Showing posts with label ganegoda. Show all posts
Showing posts with label ganegoda. Show all posts

Friday, 12 September 2014

පොත් 10 අභියෝගය සහ ඔත්තු

මේ දවස්වල සාමාන්‍යයෙන් හිට් කතාවල් සිද්ධවෙන්නෙ පොත් ගැනනේ. 2014 පොත් ප්‍රදර්ශනෙත් තියෙනවා. ඒ වගේම පහුගිය දවස්වල ෆේස්බුක් එකේ පටංගත්තු ප්‍රියතම පොත් ගැන චැලේන්ජ් එකත් ගති. ඒ චැලේන්ජ් එකේදි කට්ටිය කියවන්න ආස කරපු පොත් ගැන දකිද්දි මම කියවපු පොත් කීපයක් ගැනත් කියන්න හිතුණා. චැලෙන්ජ් එකට අදාලව නෙවෙයි. නමුත් අවශ්‍ය කෙනෙක්ට වැඩක් වෙයි කියල හිතෙන සටහනක් විධියට. මේක ෆේස්බුකියෙ නොදා මෙතන දාන්නෙ ඒකෙ ඉන්න මේක අදාල වෙන මගේ මිත්‍ර දහ පහලොස් දෙනාට වඩා වැඩිපුර කීප දෙනෙක්වත් මේක දකියි කියල හිතෙන නිසයි.

වැඩි කතා නොකර පටංගමු.


කොරල් දූපත - ආර්.ඇම්. බැලන්ටයින් / කේ.ජී. කරුණාතිලක

මේක තමයි මම වැඩිපුරම වාර ගණනක් කියවල තියෙන පොත. සම්පූර්ණ පරිවර්තනයක් නෙවෙයි. හැබැයි සංක්ෂිප්ත එකක් වුණත් සෑහෙන්න රසවත්. පැසිෆික් සාගරයේ දූපතක අතරමං වෙන ස්කොට්ලන්ත ජාතික යොවුන් වියේ තරුණයො තුන් දෙනෙක් වටා ලියවුණ කතාවක්. ඔවුන් අතරෙ මිතුරුකම ලියලන විධිය, දූපතේ ජීවිතය හුරුකරගන්න විධිය වගේම මිණී කන ගෝත්‍රිකයන් සහ මුහුදු කොල්ලකාරයන් පිරුණු කතාව මුල ඉදන් අගටම මගේ හිතේ ලස්සන චිත්‍ර ගොඩක් ඇන්දා. මේක මුලින්ම කියවද්දි මම සෑහෙන්න පොඩියි. ඒ නිසාම මේකෙ කියවුන ඇතැම් දාර්ශණික දේවල් තේරුණේ නැහැ. නමුත් පොත හමගැහෙන තරමටම නැවත නැවත කියවද්දි මුලින් නොතේරුණ බොහොම දේවල් තේරුණා වගේම ඒ හැම වෙලේකම පොත මට අළුත් වුණා.


පාළු දූපත - එච්.ජී. ජයසුමන

මේකත් අර මුල් පොත වගේම පොතක්. හයේ පන්තියෙදි විතර කියවපු එකක්. අනුරාධපුරේ සහ පොල්ගහවෙල කොල්ලො දෙන්නෙක් පුත්තලම පැත්තෙ දූපතක කරවල වාඩියක අතරමං වෙලා ගෙවන ජීවිතේ ගැන තමයි කතාවෙ තියෙන්නෙ. මේක වඩාත්ම හිතට වැදුනෙ ‘නන්දන‘ කියන වැඩිමහල් තරුණයා ‘නිමල්‘ කියන බාල තරුණයට විවිධ කරුණු ගැන විද්‍යාත්මකව කියා දෙන විධියයි. හෙන ඇඩ්වාන්ස්, සීරියස් දේවල් නොවුණත් ඒ දේවල් ඒ වයසෙදි පට්ට කියල මට හිතුණා.


පෙරළූ නැවුම් පස - මීහයිල් ෂෝලහොව් / සිරිල් සී. පෙරේරා

මේ පොත ගැන කලිනුත් කියල තියෙනවා කියල මතකයි. නමුත් මෙතනදිත් කියන්න ඕන පොතක්. මොකද කට්ටිය දාල තිබුණ ලැයිස්තුවල මේක දැක්කෙම නෑ. මේක වෙළුම් දෙකකින් තියෙන පොතක්. රුසියානු විප්ලවයෙන් පස්සෙ සමාජවාදී රජයක් යටතේ රුසියාවෙ ගමක් ගොඩනැගෙන විධිය ගැන කතාවක්. චරිත ගොඩනැංවීම සහ උපහාසය ව්‍යංගයෙන් මතු කරන එක සම්බන්ධයෙන්නං මේක සුපිරියි කියල කියන්න පුළුවන්. නම ගිය ලොකු රුසියානු පොත් ගොඩකට වඩා මේක මට හිතට වැදුණා. ඒ හින්දම මම ෂෝලහොව්ට නොබෙල් තෑග්ග ලැබුණ ‘දොන් නදිය නිසලව ගලා බසී‘ පොතේ සිංහල පරිවර්තනේ වෙළුම් දෙකකුත් ගත්තා (සම්පූර්ණ පොත වෙළුම් 4) ඒත් මුල් පොතේ පරිච්ඡේද දෙක තුනකට පස්සෙ කියවන එ්ක එපා වුණා. පරිවර්තකයා අනුව පරිවර්තනයක් කොයි තරම් වෙනස් වෙන්න පුළුවන්ද කියන එක මේ නිසා හොඳට තේරුම්ගන්න මට පුළුවන් වුණා. පෙරළූ නැවුම් පස ගැන ගැන වේජනාත් මෙතන කියල තියෙනවා. තව විස්තර මෙතනත් තියෙනවා.


සෝර්බා නම් ග්‍රීකයා - නිකොස් කසන්ට්සාකිස් / සද්ධාතිස්ස වඩිගමංගාව

මේක නිදහසේ ජීවත් වෙන, සිංහලෙන් කිව්වොත් ‘හිතේ දුකක් නැති මිනිහෙක්‘ ගැන කතාවක්. දෙතුන් වතාවක් කියවපු, චිත්‍රපටියත් හොයාගෙන බලපු එකක්. මෙතනදිම කලිනුත් කතා කරල තියෙනවා. මෙතනත් තව විස්තර තියෙනවා.


තුඹස සහ මෙරු / සින්නදොරෙයිගේ පුංචි ලෝකය - ගුණසිරි ජයවර්ධන

ගුණසිරි ජයවර්ධන කියන්නෙ ලංකාවෙ ඇතුලෙ වුණත් වැඩි දෙනෙක් නොදන්න ලේඛකයෙක් වුණාට ඔහු මම කැමති ලංකාවේ ලේඛකයො අතරෙ ඉන්නෙ ඉහළම තැනක. ඔහුගෙ ලේඛණ රීතිය යථාර්ථවාදී රීතියක්. හැබැයි ඔය ඉන්ද්‍රජාලික ගාර්සියා මාකේස්, මිලාන් කුන්දේරා වගේ ලේඛකයො ලියන අහඹු පොලාපැනීම් ශෛලියෙන් ඔහු සෑහෙන්න ආභාශයක් අරන් තියෙන බව නම් පැහැදිලියි. ඒකට කියන්නෙ ‘විඥාන ධාරා සන්ධර්භය‘ කියලලු. ඒ ඒ චරිතවල කල්පනා ලෝකවල අතීතයෙ සහ වර්තමානයෙ සිද්ධි මතින් අපිව අපිටත් නොදැනි අරන් යන අතරෙ ඔහු කතාව ගොතන්නෙ අපේ ඔළුව ඇතුලෙත් සෑහෙන්න වැඩක් කරගන්න ඉඩ සලසන ගමන්.

තුඹස සහ මෙරු කතාව ගෙතෙන්නෙ මධ්‍යම ප්‍රාන්තික පවුලක් සහ ඔවුන්ගේ මිතුරෙක් ඇතුලු වටපිටාවෙ සිදුවීම් වටායි. දරුවෙක් නොමැති වීම නිසා මේ පවුල ඇතුලෙ යාන්තම් ගිණි පුපුරු දැල්වෙමින් තියෙද්දි බොහොම අහඹු නමුත් එකට එක පෑහෙන සිදුවීම් ගණනාවක් එක්ක ඔවුන් නැවතත් සතුට හොයාගන්න විධිය තමයි කතාවෙ සාරාංශය වෙන්නෙ. වෙන කෙනෙක් ලිව්වනං මේක අතිශය සරල කතාවක් වෙන්න පුළුවන්. නමුත් ගුණසිරි මහත්තයගෙ ලේඛණ ශෛලිය නිසා කතාව ගලපගන්න උත්සහ කිරීමත් එක්ක අපිට ලැබෙන අත්දැකීම වෙන සිංහල ලේඛකයෙක්ගෙන් නොලැබෙන තරම්.

සින්නදොරෙයිගේ පුංචි ලෝකය ගැන මලී කතා කරල තියෙනවා. සිළුමිණේ ලිපිය තාක්ෂණිකව වඩාත් විස්තරාත්මකයි. ගුණසිරි ජයවර්ධන මහත්මයා කතාව ලිවීමට වඩා කතාවක් ගෙතීම කියන කාරණය කොයි තරම් සීරියස් විධියට අරන් තියෙනවද කියල හොඳටම පැහැදිලි වෙන පොතක් මේක. ‘තුඹස සහ මෙරු‘ පොතටත් වඩා මේකෙ ඒ ගතිය තියෙනවා. අහම්බෙන් ත්‍රිකුණාමලේට යන දකුණෙ තරුණයෙක් එහෙදි දෙමළ පවුලක් සමග ජීවත්වෙන හැටි සහ ඔහු නැවත ගමට පැමිණෙන අතරෙ ඔහුට හිතෙන සිතිවිලි අතරෙ තමයි මුළු කතාවම දිවෙන්නෙ. අවසානයේදි ආයෙමත් අහඹු සිදුවීම් පෙලක් ගලපලා අපේ හිතේ බලාපොරොත්තු ඇති කරවමින් ඔහු කතාව අවසන් කරනවා.


පොඩි ඇඩ් එකක් - ගුණසිරි ජයවර්ධන මහතා 2013 අවරුද්දෙදි ලියපු ‘සොරොව්ව‘ පොත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණේ Fast Publishing ආයතනයෙන් මිලට ගන්න පුළුවන්. කියවීම එක්ක ඔළුවෙ registers වෙනස් කරගන්න කැමති ඕනම කෙනෙක්ට පොත අල්ලල යයි. මේ පොත ගැන මෙතන තියෙන විචාරය කියවන්න කලින් පොත කියවන්න.


අද්භූත විශ්වය / විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා - හර්ෂ පෙරේරා

මේ පොත් දෙකම මම ගොඩක් පොඩි කාලෙ කියවපු සහ නැවත නැවතත් කියවපු, ලංකාවෙ ලේඛකයෙක් ලියපු විද්‍යා ප්‍රබන්ධ ගනයේ පොත්. මේව මිලට ගන්න තියෙනවද කියලනම් කියන්න දන්නෙ නෑ. මොකද මම අවුරුදු ගාණකින් මේ පොත් දෙකම කඩවල තියෙනව දැකල නෑ. ඒත් මේ වර්ගයේ පොත්වලට කැමති කෙනෙක් දැක්කොත් ගත්තට පාඩු නෑ.


සුදු වැද්දා නොලියූ කතා - ආර්.එල්. ස්පිටල් / ජයවීර විජයපාල

මේක ආර්.එල්. ස්පිටල් මහතා ලියපු පොතක් නෙවෙයි. නමුත් ඔහුගේ සටහන් හෝ අත්දැකීම් ආශ්‍රයෙන් ජයවීර විජයපාල මහතා ලියපු එකක්. පොතේ මුල් පරිච්ඡේදයෙ තියෙනවා ඔහු ස්පිටල් මහතා හමුවන අවස්ථාවක් ගැනත්. මේ පොත කෙටි කතා පොතක්. ස්පිටල් මහතාගේ අත්දැකීම් ආශ්‍රයෙන් විවිධ භාෂා ශෛලීන් අනුව ලියවුන පොඩි පොතක්. මට හොදටම හිතට ඇල්ලුවෙ කැලේක මැද ඉන්න වෙද හාමුදුරු කෙනෙක් හමුවෙන්න යන සුද්දෙක් සහ ඔහුගෙ සහායක වැද්දන් ගැන කතාවයි. කතාව වගේම කතාව මැදදි ඔවුන් කන කෑමත් මගෙ හිතට ඇල්ලුවා. පුළුස්සපු, දුම් ගහපු, වේලපු, මී පැණි වල දාපු මස් සහ අල වර්ග ගැන කියවද්දි හැම වෙලේම ඉවසගෙන ඉන්න අමාරු වුණා.


රොබින්සන් ක්රූසෝ - ඩැනියෙල් ඩැෆෝ / කේ.ජී. කරුණාතිලක

මේක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. නමුත් ජීවත් වෙන්න තනි මනුස්සයෙක් දරන උත්සාහය ගැන හිතන්න අවස්ථාව ලැබුණ පොතක්. පොතට අමතරව පරිවර්තන කාර්යය ගැන කේ.ජී. කරුණාතිලක මහතා ලියපු දීර්ඝ රචනයකුත් පොතේ ඇතුලත්. ඒකත් මරු.


ග්‍රහ ලෝකයක විනාශය - අලෙක්සාන්දර් කසාන්ට්සෙව් / දැදිගම වී. රුද්රිගු

මේකත් අපේ තාත්තගේ අනුභාවයෙන් ගොඩක් පුංචි කාලෙදිම මට කියවන්න ලැබුණ පොතක්. අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතරෙ තියෙන ග්‍රාහක වලල්ල බොහොම ඉස්සර කාලෙක ග්‍රහ ලෝකයක් විධියට පැවතීම සහ එහි විනාශය සිදුවීමත්, ඒ ග්‍රහලෝකයෙන් පෘථිවිය වෙත පැමිණෙන කණ්ඩායමක් මගින් පෘථිවිය ජනාවාස වීමත් තමයි පොතේ පදනම වෙන්නෙ. නමුත් ඒ අතරෙ කියවෙන යුද්ධයේ සංකීර්ණතාවයන් අපටත් අදාල වෙන විධිය උවමනා කෙනෙක්ට ඕන නම් හිතල බලන්න අවස්ථාව තියෙනවා. මේ ගැන පැතුම්ගෙ බිත්තියෙ ලොකු විස්තරයක් තියෙනවා.


වානරයා - වූ චෙං එන් / ඒ.පී. ගුණරත්න

ගනේගොඩයා නිර්දේශ කරපු පොත් අතරෙ එකක් මේක. විවිධ විධියට වර්ෂන් ගණනාවකින් මේ කතාව අපි පුංචි කාලෙ ඉඳන් අහල තියෙනවා. මුලින් ටිකක් සංකීර්ණයි කියල හිතුණත් කියවගෙන යද්දි, පොතේ රාටාව අහුවෙද්දි පොත පැත්තකින් තියන්න හිතෙන්නෙ නැතිවෙයි.


මීට අමතරව කියවපු හොඳම පොත් කීපයක් වැඩි විස්තර නැතිව පහතින් දානවා. මේ පොත්නම් ගන්න තියෙනවා දැනටත්. ඒ වගේම ගොඩ දෙනෙක් මේ පොත් කියවලත් තියෙනවා. ඒ නිසා විස්තර අවශ්‍ය නෑ.

සියක් වසක හුදකලාව - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස් / අ‍බේ දිසානායක, පසන් කොඩිකාර
සිද්ධාර්ථ - හර්මන් හෙස / දයාරත්න ගරුසිංහ
සුළඟ වගේ ඇවිදින් - දිනේෂ් කොළඹගේ (මේක මේ පාරත් බුක් ෆෙයා එකේ තිබුණා. එන්න එන්න පොත මහත් වෙනවා)
පිටස්තරයා - ඇල්බෙයා කැමූ / සෝමරත්න බාලසූරිය
ආතර් සී. ක්ලාක් ලියපු පොත් (සිංහල පරිවර්ථන සියල්ලම වගේ)
මඩොල් දූව - මාර්ටින් වික්‍රමසිංහ
සාර භූමි - පර්ල් එස්. බක් / ඌරාපොල හේමාලෝක, හේමපාල විජයවර්ධන
අහිංසාවේ උල්පත (ආචාර්ය ඊ.ඩබ්ලිව් අදිකාරම් ගේ ජීවිත කතාව) - දෙනගම සිරිවර්ධන
කල්කි - ගෝර් විදාල් / ගාමිණී වියන්ගොඩ
සොෆීගේ ලෝකය - යුස්ටයින් ගෝඩර් / රාණි සේනාරත්න රාජපක්ෂ

Sunday, 23 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමින් තටමමි


අලුතෙන් හොයාගත්තු තටමන ක්‍රමේ සාමාන්‍ය වෙලාවලදි බොහොම ප්‍රයෝජනවත්. ඒ උණාට අසාමාන්‍ය වෙලාවලදි ඒකත් හරියන්නෙ නෑ කියල මට මේ දැන් හිතුණා. ඇත්තට ඒකෙ අලුත් දේකුත් නෑ. ඉස්කෝලෙදි ඉගෙනගත්තු ආහාර මාර්ග පද්ධතියෙ රූපෙ අමතක වෙලා නැත්තං වැඩි ප්‍රතිඵල ලැබෙන විදියට තටමන්නෙ කොහොමද කියන එක ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඔය මහ බඩවැල කියන එක ඇඟ ඇතුළෙ විහිදිල තියෙන විධිය හොයාගත්තම හරි. ඒ අනුව සිරුර නම්‍යශීලීව හසුරවන්නෙ කොහොමද කියල අත්හදාබැලුවම ගොඩ!

දැන් මේ ඉඳගත්තු දෙවෙනි වතාව ගෙවෙන්නෙ. මුල් වතාවෙ ගොඩක් සැහැල්ලුවෙන් එළියට ගියාට පැය භාගයක් ඇතුළත ආයෙම ඇතුළට එන්න වුණා. අම්මට නෝටිෆයි කරගෙනම රිංගපු නිසා දැන් මට ඇහෙනව එයා බැදපු දුරු කොටන සද්දෙ. දාඩිය දාන්න තරං වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉද්දිත් අම්ම ගැන ආදරේ ෂොක් වෙන්න මට මොහොතක් ගියෙ නෑ. වැඩිය සමාජ ආශ්‍රයට කැමති නැතත් එයා ආදරේ කරන අය එක්ක විතරක් ජීවත්වෙලා ඉගෙනගෙන තිබුණු එයාගෙ සංවේදීකම හැමදාම එහෙමයි. ඒ නිසා එයා මටත් නොකියම බෙහෙත ලෑස්ති කරනව. තුන්වෙනි වතාවෙ ආයෙ ඉඳගන්න නොවෙන බව මට දැන් ෂුවර්. බඩේ අමාරුවට දුරු ටිකක් බැදල කුඩු කරල උණු වතුර ටිකක කලවම් කරල ටිකක් වෙලා තැම්බෙන්න තියල බොන එක ෂුවර් ෂොට්! හැබැයි හැම ජාතියෙම රුජාවලට ඒක සෙට් වෙනවද කියල මං දන්නෙ නෑ.

දවල් ඔපිස් එකටම කෑම ගෙනත් දුන්නෙ දානෙ ගෙදරකින්. සෙක්ෂන් එකේ වැඩ කරන ළඟපාත ගෙවල් තිබුණ පොරක් බාස්කට් තුන හතරකට බතුයි වෑංජනයි දාගෙන ඇවිත් තිබුණා. සාමාන්‍යයෙන් සෙනසුරාදාව කෑම සම්බන්ධයෙන් ආතල් දවසක්. එදාට හැමෝම කැෂුවල් එන්නෙ ගොඩක් රිලැක්ස් එකේ. සතියෙ දවස්වල කරල ඉවර කරගන්න බැරි වැඩ කොටස සෙනසුරාදා නිවි සැනසිල්ලෙ කරන්නෙ වෙනදට නැති සැහැල්ලුවකින්. ඒ සැහැල්ලුව වැඩි වෙන්නෙ කවුරු හරි ගෙදරින් හදාගෙන එන කිරිබතක්, රොටියක් වගේ එකක් සෙට් වුණාම. එහෙම නැත්තං දවල් එකයි කාලට රුහුණු බේකරියෙන් උණු උණුවෙන් දාන පාන් දෙක තුනක් කට්ටිය සල්ලි දාල ගේන්නෙ සිසිල හෝටලේ පරිප්පු මාළු හොදි මික්ස් එකත් එක්ක. පාං ගෙඩි තුන විනාඩි දහයක් ඇතුළත ඉවර වෙන්නෙ ඇඟට පතට නොදැනී. ඒකත් එක්කම හැදෙන ප්ලේන්ටියත් ගැහුවම මරු.

දවල් දාණෙ ගිලල හවස ගෙදර ඇවිත් නෙට් එකෙත් එහෙ මෙහෙ රවුම් ගහලා මේ දවස්වල බලන එක්ස් ෆයිල්ස් එකෙත් තව එපිසෝඩ් එකක් දෙකක් බලාගෙන හිටියෙ බුදු ෆිට් එකේ. මායා දමයන්ති කියන 'පුරහඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ' සින්දුව මොකක්දෝ රියැලිටි ෂෝ එකක කෙල්ලෙක් කියනව නියමෙට. ඒක ඉස්සර ටීවි එකේ ගියා විෂුවල් එකකුත් එක්ක. මායා දමයන්ති සාරියකුත් පටලගෙන වැවක් අයිනට වෙලාද කොහෙද ඒ සින්දුව කියනවා. නළලෙ තිලකයක් තිබුණද කියල මතක නෑ. ඇත්තට මරු සින්දුව. ගී පැදුරට ලිව්වද මන්දා. මොනව වුණත් රියැලිටි කෙල්ලගෙ වොයිස් මරු. සින්දුව ඉවරයි. දැන් ඇහෙන්නෙ විනිශ්චය බුවාල ඒකිට මොනව හරි කියන්න ඕන කමට කියවන බයිල ටිකක්. අම්මල පැල් බැඳගෙන ඒව ෆලෝ කරනව. මම මගේ ලෝකෙ වෙනම ෆලෝ කරනව. අපි දෙන්නගෙ වෙනසක් නෑ. ඒ අතරෙ චිකන් ගන්න සල්ලි නැති නිසා ගෙනාපු චිකන් රසැති සෝයා මීට් එක්ක අම්ම අලුතෙන් හොයාගෙන තිබුණ බිත්තර පපඩං අනාගෙන රතු ලූණු ගෙඩි දෙක තුනකුත් හපාගෙන බත් ටිකකුත් කාල හැරෙද්දි තමයි අභ්‍යන්තර විප්ලවයක් පටංගන්නව කියල තේරුණේ.

දානෙට හම්බුණ කිසිම එකක් අවුල් වෙලා තිබුණෙ නෑ. මස් මාළු මුකුත් නොතිබුණ පියෝ වෙජිටේරියන් කෑමක් නිසා එහෙම අවුලක් වෙන්නත් බෑ. ඒත් මොකක් හරි අවුල් ගිහින් තියෙනවා. මුලින් වැඩේ සිම්පල් එකක් වගේ වුණාට පිඟාන හෝදන්න කුස්සියට ගිහින් ටිකකින් තමා බරපතල වෙන්න ආවෙ. හොඳ වෙලාවට වෙන කවුරුවත් ටොයිලට් එකට රිංගල නොහිටියෙ. ඇතුළට ගියෙ පැය බාගෙකට එන්නෙ නෑ කියාගෙන. කොහොමත් වැඩේ බරපතල වුණත් නැතත් ටොයිලට් එක කියන්නෙ පැය කාලක් බාගයක් නිදහසේ ගත කරන්න පුළුවන් තැනක්.

ඒක ගැන ගොඩක් ඉස්සර ඉඳන් අපි කතා කරල තියෙනව. ටොයිලට් එක මාර නිදහස් තැනක්. අතිශය පෞද්ගලික තැනක්. ඒකෙන් එළියෙදි ඕන කෙනෙක්ට, අපේ ජීවිතේට එබෙන්න පුළුවන්. අපිව මොනිටර් කරන්න පුළුවන්. අපි ගැන තීරණය කරන්න පුළුවන්. ඒත් ටොයිලට් එක එහෙම නෙවෙයි. දොර වහගත්තට පස්සෙ ඒක කොච්චර ගඳ ගැහුවත් ගාණක් නෑ. අපි බොහොම සැහැල්ලු වෙන තැනක් ඒක. මානසිකව ගත්තත් ශාරීරික ක්‍රියාවලිය පැත්තෙන් ගත්තත් ටොයිලට් එක අපිව බරකින් නිදහස් කරන තැනක්.

දොරක් සම්පූර්ණයෙන් වැහුණම තියෙන ආරක්ෂිත හැඟීමත් එක්ක මිනිස්සු වැඩි වෙලාවක් ටොයිලට් එකේ ඉන්න හින්දද මන්දා ඔය පොෂ් තැන්වල පොදු වැසිකිළිවල සම්පූර්ණ දොරක් වෙනුවට දො‍රේ යටින් හිස් ඉඩක් තියෙන බාග දොරක් තියෙන්නෙ. සමහර විට ඒකට වෙන හේතුවක් ඇති. නමුත් ඒක මානසිකවත් බලපානවා වෙන්න ඕන. මොකද සම්පූර්ණයෙන් නොවැහුණු දොරකින් කූඩු වෙල ඉද්දි ආරක්ෂිත හැඟීමක් දැනෙන්නෙ නෑ. ඒ නිසා එහෙම ටොයිලට් එකක් ඇතුළෙදි මනෝ ගහන්න වෙන්නෙ නෑ. ඒ නිසා පොෂ් තැන් වල තියෙන පොදු වැසිකිළිවල ට්‍රැෆික් හිටින්න ඉඩ අඩුයි. මොකද කට්ටිය ඒකට යන්නෙ වැඩේ කරන්න මිස සැහැල්ලු ‍වීමේ මානසික අවශ්‍යතාවය නිසා නෙවෙයි.

පින්තූර කඩේ වැඩ කරද්දි දවසක් රෙසිප්ෂන් එකේ වැඩ කරපු කෙල්ලෙක් පින්තූර කපල කොටල දාමින් හිටපු අපි ළඟට ඇවිත් හිනා වෙවී ආතල් කතාවක් කිව්ව. 'ලේඩීස් ටොයිලට් එක මාර සුවඳයි අප්පා... අර දැන් එළියට ගිය කස්ටමර් මගෙනුයි ලොකේෂන් අහගත්තෙ. එයා එළියට ඇවිත් හෙණ සන්තෝසෙං ගියේ. ලොකූ අමාරුවකින් ගැලවුණා වගේ...' ඒ දවස්වල ස්ටාෆ් එකට වෙනම ටොයිලට් තිබුණෙ නෑ. ස්ටාෆ් එකයි කස්ටමර්ලයි එකම ටොයිලට් සිස්ටම් එක තමයි පාවිච්චි කළේ. මොනව වුණත් අනුන්ගෙ ඒව තරං තමංගෙ ඒව ගඳ නෑ නේද කියල එදා අපි හෙණ වාදයක් පටංගත්තා.

ඒක කියද්දි තමයි ගනේගොඩයට මොරකැටිය හන්දියෙ තිබුණ ටොයිලට් හෝටලේ මතක් වෙන්නෙ. මිනිහට සෙක්ෂන් එකක හෙඩ් තනතුර දුන්නට පස්සෙ උදේ 8 වෙද්දි වැඩට එන්න ඕන වුණා. වෙනද මිනිහ ආවෙ 9 ට. මාසයක් දෙකක් යනකල් මිනිහ 8 ට ආවා. හැබැයි එන අතරමග මොරකැටියෙදි බස් එකෙන් බැහැල අර හෝටලේ ටොයිලට් එකටත් ගිහින් තමයි පොර එන්නේ. මොකද මාසයක් විතර යනකල් මිනිහට ටොයිලට් ටයිම් එක ටියුන් කරගැනීමේ ප්‍රශ්නෙ ආවා. පස්සෙ හෝටලේ මිනිස්සු ගනේගොඩයව දකිද්දිම 'ආ එන්න මහත්තයා' කියල කෙළින්ම ටොයිලට් එක ක්ලියර් කරල දුන්නලු. කොහොම වුණත් පස්සෙ කාලෙක දුමක් ගන්න හෝටලේට ගියත් ඒකෙ කොල්ලො බුවා දිහා බැලුවෙ නෝන්ඩි හිනාවකින්.

ගොඩක් ඉස්සර දවසක මහ රෑ ගමේ ඉඳන් කොළඹ එද්දි රෑ එකොළහට විතර කුරුවිට හරියෙදි මටත් අද වගේම පෙරළිල්ලක් ආවා. දෙතුන් වතාවක් ඉවසල බැරි තැන 'ඉස්සරහ දාල යන්න' කියල බැහැල කෙළින්ම ගියෙ වහන්න ඔන්න මෙන්න කියල තිබුණ සිල්ලර කඩේකට. මං හිතන්නෙ ඒක සිගරට් විකුණන්නම රෑ වෙනකල් ඇරගෙන හිටපු කඩයක්. හොඳ වෙලාවට පිටිපස්සෙ මෝඩ ගඩොල් බිත්ති තිබුණ ටොයිලට් එකක් තිබුණා. ඒක ලෑල්ලක් හේත්තු කරල දොර වහගන්න වෙන විදියෙ එකක්. ලෑල්ලත් දොරට හේත්තු කරලම දියවෙලා ගිහින්. ඇතුළෙ ලයිට් එකකුත් නෑ. ඒ දවස්වල මගෙ ෆෝන් එක ටෝච්, ෆ්ලෑෂ් තිබුණ එකක් නෙවෙයි. ස්ක්‍රීන් එකේ එළියෙන් වැඩ ටික කරගත්ත. මුදලාලි මහත්තය මොනව වුණත් වතුර එකත් ගෙනත් තිබ්බ දොර ගාවින්. මිනිහට ස්තූති කරල මදි හින්දා මම ක්‍රිස්කො පැකට් එකකුයි රට ඉඳි පන්සීයකුයි ගත්ත. සිගරට් ගන්න ඇවිත් හිටපු තවත් හොඳ කොල්ලෙක් උගෙ මොපෙඩ් එකේ දාගෙන ගිහින් මාව කුරුවිට හන්දියෙන් බැස්සුවා.

ඵලදායි තැටමිල්ලත් හරි යන්නෙ නෑ වගේ. මම ආයෙමත් ඉරියව්ව වෙනස් කළේ ඒකෙන්වත් සෙතක් වෙයිද බලන්න.. ම්හු... ඒක හරියන්නෙත් නෑ... උණ්ඩුකපුච්චෙ හරියෙ ඉඳන් මහාන්ත්‍රය දිගේ එහෙ මෙහෙ හතර අතට අඬු විහිදුන ලොකු යකඩ බැකෝ එකක් හිමින් හිමින් බඩවැල් බිත්ති හාරගෙන එනවා. මට දාඩිය දානවා. අම්ම උණු වතුර බෝතලෙන් කෝප්පෙට වතුර වක් කරනවා. ඇඟ ඇතුල ත්‍රීඩී බලන්න පුළුවන් සයිට් එකකින් දැකපු අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතියෙ රූපරාමු හතර පහක් වේගෙන් හිතේ මැවෙනවා. අන්තිමේ රූපයි සිතුවිලියි නැති වෙලා වේදනාව ඉතිරි වෙනවා. කොමඩ් එක උඩ මම ඇඹරෙනවා.

අන්තර්ජාල වැසියෙක් වුණ මුල්ම කාලෙක ලියපු ජරාම ජරා කවිය මගේ නිර්මාණයක්මත් නෙවෙයි. ඒක රවි මහත්තයගෙයි මගෙයි සම නිර්මාණයක්. අයියෝ මිස්ටර් රවි... මට මගඇරුණු සිරා පොරවල් අතරෙ තවත් එකෙක්. ටොයිලට් යන එක සිල්ගන්න එකට වඩා ප්‍රැක්ටිකල් බව කියනව ඇහුණ මුල්ම මනුස්සයා. ඒ වෙද්දි වාක්‍යයක් නොවී මගේ හිතේ තිබුණ ඒ අදහස මගේ පිස්සු අදහසක් නොවෙන බව කියපු මනුස්සයා.

වේදනාව ගුද මාර්ගයේ කෙළවරට ඇවිත් නතර වෙලා තියෙන්නෙ මොන කෙහෙල්මලකටද?.. සාමාන්‍යයෙන් අන්තිම හරියෙදි සාම්ප්‍රදායික තැටමිල්ල හොඳට වැඩකරනව වුණාට මේ පාර ඒකටත් උත්තර නොදී ඉන්න තරං හයිය තියෙන්නෙ මොන විධියෙ එකකටද? මම කාපු මොකක්ද මේ පිස්සු කෙළල තියෙන්නෙ... බැකෝ එකේ දිග අඬුව මොකක හරි පැටලිලාද? මොන මල මගුලක්ද... මට තේරෙනව මේකෙන් පස්සෙ බඩු ඉවරයි කියල. ආයෙ කොහෙවත් වේදනාවක් දැනෙන්නෙ නෑ. ඉතිං මේකෙන් පස්සෙ සම්පූර්ණයෙන් මං නිදහස් කියල මං දන්නව. මට ස්වර්ගස්ථ වෙන්න පුළුවන් කියල මං දන්නව. මට මොහොතකට නිර්වාණයට සමවදින්න පුළුවන් කියල මං දන්නව. මං ඉන්නෙ ඒකෙ දොර ගාව කියලත් මට තේරෙනව. අයියෝ..හ්... ඉක්මනට එළියට පලයංකො බෙට්ට!

Wednesday, 5 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි


එය 2005 හෝ 2006 වර්ෂයේ වෙසක් පෝය දිනයයි. මා පෝය සමග පැමිණි නිවාඩු දින කීපයම ගොඩගම ගනේගොඩයාගේ නිවසට වී සිටියෙමි. ඒ දින කීපය පුරාම විටින් විට දුමින් මත් වෙමින්ද, නිද්‍රාගත වෙමින්ද, මිදුලේ ගල් තලාව මත 'මහා ධීවරයාණෝ' පොතේ පිටු අතර පේදුරු සහ ෆාරා සමග වයින් බොමින්ද රොටී අනුභව කරමින්ද විසූයෙමි. පසු කලෙක ප්‍රත්‍යක්ෂ කල, 'ජීවිතේ සුන්දරම කාලය වර්තමානයයි' යන අදහස මට දැනෙන්නට ඇඹෙමින් තිබූ කාලයකි එය.

රාත්‍රිය එළඹි පසු නින්දෙන් නැගිටගත් ගනේගොඩයා මා ද ඔහුගේ ට්‍රේලේ නංවා ලීල අක්කාගේ පොට් එකට ඉගිලුණේය. ඔහු සුපුරුදු පරිදි සුදුවා වඩියක් දෙකක් උගුරෙන් පහළට යවද්දී ලීල අක්කා මට ම කියා හදනා වැඩි සීනි ප්ලේන්ටියට මම වග කීවෙමි. විනාඩි කීපයක් එහි ගතකොට අප ආයෙත් ඉගිල්ලුණේ 'සම්පත්' සෙවීමටයි.

ගොඩගම නගරයෙන් එපිට අතුරු මාවත් ඔස්සේ ට්‍රේල මතින් ඉගිලෙමින් අපි සේන්දු වූයේ එක් කුඩා හන්දියකටයි. එහි පාරේ පසෙකට වන්නට අටවා තිබූ තාවකාලික මඩුවක් තුළ මහ හයියෙන් එවකට අතිශයින් ජනප්‍රියව තිබූ දමිත් අසංක හෝ චාමර වීරසිංහ වැනි ගායකයකුගේ කැසට්පටයක් වාදනය වෙමින් තිබුණි. ගැටවර වයසේ කොල්ලන් දහ දොළොස් දෙනෙක් මහ පාරේ ඒ සංගීතයට නටමින් සිටියෝය. උන්ගෙන් ඇතැමෙක් ඒ වන විටත් හැකි උපරිමෙන් මත්වී සිටිනු මම දුටිමි.

ගනේගොඩයා මා ඇදගෙන මඩුව තුළට ගොඩවිය. ඒ තුළ හිඳගෙන සිටි මදක් වැඩිමහලු තරුණයන් අතරින් එකෙකු ඔහු සමග කතා කළේය.

'ආ... ගනේගොඩ අයියා... කෝ උඹ හත වෙද්දි එනව කිව්වනේ...'

'නින්ද ගියා මල්ලි... කෝ...දන්සල ඉවරද?'

'ඔව් බං.. හතාමාර වෙද්දි බඩු ඉවරයි.'

'ච: අපරාදෙ'

'හිටපං... මුට්ටියෙ අඩියෙ ටිකක් තියෙනව'

තරුණයා මඩුව පසෙක ගඩොල් කැට වටකොට සෑදූ තවමත් ගිනි අඟුරු දැල්වෙමින් තිබූ ලිපක් මත වූ විශාල ඇලුමිනියම් මුට්ටියකින් ප්ලාස්ටික් කෝප්ප දෙකකට ද්‍රවයක් වත් කළේය. මාගේ නහය විනිවිද ගියේ අවුරුදු ගණනකින් අත්විඳ නොමැති බෙලිමල් සුවඳකි. ස්වල්ප වේලාවකින් මා අතට තරමක කිතුල් හකුරු කැබැල්ලක් හා උණු බෙලිමල් කෝප්පයක් ලැබිණි. සෙමෙන් එය තොල ගා හමාර වෙත්ම ගනේගොඩයා මා අත තැබුවේ දැල්වෙමින් තිබූ කන්සා සුරුට්ටුවකි. එය කීප දෙනෙකු අතර බෙදී යාමට නියමිත වූ බව වටහාගත් බැවින් මම වහා උගුරු කීපයක් උරා එය මා අසල පොරොත්තුව සිටි තරුණයා අතට දුනිමි. වමතේ ඉතිරිව තිබූ කිතුල් හකුරු කැබැල්ල දිව යට තබාගතිමි. ගනේගොඩයා මට සමීප විය.

'මෙතන පොරක් ගාව බඩු නං තියෙනවා. අරහෙ යන්න ඕන නෑ. උඹ සල්ලි ගෙනාවද?'

- - - - - -

නිවසට යන අතුරු මාර්ගයේ එක් තැනකදී අපට විශාල වෙල් යායක් හමුවේ. මීටර දෙසීයක පමණ දුරක් පටු පාර වැටී ඇත්තේ එම වෙල් යාය මැදිනි. පාරේ පසෙකින් එම වෙල් යාය වෙත ජලය සපයන දිය පාර ගලා යයි. ඒ වන විට පුර හඳ ක්ෂිතිජයෙන් ඉහළට විත් බැබළෙමින් තිබූ අතර අවට පරිසරයේ ගුප්ත නිහඬ බව මට හැ‍ඟෙන්නට ඇරඹී තිබිණි. කන්සා උගුරු කීපය මාගේ සිතුවිලි ඉතා සියුම් දේ වෙත නාභිගත කරවමින් පැවතිණි. මොහොතක් මෙහි ගෙවන්නට මට උවමනා විය.

මාගේ උවමනාව වැටහුණාක් මෙන් ගනේගොඩයා ට්‍රේල නතර කළේය. ඒ පාරේ යටින් දිය පාර ගලනා බෝක්කුවක් අසලය. එම ස්ථානයේ පාර මදක් පුළුල්ය. කොන්ක්‍රීට් යොදා තැනූ වැටි දෙකක් පාරේ දෙපස වෙයි. බෝක්කුව යටින් දිය පාර ගලන හඬ රැහැයි හඬ පරයා නැගී සිටියි. එම හඬ කුමනාකාර වේදැයි ලිවීම අපහසුය. දිය පාරක් ගලන්නේ 'සිලි සිලි' හඬින් බව වෙනත් ලේඛකයන් ලියා තිබෙනු මා කියවා ඇත. ඒත් මට ඇසෙන්නේ සිලි සිලි හඬක් නොවේ. ඒ හඬ මෙයාකාර වේ යැයි කියන්නට භාෂාවේ අකුරු නැත.

මෙම ස්ථානය අපට නුපුරුදු තැනක් නොවේ. මෙයට පෙරද කීප වතාවකදීම අපි දෙදෙනා මෙම ස්ථානයේ පැයක් දෙකක් වල්පල් දොඩවමින් හිඳ ඇත්තෙමු. කුඹුරු යාය අවසන් වන සීමාවේ ගස්කොළන් අතරින් පෙනෙන නිවෙස්වල විදුලි එළියත් පාරේ දෙතැනක පහන් කණුවල දැල්වෙන විදුලි එළියත් හැරුණුකොට මෙහි ඇත්තේ අඳුර පමණි. දිය පහරේ හඬත්, රැහැයි හඬත් පරයමින් විටින් විට ඈත හයිලෙවල් පාරේ දික්හැතැක්ම ඔස්සේ වේගයෙන් ඇදෙනා පරණ බස් රථයක හඬක් ඇසේ. හඳ නොමැති දිනක වලාකුළු සහ ක්ෂිතිජය දක්වා විහිදෙන තරු වියනකි. ඒ වෙනත් දිනවල මෙහි තනිවීමට සිත ලොල් කරවන ලක්ෂණ වේ. අද එයටත් අමතරව වලාකුළක් තරුවක් නොමැති අහසක පුර හඳ දිදුලමින් ඇත.

මම කොන්ක්‍රීට් වැටියේ හිඳගෙන හඳ වෙත නෙත් හෙළුවෙමි. ගනේගොඩයා අතින් පොඩි කල කන්සා පත්‍රිකා රළුවට කඩදාසියක ඔතා සුපුරුදු පරිදි සුරුට්ටුවක් සෑදීය. ඇසිල්ලකින් දැල්වුණු එය අප දෙදෙනා අත හුවමාරු වෙන්නට විය. මාගේ සිත මහා ධීවරයාණන්ගේ සිට ‍ටයිකෝ චුම්බක අනියමයද ඉක්මවා වෝප් වේගයෙන් අවකාශය වෙත ඇදෙන්නට විය. ගිණිය නොහැකි තරම් හැඟීම්, සිදුවීම්, කියවීම් ගණනාවක් ඇසිල්ලකින් සිතින් වින්දනය වන්නට විය. මම කටහඬ අවදි කළෙමි.

'මෙහෙම ඉඳල හරියන්නෙ නෑ... මොනව හරි කරන්න ඕන'

'මොනවද උඹ කරන්න යන්නෙ?'

'අඩුගානෙ ෂෝට් ෆිල්ම් එකක්වත් හදන්න ඕන'

'ඉතිං හදපං. මහ ලොකු දෙයක් නෙවෙයිනෙ'

'මොනව ගැනද හදන්නෙ?'

''දැන් උඹ කිව්වෙ හදන්න ඕන කියලනේ... අදහසක් නැද්ද ඉතිං?'

'අදහසක් නෑ. ෂෝට් ෆිල්ම් එකක් හදන්න ඕන. එච්චරයි'

'එහෙම වැඩක් නෑනෙ බං. ඉස්සෙල්ල උඹට අදහසක් ඕන. ඒක ෂෝට් ෆිල්ම් එකක් විදියට කරන්න පුළුවන්. එහෙම නැතිව ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන කිය කිය ඒකට අදහසක් නැතුව ඉඳල වැඩක් නෑනෙ'

'හ්ම්ම්'

'උඹ අදහස අවුට් කරන මීඩියා එක ගැන වදවෙනව. ඒකෙන් දෙන්නෙ මොනවද කියන එක ගැන හිතලවත් නෑ. ඉස්සෙල්ල මිනිස්සුන්ට කියන්න හොඳ කතාවක් හදන්න ඕන. ඒක අවුට් කරන්නෙ කෙටි කතාවකින්ද කවියකින්ද ෆිල්ම් එකකින්ද කියන මීඩියා එක පස්සෙ කරදර වෙන්න තියෙන වැඩක්...'

'හ්ම්ම්. මට ඕන ෂෝට් ෆිල්ම් එකක් කරන්න'

මද වෙලාවක් නිහඬතාවය පැවතිණි. එක්වරම ගනේගොඩයා නැවත මා ඇමතීය.

'චෙකොෆ්ගෙ පොතක් තියෙනව 'කළු සිවුරුදර භික්ෂුව' කියලා. උඹ කියවල තියෙනවද ඒක?'

'නෑ...'

'උඹ ඉතිං අඟල් ගණනංවල පොත් හොය හොය කියවනව මිස පොඩි පොත් කියවන්නෙ නෑනෙ. ගෙදර තියෙනව. අරං කියවපං.'

'ඒක අදාළ වෙන්නෙ කොහොමද?'

'දැන් උඹට ඕන උඹෙ නම තියන විදියෙ වැඩක් කරන්නනේ...'

'නෑ එහෙම නෙවෙයි.'

'හරි එහෙම නෙවෙයි කියමුකෝ... උඹ ෆිල්ම් එකක් හදල නම නැගල ගියා කියලත් කියමුකෝ.. හැබැයි ඒ කොච්චර කාලෙකටද?'

'ඒ කිව්වෙ?'

'අපි ජීවත්වෙන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේනෙ බං. අපි අපේ නම තියන්න වැඩ කරනවා. මැරුණට පස්සෙ අපේ නම මතක තියෙන්න ඕන විදියෙ සිරා වැඩ කරන්නනෙ මිනිස්සු හැමවෙලේම ට්‍රයි කරන්නේ?'

'සාමාන්‍යයෙන් මිනිස්සු ඒකට කැමතියි නේද? මැරුණට පස්සෙත් තමන් ගැන මිනිස්සු කතා කරනවයි කියල දන්න එක මිනිස්සු විඳින්න කැමති හැඟීමක්'

'ඔව්.. හරි... ඒත් හිතපං කොයි තරං කාලයක් මිනිහෙක්ව එහෙම මතක තියෙයිද?'

'අවරුදු දෙදාස් ගණං මතක තියාගෙන වඳින පුදන ඩයලුත් ඉන්නවනේ...'

'අවුරුදු දෙදාස් ගාණක් තිස්සෙ ඒ මිනිස්සු ඒ විදියටම මතක තියාගෙන නෑනෙ බං...'

'ඒකනං එහෙම තමයි. කාලයත් එක්ක ඒව වෙනස් වෙනවා...'

'ඒක තමයි. එහෙනං තමන්ව කවද හරි අමතක වෙනව කියන එක දැන දැන තමන්ගෙ නම තියන්න වැඩ කරන එකේ වැඩක් තියෙනවද බං?'

'එහෙම ගත්තොත් කවුරුවත් කරන කිසි දේකින් වැඩක් නෑනෙ.'

'ඒක තමයි පොයින්ට් එක. ඒ හින්දා නම තියන්න වැඩ කරල වැඩක් නෑ. වැඩ කරපං. තියෙන කාලයක් නම තියෙයි.'

'දැන් මට ෂෝට් ෆිල්ම් එකක් හදන්න තියෙන උවමනාවට මේ කතාව අදාළ වෙන්නෙ කොහොමද?'

'ඒකෙ එකපාර පේන අදාළ වීමක් නෑ. උඹට ෂෝට් ෆිල්ම් එකක් හරි මොකක් හරි දෙයක් කරන්න උවමනාව එන වෙලාවට ඒක වෙයි.'

'සමහර විට උවමනාවක් නැති වෙන්නම ඉඩ තියෙනවා...'

'ඉතිං මොකද? උඹ හෙණ සිරා වැඩක් කරලා ඒකෙන් ලෝකෙ අම්බානක් වෙනස් වෙයි කියලද උඹ හිතන්නේ?'

'නෑ එහෙම හිතන්නෙ නෑ...'

'උඹේ ආතල් එක වෙනුවෙන් වැඩ කරපං. වෙන වෙන ගයිඩ්ලයින් වැඩක් නෑ. ලෝකෙ කොහොමත් හොඳ නරක දෙක බැලන්ස් එකේ තියෙනව. කාලෙකදි හොඳයි. කාලෙකදි නරකයි.'

මම නැවතත් හඳ දෙස බැලීමි. ජීවිතේ පූර්ණ වශයෙන් වටහාගැනීම කිසිවකුට කල හැක්කක් නොවේ. අප පරිපූර්ණත්වය වශයෙන් හඳුනාගන්නා බොහෝ දේවල් ඒ තුළම බිඳවැටී ඇති තර්කයන්ගෙන් ගොඩ ඒමට නොහැකිව වැල්වටරම් රාශියකින් වටවී බොරු පරිපූර්ණත්වයක් මවා පායි. දෙවියන්ද, බලාපොරොත්තුවද අපගේ වර්තමාන දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් පමණි. බොහෝ දේ සැලසුම් කරන්නේ යැයි සිතුවද අවසානයේ කර ඇති දෙයක් නොමැත. වෙන අයෙකුගේ අදහසකට වඩා මා දරන අදහස උසස් හෝ වෙනස් යැයි සිතන්නට උත්සාහ කළද අවසානයේ මා යනු තවත් එක් වංචාකරයකු පමණි. සමස්තය එයට අවශ්‍ය ලෙසින් වෙනස් වෙමින් පවතී. මා එහි එක් සංඝටයක් පමණි.

පුර හඳ තවත් ඉහළට නැග ඇත. ක්ෂිතිජය කෙළවර තනිව දැල්වුණු එක් තරුවක් විය. ඒ තරුව වටා භ්‍රමණය වන ‍ග්‍රහළොවක විශාල වෙල් යායක් මැද හිඳිමින් මා දෙස බලා සිටිනා පිටසක්වලයෙකි. එක් ක්ෂණයකින් ඔහුගේත් මාගෙත් නෙත් ගැටුණි. මාගේ සිතෙහි වූ ප්‍රශ්න කීපයම ඔහුගේ දෑස තුළ මම දුටුවෙමි. අඳුර නිවමින් අලුත් එළියක් දැල්විණි. හිස මත වූ යම් බරක් ඉවත ලූවා වැනි හැඟීමක් මට දැනේ.

'තනියෙන් හිතන්න එපා බං'

ගනේගොඩයා කියවයි.

'නෑ මං නිර්වාණයේ මොහොතක් අත්වින්දා'

'හෙහ් හෙහ්... මට කිව්වට කමක් නෑ... ඒ වුණාට වචන පාවිච්චි කරද්දි පරෙස්සං වෙයං. ඕව සමහර අයගෙ ට්‍රේඩ් මාක් ගහපු වචන. ඕවට අයිතිකාරයො ඉන්නවා'

ගනේගොඩයා ම වෙත ඇසක් වසා මහ හඬින් සිනහ විය. මමත් ඔහුට එක් වීම්. අපි දෙදෙනාම සිනහසෙන්නට වීමු.

Wednesday, 2 January 2013

ඉතිරි පෙරේතයා


පොඩි කාලෙ ටීවී එකේ තියෙන ටෙලි නාට්‍ය බලද්දි මේ වැඩේ ගොඩක් දෙනෙක්ට වෙලා ඇති. ඔය ඒවයෙ කෙල්ලො කොල්ලො, යාළුවො එහෙම හෝටලේක මේසයක් වටේ ඉඳගෙන බීම බොන සීන් තියෙනවනේ. ඒවයෙදි සමහර වෙලාවට එයාල එතනින් නැගිටල යන්නෙ අර බීම වීදුරුවෙ බාගයක් විතර ඉතිරි වෙලා තියෙද්දි. ඒක දකිද්දි පුංචි කාලෙ මටනං තද වුණා.

ඇයි උන් ඒ ටිකත් බීල නැගිටින්නෙ නැත්තෙ? මං හිටියනං අනිත් උන්ගෙ ඒවත් එක්ක බොනව. උන්ට ඕන තරං ඇති සල්ලි බීම බොන්න. උන් කො‍හොමත් හැම සතියෙම ඔහොම බීම ඉතිරි කරල යනව. ෂික්... අපට නෑනේ...

ඒ දවස්වල පැණි බීම කියන්නෙ ටිකක් විතර පොෂ් බීමක්. අපේ ‍තාත්තලට කවදාවත් ඒව බොන්නවත් අපට අරන් දෙන්නවත් උවමනාවක් වෙලා නෑ. ඒ වුණාට තාත්ත එක්ක ටවුමෙ රවුමක් දාපු දවසකටනං සමහර වෙලාවට එහෙම චාන්ස් එකක් වදිනව. ඒ දවස්වල තිබුණෙ ඒවට පෙරේතකම. ඒ කාලෙ හිතුවෙ රස්සාවක් කරල සල්ලි හම්බ වුණාම මුළු කඩේම තියෙන බීම සල්ලි වලට ගන්න ඕන කියලා.

ඒ වුණාට රස්සාවල් කරන්න ගනිද්දි අපේ අවශ්‍යතාවයන් වෙනස් වෙලා...

හැබැයි තාමත් ඔහොම ටෙලිවල, චිත්‍රපටිවල බීම ඉතිරි කරල නැගිටල යන එක මාව අවුස්සන සීන් එකක්.

පොඩි කාලෙ ඇපල් ගෙඩියක් කියන්නෙ මාර දුර්ලභ පලතුරක්. ටවුමෙ බස්ටෑන්ඩ් එක ගාව ලොකු පළතුරු කඩේ විතරයි ඇපල් තිබුණෙ. ඒවත් අර නියම ඇපල් හැඩේ තියෙන රතු පාට ඒවා. ඒ කාලෙ ඒව අපට අරන් දෙයි කියල හීනෙන්වත් අපි හිතන්නෙ නෑ.

හැබැයි තාත්ත රාජකාරිවලට කොළඹ ගිහින් එනකොටනං ඇපල් ගෙඩි දෙක තුනක්, රඹුටන් වල්ලක් වරදින්නෙ නෑ. හොඳම වැඩේ ඒ ඇපල් කන්න ලැබෙන විධියයි. කවදාවත් අපට ඇපල් ගෙඩියක්ම කන්න අවස්ථාවක් නෑ. අර අඹ කනව වගේ. ඒ කාලෙ අඹනං ඕන තරං. සත විසිපහ, පණහ වගේ ගණංවලටයි මතක කාලෙදි අඹ කෑවෙ. නමුත් අපට ඇපල් නං හම්බවුණේ කෑල්ලක් විතරයි. තියෙන ගෙඩි කීපය ‍කට්ටිය අතරෙ බෙදෙද්දි එහෙමයි වුණේ.

ඒ නිසාම ඇපල් කෑල්ලෙ ඇටයි නැට්ටයි ඇර අනිත් සේරම කනව. ඇට තියෙන හරියෙ කන්න බැරි විධියෙ කොටස් ටිකත් කාල දානව.

ටීවී එකේ කට්ටිය ඇපල් කන්නෙ මැද නාරටියක් වගේ ඉතිරි කරල. හරියටම ඇපල් ගෙඩිය වටේට කෑලි කඩාගෙන කාල. සෑහෙන්න ඉතුරුයි. උන් ඒ ඉතිරි කෑල්ල නිකංම විසි කරනව. මගේ ගණනය කිරීම් අනුව ඒ කොටසෙ ඇපල් ගෙඩි බාගයක්ම තිබුණා. ඒ නිසා ඒව දකිනකොටත් මාව ඇවිස්සුනා...

පස්සෙ කාලෙදි අපි ඇවිස්සුනෙ මිනිස්සු සිගරට් කොට බාගෙට බීල විසිකරන එකට. අපි කිව්වෙ ඔය චිත්‍රපටිවලට නිතර සෙට් වුණ ගනේගොඩ, නලිය සහ මම. ඔය කව්බෝයි චිත්‍රපටිවල පේන්නම බැරි එක තමයි සිගරට් එක බාගෙට බීල විසි කරන එක. සමහර වෙලාවලදි නළුවො සිගරට් එක පත්තු කරල අතේ තියාගෙන වෙන කතාවක් දාගෙන ඉන්න එකටත් අපට තද වුණා. අඟලක් විතර අළු වෙනකල් ඌ ඒක අතේ තියාගෙන කතාව. සමහර වෙලාවට සිගරට් එක ඈෂ් ට්‍රේ එකේ තියල යන එකටත් අපි නොසන්සුන් වුණා. උන්ට කිසි අගයක් නෑ...

අනිත් කාලකන්ණි තමයි බොනකොට කට වටේ හලාගන්න උන්. ඒක මාර අපරාදයක්. සමහර උන් බෝතලේ කටේ තියාගෙන කට දෙපැත්තෙං වැක්කෙරෙන ගමන් බොනවා... පොඩ්ඩක් විනයක් ඇතිව බිව්වනං තව ෂොට් එකකට බඩු ඉතිරි කරගන්න තිබුණා. බොන්නෙ විනය ටිකක් කඩාගන්න වුණාට බොද්දි විනයක් තියෙන එක හොඳයි.

ආයෙත් හිතට දුකක් දැණෙන වෙලාවක් තමයි යෝගට් එකක් හෙම කන වෙලාව. යෝගට් එක කාලා අඩියෙ ඉතිරි වෙන ටික හැන්දෙන් ගන්න අමාරු වෙද්දි ටිකක් අවුල්. හරකෙක්ට වගේ දිවක් නැති එක ගැන දුකක් දැණෙන වෙලාවක් ඒක. එහෙම තිබුණ නම් මූණෙ ගාගන්නෙ නැතිව යෝගට් කෝප්පෙම පොලිෂ් කරා වගේ ඉවර කරන්න තිබුණා. ඒහෙම කියලා දැනටත් තැන නොතැන නොබලා පෙරේතකම ආවොත් යෝගට් කෝප්පෙ අඩිය දිවෙන් සුද්ද කරන්න ට්‍රයි කරන එක ජොලි වැඩක්.

ඔයිට අමතර සමහර දේවලුත් කිසි ගානක් නැතිව පාවිච්චි වෙනව මට පේනව. හැබැයි ඒව තාම තද වෙන විධියෙ ඒව නෙවෙයි.

Tuesday, 31 July 2012

ප්‍රේමකීර්ති, ගනේගොඩ, අම්මා සහ මම


ප්‍රේමකීර්ති එක විධියකට වීරයෙක් විධියට මම සලකන පුද්ගලයෙක්. ඔහු වීරයෙක් වුණේ ගනේගොඩ අයිය නිසා. රජයේ චිත්‍රපටි අංශයේ ඉන්න කාලෙ ප්‍රේමකීර්තිව පුද්ගලිකවම දැනගෙන හිටපු ඔහු ප්‍රේම්ගේ උග්‍ර රසිකයෙක්. ඒ නිසාම අපි සෙට් වුණාම පට්ට ගහන මර්වින් පෙරේරගෙ සින්දු ටික අස්සෙ ගනේගොඩ සැරින් සැරේ ප්‍රේමකීර්තිව මතක් කරන්නෙ ඔහුගෙ වචන අතර මාව අතරමං කරමින්.

ප්‍රේමකීර්ති මං මුලින්ම අඳුනගන්නෙ රූපවාහිනියෙ මහජන සම්පත වැඩසටහනින්. ඒ කියන්නෙ 1986-88 වගේ කාලෙ වෙන්න ඕන. මම හෙණ පොඩියි. ඒ වුණාට අම්මට ඒක බලන්න උණක් හැදිල තිබුණ. අම්ම එක්ක මමත් ඒක බලනව. ඒකෙ ආරම්භක නිවේදකයෝ වුණේ ප්‍රේමකීර්ති, රේණුකා බාලසූරිය සහ නිල්මිණි සිගේරා. ‍දිනුම් වාරයක් පාසා රේණුකයි නිල්මිණියි මාරු වුණා. මම නං ඒ දවස්වල(ත්) කැමති රේණුකාට :P ඔය වැඩසටහන හිට් වුණේ ප්‍රේමකීර්ති නිසා. පැය බාගයක් විතර විකාශනය වෙද්දි ඔහු සෑහෙන්න රස කතා ගොඩක් කියෙව්වා. ප්‍රශ්ණ ඇහුවා. තැපැල්පත් වලින් ප්‍රශ්ණ වලට පිලිතුරු ගෙන්නුව කියලත් මතකයි. ඒක ලොතරැයි වැඩසටහනක් වුණත් සෑහෙන්න රසවත් එකක් වුණා.

පසුව ප්‍රේමකීර්ති මෙහෙයවනවා 'හරි පුදුමයි නේද?' කියල එකක්. ඒක ඔය ලොතරුයි වැඩසටහන අස්සෙම ගියාද වෙනමම ගියාද කියල මතක නෑ. නමුත් ඒකෙ විකාශනය වුණෙ ඔය ලෝකෙ තියෙන පුදුම සහගත දේවල් ගැන. ඔහු ඒ හැම දෙයක් ගැනම කියල අවසන් කළේ 'හරි පුදුමයි නේද?' කියල අහලා. දැන් නම් අපි ඒ පෙන්නපුව වගේ ඒවට කියන්නෙ hoax කියලා.

ඒ කාලෙදිම ඔහු හැම ඉරිදාම (මතක විධියට පස්සෙ සෙනසුරාදාත්) ආයුබෝවන් වැඩසටහනින් හම්බවෙනවා. ඒවට ඔහුත් එක්ක නිවේදනයට අසෝකා වනමලී, අනෝමා වත්තලදෙණිය, රවි ජෝන්, අරුන් ඩයස් බණ්ඩාරනායක වගේ අය සම්බන්ධ වෙනවා. ඒකෙ හිටපු අයගෙ නම් මතක නැති එක නම් හෙණ අපරාදයක්. ඒ වැඩසටහන් අපි මගඇරියෙ නැති තරම්. (ඉරිද ඉස්කෝලෙ නොගිය එකේ වාසිය :P) එක එක රස කතා, විහිළු වගේම මොළේ කචල් වෙන විධියෙ ගැටළු ගොඩකින් ප්‍රේමකීර්ති සන්නද්ධ වෙලා හිටියා. ඒ දවස්වල මම දන්නෙ ඔහු රූපවාහිනී නිවේදකයෙක් කියල විතරයි. ඒ වෙද්දි අම්මත් මමත් දෙන්නම ඔහුගෙ උග්‍ර පංකා හෙවත් fans බවට පත්වෙලයි හිටියෙ.

ඔහු මිය ගිය ප්‍රවෘත්තිය අපට අදහගන්න බැරි එකක් වුණා. ඒක අපට කිව්වෙ තාත්තා. ඔහු ඒක දැනගෙන තියෙන්නෙ ගුවන්විදුලියෙ පාන්දර ප්‍රවෘත්ති වලින්. අම්මයි මමයි දෙන්නම ඉන්න තැන තාත්ත ඒ ගැන කිව්වෙ 'අන්න ඔය දෙන්නගෙ යාළුවට වෙඩි තියල' කියලයි. ඊට පස්සෙ මම සාමාන්‍ය විධියට හැසිරෙන්න උත්සාහ කලත් එදා දැණුන ඒ හැඟීම වචන වලින් කියන්න බැරි එකක් බව මම අද දන්නවා. ඒ හැඟීම ආයෙම දැණුනෙ 1993දි ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය දවසෙ. දේශපාලනය ගැන මෙලෝ දැනුමක් නැති වුණාට ඒ කාලෙ ඔහු අපට පෙණුනු/පෙන්නපු පරමාදර්ශයක් වීමයි ඒකට හේතුව.

ඊට පස්සෙ කතාව සාමාන්‍ය වෙනවා. ප්‍රේමකීර්ති තියා සංගීතෙත් නොදැණුන කාන්තාරමය කාලෙකට පස්සෙ ආයෙත් ඔහු මට අනුව පොරක් වෙන්නෙ 2003දි ගනේගොඩව හම්බ වුණාට පස්සෙ. මර්වින්ගෙ සින්දු අස්සෙ ප්‍රේමකීර්ති ලියපුව ගනේගොඩ අඳුණගන්නෙ වචන වලින්. මට ඒ ගැන තේරුමක් නොතිබුණත් ගනේගොඩ අයියට ප්‍රේමකීර්තිගේ වචන ගැන ඒ තරම් දැනුමක් තිබුණා.

හැම සිදුවීමක්ම මට මතක නැතත් ප්‍රේම් ලියපු මර්වින් කියන 'නිමා නොවෙන පෙම් හැඟුම්' කියන සින්දුව ගනේගොඩ මට තේරුම් කරපු විධියනං මතකයි.

'උඹ ලව් කරන කෙල්ල එක්ක යද්දි වෙන කෙල්ලො දිහා බලන්නෙ නැද්ද?'

ගනේගොඩ ඇහුව.

'නෑ'

මම ඒ දවස්වලත් හෙණ පඬිය.

'අනෙ පළයං බං යන්න බොරු නොගහ'

ගනේගොඩගෙ කිණ්ඩි හිනාව මාව කූඹියෙක් කලා.

'බලන්න ඕන වුණාට බලන්නෙ නෑ ඉතිං හරි නෑනෙ'

මං ෂේප් වුණා.

'ඒක තමයි කියන්නෙ. උඹ කොයි තරම් ලව් එකේ හිටියත් උඹේ හිත හැම තැනම යනවා. බලපං ඔය සින්දුවෙ කියන්නෙ ඒක ගැන තමයි'

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම්
සොරෙන්

'ඕකෙ විධියට උඹ උඹේම කියල ගෙයක් හදාගෙන ඉන්න ගියාට හිත උඹටත් නොදැනීම පිටවෙලා වෙන ගෑණු පස්සෙ යනවා... පෙම් හැඟුම් කියන ඒව එක ගෑණියක් කියල සීමාවක් දාගෙන තියාගන්න පුළුවන් ඒව නෙවෙයි.'

ගනේගොඩ කියාගෙන ගියා. මම සින්දුව රිවයින් කරල මුල ඉඳන් ඇහුවා.

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්

පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්
නුරා ලවන් සොයා පියා සලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...

හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...



'එහෙම වෙනව කියල උඹ උඹේ කෙල්ලට ආදරේ නැති ලබ්බක් නෙවෙයි කියන්නෙ. ආදරේ එහෙම්මම තියෙයි. හිතේ සීමාවක් නැති එක ගැනයි කියන්නෙ'

මම එදා ඒක තේරුම්ගත්තෙ ආදරේ සහ කෙල්ලො ගැන මට තිබුණ ප්‍රශ්ණ ‍කීපයක්ම විසඳගෙන. පෙම් හැඟුම් නිමා වෙන්නෙ නෑ...

එදා ඉඳන් අද වෙනකල් ගනේගොඩ එක්ක සෙට් වෙන ඕනම වෙලාවක සින්දු කියන්න පුළුවන් මෝඩ් එක ආවොත් මර්වින්ගෙ සින්දු සෙට් එක වරදින්නෙ නෑ. ඒක අපිත් එක්ක සාමාන්‍යයෙන් සෙට් ‍වුණ පුද්ගලයින් අනුව නිරායාසයෙන්ම ඉදිරිපත් වුණ ඉල්ලීමක් වුණා. කවදාවත් සින්දුවක් පාඩම් හිටල නැති මට 'කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී' සින්දුවෙ අන්තරා කෑලි පැටලිලා හරි මතක හිටියෙ ඒ සෙට්වීම් නිසා. ඒ හැමවෙලේම ප්‍රේමකීර්තිගෙ වචන ගැන ගනේගොඩ පුන පුනා කියන්නෙ ඔහු ගීතය තනිකරම වචන වලින් ආස්වාදනය කරපු නිසා. ඒ වගේම ඔහුත් එක්ක මෝටර් සයිකලේ ගිය කතා, බේබදු කතා, සහ අඹ ගැට වලට තිබුණ ප්‍රේම්ගෙ පෙරේතකම ගැන කතා ගනේගොඩ සැරින් සැරේ කියවනව.

ඒ එක්කම ඒ අර්ථයෙන් ප්‍රේම් දිහා බලන්න මමත් හුරු වෙනව. ඔහු මගේ වීරයෙක් වෙන්නෙ එහෙම. වික්ටර්ගෙ මර්වින්ගෙ ප්‍රියාගෙ සින්දු අහද්දි මම ඒ සංවාද වලට යන්නෙ නිරායාසයෙන්.

ප්‍රේමකීර්ති ගැන අයිටීඑන් එකේ ගිය අවුරුද්දෙ ගිය ප්‍රෝග්‍රෑම් එක මට බලන්න බැරි වුණා. ඒක මේ වතාවෙ ආයෙමත් පෙන්නුවා. ඒකෙදි දිලීප අබේසේකර මරු කතාවක් කිව්වා. 'ප්‍රේමකීර්ති ජීවත්වෙලා හිටපු කාලෙදි කරපු දෙවල් බැලුවම ඔහු මේ වෙනකොටත් ජීවත් වෙලා හිටියනම් කොහොම දේවල් කරයිද කියල හිතාගන්න බැහැ. ඔහු චිත්‍රපටියක් කරන්න තිබුණා. ටෙලි නාට්‍යයක් කරන්න තිබුණා. අපට පුළුවන් ඒ ගැන හිතල ඔහු කරපු ටික රසවිඳින්න විතරයි'

ඔහුගෙ අතිවිශාල හිතේ තිබුණ දේවලින් අපි දන්නෙ බොහොම පොඩ්ඩක් විතරයි. සමහර විට ඔහු ජීවත්වෙලා හිටියනම් ලොකු දෙයක් නොවෙන්නත් පුළුවන්. නැති දේ ගැන දුක් වෙන එක අපි කාටත් පොදු දෙයක්.

අන්තිමේදි ඔහු වෙනුවෙන් අපට කරන්න පුළුවන් ඔහුගේ නිර්මාණ බෙදාගන්න එක. ඒ රසය ඒ ගැන නොදන්න අයට යොමු කරන එක. මේ සටහන ඒකට පොඩි තල්ලුවක් වෙයි කියල හිතන එක ඇරෙන්න මටත් කරන්න දෙයක් නැති තරම්.

ප්‍රේමකීර්ති සම්බන්ධයෙන් මම මුලින්ම ලියන්න ගියේ ක්ලෝඩ් ප්‍රනාන්දු මහත්තය ලියපු ලිපියක් ආශ්‍රයෙන් කරපු පරිවර්තනයක්. ඒක කම්මැලිකමත් එක්ක සම්පූර්ණ වුණේ සෑහෙන්න හෙමින්. නමුත් ඒකත් බ්ලොගේ දානව.

ප්‍රේම් ගැන අනාගතේදි වෙන දෙයක් ගැන ඊටත් පස්සෙ...

Saturday, 21 July 2012

ගල් ජීවිතයෙන්...



කාර්යාලයෙ ඉතාම හදිස්සි වැඩක යෙදෙන්න පටන්ගන්නකොටම දුරකථනය සාක්කුව ඇතුලෙ වෙව්ලන්න ගත්තා. මේ වෙලාව ලේසියෙන් කෙනෙක්ට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒත් මේ ඇමතුම කොයිම වෙලාවකදිවත් රිජෙක්ට් කරන්න පුළුවන් එකකකුත් නෙවෙයි. ජීවිතේ ඉතිරිවෙලා තියෙන මනුස්ස සම්බන්ධ කීපය අතරින් එකක් එහා කොනේ තියෙන බව මම දන්න නිසයි ඒ.

හලෝ....

මම ඇමතුමට පිළිතුරු දුන්නා...

උඹ අම්බාණක් වැඩද?

ගනේගොඩ අද නම් තවමත් හොඳ සිහියෙන්...

නෑ නෑ ෂේප්...

ඒ මම කවදත් දෙන උත්තරය. ගනේගොඩ වෙනුවෙන් මම දන්න තරමින් මම ලේසියෙන් බිසි වෙලා නෑ. කොහොමත් ඔහු එහෙම කතා කරන්නෙ මාසෙකට දෙකකට සැරයක් විතරයි...

උඹ බිසි වුණත් කරන්න දෙයක් නෑ බං.. මම දැන් ටිකකට කලින් අම්බාණක් ඇඬුව. මේක දරාගන්න අමාරුයි බං.

ඔහු කියාගෙන ගියා.

ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?

මුකුත් වෙලා නෑ. දරාගන්න අමාරුයි බං. මේව මං කාටද කියන්නෙ?

මොකද ඉතිං අඬන්න හේතුව?

හේතුවක් නෑ හර්ෂ මට අම්ම මතක් වුණා. චූටි මතක් වුණා. අමරෙගෙ පරණ සින්දු ටික ඇහෙනකොට හිස්ට්‍රියට ගිහින් ඉතිං ඇඬුණ. මේව කියන්න එකෙක් නෑ බං. මිනිස්සුන්ට කවදද මේව තේරෙන්නෙ.

මිනිස්සුන්ට වැඩ තියෙනවනෙ ඉතිං. දරාගන්න වෙනවා.

උඹ කියන්නෙ විකල්පයක් නෑ කියලද? උඹ කවදාවත් එහෙම අඬල නැද්ද?

සෑහෙන්න ඉස්සර. අම්මයි තාත්තයි හින්ද.

උඹ මොකද කළේ ඉතිං.

මං ගල්ගැහුණ ඉතිං. වෙන කරන්න දෙයක් නෑ. ඒ කාලෙ එහෙම ඒව කතා කරන්න තරං ෆිට් මනුස්සයෙක් හිටියෙ නෑනෙ.

දරාගන්න එක තමයි නේද බං සීන් එක? දරාගන්නෙ කොහොමද මචං. ඒකෙත් ඉවරයක් නෑ බං. හැඟීම් දැණෙනව වැඩි වුණාමත් මාර වාතයක්.

දැන් අපි ඉන්න ලෝකෙදි ඒක ලෙඩක්.

මොනව කරන්නද බං.. උඹ එහෙනං වැඩක් කරගනිං.

ළඟපාත දුමක් තියෙනවනං ඉතිං ඔය ෆීලිං එක වාෂ්ප කරල දාන්න... නැත්තං නින්දක් දාල නැගිටින්න.

වෙන කරන්න දෙයක් නෑ බං. මං ගාව රුපියල් දහයක් තිබුණා. ගේ අස්සෙ අවුස්සල බලල ඉතිරි ගාන හොයාගන්න ඕන දුමක් ගේන්න.

හා හා ඕන එකක්. හොයාගන්න බැරි වුණොත් ආයෙත් ඇති තරම් අඬන්න.


දුරකථන සංවාදය සුපුරුදු බායි කීපයකට පස්සෙ නිමා වුණේ හිතේ තැන්පත් වුණ බරක් එක්ක. හැමදාම ඔහුත් එක්ක සංවේදී සංවාදයකින් පස්සෙ මට තනියෙන් හිතන්න ඉතිරි වෙන හැඟීම මට දැණුනෙ කාලෙකින්. ඒ තරමට ඔහුත් මමත් ඈත් වෙන්න අරන්. ඇත්තම කිව්වොත් ජීවිතේ අපි අතර ලොකු ප්‍රතිරෝධයක් ඇති කරලා. එකිනෙකා එක්ක සංවාදෙකට වඩා අදහස් තමන් තුලම ගොනු වෙන තනිකමක් ගොඩනැගිලා.

ජීවිතේ අර්ථදැක්වීම් සෑහෙන්න ප්‍රමාණයක් අළුතෙන් හඳුනාගත්තු මිනිහෙක්ට ආදරේ වෙනුවට මිනිස් සම්බන්ධ වල ගනුදෙනු තේරෙද්දි ජීවිතේ අමාරු වෙන එක සරල ඇත්තක්. ඒ අස්සෙ වටේ තියෙන සීමිත මිනිස් සම්බන්ධතා අස්සෙ තියෙන ආදරේ දැණෙද්දි ඇඬනව තමයි. අඬනව ඇරෙන්න ඒකට වෙන විසඳුමක් නැති තරම්. තමන් අසරණයි නම්, තමන්ට උදව් කරන්න ඉන්න අය ඊටත් වඩා අසරණයි නම් මිනිහෙක්ට වෙන විකල්පයක් නැතුව ඇති.

ජීවිතයත් මරණයත් අතර එක්තරා යුද්ධයක් කරමින් ජීවත් වෙන මනුස්සයෙක් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද? හැම මාසෙකදිම ගිගා බයිට් විස්සක තිහක චිත්‍රපටි ටිකක් එක්ක දුම් කූරු හතරක් පහක් විතරක්??? සමහර විට ඔව්. ජීවිතේ වෙනස්වීම් එක්ක එතනින් එහා සංවාද සේරම වචන කීපයකට විතරක් සීමා වෙද්දි, මට ඔහු එක්ක රැඳෙමින් චිත්‍රපටියක් ගැන මොළේ අවුල් කරන සාකච්ඡාවක යෙදෙන්න කාලයක් නැති වෙලා ගිහින්.

එහෙම නැත්තං මුල්ලකින් ඇදල ගන්න 'මම කවුද' කියන උත්තර නැති ප්‍රශ්ණෙ ඔස්සේ හාවගේ ලොම්වලිනුත් මිදිල අභ්‍යවකාශයේ නිමක් නැති එකඟත්වයකුත් නැති සංවාදවල කිමිදෙන්න....

ජීවිතේ සංකීර්ණ වෙලා... හැඟීම් ගල්කරගන්න ඕන වෙලා. අච්චු වලට හැඩගැහුණ ජීවිත අස්සෙ හුරු පුරුදු ඇනුවල් වෙනස්වීම් ඇරුණම කිසිම අහම්බයක් නැතිවීම ඔහුගෙත් ම‍ගේත් සිග් සැග් සයිනාකාර ජීවිත ලීනියර් කරන්න අරන්...

උඹ ආයෙ එනකොට එහෙනං අළුත් වස්තු සම්භාරයක් අරන් වරෙන්...

ඔහු හැමදාම සමුගනිද්දි කිව්වෙ එහෙම.

ගිගා බයිට් විස්සක තිහක වස්තු සම්භාරය...

අඩු තරමෙ ඒ වචන කීපය තාමත් අපි සම්පූර්ණයෙන්ම ගල් වෙලා නෑ කියන එකට සාක්ෂියක් වුණා...

Friday, 3 June 2011

ගොඩගම එලිමහන් පිරමීඩයේ චිත්‍ර ඇඳිල්ල!


මාතෘකාවෙන්ම වැඩේ අල වෙනව කියල තේරෙණව වුණත් ලියනව ඇර කරන්න දෙයක් නෑ.

දන්නවනෙ ගනේගොඩ අයියව. එයා මේ බ්ලොග් එකේ රැඳිල ඉන්න චරිතයක්. මගේ ජීවිතේ ඇතුලෙත් හැමවෙලේම රැ‍ඳෙන කෙනෙක්. මෙයාගෙ ගෙදර සම්පූර්ණයෙන්ම හදල ඉවර වුණේ මෑතකදි. ඒ කියන්නෙ ආලින්දය විධියට පාවිච්චි කරන්න යොදාගන්න කොටස අළුතින් හැදුවෙ ගෙදර ඉතිරිය සම්පූර්ණ කරලා අවුරුදු 12කට විතර පස්සෙ. හේතුව කම්මැලිකම. එයයි නෝනයි විතරක් ඉද්දි මොකටද ඔය තරම් උජාරුවට ගෙවල් කියල තමයි ගේ නොහදාම හිටියේ.

මේ ආලින්දය කොටසෙ වැඩි යමක් නැති එකම තමයි ගතිය. දකුණු පැත්තෙ තියෙන කොටසෙ උස් බිත්තියක් නෑ. කොට බිත්තියත් එක්ක ඉඳගන්න, නිදාගන්න ඉඩකඩ සහිතව පූර්ණ පහසුකම් තියෙන සිමෙන්ති බංකු කොටසක් තමයි තියෙන්නේ. මේ බංකුවෙ හැඩය අර්ධ වෘත්තාකාරයි. අර්ධ වෘත්ත කොටසෙත් වෘත්ත හැඩය තියෙන්නෙ බාගෙක විතරයි. අනිත් ටික හරියට වෘත්ත චාපයක් කැපුව වගේ තනි බිත්තියකින් වැහිලයි තියෙන්නෙ.

මේක හදල තියෙනව දැක්ක ගමන් මම කිව්වෙ මේක එලිමහන් රංග පීඨයක් වගේ කියල. මොකද මැද තියෙන්නෙ ලොකු ඉඩක්. ඉඳගන්නත් හොඳ තැනක් තියෙනවා. බිත්ති දෙකකින් ඇරුණම අනිත් දෙපැත්තෙන්ම පරිසරයට විවෘතයි.


මෙහෙම හදන්න ඒ දවස්වලම පැලෑනක් තිබිල තියෙනව. මොකද දන්න කාලෙ ඉඳන් ගෙදර ඔය කියන අළුත් කොටසෙ අත්තිවාරම තිබුණෙත් ඔය හැඩේට තමයි. අවසානෙදි කියන්න වෙන්නෙ මේ විධියට මේක හදල තියෙන්නෙ තනිකර සෙට්වීමේ ආතල් එක උදෙසාමයි. ඊට අමතරව අර බංකුව උඩට වෙලා හුළං වැදි වැදී දුමක් එක්ක පොතක් කියවන එක, නැත්තං රස්නෙ දවසක හොඳට දිගෑදිලා දපන එක වගේ ආතල් වලටත් මේක කියාපු පොට් එක කියලයි ගනේ කියන්නේ.

මට සෙට් වුණේ අර තනි බිත්තියෙ චිත්‍රයක් අඳින්න. නිකං නෙවෙයි පිරමීඩ චිත්‍රයක්. අර ඔළුවට වෙස්මූණු දාගෙන අත් පය කොකා මාක් ගහගෙන ඉන්න පිරමීඩ චිත්‍ර. බිත්ති වල ඇඳිල්ල කලින් කරලම නැති වැඩක් වුණාට ගනේ ඉතිං කියන්නෙත් එහෙම වැඩක් විතරයි නිසා මගෙත් තෘප්තිය වෙනුවෙන් ‍වැඩේ කරමු කියල සෙට් වුණා.

මුලින්ම කලේ ජංජාලෙ සැරිසරල ‍අඳින්න තරම් නීට්, පැහැදිලි පින්තූරයක් හොයාගන්න එක. ඒක ඒ තරම් අමාරු වු‍ණේ නෑ. අඩි 4x8 වගේ සයිස් එකකට කරමු කිව්ව නිසා මම ඒ පරිමාණයට අර හොයාගත්තු පින්තූරය එහෙ මෙහෙ කරල හැදුවා. ඊට පස්සෙ ඒකෙ අඟල් බාගෙ කොටු වලින් ග්‍රිඩ් එකක් දැම්මා. ඒ කිව්වෙ බිත්තියට ට්‍රේස් කරගන්න ලේසි වෙන්න පින්තූරෙ පුරා කොටු ගැහුවා. පස්සෙ ඒක ප්‍රින්ට් එකක් ගත්තා.


මේකත් අරන් ගිහින් අදාල පුද්ගලයට පෙන්නුවමයි මිනිහ ඔළුවෙ අතගහගත්තෙ.

"අම්මේ මචෝ මේක උඹ මේ තරම් සිරාවට ගත්තට මෙච්චර ඕන නෑ... අපි මෙන්න මුන් තුන්දෙනා විතරක් අඳිමු."

එහෙම කියලා පොර මට චිත්‍රයෙ කොටසක් පෙන්නුවා. ඊට පස්සෙ අඩි 4x8 ප්‍රමාණයට ඒ කොටස ආයෙත් ස්කේල් කරන්න වුණා.


චිත්‍රයෙ සේරම හදාගත්තට පස්සෙ දෙන්නත් එක්ක මනින ටේප් එකයි ඇළුමිනියම් මට්ටම් ලීයයි එහෙ මෙහෙ කරකවමින් බිත්ති කොටසෙ හරි මැදට වෙන්න අපට ඕන කොටු ටික ඇඳගත්තා. ඒක ඒ තරම් අමාරු වැඩක් වුණේ නෑ. දෙන්නම අති පණ්ඩිතයො වුණ නිසා දෙතුන්පාරක් අල වෙන්න ගිහින් තමයි ෂේප් කරගත්තෙ. :P

ඊට පස්සෙ මම පැන්සලක් අරන් අර කොලේ බලාගෙන ඒකෙ කොටුවෙන් කොටුව බිත්තියට කොපි කරමින් වැඩේ කරන්න පටන්ගත්තා. එතකොට තමයි වැඩේ බරපතලකම තේරුණේ. අර ගයිඩ් එකට ගත්තු කොලේ කොටු හැමතැනම. මුල් වර්ශන් එකේදි මම දාපු කොටු ටිකයි පස්සෙ ස්කේල් වෙනස් කරපු වතාවෙ පැන්සලෙන් ඇඳපු කොටු ටිකයි සේරම ටැපලෙනවා අඳින්න ගියාම. දෙතුන් වතාවක්ම වරද්දගත්තත් මකන කෑල්ලක බාගයක් ගෙවෙනකල් මකල ආයෙත් හරියට ඇඳගත්තා. කොහොමින් හරි අන්තිමේ ඇදක් නැතිව වැඩේ කෙරුණා.


ඊට සති දෙකකට පස්සෙ තමයි මම ආයෙත් ඒ පැත්තෙ යැවුණෙ හරියටම පහුගිය මැයි 30 වෙනිදා. එදා ගනේගොඩ අයියා පින්සල් දෙකක් එක්ක තීන්ත ටිකත් ලෑස්ති කරල තිබුණ. ඊට අමතරව එයා අර චිත්‍රවල ඉරි ඉතිරි කරල අනිත් වැඩක් නැති ඉරි සේරම බිත්තියේ පාට තීන්ත වලින් වහල තිබුණ. ඉතිං මම කෙලවරක ඉඳන් පටන්ගත්ත වැඩේ. අතරින්පතර දුමක් දෙකක් එහෙ මෙහෙ ගියා.


අන්තිමේ final, last අවසාන ප්‍රඩක්ට් එක විධියට කළු දාර සහිත පිරමීඩ චිත්‍ර සම්පූර්ණ වුණා. පාට කරන්නත් මුලින් අදහසක් තිබුණට පස්සෙ හිතුණා පාට කරනවට වඩා නිකංම තියෙන එක හොඳයි කියලා. මදි පාඩුවට ‍‍මෝස්තරයක් දාමු කියලා ෆයිල් කවරෙකින් අච්චුවක් කපාගෙන බෝඩරෙකුත් ගැහුවා යටට වෙන්න. දැන් වැඩේ හරි. හොඳ නෑ වගේනම් ආයෙ ඒ පැත්තෙ ගිය දවසක මට වැඩ තියෙයි.


ඔන්න ඔහොම තමයි ගොඩගම එලිමහන් පිරමීඩයෙ චිත්‍ර ඇඳුණෙ. වැඩේ පොඩි අවුලක් මාට්ටු වුණා පස්සෙ. ඒක ඒ හැටි ගාණකුත් නෑ. ඇහැක්නං හොයාගන්ට! තව ඉතිං බිත්තිවල චිත්‍ර ඇඳිල්ල ගැන ලියන්න හිතාගෙන ඉන්නකොට මකුළු පැංචිත් ඒ ගැන ලියල තිබුණා. ඒකත් බලන්නකෝ.

Tuesday, 23 November 2010

ලොරෙන්සෝ ද අල්මේදගෙ ගිටාර් එක…

ගනේගොඩ අයියට පොත් හම්බවුණ කතාව කලින් කිව්වනේ... මේ පාර කියන්ට යන්නේ ලොරෙන්සෝ ද අල්මේදගේ ගිටාර් එක ගැන. මේ කතාවට ගනේගොඩ අයියගෙ සම්බන්ධය තමයි ඒ ගිටාරය එයාගෙ ගෙදර තිබීම!

ලොරෙන්සෝ ද අල්මේද ගැන කට්ටිය අහල තිබුණට හරි මතකයක් නැතිව ඇති. උන්නාන්සෙ තමයි මුලින්ම ලංකාවට ගොඩ බැහැපු පෘතුගීසි නැව් කණ්ඩායමේ ලොක්ක. ඉතිං අපි කතාවට කියන්නෙ උන්දැ තමයි ලංකාවට මුලින්ම පය තිබ්බ පෘතුගීසිකාරය කියල. (එව්ව එහෙම තමා... දන්නවනේ හමුදාවෙ දුප්පත් කොල්ලො යුද්ධ කරල දිනාගත්තු සාමයට ලොක්කො අයිතිවාසිකං ගන්ට ඇදපු අංචි ;-) ) එව්වයෙන් දැන් වැඩක් නෑ.

ලොරෙන්සෝ ද අල්මේද ඉන්දියාවෙ පළවෙනි පෘතුගීසි ආණ්ඩුකාරය විධියට සැලකෙන ෆ්‍රැන්සිස්කෝ ද අල්මේද මහත්තයගෙ පුත්‍රයා. ඒ දවස්වල.... ඒ කියන්නෙ 15 වෙනි සියවසේදි මුස්ලිම් ජාතිකයො ඉන්දියාව ආශ්‍රිතව වෙළඳාමේ රජකොරපු කාලෙ... පෘතුගීසින්ට ඕන වුණා ඒ වෙළඳාමට අත පොවන්ට. ඒක කොරන්ට මුස්ලිම්වරුන් භාණ්ඩ ප්‍රවාහනය කරපු මුහුදු මාර්ගවල රැකවල් යොදන්ට සිද්ධ වුණා. ඒ දවස්වල තරුණ ගැටයෙක් වුණ ලොරෙන්සෝ ද අල්මේද තමන්ගෙම නැව් කණ්ඩායමක් එක්ක මේ කෙරුවාව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ කොරමින් හිටපු වෙලාවක නැව කුණාටුවකට අහු වුණා. කුණාටුවට අහුවෙලා නැව ඇදිල ආවෙ ගාල්ලට. ඒ 1505දි.

කුණාටුවට අහුවුණ වෙලේ ආතක් පාතක් නැතිව හිටපු ලොරෙන්සෝ ද අල්මේද කුකුලෙක් හඬලනව ඇහිල කෑගහපු කෑගැහිල්ල නිසා ගාල්ලට ඒ නම වැටුණාය කියන මතේ ජනප්‍රිය එකක්ය කියල  ගාලු නගර සභා අඩවියෙ තියෙනව ඕං.

ගාල්ලට නම ලැබුණු ආකාරය පිළිබඳ බොහෝ දෙනකු පිළිගත් මතය වන්නේ ක්‍රි.ව.1505 දී සැඩ සුළඟකට හසුවීම නිසා අහම්ඛෙන් ගාල්ලට සේන්දු වූ පෘතුගීසි නාවික ලොරෙන්සෝ ද අල්මේදා කුකුළකු හඬලනු අසා ගාලෝ, ගාලෝ කී යයි ද ඒ නිසා ගාල්ල වී යැයි යන කථාවයි. ගාල්ල නගරයේ සංකේතය ලෙස බොහෝ ස්ථානයන්හි කුකුළා සළකුණ යොදාගෙන තිබේ.

කොහොම හරි පස්සෙන් පහුවෙලා මනුස්සය දැනගන්නව තමං ගොඩබැහැල තියෙන්නෙ ලංකාවටය කියල. ඒ දවස්වල මුතු, කුළුබඩු වගේම ඇත්තු නිසාත් ලංකාව යුරෝපෙ ප්‍රසිද්ධ වෙලා තිබුණ නිසා අල්මේද කොල්ලගෙ කට ගියා කන් දෙකට! ඒ කාලෙ ඉලෙක්ට්‍රික් බල්බ් නොතිබුණ හින්ද ලොරෙන්සෝගෙ ඔළුව උඩ එකපාර 'ටිං!' ගාලා ඉටිපන්දමක් පත්තුවුණාය කියල හිතාගන්ටකෝ...

ඔය කාලෙ  ලංකාව කෝට්ටේ, නුවර සහ යාපනේ ප්‍රධාන වුණ ප්‍රාදේශීය රජවරු 7 දෙනෙක් යටතේ තමයි පාලනය වෙලා තියෙන්නෙ. එයිනුත් අගනගරය වුණේ කෝට්ටේ නිසා කුණාටුව හොඳ වුණ වහාම ආයෙත් නැව් නැග්ග ලොරෙන්සෝ සහ පිරිස කොළඹට ගොඩ බැස්සා... ඒ දවස්වල කොළොම්තොට ප්‍රධාන භාණ්ඩ අපනයන නැව් තොටක්. මුස්ලිම්වරුන් තමයි පණ කඩාගෙන බිස්නස් කොරල තියෙන්නේ...

කොළඹ තොටේ නැංගුරම් දාල වෙරළට වෙලා හිටපු ලොරෙන්සෝ ඇතුළු කණ්ඩායම ගැන රස කතා ඔයගොල්ල හොඳට දන්නවා... උන්දල පාන් කමින් වයින් ‍බීපු වෙලාවෙ ඒක දැකපු ස්වදේශිකයො වහාම රජතුමා ගාවට ගිහින් කිරිවාන ගල් එක්ක ලේ බොන අමුතු මිනිස්සු ජාතියක් කොළඹට ඇවිල්ල ඉන්නවය කියල කියපු කතාව සිද්ධ වුණේ එතනදි. ඒක අහපු රජුතුමා දූත පිරිසක් පිටත් කොරල ඒ අමුතු මිනිස්සු කෝට්ටෙට ගෙන්නෙව්වෙ ඊට පස්සෙ. පරංගියා කෝට්ටේ ගියා කියන කතාව හැදෙන්ට හේතු වුණ කාරණේ සිද්ධ වුණෙත් එහෙමයි... ඒ කියන්නෙ වරුවෙන් කෝට්ටේ මාලිගාවට යන්ට පුළුවන්කම තියෙද්දි දවස් තුනක් පුරා පෘතුගීසි දූත පිරිස දුෂ්කර ගමනක් එක්ක ගියේ ඒ දවස්වල ලංකාවෙ වාසලේ හිටපු අයියලා තමයි!

ඔය කිව්වෙ ලොරෙන්සෝ ද අල්මේදගේ ලංකා ආගමනය ගැන... ඒ ගැන ඩබ්ලිව්. ජයසිරි මහත්තය ලියපු ජිප්සීස්ල ගායනා කොරන අපූරු සින්දුවකුත් තියෙන්නේ... ඕන නං ගිහිං අහන්ට! පද වැල් ගත්තෙ මේං මෙතනින්!
ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා

ඉංගිරිසිය නැතිකරන්න ඉංග්ලිශ්ලම ගොඩ ගැහිලා
ටේල්කෝට් ටොප් හැට් එක සුදුරෙදිවල රෝල්කරලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

බ්‍රැන්ඩි බීලා නොන්ඩි ගහලා අම්බානක ගුස්ති දාල
ඉම්පෝටඩ් මොරිනාකා ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

හික් හික්! මේක ඉතිං කියන්නේ ලොරෙන්සෝ ගැනම නෙවෙයි...

ඉතිං ඔන්න ලොරෙන්සෝ ඔහොමයි... උන්දැගෙ ගිටාර් එක? :-O හප්පා තව ටිකෙන් අමතකම වෙනවා... කොහෙද කියන්න ආපු කාරණේ නෙවෙයිනෙ වැඩිපුරම කියවන්නේ... ජාන ජාන වෙන මොනාද?

මාස දෙකකට විතර කලියෙන් ගොඩගම ගනේගොඩ අයියලගෙ ගෙදර ගිහින් වෙලාව තිබුණ නිසා ගේ වටේ ඇවිදපු වෙලාවෙ ගේ පිටිපස්සෙ දොර ගාව පැත්තකිං ගිටාර් එකක් එල්ලල තියෙනව... ඒකෙ යටින් ගහල තියෙනව ලොරෙන්සෝ de අල්මේදා ක්‍රි.ව. 1505 කියලා...

දැක්ක ගමන් මට හිනා ගියා... ඒක ඇත්තටම එයා පාවිච්චි කරපු පරණ ගිටාර් එකක්! ජරාවාස වෙලා ගිහිල්ලා කෞතුක භාණ්ඩයක් වෙලා... ඔය කියන වෙලේ මමත් ලොරෙන්සෝ ද අල්මේද ගැන මේ කියෝපු තරං දැනං හිටියෙ නෑ. ඉතිං ගනේගොඩ අයියමයි කිව්වෙ පොර තමයි ඉස්සෙල්ලම ලංකාවට ගොඩබැහැපු පෘතුගීසිකාරය කියල... මම ඇහුව ඇයි ඉතිං මේක එයාගෙම වුණේ කියල.. එතකොට එයා කිව්වෙ පෘතුගීසිකාරයො හොඳට කාපු බීපු විනෝදෙන් හිටපු කට්ටියක් කියලා.. ඔය බයිල කියන සංගීත ක්‍රමයත් පෘතුගීසිකාරයංගෙලුනේ...

මමත් ඉතිං කාට කාටත් පෙන්නන්න වටින නිසා පිංතූර කීපයක් ගත්ත. ඇරපු අතක් නෑ ලොරෙන්සෝ මහත්තයගෙ එකම තමයි. බලන්ටකෝ...






ඒකෙන් මේකෙන් සෑහෙන්න කතාවක් කිව්ව නෙව! ඕං ඕන කෙනෙක්ට ලොරෙන්සෝ ලොක්ක ගැන විස්තර ඕන නං තව කියවන්ට තැං!

http://mahawansa.wordpress.com/2009/01/18/the-arrival-of-the-portuguese/

http://www.rootsweb.ancestry.com/~lkawgw/slm-portuguese.htm

http://www.sundayobserver.lk/2007/02/04/ind03.asp

http://www.divaina.com/2009/10/11/feature01.html

Sunday, 24 October 2010

ගනේගොඩ අයියාට FM එකෙන් පොත්…!

උදේ ඉඳන් වැස්ස... පොත් ප්‍රදර්ශනේ බලන්නත් කට්ටිය අද දවස වෙන් කරගෙනයි හිටියෙ. ඒත් වැස්ස ඇවිත් අපි ඒකට යන්න යොදාගත්තු වෙලාව පරක්කු කරන්න අරන් තිබුණා. හැමෝම වැස්සෙන් හිර වෙලා හිටිය.

මම ගනේගොඩ අයියත් එක්ක කදේක වැටිල එයාගෙ යන්තරෙන් බ්ලොග් අස්සෙ ඇවිදිමින් හිටිය. මාරුවෙන් මාරුවට දුමක් එහෙ මෙහෙ ගියා...

"මචං හර්ෂ උඹ දැන් යන්නෙ BMICH විතරද?" ගනේගොඩ අයිය ඇහුව...

"ඇයි වෙන කොහෙවත් යන්න ඕනද? මේ වැස්ස නිසා සේරම අප්සෙට්නේ.."

"නෑ බං අර FM එකෙන් අහපු ප්‍රශ්ණෙකට උත්තර දීල දයාවංශ එකෙන් රුපියල් දාහක පොත් ගන්න පුළුවන් මට... දයාවංශලගෙ ස්ටෝල් එකක් BMICH එකේ තියෙනවනං එතනින් ගන්න පුළුවන්නේ... මට ආයෙ මරදානෙ යන්න කම්මැලියි බං ඕකටම කියල"

"මම දන්න තරමින් මේ පාර දයාවංශලගෙ ෂොප් එකක් නෑ ප්‍රදර්ශනේ... එයාල වෙනම එකක් කරනවලු මරදානෙම"

"අපරාදෙ බං චාන්ස් එක...  "

"හි හි... දැං FMවලටත් උත්තර දෙනවද? මොකක්ද අහපු ප්‍රශ්නේ...?"

"නිකං බං... මම කෝල් කලේ කරලම නැති නිසා... උන්ට කවුරුත් කතා කරන්නෙ නැද්ද කොහෙද එක පාරම කනෙක්ට් වුණා... අනිත් එක මං දුන්න උත්තරේ වැරදියි බං... ඒක උත්තරේ කිව්වටත් පස්සෙයි මට මීටර් වුණේ... ඒ වුණාට උං කියනව ඒක හරි කියල..."

"මොකක්ද ඉතිං ඇහුවේ...?"

"දුම්රිය එන්ජිම සොයාගත්තේ කවුද? කියලයි ඇහුවේ... මං කිව්ව ජෝජ් ස්ටීවන්සන් කියල..."

පොඩි කාලෙ පාඩම් කරපුව හරි නම් ජෝ‍ජ් ස්ටීවන්සන් හොයාගත්තෙ වාෂ්ප එන්ජිම... දුම්රිය එන්ජිම හොයාගත්ත කෙනාගෙ නම විධියට තිබුණ නම නම් ම‍ට පොඩ්ඩක්වත් මතක තිබුණෙ නැතත් ඒ ජෝජ් සිටීවන්සන් නම් නෙවෙයි කියල දැනං හිටිය.

"ඉතිං උන් මොකද කිව්වේ...?"

"උන් කිව්ව ඒක හරි කියල... මගෙ ෆෝන් නම්බරෙයි ID නම්බරෙයි ලියාගෙන පැයකින් විතර කතා කරල කිව්ව සතියක් ඇතුලත ID එකත් අරන් දයාවංශ එකට එන්න කියල..."

"හි... හි..."

"ඔව් බං... මං එකටම කිව්ව මගේ උත්තරේ වැරදියි කියල දෙවෙනි පාර කතා කලාම... උන් කියනව ඒක හරිලු.. ඇවිත් තෑග්ග ගන්නලු."

"එහෙනම් ඕක ගමු කොහොම හරි... මොකද අඩු ගානෙ හොඳ පොත් දෙකක්වත් ගන්න පුළුවන් වෙයිනේ..."

"මට යන්න කම්මැලියි බං... උඹ BMICH යනවනෙ දැන්... එතන තියෙයිද දන්නෑනේ..."

"ඕන නං නම්බරයක් හොයාගෙන කතාකරල බලමු..."

මම ජාලය පීරල දයාවංශලගෙ නම්බරේ හොයල දුන්නත් ඒක වැරදි අංකයක් වුණා.. ඊට පස්සෙ පොත් සම්බන්ධව ඕන එකක් ඇහුවම කියන ‍ෂෝයි ළමයෙක්‍ට කෝල් එකක් දුන්නම එයා ඒ වෙලේම රාක්කෙ තිබුණ දයාවංශලගෙ පොතකින් අංකය හොයල දුන්න...

ගනේගොඩ අයිය කතා කලා...

"හලෝ.... මම මේ පෙරේද අර FM එකේ අහපු ප්‍රශ්ණෙට උත්තර දුන්න කෙනා කතාකරන්නෙ... මට ඔයාලගෙන් රුපියල් 1000ක වවුචරයක් ගන්න තියෙනවා. ඒ ගැන කතා කරන්න පුළුවන් කාටද?"

මම හිතන්නෙ අදාල තැනට ඇමතුම යන්න ඇති...

"ආ... හලෝ.. මම අර FM එකට උත්තරේ දීල තෑග්ග ගන්න තියෙන කෙනා කතා කරන්නේ... ඔව් ඔව්... පෙරේද තමයි... මේකයි මල්ලි... ඔයාලගෙ ස්ටෝල් එකක් නැද්ද BMICH එකේ... හා.. නැද්ද... ආ... ඇවිත් නැද්ද... හරි මල්ලි.... ආ... මේ මල්ලි තව එකක්... ඔහෙට වහිනවද?"

ෆෝන් එක තිබ්බා හිනාවීගෙන..

"උන් දන්න කෙහෙල්මලක් නෑ බං... දෙවෙනියට කතා කරපු එකා කියනවා FM එකෙන් තාම ලිස්ට් එක ඇවිත් නෑ කියල... ඌ නිකං උගෙන් යනව වගේ කතා කලේ.... මම වැස්සද කියල ඇහුවම ෆෝන් එක තිබ්බා..."

"එහෙනං ඕක අතෑරල දාමු. දීපු උත්තරෙත් වැරදියිනේ...'

"ඒක තමයි බං..."

ගනේගොඩ ආයෙත් ගිණි පෙට්ටිය හෙව්වා...
....................................

මේ සටහන ලියද්දි මම දුම්රිය එන්ජිමේ නිර්මාතෘ කවුද කියල හොයන්න උත්සාහ කලත් මට පැහැදිලි නමක් හොයාගන්න වුණේ නෑ... දුම්රිය එන්ජිම කියන්නෙත් කෙමෙන් සංවර්ධනය වුණ දෙයක් නිසා එක නිර්මාපකයෙක් නැති බව තමයි අන්තිමේ තීරණය වුණේ. ජෝජ් ස්ටීවන්සන් කියන්නෙත් වාෂ්ප එන්ජිමේ එක සාර්ථක පියවරක් ඉදිරියට ගත්තු පුද්ගලයෙක් කියලයි සඳහන් වුණේ...

කොහොම හරි අපට FM එකෙන් පොත් හම්බවුණේ නෑ අන්තිමට... මම 10.30ට විතර BMICH එන්න පිටත් වුණා... ගනේගොඩ අයිය එයා ගාව තිබුණ පොතක් එක්ක ඇ‍ඳේ ඇලවුණා...

Wednesday, 13 October 2010

ආදරය සහ කසිප්පු...

ගමේ හැමෝම ලීල ආච්චිට ලීල අක්කය කිව්වට අපේ ආච්චිට තරම්ම වයස නිසා මම කිව්වෙ ආච්චි කියලා‍.

සති දෙක තුනකට විතර සැරයක් කුමාර අයියලගෙ ගෙදර නැවතෙන දවස්වල කුමාර අයියත් එක්ක බයික් එකේ ගම වටේ රවුම් ගහද්දි එයාට අඩියක් ගහන්න ඕන වුනාම යන්නෙ ලීල අක්කගෙ කසිප්පු තිප්පොලට‍. මම සිගරට් එකක් දල්වගෙන එතන ඉන්න මිනිස්සු දිහා බලාගෙන ඉද්දි ලීල ආච්චි කට්ටියට මෙගා බෝතලේකින් වීදුරුවලට වක්කරල දුන්නා...

ඒ අතරෙ වතුර එක උණු වුනාම මට හම්බ වෙනව රස ප්ලේන්ටියක්. ඒකෙන් බාගයක් බීල ඉතිරිය ලීල ආච්චිට දෙන්නෙ ඒක අපි දෙන්න අතර පුරුද්දක් වෙලා තිබුණ නිසා. බුලත් කහට රැඳුණ දිරාපත්වුණ දත් එලියට දාල හිනා වෙන්න පුළුවන් උපරිමෙන්ම හිනාවෙලා තමයි මගේ අතින් තේ එක ගන්නෙ‍... එහෙම වෙලාවට හිතන්න බෑ ලීල ආච්චි ගම දෙවනත් වෙන්න කුණුහරුපෙන් මිනිස්සුන්ට බණින ගෑණියෙක් කියල... ඒ ඒ ප්‍රශ්ණ වලට ඒ ඒ විසඳුම් කියන තියරිය එයා ජීවිතෙන් ඉගෙනගෙන තිබුණා... එහෙම නොවී කසිප්පු වාඩියක් පාලනය කරන්න බෑ පිරිමියෙක්ටවත්...

තේ එක කියන්නෙ අපි දෙන්නට කතාවට ඉඩ සලසන අවස්ථාවක්...

'වැඩේ නැගලම යනව නේද?' මම අහන්නෙ කොතනින් හරි කතාව පටන්ගන්න ඕන නිසා...

'අපෝ නෑ හර්ෂ මල්ලි... ගිය සතියෙත් ලොකු පුතා පොලීසියෙ දවසක් හිටිය'

ලීල ආච්චිගෙ ලොකු පුතා තමයි බිස්නස් එක පැත්තකින් අරන් ගියේ. මාරුවෙන් මාරුවට ලීල ආච්චියි ලොකු පුතයි හිරේ හිටිය. පොඩි පුතත් වාරෙන් වාරෙට ‍කන්ස විකිණුව‍. කට්ටියම කලේ පොලීසියෙන් පන්නන රස්සාවල්...

'පොලීසියෙන් හැම වෙලේම පන්නනවද?'

'එහෙම නෑ ඉතිං... කට්ටිය ඉන්නවනෙ කියන්න... පොලීසියෙන් එනව වගේ සැක තියෙනවනම් කෝල් එකක් එනවා... එතකොට කෑන් එක හංගන්න ඕන' ආයෙත් කට පුරා හිනාවක්...

'එහෙනං ඉතිං ගිය පාර අහුවුණේ කොහොමද?'

'පො‍ලිසියෙන් සිවිල්නෙ මල්ලි එන්නෙ. ඔය ණයට බඩු ඉල්ලල හම්බුන්නැති අළුගුත්තේරුවෙක් ටිප් එක දෙන්න ඇති...'

'ඉතිං හෙන බයෙන්නෙ වැඩේ කරන්න වෙන්නේ...'

'මේ බිස්නස් එක එහෙම තමයි‍. නීති විරෝදීනෙ මොනා වුණත් ඉතිං... පොලිසිවල උන්ට ගාන දුන්නනම් කාලයක්‍‍‍ ඉන්න පුළුවන්.... ඒත් උං ඉතිං හිතුණ වෙලාවට පණිනව'

......................

ලීල ආච්චි එක්ක මගේ සම්බන්ධය බිඳුණ මම මගේ රැකියාව මාරු කරල පැමිණීමත් එක්කම... මාස දෙකකට විතර කලින් ලීල ආච්චි ආයෙම මට හම්බවුණා. එයා කුමාර අයියලගෙ ගෙට එහා පැත්තෙ ගෙදර වත්තෙ සිලි බෑග් එකකට මල් කඩනවා. අවුරුදු දෙකකින් මාව දැකල නොතිබුණත්, කොණ්ඩෙ කොටටම කපල මගේ ස්වරූපය වෙනස් වෙලා තිබුණත් එයාට එකපාරම මාව අඳුණගන්න පුළුවන් වුණා.

'ආ හර්ෂ මල්ලී...'

'හප්පා... කොහොමද ඉතිං... වයසට ගිහිල්ලා...'

'ඔහෙ ඉන්නවා... ‍මේ.. පන්සල් යන්න හවසට'

ඇගේ හිනාව නම් වෙනස් වෙලා තිබුණෙ නෑ...

'ෂා... හොඳයි හොඳයි... කළු අයිය එහෙම ඉන්නවද?'

'එයා තමයි දැන් දිගටම වැඩේ කරන්නේ... මම ඒක නතර කලානෙ'

'අර මොකෝ...?'

'දුවට රස්සාවක් හම්බවුණා... අනික මේ වයසට බයෙන් බයෙන් ඕව කරන්න බෑ මල්ලි'

.......................

ළඟදි ආරංචි වෙන නිව්ස් වල හැටියට දැන් පෙම් කරන්නත් නීතියෙන් තහනම් වෙලා... ජීවිතේම ප්‍රශ්ණයක් වුණ පෙම්වතුන් යුවලක් එකිනෙකා එක්ක ජීවිතේ ප්‍රශ්ණ නැති මොහොතක් ගතකරන එක නීතියට ප්‍රශ්ණයක්... එක මකුණෙක් කෑවම දඬුවම් ලැබෙන්නෙ සනුහරේටමයි කියන එක පෙම්වතුන් දැනගන්න ඕන කාරණයක් වුණාට ඒක දැනගත්තත් තමන්ට දැණෙන ප්‍රේමය විඳගන්න පෙම්වතුන්ට කිසිම විකල්පයක් නෑ...

ඒ පැත්තෙන් සංස්කෘතිය, තව පැත්තකින් පොලිසිය සහ තව කාලෙකින් ත්‍රිවිධ හමුදාවම, තව පැත්තකින් දෙමව්පියෝ, අනිත් පැත්තෙන් කවදාවත් ආදරේ නොකරපු කුහක මිනිස්සු, පෙම්වතුන්ට තමන් හැර වෙන අතක් නෑ...

ඒත් දැන් ආදරය කියන්නෙ බයෙන් බයෙන් කරන්න ඕන දෙයක් වෙලා...

දැන් ආදරේ කරන එකත් ලීල ආච්චිගෙ කසිප්පු බිස්නස් එක වගේ....

Tuesday, 9 September 2008

වැස්ස...

අද (2008-09-08) මම හිටියෙ ගනේගොඩ අයියලගෙ ගෙදර මුළු දවසෙම. දවසෙම වැස්සා විටින් විට. හෙන හයියෙන් වෙලාවකට. වෙලාවකට හෙමින්. ගනේගොඩ අයියලගෙ ගෙදර මිදුල පුරා තියෙන තණකොල පිරුණ පොලොව දිහා මම පැලැල්ල අස්සෙන් බලා‍ගෙන හිටියා පැදුරෙ ඇලවීගෙනම. වැස්සත් නැතත් ඒ තණකොල හැමදාම කොල පාටයි. ඒ තණ බිස්ස මගේ හිතේ කවි සිතුවිලි පූදවපු තැනක් අපේ සම්පත්ට රුවන්වැලි සෑය වගේ. වැස්සත් එක්ක හිතේ පිරුණ හරිම නිදහස් හැඟීම හරියට ආදරය වගේ හැඟීමක් දුන්නා. නිදිමතයි තනිකමයි එක්වරම පිරුණ නවමු බවයි එක්ක මම ලොකු නිදහස් හැඟීමක් ලැබුව. ඒ එක්කම මම මගේ අත්දැකීමක් මතක් කලා. මේ වෙලාවෙ ලිව්වෙ නැත්නම් ලියවෙන්නෙම් නෑ. මේක ලියල සෑහෙන කල්. වෙනසක් නොකරම දැම්මා.


නුඹ දැනට වැස්ස වගේ

එක් වැසි දිනෙක මා තෙමුණා
තෙත්බරිතව දියවන තෙක්ම

නුඹ උන්නා මට ලංව
තුරුලු ව නැතත් මා දෙස බලාන

වැස්ස ඇද හැලුනා සීරුවට ගීයක්ව
සිහින් සර මවා අවටින්

නුඹ මිමිනුවා නුඹේ සිත හිමි හිමින්
නුඹ නොවන සහ නුඹ වන

ගුගුරවා අහස් ගැබ මහා වූ කුණාටුව
දෙසවන් ද අගුලු ලා බියෙන් මා සලිත විට

නුඹත් කීවා විටෙක නුඹත් ඒ වගේ බව
ගුගුරවා හඬ මවා නැවත කිංකිණි සලන

එවිට එක් මොහොතක
මා කීවා නුඹ වැස්ස බව
නුඹ කීවා මා පො‍ළොව බව

ආයෙමත්
නුඹ ඇද හැලුනා මා තෙතබරි වුණා
අපි සිනා සුනා...

ජීවිතේ තවත්
සුන්දර මොහොතක් ගෙවුණා..