Saturday, 9 March 2013

ගිලිහුන ස්වර - නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ, අජිත් කුමාරසිරි


මේ කෙටි සටහන ලියවෙන්නෙ ගිලිහුන ස්වර වාර්තා වැඩසටහන බෙදාගන්න විතරමයි.

සංගීතය කියන නිමක් නැති අවකාශයේ තැන් තුනක ඉන්න තුන් දෙනෙක් ඒ ගැන කතා කරන දේවල් දැනගන්න!

නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ සහ අජිත් කුමාරසිරි මේ කතා කරන්නෙ සංගීතය ඔවුන්ට දැණෙන විධියට.

අධ්‍යක්ෂ සංජීව අනුර සෙනෙවිරත්න කියන විධියට මේ වාර්තා වැඩසටහන මාධ්‍ය වලින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා ඔන්ලයින් මාධ්‍යය හැර මේක බලන්න වෙන විධියක් නැති වෙයි ;-)



Saturday, 2 March 2013

අදත් පිස්සු ඕයි!!!


කලින් සටහන ගැන දිනුක මතු කරපු කරුණුවලට උත්තර දෙනකොට හිතුණේ ඒ ගැනත් වෙනම ලියන්න තරං දේවල් තියෙනව කියල. ‍ඒ නිසාම මේ සටහනට එන්නෙ මට පිස්සු ඕයි එකේ දිගුවක්. ඒ නිසා මේකත් පිස්සු කතාවක් කියල අමතක කරල දාන්න පුළුවන්!

මිනිස්සු අතර ‍තියෙන බේද නැති වෙලා ලෝකය ෆ්ලැට් වෙලා යන එකක් ගැන අපි බයිල ගැහැවට සමහර විට අවුරුදු දාස් ගාණකින්වත් මිනිස්සු එහෙම එක තැනකට එන එකක් නෑ. සමාජයක් විධියට පවතින්න, කාලයත් එක්ක ඉදිරියට යන්න උවමනා කරන ඩ්‍රයිව් එක සපයන ප්‍රධාන සාධකයක් තමයි ඔය බෙදීම්. මොකද බෙදීම් නිසා සමාජය ඇක්ටිව් වෙලා තියෙනවා. බෙදීම් නැතිනං නිකං පරිප්පු නැති හෝටලේ වගේ ජීවිතේ මෙලෝ රහක් නැති වෙන්න තිබුණා. අනික බෙදීම් නැති සමාජයක අපි ජීවත් වෙලාම නැති නිසා එහෙම එකක් වුණාම කොහොම වෙයිද කියල හිතාගන්න බැරි තරම්.

මිනිස්සු තනි යායකට එනවා කියන්නෙ ඔය වෙනස්කම්වලට ගරු කරන්න හැඩගැහෙන එක. නැතුව ඒක සමාජවාදයක් නෙවෙයි මට හිතෙන හැටියට. සමාජවාදෙ ධනවාදෙට වඩා භයංකරයි ගොඩක් පැති වලින්. ඔය අන්ත දෙක අතරෙ මේ දැන් තියෙනවට වඩා හොඳ එකක් හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ. කැරකිලා කැරකිලා ඇවිත් ලෝකෙ ගොඩක් රටවල් තියෙන්නෙ මෙතන. හැබැයි ඒ සමහර රටවල බහුතරයකට හොඳ කොලිටි ජීවන තත්ත්වයක් ඇති කියල මට හිතෙනවා මිනිස්සු එක්ක කතා කරද්දි. මම කියන්නෙ වැඩ නොකර පඩි ගන්න එකක් නෙවෙයි. රටේ ආර්ථිකේ එක්ක හැමෝටම හොඳින් ඉන්න පුළුවන් විධියක්. ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් සමහර විට දැන් මේක කියවන එක නතර කරලා කියයි මූට ඇත්තටම පිස්සු තමයි කියලා.

අනිත් වෙනස්කම්වලට ගරු කරන්න බැරි හේතු ඕන තරම් ඇති. ගොඩක් දුරට වෙලා තියෙන එකක් තමයි අපි මෙහෙමයි කියල අනිත් අයට ඇනල කියන්න යන එක. ඔය මුස්ලිම් මිනිස්සු පල්ලියෙ යටිගිරියෙන් දවසට කීප වතාවක් බණ කියන එකයි පෝය දවස්වලට ගම දෙවනත් වෙන්න පන්සලේ බණ කියන එකයි දෙකම ඔය අතින් මහ මොංගල් දේවල්. තම තමන්ගෙ එක කරගෙන පාඩුවෙ හිටියනං හැමෝටම හොඳින් ඉන්න තිබුණා.

නමුත් අපි දන්නෙ නෑ අනාගතේ ගැන. අනාගතේ හොඳ වෙයි කියල හිතන්නත් බෑ. ඒ නිසා මේ ශිෂ්ඨ සමාජය ගැන කැක්කුමෙන්, බලාපොරොත්තුවෙන් ඉඳල ඇති වැඩේ මොකක්ද? අපි ඉන්නෙ පට්ට චාටර් සමාජෙක. ඒ නිසා හැමෝම වගේ අනාගතේ ගැන බලාපොරොත්තු අතෑරලා දාලා මේ තියෙන සිස්ටම් එකත් එක්ක එකතු වෙලා ඒකෙ මරිසින් අතරෙ නරුමයො වගේ ජීවත් වෙනවා. අනිකාට කෙල වුණත් අපි හොඳින් ඉන්න ඕන කියන න්‍යායෙ සවිඥ්ඥාණිකව ඉන්නවා. ඒ අතරෙ හෙන පොරතාවී බ්ලොග් පෝස්ට් ලියනවා ;-) අපි සේරම ඒ ගොඩේ ඉන්න නරුමයෝ. තවම වෙලා නැත්තං හෙට අනිද්දට හැමෝම නරුමයෙක් වෙන්න නියමිතයි.

හැබැයි පිස්සා එහෙම නෑ. ඌ උඩුගම් බලා පීනන්නෙක්. ඌට අඟලක්වත් උඩහට හෙල්ලෙන්න බැරි තරමට ග‍ඟේ පහලට ගලන ප්‍රවාහය සැර වැඩියි. ඒත් පිස්සා කාගෙන ඉන්නවා. මිනිහා අනාගතේ ගැන බලාපොරොත්තු අතෑරලා නෑ. ඒ නිසාම මිනිහට යාළුවො නැති තරං. ඉන්නෙ බොහොම ටිකක්. මිනිහගෙ පැවැත්ම අනිත් අයට දිරවන්නෙ නෑනෙ. ඔය අපි අහං හිටියට මිනිහගෙ කතා වෙන අය අහන්නෙ නෑ. ඒත් මිනිහ වැඩේ අතාරින්න සූදානම් නෑ.

මිනිහ පිස්සෙක් වෙන්නෙ ඒ නිසාමයි.