Saturday, 29 January 2011

තාත්තාගේ පුනරුත්පත්තිය…

මම ඉන්නෙ කිසිම හැඟීමක් නැතිව. රාජකාරි තත්ත්වය වෙනස් වෙලා. රාජකාරි අධික වෙලා.

ඒ මදිවට පණ යනකල් වැස්ස. ඔළුවෙ මොළයක් තිබුණනම් පහුගිය සති දෙකේදි ඇදපු හොටු කන්දරාව එක්ක ඒකෙන් බාගයකට වඩා මේ වෙද්දි එලියට ඇදිල තියෙන්න ඕන. හොටු හූරලම පරණ ෂර්ට් එකක් සහ ටී ෂර්ට් එකක් කඩදාසි වෙලා ගිණි තිබ්බා. ඒ තරම් දරුණුවට හෙම්බිරිස්සාවට භාජනය වෙලා ක්‍රමයෙන් හොඳ වෙමින් ඉන්න කාලයක්...

මේ සටහන විය යුත්තේ මොකක්ද, මම ලියන්න ඕන මොනවද කියන එක ගැන සෑහෙන කාලයක් හිතමින් ඉඳල මොනව හරි ලියන්න ඕන කියල මේක ලියල දාන්නෙ මෙහෙම නොලියා ගියොත් ආයෙත් සදා නොලියන තත්ත්වයටම වැටිල ලිවිල්ල එපා වෙන හින්ද. ඒත් ලිවීම කියන්නෙ තාමත් මට මම ගැන වටිනාකමක් දනවන, ජීවිතේ එපාවීම පැත්තට ආනත වෙන එක වලක්වන දෙයක් නිසා ඒකට එහෙම වෙන්න දෙන්න බෑ...

ඒ නිසා මේ සටහනේ නිෂ්චිත හැඩයක් නැති වුණාට පහුගිය මාසයක් දෙකක් පුරා ජීවිතේ සැලකිය යුතු වෙනස්කම් වලට ලක්වෙලා ඒ ආතතියත් එක්ක ගෙවුණ ආතක් පාතක් නැති කාලයක් නිමා කරන්න දරන උත්සාහයක් මේක. කොහොමත් මේ සටහන මම වෙනුවෙන් ලියන එකක්... දැනට ගෙවන ජීවිතේ ගැන මෙහෙමවත් සටහනක් යෙදෙන එකම තැන මෙතන නිසා...

....................................

හ්ම්... තාත්තා...

මාත් තාත්තත් අතර තිබුණෙ මොන වගේ සම්බන්ධයක්ද කියන එක මට අදටත් පැහැදිලි නෑ. ඒ වුණාට ඒක තාත්තයි පුතයි අතර තියෙන සරල, පොත්වල තියෙන සම්බන්ධයකට වඩා වෙනස් එකක්. ඒකෙන් මම කියන්නෙ නෑ අනිත් තාත්තල සහ පුතාල අතර තියෙන සම්බන්ධ බෝරිං කියල. තාත්තයි මායි අතරෙ තිබුණ සම්බන්ධෙ පිටට පේන්න ඇත්තෙ නම් බෝරිං විධියට තමයි. ඒ වුණත් අපි අතරෙ තිබුණ සම්බන්ධයට අර "ස්ටෑන්ඩඩ්" කියන කෑල්ල සම්බන්ධකරන්න මට බෑ. වෙලාවකට ඔහු මගේ තාත්තා වුණා. ඒ අතරෙ මගෙ මිතුරෙක් වුණා... හතුරෙකු වුණ වෙලාවලුත් තියෙනවා... ඒ සේරම අස්සෙ දෙන්න අතරෙ ලොකු අවබෝධයක් තිබුණා. හැබැයි අර තාත්තයි පුතයි අතර තියෙන සම්බන්ධය ගැන ප්‍රසිද්ධ කතාවෙ වගේ මටත් මගේ තාත්ත ගැන ලොකු අවබෝධයක් ලැබුණෙ අවුරුදු කීපයකට එපිටදි. ඒ කියන්නෙ සැලකිය යුතු තරම් මෑතකදි.

ඔහු අපේ ජීවිතේ පාලනය කරනව කියල එක අතකින් හිතුණට ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් පාලනය කරගෙන, වෙනස් කරගෙන ඉන්න බව මට තේරුණේ සෑහෙන්න මෑතකදි. ඒ අවබෝධය මාව ඔහුට ගොඩක් කිට්ටු කලා. ඒ එක්කම මම ඔහුගෙන් වෙනදට වඩා ඉගෙනගන්න උත්සාහ කලා...

ඔහු මට හමුවුණ නිර්මාණශීලී කලාකරුවන් අතරින් ඉහලම කෙනෙක්. ඔහු ජීවිකාව කරගත්තු ලිපිකාර රස්සාව රස්සාවක් විතරක් වුණාට විනෝදය වෙනුවෙන් ඔහුට තව සෑහෙන්න දේවල් කරන්න හැකියාව තිබුණා. ගෙදර පුරාම තියෙන්නෙ ඔහු‍ නිම කරපු ලියකම්. රුක් කලා. ඒ එක්ක ගෙදර කෑම මේසයෙන් පටන් අරන් කනප්පු සහ කාමර වල දොරවල් හෙමින් හෙමින් ඔහු කරපු නිර්මාණ. යමක් කරන දිහා බලාගෙන ඉඳල ඒක ඉගෙනගන්න තිබුණ හැකියාව එක්ක ඔහුට තව සෑහෙන්න දේවල් කරන්න පුළුවන්කම තිබුණා. කාලයක් කරපු මල් පෝච්චි කෙරුවාවෙන් සිමෙන්තිය ගැන ලබපු අවබෝධය නතර වුණේ ගෙදර පිටිපස්සෙ ඔහුම හදපු ඇනෙක්සියෙන්. ගේ ඉදිරිපස තාප්පය ඔහුගේ අවසන් ව්‍යාපෘතිය විධියට අවසන් කරන්න ඔහුට පුළුවන්කම ලැබුණ.

මේ කිසිදෙයක් මෙතන ලියල පිරිමහන්න පුළුවන් දේවල් නෙවෙයි. ඔහු එක්ක මගේ සම්බන්ධය උඩින් අතගාගෙන යෑමක්...

මේ සටහන තාත්ත ගැන හැමෝම කියන කතාවලින් පුරවන්න මට ඕන නැතත් හිතේ ඇ‍ඳෙන චිත්‍ර ටික ඒ විධියට වචන කරන එක මේ වෙලාවෙ හොඳටම වෙනවා. ඒත් ඒක වහාම නතර කරන්න ඕන මට එපා වෙන්න කලින්...

තාත්තාගේ මුහුණේ මට අමතක නෙවෙන හැඟීම් කීපයක් මට මතකයි. පහුගිය දෙසැම්බර් තුන් වෙනිදා ඔහුගේ අන්තිම මොහොතේ තිබුණෙ එහෙම නොමැකෙන ඉරියව්වක්. ඇ‍ඳේ දිගා වෙලා ඔහු හිටියෙ මුහුණට නැගුණ වේදනාවකින් වහලේ කෙලවරක් දිහා ඇස් ලොකු කරන් බලාගෙන. ඒ වෙලාවෙ මම හිටියෙ ඔහුගෙ පපුව පිරිමදිමින්. මැරෙන්න කිට්ටු වුණාම මිනිස්සුන්ට තමාව දිව්‍ය ලෝකෙ අරන් යන්න එන කරත්ත පේන්න ගන්නව කියල අහල තිබුණ සුරංගනා කතාවක් ක්ෂණයෙන් මගේ හිතේ ඇඳුණ. ඒ එක්කම මගේ හිතේ මැවුණේ බොබ් මාලෙගෙ midnight ravers සින්දුවට අදාල කරත්ත දහදාහක චිත්‍රයක්. ඒක ඒ අවස්ථාවට කිසිසේත්ම අදාල සින්දුවක් නෙවෙයි. ඒත් මම ඒ සින්දුව විඳින හැම වෙලේකම අර කතාව මගේ ඔළුවට ආව. මේ වෙලාවෙ වුණේ ඒකෙ අනිත් පැත්ත.

අම්ම හිටියෙ සීතලට වෙව්ලන ඔහුගෙ අත් තදින් පිරිමදිමින්... මට තාත්තගෙ ගැඹුරු හුස්මත් අම්මගෙ වේගවත් හුස්මත් දෙකම දැණුනා. අවසානයේ තාත්තගෙ දෑසින් පෙණුන ඒ වේදනාව ඔහුගේ මුවට නැගුනෙ දෙඇස් සම්පූර්ණයෙන්ම වැහිල ගිහින්. ඒ වෙලාවෙම විනාඩි කීපයකින් හදිසි ප්‍රතිකාර ඒකකය වෙත අරගෙන ගියත් ඒ වෙනකොටත් ඔහුව අපට අහිමි වෙලා තිබුණ.

ජීවිතේ කියන්නෙ දුකක් කියන දේ සහ මරණය ඉන් ගැලවීම කියල ඔහු තේරුම් අරන් හිටිය බව මම දන්නව. ඒ නිසාම ඔහු මම දන්න කාලෙක දුකින් හිටියෙ නෑ. සතුටින් හිටියා වගේම වටේ හිටපු හැමෝවමත් සතුටු කරන්න උත්සාහ කලා. හැමෝම මැරෙන මිනිස්සු වෙලා ඉද්දි මරණය කියන්නෙ නම් කොහොමත් දුකට කාරණයක් නෙවෙයි කියන එක මට නිරායාසයෙන් දැණුනෙ ඔහු එතනට මාව තල්ලු කරල තිබුණ නිසා. අවබෝධයකින් මරණයට හිනාවුණ මම දන්න මිනිස්සු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඔහු.

ඉස්කෝලෙ කාලෙදි කිසිම තේරුමක් නැති කෙල්ලකට උපන්දින තෑග්ගක් අරන් දෙන්න ඕන වෙලා මම තාත්තගෙන් රුපියල් දෙසීයක් ඉල්ලුව. ඔහු මගෙන් ඇහුව කවදටද ඕන කියල. මම ඒක පහුවදාට තියෙනවනම් හොඳයි කිව්වම ඔහුගේ ඇස් බැමි උඩ ගිය ආකාරය ඔහුගේ මුහුණේ ආයෙත් මට අමතක නොවෙන හැඟීමක්. ඒ දිනවල ඔහුව දේශපාලන හේතුමත අඩවැටුප් සහිතව නිවාඩු යවල තිබුණ. ඔහුම ගෙදර වවල තිබුණ ගම්මිරිස්, කරාබු නැටි පැකට් කරල ඒව විකුණන්න යන ගමන් හැමදාම හවසට අර ඉංගිරිසි පත්තරේ (ඇත්තට ඒක පත්තරයක් නෙවෙයි... ඉංගිරිසි චැනල් එකක්) බලල ඒ එන ගානත් ශේප් කරගෙන තමයි ඔහු ඒ දවස්වල අපි තුන්දෙනාගෙ ඉගෙනීමෙ ඉඳන් සියල්ල හැඬල් කලේ. ඒත් හැමවෙලේම සන්තෝසෙන් හිටියා. මට මතකයි අපේ ආච්චි ඒ දවස්වල පෙන්ශන් ගත්තම මාසෙකට දෙකකට සැරයක් සබන්, පාන් පිටි වගේ දේවල් ගෙනත් දීල යනවා. තාත්ත ඒ ගැන කැමැත්තකින් හිටියෙත් නෑ. ඒත් අම්ම නිසා ඔහු නිහඬව හිටියා.

....................................

සති දෙකකට පස්සෙ ආයෙ මේ සටහන ලියන්න ගන්නකොට උඩින් ලියවුණ ඇතැම් දේවල් කල් ඉකුත්වෙලා තිබුණත් ඒක නිවැරදි කරන්න යමක් කරන්න කම්මැලියි.

කොහොමින් හරි දැන් තාත්ත නැති ජීවිතේට අපි ටිකෙන් ටික හැඩ ගැහෙමින්... කිසිම වගතුවක් නැති ආගමික සම්බන්ධ ගාණකට වගේම ජීවිතේට ඇසුරු කරල නොතිබුණ ගල්මය සම්බන්ධ කීපයකට මැදිවෙන්න වෙලා මට. ඒක මගේ ඇ‍ඟේ පටවපු කාලණ්නි වගකීමක්. මම දන්න තාත්තට එහෙම කිසි දෙයක් ඕන වුණේ නැතත් වටේ ඉන්න කට්ටියට ඕන ඒක එහෙම වෙනවට. මේ ඉලව් ලෝගුකාරයෝ එක්ක උන්ට රැවටුණ එවුන්... ලොකු දෙයක් තාත්තගෙ ඇඟ දවස් දෙකක් ඇතුලත ආදාහනය කරන්න ලැබුණ එක.

අන්තිමේදි මියගිය මිනිස්සු අමතක වෙනව. ජීවත්ව උන්න කාලෙ දැනං හිටපු කට්ටිය ඒ මනුස්සයගෙන් ලබාගත්තු දේවල් ඉදිරියට අරගෙන යනව. ඒත් නොනැවතී වෙන වෙනස්කම් එක්ක ඒ කිසි දෙයක් සදාකාලික නෑ. සන්තතික නෑ. ජනප්‍රිය වෙන්න මිනිස්සු කොයිතරම් මහන්සි ගත්තත් මිනිහෙක් වැඩිම වුණොත් පරම්පරා කීපයක් මතක හිටියි. මට මගේ ආච්චිලගෙ දෙමව්පියො අමතක ගානට. ඒත් ගෙවන ජීවිතේ විඳින්න හොඳම විධිය අපි වටේ තියෙන සීමා ඉවත් කරන්න උත්සාහ කරන එක කියල ඔහු මට ඔහුගේ වචන වලින් කිව්ව. ඔව්... කවදාවත් සීමා ඉවත් කිරිල්ලත් කරල ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර පෙට්ටියෙන් ඉලියට බැහැල හිතන්න කියල පෙට්ටි අස්සෙ ඉන්න උන් කිව්වට පෙට්ටියෙන් එලියට බැහැපු මනුස්සයෙක් තමයි දන්නෙ මේ පෙට්ටිවලින් එලියට බැහීමේ කෙලවරක් නෑ කියල. ළූණු ගෙඩියක ස්ථර ‍වගේ අපි වටේ අපිවත් නොදන්න තරමට සීමා ලේයර්ස්!

ඒත් අනිත් අය බලන දිහා නොබලා තමන්ට ඕන දිහා බලන්න ඒක බාධාවක් නෙවෙයි. ලෝකය ගැන, දෙවියන් ගැන, එක එක දර්ශන ගැන තාත්තගෙයි මගෙයි කෙලවරක් නැති තර්කවල දිශානතිය වුණේ ඒක. ඒ නිසා අවට පරිසරයෙන් ඉගෙන නොගෙන උදේ හවස ජීවත් වෙන්න හොඳ ක්‍රම පාඩම් කරලත් ජීවිතේ එහෙම ගෙවන්න ‍හැකියාවක් නැති වුණ, ඒක ඉගෙනන්නෙත් නැති හැමෝම දිහා අපි බැලුවෙ අනුකම්පාවෙන්...

....................................

මම ආයෙත් හිස් වෙලා තියෙන්නෙ තවත් මේ සටහනට එකතු කරන්නෙ මොනවද කියන එක ගැන අදහසකිත් තොරව. ඒත් මේක ලියන්න ඕන කියල හිතෙද්දිම කල්පනාවට ආපු සඳහන් කරන්න ඕන අය ගැන නොකියා බෑ. ඒත් උන් ගැන කියන්න වචන නෑ මට. ඒ ගැන කියල ඉවර කරන්නත් බෑ. ඒ නිසා ඕන නෑ. මම වෙනුවෙන් උන් ගැන හොයල බලපු කුෂාන් සහ ෆා යුවලව විතරක් විශේෂයෙන් මතක් කරන්නම්.

සේරම ඉවර වුනාට පස්සෙ තාත්ත නැවත ඉපදෙන්න පටන් ගත්ත. ජීවත්ව ඉන්න කාලෙ නැවත ඉපදීමක් නැති බව ගැන තර්ක කරල අන්තිමේ ඒ තර්කය අත්ඇරල දැම්මත් මරණයෙන් පස්සෙ ඔහු ආයෙ ඉපදුණ.

ඔහුගෙ යාළුවො ගෙදරට ආව, ගොඩක් දෙනා දුරකතනයෙන් ඇමතුම් දුන්න. ගමේ හිටපු ඔහු ළඟින් ඇසුරු කරපු අය ‍ගෙදරට ආව.

ඔහු ඇසුරු කරපු නගරයේ යාළුවො, ඔහු බඩු මිලට ගන්න පුරුදු වෙලා හිටපු කඩවල මුදලාලිලා මට හම්බ වුණ.

ඔහු අරගෙන තිබුණ වගකීම්, මාසිකව ඔහු ගෙවපු බිල්පත්, ගෙදරට ගෙනාපු බඩු, හාල්, පොල්, එලවලුවල ගණන්.... සියල්ල නැවත සකස් වෙන්න ගත්ත.

ජීවත්ව හිටපු කාලෙදි පුංචි මනුස්සයෙක් වුණ ඔහු මියගියාට පස්සෙ යෝධයෙක් වුණා.

අන්තිමේ ඔහු නොපෙනී යන්න ගත්ත. ගෙදර ඉදිරියෙ තියෙන කඳු වැටියෙ කඳු මුදුන් දෙකක් අතරින් හෙමින් ඈතට යද්දි ඔහුගේ කටහඬ මට ඇහුණ.

ලෝකය එක නියතයක්. උඹ වෙනස් වුණත් නැතත්, උඹ අනිත් උන්ව වෙනස් කලත් නැතත් ඒක ලෝකය නියතයක්ය කියන එකට බලපෑමක් කරන්නෙ නෑ... උඹ ඇතුලෙ උඹ මිලියනයක් මිනිස්සු වගේ විවිධයි. එක මොහොතකදි උඹට පුළුවන් එක මිනිහෙක් වෙන්න විතරයි. ඊට කලින් ඒ මොහොත උදා වෙලා නැති හින්ද ඕන නම් උඹ වෙනස් වෙලා කියල ආඩම්බර වෙන්න උඹට පුළුවන්. ඒත් උඹට වෙනස් වෙන්න බෑ... අනිත් උන්ට වෙනස් වෙන්නත් බෑ... මොකද ලෝකය එක නියතයක්. හරියට එක එක පැති වලට හුලං හමන, මූදු රැලි නැගෙන, කඳු නාය යන, ගංවතුර ගහන, ගිණි කඳු පුපුරණ පරිසරයක් තිබුණට පෘථිවිය කියන්නෙ තාම නියතයක් කියන එක වගේ...

හරියට මිලියන ගණන් තරු සුපර්නෝවා වුණාට, ආයෙ දූවිලි වලින් තරු හැදුණට කළු කුහර ඇතුලට ආලෝකයත් අවශෝෂණය වුණාට විශ්වය එක නියතයක් වගේ...

මතක තියාගනිං! මැරුණ මිනිස්සු වෙනුවෙන් දුක් වෙන්න එපා. උන් වෙනුවෙන් සතුටු වෙයන්. උන් තවත් මේ ලෝකෙ දුක් නොවිඳ ගැලවුණ එවුන්...

ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් දුක් වෙයන්... උඹේ අනුකම්පාව ඕන උන්ට...



The Verve - Bitter Sweet Symphony