Showing posts with label new year. Show all posts
Showing posts with label new year. Show all posts

Wednesday, 13 April 2011

අවුරුදු කටේ පිස්සු හදාගැනීම



ලියන්නට දේවල් බොහෝ ඇතත් නැවතත් කම්මැලිකම මා වෙලමින් ඇත. එහෙත් ලියන්නට ඇරඹූ දේ නොලියා සිටීමද දිරවන්නේ නැත.

හෙට සිංහල සහ දෙමළ ක්‍රමයට අවුරුද්දක් මාරුවී යයි. මා ඉන් එකකටවත් අයත් නොවීම සමග මා හ‍ට එම සංක්‍රාන්තිය විශේෂ වන්නේ දින පහේ නිවාඩුව නිසාම පමණි. එය සිහිවත්ම නැවතත් කම්මැලිකම හිතට වදින බැවින් ඒ ගැන නැවත නොසිතමි. ඒ නිවාඩු දින කීපයේ බිසි වීමට සිතාගෙන ඇත්තෙමි.

අලුත් අවුරුද්ද එකල තිබූ සමාජ ක්‍රමයේ සංස්කෘතික අංගයක් ලෙස වැදගත් වන්නට ඇත. ඒ ගැන විස්තර අසා ඇතත් දැන් මට ඒවා මතක නැත. එය එසේ වුවද වර්තමානයේදී නම් අපට අවුරුද්ද යනු අනෙක් බොහෝ දේවල් මෙන් කරන්නන් වාලේ කරන්නක් මිස වැඩි යමක් නොවේ යැයි මට සිතේ. පුද්ගලිකව මා අවුරුද්දට කැමති හේතුවක් වශයෙන් නිවාඩුවක් ලැබීම සැමදා අංක එකට පත් වූ අතර වඩාත් සාධාරණ හේතු සැලකීමේදී අවුරුදු මංගල්‍යය විසින් සාමාන්‍ය ජනයාගේ ජීවිතයට මද වෙනසක් ගෙන ඒමද මා අවුරුද්දට කැමති හේතුවක් බවට පත්ව ඇති බව පෙනේ.

දුරකථන සමාගම්වල ලොක්කන්ද අවුරුද්ද පැමිණෙනවාට කැමති වනවාට සැක නැත. අපේ මිනිස් සම්බන්ධ සියල්ල සීඝ්‍රයෙන් ඩිජිටලීකරණය වෙමින් යන මොහොතක වෙනත් විකල්පයන්ද නොමැති බැවින් එය එසේ වීම ගැන මැසිවිලි නැගීම නුසුදුසුය.

රෙදි කඩවල මුදලාලිලාද එසේ කෙල පෙරමින් අවුරුද්දට පෙර මග බලන තවත් ‍කොටසකි. එමෙන්ම විවිධ දුරකථන, අන්තර්ජාල, චන්ද්‍රිකා රෑපවාහිනී සේවා සපයන්නන්ද තම පැකේජ ලාබෙට පාරිභෝගිකයන්ගේ ඇ‍ඟේ ගසනා සීසන් එකකි. මත්පැන් අළෙවිසැල් අවුරුද්දට පෙර සතියකට පෙර සිටම පිරී යයි. ඇත්තෙන්ම භාණ්ඩ භේදයකින් තොරව සමස්ත මුදලාලි වර්ගයාම අවුරුද්දට කැමතිය.

පසුගිය දිනක රාජකාරියට යන අතරමග හමුවූ වැඩිහිටි මිතුරෙකුද එසේ අවුරුද්දට ඉතසිතින් කැමැත්තෙකි. ඔහු අප පාසලේ ආරක්ෂක සේවයේ යෙදුනු මහත්මයෙක් වූ අතර මාගේ පියාගේ මිතුරකු වීම හේතුවෙන් ඒ දිනවල සිටම මා සමග වඩාත් කුළුපග වී සිටියේය. ඔහුගේ වත්මන් වයස වසර 72ක් බව ඔහු පැවසූ අතර තවමත් සුපුරුදු රැකියාව කරමින් වෙසෙයි. ඔහු අවුරුද්දට කැමතිව ඇත්තේ එම කාලයට රෙදි කඩවලින් විශේෂ ආරක්ෂාවක් ඉල්ලීම හේතුවෙන් ඔවුන්ගේ රාජකාරියට වඩා වාසි සැලසෙන නිසාවෙනි. රෙදි කඩයක රාජකාරිය අමතර එකක් වීම නිසාත්, රාජකාරිය අවසන් වූ විට ටී ෂර්ට් එකක් වැන්නක් ලැබෙන නිසාත් ඔහු ඒ ගැන පිරියෙන් කතා කළේය.

පුද්ගලික සේවකයෝ අවුරුදු බෝනස් ලබන අතර රාජ්‍ය සේවකයෝ අත්තිකාරම් ලබති. මුදල් අධිකව සංසරණය වීම හේතුවෙන් ගෙවීම් කාර්යාල අතිශය කාර්ය බහුල වෙයි. බැංකු පිටකොටුව බස්නැවතුම මෙන් පිරී යයි.

කාර්ය බහුල වීමේ අර්ථයෙන් අවුරුද්ද යනු පිස්සුවකි. ජීවිතය කලබල කරනා බැළුම් පොකුරකි. එහෙත් ඉන් ගැලවීමක් නැත. අවුරුද්ද කෑ සියල්ලෝ අවුරුද්දෙන් පසු "අවුරුද්ද අපිව කාල ගියා" යැයි කියන්නේ එහෙයිනි.

පුංචි දරුවන් සිටිනා දෙමාපියන්ට නම් කෙසේවත් ගැලවීමක් නැත. මුදල් කෙතරම් හිඟ වුවද දරුවන්ගේ සතුට වෙනුවෙන් අවුරුද්ද කියා යමක් සැමරිය යුතුය.

ඊයේ බැංකුවට ගිය මාගේ මිතුරියක් පැවසූ කතාව මම මෙහි නැවත ලියමි. තමාට ලැබුණු බෝනස් මුදලින් බැංකුවේ තිබූ මුද්දක් බේරාගැනීමට ‍ගිය ඇයට දරුවෙක් කරපින්නාගත් මවක් හා බැංකුවේ නිලධාරින් අතර සංවාදය ශ්‍රවණය වී ඇත. එම මව විසින් තම මාලයක් බැංකුවේ උකස් කර තිබූ අතර ඒ වෙනුවෙන් ලබාගත හැකි උපරිම මුදලද දෙවතාවකදීම ඇය විසින් ලබාගෙන තිබුණි. නැවත යම් මුදලක් ඇය විසින් ඉල්ලා තිබූ අතර බැංකුවෙන් එයට අවසරයක් නොලැබුණු හෙයින් එම මව කනස්සලු මුහුණින් නික්ම ගොස් ඇත. දුකත්, වේදනාවත් අසරණකමත් කැටිව එම මුහුණේ තිබූ හැඟීම තමාට කාලයක් යන තුරු මතක තිබෙනු ඇතැයි මා මිතුරිය පැවසුවාය.

ජීවිතය එසේය. අපි සමරනා දේවල් ගැන සීතිමටවත් අවකාශ නැති කොටසක්ද සිටී. ඔවුන් ගැන කල්පනා කලද, දුක් වුවද, දුක සිතෙන ලෙස ලිව්වද ඔවුන්ගේ ගැටළුවට විසඳුමක් වීමට අපට අවකාශ ඇත්තේ ස්වල්පයකි. ඇතැම්විට ඒ මෙම සමාජය තුලනය වන එක් සාධකයක් වන්නටද ඉඩ තිබේ...

එසේ වුවද මේ ඇති නැති සියල්ලෝම දින කීපයක් වෙනුවෙන් බලාපොරොත්තුසහගත වන මොහොතකි. තවමත් මට එය පිස්සුවකි. එහෙත් මේ අයුරින් අවුරුදු සමරන අනිත් අයට පිස්සු වන්නට නොහැක.

පිස්සු හැදී ඇත්තේ මා හට විය යුතුය.

Saturday, 9 April 2011

අවුරුද්දට යට ඇඳුමක්!


ඔබ කූඹින්ගෙන් කරදර සිදුවන අළුත් අවුරුද්දට කියා ඇඳුම් ගත්තාදැයි මම නොදනිමි. කෑමටවත් දෙයක් නැති වුවත් දිළින්දන්ද ණයක් හෝ රෝල්කර අවුරුද්දට ඇඳුමක් මිලදී ගන්නේ සමහර විට ඒ මුළු අවුරුද්දේදිම ඔවුන්ට ලැබෙන එකම ඇඳුම නිසා වෙන්නට පුළුවන. මාගේ වට පිටාවේ සැම දෙනාමද අවුරුද්දට කියා ඇඳුම් මිලදී ගනිති. කඩවල සෙනග අස්සේ තෙරපෙමින් තෝරති. මෙය හැම අවුරුද්දකම සිදුවන ක්‍රියාවයි. මා දැන හුන් එක් මිතුරෙක් පැවසුවේ තෙරපෙන්නට ඇති ආසාව නිසාම ඔහු අළුත් ඇඳුමක් ගැනීමට අවුරුද්ද කිට්ටු වෙනතෙක් සිටන බවය. තෙරපීම එවැනි දෙයකි.

තෙරපී අහවර වී සියළු දෙනා අළුත් ඇඳුම් ඇඳ පෙනුම අළුත් කරගත්තද අභ්‍යන්තරය කිසිසේත් අළුත් නොවන පරණ එකමය කියා මම ඒ හැම අවුරුද්දකම කියා ඇත්තෙමි. ඒ කතාව දැන් පැරණිය. එවැනි කතා වලින් ඇති වැඩක්ද නැත. මගේ කතා අසා අළුත් වන උන්ද නැත. මිනිසුන් අළුත් වන්නට කැමති නැත. එබැවින් ඒ කතාව මම මෙවර නොකියන්නට තීරණය කළෙමි. මමත් අළුත් ඇඳුමක් ඇඳ අන් අය සමරනා ලෙසටම අවුරුද්ද සමරන්නට සිතාගෙන ඇත්තෙමි.

සති දෙකකට පෙර මම ඇයත් සමග නුගේගොඩ ඇඳුම් සාප්පු අවට සැරිසරා මිතුරෙක් වෙනුවෙන් ඇඳුමක් මිලදී ගතිමි. සාමාන්‍යයෙන් අවුරුදු කාලයට තියා අවුරුදු නැති කාල වලදීද ඇඳුම් සාප්පුවල ඇවිදීම මා ප්‍රිය කරන්නක් නොවේ. ජීවිතේ අති බිහිසුණු කාලයක් පුරා මා සතු වූයේ අතක ඇඟිලි ගානට වූ ඇඳුම් කීපයකි. ඒවා අපිරිසිදු නොවන මානයේ තබා එවකද මම ඇඳුම් ඇන්දෙමි.

දැන් සියල්ල වෙනස් වී ඇත. මා රස්තියාදු ජීවිතයෙන් මුදවා මහත්මයෙකු කිරීමට වෙහෙසෙනවුන් ගණනාවක් වෙනුවෙන් මම හැඩ ගැසී ඇත්තෙමි. ඉතින් ඇඳුම් අංශයෙන් ගත් කල මාගේ අල්මාරිය පිරෙන තරමට ඇඳුම් දැන් මට ඇත. සාමාන්‍යයෙන් වසරකදී කමිස සහ ටීෂර්ට් 4-5ක්, කලිසමක් හෝ දෙකක් වශයෙන් පසුගිය වසර දෙක තුන පුරා මා හට ඇඳුම් ලැබී ඇත.

මෙවර නව වසර වෙනුවෙන්ද මා හට ඇඳුම් ලැබී ඇත. ඇය විසින් මිලට ගෙන දුන් කලිසමේ වාටිය අම්මා විසින් මට උවමනා ප්‍රමාණයට සකසන ලද්දේය. ඇය විසින්ම ගෙන දුන් කමිසයක් අවුරුද්දට පසු කාර්යාල දිනය කිට්ටු කර එලි බැසීමට නියමිතව තවමත් පැකට් එක තුලය. කාර්යාල ප්‍රධානී විසින් ස්ව වියදමින් මුළු ආයතනයටම ටීෂර්ට් රැගෙන දුන් අතර ඉතා හොඳ යැයි සැලකිය හැකි වර්ගයේ එකක් මටද ලැබී ඇත. අම්මාද තවත් ටීෂර්ටයක් රැගෙනවිත් ඇත. මාගේ කිලුටු බැනියම් සේදීමට සිදුවීම පිළිබඳ විස්සෝපයෙන් මිදීමට ඒ සමගම ඇය විසින් බැනියම් දෙකක්ද ගෙනවිත් ඇත.

අළුත් මේස් කුට්ටමක් මා සතුව ඇති අතර අකුරු තුනේ කොංපැණියෙන් මිළට ගත් පැරණි සපත්තු කුට්ටමේ එක් සපත්තුවක අඩිය මැදින්ම පැලීයාම හේතුවෙන් මසකට කලින් මම නමවත් අසා නැති, ඒත් හොඳ වේ යැයි සිතු වර්ගයක සපත්තු ජෝඩුවක් මිළට ගත්තෙමි.

දැන් සියල්ල හරිය. එහෙත් තවමත් අළුත් යට ඇඳුමක් හෙවත් තේරෙන සිංහලෙන් ජංගියක්නම් කාගෙන්වත් ලැබුණේ නැත. සපත්තු ජෝඩුව හැර සියල්ල අන් අය සැපයූ බැවින් ජංගියක් හෝ දෙකක්ද වෙනත් අයෙකු විසින් රැගෙන දේ යැයි මම බලාපොරොත්තු වෙමි. එහෙත් සියල්ලන් මා බාහිරව අලංකාර කිරීමට තැත් දරනවා විනා යටට අඳිනවාද නැද්ද කියා සොයාබලන්නේ නැත.

ඒක හරියට ජීවිතේ වගේය. හරියට අවුරුද්ද වගේමය. උඩින් අළුත් ඇඳුමක් අඳින බොහෝ දෙනා යටට ඇඳ ඇත්තේ අවුරුද්දක්ම ඇඳි යට ඇඳුමක් වීමට ඉඩ තිබේ. සමහර විට ඒ ගැන සොයා නොබලන්නේ ඒවා අතිශය පුද්ගලික යැයි සැලකෙන නිසා විය හැක.

ඒ කියන්නෙ මගේ අභ්‍යන්තරය කාටවත් වැඩක් නැත.

පිටින් හොඳට හිටියාම ඇති වාගේය.