Showing posts with label comics. Show all posts
Showing posts with label comics. Show all posts
Saturday, 23 June 2012
අරියාතිගේ සැඟවුණු ලෝකයට...
ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා.
..............
මම දන්නව මේ කතාව මගේ වැඩිහිටි වචන වලින් විනාශ වෙනව කියල. ඒ වුණාට අද වෙනකල් මම හිතාගෙන හිටියෙ මගේ මතකයේ රැඳිල තිබුණ ඒ පුංචි සිදුවීම් ටික හුදෙක් මතකයන් විතරක් කියල. එහෙම නැත්තං යන්තම් කියවන්න පුළුවන් වුණා කාලෙ කියවපු සුරංගනා කතාවක් කියල... ඒ වුණාට අද මම දන්නව ඒක සුරංගනා කතාවක් නෙවෙයි කියල. හිතේ වියවුල් අඳුරු සිතුවිලි අතරින් ඒ මතකය ආයෙමත් හිතට එලියක් වුණේ ඒකයි.
සේරම පටන්ගත්තෙ මට මතක විධියට මගෙ වයස අවුරුදු 6-7 වගේ කාලෙක. ගෙදර පිටිපස්සෙ සිමෙන්ති පඩියක් හදන්න තාත්ත පොළොව කඩල තිබුණා. ඒ දවස්වල මම ඉස්කෝලෙන් පස්සෙ සෙල්ලම් කලේ ඔය අයින් කරපු පස් කන්ද උඩ. පොල් කට්ටකට වතුර අරන් ඒ වතුරෙන් පස් අනල මැටි ගොඩක් හදල ඒකෙන් එක එක දේවල් හදපු එක. නැව්, කාර්, බස්... ඇතුළු දන්න වාහන සේරම... හදල ටිකකින් ආයෙම කඩල දැම්මත් ඒ පොඩි මොහොතෙ මම ලැබුවෙ අසීමිත තෘප්තියක්. ගෙදර පඩිය හදන වැඩේ කල් ගිය හින්දදෝ මන්ද ඒ පස් ගොඩ සෑහෙන්න කාලයක් එතන තිබුණා. මගේ සෙල්ලමත් ඒ වගේම...
හැමදාම ඉස්කෝලෙන් පස්සෙ මම ගත කළේ එතන. කිසිම විශේෂ දෙයක් නොවී ගෙවුණ ඒ දවස් ටික ඉවර වුණේ පුදුම විධියට.
මට හම්බ වුණා පුංචි මැටි භාජනයක්.
ඒක සෙන්ටිමීටරයක් පළල නැතිව ඇති. නමුත් සාමාන්‍ය මැටි හට්ටියක තියෙන සම්පූර්ණ ගතිය ඒකෙ අඩු නැතිවම තිබුණා. පැත්තකින් පළුදු වෙලා... මගේ අල්ල උඩ ඒක තියාගෙන ඇස් දෙකට ළං කරගෙන මම ඒ දිහා බලාගෙන හිටිය විනාඩි කීපයක්. ඊට පස්සෙ කෑ ගහගෙන ගියේ ඇඳුමක් මහමින් හිටපු අම්ම ගාවට. අම්මට ඒක පුංචි පුදුමයක්වත් වුණේ නෑ. ඈ කිව්වෙ වතුර බින්දුවක් උඩ ඉඳන් වැටිල නිකංම හැදෙන්න ඇති කියල. ඇත්තටම ඇයට ඇගේ මහන වැඩේට අවධානය දෙන්න ඕන වෙලයි තිබුණෙ.
ඒ වුණාට මම මුල ඉඳන්ම හිතුවෙ වෙන දෙයක්.
කුරුමිට්ටෝ...
ගලිවර්ගෙ කතාවෙ හිටපු කුරුමිට්ටෝ. එයාල ඇත්තටම ඉන්නව. මම ඒක දැනගෙන හිටිය.
මේක ඒගොල්ල හදපු භාජනයක්.
ඊට පස්සෙ මගේ එකම අරමුණ වුණේ කුරුමිට්ටන්ව හොයන එක. පස් ගොඩ උඩ ඇණ තියාගෙන මම නිසොල්මන්ව සෑහෙන වෙලා බලං හිටියෙ කොතනින් හරි උන් මතු වෙනකල්. තාත්තගෙ විශාලන කාචය අරගෙන මම පස්ගොඩ වටේම අඟලින් අඟල ඒකෙන් බැලුව. කුරුමිට්ටො මම අනල ඉතිරි වෙන මැටි වලින් භාජන හදනව. මට ඒක හොඳටම තේරුණා.
දවස් කීපයකට පස්සෙත් මම බලාපොරොත්තු අතාරින්න සූදානම් වුණේ නෑ. ඒ දවස් ටිකේම මම ඉස්කෝලෙ පොත් හැම එකකම කුරුමිට්ටො ඇන්ද. උන් එක එක පාටින් පාට කළා. මම හිතුවෙ උන් එහෙම වෙන්න ඇති කියල. නැතත් ඒ දවස්වල ඇඳපු චිත්‍රවලට හරිම පාට ගාන්න උවමනාවක් මට තිබුණෙ නෑ. ඒ නිසාම මගේ පොත්වල හිටියෙ කහ පාට, කොළ පාට, නිල් පාට කුරුමිට්ටො. ඒ කොහොම වෙතත් මට උන්ව ඇත්තට දැකගන්න පුළුවන් වුණේ නෑ.
මම ඒ නිසාම වෙනත් සැලැසුමක් හැදුව. කුරුමිට්ටො එන්නෙ රෑට කියල ඒ වෙද්දි මට හොඳටම තේරිල තිබුණ. ඒ නිසා මම කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර පස් ගොඩ වැහෙන්න වතුර බාල්දි කීපයක් හැලුව. කුරුමිට්ටො ආවොත් උන්ගෙ අඩි පාරවල් මට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
හිතුව වගේම මට දවස් දෙක තුනකින් කුරුමිට්ටන්ගෙ අඩි පාරවල් හොයාගන්න පුළුවන් වුණා. සෙන්ටිමීටරයක් විතර දිග තිබුණ පා අඩි එක පේළියට පස් ගොඩේ ඉඳන් ගේ දිහාවට ගිහින් තිබුණ. පස් වල මැටි ගතිය නැති වෙනකොට ඒව මැකිලයි තිබුණෙ. ඒ වුණාට ඒ අඩි විහිදුණේ ගෙදර පිටිපස්සෙ තිබුණ දර, වත්තෙ වැඩ කරන උපකරණ වගේම කැඩුණු බඩු දාල තිබුණ තාවකාලික මඩුව පැත්තට.
මගේ ඊළඟ සෙවීම සිද්ධ වුණෙ ඒ මඩුව ඇතුළෙ. දවස් දෙක තුනක්ම මම ඒක අස්සට ගිහින් ටෝච් එකත් පත්තු කරගෙන කුරුමිට්ටන්ගෙ සලකුණක් හෙව්ව. අම්ම ඒ වෙද්දි මගේ ගවේශණයට ඔරවන්න පටන් අරගෙනයි තිබුණෙ. ඈට මගේ කුරුමිටි ප්‍රශ්ණ ලොකු හිසරදයක් වෙන්න ඇති.
එක දවසක්... ඒ දවස මට අමතක වෙන්නෙම නෑ... මම දැක්ක මඩුවෙ එක මුල්ලකට වෙන්න තිබුණ දර ගොඩ අතරින් පුංචි රෙදි කෑල්ලක්. ඒක අම්ම මහමින් හිටපු ඇදුමෙන් කැපිල අයින් වුණ එකක්. මම ඉක්මනට මඩුවෙ දර කෑලි ගොඩ උඩ නැගල කීපයක් පෙරලල ඒ රෙදි කෑල්ල අවට සෝදිසි කලා. දර ගොඩ උඩ මම පය ගහගෙන හිටියෙ අමාරුවෙන්. එක අතකින් දර කෑලි බදාගෙන පහලට නැවිල මම රෙදි කෑල්ල අතට ගත්ත. ඒක අඟල් කීපයක රෙදි කෑල්ලක්. අම්මගෙ ඇඳුමෙන් කැපුණු එකක්.
මේක මෙතනට ආවෙ කොහොමද?
මම ටෝච් එක ගැහුව වටේටම. තාම අමාරුවෙන් එක අතකින් එල්ලීගෙන. ඒත් ටෝච් එළියෙන් මම අඳුනගත්ත පුංචි විවරයක්...
ඔව් ඒක දොරටුවක්!!!
මම හොඳටම දැක්ක ඒක. හතරැස් විවරයක්... ඒකෙන් පහලට යන්න පුංචි පඩි පේලියක්... මම තව තව පහලට බර වුණා...
මට මතක එච්චරයි... ඊට පස්සෙ මම හිටියෙ මගේ ඇඳේ... කකුලක් බැන්ඩේජ් කරල තිබුණ. අත් දෙකේම තැනින් තැන ප්ලාස්ටර් දාල. මූණෙත් තුවාල කීපයක් තියෙන බව මට තේරුණ. ඒත් මට ඒක වගක් වුණේ නෑ... මම කෑ ගහල ඇඬුවෙ කුරුම්ට්ටො හම්බ වුණාද කියල අහල.
වේදනාව නැතිවෙන්න දීපු බෙහෙත් සැර නිසාම සති කීපයක් නින්දෙම හිටපු මට හොඳටම සිහිය එද්දි ගොඩක් කල් ගිහින් තිබුණා. වරින්වර ආච්චි අම්මල, නැන්දල මාව බලන්න ආපු බව මට මතකයි යන්තමට. එයාල කතා කරපුවත් මට මතකයි... හැමෝම මට කිව්වෙ 'පිස්සු ළමයෙක්' කියල. 'පුංචි කාලෙ එහෙම තමයිනෙ' කියල ඒ හැම වතාවකදිම අම්ම මාව බේරගත්ත කියල මගෙ සිහියෙ තිබුණ.
මම හරි කතාව දැනගත්තෙ තාත්තගෙන්. එදා අර විවරය බලන්න පොළොවට බර වුණ වතාවෙ මම නැගල හිටපු දර ගොඩ පෙරළිල තිබුණ මගෙ ඇඟ උඩට. මාව හොයාගෙන තියෙන්නෙත් පැයකට විතර පස්සෙ කිසිම සද්දයක් නැති වුණාම. හොඳ වෙලාවට ටිකක් දරුණු තුවාල මිස වෙන අනතුරක් මට වෙලා තිබුණෙ නෑ.
ඒත් මගේ හිතේ ලොකු අනතුරක් වෙලා තියෙනව කියල මට දැණුනා. ඒ සිදුවීමෙන් පස්සෙ තාත්ත වහාම අර පස්ගොඩ අයින් කරල තිබුණ. ගෙදර පඩියත් ඉක්මනින්ම හදල තිබුණ. සේරටම වඩා අර මඩුව ගලවල අයින් කරල තිබුණ. කවදාවත් මට ඊට පස්සෙ කුරුමිට්ටන් ගැන සලකුණක් හම්බ වුණේ නෑ. යන්තම් ඇවිදගන්න පුළුවන් වුණ ගමන් මම සුපුරුදු ගවේශණය පටන්ගත්තත් කවදාවත් මට ආයෙ බලාපොරොත්තුවක් ලැබුණෙ නෑ.
මාස ගාණක්ම මම ගෙදර වටේ හැමතැනම හෙව්වා. කිසිම දෙයක් නෑ. ඊට පස්සෙ මම ආයෙත් ගෙවත්තෙන් පස් කපල කලින් තැනම පස් ගොඩක් හැදුවා. සති ගාණක් ටිකෙන් ටික පස් ටික වැස්සෙන් හේදිල යනකල්ම හැමදාම ඒක උඩට ගිහින් සෝදිසි කලා... ඒත් කිසි දෙයක් හම්බ වුණේ නෑ...
මාස ගාණක් පුරවගෙන හිටපු බලාපොරොත්තු ටිකෙන් ටික දිය වෙලා ගියා... ඒ අතරෙ මම ලොකු මිනිහෙක් වෙන්න ගත්ත. ආයෙ පුංචි වෙන්න බැරි තරමටම...
..............
ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා.
අරියාති වෙන්වෙලා යන්න සූදානම් වෙලා... ඇගේ හිසේ කෙස් එකට අමුණල තිබුණ රෙදි අමුණන ප්ලාස්ටික් පින් එක ඈ ඔහුට දුන්න... ඔහුගෙ විශාල දබරඟිල්ල දෑතින්ම අතට අරන් ඇගේ නළල මත තියාගත්ත.
"මම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට ලෝකෙ තියෙන හොඳම ජීවිතය..."
ඇය ඔහුට අන්තිමට කිව්වෙ ඒ වචන ටික...
පුංචි ළමයින්ට විශේෂයි... වා.මු. නිලන්ත පියසිරි සොයුරා ඇතුළු බයිස්කෝප් කට්ටියටම ස්තූතියි...
ඕන නම් - http://www.baiscopelk.com/?p=12008
වැඩි විස්තර - http://www.imdb.com/title/tt1568921/
Friday, 20 May 2011
අනේ ඒකත් කරල දෙන්න...
ගිය පාර වර්ල්ඩ් කප් එක දිනවන්න කියල සක්‍ර දේවෙන්ද්‍රව හොයාගෙන ගිය ලාසිංහ දෙවියන්ව ඔයාල දන්නවනේ. පහුගිය වතාවෙ වැඩේ අප්සෙට් වුණ හින්දා උන්නැහේ කාලයක් ඉහල පාලනාධිකාරිය ගැන කලකිරිල තමයි හිටියෙ. පස්සෙ බැලින්නම් ඔය ඉහල පාලනාධිකාරි කියන ඒව සේරම එකයි කියල උන්නාන්සෙට තේරුණා. කොහෙද ඉතිං උදේ ඇහැ ඇරුණු වෙලේ ඉඳන් රෑ සැතපෙනකල්ම ඇසිල්ලක් ලද ඇසිල්ලේ රූප පෙට්ටියට ඔළුව ඔබාගෙන ඉන්නව මිසක් බ්ලොග් එකක්, පොතක් පත්තරයක් කියවනව කියලයැ. ඔය නිසා උන්නාන්සෙ හිතාගෙන හිටියෙම රූප පෙට්ටියෙන් පෙන්නන තරමටම පාලනාධිකාරිය සුන්දරයි කියලා. අනික ගතවුණ කාලෙ ඇතුලත ලංකාවෙ මිනිස්සුන්ට ඒ තරම් යාතිකා කරගෙන ඉන්න තරම් දෙයකුත් ලැබුණෙ නෑ වෙන්න ඇති. මොකද ඊට පස්සෙ උන්නාන්සෙට ලක්වැසියන් කෙරෙහි නැමී ඉන්න වුණේ නෑ...
ඉතිං ලාසිංහ දෙවියො තමන්ගෙ වාසභවනෙ ස්විමිං පූල් එකට වෙලා ලෝකල් අමෘතය ටිකක් තොලගාන ගමන් දිව්‍යාංගනාවන්ගෙ සුමුදු පිරිමැදීම් විඳගෙන ඉන්න අතරෙ උන්නාන්සෙගෙ මොබයිල් එක කෑගහන්න ගත්තා. ෂුවර් එකට පහල ලංකා පුරේ දේවාලෙකින් ඇමතුමක්. ඉස්සරනම් ඕවට මොබයිල් ෆෝන් තිබුණේ නෑ. සක්‍රතුමාගෙ වගේම පඬුපුල් පුටුවක් තමයි තිබුණෙ. ඒත් ඒකත් සක්‍රතුමාගෙ එක වගේම ඔරිජිනල් එකක් නෙවෙයි. ඔය චීන දෙයියො ටිකක් ආධාර වශයෙන් මවල දීපුවනේ... හත් අටවතාවක් රත්වෙද්දි ඒකෙත් ෆියුස් ගියා. ඒ නිසා සක්‍රතුමාගෙ නියෝගය මත හැම දෙයියෙක්ටම හායි කියල කට ඇරල කියන්න පුළුවන් ගොඩ්ඩ්‍රොයිඩ් කිරි ටොයියා ෆෝන් එක ගානෙ හම්බ වුණා.
ලාසිංහ දෙවියො ෆෝන් එක දිහා බැළුව. දෙයියන්ටම තියෙන ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් කෙලින්ම දෙයියො බැලුම් දානව වගේ ලයිව් ලෝකෙ වෙන දේවල් බලන්න පුළුවන්. කොළොම්පුරේ පොරසිද්ධ දේවාලෙක මහා යාතිකාවක්. කපුවා රෙදි ගලවගෙන කන්නලව් කරනවා. පණ යනකල් නටනවා.. දිගටම නැටුවොත් හන්දි ගැලවිලා විසිවෙන තරමට. දේවාලෙ වටේ සෙනගත් ටිකක් ඉන්නවා. අත්වල පඬුරුත් යහමින් තියෙනව වගේ. ලාසිංහ දෙයියො ක්ෂණයෙන් ඇඟ පිහිදගෙන දේවාලෙට වැඩම කරා.
"පස්වාන්දහසකට බුදුවන්ඩ දෙවියනේ... ගැත්තන්ට අනුකම්පා කර මේ කන්නලව්වට හිත් යොමන සේක්වා...
උඩ උඩ වර බිම බිම වර පොළොව යටින් වර...
අහ අහ වර කහ කහ වර ගන්ධ බලන් වර...
ලැට්ටොප් ගෙන අයි පෝන් ගෙන වයර් ගහන් වර...
ලිමෝ කෘසර් හැමර් පොෂේ ඕන එකක වර...
නා නා නා නා නා නා නා නා නා නා නා..."
කපුවා කියවන්න ගත්තා... මොඩන් යාතිකාවක් නිසා දෙයියන්ට ටොක්කක් ඇන්න වගේ තේරුණා. ඉතිං දෙයියො කපුවට ආවේස වුණා ඔහෙ හිටු කියලා. දැන් කතාව යන්නෙ කපුවගෙ හඬින් ලාසිංහ දෙයියො අර දේවාලෙ ඉදිරිපිට හිටපු මහජනතාව අමතන විධියට.
"මෙතරම් ජන පිරිසක් එකතු වී මාගේ උපකාරය බලාපොරොත්තු වෙන කාරණේ කුමක්ද?"
අර ජනතාව සේරම දෙනා බිම බලාගෙන දොහොත් මුදුන් දීල වැඳගත්තා. ඒ අතරෙ හිටපු ප්‍රධාන සංවිධායක වගේ පෙණුන මනුස්සයෙක් දෙකට නැමීගෙන ඉදිරියට ආවා.
"අවසර දේවයිනේ... අපි මේ සමස්ථ ලංකා සිල්ලර කඩහිමියන්ගේ සංගමයෙන්..."
ඒ මනුස්සය බැගෑපත්ව කිව්වා...
"ඔව්... කාරණාව කියන්න..."
"අනේ දේවයිනේ... ඔබ වහන්සෙ දන්නවනෙ පෝය දවසෙ මත්පැන් විකුණන්න නීතියෙන් තහනම් කියල."
සංගමේ සභාපති බිම බලාගෙන වැඳගෙන කිව්වා...
"ඔව් ඔව්... අපට දිවැස් කියා එකක් තියෙන්නේ අල්මාරියේ දා තියන්ට නොවෙයි නරය! ඒක බොහොම අගේ ඇති නීතියක්. තොපලාගේ පාලකයින්ගේ අලංකාරවත් ධාර්මික රාජ්‍ය පාලනකෘත්‍යය මැනවින් විදහාපාන අවස්ථාවක්."
"එහෙමයි එහෙමයි... අපි මේ ආවෙ ඔබ වහන්සේට කියල පෝය දවස් වලට මේ...."
"තෙපර බාන්නේ නැතිව වහා කියනු කාරණය..."
"නෑ දේවයිනේ... අපි මේ සිල්ලර කඩ හිමියන්ගේ සංගමය විධියට මේ ඉල්ලීම කරන්න වෙන කෙනෙකුත් නෑ... ඔබ වහන්සේට කන්නලව්වක් කරන එක විතරයි අපට ඉතිරි වෙලා තිබුණේ..."
"අගෙයි අගෙයි.. දෙවියන් ජෝකර්ලා වී ඇති රටක මා හට තවමත් මෙතරම් භක්ත්‍යාදරයක් දැක්වීම ඔබගේ හිතසුව පිණිසම වන්නේය... ඉතින් කාරණය කියව..."
ලාසිංහ දෙයියන්ට පුංචි ආඩම්බරයක් දැණුනා...
"දෙවියනේ අපේ පාලක උන්නාන්සෙල ලව්වා පෝය දවස් වලට දුම්වැටි විකිණීමත් තහනම් කොරල දෙන්ට ඇහැක්නං.."
"මොනවා...? දුම්වැටි? ඇයි එව්ව විකුණන්න තහනම් කරන්නේ...?"
"මේකයි දේවයිනේ... ඔය මත්පැන් විකුණන උදවිය පෝය දවස් වලට තමයි වැඩියෙන්ම ආදායම ලබන්නේ... මොකද එදාට බෝතලේ විකිණෙන්නෙ බෝතල් දෙකේ මිලට නෙව... ඉතිං අපිත් කල්පනා කළේ සංගමයක් විධියට සංවිධානය වෙලා දුම්වැටි තහනමකුත් පෝය දාට ඉල්ලගන්න. එතකොට අපිට එව්වත් දෙගුණෙකට විකුණලා හොඳ ගාණක් හෙව්වෑකි..."
ලා සිංහ දෙයියන්ට තරු පෙණුනා... උන්නාන්සෙ කොයිතරම් කම්පනය වුනාද කිව්වොත් වහාම එතනින් චුත වුණා. කපු උන්නැහේ ඇදගෙන වැටුණා.
සිල්ලර කඩහිමියන්ගේ සංගමයේ උදවිය සෑහෙන්න වෙලාවක් බිම බලාගෙන වැඳගෙන හිටියා...
Monday, 2 May 2011
Subscribe to:
Posts (Atom)




