Showing posts with label smoking. Show all posts
Showing posts with label smoking. Show all posts

Friday, 14 August 2020

ඇවිලෙනසුලුයි (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්

 

ස්පොයිල් වීමට ඉඩ තිබේ!


ලංකාවෙ වර්තමාන චිත්‍රපටි ලෝලියො චිත්‍රපටිවලට ලොල් වෙලා තියෙන්නෙ සිංහල චිත්‍රපටි නිසාවත් චිත්‍රපටි ශාලාවල චිත්‍රපටි බලලවත් නෙවෙයි. බොහොම දෙනෙක් බලල තියෙන සිංහල නොවන චිත්‍රපටි ප්‍රමාණය වැඩියි වගේම හෝල්වල බලනවට වඩා ගෙදර ඉඳන් චිත්‍රපටි බැලෙන වාර ගණනත් ඉතාම වැඩියි. ඒ නිසාම හෝල් එකක් අස්සෙදි වෙනම ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙනවා. උදාහරනෙකට සිංහල නොවන චිත්‍රපටියක් සබ් එක්ක බලද්දි බැරි වෙලාවත් දෙබසක් මිස් වුණොත් ආපහු තප්පර ගාණක් බැක්වර්ඩ් කරල බලන්න විදියක් නෑ. ඒ වගේම භාෂා භේදයකින් තොරව බැරි වෙලාවත් යම් දර්ශනයක් තුළ සිද්ධ වෙන දේ ප්‍රොසෙස් කරගන්න ඕනවට වඩා කල් ගත්තොත් චිත්‍රපටිය මිස් වෙනවා. ඔහොම දේවල් නිසා හෝල් එකක චිත්‍රපටියක් බැලීම වෙනත් විදියකින් ඒ චිත්‍රපටියම බලනවට වඩා වෙනස් අත්දැකීමක්. හෝල් එකක් තුළදි අපේ තේරුම් ගැනීමේ හැකියාවත්, ප්‍රොසෙසිං හැකියාවත් පරීක්ෂාවට ලක් වෙනවා.

මේ කතාව කියන්න ඕන වුණේ ඇවිලෙනසුලුයි නරඹද්දිත් ඒක ආයෙම බැක්වර්ඩ් යවලා බලන්න ඕන කියලා හිතුණ අවස්ථා ගාණක්ම තිබුණ නිසා. එහෙම වුණේ ප්‍රොසෙසිං ප්‍රශ්නෙකට වඩා රූපරාමුව හෝ අදාළ දර්ශනය ආයෙම බලන්න උවමනා වීම නිසයි. ඒක සිංහල චිත්‍රපටියක් සම්බන්ධයෙන් පළමු වතාවට වුණ දෙයක්. රූප රාමු සහ කැමරාව හැසිරවීම තදින් හිතට වැදුණ නිසයි ඒ. ඉතිං අනාගතේ යම් දවසක එහෙම බලනකල් චිත්‍රපටිය ගැන හිතුණ දේවල් සටහන් නොකර ඉන්න හේතුවකුත් නැහැ. ඇත්තටම මේ ලියවෙන්නෙ චිත්‍රපටිය ගැනමත් නෙවෙයි. චිත්‍රපටියෙ වටපිටාව ගැන පසුව හිතුණ දේවල් ටිකක්.

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය දවල් 1.30ට බලද්දි අපි ඊට කලින් 10.30 දර්ශනයෙදි ‘සූස්ති‘ චිත්‍රපටිය බලලයි හිටියෙ. මේ චිත්‍රපටි දෙකම රෝඩ් ට්‍රිප් ගණයට දාන්න පුළුවන්. දෙකම ටිකක් එකම ආකෘතියක චිත්‍රපටි. හැබැයි තේමාවන් ඉතාම වෙනස්. චිත්‍රපටි දෙකේම සමනලී සිටීම එක්ක එක්තරා විදියකට එකම ගලායාමකුත් නොදැනුණා නෙවෙයි.

ඇවිලෙනසුලුයි තුළ දර්ශන දිගහැරෙන ස්ටයිල් එක, පර්ච්ඡේද වෙන් කර තිබීම, වර්ණ භාවිතය, යොදාගන්න සංගීතය, සිදුවීම්වල ස්වභාවය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් අස්සෙ ටරන්ටිනෝ සහ ඩේවිඩ් ලින්ච් හමුවීම මට විතරක් වුණ දෙයක් නෙවෙයි කියලා පසුව විස්තර කියවද්දි තේරුණා. ටරන්ටිනෝගෙ චිත්‍රපටි සේරම වගේ බලල තිබුණත් ලින්ච්ගේ චිත්‍රපටි අතරින් කීපයක් විතරයි මම බලල තියෙන්නේ. ඒ බලපු චිත්‍රපටි ගැන පැහැදිලි කරගන්න ඕන නිසා කියවපු සහ නරඹපු අමතර දේවල් අස්සෙ ලින්ච් ගැන දැනගත්ත දේවල් ‘ඇවිලෙනසුලුයි‘ තේරුම්ගනිද්දි උදව් වුණා. මේ දේවල් ගැන මම ඉගෙනගෙන නැහැ. ඒ නිසා මුලධාර්මිකව මේ අදහස් 100%ක් නිවැරදි නොවෙන්න වෙන්න පුළුවන්. වඩා නිවැරදිව දන්න කෙනෙක් කියල දුන්නොත් අපි හැමෝටම ඉගෙනගන්න පුළුවන් වෙයි.

ලින්ච් සැලකෙන්නෙ අතාත්විකවාදී (surrealist) සිනමාකරුවෙක් විදියට. ඔහුගේ නිර්මාණ අස්සෙ සැබැවින් පේන දේට එපිටින් හෝ ඇතුළතින් පවතින අදහසක් ගැන ඔහු කතා කරනවා. චිත්‍රපටිය බලන මනුස්සයා චිත්‍රපටිය අස්සට ගන්න අවස්ථා තියෙනවා. අභව්‍ය සිදුවීමක් හෝ වස්තුවක් විසින් චිත්‍රපටියට අදාළ සිදුවීම් ගොඩනගනවා. ඒව තේරුම්ගන්න එකත් එකිනෙකාගෙ කියවීම් ප්‍රමාණය අනුව තීරණය වෙනවා. මුල මැද අග පිළිවෙළට ගැළපුණ කතා කීමකට වඩා ඔහු සිදුවීම් පෙළක් ඉදිරිපත් කරනවා. ඒ සිදුවීම් ඔස්සේ එකිනෙකාට දැනෙන තේරෙන දේවල් ඔස්සේ අර්ථ දක්වගන්න දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගෙ නිර්මාණ ගැන පැහැදිලි කිරීම් ලින්ච් විසින් කළා කියල මම කියවල නෑ. ඔහු කියන්නෙ තමන් චිත්‍රපටියක් නිර්මාණය කරන්නෙම චිත්‍රපටි භාෂාවෙන් කියල. ඒව තේරුම්ගන්න වෙන භාෂාවකින් බෑ. ඒ අතින් ඔහු ප්‍රේක්ෂකයාට කිසිම අවස්ථාවක් හෝ සමාවක් නොදෙන අධ්‍යක්ෂවරයෙක්.

මේ ලින්ච් ගැන කතාව කිව්වෙ ‘ඇවිලෙනසුලුයි‘ ගැන කියවන්න ලැබුණ වෙනත් සටහනක අතාත්විකවාදය ගැනත් කියල තියෙන නිසා. ඒ ගැන දැනගෙන චිත්‍රපටිය බැලීමෙන් චිත්‍රපටිය විඳින්න පහසුවක් වෙන්න පුළුවන්. දැනටමත් බලලා තියෙනවනම් ඒ අත්දැකීම තව තීවෘ කරගන්න පුළුවන්. එහෙම නැත්තං චිත්‍රපටිය අස්සෙ අතරමං වීම ම චිත්‍රපටිය මගින් ලැබෙන දේ විදියට තේරුම්ගන්න පුළුවන්. 

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය මම බලල තියෙන සිංහල චිත්‍රපටි අතර තාක්ෂණිකව ආසන්නයෙන් පරිසමාප්ත එකක්. කැමරාව මෙහෙයවෙන්නෙ කලින් ලංකාවෙ නිර්මාණයක නොදැකපු පරාසයක. සිංහල චිත්‍රපටියක් අස්සෙ එහෙම ෆ්‍රේම් දකින්න ලැබුණ එක අලුත්ම අත්දැකීමක්. පාටවල් අස්සෙ දැනෙන්නෙ එක්තරා තනිකමක්. එහෙම වර්ණවලින් ප්‍රකාශනයක් කරන දේශීය සිනමාවේ අවස්ථා ඉතාම විරලයි. කලිනුත් කිව්ව වගේ ආයෙම බලන්න ඕන කියල හිතුණ දර්ශන ගාණක්ම තිබුණා. සමස්තයක්  විදියට ඇවිලෙනසුලුයි රූපාවලිය ඉතාම ආකර්ෂණීයයි. ඒක කොලිටි වැඩක්. 

ඒ කොලිටි එකම මට මියුසික් අස්සෙත් ඇහුණා. ‘මැණිකෙ මම ආයෙ ගෙදර එනවා‘ එක විදියකින් තීම් එකක්. චිත්‍රපටිය තුළ සිදුවන නැවත මුණගැහීම් සින්දුවට ලින්ක් කරගන්නත් ඕනනං කෙනෙක්ට පුළුවන්. රඟපාන උන් අතරෙ ප්‍රියන්ත සිරිකුමාර ඉන්න සුළු කොටස අනිත් කොටස්වලින් වෙන්වෙලා පේනවා. මීට වඩා අවස්ථා දෙන්න ඕන ඔහුට.

සාමාන්‍යයෙන් සංස්කෘතිය අස්සෙ මිනිස්සුන්ගෙ ෆැන්ටසිය හදන්නෙම කසාද බඳින්න. 'ඊට පස්සෙ' ළමයි හදාගෙන උන්ව බලා කියාගෙන ස්වභාවධර්මයේ චක්‍රය ගත කරන්න. හැබැයි ඔය 'ඊට පස්සෙ' කොටස අස්සෙ තියෙන අභියෝග ගැන සංස්කෘතික කතා බහ ඉතාම අඩුයි. කතාවට කියන්නෙ පවුලෙ ගිනි පිටට දෙන්න එපා කියල. ඒ නිසා දීර්ඝ කාලීනව එකට ජීවත් වෙද්දි සමහර විට මුහුණ දෙන්න වෙන අමිහිරි තත්ත්වයන් ගැන, පීඩනය ගැන අත්දැකීමකින් මිස කෙනෙක්ට දැනගන්න තියෙන ඉඩ අඩුයි. පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ට මේක බොහෝ දුරට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒත් එහෙම නොවෙන අවස්ථා ඉතාම වැඩියි කියල හිතෙනවා. මේ වෙද්දි සෝෂල් මීඩියා විසින් ඒ පීඩනය යම් තරමකට උරාගන්නවා. පණ දීගෙන ලව් කරලා බැඳලා අවුරුද්දකින් දෙකකින් මිනිහට/ ගෑනිට කොමික් හින්ට් ගහපු පෝස්ට් ශෙයා වෙනවා. බැලූ බැල්මට ඒව විහිළු තමයි. හැබැයි එහෙම එකක් ප්‍රකාශ කරන්න උවමනා වීමේ මානසිකත්වය ටිකක් සීරියස් එකක්. කොහොම නමුත් සෝෂල් මීඩියාවලට රිලීස් කරලත්  දරාගන්න අමාරු ජීවිතයක් සම්බන්ධයෙන් කෙනෙක් ගන්න තීරණ කලින් කියන්න බෑ. මේක සුළුවෙන් වුණත් චිත්‍රපටියෙන් පස්සෙ හිතන්න පෙළඹුණ දෙයක්. මෙතනම කියල දැම්මා. 

අපි කතා අහන්න හුරු වුණ මිනිස්සු පිරිසක්. මුල මැද අග පිළිවෙලින් තියෙන කතා තමයි පුංචි කාලෙ ඉඳන් අහන්නෙ. මූලික වශයෙන් ජාතක කතා, ජන කතා, ආරබි නිශොල්ලාසය වගේ පොතකින් ආපු කතා, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලියපු කතා පුංචි කාලෙ ඉඳන්ම අහලා ඒ කතා රස විඳීමේ ආශාවෙම දිගුවක් විදියටයි හුඟ දෙනෙක් චිත්‍රපටි ලෝලියෙක් වෙන්නේ. සීරියස් චිත්‍රපටි ලෝලීන් එතනින් නොනැවතී විවිධ චිත්‍රපටි වර්ග හොයාගෙන යනවා. ඒ ඔස්සේ විවිධ රසයන් විඳිනවා. ඇවිලෙනසුලුයි කියන්නෙත් සිංහල සිනමාවට හැදුණ වෙනස්ම රසයක චිත්‍රපටියක්. ඒක අස්සෙ කතාවක් හොයන්න ගියොත්නම් අවුලක් වෙනවා. කතාවක් කියනවට වඩා මේකෙ තියෙන්නෙ සිදුවීම් පෙළක්. ඒ අස්සෙ කතා කීපයක් තියෙන බවක් දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ එකම කතාවක අවස්ථා දෙකක්ද? එහෙමත් නැත්නම් එකම කතාවේ නිරූපණයන් දෙකක්ද? වර්තමානයට අතීතය හමුවීමක්ද? ඔය එකක්වත් නැති පේන දේවල් විතරක් ඇතුළත් සිම්පල් කතාවක්ද?

ඒක බේරුම් කරගන්න එක තනි තනි ප්‍රේක්ෂකයගෙ වැඩක්. ඔබ චිත්‍රපටි ශාලාවට යන්නෙ කණ්ඩායමක් එක්ක වුණත් චිත්‍රපටිය ඔබට දෙන්නෙ පුද්ගලික අත්දැකීමක්.

චිත්‍රපටිය බලල නැති කෙනෙක් මේ සටහන මේ තරම් දුර කියෙව්වනම් දැන් තියෙන්නෙ වහාම ඒක බලන්න. මේක හැමෝටම හරියන චිත්‍රපටියක් නෙවෙයි. හැබැයි ලංකාවෙ සිනමාව දියුණු වෙනවනම් මේ ආකාරයේ චිත්‍රපටිත් ඕනමයි. විවිධ විදියේ අන්තර්ජාතික සිනමා නිර්මාණ රස විඳින ලාංකික චිත්‍රපටි රසිකයින් ලංකාවෙ සිනමාවට ආකර්ෂණය වෙන්න ඒ විවිධත්වය අත්‍යවශ්‍යයි.

Tuesday, 3 January 2012

අවස්ථිතියෙන් මිදී....




පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.

සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.

විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....

ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...

ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...

ඔහු මුලින් හිතුවෙ එහෙම.

එහෙම හිතලා ලියන්න හිතපු ලියවිල්ල තවම ආරම්භ වෙලා නෑ... ලියන්න ඕන විධිය ගැන හිතුනට පේන්නෙ නම් ලියන්න දෙයක් හිතට නොඑන බවක්... තවමත් කොලයයි පෑනයි අතරෙ අඟලක ඉඩක්...

ඉලව් අවස්ථිතිය... පැතිකඩ රූපයි, විදුලි එලියයි, දුමයි එක්ක ඉදිරියට නොයන්නම හිරවුණ හිත...

ඔහු ඉරියව්ව වෙනස් කරල දුම්වැටියෙ අළු කැඩුවා.

ඊට පස්සෙ දිග දුම් උගුරක්. පෙනහළු වල ගර්ත සේරම පිරිල යන්න...

වෙනස්ම ලියවිල්ලක්? හැම වෙලේම ලියන්න පටන්ගන්නෙ එහෙම. ඒත් ලියවෙන්නෙ හැම වෙලේම එකම දේවල් ටිකක් ගැන. එකම විධියට. වෙනසක් නැතුවම...

සමහර විට ඒ චරිත එකිනෙකින් වෙනස් ඇති. මිනිස්සු ඒ චරිත වලට කැමති ඇති. ඉතිහාසෙ පුරාම වෙන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති.

අවසන් වුනු දුම් වැටිය නිවල පොඩි කරපු ඔහු පුටුවෙන් නැගිට්ටා. බෝල රාමුවෙ එල්ලුණ කෝට් එක දාගෙන කාමරයෙන් එලියට අඩිය තිබ්බා. ඔහුගෙ ගත පුරා දැවටුණෙ උහුලගන්න අමාරු දෙසැම්බර් සීතලක්. ඒක තෙතමනයක් නැති වියලි සීතලක්. ඒ සීතලේ ගැහෙන්න පටන්ගන්න කලින් ඔහුගෙ අත ආයෙමත් දුම් වැටියක් හෙව්වා.

නිවසේ ඉදිරි වැට උඩ ඉඳගත්තු ඔහු වලාකුළෙන් වැහුණු අඳුරු අහසට දුම් උගුරක් විද්දා... ඒ දුමින් කිසි දෙයක් මැවුණෙ නෑ. පාවෙන රුවල් නැවක්, මායාකාරියක්, හිම මිනිහෙක්.... කිසි දෙයක් මැවුණෙ නෑ...

ඒත්  ඒ දුම වියැකිලා යද්දි වලාකුළු අතරෙ ඔහුට එක තරුවක් පෙණුනා.

ඔහු ඒක දැක්කෙ අද. මේ දැන්.

ඒක අළුත් තරුවක්.

ඒත් ඒ තරුව ඊයෙත් පායන්න ඇති... හැමදාම පායන්න ඇති. ඒක ඔහුට අළුත් වුණේ ඔහු ඒක අද දැකපු නිසා මිස තරුව අළුත් නිසා නෙවෙයි.

ඒ මොහොතෙදි ඒ තරුව කවදාවත් නොදිලුණ තරම් දිලිසෙන්න ගත්තා. තරුවේ එලියෙන් ආයෙමත් ඔහුගෙ අනර්ඝ පැතිකඩ රූපයක් මැවුණා.

වෙනස් වෙන්නෙ මම! වටපිටාව හැමදාම එකවගේ... නැත්තං අඩුගානෙ වටපිටාවෙ වෙන වෙනස්කම් දිග කාලයක් පුරා වෙන නිසා ඒව එකපාරම දැණෙන්නෙ නෑ.

ඔහුට එහෙම හිතුණ. ඒක බොහොම වතාවක් හිතිල තියෙන දෙයක් බවත්, මේ මොහොතෙ ආයෙම ඒක මතක් වුණ බවත් ඔහුට ඒ එක්කම මතක් වුණා.

මල ඉලව්ව!

ඔහු දුම් වැටියෙ කොටේ ඉවතට විසි කරල නැගිට්ටා... ආයෙමත් කාමරේට වැදුණ.

පෑනයි කොලයයි අතරෙ ඉඩ ආයෙමත් විනාඩි ගාණක තිස්සෙ පැවතුණා....

ඊට පස්සෙ කොලය මත ගැටුණ පෑනෙ තීන්ත නොකඩවා ගලාගෙන ගියා.

Thursday, 16 June 2011

පිටකොටුවේ සිට මහරගමට - From Pettah to Maharagama


මම කාෂ්ඨක ගිණි සුළඟ මැද අතින් ආවරණය කර පිටකොටුවට ගිණි තැබීමි. සියුම් දුමක් සමගින් හුස්මක් අභ්‍යන්තරගත විය.

මා සිහින් සැහැල්ලුවක් වෙත පාව ගොස් මදක් ඉහලින් නතර විය. ගුවනේ ලෑලි කඩේ කොලුවාගේ ප්ලේන්ටිය මා ඉදිරියේ පතිත විය. සීනි වැඩි උගුරක් දෙතොල් හරහා දිව මතට පැමිණ දිවේ රස ස්නායු සියල්ල කහටේ රසයෙන් උද්දාමයට පත්කරලීය. පැණි රසය තුල යටපත් කරන ලද විවිධ රසයන් ගණනාවක සාරය දිවෙන් උරාගත්තේ එම රසය වයින් උගුරක රසයට දෙවෙනි නොවන බව හඟිමිනි. එහෙත් වයින් යනු මාස කීපයකට වරක් ඇසුරු කරන්නක් බැවින් එහි රසය මට හරිහැටි මතකයට නගාගැනීමට අපහසුය. අතෙහි වූ ප්ලේන්ටියේ උගුරු කීපයක් වයින් වඩියකට වඩා මට සමීපය.

එකින් එක උගුරින් උගුර, දිව මතින් මසිත පුරවා දමමින් ප්ලේන්ටිය ආමාශය වෙත ඇදෙමින් පැවතිනි.. ‍

එහෙත් පැණි රසය සියල් රස අභිබවා අග්‍රස්ථ වී ඇති බව මොහොතකට මට මතක් විය.

එය ජීවිතය මෙනි. මා නොවන වෙනත් උන් විසින් සාදා මා වෙත පුදා ඇති මා ජීවත් විය යුතු විලාසය නම් වූ කරුමය ප්ලේන්ටියේ කහට රසය අභිබවන පැණි රසය මෙනි. පැණි රස යනු කහටේ කහට රසය යටපත් කර දමන ක්‍රමවේදයයි.

සිස්ටම් එක එවෙලේම බිඳ වැටුණි.

එහෙත් ඒ සුළු මොහොතකට පමණි. සිස්ටම් එකෙන් ගැලවීමට හැකි අයෙක් නැත්තා සේම බිහිවීද, බිහි වන්නේද නැත. නොයෙක් ලෝගුකාර සමාගම් මතින් උත්කර්ෂවත් කල පණ්ඩිතයන් සිස්ටම් එක අභිබවනය කල බව කීවද එය එසේ වන්නේ නැත. අනුන් විසින් තැනූ සිස්ටම් අතික්‍රමණය කර උන් උන්ගේම සිස්ටම් සාදා ඇත. එසේ සාදන ලද සිස්ටම් සියල්ල යසැයි සලකා අපි ඒ ගුලට වී නිදහ‍සින් යැයි කෙතෙක් කීවත් පාරම් බෑවත් එය එසේ නැත.

ඒ වන විට මා බොහෝ දුරක් ගෙවා තිඹිරිගස්යාය අසලින් ගමන් ගනිමින් සිටියෙමි. වරක් සම්මුඛ පරීක්ෂණයක් වෙනුවෙන් තිඹිරිගස්යායේ රස්තියාදු වූ සැටි මට මතකය. එදා එම ආයතනයේ ලොක්කා මවිසින් නිර්මාණය කරන ලද විෂුවල් කීපයක් බලා බෙහෙවින් සතුටු විය. රැකියාව ඉතා විශ්වාස කටයතු ලෙසම මා අතට පත් වී තිබුණද ලොක්කාට තවත් එවන් නිර්මාණ කීපයක් බැලීමට අවශ්‍ය විය. ඔහු කීවේ ඔහුගේ නිර්මාණ ආයතනය වෙත අවශ්‍යව සිටියේද එසේ සිස්ටම් එකෙන් බැහැර නිර්මාණකරුවකු බවය. එය ඔහුගේ විනිශ්චය විය.

නමුත් මා එසේ නොවිණි. මා මෙහි වෙසෙන හැමකෙකු මෙන්ම අවිශ්වාසදායී පුද්ගලයකු විය. එම රැකියාවට එක් දිනක් පමණක් ගොස් මා එය අත්හැර දැමුවේ එබැවිණි. මිනිසුන් මිණුම්ගත කිරීම එලෙසින්ම දුෂ්කරය. මා ද මා වෙසෙන ජන කොටසේම නිපැයුමක් බැවින් මා ද එසේම විය.

තවත් කහට උගුරක් දිව තෙමා හැරියේය. පැණි රසය උවමනාවෙන්ම අමතක කොට මම කහට රසය දිව පුරා කැලතූයෙමි. අසාර්ථක වන්නට මොහොතකට පෙර මම එම කහට උගුරේ රසය විඳ අහවර කලෙමි.

නොදැනීම මා නුගේගොඩ සුන්දර මතකයන් පසු කරමින් හුන්නෙමි. ජීවිතේ වසර ගණනාවක් නිතර ඇසුරු කල නුගේගොඩ පරිසරය මා ජීවිතයේ වර්තමානය වෙත ගෙන එන්නට තදින් බලපෑ වටපිටාවකි. මිනිසුන්ද නොමිනිසුන්ද ස්පර්ෂ කරමින් උන් පසුකර මා ඇදී ගියේ මේ භූමිය මතිනි. සිස්ටම් එකත් ඉන් මිදීමත්, මමත් මම නොවන මමත්, ඇයත් ඇය සහ මමත් මා තුල රාමුගත වූයේ මෙහිදීය. සිස්ටම් එක මතින් ඉගිල දුම් රොටුවල නැගී අනන්ත අවකාශයේ සරා මම නැවත මේ භූමිය වෙත පැමිණ ඇත්තෙමි. නැවතත් සිස්ටම් එක වෙත පෙම් කරන්නට අරඹා ඇත්තෙමි. අවමඟුල් සභාවක සියළු පොර කතාවන් අවසානයේ මළ මිනියක ඉරණම මෙන් මාගේ ජීවිතයද මේ කතා තුල නැත. මිනියේ හිමිකරුවා සභාවේ කතාකරුවන් විසින් ඔසවා තබන්නාක් මෙන්ම මාද මා ගැන ම විසින්ම කියනා සහ අනුන් මා ගැන කියනා කතාවලට වග කීමට බැඳී නැත.

මා තවමත් මගේ ලෝකයකය. මා එයට කෙතරම් අකමැති වුවත් ඉන් ගැලවී යාමට කෙතරම් අවශ්‍ය වුවත් ගැලවී යාමට තැනක් නැත. ඔබ කෙතරම් අකමැති වුවද එය මගේත් ඔබේත් ජීවිතයේ සැබෑ කතාවයි.

මම ඔබේ සිස්ටම් එකෙන් ගැලවී මගේම සිස්ටම් එකක් සාදාගෙන ඇත්තෙමි. එතුලට වී ඔබව විවේචනය කරමින් සාර්ථකව ගෙවන්නට උත්සාහ දරමින් එහෙත්, අසාර්ථකව ගෙවා දමමි. ඉතින් ඔබ මා වෙත නොඑන ලෙසින්ම මා ඔබ වෙත නොඑන වගද එසේමය.

මා මහරගමට පැමිණ ඇත. දැන් බිමට බැසීමට කාලයයි.

බී අවසන් වූ කහට වීදුරුවේ අඩියේ මැනර්ස් ටිකක් ඉතිරි වී ඇත. මැනර්ස් ඉතිරි කිරීම සිස්ටම් එකෙන් මට ඉගැන්වූ දෙයකි. සිස්ටම් එකට ඕන මගුලක් කරගන්නට කියා ඉතිරි තේ කොළ කැබලි සමග කහට උගුරු බාගයක මණ්ඩියේ රස බැලීමට මට තවමත් හැක.

එහෙත් මා ඔබේ සිස්ටම් එකෙන් ගැලවී නැවතත් මගේ සිස්ටම් එක තුල රාමු ගත වේ නම් ඉන් කිසි පලක් ඇත්තේද නැත.

මගේ සිස්ටම් එක....? රෙද්ද තමයි!

මම ‍වීදුරුවේ අඩියේ වූ මැනර්ස් වල ඔබා මහරගම නිවා දැමුවෙමි.

Thursday, 21 April 2011

ගණංජෙනී බීඩි | For a healthy smoke

වැල වගේ පෝස්ට් දැම්මට පස්සෙ ආයෙ කාලෙකට ලියන්න මාර කම්මැලියි. ඒ වුණාට දවස් කීපයකින් මුකුත්ම ලියන්න වෙන එකත් ෂුවර් නැති නිසා පොඩි ආතල් පෝස්ට් එකක් දාන්න හිතුණා. මේ වර්ගයේ පෝස්ට් දාන්න වෙනම එකක් හදාගෙන යමින් හිටියට කම්මැලිකම හින්දා ඒ සේරම දේවල් ගොළුබෙලි වේගෙන් තමයි සංවර්ධන කරා යැවෙන්නේ...

ඔන්න ඉතිං අපේ ඔෆිස් එකේ ඉන්නවා සස්සන නංගි කෙනෙක් ජෙනී කියලා. එයා ඉතිං ටිකක් ගණං නිසා අපි කියන්නෙ ගණංජෙනී කියල. එයාට ඔය තරුණ ගෑණු ළමයින්ට තියෙන පුංචි පුංචි අසනීප වර්ග ටිකකුත් තියෙනව. හැබැයි කොයි තරම් අප්සෙට් වුණත් එයා අපේ අහිංසක විහිළු උපරිමේකට දරාගන්න පුළුවන් හරිම හොඳ ළමයෙක් තමයි.

ඉතිං එයාගෙ උපන් දිනේ හෙවත් බීඩී එක තිබුණා අප්‍රේල් මුල් සතියෙ.

උපන් දින වලදි සාමාන්‍යයෙන් වෙන විධියට සෙක්ෂන් එකේ සෙට් එකේ දිළිඳු දායකත්වයෙන් එයාට තෑග්ගක් අරන් දෙන අතරෙ මම එයාට දෙන්න හදපු බර්ත් ඩේ කාඩ් එක තමයි පහල තියෙන්නේ. ඉස්සර පින්තූර කඩේ වැඩ කරද්දි නම් ෆොටෝෂොප් වලින් දාපු වැඩ කෑලි දැන් දාන්නෙ අතින් තමයි.

වැඩි කතා ඕන නෑ...