Showing posts with label sleeping. Show all posts
Showing posts with label sleeping. Show all posts

Friday, 6 April 2018

නිදි ලොවක සුරඟන


සුමුදුව පිරිමදිමි සෙමින්
දහදිය සුවඳ කෙස් රැළි අතර
නුඹ හිස ඇඟිලි තුඩින්

බලා හිඳිමි දෙස
වුවනේ වල ගොඩැලි
තවමත් සුමටව දැණෙන
කෙමෙන් නැගී එන රැළි
ජීවිතය ගෙවී යන බව
නොකියා කියන

දෙතොල් මත ඇඳී ඇති
මද සිනහව මා කෙරේ යැයි
සිත් දරමින් තුටු වෙමි
දෙතොල් මත තැබූ
හාදුවලට වඩා
දෙතොලේ රැළි ඇති බව දකිමි
එකිනෙක ගණින්නට ගොස්
අපොහොසත්ව විඩා වෙමි

කලක සිහින්ව හිඳ ඉඟි පෑ
නිකටත් කම්මුලත්
රවුම්ව වැඩී ඇති බව
නුහුරුවෙන් වුව පිළිගනිමි

දිවෙන් පිරිමැදි
අතීතයේද සිත් බැඳි
පුංචි රැවුල් ගස් කීපයක්
තවමත් එහි ඇති බව දකිමි

මට්ටම් සමමිතික දෙබැම යට
වැසී ඇති දෙනෙත් පිය තුල
දෑස් නලියනු දකිමි
නුඹ දකින සිහිනයේ
එක් පසෙක හෝ
මා සිටී යැයි තුටිමි

නුඹ මද සිනා නගනු බලමි
දකින සිහිනය සිතේ මවන්නට
නිරර්ථකව උත්සාහ දරමි
නුඹ දෙස බලා සැනසෙමි

දෙනෙත් දෙස බලා හිඳිමි
දෙනෙත් දෙස බලා හිඳිමි
නුඹ දෙනෙත් විවර කර
මා දෙස බලන තුරු

නුඹේ නින්දට බාධා නොකරමි
නින්ද හමාර කර යම් දිනෙක
නුඹ මදෙස බලන තුරු
නුඹ පසෙකින් වැතිර හිඳිමි


Thursday, 14 April 2011

කොහා වෙනුවට SMS


සුපුරුදු නිවාඩු දවසකදි වගේම අදත් ඇහුරුණේ පරක්කු වෙලා. ගෙර අනිත් උදවිය නම් ටීවී එක වටේ ඉඳගෙන අවුරුදු සමරනවා. ඒකෙ එකම ඇඩ් එක යනවා එපා වෙනකල්ම... ඇත්තටම ඇහැරුණෙත් ඒකෙ එපා කරපු සද්දෙට. නැත්තං තවත් ටිකක් වෙලා හීනයක් බලන්න තිබුණා...

ඒත් හීන බලන්නත් එක දිගට බැරි වුණා මේ ෆෝන් එක එක දිගට නාද වුණ නිසා. කොහොමත් කොහා වෙනුවට දැන් මේක ආදේශ වෙලා... නම්බර් නැති කට්ටියත් ඇස්ඇම්ඇස් එවලා... හැමදාම වෙනව වගේ එකම මැසේජ් එක වටේ කැරකෙනවා.... ඒත් සාහිත්‍යයෙන් කවීත්වයෙන් අනූන මැසේජ් කීපයක්ම තිබුණා.

මම මේ දාන්නෙ ඒ ආපු කීපයක්...

මටය කියල පතන්න විශේෂ අවුරුදු පැතුමක් නැති නිසා මේ ටික මෙහෙම දාන්නෙ අඩු තරමෙ බලන කෙනෙක්ටවත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් නිසා...

-----------------------

සිනා ගෙනෙන කිරි ඉතිරෙන සුබ අළුත් අවුරුද්දක් වේවා - සිනා කෙසේ වෙතත් කිරි නම් උතුරවනව නේ... අපට ඉතිං හිනාගියොත් උපහාසෙට, නැත්තං මේ වෙන මල විකාර වලට යන හිනාවක් තමයි!

ලැබූ සිංහල අවුරුද්ද සිතන පතන සියළු දේ ඉටුවන වාසනාවන්ත එකක් වේවා - අවුරුදු ගාණක් තිස්සෙ සිතන එකයි පතන එකයි කරනව වුණාට ඒ වෙනුවෙන් වැඩ නොකර පැතුව කියල විතරක් කොහෙ ඉටු වෙන්නද? අපට ඉතිං විශ්ව ශක්තියත් වැඩ නෑනේ...

එරබුදු කුසුමින්, රබන් සුරලෙන් , කොවුල් නදින්, පවසයි මෙලෙසින්... වේවා සාමය සතුට පිරි සුභම සුභ සිංහල අළුත් අවුරුද්දක් - සාහිත්‍ය නම් මරු. ඒ වුණාට මේ පාරත් කොවුල හිටියෙ ටීවී එකේ විතරයි, රබනුත් ගැහුවෙ ඒකෙ තමයි... එරබුදු ගසුත් කපල දාලනේ...

Sun cant cn 2 earth, bt sent its wish as rays, clouds cant cm 2 earth, bt send its wish as rain, i cant cn 2 u nw, bt sending my wish as SMS - අව්වට කර වෙලා වැස්සට නායයද්දි තමයි ඔය කියන විශ් එකේ ගතිය තියෙන්නේ...

Before sun moves to mesha from meena, Before you see the new year sun rises, I wish you Happy and prosperous new year - මේක ආවෙ අවුරුදු ඉර පායලත් ඉවර වුණාම.. උදේ 9ට විතර....

සිනා කැන් හද පුරා විහිදෙන, ජීවිතේ පැතුම් ඉටුවෙන, ලැබ තවත් දිරි යන්න පෙරටම, පතමි හැම යහපතම වෙන්නට - අනේ නියමයි... දතක් නරක් වෙලා නිසා ඔය හිනා කැන දාන එක තමයි කේස් එක...

-----------------------

මේ එවපුවයින් ටිකක් ගතියක් තියෙන කීපයක්... එකම වගේ ඒවත් අයින් කලා... කොහොමත් ලැබෙන එස්එම්එස් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙන එක හොඳයි. ඈත ඉන්න උන් නම් කමක් නෑ... මේ නිතර දෙවේලෙ හම්බ වෙන උනුත් ඒව එවද්දි තමයි දුක. මේව ගැන ඔය විවේචන දැම්මෙ අහිතකින් නෙවෙයි. ඒව එවන්නෙ ඇත්තටම ඒ මිනිස්සු මට තියෙන බැඳීම නිසා... මේ දැම්මෙ ඒව දැක්ක ගමන් මට හිතුන දේවල් තමයි... මගෙ වෙලාවට උන් එකෙක්වත් මේක බලන එකක් නෑ...

කොහොමත් මම නම් ඉන්නෙ පිස්සු හැදිල නිසා මම ඒ සේරටම සුභ උපන් දිනයක් කියල ගහල ඇරියා....

ඒත් මේ අපේ බ්ලොග් යාළුවෙක්ගෙ ඔත්තුවකින් හම්බවුණ සයිට් එකකින්...

දුරකථන සමාගම් ගැන දුක්ඛ:ප්‍රාප්ත වෙන උදවිය නම් මේක පාවිච්චි කරන්න එපා...

-----------------------

ඇත්තට මෙතන විරෝධාකල්පයක් නෑ... තියෙන්නෙ ගන්න පුළුවන් තැනතින් සතුටු වෙන්න චාන්ස් එකක් තියෙනවද කියල බැලිල්ලක් විතරයි. මේ යන විධියට මේකට විකල්ප හැදෙන්නෙත් නැති නිසා දියුණු වෙමින් යද්දි පැරණි දේවල් නාම මාත්‍රික වෙනව වගේ අවුරුද්දත් ටීවි එක විසින් අපේ ඇ‍ඟේ ගහන දෙයක් බවට පත් වෙලා කියන එක බොරුවක් නෙවෙයි.

එහෙනං ඔයාලටත් සෙම වේවා....


අන්තිම වෙනකල් මේක කියෙව්වනම් මේවත් කියවන්න ආස වෙයි...


Friday, 25 March 2011

වැඩ! වැඩ! වැඩ! - වීඩියෝ කවියක්!




ඔන්න සිකුරාදාව උදා වුණා... හෙටත් අනිද්දාත් නිවාඩුවක් තියෙනවා. මම කරන රස්සාවෙ හැටියට සති අන්තෙ නිවාඩු තිබුණත් රටේ වැඩකරන අයගෙන් බහුතරයට එහෙම එකක් නෑ. ගොඩක් දෙනා සෙනසුරාදත් වැඩ. ඒ හැම දෙනාටම තමන්ගෙ සබ්බ සකල මනාවම කරගන්න ඉතිරි වෙන්නෙ ඉරිදාව තමයි. එදාටත් ඒ වැඩ වලට මාට්ටු වුණාම නිදහසේ ගෙවන්න පුළුවන් වෙලාවක් ගොඩක් දෙනෙක්ට නැති තරම්.

මේ ශෝකජනක කාලය මමත් අවුරුදු ගාණක් අත්වින්දා. සතියේ දවස් 6ක් වැඩ කරලා ඉරිදට රෙදි සේදිලි අයන් කිරිලි කෝල් කිරිලි ලව් කිරිලි අර කිරිලි මේ කිරිලි ගොඩයි. ඉතිං පොඩ්ඩක් නිදහසේ ඉන්න, චිත්‍රපටියක් බලන්න, පොතකට සමවැදෙන්න, ටිකක් වැඩිපුර නිදාගන්න වගේ දේකට නිවාඩුවක්ම දාන්න වෙනවා.

රට නගන්න වැඩ කරන්න ඕනය කියල කියවල තියෙනව වුණාට ඔය නිදහසේ ගත කරන්න තිබුණ උවමනාව නිසාම මම ඉස්සර කොයි තරම් නිවාඩු ගත්තද කිව්වොත් වලංගු නිවාඩු 21 ටත් අමතරව නෝ පේ දවස් තිස් ගණන් නිවාඩු අරන් තියෙනවා. ඒ කාලෙ ඇත්තටම බොහොම නිදහස් කාලයක්. දැන් මම ගෙවන කාලෙට අමතරව මගේ හොඳම කාලෙ ඔය කාලෙ කිව්වොත් හරි. හොයන්න බලන්න කවුරුත් නැතිව කාටවත් ලොකු බැඳීමකුත් නැතිව, තිබුණොත් කාල නැති වුණොත් බුදියල ගත කරපු කොහෙටවත් නැති කාලයක්.

ඉතිං ඔය විවේකය ගත කරන අතරෙ වැඩ මතක් වෙද්දි ඇඟ රත් වෙනවා. ඉරිදාවක් ඉවර වෙලා සඳුදා උදා වෙන්නෙ හරිම අමාරුවෙන්. සාමාන්‍ය රටවැසියෙක්ටත් කාමර උෂ්ණත්වයේදි කතාව මේ වගේ නම් මම වගේ ස්වභාවික කම්මැලියෙක්ගෙ තත්ත්වෙ ගැන කවර කතාද?

එපා වෙනකල් වැඩ කරන්නෙ හොඳ ජීවිතයක් වෙනුවෙන් නම් ඒ වෙනුවෙන් දැන් ගෙවන ජීවිතේ ගූ කරගෙන වැඩක් තියෙනවැයි...

ඔන්න ඔය සිතිවිල්ලත් තවත් එක එක මඤ්ඤං සිතිවිලිත් හිතේ එහෙ මෙහෙ කලත්තමින් ඉද්දි තමයි මේන් මේක හැදුණෙ.

කැමතිනම් කියවන්න. නැත්තං අහමින් බලන්න.


දුක් විඳින
වැඩ කරන සහ
නිදන්නට කැමති
ජනතාව වෙනුවෙන්

රෑ නමයට ගෙදර ගිහින්
යන්තම් කාල නිදාගෙන
දකින හීනයේ
හොඳම හරියෙදි වදින
හයේ කණිසමට නැගිටල
උදේ පාන්දර
ගෙයින් එලියට බැහැල
කාගෙදෝ ළඟ වැඩ කරන්න
අපි එනවා

වැඩ!

වැඩ!
වැඩ!
වැඩ!


අපිත් යන්තම් ජීවත් වෙලා
තව අයව හොඳින් ජීවත් කරවන්න
මුළු ජීවිත කාලෙම
අපි වැඩ

ඒ මදිවට...
හැමදාම ඉතිහාසය
නිසා ජීවත් වෙන,
දැන් අපට ඕන දේ
කවදාවත් නොකරන
අහිංසකම අහිංසක
මහත්වරු කට්ටියකට
අපි කැපුවත් ඡන්දෙ දෙනව

ජීවිතේ පුරුද්දක් වෙලා...
හැමදාම අපි කරන්නෙ
පුරුද්දක් විධියට
අපි දන්න යාන්ත්‍රික වැඩ ටික
රොබෝල වගේ
කරන එක විතරයි

දැන් අපට ජීවිතයක් නෑ
තියෙන්නෙ වැඩ විතරයි


Saturday, 9 October 2010

කම්මැලිත්වය සහ ජෝන් ලෙනන්


මේ සටහනට කම්මැලිත්වය කියල නම දාල සතියක් ‍විතර draft එකක් විධියට තිබුණා. කම්මැලිත්වය නිසා ඒක ලියන්න වුණේ නෑ. ඕන් අද දානවා අද දවස විශේෂ කම්මැලියෙක්ගෙ උපන් දිනයක් නිසා...

කම්මැලිත්වය කියන්නෙ අපි දන්න කම්මැලිකම, නැත්තං අලසකමටම කියන වෙනත් වචනයක් විධියට ගන්න පුළුවන්. ඒක කලින් අහල නෑ වගේ දැණෙන්නෙ එහෙම වචනයක් නැති නිසා. ඒ වුණාට වචනෙ වරදින්න විධියක් නෑ. ටිකක් විතර විධග්ගයි වගේ වුණාට ඒක සුන්දර වචනයක්...

කම්මැලිත්වය ගැන ලියන්න හිතුණේ පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් මම හෙනම කම්මැලියෙක් විධියට හිටපු එක ගැන කියන්න ඕන කරපු නිසයි. 2009 මැයි මාසෙන් බ්ලොග ලිවිල්ල නතර කරල ආයෙම 2010 සැප්තැම්බර් වල පටන්ගන්නකල්ම අතරින් පතර ඔය කමුබොමු, බයිස්කෝප්, ෆිට් එක සහ one|zero|zero වගේ බ්ලොග් වලට ලිව්ව මිස මම වෙන මුකුත් ලිව්වෙ නෑ...

ජාලයෙන් බාහිර මගේ ජීවිතේ ඒ කාලෙ ඇතුලත එක එක විධියට ගලාගෙන ගියත් ජාලය තුල අතරින් පතර එක්කෙනෙක්ට දෙන්නෙක්ට කමෙන්ට් දමමින් මම ගත කලේ පට්ට ලෙසම කම්මැලි ජීවිතයක්... ඇතිවෙන්න චිත්‍රපටි බලපු ඇතිවෙන්න සින්දු අහපු ඒ කාලෙ නම් තාම ඉවර නෑ. ඒත් බ්ලොග ලිවීම සඳහා කම්මැලිත්වය මැඩලා නැගී සිටින්න පටන් අරන් මම :P

ඒ වුණත් කිසි දෙයක් නොහිත ඇඳකට වෙලා පොතක් බැලීම, නැත්තං චිත්‍රපටියක් දිහා බලාගෙන ඉඳීම, නැත්තං ඔය කිසි දෙයක් නොකර දවසක් විතර නිදාගැනීම කියන දේවල් කම්මැලිකමේ ආසන්නතම ලක්ෂණ විධියට තාම මං සතුව තියෙනව. එයිනුත් නින්ද කියන්නෙ ජීවිතයේ මම ලබන උපරිම තෘප්තියයි.

කම්මැලිකම සහ නින්ද ගැන කියද්දි අනිවාර්යයෙන්ම බෙදාගන්න උවමනා කරන මගේ ප්‍රියතම සින්දුවක් තියෙනව.



The Beatles - I'm only sleeping



මේකෙන් කියවෙන්නෙත් කම්මැලියෙක් ගැන... මම දන්න තරමින් තේරුම් කරන්න බලන්නම්...

මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈනු
ම් අරිනව

මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා, හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන විධියට හැමෝම හිතන්නෙ මම කම්මැලියෙක් කියල
මට කමක් නෑ, මං හිතන්නෙ උන්ට පිස්සු
වේගයෙන් හැමතැනම දුවනවා...
උන්ටම තේරෙනකල් ඒකෙ කිසි වැඩක් නෑ කියල
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ ජනේලෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මෙතනම වැතිරිලා සීලිම දිහා බලාගෙන
නිදිමත එනකල් මම ඉන්නේ
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ කවුළුවෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈණුම් අරිනව
මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන තේරුමට වඩා දෙයක් මේ සින්දුවෙ තියෙනව වුණාට ඒක කෙලින්ම ‍කම්මැලිකමට අදාල නෑ. ‍කොහොම හරි මේ කියන්නෙ නිදාගන්න එක පරම සුවය කරගත්ත කම්මැලියෙක් ගැන... මේක බීටල්ස්ලගෙ Revolver ඇල්බම් එකේ තියෙන තවත් එක සුන්දර සින්දුවක්.

.........

මුලින්ම කිව්ව අද දවසේ (ඔක්තෝබර් 09) විශේෂත්වය තමයි මේ සින්දුව කියන ජෝන් ලෙනන්ගෙ 70 ‍වෙනි උපන් දිනය අද වීම. ඒක මට මතක තිබුණෙ නැතත් ගුගල් ඩූගල් එක වෙනස් වෙලා තිබුණම මට හිතුණා මේ සටහන ඔහු වෙනුවෙන් වෙන් කරන්න. කොහොමත් අර කම්මැලි සින්දුව මේ සටහනට ඇතුල් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණනේ...

ජෝන් ලෙනන් ‍අපට හිටපු සංගීතමය මානව හිතවාදීන් කීප දෙනෙක් අතරින් ඉදිරියෙන් හිටපු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඔහු බීටල්ස් සමග කරපු නිර්මාණ දැනටත් සංගීතමය විප්ලව. ඔහුගේ සිහිනය වුණේ කවදාවත් උදා වෙයි කියල හිතන්න බැරි සුන්දර ලෝකයක්. ඒ වගේ ලෝකයක් බලාපොරොත්තු වෙන අය පිස්සො විධියට ගණන් ගන්න බව ඔහු දැනගෙන හිටිය.




කම්මැලිකම නැතිව මේ ලිපිය පල කරන්න පුළුවන් වීම ගැන මාර සන්තෝසයි....