Saturday, 9 October 2010

කම්මැලිත්වය සහ ජෝන් ලෙනන්


මේ සටහනට කම්මැලිත්වය කියල නම දාල සතියක් ‍විතර draft එකක් විධියට තිබුණා. කම්මැලිත්වය නිසා ඒක ලියන්න වුණේ නෑ. ඕන් අද දානවා අද දවස විශේෂ කම්මැලියෙක්ගෙ උපන් දිනයක් නිසා...

කම්මැලිත්වය කියන්නෙ අපි දන්න කම්මැලිකම, නැත්තං අලසකමටම කියන වෙනත් වචනයක් විධියට ගන්න පුළුවන්. ඒක කලින් අහල නෑ වගේ දැණෙන්නෙ එහෙම වචනයක් නැති නිසා. ඒ වුණාට වචනෙ වරදින්න විධියක් නෑ. ටිකක් විතර විධග්ගයි වගේ වුණාට ඒක සුන්දර වචනයක්...

කම්මැලිත්වය ගැන ලියන්න හිතුණේ පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් මම හෙනම කම්මැලියෙක් විධියට හිටපු එක ගැන කියන්න ඕන කරපු නිසයි. 2009 මැයි මාසෙන් බ්ලොග ලිවිල්ල නතර කරල ආයෙම 2010 සැප්තැම්බර් වල පටන්ගන්නකල්ම අතරින් පතර ඔය කමුබොමු, බයිස්කෝප්, ෆිට් එක සහ one|zero|zero වගේ බ්ලොග් වලට ලිව්ව මිස මම වෙන මුකුත් ලිව්වෙ නෑ...

ජාලයෙන් බාහිර මගේ ජීවිතේ ඒ කාලෙ ඇතුලත එක එක විධියට ගලාගෙන ගියත් ජාලය තුල අතරින් පතර එක්කෙනෙක්ට දෙන්නෙක්ට කමෙන්ට් දමමින් මම ගත කලේ පට්ට ලෙසම කම්මැලි ජීවිතයක්... ඇතිවෙන්න චිත්‍රපටි බලපු ඇතිවෙන්න සින්දු අහපු ඒ කාලෙ නම් තාම ඉවර නෑ. ඒත් බ්ලොග ලිවීම සඳහා කම්මැලිත්වය මැඩලා නැගී සිටින්න පටන් අරන් මම :P

ඒ වුණත් කිසි දෙයක් නොහිත ඇඳකට වෙලා පොතක් බැලීම, නැත්තං චිත්‍රපටියක් දිහා බලාගෙන ඉඳීම, නැත්තං ඔය කිසි දෙයක් නොකර දවසක් විතර නිදාගැනීම කියන දේවල් කම්මැලිකමේ ආසන්නතම ලක්ෂණ විධියට තාම මං සතුව තියෙනව. එයිනුත් නින්ද කියන්නෙ ජීවිතයේ මම ලබන උපරිම තෘප්තියයි.

කම්මැලිකම සහ නින්ද ගැන කියද්දි අනිවාර්යයෙන්ම බෙදාගන්න උවමනා කරන මගේ ප්‍රියතම සින්දුවක් තියෙනව.



The Beatles - I'm only sleeping



මේකෙන් කියවෙන්නෙත් කම්මැලියෙක් ගැන... මම දන්න තරමින් තේරුම් කරන්න බලන්නම්...

මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈනු
ම් අරිනව

මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා, හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන විධියට හැමෝම හිතන්නෙ මම කම්මැලියෙක් කියල
මට කමක් නෑ, මං හිතන්නෙ උන්ට පිස්සු
වේගයෙන් හැමතැනම දුවනවා...
උන්ටම තේරෙනකල් ඒකෙ කිසි වැඩක් නෑ කියල
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ ජනේලෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මෙතනම වැතිරිලා සීලිම දිහා බලාගෙන
නිදිමත එනකල් මම ඉන්නේ
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ කවුළුවෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈණුම් අරිනව
මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන තේරුමට වඩා දෙයක් මේ සින්දුවෙ තියෙනව වුණාට ඒක කෙලින්ම ‍කම්මැලිකමට අදාල නෑ. ‍කොහොම හරි මේ කියන්නෙ නිදාගන්න එක පරම සුවය කරගත්ත කම්මැලියෙක් ගැන... මේක බීටල්ස්ලගෙ Revolver ඇල්බම් එකේ තියෙන තවත් එක සුන්දර සින්දුවක්.

.........

මුලින්ම කිව්ව අද දවසේ (ඔක්තෝබර් 09) විශේෂත්වය තමයි මේ සින්දුව කියන ජෝන් ලෙනන්ගෙ 70 ‍වෙනි උපන් දිනය අද වීම. ඒක මට මතක තිබුණෙ නැතත් ගුගල් ඩූගල් එක වෙනස් වෙලා තිබුණම මට හිතුණා මේ සටහන ඔහු වෙනුවෙන් වෙන් කරන්න. කොහොමත් අර කම්මැලි සින්දුව මේ සටහනට ඇතුල් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණනේ...

ජෝන් ලෙනන් ‍අපට හිටපු සංගීතමය මානව හිතවාදීන් කීප දෙනෙක් අතරින් ඉදිරියෙන් හිටපු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඔහු බීටල්ස් සමග කරපු නිර්මාණ දැනටත් සංගීතමය විප්ලව. ඔහුගේ සිහිනය වුණේ කවදාවත් උදා වෙයි කියල හිතන්න බැරි සුන්දර ලෝකයක්. ඒ වගේ ලෝකයක් බලාපොරොත්තු වෙන අය පිස්සො විධියට ගණන් ගන්න බව ඔහු දැනගෙන හිටිය.




කම්මැලිකම නැතිව මේ ලිපිය පල කරන්න පුළුවන් වීම ගැන මාර සන්තෝසයි....

3 comments:

  1. මේක මරු ආටිකල් එක. මම මේකට කැමති ඇයි කියලත් දන්නවා. මට මේක සම්බන්ධ වෙන හේතුවත් මම දන්නවා. ඒත් මට මේ ලිපියෙයි මගෙයි බැඳීම හොයාගන්න බෑ. මේක ලියලා තියෙන්නෙත් කම්මැලි විදිහට! සුබ!

    ReplyDelete
  2. මේ සිංදුව මුලින්ම අහපු දවසේ ඉදලා මමත් කැමති උනා.. මම කොහොමත් ඉතිං වැඩිය සිංදු හොය හොය අහන්නත් කම්මැලි මනුස්සයානේ..
    රචියා කිව්වා වගේ ලියලා තියෙන‍්නෙත් හෙන කම්මැලි ඉට්ටයිල් එකකට උනාට කියවන්න ගියාම නම් එහෙම උනේ නෑ…

    ReplyDelete
  3. මේක ලියද්දි මම ටිකක් දොයි මතෙත් එක්ක මඤ්ඤං වෙලා හිටියේ… ඒ නිසා ටිකක් නිදිමත වෙන්න ලියවෙන්න ඇති රචියෝ….

    මලිය නම් ඉතිං ලෙනන් අංකල් එක්ක හෙන ෆිට්නෙ ඒ දවස්වල ඉඳන්ම :-)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!