Wednesday, 29 October 2008

යුද්ධය සජීවීව - Reality War

මන්දා මේක ලියන එක හරිද කියල. ඒ වුණාට මේ අත්දැකීම විඳිද්දි මට හිතුණ මේක ගැන කියන්න ඕන කියල.

මෑතකදි රූපවාහිනියෙ ප්‍රවෘත්ති බලන්න මට ලැබුණා අවස්ථාවක් අහම්බෙන්. ඒ මගේ තව මිතුරෙක් එක්ක. එයාට යුද්ධයේ අළුත්ම තත්ත්වය බලන්න ඕන වුණ නිසා මට එයා එක්ක ප්‍රවෘත්ති බලන්න වුණා. තවත් මිතුරන් කීපදෙනෙක් එතන හිටියා.

ප්‍රවෘත්ති වල යුධ බිමේ වාර්තා මේ මිතුරු කැල නැරඹුවෙ හරියට ක්‍රියාදාම චිත්‍රපටියක් බලනව වගේ. එතනදි ප්‍රචණ්ඩත්වය කියන දේ තිබුණෙ නෑ. ඒ වුණාට ප්‍රචණ්ඩත්වය හා සමාන ප්‍රමෝදයක් මේ අය ලබනව කියල මට තේරුණ. මට හිතුණ ගෙවල් වල පුංචි දරුවන් පවා මේ දේවල් ඔළුවට දාගන්නව ඇති කියල.

කොහොම වුණත් ඒකෙන් සංස්කෘතියට නම් හානියක් වෙන්නෙ නැතිව ඇති මයෙ හිතේ...

මට හිතුණ අපේ රූපවාහිනී නාලිකා වලට යෝජනාවක් ගේන්න. යුද්ධය පෙන්නන්න සජීවීව. දවසකට පැයක් දෙකක්. සජීවීව බැරි නම් පටිගත කරලා හරි. ඒ මැදට විනාඩි දහයෙන් දහයට දැන්වීම් දාලා ගානක් හොයන්නත් පුළුවන්. මිනිස්සු නොබල ඉන්න එකක් නෑ.

මේක මේ සදාචාරයට හෝ සංස්කෘතියට හෝ රණ විරුවන්ට හිත රිදවගන්න කියපු දෙයක් නෙවෙයි. මට හිතුණ දෙයක්. වචන අල්ලන් කෑ ගහන්නෙ නැතිව මේ දේ වෙනවද නැද්ද කියල හිතල බලන්න.

Monday, 20 October 2008

ඇන්ටන් අයියට පෙම්වතියක්

කාර්ය බහුලත්වයත් එක්ක බ්ලොග් ලියන්න තියා බලන්නවත් වෙලාවක් නෑ. ඒ වුණාට ‍පහතින් මම කියන කතාව අහලා මම හිනාවුණ තරම මතක් වෙලා මම හිතුවා මේක ලියන්න. බලන්න ඔයාලටත් හිනා යයිද කියලා... :D


අපේ යාළුවෙක් වෙන ඇන්ටන් අයිය මේ දවස් වල බඳින්න ‍ගෑණු ළමයෙක් හොයනවා. එයාට ඔය සම්බන්ධව වැඩ කරන කපුකාරියක් හම්බ වෙලා. මේ කපුකාරි ගෑණු ළමයි කීප දෙනෙක් ගැන විස්තර කියන අතරෙ එක ගෑණු ළමයෙක් ගැන හොඳ කියල සෑහෙන්න. ඉතිං ඇන්ටන් අයියත් ඒ ගෑණු ළමය ගැන විස්තර අහලා..


"ඒ ගෑණු ළමය නම් ඔයාට හොඳට ගැලපෙනවා එයාගෙ කොණ්ඩෙ දිගායි.. සුදුම සුදුයි.." වගේ අංගෝපාංග ගැන දිග විස්තරයක් මේ කපු අක්කා කරලා.

ඇන්ටන් අයියටත් කෙල්ලට හිත ගිහින්..

"සුදුයි කියන්නෙ මොන වගේ සුදුද? සුදේ වර්ග තියෙනවනේ ඉතිං..."


"සුදුයි කියන්නෙ මල්ලි ඔයා දන්නවද අර හම පිච්චුණාම යටින් එන හම? අන්න ඒ තරම් සුදුයි"


ඇන්ටන් අයිය කියල අම්මෝ එපා කියලා...

Friday, 17 October 2008

TV with a Guarantee Man - Ravi Wickramasinghe

ඔයාලා මගේ යාළුවා රවි මහත්තයව දන්නවනේ.. මේ එයාගෙ මල විකාර ඔළුව‍ට ආපු මල විකාර තවත් අදහසක්...

Wednesday, 15 October 2008

ආදර බයිලා සමග පුරුදු වෙනස් වීම

අදහස් ගොන්නක් හිතේ තියාගෙනයි මේ සටහන ලියන්නේ... මේක ඉලාස්ටික් වෙන්න ඉඩ තියෙනවා. ඒත් ලියන්නම ඕන.

අද (2008-10-14) මම මගේ පෙම්වතිය එක්ක කොටු ගැහුවා.. රවුම් නෙවෙයි. ඒ කියන්නේ පරිමිත විවිධ බහු අස්‍රාකාර හැඩ ඔස්සේ අපි අද ඇවිද්දා. කිලෝමී‍ටර් ගානක් වටේම මිනිස්සුන්ව ඉරිසියාවෙන් සහ හීනමානී දුප්පත්කමින් පුපුරවමින් අපි අපේම පුංචි Portable LAN එකක් හදාගෙන දෙඩෙව්වා. බස් කීපයක් පුරා දොඩමලු වුණා. ආයෙත් කාලෙකට ගන්න බැරි දේවල් සහ අවස්ථා ගොඩක් අද අපි අහිංසක විධියට භුක්ති වින්දා. මම ආයෙත් ඇයගෙන් පිරිලා දැන්....

ඇය සමුඅරන් ගියාට පස්සෙ මම ඇයට කවියක් කෙටුව. මේ තියෙන්නෙ නැවත සංස්කරණය කරපු එකක්.

නුඹේ අත්
පොකුරු මත
මා දමා ආ
මගේ අත
නැතිවත්
මා පූර්ණයි
සිත පුරා පිරි
නුඹේ මතකින්

දන්නැද්ද මඤ්ඥං වුණාම ලියවෙන ඒවා ;)

අපි දෙන්නා පෝයට වහපු වාහන හදන ස්ථානයක ආවරණය පැතුවා වැහැපු වෙලේක. වැස්ස පායලත් පැය බාගයක් යන කල් අපි කතා කලා බොහොම දේවල්. අපේ මහගෙදර විප්ලවවාදී කවියා ගැන කතාවක් ඇදුණු වෙලාවක අපිට මාතෘකාව විධියට ආයෙත් විප්ලවය ආවා.

තනි තනි මිනිස්සු වෙනස් නොවී මොන තරම් මූලධර්ම වලින් විප්ලව කලත් පලක් නෑ. මේ කියන විප්ලවයෙන් පස්සෙ ආයෙත් තියෙන්නෙ පරණ පාලන ක්‍රමයමයි. වෙනස් ලොක්කො ටිකක් ඇවිත් වෙනස් දර්ශණයක් එක්ක. එයාල එක පරම්පරාවක් ඕක කරයි. ඒත් මේ පොදු මහජනයාගේ කුහක කම් සහ පොදු තෘෂ්ණාව එක්ක කවදාවත් කතිකාමය විප්ලවයෙන් සර්ව සාධාරණ සමාජයක් කෙසේ වෙතත් ටිකක් ෂේප් එකක් වත් ගොඩනගන්න බෑ.

මට මතක් වෙන්නෙ 1984. මේක ජෝජ් ඕවල් ලියපු පොතක්. මම කියෙව්වෙ නම් සිංහල පරිවර්තනය. මේකෙ කියවෙන්නෙ විප්ලවයක් හරහා සමාජවාදී අන්තයකට ගිය සමාජයක් ගැන. ඕන නම් පොත හොයාගන්න. මගේ චිත්‍රපටි බාන මිතුරාට කියල මමත් චිත්‍රපටිය හොයාගන්න ඕන බලන්න.

විප්ලවයක් අපට ඕන. ඒක දැනුමේ විප්ලවයක්. සිතිවිලි විප්ලවයක්. මිනිස්සු හිතන විධි වෙනස් වෙන්න ඕන. ඒ වෙනුවෙන් විධිමත් පිලිවෙලක් සම්මත වෙන්න ඕන. ඒක කවදාවත් නොවෙන නිසා විප්ලවයක් කියලා හැමදාම අපිට වචන ටිකක් විතරක් තියෙයි.

මිනිස්සු තමා හිතන විධියට හුරු වෙලයි ඉන්නේ. පුංචි කාලෙ ඉඳන් ඔළුවෙ පිරෙන නා නා විධ දේවල් නිසා ඇත්ත නිවැරදිව දකින්න තියෙන හැකියාව මොට වෙලයි තියෙන්නේ මිනිස්සුන්ගේ. ඇත්තටම කිව්වොත් මාත් එක්කම. මම අර සම්පත් කිව්ව වගේ මගේ මොලය හෝදමින් ඉන්න අවධියක් තමයි දැන් පසුවෙන්නේ. ඒකෙදි මට මගේ මොලේ ඇතුලෙ හිර වෙලා තියෙන මල විකාර එක එක අහු වෙල, මම ඒව විනාශ කරල තියෙනව ඕන තරම්.

මම පහුගිය දවසක වුණ සිද්ධියක් කියන්නම්. අපේ ආයතනයට අමු ද්‍රව්‍ය සපයන ආයතනයේ වෙළඳ නියෝජිත මහත්මය (x ලෙස ගමු) දවසක් අපිත් එක්ක දුමකට සෙට් වුණ වෙලාවක අපි ජීවිතේ ගැන කතා කලා. මේ පුද්ගලය විවාහ වෙලා වැඩි කාලයක් නෑ. ඒ අපි දන්න තරුණියක් එක්ක. x කියන්නෙ කන බොන දේවල් මගඅරින විධියෙ කෙනෙක් නෙවෙයි. ජීවිතය ජොලියෙ ගෙවන්න ආස කෙනෙක්. ටික ටික ගෙවන්න වාහනයකුත් අරන්. අපට වඩා හොඳින් ඉන්නව වගේ පේනව. ඒ වුණාට අපට තියෙන ආර්ථික මැසිවිල්ල එයාටත් තියෙනව. එයාට අපට වඩා තියෙනව වගේ. වාහනේට ගෙවන්න මාසෙකට රුපියල් 40,000ක් අනිවාර්යයෙන් ඕනලු. ඊට අමතරව නඩත්තු වියදම් වුණත් එහෙමයිලු. x මේ කතා කියමින් අපිත් එක්ක කතා කලා.

ඒ අස්සෙ එයා මෙහෙම කිව්ව.

"මොනව වුණත් අපි ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න විධිය වෙනස් කරන්න අමාරුයිනේ බං"

ඒක x ගේ අදහස. ම‍ට හිතෙන්නේ මේ වෙනස් නොවීමයි අවුල. අපි අපේ උවමනාව වටහා ගන්නෙ නෑ. ඒ අනුව වෙනස් වෙන්නෙත් නෑ. කලිනුත් කිව්ව වගේ අපි පුරුදු වලට ඇබ්බැහි වෙලා තව තව දරුණු ලෙස පුරුදු වලට ඇබ්බැහි වෙමින් ඉන්නව. මේ පුරුදු වෙනස් කරල මිස විප්ලවයක් ගැන හිතන්න බෑ. ඇත්තටම අපි වෙනස් ‍වීම ගැන හිතන්නවත් කැමති නෑ. හිතන විධියත් (Pattern) අපි පුරුදු කරගෙන ඉන්න නිසා විධිමත් හැදෑරීමකින් මේ ගැන කතා කරල විසඳගත්තොත් මිස වෙන විසඳුමක් මට පේන්නෙ නෑ.

ඕන නම් මේ සේරමත් දාර්ශණික සහ ආගමික තර්ක තුල දිය කරන්න පුළුවන්. ඒව තුල තියෙනව හිත සනසන ධනාත්මක චින්තනවාදී අදහස් ඕන තරම් මේ ‍වගේ විකාර නොහිතෙන්න.

මේ කවිය ලිව්වෙ ගනේගොඩ විමානේ සිට...


වෙනස් වීම



නුඹ වෙනස් වන්න
ලෝකය වෙනස් කරන්න

උස් මිටි භේද නැති
දුප්පත් පෝසත් වෙනස නැති
අද අපගේ සිහින තුල ඇති
ලොවක් බිහි කරන්න
නුඹ වෙනස් වන්න

...

..

.

ඒත් ..

නුඹ වෙනස් නොවේ
නුඹට වෙනස් වීමට ඇති
අවස්ථා සියල්ල
කරුමයටත්
දෙවියන්ටත්
ඉගැන් වූ බොරු වලටත්
යට කර
එයටම ඇබ්බැහිව
වෙනස් වනු නොහැකිව
නුඹ ලෙසම හිඳින නුඹ
කෙදිනකවත්
වෙනස් නොවේ

කුණු වෙමින්
නොවෙනස් ලොවක



© හරේෂ් එරංග
2008-10-02


Saturday, 11 October 2008

ෂෆල්ඩ්

ම ජීවිතේ නොසිතූ ලෙසේ ගෙවුණේ සැමදා
කාලයා විසින් සැදූ ලොවක් හමු වුණා
වෙනසක් නෑ සැමදා සැප දුක සැම බෙදුණා
දුකත් මට සතුටක් ජීවිතේ සැමදා

I'm having illusion many confusions
break the ice
stop be when you start confession
just forget about it

- චින්ති


මුළු ජීවිතේම දුක් ගීතයක් ගයන්න නොහිතා හිතේ පෙම් පුරාගෙන ඉරි තැණුනු වලා උඩු වියන් යට ගෝලීයකරණයේ මුදු පලස මතින් විශ්ව ගම්මානයේ ඇවිදින්න යන්න හිටපු ආදරේ කුරුටු ගෑ, නෙතු පුරා කඳුළු අතුරපු හසඟනාවි පාවෙලා යන්නවත්, ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිලක හීනයක් වෙන්නවත් මට ඉඩ නොදී ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න කලින් සිනහ පොකුරක් අරන් එයි කියල සොවින් පිරි මගේ හදවත ළමැද සුව යහනක් ඇයට තනා දෙන බලාපොරොත්තුවෙන් ඇය තවමත් ඇය තමයි කියල හිතාගෙන බවෙන් බවේ පෙරුම් පුරා බලා සිටිනවා.

- හෙන සෙට් එකක්


ඉතිං දෙයියනේ ජීවත් වෙන්න ඒ ටිකම මදිද කියල හැමදාම රෑට නිදාගන්න කලින් මතක් කලත් දවල්ට උගුර කඩාගෙන සින්දු කියල නලියල දඟලල බැරි තැන කී බෝඩ් එකටත් තඩි බාල ඒත් මදි වුණාම දවස් ගානක් නිදාගන්න මගේ ජීවිතේ කොයි තරම් සුන්දරද සත්තලං?

- මම


දැන්නං හොඳටම ෂුවර් මූට පිස්සු කියල

- ඔබ

Thursday, 9 October 2008

ගෙදර ප්‍රශ්ණ

මේක ගැන ලියන්න ඕන කියල scribefire එකේ කෙටි සටහනකුත් දාල තිබුණට උඩට මතු වුණේම නෑ. නමුත් මලීගෙ කෆ්කා සමග මුහුදු වෙරළේ සති අන්තයක් ‍කි‍යෙව්වම හිතුණ මේකත් ඒ එක්කම යයි කියල.


මම ජීවත් වෙන සහ වුණ ගෙවල් ඇතුළුව මම යන එන බොහෝ ගෙවල් වලදි මට පුරස්ණ ගොඩක් ඇවිත් තියෙනව. ඒ කියන්නෙ ගෙදර පේන්න තියෙන බඩු බාහිරාදිය සහ ඒව ඒ විධියට පිරිසිදුවට සහ මනා ලෙස පවත්වගන්න ගෙවල් හිමියන් දරන මහන්සිය ගැන.

බොහෝ මධ්‍යම ප්‍රාන්තික ගෙවල්වල සාලෙ තමයි පිඟන් කෝප්ප සහිත කැබිනෙට්ටුව තියෙන්නේ. අමුත්තෙක් ආවම කුස්සියෙ ඉඳන් සාලෙට ඇවිත් පිඟන් කෝප්ප අරන් යන්න ඕන කෑම පිලිගන්වන්න හෝ තේ එකක් දෙන්න වුණාම. මම මේ ගැන තනියම හිනා වෙලා තියෙනව ඇති තරම්. ගෙවල් වලට ගියාම දැන් දැන් නම් මේ ගතිය දකිනව අඩුයි. මොකද සාලෙ තියෙන කැබිනට් එකට අමතර එකක් කුස්සිය ආශ්‍රිතව තියෙනව. ඒ නිසා මේ දේ දැක්කෙ නෑ කාලෙකින්. නමුත් සාලෙ තියෙන කැබිනට් එක නම් එහෙම්මමයි.

මේ කැබිනට් එකට අමතරව සාමාන්‍ය ගෙයක කොයි තරම් බඩු කන්දරාවක් තියෙනවද? මේස පුටු නොයෙක් ඇතිරිලි වලට අමතරව ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙ නිපුණත්වය නිසා එලියට නෙරපු සහ හිස් තැන් සහිත බිත්ති වල නොයෙක් සැරසිලි.

මේව පිරිසිදුව තියාගන්නත් මේ ගෙවල් වල ස්වාමිදූවරු දක්ෂයි. එයාලගෙ වැඩේම ඒක තමයි. එයා හදාගත්තු කූඩුව පිරිසිදුව තියාගන්න එක. මම දැන් ඉන්න වාස භවනේ පුංචි අම්මව මතක් වෙනව ආසන්නම උදාහරණෙ විධියට. අපේ ගෙදර කුණු රැ‍ඳෙන්නෙම නෑ. ගේ ඇතුලෙ කුණු දූවිලි ඇත්තෙම නැති තරම්. ඇහැට පේන දූවිලි තට්ටුවක් මතුවෙන්න සුමානෙකට වඩා කල් යනව කොහොමත්. නමුත් අපේ පුංචිට හැමදාම ගේ කොනක ඉඳන් සුද්ධ කරන්න ඕන. අර කැබිනට් උඩ තියෙන පින්තූරද අරවද මේවද සේරම පිස දමමින් එයා ගේ අතුගානව හැමදාම. එයාට ඒක කරන්න බැරි වුණ දාට ගෙදර මිනිස්සු ඉවරයි. තොපි නහය නැති එවුං එකෙක්ටවත් මේක සුද්ධ කරන්න බැරිද කියල බැනුම් කෝටියයි.

මම දන්න, විවාහ වෙලා දරුවො ලබල මැදි වයසෙ ඉන්න කාන්තාවො බොහොමයකගෙ ජීවිතේ දුඛාන්තයක්. බොහෝ දෙනා වර්තමාන යථා තත්ත්වය පිලිගන්නෙ ලොකු දුකකුත් දරාගෙන වෙන කරන්න දෙයක් නැති නිසා. එයාලට එයාලව අහිමි වුණ බවක් සමහරුන්ගෙ කතා වලින් මට තේරුණා. මේ දේ ප්‍රසිද්ධියේ නොකිව්වත් බොහොමයක් කාන්තාවන්ට මේ තත්ත්වය පොදුයි.

ගැහැණියට එයාවම අහිමි වෙන කැප කිරීම් ටිකක් ලියාපදිංචි වෙලා තියෙනව නේද මේ සංස්කෘතිය තුල. ඒ කැප කිරීම් එයාලගෙ කාන්තා ස්වභාවය උත්කෘෂ්ඨ කරනවය කියල එයාලව මුරුංගා අත්තේ පිහිටුවීමක් නේද තියෙන්නේ. ඒ නිසා ඒ කැප කිරීම් හරිම පූජනීයයි. හරිම අව්‍යාජයි. හරිම විශිෂ්ඨයි. ඇගේ පවුලේ ආරක්ෂාව ගැන ඇයමනේ හොයා බලන්න ඕන. ඇගේ නිවස සුන්දර කරගන්න ඇයමනේ කැපවෙන්න ඕන. ඇගේ වැසිකිලිය පිරිසිදුව තබාගන්න ඇයමනේ කෙමිකල් හොයන්න ඕන. දරුවන්ගෙ පෝෂණය ගැන, ආරක්ෂාව ගැන ඕනවටත් වඩා ඇය තමයි වෙහෙසෙන්නේ. ඔය අතරේ ඇගේ රූ සපුව මනාව පවත්වාගන්නත්, දත් සහ අස්ථි ශක්තිමත්ව තියාගන්නත් ඇයට ගේමක් දෙන්න වෙනව. අන්තිමේ ඇයට තමයි හැම දේම.

නමුත් ඇයට ඇය අහිමි වෙලා කියල ඈ දැනගද්දි කතාව ඉවරයි!

මම හිතන්නෙ කාන්තාවො බොහොමයකට මේ ‍දේ වෙන්නෙ එයාල හොයන්නෙ නැති හින්දයි. පුංචි කාලෙ ඉඳන් ගැහැණියකගෙ හීනය හැදිල තියෙන්නෙ ජීවිතෙන් බාගෙකට. සුදු අස්සයෙක් පිට එන කුමාරය හාද්දක් දීල ඇයව කැන්දන් ඈතට යද්දිම හීනය ඉවර වෙනව. එතනින් එහාට නිවන් යනවද මන්දා. නැත්නම් මම දැනටමත් මේ ගැන ඕනවට වඩා මමත් නොදන්න වැල් වටාරම් ඇද බෑවද?

කාන්තාවො ඉන්නෙ වැඩ වවාගෙන. එයාලට එයාලව හොයන්න තියෙන වෙලාවෙත් එයාලට කරන්න දාහක් වැඩ එයාලම වවාගෙන. පොතක් කියවන්න පත්තරයක් බලන්න එයාලට වෙලා නෑ. රූපවාහිනී නම් බලයි. බලන්න ඕනම නැති ටික හොයාගෙන බලයි. පොත් පත්තර තියෙනවනේ එයාලටම කියවන්න. වැල් වගේ ඇදෙන නව කතා සහ උයන පිහන නාන මහන ඒව ගැනම තියෙන පත්තර.

කාන්තාවකට මේ දේවල් පැහැදිලි කරල දෙන්නවත් බෑ. මොකද ඒ තරමට ‍එයාල හිර වෙලා. නැත්නම් ආයෙත් පටන්ගන්න කම්මැලිකම. නූතන තරුණියො නම් මේක තේරුම් අරගෙනද තවත් අනාගෙනද මන්දා ඉන්නේ. මට නම් පේන්නෙ තවත් අනාගෙන වගේ. නමුත් දැන් මේ කාරණා ගැන සාකච්ඡා වෙනව බොහෝ විට නූතන මාධ්‍ය වල යන්තමින් හරි.

ඒ නිසා ඉදිරියේදි මොලා වෙයිද දල්ලෙ ලෑ.




Tuesday, 7 October 2008

අලි පුකෙන් හිඳි කාලය ඉගෙනීම

කියන්න ඕන කරන බොහොමයක් දේවල් අතර ටිකක් පැටලිලා ඉන්න මොහොතක හිතට ආපු දේ සටහන් කරන්න ඕන කියල හිතුණ ක්ෂණයෙන්.

මම මත් වෙලා. මගේම හිත තුල මං මාව මත් කරගෙන. ඒකට ආස වෙන්නත් අරන්. මගේ සාමාන්‍ය ජීවිතය අවුල් නොකරන තාක් මං ඒකට ආස වෙයි. ඊට පස්සෙත් සමහර විට. ;)

මං ඊයෙ හෙවත් 2008.10.06 වෙනිදා ලියපු කවියක් එක වරම පෙන්නනවට වඩා ඒ ගැන සටහනක් මුලින් දෙන්න ඕන කියල මට හිතුණ. සාමාන්‍යයෙන් ඒක කරන්නෙ නෑ මම. මුලින් විස්තර කථනය කරන එක. නමුත් පුංචි අත්හදා බැලීමකටත් එක්ක කරල බලන්න ඕන කියල හිතුණා.

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවියෙදි අපිට නොයෙකුත් විධියෙ අය හමු වෙනවනේ. මේ හැමෝම අපි අර කණ්ඩායම් ‍අනුව හෝ වෙනක් ක්‍රමයක් අනුව හෝ නොවී හෝ තේරුම් ගන්නව. එයා ගොඩක් නරක වැරදි කරන හෝ මොනයම් ම විධියකින් හෝ අපේ විධියට නොගැලපෙන කෙනෙක් වුණොත් අපි එයාව මග අරිනව නේද?

මට හිතෙන්නෙ අපට ලෝකෙ ඉන්න හැමෝගෙන්ම ඉගෙනගන්න යමක් තියෙනව කියල. 99%ක් ම දෙනෙක්ගෙන් අපට ඒ දේ ගන්න බැරි වුණාට අපේ ජීවිතේ වෙනස් කරන්න සමත් බොහෝ දේ බාහිර අය හරහා අපට හමු වෙනව. ඒ ඔස්සේ තමයි කොහොමත් අපි ඉගෙන ගන්නේ. මුලින් අපේ දෙමාපියන්ගෙන්, නෑදෑයන්ගෙන්, ගුරුවරුන්ගෙන් ආදී වශයෙන්. ඒවගේ ‍ඉගෙනීම් හැබැයි අනිවාර්යයයි. ඒ ඔස්සේ හෝ වෙනත් ක්‍රමයක් ඔස්සේ අපි සාමාන්‍ය පුරවැසියෙක් විධියට හිතන්න ගත්තම තමයි ඉගෙනීම අමතක වෙන්නේ.

යම් සාමාජික තත්ත්වයක් තුල අපට තියෙන පිලිගැනීම නිසා හෝ වෙනත් යමක් නිසා යම් යම් දේවල් ගැන අපිට හිතෙනවා මම තමයි පොර කියලා. අනිත් අයට එහෙම නොවෙනවද කියල මම දන්නෙ නෑ. මම නම් මම ම හිතාගෙන ඉන්න ඇතැම් දේවල් සම්බන්ධව තාම හිතන්නෙ පොරක් විධියට. අනිත් අයත් එහෙම්ම ම තමයි මම දන්න තරමින්. මට බොහොම පොරවල් හම්බ වෙලත් තියෙනව තමන් පොර කියල හිතාගෙන ඉන්න. මොනව වුණත් මේ පොරවල් සහ නොපො‍රවල් සියළු දෙනා සතුව අපට ගන්න පුළුවන් සාගරයක් තරම් දේවල් ඇති නේද?

ඒ දේ දැනගන්න අපිට එයාලව සෑහෙන්න තදින් ඇසුරු කරන්න වෙනව. නැත්නම් නිරීක්ෂණය කරන්න වෙනව. ඒකට ඉඩක් නැති තරම් අපි ජීවත් වෙන රටාව අනුව. කොහොම නමුත් මේ විධියට අපිට දේවල් බෙදාගන්න ඉඩක් ලැබෙන්නෙ හරිම සුළුවෙන්.

මම මේ කවිය ලියන්න හිතුවෙ ඔය සියළුම කාරණා ගැන හිතල. නමුත් ‍ඒකට හේතුව ඇරඹුණේ තනි තැනකින්...


අලි පුකෙන් හිඳි කාලය


මා සිතා උන්නේ
මා සප්ත මහා සාගරයත්
නිල් අහසත් කියායි

මට වැටහුණා
නුඹව දැනගත් කල

සප්ත මහා සාගරයේ
මා එක් ජල බිඳක් බව
නිල් අහසේ
එක් වලාකුලක් සේම...


© හරේෂ් එරංග ද සිල්වා
2008-10-06


Friday, 3 October 2008

ආවේග - Fire walls

ආවේගයක් කියන්නෙත් හැඟීමක් මට හිතෙන විධියට... නැත්නම් හැඟීමක් පිට කරන විධියක්... දුක සතුට ආදරය තරහ වේදනාව ඉරිසියාව වගේ විවිධ හැඟීම් ඔස්සේ අපි පත්වෙන එක්තරා තත්ත්වයක් වගේ එකක් තමයි ආවේගය.

මේක හින්ද අපිට අපි කවුද කියල අමතක වෙනව. ආවේගශීලී වුණාම කරන කියන දේ කරන්නෙ හිතල නෙවෙයි. ඒ මොහොතෙ තියෙන හැඟීම අනුව. බොහෝවිට ඒ කරන දේ ගැන පසුව පසුතැවෙන්න වෙන අවස්ථාව වැඩියි. මොකද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ වගේ සිද්ධ වුණ සිදුවීමක් වෙනස් කරන්නත් බෑ.

ඒ නිසාමයි බොහෝ ආගමික සහ දාර්ශනික ඉගැන්වීම් වල මේ ආවේගය පාලනය කරගත යුතු දෙයක් විධියට කියවෙන්නේ. මොකද අර ඉරිසියාව වගේ මේ ආවේගයත් අපට හොඳට වඩා නරකක් තමයි බොහෝ විට කරන්නේ.

වැඩේ කියන්නේ මේ ලියන මමත් ආවේගශීලීයි. නමුත් ඒක මම පිටකරන්නෙ දැන් නම් කවියකින්. නැත්නම් සින්දුවක් මිමිනීමෙන්. නැත්නම් නින්දෙන්. මේ වෙනකොට නම් ඒ දේවල් බෙදාගන්න පුළුවන් හෘදයාංගම පිරිසක් ඉන්නව මගේ වටේම.

ආවේගය කියන්නෙ කලාකරුවට නම් නිර්මාණාවේශයට හොඳ ප්‍රවිශ්ඨයක්. ආවේගශීලී නිර්මාණ වලදි යම් යම් කොටස් මග හැරෙන්න හෝ අමතක වෙන්න, ඒ නිසාම නිර්මාණය අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩි නිසා ආවේගශීලී නිර්මාණ නැවත නැවත සංස්කරණය කිරීම තමයි මම නම් කරන්නේ. අවසානෙදි බිහිවෙන එකට බොහෝවිට මම කැමති වෙනව.

මොනව වුණත් ආවේගශීලී වීමේදි පරෙස්සම් වෙන එක හොඳයි. පසුව දුක් වෙනවට වඩා තමා ආවේගශීලී වෙන අවස්ථාවන් හඳුනාගන්න උත්සාහ කරලා ඒ වගේ අවස්ථාවලදි හැසිරෙන විධියක් හදාගත්ත නම් හොඳයි. මම ඉරිසියාව කියන එක නම් එහෙම අල්ල ගත්ත... දැන් එයා එද්දි මම දන්නව දොර වහන්න.

හරියට Fire Wall එකක් වගේ.

මේ ස්වයං Fire wall එක දාගන්න තරමට හොඳක් මිස නරකක් වෙන්නෙ නෑ...



Thursday, 2 October 2008

වැනීම සහ මරණය

මම ඉන්නෙ වැනෙමින්... අද දවසෙ කාර්යාලයේ වුණ සිද්ධියක් නිසා මම සිත් තැවුලෙන්. කාලයක් අපිව දරුවො වගේ බලාගත්ත අපේ බොස්ව එලවීමේ ඉහල කලමණාකාරීත්වයේ කුමණ්ත්‍රණයක අළුයට තිබුණ ගිණි පුපුරු අද මතු වුණා. ඒ ගැන කියන්න කලින් මම අපේ බොස් ගැන කියන්නම්.

අපේ බොස් පොඩි ළමයෙක්. එයා පරිපාලනය ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඒ වුණාට කවුරුත් තම තමන් තමන්ගෙ වැඩේ හරියට කරනව නම් නිසි විධියට වැඩ ටික සිද්ධ වෙනවා ය කියන අරමුණින් එයා අපිට සෑහෙන නිදහසක් දුන්නා. ආයතනයේ වසර පහක කාලය තුල මුලදි ඕක හරියට ක්‍රියාත්මක වුණා. මොකද ආයතනය ඇරඹුමේදිම ඒකට එකතු වුණ සේවක පිරිස තුල හරිම එකමුතුවක් සහ අන්‍යෝන්‍ය වටහාගැනීමක් තිබුණ නිසා. නමුත් කල් යද්දි ක්‍රමයෙන් ඒක වෙනස් වුණා. හිටපු අය යද්දි අළුතෙන් එකතු වුණ අයට ආයතනය පාරාදීසයක් වුණා. ඒ නිසාම එයාල ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන අරගත්තා. ප්‍රතිපලය වුණේ අපිට ක්‍රමයක් පැමිණීම. ක්‍රමය කියන්නෙ වෙනත් ලොක්කෙක් පැමිණිම පරණ කෙනා ඉද්දිම.

අළුත් ලොක්කා රජයේ සහ වෙනත් ඉහල ආයතන කීපයක පරිපාලන තනතුරු දරපු පාලකයෙක්. හැබැයි එයා පාලනය කරල තියෙන්නෙ දරදඬු ආයතන. අපේ ආයතනය අර්ධ ලෙස නිර්මාණාත්මක එකක් වීම නිසාම එයාට අපිව හදාරන්න වුණා මුල ඉඳන්ම. ඒක නම් එයා හරියට කලා. ඊට පස්සෙ එයා පරිගණක පද්ධතිය තුල අපේ වැඩ ක්‍රමවත් කලා. අපට කරන හැම වැඩක්ම සටහන් කරන්න වුණා සහ ඒක හොඳක් වුණා කීප අතකින්.

නමුත් දැන් තත්ත්වෙ වෙනස්. දැන් මේ ලොක්කො දෙන්නා ඉන්නෙ බල අරගලයක... ඒකෙදි නම් දෙන්නා කිසිම ලොකු බවක් පෙන්නන්නෙ නෑ. අපේ භාෂාව තුල නම් ඇරගන්නවා කියල තමයි කියන්න වෙන්නේ.

මේ කතා වැඩක් නෑ... දැන් අපේ පරණ ලොක්කට ඉහලම කලමණාකාරීත්වයෙන් යන්න කියන තරමට තත්ත්වය දරුණු වෙලා. එහෙම වුණොත් මාත් එක්කම ආයතනයේ කීප දෙනෙක්ම ආයතනය තුල රැඳී ඉන්න අදහස අත හරියි...

දැන් මට රස්සාවල් හොයන්න වෙනව. අයෙත් ඉරිදට Sunday Observer ගන්න වෙනව. ජීවත් වෙන්න එපැයි වෙනත් අය වෙනුවෙන්.

බලමු මොකද වෙන්නෙ කියලා.

මම ගියොත්! මගේ මාර්ගගත ජීවිතයත් ඉවරයි. මට කාලෙකට මැරෙන්න පුළුවන්! අයෙ කවද හරි කොහෙන් හරි සම්බන්ධ වෙනකල්.

නමුත් මම හිතනවා එහෙම නොවෙයි කියලා.

Wednesday, 1 October 2008

කවි දෙකක් එක්ක පින්තූරයක් නොමිලේ...

මේ කවි ඇත්තටම අපේ අළුත් නවාතැන වෙන අවකාශයේ රූපයකට කවක් කියන තේමාව යටතේ පහල තියෙන පින්තූරය ගැන ලියවුණ කවි දෙකක්. දෙක දෙවිධියක්.... කියවලම බලන්ට මෙයාලා...

තව එකක්... මේ පින්තූරය ගත්තෙ හරේෂ් කියල කෙනෙක්.



















මේ කවිය කියන්නෙ මගේ සීයා... හික් හික්...


මගේ එක් අතක්
පණ නැතිව
වැහැරිලා
මියෙන්නට ගොස්
වෙදතුමා කීවාම
වයසටයි ඔය කියා
මා ඇසුවා

මගෙ අනිත් අතත්
ඒ වයසෙම නිසා
කොහොම වෙන්නද ඒක?

වෙදතුමා හිනැහුණා
ඒව ඒ වගෙ තමයි
ඒ ඔහුගෙ පිලිතුරයි

මා කෙඬෑරිව ගෙදරවිත්
මා මුණුපුරුට
කී විට මෙපුවත
ඔහු පෙන්වූවා
මට මෙය
එකම අත්තක
පරවූ මලක්
තරුණ මලක් එක්ක
එකවිට.....


© හරේෂ් එරංග
2008-09-30



------------------------------------------


ජීවිතය...

ජීවිතය...
අපි සුන්දරව
පාට තවරන්
එහෙ මෙහෙ දුවන්
විසිතුරු කරන්
විඳින අතරම

දකියිද අප
යම් දිනෙක
වැහැරී
මිලින වන
අප සොඳුරු
දිවියම...

නොදැන පසුතැවේවිද
සොඳින් දැන තුටු වේවිද
මේ දිවියේ අරුත
‍කාලයේ මිතුරු ඇසුරේ


© හරේෂ් එරංග
2008-09-30