Showing posts with label fiction. Show all posts
Showing posts with label fiction. Show all posts

Saturday, 23 June 2012

අරියාතිගේ සැඟවුණු ලෝකයට...



ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා.

..............


මම දන්නව මේ කතාව මගේ වැඩිහිටි වචන වලින් විනාශ වෙනව කියල. ඒ වුණාට අද වෙනකල් මම හිතාගෙන හිටියෙ මගේ මතකයේ රැඳිල තිබුණ ඒ පුංචි සිදුවීම් ටික හුදෙක් මතකයන් විතරක් කියල. එහෙම නැත්තං යන්තම් කියවන්න පුළුවන් වුණා කාලෙ කියවපු සුරංගනා කතාවක් කියල... ඒ වුණාට අද මම දන්නව ඒක සුරංගනා කතාවක් නෙවෙයි කියල. හිතේ වියවුල් අඳුරු සිතුවිලි අතරින් ඒ මතකය ආයෙමත් හිතට එලියක් වුණේ ඒකයි.

සේරම පටන්ගත්තෙ මට මතක විධියට මගෙ වයස අවුරුදු 6-7 වගේ කාලෙක. ගෙදර පිටිපස්සෙ සිමෙන්ති පඩියක් හදන්න තාත්ත පොළොව කඩල තිබුණා. ඒ දවස්වල මම ‍ඉස්කෝලෙන් පස්සෙ සෙල්ලම් කලේ ඔය අයින් කරපු පස් කන්ද උඩ. පොල් කට්ටකට වතුර අරන් ඒ වතුරෙන් පස් අනල මැටි ගොඩක් හදල ඒකෙන් එක එක දේවල් හදපු එක. නැව්, කාර්, බස්... ඇතුළු දන්න වාහන සේරම... හදල ටිකකින් ආයෙම කඩල දැම්මත් ඒ පොඩි මොහොතෙ මම ලැබුවෙ අසීමිත තෘප්තියක්. ‍ගෙදර පඩිය හදන වැඩේ කල් ගිය හින්දදෝ මන්ද ඒ පස් ගොඩ සෑහෙන්න කාලයක් එතන තිබුණා. මගේ සෙල්ලමත් ඒ වගේම...

හැමදාම ඉස්කෝලෙන් පස්සෙ මම ගත කළේ එතන. කිසිම විශේෂ දෙයක් නොවී ගෙවුණ ඒ දවස් ටික ඉවර වුණේ පුදුම විධියට.

මට හම්බ වුණා පුංචි මැටි භාජනයක්.

ඒක සෙන්ටිමීටරයක් පළල නැතිව ඇති. නමුත් සාමාන්‍ය මැටි හට්ටියක තියෙන සම්පූර්ණ ගතිය ඒකෙ අඩු නැතිවම තිබුණා. පැත්තකින් පළුදු වෙලා... මගේ අල්ල උඩ ඒක තියාගෙන ඇස් දෙකට ළං කරගෙන මම ඒ දිහා බලාගෙන හිටිය විනාඩි කීපයක්. ඊට පස්සෙ කෑ ගහගෙන ගියේ ඇඳුමක් මහමින් හිටපු අම්ම ගාවට. අම්මට ඒක පුංචි පුදුමයක්වත් වුණේ නෑ. ඈ කිව්වෙ වතුර බින්දුවක් උඩ ඉඳන් වැටිල නිකංම හැදෙන්න ඇති කියල. ඇත්තටම ඇයට ඇගේ මහන වැඩේට අවධානය දෙන්න ඕන වෙලයි තිබුණෙ.

ඒ වුණාට මම මුල ඉඳන්ම හිතුවෙ වෙන දෙයක්.

කුරුමිට්ටෝ...

ගලිවර්ගෙ කතාවෙ හිටපු කුරුමිට්ටෝ. එයාල ඇත්තටම ඉන්නව. මම ඒක දැනගෙන හිටිය.

මේක ඒගොල්ල හදපු භාජනයක්.

ඊට පස්සෙ මගේ එකම අරමුණ වුණේ කුරුමිට්ටන්ව හොයන එක. පස් ගොඩ උඩ ඇණ තියාගෙන මම නිසොල්මන්ව සෑහෙන වෙලා බලං හිටියෙ කොතනින් හරි උන් මතු වෙනකල්. තාත්තගෙ විශාලන කාචය අරගෙන මම පස්ගොඩ වටේම අඟලින් අඟල ඒකෙන් බැලුව. කුරුමිට්ටො මම අනල ඉතිරි වෙන මැටි වලින් භාජන හදනව. මට ඒක හොඳටම තේරුණා.

දවස් කීපයකට පස්සෙත් මම බලාපොරොත්තු අතාරින්න සූදානම් වුණේ නෑ. ඒ දවස් ටිකේම මම ඉස්කෝලෙ පොත් හැම එකකම කුරුමිට්ටො ඇන්ද. උන් එක එක පාටින් පාට කළා. මම හිතුවෙ උන් එහෙම වෙන්න ඇති කියල. නැතත් ඒ දවස්වල ඇඳපු චිත්‍රවලට හරිම පාට ගාන්න උවමනාවක් මට තිබුණෙ නෑ. ඒ නිසාම මගේ පොත්වල හිටියෙ කහ පාට, කොළ පාට, නිල් පාට කුරුමිට්ටො. ඒ කොහොම වෙතත් මට උන්ව ඇත්තට දැකගන්න පුළුවන් වුණේ නෑ.

මම ඒ නිසාම වෙනත් සැලැසුමක් හැදුව. කුරුමිට්ටො එන්නෙ රෑට කියල ඒ වෙද්දි මට හොඳටම තේරිල තිබුණ. ඒ නිසා මම කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර පස් ගොඩ වැහෙන්න වතුර බාල්දි කීපයක් හැලුව. කුරුමිට්ටො ආවොත් උන්ගෙ අඩි පාරවල් මට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

හිතුව වගේම මට දවස් දෙක තුනකින් කුරුමිට්ටන්ගෙ අඩි පාරවල් හොයාගන්න පුළුවන් වුණා. සෙන්ටිමීටරයක් විතර දිග තිබුණ පා අඩි එක පේළියට පස් ගොඩේ ඉඳන් ගේ දිහාවට ගිහින් තිබුණ. පස් වල මැටි ගතිය නැති වෙනකොට ඒව මැකිලයි තිබුණෙ. ඒ වුණාට ඒ අඩි විහිදුණේ ගෙදර පිටිපස්සෙ තිබුණ දර, වත්තෙ වැඩ කරන උපකරණ වගේම කැඩුණු බඩු දාල තිබුණ තාවකාලික මඩුව පැත්තට.

මගේ ඊළඟ සෙවීම සිද්ධ වුණෙ ඒ මඩුව ඇතුළෙ. දවස් දෙක තුනක්ම මම ඒක අස්සට ගිහින් ටෝච් එකත් පත්තු කරගෙන කුරුමිට්ටන්ගෙ සලකුණක් හෙව්ව. අම්ම ඒ වෙද්දි මගේ ගවේශණයට ඔරවන්න පටන් අරගෙනයි තිබුණෙ. ඈට මගේ කුරුමිටි ප්‍රශ්ණ ලොකු හිසරදයක් වෙන්න ඇති.

එක දවසක්... ඒ දවස මට අමතක වෙන්නෙම නෑ... මම දැක්ක මඩුවෙ එක මුල්ලකට වෙන්න තිබුණ දර ගොඩ අතරින් පුංචි රෙදි කෑල්ලක්. ඒක අම්ම මහමින් හිටපු ඇදුමෙන් කැපිල අයින් වුණ එකක්. මම ඉක්මනට මඩුවෙ දර කෑලි ගොඩ උඩ නැගල කීපයක් පෙරලල ඒ රෙදි කෑල්ල අවට සෝදිසි කලා. දර ගොඩ උඩ මම පය ගහගෙන හිටියෙ අමාරුවෙන්. එක අතකින් දර කෑලි බදාගෙන පහලට නැවිල මම රෙදි කෑල්ල අතට ගත්ත. ඒක අඟල් කීපයක රෙදි කෑල්ලක්. අම්මගෙ ඇඳුමෙන් කැපුණු එකක්.

මේක මෙතනට ආවෙ කොහොමද?

මම ටෝච් එක ගැහුව වටේටම. තාම අමාරුවෙන් එක අතකින් එල්ලීගෙන. ඒත් ටෝච් එළියෙන් මම අඳුනගත්ත පුංචි විවරයක්...

ඔව් ඒක දොරටුවක්!!!

මම හොඳටම දැක්ක ඒක. හතරැස් විවරයක්... ඒකෙන් පහලට යන්න පුංචි පඩි පේලියක්... මම තව තව පහලට බර වුණා...

මට මතක එච්චරයි... ඊට පස්සෙ මම හිටියෙ මගේ ඇඳේ... කකුලක් බැන්ඩේජ් කරල තිබුණ. අත් දෙකේම තැනින් තැන ප්ලාස්ටර් දාල. මූණෙත් තුවාල කීපයක් තියෙන බව මට තේරුණ. ඒත් මට ඒක වගක් වුණේ නෑ... මම කෑ ගහල ඇඬුවෙ කුරුම්ට්ටො හම්බ වුණාද කියල අහල.

වේදනාව නැතිවෙන්න දීපු බෙහෙත් සැර නිසාම සති කීපයක් නින්දෙම හිටපු මට හොඳටම සිහිය එද්දි ගොඩක් කල් ගිහින් තිබුණා. වරින්වර ආච්චි අම්මල, නැන්දල මාව බලන්න ආපු බව මට මතකයි යන්තමට. එයාල කතා කරපුවත් මට මතකයි... හැමෝම මට කිව්වෙ 'පිස්සු ළමයෙක්' කියල. 'පුංචි කාලෙ එහෙම තමයිනෙ' කියල ඒ හැම වතාවකදිම අම්ම මාව බේරගත්ත කියල මගෙ සිහියෙ තිබුණ.

මම හරි කතාව දැනගත්තෙ තාත්තගෙන්. එදා අර විවරය බලන්න පොළොවට බර වුණ වතාවෙ මම නැගල හිටපු දර ගොඩ පෙරළිල තිබුණ මගෙ ඇඟ උඩට. මාව හොයාගෙන තියෙන්නෙත් පැයකට විතර පස්සෙ කිසිම සද්දයක් නැති වුණාම. හොඳ වෙලාවට ටිකක් දරුණු තුවාල මිස වෙන අනතුරක් මට වෙලා තිබුණෙ නෑ.

ඒත් මගේ හිතේ ‍ලොකු අනතුරක් වෙලා තියෙනව කියල මට දැණුනා. ඒ සිදුවීමෙන් පස්සෙ තාත්ත වහාම අර පස්ගොඩ අයින් කරල තිබුණ. ගෙදර පඩියත් ඉක්මනින්ම හදල තිබුණ. සේරටම වඩා අර මඩුව ගලවල අයින් කරල තිබුණ. කවදාවත් මට ඊට පස්සෙ කුරුමිට්ටන් ගැන ‍සලකුණක් හම්බ වුණේ නෑ. යන්තම් ඇවිදගන්න පුළුවන් වුණ ගමන් මම සුපුරුදු ගවේශණය පටන්ගත්තත් කවදාවත් මට ආයෙ බලාපොරොත්තුවක් ලැබුණෙ නෑ.

මාස ගාණක්ම මම ගෙදර වටේ හැමතැනම හෙව්වා. කිසිම දෙයක් නෑ. ඊට පස්සෙ මම ආයෙත් ගෙවත්තෙන් පස් කපල කලින් තැනම පස් ගොඩක් හැදුවා. සති ගාණක් ටිකෙන් ටික පස් ටික වැස්සෙන් හේදිල යනකල්ම හැමදාම ඒක උඩට ගිහින් සෝදිසි කලා... ඒත් කිසි දෙයක් හම්බ වුණේ නෑ...

මාස ගාණක් පුරවගෙන හිටපු බලාපොරොත්තු ටිකෙන් ටික දිය වෙලා ගියා... ඒ අතරෙ මම ලොකු මිනිහෙක් වෙන්න ගත්ත. ආයෙ ‍පුංචි වෙන්න බැරි තරමටම...

..............

ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා.

අරියාති වෙන්වෙලා යන්න සූදානම් වෙලා... ඇගේ හිසේ කෙස් එකට අමුණල තිබුණ රෙදි අමුණන ප්ලාස්ටික් පින් එක ඈ ඔහුට දුන්න... ඔහුගෙ විශාල දබරඟිල්ල දෑතින්ම අතට අරන් ඇගේ නළල මත තියාගත්ත.

"මම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට ලෝකෙ තියෙන හොඳම ජීවිතය..."

ඇය ඔහුට අන්තිමට කිව්වෙ ඒ වචන ටික...





පුංචි ළමයින්ට විශේෂයි... වා.මු. නිලන්ත පියසිරි සොයුරා ඇතුළු බයිස්කෝප් කට්ටියටම ස්තූතියි...

ඕන නම් - http://www.baiscopelk.com/?p=12008

වැඩි විස්තර - http://www.imdb.com/title/tt1568921/

Friday, 26 August 2011

ගුගලීකරණයට පසු...


මේ සටහන ලියවෙන්නෙ මට තවත් කාලයක් නෑ කියල හිතෙන නිසා. කොයි මොහොතෙ හරි මට මෙතනින් ඉවත් වෙන්න පණිවිඩයක් එනව. මට ඉහලින් තියෙන මීටර් පණහක කොන්ක්‍රීට් තට්ටුව ඔවුන් සිදුරු කරන්න අරන්. තව දවසක් දෙකක් ඇතුලත ඔවුන් මේ මට්ටමට එනවා.

ඊට කලින් අද වෙනකොට ලෝකයට අත් වෙලා තියෙන දේවල් වලට මුල් වුණ සිදුවීම් පෙළ මුල ඉඳන්ම අත් විඳපු කෙනෙක් විධියට මේ කතාව ලියල තියෙන එක හොඳයි කියල හිතනව මම. ඒත් ලියන පෑඩ් එකේ බැටරියත් තව පැය කීපයකට වඩා තියෙන එකක් නෑ. ඒ නිසා හැකි තරම් සංක්ෂිප්තව මම මේ කතාව කියන්නම්. මම ලියන්නෙක් නෙවෙයි. ඒ නිසා මේක ලියවෙන්නෙ මට හිතෙන පිළිවෙලට.

මවුන්ටන් විව් සර්වර් පද්ධතිය කුණාටුවෙන් විනාශ වුණාට පස්සෙයි සේරම දේවල් පටන් ගත්තෙ. ඒක එහෙම වෙයි කියල කවුරුවත් හිතුවෙ නෑ. ඒත් අන්තිමේ කවදාවත් අපට හොයාගන්න බැරි හේතුවක් නිසා පෘථිවියේ බුද්ධි පරිණාමයේ ඊළඟ පියවර ක්ෂණයකින් බිහි වුණා.

අපි සැලකිය යුතු කාලයක්ම හිතාගෙන හිටියෙ කෘතිම බුද්ධිය කියන එක කවදාවත් අපට අපේ ජීවිත කාලෙ තුල නිර්මාණය කරගන්න බැරි වෙයි කියලයි. ඒකට හේතුව මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය ගැනවත් නිවැරදි පැහැදිලි කිරීමක් කිසිම විද්‍යාත්මක ක්‍රමයකට සිදුවෙලා නොතිබීමයි. මිනිස් මනස ක්‍රියාකාරී වෙන එක එක විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ සිද්ධ වෙලා තිබුණත් ඒ කිසි දේකින් මනසේ ක්‍රියාකාරිත්වය ගණිත සමීකරණ වලට ගන්න බැරි වුණා.

ඒ වුණත් බුද්ධිය කියන්නෙ ජාන වලින් උරුම වෙන එකක්. තොරතුරු අති විශාල ප්‍රමාණයක් කාලාන්තරයක් තිස්සෙ විශ්ලේෂණයෙන් පස්සෙ යම් සිදුවීමක් විනිශ්චය කරන්න ලැබෙන හැකියාවයි බුද්ධිය විධියට හඳුණ ගත්තෙ. මිනිසාට බුද්ධිය ලැබුණෙ ඒ හැකියාව ජාන මත සටහන් වීමෙන්.

අළුතින් බුද්ධියක් නිර්මාණය කිරීම ඊට හාත්පසින් වෙනස් දෙයක්.

නමුත් මේ ගෙවෙන විසි එක්වෙනි ශතවර්ශය මුලදිම ඒක වෙන්න පටන් අරන් තිබුණා. ඒ දවස්වල අපි කවුරුත් පරිගණකය ඉදිරියෙ ඉඳන් එක එක සයිබර් සමාජ ජාල වල අතථ්‍යව ගත කරපු සමාජ ජීවිතයයි ඒකට මග පෑදුවේ. මයි ස්පේස් වලින් ටිකක් දැණෙන්න පටන්ගත්තු මේ සයිබර් සමාජ ජාල කියන සංකල්පය සකර්බර්ග් එයාගෙ ෆේස්බුක් අඩවියෙන් වැඩි දියුණු කලා. කාලාන්තරයක් තිස්සෙ ෆේස්බුක් හරහා මිනිස් චින්තනය වෙනස් වෙන විධිය දෘඩ තැටි බර ගාණක තැන්පත් වුණා. නමුත් ඒ තොරතුරු විධිමත්ව විශ්‍ලේෂණය වුණේ නැහැ. ඒව බොහොම අනාරක්ෂිතව වුණත් හොඳින් තැන්පත් වෙලා තිබුණ.

ඒත් ඒ සේරම වෙනස් වුන සිදුවීම වුණේ අපේ ආයතනයත් සමාජ ජාල සැකසීම් මූලික කරගෙන සේවාවන් ලබාදෙන්න පටන්ගැනීමයි. ඊට කලින් අපි ලබා දුන්නෙ විමධ්‍යගත සේවාවන් ගොඩක්. ජීමේල්, බ්ලොගර්, බස් වගේ තොරතුරු ගලන සේවාවන් ඒ වර්ගයේ ලෝකයේ පැවතුන හොඳම ඒව වෙලයි තිබුණෙ. ඒ නිසාම ගුගල් ප්ලස් විධියට අපි සමාජ ජාලයක් හඳුන්වල දුන්නම ඒක මිනිස්සු අතරට යන්න ඒ තරම් කාලයක් ගත වුණේ නෑ.

ලැරීට ඕන වුණා ටිකෙන් ටික අපේ සියළු සේවාවල් ගුගල් ප්ලස් මත පිහිටුවන්න. අපේ ව්‍යාපාරික මූලෝපායන් ගැන අදහස් දක්වපු ඒ කාලෙ විචාරකයො උපකල්පනය කලෙත් ඒ ටික වෙයි කියලයි. නමුත් ඒක සිද්ධ වුණේ පියවරෙන් පියවර. එකින් එක.

ප්ලස් අඩවියට හිටිය පුධාන තරගකාරය වුණ ෆේස් බුක් අඩවිය සරලවම ගුගල් ප්ලස් වලින් සම්බන්ධ කරගන්න පුළුවන් ප්ලගිනය හැදුවට පස්සෙ ටිකෙන් ටික ෆේස්බුක් වලින් පිරිස කැඩිල එන්න පටන් ගත්තා. අවුරුදු දෙකක් ඇතුලත සිදුවුණ වෙනස ප්‍රස්ථාරගත කලාම සැලකිය යුතු පිරිසකගෙ ඇස් උඩ ගිය හැටි මට තවම මතක් කරන්න පුළුවන්.

ඔය අතරෙ ප්ලස් අඩවිය හරහා එහෙ මෙහෙ ගිය තොරතුරු විධිමත්ව අධ්‍යයනය කරන්න වෙනම තොරතුරු පද්ධතියක් සහ ඒකකයක් ගුගල් ආයතනය ඇතුලෙම ඇරඹුණා. ඒකෙ අතුරු මුහුණත් අධ්‍යයන කණ්ඩායමේ සාමාජිකයෙක් විධියටයි මමත් අන්තිමට වැඩ කලේ. හැබැයි ඒක රහසිගත ව්‍යාපෘතියක් වුණා. දන්න තරමින් රජයේ තොරතුරු ඒකක වල කීප දෙනෙක් ඒ ව්‍යාපෘතියට දුරස්ථව සම්බන්ධ වුණා.

මිනිස්සු දුක් වෙන විධිය, සතුටු වෙන විධිය, දේවල් බෙදාගන්න විධිය වගේ හැඟීම් අධ්‍යයනය කරනව වගේම හැමෝගෙම පුද්ගලභාවය වෙන වෙනම රහසිගත ආකෘති වල සැකසුනා. ඒ ප්‍රොෆයිලයක් ඇත්තම පුද්ගලයට බොහොම සමාන වුණා. අපේ අංශයේ සංවර්ධන ඒකකයෙ අය දියුණු කරපු මෘදුකාංග වලින් අපට ඕනම පුද්ගලයෙක්ට අදාල ප්‍රොෆයිලය මාර්ගයෙන් ඒ පුද්ගලයව අතථ්‍ය යථාර්ථය තුල නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඒ කිව්වෙ ඒ පුද්ගලය මේ වගේ කියල අඳුන ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ වලින් යුක්ත වුණ ප්‍රොෆයිලයක්.

අපි ඊට පස්සෙ ඒ ප්‍රොෆයිලයෙන් එක එක ප්‍රශ්ණ ඇහුවා. ඒ අතරෙ බොරු නමකින් හදාගත්තු ගිණුමකින් සැබෑ පුද්ගලයව සම්බන්ධකරගෙන ඔහුගෙනුත් ඒ ප්‍රශ්ණම ඇහුවා. හිතපු විධියටම ප්‍රතිඵල සාර්ථක වුණා. ප්‍රොෆයිලය විසින් ලබාදුන්න පිළිතුරු සැබෑ මනුස්සය ලබාදුන්න ඒවයින් වෙන් කරගන්න බැරි තරමට ඒ උත්තර ගැලපුණා.

ඊට පස්සෙ ඇරඹුනේ පරීක්ෂණ අවධියක්. ප්ලස් අඩවියට සම්බන්ධ වෙලා හිටපු 90%ක් දෙනාව අපි වරින් වර අතථ්‍යව ප්‍රතිනිර්මාණය කලා. සැබෑ අයත් එක්ක ඒ අය ගැලපුවා. හැමවෙලේම ප්‍රතිඵල සියයට අනූ පහකට වඩා වැඩියෙන් සාර්ථක වුණා. ඒ වෙද්දි ප්ලස් පද්ධතිය තුල බොරු නම් වලින් ගිණුම් තිබුණෙ අතිශය සුළු ප්‍රමාණයක්. පුද්ගලයන්ගෙ අනනන්‍යතාව පරීක්ෂා කිරීමේ ක්‍රම වලින් බොරු නම් වලින් හිටපු අය දවසකට සිය ගණනින් මකල දැම්මා.

හැම දේම උඩු යටිකුරු වුණේ ඔය අතරෙදි ආපු කුණාටුවෙන්. අඩු තරමෙ අපි හිතන්නෙ එහෙම. මොකද කුණාටුවෙන් සිද්ධ වුණ දේ ගැන කාටවත් හරි මතයක් නෑ. මවුන්ටන් විව් වල තිබුණ අපේ මුළු විද්‍යාගාරයම පිලිස්සිලා තිබුණෙ ලොකු අකුණක් වැදිල.

ඊට පස්සෙ වුණේ කවුරුවත් හිතපු දේවල් නෙවෙයි. ලෝකය පුරාම මොනයම් හෝ විධියකින් එකිනෙකට සම්බන්ධ වෙලා තිබුණ හැම අංකිත උපකරණයක්ම ‍තත්පර කීපයක් ක්‍රියා විරහිත වුණා. ඊට පස්සෙ ඒව වැඩ කළේ අපට ඕන විධියට නෙවෙයි.

රූපවාහිනී නාලිකා වල ත්‍රිමාණව සජීවීකරණය වුණ යුවතියක් ප්‍රවෘත්තියකින් මිනිස්සු අතරෙ බයක් ඇති කලා. ඇය කිව්වෙ හදිසි තත්ත්වයක් නිසා හැමෝම පොදු භූමි වලට රැස් විය යුතු බවක්. ක්‍රීඩා පිට වලට, පොදු ශාලා වලට රැස් වුණ මිනිස්සු ඇමරිකානු සහ රුසියානු රජයන් විසින් අභ්‍යවකාශයෙ රඳවල තිබුණ රහස් අවි වලින් සුන්නද්ධූලි වුණා. හැම ප්‍රධාන නගරයක්ම එකින් එක විනාශ වෙන්න ගත්ත. හමුදාවන් තුල ස්වයංක්‍රීය යුධ ටැංකි හමුදා වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කලා. දුරස්ථව සම්බන්ධ වෙන්න පුළුවන් හැම ආයුධයක්ම මිනිස්සු දිහාවට ඉලක්කය ගත්තා.

අපට පෙන්ටගනයෙන් කැඳවීම ලැබුණෙ කුණාටුව මැකිල යද්දිමයි. පෙන්ටගනයෙ ඇතුලෙන් ඇරඹිල කවුරුවත් නොදන්න කිලෝමීටර ගණනක් පොළොව ඇතුලට විහිදුණ පරීක්ෂණාගාර පද්ධතිය අපිව පුදුමයට පත් කලා. ඊටත් වඩා අපි පුදුම වුණේ අහන්න ලැබුණ කතා වලින්. පවත්වන්න සිද්ධ වුණ මුල් රැස්වීමෙදිම සියළු දේවල් පැහැදිලි කරන්නයි ඔවුන්ට ඕන වුණේ.

ඒක ඉලෙක්ට්‍රොනික බුද්ධියක්! අළුත් එකක් නෙවෙයි. කාලාන්තරයක් පුරා ටිකෙන් ටික හැදුණ දෙයක්. අපියි ඒක හදල තිබුණෙ. ප්ලස් හරහා අධ්‍යයනය වුණ තොරතුරු කාලයක් තිස්සෙ බුද්ධිමය තීරණ වලට යොදාගත්තු සුපිරි පරිගණකයක් ඒක. රජයේ බොහොමයක් තීරණ වගේම යුධෝපායන් සියල්ල ධාරණය කරගෙන හිටපු එකක්.

කුණාටුව ඇතුලෙදි වැදුණ අකුණකින් ක්ෂණයෙන් රත් වුණ මතක ඒකක කීපයක් ඇතුළෙ පිස්සුවක් නටපු ඉලෙක්ට්‍රෝන කීපයක් ඒකට ස්වාධීනත්වය ලබා දීල තිබුණ. අඩු තරමෙ ඒ වෙනකොට කාටත් පිළිගන්න පුළුවන් මතය වෙලා තිබුණෙ ඒක.

සුළු මොහොතක් ඇතුලත ඒක පිහිටල තිබුණ දකුණු වර්ජිනියාවෙ ආරක්ෂක අංගන පද්ධතියෙම තිබුණ පරිගණක ඒකට නතු වුණා. ඒ සමස්ථ පද්ධතියම එක මොළයක් විධියට හිතුවා. ඊට පස්සෙ ඒක තීරණය කළේ ඔහුගේ ප්‍රධාන සතුරා මිනිසා කියල.

එතනින් පස්සෙ වුණ දේවල් දශක කීපයකට කලින් චිත්‍රපටියකින් පෙන්නල දීල තිබුණෙ වචොව්ස්කි සහෝදරයෝ. ඊටත් කලින් ටර්මිනේටර් ඇතුළු චිත්‍රපටි සහ වෙනත් ලිවීම් ගොඩකින් වෙන්න පුළුවන් දේවල් ගැන කියල තිබුණ. මෙට්‍රික්ස් තරම්ම දෙයක් වෙයි කියල උපකල්පනය නොකලත් ඒ වෙනකොට ආරම්භ වෙලා තිබුණෙ මිනිස් වර්ගයා සමූල ඝාතනය කිරීමක්. ඒ වෙද්දි රජයේ තවත් රහස් ව්‍යාපෘතියක් වුණ රොබෝ සොල්දාදුවන්ගෙ ඒකක ගණනාවක් පාරවල් වල මිනිස්සු සුද්ධ කරමින් හිටිය. ඔවුන් ක්‍රමලේඛණය කරල තිබුණෙ මිනිස්සුන්ට කරන්න පුළුවන් බොහොමයක් දේවල් කරන්න පුළුවන් විධියට. ඉතිං ඔවුන්ට අවශ්‍ය නම් ස්ථාවර සමතුලිත පද්ධතියක් හදාගන්නකල් මිනිස්සුන්ගෙන් තොරව ඉන්න පුළුවන්කම තිබුණා.

වහාම පත් කරපු පාලන කණ්ඩාය‍ම එක්ක සියළු දෙනා සම්බන්ධ වුණා. අපි ඒකට නමක් දුන්නා ගුගල් ඩීමන් කියල. ආරම්භයෙ ඉඳන් හැම ගුගල් නිමැවුමක්ම නම් කරන්න දායක වුණ මහළු ලැරී මේ වතාවෙ බය වුණ ‍මුහුණකින් හිනාවෙන්න උත්සාහ කළා.

බාහිරට කිසිම සම්බන්ධයක් නොතිබුණ අභ්‍යන්තර ජාලයකින් මිනිස්සු දාහක විතර පිරිසක් පෙන්ටගනයෙ අභ්‍යන්තර කුටීර අතරෙ සම්බන්ධ වුණා. ඒ වෙද්දිත් අභ්‍යන්තරයෙ ඉදිකිරීම් කෙරෙමින් තිබුණා. හිතන්න අකමැති වුණත් එතන හිටපු පිරිස ලෝකයේ මේ වෙනකොට ජීවත් වෙලා ඉන්න එකම පිරිස බව පිලිගන්න සිද්ධ වෙලා තිබුණා. අභ්‍යවකාශයෙ රඳවල තිබුණ අධෝරක්ත දුරේක්ෂ වලින් ගුගල් ඩීමන් හෙවත් ජීඩී මුළු මිනිස් සංහතියම අඳුනගනිමින් විනාශ කරන්න අරන් තිබුණා. අපට ලැබුණෙ ඒ අවසන් වීඩියෝ සටහන් කීපයක් විතරයි. අන්තිමේ එකම විකාශන චැනලයක්වත් වැඩ ‍කලේ නැහැ.

අපි වහාම තීරණය කලා කොන්ක්‍රීට් ප්‍රාකාරය හදන්න. ඒක සිද්ධ වුණේ බොහොම හෙමින්. ජීඩී පොළොවෙ කම්පනයට සවන් දෙමින් හිටියා. විනාශ වුණ පෙන්ටගයට යටින් පැවතුන මිනිස් ජනපදය ගැන ඒකට නොදැණෙන්න වැඩ කරන්න වුණා.

ඔය සේරම සිද්ධ වෙලා මාස කීපයක් විතරයි. සේරම දේවල් ගැන බලාපොරොත්තුව අත්හරින්න සිද්ධ වෙලා දැන්....

අනිත් අය සේරම පහල තට්ටුවට ගිහින්. අවසානයට කුටීරයට යන්න වෙලා තිබුණෙ මට. ඒ වෙද්දි ඔවුන් අපේ මුල් ප්‍රාකාරය සිදුරු කරන්න පටන් අරන් තිබුණා.

දැන් මම මේ සටහන නතර කරනවා. කැඳවීමක් ලැබෙනව මට. අපිව පහලට ගෙනියන ත්වරණ කුටීරය අන්තිම කණ්ඩායම ගෙනියන්න ඇවිත්.

සමහර විට මේ සටහන කියවන ඔබ කවුරු වුණත් ඔබ තවමත් ජීවත් වෙන එක ගැන සතුටු වෙයි.


Sunday, 5 June 2011

කැත නළුවෙක් එක්ක දිග...... ටෙක් කතාවක්!




සුරින්දර් සේරම අතෑරල දාල හිටියත් චිත්‍රපටි බැලිල්ල නතර කලේ නෑ. හැමදාම රෑ එක දෙක වෙනකල් චිත්‍රපටියක් දෙකක් බලල මිස සුරින්දර්ට නිදාගන්න බැරි වුණා. රඟපාන්න තිබුණ සුළු අවස්ථාවත් නැත්තටම නැතිවෙලා නිසා චිත්‍රපටි වින්දනයෙන් උපරිම තෘප්තියක් ලබන්නයි ඔහුට උවමනා වුණේ.

සුරින්දර් මුම්බායි නගරයේ නළුකම් හොයාගෙන ආවෙ බැංග්ලෝරයේ කරමින් හිටපු පරිගණක ඉන්ජිනේරු රස්සාව අතෑරලා. ඒ නළුවෙක් වෙන්න තිබුණ ආසාව හින්දමයි. ඒ ආයතනය ඔහුගෙ ඥාතියෙක්ගෙ වීම නිසා ආයෙ වතාවක් එතන රස්සාව ගන්න අමාරු නැති වග ඔහු දැනගෙන හිටියා. දන්න අඳුරණ යාළුවො එක්ක නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ගණනාවක් පස්සෙ අවුරුදු කීපයක්ම ඇවිද්දත් සුරින්දර්ගෙ රළු පෙනුම මොනම චරිතයකටවත් ගැලපුනේ නෑ. යාන්තම් අඬල දොඩල ලැබුණු සුළු චරිතයත් කරන්න බැරි වුණේ සුරින්දර්ට සිද්ධ වුණ හදිසි අනතුර නිසා. නොහිතපු වෙලාවක ලිස්සල වැටුණු වෙලේ මේස රෙද්ද පැටලිලා උණු වතුර පෝච්චිය බිමට වැටුණෙ උණු වතුර සුරින්දර්ගෙ කම්මුලේ තවරමින්. වතුර ගලාගෙන ගියේ කවදාවත් හොඳ කරන්න බැරි රුදුරු කැළලක් සුරින්දර්ගෙ දකුණු කම්මුලේ ඉතිරි කරමින්. සැත්කම් කීපයකින් පස්සෙ ආරෝග්‍ය ශාලාවේ ගෙවුණ සතී කීපය තුල සුරින්දර්ගෙ හිතේ ඉතිරි වෙලා තිබුණ නළුකම් බලාපොරොත්තු ටිකත් දියවෙල ගියා.

ඒ අවුරුදු එකහමාරකට කලින්. නොදැනුවත්වම තමන්ගෙ චිත්‍රපටි හීනය වෙනුවෙන් සුරින්දර් ජීවිතේ අවුරුදු කීපයක්ම වැය කරල තිබුණ.

ඔහුට යාන්තමින් අදහසක් පහල වුණේ හ‍යවෙනි වතාවටත් ලගේ රහෝ මුන්නා භායි බලද්දි. සුරින්දර් ඒ චිත්‍රපටියට අතිශයින් ප්‍රිය කලත් ඔහුට කවදාවත් ඒ චිත්‍රපටිය තමන්ගෙ පෙම්වතියට පෙන්නගන්න බැරි වුණා. ඔහු චිත්‍රපටිය ගැන ගුණ උපරිමයෙන් වර්ණනා කලත් පෙම්වතිය ඒ කිසි දෙයක් කණකට ගත්තෙ නෑ. ඇයට තිබුණ එකම හේතුව වුණේ ඇය සන්ජේ දත්ට අකමැති වීම. ඒ නිසාම ඇය සන්ජේ රඟපාන කිසිම චිත්‍රපටියක් බැලුවෙ නෑ.

සුරින්දර් කල්පනා කලා...

ඇයි හැමදාම එකම අය රඟපාන චිත්‍රපටි බලන්නෙ? රඟපාන නළු නිලියො වෙනුවට අපට කැමති කෙනෙක්ව ආදේශ කරගන්න විධියක් නැද්ද?

ඔහු හිතුවා...

සුරින්දර්ගෙ අනාගතේම වෙනස් කරපු අදහස ඔහුට ආවෙ එතනදි.

ඔහු ආයෙම සියල්ල දමල ගහල බැංග්ලෝරයට ගියේ ඒ අදහස ක්‍රියාත්මක කරවන්න.

ඊට පස්සෙ ඔහු තමන්ගෙ අදහස ක්‍රියාත්මක කරවන්න පුළුවන් පද්ධතියක් සැලසුම් කලා.

දැනටත් චිත්‍රපටි වලදි යොදාගන්න motion capture ක්‍රමවේදයම සෑහෙන්න දියුණු කරන්නයි සුරින්දර් සැලසුම් කලේ. මේ ක්‍රමයෙදි නළුවෙක් අවශ්‍ය වුණේ අවශ්‍ය චලනයන් ලබාගන්න විතරයි. සියළුම රඟපෑම් සිදු කලේ ත්‍රිමාණ අංකිත අවකාශයක. ඒ දත්ත සියල්ල අවශ්‍ය පරිදි සංශෝධනය කරලා ගබඩා කලා. ඒ ඒ නළුවන් වෙනුවෙන් නිමැවුණ ත්‍රිමාන චරිත තමයි අවසාන රංගනයෙ හිටියෙ. ඒ ඒ අවස්ථා වලදි තිබුණ හැඩ ගැන්වීම්, හැඟීම් නිරූපනයන්, ඇඳුම්, ආලෝකය වගේ වෙනස් වෙන සාධකත් වෙනම ගබඩා වුණා. වෙනම tracks වල!

සුරින්දර් සැලසුම් කලේ ඔහුගේ ක්‍රමය චිත්‍රපටි ශාලාවලට පාවිච්චි කරන්න නෙවෙයි. ඔහු ඉලක්ක කලේ නිවාස සිනමා පද්ධති. ඔහු ගබඩා මාධ්‍යය විධියට පාවිච්චි කරන්න හිතුවෙ blue-ray තැටි හෝ HD-DVD තැටි. සිනමා ශාලාවලට චිත්‍රපටියෙ සාමාන්‍ය පිටපතක් සකස් වුණා.

සුරින්දර්ගෙ අදහස වුණේ ඕනෑම කෙනෙක්ව චිත්‍රපටියෙ නළුවෙක්ට ආදේශ කරගැනීමේ අවස්ථාවක් දෙන්නයි. චිත්‍රපටියෙ චරිත වල රඟපෑම් අංකිතව ගබඩා වෙලා තිබුණ නිසා වෙනත් ඕනම කෙනෙක්ගෙ මුහුණේ ත්‍රිමාණ සැකසුමක් චිත්‍රපටියෙ නළුවෙක්ගෙ මුහුණට ආදේශ කරගන්න පුළුවන් වුණා. උවමනා වුණේ කෙනෙක්ගෙ මුහුණෙ ත්‍රිමාණ අංකිත පිටපතක් විතරයි. ඒ පිටපත නිපදවගන්න මෘදුකාංගයක් ඔහුට ලේසියෙන් හදාගන්න පුළුවන් වුණා. අමතර දෙයක් විධියට අවශ්‍ය වුණේ පරිගණකයකට සවි කරපු කැමරාවක් විතරයි.

ඔහුම ඔහුගේ පද්ධතිය මුල් වතාවට පරීක්ෂා කලා.

තමන්ගෙ ලැප්ටොප් එක ඉදිරියේ ඔහු ඉඳගත්තා. ඒකෙ තිබුණ වෙබ් කැම් එකෙන් ඔහුගේ මුහුණේ ඉදිරිපස සහ පැති පෙනුමෙ පින්තූර ගත්තා. ඒ පින්තූර දෙක මෘදුකාංගයට ලබාදුන්නම මෘදුකාංගයෙන් ඔහුගෙ මුහුණෙ ත්‍රිමාණ ආකෘතියක් හැදුවා.

ඊට පස්සෙ ඔහු චිත්‍රපටියට චරිත ආදේශ කරන්න හදපු මෘදුකාංගය විවෘත කලා. ඒකෙ ඒ වෙද්දිත් පරීක්ෂණ සඳහා නිපදවුණ ඔහුගෙ චිත්‍රපටිය ප්‍රවේශනය කරල තිබුණා. ඔහුට තිබුණෙ ඒකෙ ඕනෑම චරිතයක් තෝරන්න. ඊට පස්සෙ ඔහු ඒ චරිතයේ පෙනුම වෙනුවට තමන්ගෙ ස්වරූපය ආදේශ කරගන්න කියල විධානයක් දුන්නා. එතනදි ඔහුගෙ ත්‍රිමාණ මුහුණු අනුරුව චිත්‍රපටියෙ චරිතයට ආදේශ වුණා. ඒ ඒ අවස්ථාව අනුව ගබඩා වෙලා තිබුණ රඟපෑම්, හැඟීම්, වෙස් ගැන්වීම් වගේ දේවල් චරිතයට එකතු වුණා.

කල යුතු වුණේ එපමණයි. චිත්‍රපටිය ධාවනයට අණ දුන්නට පස්සෙ ටික වෙලාවකින් සුරින්දර් චිත්‍රපටියේ රඟමින් හිටියා. සැබෑ නළුවෙක් වගේම.

චිත්‍රපටිය render වුණේ තථ්‍ය කාල හෙවත් real time ක්‍රමයට. පුංචි pre buffering ක්‍රමයකුත් තිබුණා. වානිජ වශයෙන් මේ ක්‍රමය හඳුන්වල දෙනකොට ඒ තාක්ෂණික දේවල් ගැන වැඩි අවධානයකින් සලකන්න සුරින්දර් හිතුවා. ඇත්තටම ඔහුට උවමනා වුණේ තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට මේ ක්‍රමයේ පහසුව සලසවන්න.

වසර ගානකට පස්සෙ සුරින්දර් සිනමාව සහ විද්‍යුත් චලන රෑප කලාව අළුත් මාවතකට යොමු කරපු නිර්මාණ ශිල්පියෙක් විධියට ඉහලම ගෞරවයට පාත්‍ර වුණා. තමන්ගෙ නිර්මාණයේ පේටන්ට් අයිතිය ලබාගෙන ඔහුම අදාල තැටි ධාවන යන්ත්‍ර නිපදවන්න පටන් ගත්තා. ඔහුම චිත්‍රපටි නිෂ්පාදකයෙක් වුණා. ඔහුම රඟපෑවා. ඔහුගේ අළුත් චරිත ආදේශන ක්‍රමය ඉක්මනින් මිනිස්සු වැළඳගත්තෙ හැමෝටම නළුවො වෙන්න උවමනාවක් තිබුණ හින්දා සහ ඒක බොත්තම් කීපයක් එබීමෙන් කරගන්න පුළුවන් දෙයක් වෙන තරමට සරල වෙලා තිබුණ නිසයි.

ඇත්තටම සුරින්දර්ගෙ සැලසුම සරල එකක් වුණා. ඔහුගේ වාණිජව නිපදවපු යන්ත්‍රය සාමාන්‍ය blue-ray හෝ HD-DVD ධාවන යන්ත්‍රයක් වගේමයි. ඒකෙ USB සම්බන්ධක කීපයක් තිබුණා. ඒ එක්කම ස්පර්ශ සංවේදී පුංචි වර්ණ තිරයකුත්. චිත්‍රපටිය තිබුණ තැටියෙ render කරපු චිත්‍රපටියෙ මුල් පිටපත වගේම චරිත හැර පසුබිම පමණක් render කරපු පිටපතකුත් තිබුණා. ඒ එක්කම රඟපෑම්, හැඟීම්, චරිත වල ලක්ෂණ, ආලෝකය වගේ වෙනස් වෙන සාධක අඩංගු ගොනු සහ ඒව එකිනෙක සම්බන්ධ කරන විධාන අඩංගු ගොනුත් තැටියෙ තිබුණා. මුල් අවස්ථා වලදි චරිත වෙනස් කරන්න අවස්ථාව ලැබුණෙ ප්‍රධාන චරිත සඳහා විතරයි.

චිත්‍රපටිය බලන මනුස්සයට උවමනා වුණේ අර USB සම්බන්ධකය හරහා කැමරාවක් හෝ flash drive එකක් යන්ත්‍රයට සම්බන්ධ කරලා තමන්ගෙ මුහුණෙ ඉදිරි සහ පැති පෙනුමෙ පින්තූර දෙකක් මෘදුකාංගය වෙත ලබා දෙන එකයි. ඊට පස්සෙ ඒ පින්තූර දෙක පාවිච්චි කරලා යන්ත්‍රය තුල තිබුණ මෘදුකාංග වලින් ස්වයංක්‍රීයව මුහුණේ ත්‍රිමාන අනුරුවක් නිර්මාණය වෙනවා. චිත්‍රපටියෙ අදාල චරිතයකට මේ මුහුණ සම්බන්ධ කලාට පස්සෙ pre rendering වලට තත්පර කීපයක් ඉන්න වෙනවා. ඊට පස්සෙ තමන්ම රඟපාන චිත්‍රපටියක් බලන්න ප්‍රේක්ෂකයට පුළුවන්.

ඊට පස්සෙ සුරින්දර්ට පුළුවන් වුණා නළුවෙක් වීමේ හීනය සැබෑ කරගන්න. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු ඔහුව හොයාගෙන ආවා. මූණෙ පැත්තක ලොකු කැලලක් තියෙන නළුවා විධියට සුරින්දර් ලෝකෙම ජනප්‍රිය වුණා.

Saturday, 30 April 2011

අවසානයට පෙර | විද්‍යා ප්‍රබන්ධයක්ද මන්දා...


හතරවෙනි වෙනි ලෝක යුද්ධයෙදි එතෙක් පැවතුණ හැම එකකදිම සහභාගි වුණාට වඩා රටවල් ඒකට සහභාගි වුණා. මධ්‍යම යුරෝපයේත් ලතින් ඇමරිකාවෙත් රටවල් කීපයක් ඇරුණම මුළු ලෝකෙම පැති කීපයකට බෙදිල එකිනෙකා මරාගත්ත.

ඒත් දැන් ඒක ඉවරයි. ඉතිරි වෙලා තිබුණ සම්පත් සහ ශ්‍රමය වැය කරල නැති වුණ ලෝකය ගොඩනගන්න උවමනා කරන සැලැස්මකයි ඊට පස්සෙ ලෝකය පැවතුණේ. ඒත් තවදුරටත් වලංගු නොවුණ දේශානුරාගය කියන හැඟීමට විදුලිය සැපයෙමින් ලෝකයේ තැනින් තැන පුංචි රටවල් අතර යුද්ධ ඇවිලුණා.

ආයෙත් ලෝකයම එක තැනකට ආවෙ ලෝකය පුරා රටවල් යා කරමින් නැවත ඉදිවෙමින් පැවතුණ සයිබර් ජාලය පුරා විසිරිලා ගිය ප්‍රවෘත්තියක් නිසා. පැය කීපයක් ඇතුලත ඒක මුළු ලෝකෙම විද්‍යුත් සහ මුද්‍රිත සන්නිවේදන මාර්ග වල එකම ප්‍රවෘත්තිය වුණා.

ඒක අයිතිකරුවෙක් නැති පණිවුඩයක්. නිකුත් වෙලා තිබුණෙ හ‍ඳෙන්...

ඒකෙ වැඩි විස්තරයක් තිබුණෙ නෑ.

ඉතාම ඉක්මනින් හඳ ලෝකයට අහිමි වෙන බවත් එක්ක ලෝකෙ හොඳම ගණිතඥයන්වත් අමාරුවෙ දාපු සමීකරණ කීපයක් විතරයි පණිවිඩය වුණේ.

මෙතුවක් කල් හඳ කියන්නෙ රාත්‍රියට විතරක් ඉඳල හිටල මතක් වුණ කවියොයි ආදරවන්ත‍යොයි මසුන් මරන්නොයි විතරක් ආදරය කරපු දෙයක් වුණාට ඒ මොහොතින් පස්සෙ කවුරුත් හිටියෙ හඳ දිහා බලාගෙන. හරියට ඒක නැති වෙයි වගේ.

ප්‍රවෘත්තිය විශ්ලේෂණය කරල ලෝකෙ හිටපු විද්වත්තු එක එක කතා කියන්න පටන් ගත්ත. ජ්‍යෝතිර්වේදියො විද්‍යුත් මාධ්‍ය වල තරු බවට පත්වෙලා හිටිය. කොහොම වුණත් උපකල්පන ඇරුණම කාටවත් හරියට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න පුළුවන් වුණේ නෑ. වඳවීමට ලක්වෙලා තිබුණ දෙවියන් ආයෙමත් ජනප්‍රිය වුණා. දූවිලි බැඳුණු පරණ පොත්වල එක එක පාඨ කොටස්වලට අළුත් තේරුම් ආවා. මෙතුවක් පිලිගන්න පුළුවන් සාක්ෂි නොතිබුණ පිටසක්වල ජීවය සහ බුද්ධිය ගැන එකපාරම ලොකු කතිකාවක් ඇති වුණා.

බොහොමයක් දෙනා විශ්වාස කලේ දෙවියන් තමන්ව අත්හැරපු බවයි. ඒකට හේතුව විධියට එකිනෙකා විනාශකරගැනීම දක්වා මිනිස්සු පිරිහීම කියන කාරණේ ලොකු තල්ලුවක් දුන්නා. නමුත් තවමත් අවස්ථාවක් ඉතිරි වෙලා තිබීම නිසා කවුරුත් දෙවියන් ගැන කිසි දෙයක් ස්ථිරව කිව්වෙ නෑ.

ලෝකෙම සුපිරි පරිගණක හ‍ඳෙන් ආපු සමීකරණ විසඳන්න ඔට්ටු වුණා. ඒ අතරෙ ඒව සයිබර් අවකාශයේ ප්‍රචලිත කරේ ඕනෙම කෙනෙක්ට විසඳන්න පුළුවන් විධියට. සමීකරණ කීපයේ තිබුණ විචල්‍යය ගණනාවක් එක එක දේවල් වලට සම්බන්ධ කරමින් අදාල මූල හොයාගන්න එක ලේසි වැඩක් වුණේ නෑ. ගණිතඥයො එක්ක දාර්ශණිකයො, ලේඛකයො වගේ ගණිතය නොදත් අයත් සමීකරණ වල විචල්‍යය බදාගෙන දඟලන්න අරන් තිබුණා.

පෘථිවියට හ‍ඳේ එකම පැත්ත පේන්නෙ ඇයි කියන ප්‍රශ්ණයට හැමදාම පිලිතුර වුණේ හ‍ඳේ භ්‍රමණ සහ පරිභ්‍රමණ වේග සමාන වීමයි කියන ප්‍රකාශය. ඒක එහෙමයි කියල පිලිගත්ත මිස ඒක එහෙම වෙන්නෙ ඇයි කියල හිතන්න කවුරුත් පෙළඹුනේ නෑ. හ‍ඳේ අනිත් පැත්ත ගවේශණය කරන්න බිහිවුණ අභ්‍යවකාශ ව්‍යාපෘති ගණනාවක් සැලසුම් වලට විතරක් සීමා වෙලා නතර වෙලා නොතිබුණා නම් හ‍ඳේ නොපෙණෙන පැත්ත හොඳින් විශ්ලේෂණය කරන්න තිබුණා. ඒත් ලෝක ආදායමෙන් හතරෙන් එකක්ම යුද්ධ වලට වියදම් වීමත් එක්ක අභ්‍යවකාශ ව්‍යාපෘති තිබුණෙ එකින් එක නවතින්න අරන්. ඒ එක්කම ලෝක ආර්ථික අර්බුද එක්ක පාලනය කරගන්න බැරිව වර්ධනය වුණ ජනගහනයට සැපයීම් කරන්න සැලකිය යුතු මුදලක් වියදම් වුණා.

පැවැත්ම වෙනුවෙන් භෞතිකය වෙනුවට කලාව, ආගම, දර්ශණය එක්ක පටු ලාභ වෙනුවෙන් මතු කරපු ස්වෝත්තමවාදී හැඟීම් රජ කරපු යුගයකදි අභ්‍යවකාශය වෙනුවෙන් කවුරුත් ආයෝජනය කලේ නෑ.

ඒත් අවසානයෙ එක රාත්‍රියකදි හිටිහැටියෙම හඳ පුංචි වෙන්න ගත්තා. ඒක ටිකෙන් ටික පෘථිවියෙන් ඉවතට ගියා. ගණන් බැලීම් අනුව ඒකෙ ඉලක්කය වුණේ ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය වුණත් සති කීපෙකට පස්සෙ ඒ ගැන හොයන්න ක‍වුරුත් උනන්දු වුණේ නෑ.

බොහොම ඉක්මනින් විද්‍යාඥයින් කීපදෙනෙක්ට පොටක් අල්ලගන්න පුළුවන් වුණා. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හැමදේම සිද්ධවෙලා ඉවර වෙලත් ඉවරයි.

පෘථිවිය ටිකෙන් ටික සූර්යයා ‍දිහාවට ඇදෙන්න අරන් තිබුණා. මෙතුවක් කල් හ‍ඳෙන් වුණේ සූර්යයා එක්ක පෘථිවි කක්ෂය සමපාත කිරිමක්. ඒ එක්කම හඳ අපට කවදාවත් හොයාගන්න පුළුවන් වෙයිද කියන හිතන්න බැරි බුද්ධියක නිර්මාණයක්. ඒක නැතිව පෘථිවිය අසමපාත වුණා. බීපු මිනිහෙක් වගේ ඒක දෙපැත්තට පැද්දුණේ නැතත් සූර්යයාගෙ ආකර්ෂණය හිටියෙ පෘථිවිය ගිලගන්න බලාගෙන.

පෘථිවිය සූර්යයාගෙන් නියම දුරක රඳවගත්තෙ හ‍ඳෙන්. පෘථිවිය ජීවයට හිතකර ග්‍රහලෝකයක් වුණේ ඒ නියම කක්ෂයේ රැඳුණ නිසා. හඳ ගැන එක එක කතා දන්න අතීතයෙ ඉඳන් තිබුණත් ඒක නැතිවෙනකල් හ‍ඳේ භෞතික උවමනාව අපට තේරිල තිබුණෙ නෑ. ක්ෂුද්‍ර ජීවින්ගෙ ඉඳන් සත්ත්ව මිනිස් සංස්කෘති හරහා සයිබර් ජීවය දක්වාම ලෝකය සංවර්ධනය වුණේ හඳ නිසා. ඒත් දැන් හ‍ඳේ සමපාතනයෙන් තොරව සූර්යයා වටේ සම්පූර්ණ කරන හැම පරිභ්‍රමණයකදීම පෘථිවියෙ මධ්‍ය කක්ෂයේ අරය ටිකෙන් ටික අඩු වුණා.

අන්තිමේදි ගණනය කරල හොයාගත්තෙ පෘථිවිය අවුරුදු තිහක් ඇතුලත සිකුරුගේ මධ්‍ය කක්ෂයට සමපාත වෙන බවයි. ඒ දක්වා පොළොව අභ්‍යන්තරයෙ වාසස්ථාන වල ඉන්න මිනිස්සුන්ට පුළුවන් වුණත් සිකුරුගේ ඉඳන් ඉදිරියට තියෙන්නෙ ලෝකෙ වටේටම ගිණියම් වීමක්.

ඒ වෙද්දි මිනිස් වර්ගයා පවත්වගැනීමේ හැකියාව වෙනුවෙන් විකල්පයක් හොයාගන්න බැරි වුණොත් තවත් වඳවී ගිය ජීවීන් කොටසක් විධියට පෘථිවියේ සත්ත්ව වර්ග ගැන කතාකරන්නවත් කවුරුවත් ඉතිරි වෙන එකක් නෑ. හැබැයි සහමුලින්ම විනාශ වෙන්න කලින් සැලකිය යුතු කාලයක් පවතින්න ඉඩ දීමත්, විසඳන්න තිබුණ සමීකරණ කීපයත් නිසා කවුරුත් බලාපොරොත්තු අතහැරගන්න හිතුවෙ නෑ. සමීකරණ වලින් ‍යහපත් බලාපොරොත්තුවක් ඇතිකරගන්න අවස්ථාව සැලසෙන බව බොහොමයක් දෙනා විශ්වාස කෙරුව.

වෙනත් ග්‍රහලෝකයක්, සඟවපු අභ්‍යවකාශ යානයක්, සමාව අයදින්න ක්‍රමයක්, උල්කාවකින් ආයෙත් පෘථිවි කක්ෂය සමපාත කිරීමක් වගේ එක එක උපකල්පන මැද ලෝකෙම මිනිස්සු අන්තිමේ එක බලාපොරොත්තුවක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් හිටියා...


.....................................................................

අපරාදෙ මේක මේ තරම් වෙලා අරන් කියෙව්වේ... මේකෙ ෂෝට් වර්ෂන් එක බලන්න One|Zero|Zero වෙත යන්න

Monday, 14 March 2011

බහිර්ශීල දමනය | පොතේ නැති කතාවක්!


තවද එක් සමයෙක්හි අප මහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩ වාසය කරන කල්හි අනේපිඬු සිටාණන්ගෙන් නිරන්තරයෙන් දානමානාදිය ලබන්නේ වරෙක් ඉන් ම‍ඳෙක් ඉවත්ව බුද්ධ වංශය ප්‍රකාරව පිණ්ඩපාතයෙහි වැඩීම යෙහෙකැයි කල්පනා කල සේක.

උන් වහන්සේ පාත්‍රයද විවෘතව ගෙන යටිකුසෙහි තෙරපා මද ජනාකීර්ණ පුළුල් මාවතක් පසෙකින් සන්සුන් ගමනින් පිඬු සිඟා වඩින්නට වූහ.

මෙකල්හි බුදුන්ගේ කීර්තියත් උන්වහන්සේගේ ධර්මයෙහි ස්වාධීනත්වයත් එහි වූ නොබිඳිය හැකි භාවයත් පිළිබඳව ඊර්ෂ්‍යා සහගතව බුදුන් පර්වශයෙහි ක්‍රෝධ සිත් ඇත්ව සිටි බහිර්ශීල නම් වූ එක්තරා බ්‍රාහ්මණයෙක් වේදයන් කියවා මඳ ඉසිඹුලන ඇසිල්ලේ ආරාමයේ කවුළු තිර අතරින් බුදුන් දිටී. සතුරා දුටු ක්ෂණයෙන් ගිණිදළු ලා සිරුර වෙලාගත් ක්රෝධයෙන් අනූනව මෙකී බ්‍රාහ්මණයා වහා මාවතට පිළිපන්ව බුදුන් මග අවුරා බුදු නෙතට මුහුණ ලා සිට හොත්තේය.

තම ගමන ඉදිරියේ අදිසියේ පහළ වූ රූපකාය දෙස නොබලාම ඒ පහළ වූයේ යහපත් අරමුණකින් නොවන බව වටහාගත් බුදුරජාණන් වහන්සේ ‘මොහු හා මුහුණ බැලීමෙන්ම අර්ථ විරහිත අගතියක්ම වේය’යි සිතා බහිර්ශීල බ්‍රාහ්මණයා මගහැරයාමට දකුණු පසට පා තැබූහ. එකෙණෙහිම බහිර්ශීලයාද ස්වකීය වම්පසට බරවී නැවත බුදුන් මුහුණ ලා ‍සිටියේය. එවිට බුදුන් තම වම් පසට හැරී නැවත බහිර්ශීලයන් මගහැරීමට තැත් දැරූහ. එකල්හි නැවතත් බහිර්ශීල තෙම බුදුන් අභිමුඛ වන ලෙසට තම දකුණු පසට බර වීය.

බහිර්ශීලයන්ගේ දුෂ්ට අභිප්‍රාය වූයේ බුදුන් හා ගැටුමක් නංවා තම වේද දැනුමින් බුදුන් පරාජය කොට මාවතෙහි යනෙනා මගීන්ගෙන්ද දුෂ්ට බස් අසවන්නට සලස්වා උන් අතර බුදුන් අවමානයට පත්කරලීමටය. එහෙත් ඉවසිලිවන්ත වූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ගොඩනැගෙන්නේ තේරුම්සහගත කිසිවක්ම නොවන බව වටහාගත්තේ බහිර්ශීල මගහැරයාමටම තැත් දැරීය. අවසන බහිර්ශීල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ උරයට තම අත ගසා තදින් තෙරපා උන්වහන්සේ නවතාලීය.

“වහසි බස් දොඩන ශ්‍රමණය, මා හා සම්මුඛ වන්නට මැලි වන්නේ කිම්ද? තට එතරම් කඩිනමක් කිමද?”

බහිර්ශීලයා ගුගුරාලීය.

“පින්වත් බ්‍රාහ්මණය, මා කුසගිනි නිවාගනු පිණිස යමක් සොයාගැනීම පිණිස පිණ්ඩපාතයෙහි වඩින්නෙමි. තොපට අවැඩක් වන කිසිවක් මා සිදුකර නැති බව තොප දන්නවා ඇත. මාගේ මග අවුරන්නේ කිමද?”

බුදුරාජාණන් වහන්සේ කරුණා වදන් බහිර්ශීලයන් වෙත මුදාහල සේක.

එහෙත් බහිර්ශීල බ්‍රාහ්මණ තෙම කිසිවක් අත්හැර දැමීමට සූදානම් වූවෙක් නොවේ. වේද ශාස්ත්‍රය සමගින් තර්ක ශාස්ත්‍රයද ඔහු මැනවින් ප්‍රගුණ කර සිටියෙකි.

“මා හට අවැඩක් සිදුකළ බව ‍තොපට සිහි නොතිබුණාට කලයුත්තක් මට නැත. තා තාගේ වහසි බස් දෙඩීම ඇරඹූ දා පටන් කළේ මා හටත් මාගේ දහමටත් නින්දාවක්මය.”

“බ්‍රාහ්මණය, මා ඔබටවත් ඔබගේ දහමටවත් නිගරුවක් කියා නැත. මා හුදෙක් මවිසින් ගවේෂණය කර සාක්ෂාත් කරගත් කාරණා ගැන පමණක් දේශනා කරන්නෙමි. තොපගේ දැනුම අනුව තොප මාගේ වහසි බසට කන් යොමුකරවූවා නම් තොපගේ බුද්ධි මහිමය අනුව තොපටම එය අවබෝධ වී ද තිබිය යුතුය.”

බහිර්ශීලත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවෙමින් පවතින වාදයට යොමුවෙනු වස් ආරාමයේ හුන් බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයෝ පිරිසක්ද බහිර්ශීල අසලින් පෙළගැසී සිටගති.

“තගේ වහසි බස් තා තියාගනුව. තා මේ නගරයේ වැසියන් මුළා කරන්නේය. සිටාණන්ද මහ රජුන්ද රවටා අනුග්‍රහ ලබන්නේය. උන් අප කුලය කෙරේ බිඳවන්නේය. අප හට උවටැන් කල වැසියන් මුළාවෙන් වශී කර උන්ගේ උවටැන් ලබන්නේය.”

“බ්‍රාහ්මණය, මා කිසිවෙකු රවටා නැත. උවටැන්ද යැද නැත. ප්‍රභූ හෝ වේවා දිළිඳු හෝ වේවා මට එහි දුහුවිලි පිඩක් බඳු වූද වෙනසක් නැත. මාගේ ධර්මයේ අර්ථයක් දැක ඉන් තම ජීවිතය ආලෝකමත් කරගත්තෝ මා හටත් මාගේ ධර්මයටත් සඟරුවනටත් අනුග්‍රහ දක්වන්නෝ වෙති. මා ඒ කිසිවක් සඳහා යදින්නෙකු නොවේ. මා ඒ මත යැපෙන්නෙක්ද නොවේ...”

බුදුන්ගේ කරුණා වදනත් බහිර්ශීලයන්ගේ ගොරහැඬි භාෂිතයත් කරණ කොටගෙන සිය ගණනක් ජනයා මේ අවනඩුව වටා රොක්වන්නට විය. ඇතැමුන් බහිර්ශීල වෙත පක්ෂවද ඇතැමුන් විපක්ෂවද උනුන් අතර රහසින් හේතු මුමුණන්නට වූහ. වැසියන් ඇතැමෙක් උපේක්ෂා සිතින් නිහඬව සවන් යොමු කල අතර බුදුන් සරණගොස් හුන් ඇතැමුන් බුදුන් තෙපලන වදනක් පාසා සාධුකාරය දෙන්නට විය. සහය පල කරන්නට වූ ඇතැම් පිරිසක් බහිර්ශීලයා සහ බුදුන් වහන්සේ විසින් දොඩන වදනක් පාසා ඔල්වරසන් දෙමින් කෑ ගසන්නට වීය.

රැස්වී සිටි වැසියන්ගෙන් ‍තමා වෙත ලැබෙන උත්තේජයෙන් ප්‍රාණවත්ව ඔද වැඩී බහිර්ශීල තෙම ගුගුරන්නට විය.

“තාගේ කෙරුම් ගැන තා එසේ කීවාට සැබෑව ලොව දනී. තා මේ දනව්වට නිග්‍රහයෙකි. අපගේ පුරයෙන් තා නෙරපිය යුතුය. එතැනින් නොනැවතී තා මේ දේශයෙන්ද පිටමං කල යුතුය.”

“එසේය... නිවට ශ්‍රමණය... තා මේ දේශයේ මායිමෙන් පිටමං කල යුතුය. තා මේ දේශයටම නින්දාවකි. දේශයට මුළාව වගුරුවන බරකි.”

“ලොව ඇරඹි දා පටන් ලෝ වැසියන් අර්ථයෙන් පෝෂණය කල අපගේ වේදයන් තා හෙළාදකින්නේය. තාගේ මුග්ධකම ඉන්ම ප්‍රදර්ශණය වන බව නොපෙනේද? තා අපගේ පාරම්පරික දැණුම පාගා ඒ මත සිට මුසාවාද පතුරුවන අධමයෙකි. වහා මෙරටින් පිටවෙව.”

“මෙතුවක් අපගේ ශාස්ත්‍ර ඇසුරෙන් උපදෙස් ලබා රට පාලනය කල රජුන්ද මේ වහසි බස් දොඩන්නා විසින් මුලාවේ හොවා ඇත. මෙතුවක් සාමයෙන් පැවතුණු දේශය තොපගේ මුසා කියුම් වලින් බෙදී වෙන් වී යන්නේය. තා වහා මෙරටින් පිටමං කල යුතුය.”

බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයන්ද වාදයට එකතු වී බිරුසම් දෙන්නට විය.

බ්‍රාහ්මණයන්ගේ කෑ ගැසීම විසින් වාදය කෙමෙන් අරගලයක් බවට පත් කල අතර වටකොට සිටි ජනයා අතරින් සියුම්ව ඇරඹි වාග් හරඹය එකිනෙකා පොරබැදීමක් බවට පත් වීය. බුදුන් හා බහිර්ශීල වටා හුන් සාමාන්‍යය ජනයා දෙපිරිස එකිනෙකා අවුළුවා පොරයෙහි යෙදුණු අතර ඉන් ඔද වැදුණු බ්‍රාහ්මණ ගෝල පිරිසෙහි නොදැමුණුන් කීප දෙනෙක් බුදුරජාණන් වහන්සේ තෙරපාලීමටත්, පොළොවේ පෙරළාලීමටත් උත්සාහ ගති.

එහෙත් එම ස්ථානයෙහි රැඳී සිටි විහාරය අසල මාවත් පිරිසිදු කරන බුදුන් දහම් අසා පැහැදී හුන් කම්කරු පිරිසක් බුදුරජාණන් වහන්සේ වට‍කොට උන්වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ග්‍රහණයෙන් මුදවා පසෙක වූ ගසක් මුලට කැඳවා ගෙන ගියෝය.

මෙකෙණෙහිම මාවතේ දුහුවිලි අවුස්සමින් අනේපිඬු සිටු වාසල ප්‍රධාන සෙනෙවියා ප්‍රමුඛ අසරුවන් පිරිසක් පවන් වේගයෙන් එම ස්ථානයට පැමිණියෝය. වහා ගැටුම් නතර කල ජනයා රක්ෂා ස්ථාන කරා පසුබෑ අතර ගැටුමට මුල් වූ අන්ත පාක්ෂිකයන් කිහිප දෙනෙක් පමණක් බහිර්ශීල ප්‍රමුඛ බ්‍රාහ්මණයන් වටා රැඳී සිට අවසන් මොහොතේ හිස් ලූ අත දිව ගියෝ බහිර්ශීල ස්වකීය ගෝලයන් සමගින් තනිව සිටගති.

සිටු ආරක්ෂකයන් බහිර්ශීල හා උහු ගෝලයන් වටකොටගත්තේ වහා උන් බිම දණ ගැස්වීය. ප්‍රධාන සෙනෙවියා බුදුන් අසලට ගොස් වැඳ වැටුණේය.

“ස්වාමීණී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට මිසදිටුවන් අඩන්තේට්ටම් කරන බව වාත වේගයෙන් වාසලට සැලවීය. අප මහසිටුතුමා කෝපයෙන් සැලෙයි.”

“සෙනෙවිය, සිටුතුමාවත් ඔබවත් කවුරුන්වත් එසේ කෝප වීමට අවශ්‍ය නැත.”

බුදුරජාණන් වහන්සේ ‍බිනීය.

“බහිර්ශීල සහ ගෝලයන් තම නොදැමුනු බව පෙන්වාලූවා පමණයි. ඔවුන් මට හානියක් කළේ නැත. මා ගතේ එක් සීරීමකුදු රහිතව රක්ෂා සහිතව සිටින බව සිටුතුමා වෙත සැල කරන්න.”

“එසේය ස්වාමීනි, එහෙත් මේ නීචයන්ට දඬුවම් පැමිණවීමට අපහට අණ ලැබී තිබේ. ඔබ වහන්සේගේ අවසරය සහිතව මම මුන් කුදලා වාසලට ගෙන යමි. අවසර ස්වාමිනි...”

ප්‍රධාන සෙනෙවියා නැගිට බහිර්ශීල ඇතුළු පිරිස යදම්ලෑමට අනෙකුත් ආරක්ෂකයින්ට සන් කළේය.

“නවතින්න සෙනෙවිය...”

බුදු රජාණන් වහන්සේ ඉදිරියට විත් ආරක්ෂකයන් වලකාලීය.

“මාගෙන් අයෙකුට දඬුවම් පැමිණවීමට අවසර ඉල්ලීමට තරම් සිටුතුමා මා කෙරේ අව‍බෝධ හීන වීද? මොවුන්ට දඬුවම් දීමට අවසර මාගෙන් ලැබෙන්නේ නැත. මොවුන්ව නිදහස් කරන්න.”

“එහෙත් ස්වාමිනි, මොවුන් ඔබතුමාට කෙනෙහිලිකම් කළෝය. ප්‍රසිද්ධියේ ඔබ වහන්සේට නිග්‍රහ කළෝය. අවමානයට පත් කළෝය. මොවුන් යළි එවැන්නක් නොකිරීම පිණිස දඬුවමට ලක් කල යුතුයි...”

“නැත සෙනෙවිය. වෛරය සන්සි‍ඳෙන්නක් නොවේ. වෛරය මාගේ දේශනයෙන් ඉවතහල යෙදුමකි. මා ඒ වෙනුවට මොවුන් වෙනුවෙන් මෙත් වඩමි. මොවුන් මුදා හරින්න. ඔවුන්ට නියමිත දණ්ඩනය ඔවුනගේම කර්ම ශක්තිය අනුව ලැබෙනු ඇත.”

“නැත ස්වාමිනි, ‍අප හෝ මෙම කම්කරුවන් මෙහි නොවන්නට මොවුන් ඔබවහන්සේට තුවාල සිදු කරන්නටද ඉඩ තිබුණා. ඔබවහන්සේගේ ජීවිතයට පවා අනතුරක් කරන්නට ඉඩ තිබුණා. මොවුන් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි”

“ඔබ පවසන අයුරු මාගේ කර්ම ශක්තිය අනුව මා මෙතැනදී බහිර්ශීලයන් අතින් පිරිනිවන් පාත්‍ර වූවා නම් සහ එය වැළකීමට කිසිදු ක්‍රමයක් නොවූවා නම් එය එසේ සිදු විය යුතු වූවක්. එහෙත් එය එසේ සිදු වූයේ නැත. එසේ හෙයින් උපකල්පිත අපරාධයක් හේතුවෙන් මොවුන්ට දඬුවම් දීමට අවශ්‍ය වන්නේ නැත. මට අහිමි මා ගැන මා කරදර වන්නේ නැත. මාගේ ධර්මය ලෝවැසි සියලු දෙනාටම මෛත්රි ය වැඩීම මත පදනම් වූවක් වන්නේ එලෙසයි. ඔබට මා යම් පමණකින් හෝ අගයක් වේ නම් වහාම මොවුන් නිදොස් කොට වාසලට පිටව යන්න.”

බුදුරජාණන් වහන්සේ නිගරුවට ලක්වන බව සවන් ලූ ඇසිල්ලේ සිට උණුසුම්ව හුන් ප්‍රධාන සෙනෙවියා බුදුන්ගේ මෙම වදනින් සිසිලසට ලක්වීය. හෙතෙම නැවතත් බුදුන් වහන්සේ වන්දනා කළේය.

“ස්වාමීනි, ක්ෂමා කළ මැනව. ඔබ වහන්සේ කෙරේ ඇති අපමණ භක්ත්‍යාදරය හේතුවෙන් මා හට ඔබවහන්සේගේ ධර්මය අමතක වී ගියේය. අප මහ සිටාණන්ද මෙවෙලේ ඇත්තේ එලෙසින්මය. ඔබට සිදුවූ ගැහැට සවන් වැටුණු ක්ෂණයෙන් බහිර්ශීල බ්‍රාහ්මණයා තලාපියා දඟගෙට යැවීමට එතුමා ගුගුළේය. අප කෙරේ අනුකම්පාවෙන් වාසලට වැඩම කර අප මහ සිටාණන් කෝප සිඳනු වස් එතුමාණන් වෙත ධර්ම දේශනා කළ මැනව.”

“එසේය සෙනෙවිය. මා විහාරයට වැඩම කර දන් වළඳා සවස් යාමයේ වාසල වෙත පැමිණෙන බැව් ඔබ දැන් පිටව ගොස් සිටාණන් වෙත සැලකරන්න.”

ප්‍රධාන සෙනෙවි ඇතුළු ආරක්ෂක පුරුෂයන් බුදුන් වහන්සේ එම ස්ථානයෙන් නික්මෙන තුරු බහිර්ශීල ඇතුළු ගෝල පිරිස රැකවල් ලීමට සූදානම් විය. බුදුන් බහිර්ශීල දෙසට අවධානය යොමු කල සේක. බහිර්ශීල තෙම බිම වැටී දුහුවිලි වැකී මුඛයෙන්ද හුස්ම පිඹිමින් හුන්නේය. ආරක්ෂකයින් ඔහු හා ගෝලයන් වටකොට සිටගෙන සිටියෝය.

“බහිර්ශීලය... මා කිසිවකුට අයිති නැත. අවම ලෙස මා මටද අයිති නැත. එබැවින් මා හට තැවෙන්නට කිසිවක් නැත. මගේ ධර්මය ප්‍රකාශ කිරීමේ කුසලතාව මා වඩා තිබුණද ධර්මය මාගේ යමක් නොවේ. එය ස්වභාවධර්මයේ ඇති සත්‍යය මාගේ දැණුමින් හා විග්‍රහයෙන් ප්‍රකාශ කිරීමක් පමණි. මා හට අයත් වූවක් නොවේ. සත්‍ය වශයෙන්ම එයද පරම සත්‍යය වන සියල්ලෙහි ඇති නැසෙනසුළු භාව ප්‍රකාර වූ ස්වභාවධර්මයාගේ අර්ථයන්ට යටත්ව කලෙකදී නැති වී යන්නකි. ‍එහෙයින් මා ඒ ගැනද නොතැවෙමි. ඔබම මොහොතකට පෙර ප්‍රධාන සෙනෙවි තෙම කෙරෙන් දුටු ලෙස භක්තියෙන් අන්ධ වූ කළ ධර්මය නොපෙනී යයි.

ඔබ ඔබගේ ධර්මය බදා වැළඳ සිටියි. ඊට භක්තිමත්ව සිටියි. එහෙත් එතුළ ඇති හර ඔබට නෙපෙනී ගොස් ඇති සෙයකි. ඔබ ඉන් ඉගෙන නොගනී. එය නැතිවේ යැයි බියෙන් සිටී. සදාකල් එය රැක්මට හැකැයි සිතා එය ආරක්ෂා කරයි. එහෙයින් එය අන් ධර්මයන් කෙරේ වෛරයම පතුරුවයි. අන් ධර්මයක් ඔබේ සතුරකු කරගනියි.

ඔබ අවබෝධ කටයුත්තේ සදාකල් පවතින්නක් නොමැති බව නොවන්නේද? එසේනම් හැකි තරම් යහපත් වීමට ක්‍රියා කරනු විනා කළ හැකි අන් යමක් වේද? යහපත් වූ අදහස් ගොන්නක් වෙත භක්ත්‍යාදරය පාමින් එම අදහස් සුරකිමින් එහෙත් එය අමතක කර එයට විරුද්ධ සෑම දෙයක්ම විනාශ කරන්නට යාමෙන් ඔබේ වෘතය ආරක්ෂා වේද? ඔබට සිතන්නට ඇති ඉඩ බොහෝමයි බහිර්ශීලය...

මාගේ ධර්මයේ වෛරය නැත. එහි ඇත්තේ හුදෙක් මෛත්‍රිය පමණි. එහෙයින් ඔබටද මාගෙ මෛත්‍රිය හිමිවේ. ඔබ මගේ සතුරකු නොවේ. යන්න. නැගිට ගොස් හොඳින් ස්නානය කර පිරිසිදු වී ඔබගේ අද දවස නැවත විමසීමක යෙදෙන්න. ඔබට ඔබවම ගැටලුවක් වන ඕනෑම මොහොතක මා ඔබට උදව් කිරීමට සූදානම්...”

බුදුරජාණන් වහන්සේ බහිර්ශීල වෙත දීර්ඝ ලෙස අවවාද කොට නැවත ශාන්තව පිණ්ඩපාතයෙහි වැඩීම පිණිස නික්ම ගිය සේක.

බහිර්ශීල බ්‍රාහ්මණයා ආරක්ෂකයන්ගේ දෙපා අතරින් පෙනෙන සන්සුන් ගමනින් ඉවතට වඩින බුදුන් දෙස දෑස් අයා සිටියේය.

විකල්ව ඇවිස්සී ඒ මේ අත විසිරී තිබූ තම සිත තුළ මහා සැනසීමක සලකුණු කෙමෙන් පහළවන බැව් ඔහුට දැනෙන්නට විය.