරෙ සින්ති අක්ක කොහේදෝ ගිහින්... එයා නොදන්න කෙනෙක් නෑ ඉස්පිරිතාලෙ... කාව හරි හම්බවෙන්න යන්න ඇති කියල ලොකු පුතා කිව්ව.

ලෙඩ්ඩුන්ට කෑම දෙන කෑම ට්‍රොලිය තල්ලු කරන් ආපු රෝහලේ සේවිකාවො දෙන්නෙක් කෑම ඕන කට්ටියට කෑම බෙදුවා.. මනෝජ් ලොකු අක්කත් එක්ක ආයෙමත් ලෙඩ ගැන කතාව ඇදගෙන ගියා...

"අනේ පව් අර සීයයි ආච්චියි... දෙන්නම වාට්ටු දෙකේ නැවතිලලු... " කොහෙදෝ ඉඳන් ආපු සින්ති අක්ක මැද්දට පැන්නා.

සින්ති අක්ක කවුරු හරි එක්ක කතා කරපු ටිකට ඕපයක් හොයාගෙනද? කට්ටියම බැලුවා සින්ති අක්ක බලන් හිටපු දිහා.

මනෝජ් වාට්ටුවට එක්කරගෙන ආපු සීය තවත් ආච්චි කෙනෙක් එක්ක ඇවිත් කෑම ට්‍රොලියෙන් කෑම ගන්නව. දෙන්න බත් දෙකක් බෙදාගෙන වාට්ටුව කෙළවරේම ඇ‍‍ඳට ගිහින් ඉඳගෙන කන්න පටන්ගත්ත. දෙන්නටම එක වගේ වයස. ඇවිදගන්නෙත් අමාරුවෙන්..

"අනේ හරිම පව්... ළමයි නැද්ද දන්නෙ නෑ..." ගීතිකා මනෝජ්ගෙ අතින් අල්ලගෙන කිව්ව.

"ළමයි හතර දෙනෙක් ඉන්නවලු... සලකන්නෙ නෑලු..." එහෙම කිව්වෙ ලොකු අක්කට අල්ලපු ඇ‍ඳේ හිටපු ලොකු අක්කගෙ වයසෙම වගේ අක්ක කෙනෙක්. එයා ඇ‍ඳේ හරි බරි ගැහිල ඉඳගත්තෙ කතාව කියන්න. ඒ අක්ක කෝච්චියක් වගේ කියවන්න දස්සයි කියල උදේ ආපු වෙලේ ලොකු අක්ක කියල තිබුණ.

"ඔය සීය කෑම ගන්න වෙලාවට ආච්චිව හොයාගෙන එනව. එයා ඉන්නෙ පහල පිරිමි වාට්ටුවේ..."

"පව් නේද..." කව්දෝ කිව්ව.

"ළමයි බලන්නෙ නෑලු... ඔය වැඩිහිටි නිවාසෙන් තමයි ගෙනත් බාර දීල තියෙන්නෙ... ආච්චි දැන් සති දෙකක් විතර ඉන්නවලු..." අල්ලපු ඇ‍ඳේ අක්ක සම්පූර්ණ කතාවම කියනවා...

දරුවෙක්ට එහෙම වෙන්න පුළුවන්ද?

මනෝජ් කල්පනා ලෝකෙකට වැටුණ. මනෝජ්ට අම්මල දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් වදාපු අම්ම. අනිත් එක්කෙනා මේ ලොකු අක්ක. මනෝජුත් ලොකු අක්කත් අතර තිබුණ අවුරුදු 16ක විතර වයස් පරතරේ නිසා පුංචි කාලෙ මනෝජ්වයි අනිත් සහෝදර සහෝදරියො 4 දෙනාවයි හැදුවෙ ලොකු අක්කා... අදටත් පුංචි දේටත් ‍ලොකු අක්ක ගාවට දුවගෙන එන මනෝජ්ට ලොකු අක්ක ගැන තිබුණෙ අම්ම කෙනෙක් ගැන දැණෙන හැඟීමක්. ගීතිකා එක්ක විවාහ වුණ දවසෙ ඉඳන් ලොකු අක්ක ගැන ඒ හැඟීම ගීතිකාටත් පොවන්න මනෝජ් උත්සාහ කලේ ඒකයි.

සීය ආච්චි එක්ක කෑම කාල ඉවර වෙලා ආයෙත් හෙමින් හෙමින් වාට්ටුවෙ කොරිඩෝව දිහාට ඇදුණ. ආච්චි හිස් පිඟන් දෙකත් අතේ තියාගෙන ඇ‍ඳේ ඉඳගෙන බලන් හිටිය. ආච්චිගෙ ඇ‍ඳට අල්ලපු ඇ‍ඳේ හිටපු අම්මව බලන්න ඇවිත් හිටපු තරුණ ගෑණු ළමයෙක් සීයව වත්තන් කරන් එලියට ගියා...

ගීතිකාගෙ ඇස් කෙවෙනි වල කඳුළු බින්දුවක් රැඳිල තියෙනව මනෝජ් දැක්ක.

රෝහල් ආරක්ෂක අංශයෙන් ඇවිත් එලවනකංම මනෝජ්, ගීතිකයි ලොකුපුතයි දුවයි සින්ති අක්කයි එක්ක ලොකු අක්කව ශක්තිමත් කරන්න විහිලුවෙන් තහලුවෙන් පැය බාගයක් ගෙව්වා. රුධිර පීඩනේ පැත්තකට දාල ලොකු අක්කත් කැකිරි පැලුවා.. අන්තිමේ ලොකු අක්කට සමු දීල පස් දෙනාම එලියට ආවා...

පහල තට්ටුවෙ පිරිමි වාට්ටුව පහුකරගෙන යද්දි අර සීය ආයෙමත් හම්බවුණා... එයා කොරිඩෝවෙ එළියෙ දාල තියෙන ඇඳක ඉඳගෙන කොරිඩෝවෙ කණු අතරින් පේන අහස දිහා බලාගෙන කල්පනාවක. මුහුණෙ දරාගන්න බැරි දුකක පෙනුමක්...

මනෝජ්ගෙ අතින් අල්ලන් හිටපු ගීතිකාගෙ අතේ ග්‍රහණය දැඩි වෙනව මනෝජ්ට දැණුනා...


පින්තූරෙ මෙතනින්...

Saturday, 29 January 2011

තාත්තාගේ පුනරුත්පත්තිය…

මම ඉන්නෙ කිසිම හැඟීමක් නැතිව. රාජකාරි තත්ත්වය වෙනස් වෙලා. රාජකාරි අධික වෙලා.

ඒ මදිවට පණ යනකල් වැස්ස. ඔළුවෙ මොළයක් තිබුණනම් පහුගිය සති දෙකේදි ඇදපු හොටු කන්දරාව එක්ක ඒකෙන් බාගයකට වඩා මේ වෙද්දි එලියට ඇදිල තියෙන්න ඕන. හොටු හූරලම පරණ ෂර්ට් එකක් සහ ටී ෂර්ට් එකක් කඩදාසි වෙලා ගිණි තිබ්බා. ඒ තරම් දරුණුවට හෙම්බිරිස්සාවට භාජනය වෙලා ක්‍රමයෙන් හොඳ වෙමින් ඉන්න කාලයක්...

මේ සටහන විය යුත්තේ මොකක්ද, මම ලියන්න ඕන මොනවද කියන එක ගැන සෑහෙන කාලයක් හිතමින් ඉඳල මොනව හරි ලියන්න ඕන කියල මේක ලියල දාන්නෙ මෙහෙම නොලියා ගියොත් ආයෙත් සදා නොලියන තත්ත්වයටම වැටිල ලිවිල්ල එපා වෙන හින්ද. ඒත් ලිවීම කියන්නෙ තාමත් මට මම ගැන වටිනාකමක් දනවන, ජීවිතේ එපාවීම පැත්තට ආනත වෙන එක වලක්වන දෙයක් නිසා ඒකට එහෙම වෙන්න දෙන්න බෑ...

ඒ නිසා මේ සටහනේ නිෂ්චිත හැඩයක් නැති වුණාට පහුගිය මාසයක් දෙකක් පුරා ජීවිතේ සැලකිය යුතු වෙනස්කම් වලට ලක්වෙලා ඒ ආතතියත් එක්ක ගෙවුණ ආතක් පාතක් නැති කාලයක් නිමා කරන්න දරන උත්සාහයක් මේක. කොහොමත් මේ සටහන මම වෙනුවෙන් ලියන එකක්... දැනට ගෙවන ජීවිතේ ගැන මෙහෙමවත් සටහනක් යෙදෙන එකම තැන මෙතන නිසා...

....................................

හ්ම්... තාත්තා...

මාත් තාත්තත් අතර තිබුණෙ මොන වගේ සම්බන්ධයක්ද කියන එක මට අදටත් පැහැදිලි නෑ. ඒ වුණාට ඒක තාත්තයි පුතයි අතර තියෙන සරල, පොත්වල තියෙන සම්බන්ධයකට වඩා වෙනස් එකක්. ඒකෙන් මම කියන්නෙ නෑ අනිත් තාත්තල සහ පුතාල අතර තියෙන සම්බන්ධ බෝරිං කියල. තාත්තයි මායි අතරෙ තිබුණ සම්බන්ධෙ පිටට පේන්න ඇත්තෙ නම් බෝරිං විධියට තමයි. ඒ වුණත් අපි අතරෙ තිබුණ සම්බන්ධයට අර "ස්ටෑන්ඩඩ්" කියන කෑල්ල සම්බන්ධකරන්න මට බෑ. වෙලාවකට ඔහු මගේ තාත්තා වුණා. ඒ අතරෙ මගෙ මිතුරෙක් වුණා... හතුරෙකු වුණ වෙලාවලුත් තියෙනවා... ඒ සේරම අස්සෙ දෙන්න අතරෙ ලොකු අවබෝධයක් තිබුණා. හැබැයි අර තාත්තයි පුතයි අතර තියෙන සම්බන්ධය ගැන ප්‍රසිද්ධ කතාවෙ වගේ මටත් මගේ තාත්ත ගැන ලොකු අවබෝධයක් ලැබුණෙ අවුරුදු කීපයකට එපිටදි. ඒ කියන්නෙ සැලකිය යුතු තරම් මෑතකදි.

ඔහු අපේ ජීවිතේ පාලනය කරනව කියල එක අතකින් හිතුණට ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් පාලනය කරගෙන, වෙනස් කරගෙන ඉන්න බව මට තේරුණේ සෑහෙන්න මෑතකදි. ඒ අවබෝධය මාව ඔහුට ගොඩක් කිට්ටු කලා. ඒ එක්කම මම ඔහුගෙන් වෙනදට වඩා ඉගෙනගන්න උත්සාහ කලා...

ඔහු මට හමුවුණ නිර්මාණශීලී කලාකරුවන් අතරින් ඉහලම කෙනෙක්. ඔහු ජීවිකාව කරගත්තු ලිපිකාර රස්සාව රස්සාවක් විතරක් වුණාට විනෝදය වෙනුවෙන් ඔහුට තව සෑහෙන්න දේවල් කරන්න හැකියාව තිබුණා. ගෙදර පුරාම තියෙන්නෙ ඔහු‍ නිම කරපු ලියකම්. රුක් කලා. ඒ එක්ක ගෙදර කෑම මේසයෙන් පටන් අරන් කනප්පු සහ කාමර වල දොරවල් හෙමින් හෙමින් ඔහු කරපු නිර්මාණ. යමක් කරන දිහා බලාගෙන ඉඳල ඒක ඉගෙනගන්න තිබුණ හැකියාව එක්ක ඔහුට තව සෑහෙන්න දේවල් කරන්න පුළුවන්කම තිබුණා. කාලයක් කරපු මල් පෝච්චි කෙරුවාවෙන් සිමෙන්තිය ගැන ලබපු අවබෝධය නතර වුණේ ගෙදර පිටිපස්සෙ ඔහුම හදපු ඇනෙක්සියෙන්. ගේ ඉදිරිපස තාප්පය ඔහුගේ අවසන් ව්‍යාපෘතිය විධියට අවසන් කරන්න ඔහුට පුළුවන්කම ලැබුණ.

මේ කිසිදෙයක් මෙතන ලියල පිරිමහන්න පුළුවන් දේවල් නෙවෙයි. ඔහු එක්ක මගේ සම්බන්ධය උඩින් අතගාගෙන යෑමක්...

මේ සටහන තාත්ත ගැන හැමෝම කියන කතාවලින් පුරවන්න මට ඕන නැතත් හිතේ ඇ‍ඳෙන චිත්‍ර ටික ඒ විධියට වචන කරන එක මේ වෙලාවෙ හොඳටම වෙනවා. ඒත් ඒක වහාම නතර කරන්න ඕන මට එපා වෙන්න කලින්...

තාත්තාගේ මුහුණේ මට අමතක නෙවෙන හැඟීම් කීපයක් මට මතකයි. පහුගිය දෙසැම්බර් තුන් වෙනිදා ඔහුගේ අන්තිම මොහොතේ තිබුණෙ එහෙම නොමැකෙන ඉරියව්වක්. ඇ‍ඳේ දිගා වෙලා ඔහු හිටියෙ මුහුණට නැගුණ වේදනාවකින් වහලේ කෙලවරක් දිහා ඇස් ලොකු කරන් බලාගෙන. ඒ වෙලාවෙ මම හිටියෙ ඔහුගෙ පපුව පිරිමදිමින්. මැරෙන්න කිට්ටු වුණාම මිනිස්සුන්ට තමාව දිව්‍ය ලෝකෙ අරන් යන්න එන කරත්ත පේන්න ගන්නව කියල අහල තිබුණ සුරංගනා කතාවක් ක්ෂණයෙන් මගේ හිතේ ඇඳුණ. ඒ එක්කම මගේ හිතේ මැවුණේ බොබ් මාලෙගෙ midnight ravers සින්දුවට අදාල කරත්ත දහදාහක චිත්‍රයක්. ඒක ඒ අවස්ථාවට කිසිසේත්ම අදාල සින්දුවක් නෙවෙයි. ඒත් මම ඒ සින්දුව විඳින හැම වෙලේකම අර කතාව මගේ ඔළුවට ආව. මේ වෙලාවෙ වුණේ ඒකෙ අනිත් පැත්ත.

අම්ම හිටියෙ සීතලට වෙව්ලන ඔහුගෙ අත් තදින් පිරිමදිමින්... මට තාත්තගෙ ගැඹුරු හුස්මත් අම්මගෙ වේගවත් හුස්මත් දෙකම දැණුනා. අවසානයේ තාත්තගෙ දෑසින් පෙණුන ඒ වේදනාව ඔහුගේ මුවට නැගුනෙ දෙඇස් සම්පූර්ණයෙන්ම වැහිල ගිහින්. ඒ වෙලාවෙම විනාඩි කීපයකින් හදිසි ප්‍රතිකාර ඒකකය වෙත අරගෙන ගියත් ඒ වෙනකොටත් ඔහුව අපට අහිමි වෙලා තිබුණ.

ජීවිතේ කියන්නෙ දුකක් කියන දේ සහ මරණය ඉන් ගැලවීම කියල ඔහු තේරුම් අරන් හිටිය බව මම දන්නව. ඒ නිසාම ඔහු මම දන්න කාලෙක දුකින් හිටියෙ නෑ. සතුටින් හිටියා වගේම වටේ හිටපු හැමෝවමත් සතුටු කරන්න උත්සාහ කලා. හැමෝම මැරෙන මිනිස්සු වෙලා ඉද්දි මරණය කියන්නෙ නම් කොහොමත් දුකට කාරණයක් නෙවෙයි කියන එක මට නිරායාසයෙන් දැණුනෙ ඔහු එතනට මාව තල්ලු කරල තිබුණ නිසා. අවබෝධයකින් මරණයට හිනාවුණ මම දන්න මිනිස්සු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඔහු.

ඉස්කෝලෙ කාලෙදි කිසිම තේරුමක් නැති කෙල්ලකට උපන්දින තෑග්ගක් අරන් දෙන්න ඕන වෙලා මම තාත්තගෙන් රුපියල් දෙසීයක් ඉල්ලුව. ඔහු මගෙන් ඇහුව කවදටද ඕන කියල. මම ඒක පහුවදාට තියෙනවනම් හොඳයි කිව්වම ඔහුගේ ඇස් බැමි උඩ ගිය ආකාරය ඔහුගේ මුහුණේ ආයෙත් මට අමතක නොවෙන හැඟීමක්. ඒ දිනවල ඔහුව දේශපාලන හේතුමත අඩවැටුප් සහිතව නිවාඩු යවල තිබුණ. ඔහුම ගෙදර වවල තිබුණ ගම්මිරිස්, කරාබු නැටි පැකට් කරල ඒව විකුණන්න යන ගමන් හැමදාම හවසට අර ඉංගිරිසි පත්තරේ (ඇත්තට ඒක පත්තරයක් නෙවෙයි... ඉංගිරිසි චැනල් එකක්) බලල ඒ එන ගානත් ශේප් කරගෙන තමයි ඔහු ඒ දවස්වල අපි තුන්දෙනාගෙ ඉගෙනීමෙ ඉඳන් සියල්ල හැඬල් කලේ. ඒත් හැමවෙලේම සන්තෝසෙන් හිටියා. මට මතකයි අපේ ආච්චි ඒ දවස්වල පෙන්ශන් ගත්තම මාසෙකට දෙකකට සැරයක් සබන්, පාන් පිටි වගේ දේවල් ගෙනත් දීල යනවා. තාත්ත ඒ ගැන කැමැත්තකින් හිටියෙත් නෑ. ඒත් අම්ම නිසා ඔහු නිහඬව හිටියා.

....................................

සති දෙකකට පස්සෙ ආයෙ මේ සටහන ලියන්න ගන්නකොට උඩින් ලියවුණ ඇතැම් දේවල් කල් ඉකුත්වෙලා තිබුණත් ඒක නිවැරදි කරන්න යමක් කරන්න කම්මැලියි.

කොහොමින් හරි දැන් තාත්ත නැති ජීවිතේට අපි ටිකෙන් ටික හැඩ ගැහෙමින්... කිසිම වගතුවක් නැති ආගමික සම්බන්ධ ගාණකට වගේම ජීවිතේට ඇසුරු කරල නොතිබුණ ගල්මය සම්බන්ධ කීපයකට මැදිවෙන්න වෙලා මට. ඒක මගේ ඇ‍ඟේ පටවපු කාලණ්නි වගකීමක්. මම දන්න තාත්තට එහෙම කිසි දෙයක් ඕන වුණේ නැතත් වටේ ඉන්න කට්ටියට ඕන ඒක එහෙම වෙනවට. මේ ඉලව් ලෝගුකාරයෝ එක්ක උන්ට රැවටුණ එවුන්... ලොකු දෙයක් තාත්තගෙ ඇඟ දවස් දෙකක් ඇතුලත ආදාහනය කරන්න ලැබුණ එක.

අන්තිමේදි මියගිය මිනිස්සු අමතක වෙනව. ජීවත්ව උන්න කාලෙ දැනං හිටපු කට්ටිය ඒ මනුස්සයගෙන් ලබාගත්තු දේවල් ඉදිරියට අරගෙන යනව. ඒත් නොනැවතී වෙන වෙනස්කම් එක්ක ඒ කිසි දෙයක් සදාකාලික නෑ. සන්තතික නෑ. ජනප්‍රිය වෙන්න මිනිස්සු කොයිතරම් මහන්සි ගත්තත් මිනිහෙක් වැඩිම වුණොත් පරම්පරා කීපයක් මතක හිටියි. මට මගේ ආච්චිලගෙ දෙමව්පියො අමතක ගානට. ඒත් ගෙවන ජීවිතේ විඳින්න හොඳම විධිය අපි වටේ තියෙන සීමා ඉවත් කරන්න උත්සාහ කරන එක කියල ඔහු මට ඔහුගේ වචන වලින් කිව්ව. ඔව්... කවදාවත් සීමා ඉවත් කිරිල්ලත් කරල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර පෙට්ටියෙන් ඉලියට බැහැල හිතන්න කියල පෙට්ටි අස්සෙ ඉන්න උන් කිව්වට පෙට්ටියෙන් එලියට බැහැපු මනුස්සයෙක් තමයි දන්නෙ මේ පෙට්ටිවලින් එලියට බැහීමේ කෙලවරක් නෑ කියල. ළූණු ගෙඩියක ස්ථර ‍වගේ අපි වටේ අපිවත් නොදන්න තරමට සීමා ලේයර්ස්!

ඒත් අනිත් අය බලන දිහා නොබලා තමන්ට ඕන දිහා බලන්න ඒක බාධාවක් නෙවෙයි. ලෝකය ගැන, දෙවියන් ගැන, එක එක දර්ශන ගැන තාත්තගෙයි මගෙයි කෙලවරක් නැති තර්කවල දිශානතිය වුණේ ඒක. ඒ නිසා අවට පරිසරයෙන් ඉගෙන නොගෙන උදේ හවස ජීවත් වෙන්න හොඳ ක්‍රම පාඩම් කරලත් ජීවිතේ එහෙම ගෙවන්න ‍හැකියාවක් නැති වුණ, ඒක ඉගෙනන්නෙත් නැති හැමෝම දිහා අපි බැලුවෙ අනුකම්පාවෙන්...

....................................

මම ආයෙත් හිස් වෙලා තියෙන්නෙ තවත් මේ සටහනට එකතු කරන්නෙ මොනවද කියන එක ගැන අදහසකිත් තොරව. ඒත් මේක ලියන්න ඕන කියල හිතෙද්දිම කල්පනාවට ආපු සඳහන් කරන්න ඕන අය ගැන නොකියා බෑ. ඒත් උන් ගැන කියන්න වචන නෑ මට. ඒ ගැන කියල ඉවර කරන්නත් බෑ. ඒ නිසා ඕන නෑ. මම වෙනුවෙන් උන් ගැන හොයල බලපු කුෂාන් සහ ෆා යුවලව විතරක් විශේෂයෙන් මතක් කරන්නම්.

සේරම ඉවර වුනාට පස්සෙ තාත්ත නැවත ඉපදෙන්න පටන් ගත්ත. ජීවත්ව ඉන්න කාලෙ නැවත ඉපදීමක් නැති බව ගැන තර්ක කරල අන්තිමේ ඒ තර්කය අත්ඇරල දැම්මත් මරණයෙන් පස්සෙ ඔහු ආයෙ ඉපදුණ.

ඔහුගෙ යාළුවො ගෙදරට ආව, ගොඩක් දෙනා දුරකතනයෙන් ඇමතුම් දුන්න. ගමේ හිටපු ඔහු ළඟින් ඇසුරු කරපු අය ‍ගෙදරට ආව.

ඔහු ඇසුරු කරපු නගරයේ යාළුවො, ඔහු බඩු මිලට ගන්න පුරුදු වෙලා හිටපු කඩවල මුදලාලිලා මට හම්බ වුණ.

ඔහු අරගෙන තිබුණ වගකීම්, මාසිකව ඔහු ගෙවපු බිල්පත්, ගෙදරට ගෙනාපු බඩු, හාල්, පොල්, එලවලුවල ගණන්.... සියල්ල නැවත සකස් වෙන්න ගත්ත.

ජීවත්ව හිටපු කාලෙදි පුංචි මනුස්සයෙක් වුණ ඔහු මියගියාට පස්සෙ යෝධයෙක් වුණා.

අන්තිමේ ඔහු නොපෙනී යන්න ගත්ත. ගෙදර ඉදිරියෙ තියෙන කඳු වැටියෙ කඳු මුදුන් දෙකක් අතරින් හෙමින් ඈතට යද්දි ඔහුගේ කටහඬ මට ඇහුණ.

ලෝකය එක නියතයක්. උඹ වෙනස් වුණත් නැතත්, උඹ අනිත් උන්ව වෙනස් කලත් නැතත් ඒක ලෝකය නියතයක්ය කියන එකට බලපෑමක් කරන්නෙ නෑ... උඹ ඇතුලෙ උඹ මිලියනයක් මිනිස්සු වගේ විවිධයි. එක මොහොතකදි උඹට පුළුවන් එක මිනිහෙක් වෙන්න විතරයි. ඊට කලින් ඒ මොහොත උදා වෙලා නැති හින්ද ඕන නම් උඹ වෙනස් වෙලා කියල ආඩම්බර වෙන්න උඹට පුළුවන්. ඒත් උඹට වෙනස් වෙන්න බෑ... අනිත් උන්ට වෙනස් වෙන්නත් බෑ... මොකද ලෝකය එක නියතයක්. හරියට එක එක පැති වලට හුලං හමන, මූදු රැලි නැගෙන, කඳු නාය යන, ගංවතුර ගහන, ගිණි කඳු පුපුරණ පරිසරයක් තිබුණට පෘථිවිය කියන්නෙ තාම නියතයක් කියන එක වගේ...

හරියට මිලියන ගණන් තරු සුපර්නෝවා වුණාට, ආයෙ දූවිලි වලින් තරු හැදුණට කළු කුහර ඇතුලට ආලෝකයත් අවශෝෂණය වුණාට විශ්වය එක නියතයක් වගේ...

මතක තියාගනිං! මැරුණ මිනිස්සු වෙනුවෙන් දුක් වෙන්න එපා. උන් වෙනුවෙන් සතුටු වෙයන්. උන් තවත් මේ ලෝකෙ දුක් නොවිඳ ගැලවුණ එවුන්...

ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් දුක් වෙයන්... උඹේ අනුකම්පාව ඕන උන්ට...



The Verve - Bitter Sweet Symphony

Saturday, 2 October 2010

කසාදයක් කරගත් ගැහැණියක්…

මේක මට ලියන්න විශේෂ හේතුවක් නැතත් අපේ මරේ එක දිගට කාන්තා විමුක්තිය ගැන කතා කරද්දි මේක ගැනත් කිව්වොත් හොඳයි කියල හිතුණා. කතාව සත්‍යයි නම් ගම් මනඃකල්පිතයි.

සාවිත්‍රිගේ වයස අවුරුදු 27යි. බැඳල මාස හයයි. එයා දැන් මාස හතරක ගැබක් තියෙන, අම්ම කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න සුන්දර ගැහැණියක්.

අද උදේ සාවිත්‍රි වැඩට ඇවිත් හොඳටම ඇඬුවා. හේතුව කෙලින්ම අපට කිව්වෙ නැතත් අපේ ඕපදූප මීටර් වලට අහුවුණ විධියට කලින් දා රාත්‍රියේ සාවිත්‍රිගේ සැමියා ඇයට පහර දීල තිබුණ.

මේක ගැන යාළුවො ටික කතා වෙද්දි අපේ ලාබාල ගයාන් කිව්ව "සාවිත්‍රිටත් හැරිච්චගමන් එකක් දෙන්නනේ තිබුණේ" කියල.

එතකොට සුජානි මිස් කිව්වෙ "ඒ මිනිහ රළු හැඩිදැඩි මිනිහෙක්. ඒ නැතත් පිරිමින්ට එහෙම ගහන්නෙ නෑනෙ ගෑණු" කියල.

ආයෙ ගයාන් කියනව "ඒක තමයි ලංකාවෙ ගෑණුන්ගෙ වැරුද්ද" කියල.

මෙතන තියෙන්නෙ ගුටිකෑම හා ගුටි දීම ගැන ප්‍රශ්ණයක් නෙවෙයි. මේ පේන විධියට මේ යුවතිපතින්ට තියෙන ගැටළුව මොකක් වුණත් පළවෙනි කාරණය විධියට ගහ මරාගන්න ගානට ප්‍රශ්ණ ඇදෙන්න තරම් දෙන්න අතර අවබෝධයක් නැද්ද? ඊළඟ එක මේ දරුවෙක් දරාගෙන ඉන්න අම්ම කෙනෙක්ය කියන එක ඒ තාත්තටම අමතක වීම මාර අවුලක් නේද?

ඇත්තම කතාව ඒකත් නෙවෙයි කියලයි අපි තර්ක කලේ... මේ විවාහය මොකක් වුණත් යෝජිත විවාහයක් වෙන්න ඇති. නැත්තං තමන් ජීවිත කාලෙම ඉන්න කියල කසාද බඳින මනුස්සයගෙ හැටි ස්වභාවය නොදැන ඉන්න විධියක් නෑනේ ප්‍රේම කරල විවාහ වුණා නම්...

යෝජිත විවාහයකින් පස්සෙ දෙන්න තම තමන් ගැන හරියට අඳුනගන්නෙවත් නැතිව ළමයි හදන්නත් කල්පනා කරලා... දැන් තමයි කසාදෙ ර‍ඟේ තේරෙන්නේ. ඒත් දැන් කෝච්චිය ගිහින් ඉවරයිනේ.

කසාදෙකදි අන්‍යෝන්‍ය අවබෝධය කියන දේ වැදගත්ම සාධකය කියලයි මම නම් දන්න තරමින් හිතෙන්නේ. ප්‍රමාණවත් අවබෝධයක් නැතිව ඉදිරි පියවර තිබ්බොත් අවුලක්. හරියට කඹයක් උඩ ඇවිදිනව වගේ වැඩක් ඒක.

මම මේක මේ තරම් දෙයක් කරගත්තට ඇත්තටම මේක මේ තරම් දරුණු නැතිව ඇති. සමහර විට අද රාත්‍රියෙ සාවිත්‍රිගෙ සැමියා එයාගෙන් සමාව අරන් වැඳවැටිල ෂේප් වෙලා දෙන්න කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල කෑම ගන්නත් ඇති. නමුත් එහෙම වුණාය කියල මේ වුණ සිදුවීම ලෝකෙ ඕනම තැනක ආයෙ සිදුවෙන්‍නෙ නෑ කියන්න බෑනේ....