Showing posts with label කියවීම. Show all posts
Showing posts with label කියවීම. Show all posts

Saturday, 27 July 2019

කෝලි



සන්නස්ගලගේ භික්ෂු පරිච්ඡේදය කියවා හමාර කළෙමි. එය කියවීම අතර තුර සිතට නැගුන විඳුණු දැන් අමතකව ඇති සිතිවිලි අපමණකි. පොත කියවා අවසන් වෙත්ම හිතට නැගුනේ එ පිළිබඳව යමක් ලිවීම හොඳ බවයි. පොතේ ඡේද උදෘත කරමින් එසේ ලිවීමට සිත් වූ බොහෝ දේවල් දැන් අමතකව ගොස් ඇත. ඒ නිසා මේ සටහන ලියවෙන්නේ කුමක් ගැන වේද යන්න පිළිබඳව දැන්ම කීමට හැකියාවක් නැත.

පොත කියවා ලියන දේවල් ගැන සිතමින් රාත්‍රී මුරය සඳහා පිටත්ව ගොස් ඇති බිරිඳටද වයිබර් මැසේජ් දමමින් බුකියේ පූස් සහ බලු ගෘප්වල ලයික් දමමින් ගෙවුන සුළු වේලාවක මට සිතුනේ අදත් බොන්නටය. ඊයේද බිරිඳගේ අනුග්‍රහයෙන් අපි බියර් බීවෙමු. අදත් හොඳ දවසකි. බියර් දෙකක් ගේමු දැයි මාමණ්ඩියගෙන් ඇසූ විට ඔහු ගල් බාගයක් ගේමු කියා කීවේ කලකින් ගල් නොගැසූ නිසායි. මම දායකත්වය දුන්නෙමි. බයිට් එකට සොසේජස් කරල් කීපයක් සූදානම් කළෙමි. සියල්ල අවසන් වී දැන් ලොකු කාලයක් ඉක්ම ගොස්ය. මැදියමට හෝරාවක් ඇති වේලාවක මම අර්ධ වෙරි මතින් පරිගණකය ඉදිරිපිට හිඳගෙන ඇත.

කෝලියා දොරකඩ නිදයි. ඒ උගේ ඩියුටි පොට් එක කියා මම කියන්නේ ටික කලක සිටයි. මා සමග මම ද නොදන්නා මිතුරු දමකින් වෙලී සිටින කෝලියා මා කාමරයේ සිටිය සැම විටම දොරකඩ නිදයි. මුරකරුවෙක් මෙනි. කෝලිට නොදැනී මා වෙත මැස්සෙක්ටවත් එන්නට නොහැකි බව බිරිඳ ඉරිසියාවෙන් කියයි.

කෝලියාගේ මුල් නම ‘කොලින්‘ ය. එය ‘කොල්ලා‘ යන්නෙන් බිඳී ඇති නමකි. උගේ ඉතිහාසය කතාවකි. අපේ ඉතිහාස මෙන් විකෘති වූවක් නොවේ. උපන් දා සිට මේ වෙන තෙක් කෝලියා ළඟින් ඇසුරු කරන මම කියන සැබෑ කතාවයි. එක එක දේශපාලන, සංස්කෘතික හෝ භාෂාමය වර්ෂන්වලින් තොර එකම වර්ෂන් එකයි.

2010දී එවකට පෙම්වතියව සිට දැන් බිරිඳව සිටින ඇයගේ නිවසට පැමිණි මිකීගේ පළමු වැදුමේ පුත්‍රයා කොලින්ය. 2012දී මිකී දරුවන් සත් දෙනෙක් වැදුවාය. ඉන් බාලයා පොඩ්ඩීය. ඇයගේ පිළිවෙලක් නැත. පිස්සියක් මෙනි. අනෙකුන්ට වඩා කුඩාය. කිරි බොන්නට අනෙකුන් පෙරලා පැනගෙන එල්ලීමේ හැකියාවක් නැත. අවසානයේ හමුවෙන්නේ දුර්වල තන පුඩුවකි. අනෙකුන් පරයා සටන් කරන්නට කුඩා වැඩිය. ඒ නිසා කෙටි කලකින්ම කිරි උරා බීම එපා වී වෙනතක් බලයි. ඇයට උවමනා වූයේ හතර අත විපරම් කරන්නටයි. කිරි වැඩිය පෙවුනේ නැත. ඒ නිසාම දුර්වල විය හැකි බවට කතාවක් නිවසේ ඇති විය. ඈ ගෙදර රැඳුනාය.

රෝසි ගෙදර රැඳුනු අනිත් කෙල්ලයි. ඇගේ බඩ රෝස පැහැති බැවින් ඈ එනමින් බෞතීස්ම විය. මාමාණ්ඩියගේ අනුකම්පාවෙන් සහ ආදරයෙන් ඇය නිවසේ සුරතලිය විය. බිරිඳ කියන්නේ රෝසි ඇගේ රෝස බඩ පෙන්නා මායම් දමා තාත්තා අල්ලාගත් බවයි. කොහොමත් රෝසි යනු මිනිස් අඟනුන්ට සරි කලහොත් ව්‍යවහාරයේ කියවෙන පට්ට කෑල්ලකි. රූපයට අමතරව ඇයට කෙල්ලක් සතු කෝල ගති ඇත්තේය. කෙලි බල්ලෙකි. ආදරේ හිතෙන නියම කෙල්ලකි. පට්ට බැල්ලියකි.

කෝලියා ඇතුලු අනිත් පස් දෙනා රටේ විවිධ තැන්වලට පිටව ගියෝය. දෙදෙනෙක් මාමණ්ඩිගේ සොයුරියන්ගේ ගෙවල් වලටයි. ජාඇලට හා මාතලේටයි. අනිත් අයත් එක් එක් තැන්වලයි. කෝලියාද එසේ නොදත් තැනකට පිටව ගියේය.

එසේ දරුවන් පිටකල මාමණ්ඩි ඒ තැන්වලට සතියකට දෙකකට පසු අමතා දරුවන්ගේ සුව දුක් විමසූ අවස්ථාවේදී කෝලියාගේ දරුණු ඉරණම කණ වැකී තිබුණි. කෝලියා හදන්නට භාරගත් නිවසේ කුඩා දරුවන් අතින් දෙමස් වයසැති බලු පැටියා පීඩා විඳින්නේය. මඤ්ඤොක්කා කෝටුවලින් ගුටි ලබන්නේය. වේදනා විඳින්නේය.

පැටවුන් ලබා දුන්නේ මුදලක් ගැනීමෙනි. නිකම් දීමෙන් අගයක් නැත. ගෙවූ මුදලට හෝ සලකනු ඇත. අපගේ අභිප්‍රාය වූයේ එයයි. ඒත් ගුටිකන පැටියකු ගැන දැන දැන ඉවසීම කල හැක්කක් නොවේ. වහාම ගොස් ආපසු මුදල දී කෝලියා නැවත ගෙදරට ගෙන ඒමට මාමණ්ඩිත් නැන්දම්මාත් කඩිනම් විය. එදින සිට උගේ නම කොල්ලා විය. ඒත් එය දිගින් දිගටම භාවිතා නොවී කොලින් බවට කොල්ලා නම් විය.

ඒත් මට නම් කොලින්ට ඇමතීමට නම් ගොඩකි. මා ආදරය කල සුරතලුන් සියල්ලට එසේ නික් නේම් ගොඩක් ඇත. මිකීටද රෝසිටද එසේමය. සියළු දෙනා බලු මිනිස් බේදයකින් තොරව ‘පිස්සු කේස්‘ ය.

කොලින්ට මම කොලින් මල්ලි, කෝල මල්, කොලිනයා, කොලින්ත, කෝල්, මල් කොලයා ආදී නොයෙක් නම් කියමි. කෝලි යනු එහි වත්මන් සංස්කරණයයි. ඒ මොන නම කීවත් පඩේකට ගණන් නොගෙන උගේ පාඩුවේ නිදා සිටිනා අවස්ථාද වෙයි.

භික්ෂු පරිච්ඡේදය කියවීම අපූරු අත්දැකීමකි. ජීවිත කාලයක් පුරා අත්දැකීම් එසේ එක් එක් වර්ගීකරණයන්ට ලක් කර ලිවීම ආතල් වැඩකි. භික්ෂු පරිච්ඡේදයේ ඇත්තේ සන්නස්ගලයන්ට පොත ලියන වර්තමානය දක්වා ජීවිතයේදී හමුවූ භික්ෂු චරිත පිළිබඳවයි. එය කියවීමට පෙළඹවීම ඇති වුණේ ගී පැදුර නිසායි.

ගී පැදුර අඩවියට ගී පද අසමින් සොයමින් ලියන මට කසුන් කල්හාරගේ නටාෂා ගීතයේ රචකයා සොයාගන්නට උවමනා විය. යූ ටියුබයේ එම ගීතය සෙවූ විට සියත එෆ්එම්හි ඩීජේ අරා නටාෂා ගීතයට යෙදූ පූර්විකාවක් ලින්ක් ඔස්සේ හමු විය. එහි කියවුණේ ඩීජේ අරා භික්ෂු පරිච්ඡේදය කියවමින් සිටින බවත් එහි තැනක පසන් කොඩිකාර පිළිබඳ සන්නස්ගල තැබූ සටහනක මෙම ගීතය පිළිබඳව කියවෙන බවත්ය. පොත කියවන්නට පෙළඹවූයේ එයයි. පොත වර්ෂයකට පෙර පොත් සල්පිලෙන් මිළදීගෙන ඇති බව බිරිඳගේ හෝඩුවාව ඔස්සේ දැනගතිමි. ‘භික්ෂු‘ වදන නිසා එය නැන්දම්මා විසින් කියවන්නට ඇගේ කාමරයට අරන් ගොස්ය. පේන විධියට ඇය පිටු කිපයක් කියවා නවතා ඇති සැටියකි.

භික්ෂු පරිච්ඡේදයේ සන්නස්ගලයන් ලියා ඇති දේවල් ඇත්තද බොරුද යන්න සොයන්නට හෝ ඒ ගැන වෙහෙසෙන්නට මම උත්සාහ නොකරමි. එය හුදෙක් තවත් එක් කියවීමක් ලෙස දරාගනිමි. අත්දැකීම් ඇසුරින් සමස්ථ ජීවිතය තේරුම්ගැනීමට තරම් මහ මෙරක් අත්දැකීම් ලබා නැතත් ලැබී ඇති සොච්චම සමහර දේවල් තේරුම්ගැනීමට ප්‍රමාණවත්ය. ඒ නිසා මම වැඩිදුර නොසිතමි. යුනිෆෝම් ඇන්දාට කවුරුත් මිනිස් ගති ඇත්තෝ වෙති. තව දුරටත් පූජකත්වය යනු විමුක්ති මාර්ගය සොයන්නන්ගේ තත්වයක් නොවේ. එය වරප්‍රසාදිත රැකියාවකි. විමුක්තිය සොයන්නට යුනිෆෝම් අවශ්‍ය නැත.

භික්ෂු පරිච්ඡේදයේ අවසානයටත් පෙර මා කලකට පෙර තැබූ ටිවිටර් සටහනක් සිහි විය. එහි ලියුවේ තොරතුරු දැනගැනීමට ඇති සියළු මූලාශ්‍රයන් ෂුවර් නැති බවයි. බලු පැටවුන්ට ලයික් දැමීම ඊට වඩා හොඳ බවයි. භික්ෂු පරිච්ඡේදය අවසානය වෙද්දී එහි ලිවීමේ සෞන්දර්යයෙන් වික්ෂිප්තව මම ඒ ටිවිටර් සටහන සිහි කරමි.

තව ලියන්නට කම්මැලිකමක් ඇත. හිතුණොත් පසුව සංස්කරණය කරමි.

Saturday, 11 October 2014

තාරා මගේත් දෙව් දුව

තාරා යනු කවුදැයි මා දන්නෙ නැත. එය සෙවීමටද උවමනාවක් මට නැත. එහෙත් සිත පැහැරගත් විජේමාන්නයන්ගේ තාරා ගැන බිඳක් ලියන්නට උවමනාය.

යුද්ධය හා උදාව ඇති එහි පශ්චාත් තත්ත්වයන් ගැටළු සියල්ලට විසඳුමක්ද යන්න ගැන විජේමාන්නයන් ප්‍රශ්ණ කරයි. එයට කිසිවකු පිළිතුරු නොදෙන බව දැන දැනම ඔහු එම ප්‍රශ්ණය නගයි. ඇත්තෙන්ම ඔහු පිළිතුර දනී. එක් පිරිසක් විජයග්‍රහණයෙන් උද්දාමව ජයපැන් බොන ඇසිල්ලේ තාරා සදහටම නික්ම යවන්නේ එහෙයිනි. ඇයට කල හැකි කිසිවක් නැත. හුදු සෞන්දර්යවාදී සාහිත්‍ය ලෝලීන් පිරිසක් මනෝ ප්‍රහර්ෂයට ලක් කරනු හැර තාරාට කරන්නට යමක් ඉතිරිව නැත.

තාරා ලංකීය සාහිත්‍යයේ පවතින තැන එතරම් ඉහල නොවිය හැක. ඉහත කී ප්‍රශ්ණ නැගීම හැර ඉන් එපිට දේශපාලනීය මැදිහත්වීමක්ද ඉන් සිදුවන බවක නොපෙනේ. සරාංශය ගත්විට එහි එතරම් ගත යුත්තක් ඇති බවක්ද නොදැණේ.

එහෙත් එය විශිෂ්ට ලිවීමක් බව කිව යුතුය.

එසේ කිව හැක්කේ මන්ද යන්න නැවතත් සිත අවදි කල යුතු කරුණකි. විජේමාන්නයන්ගේ වාග් කෞෂල්‍ය වෙනදා මෙන්ම ලගන්නා සුළුය. අන් කිසිදු කරුණකින් තොරව වුවද තාරා විශිෂ්ට ලිවීමක් ලෙස දැණෙන්නේ එබැවිනි.

තාරා අවදි කරන්නේ මාගේ කාන්සාමය මතකයන්ය යන්න ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. පැරණි ප්‍රේමයන් සම්බන්ධ එම මතකයන් බොහොමයක් අමතකවන්නට ඉඩ දී ඇත. එහෙත් මීදුමත්, කඳු වැටිත්, තේ වතුත්, සීතලත් කැටිවුණ මතකයන් කිසිදා අමතක වන්නට ඉඩක් නැත. එම තෙත් මතකයන්ගෙන් තොරව වුවද අතීත සුන්දර සිහිනයක් සැබෑ ජීවිතය තුල විඳින්නට අකමැති අයෙක් වේද?

තාරා පැහැරගන්නේ ඔබේ ඒ ආශාවයි.

ප්‍රියංගා යනු එම සිහිනය සැබෑව තුලද සිහිනයක් පමණක්ව විඳින්නට භාණුක බැඳ දමන්නියයි. ඇය භාණුකගේ බිරිඳව නොසිටියානම් මෙහි කියන්නට කතාවක් නැත. මන්ද ප්‍රියංගා නොවන්නට තාරා හා භාණුක දරුවන්ද පිරිවරා ගෙවන ඒකමිතික ජීවිතයක් අරඹන්නට ඉඩ ඇති බැවිනි. එහෙත් ප්‍රියංගා භාණුක ලිහා දැමිය යුතු වපරිසය දනී. මෙම තුන්කොන් ප්‍රේමය තුල ඇගේ චරිතය මා හට අභව්‍ය බව දැනෙන්නේ එහෙයිනි. නොඑසේ නම් ඇය තාරාටත් ඉදිරියෙන් රැඩිකල්ය. අවබෝධශීලීය. එවන් ගැහැණුන් සැබෑ ලොවේ සිටීදැයි මම නොදනිමි.

ගොඩගත් තාරා මා තෙහෙට්ටු කරවන්නීය. ඇය මාගේ මනසේ රූපගත කිරීම මට අපහසුය. මන්ද විජේමාන්නයන්ගේ තාරාට සම කර හැකි රුවක් මා අතීතයේද වර්තමානයේද දැක නැත. එය සිතින් මවාගන්නටද මා අපොහොසත්ය. නැතිනම් මා උවමනාවට වඩා ක්ෂුද්‍ර ලක්ෂණ ගැන උනන්දු වනවා වන්නට පුළුවන.

කෙසේ වුවද මට තාරා දෙව් දුවක් ලෙසම සිටින්නට අවශ්‍යය.

මට ඈ නැවත වලදමන්නට උවමනාය.

Saturday, 20 September 2014

සොරොව්වෙන් එළියට කෝච්චියකින්

ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ සොරොව්ව පොතේ මුල් පිටු කීපය කියවද්දිම ඒක එක දිගට කියවගෙන යන්න පුළුවන් පොතක් බව මට තේරුණා. සුසන්ත කියන පාසල් ගුරුවරයගෙ සංකීර්ණ මනෝභාවයන් පිළිබඳ කතාවක් වුණත් ගුණසිරි මහතාගේ සරළ ලේඛණ විලාසය හින්දා ඔළුවට බරක් නැතිව කියවන ගමන් ආයෙ ආයෙමත් සුසන්තගේ ජීවිතේ මට දක්වන සමානකම් ගැන හිතන්න මට පුළුවන් වුණා. ඒක ඇත්තටම එක විධියකට මාවම නැවත කියවීමක් වගේ. සුසන්ත කියන්නෙ මම නෙවෙයි. නමුත් සුසන්තට සමාජය ගැන තියෙන ඇතැම් කියවීම්වලට සෑහෙන්න සමාන කියවීම් මටත් තියෙන බව මට තේරුණා. මම ටික වෙලාවක් සුසන්තවයි මාවයි ගලපන්න උත්සාහ ගත්ත. තම තමංගෙම ලෝක හදාගෙන බාහිර ලෝකයත් එක්ක සීමිත සම්බන්ධකම් විතරක් තියාගත්තු දෙන්නෙක්... ඒත් ටිකකින් මට වැටහුනේ සුසන්තගේ චරිතය වෙන ඕනම කෙනෙකුගේ චරිතය වෙන්න පුළුවන් කියල. පිටත සමාජෙ ගැන තියෙන අදහස් සුසන්ත හෝ මම දරනව වගේම වෙන ඕනම කෙනෙක් තමංගෙ ජීවිත කාලෙ කොයි මොහොතක හෝ දරල ඇති කියල මට හිතුණ.

රස්සාව කරන තැන වෙනස්වෙල සති කීපයක්ම ගතවෙලා තිබුණට තවමත් මට ඒ වෙනසට හුරුවෙන්න අමාරුයි. රස්සාවල් කරපු අවුරුදු දහයකට වැඩි කාලෙ පුරාම ගෙදර ඉඳන් රැකියා ස්ථානයට යන්න පැයකට වඩා කාලයක් ගත කරන්න වුණේ අළුත් සේවා ස්ථානයට ස්ථාන මාරුව ලැබීමත් එක්ක. කලින් වැඩ කරපු තැන් කීපයටම ගෙදර ඉඳන් විනාඩි දහයක් පහලොවක් විතර ගතකරල පයින් යන්න පුළුවන්. ඒ නිසා පාන්දර හයට නැගිටල හතට වාද්දුවෙන් කෝච්චියෙ නැගල අටට කොල්ලුපිටියෙන් බැහැල අටයි කාල වෙන්න කලින් ඇඟිලි සලකුණු මැෂින් එකේ ඇඟිල්ල තියාගන්න එක තවමත් අමාරු වැඩක්. එහෙම කරගත්තු දවස්වලදි හවස හතරට ඕෆ් වෙලා කොච්චියකින් ගෙදර යද්දි හවස හය වෙනවා. ගෙදර ගියාම තියෙන තෙහෙට්ටුව සිගරට්ටුවකිනුයි අම්මගෙ කිරි තේ එකෙනුයි නැති කරගන්න ගන්න උත්සාහය තවම ඒ හැටි සාර්ථක නෑ.

‘කෝච්චියෙ ඔයාට තවම යාළුවො ටිකක් නැද්ද පුතේ?‘

මම තේ එක තොලගාන අතරෙ අම්ම ඇවිත් ඉදගන්නව.

‘නෑ...‘

මම කියනව.

‘තවම අළුත්නේ. ටික දවසක් යද්දි කට්ටියක් හම්බවෙයි‘

‘හපෝ නැති එක හොඳයි. නැත්තං කච කචේ කච කචේ ඉවරයක් නැහැ. ඊට වඩා හොඳයි කල්පනාවක් දාගෙන යන එක‘

‘එහෙම තමයි පුතේ... ඒ මිනිස්සු දවසකට පැය දෙක තුනක් එකටම ඉන්න මිනිස්සුනේ...කියවන්න දේවල් ඇති ඕන තරං‘

‘ඒ වුණාට සමහර වෙලාවට වදයක්නේ. කියවන්නෙත් මෙලෝ වැඩක් නැති වල්පල්.‘

අම්මා නිහඬ වෙනවා. ඈ මුලදිම තර්ක කරන එක ඉවත දානවා. හරියට තර්කයේ නිශ්ඵලත්වය ඈ අත්දැකීමෙන් වටහාගෙන තියෙනව වගේ.

සංවාදය වෙනුවෙන් ඇගේ තර්කය පිළි නොගත්තත් අම්මා නිවැරදි බව මම කතාව පටංගද්දිම දන්නවා. උදේ හවස කෝච්චියේ යන මිනිස්සු එකම පන්තියක මිනිස්සු ටිකක්. බාගෙට බාගයක් රජයේ සේවකයො සහ පෞද්ගලික සේවකයින්. කෝච්චියෙ ගමන්කරන අයගෙ කියුම් කෙරුම් ගැන ඕන තරම් කියවල තිබුණත් ඒක සැබෑ අත්දැකීමක් වෙන එක දිරවගන්න ටිකක් අමාරු වුණා මට. මුලදි දිගින් දිගටම දුර ගමන් දුම්රියවල තෙරපෙමින් තැම්බෙමින් ගිය මට කාර්යාල දුම්රියවලට මගේ කාල සටහන හුරු කරගන්න ටික දවසක් ගියා. ඒත් ඒ කෝච්චිවල යන මිනිස්සුත් එක්ක මුලදි ඒක ඒ තරම් ලේසි වුණේ නැහැ. එදිනෙදා සාමාන්‍ය වල්පල් එක්ක ටීවී එකේ මෙගා මලවිකාරත් ආයෙ ආයෙමත් රිපීට් වුණා. එක එකාව, විශේෂයෙන් ගෑණු අයව බයිට් වුණා. වතාවක් පානදුරෙන් නැගපු දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑණු කෙනෙක්ට පිරිමියෙක් නැගිටල සීට් එක දුන්නෙ ‘මේකි සීට් එක ගන්න ඕන නිසාම කොට්ටයක් බැඳන් එනවද කොහෙද?‘ කියලයි. කොල්ලුපිටිය දක්වාම ඔවුන් අතරෙ සිද්ධ වුන සුහද කතාවත් එක්ක මට තේරුණෙ ඔවුන් බොහොම සමීප මිතුරු කණ්ඩායමක් බවයි.

කෝච්චියෙ ඉන්න තනි තනි කණ්ඩායම් අතරෙ තියෙන සුහදකම ඒ අය අතරෙ වෙනම පුංචි ලෝක නිර්මාණය කරල තිබුණ. ඒත් තනිකම හැමදේටම වඩා වින්දනීය වුණ මට ඒක කරච්චලයක් වුණා. මම කල්පනා කළේ බ්ලොග් එකට ඒ ගැන කවියකුත් ලියන්න.

කාර්යාල කෝච්චියේ
එකම පන්තියක යන අපෙන්
කොටසක් සීට් වල ඉඳගෙන
කාපට් පාරවල් ගැන
කුඩු කන්ටේනර් ගැන
උස්සපු ළමයි ගැන
ස්ත්‍රී දූෂණ ගැන
සුදු නංගිලෙග ටෙලි ගැන
බුජුම්පියෝ ගැන
තළු මරන අතරෙ
සීට්වල ඉඳගන්න වරම් නැති
අපෙන් තවත් කොටසක්
සීට් අතරෙ හිටගෙන
බකං නිලාගෙන
කෝච්චියෙන් බහිනකොට
කැනිබලෙක්ට උවමනානම්
ගම්මිරිස් ඉහාගෙන
කන්න හැකි තරමට තැම්බීගෙන

සුසන්ත ටිකෙන් ටික සාමාන්‍ය මනුස්සයෙක් වෙනවා. ඒ කියන්නෙ එක විධියකට කපටියෙක්. සාමාන්‍යයෙන් නම් එක මිනිහෙක්වත් තමන් කපටියෙක් බව විශ්වාස කරන්නෙ නැහැ. නමුත් ජීවත්වීමට අපි කරන අරගලයම කපටි සහගතයි. සොරොව්ව පොතේ මහ ලොකු පිටු ගණනක් ඒ ගැන වෙන් නොවුණත් ජීවිතේට අපට තියෙන එකම විකල්පය විධියට ඉදිරිපත් වෙන්නෙ ඒක.

මගේ කල්පනා ලෝකය බිඳුණෙ නහය කඩාගෙන ගිය පල් ගඳකින්. කොහොමත් මුහුදුබඩ මාර්ගයේ ඔහොම පල් ගඳ එන තැන් කීපයක්ම කෝචිචිය පහු කරවනවා. අදාල නගරයේ සේරම කසල වතුර මූදට වැටෙන තැන් තමයි ඒ. කොයි තරම් ගැඹුරු කල්පනාවකින් වුණත් කෙනෙක්ව මුදවන්න ඒක සමත්.

කෝච්චියෙ මිතුරන් හමුවුණාද කියන එක ගැන අම්මා ආයෙ වතාවක් ඇහුවා දවසක්. ඒත් මට දෙන්න තිබුණෙ එකම උත්තරේ. මම දන්න කවුරුවත් කෝච්චියෙ නෑ. ඒ වෙද්දි හැමදාම හමු නොවුණට එදිනෙදා කෝච්චියෙ යන, එකම තැන්වලින් නගින බහින කීප දෙනෙක් මට නිච්චි වෙලා තිබුණත් ඒ අය එක්ක කතා කරන්න මට උවමනා වෙලා තිබුණෙ නෑ.

‘මිනිස්සුන්ව අඳුණගන්න එක වටිනවනෙ පුතේ‘

අම්ම කියන්නෙ එහෙම.

‘මිනිස්සු තමංගෙ වැඩේ හරියට කරනවනං පුද්ගලිකව දැන ගත්තෙ නැතිවට කමක් නෑ අම්මා. තමන්ගෙ වැඩේ හරියට නොකරන නිසා තමයි පෞද්ගලික දැන හැඳුනුම්කම් ඕන වෙන්නෙ‘

එතකොට මම කියන්නෙ එහෙම.

‘ඒ වුණාට ඔයා කට්ටිය එක්ක කතා කරල අඳුනගනියි පස්සෙ‘

අම්ම හදන්නෙ එහෙම කියල තමන් සැනසෙන්නද එහෙම නැත්තං ආදරණීය විධානයක් දෙන්නද කියන කතාව දන්නෙ අම්ම විතරයි.

ඒත් මට කිසිම උවමනාවක් නෑ මිනිහෙක් එක්ක බලෙන් කතා කරන්න. අවශ්‍යතාවයකට කතාකරන එක හෝ මිනිහෙක්ට උදව් අවශ්‍ය වෙලේක දැන හැඳුණුම් නොතකා උදව් කරන එක වෙනම කතාවක්. කොහොමත් රාජකාරියෙදි හෝ පෞද්ගලික ජීවිතේදිවත් දැන හැඳුනුම්කම්වලට වඩා අවශ්‍යතාවයට මුල් තැන දෙන එකයි මගේ පුරුද්ද. ඒ වගේම උදව්වක් උවමනා වෙලේක ඒ උදව්ව ඇත්තටම ඒ මිනිහට උවමනාද කියන කාරණාව ගැන මගේ විනිශ්චය මත ඒ මිනිහට උදව් කරන එක හෝ උදව් නොකරන එකට වෙන කිසිම සාධකයක් අදාල නෑ. ඒ නිසා මිනිහෙක් මාත් එක්ක එකම වෙලාවට වැඩට යනවා කියන කාරණය මත විශේෂයෙන් ඒ මිනිහව අඳුණගන්න මට උවමනා වුණේම නෑ.

නමුත් අම්මා ඒ වෙලාවෙදිත් හරි කියල මම දැනගෙන හිටිය. මේ වෙනකොට ජීවිතේ කියන්නෙ එහෙම එකක්. දැන හැඳීනීම් මත ඕනම දෙයක් ‘කරගන්න‘ පුළුවන්.

ගුණසිරි මහත්මයගෙ කලින් පොත්වලින් දෙකයි මම කියවල තියෙන්නෙ. හැබැයි මේ පොතේ රටාව කලින් පොත් ලියවිල තිබුණු සාර්ථක සහ කතාව පුරාම වගේ සංවිධානය වුණ විඥානධාරා ආකෘතියට ඒ තරමටම ගැලපෙන්නෙ නෑ කියල මට හිතුණ. චරිතයක් විධියට ගොඩනැගෙන්නෙ සුසන්ත විතරයි. ඒ අතින්නම් ඔහු බොහොම ගැඹුරකට ගිහිං තියෙනව. ඒත් සමහර වෙලාවලදි ටිකක් කෘතිම බවක් දැණෙන්න ගන්නව. ඒ එක්කම ඔහුගේ කතා ශෛලිය ගැන තියෙන පූර්ව දැනීම හින්දම කතාවෙ අවසානය ගැන මට දෙවෙනි පරිච්ඡේදය වෙනකොට ඉඟි ලැබුණා. ඔහුගේ අනිත් කතාවලත් චරිතවල හැසිරීම මම දැනගෙන හිටපු නිසා ඒ ඉඟි නිකංම ඉඟි නොවෙන බවට තිබුණ මගේ සැකය අවසානෙ නිරවුල් වුණා. කොහොම වුණත් ගුණසිරි මහත්තයගෙ මම කියවපු අනිත් පොත් වගේ සොරොව්ව පොත ප්‍රමාණවත් කාලයක් සැලසුම් කරල නෑ වගේ ගතියක් මට තේරුණේ. සුසන්තගේ චරිතය ගැන ඇතිවෙන බැඳීමට අමතරව පොත කියවන්න වාසියක් වෙන්නෙ ගුණසිරි මහතාගේ පහසු වාග් ශෛලිය විතරයි.

කාර්යාල කෝච්චියෙ යන මිනිස්සු ගැන මගේ ආකල්ප වෙනස් වෙමින් තියෙනවා. එහෙම වෙනස් වෙන්න කලින්ම අර වගේ කවියක් බ්ලොග් එකේ නොලියන්න මම තීරණය කළේ හැමෝටම අවස්ථාවක් අවශ්‍යයි කියන අදහස මට තියෙන නිසා. පුද්ගලික හෝ සංකල්පීය වෙනස්කම් මත මිනිස්සුන්ව කපල දාන එක මම නතර කරල නොසෑහෙන්න කාලයක් ගිහින්. හොරු, තක්කඩි වගේම ආගමික, ජෝතිෂ්‍යමය හැම මිනිහෙක් සම්බන්ධයෙන්ම අවසාන තීරණය මරණය විතරක්ය කියන එක තේරුම් අරගෙනත් සෑහෙන්න කාලෙකට පස්සෙයි එහෙම වුණේ. මිනිස්සුන්ව අයින් කරන එක ලස්සන චිත්‍රයක් හෝදල නිකංම නිකං කැන්වස්එක මතුකරගන්නව වගේ වැඩක්. ගහකොල කඳු වැටි කපල නිම්නවලට පුරවල ලෝකය පැතලි කරනව වගේ වැඩක්.

මේ වෙනසට බලපාපු තවත් එක සිදුවීමක් වුණේ දවසක් උදේ කෝචිචියෙ මිතුරු කණ්ඩායමක් සින්දු කියන්න ගත්තු එක. හැරෙන්නවත් බැරිවෙන්න තෙරපිල හිටපු මට ඒ කවුද කියලවත් දැනගන්න විධියක් තිබුණෙ නෑ. ඒක වුණේ කෝච්චි පෙට්ටියෙ අනිත් කෙලවරේ. මුලින්ම ඇහුනෙ ටී.එම්. ජයරත්නගෙ සින්දු ටිකක්. ලේසියෙන්ම පස් වෙනි වටය දක්වා යන්න පුළුවන් හඬවල් ටිකක් එතන තිබුණා. රත්මලාන පහුවෙද්දි ටී.එම්.ගෙන් ජෝතිට මාරු වුණේ තවත් සුන්දරම සින්දු පෝලිමක් එක්ක. මේ මිනිස්සු උදේ පහටවත් නැගිටිනව ඇති. හවසට ගෙදර යද්දි හය හතවත් වෙනව ඇති. අවදියෙන් ගෙදර ගත කරන පැය කීපයට අමතරව වින්දනයකට ඉඩක් තියෙන්නෙ කෝච්චියෙ මිතුරු හමුවෙ වෙන්නත් ඇති.

මම මේ ගැන හාමිනේට කිව්වම උන්දැ ඇහුවෙ ‘ඇයි ඉතිං ඔයා එතනට ගියෙ නැත්තෙ?‘ කියලයි. එහෙම අහනකල් මට ඒක කල්පනා වුණේ නෑ. යන්න විධියක් නොතිබුණත් උවමනාවක් තිබුණ නම් සෙනග මැදින් ගිහින් එතනට එකතුවෙන්න පුළුවන්කම තිබුණ නේද කියල මට හිතුණා. ඒත් උවමනාව විතරක් මදි. නොදන්න මිනිස්සු ටිකක් අතරට එකපාර එකතු වෙන්න ආත්ම විශ්වාසයත් ඕන.

සුසන්ත තියන්නෙ අතිශය ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙක්. නමුත් ඔහු ඒ ආත්ම ශක්තිය භාවිතා කරන්නෙ නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයක් ඔහුට නෑ. එදිනෙදා ජීවිතේදි ආත්ම ශක්තිය මත මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයන් දිනාගනිද්දි සුසන්තට දිනාගන්න තරම් අවශ්‍යතා නෑ. සුසන්ත තමන්ගෙ ඉස්කෝලෙදි බංකු තුනක් එකතු කරල හදාගත්තු ඇඳක නිදාගන්න එක ගැන දුක් වෙන්නෙ නෑ. ඒක ඔහු ජීවත් වෙන විධිය. නමුත් පොත දිගහැරෙන්නෙ ඔහු තමන්ගෙ ආත්ම ශක්තිය භාවිතා කරල මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගන්න අවස්ථාවල් එක්ක.

ඒ බව කියවද්දි මට මතක් වෙන්නෙ මගේ ජීවිතේ නුගේගොඩ නගරය වටේ ගැවසුන කාලය. එක පැත්තකින් බැඳුම් ලණු ලිහිල ගැලවිල තිබුණ පන් පැදුරුකුයි පෙරවන්න රෙද්දකුයි විතරක් එක්ක තට්ටු හතරක බිල්ඩිමක උඩම තට්ටුවෙ තුන් පැත්තකින් විවෘත ආලින්දයක මම නිදාගත්තු රාත්‍රීන් ගැන කිසිම දුකක් හෝ කණගාටුවක් මට නැහැ. ඒක ඒ කාලෙදි දැණුන ස්වභාවික ජීවිතයේ රසය විඳීමක් විතරක් වුණා. එහෙම නිදාගත්තු සමහර රාත්‍රීන්වල වහිනකොට ඒක දැණෙන්නෙ කකුල්වලට හිරිකඩ වැටෙද්දි. එතකොට බිත්තිය අයිනටම ගිහින් ගුළි වෙනවා. ඒව ජීවිත කාලෙම මතක තියෙන සුන්දර මතක. ජීවිතේ ඉදිරි කාලය ශක්තිමත් කරන්න පදනම් වුණ අත්දැකීම්.

කෝච්චියෙ ඒකමිතික ශබ්ද රටාව හිටිගමන් වෙනස්වෙන්නෙ පාලමක් උඩින් යද්දි. ආපහු ටිකකින් සුපුරුදු ශබ්දයම. ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ පොත් ලිවීමත් ඒ වගේ ඒකමිතිකයිද කියල මට හිතුණ. කියවපු පොත් තුනේම අඩු වැඩි වශයෙන් තියෙන ආකෘතිය ඔහු ලේඛණයට භාවිතා කරන සූත්‍රයක්ද කියල මට හිතෙනව. ඔහු චරිත කීපයක් සහ කතාවක් සහිත සැකිල්ලක් හදාගන්නව. කතාවේ ආරම්භය, ගලා යෑම සහ අවසානය සැකිලිගත කරනව. කතාව හැමවේලේම උත්තම පුරුෂයෙන් ලියවෙන හින්දා ඒ චරිතය වඩාත් ගැඹුරට සැලසුම් කරනව. අවශේෂ චරිත කීපයක් භාවිතා කරල ඔහුගෙ අවසානෙට ඍජුවම යන්න අපහසු විධියට කතාව විකෘති කරනව. චරිත තෝරගනිද්දි ඒ ඒ චරිත අතර සම්බන්ධයක් තිබීම හෝ නොතිබීම මත කතාවේ සිදුවීම් ගොඩනැගෙනව. ඉතින් අපි කියවන්නෙ විකෘති වුණ සාමාන්‍ය සරළ කතාවක්. කතාව තුල සිදුවීම් එකින් එකට මුහුණ දෙමින් අපි කරන්නෙ අර විකෘතීන් ටික ලිහාගන්න එක. ඒක කියවමින් අවසානය දක්වා යද්දි අදාල සම්බන්ධතා වටහාගැනීමත් එක්ක අපි පොතේ විකෘතීන් විසඳගන්නව. අන්තිමේදි අපිට කතාව ඉවර කරගන්න අවශ්‍ය වෙන විධියටම කතාව අවසාන වෙනවා.

ඒ ගැන ආයෙම හිතද්දි කල්පනා වුණේ කවුරුත් කරන්නෙ ඒ දේම නේද කියලයි.

මම පොත වහල බෑග් එකේ දාගත්තෙ පින්වත්ත ස්ටේෂම පහුවුණ බව දැණුන හින්දයි. සොරොව්ව ආයෙම වතාවක් මම මොනවද කරන්නෙ කියන එක ගැන සීරියස් වෙන්න අවස්ථාවක් දීල තියෙනවා. ඒ එක්කම එහෙම සීරියස් වෙන්න ඕනද කියන ප්‍රශ්ණෙත් ආයෙම එනවා. ජීවිතේට නිරපේක්ෂ තීරණ අවශ්‍යයි. ප්‍රතිපත්ති සහ මූලධර්මත් අවශ්‍යයි. නමුත් ජීවත් වෙනවා කියන්නෙ ඔය දෙක තුනම සහ තව තව ඒව ගොඩක් එක එක විධියට පාවිච්චි කරන්න වෙන අලකලංචියක්. මම බෑග් එකත් කරේ එල්ලගෙන සීට් එකෙන් නැගිට්ටා. සෙනග පොදියක් දොර ගාව පොදි කනවා බැහැගන්න. ඒ එක්කම වාද්දුව නැවතුමේ යකඩ කට බෙරිහන් දෙනවා.

‘පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ගාල්ල බලා ධාවනය වේ. මෙම දුම්රිය ගාල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...‘


ආශ්‍රිත සටහන් -

පොත් 10 අභියෝගය සහ ඔත්තු

මා වඩාත් සසල කළේ මෙහි නිරූපිත මානුෂීය බැඳීම්

සොරොව්ව නැවත හදන්න!

Friday, 12 September 2014

පොත් 10 අභියෝගය සහ ඔත්තු

මේ දවස්වල සාමාන්‍යයෙන් හිට් කතාවල් සිද්ධවෙන්නෙ පොත් ගැනනේ. 2014 පොත් ප්‍රදර්ශනෙත් තියෙනවා. ඒ වගේම පහුගිය දවස්වල ෆේස්බුක් එකේ පටංගත්තු ප්‍රියතම පොත් ගැන චැලේන්ජ් එකත් ගති. ඒ චැලේන්ජ් එකේදි කට්ටිය කියවන්න ආස කරපු පොත් ගැන දකිද්දි මම කියවපු පොත් කීපයක් ගැනත් කියන්න හිතුණා. චැලෙන්ජ් එකට අදාලව නෙවෙයි. නමුත් අවශ්‍ය කෙනෙක්ට වැඩක් වෙයි කියල හිතෙන සටහනක් විධියට. මේක ෆේස්බුකියෙ නොදා මෙතන දාන්නෙ ඒකෙ ඉන්න මේක අදාල වෙන මගේ මිත්‍ර දහ පහලොස් දෙනාට වඩා වැඩිපුර කීප දෙනෙක්වත් මේක දකියි කියල හිතෙන නිසයි.

වැඩි කතා නොකර පටංගමු.


කොරල් දූපත - ආර්.ඇම්. බැලන්ටයින් / කේ.ජී. කරුණාතිලක

මේක තමයි මම වැඩිපුරම වාර ගණනක් කියවල තියෙන පොත. සම්පූර්ණ පරිවර්තනයක් නෙවෙයි. හැබැයි සංක්ෂිප්ත එකක් වුණත් සෑහෙන්න රසවත්. පැසිෆික් සාගරයේ දූපතක අතරමං වෙන ස්කොට්ලන්ත ජාතික යොවුන් වියේ තරුණයො තුන් දෙනෙක් වටා ලියවුණ කතාවක්. ඔවුන් අතරෙ මිතුරුකම ලියලන විධිය, දූපතේ ජීවිතය හුරුකරගන්න විධිය වගේම මිණී කන ගෝත්‍රිකයන් සහ මුහුදු කොල්ලකාරයන් පිරුණු කතාව මුල ඉදන් අගටම මගේ හිතේ ලස්සන චිත්‍ර ගොඩක් ඇන්දා. මේක මුලින්ම කියවද්දි මම සෑහෙන්න පොඩියි. ඒ නිසාම මේකෙ කියවුන ඇතැම් දාර්ශණික දේවල් තේරුණේ නැහැ. නමුත් පොත හමගැහෙන තරමටම නැවත නැවත කියවද්දි මුලින් නොතේරුණ බොහොම දේවල් තේරුණා වගේම ඒ හැම වෙලේකම පොත මට අළුත් වුණා.


පාළු දූපත - එච්.ජී. ජයසුමන

මේකත් අර මුල් පොත වගේම පොතක්. හයේ පන්තියෙදි විතර කියවපු එකක්. අනුරාධපුරේ සහ පොල්ගහවෙල කොල්ලො දෙන්නෙක් පුත්තලම පැත්තෙ දූපතක කරවල වාඩියක අතරමං වෙලා ගෙවන ජීවිතේ ගැන තමයි කතාවෙ තියෙන්නෙ. මේක වඩාත්ම හිතට වැදුනෙ ‘නන්දන‘ කියන වැඩිමහල් තරුණයා ‘නිමල්‘ කියන බාල තරුණයට විවිධ කරුණු ගැන විද්‍යාත්මකව කියා දෙන විධියයි. හෙන ඇඩ්වාන්ස්, සීරියස් දේවල් නොවුණත් ඒ දේවල් ඒ වයසෙදි පට්ට කියල මට හිතුණා.


පෙරළූ නැවුම් පස - මීහයිල් ෂෝලහොව් / සිරිල් සී. පෙරේරා

මේ පොත ගැන කලිනුත් කියල තියෙනවා කියල මතකයි. නමුත් මෙතනදිත් කියන්න ඕන පොතක්. මොකද කට්ටිය දාල තිබුණ ලැයිස්තුවල මේක දැක්කෙම නෑ. මේක වෙළුම් දෙකකින් තියෙන පොතක්. රුසියානු විප්ලවයෙන් පස්සෙ සමාජවාදී රජයක් යටතේ රුසියාවෙ ගමක් ගොඩනැගෙන විධිය ගැන කතාවක්. චරිත ගොඩනැංවීම සහ උපහාසය ව්‍යංගයෙන් මතු කරන එක සම්බන්ධයෙන්නං මේක සුපිරියි කියල කියන්න පුළුවන්. නම ගිය ලොකු රුසියානු පොත් ගොඩකට වඩා මේක මට හිතට වැදුණා. ඒ හින්දම මම ෂෝලහොව්ට නොබෙල් තෑග්ග ලැබුණ ‘දොන් නදිය නිසලව ගලා බසී‘ පොතේ සිංහල පරිවර්තනේ වෙළුම් දෙකකුත් ගත්තා (සම්පූර්ණ පොත වෙළුම් 4) ඒත් මුල් පොතේ පරිච්ඡේද දෙක තුනකට පස්සෙ කියවන එ්ක එපා වුණා. පරිවර්තකයා අනුව පරිවර්තනයක් කොයි තරම් වෙනස් වෙන්න පුළුවන්ද කියන එක මේ නිසා හොඳට තේරුම්ගන්න මට පුළුවන් වුණා. පෙරළූ නැවුම් පස ගැන ගැන වේජනාත් මෙතන කියල තියෙනවා. තව විස්තර මෙතනත් තියෙනවා.


සෝර්බා නම් ග්‍රීකයා - නිකොස් කසන්ට්සාකිස් / සද්ධාතිස්ස වඩිගමංගාව

මේක නිදහසේ ජීවත් වෙන, සිංහලෙන් කිව්වොත් ‘හිතේ දුකක් නැති මිනිහෙක්‘ ගැන කතාවක්. දෙතුන් වතාවක් කියවපු, චිත්‍රපටියත් හොයාගෙන බලපු එකක්. මෙතනදිම කලිනුත් කතා කරල තියෙනවා. මෙතනත් තව විස්තර තියෙනවා.


තුඹස සහ මෙරු / සින්නදොරෙයිගේ පුංචි ලෝකය - ගුණසිරි ජයවර්ධන

ගුණසිරි ජයවර්ධන කියන්නෙ ලංකාවෙ ඇතුලෙ වුණත් වැඩි දෙනෙක් නොදන්න ලේඛකයෙක් වුණාට ඔහු මම කැමති ලංකාවේ ලේඛකයො අතරෙ ඉන්නෙ ඉහළම තැනක. ඔහුගෙ ලේඛණ රීතිය යථාර්ථවාදී රීතියක්. හැබැයි ඔය ඉන්ද්‍රජාලික ගාර්සියා මාකේස්, මිලාන් කුන්දේරා වගේ ලේඛකයො ලියන අහඹු පොලාපැනීම් ශෛලියෙන් ඔහු සෑහෙන්න ආභාශයක් අරන් තියෙන බව නම් පැහැදිලියි. ඒකට කියන්නෙ ‘විඥාන ධාරා සන්ධර්භය‘ කියලලු. ඒ ඒ චරිතවල කල්පනා ලෝකවල අතීතයෙ සහ වර්තමානයෙ සිද්ධි මතින් අපිව අපිටත් නොදැනි අරන් යන අතරෙ ඔහු කතාව ගොතන්නෙ අපේ ඔළුව ඇතුලෙත් සෑහෙන්න වැඩක් කරගන්න ඉඩ සලසන ගමන්.

තුඹස සහ මෙරු කතාව ගෙතෙන්නෙ මධ්‍යම ප්‍රාන්තික පවුලක් සහ ඔවුන්ගේ මිතුරෙක් ඇතුලු වටපිටාවෙ සිදුවීම් වටායි. දරුවෙක් නොමැති වීම නිසා මේ පවුල ඇතුලෙ යාන්තම් ගිණි පුපුරු දැල්වෙමින් තියෙද්දි බොහොම අහඹු නමුත් එකට එක පෑහෙන සිදුවීම් ගණනාවක් එක්ක ඔවුන් නැවතත් සතුට හොයාගන්න විධිය තමයි කතාවෙ සාරාංශය වෙන්නෙ. වෙන කෙනෙක් ලිව්වනං මේක අතිශය සරල කතාවක් වෙන්න පුළුවන්. නමුත් ගුණසිරි මහත්තයගෙ ලේඛණ ශෛලිය නිසා කතාව ගලපගන්න උත්සහ කිරීමත් එක්ක අපිට ලැබෙන අත්දැකීම වෙන සිංහල ලේඛකයෙක්ගෙන් නොලැබෙන තරම්.

සින්නදොරෙයිගේ පුංචි ලෝකය ගැන මලී කතා කරල තියෙනවා. සිළුමිණේ ලිපිය තාක්ෂණිකව වඩාත් විස්තරාත්මකයි. ගුණසිරි ජයවර්ධන මහත්මයා කතාව ලිවීමට වඩා කතාවක් ගෙතීම කියන කාරණය කොයි තරම් සීරියස් විධියට අරන් තියෙනවද කියල හොඳටම පැහැදිලි වෙන පොතක් මේක. ‘තුඹස සහ මෙරු‘ පොතටත් වඩා මේකෙ ඒ ගතිය තියෙනවා. අහම්බෙන් ත්‍රිකුණාමලේට යන දකුණෙ තරුණයෙක් එහෙදි දෙමළ පවුලක් සමග ජීවත්වෙන හැටි සහ ඔහු නැවත ගමට පැමිණෙන අතරෙ ඔහුට හිතෙන සිතිවිලි අතරෙ තමයි මුළු කතාවම දිවෙන්නෙ. අවසානයේදි ආයෙමත් අහඹු සිදුවීම් පෙලක් ගලපලා අපේ හිතේ බලාපොරොත්තු ඇති කරවමින් ඔහු කතාව අවසන් කරනවා.


පොඩි ඇඩ් එකක් - ගුණසිරි ජයවර්ධන මහතා 2013 අවරුද්දෙදි ලියපු ‘සොරොව්ව‘ පොත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණේ Fast Publishing ආයතනයෙන් මිලට ගන්න පුළුවන්. කියවීම එක්ක ඔළුවෙ registers වෙනස් කරගන්න කැමති ඕනම කෙනෙක්ට පොත අල්ලල යයි. මේ පොත ගැන මෙතන තියෙන විචාරය කියවන්න කලින් පොත කියවන්න.


අද්භූත විශ්වය / විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා - හර්ෂ පෙරේරා

මේ පොත් දෙකම මම ගොඩක් පොඩි කාලෙ කියවපු සහ නැවත නැවතත් කියවපු, ලංකාවෙ ලේඛකයෙක් ලියපු විද්‍යා ප්‍රබන්ධ ගනයේ පොත්. මේව මිලට ගන්න තියෙනවද කියලනම් කියන්න දන්නෙ නෑ. මොකද මම අවුරුදු ගාණකින් මේ පොත් දෙකම කඩවල තියෙනව දැකල නෑ. ඒත් මේ වර්ගයේ පොත්වලට කැමති කෙනෙක් දැක්කොත් ගත්තට පාඩු නෑ.


සුදු වැද්දා නොලියූ කතා - ආර්.එල්. ස්පිටල් / ජයවීර විජයපාල

මේක ආර්.එල්. ස්පිටල් මහතා ලියපු පොතක් නෙවෙයි. නමුත් ඔහුගේ සටහන් හෝ අත්දැකීම් ආශ්‍රයෙන් ජයවීර විජයපාල මහතා ලියපු එකක්. පොතේ මුල් පරිච්ඡේදයෙ තියෙනවා ඔහු ස්පිටල් මහතා හමුවන අවස්ථාවක් ගැනත්. මේ පොත කෙටි කතා පොතක්. ස්පිටල් මහතාගේ අත්දැකීම් ආශ්‍රයෙන් විවිධ භාෂා ශෛලීන් අනුව ලියවුන පොඩි පොතක්. මට හොදටම හිතට ඇල්ලුවෙ කැලේක මැද ඉන්න වෙද හාමුදුරු කෙනෙක් හමුවෙන්න යන සුද්දෙක් සහ ඔහුගෙ සහායක වැද්දන් ගැන කතාවයි. කතාව වගේම කතාව මැදදි ඔවුන් කන කෑමත් මගෙ හිතට ඇල්ලුවා. පුළුස්සපු, දුම් ගහපු, වේලපු, මී පැණි වල දාපු මස් සහ අල වර්ග ගැන කියවද්දි හැම වෙලේම ඉවසගෙන ඉන්න අමාරු වුණා.


රොබින්සන් ක්රූසෝ - ඩැනියෙල් ඩැෆෝ / කේ.ජී. කරුණාතිලක

මේක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. නමුත් ජීවත් වෙන්න තනි මනුස්සයෙක් දරන උත්සාහය ගැන හිතන්න අවස්ථාව ලැබුණ පොතක්. පොතට අමතරව පරිවර්තන කාර්යය ගැන කේ.ජී. කරුණාතිලක මහතා ලියපු දීර්ඝ රචනයකුත් පොතේ ඇතුලත්. ඒකත් මරු.


ග්‍රහ ලෝකයක විනාශය - අලෙක්සාන්දර් කසාන්ට්සෙව් / දැදිගම වී. රුද්රිගු

මේකත් අපේ තාත්තගේ අනුභාවයෙන් ගොඩක් පුංචි කාලෙදිම මට කියවන්න ලැබුණ පොතක්. අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතරෙ තියෙන ග්‍රාහක වලල්ල බොහොම ඉස්සර කාලෙක ග්‍රහ ලෝකයක් විධියට පැවතීම සහ එහි විනාශය සිදුවීමත්, ඒ ග්‍රහලෝකයෙන් පෘථිවිය වෙත පැමිණෙන කණ්ඩායමක් මගින් පෘථිවිය ජනාවාස වීමත් තමයි පොතේ පදනම වෙන්නෙ. නමුත් ඒ අතරෙ කියවෙන යුද්ධයේ සංකීර්ණතාවයන් අපටත් අදාල වෙන විධිය උවමනා කෙනෙක්ට ඕන නම් හිතල බලන්න අවස්ථාව තියෙනවා. මේ ගැන පැතුම්ගෙ බිත්තියෙ ලොකු විස්තරයක් තියෙනවා.


වානරයා - වූ චෙං එන් / ඒ.පී. ගුණරත්න

ගනේගොඩයා නිර්දේශ කරපු පොත් අතරෙ එකක් මේක. විවිධ විධියට වර්ෂන් ගණනාවකින් මේ කතාව අපි පුංචි කාලෙ ඉඳන් අහල තියෙනවා. මුලින් ටිකක් සංකීර්ණයි කියල හිතුණත් කියවගෙන යද්දි, පොතේ රාටාව අහුවෙද්දි පොත පැත්තකින් තියන්න හිතෙන්නෙ නැතිවෙයි.


මීට අමතරව කියවපු හොඳම පොත් කීපයක් වැඩි විස්තර නැතිව පහතින් දානවා. මේ පොත්නම් ගන්න තියෙනවා දැනටත්. ඒ වගේම ගොඩ දෙනෙක් මේ පොත් කියවලත් තියෙනවා. ඒ නිසා විස්තර අවශ්‍ය නෑ.

සියක් වසක හුදකලාව - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස් / අ‍බේ දිසානායක, පසන් කොඩිකාර
සිද්ධාර්ථ - හර්මන් හෙස / දයාරත්න ගරුසිංහ
සුළඟ වගේ ඇවිදින් - දිනේෂ් කොළඹගේ (මේක මේ පාරත් බුක් ෆෙයා එකේ තිබුණා. එන්න එන්න පොත මහත් වෙනවා)
පිටස්තරයා - ඇල්බෙයා කැමූ / සෝමරත්න බාලසූරිය
ආතර් සී. ක්ලාක් ලියපු පොත් (සිංහල පරිවර්ථන සියල්ලම වගේ)
මඩොල් දූව - මාර්ටින් වික්‍රමසිංහ
සාර භූමි - පර්ල් එස්. බක් / ඌරාපොල හේමාලෝක, හේමපාල විජයවර්ධන
අහිංසාවේ උල්පත (ආචාර්ය ඊ.ඩබ්ලිව් අදිකාරම් ගේ ජීවිත කතාව) - දෙනගම සිරිවර්ධන
කල්කි - ගෝර් විදාල් / ගාමිණී වියන්ගොඩ
සොෆීගේ ලෝකය - යුස්ටයින් ගෝඩර් / රාණි සේනාරත්න රාජපක්ෂ