One|Zero|Zero කිව්වම ඔය කවුරුත් දැන් දන්නවනේ... මේක මේ අපේ කිං රාවණාට මහරගම කිට්ටුවදි නිකමට වගේ හිතුන දෙයක්. උගේ තියෙන කැසිල්ලට ඕක අපේ සෙට් එකට කියල දැම්මා. අපේ තිබුණ කැසිල්ලත් එක්ක සෙට් එකේ කට්ටියගෙ අදහස් එක්ක මේල් දෙතුන්සීයක් විතර එහෙ මෙහෙ යන අතරෙ ඕක One|Zero|Zero විධියට සැලසුම් වුණා. ඊට පස්සෙ උගේ ගල් මරණය, කාටවත් ආගන්තුක නැති ආගන්තු:කයා, ශ්වේතඥ්ඥ කුජින්ත සහ හම සඳුන් නොදරුවාගේ පරිපාලනයෙන් එලියට ඇවිත් උන්ට ඕක කරගන්න බැරි වෙද්දි දන්තජ ලිෂ් සහ සුන්දර මඩ හරේගේ (ඒක තමයි ප්‍රසිද්ධියෙ කියන නම... රහසින් නම් මොන මොන පව් කරගන්නවද දන්නෙ නෑ... :P) ගරු දායකත්වයෙන් හැඩගැන්විලා දැන් වදන් සියයක වියමන් ලස්සනට ඇදීගෙන යනවනේ...
ඔය ටික කාලෙකට කලින් හොඳම ග්ලොබ් එක කියල සම්මානයකුත් හම්බ වුණානේ....
ඉතිං මේ කියන්නෙ මම වතාවක් ඕකට වචන සීයක් ලියද්දි අනුගමනය කරපු දේවල් කීපයක් තමයි. කීපයක් කිව්වට ලිවීම කියන වැඩේ කරන්න තියෙන්නෙ ඉතිං එකම විධියක්නෙ ඉතිං. ලියන එක තමා... ;-)
නමුත් වචන සීයක් කියන්නෙ අභියෝගයක්. ටිකක් තියුණු සීමාවක්. සාමාන්‍යයෙන් නම් අපි වචන ගැන නොහිත ගේමක් නැතිව ලියාගෙන ගියාට වචන සීමාවත් එක්ක අපට හිතන්න අමතර දේවල් ගොඩක් ලැබෙනව. ඒක නිකංම ලියාගෙන යනවට වඩා බරපතල වෙන්න පුළුවන්. නමුත් අදාල ක්‍රම අනුව වැඩේ කරගත්තොත් වචන සීයක් කියන්නෙ අපට උවමනා දේ කියන්න ඕනවටත් වඩා නිදහසක් තියෙන සීමාවක් කියල තේරෙනව. හැබැයි සීමාවකට ලඝු වීම නිසා මේ වචන සීය ඇතුලෙ යම් නිර්මාණාත්මක දේවල් කිරීමේ අභියෝගයකුත් අවස්ථාවකුත් තියෙනව.
මේ කරන්න යන පැහැදිලි කිරීම මට වඩා හොඳට කරන්න පුළුවන් අයත් ඇති. ඒත් දැන් ඒක ගැන කතා කරන්න යන්නෙ මම. මට පුළුවන් විධියට...
කොයි කතාව කියන්නත් වස්තු බීජය කියල එකක් එපැයි. ඒ කියන්නෙ කතාවක බේස් එක හෙවත් හරය. ඕක මොකක් හරි සිදුවීමක්, මතකයක්, හැඟීමක් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්නේ. මේ වස්තු බීජය කියන එක ලියන කියවන හැමෝම දන්න එකක් නිසා ඒ ගැන ඒ තරමින් කිව්වම ඇති. වැඩිදුර ඉගෙනගන්න ඕන කට්ටිය අපේ සර්ප පන්තියට යන්න...
කොහොම හරි කතාවක් සම්පූර්ණ වෙන්න එහෙම බේස් එකක් ඕන. නැත්තං කතාවෙ ඉවරයක් නෑ වගේම තේරුම්ගැනීමේ අවුල් ඇතිවෙන්න පුළුවන්. එහෙම කියලා හොඳ වස්තු බීජ තියෙන කතා කණට ගැහුව වගේ තේරෙනව කියල කියන්නත් බෑ. ඒක කියවන කෙනා අනුව තමයි. කණට ගැහුවත් නොදැණෙන අය ඉන්න පුළුවන්නේ.... :P සමහර විට අපි කලින් කියවලා තියෙන දේවල්, කියවලා තියෙන ප්‍රමාණයන් වගේ සාධක මේ වස්තු බීජය තේරුම්ගැනීමෙදි සෑහෙන්න වැදගත් වෙනව. මොනව වුණත් නිර්මාණයක ආරම්භය මැද හෝ අවසානය කියන්නෙ අනිවාර්ය අංග නෙවෙයි. ඒක එහෙම වෙන්නෙ ඇයිද කියල පැහැදිලි කරන්න මට දැණුමක් නෑ වගේම මෙතනට ඒක ඝෘජුව අදාලත් නෑ.
කොහොම නමුත් අපි ලියපු කතාව පල වුණාට පස්සෙ කාටහරි ඔය කතාව තේරෙන්නෙ නැත්තං අර තේරුනේ නෑ හරි රහක් නෑ කියන එකට හරියක් දාන්නත් පුළුවන්නේ.... නැත්තං ඇනෝ විධියට ඇවිත් දෙඤ්ඤං තොපිට කියලා පළු යන්න බණින්නයි තියෙන්නේ... ඇඩ්මින්ල ඉන්නවනෙ අදාල නැති කමෙන්ට් අයින් කරන්න... :P
ඔන්න ඉතිං වස්තු බීජයක් හොයාගත්තා.... දැන් ඒකෙන් කතාවක් ගොඩනැංවීම.
සාමාන්‍යයෙන් අපට යමක් පැහැදිලි කරන්න එක වාක්‍යයක් ඇති වෙන්න පුළුවන්. නැත්තම් දෙකක් හෝ වැඩිම වුණොත් පහක්... ඔය එක වාක්‍යයක තියෙන්න පුළුවන් වචන ගාන දහයක් හෝ පහලොවක් කියලා ගමු. එතකොට වචන පහලොවක් තියෙන වාක්‍ය පහකින් අපි අපේ කතාව කිව්වොත් එතනම වචන හැත්තැ පහක් තියෙනව.
මේක ඉතිං වචන ගැන ගැන කරන්න බෑ... මම කිව්වෙ සරලව අදහස.
දැන් අපේ වස්තු බීජය සම්බන්ධ කරල කතාව ගොඩනංවන්න ඕන. ඒකට චරිත, අවස්ථා, සිදුවීම් ඇතුල් කරන්න ඕන. මූලික කතාව කියන්න වචන හැත්තැපහක් හොඳටම ප්‍රමාණවත් වෙලා තියෙද්දි ඉතිරි වචන විසි පහ පුරවන්න වැල් වටාරම් වාක්‍යයක් දෙකක් ලියන්නත් වෙනව. ඒකට ඔය වටපිටාව, කාලගුණය වගේ දෙයක් උදව් කරගන්න පුළුවන්. ඒ වගේම වචන අස්සෙ වැඩ කෑලි දානකොටනම් නොදැනීම වචන සීය ඉක්මවන්න පුළුවන්. එතකොට ටිකක් ඈත ඉඳන් බලල බාබර් කොණ්ඩෙ ෂේප් කරනව වගේ වැඩි කෑලි පොඩ්ඩක් ෂේප් කරල දාන්න වෙනව.
මේක මම කියන්න යන්නෙ උදාහරණයකින්...
මීට මාස කීපයකට කලින් මම බැලුව Edward Scissorhands කියන චිත්‍රපටිය. Johnny Depp (එඩ්වඩ්) එක්ක Winona Ryder (කිම්) රඟපාන මේ චිත්‍රපටිය සෑහෙන්න කාලෙක ඉඳන් බලන්න ඉඳල ඉඳල හොයාගෙන බැළුවෙ ඔය දෙන්නම මගෙ ප්‍රියතම නළු නිලි යුවලක් නිසා. ඉතිං චිත්‍රපටිය පුරා ඒක ඇතුලෙ මට පුද්ගලික එක එක කතා හදාගන්න ගමන් විනෝනාට ආදරය කරමින් මම චිත්‍රපටිය බැලුවා. මේකේ එක අවස්ථාවක් තියෙනවා එඩ්වඩ් අයිස් වලින් දේව දූතයෙක්ගෙ රූපයක් කැටයම් කරන. ඒකෙදි අයිස් කෑලි වැටෙන්නෙ හිම වැස්සක් වගේ. කිම් ඇවිත් මේ හිම වැස්ස යට නැටුමක් නටනව. ඒ මොහොතෙ එයා එඩ්වඩ් ගැන උපරිම හැඟීමකින් ඉන්නේ. ඒ එක්කම පසුබිම් සංගීතයත් කැමරා කෝණත් එක්ක ඒ කොටස මාව උපරිමයෙන්ම වශී කරනව.
මේ බලන්නකෝ ඒ කෑල්ල....
ඔන්න ඉතිං චිත්‍රපටිය ඉවර වෙලා ටික වෙලාවක් යනකල් මම චිත්‍රපටියෙ කික් එකෙන් ඉද්දි ඔය සිදුවීම මට තදින්ම දැණෙන්න ගන්නව. ඒක හරියට සුරංගනා කතාවක කෑල්ලක් වගේ කියල මට හිතෙනව. ඔය කාලෙ සීයෙ කතා ලිවිල්ලේ මුදුනක හිටපු මට මේ සිදුවීම කතාවකට ගේන්න උවමනා වෙනව. ඉතිං මම ඒකෙ කෑල්ල කෑල්ල වචන සහ වාක්‍ය වලින් ගොඩ නගනව.
සුරංගනා කතාවක හිම වැටුණ රැයක විදුලි කණුවක් යට ලා එලියක ඇය නටමින් හිටියා... ඒ නැටුම කෙලවරදි අඳුරු මුල්ලක හිටපු මගේ පපු තුරුලට වෙලා ඈ ඇගේ ආදරේ මට කිව්වා... මම ඒ දෑස් දිහා බලන් හිටියෙ පුංචි මොහොතක්. ඒක ජීවිතේ නැවතුණු මොහොතක් වුණාට මම ඒ මොහොත ඇතුලෙ ජීවිත කාලයක් හිටියා...
මේක මගේ ෆයිනල් කතාවෙ මුල් ඡේදය විතරයි. මුලින්ම මේක ලියවුණේ මීට වෙනස් විධියකට. පසුව වෙනස් වෙලා කැපිල කෙටිල ඉතිරි වුණ කෑල්ල තමයි ඔය.
කොහොම හරි මේක මේ ගානට ලියවුණාට පස්සෙ මට තවත් ඒකට එකතු කරන්න දෙයක් නැති වුණා. මට කියන්න උවමනා කරන සේරම මේ වාක්‍ය කීපයෙ රැඳිල තියෙනව කියල හිතුණ. කාලගුණයත් වටපිටාවත් ඒ මොහොතෙ මට දැණුනු පීක් හැඟීමත් මේ ලියවුණ කොටසෙ හොඳටම තියෙනව කියල මට හිතුණා.. ඊට වඩා ඒ ගැන ලියන්න ගියොත් තියෙන ටිකත් දියාරු වෙනවා. ඒ නිසා ඇත්තටම මට උවමනා වුණේ කතාව මේ තරම් විතරක් කරන්න. ඒ වුණාට වචන සීයක ඉඩ සම්පූර්ණ කලයුතු වුණා. ඒ හින්දා ඒක පසුව හිතන්න කියල මම වැඩේ අතර මග නතර කරල දැම්මා...
සතියකට දෙකකට විතර පස්සෙ මට මේ කතාව සම්පූර්ණ කරන්න උවමනා වෙනවා. ඒ ගැන හිතමින් ඉද්දි මට මතක් වෙන්නෙ බලධාරිනිය එක්ක තිබුණ මගේ සම්බන්ධය ඒ දවස් වල විචලනය වුණ විධිය. ඒ දවස් ටිකේ ඒ සම්බන්ධයෙ කිසිම අළුත් ගතියක් තිබුණේ නෑ. දෙන්නම රාජකාරි වැඩ එක්ක හෙම්බත් වෙලා හිටියෙ. ඒ එක්කම මට කල්පනා වෙනව අපි දෙන්න අතරෙ අතරින් පතර ඇතිවෙන හැඟීම් අස්සෙ අර චිත්‍රපටිය බලද්දි මට දැණුන හැඟීම් විඳීම් සේරම තිබුණ නේද කියල. ඒ කියන්නෙ ඒ වෙලාවෙ අධෝවාතයක් තරම්වත් ගණන් නොගත්තට බලධාරිනිය කියන්නෙ හිම වැස්සක නටපු සිහින සුරංගනාවිය නේද කියල මට මතක් වුණා... (ඒ වෙලාවෙ කිසිම දෙයක් පාවිච්චි කරල හිටියෙත් නෑ හැබැයි... :පී)
ඔන්න මට කතාව ලියන්න පොටක් පෑදෙනව. දැන් මම කතාව ගොතන්න යන්නෙ ආදරය කියන සම්බන්ධය සන්තතික නැති බව කියන්නයි. ආදරය කියන එකත් හැම වෙලේම පීක් එකට එන්නෙ නැති සාමාන්‍ය එකක් වෙන බව කියවෙන විධියටයි මම දැන් කතාව ලියන්න යන්නේ... ඒකෙදි අර මුල් ඡේදයේ ලියවුණ දේ සහමුලින්ම අනිත් පැත්තට ගහන්න ඕන දෙවෙනි ඡේදයෙන්. එතනදි වචන ගානත් සැලකිල්ලට අරන් මම ඔය සාමාන්‍ය මිනිහෙක් කරන්න කැමති දේවල් ටිකක් ඒකට ගාවනවා. කෑම, පත්තර, චිත්‍රපටි එක්ක ක්‍රිකට්... ඒ දේවල් සමහර වෙලාවට මහ ලොකු දේවල් වුණාට මනුස්සයෙක්ගෙ ජීවිතේ සාමාන්‍යකරණය වුණ දේවල්නේ... ඉතිං ඔන්න මම ලියනව...
ඊළඟ දවසෙ ආයෙමත් උදේ නැගිටල මුහුණ හෝදල පටන්ගන්න ඉරි තලපු ජීවිතේ ඇය සාමාන්‍ය ගෑණියක්... ජීවිත කාලෙන් මොහොතක් ඈත් එක්ක ගෙවන එක කෑම පිඟානක්, පත්තරයක්, චිත්‍රපටියක්, ක්‍රිකට් තරගයක් වගේ සරල දෙයක් වෙලා.
මේක ලියවුණාට පස්සෙත් කතාව සම්පූර්ණ නෑ... ඕන නම් මෙතනින් වුණත් කතාව නතර කරන්න පුළුවන් වුණාට වචන සීයක් උවමනයි. ඉතිං මම ආයෙත් හිතනව. ඒකෙදි මට තේරෙනව මේ දෙවෙනි ඡේදයෙ විධියටත් හැමදාම නෑ කියල. ආයෙත් අර මුල් තත්ත්වෙට යන්න පුළුවන්. ඒ මුල් ඡේදයෙ කියවෙන සුන්දර මතකයකට හරිම පොඩි වෙලාවකින් ආයෙත් යන්න පුළුවන්. ආදරේ ඇතුලෙ ඕක හරියට අර හදවතේ ගැස්ම පෙන්නන සටහනක් වගේ ඉහල පහල යන එකක්නේ... ඔන්න මම ආයෙ කතාව හරවනව මේ සංසිද්ධි දෙකම එක තැනකට ගේන්න.
ඒත් හිම පියලි වලින් වැහිල ඇගේ නෙත් දෙක තාම ආරක්ෂිතයි... විශේෂ කෑමක්, හොඳ කාටුන් එකක්, දැණෙන චිත්‍රපටියක්, සික්සර් එකක් වගේ...
මෙතනදි වෙන්නෙ අර මුල් ඡේදයෙදි උපරිමයකට ගොඩනංවල දෙවෙනි ඡේදයෙදි බිඳල දාපු සම්බන්ධය බැලන්ස් කරන එක... ඒක හරියට දෙන්නෙක් ගහගනිද්දි තුන්වෙනිය මැද්දට පැනල ෂේප් කරනව වගේ වැඩක්.
හැබැයි ඕක හැම වෙලේම හරියන්නෙත් නෑ... තුන්වෙනිය ගුටිකන වෙලාවලුත් තියෙනව.
ඉතිං ඔය කිව්වෙ මම එක කතාවක් ලියපු හැටි. හැබැයි සමහර වෙලාවට කතාව ලියාගෙන ගියාම වචන ගාන සීය ඉක්මවනව. ඒකෙදි කතාවට හානි නොවෙන්න ඔය පරිසරේ, කාලගුණේ වගේ කෑලි ගලවන්න වෙනව. වචන හරඹ දාල කතාව වචන සීයකට ටියුන් කරන්න වෙනව. වචන සීයේ අභියෝගයේ නියම කොටස තමයි ඔය ටියුන් කිරිල්ල.
ඔය ලියපු සම්පූර්ණ කතාව මෙතන තියෙනව. මේ සටහනට මේ කතාවම තෝරගත්තෙ අර වෙනස්වීම් පැහැදිලි කරන්න ලේසි නිසයි, සහ මෑතකදි ලියපු සීයෙ කෑලි අතරෙ මේක ටිකක් කල් ගතවෙමින් ගොඩනැගුණු නිර්මාණයක් නිසයි.
මට හිතෙන විධියට ඕනම කතාවක් වචන සීයකින් ලියන්න පුළුවන්. දිග නව කතාවක් වුණත්... හැබයි ඒකෙදි අර චරිත, සිදුවීම් වෙනුවට වෙනත් දේවල් ටිකක් ආදේශ කරන්න වෙයි. උදාහරණයක් විධියට ඔය ගොඩක් දෙනෙක් දන්න ගම් පෙරලිය වගේ කතාවක් සීයකට කෙටි කලොත් ඒකෙ ඉන්න චරිත වෙනුවට ඔය ගම වෙනස් වීම, නාගරීකරණය වගේ කවුරුත් කියවන්නෙ නැති වර්ගයේ කතාවක් හැදෙයි ;-)
මොනව වුණත් මට දැනට තේරෙන විධියට අපට කියන්න උවමනා කරන දේ පැහැදිලිව හඳුනාගත්තොත් ඒක වචන සීයකට කෙටි කරල ලියන එක අමාරු නෑ. එක අතකට ඒක ලිවීම හරහා විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම උවමනා නම් වචන සීය ඇතුලෙ පද පෙරලි, වචන හරඹ වගේ දේවල් කරල නිකංම නිකං කතාවක් වෙනුවට කියවන කෙනාට අළුත් අත්දැකීමක් ලැබෙන විධියෙ නිර්මාණයක් කරන්නත් පුළුවන්.
ඉතිං මේ සටහන ලිව්වෙ ලියන කියන කට්ටියට අභියෝගයක් සමග ලිවීමේ තෘප්තිය ගැන කියන්න. බ්ලොග් අවකාශෙ පුරාම ගත්තම එක එක විධියට එක එක දේවල් ගැන එක එක විධියෙ නිර්මාණ කරන අය ඉන්න එකේ තමන්ගෙ ලිවිල්ල නිකංම ලිවිල්ලක් විතරක් නොවෙන බව දැනගැනීමේ ආතල් එක පොඩ්ඩක් විඳින්න සීයෙ කතාවක් ලියන්න තල්ලුවක් දෙන්න.
ඉතිං ලියන්න... වචන සීයෙ කතාවක්... අභියෝගාත්මක අකුරු වලින්...
----------------------------------------------------------
ප.ලි. - ලියන්න ආසාවෙන් හිටපු අයට මේ සටහන කියවල ලිවිල්ල එපා වුණා නම් හිතේ අමාරුව යන්නත් එක්ක මෙන්න පිළිගන්න ජොලි සීයගෙ ලලක්කා....
අනුග්‍රහය - Siribiris
මේක හරි සොඳුරු අභියෝගයක් හරේ.., මේක ලියන විට මට දැනුන දෙයක් තමා.., කතාවක ආරම්භය සහ අවසානය අතර තිබියයුතු උපරිම වචන සංඛ්‍යාව කියන එකට නිශ්චිත අගයක් දීලා කතාව රාමු කරවන ගතිය.., ඉතින් මේ කතාව ගලායාම අර රාමුව ඇතුලේ පිනුම් ගහන්න ගන්නවා නම් අන්න අපේ කාරණාව බුදුවෙලා..!! කෙටියෙන් කියනවා අපි දිනලා..!!!
ReplyDeleteone zero zero ලියන නිමක් නැති ලේඛකයන් අතරේ වචන සීයකට අමුතුම හැඩයක් දෙන්න හදපු අය වචන 100 ගද්‍ය, පද්‍ය, කවි, වගේ විලාසිතා ඊට එන්නත් කරලා ලස්සන හැඩයක් ඊට දුන්නා.
one zero zero හැඩකරපු හැමදෙනාටම ස්තූතියි..!!
mee article eka siraa!
ReplyDeleteලිෂානුව සහ මුචානුව - කියවීම එපා වෙනකල් මෙය කියවූවාට ස්තූතිය... ;-)
ReplyDelete