Showing posts with label inertia. Show all posts
Showing posts with label inertia. Show all posts
Wednesday, 31 October 2012
එහිතට ඇමතුවෙමි
හැම පැත්තකම විසිරුණු සිතුවිලි එක්ක සටහනක් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්ණෙ කාලෙක ඉඳන් දැණෙන්න අරන්... ලියන්න කිසිම උවමනාවක් නැති වුණාම, සිතුවිලිවලට පාවෙලා යන්න ඉඩ දුන්නම එහෙම එක පාරම දෙයක් ලියන්න අදහස් කේන්ද්‍රගත කරගන්න එක ටිකක් අවුල්... කිසි දෙයක් නොලියා ලියන එක ගැන හිතන එක සේරටම වඩා තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක්. එකම එක මාතෘකාවක් වටේ ගොනු වුණ අදහස් ගොඩක්... ඒව ලිවීම තුලින් එලියට එන්න කලින්ම උත්කර්ෂයට පත්වෙලා මං තුලම නැති වෙලා යනව... ලිවීමේ තෘප්තිය ක්‍රමයෙන් සිතීම තුලින්ම ලබාගන්න පුළුවන් දෙයක් වෙලා...
හෙහ්... ඉස්සර නං කමෙන්ට් එකක් වැටෙනකල් ලිවීම සම්පූර්ණ වෙන්නෙ නෑ... ටිකෙන් ටික ලිවීම විතරක් ප්‍රමාණවත් වුණා...ඒ තෘප්තිය ලබාගන්න දැන් ඒ තරංවත් මහන්සි වෙන්න දෙයක් නෑ... සිතිවිලි තුලම ගැබ් වෙලා තියෙන තෘප්තියට විවෘත වෙන එක ලියනවට වඩ බොහොම සරල දෙයක්...
නමුත් නොලියා ඉන්න එකත් දනවන්නෙ මහ ඇල්මැරුණු හැඟීමක්. දැනට වේලෙන බ්ලොග් කීපයක්ම ප්‍රොෆයිලයේ තියෙන එක ගැන දැණෙන්නෙ පොඩි වරදකාරී හැඟීමක්.
මට ලිවීම කියන්නෙ එක්තරා පරීක්ෂණයක්... භාෂාව කියන මැටි ගොඩ අනල රූප හැදීමක්... මේ බ්ලොග් එක පුරා මම තවමත් කරමින් ඉන්නෙ ඒකද මන්දා... ඒ ලිවීම් හැම තැනම විසිරිලා... සමහර විට මාවත් තැතිගන්වන තරමටම ඒව ව්‍යාකූලයි... ඒ නිසාම සමහර විට කවදාවත් මම කියන මනුස්සයට අනන්‍යතාවයක් නැති වෙයි...
ඒ එක්කම මේ දවස්වල ගෙවෙන කාලගුණය ලියනවට වඩා හොඳට මත්වෙලා නිදාගන්න බල කරන විධියෙ එකක්.
පෝය දවසෙ උදේ දහයට විතර ලා චුරු චුරුව අස්සෙ නැගිට්ට ගමන් මට හිතුණෙ 'චහ්... අද බොන්න මරු දවස' කියල... මේ වැහි කාලෙ හොඳ මත් වෙලා ඉන්න...
අද දවසෙම ලා වැස්සක්. දවසම අඳුරුයි. අපේ නැන්ද ඉස්සර කියන්නෙ එහෙම දවස් හරි මූසලයි කියල. ඒ වුණාට ඒ වගේ දවස් තියෙන්නෙ ඇත්තටම ගෙදරට වෙලා නිදාගන්න. හිතට කතා කරන්න... මමත් එක්ක කතා කරන්න... ඇත්තම කිව්වොත් මමවල් එක්ක කතා කරන්න...
ඇත්ත මම නොවෙන මමවල් ගොඩක් අපි හැමෝගෙම ඇතුලෙ ඉන්නවා. ඒ හැමෝම එක එක වෙලාවලදි ජීවිතේ එක එක චරිත රඟපානවා. ඔය චරිත සේරම එකට සම්බන්ධ කරන 'මම' කියන මනුස්සයා හැමවෙලේම ඉන්නෙ හැංගිලාද මන්දා. ජීවිතේ ඇතුලෙදි අපිට අපව කොයි තරම් හංගන්න වෙනවද? අපි කොයි තරම් රඟපානවද?
අවසානයේ සැබෑ 'මම' ගණුදෙනු කරන්නෙ මරණයත් එක්ක විතරයි.
හැමෝම මරණයට බයයි. ඒ බයෙන් ගැලවෙන්න අපි හැමෝම කරන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේ ජීවත් වෙන්න යන එක. මරණය අමතක කරන එක. මරණයටත් රඟපාන්න යන එක. ඒ හැම එකක්ම තාවකාලිකයි කියල හිතන්න අපි කැමති නෑ. හිතුව කියල ඇති වැඩකුත් නෑ එක අතකට...
ඔව්... ඔයා සිරා පොරක් නම් මැරුණට පස්සෙත් මිනිස්සු ඔයාව ජීවත් කරවල තියයි. එහෙම අය ඕන තරම් ඉන්නවා... සමහරු අවුරුදු දෙදාස් ගණන්... ඒත් කවද වෙනකල්ද? ඕන නම් තව අවුරුදු දෙදාස් ගාණක්?
ඔය ගැන කව්දෝ කියල තිබුණ මෙහෙම...
'තමන්ව මිනිසුන් අතර මතකයේ රඳවාතැබීම උදෙසා ජීවත් වෙන්නා තම ජීවිතය වින්දනය නොකරන්නෙකි'
ඔය ගැන කියද්දි මට මතක් වෙන්නෙ අපේ කාර්යාලෙ හිටපු පපඩම් හොද්ද හදපු කලූව. මැරෙන්න බය නැති මම දන්න කීප දෙනා අතර මිනිහත් එක්කෙනෙක්. කාටවත් කරදරයක් නෑ.. හැමෝවම සතුටු කලා. හැමවෙලේම සන්තෝසෙන් හිටියා...
කලූ තමන් මැරුණම පස්සෙ කල යුතු දේවල් ලියල තිබ්බා.
ඔහු කිව්වෙ පැය 24ක් ඇතුලත තමන්ගෙ අවසන් කටයුතු සිද්ධ කරන්න ඕන කියලයි. ඒ අන්තිම කැමතිපත්‍රය ලියවගත්තෙ කාර්යාලෙම කෙනෙක්ට කියලා. වැදගත්ම වැඩේ වුණේ මළගෙදර පුරාම ජෝතිපාලගෙ සින්දු දාල තියෙන්න උවමනා වීම. ඒක කලූගෙ අනිවාර්යය ඉල්ලීමක් වුණා. ආගමික කටයුතු වලට ලැබුණෙ දෙවෙනි තැන. තවමත් තමන්ගෙ ආගම ගැන ඔහුට තිබුණ අවිනිෂ්චිත විශ්වාසය මත ඔහු ඒකටත් අවස්ථාවක් දීල තිබුණා.
ජෝතිගෙ සින්දු කැසට් ගණනාවක් කලූ ගාව තිබුණා. කලූ මැරෙණ කාලෙ වෙද්දි කැසට් නැති වෙයි කියල මම කියපු නිසා මිනිහ මට කියල ජෝතිගෙ සින්දු සීඩී වලට දම්මගත්ත.
ජෝතිගෙ සින්දු සීඩී තුන හතරක් ගෙනිහින් දීල සතියකට පස්සෙ මිනිහ මාව හම්බ වෙන්න ඇවිත් දෙකට නවපු කඩදාසියක් දුන්න. ඒක රේස් තුණ්ඩුවක කාබන් පිටපත වදින නිල් කඩදාසියක්. ඒකෙ ලියල තිබුණෙ මම දීපු සීඩීවල නොතිබුණ සින්දු කීපයක්...
'ඊළඟ දවසෙ ඔය ටිකත් එක්ක තව සින්දු ටිකක් ගෙනත් දෙන්න මහත්තයා.. මේ දවස්වල හැමදාම රෑ වෙනකල් අහන්නෙ ඒව තමයි පුතාගෙ ඩෙක් එක තියෙනවනේ...'
කලූගෙ කලුව නැතිකරපු හිනාව මූණ පුරා ඇදිල තිබුණ...
ඔහු මරණය ජයගත්තු කෙනෙක් කියල මට හිතුණ. අඩු තරමෙ ඒ වයසෙදි ධාර්මික වෙන බහුතරයකට වඩා වෙනස්වෙලා ඔහු මරණයට මැදඟිල්ල කෙලින් කරල පෙන්නමින් හිටිය.
මම හිතන්නෙ ඔහු සතුව තිබුණෙ සීමිත චරිත කීපයක්... එක එක කෙනාට එක එක මමවල් ඔහු සතු වුණේ නෑ... මරණයෙන් පස්සෙ ඔහු මොන විධියට පවතින්න ඕනද කියන එක ගැන අදහසක්වත් ඔහුට තියෙන්න නැතිව ඇති. මැරුණට පස්සෙ වෙන දේවල් ගැන මොන රෙද්දකට මහන්සි වෙනවද...
ඒත් මම සතුව මමවල් ගොඩක් ඉන්නව... මටවත් ගණින්න බැරි තරමට... බලුකං, කුහකකං, මරිසිකං හැම එකකින්ම පිරුණු මමවල්...
ඒ හැමෝම මගෙන් එලවල දාන්නෙ නින්ද විතරයි... මල ඉලව් හිත නවත්තන්නෙ නින්ද විතරයි...
ආයෙමත්... මේ කාලෙ හොඳ හොඳට මත් වෙලා නිදාගන්න...
මේ කාලෙ විතරක් නෙවෙයි... කොයි කාලෙත්!!!
Tuesday, 3 January 2012
අවස්ථිතියෙන් මිදී....
පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.
සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.
විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....
ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...
ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...
ඔහු මුලින් හිතුවෙ එහෙම.
එහෙම හිතලා ලියන්න හිතපු ලියවිල්ල තවම ආරම්භ වෙලා නෑ... ලියන්න ඕන විධිය ගැන හිතුනට පේන්නෙ නම් ලියන්න දෙයක් හිතට නොඑන බවක්... තවමත් කොලයයි පෑනයි අතරෙ අඟලක ඉඩක්...
ඉලව් අවස්ථිතිය... පැතිකඩ රූපයි, විදුලි එලියයි, දුමයි එක්ක ඉදිරියට නොයන්නම හිරවුණ හිත...
ඔහු ඉරියව්ව වෙනස් කරල දුම්වැටියෙ අළු කැඩුවා.
ඊට පස්සෙ දිග දුම් උගුරක්. පෙනහළු වල ගර්ත සේරම පිරිල යන්න...
වෙනස්ම ලියවිල්ලක්? හැම වෙලේම ලියන්න පටන්ගන්නෙ එහෙම. ඒත් ලියවෙන්නෙ හැම වෙලේම එකම දේවල් ටිකක් ගැන. එකම විධියට. වෙනසක් නැතුවම...
සමහර විට ඒ චරිත එකිනෙකින් වෙනස් ඇති. මිනිස්සු ඒ චරිත වලට කැමති ඇති. ඉතිහාසෙ පුරාම වෙන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති.
අවසන් වුනු දුම් වැටිය නිවල පොඩි කරපු ඔහු පුටුවෙන් නැගිට්ටා. බෝල රාමුවෙ එල්ලුණ කෝට් එක දාගෙන කාමරයෙන් එලියට අඩිය තිබ්බා. ඔහුගෙ ගත පුරා දැවටුණෙ උහුලගන්න අමාරු දෙසැම්බර් සීතලක්. ඒක තෙතමනයක් නැති වියලි සීතලක්. ඒ සීතලේ ගැහෙන්න පටන්ගන්න කලින් ඔහුගෙ අත ආයෙමත් දුම් වැටියක් හෙව්වා.
නිවසේ ඉදිරි වැට උඩ ඉඳගත්තු ඔහු වලාකුළෙන් වැහුණු අඳුරු අහසට දුම් උගුරක් විද්දා... ඒ දුමින් කිසි දෙයක් මැවුණෙ නෑ. පාවෙන රුවල් නැවක්, මායාකාරියක්, හිම මිනිහෙක්.... කිසි දෙයක් මැවුණෙ නෑ...
ඒත් ඒ දුම වියැකිලා යද්දි වලාකුළු අතරෙ ඔහුට එක තරුවක් පෙණුනා.
ඔහු ඒක දැක්කෙ අද. මේ දැන්.
ඒක අළුත් තරුවක්.
ඒත් ඒ තරුව ඊයෙත් පායන්න ඇති... හැමදාම පායන්න ඇති. ඒක ඔහුට අළුත් වුණේ ඔහු ඒක අද දැකපු නිසා මිස තරුව අළුත් නිසා නෙවෙයි.
ඒ මොහොතෙදි ඒ තරුව කවදාවත් නොදිලුණ තරම් දිලිසෙන්න ගත්තා. තරුවේ එලියෙන් ආයෙමත් ඔහුගෙ අනර්ඝ පැතිකඩ රූපයක් මැවුණා.
වෙනස් වෙන්නෙ මම! වටපිටාව හැමදාම එකවගේ... නැත්තං අඩුගානෙ වටපිටාවෙ වෙන වෙනස්කම් දිග කාලයක් පුරා වෙන නිසා ඒව එකපාරම දැණෙන්නෙ නෑ.
ඔහුට එහෙම හිතුණ. ඒක බොහොම වතාවක් හිතිල තියෙන දෙයක් බවත්, මේ මොහොතෙ ආයෙම ඒක මතක් වුණ බවත් ඔහුට ඒ එක්කම මතක් වුණා.
මල ඉලව්ව!
ඔහු දුම් වැටියෙ කොටේ ඉවතට විසි කරල නැගිට්ටා... ආයෙමත් කාමරේට වැදුණ.
පෑනයි කොලයයි අතරෙ ඉඩ ආයෙමත් විනාඩි ගාණක තිස්සෙ පැවතුණා....
ඊට පස්සෙ කොලය මත ගැටුණ පෑනෙ තීන්ත නොකඩවා ගලාගෙන ගියා.
Subscribe to:
Posts (Atom)
