Showing posts with label father. Show all posts
Showing posts with label father. Show all posts
Wednesday, 6 July 2011
පැත්තකට කෙළ හලමින් තක්කාලි සෝස් හැදුවෙමි
තක්කාලි සෝස් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියල කාලෙකට ඉස්සර ආරංචි වුණ වෙලේ ඉඳන් ගෙදර තක්කාලි සෝස් හදන්න මට හෙන.... පොඩි ආසාවක් ඇති වුණා. ඒත් එක එක එව්ව මෙව්ව නිසා ඕක හදාගන්න එක ටිකෙන් ටික කල් ගියා. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔය සුකුරුත්තන් කෑම හැදුවෙ තාත්ත. අම්ම නං ගොඩක් අනිත් අම්මල වගේම ටීවී එකේ හදන හැම කෑමක්ම බලාගෙන ලියාගත්තත් කවදත් එකම රෙසිපිය දාන්න කමයි කැමති. කොහොම හරි අන්තිමේ ඔය වැඩේ ඇඟේ ගහන්න උන්න අපේ තාත්තත් යන්න ගියා. ඒකෙන් වුණේ වැඩේ මටත් අමතක වුණ එක.
පහුගිය දවසක ඔපීසියෙ කෑම වෙලාවෙදි කාන්තාවො සෙට් එක කතා වුණා තක්කාලි වල ගණන් සෑහෙන්න අඩු වෙලා... කිලෝව රුපියල් 10-15ටත් තියෙනවා කියල. ඔතනදි තමයි අර හැංගිල තිබුණ තක්කාලි සෝස් හැදීමේ ආසාව ආයෙත් මතුවුණේ. එදාම ඕක අම්මට කියල බැලුව. බැලින්නම් එයත් ඒ වෙද්දි ඔය ලොයිඩ් මහත්තයගෙ වස සරණිය එහෙම බලල වැඩේ පොඩ්ඩක් අල්ලගෙනයි හිටියෙ. ඉතිං බල බලා ඉන්නෙ නැතිව අම්මට කිව්ව පොළට ගියාම තක්කාලි කිලෝවක් විතර ගේන්න කියලා...
මම තක්කාලි සෝස් හදන වීඩියෝ කීපයක් හොයල ඒව අම්මටත් පෙන්නුව. ඊට පස්සෙ ඔන්න පහුගිය දවසක අම්මයි මමයි දෙන්න එකතු වෙලා හදන්න පටන් ගත්ත තක්කාලි සෝස්.
තක්කාලි සෝස් හැදිල්ලෙ විශේෂත්වය තමයි ප්‍රධාන ක්‍රමය ඇරුණම සෝස් එක හදන්න ක්‍රම ගොඩක් තිබීම. ඒ එක්කම තමන්ගෙ කැමැත්ත අනුව ඒකට එකතු කරන්න පුළුවන් රසකාරක වල සීමාවකුත් නැහැ. ඒ වගේම තමන්ට කැමති විධියට තක්කාලි වලට අමතරව වෙනත් එලවලු වලින් පොඩ්ඩක් බැගින් එකතු කරගන්නත් පුළුවන්.
එහෙනම් අපි හදමු. මේක ගැන පෝස්ට් එකක් ලියන්න පුළුවන් නේද කියල මතක් වුණේ පස්සෙ නිසා පියවරෙන් පියවර දාන්න නම් පින්තූර නෑ. තියෙන ටිකත් මගෙ K770i එකෙන් දුර්වල ආලෝක තත්ත්වය උඩ ෆ්ලෑෂර් සහිතව සහ රහිතව ගත්තු එව නිසා කොලිටිය පිළිබඳ සමාව භජන්න.
අවශ්‍ය ද්‍රව්‍ය -
ඉදුණු තක්කාලි කිලෝවක් පමණ
සීනි ග්‍රෑම් 75ක්
ලුණු කුඩු මේස හැඳි 1ක් හෝ අවශ්‍ය ප්‍රමාණයට
හෝ මිරිස් කරලක් දෙකක් (මේවට නයි මිරිස් කියලත් කියනවා. වෙන නමක් තියෙනවද දන්නේ නෑ.. හෙන සැරයි සහ සුවඳයි. මේව අපි හිතල දැම්මේ සුවඳ වෙන්නත් එක්ක... කරල් දෙකක් ටිකක් වැඩියිත් වගේ.)
කෑලි මිරිස් මේස හැඳි 2-3ක් (සැරට ඕනනම් තව දාන්න පුළුවන්. මම හෝ මිරිස් දාපු නිසා කෑලි මිරිස් ඒ තරම් දැම්මෙ නෑ.)
කරපිංචා ටිකක්
කෝන් පිටි හැඳී කීපයක් (ඔය කෑම හදන උදවිය මේවට කියන්නෙ කෝන් ෆ්ලා කියල. මේව නැතත් අවුලක්නම් නැති වෙයි.)
සුදු ළූණු බිකි 5-6ක්
තව ඔය එනසල්, කරාබු නැටි, ගම්මිරිස්, කුරුඳු වගේ රසකාරක ඕන දෙයක් පොඩ්ඩ පොඩ්ඩ
ඔලිව් ඔයිල් නැති නිසා පොල්තෙල් මේස හැඳි කීපයක්
විශේෂ උපකරණ විධියට බ්ලෙන්ඩරයක් සහ ටිකක් ලොකු සිදුරු තියෙන පෙණේරයක් හොයාගන්න වෙනවා. තේ පෙරණ, පිටි හලන එව්ව නෙවෙයි... ඔය පොල්කිරි පෙරන්න ගන්න මිලිමීටරේ විතර සයිස් සිදුරු තියෙන එකක්.
සාදන ක්‍රමය
මුලින්ම තක්කාලි ටික තම්බන්න පුළුවන් තරම ප්‍රමාණයකට වතුර ටිකක් උණු වෙන්න තියන්න. ඒක රත් වෙන අතරෙ තක්කාලි ටික සෝදලා ඒවයෙ පැත්තකින් උඩ ඉඳන් පහලට පොත්ත විතරක් කැපෙන ගානට කැපුමක් දාන්න. වතුර ඩාන්ස් කරද්දි ඒකට තක්කාලි ටික දාල විනාඩි 6-7ක් විතර තම්බන්න.
ඊට පස්සෙ තක්කාලි ටික හැන්දකින් අරගෙන සීතල වතුරෙ දාල රස්නෙ යනකල් ටිකක් වෙලා තියෙන්න දෙන්න. එතකොට තක්කාලි වල පොත්ත නිකංම බුරුල් වෙලා යනව අර කැපුම නිසා. ඒ තක්කාලි එක එක අරගෙන පොත්ත ගලවලා අයින් කරන්න. ලොකු සිදුරු තියෙන පෙනේරය භාජනයක් උඩින් තියලා ඒකට තක්කාලි ටික දාල විනාඩියක් විතර තියන්න වතුර බේරෙන්න. (වතුර බේරුවෙ නැතත් කමක් නෑ... මොකද පස්සෙ වතුර එකතු කරන්න වෙන්නත් පුළුවන්. අපි මේ තියරියට හදන්න ගිය නිසයි වතුර බේරුවේ...)
වතුර බේරෙන අතරෙ අර මිරිස්, ළූනු වගේ ඒව පොඩියට කපල (ලොයිඩ් අංකල් කියන්නෙ චොප් කරනව කියල) තියාගන්න...
ටිකක් උස සාස්පානක් ලිපේ තියල ඒකට තෙල් ටික දාල කරපිංච එක්ක පොඩියට කපාගත්තු එව්ව සේරමත් දාල පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න. ලිපේ ගින්දර වැඩි නොකර මද ගින්නේ තමයි වැඩේ වෙන්න ඕන.
ඒකට වතුර බේරපු තක්කාලි ටික දාල කෑලි වෙන් වෙන විධියට හැඳිගාන්න. විනාඩි 10-15ක් එහෙම කරලා කුරුඳු, ගම්මිරිස්, කරදමුංගු, කරාබු නැටි වගේ හොයාගත්තු සේරම රසකාරක ඒකට දාන්න. ඒ එක්කම කෑලි මිරිස්, සීනි, අවශ්‍ය තරමට ලුණු එක්ක අනිත් නොදාපු සේරමත් දාගන්න. දාල ආයෙත් හැඳිගාන්න. ඒ අතරට කෝන් පිටි මේස හැඳි 2-3ක් ඒ තරලයට එකතු කරන්න. ඒකෙන් සෝස් එක ටිකක් උකු වෙනවා.
ඔය සේරම එකතු කලාට පස්සෙත් තව විනාඩි 20-30ක් විතර හැඳිගාමින් සෝස් එක හදන්න වෙනවා. රස බලල අඩුවැඩිය එකතු කරන එකත් ඒ අතරෙ කරන්න පුළුවන්. උකු වැඩියි වගේ දැණෙනවනම් වතුර පොඩ්ඩක් එකතු කරල ආයෙ හැඳි ගාන්න. ඊට පස්සෙ භාජනේ ලිපෙන් බාල ටිකක් නිවෙන්න තියන්න. බ්ලෙන්ඩර් එකට සේරම දාල විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගන්න. ඊටත් පස්සෙ ඒක ආයෙමත් අර ලොකු සිදුරු සහිත පෙනේරයට දාල තක්කාලි ඇටයි වෙනත් පොඩි නොවුණු හප ටිකයි පෙරල අයින් කරන්න.
දැන් සෝස් එක හරි. මම කලා වගේ ඇඟිල්ල ඔබල ටිකක් අරන් දිවේ ගාල බලන්න :P
අපි හදපු එකේ කඩේ තියෙන ඒවට වඩා ගතියක් තිබුණත් අර නයි මිරිස් කරල් දෙකක් දාපු නිසා ටිකක් විතර සැර වැඩි වුණා මුලදි. අදට දවස් 2ක් වෙනව හදල. දැන් නම් සැර අඩුයි. ගෙදර උන් කන විධියට තව දවස් කීපයක් තියෙයි :D
මේක ශීතකරණයක තියාගෙන සතියක් විතර කන්න පුළුවන් වෙයි. අපි කල් තියාගන්න රසායන ද්‍රව්‍ය නොදැම්ම නිසා ඊට වඩා තියාගන්න නම් බැරි වෙයි.
මේක හැදිල්ල ඉගෙනගන්න බලපු වීඩියෝවක විධියට හරියටම සෝස් එකේ පදම එන්න නම් ඒක පැය 1 1/2ක් ලිපේ තියන්න ඕනලු.
විනාකිරි සහ සෝඩියම් බෙන්සොඒට් එකතු කරල මේක බෝතල් කරල කල් තියාගන්න පුළුවන් විධියට හදාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් අපි දන්නෙ එකම එක තක්කාලි සෝස් එකක් වුණාට තක්කාලි සෝස් කිව්වම එකක් නෑ.... ඒක වෙනත් කෑමක් රස කරන්න පාවිච්චි කරන එකක් නිසා තමන්ට උවමනා දේවල් එකතු කරල සහ උයන වෙලාව වෙනස් කරල සෝස් එකේ රස සහ ස්වභාවය වෙනස් කරගන්න පුළුවන්. මම දැකපු එක වීඩියෝවකදි කෙනෙක් කැරට්, බෙල් පෙපර්, ගෝව වගේ ඒවත් දැම්මා... මොනව වුණත් ගොඩක්ම තියෙන්නෙ තක්කාලි නිසා බ්ලෙන්ඩ් වුණාට පස්සෙ කෝකත් තක්කාලි සෝස් තමයි.
මේක ගැන හොයද්දි මේ සෝස් හැදිල්ල ගැන සිංහලෙන්ම කියාදෙන වීඩියෝවක් හම්බ වුණා. ඒක මෙතනින් බලන්න. ඒ එක්කම ඒ සයිට් එකත් ගොවිතැන් ගැන උනන්දු අයට මරුවට හිතට අල්ලයි.
ඔයිට අමතරව එක එක විධි වලට තක්කාලි සෝස් හදන විධි දැනගන්න මෙතනින් පුළුවන්!
Tuesday, 21 June 2011
කණේ වැටුණු එදිනෙදා කතාවක්!
මෙය කාර්යාලයේ දහවල් කෑම පැයේදී මතුවී පැමිණි එදිනෙදා කතාවක් මතින් හටගත් අදහසක් වන අතර කිසි සේත්ම සීරියස් නැති තවත් කතාවකි.
මාස කීපයකට පෙර මාගේ කාර්යාලීය මිතුරා උතුම් වූ පීතෘත්වය ලැබීය. ඔහු විසින් නිතර දෙඩීමේ යෙදෙන ඔහුගේ කුඩා දියණියගේ දඟකාරකම් දහවල් කෑම පැයේදී අප තුටු කරවන අංගයක් වෙමින් පවතී. අද දින ආහාර ගන්නා අතරතුර මා මිතුරා පැවසූවේ තව මසකින් පමණ දියණියගේ කණ් විදීමට අවශ්‍ය බවයි.
මම එයට එක හෙලා විරුද්ධ වීමි.
"ඒකි ලොකු වෙලා එයාටම ඕන කියල හිතුණොත් එයා විදගනියි."
මම කීවෙමි.
"ලොකු වුණාම විදින්න අමාරුයිනෙ. එතකොට වේදනාව වැඩියි."
"ඒ වුණාට එයාට ඕන නිසානෙ එතකොට විදගන්නේ..."
මිතුරා මා දෙස අවඥ්ඥා සහගත බැල්මක් හෙලීය.
"උඹ ඔය කියන එක ප්‍රායෝගික නෑ මචන්..."
ඔහු කීය.
"උඹල ඔය ඉන්න හීන ලෝක වල දේවල් හැබෑ ලෝකෙ කරන්න බෑ බං..."
ඒ ඔහුගේ බැල්ම තුල ගම්‍ය වූ ඔහු නොකී දේ ය.
ලබන මස ඔහු තම දියණියගේ කන් පෙති සිදුරු කිරීමට වග කියනු ඇත.
ලංකාවේ ගැහැණිය ගැහැණියක් කිරීම ඇරඹෙන්නේ එලෙසය.
මෙය අළුත් මාතෘකාවක් නොවේ.
වසර දොළහකට පමණ පෙර මා ඇතුළු එවක පාසල් අවදියේ හුන් මිතුරන් කීප දෙනෙකුගේම මොළයේ සාම්ප්‍රදායික මළකඩ සෝදා හරින ලද සඟරාවක කුඩා දියණියන්ගේ කන් විදීමේ අර්බුදය ගැන ලිපි කීපයක් පලවී තිබිණ. දැන් ඒවා මතකයට නැගෙන්නේ නැතත් බොහෝ ගැඹුරු දාර්ශණික හේතු සහ කාරණා සපයමින් අදාල කන් විදීමේ කටයුත්ත ගැහැණියට ස්ත්‍රීත්වය එබ්බවීමේ පුරුෂ ක්‍රියාවලියේ ආරම්භක අවස්ථාවක් ලෙස එහි විස්තර වී තිබුණි.
එකල වචනාර්ථයේ රැඩිකල් චින්තන සංකල්පයේ බැස හුන් අප එම අදහස් හිස් මුදුණින් ගෙන මහා සොයාගැනීමක් සේ සාකච්ඡා කල අයුරු මට මතකය.
ගැහැණිය සහ පිරිමියා යනුවෙන් මානසිකවම වෙන් කිරීමේ කටයුත්තට අත් පොත් තැබෙන්නේ දියණියන්ගේ කන් පෙති සිදුරු කිරීමෙනි. බොහෝ විට මෙය සිදු කිරීමට තීරණය කරන පියවරුන් ඉන්දියාවේ කාන්තාවන් විසින් සිදු කරන සති පූජාව පිළිබඳව උණුසුම් ලෙයින් ප්‍රකෝපිත වන්නවුන්ය. තමන්ගෙ දියණියට කිසිදු අනතුරක් සිදුවන්නට ඉඩ නොදෙමැයි සිතින් ගිවිස ගන්නා මව සහ පියා යන වධකයින් දෙදෙනා විසින්ම තම දියණියගේ කඳුලු දකිමින් ඇයගේ දෙකන් පෙති විද දමයි. එහෙත් එය සාධාරණය. මන්ද එළොවටත් මෙළොවටත් දෙළොවටම නැති අතරමැදියකු ලෙස තම දියණිය වැඩෙනවා දකින්නට දෙමාපියන් අකමැති බැවිණි.
මා හට ඇති ගැටළුව වන්නේද එයයි. දෙකන් පෙති නොවිදි ගැහැණු දරුවකු වර්ධනය වීමේදී අන් ගැහැණු ළමුන් අතර ඇයගේ පැවැත්මේ වෙනස ඇයට කෙසේ බලපානු ඇත්ද? ඇගේ කන් පෙති නොවිදීම පිළිබඳ ඇගේ මිතුරියනුත්, ගුරුවරියනුත් ඇයව මුළුගත කිරීමට ඉඩ ඇත. නිවස අවට වෙසෙන්නන් ඇයව අමුතු සත්ත්වයෙක් ලෙස දකින්නට ඉඩ ඇත. ඥාතීන් අතර ඇය අවපස ලෙස සුවිශේෂ වනු ඇත. ඇය නිතර ඇයගේ අඩුවක් ගැන සිතමින් සිටින්නියක් වනු ඇත. එවිට ඇයට විසඳුමක් ලෙස ස්ව කැමැත්තෙන්ම කන් පෙති විදගැනීමට උවමනා වනු ඇත. එය අතිශය වේදනාකාරී දෙයක් වන නිසාම ඇය තම දෙමාපියන්ට ශාප කරනු ඇත.
"අනේ ඔයාලගෙ කෙහෙල්මල් ආදරේ.... පුංචි කාලෙදිම මගේ කන් විද්දනම් ඉවරයිනේ...."
කඳුළු පිරි දෙනෙතින් ඇය නගන්නට ඉඩ ඇති මැසිවිල්ල එසේ නොවනු ඇතැයි කිව හැකිද?
දෙමාපියන් සැලිකිලිමත් වීමට අවශ්‍ය වනුයේ එය පමණක්ම නොවේද?
සියල්ලටම වඩා බියකරු සාධකය වනු ඇත්තේ ඇයගේ ස්ත්‍රීත්වයේ උවමනාවන් සහ ලක්ෂණයන්ද මෙකී කන් නොවිදීමේ අඩුව නිසා ඇයට අහිමි වන්නට හැකිද යන්නයි. එනම් ඇය පිරිමියකු ලෙස දැණෙන ගැහැණියක වේද යන්නයි. එය පිළිබඳව කීමට තරම් ඒ සම්බන්ධ දැනුමක් මට නොමැති බැවින් එම අවස්ථාව විශ්ලේෂණය කරගැනීම ඔබට බාරය. කන් නොවිදි ගැහැණු දරුවකුගේ මානසික ලිංගිකත්වය ඒ හේතුව නිසාම වෙනස් වන්නට ඉඩ තිබේද?
මට සිතෙන්නේ එසේ වීමට හැකියාවක් නම් නැති වග වුවත් දියණියන්ගෙ කන් පෙති විදින්නට පෙරුම් පුරන පියවරුන්ට නම් එය එසේ වනු ඇතැයි සිතීම වාසි සහගතය.
එසේ වුවත් මා පවසන්නේ සිය දියණියගේ සිඟිති කන් පෙත්ත සිදුරු කරන්නට පළමු සෑම දෙමාපියෙක් විසින්ම සිය කණ් පෙත්ත සිදුරු කරවා ගැනීමට උත්සාහයක් ගත යුතු බවය. නොඑසේ නම් කණ් විදීම යනු දරුවන් ආයෝජනයක් ලෙස දැකීමේම තවත් එක් පැත්තක්ද යන්න පිළිබඳව නැවත සිත අවදි කල යුතු බවය.
සියල්ල අවසානයේ කීමට තවත් යමක් ඇත. මේ සටහන ලියවෙන්නේ දිනක් තුල දෙවතාවක් මා ගැහැණු දරුවන්ගේ කන් පෙති සිදුරු කිරීමේ මානුෂික වෘතය පිළිබඳ සිත් පහල කල බැවිණි.
පාසල් අවදියේ මා හා එක්ව පෙර කී රැඩිකල්මය නොයෙක් දේ හදාල සහ ඒ පිළිබඳව කථා කල මා මිතුරෙක් සිය දරු දෙදෙනාත් බිරිඳක් කැටුව අද දින මට සම්මුඛ විය. එකල ඔහු තමා දිනෙක දියණියකගේ පියෙකු වූ විටෙක කිසි කලෙකවත් ඇගේ කන් පෙති නොවිදින බවට කැඩ කැඩූවකු වූ අතර මෙකල ඔහු වසරකට මදක් වැඩි වයසැති කන් පෙති විදින ලද දියණියක් කරපින්නාගෙන සිටියේය.
Thursday, 24 March 2011
මගෙ අම්මා සහ ඇගෙ අම්මා | සියළු සත්වයෝ දුප් යන්න
මේ කියන්නට යන සිදුවීම් කීපය මුල් කරගෙන මගෙ අම්මාවත් ඇගෙ අම්මාවත් විග්‍රහ කරන්නට නොයන මෙන් මුලින් ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.
මුලින් මගෙ අම්මාගේ කතාව කියන්නට උවමනාය.
තාත්තා නැති වූ පසු අම්මාගේ හිත හදන්නට එකී මෙකී නොකී සියළු දෙනා එක එක විජ්ජා යෝජනා කළෝය. කට්ටියක් කියවන්නට සුදුසු එක එක බැරෑරැම් පොත්පත්ද, පත්තරද ගැන කියවීය. මනස ගැන කියවන්නට උපදෙස් දුන්නෝය. නිවන ගැන බරපතල පොත් ගැන කිව්වෝය. අහන්නට හොඳ ධාර්මික ගීත ගැන ගායනා කළෝය. නින්දට යන විට අසන්නට කියා අලවතුරේ බ්‍රෑන්ඩඩ් හොඳ කවි බණ කැසට් නිර්දේශ කළෝය.
හැමෝටම උවමනා වූයේ තාත්තාගෙන් හිස්වූ අම්මාගේ හිතේ ආගම පුරවන්නටය. හාවක් හූවක් නැතිව සියල්ලටම කන් දුන් අම්මා දැන් ඉස්සර ජීවත් වූ ලෙසම ජීවත් වන්නීය. ඇය පන්සලට ගියේ මරණාධාර සමිතියේ රැස්වීමට පමණි. විශේෂයෙන් ඇසූ බණක්ද නැත. ඒත් ඇයගෙන් කාටවත් කරදරයක්ද වූයේ නැත. යහපත්ව ජීවත් වන්නට පන්සලවත් අගමවත් අත්‍යවශ්‍ය නැත කියන කාරණේ ඇයට කියා දී තිබුණේ පන්සලේ පස් නොපෑගූ තාත්තාය.
ඒත් තාත්තාගේ මරණයෙන් තෝන්තු වී සිටි ඇයට ආගමික පුරුදු එන්නත් කිරීමට ඇගේ අම්මා හෙවත් මගේ ආච්චි අම්මා තැත් දැරුවාය. අවසානයේ සීයාගේ මරණයෙන් පසු තමා ප්‍රතිස්ථාපනය වූ අයුරින්ම අම්මාවද සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට ආච්චි අම්මා සමත් වූවාය. දැන් අපෙ අම්මා බුදුන්ට පහන තියන්නීය. හවස හයට මල් පූජා කර හඳුන් කූරක්ද දල්වා බුදුන් වඳින්නීය. ආච්චි අම්මා විසින් නිර්දේශ කරනු ලැබූ ගාථා අඩංගු පොත් වහන්සේ ළඟ තබාගෙන එම ගාථා කියවන්නීය. ඇගේ මේ වතාවත් හවස හයේ සිට නොවරදින දෛනික පිළිවෙතක් බවට පත් වී ඇත.
...............................
අපෙ අම්මා බළලුන්ට කැමති නැත. උන් ඇල්ලීමටද කැමති නැත. උන්ගේ ඥාව්වද ඇයට හිරිහැරයකි. බළලුන්ට ආදරය කරන්නට අම්මාට උගන්වන්නට තාත්තා අසමත් වුවත් තාත්තා විසින් නිවසේ ඇති කරන ලද බැළලිය වෙත අම්මා තවමත් කරුණාව දක්වන්නීය.
එම බැළලිය විසින් ප්‍රසූත කරන ලද පැටවුන් දෙදෙනෙක්ද මේ දිනවල අප නිවසේ වෙසෙයි. තවමත් දොට්ටපිලට යාමට උවමනා වූ විට නිවසෙන් එලියට යාමට අසමත් මුන් ගේ හැමතැනම උන්ට රිසි අහු මුළු සුවඳ කරයි. මෙය අම්මාට ඉවසුම් නොදෙන්නකි. නිවසේ වූ බළලුන්ගේ අතිශයින් දුර්ගන්ධ වූ මළ පිරිසිදු කිරීමද, මුත්‍රා පිස දැමීමද ඇය කලේ බළල් පැටවුන්ටද උන්ට කිරි දෙන උන්ගේ මෑණියන්ටද බැණ වදිමින් බව මම දනිමි. එයට තිබූ අකමැත්ත නිසාම ඇය බළලුන් නිවසේ අහුමුළු වෙත, කාමර වෙත ඇදෙනවා දුටු සැණින් ආවේස වී උන් එලවන්නීය. එවිට ඇය උන් හිටිතැන් අමතක වන තරමටම විස්සෝප වන්නීය.
මේ සිදුවීම සිදු වන විට අම්මා සිටියේ නිවසේ බුදු පිළිමය තබා තිබූ වේදිකාව යට කුෂන් එකක් දමා එහි හිඳගෙන ඇගේ දෛනික වන්දනාවේ යෙදෙමිනි. නිහඬ පරිසරය අතරින් ඇයගේ මිමිණීම මට ඇසුණි. බුදු ගෙය අසලම පුටුවක මා සිටියේ කියවමිනි.
එක් වරම අම්මා කෑ ගැසුවාය.
"දු:ප් යන්න"
මම හැරී බැලුවෙමි. අම්මා වහා වන්දනාව නතර කර හුන් තැනින් නැගිට නිවසේ ප්‍රධාන දොර වෙත දිව ගියාය.
"පෙනේද මේකා කරන්න ගිය වැඩේ... මං බලාගෙන හිටියෙ හෙමින් හෙමින් දොර මුල්ලට කිට්ටු කරනව... දැක්කෙ නැත්තං චූ කරනව."
ඇය බළල් පැටවෙක් සෙමෙන් පාදයෙන් තල්ලු කර නිවසෙන් එළියට දැමීය. පසුව නැවත පැමිණ දොහොත් එක්කොට වඳින්නට වූවාය.
...............................
ඇගෙ අම්මාගේ හෙවත් මගේ නැන්දම්මාගේ කතාවේ ප්‍රධාන චරිතය ඇය නොවේය. එසේම සාමාන්‍ය දිනයකදී නම් එම සිදුවීම වැඩි දුර නොසිතාම බැහැර කරන්නට මට හැකියාව තිබෙන්නට ඉඩ තිබුණි. එහෙත් මේ දිනය විශේෂය.
එදා ඇගෙ අම්මාගේ නිවසෙන් පන්සලේ දිවා දානය පිරිනමන දිනයයි. සෑම මසකම කලින් වෙන් කරගත් දිනක ඇය බැතිබර සිතින් පන්සලට දානය පිළියෙල කරන්නීය. ඒ සඳහා සම දායකත්වය සපයන්නේ නැන්දම්මාගේ අල්ලපු ගෙදර මිතුරිය වන කාන්ති නැන්දාය. දෙදෙනා ගජ මිතුරියන් වනවා මෙන්ම මෙවන් දාන මාන ආදී කටයුතු වලදී අන්‍යෝන්‍ය වශයෙන් උදව් පදව් කරගනියි.
මෙදින දානය පිළියෙල කිරීමද දෙදෙනා විසින් සිදු කල අතර ඇය හෙවත් මගේ බිරින්දෑද සහයට ඩැනීවරියක් සේ කටයුතු කළාය. මා සාලයට වී සිටියේ පසුගිය සතියේ පුවත් පත දිගඇරගෙනය. පුවත්පත මත දෑස තිබුණද සවනට වැටුණේ කුස්සියේ වූ කතා බහයි.
තිදෙනා එක්ව අර්තාපල් සුද්ධ කිරීම සඳහා සූදානම් වන හඬ මට ඇසේ...
"අනේ ඕක ඔයාට කරන්න බෑ.. කෝ දෙන්න මම කරන්න. මේව පිළිවෙලට කරන්න එපැයි ඔයා යන්න අර කරපිංච, මිරිස් ටික සෝදල ගන්න..."
නැන්දම්මා තම දියණියට පවසන්නීය.
"අනේ ඒක තමයි දූ... අම්මට දෙන්න ඕක කරන්න. දානෙ දෙන්නනේ..."
කාන්ති නැන්දාද ඇගෙ අම්මාගේ පැත්තේය.
කතාවත් වැඩත් එක දිගට ගලා යයි. මමත් පත්තරේ එකම ඡේදය කියවමින් නිදිමතේ සිටිමි. මගේ නිදිමත බිඳුණේ එක වරම ඔවුන්ගේ කතාව වෙනස් වූ බැවිණි.
"ආනේ මේ.... තෙල් කූඹි ආයෙත් ඇවිත්.... බලන්න කාන්ති අක්කෙ මේ තෙල් කූඹි වගයක් ඇවිත් හරිම කරදරේ"
"කෝ බලන්න.... ආ... "
"කලිනුත් ඇවිත් ඉඳල මම පිහිදාල දැම්මා... දැන් ආයෙත් ඇවිත්... මේ.. මේ... බිත්තිය අයින දිගේ එනවා..."
"ඔය කූඹි පිහිදැම්මට යන්නෙ නෑ... ලාම්පු තෙල් දාන්න ඕන... කෝ ලාම්පු තෙල් තියෙනවද?"
"දූ.. ඔන්න ඔය කෑන් එක දෙන්න නැන්දට..."
"කෝ දෙන්න කෑන් එක... පොල් මුඩ්ඩක් කෝටුවක ගැටගහල ගන්න දුව..."
සැර භූමිතෙල් සුවඳක් සමග ඔවුන්ගේ ජරමරය මට ඇසුණි. සෙමෙන් කුස්සිය වෙත ඇදුණු මා දුටුවේ හිරමණ බංකුව මත නැගී කුස්සියේ එක් බිත්තියක භූමිතෙල් ආලේප කරන කාන්ති නැන්දාය. ඇගෙ අම්මා භූමිතෙල් දැමූ පොල්කටුවක් අල්ලාගෙන සිටින අත ඇය ඉණට දෑත තබාගෙන බලා සිටියාය.
...............................
මේ කතා යුග්මයම අප දෙදෙනා විසින් සාකච්ඡා කර ගන්නා ලද අවසන් තීරණය වූයේ අප දෙදෙනා කෙසේ වෙතත් අවම වශයෙන් අපේ අම්මලා එක බෝට්ටුවේ බවය.
හුදු නිර්මාණයක් පමණි. නම් ගම් මන:කල්පිතයි. සිදුවීම් තුල කතාව මවාපෑම පිණිස යොදාගත් චරිත, අන්තර් සම්බන්ධතා සහ අතිශයෝක්ති සහිතයි.
Tuesday, 22 February 2011
තීන්ත බාස්
තීන්ත බඳුණට වැටුණු කෘමියා ඒ මේ අත දඟලන්නට විය. මම වහා බුරුසුව පැත්තකින් තබා දබරඟිල්ල තීන්ත බඳුණට ඔබා කෘමියා එලියට ගත්තෙමි. එහෙත් තිනර් යොදා තනුක කල එනැමල් තීන්ත ද්‍රාවණයෙන් ඌට ගැලවීමක් පෙනෙන්නට තිබුණේ නැත. තීන්ත සීරැවෙන් කෘමියාගේ සිරැර වසා පැතිරී ඌ වර්ණ ගැන්විණි.
මොහොතකින් උගේ දැඟලිල්ල නතර විය. ඌ මට සිතාගතවත් නොහැකි මරණයකට ගොදුරු වී ඇත. ඇඟිල්ල ඒ මේ අත හරවා හොඳින් බැලූ විට කෘමියා මදුරුවෙක් බව පෙණුනි. වෙනදාට හොඳින් දැකිය නොහැකි ඌ ලේ උරා බොන කීලය ලා කොළ පැහැයෙන් වර්ණවත්ව හොඳින් පෙණෙන්නට තිබුණි. පිහාටු යුගල එනැමල් තීන්තෙන් එකට ඇලී දිස් විය. අඬු සහිත සිරුරේ ඉතිරි කොටස ඇඟිල්ල මත තීන්ත ගුලියකින් ඇලී තිබුණි.
මගේ සිතේ සියුම් දුකක් මතු වී එන්නට විය. මම වෙනදාට මදුරුවන් සිත්සේ මරුමුවට යවා ඇත්තෙමි. ඇඟේ වසා ලේ උරා බොන විටදීද, මදුරු දැල තුලට සිදුරකින් රිංගා නැවත පිටවීමට නොහැකිව පසු දින උදෑසන තෙක් රුඳී සිටි අවස්ථා වලදීද මම කිසිදු හැඟීමකින් තොරව උන් අත්ලෙන් තලා ඇත්තෙමි. මදුරු කරදරය දැඩි කාල වලදී කාමරයේ අහුමුළු වල එල්ලී සිටි මදුරුවන් බිත්තියට අත්ලින් ගසා පොඩි කල සලකුණු අද ද මාගේ කාමරයේ දකින්නට ඇත.
එහෙත් තීන්තෙන් පෙඟී මියගිය මදුරුවා මා තුල දුකක් ඇති කර ඇත.
......................
තාත්තාගේ අභාවයේ තෙමස් පූර්ණ දානමය පිංකම වෙනුවෙන් නිවසේ තීන්ත ආලේප කරන්නට උවමනා වූයේ අම්මාටය. අප නිවස අවුරුදු දහයකින් මෙපිට වර්ණ නොගන්වා දුර්වර්ණ වී තිබූ බැවින් එම අදහසට පවුලේ සියළු දෙනා විවාදයකින් තොරව එකඟ විය. මා තීන්ත උලන්නකු බවට පත්වූයේ එහි ඇවෑමෙනි.
නිවස තුල බිත්තිවල වර්ණ ආලේප කල පසු මම ජනෙල් රාමුවල ආලේප කරන්නට ගෙනා එනැමල් තීන්ත ආලේප කරමින් සිටියෙමි.
තාත්තා පසුගිය වසර කීපයේම නිවසේ තීන්ත ආලේප කරන්නට උනන්දු වූයේ නැත. ඒ පිළිබඳව අම්මා මැසිවිලි නැගූ හැම මොහොතේම 'වැඩ වැඩි කරගන්න එපා' යයි කියමින් තාත්තා එම අදහස ඉවත හෙලීය. නිවසේ වර්තමාන තීන්ත ආලේපය ප්‍රමාණවත් බවත් අනුන් කරන පලියට වසර දෙක තුනක විරාම සහිතව නැවත නැවත තීන්ත ආලේප කිරීම අනවශ්‍ය බවත් තාත්තා පැවසීය. එහෙයින්ම වැඩ වැඩි කර ගැනීමට කිසිසේත්ම කැමති නොවූ මා ද තීන්ත ආලේපය පිළිබඳව උනන්දු වූයේ නැත.
එහෙත් අවසානයේ තාත්තා විසින්ම නිවසේ තීන්ත ආලේප කරන්නට හේතුවක් සපයා දී ඇත.
ඔහුගේ නික්ම යාමේ තෙමස් පූර්ණ පිංකම සඳහා ඉතිරිව ඇත්තේ සතියකට මදක් වැඩි කලකි. සියල්ලෝ ඊට සූදානම් වූයේ බොහොමත්ම සැදැහැවත් සිතකිනි. ධර්ම දේශණයට පෙර, නිවසේ සූදානමේ සිටම දානමය පිංකම අවසානය දක්වාම සියල්ල සැලසුම් වූයේත් ඒවාට අදාල දින වකවානු වෙන් වී වගකීම් බෙදී ගියේත් වසර ගණනාවකින් අප නිවසේ පැවැත්වෙන පිංකම වෙනුවෙන් භක්තිමත් සිතිණි.
මා තවත් කීප දෙනෙකු හා එක්ව කල් තියා තීන්ත ආලේප කරන්නට වූයේ දින ආසන්නවත්ම වෙනත් රාජකාරි අධික වන හෙයිනි.
නිවසේ කවුළු වලට ඉහලින් තිබූ වා කවුළු තුල තීන්ත ආලේපයේදී මම ඒවා තුල බැඳ තිබූ කුඹලුන්ගේ මැටි ගෙවල් කීපයක්ම කඩා ඉවත් කලෙමි. ඒව ඉතා පැරණි වූ අතර මේ වන විට වාසස්ථාන වී තිබුණේ නැත. එබැවින් ඒවා විනාශ කිරීම පිළිබඳ වරදකාරී හැඟීමක් මට දැණුනේ නැත.
නිවස තුල මෙන්ම පිටතද බැඳ තිබූ මකුළු දැල් රාශියක් අම්මා විසින් කොස්සකින් කඩා ඉවත් කරන ලදී. කොස්සෙන් ඉවත් කිරීමට නොහැකි මුළු වල තිබූ සියුම් මකුළු දැල් තීන්ත ආලේප කරන අවස්ථාවේදී කෝටු කැබැල්ලක අමුණා ඉවතලන ලදී. මකුළුවන් කිහිප දෙනෙකුට වඩා මා නුදුටු අතර උන් ඇතැම් විට පැමිණෙන විපතේ සේයාව දැනී කලින්ම ඉවත්ව ගොස් සිටින්නට ඇත.
නිවසට පිටින් සහ ඇතුලතින් විහිදී තිබූ කුහුඹු මාවත් සහමුලින්ම විනාශ විය. ආලේපයට පෙර රෙදි කැබැල්ලකින් ගසා කුහුඹුවන් ඉවත් කලද ආලේපයෙන් පසු උන් ඒ මත ඇවිදින්නට යාමෙන් තීන්තෙහි ඇලී කණ්ඩායම් වශයෙන් මියගොස් සිටි අයුරු මම දුටුවෙමි. උන් මත ආලේප වන සේ නැවතත් බුරුසුවෙන් තීන්ත පාරක් යැවීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.
......................
මම තවමත් මාගේ දබරඟිල්ල මත මියගොස් සිටි මදුරුවා දෙස බලා සිටින්නෙමි. මදුරුවා මහා ජීවිත සංහාරයක් පිළිබඳව මාගේ සිහිය අවදි කලද ඒ වෙනුවෙන් ඌට දිවියෙන්ම වන්දි ගෙවීමට සිදුවී ඇත. ආසන්නව ගත්කල ජීවිත සියයකට වැඩි ප්‍රමාණයක් මේ තීන්ත ආලේප සංග්‍රාමය නිසා විනාශ වී ඇත. නමුත් පිංකම පිළිබඳ හැඟීම බලවත් වී ඇති බැවින් එම ජීවිත සංහාරය පිළිබඳව අප සවිඥාණික වූයේ නැත.
දානමය පින්කමේ පින් බලය ජිවිත සියයක සංහාරය වෙනුවෙන් තුලනය වෙයිද?
මගේ මනස තෝන්තුවන්නට විය. කලාතුරකින් දැණෙන ආගන්තුක තැනක වෙසෙනවා වැනි හැඟීමක් මොහොතකට මට දැණුනි. වහා මේ සියල්ලෙන් පලායන්නට මට උවමනා විය.
මම දබරඟිල්ල මහපටඟිල්ලට තෙරපා දුන්නක් සේ බලය කවා නැවත ක්ෂණයෙන් විහිදා මදුරුවා කවුළුවෙන් පිටතට විසි කළෙමි.
රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක හඬ මට ඇසේ. ඉන් කියවෙන්නේ පැවති අධික වර්ෂාවෙන් හා නාය යාම්වලින් අවතැන් වූවන් සහ මරණයට පත් වූවන් ගැන නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවය.
පින්තූරය මෙතනින්
Saturday, 29 January 2011
තාත්තාගේ පුනරුත්පත්තිය…
මම ඉන්නෙ කිසිම හැඟීමක් නැතිව. රාජකාරි තත්ත්වය වෙනස් වෙලා. රාජකාරි අධික වෙලා.
ඒ මදිවට පණ යනකල් වැස්ස. ඔළුවෙ මොළයක් තිබුණනම් පහුගිය සති දෙකේදි ඇදපු හොටු කන්දරාව එක්ක ඒකෙන් බාගයකට වඩා මේ වෙද්දි එලියට ඇදිල තියෙන්න ඕන. හොටු හූරලම පරණ ෂර්ට් එකක් සහ ටී ෂර්ට් එකක් කඩදාසි වෙලා ගිණි තිබ්බා. ඒ තරම් දරුණුවට හෙම්බිරිස්සාවට භාජනය වෙලා ක්‍රමයෙන් හොඳ වෙමින් ඉන්න කාලයක්...
මේ සටහන විය යුත්තේ මොකක්ද, මම ලියන්න ඕන මොනවද කියන එක ගැන සෑහෙන කාලයක් හිතමින් ඉඳල මොනව හරි ලියන්න ඕන කියල මේක ලියල දාන්නෙ මෙහෙම නොලියා ගියොත් ආයෙත් සදා නොලියන තත්ත්වයටම වැටිල ලිවිල්ල එපා වෙන හින්ද. ඒත් ලිවීම කියන්නෙ තාමත් මට මම ගැන වටිනාකමක් දනවන, ජීවිතේ එපාවීම පැත්තට ආනත වෙන එක වලක්වන දෙයක් නිසා ඒකට එහෙම වෙන්න දෙන්න බෑ...
ඒ නිසා මේ සටහනේ නිෂ්චිත හැඩයක් නැති වුණාට පහුගිය මාසයක් දෙකක් පුරා ජීවිතේ සැලකිය යුතු වෙනස්කම් වලට ලක්වෙලා ඒ ආතතියත් එක්ක ගෙවුණ ආතක් පාතක් නැති කාලයක් නිමා කරන්න දරන උත්සාහයක් මේක. කොහොමත් මේ සටහන මම වෙනුවෙන් ලියන එකක්... දැනට ගෙවන ජීවිතේ ගැන මෙහෙමවත් සටහනක් යෙදෙන එකම තැන මෙතන නිසා...
....................................
හ්ම්... තාත්තා...
මාත් තාත්තත් අතර තිබුණෙ මොන වගේ සම්බන්ධයක්ද කියන එක මට අදටත් පැහැදිලි නෑ. ඒ වුණාට ඒක තාත්තයි පුතයි අතර තියෙන සරල, පොත්වල තියෙන සම්බන්ධයකට වඩා වෙනස් එකක්. ඒකෙන් මම කියන්නෙ නෑ අනිත් තාත්තල සහ පුතාල අතර තියෙන සම්බන්ධ බෝරිං කියල. තාත්තයි මායි අතරෙ තිබුණ සම්බන්ධෙ පිටට පේන්න ඇත්තෙ නම් බෝරිං විධියට තමයි. ඒ වුණත් අපි අතරෙ තිබුණ සම්බන්ධයට අර "ස්ටෑන්ඩඩ්" කියන කෑල්ල සම්බන්ධකරන්න මට බෑ. වෙලාවකට ඔහු මගේ තාත්තා වුණා. ඒ අතරෙ මගෙ මිතුරෙක් වුණා... හතුරෙකු වුණ වෙලාවලුත් තියෙනවා... ඒ සේරම අස්සෙ දෙන්න අතරෙ ලොකු අවබෝධයක් තිබුණා. හැබැයි අර තාත්තයි පුතයි අතර තියෙන සම්බන්ධය ගැන ප්‍රසිද්ධ කතාවෙ වගේ මටත් මගේ තාත්ත ගැන ලොකු අවබෝධයක් ලැබුණෙ අවුරුදු කීපයකට එපිටදි. ඒ කියන්නෙ සැලකිය යුතු තරම් මෑතකදි.
ඔහු අපේ ජීවිතේ පාලනය කරනව කියල එක අතකින් හිතුණට ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් පාලනය කරගෙන, වෙනස් කරගෙන ඉන්න බව මට තේරුණේ සෑහෙන්න මෑතකදි. ඒ අවබෝධය මාව ඔහුට ගොඩක් කිට්ටු කලා. ඒ එක්කම මම ඔහුගෙන් වෙනදට වඩා ඉගෙනගන්න උත්සාහ කලා...
ඔහු මට හමුවුණ නිර්මාණශීලී කලාකරුවන් අතරින් ඉහලම කෙනෙක්. ඔහු ජීවිකාව කරගත්තු ලිපිකාර රස්සාව රස්සාවක් විතරක් වුණාට විනෝදය වෙනුවෙන් ඔහුට තව සෑහෙන්න දේවල් කරන්න හැකියාව තිබුණා. ගෙදර පුරාම තියෙන්නෙ ඔහු නිම කරපු ලියකම්. රුක් කලා. ඒ එක්ක ගෙදර කෑම මේසයෙන් පටන් අරන් කනප්පු සහ කාමර වල දොරවල් හෙමින් හෙමින් ඔහු කරපු නිර්මාණ. යමක් කරන දිහා බලාගෙන ඉඳල ඒක ඉගෙනගන්න තිබුණ හැකියාව එක්ක ඔහුට තව සෑහෙන්න දේවල් කරන්න පුළුවන්කම තිබුණා. කාලයක් කරපු මල් පෝච්චි කෙරුවාවෙන් සිමෙන්තිය ගැන ලබපු අවබෝධය නතර වුණේ ගෙදර පිටිපස්සෙ ඔහුම හදපු ඇනෙක්සියෙන්. ගේ ඉදිරිපස තාප්පය ඔහුගේ අවසන් ව්‍යාපෘතිය විධියට අවසන් කරන්න ඔහුට පුළුවන්කම ලැබුණ.
මේ කිසිදෙයක් මෙතන ලියල පිරිමහන්න පුළුවන් දේවල් නෙවෙයි. ඔහු එක්ක මගේ සම්බන්ධය උඩින් අතගාගෙන යෑමක්...
මේ සටහන තාත්ත ගැන හැමෝම කියන කතාවලින් පුරවන්න මට ඕන නැතත් හිතේ ඇඳෙන චිත්‍ර ටික ඒ විධියට වචන කරන එක මේ වෙලාවෙ හොඳටම වෙනවා. ඒත් ඒක වහාම නතර කරන්න ඕන මට එපා වෙන්න කලින්...
තාත්තාගේ මුහුණේ මට අමතක නෙවෙන හැඟීම් කීපයක් මට මතකයි. පහුගිය දෙසැම්බර් තුන් වෙනිදා ඔහුගේ අන්තිම මොහොතේ තිබුණෙ එහෙම නොමැකෙන ඉරියව්වක්. ඇඳේ දිගා වෙලා ඔහු හිටියෙ මුහුණට නැගුණ වේදනාවකින් වහලේ කෙලවරක් දිහා ඇස් ලොකු කරන් බලාගෙන. ඒ වෙලාවෙ මම හිටියෙ ඔහුගෙ පපුව පිරිමදිමින්. මැරෙන්න කිට්ටු වුණාම මිනිස්සුන්ට තමාව දිව්‍ය ලෝකෙ අරන් යන්න එන කරත්ත පේන්න ගන්නව කියල අහල තිබුණ සුරංගනා කතාවක් ක්ෂණයෙන් මගේ හිතේ ඇඳුණ. ඒ එක්කම මගේ හිතේ මැවුණේ බොබ් මාලෙගෙ midnight ravers සින්දුවට අදාල කරත්ත දහදාහක චිත්‍රයක්. ඒක ඒ අවස්ථාවට කිසිසේත්ම අදාල සින්දුවක් නෙවෙයි. ඒත් මම ඒ සින්දුව විඳින හැම වෙලේකම අර කතාව මගේ ඔළුවට ආව. මේ වෙලාවෙ වුණේ ඒකෙ අනිත් පැත්ත.
අම්ම හිටියෙ සීතලට වෙව්ලන ඔහුගෙ අත් තදින් පිරිමදිමින්... මට තාත්තගෙ ගැඹුරු හුස්මත් අම්මගෙ වේගවත් හුස්මත් දෙකම දැණුනා. අවසානයේ තාත්තගෙ දෑසින් පෙණුන ඒ වේදනාව ඔහුගේ මුවට නැගුනෙ දෙඇස් සම්පූර්ණයෙන්ම වැහිල ගිහින්. ඒ වෙලාවෙම විනාඩි කීපයකින් හදිසි ප්‍රතිකාර ඒකකය වෙත අරගෙන ගියත් ඒ වෙනකොටත් ඔහුව අපට අහිමි වෙලා තිබුණ.
ජීවිතේ කියන්නෙ දුකක් කියන දේ සහ මරණය ඉන් ගැලවීම කියල ඔහු තේරුම් අරන් හිටිය බව මම දන්නව. ඒ නිසාම ඔහු මම දන්න කාලෙක දුකින් හිටියෙ නෑ. සතුටින් හිටියා වගේම වටේ හිටපු හැමෝවමත් සතුටු කරන්න උත්සාහ කලා. හැමෝම මැරෙන මිනිස්සු වෙලා ඉද්දි මරණය කියන්නෙ නම් කොහොමත් දුකට කාරණයක් නෙවෙයි කියන එක මට නිරායාසයෙන් දැණුනෙ ඔහු එතනට මාව තල්ලු කරල තිබුණ නිසා. අවබෝධයකින් මරණයට හිනාවුණ මම දන්න මිනිස්සු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඔහු.
ඉස්කෝලෙ කාලෙදි කිසිම තේරුමක් නැති කෙල්ලකට උපන්දින තෑග්ගක් අරන් දෙන්න ඕන වෙලා මම තාත්තගෙන් රුපියල් දෙසීයක් ඉල්ලුව. ඔහු මගෙන් ඇහුව කවදටද ඕන කියල. මම ඒක පහුවදාට තියෙනවනම් හොඳයි කිව්වම ඔහුගේ ඇස් බැමි උඩ ගිය ආකාරය ඔහුගේ මුහුණේ ආයෙත් මට අමතක නොවෙන හැඟීමක්. ඒ දිනවල ඔහුව දේශපාලන හේතුමත අඩවැටුප් සහිතව නිවාඩු යවල තිබුණ. ඔහුම ගෙදර වවල තිබුණ ගම්මිරිස්, කරාබු නැටි පැකට් කරල ඒව විකුණන්න යන ගමන් හැමදාම හවසට අර ඉංගිරිසි පත්තරේ (ඇත්තට ඒක පත්තරයක් නෙවෙයි... ඉංගිරිසි චැනල් එකක්) බලල ඒ එන ගානත් ශේප් කරගෙන තමයි ඔහු ඒ දවස්වල අපි තුන්දෙනාගෙ ඉගෙනීමෙ ඉඳන් සියල්ල හැඬල් කලේ. ඒත් හැමවෙලේම සන්තෝසෙන් හිටියා. මට මතකයි අපේ ආච්චි ඒ දවස්වල පෙන්ශන් ගත්තම මාසෙකට දෙකකට සැරයක් සබන්, පාන් පිටි වගේ දේවල් ගෙනත් දීල යනවා. තාත්ත ඒ ගැන කැමැත්තකින් හිටියෙත් නෑ. ඒත් අම්ම නිසා ඔහු නිහඬව හිටියා.
....................................
සති දෙකකට පස්සෙ ආයෙ මේ සටහන ලියන්න ගන්නකොට උඩින් ලියවුණ ඇතැම් දේවල් කල් ඉකුත්වෙලා තිබුණත් ඒක නිවැරදි කරන්න යමක් කරන්න කම්මැලියි.
කොහොමින් හරි දැන් තාත්ත නැති ජීවිතේට අපි ටිකෙන් ටික හැඩ ගැහෙමින්... කිසිම වගතුවක් නැති ආගමික සම්බන්ධ ගාණකට වගේම ජීවිතේට ඇසුරු කරල නොතිබුණ ගල්මය සම්බන්ධ කීපයකට මැදිවෙන්න වෙලා මට. ඒක මගේ ඇඟේ පටවපු කාලණ්නි වගකීමක්. මම දන්න තාත්තට එහෙම කිසි දෙයක් ඕන වුණේ නැතත් වටේ ඉන්න කට්ටියට ඕන ඒක එහෙම වෙනවට. මේ ඉලව් ලෝගුකාරයෝ එක්ක උන්ට රැවටුණ එවුන්... ලොකු දෙයක් තාත්තගෙ ඇඟ දවස් දෙකක් ඇතුලත ආදාහනය කරන්න ලැබුණ එක.
අන්තිමේදි මියගිය මිනිස්සු අමතක වෙනව. ජීවත්ව උන්න කාලෙ දැනං හිටපු කට්ටිය ඒ මනුස්සයගෙන් ලබාගත්තු දේවල් ඉදිරියට අරගෙන යනව. ඒත් නොනැවතී වෙන වෙනස්කම් එක්ක ඒ කිසි දෙයක් සදාකාලික නෑ. සන්තතික නෑ. ජනප්‍රිය වෙන්න මිනිස්සු කොයිතරම් මහන්සි ගත්තත් මිනිහෙක් වැඩිම වුණොත් පරම්පරා කීපයක් මතක හිටියි. මට මගේ ආච්චිලගෙ දෙමව්පියො අමතක ගානට. ඒත් ගෙවන ජීවිතේ විඳින්න හොඳම විධිය අපි වටේ තියෙන සීමා ඉවත් කරන්න උත්සාහ කරන එක කියල ඔහු මට ඔහුගේ වචන වලින් කිව්ව. ඔව්... කවදාවත් සීමා ඉවත් කිරිල්ලත් කරල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර පෙට්ටියෙන් ඉලියට බැහැල හිතන්න කියල පෙට්ටි අස්සෙ ඉන්න උන් කිව්වට පෙට්ටියෙන් එලියට බැහැපු මනුස්සයෙක් තමයි දන්නෙ මේ පෙට්ටිවලින් එලියට බැහීමේ කෙලවරක් නෑ කියල. ළූණු ගෙඩියක ස්ථර වගේ අපි වටේ අපිවත් නොදන්න තරමට සීමා ලේයර්ස්!
ඒත් අනිත් අය බලන දිහා නොබලා තමන්ට ඕන දිහා බලන්න ඒක බාධාවක් නෙවෙයි. ලෝකය ගැන, දෙවියන් ගැන, එක එක දර්ශන ගැන තාත්තගෙයි මගෙයි කෙලවරක් නැති තර්කවල දිශානතිය වුණේ ඒක. ඒ නිසා අවට පරිසරයෙන් ඉගෙන නොගෙන උදේ හවස ජීවත් වෙන්න හොඳ ක්‍රම පාඩම් කරලත් ජීවිතේ එහෙම ගෙවන්න හැකියාවක් නැති වුණ, ඒක ඉගෙනන්නෙත් නැති හැමෝම දිහා අපි බැලුවෙ අනුකම්පාවෙන්...
....................................
මම ආයෙත් හිස් වෙලා තියෙන්නෙ තවත් මේ සටහනට එකතු කරන්නෙ මොනවද කියන එක ගැන අදහසකිත් තොරව. ඒත් මේක ලියන්න ඕන කියල හිතෙද්දිම කල්පනාවට ආපු සඳහන් කරන්න ඕන අය ගැන නොකියා බෑ. ඒත් උන් ගැන කියන්න වචන නෑ මට. ඒ ගැන කියල ඉවර කරන්නත් බෑ. ඒ නිසා ඕන නෑ. මම වෙනුවෙන් උන් ගැන හොයල බලපු කුෂාන් සහ ෆා යුවලව විතරක් විශේෂයෙන් මතක් කරන්නම්.
සේරම ඉවර වුනාට පස්සෙ තාත්ත නැවත ඉපදෙන්න පටන් ගත්ත. ජීවත්ව ඉන්න කාලෙ නැවත ඉපදීමක් නැති බව ගැන තර්ක කරල අන්තිමේ ඒ තර්කය අත්ඇරල දැම්මත් මරණයෙන් පස්සෙ ඔහු ආයෙ ඉපදුණ.
ඔහුගෙ යාළුවො ගෙදරට ආව, ගොඩක් දෙනා දුරකතනයෙන් ඇමතුම් දුන්න. ගමේ හිටපු ඔහු ළඟින් ඇසුරු කරපු අය ගෙදරට ආව.
ඔහු ඇසුරු කරපු නගරයේ යාළුවො, ඔහු බඩු මිලට ගන්න පුරුදු වෙලා හිටපු කඩවල මුදලාලිලා මට හම්බ වුණ.
ඔහු අරගෙන තිබුණ වගකීම්, මාසිකව ඔහු ගෙවපු බිල්පත්, ගෙදරට ගෙනාපු බඩු, හාල්, පොල්, එලවලුවල ගණන්.... සියල්ල නැවත සකස් වෙන්න ගත්ත.
ජීවත්ව හිටපු කාලෙදි පුංචි මනුස්සයෙක් වුණ ඔහු මියගියාට පස්සෙ යෝධයෙක් වුණා.
අන්තිමේ ඔහු නොපෙනී යන්න ගත්ත. ගෙදර ඉදිරියෙ තියෙන කඳු වැටියෙ කඳු මුදුන් දෙකක් අතරින් හෙමින් ඈතට යද්දි ඔහුගේ කටහඬ මට ඇහුණ.
ලෝකය එක නියතයක්. උඹ වෙනස් වුණත් නැතත්, උඹ අනිත් උන්ව වෙනස් කලත් නැතත් ඒක ලෝකය නියතයක්ය කියන එකට බලපෑමක් කරන්නෙ නෑ... උඹ ඇතුලෙ උඹ මිලියනයක් මිනිස්සු වගේ විවිධයි. එක මොහොතකදි උඹට පුළුවන් එක මිනිහෙක් වෙන්න විතරයි. ඊට කලින් ඒ මොහොත උදා වෙලා නැති හින්ද ඕන නම් උඹ වෙනස් වෙලා කියල ආඩම්බර වෙන්න උඹට පුළුවන්. ඒත් උඹට වෙනස් වෙන්න බෑ... අනිත් උන්ට වෙනස් වෙන්නත් බෑ... මොකද ලෝකය එක නියතයක්. හරියට එක එක පැති වලට හුලං හමන, මූදු රැලි නැගෙන, කඳු නාය යන, ගංවතුර ගහන, ගිණි කඳු පුපුරණ පරිසරයක් තිබුණට පෘථිවිය කියන්නෙ තාම නියතයක් කියන එක වගේ...
හරියට මිලියන ගණන් තරු සුපර්නෝවා වුණාට, ආයෙ දූවිලි වලින් තරු හැදුණට කළු කුහර ඇතුලට ආලෝකයත් අවශෝෂණය වුණාට විශ්වය එක නියතයක් වගේ...
මතක තියාගනිං! මැරුණ මිනිස්සු වෙනුවෙන් දුක් වෙන්න එපා. උන් වෙනුවෙන් සතුටු වෙයන්. උන් තවත් මේ ලෝකෙ දුක් නොවිඳ ගැලවුණ එවුන්...
ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් දුක් වෙයන්... උඹේ අනුකම්පාව ඕන උන්ට...

The Verve - Bitter Sweet Symphony
Subscribe to:
Posts (Atom)