Monday, 2 April 2018

අහිමි වීම් ගණනාවකට පසු...


අහිමි වීම තරම් ජීවත් වන පෘතග්ජනයකුට වේදනාකාරී දෙයක් නොමැත. එය නොසැලකිය හැකි කුඩා වස්තුවක සිට ආදරණීයයකුගේ අහිමිවීමක්, නැතිනම් හෘදයාංගම හැඟීමක අහිමිවීමක් යනාදී වශයෙන් ඕනෑම දෙයක අහිමි වීමක් විය හැක.

බොහෝ දෙනා තම ආදරණීයයෙක් මිය යාම දරාගත නොහැක්කැයි සිතති. එහෙත් ඊටත් වඩා රිදවනාසුලු අහිමිවීම් තිබේ. සදාකාලිකව නැත්තටම නැතිවී අහිමිවීමට වඩා දෑස් මානයේ පෙනි පෙනී දෑත් මානයේ දැවටෙමින් තිබියදී අහිමි වී තිබීම දරාගත හැක්කක් නොවේ.

මා සිවිලිම දෙස බලමින් කල්පනාකාරීව සිටිනා වාට්ටුවේ මට ඉදිරි ඇඳේ නිදනා හැත්තෑ විය ඉක්ම වූ ගුණසේකර අංකල් මා රෝහල්ගත වූ දින සිටම එහි රැඳී සිටින්නෙකි. ඔහුගේ ඇසක කාචය අලුත් කිරීම සඳහා ඔහු රෝහල්ගත වී ඇත. ඇස් තුල පීඩනය ඉහල ගොස් තිබීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් වන තුරු රැඳී සීටීමට ඔහුට සිදුව ඇත.

ගතවූ දින කීපය තුල ආශ්‍රය ඇතිවූ රෝහල් මිතුරන් අතර ගුණසේකර අංකල් අති විශේෂ නැත. ඇත්තෙන්ම මෙම දින කීපය තුල තදින් වැටහුණු කරුණක් නම් විශේෂ පුද්ගලයින් යනුවෙන් කිසිවකු නැති බවයි. සියල්ලන්ටම ඇත්තේ පුවත්පත්වල ප්‍රවෘත්ති මවනා සාමාන්‍ය මිනිසුන් සතු සාමාන්‍ය ජීවිතයි. ඒවා සුවිශේෂ නැත. එහෙත් අවශ්‍ය කෙනෙකුට හදාරන්නට තරම් වටිනා ඉතිහාසයක් සියලු ජීවිතවල ඇත.

ගුණසේකරගේ එකම පුතා බොහෝ කාලයක් වෑයම් කර වෛද්‍ය උපදෙස් පිළිපැද වදාගත්තකු වන අතර එකා යකා තත්ත්වයට පසු කාලීනව පත්ව ඇත. පුතා ඔහුගේ බිරිඳගේ පැත්ත ගැනීම දරාගත නොහැකිව ගුණසේකරගේ බිරිඳ මිය ගොස් වැඩි කාලයක් ඉක්ම ගොස් නැත. දින දෙකකට පමණ වරක් පුතා හෝ ලේලිය ගුණසේකර බලන්නට පැමිණේ. ඔවුන් සමග ගුණසේකරගේ වැඩි ඇයි හොඳැයියක් නැති බවද පෙනේ. එහෙත් ඒ පුතාගේ හෝ ලේලියගේ හැසිරීම් අනුව ඔවුන් නරුම මිනිසුන් යැයි මට හැඟෙන්නේද නැත.

ගුණසේකර අංකල්ගේ කතාව පමණක් අසා ඔහුගේ දරුවන් ගැන තීරණය කල නොහැක. සෑම කතාවක් සඳහාම අඩු තරමින් දෙපැත්තක් ඇත. ඒත් අප පුරුදුව ඇත්තේ එක් පැත්තක කතාවට විතරක් සවන් දීමටය.

රෝඩ් රනර් කාටුනයේ දක්ෂයා කොයෝටේ නම් වෘකයායි. තාක්ෂණික සැලසුම්කරුවකු හෝ ඉංජිනේරුවකු වශයෙන් කොයෝටේට හපන් කිසිවකු ලොව නැත. උත්සාහය අතින්ද ඔහුට සමවන කිසිවකු නැත. ඒත් නිරන්තරයෙන් ජය ගන්නේ රෝඩ් රනර් නම් පැස්බරායි. රෝඩ් රනර් කොයෝටේගේ උගුල්වලින් බේරී යාම ගැන සතුටු වන අප කොයෝටේගේ කතාව අසන්නට හිතන්නේවත් නැත. ඇත්ත වශයෙන්ම ඒක පාර්ශවිකව හිතන්නට අපව හුරු කල ළමා කාටුන් සියල්ලේම තත්ත්වය එකය. මෙම තත්ත්වය පෙන්වාදෙමින් නිර්මාණකරුවෙකු විසින් කරන ලද කාටුන් චරිතවල විකල්ප අවසානයන් දැක්වෙන පින්තූර ඇල්බමයක් බුකියේ සැරිසරනු පසු කලෙක දුටිමි. එහෙත් තීරණ ගැනීමේදී අපි තවමත් ඉන්නේ ඉතාම පටු සීමාවකය.

පසුගිය දින වාට්ටුවේ සිට ජාතික රෝහලේ අනතුරු ඒකකය වෙත මාගේ වැලමිට පෙන්වීම සඳහා ගිලන් රථය තුල ගමන් කල අවස්ථාවේදී හමුවූ මැදිවිය ඉක්ම වූ කාන්තාවගේ කතාවද ඇත්තෙන්ම සාමාන්‍යය. ඇගේ දෙවන සැමියාගේ බීමත් වීරකම් හේතුවෙන් ඇගේ දකුණු ඇස තුවාල වී ඇත. ස්වාමියා සැඟව ගොස් ඇති අතර ඇය තනිව විත් රෝහල්ගතව ඇත. ඇයට දරුවන් සිටින්නේ පළමු විවාහයෙනි. පළමු සැමියා හෝ දරුවන් ඇය පිළිබඳව දන්නා බවක් පෙනෙන්නට නැත. දෙවන සැමියා සමග පැන යාම නිසා ඇගේ නෑදෑ හිත මිතුරන් සියල්ලන්ද ඇයට අහිමිව ඇත. මට හැඟුනු ආකාරයට ඇයගේ දෙවන සැමියා නීත්‍යානුකූලද නැත. සැමියන් දෙදෙනෙක්, දරුවන් හා ඥාතීන් සිටියද ඈ මසක් පමණ තනිව රෝහල්ගතව සිටින්නීය.

එම කාන්තාව සමග ගිලන් රිය නැවත පැමිණෙන තෙක් ජාතික රෝහලේ ඉදිරිපස බංකුවක් මත හිඳගෙන සිටියදී එම බංකුවේම අනිත් කෙලවර හිඳගෙන සිටි තරුණිය හඬාවැටෙනු දුටිමි. ඇය මුස්ලිම් ජාතික තරුණියක් වූ බැවින් කාන්තාව දෙමළ බසින් ඇය ඇමතීය. පසුව ඈ මට විස්තර කල පරිදි තරුණියගේ මව නොසිතූ මොහොතක මිය ගොස් ඇත. මරණය සමග සමීප අත්දැකීම් කීපයක්ම පැවතියද මෙම සිදුවීම මා නැවතත් කම්පනය කලේය.

මරණය සම්බන්ධයෙන් 'නොසිතූ මොහොතක' යන්න අදාල නොවන බවද මට වැටහුනි. අහිමිවීම නොසිතූ මොහොතක නොසිතූ වේශයෙන් පැමිණිය හැක.

ඇසට කෝටුවක් ඇනීම නිසාද, ඇසට ඇසිඩ් බිඳුවක් වැටීම නිසාද, ඇණයක් ගසනා අවස්ථාවක එහි හිස ගැලවී ඇස මත වැදීම නිසාද, බිත්තියේ පොටි තවරන අවස්ථාවක එයින් බිඳක් ඇසට වැටීම නිසාද අක්ෂි රෝගීන් බවට පත් වූ කිහිප දෙනෙකු හා මුලින් කී ගුණසේකර අංකල්ද මාගේ වාට්ටු මිතුරන් බවට පත්ව ඇත. එයින් එකෙක් දැන් නැත. ඇතැම් විට අද මට මේ මිතුරන් හැර දමා යන්නට සිදුවනු ඇත.

ඉන් පසු මුහුණ දීමට සිදුවන ලෝකය පිළිබඳ මට සියුම් බියක් ඇත. මට මුහුණ දෙන්නට වන්නේ අහිමි වූ ලෝකයකටද? කිසිවක් ගැන ඉක්මන් තීරණ ගැනීම සුදුසු නැත. එහෙත් අහිමි වීමේ වඩාත්ම වේදනාකාරී, හිමි වුවත් අහිමි වීමේ බියකරු අවදානමට මුහුණ දෙන්නට සිදු වේ යැයි මා නොසන්සුන්ව හිඳිමි. ළංව සිටියත් ඈත්ව ජීවත්වන්නට සිදුවන කෘතිම ජීවිතයක් හිමිවේ යැයි බියපත්ව හිඳිමි. එය වඩාත්ම බියකරු අහිමි වීමයි.

එහෙත් ජීවිතයට මුහුණ දෙන්නට සිදුවේ. ඒ ගැන සුභවාදී බලාපොරොත්තු දැල්වීම වඩා යහපත් බව මම සිතමි. එහෙයින් අහිමිවීම් දරාගෙන ජීවිතයට මුහුණ දෙන්නට මම ශක්තිය එක් කරමි. මරණය තෙක් හිතේ ගතේ පිරී තිබේ යැයි අපේක්ෂිත මාගේ ආත්ම ශක්තිය මම එක් කරමි.


1 comment:

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!