Tuesday, 22 February 2011

තීන්ත බාස්



තීන්ත බඳුණට වැටුණු කෘමියා ඒ මේ අත දඟලන්නට විය. මම වහා බුරුසුව පැත්තකින් තබා දබරඟිල්ල තීන්ත බඳුණට ඔබා කෘමියා එලියට ගත්තෙමි. එහෙත් තිනර් යොදා තනුක කල එනැමල් තීන්ත ද්‍රාවණයෙන් ඌට ගැලවීමක් පෙනෙන්නට තිබුණේ නැත. තීන්ත සීරැවෙන් කෘමියාගේ සිරැර වසා පැතිරී ඌ වර්ණ ගැන්විණි.

මොහොතකින් උගේ දැඟලිල්ල නතර විය. ඌ මට සිතාගතවත් නොහැකි මරණයකට ගොදුරු වී ඇත. ඇඟිල්ල ඒ මේ අත හරවා හොඳින් බැලූ විට කෘමියා මදුරුවෙක් බව පෙණුනි. වෙනදාට හොඳින් දැකිය නොහැකි ඌ ලේ උරා බොන කීලය ලා කොළ පැහැයෙන් වර්ණවත්ව හොඳින් පෙණෙන්නට තිබුණි. පිහාටු යුගල එනැමල් තීන්තෙන් එකට ඇලී දිස් විය. අඬු සහිත සිරුරේ ඉතිරි කොටස ඇඟිල්ල මත තීන්ත ගුලියකින් ඇලී තිබුණි.

මගේ සිතේ සියුම් දුකක් මතු වී එන්නට විය. මම වෙනදාට මදුරුවන් සිත්සේ මරුමුවට යවා ඇත්තෙමි. ඇ‍ඟේ වසා ලේ උරා බොන විටදීද, මදුරු දැල තුලට සිදුරකින් රිංගා නැවත පිටවීමට නොහැකිව පසු දින උදෑසන තෙක් රුඳී සිටි අවස්ථා වලදීද මම කිසිදු හැඟීමකින් තොරව උන් අත්ලෙන් තලා ඇත්තෙමි. මදුරු කරදරය දැඩි කාල වලදී කාමරයේ අහුමුළු වල එල්ලී සිටි මදුරුවන් බිත්තියට අත්ලින් ගසා පොඩි කල සලකුණු අද ද මාගේ කාමරයේ දකින්නට ඇත.

එහෙත් තීන්තෙන් පෙඟී මියගිය මදුරුවා මා තුල දුකක් ඇති කර ඇත.


......................


තාත්තාගේ අභාවයේ තෙමස් පූර්ණ දානමය පිංකම වෙනුවෙන් නිවසේ තීන්ත ආලේප කරන්නට උවමනා වූයේ අම්මාටය. අප නිවස අවුරුදු දහයකින් මෙපිට වර්ණ නොගන්වා දුර්වර්ණ වී තිබූ බැවින් එම අදහසට පවුලේ සියළු දෙනා විවාදයකින් තොරව එකඟ විය. මා තීන්ත උලන්නකු බවට පත්වූයේ එහි ඇවෑමෙනි.

නිවස තුල බිත්තිවල වර්ණ ආලේප කල පසු මම ජනෙල් රාමුවල ආලේප කරන්නට ගෙනා එනැමල් තීන්ත ආලේප කරමින් සිටියෙමි.

තාත්තා පසුගිය වසර කීපයේම නිවසේ තීන්ත ආලේප කරන්නට උනන්දු වූයේ නැත. ඒ පිළිබඳව අම්මා මැසිවිලි නැගූ හැම මොහොතේම 'වැඩ වැඩි කරගන්න එපා' යයි කියමින් තාත්තා එම අදහස ඉවත හෙලීය. නිවසේ වර්තමාන තීන්ත ආලේපය ප්‍රමාණවත් බවත් අනුන් කරන පලියට වසර දෙක තුනක විරාම සහිතව නැවත නැවත තීන්ත ආලේප කිරීම අනවශ්‍ය බවත් තාත්තා පැවසීය. එහෙයින්ම වැඩ වැඩි කර ගැනීමට කිසිසේත්ම කැමති නොවූ මා ද තීන්ත ආලේපය පිළිබඳව උනන්දු වූයේ නැත.

එහෙත් අවසානයේ තාත්තා විසින්ම නිවසේ තීන්ත ආලේප කරන්නට හේතුවක් සපයා දී ඇත.

ඔහුගේ නික්ම යාමේ තෙමස් පූර්ණ පිංකම සඳහා ඉතිරිව ඇත්තේ සතියකට මදක් වැඩි කලකි. සියල්ලෝ ඊට සූදානම් වූයේ බොහොමත්ම සැදැහැවත් සිතකිනි. ධර්ම දේශණයට පෙර, නිවසේ සූදානමේ සිටම දානමය පිංකම අවසානය දක්වාම සියල්ල සැලසුම් වූයේත් ඒවාට අදාල දින වකවානු වෙන් වී වගකීම් බෙදී ගියේත් වසර ගණනාවකින් අප නිවසේ පැවැත්වෙන පිංකම වෙනුවෙන් භක්තිමත් සිතිණි.

මා තවත් කීප දෙනෙකු හා එක්ව කල් තියා තීන්ත ආලේප කරන්නට වූයේ දින ආසන්නවත්ම වෙනත් රාජකාරි අධික වන හෙයිනි.

නිවසේ කවුළු වලට ඉහලින් තිබූ වා කවුළු තුල තීන්ත ආලේපයේදී මම ඒවා තුල බැඳ තිබූ කුඹලුන්ගේ මැටි ගෙවල් කීපයක්ම කඩා ඉවත් කලෙමි. ඒව ඉතා පැරණි වූ අතර මේ වන විට වාසස්ථාන වී තිබුණේ නැත. එබැවින් ඒවා විනාශ කිරීම පිළිබඳ වරදකාරී හැඟීමක් මට දැණුනේ නැත.

නිවස තුල මෙන්ම පිටතද බැඳ තිබූ මකුළු දැල් රාශියක් අම්මා විසින් කොස්සකින් කඩා ඉවත් කරන ලදී. කොස්සෙන් ඉවත් කිරීමට නොහැකි මුළු වල තිබූ සියුම් මකුළු දැල් තීන්ත ආලේප කරන අවස්ථාවේදී කෝටු කැබැල්ලක අමුණා ඉවතලන ලදී. මකුළුවන් කිහිප දෙනෙකුට වඩා මා නුදුටු අතර උන් ඇතැම් විට පැමිණෙන විපතේ සේයාව දැනී කලින්ම ඉවත්ව ගොස් සිටින්නට ඇත.

නිවසට පිටින් සහ ඇතුලතින් විහිදී තිබූ කුහුඹු මාවත් සහමුලින්ම විනාශ විය. ආලේපයට පෙර රෙදි කැබැල්ලකින් ගසා කුහුඹුවන් ඉවත් කලද ආලේපයෙන් පසු උන් ඒ මත ඇවිදින්නට යාමෙන් තීන්තෙහි ඇලී කණ්ඩායම් වශයෙන් මියගොස් සිටි අයුරු මම දුටුවෙමි. උන් මත ආලේප වන සේ නැවතත් බුරුසුවෙන් තීන්ත පාරක් යැවීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.


......................


මම තවමත් මාගේ දබරඟිල්ල මත මියගොස් සිටි මදුරුවා දෙස බලා සිටින්නෙමි. මදුරුවා මහා ජීවිත සංහාරයක් පිළිබඳව මාගේ සිහිය අවදි කලද ඒ වෙනුවෙන් ඌට දිවියෙන්ම වන්දි ගෙවීමට සිදුවී ඇත. ආසන්නව ගත්කල ජීවිත සියයකට වැඩි ප්‍රමාණයක් මේ තීන්ත ආලේප සංග්‍රාමය නිසා විනාශ වී ඇත. නමුත් පිංකම පිළිබඳ හැඟීම බලවත් වී ඇති බැවින් එම ජීවිත සංහාරය පිළිබඳව අප සවිඥාණික වූයේ නැත.

දානමය පින්කමේ පින් බලය ජිවිත සියයක සංහාරය වෙනුවෙන් තුලනය වෙයිද?

මගේ මනස තෝන්තුවන්නට විය. කලාතුරකින් දැණෙන ආගන්තුක තැනක වෙසෙනවා වැනි හැඟීමක් මොහොතකට මට දැණුනි. වහා මේ සියල්ලෙන් පලායන්නට මට උවමනා විය.

මම දබරඟිල්ල මහපටඟිල්ලට තෙරපා දුන්නක් සේ බලය කවා නැවත ක්ෂණයෙන් විහිදා මදුරුවා කවුළුවෙන් පිටතට විසි කළෙමි.

රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක හඬ මට ඇසේ. ඉන් කියවෙන්නේ පැවති අධික වර්ෂාවෙන් හා නාය යාම්වලින් අවතැන් වූවන් සහ මරණයට පත් වූවන් ගැන නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවය.


පින්තූරය මෙතනින්

Sunday, 13 February 2011

ලොකු අක්කා...


මනෝජ් ගීතිකා එක්ක ඉස්පිරිතාලෙට ආවෙ ලොකු අක්කව බලන්න. කලින්දා රෑ රුධිර පීඩනේ වැඩි වෙලා ලොකු අක්කව ඉස්පිරිතාලෙ නවත්තල.

ඉහල මාලෙට නගින පළල් පඩිපෙලේ වයසක සීය කෙනෙක් අමාරුවෙන් හෙමින් හෙමින් අත්වැල අල්ලගෙන ඉහලට නගිනවා...

"නගින්න අමාරුයි නේද සීයා..." මනෝජ් සීයගෙ දකුණු අත යටින් අත දාල සීයව වත්තම් කරගෙන හෙමින් ඉහලට එක්කගෙන ගියා...

සීයා රෝහලේ රෝගියෙක් බව පේන්න තිබුණා. මැණික් කටුවෙ තිබුණ සේලයින් දෙන්න අමුණපු කටුවක්.

ඒත් මේ උඩ තට්ටුවෙ තියෙන්නෙ කාන්තා වාට්ටුවක්.

"මේ... සීය වාට්ටුව වරද්දගෙනද දන්නෑ... උඩ තියෙන්නෙ ගෑණු අයගෙ වාට්ටුවනේ" ගීතිකා මනෝජ්ගෙ කණට කෙඳිරුව.

"සීය හරි වාට්ටුවටද යන්නේ...?" මනෝජ් ඇහුවා.

වැරදි වාට්ටුවට ගිහින් අනිත් පාර බලධාරියගෙන් බැණුම් අහගන්නත් වෙයි උදව් කලා මදිවට...

"නෝන ඉන්නෙ උඩ වාට්ටුවෙ මහත්තයෝ..." සීය හරිම හෙමින් මිමිණුවා...

ඒ කියපු කතාව මනෝජ්ට තේරුණෙ නැතත් සීයට යන්න උවමනා උඩ වාට්ටුවට බව ඒ කතාවෙන් තේරුණ නිසා මනෝජ් ආයෙ මුකුත් කියන්න ගියෙ නෑ...

වාට්ටුව පටන් ගන්න කොරිඩෝව ගාවදි මනෝජ් සීය‍ට සමු දීල ලොකු අක්ක හිටපු පැත්තට හැරුණා. සීය මූණ පුරා හිනාවක් ඇඳන් මනෝජ් දිහා බැලූ බැල්මෙ වචන වලට පෙරලන්න බැරි තරම් ස්තූතියක් ගැබ්වෙලා තිබුණ.

මනෝජ් ගීතිකාවත් ඇදන් සෙනග අස්සෙන් ලොකු අක්කගෙ ඇඳ ගාවට ගියා. අක්කගෙ පුතයි දුවයි දෙන්නත් ඇවිත් හිටිය. ඒ එක්කම ලොකු අක්කලගෙ ගෙදරට අල්ලපු ගෙදර සින්ති අක්කත් ඇවිත්.

ආගිය තොරතුරු කතා කරමින් දොස්තරල කියපුව ගැන අහමින් ඉන්න අතරෙ සින්ති අක්ක කොහේදෝ ගිහින්... එයා නොදන්න කෙනෙක් නෑ ඉස්පිරිතාලෙ... කාව හරි හම්බවෙන්න යන්න ඇති කියල ලොකු පුතා කිව්ව.

ලෙඩ්ඩුන්ට කෑම දෙන කෑම ට්‍රොලිය තල්ලු කරන් ආපු රෝහලේ සේවිකාවො දෙන්නෙක් කෑම ඕන කට්ටියට කෑම බෙදුවා.. මනෝජ් ලොකු අක්කත් එක්ක ආයෙමත් ලෙඩ ගැන කතාව ඇදගෙන ගියා...

"අනේ පව් අර සීයයි ආච්චියි... දෙන්නම වාට්ටු දෙකේ නැවතිලලු... " කොහෙදෝ ඉඳන් ආපු සින්ති අක්ක මැද්දට පැන්නා.

සින්ති අක්ක කවුරු හරි එක්ක කතා කරපු ටිකට ඕපයක් හොයාගෙනද? කට්ටියම බැලුවා සින්ති අක්ක බලන් හිටපු දිහා.

මනෝජ් වාට්ටුවට එක්කරගෙන ආපු සීය තවත් ආච්චි කෙනෙක් එක්ක ඇවිත් කෑම ට්‍රොලියෙන් කෑම ගන්නව. දෙන්න බත් දෙකක් බෙදාගෙන වාට්ටුව කෙළවරේම ඇ‍‍ඳට ගිහින් ඉඳගෙන කන්න පටන්ගත්ත. දෙන්නටම එක වගේ වයස. ඇවිදගන්නෙත් අමාරුවෙන්..

"අනේ හරිම පව්... ළමයි නැද්ද දන්නෙ නෑ..." ගීතිකා මනෝජ්ගෙ අතින් අල්ලගෙන කිව්ව.

"ළමයි හතර දෙනෙක් ඉන්නවලු... සලකන්නෙ නෑලු..." එහෙම කිව්වෙ ලොකු අක්කට අල්ලපු ඇ‍ඳේ හිටපු ලොකු අක්කගෙ වයසෙම වගේ අක්ක කෙනෙක්. එයා ඇ‍ඳේ හරි බරි ගැහිල ඉඳගත්තෙ කතාව කියන්න. ඒ අක්ක කෝච්චියක් වගේ කියවන්න දස්සයි කියල උදේ ආපු වෙලේ ලොකු අක්ක කියල තිබුණ.

"ඔය සීය කෑම ගන්න වෙලාවට ආච්චිව හොයාගෙන එනව. එයා ඉන්නෙ පහල පිරිමි වාට්ටුවේ..."

"පව් නේද..." කව්දෝ කිව්ව.

"ළමයි බලන්නෙ නෑලු... ඔය වැඩිහිටි නිවාසෙන් තමයි ගෙනත් බාර දීල තියෙන්නෙ... ආච්චි දැන් සති දෙකක් විතර ඉන්නවලු..." අල්ලපු ඇ‍ඳේ අක්ක සම්පූර්ණ කතාවම කියනවා...

දරුවෙක්ට එහෙම වෙන්න පුළුවන්ද?

මනෝජ් කල්පනා ලෝකෙකට වැටුණ. මනෝජ්ට අම්මල දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් වදාපු අම්ම. අනිත් එක්කෙනා මේ ලොකු අක්ක. මනෝජුත් ලොකු අක්කත් අතර තිබුණ අවුරුදු 16ක විතර වයස් පරතරේ නිසා පුංචි කාලෙ මනෝජ්වයි අනිත් සහෝදර සහෝදරියො 4 දෙනාවයි හැදුවෙ ලොකු අක්කා... අදටත් පුංචි දේටත් ‍ලොකු අක්ක ගාවට දුවගෙන එන මනෝජ්ට ලොකු අක්ක ගැන තිබුණෙ අම්ම කෙනෙක් ගැන දැණෙන හැඟීමක්. ගීතිකා එක්ක විවාහ වුණ දවසෙ ඉඳන් ලොකු අක්ක ගැන ඒ හැඟීම ගීතිකාටත් පොවන්න මනෝජ් උත්සාහ කලේ ඒකයි.

සීය ආච්චි එක්ක කෑම කාල ඉවර වෙලා ආයෙත් හෙමින් හෙමින් වාට්ටුවෙ කොරිඩෝව දිහාට ඇදුණ. ආච්චි හිස් පිඟන් දෙකත් අතේ තියාගෙන ඇ‍ඳේ ඉඳගෙන බලන් හිටිය. ආච්චිගෙ ඇ‍ඳට අල්ලපු ඇ‍ඳේ හිටපු අම්මව බලන්න ඇවිත් හිටපු තරුණ ගෑණු ළමයෙක් සීයව වත්තන් කරන් එලියට ගියා...

ගීතිකාගෙ ඇස් කෙවෙනි වල කඳුළු බින්දුවක් රැඳිල තියෙනව මනෝජ් දැක්ක.

රෝහල් ආරක්ෂක අංශයෙන් ඇවිත් එලවනකංම මනෝජ්, ගීතිකයි ලොකුපුතයි දුවයි සින්ති අක්කයි එක්ක ලොකු අක්කව ශක්තිමත් කරන්න විහිලුවෙන් තහලුවෙන් පැය බාගයක් ගෙව්වා. රුධිර පීඩනේ පැත්තකට දාල ලොකු අක්කත් කැකිරි පැලුවා.. අන්තිමේ ලොකු අක්කට සමු දීල පස් දෙනාම එලියට ආවා...

පහල තට්ටුවෙ පිරිමි වාට්ටුව පහුකරගෙන යද්දි අර සීය ආයෙමත් හම්බවුණා... එයා කොරිඩෝවෙ එළියෙ දාල තියෙන ඇඳක ඉඳගෙන කොරිඩෝවෙ කණු අතරින් පේන අහස දිහා බලාගෙන කල්පනාවක. මුහුණෙ දරාගන්න බැරි දුකක පෙනුමක්...

මනෝජ්ගෙ අතින් අල්ලන් හිටපු ගීතිකාගෙ අතේ ග්‍රහණය දැඩි වෙනව මනෝජ්ට දැණුනා...


පින්තූරෙ මෙතනින්...

Thursday, 3 February 2011

ජීවිතය අයිතියකි..! The Sea Inside

ජීවිතේ ගැන අපි මොන දේ හිතුවත් ඒක ඇත්තටම තමාට අයිති දෙයක් විධියට ගොඩක් දෙනා හිතනවා. අපිට සහමුලින්ම අපි හිතන විධියටම ජීවත් වෙන්න බැරි වුණත් පුළුවන් උත්සාහයක් දරල අපි අපිට ඕන විධියටම ජීවත් වෙන්න යන්නෙ අපේ ජීවිතේ අයිතිය තියෙන්නෙ අපට කියල අපි හිතන නිසා...

මරණයත් අපිට අයිති දෙයක් අපි ඒ ගැන වැඩිය නොහිතා හිටියට.

මරණය ජීවිතයට ගෙන ඒමත් අපේ අයිතියක් කියල හිතුවොත්? ඒ කියන්නෙ මට උවමනා නම් ඕන වෙලාවක මැරෙන්න තියෙන හැකියාව මගේ අයිතියක් කියල හිතුවොත්...

සාමාන්‍යයෙන් මිනිස්සු මරණය ගැන හිතන්නෙ නෑ. හිතුවත් මරණය කියන්නෙත් තමන්ගෙ අයිතියක් විධියට හිතන්න සාමාන්‍යයෙන් මිනිස්සු කැමති නෑ. මරණය මහ භයංකර දෙයක් විධියට කිරුළු පළඳල ඉන්න නිසා මරණය ගැන නොහිතා ඒක ස්කිප් කරල මරණයෙන් පසු තියෙනවාය කියන ජීවිතය සුන්දර කරගන්න උත්සාහ කරන එක තමයි මිනිස්සු කරන්නේ. ඒ මිසක් මරණය කියන්නෙ සුන්දර දෙයක් විධියට දකින්න පුළුවන් මිනිස්සු නැති තරම්. මරණය කියන්නෙ මහ පාපතර වැඩක් කියල තමයි අපට උගන්වන්නෙත්...

ඒත් ජීවිතය ඔය කියන තරම්මත් වටිනවද?

මරණය ගැන සමීප අත්දැකීම් සමුදායකට පස්සෙ ඒ ගැන කියවෙන සුන්දරම චිත්‍රපටියක් බලන්න මට පුළුවන් වුණා. මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රපටියක්. No country for old men චිත්‍රපටියෙ දුෂ්ඨයාගෙ චරිතයෙන් කලින් හම්බවෙලා තියෙන ඒත් දැනගෙන නොහිටපු Javier Bardemගේ සුපිරි රංගනයක් එක්ක චිත්‍රපටිය පුරාම දැණුනෙ අපූරු සජීවී බවක්...

චිත්‍රපටියෙ නම Mar Adentro හෙවත් ඉංගිරිසියෙන් The Sea Inside. මේක ස්පාඤ්ඤ චිත්‍රපටියක්. IMDBය පැත්තෙ ගිහින් කැරැට්ටුව හොයාගන්න පුළුවන්.

Ramón Sampedro කියන්නෙ තරුණ මසුන් මරන්නෙක්. ඔහු තමන්ගෙ තරුණ කාලෙ ලෝකෙ වටේ රවුම් ගහමින් බොහොම සන්තෝසෙන් ජීවත් වුණ පුද්ගලයෙක්. වයස අවුරුදු 25දි ඔහුට අනතුරක් සිදුවීම නිසා ශරීරයේ බෙල්ලෙන් පහල කොට‍ස අප්‍රාණික වෙනව. සංවේදන නැති වෙලා යනව.

ඇඳටම වෙලා ජීවිතේ ඉතිරි කාලය ගෙවන්න සිද්ධ වෙන ඔහු තමන්ගෙ ජීවිතය නැති කරගන්න උදව් ඉල්ලනව. අතපය අප්‍රාණික නිසා ඔහුට වෙන කෙනෙක්ගෙ සහයෙන් තොරව ජීවිතය අහිමි කරගන්නත් විධියක් නෑ.

ඇඳටම වෙලා ගෙවන රමෝන්ගේ කතාව කි‍යවෙන්නෙ ඔහුට හමු වෙන ගැහැණුන් දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් උත්සාහ කරන්නෙ ජීවිතේ වටිනාකම ඔහුට කියල දෙන්න. අනිත් කෙනා ඔහුගේ මරණය වෙනුවෙන් තියෙන අයිතිය දිනාගන්න ඔහුට උදව් කරන නීතීඥවරියක්. කොහොම නමුත් අවසානෙදි රමෝන් වෙනස්වීම කොහොම වුණත් මේ කාන්තාවන් දෙන්නගෙ ජීවිත රමෝන් නිසා වෙනස් වෙනව.

ජීවිතය තමන් හොඳින් වටහාගත්තු බවත්, ඒ නිසාම ඒක අවසන් කරගන්නත් තමන්ට අයිතියක් තියෙන බවත්, මේව කියන්නෙ තමන්ට පිස්සු නිසා නොවෙන බවත් ලෝකයට කියන්න රමෝන් දරන උත්සාහය වක්‍රව අපිව ප්‍රශ්ණ කරන්නෙ මේ නීතිය කියන එක මොන තරම් නොවටිනා සීමාවක්ද කියන එක ගැනයි. ඒ එක්කම මරණය ගැනත් ජීවිතය ගැනත් අපට ආයෙම හිතන්න ඉඩක් චිත්‍රපටියෙ අවසානෙදි ඉතිරි වෙනව.

සංගීතය ගැන මට ලොකුවට කියන්න බැරි වුණත් අන්තිමේ මම රැපිඩ් ෂෙයා එක්ක ලොකු සෙල්ලමක් කරල මේකෙ සංගීත ඛණ්ඩ ටික බාගත්තා. ඒ සංගීතය දැණෙන්නෙ වෙනස් විධියට. වෙලාවකට තනිකම, පාළුව එක්ක ආයෙත් මුදුනකට යන්න පුළුවන් ඒවත් එක්ක. ඇත්තටම චිත්‍රපටියෙදි Ramón අතපය පණ නැති ඇ‍ඳේම ඉන්න පුද්ගලයෙක් වුණාට ඔහුගේ සිතුවිලි වල ප්‍රාණවත් බව සංගීතයෙන් සුන්දරව නිරූපණය වෙනවා. වතාවක් ඔහු ජනේලයෙන් එලියට පියාඹන්නෙ ඔහුව ප්‍රේමයෙන් වෙලපු ඇයව හොයාගෙන. ඒ සුළු මොහොත එකම සංගීතමය ප්‍රමෝදයක්.

අවසානයේ රමෝන් තමන්ගෙ අරමුණ වෙත යනව. ඒ වෙනුවෙන් ඔහු අවුරුදු 28ක් නීතිය එක්ක සටන් කරනව. ඒත් ඔහුට ඒකට ඉඩක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ තමන්ට කිට්ටුම හිතවතුන් කීප දෙනෙක් මාර්ගයෙන් තමන්ගෙ අරමුණ කරා යන්න ඔහු සැලසුම් කරනව. ‍අදාල මිතුරන් කාටවත් වරදක චෝදනාවක් නොඑන විධියට ඔවුන්ව තමන්ගෙ අරමුණ වෙනුවෙන් දායක කරගන්න ඔහුට පුළුවන් වෙනව.

ඔහුගෙ අවසාන වචන වලින් ඔහු ඒ බව කියනව.

නඩුකාරයිනි, දේශපාලන සහ ආගමික බලධරයිනි, ගෞරවය ගැන ඔබ දන්නේ මොනවද? ඔබේ හෘදය සාක්ෂියේ පිලිතුර කුමක් වුණත් මට මේ වැදගත් ජීවිතයක් නෙවෙයි. මට අඩුතරමෙ ගෞරවණීය ලෙස මැරෙන්න උවමනයි. ඔබලාගේ ආයතන වල කම්මැලිකම මාව මහන්සි කරවනව. අද මට අපරාධකා‍රයෙක් වෙන්න වෙලා තියෙන්නෙ ඒ නිසා. ඔබ දැනගත යුතුයි මගේ මරණය සිදුවෙන ක්‍රියාවලිය අපරාධමය නෙවෙන පුංචි පුංචි ක්‍රියාවන් ගණනාවකින් යුක්ත බව. යාළුවො කීපදෙනෙක්ගෙ උදව්වෙන් ඒව සිද්ධ වෙන්නෙ. ආණ්ඩුව ඔවුන්ට වරද පටවනවනම් ඔවුන්ට හිමි දඬුවම විධියට ඔවුන්ගේ අත් කපාදාන්න කියල මම ඉල්ලනව. මොකද ඔවුන්ගෙ දායකත්වය එපමණයි. මේ ක්‍රියාවලියේ නිර්මාතෘ මමයි.

මම ආසාවෙන් බැළුව. ඕනනම් කෙලින්ම මෙතනින් ගන්න තියෙනව...