Wednesday, 13 April 2011

අවුරුදු කටේ පිස්සු හදාගැනීම



ලියන්නට දේවල් බොහෝ ඇතත් නැවතත් කම්මැලිකම මා වෙලමින් ඇත. එහෙත් ලියන්නට ඇරඹූ දේ නොලියා සිටීමද දිරවන්නේ නැත.

හෙට සිංහල සහ දෙමළ ක්‍රමයට අවුරුද්දක් මාරුවී යයි. මා ඉන් එකකටවත් අයත් නොවීම සමග මා හ‍ට එම සංක්‍රාන්තිය විශේෂ වන්නේ දින පහේ නිවාඩුව නිසාම පමණි. එය සිහිවත්ම නැවතත් කම්මැලිකම හිතට වදින බැවින් ඒ ගැන නැවත නොසිතමි. ඒ නිවාඩු දින කීපයේ බිසි වීමට සිතාගෙන ඇත්තෙමි.

අලුත් අවුරුද්ද එකල තිබූ සමාජ ක්‍රමයේ සංස්කෘතික අංගයක් ලෙස වැදගත් වන්නට ඇත. ඒ ගැන විස්තර අසා ඇතත් දැන් මට ඒවා මතක නැත. එය එසේ වුවද වර්තමානයේදී නම් අපට අවුරුද්ද යනු අනෙක් බොහෝ දේවල් මෙන් කරන්නන් වාලේ කරන්නක් මිස වැඩි යමක් නොවේ යැයි මට සිතේ. පුද්ගලිකව මා අවුරුද්දට කැමති හේතුවක් වශයෙන් නිවාඩුවක් ලැබීම සැමදා අංක එකට පත් වූ අතර වඩාත් සාධාරණ හේතු සැලකීමේදී අවුරුදු මංගල්‍යය විසින් සාමාන්‍ය ජනයාගේ ජීවිතයට මද වෙනසක් ගෙන ඒමද මා අවුරුද්දට කැමති හේතුවක් බවට පත්ව ඇති බව පෙනේ.

දුරකථන සමාගම්වල ලොක්කන්ද අවුරුද්ද පැමිණෙනවාට කැමති වනවාට සැක නැත. අපේ මිනිස් සම්බන්ධ සියල්ල සීඝ්‍රයෙන් ඩිජිටලීකරණය වෙමින් යන මොහොතක වෙනත් විකල්පයන්ද නොමැති බැවින් එය එසේ වීම ගැන මැසිවිලි නැගීම නුසුදුසුය.

රෙදි කඩවල මුදලාලිලාද එසේ කෙල පෙරමින් අවුරුද්දට පෙර මග බලන තවත් ‍කොටසකි. එමෙන්ම විවිධ දුරකථන, අන්තර්ජාල, චන්ද්‍රිකා රෑපවාහිනී සේවා සපයන්නන්ද තම පැකේජ ලාබෙට පාරිභෝගිකයන්ගේ ඇ‍ඟේ ගසනා සීසන් එකකි. මත්පැන් අළෙවිසැල් අවුරුද්දට පෙර සතියකට පෙර සිටම පිරී යයි. ඇත්තෙන්ම භාණ්ඩ භේදයකින් තොරව සමස්ත මුදලාලි වර්ගයාම අවුරුද්දට කැමතිය.

පසුගිය දිනක රාජකාරියට යන අතරමග හමුවූ වැඩිහිටි මිතුරෙකුද එසේ අවුරුද්දට ඉතසිතින් කැමැත්තෙකි. ඔහු අප පාසලේ ආරක්ෂක සේවයේ යෙදුනු මහත්මයෙක් වූ අතර මාගේ පියාගේ මිතුරකු වීම හේතුවෙන් ඒ දිනවල සිටම මා සමග වඩාත් කුළුපග වී සිටියේය. ඔහුගේ වත්මන් වයස වසර 72ක් බව ඔහු පැවසූ අතර තවමත් සුපුරුදු රැකියාව කරමින් වෙසෙයි. ඔහු අවුරුද්දට කැමතිව ඇත්තේ එම කාලයට රෙදි කඩවලින් විශේෂ ආරක්ෂාවක් ඉල්ලීම හේතුවෙන් ඔවුන්ගේ රාජකාරියට වඩා වාසි සැලසෙන නිසාවෙනි. රෙදි කඩයක රාජකාරිය අමතර එකක් වීම නිසාත්, රාජකාරිය අවසන් වූ විට ටී ෂර්ට් එකක් වැන්නක් ලැබෙන නිසාත් ඔහු ඒ ගැන පිරියෙන් කතා කළේය.

පුද්ගලික සේවකයෝ අවුරුදු බෝනස් ලබන අතර රාජ්‍ය සේවකයෝ අත්තිකාරම් ලබති. මුදල් අධිකව සංසරණය වීම හේතුවෙන් ගෙවීම් කාර්යාල අතිශය කාර්ය බහුල වෙයි. බැංකු පිටකොටුව බස්නැවතුම මෙන් පිරී යයි.

කාර්ය බහුල වීමේ අර්ථයෙන් අවුරුද්ද යනු පිස්සුවකි. ජීවිතය කලබල කරනා බැළුම් පොකුරකි. එහෙත් ඉන් ගැලවීමක් නැත. අවුරුද්ද කෑ සියල්ලෝ අවුරුද්දෙන් පසු "අවුරුද්ද අපිව කාල ගියා" යැයි කියන්නේ එහෙයිනි.

පුංචි දරුවන් සිටිනා දෙමාපියන්ට නම් කෙසේවත් ගැලවීමක් නැත. මුදල් කෙතරම් හිඟ වුවද දරුවන්ගේ සතුට වෙනුවෙන් අවුරුද්ද කියා යමක් සැමරිය යුතුය.

ඊයේ බැංකුවට ගිය මාගේ මිතුරියක් පැවසූ කතාව මම මෙහි නැවත ලියමි. තමාට ලැබුණු බෝනස් මුදලින් බැංකුවේ තිබූ මුද්දක් බේරාගැනීමට ‍ගිය ඇයට දරුවෙක් කරපින්නාගත් මවක් හා බැංකුවේ නිලධාරින් අතර සංවාදය ශ්‍රවණය වී ඇත. එම මව විසින් තම මාලයක් බැංකුවේ උකස් කර තිබූ අතර ඒ වෙනුවෙන් ලබාගත හැකි උපරිම මුදලද දෙවතාවකදීම ඇය විසින් ලබාගෙන තිබුණි. නැවත යම් මුදලක් ඇය විසින් ඉල්ලා තිබූ අතර බැංකුවෙන් එයට අවසරයක් නොලැබුණු හෙයින් එම මව කනස්සලු මුහුණින් නික්ම ගොස් ඇත. දුකත්, වේදනාවත් අසරණකමත් කැටිව එම මුහුණේ තිබූ හැඟීම තමාට කාලයක් යන තුරු මතක තිබෙනු ඇතැයි මා මිතුරිය පැවසුවාය.

ජීවිතය එසේය. අපි සමරනා දේවල් ගැන සීතිමටවත් අවකාශ නැති කොටසක්ද සිටී. ඔවුන් ගැන කල්පනා කලද, දුක් වුවද, දුක සිතෙන ලෙස ලිව්වද ඔවුන්ගේ ගැටළුවට විසඳුමක් වීමට අපට අවකාශ ඇත්තේ ස්වල්පයකි. ඇතැම්විට ඒ මෙම සමාජය තුලනය වන එක් සාධකයක් වන්නටද ඉඩ තිබේ...

එසේ වුවද මේ ඇති නැති සියල්ලෝම දින කීපයක් වෙනුවෙන් බලාපොරොත්තුසහගත වන මොහොතකි. තවමත් මට එය පිස්සුවකි. එහෙත් මේ අයුරින් අවුරුදු සමරන අනිත් අයට පිස්සු වන්නට නොහැක.

පිස්සු හැදී ඇත්තේ මා හට විය යුතුය.

6 comments:

  1. ඔයාට නිවාඩුව හින්දා අවුරුදු වැදගත් උනත් මට නම් නිවාඩු හින්දා ඒ කාලෙට ලංකාවට එන්නවත් හිතෙන්නේ නෑ. ගිය අවුරුද්දේ කිසිම වැඩක් කරගන්න බැරි උනා. ඒ වගේම තමයි හොටෙල් එකකට ගියත් බොන්නවත් බෑ නේ.
    වෙසක් පෝයටයි අවුරුද්දටයි දෙකටම මට ඔය දේ උනා. හොඳ වෙලාවට අපි නම් රෙඩි මේඩ් බාර් හදන් ඉන්නේ...

    ReplyDelete
  2. අම්මපා මටත් ඕක පිස්සුවක් තමයි. හැබැයි ආතල් එක ඉහටත් උඩින්. කෑම, බීම, ට්‍රිප්, නෑගම් ඔක්කොම මේ කාලෙනෙ!

    ReplyDelete
  3. අවුරුද්දත් කොමර්ෂලයිස් වුනේ දශක දෙක තුනකට කලින්.අපේ ඇත්තෝ තවමත් බොරුවට පාරම්භාමින් ඒ අවුරුද්ද මහ ඉහලින් සමරනවා අන්තිමට ඒ ආනිශන්ශේම වුණ කොහෙවත් යන වැලන්ටයින් දිනයට බනිනවා අවුරුදු කුමාරයයි වැලන්ටයි සාමිවරයායි පව්

    ReplyDelete
  4. මේ උඩ සිහින දනව්ව කියලා තියන එක නම් සිරා..!!

    ReplyDelete
  5. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  6. ඉල් - ගිය අවුරුද්දෙ කිසිම වගතුවක් නැති උන් ටිකක් එක්ක පිස්සු කෙල කෙල හිටියනේ.... ;-) රෙඩිමේඩ් බාර් වැඩේනම් හොඳයි කොතනටත්...

    මුචා - ආතල් නම් කවර කතාද? ඔය නෑගම් කේස් එක නම් ඒ තරම්මත් මට වැදගත් නෑ. මොකද සාමාන්‍යයෙන් ඉන්න නෑදෑයො සේරගෙම ගෙවල් වල මම කරක්ගහන නිසා. ඒ වුණාට කට්ටියම එකට සෙට් වෙනවනේ අවුරුද්දට!

    සිහින - එහෙම කියන්න එපා... වැලන්ටයින් කියන්නෙ පිට එකෙක් ;-)

    මලී - හ්ම්ම්...

    කසූ - සිංහල වියුණු අවකාශය බබලන්ට
    හරි හෝ වැරදි තම අදහස පතුරන්ට
    නිදහස තියෙන තුරු ඒවා කියවන්ට
    පුවරුවෙ කොටමු ඕනෑ මගුලක් වෙන්ට

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!