Showing posts with label laugh. Show all posts
Showing posts with label laugh. Show all posts

Wednesday, 5 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි


එය 2005 හෝ 2006 වර්ෂයේ වෙසක් පෝය දිනයයි. මා පෝය සමග පැමිණි නිවාඩු දින කීපයම ගොඩගම ගනේගොඩයාගේ නිවසට වී සිටියෙමි. ඒ දින කීපය පුරාම විටින් විට දුමින් මත් වෙමින්ද, නිද්‍රාගත වෙමින්ද, මිදුලේ ගල් තලාව මත 'මහා ධීවරයාණෝ' පොතේ පිටු අතර පේදුරු සහ ෆාරා සමග වයින් බොමින්ද රොටී අනුභව කරමින්ද විසූයෙමි. පසු කලෙක ප්‍රත්‍යක්ෂ කල, 'ජීවිතේ සුන්දරම කාලය වර්තමානයයි' යන අදහස මට දැනෙන්නට ඇඹෙමින් තිබූ කාලයකි එය.

රාත්‍රිය එළඹි පසු නින්දෙන් නැගිටගත් ගනේගොඩයා මා ද ඔහුගේ ට්‍රේලේ නංවා ලීල අක්කාගේ පොට් එකට ඉගිලුණේය. ඔහු සුපුරුදු පරිදි සුදුවා වඩියක් දෙකක් උගුරෙන් පහළට යවද්දී ලීල අක්කා මට ම කියා හදනා වැඩි සීනි ප්ලේන්ටියට මම වග කීවෙමි. විනාඩි කීපයක් එහි ගතකොට අප ආයෙත් ඉගිල්ලුණේ 'සම්පත්' සෙවීමටයි.

ගොඩගම නගරයෙන් එපිට අතුරු මාවත් ඔස්සේ ට්‍රේල මතින් ඉගිලෙමින් අපි සේන්දු වූයේ එක් කුඩා හන්දියකටයි. එහි පාරේ පසෙකට වන්නට අටවා තිබූ තාවකාලික මඩුවක් තුළ මහ හයියෙන් එවකට අතිශයින් ජනප්‍රියව තිබූ දමිත් අසංක හෝ චාමර වීරසිංහ වැනි ගායකයකුගේ කැසට්පටයක් වාදනය වෙමින් තිබුණි. ගැටවර වයසේ කොල්ලන් දහ දොළොස් දෙනෙක් මහ පාරේ ඒ සංගීතයට නටමින් සිටියෝය. උන්ගෙන් ඇතැමෙක් ඒ වන විටත් හැකි උපරිමෙන් මත්වී සිටිනු මම දුටිමි.

ගනේගොඩයා මා ඇදගෙන මඩුව තුළට ගොඩවිය. ඒ තුළ හිඳගෙන සිටි මදක් වැඩිමහලු තරුණයන් අතරින් එකෙකු ඔහු සමග කතා කළේය.

'ආ... ගනේගොඩ අයියා... කෝ උඹ හත වෙද්දි එනව කිව්වනේ...'

'නින්ද ගියා මල්ලි... කෝ...දන්සල ඉවරද?'

'ඔව් බං.. හතාමාර වෙද්දි බඩු ඉවරයි.'

'ච: අපරාදෙ'

'හිටපං... මුට්ටියෙ අඩියෙ ටිකක් තියෙනව'

තරුණයා මඩුව පසෙක ගඩොල් කැට වටකොට සෑදූ තවමත් ගිනි අඟුරු දැල්වෙමින් තිබූ ලිපක් මත වූ විශාල ඇලුමිනියම් මුට්ටියකින් ප්ලාස්ටික් කෝප්ප දෙකකට ද්‍රවයක් වත් කළේය. මාගේ නහය විනිවිද ගියේ අවුරුදු ගණනකින් අත්විඳ නොමැති බෙලිමල් සුවඳකි. ස්වල්ප වේලාවකින් මා අතට තරමක කිතුල් හකුරු කැබැල්ලක් හා උණු බෙලිමල් කෝප්පයක් ලැබිණි. සෙමෙන් එය තොල ගා හමාර වෙත්ම ගනේගොඩයා මා අත තැබුවේ දැල්වෙමින් තිබූ කන්සා සුරුට්ටුවකි. එය කීප දෙනෙකු අතර බෙදී යාමට නියමිත වූ බව වටහාගත් බැවින් මම වහා උගුරු කීපයක් උරා එය මා අසල පොරොත්තුව සිටි තරුණයා අතට දුනිමි. වමතේ ඉතිරිව තිබූ කිතුල් හකුරු කැබැල්ල දිව යට තබාගතිමි. ගනේගොඩයා මට සමීප විය.

'මෙතන පොරක් ගාව බඩු නං තියෙනවා. අරහෙ යන්න ඕන නෑ. උඹ සල්ලි ගෙනාවද?'

- - - - - -

නිවසට යන අතුරු මාර්ගයේ එක් තැනකදී අපට විශාල වෙල් යායක් හමුවේ. මීටර දෙසීයක පමණ දුරක් පටු පාර වැටී ඇත්තේ එම වෙල් යාය මැදිනි. පාරේ පසෙකින් එම වෙල් යාය වෙත ජලය සපයන දිය පාර ගලා යයි. ඒ වන විට පුර හඳ ක්ෂිතිජයෙන් ඉහළට විත් බැබළෙමින් තිබූ අතර අවට පරිසරයේ ගුප්ත නිහඬ බව මට හැ‍ඟෙන්නට ඇරඹී තිබිණි. කන්සා උගුරු කීපය මාගේ සිතුවිලි ඉතා සියුම් දේ වෙත නාභිගත කරවමින් පැවතිණි. මොහොතක් මෙහි ගෙවන්නට මට උවමනා විය.

මාගේ උවමනාව වැටහුණාක් මෙන් ගනේගොඩයා ට්‍රේල නතර කළේය. ඒ පාරේ යටින් දිය පාර ගලනා බෝක්කුවක් අසලය. එම ස්ථානයේ පාර මදක් පුළුල්ය. කොන්ක්‍රීට් යොදා තැනූ වැටි දෙකක් පාරේ දෙපස වෙයි. බෝක්කුව යටින් දිය පාර ගලන හඬ රැහැයි හඬ පරයා නැගී සිටියි. එම හඬ කුමනාකාර වේදැයි ලිවීම අපහසුය. දිය පාරක් ගලන්නේ 'සිලි සිලි' හඬින් බව වෙනත් ලේඛකයන් ලියා තිබෙනු මා කියවා ඇත. ඒත් මට ඇසෙන්නේ සිලි සිලි හඬක් නොවේ. ඒ හඬ මෙයාකාර වේ යැයි කියන්නට භාෂාවේ අකුරු නැත.

මෙම ස්ථානය අපට නුපුරුදු තැනක් නොවේ. මෙයට පෙරද කීප වතාවකදීම අපි දෙදෙනා මෙම ස්ථානයේ පැයක් දෙකක් වල්පල් දොඩවමින් හිඳ ඇත්තෙමු. කුඹුරු යාය අවසන් වන සීමාවේ ගස්කොළන් අතරින් පෙනෙන නිවෙස්වල විදුලි එළියත් පාරේ දෙතැනක පහන් කණුවල දැල්වෙන විදුලි එළියත් හැරුණුකොට මෙහි ඇත්තේ අඳුර පමණි. දිය පහරේ හඬත්, රැහැයි හඬත් පරයමින් විටින් විට ඈත හයිලෙවල් පාරේ දික්හැතැක්ම ඔස්සේ වේගයෙන් ඇදෙනා පරණ බස් රථයක හඬක් ඇසේ. හඳ නොමැති දිනක වලාකුළු සහ ක්ෂිතිජය දක්වා විහිදෙන තරු වියනකි. ඒ වෙනත් දිනවල මෙහි තනිවීමට සිත ලොල් කරවන ලක්ෂණ වේ. අද එයටත් අමතරව වලාකුළක් තරුවක් නොමැති අහසක පුර හඳ දිදුලමින් ඇත.

මම කොන්ක්‍රීට් වැටියේ හිඳගෙන හඳ වෙත නෙත් හෙළුවෙමි. ගනේගොඩයා අතින් පොඩි කල කන්සා පත්‍රිකා රළුවට කඩදාසියක ඔතා සුපුරුදු පරිදි සුරුට්ටුවක් සෑදීය. ඇසිල්ලකින් දැල්වුණු එය අප දෙදෙනා අත හුවමාරු වෙන්නට විය. මාගේ සිත මහා ධීවරයාණන්ගේ සිට ‍ටයිකෝ චුම්බක අනියමයද ඉක්මවා වෝප් වේගයෙන් අවකාශය වෙත ඇදෙන්නට විය. ගිණිය නොහැකි තරම් හැඟීම්, සිදුවීම්, කියවීම් ගණනාවක් ඇසිල්ලකින් සිතින් වින්දනය වන්නට විය. මම කටහඬ අවදි කළෙමි.

'මෙහෙම ඉඳල හරියන්නෙ නෑ... මොනව හරි කරන්න ඕන'

'මොනවද උඹ කරන්න යන්නෙ?'

'අඩුගානෙ ෂෝට් ෆිල්ම් එකක්වත් හදන්න ඕන'

'ඉතිං හදපං. මහ ලොකු දෙයක් නෙවෙයිනෙ'

'මොනව ගැනද හදන්නෙ?'

''දැන් උඹ කිව්වෙ හදන්න ඕන කියලනේ... අදහසක් නැද්ද ඉතිං?'

'අදහසක් නෑ. ෂෝට් ෆිල්ම් එකක් හදන්න ඕන. එච්චරයි'

'එහෙම වැඩක් නෑනෙ බං. ඉස්සෙල්ල උඹට අදහසක් ඕන. ඒක ෂෝට් ෆිල්ම් එකක් විදියට කරන්න පුළුවන්. එහෙම නැතිව ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන කිය කිය ඒකට අදහසක් නැතුව ඉඳල වැඩක් නෑනෙ'

'හ්ම්ම්'

'උඹ අදහස අවුට් කරන මීඩියා එක ගැන වදවෙනව. ඒකෙන් දෙන්නෙ මොනවද කියන එක ගැන හිතලවත් නෑ. ඉස්සෙල්ල මිනිස්සුන්ට කියන්න හොඳ කතාවක් හදන්න ඕන. ඒක අවුට් කරන්නෙ කෙටි කතාවකින්ද කවියකින්ද ෆිල්ම් එකකින්ද කියන මීඩියා එක පස්සෙ කරදර වෙන්න තියෙන වැඩක්...'

'හ්ම්ම්. මට ඕන ෂෝට් ෆිල්ම් එකක් කරන්න'

මද වෙලාවක් නිහඬතාවය පැවතිණි. එක්වරම ගනේගොඩයා නැවත මා ඇමතීය.

'චෙකොෆ්ගෙ පොතක් තියෙනව 'කළු සිවුරුදර භික්ෂුව' කියලා. උඹ කියවල තියෙනවද ඒක?'

'නෑ...'

'උඹ ඉතිං අඟල් ගණනංවල පොත් හොය හොය කියවනව මිස පොඩි පොත් කියවන්නෙ නෑනෙ. ගෙදර තියෙනව. අරං කියවපං.'

'ඒක අදාළ වෙන්නෙ කොහොමද?'

'දැන් උඹට ඕන උඹෙ නම තියන විදියෙ වැඩක් කරන්නනේ...'

'නෑ එහෙම නෙවෙයි.'

'හරි එහෙම නෙවෙයි කියමුකෝ... උඹ ෆිල්ම් එකක් හදල නම නැගල ගියා කියලත් කියමුකෝ.. හැබැයි ඒ කොච්චර කාලෙකටද?'

'ඒ කිව්වෙ?'

'අපි ජීවත්වෙන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේනෙ බං. අපි අපේ නම තියන්න වැඩ කරනවා. මැරුණට පස්සෙ අපේ නම මතක තියෙන්න ඕන විදියෙ සිරා වැඩ කරන්නනෙ මිනිස්සු හැමවෙලේම ට්‍රයි කරන්නේ?'

'සාමාන්‍යයෙන් මිනිස්සු ඒකට කැමතියි නේද? මැරුණට පස්සෙත් තමන් ගැන මිනිස්සු කතා කරනවයි කියල දන්න එක මිනිස්සු විඳින්න කැමති හැඟීමක්'

'ඔව්.. හරි... ඒත් හිතපං කොයි තරං කාලයක් මිනිහෙක්ව එහෙම මතක තියෙයිද?'

'අවරුදු දෙදාස් ගණං මතක තියාගෙන වඳින පුදන ඩයලුත් ඉන්නවනේ...'

'අවුරුදු දෙදාස් ගාණක් තිස්සෙ ඒ මිනිස්සු ඒ විදියටම මතක තියාගෙන නෑනෙ බං...'

'ඒකනං එහෙම තමයි. කාලයත් එක්ක ඒව වෙනස් වෙනවා...'

'ඒක තමයි. එහෙනං තමන්ව කවද හරි අමතක වෙනව කියන එක දැන දැන තමන්ගෙ නම තියන්න වැඩ කරන එකේ වැඩක් තියෙනවද බං?'

'එහෙම ගත්තොත් කවුරුවත් කරන කිසි දේකින් වැඩක් නෑනෙ.'

'ඒක තමයි පොයින්ට් එක. ඒ හින්දා නම තියන්න වැඩ කරල වැඩක් නෑ. වැඩ කරපං. තියෙන කාලයක් නම තියෙයි.'

'දැන් මට ෂෝට් ෆිල්ම් එකක් හදන්න තියෙන උවමනාවට මේ කතාව අදාළ වෙන්නෙ කොහොමද?'

'ඒකෙ එකපාර පේන අදාළ වීමක් නෑ. උඹට ෂෝට් ෆිල්ම් එකක් හරි මොකක් හරි දෙයක් කරන්න උවමනාව එන වෙලාවට ඒක වෙයි.'

'සමහර විට උවමනාවක් නැති වෙන්නම ඉඩ තියෙනවා...'

'ඉතිං මොකද? උඹ හෙණ සිරා වැඩක් කරලා ඒකෙන් ලෝකෙ අම්බානක් වෙනස් වෙයි කියලද උඹ හිතන්නේ?'

'නෑ එහෙම හිතන්නෙ නෑ...'

'උඹේ ආතල් එක වෙනුවෙන් වැඩ කරපං. වෙන වෙන ගයිඩ්ලයින් වැඩක් නෑ. ලෝකෙ කොහොමත් හොඳ නරක දෙක බැලන්ස් එකේ තියෙනව. කාලෙකදි හොඳයි. කාලෙකදි නරකයි.'

මම නැවතත් හඳ දෙස බැලීමි. ජීවිතේ පූර්ණ වශයෙන් වටහාගැනීම කිසිවකුට කල හැක්කක් නොවේ. අප පරිපූර්ණත්වය වශයෙන් හඳුනාගන්නා බොහෝ දේවල් ඒ තුළම බිඳවැටී ඇති තර්කයන්ගෙන් ගොඩ ඒමට නොහැකිව වැල්වටරම් රාශියකින් වටවී බොරු පරිපූර්ණත්වයක් මවා පායි. දෙවියන්ද, බලාපොරොත්තුවද අපගේ වර්තමාන දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් පමණි. බොහෝ දේ සැලසුම් කරන්නේ යැයි සිතුවද අවසානයේ කර ඇති දෙයක් නොමැත. වෙන අයෙකුගේ අදහසකට වඩා මා දරන අදහස උසස් හෝ වෙනස් යැයි සිතන්නට උත්සාහ කළද අවසානයේ මා යනු තවත් එක් වංචාකරයකු පමණි. සමස්තය එයට අවශ්‍ය ලෙසින් වෙනස් වෙමින් පවතී. මා එහි එක් සංඝටයක් පමණි.

පුර හඳ තවත් ඉහළට නැග ඇත. ක්ෂිතිජය කෙළවර තනිව දැල්වුණු එක් තරුවක් විය. ඒ තරුව වටා භ්‍රමණය වන ‍ග්‍රහළොවක විශාල වෙල් යායක් මැද හිඳිමින් මා දෙස බලා සිටිනා පිටසක්වලයෙකි. එක් ක්ෂණයකින් ඔහුගේත් මාගෙත් නෙත් ගැටුණි. මාගේ සිතෙහි වූ ප්‍රශ්න කීපයම ඔහුගේ දෑස තුළ මම දුටුවෙමි. අඳුර නිවමින් අලුත් එළියක් දැල්විණි. හිස මත වූ යම් බරක් ඉවත ලූවා වැනි හැඟීමක් මට දැනේ.

'තනියෙන් හිතන්න එපා බං'

ගනේගොඩයා කියවයි.

'නෑ මං නිර්වාණයේ මොහොතක් අත්වින්දා'

'හෙහ් හෙහ්... මට කිව්වට කමක් නෑ... ඒ වුණාට වචන පාවිච්චි කරද්දි පරෙස්සං වෙයං. ඕව සමහර අයගෙ ට්‍රේඩ් මාක් ගහපු වචන. ඕවට අයිතිකාරයො ඉන්නවා'

ගනේගොඩයා ම වෙත ඇසක් වසා මහ හඬින් සිනහ විය. මමත් ඔහුට එක් වීම්. අපි දෙදෙනාම සිනහසෙන්නට වීමු.

Tuesday, 14 April 2009

අළුත් අවුරුද්දට කූඹි වහලා

අළුත් අවුරුද්දට කූඹි වහලා

ඩෝං!

රතිඤ්ඤයක් පිපිරුණා
සද්දෙ ඇහුණා වටේටම
කෙලවර කිරිමැටි ගුලියක් එක්ක
ඉරුණු කඩදාසි කෑලි ටිකක්
බිම ඉතිරි වුණා

හිතට සතුටක් දැණුනා
අවුරුද්ද සැමරුවා

ගෙදර හැම තැනම
බිමත් රාක්ක වලත්
එස් එම් එස් කිරි පැණි
ගොඩ ගහලා
කූඹි වහලා


ecH on 14th of April 2008

Monday, 9 March 2009

උළුපුව රත් වූ නිසා...

දවසක් දෙකක් මුළු රැයක් පුරා චිත්‍රපටි බාද්දි මගේ උළුපුව හොඳටම රත්වෙනව කියල මට තේරුණ. ඒකට කරන්න තිබුණෙ රත්වීම වලක්වන ක්‍රමයක් හොයාගන්න එකයි. නමුත් heat sink එකක් වගේ දෙයක් හොයාගන්න තිබුණෙ නෑ. මට මතකයි කවුදෝ බ්ලොග් මිතුරෙක් හොඳ ඇලුමිනියම් heat sink එකක් හයි කරල වැඩේ කරගෙන තියෙනව ලියල තිබුණ. ඒ යාළුවව දැන් මට මතක නෑ. මේක කියෙව්වොත් අදාල සටහනට link එකක් දෙන්න comment එකක් විධියට.

කොහොම හරි මට එහෙම එකක් හොයාගන්න ලැබුණෙ නෑ.

කුස්සිය පැත්තෙ යවුමක් දාද්දි තිබුණ ඇළුමිනියම් කෝප්පයක්. ඒක ගෙනත් උළුපුව උඩ තිබ්බා. එතකොට වැඩේ හරි ගියාට කෝප්පෙත් එකසිය ගානට රත් වෙනව. ඉතිං මොකද කලේ. දැම්ම කාලක් විතර පිරෙන්න වතුර. ඊට පස්සෙ ඔන්න නියමෙට වැඩ. උළුපුවත් රත් වුණාට දැන් සෑහෙන්න අඩුයි.

ඉතිං වැඩේ හරි. වතුර ටික වාෂ්ප වෙද්දි තව ටිකක් දාන්න විතරයි තියෙන්නේ. හැබැයි වතුර දාන්න ගිහිල්ල හලාගත්තොත් නාන්නයි වෙන්නේ.


upuluwa

Sunday, 1 March 2009

ශ්‍රී ලංකාවේ අභිමානය

මේ කියන්න යන දේ මම කලක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක්. අද කියල දාන්න හිතුණා.

කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවේ අභිමානය ඔස්සේ විකාශනය වුණ සිංහල චිත්‍රපටියක් බලන්න ලැබුණා. නම කස්තුරි සුවඳ. විකාශනය වුණේ ඊයෙ හෙවත් සෙනසුරාදා දවල්. මේක ජනප්‍රිය සින්දු තියෙන ගාමිණී මාලනී රඟපාන ලස්සන චිත්‍රපටියක්. ෆ්‍රෙඩී සහ බන්දු දෙන්නත් විකටයන් විධියට රඟපානවා. ඒ වුණාට මට ඒ දෙන්නගෙ විකට වැඩ වලට වඩා හිනා ගියා වෙනත් දෙයක් නිසා.

‍මේ චිත්‍රපටියෙ අවස්ථා කීපයක්ම තියෙනවා ප්‍රධාන සහ සෙසු නළුවන් දුම් පානය කරන. දුම් වැටිය අතේ තියාගෙන ඉන්න දර්ශනය හොඳට පෙන්නලා ඒක උරද්දි කොටු දානවා. ඒ කියන්නේ දුම් වැටි නරක වෙන්නෙ උරන්න විතරයි නිසා වෙන්න ඇති. මොකද පත්තු වෙන දුම් වැටියක අතේ තියාගෙන හිටිය කියල මුකුත් වෙන්නෙ නෑනේ නේද?

මම දුම් පා‍නයේ ආදිනව ගැන හෝ ඒකෙ හොඳ නරක ගැන කියන්න යන්නෙ නෑ. කවුරුවත් ඒ ගැන කතා කරන්නත් එපා. ඒක නෙවෙයි මට කියන්න ඕන. මේ කරන දෙපැත්තටම නැති පොන්න වැඩ ගැන. එක්කො පෙන්නන්න ඕන නැත්නම් කපලම දාන්න ඕන.

මේ අය මේ වාරණය දාන්නෙ පුංචි ළමයි බලන නිසානේ. ඒ වුණාට මේකෙන් වෙන්නෙ පුංචි එකෙක්ගෙ කුතුහලය තවත් ඇවිස්සෙන එකයි. ඇයි අච්චර හොඳට තිබුණ රූපරාමුවට කොටු දාන හේතුව හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕන පුංචි එකෙක් විමසනවනේ.

මේක අපි කතා කරල වැඩක් නැති තවත් එක මාතෘකාවක් විතරයි. මොකද ලංකාවෙ මාධ්‍ය සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නැති නිසා. එක්කෝ මේ වගේ චිත්‍රපටි නොපෙන්වා ඉන්න ඕන. නැත්නම් ඒව වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් වෙලාවලට පෙන්වන්න ඕන.

එහෙම වුණොත් දිවා කාලයේ මේ නාලිකා වලට විකාශනය කරන්න දෙයක් නැති වෙනව. නැත්නම් ඒ වෙලාවෙත් කච පච වැඩසටහන් බලන්න වෙනව.

මම වැඩිය රූපවාහිනී නොබලන නිසා මට එයාල මොනව පෙන්නුවත් කමක් නෑ. නමුත් රටේ ඉන්න අනිත් මිනිස්සු සහ ළමයි හරක් කියල හිතාගෙන කරන වැඩ දකිද්දි පොඩ්ඩක් නලියනව.

මම දන්නව මම නලියල වැඩක් නෑ කියල. මමත් ඇතුළුව අපි සේරම ගතින් හරක් නොවුණට දිවා රෑ නොබලා රටේ සුළුතරයක් සල්ලිකාරයන්ට බර අදින හරක් තමයි.

ඇත්තටම හරක් අපට වඩා උසස්. අඩුගානෙ උන් දන්නෙ නෑ උන් හරක් කියල.

Thursday, 1 January 2009

දුප්පතුන්ගේ නව වසර

මම කල්පනා කරමින් හිටියා ලබපු අවුරුද්ද විශේෂ වෙන්නෙ කොහොමද කියලා. සමහර විට මේ කියන දේ අතිශය නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙනවා මෙහෙම.

නුගේගොඩ හන්දියෙ සහ බෝ ගහ අවට පදික වේදිකාවෙ ඉන්න යාචක පිරිස් අතර ඉන්න පුංචි ළමයෙක් මම දැක්කා. එයාට කිසි ගානක් නෑ. අදත් එයාගෙ මූණෙ තිබුණෙ හැමදාම තියෙන හැඟීම් විරහිත ගල් හැඟීමමයි. අළුත් ඇඳුම් සුවඳ විලවුන් අළුත් විලාසිතා එක්ක පාරෙ යන එන සෙනග අතර මේ නිසල කොළු පැටියා එයාගෙ කල්පනාවක හිටියා. එයාට අළුත් බලාපොරොත්තු තියෙනවද මන්දා. අළුත් ඇඳුමක් නම් තිබුණෙ නෑ. ඒ වුණාට අපේක්ෂා විරහිත එක් මොහොතක සැනසිල්ල මේ දරුව ගාව තිබුණ බව මම දැක්කා. එයා හිටියෙ
වාහන යන එන පාරෙ අද්දරම දූවිලිත් එක්ක. එයාගෙ අම්ම තවත් පුංචි බබෙක්ව තුරුළු කරන් ටිකක් එහායින් හිටිය. මේ දරුවට ඒ ගැන වගක්වත්, වෙන කිසිම දෙයක් ගැන ගානක්වත් තිබුණෙ නෑ.

මම ‍අද වෙනද වෙලාවටම නැගිටල වැඩට යනකොට එහෙ කට්ටිය සුපුරුදු ලෙසම පිරිත් ශ්‍රවණය කරල පිරිත් නූල් හෙමත් බැඳගෙන හිටිය. අවුරුදු ගාණක්ම එයාල ඒක කරනව වුණාට එහෙමට කියල සෙතක් නම් වෙලා නෑ. ඒ කිසි දෙයක් නොකරන මට තරම්වත්. කොහොම වුණත් හොඳ කිරිබත් කෑල්ලක් සහ කැවිලි කීපයක් එක්ක උදේ කෑම ෂේප් කරල දාන්න පුළුවන් වුණා.

මන් දන්නෙ නෑ අළුත් අවුරුද්දක් කියල කට්ටිය ගොඩනගාගන්න බලාපොරොත්තු ඉටු කරගන්න කොයි තරම් කට්ටිය කැප වෙනවද කියල. අළුත් අවුරුද්ද අළුත් ඇඳුම් ආයිත්තම් සහ වෙනත් විවිධ දේවල් වලින් සැරසිල නොයෙක් දේවල් අළුත් කරගෙන පටන්ගත්තත් හැමදාම මම දකිනව ජනවාරි දෙක තුන වෙද්දි හැමෝම ආයෙත් පරණ ටිකම කරමින් ඉන්නව. ඒක හැම අවුරුද්දෙම වුණා. ඉදිරියටත් වෙනසක් වෙන එකක් නෑ. සරලවම කිව්වොත් අළුත් අවුරුද්ද සැමරීම කියන එකත් දැන් පුරුද්දට ගිය චාරිත්‍රයක් වගේ එකක් නිසා ඒකෙදි ඇති කරගන්න අළුත් පැතුම්, සිතුම් සේරමත් එදාට විතරක් ‍තියෙන දේවල් බවට පත් වෙලාද?

මිනිස්සු වෙනස් වෙන්න කැමති නෑ. ඒක ස්වභාවයක්. තමන් පාරම්පරිකව කාලාන්තරයක් කරන දේවල් වෙනස් කරන්න බැරි නිසා මිනිස්සු එක එක කතා කියනව ඒක වහගන්න. හැබැයි අළුත් අවුරුද්දට නම් අළුත් වෙනව කියනව. ඒ වුණාට වෙනසක් නෑ. වෙනස් වෙනවාය කියල කියන එක අළුත් අවුරුදු චාරිත්‍රයක් වෙලා නිසා අවුරුද්දේ උණුසුම් ගියාම ඒක මතක නෑ. ආයෙත් පරණ තැටියමයි.

මම හිතන්නෙ ඒ අතින් අපි හැමෝම දුප්පත්. දැනට ගෙවන ජීවිතේ අප්සෙට් නම්, ඒක වෙනස් කරගන්න ඕන නම් ඒකට අවුරුද්දක් ඕන නෑ. අළුත් වෙන්න අවුරුද්දු එනකල් ඉන්න ඕන නෑ. නමුත් අපි වෙනස් වෙනවාය කියල කියන්නෙ අවුරුද්දට.

නමුත් වෙනස් වෙන පාටක් නෑ.

Monday, 20 October 2008

ඇන්ටන් අයියට පෙම්වතියක්

කාර්ය බහුලත්වයත් එක්ක බ්ලොග් ලියන්න තියා බලන්නවත් වෙලාවක් නෑ. ඒ වුණාට ‍පහතින් මම කියන කතාව අහලා මම හිනාවුණ තරම මතක් වෙලා මම හිතුවා මේක ලියන්න. බලන්න ඔයාලටත් හිනා යයිද කියලා... :D


අපේ යාළුවෙක් වෙන ඇන්ටන් අයිය මේ දවස් වල බඳින්න ‍ගෑණු ළමයෙක් හොයනවා. එයාට ඔය සම්බන්ධව වැඩ කරන කපුකාරියක් හම්බ වෙලා. මේ කපුකාරි ගෑණු ළමයි කීප දෙනෙක් ගැන විස්තර කියන අතරෙ එක ගෑණු ළමයෙක් ගැන හොඳ කියල සෑහෙන්න. ඉතිං ඇන්ටන් අයියත් ඒ ගෑණු ළමය ගැන විස්තර අහලා..


"ඒ ගෑණු ළමය නම් ඔයාට හොඳට ගැලපෙනවා එයාගෙ කොණ්ඩෙ දිගායි.. සුදුම සුදුයි.." වගේ අංගෝපාංග ගැන දිග විස්තරයක් මේ කපු අක්කා කරලා.

ඇන්ටන් අයියටත් කෙල්ලට හිත ගිහින්..

"සුදුයි කියන්නෙ මොන වගේ සුදුද? සුදේ වර්ග තියෙනවනේ ඉතිං..."


"සුදුයි කියන්නෙ මල්ලි ඔයා දන්නවද අර හම පිච්චුණාම යටින් එන හම? අන්න ඒ තරම් සුදුයි"


ඇන්ටන් අයිය කියල අම්මෝ එපා කියලා...

Friday, 17 October 2008

TV with a Guarantee Man - Ravi Wickramasinghe

ඔයාලා මගේ යාළුවා රවි මහත්තයව දන්නවනේ.. මේ එයාගෙ මල විකාර ඔළුව‍ට ආපු මල විකාර තවත් අදහසක්...