Showing posts with label සමාජය. Show all posts
Showing posts with label සමාජය. Show all posts

Friday, 2 June 2023

සතුටින් ඉන්නෙ කොහොමද?

 

මේක සිය දිවි හානි කරගැනීම ගැන මලී ලියපු ෆේස්බුක් හෑල්ලකට දාපු කමෙන්ට් ඒකක් සහ ඒ්කට ආපු ප්‍රතිපාර්ශවීය පිළිතුරකට ලියපු පිළිතුරක්.

මේ සටහන ගැන මට දැනට හිතෙන දේ මේක. සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්.

මානසිකව බිඳවැටීම කියන්නෙ සාපේක්ෂව අලුතෙන් ඉස් මතු වෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕන. මම හිතන්නෙ නෑ එහෙම ප්‍රශ්න අතීතයේදි තිබුණ විධිය ගැන පරීක්ෂණ කරලා තියෙනවා කියලා. අතීතයෙදිත් තියෙන්න ඇති. නමුත් අපේ සමාජ ජීවිත සංකීරණ වීම එක්ක මානසික අවුල් වැඩි වෙලා තියෙනවා කියන එකයි මගේ අදහස.

ඕකෙන් ගැලවිලා ඉන්න නම් සරලවම තමන්ගෙ රසඥතාවය සෑහෙන්න දියුණු කරගන්න ඕන. එහෙම නැත්නම් ඒක නැති කරලම දාලා වර්කොහොලික් වෙන්න ඕන. හිත්වලට එන හිස්කම පුරවන්න පුළුවන් ඔය ක්‍රම දෙකට කියලයි මට හිතෙන්නෙ. රසය දියුණු කෙනෙක්ට ලෝකයේ රස විඳින්න දේවල් ඕන තරම් තියෙනවා. කෑමක් බීමක්, කළා නිර්මාණයක් හෝ බොහොම සුළු දේවල් රස විඳගන්න පුළුවන් නම් හිස්කම ඒව අස්සෙ දිය වෙලා යනවා. වර්කොහොලික් කෙනෙක්ට නම් වැඩ අස්සෙ ඕක දිය කරල දාන්න පුළුවන්.

තමන්ගෙ බලාපොරොත්තු බොහොම සුළු අනාගතයකට සීමා කරගන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි. ඒකෙන් අදහස් කරන්නෙ නෑ දිග අනාගතයකට ප්ලෑන් කරන්න එපා කියලා. ප්ලෑන් කරන්න. වැඩ කරන්න. බලාපොරොත්තු නොවෙන්න. වෘත්තීයමයව ඇරුණම කාගෙන්වත් මොකවත් බලාපොරොත්තු නොවෙන ගානට එන්න පුළුවන් නම් මරු. අමාරුයි. හැබැයි පුළුවන්.

උදේ නැගිට්ටම මගේ තියෙන ලොකුම බලාපොරෙත්තුව හවස ගෙදර ඇවිත් ගහන සිගරට් එක. රෑ වෙද්දි කැමති එපිසෝඩ් එකක් බලන එක, යූ ටියුබ් සංවාදයක් අහන එක. එතනින් එහා බලාපොරොත්තු කියන ඒවාට වැදගත් කමක් ලැබෙන්නෙ ඒ අවස්ථාව අනුවයි. ඒ බලාපොරොත්තු වෙනුවෙන් වෙන මහන්සිය අපතේ යන්නෑ කියන කාරණය මත විතරයි මංනං බලාපොරොත්තුවක් පස්සෙන් යන්නේ.

සමාජ ජීවියෙක් වෙද්දි ඕනම කෙනෙක් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා පිළිගැනීමක්. ඒ එක්කම තමන් විසින් ළඟා විය යුතු ජීවිත මට්ටමක් ගැන බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒවා නොලැබෙද්දි නොසන්සුන් වෙනවා. සමාජෙත් එක්ක අවම සම්බන්ධ තියාගෙන සමාජටෙ බ.ම්.බු. ගහගන්න කියල ඉන්නත් පුළුවන්. හිතෙන් හදාගත්ත ස්ටෑන්ඩර්ඩ් හිතෙන්ම විනාශ කරල දාන්න පුළුවන්. හිත පොළොව මට්ටමේම තියාගන්න පුළුවන් නම් මරු මම හිතන්නෙ.

මේ කියපු දේවල් බහුතරයකට අදාළ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඉතිං ඔය ඇඟේ කෙමිකල් ටික බැලන්ස් කරගන්න බෙහෙත් බොන එකත් හොඳයි.

සමාජයෙන් එන ප්‍රශ්නයකට සමාජෙන් උත්තර හොයන්න බැරිදත් මන්දා. කොහොම වුණත් මේවට යුනිවර්සල් උත්තර නෑ.

හෑල්ලෙන් හෑල්ල උතුම් හෑල්ලක් වේ.


---------------------

මේකෙන් සෙල්ෆිෂ් වීමක් ගැන නෙවෙයි කියන්නෙ. තමන් තුළ ගොඩනගාගන්න පුළුවන් මානසික තත්වයන් ටිකක් ගැන. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ බාහිරින් එන බලපෑම්වලදි නොසැලී ඉන්න හැකියාව ලැබෙන එක. මොකද අපි මොන විදියට හිටියත් බාහිරින් අපට යොමු වෙන බිඳවැටීම්වලට මුහුණ දෙන්න වෙනවා. අපේ හිත ඒවයින් බිඳගන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද කියලයි මම ඔය කියපු එකේදි කල්පනා කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ හැඟීම් දැනීම් නැති ගල් මිනිහෙක් වෙන්න ඕන කියන එකත්. ඉමෝෂන් එකකදි සංවේදී වෙලා ඒකට ප්‍රතික්‍රියා කරන එක තමයි හොඳම. හැබැයි ඒක පස්සෙ එල්ලිලා ඉන්නෙ නැතුව ඒකෙන් වෙන ලෙඩ හදාගන්නෙ නැතිව ඉන්න පුළුවන් අර දේවල් පුහුණු කළාම. අපි සේරම මේ එක එක තත්වයන්වලදි ස්‍රාවය වන හෝමෝන සහ කෙමිකල්වල වහල්ලු තමයි ඉතිං.

මෙහෙම තත්වයක් ප්‍රගුණ කළා කියලා මිනිහෙක් වගකීම් විරහිත වෙන්නෙ නෑ. ඕන නම් තවත් වගකීම් සහගත වෙයි. එක අතකින් මේකෙන් මිනිහෙක්ට නරුමයෙක් වෙන්නත් පුළුවන් සාන්තුවරයෙක් වෙන්නත් පුළුවන්. ඔය දෙන්නා බවටම පත්වෙන්න පුළුවන් නම් අයිඩියල්. එතකොට තමන් වොරි වෙන්න ඕන සීමා ටික හොඳටම අඳුනගන්න පුළුවන්. ලෝකෙම ප්‍රශ්න තමන්ට දාගන්නවද නැත්තං තමන්ට අදාළ ප්‍රශ්න විතරක් දාගන්නවද කියල එතකොට ෆිල්ටර් කරගන්න පුළුවන්.

Monday, 14 November 2022

මැද!

 

Source - https://www.bbc.com/news/world-australia-49589160

ලියන්න නොහිතෙන්නෙ ඇයි කියන එක හෙන ප්‍රශ්ණයක් නෙවෙයි මට. නමුත් ඒකට හේතුව ලියල තියෙන එක වටිනවා. යමක් ගැන මතයක් නැතිනම් ඒ ගැන ලියන්න බෑ. මම ටිකෙන් ටික මත දැරීමෙන් අයින් වෙමින් යනවද කොහෙද... ඒක තමයි දැනට ඒ ගැන මම දරණ මතය. කම්මැලිකම කෙසේ වෙතත් පොඩියට හරි ලියන්න බාධාවක් තියෙන්න විධියක් නෑ.

යමක් ගැන පාර්ශවික අදහසක් නැතුව ඒ ගැන ලියන එක හරිම කම්මැලියි. දෙපැත්ත හෝ කීප පැත්තක් බැලන්ස් කරලා අන්තිමට මම එන්නෙ තිසිම තේරුමක් නැති මැදකට. උනුත් හරි මුනුත් හරි වගේ තැනකට. සම්පත්ගෙ සාධාරණවාදය. ඒ නිසාම යම් දෙයක් ගැන අදහසක් එද්දිම ඒකෙ විලෝමය ගැනත් අදහසක් එනවා. ඉතිං මම දරණ අදහස ශුන්‍ය වෙලා යනවා.

හිතන්න ලංකාවෙ ඉන්නෙ මානසික රෝගියො කියල කිව්වොත් ඒක ජස්ටිෆයි කරන්න මට කරන්න තියෙන වැඩ ටික දරාගන්න බැරි තරම් ලොකුයි. දැන් එකෙක් දියසෙන් කියල ප්‍රමෝට් කරගෙන එනව. සිවුරක් දාගත්ත එකෙක්. ඒ මදිවට ඔටුන්නකුත් දාගන්නවා. ටික දවසකට කලින් පාස්ටර් ඩයල් එකක් මැච් දිනවන්න කතා කලා.

එහෙම මිනිස්සුන්ට ඕඩියන්ස් එකක් හැදෙන එකත් තියෙන අවුලත්. ඒක මට අවුලක් වුණාට සාධාරණවාදය අනුව ඒක උන්ගෙ අයිතිය. ලංකාව අජූත වෙලා තියෙද්දි සියළු මත දරන්නන්ට තම තමන් කැමති පිස්සු කෙලාගන්න අවස්ථාව තියෙනව. ඒ ගැන කතා කරන්න ගියොත් ඒකට විරුද්ධ මතත් ඒ තරමටම එන්න ගන්නවා. ඉතිං කතා කරන්නෙ නැති තරමට හොඳයි.

Tuesday, 18 August 2020

මැගලන්

Source - https://www.historyextra.com/period/tudor/ferdinand-magellan-fatal-voyage-discovery-first-circumnavigation-globe/


තොරතුරුමය විපරිතබව නිසා විද්‍යාව, විද්‍යාත්මක චින්තනය, තාක්ෂණය වගේ දේවල් ආගම් සහ සංස්කෘති එක්ක පටලවගන්නව ඇතැම් උදවිය. ඒ ගැන තර්කත් සෑහෙන්න යනව පේනව. තමන් ඉන්න ෆ්‍රේම් එක අනුව මේ ගැන එකිනෙකා කියන දේවල් වෙනස් වෙනව. මේ ගැන මමත් කල්පනා කරන නිසා මම ඉන්න ෆ්‍රේම් එකේ ඉඳන් මේ ගැන මට හිතෙන දේවල් ටිකක් කියල දාන්න ඕන කියල හිතුවා.

මේ වෙනකොට ලෝකය සංස්කෘතිකමය සහ භූගෝලීය විදියට ධ්‍රැවීකරණය වෙන්න අරන්. එහෙම නැත්තං සමාජ මාධ්‍යවල ප්‍රබලත්වයත්, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පුවත්වලට ලැබිල තියෙන වටිනාකමත් එක්ක ඒ ධ්‍රැවීකරණය වීම් පේනව වැඩි වෙලා. අවුරුදු 10-15කට කලින් ලෝකයේ ඇස නොගැටුනු බොහොම සුළු සිදුවීමක් මේ වෙනකොට ලෝකයේම අවධානය ලබාගන්න ප්‍රවෘත්තියක් විදියට ඉස්මතු වෙනවා. ඒ නිසාම ලෝකයේ එක් එක් ජනවර්ගයන් තමන්ට අනන්‍ය ලක්ෂණ විශේෂ කරගෙන ඒකට අයිඩෙන්ටිටියක් හදාගන්න කරන උත්සාහ කිරීම් අපට පේනව වෙනදට වඩා. මිනිසුන් අතර සබඳතා හදාගැනීමේ හැකියාවන් දියුණු වීමත් එක්ක මේ කණ්ඩායම්ගත වීම් ගොඩක් තීවෘව සිද්ධ වෙනව. ලෝකෙ කොහේ හරි ඉඳන් තමන් අයිත් ජන කණ්ඩායම වෙනුවෙන් වැඩ කරන ඩයස්පෝරා තියෙනව.

ඒ වෙන්නෙ ආර්ථික අවශ්‍යතාවයන් අනුව ලෝකය ගෝලීයකරණය වෙන ගමන්මයි. ලෝකය වෙළඳාම අතින් ගත්තම එකම පොළක් වගේ වෙමින් තියෙනවා. අන්තර්ජාතික වෙළඳාම නැතිව පවතින රටවල් තියෙනවද කියලත් සැකයි. මේ වෙළඳාම අනිත් සියලු දේට වඩා බලවත් බව නම් පැහැදිලියි. මොකද ලෝකය මෑත සියවස් කීපය තුළදි වෙනස් වෙන්නෙම ඔය අන්තර්ජාතික වෙළඳාම මූලික කරගෙනයි. ඒ ආර්ථික සාධකය විසින් අර සංස්කෘතික ඇකිළීම් යම් තරමකට අවශෝෂණය කරගෙන කියලත් පැහැදිලියි. ඒක පැහැදිලි කරගන්න ආසන්නම උදාහරණයක් පහුගිය දවසක දැක්කෙ බුකියෙදි. ඇමරිකානු ජනතාවට තියෙන චීන විරෝධය කියාපාන්න ඇමරිකානුවෝ පාවිච්චි කරන Boycott China කියල ගහපු සමහර කැප්, ටීෂර්ට් වගේ දේවල් නිපදවන්නෙත් චීනයේ බවයි ඒකෙන් කියවුණේ. මේක මේ විදියටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ දේශ මාමක කැම්පේන්වලදිත් වුණා කියලයි දැනගන්න ලැබෙන්නේ. Make America great again කියන පාඨය ඇතුළත් නිෂ්පාදන ඇමරිකාවට එන්නෙත් චීනය ඔස්සේ. අනිත් අතට ලංකාවෙ 'සිංහලේ' කැම්පේන් එකේ ස්ටිකර් අලෙවි කළ මුස්ලිමුන්ගෙ පින්තූර අපි දැකල තියෙනවා.

කොහොම නමුත් ලෝකය ආර්ථිකයෙන් ගෝලීයකරණය වෙද්දි සංස්කෘතිකව ඒ ඒ සංස්කෘතීන් තුළම හැකිලෙන බවක් පේනවා. තමන්ගෙ උරුමය හොයාගෙන වෙන් වෙන්න, තමන් අදහන ආගම අනුව වෙන් වෙන්න, තමන්ගෙ නිජ බිම් හරහා වෙන් වෙන්න වගේ විවිධ සංස්කෘතික සාධක ගොඩක් මේ වෙන් වීම්වලට හේතූන් වෙනවා. මේකට සෝෂල් මීඩියාවලිනුත් සමහර විට ඇතැම් දේශපාලන ප්‍රවාහයන්ගෙනුත් ලොකු උදව්වක් ලැබෙනවා.

ඒක එහෙම තියෙද්දි ලෝක පුරවැසි බව පිළිගන්න අතරම එක් එක් සංස්කෘතිවල වෙනස්කම් දිහා සෞන්දර්යාත්මකව බලන්න පුළුවන් මිනිස්සු කොටසකුත් ඉන්නවා. එහෙම රුචිකත්වයක් ලැබෙන්න කියවීම, සංගීතය, චිත්‍රපටි සහ තොරතුරු පරිශීලනය වගේ දේවල් ඉවහල් වෙනවා. ලෝක සාහිත්‍යය කියවන මිනිහෙක්ට ඒ සාහිත්‍යයට අදාළ සමාජයේ අයට තියෙන ප්‍රශ්න අපට තියෙන ප්‍රශ්නවලින් වෙනස් නොවන බව තේරෙනවා. ලෝකෙ හැදෙන විවිධ චිත්‍රපටි බලන, විවිධ සංගීතයන් අහන කෙනෙක්ට ලෝකය එකම ගමක් කියන එක තේරෙනවා. යූටියුබ් එකේ මාක් වීන්, ට්‍රෙවර් ජේම්ස්, සොනී සයිඩ් වගේ කෑම මූලික කරගත්ත සංචාරකයන්ගෙ වැඩසටහන් විතරක් ටිකක් විචක්ෂණව බලන කෙනෙක්ට වුණත් ලෝකය අවශ්‍යතා අතින් බොහොම සමානය කියල තේරෙන්න ඕන. මේ වැටහීම ඍජුව හෝ වක්‍රව ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. චිත්‍රපටියකින් කියවෙන සිදුවීම බොරුවක් වුණත්, ඒකෙන් නිරූපණය කරන්නෙ අර්ධ සත්‍යයක් වුණත් ඒ අස්සෙ කෙනෙක්ට අතුරු අර්ථ තේරෙන්න පුළුවන්. චිත්‍රපටියෙන් වැඩක් නෑ. ඒත් ඇයි එහෙම චිත්‍රපටියක් හැදෙන්නේ කියන එක අස්සෙ අල්ලගන්න තියෙනව පොටක්.

මේ හැමදේම ඇසුරු කරලත් ඒවයේ අතුරු කතා නොතේරෙන ගල් මිනිස්සුත් ඉන්නව වෙන්න පුළුවන්.

මේ වෙද්දි තොරතුරු අතිරික්තයි. තොරතුරුවල විශ්වසනීයත්වය දෙතුන්වතාවක් පරීක්ෂා කරන්න වෙනවා. මොකද තොරතුරු මූල ෂුවර් නැති වේගෙන එන්නේ. තොරතුරු කියන්නෙත් ආදායමක් (ආදායමක් කරගත නොහැකි දෙයක් නෑනෙ) වීම මත තොරතුරු වෙනස් කිරීම මගින් වක්‍රාකාරව ඉපයීම කරන්න පුළුවන්. ඉවක් බවක් නැතුව උපයන්න තියෙන පෙරේතකම නිසා ඕනම දේකට එහෙම වෙන එක ස්වභාවිකයි. උදාහරණ අවශ්‍ය නෑ. තොරතුරු මෙහෙයවීම ඡන්ද ව්‍යාපාරවලට යොදවගත්ත විදිය ගැන ෆේස්බුක්-කේම්බ්‍රිජ් ඇනලිටිකා සිදුවීමේදී හොඳින්ම අනාවරණය වුණා. ෆේස් බුක් ඇඩ් සිස්ටම් එක හැදිල තියෙන්නෙම පරිශීලකයන් විසින් ඇතුළත් කරන තොරතුරු පදනම් කරගන්න විදියටයි.

මැගලන් ගැන කියන්න අරන් මේව කියවන්න ගියේ ඇයි? විද්‍යාව සහ ආගම් අතර නොනැවතී පවතින පටලැවිල්ල ගැනනෙ මුලින් කියන්න ඕන කළේ. පළවෙනි එක තමයි ඔය දෙක තියෙන්නෙ අවශ්‍යතාවයන් දෙකක් උදෙසා වීම. ආගමක් මගින් වෙන්නෙ මිනිස්සුන්ගෙ මූලික දාර්ශනික ප්‍රශ්න තුනකට (මට දැනට හිතෙන තරමට) උත්තර දෙන එක. සාමාන්‍යයෙන් පට්ට අමු මිනිහෙක් ගත්තම ඌට උගෙ භෞතික අවශ්‍යතා ටික ඉෂ්ට වෙලා තියෙනවනං එන ප්‍රශ්න ටිකක් තියෙනවා.

ඒ කියන්න ඌ හොඳ සනීප කාලගුණේක හොඳ වාසස්ථානෙක ජීවත් වෙන ගමන් හොඳට කාලා බීල ලිංගික උවමනාවලුත් ඉෂ්ට කරගෙන ඉන්නවනං ඌට මහ ලොකුවට වොරි වෙන්න දෙයක් ඇත්තෙ නෑ. ඒ නිසාම තව දේවල් හිතන්න ගත්තොත් ඌට එනවා ඔය කියන ප්‍රශ්න ටික.

මම ආවෙ කොහෙන්ද?
මම ඉන්න විදිය හරිද? ඉන්න ඕන කොහොමද?
මම මැරුණට පස්සෙ යන්නෙ කොහෙද?

ආගම් බිහි වෙන්න හේතු වුණ මූලික අදහස් බිහි කරපු මිනිස්සු ඒ කාලෙට සාපේක්ෂව ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න හිතන්න ඇති. පස්සෙ කාලෙක එයාලගෙ ෆෑන් බේස් එක විසින් ඒ අදහස් ව්‍යාප්ත කළා. ඒ අස්සෙ ඒ අදහස් ඔස්සේ ව්‍යාපාර ගොඩ නැගුණා. පූජක ව්‍යාපාර. මේ ඔස්සේ මිනිස්සුන්ට තව විදියක පාලනයක් යොදවන්න පුළුවන් කියල තේරුණ ගමන් ඒවට රාජ්‍ය අනුග්‍රහයත් ලැබුණා. ආගමික සංවිධාන බලවත් වුණා. මේ වෙද්දි ඒව විශාල ධනයක් සහිත ව්‍යාපාර බවට පත්වෙලා තියෙනවා. ඉපදෙන ඕනම මිනිහෙක් දෙමව්පියන්ගේ අනුහසින් ආගමිකයෙක් වෙලා ඉපදෙන නිසා ආගම කියන එක පොඩි කාලෙ ඉඳන්ම ජීවිතේට ගැටගැහෙන එකෙන් වළකින්න අමාරුයි. ඒ නිසාම ආගමික සේවාවන් ලබාගැනීමත්, සේවා සැපයීමත් එක්තරා විදියක පාරිභෝගිකයන්ගේ සහ සැපයුම්කරුවන්ගේ පද්ධතියක් වෙලා තියෙනවා. මේ ක්‍රමයෙන් තොර ලෝකයක් හිතාගන්නවත් බැරි තරමට මේ පද්ධතිය ප්‍රබලයි.

ඒ වගේම මේක තමන්ගෙ කැමැත්තෙන් ආගම අතහරින අය වෙත ලොකු පීඩනයක් එල්ල කරන්න තරම් බලවත් ව්‍යාපාරයක්. ඒ වගේම මිනිස්සුන්ව මෙහෙයවන්න මේ ආගමික පද්ධතීන්ට තියෙන හැකියාව නිසා තාමත් ආගමික ව්‍යාපාරවලට දේශපාලනික සහයෝගය ලැබෙනවා.

ආගමික පද්ධති කියන්නෙ ඒ තුළම ස්වාධීන පද්ධති. ඒ තුළින් සියල්ලටම පිළිතුරු තියෙනවා. බොහොමයත් පද්ධති අවුරුදු දාස් ගාණක් තිස්සේ තෙම්පරාදු වෙලා නිසා සහ පාරම්පරිකව ආගමෙන් තොර ජීවිතයක් හිතාගන්නත් බැරි තරමට මිනිස්සු ආගමීකරණය වෙලා තියෙන නිසා ඒවා ප්‍රශ්න කරන අය අඩුයි. ප්‍රශ්න කළත් ඒ හැම ප්‍රශ්නයකටම අදාළ පද්ධතිය තුළම උත්තරයක් තියෙන නිසා තවත් දීර්ඝ කාලයක් ඒවට පවතින්නත් පුළුවන්. හැබැයි ආගම් බිහි වීමේ ආරම්භක හේතු සහ අවශ්‍යතාවයන් ටික ටික සෑහෙන්න වෙනස් වෙලා. මේ වෙද්දි ආගම තමන්ගෙ මූලික දාර්ශනික ප්‍රශ්නවලට උත්තර දෙන මූලයන් විදියට ගවේෂණය කරන එක කරන්නෙ සුළු දෙනෙක්. බොහොමයක් අයට ඒක පූජනීය, ආරක්ෂා කළ යුතු, වතාවත් මගින් රැකිය යුතු දෙයක් විතරයි. එහෙම නැත්තං රස්සාවක් විතරයි.

විද්‍යාව කියන්නෙ ඒකට සෑහෙන්න වෙනස් දෙයක්. විද්‍යාව කියන එක උත්තර හොයන්නෙම වෙනස් විදියෙ ප්‍රශ්න වලට. ඒ වගේම ප්‍රශ්නෙට නිශ්චිත උත්තරයක් එනකල් ඒ හෙවිල්ල නවතින්නෙත් නෑ. ඒ නිශ්චිත උත්තරෙත් පසු කාලෙක වඩාත් සත්‍යාසන්න සොයාගැනීමකින් එළියට විසිවෙන්න පුළුවන්. ප්‍රශ්න ඇහිල්ලත් නවතින්නෙ නෑ.

දේවල්/ සිදුවීම් වෙන්නෙ කොහොමද?
දේවල් හැදිල තියෙන්නෙ මොනවයින්ද/ මොනවයින්ද?
අතීතය මොන වගේද?
අනාගතයෙ මොකක් වෙයිද?

මේ දැනට හිතුණ මූලික ප්‍රශ්න කීපයක් විතරයි. කෙනෙක් කුතුහලය මෙහෙයවන දිසාව ඔස්සේ හැමදාම අළුත් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නවලට කෙනෙක් හොයාගන්න උත්තර හිතුමතේ ප්‍රකාශ කරන්න බෑ. ඒව පදනම් වෙන්නෙ තහවුරු කල හැකි සාක්ෂි මත. ඒ වගේම එක සාක්ෂියක් මත හෝ එක ප්‍රතිඵලයක් මත තීරණය වන දෙයක් නොවිය යුතුයි. එකම තත්ත්වයන් යටතේ ප්‍රතිඵල සමාන විය යුතුයි. වෙනස් තත්ත්ව යටතේ ලැබෙන ප්‍රතිඵල පැහැදිලි කල හැකි විය යුතුයි.

ඉතිං සමහර වෙලාවට යම් ප්‍රශ්නෙකට විද්‍යාත්මක උත්තරයක් හොයන්න කෙනෙක්ගෙ ජීවිත කාලයක් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. කෙනෙක් හොයාගන්න මූලික දේ පසුව සාමූහිකව ගොඩනැගෙන දෙයක් වෙන්නෙ ඒක නිසයි. ඒකෙදි මේ වෙනකල් හරියටම පැහැදිලි කර නොගත් දෙයක් වෙනුවෙන් දැනට තියෙන වඩාත්ම තාර්කික පැහැදිලිකිරීම පිළිගැනෙනවා. මේක සිද්ධ වෙන ක්‍රමය ගැන මට තියෙන සාධනීය අදහස මිස ඇත්තටම සිද්ධ වෙන දේ නෙවෙයි. විද්‍යාත්මකව හිතුව කියල මිනිස්සු උත්තම වෙන්නෙ නෑ. ඉරිසියාව කුහකකම තියෙන නිසා අළුත් අදහස් ඕන තරම් නිෂ්ප්‍රභ වෙලා ඇති.

විද්‍යාවත් බටහිර පෙරදිග විදියට වෙන් කරගෙන දඟලන පිරිසක් ඉන්නවා. වෙනස් තත්ත්ව යටතේ වෙනස් දැනුම් පද්ධතීන් ඔස්සේ එකම ප්‍රශ්නයට විවිධ විසඳුම් හැදිල තියෙනව වෙන්න පුළුවන්. හැබැයි එකිනෙක ගැටෙද්දි ඒ විසඳුම්වලින් වඩාත් සාර්ථක එක තමයි පවතින්නේ. යම් විසඳුමක් සාර්ථක වීම කියන එක, ඒක කොයි තරම් හොඳින් මාකට් වෙනවද කියන එක මතත් රඳා පවතිනවා. දැනුම සොරාගැනීම, සැඟවීම, වෙනස් කිරීම වගේ දේවල් නිසා යම් යම් දැනුම් පද්ධතීන් ක්‍රමයෙන් බිඳ වැටිලා තියෙනවා. උදාහරණයකට අසනීපයක් හැදුණ කෙනෙක් ගත්තොත් එයා ඒ අසනීපෙට විවිධ වර්ගයේ බෙහෙත් කරනව වෙන්න පුළුවන්. ඉංග්‍රීසි වෙදකමින් පටන් අරන්, දේශීය, ආයුර්වේද, චීන ආදී වෙනස් ප්‍රතිකාර විදි ගොඩක් කරලත් හොඳ නොවුනට තොවිලයක් කරල හොඳ වෙන්න පුළුවන්.

විද්‍යාවත් එක්ක ඇරගන්න එන කට්ටිය ගන්න සුලභ ප්‍රහාරාත්මක උදාහරණයක් තමයි නිව්ටන් සහ අයින්ස්ටයින්. ගුරුත්වය පිළිබඳව නිව්ටන් ඉදිරිපත් කරපු අදහස් දැන් වලංගු නැති බවත් ඒවා අයින්ස්ටයින් විසින් ප්‍රතිස්ථාපනය කරපු බවත් තමයි එයාල පුන පුනා කියන්නේ. වැඩේ කියන්නෙ ඒකම තමයි විද්‍යාව වඩාත් තාර්කික සත්‍යයක් කියන්න තියෙන සාධකය. නිව්ටන් ඔහු ජීවත් වුණ 17 සියවස වනවිට තිබුණ දැනුම සහ තාක්ෂණය ඔස්සේ හිතල දේවල් ටිකක් කිව්වා. ඒව වැරදි නැහැ. අදටත් ඒ ආශ්‍රයෙන් කරන ගණනය කිරීම් වලංගුයි. හැබැයි ඔහුට සම්පූර්ණ කරන්න නොහැකි වුණ කොටසක් තියෙනවා. ඔහු ප්‍රශ්නය දිහා බලපු විදියට බලලා ඒක සම්පූර්ණ කරන්න බැහැ. ඒ දියුණු කිරීම තමයි අයින්ස්ටයින් කරන්නේ. අයින්ස්ටයින් ප්‍රශ්නය දිහා බලන විදිය වෙනස් කරල වඩාත් තියුණු පිළිතුරක් හොයාගන්නව.

ගුරුත්වය අදාළ වස්තු අතර ඇතිවෙන ආකර්ෂණයක් විදියට තේරුම්ගන්න නිව්ටන් ඒ ආකර්ෂණය වස්තූන්වල ස්කන්ධය මත රඳා පවතිනව කියල පැහැදිලි කරනවා. අයින්ස්ටයින් ගුරුත්වය තේරුම් ගන්නෙ වස්තූන් විසින් අවකාශ කාලයේ ඇතිකරන වක්‍රතාවයක් විදියට. මේ අර්ථදැක්වීම නිව්ටන්ගෙ අර්ථදැක්වීමට වඩා පුළුල්ව සත්‍යාපනය වෙනව. ඒ ඔස්සේ අනුමාන කරන සිදුවීම් පසුව ඔප්පු වෙනව. ඒ නිසාම සාපේක්ෂතාවාදය කේන්ද්‍රගත වුණ දැනුම මේ වෙද්දි පැහැදිලිකිරීම් කරද්දි වඩාත් වලංගු වෙනව. ඒක නිව්ටන්ගේ අදහස්වලම එක්තරා දිගුවක්. නිව්ටන් ප්‍රතිස්ථාපනය වීමක්ම නෙවෙයි. මේ දිගු මිනිස් ශිෂ්ටාචාරය පවතින තුරාම දැනුම සම්බන්ධයෙන් සිද්ධ වෙන දෙයක්.

නිව්ටන් සහ අයින්ස්ටයින් කියපු දේවල් තවත් තියුණු වෙමින් සහ පැහැදිලිවෙමින් පවතිනවා. ඉදිරියේදී ගුරුත්වය වගේ අදහසක් පැහැදිලි කරන්න වෙනම මූලධර්ම නිර්මාණය වෙයි. විද්‍යාව වඩාත් නිවැරදි උත්තර හොයාගනියි. කවුරුවත් නිව්ටන් හෝ අයින්ස්ටයින් හෝ හෝකින්ස් හෝ දෙවිවරු කරගෙන නැති නිසා ඔවුන් ඉතිහාසයේ ඔවුන්ට හිමි ස්ථානයේ සලකුණක් විදියට අනාගතයට ඉතිරි වෙයි. මොකද නිව්ටන් කෙනෙක් නැතුව අයින්ස්ටයින් කෙනෙක් බිහිවෙන්න තියෙන අවකාශය වෙනස් වෙනවා. පයිතගරස් කෙනෙක් නොහිටියා නම් ඊට පස්සෙ ලෝකයේ චින්තනය විහිදුන විදියම වෙනස් වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නෑ ඒ අය නොහිටියාට වෙන කෙනෙක් ඒ තැනට නොඑයි කියලා. නිව්ටන් නොහිටියා නම් සමකාලීන හෝ පසුකාලීන වෙනත් විද්‍යාඥයෙක් නිව්ටන් කියපු දේම කියන්න පුළුවන්. පසු කාලෙක අයින්ස්ටයින් කියපු දේවල් වෙනස් කෙනෙක් කියන්න පුළුවන්.

මේකෙදි තේරුම් ගන්න ඕන වෙන්නෙ 'විද්‍යාව' කියන අදහස් ටික පුද්ගලයන් මත නොරැඳෙන බවයි. ඒක ඇත්ත හොයාගන්න කරන උත්සාහයක්. ඒ උත්සාහය නතර වෙන එකක් නෙවෙයි.

ලෝකය ගෝලාකාරයි කියල මුලින්ම කියල තියෙන්නෙ පයිතගරස් කියල කියවෙනවා. හැබැයි ඒක සැක සහිතයි. පසුව ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් වඩාත් නිවැරදිව ඒක අනුමාන කරනවා. පසුකාලීනව විවිධ විද්‍යාඥයින් ලෝකයේ ගෝලීය බව පැහැදිලි කරන සාධක හොයාගන්නවා.

15 සියවස වගේ වෙද්දි යුරෝපීයයන් මුහුද තරණය කරන්න පටන්ගන්නවා. පෘතුගාලෙ කොලොම්බස් ඇමරිකාව කිට්ටුවට යනවා. ඇමරිගෝ වෙස්පුචි කියන ඉතාලි ජාතිකයා ඇමරිකාවටම යනවා. පෘතුගීසිකාර වස්කෝ ද ගාමා ලෝක ගෝලයේ දකුණට යාත්‍රා කරලා දකුණු අප්‍රිකා මහද්වීපය යටින් ගිහින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට එනවා. ෆර්ඩිනන්ඩ් මැගලන් අත්ලන්තික් සාගරය හරහා දකුණු ඇමරිකා මහද්වීපය යටින් ගිහින් ආයෙත් පැසිෆික් සාගරයේ පොලිනීසියානු දූපත් හරහා පිලිපීනයට එනවා. පිලිපීන දූපත් අතර ක්‍රිස්තියානිය ප්‍රචාරය කරන වැඩේ අතරෙ ස්වදේශික ගෝත්‍රිකයන් අතින් මැගලන් මරා දැමෙනවා. ඔහු මිය ගියාට පස්සෙ ඔහුගෙ නාවික කණ්ඩායමේ කපිතන්වරයෙක් වෙන ජුවාන් සෙබස්තියන් එල්කානෝ විසින් ඉන්දියන් සාගරය හරහා අප්‍රිකා මහද්වීපයේ යට කේප් තුඩුවත් බැහැ දැකලා ආයෙත් අත්ලන්තික් සාගරය හරහා පෘතුගාලෙට යනවා. ඒ ඔස්සේ ලෝකයේ වටේ යන්න පුළුවන් කියන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් කියල පැහැදිලි වෙනවා.

විසි වෙනි සියවසේදි රොකට් තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු පොළොවේ තල පෘෂ්ටයේ සීමාවෙන් මිදිලා ගුවනට ගිහින් පොළොවේ ගෝලාකාර බව නිරීක්ෂණය කළා. මූලධර්ම ඔස්සේ හෝ නිරීක්ෂණයන් ඔස්සේ දැකපු ගෝලාකාර ලෝකය ඇත්තටම ගෝලීයයි කියල ඇහින් දැක්කා.

මේ සියලු දේ බටහිර විද්‍යාවෙන් කරපු රැවටිලි ගානට දාල කතා කරන පිරිස් ඉන්නවා. ඒ අය තමන් ඉන්න භාජනේ ඇතුලෙම ඉන්න එක හොඳයි. දැනුම කියන දේට සංස්කෘතිය, ජාතිය, ආගම වගේ බේද තවරනකල් ලෝකය අස්සෙ තව පොඩි කෑලි වෙන් වෙලා තියෙන එක වළක්වන්න බෑ.

මැගලන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ලෝකය වටේ යාම හේතුවෙන් එතෙක් ලෝකය ගැන තිබුණ දැනුම වඩා නිවැරදි වුණා. විද්‍යාත්මක චින්තනය කියන පද්ධතිය ඔස්සේ ලෝකයේ දැනුම වඩාත් නිවැරදි වෙමින් තියෙන එකට සීමාවක්වත් නැවතීමක්වත් නෑ. ඕනම දැනුම් පද්ධතියක් දිගටම පවතින්නෙ විද්‍යාත්මක තර්කයට අදාළ නම් විතරයි.


Friday, 14 August 2020

ඇවිලෙනසුලුයි (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්

 

ස්පොයිල් වීමට ඉඩ තිබේ!


ලංකාවෙ වර්තමාන චිත්‍රපටි ලෝලියො චිත්‍රපටිවලට ලොල් වෙලා තියෙන්නෙ සිංහල චිත්‍රපටි නිසාවත් චිත්‍රපටි ශාලාවල චිත්‍රපටි බලලවත් නෙවෙයි. බොහොම දෙනෙක් බලල තියෙන සිංහල නොවන චිත්‍රපටි ප්‍රමාණය වැඩියි වගේම හෝල්වල බලනවට වඩා ගෙදර ඉඳන් චිත්‍රපටි බැලෙන වාර ගණනත් ඉතාම වැඩියි. ඒ නිසාම හෝල් එකක් අස්සෙදි වෙනම ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙනවා. උදාහරනෙකට සිංහල නොවන චිත්‍රපටියක් සබ් එක්ක බලද්දි බැරි වෙලාවත් දෙබසක් මිස් වුණොත් ආපහු තප්පර ගාණක් බැක්වර්ඩ් කරල බලන්න විදියක් නෑ. ඒ වගේම භාෂා භේදයකින් තොරව බැරි වෙලාවත් යම් දර්ශනයක් තුළ සිද්ධ වෙන දේ ප්‍රොසෙස් කරගන්න ඕනවට වඩා කල් ගත්තොත් චිත්‍රපටිය මිස් වෙනවා. ඔහොම දේවල් නිසා හෝල් එකක චිත්‍රපටියක් බැලීම වෙනත් විදියකින් ඒ චිත්‍රපටියම බලනවට වඩා වෙනස් අත්දැකීමක්. හෝල් එකක් තුළදි අපේ තේරුම් ගැනීමේ හැකියාවත්, ප්‍රොසෙසිං හැකියාවත් පරීක්ෂාවට ලක් වෙනවා.

මේ කතාව කියන්න ඕන වුණේ ඇවිලෙනසුලුයි නරඹද්දිත් ඒක ආයෙම බැක්වර්ඩ් යවලා බලන්න ඕන කියලා හිතුණ අවස්ථා ගාණක්ම තිබුණ නිසා. එහෙම වුණේ ප්‍රොසෙසිං ප්‍රශ්නෙකට වඩා රූපරාමුව හෝ අදාළ දර්ශනය ආයෙම බලන්න උවමනා වීම නිසයි. ඒක සිංහල චිත්‍රපටියක් සම්බන්ධයෙන් පළමු වතාවට වුණ දෙයක්. රූප රාමු සහ කැමරාව හැසිරවීම තදින් හිතට වැදුණ නිසයි ඒ. ඉතිං අනාගතේ යම් දවසක එහෙම බලනකල් චිත්‍රපටිය ගැන හිතුණ දේවල් සටහන් නොකර ඉන්න හේතුවකුත් නැහැ. ඇත්තටම මේ ලියවෙන්නෙ චිත්‍රපටිය ගැනමත් නෙවෙයි. චිත්‍රපටියෙ වටපිටාව ගැන පසුව හිතුණ දේවල් ටිකක්.

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය දවල් 1.30ට බලද්දි අපි ඊට කලින් 10.30 දර්ශනයෙදි ‘සූස්ති‘ චිත්‍රපටිය බලලයි හිටියෙ. මේ චිත්‍රපටි දෙකම රෝඩ් ට්‍රිප් ගණයට දාන්න පුළුවන්. දෙකම ටිකක් එකම ආකෘතියක චිත්‍රපටි. හැබැයි තේමාවන් ඉතාම වෙනස්. චිත්‍රපටි දෙකේම සමනලී සිටීම එක්ක එක්තරා විදියකට එකම ගලායාමකුත් නොදැනුණා නෙවෙයි.

ඇවිලෙනසුලුයි තුළ දර්ශන දිගහැරෙන ස්ටයිල් එක, පර්ච්ඡේද වෙන් කර තිබීම, වර්ණ භාවිතය, යොදාගන්න සංගීතය, සිදුවීම්වල ස්වභාවය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් අස්සෙ ටරන්ටිනෝ සහ ඩේවිඩ් ලින්ච් හමුවීම මට විතරක් වුණ දෙයක් නෙවෙයි කියලා පසුව විස්තර කියවද්දි තේරුණා. ටරන්ටිනෝගෙ චිත්‍රපටි සේරම වගේ බලල තිබුණත් ලින්ච්ගේ චිත්‍රපටි අතරින් කීපයක් විතරයි මම බලල තියෙන්නේ. ඒ බලපු චිත්‍රපටි ගැන පැහැදිලි කරගන්න ඕන නිසා කියවපු සහ නරඹපු අමතර දේවල් අස්සෙ ලින්ච් ගැන දැනගත්ත දේවල් ‘ඇවිලෙනසුලුයි‘ තේරුම්ගනිද්දි උදව් වුණා. මේ දේවල් ගැන මම ඉගෙනගෙන නැහැ. ඒ නිසා මුලධාර්මිකව මේ අදහස් 100%ක් නිවැරදි නොවෙන්න වෙන්න පුළුවන්. වඩා නිවැරදිව දන්න කෙනෙක් කියල දුන්නොත් අපි හැමෝටම ඉගෙනගන්න පුළුවන් වෙයි.

ලින්ච් සැලකෙන්නෙ අතාත්විකවාදී (surrealist) සිනමාකරුවෙක් විදියට. ඔහුගේ නිර්මාණ අස්සෙ සැබැවින් පේන දේට එපිටින් හෝ ඇතුළතින් පවතින අදහසක් ගැන ඔහු කතා කරනවා. චිත්‍රපටිය බලන මනුස්සයා චිත්‍රපටිය අස්සට ගන්න අවස්ථා තියෙනවා. අභව්‍ය සිදුවීමක් හෝ වස්තුවක් විසින් චිත්‍රපටියට අදාළ සිදුවීම් ගොඩනගනවා. ඒව තේරුම්ගන්න එකත් එකිනෙකාගෙ කියවීම් ප්‍රමාණය අනුව තීරණය වෙනවා. මුල මැද අග පිළිවෙළට ගැළපුණ කතා කීමකට වඩා ඔහු සිදුවීම් පෙළක් ඉදිරිපත් කරනවා. ඒ සිදුවීම් ඔස්සේ එකිනෙකාට දැනෙන තේරෙන දේවල් ඔස්සේ අර්ථ දක්වගන්න දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගෙ නිර්මාණ ගැන පැහැදිලි කිරීම් ලින්ච් විසින් කළා කියල මම කියවල නෑ. ඔහු කියන්නෙ තමන් චිත්‍රපටියක් නිර්මාණය කරන්නෙම චිත්‍රපටි භාෂාවෙන් කියල. ඒව තේරුම්ගන්න වෙන භාෂාවකින් බෑ. ඒ අතින් ඔහු ප්‍රේක්ෂකයාට කිසිම අවස්ථාවක් හෝ සමාවක් නොදෙන අධ්‍යක්ෂවරයෙක්.

මේ ලින්ච් ගැන කතාව කිව්වෙ ‘ඇවිලෙනසුලුයි‘ ගැන කියවන්න ලැබුණ වෙනත් සටහනක අතාත්විකවාදය ගැනත් කියල තියෙන නිසා. ඒ ගැන දැනගෙන චිත්‍රපටිය බැලීමෙන් චිත්‍රපටිය විඳින්න පහසුවක් වෙන්න පුළුවන්. දැනටමත් බලලා තියෙනවනම් ඒ අත්දැකීම තව තීවෘ කරගන්න පුළුවන්. එහෙම නැත්තං චිත්‍රපටිය අස්සෙ අතරමං වීම ම චිත්‍රපටිය මගින් ලැබෙන දේ විදියට තේරුම්ගන්න පුළුවන්. 

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය මම බලල තියෙන සිංහල චිත්‍රපටි අතර තාක්ෂණිකව ආසන්නයෙන් පරිසමාප්ත එකක්. කැමරාව මෙහෙයවෙන්නෙ කලින් ලංකාවෙ නිර්මාණයක නොදැකපු පරාසයක. සිංහල චිත්‍රපටියක් අස්සෙ එහෙම ෆ්‍රේම් දකින්න ලැබුණ එක අලුත්ම අත්දැකීමක්. පාටවල් අස්සෙ දැනෙන්නෙ එක්තරා තනිකමක්. එහෙම වර්ණවලින් ප්‍රකාශනයක් කරන දේශීය සිනමාවේ අවස්ථා ඉතාම විරලයි. කලිනුත් කිව්ව වගේ ආයෙම බලන්න ඕන කියල හිතුණ දර්ශන ගාණක්ම තිබුණා. සමස්තයක්  විදියට ඇවිලෙනසුලුයි රූපාවලිය ඉතාම ආකර්ෂණීයයි. ඒක කොලිටි වැඩක්. 

ඒ කොලිටි එකම මට මියුසික් අස්සෙත් ඇහුණා. ‘මැණිකෙ මම ආයෙ ගෙදර එනවා‘ එක විදියකින් තීම් එකක්. චිත්‍රපටිය තුළ සිදුවන නැවත මුණගැහීම් සින්දුවට ලින්ක් කරගන්නත් ඕනනං කෙනෙක්ට පුළුවන්. රඟපාන උන් අතරෙ ප්‍රියන්ත සිරිකුමාර ඉන්න සුළු කොටස අනිත් කොටස්වලින් වෙන්වෙලා පේනවා. මීට වඩා අවස්ථා දෙන්න ඕන ඔහුට.

සාමාන්‍යයෙන් සංස්කෘතිය අස්සෙ මිනිස්සුන්ගෙ ෆැන්ටසිය හදන්නෙම කසාද බඳින්න. 'ඊට පස්සෙ' ළමයි හදාගෙන උන්ව බලා කියාගෙන ස්වභාවධර්මයේ චක්‍රය ගත කරන්න. හැබැයි ඔය 'ඊට පස්සෙ' කොටස අස්සෙ තියෙන අභියෝග ගැන සංස්කෘතික කතා බහ ඉතාම අඩුයි. කතාවට කියන්නෙ පවුලෙ ගිනි පිටට දෙන්න එපා කියල. ඒ නිසා දීර්ඝ කාලීනව එකට ජීවත් වෙද්දි සමහර විට මුහුණ දෙන්න වෙන අමිහිරි තත්ත්වයන් ගැන, පීඩනය ගැන අත්දැකීමකින් මිස කෙනෙක්ට දැනගන්න තියෙන ඉඩ අඩුයි. පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ට මේක බොහෝ දුරට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒත් එහෙම නොවෙන අවස්ථා ඉතාම වැඩියි කියල හිතෙනවා. මේ වෙද්දි සෝෂල් මීඩියා විසින් ඒ පීඩනය යම් තරමකට උරාගන්නවා. පණ දීගෙන ලව් කරලා බැඳලා අවුරුද්දකින් දෙකකින් මිනිහට/ ගෑනිට කොමික් හින්ට් ගහපු පෝස්ට් ශෙයා වෙනවා. බැලූ බැල්මට ඒව විහිළු තමයි. හැබැයි එහෙම එකක් ප්‍රකාශ කරන්න උවමනා වීමේ මානසිකත්වය ටිකක් සීරියස් එකක්. කොහොම නමුත් සෝෂල් මීඩියාවලට රිලීස් කරලත්  දරාගන්න අමාරු ජීවිතයක් සම්බන්ධයෙන් කෙනෙක් ගන්න තීරණ කලින් කියන්න බෑ. මේක සුළුවෙන් වුණත් චිත්‍රපටියෙන් පස්සෙ හිතන්න පෙළඹුණ දෙයක්. මෙතනම කියල දැම්මා. 

අපි කතා අහන්න හුරු වුණ මිනිස්සු පිරිසක්. මුල මැද අග පිළිවෙලින් තියෙන කතා තමයි පුංචි කාලෙ ඉඳන් අහන්නෙ. මූලික වශයෙන් ජාතක කතා, ජන කතා, ආරබි නිශොල්ලාසය වගේ පොතකින් ආපු කතා, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලියපු කතා පුංචි කාලෙ ඉඳන්ම අහලා ඒ කතා රස විඳීමේ ආශාවෙම දිගුවක් විදියටයි හුඟ දෙනෙක් චිත්‍රපටි ලෝලියෙක් වෙන්නේ. සීරියස් චිත්‍රපටි ලෝලීන් එතනින් නොනැවතී විවිධ චිත්‍රපටි වර්ග හොයාගෙන යනවා. ඒ ඔස්සේ විවිධ රසයන් විඳිනවා. ඇවිලෙනසුලුයි කියන්නෙත් සිංහල සිනමාවට හැදුණ වෙනස්ම රසයක චිත්‍රපටියක්. ඒක අස්සෙ කතාවක් හොයන්න ගියොත්නම් අවුලක් වෙනවා. කතාවක් කියනවට වඩා මේකෙ තියෙන්නෙ සිදුවීම් පෙළක්. ඒ අස්සෙ කතා කීපයක් තියෙන බවක් දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ එකම කතාවක අවස්ථා දෙකක්ද? එහෙමත් නැත්නම් එකම කතාවේ නිරූපණයන් දෙකක්ද? වර්තමානයට අතීතය හමුවීමක්ද? ඔය එකක්වත් නැති පේන දේවල් විතරක් ඇතුළත් සිම්පල් කතාවක්ද?

ඒක බේරුම් කරගන්න එක තනි තනි ප්‍රේක්ෂකයගෙ වැඩක්. ඔබ චිත්‍රපටි ශාලාවට යන්නෙ කණ්ඩායමක් එක්ක වුණත් චිත්‍රපටිය ඔබට දෙන්නෙ පුද්ගලික අත්දැකීමක්.

චිත්‍රපටිය බලල නැති කෙනෙක් මේ සටහන මේ තරම් දුර කියෙව්වනම් දැන් තියෙන්නෙ වහාම ඒක බලන්න. මේක හැමෝටම හරියන චිත්‍රපටියක් නෙවෙයි. හැබැයි ලංකාවෙ සිනමාව දියුණු වෙනවනම් මේ ආකාරයේ චිත්‍රපටිත් ඕනමයි. විවිධ විදියේ අන්තර්ජාතික සිනමා නිර්මාණ රස විඳින ලාංකික චිත්‍රපටි රසිකයින් ලංකාවෙ සිනමාවට ආකර්ෂණය වෙන්න ඒ විවිධත්වය අත්‍යවශ්‍යයි.

Monday, 3 August 2020

සූස්ති (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්


ස්පොයිල් වීමට ඉඩ තිබේ.

මේ චිත්‍රපටිය හෝල් එකකට ගිහින් බලන්න පුළුවන් වෙයි කියල හිතුණ එකක් නෙවෙයි. ඒකට විවිධ හේතු කීපයක්ම තිබුණා. නමුත් කලින් සැලසුම් කරගෙන හිටපු දේවල් කීපයක් වෙනස් වීම නිසා සූස්ති චිත්‍රපටියත් ඇවිලෙනසුලුයි චිත්‍රපටියත් එකම දවසක එකම ශාලාවක 10.30ට සහ 1.30ට බලන්න පුළුවන් වුණා.

සූස්ති චිත්‍රපටියෙ ට්‍රේලර් එකවත් නොබල ඒ ගැන කිසිම දෙයක් කියවන්නෙවත් නැතුව හිටි පසුබිමකයි මම හෝල් එකට ගියේ. රෝඩ් ට්‍රිප් වර්ගයේ චිත්‍රපටියක් බවත් දසුන් පතිරණ රඟපාන බවත් විතරයි මට මතක තිබුණෙ. චිත්‍රපටියෙ විනාඩි පහළොවක් විතර යනකල්ම මම හිතුවෙ දසුන් ප්‍රධාන චරිතෙකට ඇති කියලයි :P

චිත්‍රපටිය ගැන මට හිතුණ සමස්ත අදහස ගත්තොත් කියන්න වෙන්නෙ ‘මරු! තව පොලිෂ් වුණා නං මරේ මරු‘ වගේ එකක්. එහෙම එකක් ඉබේම දැනෙන එක වළක්වන්න බෑ. මේ වෙද්දි ලංකාවෙ මිනිස්සු සැලකිය යුතු පිරිසක් අඩු ගානෙ චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඇසුරු කරන අය. ඒ නිසා එයාලව රවට්ටන්න බෑ.  ඒ නිසා ඒක සාමාන්‍යයෙන් හැම විදියෙම චිත්‍රපටි බලන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන් දෙයක්. ඉතිං මට හිතෙන දේ ඒක. වැඩේ මරු. තව ටිකක් පොලිෂ් වුණානං තවත් මරු. හැබැයි ලංකාවෙ වැඩක් විදියට නියමයි. සූස්ති කොහොමත් බහුතරයක් මිනිස්සු නරඹන්න ඉඩ තියෙන වර්ගයේ චිත්‍රපටියක් නෙවෙයි. නමුත් බහුතරයකගේ රසාස්වාදය විවිධත්වය දිශාවට තවත් නැඹුරු කරන්න කරන වෑයම දිගටම සිදුවිය යුත්තක්. දෙදාස් පන්සීයේ සහ පන්සිය පනහේ ම හිරවෙලා ඉන්න ඕන නෑ. සූස්ති කියන්නෙ ඒ විදියෙ සාම්ප්‍රදායික ප්‍රේක්ෂකයිනුත් ආකර්ෂණය කරගන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්. ඉතිං ඒක බලල රස විඳපු බහුතරයක් නොවන අය විසින් පෙළඹවීමක් ඇති කල යුතුයි. මේ වෑයම ඒ වෙනුවෙන්.

‘සූස්ති‘ සිනමාවේ විවිධත්වය හොයන ප්‍රේක්ෂකයා නොරවටන චිත්‍රපටියක්. මේ වගේ බටහිර හෝ යුරෝපීය චිත්‍රපටි ගණනාවක් බලල තිබුණත් මේක ඊට වෙනස්. මොකද මේ රෝඩ් ට්‍රිප් එක අස්සේ ලංකාවෙ මේ මොහොතේ ඇත්ත අල්ලගෙන තියෙනවා. ‘සූස්ති‘ අපි ජීවත් වෙන සමාජය නිරුවත් කරල අපේ මූණටම දමල ගහන චිත්‍රපටියක්. සිංහල සිනමාව කියන එක මේ හැරෙන පැත්ත, එහෙම නැත්තං බෙදෙන අත්ත ශක්තිමත් වෙන්න ඕන කියන එකයි මගේ එකම පැතුම. මොකද මේක ෆිල්ම් ගැනත් සමාජය ගැනත් ස්ටඩි එකකින් එන එකක් මිස ෆිල්ම් හදන්න උපකරණ තියෙන නිසා එළියට ආපු වැඩක් කියල පේන්නෙ නෑ. එහෙම එකක් සම්පූර්ණයෙන් ගොඩ යන්නෙ මිනිස්සු ඒක බැලුවොත් තමයි.

කළණගෙ ලිවීම් ගැන මම දැනගෙන හිටියෙ ඔහු කවි පොතක් පළ කරපු බව කියවල තිබුණ නිසා. යූටියුබ් එකේ දැක්ක සම්මුඛ සාකච්ඡාවකදි ඔහු උත්තර දෙන විදියෙන් ඔහු කියවීමක් හැදෑරීමක් සහිතව වැඩේ ඇතුළෙ ඉන්න මනුස්සයෙක් කියන අදහසත් මට තිබුණා. ඒ නිසා ඔහුගේ ලිවිල්ල ගැන බලාපොරොත්තුවක් තිබුණා.

ලිවිල්ල ඉතාම හොඳ තැනක තිබුණත් තවත් මටසිළුටු කරන්න තිබුණා කියන අදහස මට තියෙනවා. චිත්‍රපටිය තුළ ගොඩනැගෙන සංවාදය දියුණුයි. ඒත් සමහර දෙබස් අස්සෙ ප්‍රායෝගික නැති තැනක් දෙකක් බලද්දි අහු වෙනවා. ඒක වෙන්නෙ චිත්‍රපටියට යොදවාගෙන ඉන්න මයින්ඩ් එක බිඳවැටීම නිසා. හරියට වීඩියෝ එකක ග්ලිච් එකක් වගේ එහෙම ස්වභාවික නොවෙන පොලාපැනීම් තේරෙනවා. ඒ සංවාදය තව ටිකක් බිමට ගේන්න පුළුවන්ද කියල මම දන්නෙ නෑ. සමහර විට පිටපත් ගැන තව තවත් සාකච්ඡා කළා නම් එහෙම වෙනස් වෙන්න තිබුණා. සමහර විට මෙ චිත්‍රපටිය ගැන ඔවුන්ගේ සාකච්ඡාවල දිගුව එළියට එන්න ඉඩ තියෙන්න ඊළඟ නිර්මාණයේදි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න කියන එකත් මගේ පැතුමක්.

ඒ උඩින් කියපු දේ සෑහෙන්නෙ මගඇරෙන්නෙ කළණ සහ සමනලීගෙ රඟපෑම නිසා. කලින් සමනලී රඟපාපු එකක් බලල නෑ වගේම කළණව ගත්තොත් මම ඔහුගේ කූඹියෝ ටෙලියවත් සම්පූර්ණයෙන් බලල නෑ. මට හිතෙන්නෙ සමනලීගෙ රඟපෑම චිත්‍රපටිය පුරාම අපූරුයි. කළණගේ දෙබස් ඩිලිවරිය සමහර විට ඔහුම ලියපු නිසාද මන්දා ඉතාම ස්වභාවිකයි. දෙන්නම චරිතය තේරුම් අරන් සීන් එකේ ඉන්න බව තේරෙනවා.

අනිත් අතට මට හිතෙන්නෙ මේකෙ ඉන්න දෙමව්පියො දෙන්න ඕනම නෑ කියලයි. ඒ දර්ශන කීපය විසින් ෆ්ලෝ එක කඩල දානව වගේම ඒ ටික නොතිබුණා කියල කතාවෙ තීම් එකට ලොකු බාධාවක් වෙන්නෙ නෑ. සමහර විට ප්‍රධාන නළු නිළි දෙපළගේ සාකච්ඡා අස්සෙ නොකියවෙන කෝණයකුත් චිත්‍රපටිය අස්සට දාන්න කුෂාන් සහ කළණ දෙන්නට ඕන වෙන්න ඇති. සාමාන්‍යයෙන් මුලින්ම නිර්මාණයක් කරද්දි වෙන ප්‍රශ්නයක් ඒක. තියෙන ඔක්කොම රිංගවන්න යන එක. සමහර විට චිත්‍රපටියේ ගලායාම කඩල පොඩි විවේකයක් දීම අරමුණක් වුණා වෙන්නත් ඇති.

මේකෙ සංගීතයත් ගීතයත් ගේන වයිබ් එක නියමයි. කැමරාව මෙහෙයවීම වෙනම වැඩක්. එක දිගට සෑහෙන්න වෙලාවක් රූපගත කරපු දර්ශන කීපයක්ම තිබුණා. කලින් එහෙම වැඩ තියෙන සිංහල චිත්‍රපටි දැකල තිබුණෙ නැහැ. ඒ දීර්ඝ දර්ශන අස්සෙ ඇදෙන දෙබස් තියෙනව කියන්නෙ කට්ටිය වැඩේ ෆුල් සීරියස් අරන් කියන එකයි.

අපේ රටේ (ලෝකෙමත් සමහර විට) මේ වෙනකොට තියෙන සමාජ විපරිත බව ඇතිවෙන්නෙ අධ්‍යාපනය අවුල් වීම නිසා කියල මට හිතෙනව. ඉවසීම, විනය වගේ වචන නොදන්න, ප්‍රශ්නයක් දිහා විවිධ පැතිවලින් බලන්න නොතේරෙන, අන්‍යෝන්‍ය ගෞරවය රැකගෙන වැඩ කරන්න නොතේරෙන මිනිස්සු පේනව වැඩියි. ඒක ක්ෂණිකව වුණ දෙයක් නෙවෙයි. ආර්ථික සමාජ පද්ධතීන් වෙනස් වීමත් එක්ක ඒකට හැඩගැහෙන ක්‍රමවේද අප්ඩේට් නොවීමේ අවුලක්. ඒක මේ වෙද්දි අපේ සමාජෙ පුරාම පැතිරුණු එකක්.  එපා වෙන තරමට හැම තැනකදිම හමුවෙන, රිපීට් වෙන දෙයක්. ඒ අස්සෙ ඔය සේරම එපා වෙලා ඉන්න කෙනෙක්ට බොහොම සුළු සිදුවීමක් ඇති ජීවිතේ එපා වෙලා මැරෙන්න ඕන වෙන. එහෙම වෙලාවක ජීවිතේ වෙනස් විදියකට දකින්න පෙළඹවීමක් ඇති වෙන්න තප්පරයක් ප්‍රමාණවත් වෙයිද?

මේ චිත්‍රපටිය එක්තරා විදියක පරීක්ෂණයක් කියල මට හිතෙනවා. ලංකාවෙ මේ වගේ ස්ක්‍රිප්ට් එකකට යන්න පුළුවන් දුර මොන වගේද කියන එක පරීක්ෂාවට ලක් වෙන තැනක්. දේශපාලනය ගැන ඇක්ෂන් මට්ටමේ නිර්මාණ බිහි වෙලා තිබුණත් ඒක දාර්ශනික පැත්තකින් ගොඩනගමින් බිහිවුණ චිත්‍රපටියක් මම බලල නෑ. මම හිතන්නෙ මේක ඒ වගේ වැඩවලට හොඳ ප්‍රවේශයක්. සමාජය ගැන කියවීමක්, සංවාදයක් ඔළුවට දාන චිත්‍රපටියක්. මේ කාලෙ හැමෝම සමාජ දේශපාලනික විශ්ලේෂකයෝ වෙලා ඉන්න නිසා මෙහෙම එකකට වටිනාකමක් ලැබෙයි කියල හිතනවා. මේ ලංකාවට අවශ්‍ය ටිත්‍රපටියක්. අපේ ජීවිත ගැන සංවාද කරන අපේ චිත්‍රපටියක්.

හැබැයි ඒ සංවාදය හෝල් එකෙන් එළියෙත් සිද්ධ විය යුතුයි. නිර්මාණය මගින් ඇති කරන සමාජ බලපෑම ක්‍රමයෙන් සමාජයේ වෙනස් වීමට බලපෑ යුතුයි. ඉතින් ඔබ සූස්ති නැරඹිය යුත්තේ ඒ නිසයි.

https://www.imdb.com/title/tt10827784/


Wednesday, 29 July 2020

The Newspaper (2020) - ද නිව්ස්පේපර් සිංහල චිත්‍රපටිය ගැන අදහස්




ස්පොයිලර්ස් අඩංගුයි

මේ සිංහල චිත්‍රපටිය හෝල් එකේ බලන්න උවමනාව ඇති වුණේ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරු අපිව අමාරුවේ දාපු අවස්ථා අවම නිසා. ඒ කියන්නෙ රංගනය පැත්තෙන්. අධ්‍යක්ෂකවරු විදියටත් එයාල සුපිරි වැඩක් කරයි කියන බලාපොරොත්තුව තිබුණා. ඒ නිසාම විවිධ සමූහවල මේක බලපු උදවිය පල කරපු එක සටහනක්වත් කියවන්නෙ නැතිවයි මම හෝල් එකට ගියේ. ට්‍රේලර් එක බැලුවෙත් මේ සටහන ලියද්දි. ඒක මට මගහැරිල තිබුණෙ.

මේක සෑහෙන්න පරිසමාප්ත හැඟීමක් ඇති කරපු චිත්‍රපටියක්. නියර්ලි පර්ෆෙක්ට්. ඒක මට තේරෙන මට්ටමින් රඟපෑම්, තිර රචනය, අදියුරුවම, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය හා සංගීතය වගේ කලාත්මක සහ තාක්ෂණික අංග සියල්ලම සමව සහ උපරිමයෙන් දායක වෙලා වුණ වැඩක්. අඩුපාඩුවක් නොපෙනුණ තරම්. ඒ කතාව මුලදිම කියල ඉන්න ඕන.

සිංහල චිත්‍රපටියක් විදියට මීට කලින් අවසානෙට මෙහෙම හැඟීමක් ආවෙ 'හෝ ගාන පොකුණ' චිත්‍රපටියෙන්. ලාංකික චිත්‍රපටියක් විදියට 'කෝමාලි කිංග්ස්' චිත්‍රපටියෙන්. ඔය කාල සීමාව ඇතුළත හෝල් එකකට ගිහින් සිංහල චිත්‍රපටියක් බලල නෑ. ඒ නිසා තිබුණත් මට අහුවෙන්න විදියක් නෑ.

මේක ඉදිරිය ගැන සුබවාදී බලාපොරොත්තු ඇති කරවන්නක්. සිංහල සිනමාව වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් තව දෙන්නෙක්ම ඉන්නවා. එයාලගෙ කුළුදුල් වැඩේ සාර්ථක වුණොත් ඉදිරියටත් එයාලා ලංකාවට වගේම ලෝකෙටමත් රසවිඳින්න තරම් කොලිටි වැඩ කරයි.

චිත්‍රපටියක් සාර්ථක වීමේ පළමු අවස්ථාව තිර රචනයයි බොහෝ විට. රටවල්, අනුව ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. නළු නිළියො නිසා හෝල්වලට ඇදෙන රසිකයො ලංකාවෙ නෑ මම හිතන්නෙ. එයාලට ඕන කතාවක්. තමන්ට කනෙක්ට් වෙන්න පුළුවන් කතාවක්. රජ කතා සහ ආගමික කථාවලට කොහොමත් ඇදෙන පිරිස ගැන නෙවෙයි මේ කියන්නේ. ඊට වෙනස් විදියකට ජීවිතේට මූණ දෙන, ජීවත් වෙන්න කට්ටක් කන අතරෙ පොඩි විනෝදෙකට, හෝ වෙනසකට චිත්‍රපටියක් බලන සැලකිය යුතු කොටසක් ගැන. ඒ කොටසත් අර කලින් කියපු ආගමික කතා රසිකයිනුත්, ඒ දෙගොල්ලොම නොවෙන රසිකයිනුත් එකතු කරගන්න පුළුවන් තිර පිටපතක් ලියන එක ලේසි වැඩක් නෙවෙයි. 'නිව්ස්පේපර්' ඒ මට්ටමේ වැඩක්.

අවුරුදු දෙක තුනකට කලින් මලයාලම් චිත්‍රපටිවල මැජික් නොවන මැජික් එකට මම අහුවෙන්නෙ අහම්බයකින් නෙවෙයි. ඒ චිත්‍රපටි අතරින් සැලකිය යුතු ප්‍රමාණයක තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වගේම ඒවා. ඒ කතා අපේම කතා. වෙන සංස්කෘතියක කතාවලට වඩා ගැමි මලයාලම් සංස්කෘතියෙ කතා ලංකාවෙම කතාවක් වෙනවා. ටැප් වතුරෙන් සැන්ඩි කරල අරක්කු බොන, සෙට් වෙනවයි කියල ප්ලෑන් ගහල සෙට් වෙන අවස්ථාවල ඉඳල ගඟෙන් රෙදි හෝදල රබර් සෙරෙප්පු දාගෙන චිරිස් චිරිස් සද්දෙ එක්ක ගෙට ගොඩ වෙන චරිත දක්වා දේවල් දකිද්දි ලංකාවෙ චිත්‍රපටි ගැන දැනෙන්නෙ හිස් හැඟීමක්. ඒ හිස්කම පුරවන චිත්‍රපටියක් විධියට දැනුණ එකක් තමයි ‘නිව්ස්පේපර්‘ කියන්නේ.

මේක දුවවන්නෙ සරත් සහ කුමාර දෙන්නත්, පසුව මාෂිත් වුණාට බොහොම සුළු චරිතෙකට ඉන්නෙත් රඟපෑමේ හොඳම ජීවය හිමි කලාකරුවන් වීම නිසා අපිට ගොඩනැගෙන විශ්වාසය වාසියක් වෙනවා චිත්‍රපටියට. ට්‍රේලර් එකට තියෙන යූටියුබ් කමෙන්ට් අස්සෙත් ඒක තමයි කියවෙන්නේ. ඒ විශ්වාසය චිත්‍රපටිය පුරාම පලුදු නොකර තියාගන්න කට්ටිය සමත් වෙලා තියෙනවා. විශේෂයෙන් සරත් කුමාර (තනි නමක්) රසායනය අස්සෙ අපට දැනෙන හෘදයාංගම මිත්‍රත්වය චිත්‍රපටිය පුරාම අපිව වශී කරන සාධකය වෙනවා. මොනව වුණත් උන් දෙන්නට උන් දෙන්න ඉන්නවා කියන අදහසින් අපට ආරක්ෂාවක් දැනෙනවා. රූප රාමුත්, අවශ්‍යම මොහොතේ යෙදවෙන සංගීතයත්, මට සිලුටු ඡේදනයත් මේ හැඟීම පවත්වගන්න දෙන්නෙ උපරිම සහයක්. මේ සියල්ලේ ගිනියම අවසාන ජවනිකාවෙදි ඔබේ දෑස් කෙවෙනි උණු කරමින් ගලා යන්න පුළුවන්.

මට හිතුණා ලුවිස්ගේ චරිතය තව ටිකක් සංවර්ධනය වෙන්න තිබුණ කියලා. සමහර අවස්ථාවලදි ඒ තරම්ම ඔහුව ගොන් නොකර දෙබස්වලින් වැඩි රසයක් දෙන්නත් තිබුණා කියල මට හිතුණා. මට ඒ චරිතය පැහැදිලිව විස්තර නොවෙන චරිතයක්. ඒක ගොඩ දාන්න ලේසි චරිතයකුත් නෙවෙයි. මොනව වුණත් තිරිමාදුර මහත්තයාගේ රඟපෑම ඉස්තරම්. කර්කශ අවස්ථාවක ලුවිස් කියන වචන රත්තරන්.

සාමාන්‍යයෙන් චිත්‍රපටියක එසෙන්ස් එක, එහෙම නැත්තං සාරය වචනවලට ගේන ඒම කරන්න අමාරු වැඩක්. ලොකු දාර්ශනික සහ සාමාජයීය හැදෑරීමක් එක්ක උත්සාහ කළයුතු දෙයක් ඒක. ඒ කොහොම නමුත් අවසානයෙදි චිත්‍රපටියෙ මතකයේ රැඳෙන සහ අපිව කම්පනය කරන කොටස ඒක. එහෙම සාරයක් නැති චිත්‍රපටි අපට ඉක්මනින්ම අමතක වෙලා යනවා. සාරවත් චිත්‍රපටි අපි නැවත නැවතත් බලනවා. අපේ ජීවිතවලට ඒ සාරයෙන් අංශුවක් හරි තව අරගන්න උත්සාහ කරනවා. ‘නිව්ස්පේපර්‘ චිත්‍රපටියත් ආයෙත් බලන්න තරම් ආත්මයක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය පුරාම දැනෙන හැඟීම ඒ අපිව ඒ චරිතවලට සම්බන්ධ කරනවා. එයාලගෙ හැඟීම් අපට දැනෙනවා. ඒ බැඳීම් අපේ බැඳීමක් වෙනවා. ඒ අස්සෙ සමහර මොහොතක අපට අපිවම විනිශ්චය වෙන මොහොතක් එළඹෙන්න පුළුවන්.

මේක දූවිලි ගැන චිත්‍රපටියක්. දූවිලි අපි කවුරුත් ගණං ගන්නෙ නැහැනෙ. මේකත් එහෙම ගණං නොගන්න මිනිස්සුන්ගෙ කතාවක්. ඕනම කෙනෙක්ට දූවිල්ලක් වෙන්න යන්නෙ සුළු මොහොතයි. බලය සහ ධනය තියෙන අය ඒකෙන් ගැලවුණත් සාමාන්‍ය අපිට ගැලවෙන්න ලේසි නෑ. අපි විශ්වාස කරන පරමාදර්ශවත්, අපේ පැමිණිලි අහන්න පඩි ගන්න අයවත්, අපි විශ්වාස කරන බොහොම අයවත් එහෙම මොහොතක අපි වෙනුවෙන් ඉදිරියට එන එකක් නෑ. එයාලත් ගොඩක් විට අපිව දූවිල්ලක් කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද බොහෝ විට ඒ අයටත් ඒ නිසා දූවිලි වෙන්න සිද්ධ වෙනවා. එහෙමයි සාමාන්‍ය අපට වෙන්නේ. ඒ නිසා මේක අපේ කතාවක්.

මේක අපි බැලුවෙ වාද්දුවෙ නිව් වින්ස් සිනමාහලේ. කොවිඩ් වසා දැමීමෙන් පස්සෙ විවෘත කරල දවස් දෙකයි. බලන්න හෝල් එකේම හිටියෙ අපේ පවුලෙ හතර දෙනා විතරයි. හෝල් එක වායු සමණිත රු. 250 ටිකට් එකට සරිලන එකක්. චිත්‍රපටිය බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් අඩු පතෝලමය පෙනුමකින් බලන්න ලැබුණෙ. ලෙන්ස් එකේ අවුලක් කියල ඔපරේටර් මල්ලි කිව්වා.

අවසාන වශයෙන්, මේක විචාරයක් නෙවෙයි. රස කෑමක් ලැබුණ කපුටෙක්ගෙ කෑ ගැසීමක්. ඔබ ලංකාවෙ සිනමාවක් දකින්න කැමති කෙනෙක්නම් අනිත් අයටත් ඒ පෙළඹීම කරන්න. මේක හොඳ කාලයක් නෙවෙයි. ඒ නිසා තමන්ගෙත් අනිත් අයගෙත් ආරක්ෂාව තහවුරු වෙන විදියට ගිහින් නිව්ස්පේපර් බලන්න.

https://www.imdb.com/title/tt9711868/

Wednesday, 17 June 2020

හිතන්න දේවල් නැතිකමට



සමන් සහ මගේ මිත්‍රත්වයට අවුරුදු 16කට වැඩි මිසක් අඩු නෑ. ඌ ජීවිතේ ගැන වෙන පැත්තක් හිතන්න පෙළඹවීම් ඇති කරපු යාළුවෙක්. කොළඹ ටවුන්වලත්, ගම්වලත්, කැලෑවලත් ඇවිදින්න මාව ඇදන් ගිය යාළුවෙක්. ජීවිතේ ගියපු හොඳම චාරිකාවත් උගේ අනුග්‍රහයෙන් ලැබුණ එකක්. මොන ප්‍රශ්ණ ආවත් කොයි තරම් ඈත් වුණත් දැනටත් ඕන දෙයක් කතා කරන්න පුළුවන් යාළුවෙක්.

කොවිඩ් අස්සෙ ගේ ඇතුලටම වෙලා ඉද්දි ඌට ඉස්සර කතා කරපු දර්ශනවාදය මතක් වෙලා අපි සෑහෙන්න ඒ ගැන චැට් කලා. ජීවිතේ සමහර දේවල්වලදි අපි ක්‍රියා කරන විධිය හරිද වැරදිද කියන ප්‍රශ්ණය හිතන්න ඌට වෙලාවක් ලැබිලා. ඒකෙදි ලියපු දීර්ඝ ඊමේල් එකක් මේක. ඌ හිතන විධියත් මම හිතන විධියත් වෙනස් වීම ගැන පැහැදිලි කරන්න ලියපු එකක්. මේව සර්ව සම්පූර්ණ ලිවීම් නෙවෙයි. ඕන දිහාකට වැවෙන්න ඇකිලෙන්න පුළුවන් ඒව...

මේ ටික උඹේ චැට් එක බලන අතරෙ හිතුණ බයිල ටිකක්. උඹට හිතෙන ඒවත් කියපං.



ඔය පයිතගරස් ප්‍රමේය ප්‍රායෝගිකව සාධනය කරන වීඩියෝ එක එව්වේ නිකං. සීමාවල් සහ සීමාවල් බිඳින එක ගැන කතා කරපු නිසා. සීමාවල් බිඳින්න පුළුවන් වෙන්නේ මුලින්ම ලෝකය තේරුම් ගන්න උත්සාහ කළොත් විතරයි. සීමාවල් අඳුනගන්නෙ එතකොට. පයිතගරස් ලොක්කා ලෝකෙ තියෙන දේවල් තේරුම්ගන්න උත්සාහ කළා විතරක් නෙමෙයි හැමෝටම ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට ඒක මූලධර්මවලට ගෙනාවා. එයා ලෝකයේ චින්තනයේ වෙනස්වීමක් වෙනුවෙන් ලොකු දායකත්වයක් කලා.

අපි බුදුන් වහන්සේව සලකන්නෙත් හිත කියන එක තේරුම් ගන්න උත්සාහ කරපු හිතේ ස්වභාවය මූලධර්ම වලට/ තියරිවලට ගොඩනගන්න උත්සාහ කරපු කෙනෙක් විදියට.

මම මේ චැට් එක ඊයෙ දවසෙ මුල ඉඳන්ම කියෙව්වා. උඹ මගෙන් අහල තියෙන සමහර දේවල් අපි සෑහෙන කලින් කතා බහ කරලා තියෙනවා. හැබැයි උඹ ඊට පස්සේ ඉදිරියට ඒ ගැන හිතලා නෑ වගේ කියලා මට හිතෙන්නේ. එහෙම උනානං උඹට තාමත් ඒ ප්‍රශ්න තියෙන්න විදිහක් නෑ. නමුත් මම උඹට මොකුත් කියන්නෑ ඒකට. උඹ ගෙවන ජීවිතේ එක්ක උඹට ඒ ගැන හිතන්න පොඩ්ඩක්වත් චාන්ස් එකක් ලැබෙන්නෙ නැතිව ඇති. නමුත් මට කාලය ගැන ලොකු ප්‍රශ්නයක් නැති නිසා මම එක එක දේවල් හිත හිත ඉන්නවා. වැඩක් ඇති නැති ඔළුවට එන හැම එකම හිතනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ මම ගොඩක් දේවල් තේරුම් අරන් කියලා. නමුත් උඹ තාම කරමින් ඉන්න කතාබහ තවදුරටත් කරන එක තේරුමක් නෑ කියල නම් මට තේරිලා තියෙන්නේ. ඒ වගේම මම ලොකු රවුමක් වටයක් ගහලා තේරුම් ගන්න දේ උඹ අසුරු සැනින් තේරුම් ගන්නවා කියලත් මම දන්නවා. සමහර දේවල් උඹ තේරුම්ගන්නෙ ජානමය හැකියාවෙන්. කිසිම තියරියක් නැතුව මේක මෙහෙම තමයි කියලා උඹ තේරුම් ගන්නවා. හැබැයි ඊට පස්සේ ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නවා.

උඹගේයි මගෙයි වෙනස අපි දෙන්න හිතන විදිය ක්‍රම දෙකක් වීම. Two separate thinking patterns. උඹ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත ආගමික පොත් ටිකයි හාමුදුරුවන්ගේ බණ ටිකයි ඔළුවේ තියාගෙන කතා කරන්නේ. මම ඊට වෙනස් ලයින් එකක ඉන්නේ. ඔය දෙකේම ලොකු වෙනසක් නැතුව ඇති. නමුත් අපිට වඩාත් පැහැදිලි මාවත මොකක්ද කියලා තෝර ගන්න ඕනේ. ඒකෙදි අපි දෙන්නා තෝරගන්න පාරවල් දෙක දෙකක් වෙන්නත් පුළුවන්.

උඹ සිද්ධාර්ථ කියන පොත කියවල තියනවද? ඒක ලියලා තියෙන්නේ හර්මන් හෙස කියල ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක්. මහාචාර්ය සෝමරත්න බාලසූරිය පරිවර්තනය කරල තියෙනව. ෆිල්ම් එකකුත් තියෙනව. මම හිතන්නේ අපි බලලා ඇති. ඒකෙ තියෙන්නෙ යාළුවො දෙන්නෙක්ගෙ කතාවක්. උන් දෙන්නම සත්‍යය සොයාගෙන යනවා. දෙන්නටම මගදී බුදුහාමුදුරුවන් හම්බෙනවා. එක යාලුවෙක් ඒ වෙලාවෙම බුදුහාමුදුරුවො ගැන පැහැදිලා මහණ වෙනවා. අනිත් කෙනාට ඒක හරියන්නෙ නැහැ. එයා කියනවා සත්‍යය කියන එක තමන්ම තේරුම් ගත යුතු දෙයක් මිස වෙන කෙනෙක්ව අනුගමනය කිරීමෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එනිසා එයා යාළුවට සමුදීලා එයාගෙ ගමන යනවා. එයා නගරයකට ගිහිල්ලා පොඩි රස්සාවක් කරලා ටික ටික ධනවතෙක් වෙනවා. හොඳට සල්ලි හොයනවා. නගරයේ ඉන්න ලස්සනම කෙල්ලො ආශ්‍රය කරනවා. දරුවෙක් හදනවා. ජීවිතයේ කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒත් අවසානයේ එයා හොයන සත්‍යය එයාට හමු වෙන්නේ නැහැ. එනිසා එයා සියලුදේ අතහැරලා යනවා. එතකොට එයාට හම්බෙනවා ගඟක ඔරු පදින තොටියෙක්. මෙයා මේ තොටියාට උදව් කරගෙන ඉන්නවා. ඔය අතරේ එයා දවසක් ගඟේ තමන්ගෙ ඡායාව දකිනවා. ඒ දකින්නේ තමන්ගේ ම තාත්තාව. ඒ කියන්නෙ ඒ වෙද්දි එයා වයසට ගිහිල්ලා එයාගේ තාත්තාගෙ මුහුණුවර තමයි දැන් එයාට තියෙන්නේ. එයා ඒ ඔස්සේ හිතන්න ගන්නවා. එතකොට එයාට තේරෙන්න ගන්නවා ජීවිතය කියන්නේ ප්‍රවාහයක් කියලා. ඒක හරියට ගඟක් වගේ එක දිගට ගලනවා. තාත්තාලා අපිව බිහි කළා. අපි තව දරුවන් බිහි කරනවා. දරුවෝ තවත් දරුවන් බිහි කරනවා. ඒක හරියට ගඟක් වගේ. ජීවිතය ප්‍රාණීන් අතරින් ගලාගෙන යනවා. තාත්තලා සීයලා වෙද්දි පුතාලා තාත්තලා වෙනවා. එයාට ජීවිතේ චක්‍රීය ස්වභාවේ වැටහෙන්න ගන්නවා. අවසානයේ එයා ඒක තමයි සදාතනික ඇත්ත කියල තේරුම් ගන්නවා. ඇතිවීම, පැවතීම හා නැති වීම.

ඔය පොත මමත් ආයෙ කියවන්න ඕනේ. දැන් කියවද්දී එකේ වෙනත් අර්ථයක් මට තේරෙන්න ඉඩ තියෙනවා.

උඹ හිතනවා ලෝකෙ කෙළවර හොයාගන්න බැරිකම අපිට තියෙන සීමාවක් කියලා. මිනිස්සු කියන්නේ සීමාවල් බිඳගෙන දියුණු වෙච්ච සත්ව කොට්ඨාශයක්. උඹ අකැමති නං ඒක දියුණුවක් විදියට සලකන්න එපා. නමුත් පොදු අර්ථයෙන් ඒකට කියන්නේ දියුණුව කියලා. කැළෑවේ ගල් ගුහාවක් අස්සේ ගල් ආයුධ වලින් මුගටියෙක්ව තලාගෙන කාපු කාලෙ ඉඳන් අපි මේ වෙද්දි සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන වෙනත් ග්‍රහලෝකයකට යානයක් යවල ඒ ග්‍රහලෝකය ගැන හොයන්න පුළුවන් තරමට දියුණු වෙලා තියෙනවා. ඒ වැඩේ මීට අවුරුදු සීයකට කලින් හිතන්න පුළුවන් කමක් තිබුන එකක් නෙවෙයි. ඒ පැත්තෙන් එහෙම දියුණු වෙද්දී අපි අනිත් පැත්තෙන් මිනිස් ශිෂ්ටාචාරය සංවර්ධනය වුනේ කොහොමද කියලා ඉතිහාසය දිහාවට පරීක්ෂණ කරමින් යනවා. ඒ අනුව උඹ, මම, ඇමෙරිකාවෙ මිනිස්සු, චීන මිනිස්සු, ඕස්ට්‍රේලියාව මිනිස්සු ආදී සියලු හෝමෝ සේපියන්ලා අප්‍රිකාවෙන් සම්භවනය වුණ බව අපි හොයාගෙන තියනවා. ඒක තනි මිනිහෙක් හොයාගත්ත එකක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ එක එක මිනිස්සු එක එක පැති ඔස්සේ පරික්ෂා කරල සනාථ කරගත්ත දෙයක්. ඒකෙදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලෝකෙ තේරුම් ගැනීම කියන කාරණය මනුස්සයෙක්ට තමන්ගේ ජීවිත කාලය තුලදී සම්පූර්ණ කරලා ඉවර කරන්න බැරි බව. ඕන මිනිහෙක්ට පුළුවන් සාමූහික ක්‍රියාවලියක කොටස් කාරයෙක් වෙන්න විතරයි.

විශ්වය කෙළවර හොයාගෙන ගියත් අපිට වෙන්නේ ඒ ගමනේ අවුරුදු 70ක 80ක විතර කාලයක් නියෝජනය කරන්න විතරයි. ඉස්සර මිනිස්සු හිතාගෙන හිටියේ ඉර පෘථිවියේ වටේ කැරකෙනවා කියලා. ඊටත් කලින් මිනිස්සු ඉර දෙවියෝ කියලා හිතාගෙන වන්දනාමාන කරා. 1500 ගණන්වලදී කොපනිකස් තමයි සූර්ය කේන්ද්‍රීය වාදය කියලා එකක් ගෙනාවේ. එයා ඒකෙන් අදහස් කරන්නේ ඉර මැදි කරගත්ත ඉර වටා යන සෞරග්‍රහ මණ්ඩලයක්. ඒක එයා කිව්වෙ නිකං නෙවෙයි අභ්‍යවකාශයේ තියෙන වස්තූන්වල චලනය නිරීක්ෂණය කරලා. හැබැයි පල්ලියෙන් එයාගේ අදහස් වලට සීමාවල් දැම්මා. එයා කිව්වෙ බොරු කියලා පිළිගන්න කියලා එයාට බල කරා. තමන් විසින් හොයාගත්ත දේවල් ප්‍රතික්ෂේප කරන්න එයාට සිද්ධ වුණා. පහුකාලෙක ජෝර්දානෝ බෘනෝ කියන ඉතාලියේ දාර්ශනිකයා කොපර්නිකස්ගේ අදහස හරි කියලා කිව්වා. එයාටත් පල්ලියෙන් බලපෑම් කරා. හැබැයි එයා තමන්ගේ මතය වෙනස් කර ගත්තෙ නෑ. ඒ නිසාම එයාව පණපිටින් පුච්චලා මැරුවේ. සත්‍යය හොයන්න උත්සාහ කරපු මිනිස්සුන්ට තිබුණේ ඔහොම අතීතයක්. හැබැයි ඒ සියලු දෙනාම විසින් මිනිසුන්ගේ සිතීමේ සීමා පුළුල් කරලා තියෙනවා. ඉස්සර පෘථිවිය විතරක් ලෝකය කියලා හිතපු මිනිස්සු දැන් විශ්වය ගැනත් මන්දාකිණි ගැනත් විශ්වයේ සීමාවෙන් එපිට තියෙන තවත් විශ්ව ගැනත් කතා වෙනවා හිතන්න පටන් අරන් තියනවා.

හිතපං උඹ 1400 ගණන්වල ඉපදුන එකෙක් කියලා. එතකොට උඹට විශ්වය ගැන තියෙන අදහස දැන් තියෙන එක වෙන්නෙ නෑ. ඒ කියන්නෙ අපි විශ්වාස කරන සත්‍යය පරම එකක් නෙවෙයි. කරුණු ගොඩකට සාපේක්ෂයි. සත්‍යය කියන අදහස වෙනස් වනසුළුයි.

සත්‍යය කියන්නේ ඒක නෙමෙයි කියලා උඹ කියයි. ඒකත් සත්‍යයේ කොටසක්. විශ්වයේ කෙලවර ගැන උඹ උනන්දුයි නම් ඒකෙ කෙළවරක් ගැන හොයන්න පටන්ගත්ත උන්ට වුන දේවල් දැනගන්න එක හොඳ නිසයි ඔය ටික කිව්වෙ.

මේ දේවල් කියන්නෙ මගේ තිංකිං පැටර්න් එක පැහැදිලි කරන්න. ලෝක ඉතිහාසයේ විද්‍යාත්මක සත්‍යය හොයපු අය ගැන දැනගන්න විවේකය සහ ඩේටා තියෙන වෙලාවක cosmos (2014) කියන වාර්තා වැඩසටහන් ටික හොයාගෙන බලන්න.

හැබැයි ඉඳලා හිටල ආගමික ශාස්තෘවරු කියන කට්ටිය බිහිවෙලා ලෝකයට පරම සත්‍යය කියලා එකක් දේශනා කරනවා. ඒ අනුව බිහිවෙච්ච ආගම් හාරදාස් ගාණක් ලෝකෙ තියෙනවා. අපි උපන් ආගම හොඳම එක කියලා විශ්වාස කරන්න අපිට පුරුදු කරලා තියෙන නිසා අපි හිතෙනවා අපි විශ්වාස කරන ආගම තමයි හරිම එක කියලා. නමුත් ලෝකයේ තියෙනවයි කියන ආගම් හාරදාස් ගණන බැලුවම පස්සෙ අපේ ආගම නිවැරදිම එක වෙන්න තියෙන හැකියාව හාර දාහෙන් එකයි. ආගමක් කියල දෙයක් බිහි වෙන්නෙ අනුගාමිකයො ටිකෙන් ටික වර්ධනය වෙලා පසුකාලීනව. මුලදි ඒක එක මනුස්සයෙක් විසින් පවතින ක්‍රමයට අභියෝග කරමින් ඉදිරිපත් කරන අදහස් ටිකක් විතරයි. සමහර විට ඒ මනුස්සය ජීවත් වුණ පරිසරය, කාලසීමාව වගේ දේවල් එක්ක ඒ කාලෙට ඒක පරම සත්‍යය කියල පේන්න පුළුවන්.

අපි ඉපදුන ආගම බුද්ධාගම වුන නිසා අපි රහත් වෙන එක ගැන නිර්වාණය ගැන ඒව මේව හිතන්න පෙළඹිලා තියෙනවා. ලෝකෙ තව මිනිස්සු තම තමන් විශ්වාස කරන ආගම් අනුව අපි ඉපදුනේ කොහොමද අපි ඉන්න ඕනි කොහොමද අපි යන්නේ කොහෙටද වගේ ප්‍රශ්න වලට උත්තර හොයමින් ඉන්නවා. බහුතරයක් දෙනා ආගමික වතාවත් කරමින් ආගමෙන් කියල දෙන විධියට ජීවත් නොවෙමින් නමට ආගමික වෙලා ඉන්නවා.

හැබැයි ලෝකෙ තියෙන බුද්ධාගම නොවෙන අනිත් බොහොම ආගම් සැලකුවම ඒවයෙ තියෙන්නෙ ලෝකය දෙවියෙක් විසින් මැවුවා කියල එකක්. ලෝකයේ සිද්දවෙන දේවල් තීරණය කරන්න සර්වබලධාරී පොරක් ඉන්නවා. උඹට වෙන හොඳ-නරක සියල්ල තීරණය කරන්නේ උන්නාන්සෙ.

එහෙම අදහසක් නැතුව ආගමක් වගේ දේකට පවතින්න අමාරුයි. මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අවසාන උත්තරේ තියෙන්නෙ 'ඒක දෙවියන්ගේ කැමැත්ත' කියන අයිඩියා එකේ.

දැන් එතකොට බුද්ධාගම ඊට වැඩිය වෙනස් ද? බැලූ බැල්මට බුද්ධාගමේ දෙවියෙක් ගැන කියන්නේ නෑ. අඩුගානේ ලෝකයේ සියලු දේවල් සර්වබලධාරී දෙවියෙක් විසින් තීරණය කරන දේවල් කියලා උගන්වන්නේ නැහැ. එතකොට බුද්ධාගම මෙච්චර කාලයක් පැවතුනේ කොහොමද? මිනිස්සු බුද්ධාගම ප්‍රශ්න කරල නැද්ද? බුද්ධාගම අදහන මිනිහෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැද්ද? ඔය උඹට ආව වගේ ප්‍රශ්න බෞද්ධ මිනිස්සුන්ට ඇතිවෙලා නැද්ද? එක එක මිනිස්සු එක එක විදිහට ඉපදෙන්නේ ඇයි කියන එක ප්‍රශ්ණයක් වුනේ උඹට විතරද?

එහෙම වෙන්න බෑනෙ. මිනිස්සුන්ට ඔය ප්‍රශ්න ඇවිත් ඇති. එතකොට ඒකට දෙන උත්තරය මොකක්ද? ලොකු වටයක් ගහල අන්තිමට ලැබෙන උත්තරේ තමයි ඒක උගේ කරුමේ කියන එක. ඒ කියන්නෙ කර්මය.

මම කියන්නේ බුද්ධාගමේදි සර්වබලධාරී දෙවියෝ කියන අදහස හැදෙන්නේ වෙන විදිහකට. කර්මය විදිහට. උඹ උනත් ඔය වචනෙන් දමල ගහනව ඇති මිනිස්සුන්ට. කර්මය. මම හිතන විදියට නම් බුද්ධාගමේ දී කර්මය කියන්නේ දෙවියන් වහන්සේ. කර්මය කියන වචනෙ දාපු ගමන් සියලු තර්ක අහෝසි වෙනවා.

'සියලු දේ ඔබේ කර්ම ශක්තිය මත තීරණය වෙනව. මේ ආත්මෙදි ඔබ විඳින දුකට හේතුව පහුගිය ආත්මයකදී ඔබ කරන ලද පාපකර්ම. මේ ආත්මෙදි ඔබ පෝසත් වීමට හෝ දුප්පත් වීමට හේතුව පසුගිය ආත්මයකදී ඔබ දානමානාදිය ලබා දුන්නාද නැද්ද කියන එක. ඔබ ගිය ආත්මයේදී විරූපී මනුස්සයෙකුට හිනා වුණා නම් ඔබ මේ ආත්මෙදී විරූපී මිනිහෙක් වෙලා ඉපදෙනවා. එහෙම නැත්තං සතෙක් වෙලා ඉපදෙනවා. ඔබ මේ ආත්මෙදි කාලකන්නි වෙලා ඉන්නෙ ගිය ආත්මෙදි පාපකර්ම කරල තියෙන හින්ද.'

ඕක නෙවෙයිද උඹ ඉගෙන ගෙන තියෙන්නෙ?

අපේ පාලනයෙන් තොර දෙයක් විසින් අපිව පාලනය කරනව. හරියට දෙවියන් වහන්සේ වගේ.

මම අදහස් කරන්නේ නෑ බෞද්ධ දර්ශනය වැරදියි කියලා. අනිත් සියලු ආගම් සහ දර්ශනයන් වගේම ඒක ලෝකය තේරුම් ගන්න පුළුවන් එක ක්‍රමයක්. කැමති කෙනෙක්ට ඒ ක්‍රමයට ලෝකය තේරුම් අරගෙන සිස්ටම් එකේ පැවැත්මට අවම වශයෙන් දායක වෙලා මැරෙනකම් ෂේප් එකේ ඉන්න පුළුවන්. ඒකෙදි පරිස්සම් වෙන්න වෙනවා. මොකද අවුරුදු දෙදහස් ගාණක් තිස්සේ පැවත එන එකක් ඒ විදිහටම පවතිනවා කියලා අපිට හිතන්න අමාරු නිසා. ඒ නිසා බුද්ධ දර්ශනය වර්තමාන ස්වභාවය තේරුම් ගනිද්දි පරිස්සම් වෙන්න වෙනවා.

හරි. එතකොට නිවන් දැක්කම හරිද සේරම? කියන්නෙ එහෙමයි. හැබැයි දැකපු අය ඉන්නවද? දැක්කයි කියල කියන අය ඉන්නවා. එයාලව ෂුවර්ද? අපි නිවන් දැකලද සෝවාන් වෙලාද කියල දැනගන්නෙ කොහොමද?

නිර්වාණ මාර්ගයේ ඔය කියන සෝවාන් සකෘදාගාමි වගේ වචන වලින් අදහස් කරන්නේ එක එක බුද්ධි මට්ටම්. ඒ කියන්නේ ඒ මට්ටමට ආවට පස්සෙ ඌ අනිත් පැත්තට හැරෙන්නෙ නැහැ මළාටවත්. ඒක හරියට එකතු කරන්න දන්න එකෙක් 2+2 සමානයි 5යි කියලා කවුරු කිව්වත් පිළිගන්නෙ නෑ වගේ එකක් තමයි. ඒ දැනුම් මට්ටමට ආවට පස්සෙ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ මට්ටම් ළඟා කරගන්න මිනිස්සු හැම කාලෙකම ඉන්නවා. සමහරු කතා කරනවා බොහොම අය කතා නොකර ඉන්නවා. මොකද මේ කාලය එහෙම සුදුසු කාලයක් නෙවෙයි. මම රහත් කියල ඇත්තටම රහත් වුන එකෙක් කිව්වොත් ඌව මරාගෙන කන්නෙ නැති එක විතරයි. බෝසත් දිව්‍ය රාජයා බුදුවෙන උපතේ ඉපදෙන්න පස් මහ බැලුම් බැලුවෙ ඒකයි. මේ බුද්ධෝත්පත්ති කාලයක් නෙවෙයි. හැබැයි හිට් නොවන බුදුවරු අදටත් ඕන තරම් ඉන්නවා. සමහර විට බොහොම දෙනෙක් තමන් ඉන්න මට්ටම ගැන අවබෝධයක් නැතුව ජීවත් වෙනවා. බුද්ධාගම වගේ හිතේ මට්ටම් ගැන කතා කරන දර්ශනයක් ගැන අහල තියෙන, ඒ ගැන උනන්දු කෙනෙක් පොඩ්ඩක් ඒ ගැන හිතන්න හොයන්න පෙළඹෙනවා. ව්‍යාපාරික දැනුමක් සහ ඔය බුද්ධි මට්ටම කියන දෙකම තියෙන අය තමන්ගෙ රහත් බව ප්‍රකාශ කරල ඒකෙන් ව්‍යාපාරයක් කරනවා.

උඹ කැමති නං දිගට කතා කරමු.



Thursday, 22 August 2019

අමිත් ද සංඛ



පද රචකයකු නැති
ගීයක් ගයයි
තමන්ම ලියූ ගීයක්
පැරණි තනුවක තාලෙට
ගයන්නට තතනයි

සිතට එන පද
ගැයෙන පිළිවෙල
අපිළිවෙලට
ලෝකය දුටුවාට
කවියකි එය සුමට

පද රචකයකු වී නම්
කොහෙ ලියවෙයිද
මේ පද කෙසේවත්
ලිව්වේ පද මමත්
තේරෙන විධියට මටත්

වැටුණ වතුරට
පිහිනන්න බැරිකමට
අතපය ගසන් අවට
දරයි තැත රැඳී ඉන්නට
ඔබන්නට එන්නෙපා යටට

පිහිනන්න හුරු වෙමි
එහා ඉවුරට පීනමි
ඒ ඉවුරත් රස බලමි
ඒකත් මේකමයි හිතුණොත්
ආයෙ මෙගොඩට පීනමි



Saturday, 27 July 2019

කෝලි



සන්නස්ගලගේ භික්ෂු පරිච්ඡේදය කියවා හමාර කළෙමි. එය කියවීම අතර තුර සිතට නැගුන විඳුණු දැන් අමතකව ඇති සිතිවිලි අපමණකි. පොත කියවා අවසන් වෙත්ම හිතට නැගුනේ එ පිළිබඳව යමක් ලිවීම හොඳ බවයි. පොතේ ඡේද උදෘත කරමින් එසේ ලිවීමට සිත් වූ බොහෝ දේවල් දැන් අමතකව ගොස් ඇත. ඒ නිසා මේ සටහන ලියවෙන්නේ කුමක් ගැන වේද යන්න පිළිබඳව දැන්ම කීමට හැකියාවක් නැත.

පොත කියවා ලියන දේවල් ගැන සිතමින් රාත්‍රී මුරය සඳහා පිටත්ව ගොස් ඇති බිරිඳටද වයිබර් මැසේජ් දමමින් බුකියේ පූස් සහ බලු ගෘප්වල ලයික් දමමින් ගෙවුන සුළු වේලාවක මට සිතුනේ අදත් බොන්නටය. ඊයේද බිරිඳගේ අනුග්‍රහයෙන් අපි බියර් බීවෙමු. අදත් හොඳ දවසකි. බියර් දෙකක් ගේමු දැයි මාමණ්ඩියගෙන් ඇසූ විට ඔහු ගල් බාගයක් ගේමු කියා කීවේ කලකින් ගල් නොගැසූ නිසායි. මම දායකත්වය දුන්නෙමි. බයිට් එකට සොසේජස් කරල් කීපයක් සූදානම් කළෙමි. සියල්ල අවසන් වී දැන් ලොකු කාලයක් ඉක්ම ගොස්ය. මැදියමට හෝරාවක් ඇති වේලාවක මම අර්ධ වෙරි මතින් පරිගණකය ඉදිරිපිට හිඳගෙන ඇත.

කෝලියා දොරකඩ නිදයි. ඒ උගේ ඩියුටි පොට් එක කියා මම කියන්නේ ටික කලක සිටයි. මා සමග මම ද නොදන්නා මිතුරු දමකින් වෙලී සිටින කෝලියා මා කාමරයේ සිටිය සැම විටම දොරකඩ නිදයි. මුරකරුවෙක් මෙනි. කෝලිට නොදැනී මා වෙත මැස්සෙක්ටවත් එන්නට නොහැකි බව බිරිඳ ඉරිසියාවෙන් කියයි.

කෝලියාගේ මුල් නම ‘කොලින්‘ ය. එය ‘කොල්ලා‘ යන්නෙන් බිඳී ඇති නමකි. උගේ ඉතිහාසය කතාවකි. අපේ ඉතිහාස මෙන් විකෘති වූවක් නොවේ. උපන් දා සිට මේ වෙන තෙක් කෝලියා ළඟින් ඇසුරු කරන මම කියන සැබෑ කතාවයි. එක එක දේශපාලන, සංස්කෘතික හෝ භාෂාමය වර්ෂන්වලින් තොර එකම වර්ෂන් එකයි.

2010දී එවකට පෙම්වතියව සිට දැන් බිරිඳව සිටින ඇයගේ නිවසට පැමිණි මිකීගේ පළමු වැදුමේ පුත්‍රයා කොලින්ය. 2012දී මිකී දරුවන් සත් දෙනෙක් වැදුවාය. ඉන් බාලයා පොඩ්ඩීය. ඇයගේ පිළිවෙලක් නැත. පිස්සියක් මෙනි. අනෙකුන්ට වඩා කුඩාය. කිරි බොන්නට අනෙකුන් පෙරලා පැනගෙන එල්ලීමේ හැකියාවක් නැත. අවසානයේ හමුවෙන්නේ දුර්වල තන පුඩුවකි. අනෙකුන් පරයා සටන් කරන්නට කුඩා වැඩිය. ඒ නිසා කෙටි කලකින්ම කිරි උරා බීම එපා වී වෙනතක් බලයි. ඇයට උවමනා වූයේ හතර අත විපරම් කරන්නටයි. කිරි වැඩිය පෙවුනේ නැත. ඒ නිසාම දුර්වල විය හැකි බවට කතාවක් නිවසේ ඇති විය. ඈ ගෙදර රැඳුනාය.

රෝසි ගෙදර රැඳුනු අනිත් කෙල්ලයි. ඇගේ බඩ රෝස පැහැති බැවින් ඈ එනමින් බෞතීස්ම විය. මාමාණ්ඩියගේ අනුකම්පාවෙන් සහ ආදරයෙන් ඇය නිවසේ සුරතලිය විය. බිරිඳ කියන්නේ රෝසි ඇගේ රෝස බඩ පෙන්නා මායම් දමා තාත්තා අල්ලාගත් බවයි. කොහොමත් රෝසි යනු මිනිස් අඟනුන්ට සරි කලහොත් ව්‍යවහාරයේ කියවෙන පට්ට කෑල්ලකි. රූපයට අමතරව ඇයට කෙල්ලක් සතු කෝල ගති ඇත්තේය. කෙලි බල්ලෙකි. ආදරේ හිතෙන නියම කෙල්ලකි. පට්ට බැල්ලියකි.

කෝලියා ඇතුලු අනිත් පස් දෙනා රටේ විවිධ තැන්වලට පිටව ගියෝය. දෙදෙනෙක් මාමණ්ඩිගේ සොයුරියන්ගේ ගෙවල් වලටයි. ජාඇලට හා මාතලේටයි. අනිත් අයත් එක් එක් තැන්වලයි. කෝලියාද එසේ නොදත් තැනකට පිටව ගියේය.

එසේ දරුවන් පිටකල මාමණ්ඩි ඒ තැන්වලට සතියකට දෙකකට පසු අමතා දරුවන්ගේ සුව දුක් විමසූ අවස්ථාවේදී කෝලියාගේ දරුණු ඉරණම කණ වැකී තිබුණි. කෝලියා හදන්නට භාරගත් නිවසේ කුඩා දරුවන් අතින් දෙමස් වයසැති බලු පැටියා පීඩා විඳින්නේය. මඤ්ඤොක්කා කෝටුවලින් ගුටි ලබන්නේය. වේදනා විඳින්නේය.

පැටවුන් ලබා දුන්නේ මුදලක් ගැනීමෙනි. නිකම් දීමෙන් අගයක් නැත. ගෙවූ මුදලට හෝ සලකනු ඇත. අපගේ අභිප්‍රාය වූයේ එයයි. ඒත් ගුටිකන පැටියකු ගැන දැන දැන ඉවසීම කල හැක්කක් නොවේ. වහාම ගොස් ආපසු මුදල දී කෝලියා නැවත ගෙදරට ගෙන ඒමට මාමණ්ඩිත් නැන්දම්මාත් කඩිනම් විය. එදින සිට උගේ නම කොල්ලා විය. ඒත් එය දිගින් දිගටම භාවිතා නොවී කොලින් බවට කොල්ලා නම් විය.

ඒත් මට නම් කොලින්ට ඇමතීමට නම් ගොඩකි. මා ආදරය කල සුරතලුන් සියල්ලට එසේ නික් නේම් ගොඩක් ඇත. මිකීටද රෝසිටද එසේමය. සියළු දෙනා බලු මිනිස් බේදයකින් තොරව ‘පිස්සු කේස්‘ ය.

කොලින්ට මම කොලින් මල්ලි, කෝල මල්, කොලිනයා, කොලින්ත, කෝල්, මල් කොලයා ආදී නොයෙක් නම් කියමි. කෝලි යනු එහි වත්මන් සංස්කරණයයි. ඒ මොන නම කීවත් පඩේකට ගණන් නොගෙන උගේ පාඩුවේ නිදා සිටිනා අවස්ථාද වෙයි.

භික්ෂු පරිච්ඡේදය කියවීම අපූරු අත්දැකීමකි. ජීවිත කාලයක් පුරා අත්දැකීම් එසේ එක් එක් වර්ගීකරණයන්ට ලක් කර ලිවීම ආතල් වැඩකි. භික්ෂු පරිච්ඡේදයේ ඇත්තේ සන්නස්ගලයන්ට පොත ලියන වර්තමානය දක්වා ජීවිතයේදී හමුවූ භික්ෂු චරිත පිළිබඳවයි. එය කියවීමට පෙළඹවීම ඇති වුණේ ගී පැදුර නිසායි.

ගී පැදුර අඩවියට ගී පද අසමින් සොයමින් ලියන මට කසුන් කල්හාරගේ නටාෂා ගීතයේ රචකයා සොයාගන්නට උවමනා විය. යූ ටියුබයේ එම ගීතය සෙවූ විට සියත එෆ්එම්හි ඩීජේ අරා නටාෂා ගීතයට යෙදූ පූර්විකාවක් ලින්ක් ඔස්සේ හමු විය. එහි කියවුණේ ඩීජේ අරා භික්ෂු පරිච්ඡේදය කියවමින් සිටින බවත් එහි තැනක පසන් කොඩිකාර පිළිබඳ සන්නස්ගල තැබූ සටහනක මෙම ගීතය පිළිබඳව කියවෙන බවත්ය. පොත කියවන්නට පෙළඹවූයේ එයයි. පොත වර්ෂයකට පෙර පොත් සල්පිලෙන් මිළදීගෙන ඇති බව බිරිඳගේ හෝඩුවාව ඔස්සේ දැනගතිමි. ‘භික්ෂු‘ වදන නිසා එය නැන්දම්මා විසින් කියවන්නට ඇගේ කාමරයට අරන් ගොස්ය. පේන විධියට ඇය පිටු කිපයක් කියවා නවතා ඇති සැටියකි.

භික්ෂු පරිච්ඡේදයේ සන්නස්ගලයන් ලියා ඇති දේවල් ඇත්තද බොරුද යන්න සොයන්නට හෝ ඒ ගැන වෙහෙසෙන්නට මම උත්සාහ නොකරමි. එය හුදෙක් තවත් එක් කියවීමක් ලෙස දරාගනිමි. අත්දැකීම් ඇසුරින් සමස්ථ ජීවිතය තේරුම්ගැනීමට තරම් මහ මෙරක් අත්දැකීම් ලබා නැතත් ලැබී ඇති සොච්චම සමහර දේවල් තේරුම්ගැනීමට ප්‍රමාණවත්ය. ඒ නිසා මම වැඩිදුර නොසිතමි. යුනිෆෝම් ඇන්දාට කවුරුත් මිනිස් ගති ඇත්තෝ වෙති. තව දුරටත් පූජකත්වය යනු විමුක්ති මාර්ගය සොයන්නන්ගේ තත්වයක් නොවේ. එය වරප්‍රසාදිත රැකියාවකි. විමුක්තිය සොයන්නට යුනිෆෝම් අවශ්‍ය නැත.

භික්ෂු පරිච්ඡේදයේ අවසානයටත් පෙර මා කලකට පෙර තැබූ ටිවිටර් සටහනක් සිහි විය. එහි ලියුවේ තොරතුරු දැනගැනීමට ඇති සියළු මූලාශ්‍රයන් ෂුවර් නැති බවයි. බලු පැටවුන්ට ලයික් දැමීම ඊට වඩා හොඳ බවයි. භික්ෂු පරිච්ඡේදය අවසානය වෙද්දී එහි ලිවීමේ සෞන්දර්යයෙන් වික්ෂිප්තව මම ඒ ටිවිටර් සටහන සිහි කරමි.

තව ලියන්නට කම්මැලිකමක් ඇත. හිතුණොත් පසුව සංස්කරණය කරමි.

Wednesday, 17 July 2019

අවසන් මිටියාවතේ ගසක් යට...


සිනා දහසක් මැද
කදුලක ලුණු රස දැණුනාද
පැටළුණු අත් දහසක් අතර
ඔබ දෑත් බැඳගෙනද
තරු පිරුණු අහසක් යට
පෙනෙන්නේ සඳේ තනිකමද
සොඳුරු මිහිරක් දකින්නේ
ගුප්ත අඳුරක් තුල විතරමද

පාලනය කල හැකිනම් සිහින
සදා නිදන් ඉන්න හිතෙනවද
අයිතියක් ඇත්නම් හැඟීම්වලට
උදුරා ගිණිබත් කරන්න හිතෙනවද
ගලන කඳුලක් සිසිල් කිව්වට
ලෝදිය මෙන් ගිණියම්ව දැණෙනවද
හයියෙන් කෑ ගහන්න ඕන වුණත්
හඬ නොඇසෙන්න උගුර වියලී ගිහින්ද

අගයන සිය ගාණක් අතර
දැණෙන්නේ හුදකලාවද?
පිරුණු ජීවිත ගොඩක
ඔබට ඇත්තේ හිස්කමක්ද?
ආදරේ කියන්නන් ළඟ
ඇත්තෙ තව බොරුවක්ද?
යුතුකම් ඉටු කරනු හැර
තව කුමක් කරන්නද?

ජීවිතය පුරවන්න
ගත් තැත ව්‍යර්ථද?
පුරවන්න ආ අය
තවත් හිස් කර ගොස්ද?
දැනුත් ළඟ ඉන්න අය
උනුත් ඒ පහුරෙමද?
ජීවිතේ හිස්කමින්
දැන් ඔබට තෙහෙට්ටුද?

කරන්නට ඇති හැමදේම
අවසන්ය හිතෙනවද?
අන් අයට වදයෙකැයි
ඔවුන් මගැර හිඳියිද?
එදිනෙදා දේවල්
නොසිතාම ඔහේ වෙනවද?
ජීවිතේ හෙට දවසට
අරමුණක් නැද්ද තව?

ජීවිත් වෙන්නට අරමුණක්
ඕනෑ කියූවන් කොහෙද?
අරමුණක් නැති ජීවිතය
අභියොගයක්ව ඇත්ද?
අන් අය කරදර වන දේ ගැනම
කරදරවන්නට තිබුණා නම් හොඳද?
ජීවිතේ ගත් අතීත තීරණ
ආයෙත් විනිෂ්චය වෙනවාද?

අහිමි දේවල් ගැන
විටින් විට හිතෙනවද?
හිමිකරගන්නත් ඒත්
ආසාවක් නැතිද?
ආසාවෙන් කල හැමදේම
දැන් තේරුමක් නැද්ද?
ගසා බසා හැමදේම
යන්නම හිතෙනවද?

ජීවිතේ හිස්කම
තදින්ම දැනෙනවද?
සතුට මුහුණු සියල්ල
ඇත්තටම සතුටින්ද?
මරණයේ ගිණි දෑස
හැඟීම් පුබුදයිද?
ආදරෙයි මරණයට
දැන් ඒක දැණෙනවද?

Monday, 1 July 2019

මධ්‍යප කවි


ලියන කවියක් හතරපද
ගණන් දැම්මේ කවුරුද
පහ හයක් තියෙන්න බැරිද
ගැලපෙන්න අවසන් අකුර
කියවෙන්න එක රටාවෙන්
ලියන්න ඕන කිව්වේ කවුද
වෙන අකුරු තියෙන්න බැරිද

ලොකු ඉඩක මිනිසුන් ගොඩක
හෙන පාලුවක් ඕයි මට
ඕයි කිව්වෙ තමුසෙට
කියවන තෝ කවුරු වුනත්
පාලුව දරන්න කරන්න
දේවල් නැතිව ඇත්තට
හෙනම අවුල් ඕයි ආයෙත් මට
වෙනදට එහෙම පාලුවට
සින්දුවක් අහන්න තිබුනා
යූටියුබේ කෑම ටුවර් යන
වීඩියෝ බලන්න තිබුනා
දැන් මෙතන බැහැ කරුමෙට

අනිත් උන් උන්ගෙම ලෝකවල
බුකියෙයි අරකෙයි මේකෙයි
සැරින් සැරේ ලොක්කට අවධානෙන්
මෙතන නිසඳැස් කොටනකොට
හතරපද නීති කැඩුවැයි
අවධානෙන් නොසිටියැයි
හිරේ දමයිද මාව
ඊළඟ සතියෙම උඹලට
තලු මරල රස විඳින්නට පුවතක්
ජනපතිගෙ කතාව මැද
කවි ලියල මිනිහෙක්
අමධ්‍යප රැස්වීමට ආවට
ඌ හොඳට බොනවලු
පහුවදා ඔලුව කැක්කුම හැදුනට
දෙරණ හිරු නෙත් ඇවිත්
ගෑණි අඬනව ලයිව් දෙයි
ගෑණි ඇඬුවොත්
අම්මල දෙන්නම අඬයි
එයාල අඬනව ගනියි
උන්ට ඇති ඒකත්
ප්‍රවෘත්ති හිට් කරගනියි
දඬුවම් නම් ගාණක් නැතිවෙයි
රිදුන තරමට ඉස්සර
රිදෙන්නෙ නෑ තවත්
නිශ්ක්‍රියයි මම එන්න එන්නම

මොකක්ද ඕයි මේ
පැත්තකට වෙලා
ජොබ කරගෙන හිටපු මම
මොන රෙද්දකටද
එන්න හිතුවේ මේකට
රෙද්ද
ඉන්නැතිව ගෙදර


https://youtu.be/vt1Pwfnh5pc

නිමිත්ත - ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහනට රාජකාරි මට්ටමින් සහභාගි වන්නට සිදු විය.

Thursday, 20 June 2019

නික්ම යාම



දමිත චන්ද්‍රසිරි අතුරුදහන් වී ඇත. අතුරුදහන් වී ඇත කියා කියන්නේ දැනට ඔහු පිළිබඳ තොරතුරු නතර වී ඇත්තේ ඒ ආකාරයට වීම නිසා මිස ඇත්තටම ඔහු අතුරුදහන් වී සිටීම නිසා නොවේ. ලකා කියන්නේ ඔහු සැඟව යන්නට ඇති බවය. සමාජයෙන් ගැලවී යම් කාලයක් හෝ සදහටම ඉන්නට උවමනාවක් ඔහුට තිබූ බව ලකාගේ ෆේස්බුක් සටහනෙන් හැඟවේ.

එහෙත් උන් දෙන්නා කර ඇති වැඩවල හැටියට මේ යම් ආකාරයක මාකටින් ගේමක් කියා නොසිතෙන්නේද නැත.

එහෙත් දමිත ඇත්තටම සැඟව ගොස් ඇති බව විශ්වාස කරන්නට මම කැමතිය. එය විශ්වාස කරන විට මට දැනෙන්නේ ඉරිසියාවකි.

ඒ නිමිත්ත කාලයක් අමතක කර හිඳින්නට උත්සාහ කල මතකයන් සහ කතාබහ රාසියක් නැවත සිතේ වේදිකාවට ගෙන එන්නකි.

ජීවිතේ පිළිබඳ විවිධාකාර අර්ථකථන මට තිබී ඇත. ඒවා කාලයක් තිස්සේ විවිධාකාරයෙන් හැඩගැසෙමින් වර්තමානය දක්වා පැමිණ තිබේ. එය සංවර්ධනයක්ද නැත්නම් නිකන්ම පරිවර්තනයක්ද යන්න මා නොදනිමි. වර්තමානය තුල මා ජීවත් වන පද්ධතියේ වඩාත් නිදහස් විභවයකට නිරායාසයෙන් ගමන් කිරීමට මා වඩාත් කැමති වන බව පමණක් මම දනිමි. එහෙත් ජීවිතය ගැන සෑහෙන කලකින් සීරියස්ව සිතන්නට උවමනා වී නැත. ඒ වර්තමානය වන විට ඒ පිළිබඳව සිත වෙහෙස නොකර ඔහේ සිටීමේ ප්‍රයත්නයක යෙදී සිටීම හේතුවෙනි. එහෙත් හිටිගමන් සැඟව ගිය මතකයන් ඉස්මතුව සිතට වද දෙයි.

ගනේගොඩයාව සෑහෙන කාලයකින් සිහියට නැගුණි. ඔහු සදහටම සැඟව ගොස් අවුරුදු හයක් සම්පූර්ණ වී ඇත. ඔහු සිටියා නම් ජීවිතේ බොහෝ දේ පිළිබඳව මා සිටිනු ඇත්තේ වෙනත් ස්ථාවරයන්හි වීම අනිවාර්යය. එහෙත් දැන් තනිව ජීවිතයට මුහුණ දිය යුතුය. ගනේගොඩයා මිය ගිය පසු මාගේ එක් මිතුරකු පැවසුවේ එසේ වීම නිසා මා නිදහස් වූ බවය. එවක මා ලියූ, කතා කල බොහොම දේවලට ගනේගොඩයාගේ සෙවණැල්ල වැටී තිබීම හේතුවෙන් තමා එසේ පවසන බව කියා ඔහු තම ප්‍රකාශය සාධාරණීකරණය කළේය. ඔහු නිරීක්ෂණයෙන් නිවැරදිය. නමුත් ඔහු දන්නේ මොනවාද?

ගනේගොඩ හිතනවාට වඩා හිතෙනවාට පෙම් කළ පුද්ගලයෙකි. 'හිතෙන්නෙ දැණෙන නිසා බං. හිතනව කියන්නෙ දැණෙන දේ තේරුම්ගන්න යන එක. එතකොට අපි අහුවෙන්න ඉඩ තියෙනවා.' ඔහු වෙනත් වචනවලින් එසේ කියා ඇත. හිතෙන දේ අමු අදහසක් නම් හිතන දේ යනු අප විසින් ගොඩනංවන ලද කෘතිම අදහසකි. එය වෙනත් අඩුවැඩියද එකතු වී පැරණි අදහස්වලින්ද දූෂ්‍ය වී ඇති දෙයකි. මා තර්ක කළේ හිතෙන දේ එහේ හිතෙන්නා තෘප්තිමත් කරන අතර හිතන්නා විසින් නිර්මාණයක් කරන බවටයි. හිතෙන පුද්ගලයා තමා තුල තෘප්තිමත් වන අතර හිතන පුද්ගලයා හිතීම ඔස්සේ නිර්මාණ කරයි. මා හට වූයේ නිර්මාණයක් කිරීමේ උවමනාවයි. 'ඒකත් එහෙම තමයි බං... කලාකාරයෙක් කියන්නෙ හිතෙන එකෙක්ද හිතන එකෙක්ද?' ඔහු නැවතත් ප්‍රශ්ණ කරයි. ඔය කිසිවක් පැහැදිලි නිර්වචන නැති තියුණු දාර නැති වචනාර්ථ සීමාවල් බැවින් තර්ක කර පැහැදිලි කරගැනීම අපහසුය.

ගනේගොඩයා හිතෙන්නෙක් වී හිතෙන දේ විඳිමින් හිඳ මිය ගියේය. මම හිතෙන හිතන හැමදේම තවමත් විසඳාගනිමින් සිටිමි.

ගනේගොඩ වරක් ඔහුගේ මරණය සිදුවීම ඔස්සේ සිදුවිය හැකි සිදුවීම් මාලාවක් පෙළගැස්වීය. එයින් ඔහු බලාපොරොත්තු වූයේ මිනිසුන්ගේ ප්‍රතිචාර කියවීමයි. එවකටද එය බැලූ බැල්මට පිස්සු වැඩක් වුවද අනිත් අතට මහාචාර්ය නන්දසේන රත්නපාල පන්නයේ පරීක්ෂණයකි. එහෙත් එය තනිව කල නොහැක. කිපදෙනෙකුගේ උදව් අවශ්‍යය.

ගනේගොඩ පිළිස්සී මිය යයි. අඟුරු වූ සිරුර මුද්‍රා තබන ලද පෙට්ටියක පැමිණේ. අපට කරන්නට ඇත්තේ මළ ගෙදරට පැමිණෙන ඥාතී මිත්‍රාදීන් ඔහු ගැන කරන කතා බහ වාර්තා කර ගැනීමයි. සැඟවී සිටින සැබෑ ගනේගොඩයා තම නාට්‍යමය මරණයේ අවසන් කටයුතු සිදු කරන දිනයේ වෙස්වලාගෙන කනත්තට පැමිණ, පෙට්ටිය වල දැමූ පසු චූටි අක්කා පසුපසින් ගොස් 'කොහොමද චූටි?' කියා අසයි. මුලින් තැතිගන්නා චූටි අක්කා සියල්ල වටහාගත් පසු අසලක ඇති වියළි පොල් හනස්සක් ගෙන ගනේගොඩයාට පහර දෙයි. මෙයට හවුල් වූ අපටද ගුටි වදියි. නමුත් අවසානයේ ඔහුට ජීවිතයේ පැතිකඩක අවබෝධයක් ලැබේ. තමන් ඇසුරු කරන්නන් පිළිබඳ කිසිදා දැනගත නොහැකි කරුණු රාසියක් එකතු වේ. බෝනස් එකක් ලෙස සුළු කලකට ගනේගොඩයාගේ පවුල් ජීවිතය අලුත් වේ.

මෙය ගනේගොඩ නම් කොන් ආර්ටිස්ට්ගේ පැත්තෙන් බලාපොරොත්තු විය හැකි වැඩක් වුවත් ඒ ගැන පසු කලක කල්පනා කරන විට සිතුනේ එය ගොන් වැඩක් කියාය. (මා කම්මැලියකු වී ඇත්තේ එවක 'මරු වැඩ' ලෙස සැලකූ සියල්ලද ගොන් වැඩ ලෙස වර්ගීකරණය කරගනිමින්ය.) විවිධ ක්‍රමවලින් අනුමාන කර ලබාගත හැකි ප්‍රතිඵලයක් වෙනුවෙන් බොරුවට මිය යාමේ විහිළුව අනවශ්‍ය ලෙස බරපතලය. පවුල් ජීවිතය ඉක්මනින් නැවත පරණ වනු ඇත. සාමාන්‍යයෙන් මිනිසුන් ජීවත්වන පුද්ගලයෙකුට වඩා මිය ගිය පුද්ගලයෙකුට ගරු කරයි. මියගිය පසු ලැබෙන ගෞරවයෙන් කිසිවෙකුට ගැලවිය නොහැක.

ගනේගොඩයා ඇත්තටම මිය ගිය පසු ඒ බව අපි අත් වින්දෙමු. පන්සලකට වැස්සකටවත් ගොඩ නොවූ ඔහු ගමේ විසූ හොඳම උපාසකයා බවට පත්කරමින් ගමේ පන්සලේ හාමුදුරුවෝ පාංශුකූලයේදී ගනේගුණ ගැයුවේය. අපි කීප දෙනෙක් පැත්තකට වී කතා කළේ මිය ගොස් ඇත්තේ වෙනත් කෙනෙකු විය යුතු බවටය. මියගිය පසු කිසිවකුගේ ජීවිතය තමන්ට අයිති නැත. සමුගත යුත්තේ අනුන්ට උවමනා විධියටය.

ගනේගොඩයා වනගතව සැඟවීමේ අදහස විහිලුසහගත කළේය. එහෙත් වනගත වී සැඟවීම සම්බන්ධයෙන් අපට වූයේ වෙනම අදහසකි. ඇත්තෙන්ම මට ඒ පිළිබඳව දැණුදු පැහැදිලි අදහසක් නැත. වනය යනු අප ජීවත්වන වටපිටාවම බව ඔහුත් මමත් පිළිගත්තෙමු. එහෙත් ඒ ගැන ප්‍රමාණවත් තරම් සාකච්ඡා කරන්නට අපට කාලයක් නොවීය. ඔහු 2012දී මිය ගියේය. නොඑසේ නම් එතැන් සිට අද දක්වා ගතවුණු අවුරුදු කීපය තුල නරඹන්නට හැකිව තිබූ චිත්‍රපටි ඔස්සේ අප දෙදෙනාට අපි සිතූ බොහොමයක් තියරිවල ප්‍රායෝගික අවස්ථා කතා කරන්නට හැකියාව ලැබෙන්නට තිබුණි.

විමුක්තිය සොයන්නට කියා වනගත වෙන්න උවමනා නැත. විමුක්තිය හරියට අහුවන විට වැඩක්පලක් කරගෙන ජීවිතේ නිදහසත් රැකගෙන ඔහේ ජීවත් වන ක්‍රමයද අසුවේ. කෙසේ ජීවත් වුවත් පරිසරයට හැඩ ගැසිය යුතුමය. එයට වනය හෝ නගරය ලෙස වෙනසක්ද නැත. තමන්ට පවතින්නට උවමනා කෙසේද යන්න තීරණය කල පසු අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම පමණි.

ගනේගොඩගේත් මගේත් කතාබහේ වනගත වෙන තරුණයා අවුරුදු 20 ඉක්මවූවෙකි. ඔහු ජීවිතයේ වගකීම්, බැඳීම් සියල්ලෙන් ගැලවී නිදහස් වීමේ උවමනාවෙන් ඩෙනිමක් හා ටී ෂර්ට් එකක් ඇඳ කැන්වස් සපත්තු දෙකක් පැළඳ වනගත වෙයි.

හවස ෆුට්බෝල් සෙල්ලම් කරන්නට එකතු වී ආපසු ගෙදරට නොයා ඔහු තණ පිටිය කෙළවර වැට්න් එපිට රක්ෂිතයේ සීමාව පසු කර වනගත වෙයි.

පළමු දිනයේ ඔහු ඉන්නේ උතුරන සතුටකිනි. දීර්ඝ කාලයක් කල්පනා කරමින් සිටි තීරණයක් ඔහු ගෙන තිබේ. හිතට නිදහසක් දැණේ. මෙම තීරණය ගැනීමට පෙර හිතට බරක් වී පැවති සියළු ප්‍රශ්ණ තවදුරටත් ප්‍රශ්ණ නොවේ. අත්හැර දමා ආ අය පිළිබඳව හැඟීමක් නොදැනේ. ජීවිතය අළුතින් ආරම්භ කර ඇත.

කුසගින්න දැණුනත් ඔහුට හිතට හරියන කෑමක් සොයාගත නොහැකි වේ. වනයේ ඔහු දන්නා පළතුරක් සොයාගත නොහැක. ගහ කොළ පිළිබඳ එහෙමට දැනුමක්ද ඔහුට නැත. හිතේ අනුමානයෙන් වසක් විසක් නැතැයි තීරණය කර ඔහු ගසක කොළ ටිකක් ආහාරයට ගනියි. ඒ කොළ ඇඹුල් රසය.

රාත්‍රියේ නතර වෙන්නට ඔහු තෝරාගන්නේ ගල් ගුහාවකි. එහෙත් එය ගුහාවක්ම නොවේ. පොළොවට සුළු ආනතියකින් පිහිටි විශාල පර්වතයක් හේතුවෙන් පොළොවේ යම් කොටසක් ආවරණය වී ඇත. එහි අපහසුවකින් තොරව ඇළවී සිටිය හැක. ඔහු පර්වතය පාමුල පොළොවේ වියළි ශාක පත්‍ර අතුරා දළ යහනක් සාදා වැතිරෙයි.

අඳුර උදාවන විට මදුරුවන්ගෙන් ඔහුට සැලකිලි ලැබේ. මදුරුවන් නොවන වෙනත් කෘමීන් වර්ගයක් හෝ කීපයක්ද වෙසෙන බව ඔහුට දැණේ. හතර අතට තලමින් ඔහු සවස් කාලය ගෙවා දමයි. ගින්නක අඩුව ඔහුට දැණේ. හෙටම ගින්නක් ඇතිකරගන්නට අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කල යුතු වේ. ලී කූරක් තදින් පිරිමැද වියළි පත්‍ර අවුළුවාගන්නා අවස්ථා සහිත චිත්‍රපටි ඔහු නරඹා ඇත. එය හෙටට කල් දැමේ. අද දින ඉවසා සිටීම හැර විකල්පයක් නැත. කුස ගින්න දැණෙන අතරම වැතිරී හිඳි ඔහුට මැදියම් රැයේ නින්ද යයි.

මුහුණට ජල බිඳු කීපයක් වැටෙන විට වේලාව මහ පාන්දර විය යුතුය. නින්දෙන් මිදෙන ඔහු පර්වත බිත්තියේ මුල්ලටම තල්ලු වී ඇකිලී යයි.. ලා පොදයකින් ඇරඹි වැස්ස පසුව දා පහන් වන විට කෙමෙන් තරමක වැස්සක් බවට පත්ව ඇද හැලෙයි. තරුණයා පර්වතයට තදින් පිට තබා හේත්තු වේ. එහෙත් ඔහු සහමුලින්ම තෙමී ඇත. පර්වතය ඔස්සේ ගලා එන ජලය කිතියක්ද දනවමින් ඔහුගේ පිට ඔස්සේ ගලා යයි. ඔහු හිඳ සිටින තැන ජලය පිරී කෙමෙන් මඩ ගොහොරුවක් බවට පත් වෙයි. හිමිදිරි සීතලත්, වැස්සත් සමග ඔහුගේ දත් ඇඳි එකට ගැටේ. පර්වතය පාමුළ ගුළි වී වෙව්ලමින් ඔහු උණුසුමක් සොයයි. පළමුවරට කණගාටුවක් දැණේ. කාංසාවක් දැනේ.

උදෑසනත් සමග තුනීව යන වැස්සෙන් පසු නැගිටින ඔහු අව් රැල්ලක් සොයා පර්වතය වටා එහි මුදුනට නගියි. පර්වතය කඳු වැටියකට යාව ඇත. වැස්සෙන් තෙත්ව ඇති පොළොවේ වැඩි දුරක් පාවහන් සහිතව ගමන් කල නොහැක. මඩ ගොඩක එරී යන සපත්තුවක් නැවත ගලවාගැනීමට වෙහෙස නොවී ඔහු අනිත් සපත්තුවත් ගලවා දමයි. නිරුවත් දෙපයින් ඔහු පර්වතය මුදුනට ඇවිද යයි. කූඩැල්ලන් කීප දෙනෙකු විටින් විට ගලවා දමමින් ඔහු පර්වතය මත තැනිතලාවට ළඟා වේ.

පර්වතය මුදුනේ දිය කඩිත්තකින් වතුර බිඳක් බොන ඔහු ගල් තලාවේ වැතිර හිරු එළියෙන් වියලෙයි. ඇඳුම් සිරුරේ නොඇලෙන තරමට වියලී ගිය පසු පර්වතය මත ඇවිදින ඔහු තැන් කීපයක ඇති සතුන්ගේ වසුරු දකියි. පර්වතය මුදුනේ දිය කඩිත්ත වන සතුන් අතර ජනප්‍රිය එකක් විය හැක. කලින් නොදැණුන ලා තැතිගැන්මක් දැනේ. වනගත වීම සූදානමකින් සිදු වූවක් නොවේ. සියළු කාරණා සලකා බලා නැත. එසේ විය යුත්තේද නැත.

ඊළඟ අභිප්‍රාය බඩගින්න නිවාගැනීමය. දශක දෙකකට වැඩි ජීවිත කාලය තුල ඇති කරගත් පුරුදු අත්හැරදැමීම එකවර කල නොහැක. ක්‍රමයෙන් වනයට ගැලපෙන රටාවකට ජීවිතය හුරු කරගන්නා තුරු සිරුර හුරු වී ඇති පරණ පුරුදු ආකාරයට දින කීපයක් ගෙවන්නට සිදු වනු ඇත. කලින් දා කෑමට ගත් කොළ වර්ගයද අමිහිරි අත්දැකීමක් එකතු කර ඇති බැවින් වඩා හොඳ කෑමක් සොයාගත යුතුය.

නහයට හුරු පුරුදු සුවඳක් ඔස්සේ ඉව කරන ඔහු ගසක තරමක් උසින් ඇති සතුන‍් සිදුරු කල වරකා ගෙඩියක් දකියි. පර්වතයේ තැන්න අවසන්ව කන්ද ඇරඹෙන තැන කොස් ගස් කීපයකි. කොස් ගහක් නොදන්නේ කවුද?

ඔහු ගෙඩිය කඩාගන්නා විධියක් කල්පනා කරයි. මදක් කන්දට නැග ආධාරකයකින් කොස් ගසේ දෙබලකට පය තබයි. කොස් ගෙඩිය දෑතින්ම සොලවයි. නටුව අඹරයි.

පිහියක් තිබුණා නම් කියා සිතේ.

දින ගණනාවක් වනය තුල ගැවසෙන තරුණයා නැවත කල්පනා කරයි. ඔහුට අවශ්‍ය නිදහස වනය තුල ඇත්තටම පවතීද? සමාජ ජීවිතය නැති වීම එක විධියක පහසුවකි. බොහෝ ප්‍රශ්ණ ගැන තවත් වද වෙන්නට උවමනා නැත. අනිත් අයට උවමනා ආකාරයට වෙනස් වීමට අවශ්‍ය නැත. සල්ලාපයේ උවමනාව නිසාම කලින් දා විකාශය වූ ටෙලි නාට්‍ය ගැන කියවන්නටද අවශ්‍ය නැත. සල්ලාපයේ නොයෙදුනා කියා කොන් වීමේ අවදානමක්ද නැත. ප්‍රවෘත්ති ඇසිය යුතු නැත. දේශපාලකයන් ඕනෑම නැටුමක් නටාගත්තාට කමක් නැත.

ජීවිතය මදක් කුඩා වී ඇත. එය හිස් නොවී පවත්වාගන්නට බොහෝ දේවල් සොයන්නට අවශ්‍ය නැත. ජිවිතය තුල කිසිදු හිස් බවක් නොදැනෙන තරමට එය කුඩා කරගත හැකිනම්...

එහෙත් වනගත ජීවිතය ඔය කියන තරම්ම නිදහස්ද?

දින කීපයක් ගතවේ...

සැලකිල්ලෙන් බලන විට වනය තුලද නිදහස අහිමි කරන දේවල් බොහොමයක් ඇති බව ඔහුට හැඟේ. වනයේ ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සපයාගත යුතුය. ඒ වෙනුවෙන් තව අමතර දේවල් එකතු කරගත යුතුය. ඔහු ගල් පතුරුවලින් කටුක පිහිතල කීපයක් සාදාගෙන ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනයේ පිවිසුම් මගක සවි කර තිබූ යකඩ දැන්වීම් පුවරුවක තහඩුව ගලවා ඔහු වඩා සාර්ථක ආයුධ හදන්නටද සැලසුම් කර ඇත.

වඩා ගැඹුරට විහිදුන, එහෙත් ජලය නොරැඳෙන ගුහාවක් සොයාගැනීමට හැකි වූ බැවින් වහලක අවශ්‍යතාවයක් දැන් ඇත්තේ නැත. වැටී තිබූ ගස් කඳන් කීපයක් වැල්වලින් බැඳ දළ මැස්සක් ඔහු සාදාගෙන ඇත. එය නිදන්නට තරම් සුමට නැති බැවින් ඔහු එය යට නිදයි. එවිට මදුරුවන් සහ වෙනත් සතුන්ගෙන් මද ආරක්ෂාවක් ලැබේ. එහෙත් පාන්දර සීතලට පිලිසරණක් නැත.

කාලය ගත වෙයි. තරුණයාට සිතන්නට උවමනා තරම් වෙලාව ඇත. එහෙත් සිතන්නේ මොනවාද? දිනය තුල පැවතීම ඔහුගේ පරම අවශ්‍යතාවය වෙයි. ඒ පිළිබදව සිතන්නට ඇති දේවල්ද ක්‍රමයෙන් ක්ෂය වී යයි. කෑමට ගත හැකි දේවල් පිළිබඳව දැන් ඔහුට අවබෝධයක් ඇත. එම ආහාර කර්කෂය. රළුය. එහෙත් කුසගින්න නිවන්නට සමත්ය. පිහියක් සෑදීමට යකඩ තහඩුවක් සොයා වනයේ පිවිසුමට යාමේ උවමනාවක් දැන් නැත. අවශ්‍යතාවයන් සපයාගැනීමට උවමනා කරන දළ ආම්පන්න ගණනාවක් ඔහු සකස් කරගෙන ඇත. ගිණි අවුළුවන්නටද ඔහු උපක්‍රමයක් අටවාගෙන ඇත. ඒත් ගිණ්නෙන් පලහාගන්නට තරම් විවිධ ආහාර වර්ග ඔහුට නැත. ආහාර නොගන්නා වාරද ඇත. නමුත් කුසගින්නේ සිටින්නට තරම් හිඟයක්ද නැත. නියමිත වේලාවකට ආහාර ගැනීමට වඩා කුසගින්න මගින් මෙහෙයවන ආහාර රටාවකට ඔහු හැඩ ගැසී ඇත.

කුසගින්නට යටත් නොවනු පිණිස ඔහු ගුහාවේ කෙළවරක බිත්තියේ තිරස් අතට වලක් හාරා අල වර්ග කීපයක් එහි ගබඩා කරගෙන ඇත. ඒවා අල දඩයමේදී වැඩිපුර එකතු වෙන ඒවායි. දින කීපයක් නැවුම්ව තබාගත හැක. වියලී ගියත් කෑමට හැක. කොහොමත් එවෙලේ හොඳයි කියා හිතෙන ඕනෑම දෙයක් කෑමට දැන් ඔහුට හැකියාව ලැබෙමින් තිබේ. හිතත් ශරීරයත් එයට හුරුව ඇත.

තදින් වැසි වසින දිනයක ආහාරයක් සොයාගත නොහැකි අවස්ථාවක බඩගින්න දරා සිටින විටදී ඇතැම්විට අම්මා හැදූ කෑම රස ඔහුට මතක් වේ. ඔහුගේ කටට කෙළ උනයි.

වැස්සද ගණන් නොගෙන කෑමට යමක් සොයා වරක් ගුහාවෙන් පිටව ගිය අවස්ථාවේ කන්දෙන් පහලට ලිස්සා ගොස් බේරුණේ අනූ නවයෙනි. එදින හොඳටම තෙතබරිව පැමිණ ගුහාව තුල අටවාගත් පැළ ගිණිමැලයෙන් වියළෙන්නට හැකි වුවත් ඉන් පසු දින ගණනාවක් සෙම්ප්‍රතිශ්‍යාවත් උණත් සෑදී ඔත්පලව ඉන්නට සිදු විය.

ඔහුට මරණ බිය දැණුනි. ගත් තීරණය වැරදි දෝ යි නැවතත් සිතුණි.

සවස් යාමයේදී සිරුරේ මඩ ආලේපයක් තවරාගැනීමෙන් මදුරු කරදරයෙන් ගැලවිය හැකි බව ඔහු අත්දැකීමෙන් දැනගනියි. එම ක්‍රමය වනය තුල මෙහෙයුම්වල නිරත සොල්දාදුවන්ද පුරාතනයේ පටන් වනගතව බවුන් වැඩි තවුසන්ද භාවිතා කරන්නක් බව තමා දැන සිටිය බව ඔහුට මතක් වෙයි. එහෙත් එය කල්පනා වූයේ දිනක් මඩ ගොහොරුවක එරී ගිය පසුවයි. එදිනට පසු රැය උදාවත්ම ඔහු ශරීරය මඩින් ආලේප කරගත්තේය.

ගිණිමැලයක් දැල්වීමෙන්ද මැසි මදුරු කරදරය අඩු වී යයි. රාත්‍රියේ කීයට හෝ එය නිවී යතත් ඒ වන විට ඔහුට නින්ද ගොස් තිබේ. රාත්‍රිය උදාවත්ම නින්දට යාම හැර කල හැකි වෙනත් දෙයක්ද නැත.

දිවා කාලයේදීද ආහාරයක් සෙවීම විනා ඔහු වෙන දෙයක් නොකරයි. ඇතැම් විටක මුළු දහවලමත් නින්දෙන් ගෙවයි. බලාපොරොත්තු හෝ වගකීම් කිසිවක් නැත. මහ ලොකු බරපතල දේවල් සිතෙන්නේද නැත.

නොසිතෙන්නේද නැත.

තමා වරක් සිතින් පෙම් කල තරුණිය ඔහුට සිහි වේ. ඒ පාසල් සමය අවසන්ව විභාග ප්‍රතිඵල පැමිණෙන තුරු ඉංග්‍රීසි ඉගෙනීමට අධ්‍යාපනය ලද සමයයි. ඇයටද ඔහුගේ ජීවිතය හා එක් වන්නට අවශ්‍යව තිබූ බව ඔහු දැන සිටියේය. එහෙත් තමන්ට ජීවිතය පිළිබඳ පැවති අස්ථිර ආකල්ප හේතුවෙන් එම ප්‍රේමය සිත තුල පමණක් තබාගන්නට ඔහු පරිස්සම් විය. එය එසේ වූවා නම් ඇය තනිවන්නට ඉඩ ඇති බවට ඔහු සැක කළේය. මන්ද එවකද ඔහු වනගත වෙන්නට තීරණය කර සිටියේය. බැඳීම් ගලවා දමන්නට ඔහුට උවමනා විය. ආදරය නොදැනෙන තරමට ඉන් ඈත්ව සිටින්නට ඔහුට උවමනා විය.

පසු කලෙක ලද ලිංගික අත්දැකීම්වල ආදරය තිබුණේ නම් ජීවිතය ගැන ආකල්ප වෙනස් වෙන්නට හැකියාව තිබුණි. එහෙත් මුදලට ලබාගත් එම අත්දැකීම් හුදෙක් කුතුහලය විසින් මෙහෙයවූ ආසාවල් තෘප්ත කරගැනීමකින් එපිටට ගියේ නැත. ජීවිතයේ විඳින්නට අවශ්‍ය බොහෝ දේ විඳින්නට අවශ්‍ය කාලයක් ඔහුට විය. ලිංගික ආසාව පදනම්ව ඇතිවන ආදරයක් පිළිබඳව පමණක් ඔහුට අත්දැකීමක් ලබාගත හැකි වූයේ නැත. ඒ ඔස්සේ බිඳ දැමිය නොහැකි බැඳීමත් ඇති වේ යැයි ඔහු තුල සැකයක් විය.

රැකියාවක් කරන්නට පටන්ගත් පසු එම රැකියා ස්ථානයේ ඔහුව සිත්ගත්, පවුල තුල අසතුටින් ගෙවූ විවාහක කාන්තාවක් ඔහු වෙත ගෙන දුන්නේ තවත් අත්දැකීමකි. තමන් වරදක් සිදු කරන බව දැන දැනද දීර්ඝ කාලයක් ඔහුට ඉන් ගැලවීමට අපහසුව ගෙවී ගොස් තිබුණි. ජීවිතයද මිනිසුන්ද ගැන තවත් කළකිරීමක්ද වේදනාවක්ද සහිතව ඔහු එයින් මිදෙන විට වනගත වීම පිළිබඳ ඔහුගේ ආසාව තවත් ලියලා තිබුණි.

වනගත වූ පසු කිහිප වරක් ඒ අතීත මතක ඔස්සේ ලිංගික තෘප්තිය සෙවූ අවස්ථා විය. එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූයේ නැත. එහෙත් එය කෙමෙන් දුර්වල වී ගියේය.

අම්මාගේ ආදරය සහමුලින්ම අමතක කිරීමට ඔහු අසමත්ය. ඇය ඔහුගේ ජීවිතය බොහෝ සෙයින් පහසු කර තිබුණි. එදිනෙදා ජීවිතයේ මහන්සි විය යුතු බොහෝ දේවල් ඈ විසින් සිදු කරමින් පැවතුණි. ඒ නැතත් ඔහුට ජීවිතය පහසුවෙන් ගෙවන්නට හැකියාව තිබුණි. ඔහු හැර දමා වනගත වූයේ පහසු ජීවිතයකි. රස්සාවත්, නිවසත්, හදාරමින් සිටි අධ්‍යාපන පාඨමාලාවත්, පොතුත්, ෆුට්බෝල් ක්‍රීඩාවත් මිතුරනුත් අත්හැර වනගත ව ලබාගැනීමට අපේක්ෂා කල නිදහස කුමක්ද?

සිතන්නට ඔහුට නිදහස තිබුණි. අවශ්‍ය නම් නිදහස සාදාගැනීමටද හැකියාව තිබුණි. එහෙත් සියල්ල අත්හැර වනගත වීම තුල ජීවත් වීමේ නිදහස වඩා පුළුල් කරගැනීමකට වඩා දෙයක් පවතී යැයි ඔහු විශ්වාස කළේය.

ක්‍රමයෙන් ඔහුට වනය ඒකාකාරී බව දැනෙන්නට පටන්ගනී. උදාවෙන දිනය තුල පැවතීමේ අභියෝගය හැර ඔහුට අභියෝගයක් නැත. ජීවිතේට අභියෝග අවශ්‍යමද? ඒකාකාරී බව නැති කරන්නේ එකිනෙකට වෙනස් අභියෝගද? අභියෝගය කියන්නේ හිත විසින් ඉල්ලන රහ ආහාරයක් නෙවෙයිද? අභියෝගයකුදු අවශ්‍ය නොවන ගණනට හිත මෙල්ල කරගන්නට විධියක් නැද්ද?

පරීක්ෂණයක් ලෙස සිතා ඔහු භාවනා කරන්නට උත්සාහ දැරීය. භාවනාව පිළිබඳව න්‍යායික අවබෝධයක් ඔහුට නැත. ඒ හෙයින් එය පරීක්ෂණයක්ම විය. සිත ගැනම සිතන්නටත් සිතෙන දේවල් නැවත සිතන්නටත් ඔහු උත්සාහ කළේය. සිතුනේ ඔහු ගෙවන වනගත ජීවිතයත් ඒ වෙත එළඹීමට ඔහු දිගු කලක් කල අරගලයත් ගැන පමණි. භාවනා නොකලද වනයේ අසිරියකින් ප්‍රමුදිතව සිතුවිලි රහිතව ගෙවූ නිමේෂයක හැර ඔහු නිතර සිතමින් සිටියේ ද ඒ පිළිබඳව පමණි.

භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් ඔහුට නොවීය. භාවනාව යනු සිත එකඟ කිරීම යැයි උගන්වා ඇති බැවින් සිතට එන සිතුවිලි යටපත් කර එය ආයාසයෙන් එකඟ කරන්නට ඔහු වෑයම් කලේය. අවසානයේ වෙහෙසක් ඉතිරි විය. කල් ගෙවෙද්දී වෙහෙසක් නොවේ යැයි සිතා ඔහු තවත් වෑයම් කළේය. එහෙත් එය හරි යන කෙරුවාවක් නොවීය. නැත්නම් ඔහු දන්නා භාවනාව බොරුවකි. ඒ ගැන ඉගෙන ගන්නටද ක්‍රමයක් නැත. ඒ ගැන සිතීමද වෙහෙසකරය.

මෙය ඔහු පැතූ නිදහස නොවේ.

නැවත තමන් ගන්නා ලද තීරණය පිළිබඳව සලකා බැලීමට අවශ්‍ය බවක් ඔහුට කෙමෙන් වැටහුණි. ඒ සඳහා ඔහු පිවිස සිටියේය.

නිවසත් රාජකාරියත් ප්‍රමුඛව ගෙවූ කාලයේදී ද ඔහු වින්දේ වර්තමානය හා සමාන නිදහසක් බව ඔහුට දැණෙන්නට විය. ජීවත් වන ක්‍රමයත්, වට පිටාවේ දර්ශණයත් වෙනස් වීම හැර වෙනත් විශේෂ යමක් සිදු වී නැත. එසේ නම් ජීවිතයේ වෙනසක් අපේක්ෂාවෙන් ගන්නා ලද තීරණවල තේරුම කුමක්ද? නගරයේ සංකීර්ණ යැයි සිතූ ජීවිතයත් වනයේ නිදහස් යැයි සිතූ ජීවිතයත් අතර ඇත්තේ විස්තර කළ නොහැකි තරම් සුළු වෙනසක්ද?

ඔහු සිතිවිලි ඔස්සේ හඹා යන්නට විය. දොළ ඉවුරේ අඳුරේ හිඳින විට පඳුරු අතරින් පෙනෙන ගලා යන ජල තලය මත ඔහු පිහිනීය. අහසට නැග දිය බිඳු ගසා වලා අතරින් ඉගිලීය. වායු ගෝලය ඉක්මවා තාරකා දෙසට පාවීය. එම ගමනේ කිසිම පාලනයක් තිබුණේ නැත. හිතට නිදහසේ පාවී යන්නට ඉඩ දුන් මොහොතකි එය.

එතකොට...

පාලනයකින් තොර වන්නේ හිත විතරද? හිතේ සීමාව ඇත්තේ දැනුමේ සීමාවෙනුත් එපිටද?

ඔහු හිතුවා...

ඔබ තාරකා ගැන දැනුවත් නම් ඒ දෙසට හිතෙන් පියාඹල යන්න පුළුවන්. අභවකාශයේ නෙබියුලාවක් ගැන දන්නේ නම් ඒ තුල දහසක් සූර්යයන් ඉපදෙන අයුරු නැරඹිය හැකියි. කලු කුහර ගැන දන්නේ නම් මන්දාකිණියේ මධ්‍යයේ කළු කුහරය තුලට යා හැකිය.

ඉන් එපිට යා නොහැක්කේ ඒ ගැන දැනුමක් නැති නිසාද? නැත්නම් ඉන් එහා නොදන්න ඉසව් වල හිත හිතුමතේ යන නිසාද? දන්න තැන්වල පිළිවෙලට සැරිසරන ගමන් නොදන්න තැන්වල හිතුමතේ යන්න පුළුවන්ද හිතට? එහෙමනම් නම් සිතට යා හැකි දුර අසීමිතයි. සිතට ඇති නිදහස අසීමිතයි. එය සියලු සීමාවලින් බැහැරයි.

එතකොට හිත හිර වෙලා තියෙන්නෙ හිතෙන්ම හදාගත්ත සීමාවක නෙවෙයිද? ඒ සීමාවල් ගලවගන්න පුලුවන් නම් හිතට ලැබෙන නිදහස අසීමාන්තිකයි නේද?

ඉතින් ශරීරය පවතින තැන් වෙනස් කරල හිතේ නිදහස ලබාගන්න පුළුවන්ද? ශරීරය ලබන අත්දැකීම වෙනස් වීම මත සිතේ නිදහස උදා වෙයිද? නිදහස විඳින්න භෞතිකව ඉන්න තැන අදාලද?

ඔහුට තීරණයක් ගන්න ඕන වුණා...

ඇත්තෙන්ම හිතේ අසීමාන්තික බව තුල නගරයත් ගමත් වනයත් අතර වෙනසක් ඇත්තේම නැත. තවත් සරල වුවහොත් ගම නගරය වනය වැනි ස්ථානීය දෑ සිතට අදාල නැත. අවශ්‍ය වන්නේ ඒ දේවල්වලට ලොබ බඳින සිතේම එක් කොටසකින් ගැලවීමයි. නැතිනම් එය ගලවා දැමීමයි. සිත සිතෙන්ම නිදහස් කරගැනීමයි.

ලෝකයේ හෝ ජීවිතයේ තේරුම සෙවීමෙන් පලක් තිබේද? මරණය තෙක් එක් එක් දේ කරමින් පැවතීම ජීවිතයයි. එය කිසිම පාලනයකින්ද තොරයි. හැම විටම සිතන්නට දේවල් එකතු කරගැනීම ජීවිතය පවත්වාගැනීමට ඉන්ධන සපයයි. ඒත් ජීවිතය යනු කිසිවකුගේ අවධානයට ලක් නොවී අභ්‍යවකාශයේ පාවෙන දූවිලි කැබැල්ලකට වඩා වෙනස් දෙයක් නොවේ. ජීවිතයට ලබා දී ඇති වටිනාකම් කිසිවක් සැලකිය යුතු දේවල් නොවේ. එම වටිනාකම් සියල්ලෙහි අරමුණ හිත සීමා කිරීමයි.

තමන් හිතන දේවල් ගැන ඔහුට සන්තෝසයක් දැණුනා. එහෙන් මෙහෙන් දැණුන දේවල් අදහස්වලින් තේරුම්ගන්න තරමට හිත මෙහෙයවන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ හිතේ පාලනය අතට ගත්තොත් ඕන ගේමක් ගහන්න පුළුවන්ද?

එහෙම නැත්තං ගේමක් ගහල සනසවන්න අවශ්‍ය නැති තැනට හිත ගේන්න පුළුවන්ද? දෙකින් හරි මොකක්ද? හරි වැරැද්ද කියල දෙයක් තියෙනවද?

සිද්ධ වෙන දේවල් ගැන ප්‍රතික්‍රියාවක් දක්වන්න අවශ්‍ය නැත්නම්? එහෙම වුණාම ජීවිතේ කොහොම ගෙව්වත් ඒක කාටවත් ගැටළුවක් වෙන්න විධියක් නෑ. ඔව් කිසි දෙයක් ගණං නොගන්න ජීවිතයක්... කැලේ හිටියත් එකයි ගමේ හිටියත් කොහේ හිටියත් එකයි...

දින ගණනකට පස්සෙ ඔහු දොළ ඉවුරේ පඳුරු ගොන්නෙන් එලියට ආවා. දණක් ගැඹුරු වතුර පහරේ වැතිරුණා. විනාඩි ගණනක් තෙමුණා. මාස ගණනකට පසු දැණුනේ සැහැල්ලුවක්. දැන් අභියෝගය වුණේ ඒ සැහැල්ලුව පවත්වගන්න එක.

නැහැ. අභියෝගය වෙන්නෙ අභියෝග ගණන් නොගෙන ඉන්න එක. සැහැල්ලුව උදා වෙන්නෙ එහෙම.

ඔහු හෙමින් ආයෙමත් ගම පැත්තට ඇදුණා. මාස කීපයක කාලයකට පස්සෙ ආයෙත් සමාජයට යන එක ගැන ඔහුට මුලදි දැණුන ලොකු නොසන්සුන්කම දවස් කීපයකට පස්සෙ තුනී වෙලා තිබුණා.

වනයේ මායිමේ පිට්ටනියේ ඔහුගේ ගමේ මිතුරන් ෆුට් බෝල් සෙල්ලම් කරමින් හිටියා.

Tuesday, 18 December 2018

සතුට හමුවන තුරු

සතුට එතනයි කියා
හතර අතම බලා
කූඩැල් අඩි තියමින්
කෙතෙක් දුර යන්නද?

ලස්සනම මල සොයා
ලෝකයම පීරමි කියා
මුලු පොලොවම වටේ
ආයෙත් මුලට එන්නද?

ජීවිතයෙ දුක වහන
එක එක වර්ණ ඇතිරිලි
සාප්පු පුරා ඇවිද
කෙතරම් ගන්න ඕනද?

ලෝකෙම පෙනෙන දෑසට
තමන්වම බලන්නට
කණ්නාඩියක් ම ඕන බව
ඇහැට කොහෙ දැනෙන්නද?

උදාවෙන මොහොත හැමවිට
එයට පෙර මොහොත සිඳ
නිබඳවම අලුත්වන බව
පරණ මතකයට සිහිවෙයිද?

Monday, 13 August 2018

සැමරීමට ඇමතීමක්...


මිනිස්සු සමරන්න ආසයි. නැචුරල් හේතුවක් නැත්නම් මොකක් හරි හේතුවක් හදාගෙන හරි සමරන්නයි මිනිස්සු කැමති. මේ කියන්නෙ එක එක දින සමරන එක ගැන. ඒ අතරට උපන් දින, මරණ දින, සංවත්සර දින වගේ පෞද්ගලික සැමරීම්වල ඉඳන් ජාතික දින, ජාතික විරු දින, මව්වරුන්ගේ දින, කාන්තා දින, දූවරුන්ගේ දින, ප්‍රසිද්ධ පොරවල්ගේ ජන්ම දින වගේම ග්ලෝබල් දිනත් තියෙනව. සමහර අය ඒ සැමරීම් වෙනුවෙන් සූදානම් වෙන විධිය දැක්කම හිතෙනවා 'මෙහ්' කියලා. එහෙම කියන්නෙ සැමරීම්වලට විරුද්ධව නෙවෙයි. සැමරීම් වරදක් නෑ. ජීවිතේ පල්ස් එකේ වෙනසක් වෙනවනම් සැමරීම් වඩාත්ම හොඳයි. ඔය පල්ස් එක එකිනෙකාට දැණෙන විධිය වෙනස් වීම නිසයි මේ ප්‍රශ්ණ ඔක්කොම. අනික සැමරීම් කරන්න එක එක අය තෝරගන්න විධි අනුව සැමරීම ගැන ඒ අය හිතන්නෙ මොනවද, කොහොමද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.

මේ තියෙන්නෙ එහෙම ඒව ගැන පරණ අදහස් ටිකක්. ඒ හැටි වැදගත් නෑ.

ඔය එක එක කාරණේට දින වෙන් කිරීම එක අතකට ඒ කාරණේට අදාල පාර්ශවය අන්දන්න කරන වැඩක් විධියට දකින්නත් පුළුවන්. සමහර විට වෙනත් අරමුණකින් ආරම්භ වෙලා පස්සෙ සහමුලින්ම ඒ අරමුණ වෙනස් වුණ වෙනත් බොහොමයක් දේවල්වලට සිද්ධ වෙලා තියෙනව වගේ යම් දිනයක් නම් කිරීමේ මූලික අරමුණෙන් බැහැර වුණ දේවල් ටිකක් වෙනුවෙන් තමයි ඔය සැමරුම් දින පසු කාලීනව පාවිච්චි වෙන්නේ. උදාහරණෙකට අම්මාවරුන්ගෙ දිනේදි, රණ විරුවන්ගෙ දිනේදි ඒ ඒ අය ගැන කට්ටිය බොහොම සතුටින් කතා කරනව තමයි. මේක ආරම්භ වෙන්න ඇත්තේ ඒ අයට විශේෂ වටිනාකමක් දෙන්න ඕන නිසා. ඒක නිසා එයාලගෙ ජීවන තත්ත්වය දියුණු වෙයි කියල හිතලා. හැබැයි පසුකාලීනව ඒ ඒ දිනවලදි ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන බව පෙන්නන්න තමයි කැමති. අපි බොහොම දෙනෙක් නොහිතා කරන දෙයක් තමයි කතා කරන බව ප්‍රදර්ශණය කරන එක. අර මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය එතනමයි. මිනිස්සු ඒ දිනය පාවිච්චි කරන්නෙ ඉතිරි දින 364 පුරාම සිද්ධවෙන නොසැලකීමෙන් ගැලවෙන්න.

මිනිස්සු කැමතියි අවධානයට ලක් වෙන්න. එහෙම නැත්තං තමන්ගෙ හොඳ පැත්ත අවධානයට ලක් කරවන්න. හැබැයි තමන්ගෙ නරක පැත්ත පුළුවන් තරම් හංගන එකත් ඒකෙම කොටසක්. සාමාන්‍යයෙන් අපි මිනිස්සු එක් කතාබහ කරද්දි මේක තේරෙණවා. අපිට කතා බහ කරද්දි හම්බවෙන්නෙ බොහොම හොඳ මිනිස්සු. වැරදි නොකරන, එහෙම නැත්තං වැරදි අවම වශයෙන් කරන, වැරැද්ද පෙන්නුවොත් තේරුම්ගන්න විධියෙ, ඒ වගේම අනිත් අය වැරැද්දක් කරනව දකිද්දි ලේ කෝප වෙන නිවැරදිමාමක නිහතමානී අය. හැබැයි සමාජයක් විධියට ලංකාවෙ මිනිස්සු දිහා බැලුවම පේනවා පොදුවෙ ගත්තම උන් අවුල් කියලා. කෙරෙන්නෙම, තියෙන්නෙම අවුල් වැඩ. ඉහළ ඉඳන් පහලටම... එතකොට සමාජෙ ඉන්නෙ අපි නෙවෙයිද? අපි කරන වැරදි නිසා නෙවෙයිද සමාජෙ අවුල් වෙලා තියෙන්නෙ. තනි තනිව ගත්තම පට්ට හොඳ අපි පොදුවෙ ගත්තම අවුල් වෙන්නෙ ඇයි?

මට තේරෙන හේතුව සරළයි. මිනිස්සු කරන්නෙ මවාපෑමක්. මිනිස්සු කැමති මවාපාන්නයි. තමන් සතුව නැති දෙයක් වුණත් මවාපාන්න පුළුවන් නම් ඒකට මිනිස්සු කැමතියි. මේක දැනගෙන වෙන දෙයක් නොවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 'තමන් ප්‍රසිද්ධව හැසිරෙන විධිය ඔස්සේ වෙනත් මිනිස්සුන්ව හසුරුවන' දේශපාලකයො හෝ වෙනත් පබ්ලික් ෆිගර්ස් ඇරුණම සාමාන්‍ය මිනිස්සු නම් තමන් කරන්නෙ මොකක්ද කියල දැනුවත් නැති තරම්. එයාල අහිංසකයි. ඒ නිසා රැල්ලට ගිහින්. ඒ අයට සැමරීම් කියන්නෙත් එහෙම මවාපාන්න ලැබෙන අවස්ථාවක්.

මේක ටිකක් එහාට හිතුවොත් පේන්නෙ මිනිස්සුන්ගෙ හිස් කම. මිනිස්සු හිස් වෙන්නෙ කොහොමද? මිනිස්සු හිස් වෙන්නෙ හිතන්නෙ නැති නිසාම නෙවෙයි. සම්බන්ධතා ගෙවී යාම හින්දා. මේක අසාධාරණ කතාවක් විධියට බැලූ බැල්මට පේනවා. ඒත් කාලයත් එක්ක අපි ගනු දෙනු කරන හැම දේ එක්කම අපට තියෙන සම්බන්ධය ගෙවිල යනවා. ඒක අලුත් ෆෝන් එකක්, කාර් එකක් වගේ දෙයක් එක්ක මුලින් ඇතිවෙන බැඳීම සහ පසු කාලිනව වෙනස් වෙන බැඳීම ආශ්‍රයෙන් හිතන්න පුළුවන්. අලුත් ෆෝන් එකක් අපි ගන්නෙ ඒකෙ තියෙන ෆීචර්ස් ගැනත් හිතලා. හැබැයි කාලයක් යද්දි ඒ ෆීචර්ස් දැණෙන්නෙ නැතිව යනවා. එහෙම නැත්තං ඒ ෆීචර්ස් තියෙන ෆෝන් තව ඕන තරම් තියෙන බව දැණෙන්න ගන්නවා. අළුත් එකකට ආස වෙනවා. අපි ආසාවෙන් අයිති කරගන්න බොහොමයක් වස්තූන් සම්බන්ධයෙන් සිද්ධ වෙන්නෙ ඒක.

මේ තත්ත්වෙ බලපාන්නෙ උපකරණ වලට විතරක් නෙවෙයි. අපේ ජීවිතවලට අළුතින් එන හැම එකකම ඇත්ත ඒකයි. අළුත් පිට දැණෙන ගතිය පහු පහු වෙනකොට දැණෙන්නෙ නැති වෙනවා. සම්බන්ධතා කියන්නෙත් කාලයත් එක්ක ක්ෂය වෙන ඝණත්වයක් තියෙන දෙයක්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. සම්බන්ධතා ගොඩක් සහිතව වුණත් කෙනෙක් තනි වෙන්න පුළුවන්. ෆෝන් එකේ කන්ටැක්ට් බරගාණක් තියෙද්දි කෝල් කරන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. දෙනෝදාහන් නුවන් අතර තමන්ගෙ නුවන් වටහගන්න දෙනුවනක් නැති මොහොතක් එන්න පුළුවන්.

අවුරුද්දක විතර අතීතයෙදි සිය දිවිනසාගත්ත කීප දෙනෙක්ගෙ සමාජ මාධ්‍ය භාවිතාව බැලුවම තේරෙන්නෙ ඒ අය බොහොම සාර්ථක සමාජ මාධ්‍ය ජීවියෝ බවයි. සන්තෝසෙන් සැමරීම් කල බවයි. හැබැයි ඒ අයට සැබෑ ජීවිතෙන් පලා යන්න ඕන වුණේ මේ සැමරීම් මවාපෑමක් වුණ නිසාද? තනි වීම දරාගන්න බැරි වුණ නිසාද?

තනි වීම සමහර විට ලෙඩක් වෙන තරමට එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ලෙඩේ සීරියස් වුණොත් ජීවිතේ තියෙන සම්බන්ධතා අරුම පුදුම හෝ අවුල් වියවුල් පැතිවලට යන්න පුළුවන් ලෙඩක්. ලෙඩේ හොඳ කරගන්න නම් සම්බන්ධතාවය අළුත් කරගන්න වෙනවා. එහෙම නොවුණොත් අවසානෙදි ක්‍රමයෙන් වෙන්නෙ ජීවිතේ ඒකාකාරීකමත් එක්ක හිස් වෙලා යන එක. අපි බැඳිල තියෙන වස්තූන් සම්බන්ධව තියෙන හැඟීම තුනී වෙලා යන එක. තව දුරටත් ඒ සම්බන්ධතාවල අරුමය, පුදුමය නැතිවෙලා යන එක. අන්න එතනදිත් ඔය සැමරීම් වැදගත් වෙනව. සැමරීමක් කියන්නෙ ඒ ඒකාකාරීත්වයෙන් ගැලවෙන්න ක්‍රමයක්. අඩු ගානෙ තාවකාලිකව ආයෙත් සම්බන්ධතාවය අළුත් කරගන්න මාර්ගයක්.

අර දහසක චුම්බන පිසදා ජීවිතේ ගොඩගන්න රෝමියෝ වගේ.

ඒ වගේම සැමරීම් තුලින් සම්බන්ධතාවයන් පවත්වගන්න පුළුවන් වීම සහ අළුත් කරගන්න පුළුවන් වීම සුභ පතන්න එකතු වෙන අයට හොඳ ඉල්ලමක්. වෙන දවස්වලට තමන්ට කිසි සේත්ම අදාල නැති දෙයක් සමරන්න එකතු වෙන එකෙන් මිනිස්සු ඒ "අදාල නැති කරගෙන තිබීමේ" වරදකාරී හැඟීමෙන් ගැලවෙන්න අවස්ථාවක් උදාකරගන්නවා. ඒ දේට තමන් තුල වටිනාකමක් තියෙනව කියල දනවගන්නවා. ඒ වගේම ඒක ප්‍රදර්ශණය කරන්න ගන්නවා.

මේකට කැප්ටන් පයිරේට් හදපු මීම් එක මරු!


Link

සමාජ මාධ්‍ය කියන්නෙ මේවට තව තල්ලුවක් දෙන එකක්. ෆේස්බුක් විශේෂයෙන්ම හිට් වෙන්නෙ මිනිස්සුන්ගෙ තියෙන ඔය ස්වභාවික ආසාවල් අඳුණගෙන ඒක සාර්ථකව ෆේස්බුක් තුලට ඇතුලත් කරන හින්දයි. සුභ පතන්න උවමනා නම් පෞද්ගලිකව සුභපතන්න පුළුවන්කම සහ පුළුවන් විධි ඕන තරම් තියෙද්දි 'ආහ් මම මෙයාට සුභ පැතුවා හොඳේ' කියල ලෝකෙට පේන්නම කියන්න මිනිස්සුන්ට අවස්ථාවක් ලබා දීල තියෙන්නෙ ඒක හින්දා. ඇත්තටම ෆේස්බුක් වෝල් එක කියන්නෙ එහෙම ලෝකෙට පේන්න තමන්ගෙ පැවැත්ම ප්‍රදර්ශණය කරන්න කැමති හැමෝම වෙනුවෙන් තියෙන එකක්.

ලෝකෙට පේන්න සුභ පතන්න කැමති අයත් ලෝකයේ අවධානය ඕන අයත් එකට සෙට් වෙන තැනකදි වෙනදා පෞද්ගලික වුණ සුභපැතීම් ලෝකෙටම පේන්න සිද්ධ වෙනවා. මෙතනදි මේ තත්ත්වය ගැන මිසක් ඒක හොඳද නරකද කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක හොඳ හෝ නරක වෙන්නෙ ඒ ඒ මනුස්සය අනුව. සමහරු ඒකට කැමති වෙන්නත් සමහරු අකමැති වෙන්නත් පුළුවන්.

මිනිස්සුන්ට සැමරීමට තියෙන මේ උනන්දුව පාවිච්චි කරන කොටසකුත් ඉන්නවා. ඒකෙන් දේශපාලනික අවශ්‍යතාවයක් හෝ වෙළඳ අවශ්‍යතාවයක් සපුරාගන්නවා. සමහර විට ඒක තවදුරටත් විවේචනය කරන්න බැරි තරමට සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා. රැවටිල්ල මත දුවන සිස්ටම් එකකදි ජස්ටිෆයි වෙන්නෙ රැවටිල්ල.

ඊළඟට තියෙන්නෙ මෙහෙම සැමරීම් දිනවලට දෙන වටිනාකම. එහෙම දිනයක් මාර දිනයක් කිරීම ඇතුලෙම අනිත් දින ටික නිකංම අප්සෙට් වෙනවා. ඒකම අනිත් පැත්තට ගත්තොත් අනිත් දවස් අප්සට් නිසාම සැමරීම 'මාර' කරගන්න වෙනවා. සැමරීමට තියෙන්නෙ මාර උද්‍යෝගයක්. අනිත් දවස් මලානිකයි. එතකොට අනිත් දවස් අප්සට් නොකරගෙන 'මාර' කරගන්න බැරිද? ඒක කරන්න ටිකක් අමාරුයි. හේතුව ජීවිතේ කියන්නෙ එහෙම උද්‍යෝගයක් නිතරම තියෙන්නෙ නැති එකක්.

ඒ උද්‍යෝගයක් නැති බෝරිං ජීවිතේට වෙනසක් කරගන්න සැමරීමක් ඕනම තමයි!

Monday, 2 April 2018

අහිමි වීම් ගණනාවකට පසු...


අහිමි වීම තරම් ජීවත් වන පෘතග්ජනයකුට වේදනාකාරී දෙයක් නොමැත. එය නොසැලකිය හැකි කුඩා වස්තුවක සිට ආදරණීයයකුගේ අහිමිවීමක්, නැතිනම් හෘදයාංගම හැඟීමක අහිමිවීමක් යනාදී වශයෙන් ඕනෑම දෙයක අහිමි වීමක් විය හැක.

බොහෝ දෙනා තම ආදරණීයයෙක් මිය යාම දරාගත නොහැක්කැයි සිතති. එහෙත් ඊටත් වඩා රිදවනාසුලු අහිමිවීම් තිබේ. සදාකාලිකව නැත්තටම නැතිවී අහිමිවීමට වඩා දෑස් මානයේ පෙනි පෙනී දෑත් මානයේ දැවටෙමින් තිබියදී අහිමි වී තිබීම දරාගත හැක්කක් නොවේ.

මා සිවිලිම දෙස බලමින් කල්පනාකාරීව සිටිනා වාට්ටුවේ මට ඉදිරි ඇඳේ නිදනා හැත්තෑ විය ඉක්ම වූ ගුණසේකර අංකල් මා රෝහල්ගත වූ දින සිටම එහි රැඳී සිටින්නෙකි. ඔහුගේ ඇසක කාචය අලුත් කිරීම සඳහා ඔහු රෝහල්ගත වී ඇත. ඇස් තුල පීඩනය ඉහල ගොස් තිබීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් වන තුරු රැඳී සීටීමට ඔහුට සිදුව ඇත.

ගතවූ දින කීපය තුල ආශ්‍රය ඇතිවූ රෝහල් මිතුරන් අතර ගුණසේකර අංකල් අති විශේෂ නැත. ඇත්තෙන්ම මෙම දින කීපය තුල තදින් වැටහුණු කරුණක් නම් විශේෂ පුද්ගලයින් යනුවෙන් කිසිවකු නැති බවයි. සියල්ලන්ටම ඇත්තේ පුවත්පත්වල ප්‍රවෘත්ති මවනා සාමාන්‍ය මිනිසුන් සතු සාමාන්‍ය ජීවිතයි. ඒවා සුවිශේෂ නැත. එහෙත් අවශ්‍ය කෙනෙකුට හදාරන්නට තරම් වටිනා ඉතිහාසයක් සියලු ජීවිතවල ඇත.

ගුණසේකරගේ එකම පුතා බොහෝ කාලයක් වෑයම් කර වෛද්‍ය උපදෙස් පිළිපැද වදාගත්තකු වන අතර එකා යකා තත්ත්වයට පසු කාලීනව පත්ව ඇත. පුතා ඔහුගේ බිරිඳගේ පැත්ත ගැනීම දරාගත නොහැකිව ගුණසේකරගේ බිරිඳ මිය ගොස් වැඩි කාලයක් ඉක්ම ගොස් නැත. දින දෙකකට පමණ වරක් පුතා හෝ ලේලිය ගුණසේකර බලන්නට පැමිණේ. ඔවුන් සමග ගුණසේකරගේ වැඩි ඇයි හොඳැයියක් නැති බවද පෙනේ. එහෙත් ඒ පුතාගේ හෝ ලේලියගේ හැසිරීම් අනුව ඔවුන් නරුම මිනිසුන් යැයි මට හැඟෙන්නේද නැත.

ගුණසේකර අංකල්ගේ කතාව පමණක් අසා ඔහුගේ දරුවන් ගැන තීරණය කල නොහැක. සෑම කතාවක් සඳහාම අඩු තරමින් දෙපැත්තක් ඇත. ඒත් අප පුරුදුව ඇත්තේ එක් පැත්තක කතාවට විතරක් සවන් දීමටය.

රෝඩ් රනර් කාටුනයේ දක්ෂයා කොයෝටේ නම් වෘකයායි. තාක්ෂණික සැලසුම්කරුවකු හෝ ඉංජිනේරුවකු වශයෙන් කොයෝටේට හපන් කිසිවකු ලොව නැත. උත්සාහය අතින්ද ඔහුට සමවන කිසිවකු නැත. ඒත් නිරන්තරයෙන් ජය ගන්නේ රෝඩ් රනර් නම් පැස්බරායි. රෝඩ් රනර් කොයෝටේගේ උගුල්වලින් බේරී යාම ගැන සතුටු වන අප කොයෝටේගේ කතාව අසන්නට හිතන්නේවත් නැත. ඇත්ත වශයෙන්ම ඒක පාර්ශවිකව හිතන්නට අපව හුරු කල ළමා කාටුන් සියල්ලේම තත්ත්වය එකය. මෙම තත්ත්වය පෙන්වාදෙමින් නිර්මාණකරුවෙකු විසින් කරන ලද කාටුන් චරිතවල විකල්ප අවසානයන් දැක්වෙන පින්තූර ඇල්බමයක් බුකියේ සැරිසරනු පසු කලෙක දුටිමි. එහෙත් තීරණ ගැනීමේදී අපි තවමත් ඉන්නේ ඉතාම පටු සීමාවකය.

පසුගිය දින වාට්ටුවේ සිට ජාතික රෝහලේ අනතුරු ඒකකය වෙත මාගේ වැලමිට පෙන්වීම සඳහා ගිලන් රථය තුල ගමන් කල අවස්ථාවේදී හමුවූ මැදිවිය ඉක්ම වූ කාන්තාවගේ කතාවද ඇත්තෙන්ම සාමාන්‍යය. ඇගේ දෙවන සැමියාගේ බීමත් වීරකම් හේතුවෙන් ඇගේ දකුණු ඇස තුවාල වී ඇත. ස්වාමියා සැඟව ගොස් ඇති අතර ඇය තනිව විත් රෝහල්ගතව ඇත. ඇයට දරුවන් සිටින්නේ පළමු විවාහයෙනි. පළමු සැමියා හෝ දරුවන් ඇය පිළිබඳව දන්නා බවක් පෙනෙන්නට නැත. දෙවන සැමියා සමග පැන යාම නිසා ඇගේ නෑදෑ හිත මිතුරන් සියල්ලන්ද ඇයට අහිමිව ඇත. මට හැඟුනු ආකාරයට ඇයගේ දෙවන සැමියා නීත්‍යානුකූලද නැත. සැමියන් දෙදෙනෙක්, දරුවන් හා ඥාතීන් සිටියද ඈ මසක් පමණ තනිව රෝහල්ගතව සිටින්නීය.

එම කාන්තාව සමග ගිලන් රිය නැවත පැමිණෙන තෙක් ජාතික රෝහලේ ඉදිරිපස බංකුවක් මත හිඳගෙන සිටියදී එම බංකුවේම අනිත් කෙලවර හිඳගෙන සිටි තරුණිය හඬාවැටෙනු දුටිමි. ඇය මුස්ලිම් ජාතික තරුණියක් වූ බැවින් කාන්තාව දෙමළ බසින් ඇය ඇමතීය. පසුව ඈ මට විස්තර කල පරිදි තරුණියගේ මව නොසිතූ මොහොතක මිය ගොස් ඇත. මරණය සමග සමීප අත්දැකීම් කීපයක්ම පැවතියද මෙම සිදුවීම මා නැවතත් කම්පනය කලේය.

මරණය සම්බන්ධයෙන් 'නොසිතූ මොහොතක' යන්න අදාල නොවන බවද මට වැටහුනි. අහිමිවීම නොසිතූ මොහොතක නොසිතූ වේශයෙන් පැමිණිය හැක.

ඇසට කෝටුවක් ඇනීම නිසාද, ඇසට ඇසිඩ් බිඳුවක් වැටීම නිසාද, ඇණයක් ගසනා අවස්ථාවක එහි හිස ගැලවී ඇස මත වැදීම නිසාද, බිත්තියේ පොටි තවරන අවස්ථාවක එයින් බිඳක් ඇසට වැටීම නිසාද අක්ෂි රෝගීන් බවට පත් වූ කිහිප දෙනෙකු හා මුලින් කී ගුණසේකර අංකල්ද මාගේ වාට්ටු මිතුරන් බවට පත්ව ඇත. එයින් එකෙක් දැන් නැත. ඇතැම් විට අද මට මේ මිතුරන් හැර දමා යන්නට සිදුවනු ඇත.

ඉන් පසු මුහුණ දීමට සිදුවන ලෝකය පිළිබඳ මට සියුම් බියක් ඇත. මට මුහුණ දෙන්නට වන්නේ අහිමි වූ ලෝකයකටද? කිසිවක් ගැන ඉක්මන් තීරණ ගැනීම සුදුසු නැත. එහෙත් අහිමි වීමේ වඩාත්ම වේදනාකාරී, හිමි වුවත් අහිමි වීමේ බියකරු අවදානමට මුහුණ දෙන්නට සිදු වේ යැයි මා නොසන්සුන්ව හිඳිමි. ළංව සිටියත් ඈත්ව ජීවත්වන්නට සිදුවන කෘතිම ජීවිතයක් හිමිවේ යැයි බියපත්ව හිඳිමි. එය වඩාත්ම බියකරු අහිමි වීමයි.

එහෙත් ජීවිතයට මුහුණ දෙන්නට සිදුවේ. ඒ ගැන සුභවාදී බලාපොරොත්තු දැල්වීම වඩා යහපත් බව මම සිතමි. එහෙයින් අහිමිවීම් දරාගෙන ජීවිතයට මුහුණ දෙන්නට මම ශක්තිය එක් කරමි. මරණය තෙක් හිතේ ගතේ පිරී තිබේ යැයි අපේක්ෂිත මාගේ ආත්ම ශක්තිය මම එක් කරමි.


Sunday, 1 April 2018

ආදරයට පෙම් කරමින්...


යාන්තම් ආදරය යන වචනය කුණුහරුපයක් නොවන තරමට මුහුකුරා ගිය අවදියේ පටන් සිත තුල පමණක් ඵල නැගුණු ඒක පාර්ශවික ආදර කතන්දර ගණනාවකට පසු මම එහි ඊළඟ පියවර තැබුවෙමි.

සියල්ලටම හැකිතාක් විද්‍යාත්මක පැහැදිලි කිරීම් බලාපොරොත්තු වූ මා ආදරයටද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සෙව්වෙමි. බොහොම පසුකලෙක ගැහැණිය විද්‍යාවට හසු නොවන මානයේ පවතින්නියක් බවත් පිරිමි ආදරය හා ගැහැණු ආදරය දෙයාකාර විය හැකි බවත් තේරුම් ගතිමි. ඇතැම් විට ඒ වන විට මා ප්‍රමාද වී සිටියා වැඩිද යන්න කීමට මා තවම ඉක්මන් වැඩිය.

සුභාවිත ඇසුරු කර හිස් මුදුනේ තබා සිටි 'ආදරය රාගයෙන් තොරය' යන උපදේශය අහඹු, අසාර්ථක, හුදකලා තත්පර කීපයක් තුල ඈ තුරුල් කරගත් මොහොතක යට කලිසම තෙත් වූ දා මුසාවක් ලෙස පුස් වී විනාශ වී ගියේය. ආදරය රාගයෙන් වෙන් කල නොහැක්කකැයි එදින සිට මා වටහා ගතිමි. එසේ වන්නේ කෙසේද යන්න පිලිබඳ කුතුහලයෙන් එදින සිට මා ආදරයට සමීකරණ සොයන්නට පටන් ගත්තෙමි.

මූලික රසායනය වැනි පාඩමක විද්‍යුත් චුම්භක වර්ණාවලිය පෙන්වනවාක් මෙන් ඍජු දණ්ඩක් ඇඳ එහි දෙකෙලවර sex සහ soul ලෙස නම් කලෙමි. එක් කෙළවරක් රතු වර්ණයෙන්ද අනෙක් කෙලවර නිල් වර්ණයෙන්ද සංතෘප්තය. දණ්ඩේ එක් කෙලවරක සිට එහි අනෙක් කෙලවරට එම වර්ණ දෙක ක්‍රමයෙන් තුනී වී යයි. දණ්ඩ මැදදී වර්ණ දෙකම සම ඝනත්වයෙන් යුක්තය. සැබෑ ආදරය ඇත්තේ දණ්ඩේ හරි මැද බව මා ඊ තලයක් ගසා නම් කලෙමි. එම සටහනේ පිටපතක් එවක පිටු ගණන් ලියූ ලිපියකට ඇතුලත් කර ඇයට දුන්නෙමි.

ඒ ආදරය බීදී ගියේ ඒ පඬිකම් නිසා නොවේ. තවත් සැලකිය යුතු කලකට පසු කරන්නට යෙදුනු සැලකිය යුතු වෙනත් පඬිකම් හේතුවෙනි.

එය එවැනි රූප සටහන්ද සහිත පඬිකමක් කල පලමු හා අවසාන අවස්ථාව විය. ඉන්පසු ජීවිතය තුල විවිධ පිටු පෙරලුනු අතර ඒ ඒ පිටු අතර නොයෙක් වර්ගයේ ආදර කතා අත්දුටුවෙමි. ඒ එක් එක් ආදරයන් තුල ඊටම අනන්‍ය වූ සුවිශේෂකමක් සමග ඉතාම පොදු සාධකද ගණනාවක් ඇති බව දුටිමි. ආදරයට එකම රූප සටහනක් සැකසීමේ මගේ උවමනාව ක්ෂය වී ගියේය.

එහෙත් ආදරය යන්න තේරුම් ගැනීමේ නොඑසේ නම් එයට නිර්වචනයක් ලබා දීමේ වෑයම අත්හැරීමට හේතුවක් එවකට මට නොතිබුණි. ආදරය තුල දැනෙන සියල්ල 'machine' යන අදහසට ඇති නිර්වචනය මෙන් වචන ගණනාවකින් යුත් වාක්‍යයක් තුලට බහාලිය හැකි බවට මම විශ්වාස කලෙමි. ඒ මා ය. ඉතා සෙමෙන් පරිණාමයට ලක් වෙමින් නොයෙක් අතුරු මාවත් ඔස්සේද ගමන් කල මා ය.

කෙසේ වුවත් ආදරය යනු සියලු වර්ගයේ භෞතික මිනිස් බැඳිම්වල නරුමකම් වසාලීමට ශිෂ්ඨත්වය තුල උපත ලබා දුන් හැඟීමක්ය යන්න දැනටත් මම විශ්වාස කරන ආදරයේ නිර්වචනයකි.

පේන විධියට මා එතරම් පරිණාමය වී නැත. බිරිඳ යස අගේට විග්‍රහ කරන පරිදි මා සියල්ල පැහැදිලි, සියල්ල මනාව අර්ථ දැක්වුණු, අහම්බයක් හෝ පොලාපැනීමක් නැති ස්ථාපිත වටපිටාවක් තුල මාගේ සුව පහසු කලාපය ස්ථාපනය කරගෙන සිටින්නෙකි. ඇත්තෙන්ම එම කලාපයෙන් පිට මා ස්ථානගත විය හැක්කේ කොතැනකදී ද යන්න මා සිතා නැත. එය සිතීමම භයංකරය. මාගේ සුවපහසු කලාපයෙන් පිටතට එන්නට මට බල කරන්නන් පරිස්සම් විය යුතුය. කෙසේ වුවත් ඕනෑම මිනිසකුගේ සුව පහසු කලාපය ඔහුටත් වඩා ඔහුගේ බිරිඳ දන්නා බව නම් සහගහන ඇත්තකි. එය බොහෝ සැමියන් දන්නේද යන්න නම් සැක සහිතය.

එහෙත් ආදරය යනු පරිණාමය වන්නකි. එය නිතර බිඳෙමින් නැවත ගොඩනැගෙමින් කඳුලු සහ සිනා අතර එයට හිතුමතේ ජීවිතයක් එහෙ මෙහෙ යවමින් පරිණාමය වන්නකි.

එසේ පරිණාමය වන ආදරයක් කාලාන්තරයකදී ආදරය කරන්නා තුල තැන්පත් වේ. එය හදවතට, මොළයට, සිරුරට උරා ගනී. සියලු ශාරීරික සීමා අභිබවා පැලපදියම් වේ. දීර්ඝ කාලයක් පවතී. ලෝකයට බොරු කරමින් සිනා නොවුවද එකිනෙකා දෙස බලා ජීවිත කාලයක් සිනාසෙන බොහෝ යුවතිපතීන් ආදරයේ ඒ අඩියේ තැන්පත් වූ රසය විඳින්නෝය.

ඒ පාඩම මට කියා දුන්නේ මාගේ විවාහය පිලිබඳව කරන ලද පූර්ව සාකච්ඡාවකදී මාගේ පොඩි මාමා විසිනි. ආදරය යනු ඔය දැන් දැනෙන එකම නොවන බවත්, පවුලක් වීම තුල එයට අලුත් අර්ථ ලැබෙන බවත් ඔහු පැවසීය. ගෑණි මහත් වෙනවද, කොණ්ඩෙ ඉදෙනවාද, පඩ අරිනවද, රෑට ගොරවනවද, කට ගඳද වගේ ඒවා ගණන් නොගන්න මට්ටමක් දක්වා ආදරය ගමන් කරන බවත්, දිවි හිමියෙන් කැපවීම දක්වාත් ඉන් ඉදිරියට සියලු කොන්දේසි අභිබවමින් උත්කර්ෂය දක්වාත් ආදරය ගමන් කරන බව ඔහු කියා දුන්නේය. මව්පියන් තම දරුවන්ට දක්වන්නාක් මෙන් කොන්දේසි විරහිත අපිරිමිත ආදරයක් දක්වා එය ගමන් කරන බවත් ඔහු තමන්ගේ වචනවලින් කියා දැම්මේය.

මා එය අත් විඳිමින් සිටිමි. අවම වශයෙන් එහි බෝතලය අරින ශබ්දය මම රස විඳිමි. බෝතලය රස විඳින්නට ලැබේවායි ඉත සිතින් බලාපොරොත්තු දල්වා සිටිමි. හිත තුලට කිඳා බැස ඇති ආදරය විවිධ වර්ණයෙන් දිදුලනු අත් විඳින්නට පෙරේතකමේ සිටිමි.

ඇය කෙරෙහි මා තුල අපිරිමිත ආදරයක් පවතින බව මම දනිමි. එය ඇයටම පමණක් විවරව මියෙනා තෙක් පවත්වාගන්නට මට ආත්ම විශ්වාසයක් පවතින බව මම දනිමි. මෙලෙස ලියා දමනවාට වඩා වෙනස් කිසිදු ක්‍රමයකින් ඒ බව ප්‍රකාශ කරන්නට මට නොහැකි බව මම දනිමි. එය දැනෙන්නට හඟවන්නට, බෙදාගන්නට හෝ ඒ මත නැහෙන්නට තියරටිකල් පඬියකු වන මා අසමත් බව මම දනිමි. ඒ සඳහා මා දන්නා ක්‍රම අල්පය. සිතා මතා වචන තෝරා ජීවිතය ගැන මෙසේ සටහන් ලියූවද ඇත්ත ජීවිතය තුල වචන මුමුණද්දී මා ඉතා රළුව අමු වචනයෙන් සියල්ල එකවර කියන්නට ගොස් අනාගන්නෙක් වෙමි. වචනවලට අයිසින් දමා කියන්නට දන්නා චාටු කතාකාරයෙක් නොවීම නිසාම අහිමිව ඇත්තා යැයි මා සිතන බොහෝ දේවල් අතරට ඈ අයත් නොවීම මාගේ වාසනාවකි. අඩු තරමින් මම එසේ විශ්වාස කරන්නට කැමැත්තෙමි.

මන්ද ආදරය ඒක පාර්ශ්විකය. එසේය. කෙතරම් හිත රිදවනසුලු වුවත් ආදරය ඒක පාර්ශ්වික වීම වැලැක්විය හැක්කක් නොවේ. ඇවටාර් චිත්‍රපටියේ ජීවීන් සතු වනවා මෙන් ස්නායු පද්ධතිය එක් කරන ජෛව සම්බන්ධයකින් තොරව ආදරය ද්වි පාර්ශවීය ද යන්න සොයත හැකි අන් ක්‍රමයක් නැත. ආදරයක් නොහැඳිනූ, ගොරෝසු කැලෑවෙන් එලි බැස ශිෂ්ඨ වී ආදරයට වහල් වූ මිනිසා ලද සාපය එයයි. හුදෙක් වචනයෙන් කියනා, චුම්භනයෙන්, ලිංගික ආලෝලනයෙන් දැනෙනා, හැඟෙනා, ලැබෙනා සියල්ල සැබැවින්ම ආදරය නිසා හටගත්තේ දැයි සොයාගැනීමට ක්‍රමයක් නැත.

එහෙයින් ආදරය 'විශ්වාසය' නම් වචනයෙන් අදහස් කරන කොන්දේසි ගොන්නක්ද සමග එන ටෝටල් පැකේජයක් ලෙස බාරගැනීමට මිනිසාට සිදුව ඇත. ආදරය හුදෙක් ආදරය මතම නොරැඳී වෙනත් අටමගල් ඔස්සේද කිරා මැන ගන්නට මිනිසාට සිදුව ඇත.

ආදරය ඒ තුලම සාපයක් වන්නේ එහෙයිනි.