Showing posts with label poems. Show all posts
Showing posts with label poems. Show all posts

Wednesday, 31 May 2023

චූටි බුබුල


තව තව කුඩා කරමි
මා ආරක්ෂිත බුබුල
හිවලුන් වෘකයන්
සිංහ කෝට් කාරයින්
බූරූ මේස් කාරයින්
පඩ ෂෝ ආගමිකයින්
ආගමික නිරාගමිකයින්
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්
මැදවාසී අන්තවාදීන්
ගොබ්බ සමාජවාදීන්
හිඟන ධනවාදීන්
හැත්ත බුරුත්තම
පන්නා තනි වෙමි
චූටි බුබුල තුල
අහුමුළු අස්සෙන්
ජීවිතය සොයාගමි



2023-05-29

Friday, 26 May 2023

අම්මගෙ රොටිය

 


 

අම්මා රොටි හදද්දි
පැටි කාලෙදි ඉල්ලුවා මතකයි
අම්මා හීනි රොටියක් ඕන
කර කර ගාල හැපෙන්න
අම්මා කොහොම හරි
රොටියක් හදල දුන්නත්
සමහර වෙලාවට හිතපු තරම්
ඒක තුනී නැතිවෙනකොට
හිත නොරොක් වුණත් මතකයි

අද ඉඳහිට පවුලට
ගෑස් ලිපේ රොටී හදනකොට
තේරෙනවා අමාරුව
අඟුරු නොවී අමුත් නැතිව ගාණට
රොටි තුනී කරල පුච්චන
මතක් වෙනව අම්මව
අකීකරු ගින්දර එක්ක
දර ලිපේ රොටි පුච්චපු
හිත කඩා වැටෙනවා එතකොට

පවුලේ අය රොටි දෙක තුන
හරිම රහයි කියා කනකොට
හිත යටින් නැගෙන සතුටට
දැනෙනවා අම්මාත් හවුල් බව
අම්මා හදන විදියටම
ඒ රහටම සුවඳටම
රොටිය පිච්චිලා එනකොට
හිත පිරී සැනසෙන්නෙම
මතක් වෙලා අම්මාව

2023-05-21

Wednesday, 1 March 2023

ලන්ච් රූම් ප්‍රේමය

 

උදයෙත් දහවලෙත් ඇය මේසෙක එපිට
බත්මුල ලිහයි නිහඬව ඇයගෙම ලොවක
ලන්ච් රූමයේ වෙනකෙකු නැති අවට
ඇගෙ හැඩ විඳිමි මෙහි සිට මම ඇස් අගක

වදනක් නොබා ඇය බත්පත වළඳන්නේ
දුරකථනයට එබිලයි මම බත් කන්නේ
ඈ පෙර දැක නොමැති බව නිසැකව දන්නේ
ස්ථාන මාරු ලැබ විය යුතුයි ඇය එන්නේ

පෙනුමෙන් නොමැත ඇගෙ ඒ හැටි විශේෂයක්
මේ දහසක් කතුන් වැඩ කරන පරිශ්‍රයක්
උන් අතරේ මම දන්නේ දහ දොළහක්
ඒ අතරට ඈත් ආවොත් ප්‍රහර්ෂයක්

වැඩි මිතුරුකම් ගැන නෑ මට මනාප
තනිවම හිඳිමි මම නැහැ කිසි විලාප
වැඩි සබඳකම් වාතයි විවිධ ස්වරූප
ඇය නැහැ වෙනස් එ වුණත් නෑ අමනාප

ඇගෙ කුසගින්න මට කුසගිනි වෙලාවෙම
දැණුනේ කොහොම මගෙ සිතුවිලි පුරා මම
හිත යට සිට නැගෙන පිබිදුම තලා බණ
ආදරේ ඇත්තෙ බඩවල අපෙ sync වුණ

Thursday, 3 November 2022

මරණය සමග කවි!

 



සිනා සිය දහසක් මැද
කඳුලක ලුණු රස දැණුනාද
පැටළුණු අත් දහසක් අතර
ඔබ දෑත් බැඳගෙනද
තරු පිරුණු අහසක් යට
පෙනෙන්නේ සඳේ තනිකමද
සොඳුරු මිහිරක් දකින්නේ
ගුප්ත අඳුරක් තුල විතරමද

පාලනය කල හැකිනම් සිහින
සදා නිදන් ඉන්න හිතෙනවද
අයිතියක් ඇත්නම් හැඟීම්වලට
උදුරා ගිණිබත් කරන්න හිතෙනවද
ගලන කඳුලක් සිසිල් කිව්වට
ලෝදිය මෙන් ගිණියම්ව දැණෙනවද
හයියෙන් කෑ ගහන්න ඕන වුණත්
හඬ නොඇසෙන්න උගුර වියලී ගිහින්ද

අගයන සිය ගාණක් අතර
දැණෙන්නේ හුදකලාවද?
පිරුණු ජීවිත ගොඩක
ඔබට ඇත්තේ හිස්කමක්ද?
ආදරේ කියන්නන් ළඟ
ඇත්තෙ තව බොරුවක්ද?
යුතුකම් ඉටු කරනු හැර
තව කුමක් කරන්නද?

ජීවිතය පුරවන්න
ගත් තැත ව්‍යර්ථද?
පුරවන්න ආ අය
තවත් හිස් කර ගොස්ද?
දැනුත් ළඟ ඉන්න අය
උනුත් ඒ පහුරෙමද?
ජීවිතේ හිස්කමින්
දැන් ඔබට තෙහෙට්ටුද?

කරන්නට ඇති හැමදේම
අවසන්ය හිතෙනවද?
අන් අයට වදයෙකැයි
ඔවුන් මගැර හිඳියිද?
එදිනෙදා දේවල්
නොසිතාම ඔහේ වෙනවද?
ජීවිතේ හෙට දවසට
අරමුණක් නැද්ද තව?

ජීවිත් වෙන්නට අරමුණක්
ඕනෑ කියූවන් කොහෙද?
අරමුණක් නැති ජීවිතය
අභියොගයක්ව ඇත්ද?
අන් අය කරදර වන දේ ගැනම
කරදරවන්නට තිබුණා නම් හොඳද?
ජීවිතේ ගත් අතීත තීරණ
ආයෙත් විනිෂ්චය වෙනවාද?

අහිමි දේවල් ගැන
විටින් විට හිතෙනවද?
හිමිකරගන්නත් ඒත්
ආසාවක් නැතිද?
ආසාවෙන් කල හැමදේම
දැන් තේරුමක් නැද්ද?
ගසා බසා හැමදේම
යන්නම හිතෙනවද?

ජීවිතේ හිස්කම
තදින්ම දැනෙනවද?
සතුට මුහුණු සියල්ල
ඇත්තටම සතුටින්ද?
මරණයේ ගිණි දෑස
හැඟීම් පුබුදයිද?
ආදරෙයි මරණයට
දැන් ඒක දැණෙනවද?



Wednesday, 17 July 2019

අවසන් මිටියාවතේ ගසක් යට...


සිනා දහසක් මැද
කදුලක ලුණු රස දැණුනාද
පැටළුණු අත් දහසක් අතර
ඔබ දෑත් බැඳගෙනද
තරු පිරුණු අහසක් යට
පෙනෙන්නේ සඳේ තනිකමද
සොඳුරු මිහිරක් දකින්නේ
ගුප්ත අඳුරක් තුල විතරමද

පාලනය කල හැකිනම් සිහින
සදා නිදන් ඉන්න හිතෙනවද
අයිතියක් ඇත්නම් හැඟීම්වලට
උදුරා ගිණිබත් කරන්න හිතෙනවද
ගලන කඳුලක් සිසිල් කිව්වට
ලෝදිය මෙන් ගිණියම්ව දැණෙනවද
හයියෙන් කෑ ගහන්න ඕන වුණත්
හඬ නොඇසෙන්න උගුර වියලී ගිහින්ද

අගයන සිය ගාණක් අතර
දැණෙන්නේ හුදකලාවද?
පිරුණු ජීවිත ගොඩක
ඔබට ඇත්තේ හිස්කමක්ද?
ආදරේ කියන්නන් ළඟ
ඇත්තෙ තව බොරුවක්ද?
යුතුකම් ඉටු කරනු හැර
තව කුමක් කරන්නද?

ජීවිතය පුරවන්න
ගත් තැත ව්‍යර්ථද?
පුරවන්න ආ අය
තවත් හිස් කර ගොස්ද?
දැනුත් ළඟ ඉන්න අය
උනුත් ඒ පහුරෙමද?
ජීවිතේ හිස්කමින්
දැන් ඔබට තෙහෙට්ටුද?

කරන්නට ඇති හැමදේම
අවසන්ය හිතෙනවද?
අන් අයට වදයෙකැයි
ඔවුන් මගැර හිඳියිද?
එදිනෙදා දේවල්
නොසිතාම ඔහේ වෙනවද?
ජීවිතේ හෙට දවසට
අරමුණක් නැද්ද තව?

ජීවිත් වෙන්නට අරමුණක්
ඕනෑ කියූවන් කොහෙද?
අරමුණක් නැති ජීවිතය
අභියොගයක්ව ඇත්ද?
අන් අය කරදර වන දේ ගැනම
කරදරවන්නට තිබුණා නම් හොඳද?
ජීවිතේ ගත් අතීත තීරණ
ආයෙත් විනිෂ්චය වෙනවාද?

අහිමි දේවල් ගැන
විටින් විට හිතෙනවද?
හිමිකරගන්නත් ඒත්
ආසාවක් නැතිද?
ආසාවෙන් කල හැමදේම
දැන් තේරුමක් නැද්ද?
ගසා බසා හැමදේම
යන්නම හිතෙනවද?

ජීවිතේ හිස්කම
තදින්ම දැනෙනවද?
සතුට මුහුණු සියල්ල
ඇත්තටම සතුටින්ද?
මරණයේ ගිණි දෑස
හැඟීම් පුබුදයිද?
ආදරෙයි මරණයට
දැන් ඒක දැණෙනවද?

Tuesday, 18 December 2018

සතුට හමුවන තුරු

සතුට එතනයි කියා
හතර අතම බලා
කූඩැල් අඩි තියමින්
කෙතෙක් දුර යන්නද?

ලස්සනම මල සොයා
ලෝකයම පීරමි කියා
මුලු පොලොවම වටේ
ආයෙත් මුලට එන්නද?

ජීවිතයෙ දුක වහන
එක එක වර්ණ ඇතිරිලි
සාප්පු පුරා ඇවිද
කෙතරම් ගන්න ඕනද?

ලෝකෙම පෙනෙන දෑසට
තමන්වම බලන්නට
කණ්නාඩියක් ම ඕන බව
ඇහැට කොහෙ දැනෙන්නද?

උදාවෙන මොහොත හැමවිට
එයට පෙර මොහොත සිඳ
නිබඳවම අලුත්වන බව
පරණ මතකයට සිහිවෙයිද?

Thursday, 22 September 2016

හිස් අවකාශයට කවි ලියන සහෘදයාට!

ඉතිං කොහොමද බං? මම දන්නෙ නෑ එහෙම උඹෙන් අහන්න තරම් මම උඹ ගැන දන්නව ඇති කියල. කොහොමත් මම අනිත් උන් ගැන බොහොම සුළුවෙන් දන්නෙ. අඩු තරමෙ මම මාවවත් හරියට නොදන්න එකේ උඹ ගැන කොහොම දැනගන්නද?

මේකයි... උඹ කියන, උඹ ලියන ගොඩක් දේවල් මට තේරෙන්නෙ නෑ තමයි. අඩු ගානෙ ඒව මගෙ කන් දෙකට, ඇස් දෙකට තේරෙන්නෙත් කලාතුරකින්. ඒ තරමට ඒව මට නුහුරුයි. අමුතුයි. අමුතුවට වඩා නුහුරුයි. හරියට මුල් වතාවෙ ගැහැණියක් එක්ක තනි වුණා වගේ පැත්තකට වුණ නුහුරු ගතියක් ඒවයෙ තියෙනව. හැබැයි ඔය ගැහැණියක් එක්ක තනිවෙන්න ගිය තරම් ආසාවෙන් මම උඹ කියන ඒව අහන්න, කියවන්න ආවෙ නෑ. ඒ නිසාම ගැහැණු මට දැන් හුරුයි. උඹ තවම මට නුහුරුයි.

සරලවම කිව්වොත් උඹව මට තේරෙන්නෙ නෑ.

හැබැයි එහෙම කියල මට උඹව අහක දාන්න පුළුවන්ද?

මම දන්නව උඹ යමක් දන්නව. දන්නව කියල කියවන ගොඩක් උන්ට වඩා උඹ දෙයක් දන්නව. ඒක උඹත් කියවනව තමයි. ඒත් ඒ උඹට විතරක් තේරෙන අපිට යාන්තම් තේරෙන භාසාවකින්. අඩු ගාණෙ කියවල, අහල යන්තම් හිත හදාගෙන යන්තම් තේරුනා කියල පිලිගන්න පුළුවන් තත්ත්වෙකටවත් පත් වෙන්න බැරි භාසාවකින්. ඒත් මම දන්නව උඹ ඒක කරන්නෙ අපට ආදරේට කියල. අපි හැමදාම කියවන, ලියන එකම කතාව වෙනුවට උඹ අපට එන්න කියන්නෙ වෙනස් යමක් විඳින්න. උඹගෙ කියවිලි අස්සෙ ලියවිලිවල අකුරු අස්සෙ අපට නොතේරෙන්නෙ උඹ අපට කරන ඒ ආරාධනය තමයි. ඒත් අපි ඒව අහන්නෙ නෑ.

මම වගේම අනිත් උන් හැමෝමත් ඔය කියන තරමට වෙනස් වෙන එක ගැන කයිවාරු ගැහුවට ඒක බොරුවක්. උන් සහ මම වෙනස් වෙනව මෙන්න මෙහෙම.

ඔන්න මම වෙනස් වෙනවා...
ඔන්න වෙනස් වෙන්නයි යන්නේ...
ඔන්න තව ටිකයි...
තව පොඩ්ඩයි...
ඇබිත්තයි....
චුට්ටම චුට්ටයි
තුත්තම තුත්තයි
මිලිමීටරයයි
තව ටිකයි
ඔන්න ඕන්න

ටිං ටොං ටිං...

අඩෝ මම වෙනස් වුණා ඩෝ... බලපං වැලමිටේ පච්චෙ... හැබැයි එහෙම වුණා කියල කලින් වගේම තවමත් මට වඩා චණ්ඩි නෑ ‍ඩෝ.... මට වඩා පොරවල් කොහෙද?

ඔන්න ඕක තමයි මගේ වෙනස් වීම. ඉතිහාසෙ දිහා හැරිල බැලුවම මම ඊට වඩා වෙනස් වෙලා නෑ. කවදාවත් ඊට වඩා වෙනස් වෙලා නෑ.

ඒත් උඹ වෙනස් වෙනවා. අළුත් හැඩේකට වෙනස් වෙනවා. වෙනස් වෙන්න බල කරනවා. මම ඒ නිසා උඹට ලයික් එකක් දාල සබ්ස්ක්‍රයිබ් වෙලා තියෙනවා. මම දන්නවා මේ උඹලගෙ අපේ කාලෙ නෙවෙයි. ඒ නිසා හොයාගන්න දෙයක් කාල බීල ඔහේ ඉන්නව ඇරෙන්න සිස්ටම් වෙනස් කරන්න මහන්සි වෙන එකෙන් දෙයක් වෙන්නෙ නැති තරම්. කාගෙ සිස්ටම්ද අපි වෙනස් කරන්නේ? අර මම කිව්ව කාල ඇඳල ඔහේ ඉන්න උන්ගෙ එකද? උන්ට වඩාත් හොඳට ජීවත් වෙන්න පුළුවන් සිස්ටම් එකක් වෙනුවෙන්ද උඹල අපි මැරෙන්න ඕන.

උඹ ගේමෙම ඉඳියි.

ඒත් මට බෑ.

ඒකයි මට උඹව අතාරින්න වෙන්නෙ. හැබැයි සදහටම නෙවෙයි. මම මගේ වැඩක් බලාගෙන ඉන්නයි යන්නේ. එතකොට උඹ උඹේ වැඩේ වුණ 'ජීවිතේ ගෙවීම' දිගටම කරයි. ලියයි. කතා කරයි. හිස් අවකාශයට.

කරන්න දෙයක් නෑ මචං. සිස්ටම් එකෙන්ම උන්ට වෙනසක් ඉල්ලුවොත්, ඒ වෙනුවෙන් විශ්වාසයෙන් එකතු වෙන්න පුළුවන් අවකාශයක් හැදුණොත් මමත් ඇවිත් උඹේ පැත්තකින් හිටගන්නං.

එතකල් මට ඔහේ ඉන්න දීපන්...

Saturday, 20 September 2014

සොරොව්වෙන් එළියට කෝච්චියකින්

ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ සොරොව්ව පොතේ මුල් පිටු කීපය කියවද්දිම ඒක එක දිගට කියවගෙන යන්න පුළුවන් පොතක් බව මට තේරුණා. සුසන්ත කියන පාසල් ගුරුවරයගෙ සංකීර්ණ මනෝභාවයන් පිළිබඳ කතාවක් වුණත් ගුණසිරි මහතාගේ සරළ ලේඛණ විලාසය හින්දා ඔළුවට බරක් නැතිව කියවන ගමන් ආයෙ ආයෙමත් සුසන්තගේ ජීවිතේ මට දක්වන සමානකම් ගැන හිතන්න මට පුළුවන් වුණා. ඒක ඇත්තටම එක විධියකට මාවම නැවත කියවීමක් වගේ. සුසන්ත කියන්නෙ මම නෙවෙයි. නමුත් සුසන්තට සමාජය ගැන තියෙන ඇතැම් කියවීම්වලට සෑහෙන්න සමාන කියවීම් මටත් තියෙන බව මට තේරුණා. මම ටික වෙලාවක් සුසන්තවයි මාවයි ගලපන්න උත්සාහ ගත්ත. තම තමංගෙම ලෝක හදාගෙන බාහිර ලෝකයත් එක්ක සීමිත සම්බන්ධකම් විතරක් තියාගත්තු දෙන්නෙක්... ඒත් ටිකකින් මට වැටහුනේ සුසන්තගේ චරිතය වෙන ඕනම කෙනෙකුගේ චරිතය වෙන්න පුළුවන් කියල. පිටත සමාජෙ ගැන තියෙන අදහස් සුසන්ත හෝ මම දරනව වගේම වෙන ඕනම කෙනෙක් තමංගෙ ජීවිත කාලෙ කොයි මොහොතක හෝ දරල ඇති කියල මට හිතුණ.

රස්සාව කරන තැන වෙනස්වෙල සති කීපයක්ම ගතවෙලා තිබුණට තවමත් මට ඒ වෙනසට හුරුවෙන්න අමාරුයි. රස්සාවල් කරපු අවුරුදු දහයකට වැඩි කාලෙ පුරාම ගෙදර ඉඳන් රැකියා ස්ථානයට යන්න පැයකට වඩා කාලයක් ගත කරන්න වුණේ අළුත් සේවා ස්ථානයට ස්ථාන මාරුව ලැබීමත් එක්ක. කලින් වැඩ කරපු තැන් කීපයටම ගෙදර ඉඳන් විනාඩි දහයක් පහලොවක් විතර ගතකරල පයින් යන්න පුළුවන්. ඒ නිසා පාන්දර හයට නැගිටල හතට වාද්දුවෙන් කෝච්චියෙ නැගල අටට කොල්ලුපිටියෙන් බැහැල අටයි කාල වෙන්න කලින් ඇඟිලි සලකුණු මැෂින් එකේ ඇඟිල්ල තියාගන්න එක තවමත් අමාරු වැඩක්. එහෙම කරගත්තු දවස්වලදි හවස හතරට ඕෆ් වෙලා කොච්චියකින් ගෙදර යද්දි හවස හය වෙනවා. ගෙදර ගියාම තියෙන තෙහෙට්ටුව සිගරට්ටුවකිනුයි අම්මගෙ කිරි තේ එකෙනුයි නැති කරගන්න ගන්න උත්සාහය තවම ඒ හැටි සාර්ථක නෑ.

‘කෝච්චියෙ ඔයාට තවම යාළුවො ටිකක් නැද්ද පුතේ?‘

මම තේ එක තොලගාන අතරෙ අම්ම ඇවිත් ඉදගන්නව.

‘නෑ...‘

මම කියනව.

‘තවම අළුත්නේ. ටික දවසක් යද්දි කට්ටියක් හම්බවෙයි‘

‘හපෝ නැති එක හොඳයි. නැත්තං කච කචේ කච කචේ ඉවරයක් නැහැ. ඊට වඩා හොඳයි කල්පනාවක් දාගෙන යන එක‘

‘එහෙම තමයි පුතේ... ඒ මිනිස්සු දවසකට පැය දෙක තුනක් එකටම ඉන්න මිනිස්සුනේ...කියවන්න දේවල් ඇති ඕන තරං‘

‘ඒ වුණාට සමහර වෙලාවට වදයක්නේ. කියවන්නෙත් මෙලෝ වැඩක් නැති වල්පල්.‘

අම්මා නිහඬ වෙනවා. ඈ මුලදිම තර්ක කරන එක ඉවත දානවා. හරියට තර්කයේ නිශ්ඵලත්වය ඈ අත්දැකීමෙන් වටහාගෙන තියෙනව වගේ.

සංවාදය වෙනුවෙන් ඇගේ තර්කය පිළි නොගත්තත් අම්මා නිවැරදි බව මම කතාව පටංගද්දිම දන්නවා. උදේ හවස කෝච්චියේ යන මිනිස්සු එකම පන්තියක මිනිස්සු ටිකක්. බාගෙට බාගයක් රජයේ සේවකයො සහ පෞද්ගලික සේවකයින්. කෝච්චියෙ ගමන්කරන අයගෙ කියුම් කෙරුම් ගැන ඕන තරම් කියවල තිබුණත් ඒක සැබෑ අත්දැකීමක් වෙන එක දිරවගන්න ටිකක් අමාරු වුණා මට. මුලදි දිගින් දිගටම දුර ගමන් දුම්රියවල තෙරපෙමින් තැම්බෙමින් ගිය මට කාර්යාල දුම්රියවලට මගේ කාල සටහන හුරු කරගන්න ටික දවසක් ගියා. ඒත් ඒ කෝච්චිවල යන මිනිස්සුත් එක්ක මුලදි ඒක ඒ තරම් ලේසි වුණේ නැහැ. එදිනෙදා සාමාන්‍ය වල්පල් එක්ක ටීවී එකේ මෙගා මලවිකාරත් ආයෙ ආයෙමත් රිපීට් වුණා. එක එකාව, විශේෂයෙන් ගෑණු අයව බයිට් වුණා. වතාවක් පානදුරෙන් නැගපු දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑණු කෙනෙක්ට පිරිමියෙක් නැගිටල සීට් එක දුන්නෙ ‘මේකි සීට් එක ගන්න ඕන නිසාම කොට්ටයක් බැඳන් එනවද කොහෙද?‘ කියලයි. කොල්ලුපිටිය දක්වාම ඔවුන් අතරෙ සිද්ධ වුන සුහද කතාවත් එක්ක මට තේරුණෙ ඔවුන් බොහොම සමීප මිතුරු කණ්ඩායමක් බවයි.

කෝච්චියෙ ඉන්න තනි තනි කණ්ඩායම් අතරෙ තියෙන සුහදකම ඒ අය අතරෙ වෙනම පුංචි ලෝක නිර්මාණය කරල තිබුණ. ඒත් තනිකම හැමදේටම වඩා වින්දනීය වුණ මට ඒක කරච්චලයක් වුණා. මම කල්පනා කළේ බ්ලොග් එකට ඒ ගැන කවියකුත් ලියන්න.

කාර්යාල කෝච්චියේ
එකම පන්තියක යන අපෙන්
කොටසක් සීට් වල ඉඳගෙන
කාපට් පාරවල් ගැන
කුඩු කන්ටේනර් ගැන
උස්සපු ළමයි ගැන
ස්ත්‍රී දූෂණ ගැන
සුදු නංගිලෙග ටෙලි ගැන
බුජුම්පියෝ ගැන
තළු මරන අතරෙ
සීට්වල ඉඳගන්න වරම් නැති
අපෙන් තවත් කොටසක්
සීට් අතරෙ හිටගෙන
බකං නිලාගෙන
කෝච්චියෙන් බහිනකොට
කැනිබලෙක්ට උවමනානම්
ගම්මිරිස් ඉහාගෙන
කන්න හැකි තරමට තැම්බීගෙන

සුසන්ත ටිකෙන් ටික සාමාන්‍ය මනුස්සයෙක් වෙනවා. ඒ කියන්නෙ එක විධියකට කපටියෙක්. සාමාන්‍යයෙන් නම් එක මිනිහෙක්වත් තමන් කපටියෙක් බව විශ්වාස කරන්නෙ නැහැ. නමුත් ජීවත්වීමට අපි කරන අරගලයම කපටි සහගතයි. සොරොව්ව පොතේ මහ ලොකු පිටු ගණනක් ඒ ගැන වෙන් නොවුණත් ජීවිතේට අපට තියෙන එකම විකල්පය විධියට ඉදිරිපත් වෙන්නෙ ඒක.

මගේ කල්පනා ලෝකය බිඳුණෙ නහය කඩාගෙන ගිය පල් ගඳකින්. කොහොමත් මුහුදුබඩ මාර්ගයේ ඔහොම පල් ගඳ එන තැන් කීපයක්ම කෝචිචිය පහු කරවනවා. අදාල නගරයේ සේරම කසල වතුර මූදට වැටෙන තැන් තමයි ඒ. කොයි තරම් ගැඹුරු කල්පනාවකින් වුණත් කෙනෙක්ව මුදවන්න ඒක සමත්.

කෝච්චියෙ මිතුරන් හමුවුණාද කියන එක ගැන අම්මා ආයෙ වතාවක් ඇහුවා දවසක්. ඒත් මට දෙන්න තිබුණෙ එකම උත්තරේ. මම දන්න කවුරුවත් කෝච්චියෙ නෑ. ඒ වෙද්දි හැමදාම හමු නොවුණට එදිනෙදා කෝච්චියෙ යන, එකම තැන්වලින් නගින බහින කීප දෙනෙක් මට නිච්චි වෙලා තිබුණත් ඒ අය එක්ක කතා කරන්න මට උවමනා වෙලා තිබුණෙ නෑ.

‘මිනිස්සුන්ව අඳුණගන්න එක වටිනවනෙ පුතේ‘

අම්ම කියන්නෙ එහෙම.

‘මිනිස්සු තමංගෙ වැඩේ හරියට කරනවනං පුද්ගලිකව දැන ගත්තෙ නැතිවට කමක් නෑ අම්මා. තමන්ගෙ වැඩේ හරියට නොකරන නිසා තමයි පෞද්ගලික දැන හැඳුනුම්කම් ඕන වෙන්නෙ‘

එතකොට මම කියන්නෙ එහෙම.

‘ඒ වුණාට ඔයා කට්ටිය එක්ක කතා කරල අඳුනගනියි පස්සෙ‘

අම්ම හදන්නෙ එහෙම කියල තමන් සැනසෙන්නද එහෙම නැත්තං ආදරණීය විධානයක් දෙන්නද කියන කතාව දන්නෙ අම්ම විතරයි.

ඒත් මට කිසිම උවමනාවක් නෑ මිනිහෙක් එක්ක බලෙන් කතා කරන්න. අවශ්‍යතාවයකට කතාකරන එක හෝ මිනිහෙක්ට උදව් අවශ්‍ය වෙලේක දැන හැඳුණුම් නොතකා උදව් කරන එක වෙනම කතාවක්. කොහොමත් රාජකාරියෙදි හෝ පෞද්ගලික ජීවිතේදිවත් දැන හැඳුනුම්කම්වලට වඩා අවශ්‍යතාවයට මුල් තැන දෙන එකයි මගේ පුරුද්ද. ඒ වගේම උදව්වක් උවමනා වෙලේක ඒ උදව්ව ඇත්තටම ඒ මිනිහට උවමනාද කියන කාරණාව ගැන මගේ විනිශ්චය මත ඒ මිනිහට උදව් කරන එක හෝ උදව් නොකරන එකට වෙන කිසිම සාධකයක් අදාල නෑ. ඒ නිසා මිනිහෙක් මාත් එක්ක එකම වෙලාවට වැඩට යනවා කියන කාරණය මත විශේෂයෙන් ඒ මිනිහව අඳුණගන්න මට උවමනා වුණේම නෑ.

නමුත් අම්මා ඒ වෙලාවෙදිත් හරි කියල මම දැනගෙන හිටිය. මේ වෙනකොට ජීවිතේ කියන්නෙ එහෙම එකක්. දැන හැඳීනීම් මත ඕනම දෙයක් ‘කරගන්න‘ පුළුවන්.

ගුණසිරි මහත්මයගෙ කලින් පොත්වලින් දෙකයි මම කියවල තියෙන්නෙ. හැබැයි මේ පොතේ රටාව කලින් පොත් ලියවිල තිබුණු සාර්ථක සහ කතාව පුරාම වගේ සංවිධානය වුණ විඥානධාරා ආකෘතියට ඒ තරමටම ගැලපෙන්නෙ නෑ කියල මට හිතුණ. චරිතයක් විධියට ගොඩනැගෙන්නෙ සුසන්ත විතරයි. ඒ අතින්නම් ඔහු බොහොම ගැඹුරකට ගිහිං තියෙනව. ඒත් සමහර වෙලාවලදි ටිකක් කෘතිම බවක් දැණෙන්න ගන්නව. ඒ එක්කම ඔහුගේ කතා ශෛලිය ගැන තියෙන පූර්ව දැනීම හින්දම කතාවෙ අවසානය ගැන මට දෙවෙනි පරිච්ඡේදය වෙනකොට ඉඟි ලැබුණා. ඔහුගේ අනිත් කතාවලත් චරිතවල හැසිරීම මම දැනගෙන හිටපු නිසා ඒ ඉඟි නිකංම ඉඟි නොවෙන බවට තිබුණ මගේ සැකය අවසානෙ නිරවුල් වුණා. කොහොම වුණත් ගුණසිරි මහත්තයගෙ මම කියවපු අනිත් පොත් වගේ සොරොව්ව පොත ප්‍රමාණවත් කාලයක් සැලසුම් කරල නෑ වගේ ගතියක් මට තේරුණේ. සුසන්තගේ චරිතය ගැන ඇතිවෙන බැඳීමට අමතරව පොත කියවන්න වාසියක් වෙන්නෙ ගුණසිරි මහතාගේ පහසු වාග් ශෛලිය විතරයි.

කාර්යාල කෝච්චියෙ යන මිනිස්සු ගැන මගේ ආකල්ප වෙනස් වෙමින් තියෙනවා. එහෙම වෙනස් වෙන්න කලින්ම අර වගේ කවියක් බ්ලොග් එකේ නොලියන්න මම තීරණය කළේ හැමෝටම අවස්ථාවක් අවශ්‍යයි කියන අදහස මට තියෙන නිසා. පුද්ගලික හෝ සංකල්පීය වෙනස්කම් මත මිනිස්සුන්ව කපල දාන එක මම නතර කරල නොසෑහෙන්න කාලයක් ගිහින්. හොරු, තක්කඩි වගේම ආගමික, ජෝතිෂ්‍යමය හැම මිනිහෙක් සම්බන්ධයෙන්ම අවසාන තීරණය මරණය විතරක්ය කියන එක තේරුම් අරගෙනත් සෑහෙන්න කාලෙකට පස්සෙයි එහෙම වුණේ. මිනිස්සුන්ව අයින් කරන එක ලස්සන චිත්‍රයක් හෝදල නිකංම නිකං කැන්වස්එක මතුකරගන්නව වගේ වැඩක්. ගහකොල කඳු වැටි කපල නිම්නවලට පුරවල ලෝකය පැතලි කරනව වගේ වැඩක්.

මේ වෙනසට බලපාපු තවත් එක සිදුවීමක් වුණේ දවසක් උදේ කෝචිචියෙ මිතුරු කණ්ඩායමක් සින්දු කියන්න ගත්තු එක. හැරෙන්නවත් බැරිවෙන්න තෙරපිල හිටපු මට ඒ කවුද කියලවත් දැනගන්න විධියක් තිබුණෙ නෑ. ඒක වුණේ කෝච්චි පෙට්ටියෙ අනිත් කෙලවරේ. මුලින්ම ඇහුනෙ ටී.එම්. ජයරත්නගෙ සින්දු ටිකක්. ලේසියෙන්ම පස් වෙනි වටය දක්වා යන්න පුළුවන් හඬවල් ටිකක් එතන තිබුණා. රත්මලාන පහුවෙද්දි ටී.එම්.ගෙන් ජෝතිට මාරු වුණේ තවත් සුන්දරම සින්දු පෝලිමක් එක්ක. මේ මිනිස්සු උදේ පහටවත් නැගිටිනව ඇති. හවසට ගෙදර යද්දි හය හතවත් වෙනව ඇති. අවදියෙන් ගෙදර ගත කරන පැය කීපයට අමතරව වින්දනයකට ඉඩක් තියෙන්නෙ කෝච්චියෙ මිතුරු හමුවෙ වෙන්නත් ඇති.

මම මේ ගැන හාමිනේට කිව්වම උන්දැ ඇහුවෙ ‘ඇයි ඉතිං ඔයා එතනට ගියෙ නැත්තෙ?‘ කියලයි. එහෙම අහනකල් මට ඒක කල්පනා වුණේ නෑ. යන්න විධියක් නොතිබුණත් උවමනාවක් තිබුණ නම් සෙනග මැදින් ගිහින් එතනට එකතුවෙන්න පුළුවන්කම තිබුණ නේද කියල මට හිතුණා. ඒත් උවමනාව විතරක් මදි. නොදන්න මිනිස්සු ටිකක් අතරට එකපාර එකතු වෙන්න ආත්ම විශ්වාසයත් ඕන.

සුසන්ත තියන්නෙ අතිශය ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙක්. නමුත් ඔහු ඒ ආත්ම ශක්තිය භාවිතා කරන්නෙ නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයක් ඔහුට නෑ. එදිනෙදා ජීවිතේදි ආත්ම ශක්තිය මත මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයන් දිනාගනිද්දි සුසන්තට දිනාගන්න තරම් අවශ්‍යතා නෑ. සුසන්ත තමන්ගෙ ඉස්කෝලෙදි බංකු තුනක් එකතු කරල හදාගත්තු ඇඳක නිදාගන්න එක ගැන දුක් වෙන්නෙ නෑ. ඒක ඔහු ජීවත් වෙන විධිය. නමුත් පොත දිගහැරෙන්නෙ ඔහු තමන්ගෙ ආත්ම ශක්තිය භාවිතා කරල මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගන්න අවස්ථාවල් එක්ක.

ඒ බව කියවද්දි මට මතක් වෙන්නෙ මගේ ජීවිතේ නුගේගොඩ නගරය වටේ ගැවසුන කාලය. එක පැත්තකින් බැඳුම් ලණු ලිහිල ගැලවිල තිබුණ පන් පැදුරුකුයි පෙරවන්න රෙද්දකුයි විතරක් එක්ක තට්ටු හතරක බිල්ඩිමක උඩම තට්ටුවෙ තුන් පැත්තකින් විවෘත ආලින්දයක මම නිදාගත්තු රාත්‍රීන් ගැන කිසිම දුකක් හෝ කණගාටුවක් මට නැහැ. ඒක ඒ කාලෙදි දැණුන ස්වභාවික ජීවිතයේ රසය විඳීමක් විතරක් වුණා. එහෙම නිදාගත්තු සමහර රාත්‍රීන්වල වහිනකොට ඒක දැණෙන්නෙ කකුල්වලට හිරිකඩ වැටෙද්දි. එතකොට බිත්තිය අයිනටම ගිහින් ගුළි වෙනවා. ඒව ජීවිත කාලෙම මතක තියෙන සුන්දර මතක. ජීවිතේ ඉදිරි කාලය ශක්තිමත් කරන්න පදනම් වුණ අත්දැකීම්.

කෝච්චියෙ ඒකමිතික ශබ්ද රටාව හිටිගමන් වෙනස්වෙන්නෙ පාලමක් උඩින් යද්දි. ආපහු ටිකකින් සුපුරුදු ශබ්දයම. ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ පොත් ලිවීමත් ඒ වගේ ඒකමිතිකයිද කියල මට හිතුණ. කියවපු පොත් තුනේම අඩු වැඩි වශයෙන් තියෙන ආකෘතිය ඔහු ලේඛණයට භාවිතා කරන සූත්‍රයක්ද කියල මට හිතෙනව. ඔහු චරිත කීපයක් සහ කතාවක් සහිත සැකිල්ලක් හදාගන්නව. කතාවේ ආරම්භය, ගලා යෑම සහ අවසානය සැකිලිගත කරනව. කතාව හැමවේලේම උත්තම පුරුෂයෙන් ලියවෙන හින්දා ඒ චරිතය වඩාත් ගැඹුරට සැලසුම් කරනව. අවශේෂ චරිත කීපයක් භාවිතා කරල ඔහුගෙ අවසානෙට ඍජුවම යන්න අපහසු විධියට කතාව විකෘති කරනව. චරිත තෝරගනිද්දි ඒ ඒ චරිත අතර සම්බන්ධයක් තිබීම හෝ නොතිබීම මත කතාවේ සිදුවීම් ගොඩනැගෙනව. ඉතින් අපි කියවන්නෙ විකෘති වුණ සාමාන්‍ය සරළ කතාවක්. කතාව තුල සිදුවීම් එකින් එකට මුහුණ දෙමින් අපි කරන්නෙ අර විකෘතීන් ටික ලිහාගන්න එක. ඒක කියවමින් අවසානය දක්වා යද්දි අදාල සම්බන්ධතා වටහාගැනීමත් එක්ක අපි පොතේ විකෘතීන් විසඳගන්නව. අන්තිමේදි අපිට කතාව ඉවර කරගන්න අවශ්‍ය වෙන විධියටම කතාව අවසාන වෙනවා.

ඒ ගැන ආයෙම හිතද්දි කල්පනා වුණේ කවුරුත් කරන්නෙ ඒ දේම නේද කියලයි.

මම පොත වහල බෑග් එකේ දාගත්තෙ පින්වත්ත ස්ටේෂම පහුවුණ බව දැණුන හින්දයි. සොරොව්ව ආයෙම වතාවක් මම මොනවද කරන්නෙ කියන එක ගැන සීරියස් වෙන්න අවස්ථාවක් දීල තියෙනවා. ඒ එක්කම එහෙම සීරියස් වෙන්න ඕනද කියන ප්‍රශ්ණෙත් ආයෙම එනවා. ජීවිතේට නිරපේක්ෂ තීරණ අවශ්‍යයි. ප්‍රතිපත්ති සහ මූලධර්මත් අවශ්‍යයි. නමුත් ජීවත් වෙනවා කියන්නෙ ඔය දෙක තුනම සහ තව තව ඒව ගොඩක් එක එක විධියට පාවිච්චි කරන්න වෙන අලකලංචියක්. මම බෑග් එකත් කරේ එල්ලගෙන සීට් එකෙන් නැගිට්ටා. සෙනග පොදියක් දොර ගාව පොදි කනවා බැහැගන්න. ඒ එක්කම වාද්දුව නැවතුමේ යකඩ කට බෙරිහන් දෙනවා.

‘පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ගාල්ල බලා ධාවනය වේ. මෙම දුම්රිය ගාල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...‘


ආශ්‍රිත සටහන් -

පොත් 10 අභියෝගය සහ ඔත්තු

මා වඩාත් සසල කළේ මෙහි නිරූපිත මානුෂීය බැඳීම්

සොරොව්ව නැවත හදන්න!

Wednesday, 31 October 2012

එහිතට ඇමතුවෙමි


හැම පැත්තකම විසිරුණු සිතුවිලි එක්ක සටහනක් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්ණෙ කාලෙක ඉඳන් දැණෙන්න අරන්... ලියන්න කිසිම උවමනාවක් නැති වුණාම, සිතුවිලිවලට පාවෙලා යන්න ඉඩ දුන්නම එහෙම එක පාරම දෙයක් ලියන්න අදහස් කේන්ද්‍රගත කරගන්න එක ටිකක් අවුල්...  කිසි දෙයක් නොලියා ලියන එක ගැන හිතන එක සේරටම වඩා තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක්. එකම එක මාතෘකාවක් වටේ ගොනු වුණ අදහස් ගොඩක්... ඒව ලිවීම තුලින් එලියට එන්න කලින්ම උත්කර්ෂයට පත්වෙලා මං තුලම නැති වෙලා යනව... ලිවීමේ තෘප්තිය ක්‍රමයෙන් සිතීම තුලින්ම ලබාගන්න පුළුවන් දෙයක් වෙලා...

හෙහ්... ඉස්සර නං කමෙන්ට් එකක් වැටෙනකල් ලිවීම සම්පූර්ණ වෙන්නෙ නෑ... ටිකෙන් ටික ලිවීම විතරක් ප්‍රමාණවත් වුණා...ඒ තෘප්තිය ලබාගන්න දැන් ඒ තරංවත් මහන්සි වෙන්න දෙයක් නෑ... සිතිවිලි තුලම ගැබ් වෙලා තියෙන තෘප්තියට විවෘත වෙන එක ලියනවට වඩ බොහොම සරල දෙයක්...

නමුත් නොලියා ඉන්න එකත් දනවන්නෙ මහ ඇල්මැරුණු හැඟීමක්. දැනට වේලෙන බ්ලොග් කීපයක්ම ප්‍රොෆයිලයේ තියෙන එක ගැන දැණෙන්නෙ පොඩි වරදකාරී හැඟීමක්.

මට ලිවීම කියන්නෙ එක්තරා පරීක්ෂණයක්... භාෂාව කියන මැටි ගොඩ අනල රූප හැදීමක්... මේ බ්ලොග් එක පුරා මම තවමත් කරමින් ඉන්නෙ ඒකද මන්දා... ඒ ලිවීම් හැම තැනම විසිරිලා... සමහර විට මාවත් තැතිගන්වන තරමටම ඒව ව්‍යාකූලයි... ඒ නිසාම සමහර විට කවදාවත් මම කියන මනුස්සයට අනන්‍යතාවයක් නැති වෙයි...

ඒ එක්කම මේ දවස්වල ගෙවෙන කාලගුණය ලියනවට වඩා හොඳට මත්වෙලා නිදාගන්න බල කරන විධියෙ එකක්.

පෝය දවසෙ උදේ දහයට විතර ලා චුරු චුරුව අස්සෙ නැගිට්ට ගමන් මට හිතුණෙ 'චහ්... අද බොන්න මරු දවස' කියල... මේ වැහි කාලෙ හොඳ මත් වෙලා ඉන්න...

අද දවසෙම ලා වැස්සක්. දවසම අඳුරුයි. අපේ නැන්ද ඉස්සර කියන්නෙ එහෙම දවස් හරි මූසලයි කියල. ඒ වුණාට ඒ වගේ දවස් තියෙන්නෙ ඇත්තටම ගෙදරට වෙලා නිදාගන්න. හිතට කතා කරන්න... මමත් එක්ක කතා කරන්න... ඇත්තම කිව්වොත් මමවල් එක්ක කතා කරන්න...

ඇත්ත මම නොවෙන මමවල් ගොඩක් අපි හැමෝගෙම ඇතුලෙ ඉන්නවා. ඒ හැමෝම එක එක වෙලාවලදි ජීවිතේ එක එක චරිත රඟපානවා. ඔය චරිත සේරම එකට සම්බන්ධ කරන 'මම' කියන මනුස්සයා හැමවෙලේම ඉන්නෙ හැංගිලාද මන්දා. ජීවිතේ ඇතුලෙදි අපිට අපව කොයි තරම් හංගන්න වෙනවද? අපි කොයි තරම් රඟපානවද?

අවසානයේ සැබෑ 'මම' ගණුදෙනු කරන්නෙ මරණයත් එක්ක විතරයි.

හැමෝම මරණයට බයයි. ඒ බයෙන් ගැලවෙන්න අපි හැමෝම කරන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේ ජීවත් වෙන්න යන එක. මරණය අමතක කරන එක. මරණයටත් රඟපාන්න යන එක. ඒ හැම එකක්ම තාවකාලිකයි කියල හිතන්න අපි කැමති නෑ. හිතුව කියල ඇති වැඩකුත් නෑ එක අතකට...

ඔව්... ඔයා සිරා පොරක් නම් මැරුණට පස්සෙත් මිනිස්සු ඔයාව ජීවත් කරවල තියයි. එහෙම අය ඕන තරම් ඉන්නවා... සමහරු අවුරුදු දෙදාස් ගණන්... ඒත් කවද වෙනකල්ද? ඕන නම් තව අවුරුදු දෙදාස් ගාණක්?

ඔය ගැන කව්දෝ කියල තිබුණ මෙහෙම...

'තමන්ව මිනිසුන් අතර මතකයේ රඳවාතැබීම උදෙසා ජීවත් වෙන්නා තම ජීවිතය වින්දනය නොකරන්නෙකි'

ඔය ගැන කියද්දි මට මතක් වෙන්නෙ අපේ කාර්යාලෙ හිටපු පපඩම් හොද්ද හදපු කලූව. මැරෙන්න බය නැති මම දන්න කීප දෙනා අතර මිනිහත් එක්කෙනෙක්. කාටවත් කරදරයක් නෑ.. හැමෝවම සතුටු කලා. හැමවෙලේම සන්තෝසෙන් හිටියා...

කලූ තමන් මැරුණම පස්සෙ කල යුතු දේවල් ලියල තිබ්බා.

ඔහු කිව්වෙ පැය 24ක් ඇතුලත තමන්ගෙ අවසන් කටයුතු සිද්ධ කරන්න ඕන කියලයි. ඒ අන්තිම කැමතිපත්‍රය ලියවගත්තෙ කාර්යාලෙම කෙනෙක්ට කියලා. වැදගත්ම වැඩේ වුණේ මළගෙදර පුරාම ජෝතිපාලගෙ සින්දු දාල තියෙන්න උවමනා වීම. ඒක කලූගෙ අනිවාර්යය ඉල්ලීමක් වුණා. ආගමික කටයුතු වලට ලැබුණෙ දෙවෙනි තැන. තවමත් තමන්ගෙ ආගම ගැන ඔහුට තිබුණ අවිනිෂ්චිත විශ්වාසය මත ඔහු ඒකටත් අවස්ථාවක් දීල තිබුණා.

ජෝතිගෙ සින්දු කැසට් ගණනාවක් කලූ ගාව තිබුණා. කලූ මැරෙණ කාලෙ වෙද්දි කැසට් නැති වෙයි කියල මම කියපු නිසා මිනිහ මට කියල ජෝතිගෙ සින්දු සීඩී වලට දම්මගත්ත.

ජෝතිගෙ සින්දු සීඩී තුන හතරක් ගෙනිහින් දීල සතියකට පස්සෙ මිනිහ මාව හම්බ වෙන්න ඇවිත් දෙකට නවපු කඩදාසියක් දුන්න. ඒක රේස් තුණ්ඩුවක කාබන් පිටපත වදින නිල් කඩදාසියක්. ඒකෙ ලියල තිබුණෙ මම දීපු සීඩීවල නොතිබුණ සින්දු කීපයක්...

'ඊළඟ දවසෙ ඔය ටිකත් එක්ක තව සින්දු ටිකක් ගෙනත් දෙන්න මහත්තයා.. මේ දවස්වල හැමදාම රෑ වෙනකල් අහන්නෙ ඒව තමයි පුතාගෙ ඩෙක් එක තියෙනවනේ...'

කලූගෙ කලුව නැතිකරපු හිනාව මූණ පුරා ඇදිල තිබුණ...

ඔහු මරණය ජයගත්තු කෙනෙක් කියල මට හිතුණ. අඩු තරමෙ ඒ වයසෙදි ධාර්මික වෙන බහුතරයකට වඩා වෙනස්වෙලා ඔහු මරණයට මැදඟිල්ල කෙලින් කරල පෙන්නමින් හිටිය.

මම හිතන්නෙ ඔහු සතුව තිබුණෙ සීමිත චරිත කීපයක්... එක එක කෙනාට එක එක මමවල් ඔහු සතු වුණේ නෑ... මරණයෙන් පස්සෙ ඔහු මොන විධියට පවතින්න ඕනද කියන එක ගැන අදහසක්වත් ඔහුට තියෙන්න නැතිව ඇති. මැරුණට පස්සෙ වෙන දේවල් ගැන මොන රෙද්දකට මහන්සි වෙනවද...

ඒත් මම සතුව මමවල් ගොඩක් ඉන්නව... මටවත් ගණින්න බැරි තරමට... බලුකං, කුහකකං, මරිසිකං හැම එකකින්ම පිරුණු මමවල්...

ඒ හැමෝම මගෙන් එලවල දාන්නෙ නින්ද විතරයි... මල ඉලව් හිත නවත්තන්නෙ නින්ද විතරයි...

ආයෙමත්... මේ කාලෙ හොඳ හොඳට මත් වෙලා නිදාගන්න...

මේ කාලෙ විතරක් නෙවෙයි... කොයි කාලෙත්!!!

Saturday, 26 May 2012

නිර්වාණය සහ ගුරුත්වාකර්ෂණය



මිනිහෙක් ආයෙ ඉපදෙන්නෙ නෑ කියල කියන අදහස කට්ටියට ප්‍රශ්ණයක්... මට ඇසුරු කරන්න වෙන ගොඩක් ආගමික මතධාරියො ‍ඉන්නෙ තමන් ෂුවර් ඇන්ඩ් ෂොට් ආයෙ ඉපදෙනව කියන මතයෙ. ඕක ගැන එයාල එක්ක තවත් කතා කරද්දි පින් පව් කතා ඇදිල එනව. ඊට පස්සෙ කර්මයයි තව එක එක කතායි... ඔය විධියට ගිහින් අන්තිමේදි එයාල නැවත ඉපදීමක් තියෙනවය කියන මතය සාධාරණීකරණය කරන්න තවත් මත ගොඩක පිහිට පතනව. ඒ වුණාට වැඩේ කියන්නෙ ඒ මතවාදයන් සේරම තියෙන්නෙ එක පද්ධතියක් ඇතුලෙ වීමයි. ඒ පද්ධතියෙන් එලියෙ ඒ මතවලට අර්ථයක් නෑ.

කොහොමත් ආගම් වලින් කියන දේවල් පවතින්නෙ ඒ ආගම තුලින්ම නිර්මිත රාමුවක් ඇතුලෙ විතරයි. ඒ ආගමේ නිර්වචන රඳා පවතින්නෙ ඒ ආගමෙන්ම කියවෙන වෙනත් නිර්වචනවල. ඒ වගේම ප්‍රා‍යෝගිකව ආගම කියන්නෙ ෆේල් වුණ සංකල්පයක් කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද ඒවයින් ලෝකයට වුණ අමුතු සෙතක් නෑ පිරිසකට බඩවියත රැකගන්න රස්සාවල් ලුබුණ එක ඇර. ආගම රැකගන්න කියල වෙන මිනිහෙක්ව විනාශ කරද්දිම ආගම ෆේල් වෙලා ඉවරයි. හැබැයි ආගම් අනවශ්‍යයි කියල කියන්නත් බෑ.

ගෞතම කියන්නෙ තනියෙම ලොකු දැණුමක් ගොඩනගාගත්තු මිනිහෙක්. ඔහු ඒ දවස්වල තිබුණ සංකල්පත් එක්ක මතවාදී ගැටුමක් නිරාකරණය කරගත්තෙ නිර්වාණය කියන අදහසත් එක්ක. ඔය දැනුම වර්තමානය දක්වා එද්දි වෙලා තියෙන වෙනස්කම් නිසා ඒ ගැන අදහසක ඉන්න එක අමාරු වැඩක්. ඔය 'වෙනස් වෙලා' කියන එකේදිම ආයෙමත් මුළු කතාවම අවුලකට යනවනේ. නමුත් ගවේශනයෙදි ගෞතම කියන්නෙ ගයිඩ් කෙනෙක්!

ගෞතමට එයා, ඔහු විධියට ආමන්ත්‍රණය කරනකොටම මතධාරියෙක්ගෙ ලේ රත්වීම තුල ඔහුට ගිලිහෙන්නෙ ගෞතමවමයි.

ඔහු නිර්වාණය හොයාගත්ත කියල කියමු. අඩු ගානෙ ඒ කාලෙදි තිබුණය කියල කියවෙන එක එක විධියෙ මතවාදයන් අතරෙ නිර්වාණය කියන්නෙ එක සිරා අදහසක්. ඒකෙන් කියවෙන්නෙ අත්හැරීම ගැන. නොඇලීම ගැන. නිදහස් වීම ගැන. හැබැයි එහෙම කියනකොට ගෞතමගෙ ඉගැන්වීම් හෙන බෝරිං වෙනව. ජීවිතේ ආතල් එහෙම කඩාගන්නෙ කොහොමද?

නැවත ඉපදීම කියන එක ඒ කාලෙත් තිබුණ අදහසක් කියල හිතන්න පුළුවන්. පළවෙනි හේතුව අදට වඩා කල්පනා කරපු මිනිස්සු හිටපු කාලෙක ඉපදීම සහ මරණය වගේ දේවල් ගැන මිනිස්සු තදින් කල්පනා නොකලා වෙන්න බැරි වීම. අනිත් හේතුව ගෞතම විසින් 'නැවත ඉපදීම' කියන මුදුන් පරාලය හෙවත් කැණිමඩල විනාශ කිරීම ගැන කතා කරල තිබීම. මේක මට තේරෙන්නෙ ගෞතමගෙ අදහස්වල වැදගත්ම කෑල්ල(ක්) කියල. ඔය නැවත ඉපදෙනවාය කියන අදහස ඔළුවෙ තියෙනතාක් කල් මිනිස්සු අත්හරින්න සූදානම් නෑ. ගෞතම විසින් විනාශ කරන්නෙ ඒ නැවත ඉපදීම කියන අදහස. ඒක ඔහු සමාන කරන්නෙ ‍ගෙයක මුදුන් පරාලයකට. මුදුන් පරාලය මතයි අනිත් හැම පරාලයක්ම රඳාපවතින්නෙ. මුදුන් පරාලය සිඳීමෙන් ඔහු මුළු වහලම විනාශ කරනවා. ඒ කියන්නෙ නැවත ඉපදීම කියන අදහස උඩ ආත්ම ගාණකට හිතේ පුරවං ඉන්න ආසාවල් සියල්ල ගලවල විසි කරනවා. ඔහු හිත විවෘත කරනවා බැඳීම් නැති නිදහස් අවකාශයකට... මේක ඇතුලෙයි නිර්වාණය කියන ‍ගෞතමගේ සංකල්පය පවතින්නේ.

මේතනදි මේ නිර්වාණය කියන අදහසේ පේටන්ට් එක ගෞතමට යනව වුණාට ඒ කාලෙ මේ ගැන කල්පනා කරපු අය ඕන තරම් ඉන්න ඇති. තනි තනිවමත් මේක හොයාගත්ත අය ඕන තරම් ඉන්න ඇති. නමුත් ලෙජන්ඩ් එකක් වුණේ ගෞතම. ‍පුරාවෟත්ත අනුව ඔහු රජ පවුලේ කෙනෙක් වීමම ඒකට හේතු වෙන්න ඇති. ඇත්තටම එහෙම ගත්තම ඔහුට "බුද්ධ" කියල කියන එකෙන්ම වැඩේ කෙලවෙලා ගිහින් ඉවරයි. බුද්ධ කියන්නෙ ඔහු ගොඩනගාගත්තු දැණුම නිසා ලැබුණ නමක්. ඇත්ත නම මොකක්ද කියල හොයාගන්න වෙන එකක් නෑ. හැබැයි ඇත්තටම අපට අනවශ්‍යම වෙන්නෙත් ඔහුගෙ අනන්‍යතාවයයි. සත්‍යය කියන දේ අනන්‍යතාවයක් මත රඳාපවතිනව වෙන්න බෑ.

ඉතිං ගෞතම මේක හොයාගත්තා. නමුත් අපි තවම ඒක අල්ලගෙන නෑ. ඒක හරි පුදුම විධියට සංකල්ප ගණනාවක් අස්සෙ හිර කරපු අදහසක් වෙලා. නිර්වාණය ඒ නිසාම තියෙන්නෙ මතවාදී විධියට සෑහෙන්න ඈතින්. ඒක වෙත යන්න මිනිහෙක්ට මාර කට්ටක් කන්න වෙනව. සෑහෙන්න වියදං කරන්න වෙනව. නොදන්නා ආත්ම ගාණක් දුක් විඳින්න වෙනව. හෙණ සයිස් පොත් බරගාණක් පාඩං කරන්න වෙනව. ඉතිං දැනටමත් හොයාගෙන තියෙන දෙයක් පවතින්නෙ මිනිස්සුන්ට අතගහන්න බැරි තරම් ඈතක. බණ පද ආලෝකවර්ෂ ගාණක් ඈතක!

ඒක ගැන කියන්න හොඳම උදාහරණයක් නොවුණට අපි නිර්වාණය සලකමු නටඹුන් පුරවරයක් විධියට. ඒ නටඹුන් පුරවරය පොඩි ගමක නිදහසේ තිබුණ එකක්. මිනිස්සු නිදහසේ ඒකෙ පරණ බිත්ති අතර සැරි සැරුවා. නටබුන් අතරෙ සුන්දරත්වය වින්දා. ටික ටික මිනිස්සු ගැවසීම වැඩිවෙන්න වෙන්න ආණ්ඩුවෙන් ඔතන කවුන්ටරයක් ගහල ටිකට් විකිණුවා... වටේට කඩ ටිකක් හැදුණා... ටික ටික ඒක වටේට නූතන නගරයක් හැදුණා. දැන් මිනිස්සු ඒ නගරයට එන්නෙ නටබුන් බලන්න නෙවෙයි. දැන් ඒ නටබුන් සහිත කොටස මිනිස්සුන්ගෙන් සෑහෙන්න ඈතයි. ඒකට යන්න ටිකට් ගන්නත් වෙනවා. නටබුන් නගරයට තිබුණ වටිනාකම වෙනුවට එතන දැන් තියෙන්නෙ වෙනත් වටිනාකමක්.

ඒ කියන්නෙ දැනටමත් හොයාගෙන තියෙන දෙයක් සහ ඒක ප්‍රයෝජනයට ගන්න අය අතරෙ වෙනත් දේවල් ගොඩක් සංවර්ධනය වෙලා. ඒ දේවල් අස්සෙ අපට ඔය කලින් හොයාගත්තු එක ආයෙමත් හොයාගන්න වෙලා.

අනිත් අතට ගුරුත්වාකර්ෂණය!!! අපි දන්නවා ඒක තියෙනවා කියල. ඒක කලිනුත් තිබුණා. නමුත් ඒක මුලින්ම පැහැදිලිව නිර්වචනය කලේ නිවුටන්. වචන වලින් නොනැවතී ඒක ගණිතයෙනුත් ඔප්පු කලා. ගණිතය විශ්වයේ භාෂාව. දැන් ඒක ගැන ඉගෙනගත්තු ඕන කෙනෙක් දන්නවා ගුරුත්ව බලය ගැන. ඒක මතවාද අස්සෙ හිර වුණ දෙයක් නෙවෙයි. සරලවම ගත්තොත් උඩ පැන්නොත් බිම වැටෙන බව. ඒක ගැන බොරු කරන්න අමාරු විධියෙ ගණිතමය නිර්වචනයක් ඒකට තියෙනව. සාමාන්‍ය වශයෙන් ලෝකයෙ තියෙන ඕනම වස්තුවකට ගුරුත්වයේ මූලධර්ම වැඩකරනව.

ගුරුත්වයේ මූලධර්ම භාවිතා කරන්න ආස කෙනෙක් ඒක නැවත හොයාගන්න යන්නෙ නෑ.

Thursday, 8 September 2011

වෙනද වගේම දවසක්


දැණෙන නොදැණෙන
සියල්ල මතින් දැණෙන
සුන්දර ලෝකයක් ගැන සිහිනය
මිය යයි
නැවත උපදියි

කෙදිනකවත්
වචනයෙන් වැනුමට අසමත්
ඒ සොඳුරු සිතිවිල්ල
වල් වදියි
නැවතත් ශිෂ්ඨ වෙයි

කියන්නට වදන් නැති
සිත පිරී ඇති
ඒත් නමක් නැති
හැඟීමක් ගැන
ලියා තබමි
කිසි හැඟීමක් නැති මොහොතක
කිසි හැඟීමක් නැතිවම

අතීතය මිය ගිහින්
හෙට පිළිසිඳවමින්
අද ජීවත් කරමින්
සිත පුරවාලමින්
නුඹට ඇල්මෙන්
අසීමිත සිතුවිල්ලෙන්


2011-09-08

මම දන්නව මේක සිරාම විධිය නෙවෙයි කියල. මේ වෙලාවෙ හැටිය‍ට මීට වඩා එකක් හොයාගන්න බැරි වුණා.

Wednesday, 17 August 2011

මිනිසුන් වෙනුවට...


දින දින ගමන් යන
මාවත දෙපස හිඳිමින්
මට සිනා දක්වන
උන් ගැන දනිමි මම

සිනහවෙන් කතාවෙන් මුලා කර
තම සිතැඟි ඉටු කරවා
කලකට අමතක කරන
මරිසින් හමුවේ නිතැතින්

තමා පමණක් හිඳින
ලොවක ජීවත් වන
පැරණි උන් මගහරින
අතර නව උන් හා සිනා සෙන

මරිසින් දෙස නොබලා
හනිකට ගෙදර දිව විත්
මා කුටියට වැදී
දොරගුලූ ලෑමි සැඟවෙන්නට

ඒත්....

මා සිතේ කුණු පිරවූ
අල්මාරියේ දර්පණය
ඇස ගැටුණු ඇසිල්ලක
දුටිමි මම මා රුවම

සුණු විසුණු කල නොහැකිව
මා කුටියේ අල්මාරිය
දෙස මා බලා සිටියෙමි
තවත් සැඟවෙනු නොහැකිව

දැන් මේ මගේ කාලයයි
සැඟවෙනු නොහැකියි එයින්
එක්ව කැලතෙමි උන් හා ම
මිනිසුන් වෙනුවට මරිසින්...


2008-03-12

මේ පෙර දින පල කල කවියට පිලිතුරක් විය හැක. නමුත් මෙය ලියවී තිබුණේ ඉතා පෙර කලකදීය. පිලිතුරු දැනගෙනද මම නැවත නැවතත් එකම ප්‍රශ්ණය වටා භ්‍රමණය වෙමි.

Tuesday, 16 August 2011

සියදිවි තොර කරගැනීමට පෙර


අනුන්ගේ උවමනාවන්
ඉටුකරන්නට ගෙවන

ලොකු පුටු වලට සැප දෙන්නට
දිවා රෑ වෙනසකින් තොරව බිලි දෙන

දන්නවා යැයි හිතං ඉන්න
හැම දෙනාගෙන්ම කතා අහන්
තවත් උන් එක්කම ඉන්න වෙන

ජරාවට පත් වී කෙලවර වන බව දැනන්
එහෙම නෙවෙයි වගේ ඉන්න සිද්ධ වෙන

ලෙඩක් දුකක් වුණ ගමන්
වටේම උන්ට කරදර කරවන

අන්තිමේදී ආරස්සාවට ආදරේට
ළඟ ඉන්න හැමෝම ගසා බසා දා යන

ජීවිතයට
නැතිද කිසි විසඳුමක්...


2009-10-13

ඉතා ඈත අතීතයේ ලියවුණු තවත් මල විකාරයකි... මේ දවස්වල හිටු කියා චිත්‍රපට පෝලිමක් බලමින් සිටින නිසා ‍මේ ආකාරයේ පරණ කුණක් මිස අළුත් දෙයක් ලියන්නට විවේකය අඩුය.

Monday, 8 August 2011

සඳ සඳ වගේ වුණාට...


මහරගමින් ඉංගිරියකට ගොඩවී පූජ්‍ය පක්ෂයට අසුන් දෙකකට පසුපසින් අසුන්ගෙන මම හිතේ තිබූ සියල්ල විමධ්‍යගත කොට මදකට හිස් වන්නට තැත් කළෙමි. එහෙත් ගමන දුරයි නම් බසයක් තුල පීදෙන සිතිවිලිද බොහෝය. ඇත්තෙන්ම වැසිකිලියට පසු එසේ සිතිවිලි උපදින එකම අවස්ථාව බසය පමණකි. බසයේ ගමන්ගත් එදා මෙදා තුර විසූ මනෝ විකාරකාරයන් සියල්ලන්ටම මෙන් මටද බසය යනු මනෝ විකාරයකට වැද වල්මත්ව ධ්‍යානගත වීමට තෝතැන්නකි.

බසයේ සිටින මට පෙනෙන සියළු දෙනා මා මෙන්ම තමන්ගේ ලෝක වලය. මා මෙන්ම සියල්ලෝම බුම්මාගෙනය. වචන වලින් දන්නා කිසිදු හැඟීමක සලකුණක්වත් නැත. ඇත්තෙන්ම ඒ සියල්ලන්ගේම මුහුණුවල මට නොපෙණෙනවා මෙන්ම මාගේ මුහුණේද අනෙකෙකුට කිසිදු හැඟීමක් නොපෙනෙනවා විය යුතුය.

අයෙක් කවුළුවෙන් පිටතට දෑස යොමා සිටී. බොහොමයක් දෙනා එක් දිසාවක් දෙස බලාගෙන මා මෙන්ම කල්පනාබරිතවය. ඔවුන්ටද ඇතැම් විට කල්පනා කිරීමට අවකාශ ඇත්තේ බසය තුලදී පමණක් වීමට ඉඩ ඇත. තවත් අයවලුන් කීප දෙනෙක් දුරකථන ඇමතුම්වලය. උන් පමණක් ඇමතුම් තුල සිනාබරිතවය. ඒත් උන්ද ඇමතුම හල ඇසිල්ලෙන් අනෙකුන් මෙන්ම හැඟීම් විරහිත වෙයි. ඒ අතර මට පසෙකින් හුන් දැවැන්ත කයකින් යුත් රළු පුද්ගලයෙක් ඇමතුමකින් අයෙකුට දෙහි කපයි.

ඒ එක් එක් චරිතයන් පිළිබඳ පසුබිම් කතා ගොතන්නට මම නොයමි. ඒත් මාද ඇතුලත් පොදු බස් රිය තුල සැමගේ කතා තුල වැඩි වෙනසක් තිබිය නොහැක. එනම් එකිනෙකා සමග කතා කරන්නට ඕනෑ තරම් දේවල් බසය තුල සිටින සියළු දෙනා සතුව තිබීම අනිවාර්යයකි. ඒත් අපි එසේ කතා නොකරමු. සුපුරුදු බුම්මාගත් විලාසයෙන් වෙසෙමු. එහෙත් ඒ සියල්ලන්ගේ අභ්‍යන්තරය තුල ඔවුන් සියල්ලෝම සුන්දර මිනිසුන් විය යුතුය.

මා කියවන බ්ලොග් තුල සිටින, වෙබ් අවකාශයේ වෙනත් සමාජ මූට්ටු අවකාශයන්හි වෙසෙන සොඳුරු මිනිසුන් මෙන් මෙම බසය තුල සිටින්නන්ද සුන්දර විය යුතුය. පුවත්පතක පිටු කිහිපයකට සීමාවන අපරාධකාර පුවත් මවන්නන්ගෙන් විමුක්තව සිටින අන් සියළු පිටුවලට පුවත් ගෙතූ මිනිසුන් මෙන් සුන්දර විය යුතුය. ඇත්තෙන්ම දන්නා හඳුනන මිතුරු කව තුල මේ සිටින සියළු දෙනා සොඳුරු මිනිසුන් වනවාට සැක නැත. ඒත් පොදු අවකාශයේ ඔවුන් සියල්ලෝම හැඟීම් විරහිත යන්ත්‍ර මෙනි. සියල්ලෝම තමන්නේ සැබෑ සුහදත්වයෙන් පිටස්තරව රවාගත්වනම සිටියි.

මිනිසුන් එසේ හැමකෙකුම සමගම සමාජගතවන්නට උවමනා නැත. කෙසේ කීවත් එය ප්‍රායෝගික නොවන විහිළුවක් පමණි.

එහෙත් අවශ්‍යතාවය අනුව මිතුරන්ද සතුරන්ද චරිත මාරු වීම ස්වභාවිකය. එය පොදු අවකාශයේ අයෙකුගේ පැවැත්ම තහවුරු කරන සාධකයක් ලෙස වටහා ගැනීම මාගේ ගැටළුවක්දැයි මා දන්නෙ නැත. එහෙත් අවශ්‍යතා වෙනුවෙන් බොහෝ මිනිස් සම්බන්ධයන්හි ස්වභාවය වෙනත් ස්වභාවයන් වෙත වෙස් මාරු කරනු මම ඕනෑ තරම් දැක ඇත්තෙමි.

මමද එසේ වර්ණ ගැන්වෙන අයෙක් බව විශේෂණය කරන්නට අවශ්‍ය නැත. එය පොදු අවකාශයේ වර්තමාන ගැලීම විසින් පුද්ගලයෙකුගෙන් බලාපොරොත්තු වන තත්ත්වයකි. අද මා සමග බසයේ එකම අසුනේ බුම්මාගෙන සිටින තැනැත්තාට මාද බුම්මාගෙන සිටියත් ‍හෙට ගණුදෙනුකරුවකු ලෙස මට ඔහුට සිනහවන්නට සිදුවන්නට ඉඩ තිබේ. එය එසේ වීම මාගේ හෝ ඔහුගේ වරදක්ද?

නැත. මම එය සරලවම තත්ත්වයක් ලෙස වටහාගනිමි. මම මා මය. එහෙත් මම වෙනස් ආකාරය.

සැලකිය යුතු කලක පටන් මට කණ්නාඩියෙන්, කලකට පෙර මා දුටු, මා දන්නා රූපය නොපෙනී යාමට පටන්ගෙන ඇත.





සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි...

Friday, 15 July 2011

ඩිස්පෝසබල් සහකරු



පිටුපුරා කඳුලු කල දුක නිවා
බ්ලොග් පුරා කෙටූ කවි වැල් මකා
සති පුරා බැලු කඳුළු රස නසා
සොයාගනු වහා මේ පෙම්වතා

දුටුමතින් පෙර ගෙවූ දිවි ගණන්
මතකයට පිරී තුටු වූවාද?
හැරගොසින් මොහොතකින් බිඳ වැටී
මතු භවෙක ලැබෙන්නට පැතුවේද?

ගෙවී යන මොහොතෙදී ඔද වැඩී
අනාගත පැතුමන්ද පැතුවේද?
එය බිඳෙයි සැක පහල වූ විටෙක
ගෙවෙන මොහොතත් සිඳා දැම්මේද?

‍අඳුරු අහු මුල්ලකට තනිවීද?
පොත් පුරා කඳුළුකුරු ඇන්දේද?
සිත් පුරා විරහ ගී ගැයුවේද?
ජීවිතෙන් මිදෙන්නට පැතුවේද?

ගැලවෙන්න දැන් එයින්...

සිත වියැලිලා ගොස්
ගල්ම ගල් වූ දිනෙක
සොයාගත හැක ඔබේ
එක් වරෙක පෙම්වතා

වරක් භාවිතා කර
හොඳින් ආදරය විඳ
ඉවත ලෑ හැක තොසින්
කුණු ඇබින්දක් ලෙසින්


2011-07-15

Sunday, 12 June 2011

කවියට හැඩයක්! | කිසිම හැඩයක් නැතිව

මුළු ලෝකයමත්
ඉන් එහා විශ්වයත්
බ්‍රෑන්ඩ් නේම් අස්සට ගේන්න
තතනන මොහොතක
හිතයි ඩිංගක්
මිදී ඒ වියවුලෙන්
එපිට ගොස් හැරී බලන්නට
ආයෙමත්

දුටු, විඳි, කල නිර්මාණ සියල්ලම
අච්චු අස්සට ගෙන
නාමකරණය කොට
කැටගරි කරවා
ඩේටා බේස් වලට දමා
ඒ ‍ඒ දේ වලට කැමති
ඒ ඒ අයට
ඕනැ ඕනැ හැටියට
මුදා හරියි එකින් එක
යටින් ඇඩ් එක්ක...
'හායි මෙයාලා...
ඔන්න මම ඔයාල ආසම සින්දුව ගෙනාවා...'

ඒ අස්සේ
දකින අමුතු යමක් ගැන
වෙර යොදා හොයා බලා
එය විංසයෝජනය කොට
කෑලි වලට කඩා
කෑලි ගානට ගෙවා
පෙර සැදූ අච්චු අස්සට ඔබයි
"අහා මෙය මේකකි
අර අරකකි
ඔය ඕකය
ඔය ඔක්කොම මේකය"

ජීවිතය ස්ටෑන්ඩඩ් කරවා
කන බොන දකින විඳින
සියළු විලාසයන්ට
සෑදූ ආකෘතියෙන් පිට
පවත්නට නොහැකි වන
එක බින්දුවේ සිස්ටම් හැදෙන
වර්තමානය මෙයයි
අතීතයේදීත් මතකයි
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම
කැටගරයිස් කර
නූතන ගිරවුන්ට ගණින්නට
ගණන් ගැන අන් උන්ට බනින්නට
නාහන උන් නසන්නට
මරා ඇනිවසරියෙදි මස් බුදින්නට
නොදෙඩූ මහා දාර්ශනිකයා
අද වගේම අපූරුයි

එවිට එක මොහොතක
ඔය කියන ආකෘති
තූ තූ කොටපියා හැර
අමුවෙන් ලොවට විවරව
ඵල දරන බිජුවට ගෙන
"මෙය ලෙඩක් මෙය ලෙඩක්
කලින් අපි දැකල නෑ"
වාද බයිලා ගයා
ඒ නවමු බිජුවටම
තූ තූ කොටපියන
පොලිස් ජීවිත

ඒ අස්සේ
කඳු ගල් හෙල් අතර
අනන්ත හැඩ මවා
ගලා යන ගංගාව ගැන...
නොගිණෙන නා නා විසිතුරෙන්
දෑස් අයස්කාන්ත කරවන
වලා පෙල ගැටෙන සිඳු තරඟ ගැන...
සෙකන්ඩ් මොහොතක සිනාසී
මිලි සෙකන්ඩුවෙන් පුෂ්පාග්නිතව
නැවත ප්‍රේමීව උරේ හිස තබන ඇය ගැන...
මතවාද අස්සට ඔබන්නට වෙර දරා
එක ලෙස තබන්නට වෙහෙසුනද
එක ලෙස නොම ගලන
අනන්ත ක්ෂුද්‍ර කම්පනැති ජීවිත ගැන...

ලියන්නට වෙන කවියට විතරක්
මොකටද එක විධියක හැඩයක්?


2011-06-12

Friday, 25 March 2011

වැඩ! වැඩ! වැඩ! - වීඩියෝ කවියක්!




ඔන්න සිකුරාදාව උදා වුණා... හෙටත් අනිද්දාත් නිවාඩුවක් තියෙනවා. මම කරන රස්සාවෙ හැටියට සති අන්තෙ නිවාඩු තිබුණත් රටේ වැඩකරන අයගෙන් බහුතරයට එහෙම එකක් නෑ. ගොඩක් දෙනා සෙනසුරාදත් වැඩ. ඒ හැම දෙනාටම තමන්ගෙ සබ්බ සකල මනාවම කරගන්න ඉතිරි වෙන්නෙ ඉරිදාව තමයි. එදාටත් ඒ වැඩ වලට මාට්ටු වුණාම නිදහසේ ගෙවන්න පුළුවන් වෙලාවක් ගොඩක් දෙනෙක්ට නැති තරම්.

මේ ශෝකජනක කාලය මමත් අවුරුදු ගාණක් අත්වින්දා. සතියේ දවස් 6ක් වැඩ කරලා ඉරිදට රෙදි සේදිලි අයන් කිරිලි කෝල් කිරිලි ලව් කිරිලි අර කිරිලි මේ කිරිලි ගොඩයි. ඉතිං පොඩ්ඩක් නිදහසේ ඉන්න, චිත්‍රපටියක් බලන්න, පොතකට සමවැදෙන්න, ටිකක් වැඩිපුර නිදාගන්න වගේ දේකට නිවාඩුවක්ම දාන්න වෙනවා.

රට නගන්න වැඩ කරන්න ඕනය කියල කියවල තියෙනව වුණාට ඔය නිදහසේ ගත කරන්න තිබුණ උවමනාව නිසාම මම ඉස්සර කොයි තරම් නිවාඩු ගත්තද කිව්වොත් වලංගු නිවාඩු 21 ටත් අමතරව නෝ පේ දවස් තිස් ගණන් නිවාඩු අරන් තියෙනවා. ඒ කාලෙ ඇත්තටම බොහොම නිදහස් කාලයක්. දැන් මම ගෙවන කාලෙට අමතරව මගේ හොඳම කාලෙ ඔය කාලෙ කිව්වොත් හරි. හොයන්න බලන්න කවුරුත් නැතිව කාටවත් ලොකු බැඳීමකුත් නැතිව, තිබුණොත් කාල නැති වුණොත් බුදියල ගත කරපු කොහෙටවත් නැති කාලයක්.

ඉතිං ඔය විවේකය ගත කරන අතරෙ වැඩ මතක් වෙද්දි ඇඟ රත් වෙනවා. ඉරිදාවක් ඉවර වෙලා සඳුදා උදා වෙන්නෙ හරිම අමාරුවෙන්. සාමාන්‍ය රටවැසියෙක්ටත් කාමර උෂ්ණත්වයේදි කතාව මේ වගේ නම් මම වගේ ස්වභාවික කම්මැලියෙක්ගෙ තත්ත්වෙ ගැන කවර කතාද?

එපා වෙනකල් වැඩ කරන්නෙ හොඳ ජීවිතයක් වෙනුවෙන් නම් ඒ වෙනුවෙන් දැන් ගෙවන ජීවිතේ ගූ කරගෙන වැඩක් තියෙනවැයි...

ඔන්න ඔය සිතිවිල්ලත් තවත් එක එක මඤ්ඤං සිතිවිලිත් හිතේ එහෙ මෙහෙ කලත්තමින් ඉද්දි තමයි මේන් මේක හැදුණෙ.

කැමතිනම් කියවන්න. නැත්තං අහමින් බලන්න.


දුක් විඳින
වැඩ කරන සහ
නිදන්නට කැමති
ජනතාව වෙනුවෙන්

රෑ නමයට ගෙදර ගිහින්
යන්තම් කාල නිදාගෙන
දකින හීනයේ
හොඳම හරියෙදි වදින
හයේ කණිසමට නැගිටල
උදේ පාන්දර
ගෙයින් එලියට බැහැල
කාගෙදෝ ළඟ වැඩ කරන්න
අපි එනවා

වැඩ!

වැඩ!
වැඩ!
වැඩ!


අපිත් යන්තම් ජීවත් වෙලා
තව අයව හොඳින් ජීවත් කරවන්න
මුළු ජීවිත කාලෙම
අපි වැඩ

ඒ මදිවට...
හැමදාම ඉතිහාසය
නිසා ජීවත් වෙන,
දැන් අපට ඕන දේ
කවදාවත් නොකරන
අහිංසකම අහිංසක
මහත්වරු කට්ටියකට
අපි කැපුවත් ඡන්දෙ දෙනව

ජීවිතේ පුරුද්දක් වෙලා...
හැමදාම අපි කරන්නෙ
පුරුද්දක් විධියට
අපි දන්න යාන්ත්‍රික වැඩ ටික
රොබෝල වගේ
කරන එක විතරයි

දැන් අපට ජීවිතයක් නෑ
තියෙන්නෙ වැඩ විතරයි


Tuesday, 21 April 2009

උත්කර්ෂය

උපන් දා සිට දුටු
නෙත් සිත් පිනවූ සියළු දෑ
සම කර
මවාගන්නට තැනූ
වර්ණවත් සිතුවම
අවර්ණයි

නන් වූ කලා රචකයින්ගේ
කවි කතා නාටක කියවා
විඳින්නට තැතනූ
සිතිවිල්ල
අසම්පූර්ණයි

එක් ඇසිල්ලක
වර්ණවත්ව
එම සිතිවිල්ලෙන්
සංතෘප්ත වූ විට
සැබැවින්ම දැණෙන
නිසල තෘප්තිය හමුවේ


Ech on 21st of April 2009

Tuesday, 14 April 2009

අළුත් අවුරුද්දට කූඹි වහලා

අළුත් අවුරුද්දට කූඹි වහලා

ඩෝං!

රතිඤ්ඤයක් පිපිරුණා
සද්දෙ ඇහුණා වටේටම
කෙලවර කිරිමැටි ගුලියක් එක්ක
ඉරුණු කඩදාසි කෑලි ටිකක්
බිම ඉතිරි වුණා

හිතට සතුටක් දැණුනා
අවුරුද්ද සැමරුවා

ගෙදර හැම තැනම
බිමත් රාක්ක වලත්
එස් එම් එස් කිරි පැණි
ගොඩ ගහලා
කූඹි වහලා


ecH on 14th of April 2008

Thursday, 9 April 2009

මීඩියා කොහා

මීඩියා කොහා

හැමදාම මේ කාලෙ
මීඩියා පරිපාලනයට බදු දුන්න
අපේ ජීවිත වලට ඉහලින්
මීඩියා කොහා කෑ ගහනවා

අතරින් පතර
පැතිරුණ ගසක අතුපතර
ඇත්ත කොහා
පෙම්වතිය එක්ක පෙම් කෙලිද්දී
ඇන්ටනා ගස් අතර
මීඩියා කොහා
සල්ලි එක්ක පෙම් කෙලිනවා

කොහාගේ සද්දයට නැගිට
සංස්කෘතියේ මගුල සිහි වී
ඔන්න දැන් අපි කඩිමුඩියේ
අවුරුද්දේ සැමරුම වෙන්න
ලෑස්ති වෙනවා....

මීඩියා කොහා එක්ක
අවුරුද්දත් ඔන්න ආයෙමත් ඇවිත්
අපව සමරා යන්න
බලං ඉන්නවා...


ecH on 2009-04-09