Tuesday, 5 May 2009

Official වෙසක් කූඩුයි හමයි නමයි

කොහොමද කට්ටිය වෙසක් කූඩු හදනවද? නැත්තං කඩෙන් අරන් අලවනවද? මොනව වුණත් වෙසක් කියන්නෙ කූඩු ඇලවිල්ලට වඩා දෙයක්නේ. ඒ වුණාට වෙසක් දිනය උත්සවයක් වෙන්නෙ මේ ආමිස පූජා ‍නිසයි. ඒ වගේම වෙසක් කූඩු හැදිල්ලෙනුයි ඇලවිල්ලෙනුයි සතුටක් ලැබෙන්නෙ නැත්තෙමත් නෑ.

මම පුංචි කාලෙ හැම වෙසක් එකටම එක එක විධියෙ කූඩු හැදුව වුණාට පස්සෙ කාලෙ කූඩු හැදිල්ල නතර වුණ. අධ්‍යාපනයට හිත වැටීම සහ එක එක ප්‍රතිපත්ති වලට අනුගත වීම තමයි ඒකට හේතුව. ඒ වුණාට වෙසක් කූඩුවක් හදන එකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්.

මේ පාර ගෙදර වෙසක් කූඩු හදන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය කරන්න වෙලාවක් නැති කම සහ සේරටම වැඩියෙන් කම්මැලිකමත් තමයි හේතුව. බකට් ටිකක් එල්ලල ෂේප් වෙමු කියල අම්මට කියල මම පැත්තකට වෙල හිටිය.

ඒ වුණාට අද කාර්යාලෙදි වෙසක් කූඩු කමිටුව කියල එකක් පත් කරල මාවත් ඒකෙ සාමාජිකයෙක් කලා. අළුතින් කාර්යාලයට ගිය අපේ කණ්ඩායම දැන් හැම එකකටම මාට්ටු කරල පරණ අය කර අරින ගතියක් තියෙනවා. ඒකෙන් අපටත් ගැලවෙන්න බෑ. තාම අළුත් නිසා මුකුත් කියන්නත් බෑ.

ඒ නිසා අද දවසෙම මම තවත් අය එක්ක ලී පටි ගෙනාව. අත් රතු කරගෙන තැන් දෙක තුණක් තුවාල කරගෙන කියත් පටි වලින් ඒව කැපුව. බොහොම අමාරුවෙන් සැකිලි කීපයක් හදල අඩු තරමෙ අපේ සැලැස්ම ප්‍රායෝගික බව දැනගත්ත. ඔය අතරෙ වැඩේ නොකරන උපදෙස් දෙන්නන්ගෙ බර බරෙත් අහගෙන හිටිය. හෙටත් ආයෙ පටන්ගන්න ඕන ඉතිරි ටික.

මෙතන තියෙන වැඩේ මේකයි. සතුටත් එක්ක කලකිරීමත් දැණෙනවා. මොකද අපේ හම යද්දි තව කට්ටියකගෙ නම යන විධියටයි වැඩේ සිද්ධ වෙන්නෙ.

අපි සැනසුණා. කමක් නෑ අපට සතුට ඉතිරි වෙනවනේ අන්තිමේදි.

Monday, 4 May 2009

යන්න තැනක් නැති පාලමක්

මම ඉන්න අපේ නගරෙ තියෙනව පුංචි ගමක්. මේ ගමට යන්න ගඟකින් එගොඩ වෙන්න ඕන. මට මතකයි මම දෙකේ තුනේ වගේ පංතියක ඉද්දි මේ ගමේ හිටපු පාසල් මිතුරෙක්ගෙ ගෙදර ගියා අපි ග‍ඟෙන් එගොඩ වෙලා.

මේ ගමට වාහන වලින් යන්න පුළුවන් පාරක් තියෙනව වුණාට ඒකට වටයක් යන්න ඕන. පයින් යද්දි යන්න තියෙන ලේසිම විධිය තමයි ග‍ඟෙන් එගොඩ වෙලා යන එක.

මෑතකදි මගේ තවත් මිතුරෙක් එක්ක මම මේ ගමට එහා ගමේ මිතුරෙක් හමුවෙන්න ගියා. ගිහින් ආපසු එද්දි ඒ මිතුරා මාව කෙටි පාරකින් එක්කරගෙන ආවා. ඒ කෙටි පාර තියෙන්නෙ අර මුලින් කියපු ගම හරහායි. මම එතකොටයි දැක්කෙ. ගඟ හරහා ලොකු පාලමක් හදලා. ඒ පාලම ගමේ ගෙවල් කීපයක් තියෙන තැනකට වැටෙනවා.

අවාසනාව සහ හාස්‍යය මේකයි. පාලම ගමත් එක්ක සම්බන්ධ වෙන හරියෙ තියෙන්නෙ බයිසිකලයකින් වුණත් අමාරුවෙන් විතරක් යන්න පුළුවන් පටු පාරක්. ඒ කියන්නෙ පාලමෙන් ගමට පිවිසෙන වාහනයකට පා‍ලමෙන් එපිටට පිවිසෙන්න පුළුල් මාර්ගයක් නෑ. එතන තියෙන ගෙදර උදවිය පාර හරස් කරල වැ‍ටක් ගහල.

හේතුව හොයල බලද්දි වෙලා තියෙන්නෙ වන්දි ප්‍රශ්ණයක් මත මේ නිවසේ උදවිය තමන්ගෙ ඉඩමෙන් පාලමේ ඉදිකිරීම් වලට කොටස් දී නැති වීමයි. ඒ නිසා ලක්ෂ ගාණක් මුදල් වියදමින් හදපු පාලමෙන් නිසි ප්‍රයෝජනයක් නැති වෙලා. පයින් යන අයයි බයිසිකල් වලින් යන අයයි විතරක් පාලම පාවිච්චි කරනව. ඊට අමතරව අවට උදවිය රෙදි වේලගන්න පාල‍මේ දෙපස කොන්ක්‍රීට් අත් වාරු පාවිච්චි කරනව.

මම දන්නෙ නෑ වරද කාගෙද කියල. නමුත් කාලයක් දුෂ්කරව ගමට ගිය ගමේම අය වෙනුවෙන් හැදුන පාලමෙන් නිසි ප්‍රයෝජනයක් අරගන්න ගමේම අය නිසා ගමේම අයට බැරි වෙලා. ඉතිං අපේ පාලකයන්ටම හරියනව නේද අපි.

නැන්දලා, මාමලා සහ ඇන්ටිලා අන්කල්ලා...

මගේ මිතුරෙක් වසරකට කලින් විවාහ වුණා සාමාන්‍ය පෙළ විද්‍යාව උගන්වපු ගුරුවරියකගේ දියණියක් සමග. ඒ අවදියෙ අපි ඒ ගුරුතුමියට කතා කලේ සුපුරුදු විධියට ටීචර් කියලයි. නමුත් දැන් මගේ මිතුරා ඇයට කතා කරන්නෙ 'ඇන්ටි' කියලා. මේක ඔස්සේ ගිය මගේ සිතිවිලි නතර වුණේ කොහේවත් නැති තැනක. රටේ පවතින දේශපාලනික, ආර්ථික සහ යුධමය වාතාවරණය යටතේ මේක තවත් තේරුමක් නැති කතාවක්.

අපි අපේ ඥාති වන නැන්දලා සහ මාමලාට නැන්දා සහ මාමා නමින්ම අමතනව. ඒ කියන්නෙ මව් පාර්ශවයේ සොහොයුරන්ට සහ ඔවුන්ගේ භාර්යාවන්ට මාමා සහ නැන්දා ‍විධියටත් පිය පාර්ශවයේ සොහොයුරියන්ට සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට නැන්දා සහ මාමා විධියටත් තමයි අපි කතා කරන්නේ.

නමුත් ඊට පරිබාහිරව අපට හමුවන අපේ පියාගේ සහ මවගේ මිතුරු මිතුරියන් අපි හඳුන්වන්නෙ අංකල්ලා සහ ඇන්ටිලා කියල. ඒ වගේම අපේ ඥාති නොවන ඕනම වැඩිහිටි පිරිමියෙක් සහ කාන්තාවක් අපට අංකල් සහ ඇන්ටි වෙනව. ඒක අපේ දෙමව්පියන්ම තමන්ගෙ මොකක් හරි හීනමානයක් වහගන්න අපට හුරු කරවපු එකක්. නමුත් ඒක දැන් අපට හුරු වෙලා. මේ හුරුකිරීම් බොහොමයක් නිසා අපි නොදැනුවත්වම බොහොමයක් දේවලට හිර වෙලා තියෙනව. ඒ අතරෙ නැන්ද මාම කියන එක ඇන්ටි (ආන්ට් කියන එකට ආදරේ එකතු වෙලා නේද ඇන්ටි හැදිල තියෙන්නේ :P) සහ අංකල් වීම සරල සහ කරදරකාරී නොවන එකක් විතරයි.

තව එකක්...

මෑතකදි මමත් මගේ මිතුරෙකුත් බස් රියක ගමණක් යද්දි නැග්ග ඇන්ටි කෙනෙක් පොඩි පුතා එක්ක. ඇය දරුවට කතා කලේ ඉංග්‍රීසියෙන්. නමුත් එක වතාවකදි දරුව කුමක් හො දෙයක් කටේ ඔබාගත්ත. එතකොට ඇය දරුවට කෑ ගැහුවෙ 'චී බබා කැත වැඩ කරන්න එපා. අහකට දාන්න.' කියලයි.

අමතක වුණ එකක්....

සරම සහ චීත්ත අඳින හෝ ගැමි පෙනුම ඇති සියලුම වැඩිහිටියන්ට නැන්දා සහ මාමා ලෙස අමතන මාගේ තවත් මිතුරකු සිටී. නමුත් ඔහු කලිසම සහ ගවුම් ඇඳි බටහිර පන්නයේ වැඩිහිටියන්ට අංකල් සහ ඇන්ටි කීමට ද නොපැකිලේ.