Showing posts with label business. Show all posts
Showing posts with label business. Show all posts
Wednesday, 13 April 2011
අවුරුදු කටේ පිස්සු හදාගැනීම
ලියන්නට දේවල් බොහෝ ඇතත් නැවතත් කම්මැලිකම මා වෙලමින් ඇත. එහෙත් ලියන්නට ඇරඹූ දේ නොලියා සිටීමද දිරවන්නේ නැත.
හෙට සිංහල සහ දෙමළ ක්‍රමයට අවුරුද්දක් මාරුවී යයි. මා ඉන් එකකටවත් අයත් නොවීම සමග මා හට එම සංක්‍රාන්තිය විශේෂ වන්නේ දින පහේ නිවාඩුව නිසාම පමණි. එය සිහිවත්ම නැවතත් කම්මැලිකම හිතට වදින බැවින් ඒ ගැන නැවත නොසිතමි. ඒ නිවාඩු දින කීපයේ බිසි වීමට සිතාගෙන ඇත්තෙමි.
අලුත් අවුරුද්ද එකල තිබූ සමාජ ක්‍රමයේ සංස්කෘතික අංගයක් ලෙස වැදගත් වන්නට ඇත. ඒ ගැන විස්තර අසා ඇතත් දැන් මට ඒවා මතක නැත. එය එසේ වුවද වර්තමානයේදී නම් අපට අවුරුද්ද යනු අනෙක් බොහෝ දේවල් මෙන් කරන්නන් වාලේ කරන්නක් මිස වැඩි යමක් නොවේ යැයි මට සිතේ. පුද්ගලිකව මා අවුරුද්දට කැමති හේතුවක් වශයෙන් නිවාඩුවක් ලැබීම සැමදා අංක එකට පත් වූ අතර වඩාත් සාධාරණ හේතු සැලකීමේදී අවුරුදු මංගල්‍යය විසින් සාමාන්‍ය ජනයාගේ ජීවිතයට මද වෙනසක් ගෙන ඒමද මා අවුරුද්දට කැමති හේතුවක් බවට පත්ව ඇති බව පෙනේ.
දුරකථන සමාගම්වල ලොක්කන්ද අවුරුද්ද පැමිණෙනවාට කැමති වනවාට සැක නැත. අපේ මිනිස් සම්බන්ධ සියල්ල සීඝ්‍රයෙන් ඩිජිටලීකරණය වෙමින් යන මොහොතක වෙනත් විකල්පයන්ද නොමැති බැවින් එය එසේ වීම ගැන මැසිවිලි නැගීම නුසුදුසුය.
රෙදි කඩවල මුදලාලිලාද එසේ කෙල පෙරමින් අවුරුද්දට පෙර මග බලන තවත් කොටසකි. එමෙන්ම විවිධ දුරකථන, අන්තර්ජාල, චන්ද්‍රිකා රෑපවාහිනී සේවා සපයන්නන්ද තම පැකේජ ලාබෙට පාරිභෝගිකයන්ගේ ඇඟේ ගසනා සීසන් එකකි. මත්පැන් අළෙවිසැල් අවුරුද්දට පෙර සතියකට පෙර සිටම පිරී යයි. ඇත්තෙන්ම භාණ්ඩ භේදයකින් තොරව සමස්ත මුදලාලි වර්ගයාම අවුරුද්දට කැමතිය.
පසුගිය දිනක රාජකාරියට යන අතරමග හමුවූ වැඩිහිටි මිතුරෙකුද එසේ අවුරුද්දට ඉතසිතින් කැමැත්තෙකි. ඔහු අප පාසලේ ආරක්ෂක සේවයේ යෙදුනු මහත්මයෙක් වූ අතර මාගේ පියාගේ මිතුරකු වීම හේතුවෙන් ඒ දිනවල සිටම මා සමග වඩාත් කුළුපග වී සිටියේය. ඔහුගේ වත්මන් වයස වසර 72ක් බව ඔහු පැවසූ අතර තවමත් සුපුරුදු රැකියාව කරමින් වෙසෙයි. ඔහු අවුරුද්දට කැමතිව ඇත්තේ එම කාලයට රෙදි කඩවලින් විශේෂ ආරක්ෂාවක් ඉල්ලීම හේතුවෙන් ඔවුන්ගේ රාජකාරියට වඩා වාසි සැලසෙන නිසාවෙනි. රෙදි කඩයක රාජකාරිය අමතර එකක් වීම නිසාත්, රාජකාරිය අවසන් වූ විට ටී ෂර්ට් එකක් වැන්නක් ලැබෙන නිසාත් ඔහු ඒ ගැන පිරියෙන් කතා කළේය.
පුද්ගලික සේවකයෝ අවුරුදු බෝනස් ලබන අතර රාජ්‍ය සේවකයෝ අත්තිකාරම් ලබති. මුදල් අධිකව සංසරණය වීම හේතුවෙන් ගෙවීම් කාර්යාල අතිශය කාර්ය බහුල වෙයි. බැංකු පිටකොටුව බස්නැවතුම මෙන් පිරී යයි.
කාර්ය බහුල වීමේ අර්ථයෙන් අවුරුද්ද යනු පිස්සුවකි. ජීවිතය කලබල කරනා බැළුම් පොකුරකි. එහෙත් ඉන් ගැලවීමක් නැත. අවුරුද්ද කෑ සියල්ලෝ අවුරුද්දෙන් පසු "අවුරුද්ද අපිව කාල ගියා" යැයි කියන්නේ එහෙයිනි.
පුංචි දරුවන් සිටිනා දෙමාපියන්ට නම් කෙසේවත් ගැලවීමක් නැත. මුදල් කෙතරම් හිඟ වුවද දරුවන්ගේ සතුට වෙනුවෙන් අවුරුද්ද කියා යමක් සැමරිය යුතුය.
ඊයේ බැංකුවට ගිය මාගේ මිතුරියක් පැවසූ කතාව මම මෙහි නැවත ලියමි. තමාට ලැබුණු බෝනස් මුදලින් බැංකුවේ තිබූ මුද්දක් බේරාගැනීමට ගිය ඇයට දරුවෙක් කරපින්නාගත් මවක් හා බැංකුවේ නිලධාරින් අතර සංවාදය ශ්‍රවණය වී ඇත. එම මව විසින් තම මාලයක් බැංකුවේ උකස් කර තිබූ අතර ඒ වෙනුවෙන් ලබාගත හැකි උපරිම මුදලද දෙවතාවකදීම ඇය විසින් ලබාගෙන තිබුණි. නැවත යම් මුදලක් ඇය විසින් ඉල්ලා තිබූ අතර බැංකුවෙන් එයට අවසරයක් නොලැබුණු හෙයින් එම මව කනස්සලු මුහුණින් නික්ම ගොස් ඇත. දුකත්, වේදනාවත් අසරණකමත් කැටිව එම මුහුණේ තිබූ හැඟීම තමාට කාලයක් යන තුරු මතක තිබෙනු ඇතැයි මා මිතුරිය පැවසුවාය.
ජීවිතය එසේය. අපි සමරනා දේවල් ගැන සීතිමටවත් අවකාශ නැති කොටසක්ද සිටී. ඔවුන් ගැන කල්පනා කලද, දුක් වුවද, දුක සිතෙන ලෙස ලිව්වද ඔවුන්ගේ ගැටළුවට විසඳුමක් වීමට අපට අවකාශ ඇත්තේ ස්වල්පයකි. ඇතැම්විට ඒ මෙම සමාජය තුලනය වන එක් සාධකයක් වන්නටද ඉඩ තිබේ...
එසේ වුවද මේ ඇති නැති සියල්ලෝම දින කීපයක් වෙනුවෙන් බලාපොරොත්තුසහගත වන මොහොතකි. තවමත් මට එය පිස්සුවකි. එහෙත් මේ අයුරින් අවුරුදු සමරන අනිත් අයට පිස්සු වන්නට නොහැක.
පිස්සු හැදී ඇත්තේ මා හට විය යුතුය.
Friday, 8 April 2011
ජෑම් බෝතලයට අසුවූ භූතයා...
මලයාගේ ලැප්ටොප් එකේ තිබුණ එක එක වැඩ කෑලි අතරෙ තිබුණ තව එකක් එයාම වටේට පෙන්නනවා. භූතයො අල්ලන එකක්. ටික දවසකට කලින් චැනල් එකක ගිය වැඩසටහනක්. බ්ලොග් එකකත් තිබුණ මතකයි.
එක මනුස්සයෙක්ට පේන භූතයව අනිත් මනුස්සය කෝටුවකින් වීදුරු බෝතලේකට දානව. ඒ වැඩේ කරන මනුස්සයටත් නොපෙනෙන භූතය බෝතලේට දැම්මට පස්සෙ කැමරාවටත් පේනව. මම හිතන්නෙ අර භූතයො පේන මනුස්සයගෙ ඇස් දෙකේ කැමරාවක් හයි කරලද දන්නෙ නෑ.
අම්මල නැන්දල පුංචිල ආච්චිල කම්මුල්වල අත් තියාගෙන මේක බලනව. කට්ටියම වැඩිය බය වෙලා තිබුණෙ දැකපු දේවල් වලට වඩා ඇහුණ සංගීතයට. එක ටෝන් එකක බියකරු සංගීතයක් තමයි පසුබිමේ වාදනය වුණේ. ඉතිං සමහර කට්ටිය භූතයව දකින්න කලින්ම කන් දෙක වහගෙන. කොහොම හරි අන්තිමේදි කට්ටියම බෝතලේට අහුවුණ භූතයො දැකල තිබුණ.
ඒ වෙලාවෙ මම ඒක බලන්න ඒ තරම් උනන්දු වුණේ නැතත් කට්ටිය කීප වතාවක්ම මේක බලපු නිසා මමත් මොකක්ද මේ කියල පස්සෙ බැලුවා. මට නම් බෝතලේ ඇතුලෙ එහෙම එකක් පෙනුණෙ නෑ. සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක් කොහොම හැරෙව්වත් දිලිසෙන හින්දා භූතයා කොහොමත් ඉන්නෙ බෝතලේ ඇතුලෙම තමයි. ඒක හරියට බුදු පිළිමෙන් රැස් විහිදුනා වගේ වැඩක්. සාමාන්‍යයෙන් අපිට පේන, නමුත් ඒක සාමාන්‍ය දෙයක් නිසාම අපි ගණන් නොගන්න දෙයක්. ඒ දේ දකින්න උවමනාවක් ඇති කරගෙන බැලුවම බඩු පේනවා... බෝතලේ පෘෂ්ඨය මට්ටම් නැති නිසා පරාවර්තනය වෙන ආලෝක කිරණ නිසා ඇති වෙන ප්‍රතිබිම්භ.
ඉතිං ඒ අය අල්ලපු විධියට මටත් භූතයෙක් අල්ලන්න පුළුවන්.
මෙන්න බලන්න මම අල්ලපු භූතයා.
මෙයාව මම ඇල්ලුවෙ පැන්සලකින්. හිටියෙ මගෙ රවුටරේ යට හැංගිලා. භූතයෙක් වෙන්න කලින් හෙන බේබද්දෙක්ද කොහෙද බෝතලේ දැක්ක ගමන් ඒකට රිංගගත්තා. බෝතලේ පරණ ජෑම් බෝතලයක් කියල පොරට මීටර් වුණේම නෑ.
කොහොම වුණත් මේ කතාව අනිත් අයට පහදල දෙන්න මට පුළුවන් වුණේ නෑ. මේ භූත කතාව ඇත්තය කියන්නත් බොරුය කියන්නත් දෙපැත්තටම ඕන තරම් කතා තියෙන නිසා මේක එක පැත්තකින් නතර වෙන්නෙ නෑ. ඒ නිසා තමන් අදහන එකක් අදහගෙන ඉන්න දෙන එක තමයි හොඳම දේ.
භූතයෙක්ට රුපියල් 1000 ගානෙ විතර චාජ් කරල භූතයො අල්ලන වැඩේ කරන්නත් හිතයි... :D
Subscribe to:
Posts (Atom)

