Showing posts with label music. Show all posts
Showing posts with label music. Show all posts

Thursday, 22 August 2019

අමිත් ද සංඛ



පද රචකයකු නැති
ගීයක් ගයයි
තමන්ම ලියූ ගීයක්
පැරණි තනුවක තාලෙට
ගයන්නට තතනයි

සිතට එන පද
ගැයෙන පිළිවෙල
අපිළිවෙලට
ලෝකය දුටුවාට
කවියකි එය සුමට

පද රචකයකු වී නම්
කොහෙ ලියවෙයිද
මේ පද කෙසේවත්
ලිව්වේ පද මමත්
තේරෙන විධියට මටත්

වැටුණ වතුරට
පිහිනන්න බැරිකමට
අතපය ගසන් අවට
දරයි තැත රැඳී ඉන්නට
ඔබන්නට එන්නෙපා යටට

පිහිනන්න හුරු වෙමි
එහා ඉවුරට පීනමි
ඒ ඉවුරත් රස බලමි
ඒකත් මේකමයි හිතුණොත්
ආයෙ මෙගොඩට පීනමි



Thursday, 9 May 2013

ඔයාගෙ කතාවත් අවුරුදු හතරකින් මැකී ගියාද?

අප්සෙට් ගී එක්ක රැ‍ඳෙන්න පුළුවන් කියල කලින් රේඩියෝ පෝස්ට් එකේ කිව්වනේ. ඉතිං මේ කියන්න යන්නෙ අප්සෙට් ගීත කීපයක් ගැන. අප්සෙට් කිව්වට අප්සෙට් නෑ. සින්දුනේ... ඇත්තම කිව්වොත් කිසිම සින්දුවක් අප්සෙට් නෑ. එක එක නීති රීති දාගෙන සින්දු අහල ඒවට ලේබල් ගහන අපි තමයි අප්සෙට්. හැබැයි එහෙම ලේබල් නොගහ සින්දු අහන එකත් සාමාන්‍යයෙන් අමාරු වැඩක්.

එව්වයෙන් වැඩක් නෑ.

සාමාන්‍යයෙන් සෑහෙන්න සින්දු අහන මනුස්සයෙක් විධියට සමහර සින්දු අහද්දි තේරෙන සමහර දේවල් ගැන නොකියා බෑ. මතකයිනෙ ශ්‍රී ලාංකික සමරිසි ගීත එකතුව ගැන, එහෙම නැත්තං සුද්දන්ගෙ සංගීත පිඟාන ගැන. අද කියන්න යන්නෙ ඒ දෙකටම වඩා වෙනස් එකක් ගැන...

අවුරුදු 4කින් කෙලවාගැනීම කියල කියන්නත් පුළුවන් මේකට. ඒ කියන්නෙ අවුරුදු 4 ලව් ගැන ගැන සඳහන් වෙන ගීත. විශේෂයෙන් ලියන්න තරම් ඒක විශේෂ වෙන්නෙ මේ ලක්ෂණ තියෙන සින්දු 4ක්ම මට හමුවීමයි. අනික මමත් අවුරුදු 4කින් කෙලවාගැනීම නිසයි... ඒක වෙන කතාවක්!


මේක තමයි පළවෙනි එක.


තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
‍රැගෙන යන්න සොඳුරියේ ඔබේ
සුවඳ මා ළගින් //

සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ //
අළුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ...

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ //
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේදෝ

තනි වෙන්නට මගේ ලොවේ...


සංගීතය - රෝහණ වීරසිංහයන්
ගී පද - බුද්ධදාස ගලප්පත්ති





අනේ පව්... අවුරුදු 4කින් ගොළු වෙලා ගිහින්. හැබැයි වික්ටර් රත්නායක තාම ගොළු නෑ.

බලන්න මෙයාට මොකද වෙලා තියෙන්නෙ කියලා


සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුණා
ආදරයට සිවු වසරක් ගෙවුණා

රතු මල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැණුනේ

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...

පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා

සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...





ආදරේට අවුරුදු 4 පිරෙන දවසෙ වෙන කෙනෙක් එක්ක යන එක හරිද මන්දා. චන්දන ලියනාරච්චිත් අවුරුදු 15ක් විතර පැණි බේරෙන සින්දු කිව්වට පෙළවහක් කරගත්තෙ මේ ළඟදිලු නේ...


මෙතන තියෙන්නෙ තව ඒ වගේ එකක්...


සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුණා
ඔබේ චපලකම හඳුණාගන්නට සිව් වසරක් ගෙවුණා

යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ
පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර නොයන බවයි කීවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා...

මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙළෙසද මා එන්නේ
පෙම් කල සිතකට වෛර කරන්නට සිත නෑ ඉඩ දෙන්නේ
සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ
ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන මම අද දුක්වෙන්නේ

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා...





පුන්සිරි සොයිසට නං වෙලා තියෙන්නෙ මේ වගේ අකරතැබ්බවල්ම තමයි.


මේකත් බලන්නකෝ. ඒ තරම්ම ජනප්‍රිය නෑ මගෙ හිතේ. හැබැයි මේත් එහෙම එකක්. මේක මට හම්බ වුණේ මෙතන තියෙද්දි.

හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ ගලායාවී හෙටත්
සරසවියෙ තුරුවදුලු මිලින වී නෑ තවත්
එහෙත් අද කුමරියේ ඔබ කොහිද මා කොහිද

එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඩුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමග නිදා සිටි අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා

හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්

මේ බිමේ සැඟව ඇති සිව් වසක අතීතය
යලි යලිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කරත්
නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා


සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
ගී පද - උපාලි මල්දෙණිය





අමරසිරි පීරිස් හන්තානට පායන හඳ ගැන අවුරුදු 4ක්ම අහලත් වැඩක් වෙලා නෑ...

ඇත්තට හන්තාන ගැන සින්දුත් බර ගාණක් ඇති නේද?

ඔය කිව්වෙ අවුරුදු හතරෙ කතාව... මේ කියන්නෙ මැකී යන කතාව...

අහල තියෙනව ඇති මේක. චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහත්තයගෙ...


මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා ඔබ මැකී ගියා

අහිංසකයි ඔබ පරාජිතයි මා
එකම හදයි මේ දෙකඩ වුණේ
සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
මියැදෙමු උපදින්නට ආයේ

මිරිඟුව නලියන පාර දිගේ...

අකුරු ලියා නැති හිස් පිටුවක් වී
හිතත් ඉතින් අසරණ වෙද්දෙන්
අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
මමත් ඔහේ අසරණ වෙද්දෙන්

මිරිඟුව නලියන පාර දිගේ...





මැකී ගිහිල්ල නේද? එතකොට මෙන්න මේකත් අහල ඇති අනිවාම! අමරසිරි පීරිස් ලේසියෙන් එහෙ මෙහෙ වෙන්න විධියක් නෑ...


ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා
ඉහිදුම් සලුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින්
ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා


සංගීතය - එච් එම් ජයවර්ධන
ගී පද - සුනිල් සරත් පෙරේරා





ඒකටත් පස්සෙ එහෙනං මේක... මේක පහුගිය ටිකේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්තයව උඩට උස්සල තියපු සින්දුවක්නේ. ඒකත් දැන් මැකිල ගිහින්...


ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්

තනිකමෙන් ගඟ ගලා යනවා
ස‍ඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැංගුනේ
අපි හමුවුනොතින් සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්

බලා ඉන්නම් තව හුඟක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා මගේ සිනා

ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි
සංගීතය - රදීශ් වැන්දබොනා
පද රචනය - ලසිත් ජයනෙත්තිආරච්චිගේ





එහෙනං හරිනේ... ඔය තමයි අහම්බෙන් අහුවුණ අවුරුදු හත‍රෙන් මැකී යන ගීත. මේවයින් ගන්න තියෙන්නෙ එකම එක ආදර්ශයයි. ඔයාලත් අවුරුදු 4 සමරන විධියෙ අවස්ථාවල් බලාපොරොත්තු වෙනවනං ප්‍රවේසං වෙන්න වෙයි. ‍මොකද නොසිතූ විධියට මැකී යන්ඩ ඉඩ තියෙනවා...

Friday, 12 April 2013

ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද!


පහුගිය 06 වෙනි සෙනසුරාද කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක ‍වගේ නේ... මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.

සංගීතය, ලංකාවෙදි නං ගීතය, සින්දු ගැන අපි ඕන තරම් කතා කරනවා. ඕන තරං සින්දු අහනවා. සාමාන්‍යයෙන් සංගීතය කියන එක විතරක් අහන්න තරං ඇම්මක් තියෙන උන් නං ටිකක් අඩුයි. නමුත් කොයි කවුරුත් සින්දුනං අහනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට සින්දු අහන්නෙ අහන්නං වාලෙ කිව්වොත් හරි. කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි, බූට් එකක් එහෙම කෑවම නං සින්දු හිටු කියලා මතක් වෙනව වුණාට සාමාන්‍යයෙන් වෙන අවස්ථාවලදි අපි සින්දු සීරියස් ගන්නෙ නෑ.

හැබැයි ඩවුන් ටවුන් පල්ස් කියන්නෙ සීරියස් වැඩක්. අඩු ගානෙ මම එහෙම හිතන්න කැමතියි. ඒ නිසාම ඒක අළුත් වැඩක් විධියට අඳුණගන්න තවත් සාධකයක් එකතු වෙනවා. රහක් නැති දියාරු බෝරිං සංගීත ව්‍යාපෘති අතරෙ මේක දැණෙන වැඩක් වෙන්නෙ ඒක නිසයි.

මුල්ම කාරණේ ම‍ට මේක සම්පූර්ණයෙන්ම ජීර්ණය කරගන්න බැරිවීම. ඒ කියන්නෙ ගෙදර ඉඳන් නිදහසේ අහන තරම් අවබෝධයෙන් මේක පහලට යවාගන්න බැරි වීම. දැනීම්, විඳීම් අතින් නම් වැඩේ යන්තම් ෂේප් කරගත්තා. නමුත් මේක එතනින් නතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැනිලා විඳලා එතනින් නතර කරන්න නම් මේ ගැන මෙහෙම කතා කරන එකෙත් වැඩක් නෑ.

ඒ නොහැකි වීමට හේතු වෙන පළවෙනි එක කොළඹ ආවම හැදෙන හිසේ ඇම්ම. සාමාන්‍යයෙන් ඇම්ම තියෙන්නෙ වෙන තැනක වුණාට කොළඹදි හිසේ ඇම්මකුත් එනවා. ඒක මට මෙතනට සෙට් වෙන්න ලොකුම බාධකය වුණා කියල මට හිතෙන්නෙ. අනිත් කාරණේ ඒක බලන්න යන්න සෙට් වුණ උන් ටික. උන්ගෙ රහ තිබුණෙ වෙන තැනක ;-) එතන වෙන ප්‍රොජෙක්ට් එකක් තිබුණ නිසා ඒකට සෙට් වෙන එක ප්‍රධාන වුණා. ඒ නිසා මේ සටහන ලියන්නෙ ඩවුන් ටවුන් පල්සෙදි රැප් කියපු drill team එකේ සින්දු එකහමාරක් විතර යද්දි නැගිටල ආපු එකෙක්.

ඩවුන් ටවුන් පල්ස් නිකංම නිකං සංගීත ප්‍රසංගයකින් වෙනස් වෙන්නෙ කොහොමද? මේ ගැන දැනටමත් තැන් කීපයක කතා කරල තියෙනව මම දැක්ක. ප්‍රධානම දේ මේ ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් වුණ ශිල්පීන් ප්‍රධාන ධාරාවේ නිර්මාණකරුවො‍ නොවීම. ඔවුන් විකල්ප සංගීතවේදීන් වීම. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල මේක කියවගෙන යනකොට සමහර විට පත්තු වෙයි. අනිත් කාරණේ ලංකාවෙ අපි ඉන්න සමාජ තලයෙදි ලයිව් නෑසුණ සංගීතයක් වෙනුවෙන් ඉඩක් ලැබීම. ඒ සංගීතය තුල සිංහල චවන මීට පෙර ඇහුණට වඩා වෙනස් විධියකට හඬනැගීම.

ප්‍රසංගය සම්බන්ධ මතකය පින්තූර ටිකකට එහා ගෙනියන්න අවස්ථාවක් ලබා දීම තමයි අනිත් විශේෂත්වය. ඒ තමයි මහා Down Town Pulse පුස්ථකය.

පොත


මේ වැඩේ කරන බේකරියෙ සෙට් එකේ විරාජ් මහත්තය මෙතන කියල තියෙන විධියට ලංකාවෙ විකල්ප සංගීතයේ මෑත යුගයේ තදයො විධියට අපි දන්න ඉන්ද්‍රචාප, නදීක වගේ අයගෙ අදහස් නම් පොතේ නැති වුණාට ප්‍රමාණික දැනුමක් තියෙනවයි කියල හිතන්න පුළුවන් කට්ටියක් පොතේ ගොඩක් දේවල් කියල තිබුණ. මම හැමදාම හිතනව වගේ මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි. ඒ නිසාම පොත මරු! ඇරියස් ටික ඊළඟ පාර අල්ලමු!

පොත කියවද්දිත්, වෙනත් ලිවීම් කියවද්දිත් මට තේරුණේ අපි ඕනම දෙයක් තේරුම්ගන්න කලින් ඒව අපි දන්න ආකෘතිවලට රිංගවන්න යනවය කියන එක. ඒක අපි හැමෝම කරන වැඩක්. ඒ ගැන ඉස්සර දවසක ලිව්ව මතකයි මෙතන සහ ඊටත් ඉස්සර මෙතන. (දැන් ඒ අතීතය ගැන ඉරිසියයි ඕයි!) අපි ලේසියටයි එහෙම කරන්නෙ. මොකද අපි දන්නෙ නැති, ඉගෙනගෙන නැති දෙයක් ගැන තේරුම්ගන්න කරන්න වෙන හැදෑරීම කරන්න අපි මාර කම්මැලියි. නැත්තං එහෙම හැදෑරීමක් ඕනය කියල අපිට හිතෙන්නෙ නෑ. ඒ නිසාම අපි දන්න ස්ට්‍රක්චර්ස් කීපයක් අස්සට දාල හැමදේම තේරුම්ගන්න යනව. ‍

ඩවුන් ටවුන් පල්ස් කණ්ඩායම් ගැනත් එහෙම කියවීම් කීපයක් මම දැක්ක. නිර්මාණකරුවා ගේන යෝජනාව අහනව වෙනුවට තමන් හිතං ඉන්න එක ඇතුලට නිර්මාණකරුවව ගේන්න යන එක. හරියට අපිට ඉන්න බොස්ල වගේ. එලියට බැහැල කල්පනා කරන්න කැමතිම නෑ. කොහොම වුණත් ඒ හින්ද සමහර කියවන්නන්ට ‍ඩවුන් ටවුන් පල්ස් නිර්මාණකරුවන්ව අහුවෙන්නෙ නෑ. ඕනවට වඩා ගොඩක් පොත් කියෙව්වමත් ඔහොම ඒව වෙනව මගෙ හිතේ.

එකපාර පොතට පැන්නට මට මුලින්ම කියන්න ඕන එතනදි සහ පසුව හිතුණ අමු දේවල් ටිකක් ගැන. මට මුලින්ම හිතුණෙ ‍ඩවුන් ටවුන් පල්ස් අතරෙදි ඔය කියන පල්ස් දෙකක් අතරෙ හෙන පත සානුවක් තියෙනව නේද කියලයි. ඒ කියන්නෙ ලොකු පල්ස් දෙකක් අතර ලොකු ෆ්ලැට් ගතියක්. එහෙම වුණේ ගොඩක් සංගීත කණ්ඩායම්වල නිර්මාණ එකම ටෝන් එකකින් තිබීම. සමහර විට ඔවුන්ට තියෙන එකම නිර්මාණ ටික ඒව වෙන්න පුළුවන්. නමුත් මේක අළුත් වැඩක්, සහ ප්‍රසංගයක් නිසා තෝරගන්න ගීත අතරෙ පොඩි ටෝන්මය විවිධත්වයක් තිබුණ නම් හොඳයි කියල හිතුණ.

ගෝෂා - චින්තක ගීතදේව


අජිත් කුමාරසිරි මේ කැටගරියෙ තදයා හෙවත් ආරම්භකයා කිව්වොත් හරි. ඔහු ගැන අපි දන්නෙ අවුරුදු ගාණක ඉඳන්. ඒ නිසාම මේ විධියෙ සංගීතෙකට කැමති අය අතරෙ අජිත් දැන් ස්ටාර් කෙනෙක්. එදා ඒක මට තේරුණා. ඔහුට එහෙම වෙන්න ඕනවට වඩා අවශ්‍යතා සම්පූර්ණයි. නමුත් ඔහු ගායනා කරපු ගීත ගැන මගෙ කැමැත්තක් නෑ නයි නටවන එක ඇරුණම. මේ දවස්වල ජිනීවා කේස් එක ආයෙමත් නැගල යන නිසා මාත් එක්ක හිටපු එක්කෙනෙක් පෙරුම් පුරාගෙන හිටියෙ ඒක කියයි කියලා. ඒ කොහොම වුණත් ඒ වගේ තැනකදි කලින් අපි අහපු දන්න සින්දුවක් කිව්වනං ‍වඩා හොඳ වෙන්න තිබුණා.

අජිත් කුමාරසිරි


කලිනුත් කිව්ව වගේ ‍ඩවුන් ටවුන් පල්ස් අවබෝධයෙන් ජීර්ණය කරගන්න විධියක් නෑ එතන තත්ත්වෙ උඩ. ඒ නිසා අළුත්ම සින්දු යූ ටියුබ් හරි මොකක් හරි එකකින් අහනකල් දිරවගන්න එක ලේසි වෙන එකක් නෑ.

අනිත් එක ඩ්‍රිල් ටීම්. එයාල එනව කිව්වම මම සතුටු වුණා. නමුත් එයාල වෙනුවෙන් තිබුණ ඇරෙන්ජ්මන්ට් එක ටිකක් අවුල් වගේ. ඒ නැතත් මොකක්දෝ අවුලක් තිබුණා. එතන හිටපු ක්‍රවුඩ් එකට එයාලව අල්ලගන්න පුළුවන් වුණාද මන්දා. අපිත් රැඳිල හිටියෙ එයාල එනකල්. නමුත් මැදදි නැගිටින්න වුණා.

ඩ්‍රිල් ටීම්


සමහර වෙලාවට සින්දුවලට පොලිටික් කෑලි උවමනාවෙන්ම දාලද මන්දා කියලත් හිතුණා. ඒ වෙලාවෙ හිතුණෙ. දැන් මතක නෑ මොනව ගැනද හිතුණෙ කියල. සමහර විට විකල්ප වීමේ උවමනාවම ඒකට පෙළඹෙව්වද මන්දා. ඔතනදි විකල්ප වෙන්නෙ කොහොමද, ඇයිද කියන එකත් හිතන්න වෙනවා. ලෝකෙ එක එක කාලෙදි ඒ ඒ තත්ත්වයන්ට අදාලව විකල්ප සංගීතඥයො බිහි වෙලා ඇති. ඒ කියපු විකල්ප සංගීතය කියල අපි දන්නෙ සංගීතෙ ප්‍රධාන ධාරාවකට අභියෝගයක් කරන වෙනත් සංගීතයක් කියල නම් ඒක ‍මෙතනදි හරි. මොකද මෙතනදි එලියට ආපු වචන සහ සංගීතය අපි සාමාන්‍යයෙන් සින්දුවලින් අහන වචන හෝ සංගීතය නෙවෙයි.

සාම්ප්‍රදායිකව අපි අහපු සිංහල ගීතයෙ වචන වෙනස් කලේ චාමින්ද රත්නසූරිය කියලයි මට හිතෙන්නෙ. අජිත් කුමාරසිරිව මට අහුවෙන්නෙ ඊට පස්සෙ. ඩැඩීල අහුවෙන්නෙ ඊටත් පස්සෙ. වෙන කව්රු නව රැල්ලට සින්දු කිව්වත් ඒ වචන හරිම සාම්ප්‍රදායිකයි. හැමදාම අපිට ආදරේ විග්‍රහ කරගන්න හඳයි, වැවයි, ඇසුයි නැතිව අමාරුයි. දැන් දැන් මේ සංකේත ටික නාගරීකරණය වෙලා වුණාට යොදාගන්නෙ අර අර්ථයෙන්මයි. පැහැදිලි චිත්‍රයක් වගේ දර්ශණය ගානට මවල දෙනවා. ඇස් දෙක පියාගත්තම සමනල්ලු පියාඹනවා. දැන් නං සමහරු මුලින් වීඩියෝ එකට නටලා ඒකට හරියන්න තනුවක් දාලා ඒකට වචන දාලයි සින්දු හදන්නෙ කියල තේරෙනවා.

මොනව වුණත් අපි විඳින හැඟීම් අමාරුවෙන් හරි වචන කරන එක චාමින්දට, අජිත්ට සහ ඩැඩීට පස්සෙ මට ටොප් එකටම අහුවුනේ ‍ඩවුන් ටවුන් පල්ස් වලින්. ඒ වචන අළුත්!

ඒ එක්කම අමිල සඳරුවන් ගැන මට තිබුණ අදහස තව පළල් වුණා කියල හිතෙනවා මේකෙන්. එයාගෙ ස්වභාවික ගැයිල්ල මට මතක් කලේ බොබ් ඩිලන්ව. ඩිලන්ගෙ අහල තියෙන සින්දු අතරෙ ඔහුත් බොහොම ස්වභාවිකව හඬ හැසිරෙව්ව කියල මතකයි. අමිල කියන මේ සින්දුව ඊයෙ පෙරේදා දවසක හමුවීම ආයෙමත් අමිලව අළුත් කලා.




කව්රු මොනව කිව්වත් මෙහෙම තැනකට ආපු ‍ඩවුන් ටවුන් පල්ස් සංගීතවේදීන් ගැන මට තියෙන්නෙ ලොකු පැහැදීමක්. සංගීතය කියන එක අවශ්‍ය අයට ඒක පිපාසයක් වගේ එකක්. එහෙම එකේ මිරිඟු ගොඩක් එක්ක ඉඳල හිටල වතුර වලක් හම්බවෙන කාන්තාරෙක උන් කරන වැඩේ සිරා.

මම දන්නෙ නෑ එතන හිටපු කී දෙනෙක් කවදා වෙනකල් වැඩේ දිගටම කරයිද කියලා. මොකද ලංකාවෙ නෙවෙයි කොහෙදිත් ජීවත් වෙද්දි මාකට් එක ඕන වෙනවා. ජීවිතේ එක්ක ගනුදෙනු කරද්දි පැෂන් එක අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. මමනං කියන්නෙ එහෙම වෙන දවසක අතෑරලා දාන්න කියලයි. නිකං පඩ ෂෝ සහ බයිල ගගහ අසාර්ථක ප්‍රොජෙක්ට්වල රැඳිල ඉන්න එපා.

මට අහුවුණ තව එකක් මේ විකල්ප කියන අයගෙ තියෙන සමාජ භීතිකාව ගැන කතා. මීඩියා භීතිකාව හෝ මීඩියා වලින් හැංගීම හෝ වෙනම කොටසක් විධියට කැපිල පෙන්න තියෙන උවමනාව කියල ගමු. ඒක මානසික අසහනයක්? මටනං එහෙම හිතෙන්නෙ නෑ. ඒ තරං මම එක්කෙනෙක්ගෙවත් ඇත්ත ජීවිතේ දන්නෙ නෑ. අර කලින් කියපු විරාජ්ගෙ ඉන්ටවිව් එ‍කේ තිබුණ විධියටනං මාධ්‍යවලට විකිණෙන්න ඕන නෑ කියල කට්ටිය කිව්වලු. අනේ මන්දා ඕවා.

උඹලට සල්ලි නෑ කියලනං මට හිතෙනව. තිබුණ නම් වීඩියෝවක් කරල දායි. මොකද ඇත්තටම එහෙම මීඩියාවලට ගියා කියල අවුලක් නෑ. සමහර විට යම් දවසක උඹල බලපෑමක් කරන්න පුළුවන් කොටසක් විධියට හැදෙද්දි ඒ අවකාශය ඕපන් වෙයි. එතකොට හැංගිල වැඩක් නෑ. හැබැයි මීඩියාවලට තමන්ව උරාගන්න දුන්නොත් විනාසයි. ඒක ගානට වෙන්න ඕන වැඩක්. පුළුවන් නම් මීඩියා එක්ක ගනුදෙනු කරන අළුත් විධියක් හොයාගනිල්ලා.

කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා උඹල කරන විධියට හරි කරන එක ලොකු දෙයක් කියල මම හිතන්නෙ. මොකද එහෙම නොකර ඉන්න අය ඉන්නවා. උන් වෙන වෙන බිස්නස් කරනවා. නැත්තං කම්මැලිකම හරි වෙන මොකක් හරි නිසා උන් මෙහෙම වැඩ කරන්නෙ නෑ. ඔය රියැලටි ප්‍රෝග්‍රෑම්වලින් එහෙම කුණු මුල්ලට වෙලා හිටපු උන්ට තල්ලුවක් දුන්නා. නමුත් අපි දන්නව රියැලටියෙන් එලියට එද්දි ගොඩක් විට උන් ආයෙත් හරි යන්නෙ කුණු මුල්ලටම තමයි කියල. මොනව වුණත් රියැලටියටවත් නොයා අතෑරල දාල ඉන්න උන්ට පට්ට මානසික අසහනයක් තියෙනව වෙන්න ඕන.

මේ ලියවිල්ලෙ තරංග ආයාමය සෑහෙන්න දිග නිසා නතර කරන්න වෙලාව හරි. අන්තිමේදි කියන්න තියෙන්නෙ කතා කාරයො මොනව කිව්වත් තමන්ට දැණෙනකල් වැඩේ ඇදගෙන යමු කියලයි. කොහොමත් අපේ රටේ න්‍යායකාරයො වැඩියි. ඒකට මාත් ඇතුලත්. දන්න මගුලකුත් නෑ කොරන උලව්වකුත් නෑ. දන්නෙ රටේ නැති මල විකාරවලින් කොල පුරවන්න විතරයි. ඒ පුරවන‍්නෙත් අනිත් මිනිස්සු කරපු කියපුව ගැන. ඒවත් ඕන තමා. හැබැයි ඒව බේස් කරගෙන වෙනස් වෙන්න උවමනාවක් නෑ. ඒ නිසා මම කියපුවවත් ගණං ගන්න එපා.

පුළුවන් තාක් දිගටම ගේමෙ ඉමු! ජය වේවා!



-----------------------------------------------------------------
පින්තූරවලට අනුග්‍රහය ලබා දුන් ලිෂාන්ට ස්තූතිය!

ඩවුන් ටවුන් පල්ස් පස්සෙන් යන්න ඕන නම්!
down town pulse on FB

Thursday, 4 April 2013

ඩවුන් ටවුන් පල්ස් බලමුද?


සංගීතය කියන එකට පැහැදිලි ඩෙෆිනිෂන් එකක් කවුරුවත් දීල තියෙනවද කියල මම දන්නෙ නෑ. මේ වෙනකොට කියවල තියෙන හැම ඩෙෆිනිෂන් එකක්ම තියෙන්නෙ එක රාමුවකට කොටු වෙලා. ඒ කියන්නෙ එක්කෙනෙක් උත්තර භාරතීය රාගධාරී සංගීතය යනු සංගීතය වේ කියල කියද්දි තව කෙනෙක් යුරෝපීය සංගීතය යනු සංගීතය වේ කියල කියනවා. ඔය හැම සංගීතෙකටම වඩා දකුණු ඇමරිකානු සංගීතෙ සංගීතෙ තමයි කියන කට්ටියකුත් ඇති.

ඔය ගොඩ දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්ණෙ ඔය සංගීත නිර්වචනයෙදිත් එනවා.

අපේ එක චෝයි ඔයාගෙ එක කක්කි!

අපේ එක තමා හොඳ කියන එක අපේ ඔළුවට අමුණපු සර්කිට් බෝඩ් එකක්.

හැබැයි ඔය සර්කිට් ගලවල ටිකක් නිදහසේ හිතුවම සංගීතය කියන්නෙ අපි හිතනවට වඩා ලොකු එකක් කියල තේරෙන්න වැඩි කාලයක් යන එකක් නෑ. අපට ඒ සම්පූර්ණ ටිකම දැණෙන්නෙ නැති වෙන්න පුළුවන්. හැබැයි අනිත් මිනිහ අහන එව ගැන ඉවසන්න අපට පුළුවන් වෙනව එහෙම වුණාම.

සමහර විට අපි කවදාවත් කැමති වෙයි කියල හිතන්න බැරි සංගීතෙකට අපි කැමති වෙන්නත් පුළුවන් එතකොට.

ලංකාවෙත් සංගීතෙ කියල අපි දන්න කාලෙ ඉඳන් පවතින ධාරාවක් තියෙනවා. ඒක ඔය ඉස්සර කෝලම්, ටීටර් වල ඉඳන් චිත්‍රපටි ඔස්සේ ජෝතිල වික්ටර්ල හරහා ඇවිත් භාතිය සංතුෂ්ල ඉරාජ්ල ශිහාන්ලගෙනුත් පස්සෙ මේ වෙද්දි ඔය රුවන් හෙට්ටිආරච්චි වගේ කෙනෙක් ගාවට ඇවිත් තියෙනවා.

හැබැයි ඒ මේන් ස්ට්‍රීම් එක.

ඔයිට විකල්ප ස්ට්‍රීම් කීපෙකුත් තියෙනවා. කසුන් කල්හාර, නදීක ගුරුගේ වගේ අය එයිට විකල්ප වෙන ස්ට්‍රීම් එකක යනවා. ඇත්තටම ඒව විකල්පමයි කියල කියන්නත් බෑ.

ඔය ස්ට්‍රීම් කිව්වට ඒව මේ වෙන වෙන ම ගලාගෙන යන ඇල පාරවල් නෙවෙයි. මම කැමතියි ඒව වෙන් වෙන්ව ගලන ඒත් යම් අවස්ථාවලදි එකට එකතු වෙමින් ආයෙම වෙන් වෙමින් ගලන ඇල පාරවල් කියල හිතන්න.

හරි... බයිල නොගහ කියන්න ආපු වැඩේ කියඤ්ඤං!

ඉතිං ඔය කියපු ඇල පාරවල් අතරින් වෙනස්ම වුණ ඇල පාරවල යන සෙට් එකක් අප්‍රේල් 6 වෙනිද කොන්සර්ට් එකක් කරනවා. තියෙන්නෙ කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව හවස 7 ඉඳන්!
ඒකෙ නම තමයි Down Town Pulse කියන්නේ. වැඩි විස්තර ඕන අයට පහලම දීල තියෙන සම්බන්ධතා පාවිච්චි කරල ඒ ගැන දැනගන්න පුළුවන්. ඒ වුණාට මුකුත්ම නොකියත් බෑනෙ.


ඩවුන් ටවුන් පල්ස්

2013 අප්‍රේල් 06 හවස 7 සිට

මහල්වරාව බේකරිය අසල

ගාස්තු කිසිවක් නැත


මේක මේ පවත්වන්නෙ දෙවෙනි වතාවට. ගිය අවුරුද්දෙත් අපේ කට්ටියටම මේක ගැන ඔත්තුව ලැබුනෙ බොහොම කලින්. ඒ වුණාට අපි ඒක ගණං ගත්තෙ නෑ. මොකද සහභාගි වෙන සංගීත ශිල්පීන්ගෙන් කලින් නම හරි අහල තියෙන අය හිටියෙ කීප දෙනයි. ඒ වුණාට පස්සෙ ඒ ගැන විස්තර ඇහුවම නොගිය ගොන් කම ගැන කම්පා වෙන්න වුණා. ඒ නිසා මේ පාරනං අතාරින්න හිතක් නෑ.

මෙන්න මේ අය තමයි එදාට සින්දු කියන්නේ...


අමිල සහ ගිහාන් ප‍්‍රමුඛ HAPPY JOURNEY

ගීතදේව සහ ෂැගී සමඟ GHOSHA

ඉසුරු කුමාර සමග MIXMASTER BLONG

සරා සමග WANTED

සාක්‍යා සහ චරිත් සමග WAKHAN THANKA

අජිත් කුමාරසිරිගේ NO BAND WITH AJITH

මාධව සමඟ SKITZO

WESTනාහිර DRILL TEAM

O2 හෙවත් අම්ලකර


අපි කීප දෙනෙක් නම් සැට් වෙන්න පතාගෙන ඉන්නවා... හැකියාවක් තියේනං සංගීතෙ වෙනම විධියෙ අත්දැකීමක් විඳින්න කැමතිනං යන එකයි ඇත්තෙ ඕං...



ඩවුං වටුං පුල්සේ විස්තරේ ‍මෙව්වයිං බලාගන්ට!


‍මූනත්තහඩු පුස්තකේ විස්තරේ

සංවිධායක විරාජ් අයියගේ මාධ්‍ය සාගජ්ජාව

කල්ට් ලියන ධර්මෙ අයියගෙ අටුවාව

කුරුළු නාදේ

ගූ ගල් පුල්සේ

ඔබ නළයෙන් ගලයි...

Saturday, 9 March 2013

ගිලිහුන ස්වර - නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ, අජිත් කුමාරසිරි


මේ කෙටි සටහන ලියවෙන්නෙ ගිලිහුන ස්වර වාර්තා වැඩසටහන බෙදාගන්න විතරමයි.

සංගීතය කියන නිමක් නැති අවකාශයේ තැන් තුනක ඉන්න තුන් දෙනෙක් ඒ ගැන කතා කරන දේවල් දැනගන්න!

නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ සහ අජිත් කුමාරසිරි මේ කතා කරන්නෙ සංගීතය ඔවුන්ට දැණෙන විධියට.

අධ්‍යක්ෂ සංජීව අනුර සෙනෙවිරත්න කියන විධියට මේ වාර්තා වැඩසටහන මාධ්‍ය වලින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා ඔන්ලයින් මාධ්‍යය හැර මේක බලන්න වෙන විධියක් නැති වෙයි ;-)



Wednesday, 31 October 2012

එහිතට ඇමතුවෙමි


හැම පැත්තකම විසිරුණු සිතුවිලි එක්ක සටහනක් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්ණෙ කාලෙක ඉඳන් දැණෙන්න අරන්... ලියන්න කිසිම උවමනාවක් නැති වුණාම, සිතුවිලිවලට පාවෙලා යන්න ඉඩ දුන්නම එහෙම එක පාරම දෙයක් ලියන්න අදහස් කේන්ද්‍රගත කරගන්න එක ටිකක් අවුල්...  කිසි දෙයක් නොලියා ලියන එක ගැන හිතන එක සේරටම වඩා තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක්. එකම එක මාතෘකාවක් වටේ ගොනු වුණ අදහස් ගොඩක්... ඒව ලිවීම තුලින් එලියට එන්න කලින්ම උත්කර්ෂයට පත්වෙලා මං තුලම නැති වෙලා යනව... ලිවීමේ තෘප්තිය ක්‍රමයෙන් සිතීම තුලින්ම ලබාගන්න පුළුවන් දෙයක් වෙලා...

හෙහ්... ඉස්සර නං කමෙන්ට් එකක් වැටෙනකල් ලිවීම සම්පූර්ණ වෙන්නෙ නෑ... ටිකෙන් ටික ලිවීම විතරක් ප්‍රමාණවත් වුණා...ඒ තෘප්තිය ලබාගන්න දැන් ඒ තරංවත් මහන්සි වෙන්න දෙයක් නෑ... සිතිවිලි තුලම ගැබ් වෙලා තියෙන තෘප්තියට විවෘත වෙන එක ලියනවට වඩ බොහොම සරල දෙයක්...

නමුත් නොලියා ඉන්න එකත් දනවන්නෙ මහ ඇල්මැරුණු හැඟීමක්. දැනට වේලෙන බ්ලොග් කීපයක්ම ප්‍රොෆයිලයේ තියෙන එක ගැන දැණෙන්නෙ පොඩි වරදකාරී හැඟීමක්.

මට ලිවීම කියන්නෙ එක්තරා පරීක්ෂණයක්... භාෂාව කියන මැටි ගොඩ අනල රූප හැදීමක්... මේ බ්ලොග් එක පුරා මම තවමත් කරමින් ඉන්නෙ ඒකද මන්දා... ඒ ලිවීම් හැම තැනම විසිරිලා... සමහර විට මාවත් තැතිගන්වන තරමටම ඒව ව්‍යාකූලයි... ඒ නිසාම සමහර විට කවදාවත් මම කියන මනුස්සයට අනන්‍යතාවයක් නැති වෙයි...

ඒ එක්කම මේ දවස්වල ගෙවෙන කාලගුණය ලියනවට වඩා හොඳට මත්වෙලා නිදාගන්න බල කරන විධියෙ එකක්.

පෝය දවසෙ උදේ දහයට විතර ලා චුරු චුරුව අස්සෙ නැගිට්ට ගමන් මට හිතුණෙ 'චහ්... අද බොන්න මරු දවස' කියල... මේ වැහි කාලෙ හොඳ මත් වෙලා ඉන්න...

අද දවසෙම ලා වැස්සක්. දවසම අඳුරුයි. අපේ නැන්ද ඉස්සර කියන්නෙ එහෙම දවස් හරි මූසලයි කියල. ඒ වුණාට ඒ වගේ දවස් තියෙන්නෙ ඇත්තටම ගෙදරට වෙලා නිදාගන්න. හිතට කතා කරන්න... මමත් එක්ක කතා කරන්න... ඇත්තම කිව්වොත් මමවල් එක්ක කතා කරන්න...

ඇත්ත මම නොවෙන මමවල් ගොඩක් අපි හැමෝගෙම ඇතුලෙ ඉන්නවා. ඒ හැමෝම එක එක වෙලාවලදි ජීවිතේ එක එක චරිත රඟපානවා. ඔය චරිත සේරම එකට සම්බන්ධ කරන 'මම' කියන මනුස්සයා හැමවෙලේම ඉන්නෙ හැංගිලාද මන්දා. ජීවිතේ ඇතුලෙදි අපිට අපව කොයි තරම් හංගන්න වෙනවද? අපි කොයි තරම් රඟපානවද?

අවසානයේ සැබෑ 'මම' ගණුදෙනු කරන්නෙ මරණයත් එක්ක විතරයි.

හැමෝම මරණයට බයයි. ඒ බයෙන් ගැලවෙන්න අපි හැමෝම කරන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේ ජීවත් වෙන්න යන එක. මරණය අමතක කරන එක. මරණයටත් රඟපාන්න යන එක. ඒ හැම එකක්ම තාවකාලිකයි කියල හිතන්න අපි කැමති නෑ. හිතුව කියල ඇති වැඩකුත් නෑ එක අතකට...

ඔව්... ඔයා සිරා පොරක් නම් මැරුණට පස්සෙත් මිනිස්සු ඔයාව ජීවත් කරවල තියයි. එහෙම අය ඕන තරම් ඉන්නවා... සමහරු අවුරුදු දෙදාස් ගණන්... ඒත් කවද වෙනකල්ද? ඕන නම් තව අවුරුදු දෙදාස් ගාණක්?

ඔය ගැන කව්දෝ කියල තිබුණ මෙහෙම...

'තමන්ව මිනිසුන් අතර මතකයේ රඳවාතැබීම උදෙසා ජීවත් වෙන්නා තම ජීවිතය වින්දනය නොකරන්නෙකි'

ඔය ගැන කියද්දි මට මතක් වෙන්නෙ අපේ කාර්යාලෙ හිටපු පපඩම් හොද්ද හදපු කලූව. මැරෙන්න බය නැති මම දන්න කීප දෙනා අතර මිනිහත් එක්කෙනෙක්. කාටවත් කරදරයක් නෑ.. හැමෝවම සතුටු කලා. හැමවෙලේම සන්තෝසෙන් හිටියා...

කලූ තමන් මැරුණම පස්සෙ කල යුතු දේවල් ලියල තිබ්බා.

ඔහු කිව්වෙ පැය 24ක් ඇතුලත තමන්ගෙ අවසන් කටයුතු සිද්ධ කරන්න ඕන කියලයි. ඒ අන්තිම කැමතිපත්‍රය ලියවගත්තෙ කාර්යාලෙම කෙනෙක්ට කියලා. වැදගත්ම වැඩේ වුණේ මළගෙදර පුරාම ජෝතිපාලගෙ සින්දු දාල තියෙන්න උවමනා වීම. ඒක කලූගෙ අනිවාර්යය ඉල්ලීමක් වුණා. ආගමික කටයුතු වලට ලැබුණෙ දෙවෙනි තැන. තවමත් තමන්ගෙ ආගම ගැන ඔහුට තිබුණ අවිනිෂ්චිත විශ්වාසය මත ඔහු ඒකටත් අවස්ථාවක් දීල තිබුණා.

ජෝතිගෙ සින්දු කැසට් ගණනාවක් කලූ ගාව තිබුණා. කලූ මැරෙණ කාලෙ වෙද්දි කැසට් නැති වෙයි කියල මම කියපු නිසා මිනිහ මට කියල ජෝතිගෙ සින්දු සීඩී වලට දම්මගත්ත.

ජෝතිගෙ සින්දු සීඩී තුන හතරක් ගෙනිහින් දීල සතියකට පස්සෙ මිනිහ මාව හම්බ වෙන්න ඇවිත් දෙකට නවපු කඩදාසියක් දුන්න. ඒක රේස් තුණ්ඩුවක කාබන් පිටපත වදින නිල් කඩදාසියක්. ඒකෙ ලියල තිබුණෙ මම දීපු සීඩීවල නොතිබුණ සින්දු කීපයක්...

'ඊළඟ දවසෙ ඔය ටිකත් එක්ක තව සින්දු ටිකක් ගෙනත් දෙන්න මහත්තයා.. මේ දවස්වල හැමදාම රෑ වෙනකල් අහන්නෙ ඒව තමයි පුතාගෙ ඩෙක් එක තියෙනවනේ...'

කලූගෙ කලුව නැතිකරපු හිනාව මූණ පුරා ඇදිල තිබුණ...

ඔහු මරණය ජයගත්තු කෙනෙක් කියල මට හිතුණ. අඩු තරමෙ ඒ වයසෙදි ධාර්මික වෙන බහුතරයකට වඩා වෙනස්වෙලා ඔහු මරණයට මැදඟිල්ල කෙලින් කරල පෙන්නමින් හිටිය.

මම හිතන්නෙ ඔහු සතුව තිබුණෙ සීමිත චරිත කීපයක්... එක එක කෙනාට එක එක මමවල් ඔහු සතු වුණේ නෑ... මරණයෙන් පස්සෙ ඔහු මොන විධියට පවතින්න ඕනද කියන එක ගැන අදහසක්වත් ඔහුට තියෙන්න නැතිව ඇති. මැරුණට පස්සෙ වෙන දේවල් ගැන මොන රෙද්දකට මහන්සි වෙනවද...

ඒත් මම සතුව මමවල් ගොඩක් ඉන්නව... මටවත් ගණින්න බැරි තරමට... බලුකං, කුහකකං, මරිසිකං හැම එකකින්ම පිරුණු මමවල්...

ඒ හැමෝම මගෙන් එලවල දාන්නෙ නින්ද විතරයි... මල ඉලව් හිත නවත්තන්නෙ නින්ද විතරයි...

ආයෙමත්... මේ කාලෙ හොඳ හොඳට මත් වෙලා නිදාගන්න...

මේ කාලෙ විතරක් නෙවෙයි... කොයි කාලෙත්!!!

Saturday, 29 September 2012

ගැහැණු අදාල කරගැනීම

ගැහැණුන් කියන බොහොමයක් දේවල් වලට පිරිමින් එකඟ වෙන බව පෙන්නුවත් ඇත්තටම ගැහැණු සම්බන්ධ සුළු කාරණා කීපයක් ඇරුණම එයාල සම්බන්ධව වෙනත් කිසිම දෙයක් පිරිමින්ට අදාල නෑ. ඇත්තම කිව්වොත් විශේෂයක් නෑ. ගැහැණු සම්බන්ධව එයාල මොනව කරගත්තත් ඒක පිරිමින්ට ප්‍රශ්ණයක් නෙවෙයි. පිරිමින්ට උවමනා වෙන්නෙ තමන්ට අදාල ටික ගැහැණු අතින් ඒ විධියට සිද්ධ වෙන එක විතරයි.

අවුරුදු කීපෙකට කලින් මගේ මිත්‍රයා සංජීව එයාගෙ බිරින්දෑ එක්ක ආපු වෙලේ අපි ගැහුවා සුපුරුදු පරිදි ටවුම වටේ පොඩි රවුමක්. ඒක අපේ යාළුවො සෙට් එක එකතු වුණාම පුරාණෙ ඉඳන් කරගෙන ආපු සාමාන්‍ය වල බැහිල්ලක්. මේ පාර සංජීවගෙ බිරින්දෑ ෂානිකා එක්ක මංජුලගෙ ගෑණු ළමයත් අපට එකතු වුණා.

ටවුමෙ මැදදි ගෑණු ළමයින්ට ඕන වුණා ෂොපිං කරන්න. පිරිමි අපිනං කවදාවත් එහෙම සෙට් වුණාම ෂොපිං කරන සිරිතක් තිබුණෙ නෑ. අපි වැඩිම වුණොත් පකඩ හෝ කඩල ටිකක්, වඩේ කීපයක් අරන් හප හප යයි. ඒ වුණාට මෙදා පාර ඒක වුණේ එහෙම. ගෑණු අයට ෂොපිං කරන්න යන්න දෙන එක කල යුතු වැඩක් වුණා. ඉතිං කාන්තාවො ෂොපිං කරල එනකල් අපි කඩේ එලියට වෙලා කදයක් දැම්මා.

ඒ වෙනකොට මට ආපු ප්‍රශ්ණෙ කාන්තාවොත් එක්ක ෂොපිං කිරීමේ ගැටළුවට මූණ දෙන්නෙ කොහොමද කියන එක. ඒ වෙනකොට පවුල් ජීවිතේ අත්දැකීම් තිබුණ සංජීවගෙ උත්තරේ හරිම සරළයි.

"ඕන එකක් ලස්සනයි කිව්වම වැඩේ ඉවරයි. දවසක් මායි ගෑණියි ඇඳුම් ගන්න ගියාම එයා එකක් ‍තේරුවම ඒක හොඳ නෑ කියල මම කිව්ව කියල මාර ප්‍රශ්ණයක් වුණේ.. එදා ඉඳන් මම එකක්වත් හොඳ නෑ කියන්නෙ නෑ... ඇත්තටම උන්ට කැමති එකක් කරගත්තට අපිට ඒක අදාලම නෑනෙ බං... මට අදාල වෙන ටික හරියට තියෙනකල් පවුල් අවුලක් වෙන්නෙ නෑ..."

මේක සාමාන්‍යයෙන් හැමවෙලේම වගේ ඇත්තක්. පිරිමි අය ගැහැණු අයවත් ගැහැණු අය පිරිමි අයවත් ඔහොම පොඩ්ඩක් රවට්ටනවා... ඒක එකිනෙකාට නොකියා ඉන්න තාක් කිසි ප්‍රශ්ණයක් නැතිව වැඩේ වෙයි... කිව්වොත් වෙන්නෙ මෙහෙම රෑ තිස්සෙ ඇහැරගෙන අකුරු කොටන්න.

කාන්තාව රවට්ටන්නෙ නැතිව බොහොම තදින් ඇයට ඇත්තම කියලා ජීවිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරගෙන ආදරේ කියන සංකල්පය ඇතුලෙ පවතින එක මාර අමාරුයි. එහෙම වෙන්න තියෙන නොහැකියාව ගැන මට හොඳ අත්දැකීම් තියෙන නිසා අන්තිමේ මම තීරණය කළේ ආදරේ කියන්නෙ සංස්කෘතික මරිසියක් කියල.

අර චාමින්දගෙ වචන ටික නදීකගෙ ගිටාර් කෑලි අස්සෙ කසුන් කියල දාන්නෙ නියමෙට...


Wednesday, 15 August 2012

කළු නැන්දගෙ දුව

අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර තවමත් මට මතක තිබේ. ඔවුන් ගොවිතැනින් දිවි ගෙවූ අහිංසක මිනිසුන් ලෙස මා සිතේ තැන්පත්ය.

එම පවුල් දෙකම වෙසෙන්නේ එකම ඉඩමකය. එය වර්තමානයේදී ඔවුන්ගේ දරුවන්ගේ වාසභූමීන් ලෙස බෙදී යමින් තිබේ. නමුත් ගහ කොලින් වට වූ අඳුරු පාළු ස්වභාවයකින් යුතු වූ එම ඉඩම මට තවමත් මතකය.

සුදු නැන්දාගෙත් කළු නැන්දාගෙත් දරුවන් මටත් වඩා වැඩිමහලුය. ඔවුන්ගෙන් ඇතැමෙක්ද දැන් තරමක දරුවන් සිටින දෙමාපියෝ වෙති. ඒහෙත් කළු නැන්දාගේ පුතුට අමතර එකම දියණිය වයස අවුරුදු 40ක්ද ඉක්මවමින් අවිවාහකව වෙසෙන්නීය. මා කළු නැන්දාගේ දුව ලෙස හඳුන්වන්නේ ඇයවයි.

හිටි අඩියේ කළු නැන්දාගේ දුව මතක් වීම අහම්බයක් නොවේ. ඇය කොහොමත් සුනිල් එදිරිසිංහයන්ගේ 'චන්ද්‍රමඬල' ගීතය හේතුවෙන් සැලකිය යුතු කාලයක් අමරණීය වී සිටිනු ඇත. චන්ද්‍රමඬල ගීතය ගී පැදුර වෙත ලිවීම සඳහා සොයන්නට වූ විට මට යූ ටියුබයේ තිබී හමුවුණේ නිධානයකි. සුනිල් එදිරිසිංහයන්ගේ ජව සම්පන්න හඬ සදා නොමැකෙනු ඇතැයි විශ්වාස කිරීමට මා කැමති වුවද එය වියැකෙන දිනක් පැමිණෙන බව මම දනිමි. සුනිල් එදිරිසිංහයන් සහමුලින්ම අමතක වන අනාගතයක්ද වන බව මම දනිමි. එහෙත් චන්ද්‍රමඬල ගීතය ගුවන්විදුලියේදී කුඩා කල සවන් විඳි වතාවලදී මෙන්ම වර්තමානයේදීත් මා වෙත කළු නැන්දාගේ දුව සිහිගන්වයි.



කළු නැන්දාගේ දුව රැකියාවක් කරයි. එය සුවිශාල වැටුපක් හෝ සමාජ තත්ත්වයකට හිමිකම් ලබන්නක් නොවේ. ඇගේ රාජකාරි ස්ථානයට යාමට සිදුවන අවස්ථා වලදී ඇතැම්විට ඇය මට හමුවේ. එවිට ඇය 'කොහොමද මල්ලී' යැයි මා අමතා කල හැකි උදව්වක් කරයි. සාමාන්‍යයෙන් කාර්යාලයෙන් ප්‍රමාද වී පැමිණෙන දින වලදී මා ගම මැදින් නිවසට පැමිණෙන අතරමග ඈ පසු කර යමි. ඇය තමන්ගේ නිල ඇඳුම වූ නිල් පැහැ සාරිය හැඳ ඇගේ මිතුරියක්ද සමග ගමන් ගන්නීය. ඇය අහම්බෙන් හෙළන බැල්ම විටෙක මා නෙත ගැටෙන අතර ඒ බැල්ම මතින් ඇය බෙහෙවින් තෘප්තිමත්ව සිටින බවක් මම හඟිමි. අවස්ථාව අනුව ඇයට සිනාවකින් සංග්‍රහ කරමි.

වසරකට පමණ පෙර මාගේ නැන්දණියගේ අභාවයේ සත්දින පිංකම දැනුම්දීම සඳහා මා කළු නැන්දාගෙ නිවසට ගියෙමි. එය පෙර කී ඉඩමේ කෙළවර කඳු බෑවුමක පිහිටා ඇත්තකි. මෝඩ ගඩොලින් බැඳ වැලි මිශ්‍ර මැටි බදාමයෙන් කපරාරු කර ඇත. විමසිල්ලෙන් බැලූ විට එය එකම එක කාමරයක් පමණක් බව පෙනේ. නමුත් පැරණි ගැමි නිවසක මෙන් විවෘත කුඩා ආලින්දයක් එහි විය. ගෙබිම ගොම ආලේපනයකි. ඒ ආලින්දය කෙළවරක පොළොවේ මැටියෙන්ම සාදා ගොම ආලේප කල ලිප් දෙකකි. ඒ මත දැල්වී අවසන් වූ දර අඟුරුය. පසෙකින් දර කැබලි කීපයක් සහ මැටි හට්ටි කීපයකි.

ගෙතුළ සිට සමස්ත හිසම ‍ඇතිරිල්ලකින් ආවරණය කරගෙන කළු නැන්දා පිටතට පැමිණියාය. ඇයගේ මුහුණුවර කුඩාකල මතකයන් අතුරින් මතුකර ගැනීමට මා දැරූ තැත ව්‍යර්ථ විය. දැන් ඇයගේ මුවේ ඇත්තේ එක් දතකි. ඇය උපැස් පලඳින්නීය. කාලවර්ණව තිබූ කෙස් සැලකිය යුතු තරමක් සුදු වී ඇත.

මා ඇයට දානය ගැන පවසා ඇගේ සහභාගීත්වය අපේක්ෂා කරන බැව් පැවසීමි. දානය කෙසේ වෙතත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට තමා පැමිණෙන බව දන්වමින් ඇය ආගිය තොරතුරු කියවන්නට විය.

ඇයත් දියණියත් එම නිවසේ වෙසෙයි. දිනපතා උදෑසන 6ට රාජකාරියට වාර්තා කිරීමට දියණිය පිටව යන්නීය. ඇය ඊට ප්‍රථම ආලින්දයේ ඇති ලිපේ බතක් සහ එළවළුවක් දෙකක් පිසියි. දිවා ආහාරය ලෙසද මුලක් බැඳගන්නා ඇය නික්ම ගිය පසු කළු නැන්දා නැවතත් විවේකයෙන් වෙසෙයි. උදේ දවල් දෙක එක් වේලකින් පිරිමහගනියි. දියණිය සවස 5-6 අතර සේවය නිමවී පැමිණෙන තුරු බලා හිඳියි.

ඇය තම අවිවාහක දියණිය පිළිබඳ දුක් වන්නීය. නමුත් ඇයටද විකල්පයක් නැති සෙයකි. දියණිය තම තනිකම රැකියාවට දියකර හරී. නිවසට පැමිණ ගුවන් විදුලියෙන් සිත මොට්ට කරගනියි. සිත මුළා කරගනියි.

කළු නැන්දාගේ දියණිය කාලවර්ණය. උසය. සිනාව පියකරුය. ඇය පිළිබඳ අනුකම්පාත්මක හැඟීමක් මට ඇත. එය දැනෙන්නට පටන්ගත්තේ ඇයගේ දින චර්යාව පිළිබඳ කණ වැකුණු දා පටන්ය. ජීවිතයේ තනිකම දිනයේ සිදුවීම් තුළ බොඳකරගන්නට ඇය උත්සාහ දරයි.

ඇයගේ ජීවිතය කුමන අතකට යන්නේද යන්න පිළිබඳ මට අදහසක් නැත. කළු නැන්දාත් ඇගේ දියණියත් පිළිබඳ මට ඇත්තේ දුකකි. අසංවේදී වීම දුක නැති කිරීමේ මග ලෙස මට වැටහී යමින් ඇත. මන්ද මා ඉපදෙන්න‍ටත් පෙරම මාගෙන් සැලකිය යුතු කොටසක් මට අහිමිව ගොස් තිබේ.

තවමත් සතියකට දෙකකට වරක් කළු නැන්දාගේ දුව බැල්ම හෙළා සැඟව යන්නීය. දැන් ඇගේ බැල්ම තුල මට සතුටක් පෙනෙන්නේ නැත.

Saturday, 11 August 2012

ප්‍රේමකීර්ති ද අල්විස් - විචිත්‍ර ගීපද රචකයෙක්, වචන විශිෂ්ඨයෙක්, සුපිරි සන්නිවේදකයෙක්...


මාස කීපයකට කලින් ප්‍රේමකීර්ති පිළිබඳව ලියන්නට මට උවමනා වුණා. ක්ලෝඩ් ප්‍රනාන්දු මහතා විසින් ලංකාවෙබ් අඩවියට රචිත ලිපියක් හැඩගස්වා දැමීම වඩා හොඳ බව හිතුණේ එය සරල සහ විස්තරාත්මක එකක් වුණ හින්දා. ඒ වුණාට කම්මැලිකම මාව පස්සට ඇද්දෙ වැඩේ බාගෙට තුන්කාලට නතර කරලා. නමුත් එහෙම කරල හරි යන්නෙත් නැති නිසා මේ ලියවෙන්නෙ ඒ ලිපියයි. ක්ලෝඩ් මහතාගෙ ලිපිය වගේම ප්‍රේමකීර්ති ගැන ලියවුණු වෙනත් අඩවි කීපයකටත් ගොඩවදින්න සිද්ධ වුණා මේ වෙනුවෙන්.

-------------------------------------------------------------

ප්‍රේමකීර්ති ද අල්විස් - විචිත්‍ර ගීපද රචකයෙක්, වචන විශිෂ්ඨයෙක්, සුපිරි සන්නිවේදකයෙක්...



ඒ දුක්මුසු දවස මට තවම මතකයි. මේ දවස 1988 පෙබරවාරි 16 වෙනිදා. ගුවන්විදුලි සංස්ථාවෙ විකාශයට සවන් දෙන එක මගේ දවසේ අංගයක් වුණා. සාමාන්‍ය විධියටම මම දවල් 12.45 සිංහල ප්‍රවෘත්ති අහන්න රේඩියෝව දැම්මා. ප්‍රවෘත්ති නිවේදකයා එකපාරම කියවන එක නතර කලා. විනාඩි 2-3ක නිහඬතාවයක් ගත වුණා. ප්‍රවෘත්ති විකාශය නැවතීම ගැන මට ඇතිවුනේ කුතුහලයක්. ඒත් නොහිතපු විධියට තවත් හුරුපුරුදු කටහඬක් ඒ නිසලතාවය බින්දා. ප්‍රේමකීර්ති ද අල්විස් ඒ ශෝකජනක, ඛේදජනක පණිවිඩය ජාතියටම කිව්වා. ඒ ජනප්‍රිය චිත්‍රපටි නළුවෙක් වගේම ගෞරවණීය දේශපාලකයෙක් වුණ විජය කුමාරතුංගගෙ කුරිරු ඝාතනය ගැනයි. ඒ පුවෘත්තියෙන් පස්සෙ මට කතාකරගන්න වචනත් නැති වුණා. සාමය අගය කරන රටක ජනතාවට ප්‍රේමකීර්ති තමන්ගෙ හැඟීම්බර කලබල හඬින් ඒ හිතාගන්නත් බැරි භයානක පණිවිඩය හෙලි කළා.

තවත් ඒ වගේම කාලකණ්නි දවසක් හරියටම අවුරුද්දයි, මාස පහයි දවස් පහළොවකින් උදා වුණා.ඒ 1989 ජූලි 31 වෙනිදා. ආණ්ඩුවෙ රේඩියෝවෙන් ඒ දරුණු දුක්ඛදායක ප්‍රවෘත්තිය එලි කලා උදේ 6.00 ලුහුඩු ප්‍රවෘත්තිවලින්. විජයගේ ඝාතනය ගැන නිවේදනය කරපු ඒ විශිෂ්ට නිවේදකයාටත් නාඳුනන කල්ලියක් වෙඩි තියල තියෙන බවට ඇහුණ සිරස්තලය විශ්වාස කරගන්නත් අමාරු වුණා. මම හිටි තැනම දුකෙන් ගල් ගැහුණෙ ඒ ප්‍රවෘත්තිය අදහාගන්න බැරිව ඇසුත් උලුප්පගෙන.

ප්‍රේමකීර්ති ද අල්විස්ව කෲර මිනිස්සු ටිකක් වෙඩි තියල මරල දාල තිබුණා. ඒ වයස අවුරුදු 42දි. මාධ්‍ය වාර්තා අනුව උන් 1989 ජූලි 31 වෙනිද මැදියමේ ප්‍රේමකීර්තිගෙ හෝමාගම තිබුණ බාගෙට හදපු ගෙදර දොරට තට්ටු කරල තියෙනවා. ප්‍රේමකීර්තිගේ බිරිඳ නිර්මලා අඬමින්, කෑ ගසමින් ඔහුට කරදරයක් නොකරන්න අයැදුවත් උන් බලෙන්ම ඔහුව ගෙදරින් එලියෙ අඳුරට ඇදගෙන ගියා. ඔහු අහිංසක ගෞරවාන්විත මනුස්සයෙක්. අහල පහල හිටපු කිසිම 'හොඳ' මනුස්සයෙක්වත් ඒ වෙලාවෙ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙලා නෑ.

පහුවදා උදේ ඔහුගෙ දේහය ගම්වාසීන් විසින් හොයාගත්තෙ ළඟපාත කාණුවක තිබිලා. සාමකාමී සමාජයක සමස්ථ ජාතියම ඇස්වල කඳුළු පුරවගත්තා. සිද්ධවුණ දු:ඛිත සිදුවීමට අවුල් වුණ හිත්වලින්, දුක්බර හදවත්වලින් ඔවුන් ඇහුම්කන් දුන්නා.

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඉපදුණේ 1947 ජූලි 31 වෙනිද කොළඹදි. මාලිගාකන්ද මහ විද්‍යාලයෙන් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුව. ඊට පස්සෙ මරදානෙ ආනන්ද විද්‍යාලයට ඇතුල් වුණා. තරුණ ප්‍රේම් ආනන්දයෙ දක්ෂ සිසුවෙක් වුණා වගේම විද්‍යාලයෙන් ප්‍රකාශ කෙරුණු 'ආනන්දය' වාර්ෂික සඟරාවෙ සංස්කාරක සහ 'ධම්ම ජයන්ති' මාසික පුවත්පතේ සම සංස්කාරකවරයෙක් වුණා. ඔහුත් සමග එකට අධ්‍යාපනය ලබපු පරම්පරාවට බන්දුල පද්මකුමාර (ජනමාධ්‍යවේදී සහ වර්තමාන ලේක්හවුස් සභාපති), රංජිත් ලාල් සිල්වා (නිම්වලල්ල චිත්‍රපටියේ අධ්‍යක්ෂ) සහ කවුරුත් දන්න ජනමාධ්‍යවේදියෙක් වුණ ඒ.ඩී. රංජිත් කුමාර (සරසවිය පුවත්පතේ හිටපු සංස්කාරක) වගේ අය හිටියා.

ප්‍රේමකීර්තිගේ පියා වැඩ කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙයි. ඒ නිසාම ඔහු හිතාගෙන හිටියෙ තමන්ගෙන් පස්සෙ තමන්ගෙ පුතාව එහෙ වැඩට සම්බන්ධ කරගන්නයි. ඒ වුණාට තරුණ පුතා ඒ ගැන කිසිම උනන්දුවක් පෙන්නුවෙ නෑ. ඒ වෙනුවට ඔහු කැමැත්තෙන් හිටියෙ ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වෙලා රේඩියෝ ශිල්පියෙක් වෙන්නයි. ඔහු නිතරම ඒ දවස්වල ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයො වුණ ඩී.එම්. කොළඹගේ, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, තේවිස් ගුරුගේ, ප්‍රොස්ෆර් ප්‍රනාන්දු, තිලක සුධර්මන් ද සිල්වා ‍වගේ අයගෙ කටහඬ වගේම නිවේදන ශෛලීන් අනුගමනය කළා. ඔහුගේ පියා ඉක්මනින්ම තමන්ගෙ පුත්‍රයාගෙ කලාත්මක දක්ෂතා වගේම හැකියාවන් ගැන දැනගත්තා. ඔහු තීරණය කලා දක්ෂ පැරණි ජනමාධවේදියෙක් වුණ ආතර් යූ. අමරසේන මහතාව හමුවෙන්න. ඔහු 'දවස' කණ්ඩායම විසින් ප්‍රකාශ කරපු 'විසිතුර' සතිපතා සිනමා පුවත්පතේ හිටපු සංස්කාරක. තරුණ ප්‍රේමකීර්තිට 'විසිතුර' පුවත්පතේ විශේෂාංග රචකයෙක් විධියට රැකියාව ලැබෙනවා. අත්දැකීම් බහුල ජනමාධ්‍යවේදියෙක් වුණ ආතර් යූ. අමරසේන තරුණ ප්‍රේම්ගේ සැඟවුණ හැකියාවල් සහ දක්ෂතා ඉක්මනින්ම හඳුනගත්තා.

මේ අතරෙ 1967 දෙසැම්බර් 17 වෙනිදා සහන නිවේදකයෙක් විධියට රේඩියෝ සිලෝන් ආයතනයෙන් ලැබුණ අනගි අවස්ථාව ප්‍රේමකීර්ති භාරගන්නවා. එහිදී ඔහුගෙ උපදේශකයා වුණේ කරුණාරත්න අබේසේකරයන්. ඔහු රේඩියෝ සිලෝන්හි ඒ කාලෙදි හිටපු බහුශ්‍රැත භාෂා විශාරදයෙක්, තනු නිර්මාපකයෙක් වගේම දක්ෂ නිවේදකයෙක් වුණා. මෙතනදි ප්‍රේමකීර්තිට තමන්ගෙ සුවිශේෂී ලිවීමේ හැකියාව වගේම ප්‍රවෘත්ති නිවේදන හැකියාව අතින් ක්‍රමයෙන් දියුණු වෙන්න අවස්ථාව ලැබෙනවා. රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි ගායනා කරපු 'හද පුද අසුනේ සෙනෙහස මැවුණා' ගීතය 1969දි ප්‍රේම් අතින් ලියවෙන්නෙ ඔහුගෙ කුළුඳුල් ගී පද රචනාව විධියටයි. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරපු 'ලොකුම හිනාව' චිත්‍රපටියට ෆ්‍රෙඩී සිල්වා ගායනා කරපු 'පරණ කෝට්' ගීතය ප්‍රේම්ගේ පළමු චිත්‍රපටි ගීතය විධියට ලියවෙන්නෙ ඒ අවුරුද්දෙමයි. ක්‍රමයෙන් ප්‍රේමකීර්ති ජනප්‍රිය වගේම වෙළඳපොලක් සහිත ගී පද රචකයෙක් බවට පත් වෙමින් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකට ගීත ලියන්න පටන්ගන්නවා.

අද කාලෙ වගේ පුද්ගලික නාලිකා හෝ රූපවාහිනිය කියල දෙයක් නොතිබුණ කාලෙක ජාතික ගුවන් විදුලිය වටේ අසන්නන් නිරායාසයෙන්ම රොද බැඳුණා. ඒ නිසාම ඔවුන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් විකාශනය වුණ බොහොමයක් ගීත රස වින්දා. ඔවුන්ගෙ හදවත් ස්පර්ශ කරපු ජනප්‍රිය ගායකයන් ගණනාවකටම ප්‍රේමකීර්ති ගී පද ලිව්වා. ඔහුගේ නිර්මාණශීලී ගී පදවලට පාදක වුණ දේවල් අතර හාස්‍යය සහ උපහාසය වගේම ආදරය, අනුරාගය, මිත්‍රත්වය, සාරධර්ම සහ සූදුව (මිනිසකු පිට නැගි අසරුවෙකි) පවා තිබුණා.

මේ ඒ අතර තිබුණ බොහොම ලස්සන ගීත කීපයක්. ඒවා අදටත් රසයෙන් අනූන බවට සැක නැහැ.


ආදරයේ උල්පත වූ අම්මා, කුරුල්ලන්ට ගී ගයන්න, සිහින සතක් දුටුවෙමි මම, තනි තරුවේ - වික්ටර් රත්නායක

මේ නගරය, එක මොහොතක්, ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා

සමනලයා මල හා - එඩ්වඩ් ජයකොඩි

බිඳුණු පෙමට - රෝහණ වීරසිංහ

මල් තරුණ සමය - ගුණදාස කපුගේ / රූපා ඉන්දුමතී

ඈත රන් විමන්, ආදරණීය නේරංජනා, රටකින් එහා - ප්‍රියා සූරියසේන

මිනිසකු පිට නැගි අසරුවෙකි, බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ - සුනිල් එදිරිසිංහ

සුරංගීට දුක හිතුණා - නන්දා මාලිනී

එදා රෑ, මා හා එදා, මා නිසා ඔබ, සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චි

සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න

අනන්තයට මා ඉගිලෙන - ශ්‍රීමතී තිලකරත්න

මා එක්කලා අමනාපව වී දබර, කන්ද කෙන්ද කරනු පිණිස - මාලිනී බුලත්සිංහල

කැකිල්ලෙ රජ්ජුරුවෝ, හඳ මාමා උඩින් යතේ, පාන් කිරිත්තා, කුණ්ඩුමනී - ‍ෆ්‍රෙඩී සිල්වා


1974දි ප්‍රේමකීර්ති දෙවෙනි ශ්‍රේණියේ නිවේදකයෙක් සහ නිෂ්පාදකයෙක් විධියට උසස් කරනවා. ඊට පස්සෙ ඔහුට අසන්නන් වෙත සමීප වෙන්න අවස්ථා රැසක් උදාවෙනවා. 'ශනිදා සාදය' (හැම සෙනසුරාදාවකම උදේ 8 - දවල් 12 වෙනකල් - තවත් නිවේදකයන් එක්ක), 'සොඳුරු සෙවණ' (සඳුදා ඉඳන් සිකුරාදා දක්වා හවස 5 - 6), "සැරිසර පුවත්" (සතියකට වතාවක්) වගේ එකිනෙකට වෙනස් ජනප්‍රිය වැඩසටහන් කීපයක්ම ඔහු ඉදිරිපත් කරනවා. ඒ වකවානුවෙ අසන්නන්ට කෙලින්ම දුරකථනයෙන් සජීවී වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණෙ නැහැ. නමුත් ප්‍රේමකීර්ති ඔහුගේ 'සැරිසර පුවත්' වැඩසටහනට අසන්නන් සජීවීව සම්බන්ධ කරගනිමින් ඒ අළුත් අදහසට මූලාරම්භය දෙනවා. ඒ වකවානුවෙදි ඒක බොහොම සාර්ථක වුණා වගේම රසිකයින් විසින් ඉහලින්ම වැළඳගත්තා.

ක්‍රමයෙන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ඉහල යමින් හිටියත් 1977 වකවානුවෙදි ඔහුටත් දේශපාලන පළිගැනීමේ ගිලටීනයට අහුවෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ කීර්තියේ සැර දරාගන්න අමාරු වුණ ගුවන් විදුලියේ ඉරිසියාකාර පරිපාලනය හේතුවක් නැතිව ඔහුගේ වැඩ තහනම් කරල අනිවාර්යය නිවාඩු යැව්වා. ඔවුන් ප්‍රේම්ට විරුද්ධව අභූත, විකෘති චෝදනා ඉදිරිපත් කරල ඒවා විමසීමට විනය කමිටුවකුත් පත් කළා. නමුත් ඒ විමර්ශන කමිටුව ඔහු නිවැරදි බව දැනගෙන වහාම ඔහුව චෝදනා වලින් නිදහස් කළා. ඒ අනුව ප්‍රේම් නැවත ඔහුගේ මුල් තනතුරේ පිහිටුවන පාලනාධිකාරිය ඔහුට සිදුවූ අසාධාරණය ගැන අසන්නන්ට දැන ගන්නට නොදී සාමාන්‍ය විධියට රාජකාරිය කරන්නට බල කළා. ඔහු ස්ටුඩියෝවට ඇතුල්වෙන්නෙ තරහින්, සජීවී වැඩසටහනක් ගුවන්ගත වෙද්දි. ඒ වෙලාවෙ ඔහු තරහින්ම තදින් මේසය පැත්තක තිබුණ පුටුව අදිනවා. පුටුව බිම වැටෙන්නෙ සජීවී වැඩසටහනට බාධා වෙන විශාල ශබ්දයක් එක්ක. ඊට පස්සෙ මයික්‍රෆෝනයට කිට්ටු වෙන ප්‍රේම් තමන්නෙ සාමාන්‍ය ස්වරයෙන් අසන්නන් අමතනවා. "සමාවෙන්න හිතවතුනි, මම ප්‍රේමකීර්ති ද අල්විස්. නැවතත් ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇසුණු විශාල ශබ්දය පුටුව පෙරළෙන ශබ්දය මිසක් මම වැටුන ශබ්දය නෙවෙයි."

පසු කාලෙකදි ඔහුට අනුරාධපුරයෙ 'රජරට සේවය' ගුවන් විදුලියට දඬුවම් මාරුවක් ලැබෙනව. ඔහු වගේම දඬුවම් මාරුවක් ලැබිල ඇවිත් හිටපු ගුණදාස කපුගේ වගේම රජරට සේවයේ රන්බණ්ඩා සෙනෙවිරත්න, කරුණාරත්න දිවුල්ගනේ, රත්න ශ්‍රී විජේසිංහ, ජයතිලක බණ්ඩාර, මහින්ද දිසානායක, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වගේ නිර්මාණ ශිල්පීන් ඔහුට එහිදි හමුවෙනව.

වික්ටර් රත්නායකයන්ගෙ 'ස' ඒක පුද්ගල ප්‍රසංගයට ප්‍රේමකීර්ති සුවිශාල දායකත්වයක් ලබා දෙනව. ප්‍රසංගයේ නිවේදන කටයුතු වගේම ගීතවල අරුත් හඳුන්වා‍දීමත් තුළින් ඔහු 'ස' හැඩගන්වනව. ඔහුත් සමග ඒ කටයුතුවල නියැලෙන අනිත් නිවේදකයන් වෙන්නෙ ‍නැසීගිය කේ.ඩී.කේ. ධර්මවර්ධන සහ කුලරත්න ආරියවංශ යන දෙපලයි.

අසූව දශකයෙදි ලංකාවෙ රූප මාධ්‍යය ජනප්‍රිය වීමත් එක්ක විවිධ රූපවාහිනී නිෂ්පාදනවලට සම්බන්ධවෙන්න ඔහුට අවස්ථාව හම්බවෙනව. විශේෂයෙන්ම කෘතහස්ථ කලාවේදී ටයිටස් තොටවත්තයන් විසින් හඬකැවුණු 'දොස්තර හොඳ හිත' ළමා කාටුන් වැඩසටහනේ අමතක නොවෙන ගීත රචනා වෙන්නෙ ප්‍රේමකීර්තිගේ පෑනෙන්. ඔහු සහභාගි වුණ අනිත් වැඩසටහන වුණේ ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණ 'අඳුන' කියන සමාජ අසාධාරණකම් ගැන හෙලිදරව් කරපු වැඩසටහන. ඔහු ඒ වැඩසටහන ඉදිරිපත් කලේ තමන්ගෙ දෑස් විතරක් පේන විධියට. ඒක ඒ දවස්වල සෑහෙන්න ජනප්‍රිය වුණා වගේම කතාබහට ලක්වුණා. ඒ වගේම හැම ඉරිදාවකම 'ආයුබෝවන්' වැඩසටහනනින් වෙනත් දෙමළ සහ ඉංග්‍රීසි නිවේදකයන් සමග ප්‍රේමකීර්ති හැමෝගෙම ඉරිදාව සුන්දර කලා.

ඔහු අද ජීවත්ව සිටියා නම් වර්තමාන නිවේදක නිවේදිකාවන්ට බොහොම හොඳ උදාහරණයක් වෙන්න තිබුණා. හඬ, භාෂාව හැසිරවීම මගින් ප්‍රේක්ෂකයාට ළංවෙන්නෙ කොහොමද කියන එක පිළිබඳව ඔහු දක්ෂ ගුරුවරයෙන් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම තවත් බොහොමයක් සුන්දර ගීත රාශියක් ඔහුගෙන් ලියවෙන්න ඉඩ තිබුණා.

ඔහුගේ නික්මයාම බිරිඳ නිර්මලා, දියණිය සුරංගි සහ පුතු පූර්ණට විතරක් නෙවෙයි ඔහුගේ ගී රචනා ප්‍රිය කරපු, හඬ ප්‍රිය කරපු කාටත් බරපතල පාඩුවක් බව රහසක් නෙවෙයි. ඔහුගේ සුවිශේෂී නිර්මාණ රසික හදවත් තුල තැන්පත්වෙලා තියෙන ආකාරයට ඒවා කවදාවත් විනාශ කරන්න පුළුවන් නිර්මාණ නොවෙයි. ඒ පිළිබඳ සැකයක් නෑ.

අවසාන කරන්න කලින් ප්‍රේමකීර්ති නැසීගිය ගායක මර්වින් පෙරේරාට ලියපු 'මේ නගරය' ගීතයේ අවසාන පද කීපය මට මතක් වෙනවා...


'ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා...'

Tuesday, 31 July 2012

ප්‍රේමකීර්ති, ගනේගොඩ, අම්මා සහ මම


ප්‍රේමකීර්ති එක විධියකට වීරයෙක් විධියට මම සලකන පුද්ගලයෙක්. ඔහු වීරයෙක් වුණේ ගනේගොඩ අයිය නිසා. රජයේ චිත්‍රපටි අංශයේ ඉන්න කාලෙ ප්‍රේමකීර්තිව පුද්ගලිකවම දැනගෙන හිටපු ඔහු ප්‍රේම්ගේ උග්‍ර රසිකයෙක්. ඒ නිසාම අපි සෙට් වුණාම පට්ට ගහන මර්වින් පෙරේරගෙ සින්දු ටික අස්සෙ ගනේගොඩ සැරින් සැරේ ප්‍රේමකීර්තිව මතක් කරන්නෙ ඔහුගෙ වචන අතර මාව අතරමං කරමින්.

ප්‍රේමකීර්ති මං මුලින්ම අඳුනගන්නෙ රූපවාහිනියෙ මහජන සම්පත වැඩසටහනින්. ඒ කියන්නෙ 1986-88 වගේ කාලෙ වෙන්න ඕන. මම හෙණ පොඩියි. ඒ වුණාට අම්මට ඒක බලන්න උණක් හැදිල තිබුණ. අම්ම එක්ක මමත් ඒක බලනව. ඒකෙ ආරම්භක නිවේදකයෝ වුණේ ප්‍රේමකීර්ති, රේණුකා බාලසූරිය සහ නිල්මිණි සිගේරා. ‍දිනුම් වාරයක් පාසා රේණුකයි නිල්මිණියි මාරු වුණා. මම නං ඒ දවස්වල(ත්) කැමති රේණුකාට :P ඔය වැඩසටහන හිට් වුණේ ප්‍රේමකීර්ති නිසා. පැය බාගයක් විතර විකාශනය වෙද්දි ඔහු සෑහෙන්න රස කතා ගොඩක් කියෙව්වා. ප්‍රශ්ණ ඇහුවා. තැපැල්පත් වලින් ප්‍රශ්ණ වලට පිලිතුරු ගෙන්නුව කියලත් මතකයි. ඒක ලොතරැයි වැඩසටහනක් වුණත් සෑහෙන්න රසවත් එකක් වුණා.

පසුව ප්‍රේමකීර්ති මෙහෙයවනවා 'හරි පුදුමයි නේද?' කියල එකක්. ඒක ඔය ලොතරුයි වැඩසටහන අස්සෙම ගියාද වෙනමම ගියාද කියල මතක නෑ. නමුත් ඒකෙ විකාශනය වුණෙ ඔය ලෝකෙ තියෙන පුදුම සහගත දේවල් ගැන. ඔහු ඒ හැම දෙයක් ගැනම කියල අවසන් කළේ 'හරි පුදුමයි නේද?' කියල අහලා. දැන් නම් අපි ඒ පෙන්නපුව වගේ ඒවට කියන්නෙ hoax කියලා.

ඒ කාලෙදිම ඔහු හැම ඉරිදාම (මතක විධියට පස්සෙ සෙනසුරාදාත්) ආයුබෝවන් වැඩසටහනින් හම්බවෙනවා. ඒවට ඔහුත් එක්ක නිවේදනයට අසෝකා වනමලී, අනෝමා වත්තලදෙණිය, රවි ජෝන්, අරුන් ඩයස් බණ්ඩාරනායක වගේ අය සම්බන්ධ වෙනවා. ඒකෙ හිටපු අයගෙ නම් මතක නැති එක නම් හෙණ අපරාදයක්. ඒ වැඩසටහන් අපි මගඇරියෙ නැති තරම්. (ඉරිද ඉස්කෝලෙ නොගිය එකේ වාසිය :P) එක එක රස කතා, විහිළු වගේම මොළේ කචල් වෙන විධියෙ ගැටළු ගොඩකින් ප්‍රේමකීර්ති සන්නද්ධ වෙලා හිටියා. ඒ දවස්වල මම දන්නෙ ඔහු රූපවාහිනී නිවේදකයෙක් කියල විතරයි. ඒ වෙද්දි අම්මත් මමත් දෙන්නම ඔහුගෙ උග්‍ර පංකා හෙවත් fans බවට පත්වෙලයි හිටියෙ.

ඔහු මිය ගිය ප්‍රවෘත්තිය අපට අදහගන්න බැරි එකක් වුණා. ඒක අපට කිව්වෙ තාත්තා. ඔහු ඒක දැනගෙන තියෙන්නෙ ගුවන්විදුලියෙ පාන්දර ප්‍රවෘත්ති වලින්. අම්මයි මමයි දෙන්නම ඉන්න තැන තාත්ත ඒ ගැන කිව්වෙ 'අන්න ඔය දෙන්නගෙ යාළුවට වෙඩි තියල' කියලයි. ඊට පස්සෙ මම සාමාන්‍ය විධියට හැසිරෙන්න උත්සාහ කලත් එදා දැණුන ඒ හැඟීම වචන වලින් කියන්න බැරි එකක් බව මම අද දන්නවා. ඒ හැඟීම ආයෙම දැණුනෙ 1993දි ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය දවසෙ. දේශපාලනය ගැන මෙලෝ දැනුමක් නැති වුණාට ඒ කාලෙ ඔහු අපට පෙණුනු/පෙන්නපු පරමාදර්ශයක් වීමයි ඒකට හේතුව.

ඊට පස්සෙ කතාව සාමාන්‍ය වෙනවා. ප්‍රේමකීර්ති තියා සංගීතෙත් නොදැණුන කාන්තාරමය කාලෙකට පස්සෙ ආයෙත් ඔහු මට අනුව පොරක් වෙන්නෙ 2003දි ගනේගොඩව හම්බ වුණාට පස්සෙ. මර්වින්ගෙ සින්දු අස්සෙ ප්‍රේමකීර්ති ලියපුව ගනේගොඩ අඳුණගන්නෙ වචන වලින්. මට ඒ ගැන තේරුමක් නොතිබුණත් ගනේගොඩ අයියට ප්‍රේමකීර්තිගේ වචන ගැන ඒ තරම් දැනුමක් තිබුණා.

හැම සිදුවීමක්ම මට මතක නැතත් ප්‍රේම් ලියපු මර්වින් කියන 'නිමා නොවෙන පෙම් හැඟුම්' කියන සින්දුව ගනේගොඩ මට තේරුම් කරපු විධියනං මතකයි.

'උඹ ලව් කරන කෙල්ල එක්ක යද්දි වෙන කෙල්ලො දිහා බලන්නෙ නැද්ද?'

ගනේගොඩ ඇහුව.

'නෑ'

මම ඒ දවස්වලත් හෙණ පඬිය.

'අනෙ පළයං බං යන්න බොරු නොගහ'

ගනේගොඩගෙ කිණ්ඩි හිනාව මාව කූඹියෙක් කලා.

'බලන්න ඕන වුණාට බලන්නෙ නෑ ඉතිං හරි නෑනෙ'

මං ෂේප් වුණා.

'ඒක තමයි කියන්නෙ. උඹ කොයි තරම් ලව් එකේ හිටියත් උඹේ හිත හැම තැනම යනවා. බලපං ඔය සින්දුවෙ කියන්නෙ ඒක ගැන තමයි'

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම්
සොරෙන්

'ඕකෙ විධියට උඹ උඹේම කියල ගෙයක් හදාගෙන ඉන්න ගියාට හිත උඹටත් නොදැනීම පිටවෙලා වෙන ගෑණු පස්සෙ යනවා... පෙම් හැඟුම් කියන ඒව එක ගෑණියක් කියල සීමාවක් දාගෙන තියාගන්න පුළුවන් ඒව නෙවෙයි.'

ගනේගොඩ කියාගෙන ගියා. මම සින්දුව රිවයින් කරල මුල ඉඳන් ඇහුවා.

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්

පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්
නුරා ලවන් සොයා පියා සලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...

හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...



'එහෙම වෙනව කියල උඹ උඹේ කෙල්ලට ආදරේ නැති ලබ්බක් නෙවෙයි කියන්නෙ. ආදරේ එහෙම්මම තියෙයි. හිතේ සීමාවක් නැති එක ගැනයි කියන්නෙ'

මම එදා ඒක තේරුම්ගත්තෙ ආදරේ සහ කෙල්ලො ගැන මට තිබුණ ප්‍රශ්ණ ‍කීපයක්ම විසඳගෙන. පෙම් හැඟුම් නිමා වෙන්නෙ නෑ...

එදා ඉඳන් අද වෙනකල් ගනේගොඩ එක්ක සෙට් වෙන ඕනම වෙලාවක සින්දු කියන්න පුළුවන් මෝඩ් එක ආවොත් මර්වින්ගෙ සින්දු සෙට් එක වරදින්නෙ නෑ. ඒක අපිත් එක්ක සාමාන්‍යයෙන් සෙට් ‍වුණ පුද්ගලයින් අනුව නිරායාසයෙන්ම ඉදිරිපත් වුණ ඉල්ලීමක් වුණා. කවදාවත් සින්දුවක් පාඩම් හිටල නැති මට 'කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී' සින්දුවෙ අන්තරා කෑලි පැටලිලා හරි මතක හිටියෙ ඒ සෙට්වීම් නිසා. ඒ හැමවෙලේම ප්‍රේමකීර්තිගෙ වචන ගැන ගනේගොඩ පුන පුනා කියන්නෙ ඔහු ගීතය තනිකරම වචන වලින් ආස්වාදනය කරපු නිසා. ඒ වගේම ඔහුත් එක්ක මෝටර් සයිකලේ ගිය කතා, බේබදු කතා, සහ අඹ ගැට වලට තිබුණ ප්‍රේම්ගෙ පෙරේතකම ගැන කතා ගනේගොඩ සැරින් සැරේ කියවනව.

ඒ එක්කම ඒ අර්ථයෙන් ප්‍රේම් දිහා බලන්න මමත් හුරු වෙනව. ඔහු මගේ වීරයෙක් වෙන්නෙ එහෙම. වික්ටර්ගෙ මර්වින්ගෙ ප්‍රියාගෙ සින්දු අහද්දි මම ඒ සංවාද වලට යන්නෙ නිරායාසයෙන්.

ප්‍රේමකීර්ති ගැන අයිටීඑන් එකේ ගිය අවුරුද්දෙ ගිය ප්‍රෝග්‍රෑම් එක මට බලන්න බැරි වුණා. ඒක මේ වතාවෙ ආයෙමත් පෙන්නුවා. ඒකෙදි දිලීප අබේසේකර මරු කතාවක් කිව්වා. 'ප්‍රේමකීර්ති ජීවත්වෙලා හිටපු කාලෙදි කරපු දෙවල් බැලුවම ඔහු මේ වෙනකොටත් ජීවත් වෙලා හිටියනම් කොහොම දේවල් කරයිද කියල හිතාගන්න බැහැ. ඔහු චිත්‍රපටියක් කරන්න තිබුණා. ටෙලි නාට්‍යයක් කරන්න තිබුණා. අපට පුළුවන් ඒ ගැන හිතල ඔහු කරපු ටික රසවිඳින්න විතරයි'

ඔහුගෙ අතිවිශාල හිතේ තිබුණ දේවලින් අපි දන්නෙ බොහොම පොඩ්ඩක් විතරයි. සමහර විට ඔහු ජීවත්වෙලා හිටියනම් ලොකු දෙයක් නොවෙන්නත් පුළුවන්. නැති දේ ගැන දුක් වෙන එක අපි කාටත් පොදු දෙයක්.

අන්තිමේදි ඔහු වෙනුවෙන් අපට කරන්න පුළුවන් ඔහුගේ නිර්මාණ බෙදාගන්න එක. ඒ රසය ඒ ගැන නොදන්න අයට යොමු කරන එක. මේ සටහන ඒකට පොඩි තල්ලුවක් වෙයි කියල හිතන එක ඇරෙන්න මටත් කරන්න දෙයක් නැති තරම්.

ප්‍රේමකීර්ති සම්බන්ධයෙන් මම මුලින්ම ලියන්න ගියේ ක්ලෝඩ් ප්‍රනාන්දු මහත්තය ලියපු ලිපියක් ආශ්‍රයෙන් කරපු පරිවර්තනයක්. ඒක කම්මැලිකමත් එක්ක සම්පූර්ණ වුණේ සෑහෙන්න හෙමින්. නමුත් ඒකත් බ්ලොගේ දානව.

ප්‍රේම් ගැන අනාගතේදි වෙන දෙයක් ගැන ඊටත් පස්සෙ...

Friday, 29 June 2012

ඉහළ පහළ සහ සමතල...

සංගීතය කියන්නෙ ඕන කෙනෙක්ගෙ ජීවිතේ ‍කොටසක්, සින්දු කියන විෂය ගැන මලදානයක් නොදන්න, සින්දුවක් නාහන කෙනෙක්ගෙ වුණත් රිද්මයක් තියෙනවා. රිද්මය කියන්නෙ සංගීතමය දෙයක්. ඒක වෙන වෙන විධි වලටත් අර්ථ දක්වගන්න පුළුවන් ඇති. නමුත් හදව‍ත ගැහෙන තැන ඉඳන් මුළු ජීවිතය පුරාම සංගීතමය අවකාශයක ජීවත්වෙන සත්ත්වයින් සහ ඒ රිද්මය සංගිතය කියන විෂය හරහා නැවත කියවන මනුෂ්‍ය අපි ජීවත්වෙන්නෙ සංගීතයත් එක්කමයි.

හැමදාම උදේට පා පැදියෙ රාජකාරියට යන විනාඩි 10-15ක වගේ කාලය මම සංගීතයත් එක්ක ගෙවන අමෘතමය විනාඩි කීපයක්. පාරෙ යන ගමන් සින්දු මුමුණන එක ආරක්ෂාව පැත්තෙන් ඒ හැටි හොඳ දෙයක් නෙවෙන්න පුළුවන්. නමුත් බාහිර පරිසරයටත් සංවේදී වෙමින් සින්දුවක පද මුමුණන එක කරන්න බැරි වැඩකුත් නෙවෙයි. විශේෂයෙන්ම ඔය මිමිණිල්ල අනිච්ඡානුගවම සිද්ධ වෙනකොට. ඒක තව දුරටත් ආයාසයකින් කරන දෙයක් නොවෙනකොට.

නමුත් එතනදි අපි පිවිසෙනව බොහොම පෞද්ගලික තැනකට. සංගීතයත් එක්ක වල්වැදෙන, පරිසරය අමතක වෙන තැනකට. අර ආරක්ෂාව කියන සාධකයට විතරක් දොර ඇරපු තැනකට. නොදැනීම ඒ පුද්ගලික අවකාශය සංගිතයෙන් පිරිල යනවා.

ඕක හැමදාම වෙන වැඩේ...

මෑතකදි මට තේරුණ ඔය හිස් තැන හැම වෙලේම එක රිද්මයකට කැමතියි කියල. ඒක සින්දුවක්. හැමදාම උදේට මට මිමිණෙන සින්දුවක්. දැන් අවුරුදු ගාණක් පුරාම එකදිගට. අඩුගාණෙ පද පේළියක් දෙකක්. ගිටාර් එකෙන් වැයෙන එක ස්වරයක්.

ඒ ඇයිද කියල මම කල්පනා කලා. කවදාවත් උත්තරේ හොයාගන්න බැරිබව දැන දැනම. නමුත් අන්තිමේ මට කිට්ටු කරන්න පුළුවන් වුණා.

ඒ මගේ ජීවිතේ පුරා බැඳුණු සයිනාකාර රිද්මයේම තවත් එක පැත්තක්. උස් පහත් සමතල අවස්ථා සියල්ලම එක රිද්මයක ගැයෙන තැනක්. වෙනත් නිර්මාණවලින් නොදැණෙන මට්ටමට සහ මට විග්‍රහ කරගන්න පුළුවන් මට්ටමට තියෙන එකක්. ඒක නොගැලවෙන විධියටම ජීවිතේට ඇළුන එකක් වෙලා.

කසුන්ගෙ රැඩිකල් ප්‍රේමය ඇල්බම් එකේ ගීතයක්. සුජීව සම්පත් පීරිස්ගෙ ලිවීමක්. සංගීතය කසුන් කල්හාරගෙ. කසුන් ඉන්ද්‍රචාප දෙන්නගෙම මුඛ වාදනයෙන්.

ඒක ඉහළ යනවා.... ආයෙ පහළ යනවා... ඒ අතරෙ බොහොම සමතලා තැනක රැඳෙනවා. ජීවිතේ වගේමයි.

අවසානයේ...
උස් තැන්, පහත් තැන්, සමතලා තැන් හැමදේම සුණු විසුණු වෙලා විනාශ වෙලා යනවා....


..................................................

ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක්
ගතේ දුවනා

ආදරේ නොදී එය සඟවා //
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා

ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
එය දකිනා...
නෙත් සතුටක්දෝ

Wednesday, 9 May 2012

ප්‍රොෆයිලය සහ නිධානය



මේක පොඩි ආතල් පෝස්ට් එකක්... ජොලියේ උපරිමෙන් මිරිකිල සංතෘප්ත වෙලත් උපරිමේට ගියාම උතුරල ගලන ටික තමයි මේ.

දන්නවනේ ලයනල් රන්වල මහත්තයව? එතුමාව අපට මතක් වෙන්නෙ සිංහල අවුරුදු කාලෙට විතරයි කියලත් දන්නවනේ.

ඔය ව‍ගේම තවත් කොහා වර්ගයේ ගායන ශිල්පියෙක් තමයි මොහිදීන් බෙග් කියන්නෙ. බෙග් මාස්ටර්ව අපට මතක් වෙන්නෙ වෙසක් කිට්ටු වුණාම. වික්ටර් රත්නායක මහත්තයා, අමරදේව මාස්ටර් වගේ තවත් ඒ වගේ අය කීප දෙනෙක් ඉන්නව වුණාට ප්‍රධාන වශයෙන් වෙසක් එකේදි මතක් වෙන අය අතරින් බෙග් මාස්ටර් විශේෂයි.

ඔය ‍හේතුව නිසා මගේ මූණු පොතේ ප්‍රොෆයිලෙ විධියට මම දැම්මා ඔය උඩින් තියෙන පින්තූරේ. දාන අතරෙ එහෙ මෙහෙ හොයද්දි බෙග් මාස්ටර්ගෙ පරණ සින්දු ටිකකුත් හම්බ වුණා. ඒව අහල මදි වෙලා තව හොයද්දි තමයි මට නිධානෙ හම්බ වුණේ. එස්.ටී.එෆ්. එකේ අයියල එන්න කලින් මම ගොඩගත්තා...

මෙන්න මෙතන!

මාස්ටර් බෙග් ගායනා කරපු පරණ සින්දු ආයෙමත් පටිගත කරලා... ඒ නිසා මම හිතුවට වඩා ශබ්ද තත්ත්වෙ හොඳට තියෙනවා. බෙග් මාස්ටර් එක්ක රුක්මණී දේවි, ජී.එස්.බී. රාණි පෙරේරා, ජමුනා රාණි වගේම ලතා මං‍ගෙෂ්කාර් මහත්මියත් ගායනා කරනවා.

මේ සින්දු සේරම වගේ හින්දි තනු ආශ්‍රයෙන් හැදුන ඒවා... වචන කාගෙද කියල කියන්න දන්නෙ නෑ. කරුණාරත්න අ‍බේසේකර මහත්තය අඩුගානෙ කීපයක්වත් ලියල ඇති. මොනව වුණත් ගායනයේ සුන්දරත්වය උපරිමෙන් විඳින්න පුළුවන්. විශේෂයෙන්ම බෙග් මාස්ටර්ගෙයි රුක්මණී මහත්මියගෙයි කටහඬවල පරාසය ගැන පුදුම හිතෙන තරම්. මම හිතන්නෙ මේක මට නිධානයක් වෙන්න ඒ කටහඬවලුත් බලපෑවා...

වැඩිය මුතුක් අවශ්‍ය නෑ....

සින්දු ටික මේ විධියට බෙදාගත්තු සින්දුලන්තෙ අයිතිකාරයටත් ස්තූති කරන්න ඕන.

ඒ සින්දු වලට කැමති අය ගිහින් අහන්න.

Tuesday, 28 February 2012

සංගීතෙ ගැන පරණ කමෙන්ටුවක්!

මම හිතන්නෙ කසුන් සහ නදීක ඉන්නෙ සිංහල ගීතය පුනර්ජීවනය කරන ගො‍ඩේ මිස (ඒ ගොඩේ වැඩි දෙනෙක් නෑ. ඉන්න ප්‍රවීණයො කීප දෙනත් කෙමෙන් කෙමෙන් නැති වෙනව) ගීතයේ මළගම තීරණය කරන ගොඩේ නෙවෙයි. සිංහල ගීතයේ මළගම තීරණය කරන අයගෙ ගොඩ නම් විශාලයි.

සංගීතය විඳින්න බොහෝ දෙනෙක්ට තියෙන නොහැකියාවට හේතුව ඔවුන් සංගීතය කියල හඳුණගෙන ඉන්න පරාසයේ සීමා සහිත බවයි. මමත් කාලයක් ඒ වගේ සීමා තුල හිටපු නිසා මම ඒක හොඳට දන්නව. නමුත් සංගීතය නිහඬ බවේ සිට ගෝසාව දක්වාම සංගීතයමයි. ඒක නිසි භාවයන් ප්‍රකාශ කරන්න යොදාගන්න ආකාරය අනුව තමයි සංගීතඥයා විශිෂ්ට වෙන්නේ. සිංහල සංගීතය අද තියෙන්නෙ වෙළෙන්දන් අතේ. මම දන්න තරමින් නූතන නිර්මාණකරුවන් සියල්ලන්ම නිර්මාණ කරන්නෙ වෙළඳපොලට. ඒ කියන්නෙ මිනිස්සු ඉල්ලන දේ දෙනව කියල මොනා හරි දෙනව. තමන්ට තියෙන ආර්ථික සහ වෙනත් සම්බන්ධ මත ප්‍රසංගයක් දෙකක් තියල, එෆ් එම් සහ රූපාවලි හරහා මාධ්‍ය තුල පෙනී ඉඳල ජනප්‍රිය වෙනව. මාධ්‍ය වලින් මිනිස්සුන්ගෙ ඔළු වලට දවසකට දහ පහලොස් වතාව ගානෙ ඒව අස්සවල හුරු කරවනව. ඉතිං ඊට පස්සෙ හැදෙන අයත් ඒවම කරගෙන යනව. රැල්ලම තමයි.

කසුන් සහ නදීක එහෙම නෙවෙයි. එයාලට ඕන නිර්මාණ කරන්න. සංගීතයේ නව ඉසව් ගවේශණය කරන්න. මට හිතෙන විධියට කේමදාස මාස්ටර්, වික්ටර් රත්නායක මහත්මය, රෝහණ වීරසිංහ මහත්මය වගේ අයට පස්සෙ ඒ දේ කරන්නෙ එයාල විතරයි. (භාතිය සහ සංතුෂ් දෙපලත්, රොමේෂ් ලක්ෂාන් දෙපලත් යම් තරමකට මේ පර්යේෂණ කරනව) කසුන්ගෙ ඔබ අහල තියෙන ගී සියල්ලම මාධ්‍ය මගින් පට්ට ගහපු ඒවයි. නමුත් මට හිතෙන්නෙ කසුන්ගෙ හොඳම නිර්මාණ එකක්වත් මාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්නෙ නෑ. අනික කසුන්ගෙ ගී පද අතිශය සංකීර්ණයි. මම දන්නෙ නෑ ඒව හරසුන් වෙන්නෙ කොහොමද කියල. ඒ විධියට ගත්තම කවුරුවත්ම අරුත්බර ගීත කියල නෑ. කසුන්ට බොහොමයක් ගී ලියපු චාමින්ද රත්නසූරිය මට දැනෙන මට්ටමින් නම් වර්තමානයේ ඉන්න විශිෂ්ටම ගීත රචකයයි. ඔහු මවන අරුත් සරලයි වගේ පෙනුනත් අතිශය ගැඹුරට යන්න පුළුවන් ඕන නම්.

නදීක කියන්නෙ ඕන එකක් පනම් අටයි වර්ගයේ මනුස්සයෙක්. ඔහුගේ ගීත රචනාත් ඔහුගේමයි මම හිතන්නේ. ඔහුත් මිනිස්සුන්ට ඕන දේ දෙන කෙනෙක් නෙවෙයි. ඔහු තමන්ට දැනෙන දෙයක් නිර්මාණය කරන නියම කලාකරුවෙක්. ඔහුව තේරුම්ගන්න අප ඔහු වෙත යා යුතුයි. අපි තාප්පෙකට මුවා වෙලා හිටියොත් කවදාවත් එතනින් එහා වෙන දේ ගැන දැනගන්න විධියක් නෑ. නදීකගේ ගීත youtube අඩවියේ හොයල බලන්න. කීපයක් තියෙනව. අර ශිෂ්ඨාචාරේ මානවයා කියන ගීතය ගැන සරලව බලන්න එපා. ඒක මුළු ජීවිත කාලයක්ම හොඳින් පවුල් ජීවිතය ගෙවන විධිය කියල දෙන ගීතයක්.

කලාකරුවා හැමවිටම සාමාන්‍ය මනුස්සයාට වඩා උසස්. ඒකයි ඔවුන් කලාකරුවන් වෙන්නේ. හරියට විද්‍යාඥයො වගේ තමයි. නවමු දේවල් තමයි ඔවුන් බිහි කරන්නේ. මිනිසුන් ඔවුන් කරා යාමෙන් තමයි අර ආනන්දයෙන් ප්‍රඥාව කියන සාධකය සම්පූර්ණ වෙන්නේ.

හ්ම්...

කොහොම වුණත් මිනිස්සු වයසට නොයන නිසා හැමෝම තමන්ගෙ තරුණ කාලයේ තමයි ජීවත් වෙන්නේ. ඉතිං බොහෝ විට අපගේ තෘප්තීන් අපි තරුණ කාලයේ රස විඳින දේවල් තුල නවතිනව. ඒ නිසා කසුන්ව නොවැටහෙනව නම් ඒක ඒ පුද්ගලයගෙ ප්‍රශ්ණයක් නොවයි. දැණෙන දේ තුල ඉන්න එක හෝ නොතේරෙන දේ ඉගෙනීම එක් එක්කෙනාගෙ වැඩක්.


-------------------------------------

මෙය http://sanhindha.blogspot.com අඩවියට 2008 දෙසැම්බරයේ යෙදූ කමෙන්ට් එකකි. ගී පැදුර අඩවිය වෙත නදීක ගුරුගේ මහතාගේ ගී පද ලිවීම පිණිස කල සෙවුමකදී නැවත හමු විය.

මේ සංගීතඥයන් දෙපල සහ සංගීතය පිළිබඳවද ඉහත සම්පූර්ණ කමෙන්ටුවම පිළිබඳවද මාගේ වර්තමාන කියවීම මදක් වෙනස් නමුත් මේ මා එදා සිතූ ආකාරයයි!

වර්තමානයේ මා සිතනා ආකාරය අළුත් පෝස්ට් එකක කෙටීම, මුළු බ්ලොග් කෙරුවාවම බෝරිං වී ගෙවන මේ වකවානුවේදීනම් කිසිසේත් කරන්නට බැරි වැඩකි.

Tuesday, 13 December 2011

සුද්දන්ගෙ සංගීත පිඟානක්....

සංගීතය කෑමක් නොවෙන්නෙ ඒක කෑමට නොගන්නවනම්. නමුත් උවමනා නම් කෙනෙකුට කන්න බැරි දෙයකුත් නැති තරම්. සංගීතය කියන එක සින්දු වලින් ගලවගෙන රස විඳින කොට ඒක කෑමක් වෙනවා විතරක් නොවී ලෝකෙ පුරාම කරක් ගහමින් තවත් රසය හොයන්න පොළඹවන කාරණයක් වෙනවා.

ඒ නිසාම සින්දු කියන රාමුවෙන් සංගීතය නිදහස් කරගත්තම මල වදයක්. ඒක ඇත්තටම කෙනෙක්ව පැත්තකට කරල විනාශ කරල දාන එකක්.

ෂහ්! මාත් ආසයි රේඩියෝ එකේ පැයකට සැරයක් යන සින්දු ටිකම ෆෝන් එකට දාගෙනත් අහමින් සැනසිල්ලෙ ඉන්න පුළුවන් වුණානම්. ඒත් මේ හෙවිල්ලේ අසනීපයත් එක්ක එහෙම එක තැනක පොඩි පොඩි රවුම් ගහමින් ඉන්න එක අමාරු වැඩක්.

සමහර මිනිස්සුන්ට සංගීතය තේරෙන්නෙ නෑළු. ඒ නිසා තමන් දන්න වචන සෙට් එක ඔන්න ඔහේ තාලෙකට කියාගෙන යද්දි එක මාර ආතල් එකක් වෙනවා. හැමෝම එකම වචන ටිකම වෙනස් තාල වලින් කියනවා. වචන වලින් සංගීතය විනාශ කරල තියෙද්දි ආයෙ කොහෙද ඒක තේරෙන්නේ.

ඇත්තටම මිනිස්සුන්ට එදිනෙදා උවමනා වෙන්නෙ බොහොම සීමිත වචන ටිකක්. එක තැන ජීවත් වෙන්න ගත්තම ඕන මිනිහෙක්ට ඒක වෙනවා. නමුත් තේරෙන ඒව සහ නොතේරෙන ඒවට අමතරව මිනිහෙක්ට දැණෙන දේවල් ඕන තරම් තියෙනවා. ඒ දැණෙන දේවල් වල තේරුමක් ඇත්තටම නැති වෙන්න පුළුවන්. සංගීතයත් වෙලාවකට කිසිම තේරුමක් නැති එකක්. නිකං හැඟීමක්. වචන වලින් නිර්වචනය කරන්න බැරිවුණ හැඟීමක්. ඒක දැණෙනවා විතරයි. කාටවත් කියන්නත් බැරි නම් ලත වෙන්නැතිව ඔහේ විඳගෙන ඉන්න පුළුවන් එකක්.

ලෝකෙ කිසි දේක තේරුමක් නැති එකේ සින්දු වල තේරුම ගැන විතරක් උනන්දු වෙන්නෙ මොකටද? ඔන්න ඔහේ විඳිනව මිස. කෙල්ලන්ව මල් වගේ විතරක්ම කරල තියෙනකොට, ඒ මල් මල් ගීත වමනය ඇති කරවන තරම් එපා වෙලා බෝරිං වෙලා නතර වෙලා තියෙද්දි අහන්න හිතෙනවා ආදරේට හෙණ ගහපන් කියල කියන සින්දුවක්. ඒක කියන්නෙ ඩැඩීලගෙ විරේෂ් කුරේ...




කතාව කවදාවත් ඉවර වෙන්නෙ නෑ. ලංකාවෙ කොල්ලන්ට කෙල්ලන්ට ආදරණීය විවෘත ලිංගික ගණුදෙනුවක් හදාගන්න බැරිව සංස්කෘතික අටමගුල් හැටහුටාමාරක් එක්ක ගැටෙද්දි ඒක කියාගන්න බැරිව වටේ කැරකෙන මල් සින්දු වලට හෙණම ගහපන්... කියල මට කියන්න බැරි ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටක් හින්දා... ඒ වුණාට ලංකාවෙදි ගැහැණු පිරිමි අතරෙ එහෙම සංස්කෘතියකට ආශ්චර්යය උදාවෙන පාටක් පේන තෙක්මානෙක නැති නිසා තව පරම්පරාවක් දෙකක්වත් ඔය මල් වලට ලොල් වෙයි.

ලෝකෙ තියෙන සුන්දරම සංගීතයන් තියෙනවයි කියල මම විශ්වාස කරන්නෙ බටහිර ලතින් ඇමරිකානු රටවල. ඔය චිලී, පේරු වගේ. ඒවයෙ මුල් තියෙන්නෙ යුරෝපයෙ වෙන්න පුළුවන්. පෘතුගාලයේ, ස්පාඥ්ඤයේ සහ ප්‍රංශයේ. කියුබාව කියන්නෙත් ලතින් ඇමරිකානු රටක්. චේ නොහිටින්න අපි එහෙම රටක් ගැනත් නොදැන ඉන්න තිබුණා. කොහොම නමුත් ඒක තියෙන්නෙ දකුණු ඇමරිකාවෙ නැගෙනහිරට වෙන්න. කියුබාවෙ අගනුවර වෙන හවානා නුවර 1940 ඉඳන් 1990 වගේ වෙනකල් තිබුණ සමාජ ශාලාවක් තමයි Buena Vista Social Club කියන්නෙ. මේක ඒ දවස්වල සංගීතකාරයො, නැට්ටුක්කාරයො හොඳට සෙල්ලම් පෙන්නපු තැනක්. ඒ වගේම කියුබානු සංගීතයෙ අනන්‍යතාවය රැඳුණ තැනක්. මෙතන දැන් වැහිලා. හොයාගන්නත් බැරි තරමට කියුබාවෙ පැවතුණ අනන්‍ය සංගීතය තියෙන්නෙ මියැදෙමින්. ඒ අක්මුල් හොයන්න කරපු උත්සාහයක ප්‍රතිඵලයක් වුණේ Buena Vista Social Club කියන ගීත ඇල්බමය. මේ ඇල්බමයට සහභාගි වෙන බොහොමයන් ශිල්පීන් කියුබාවෙ මියැදෙන සංගීත රටාවන්වල අවසාන පුරුක්. මේ නමින්ම පස්සෙ හැ‍දෙන Buena Vista Social Club (1999) වාර්තා චිත්‍රපටිය ගැන මෙතන නොකියා ඉන්නම්.

මේ තියෙන්නෙ Buena Vista Social Club ඇල්බමය ලෝකයට අරගෙන ගිය ‍අපි නොදන්නව වුණාට දන්න අය දැනගෙන හිටපු Chan Chan ගීතය.



මේක Ibrahim Ferrer කියන De camino a la vereda. මම කියන්නෙ පෙරේරගෙ සින්දුව කියල. මේ ගිතයෙ Ibrahim Ferrerගෙ කටහඬේ විචලනයන් මාව මේකට ගැටගහල.



එතකොට මේක හුරු පුරුදු ඇති. අපේ භාතිය සන්තුෂ් එක්ක රූකාන්ත මේ තනුවෙ කෑල්ලකින් සින්දුවක් කියනවනේ.




දැන් එන්නෙ ලෝකෙ තවත් සුන්දර සංගීතමය සංස්කෘතියක් තියෙනවය කියල මම හිතන අයර්ලන්තයට. අපි පිස්සුවෙන් බලපු රොබින් හුඩ් එකේ සංගීතය කරපු Clannad, එතකොට ඔය කසුන් කල්හාර රිදම් කෑලි උස්සනවයි කියල චෝදනා කරන Corrs වගේ කණ්ඩායම් බිහිවෙන්නෙ අයර්ලන්තයෙ. මේ රටේ අනන්‍යතාවය තියෙන සංගීතය හඳුන්වන්නෙ Irish හෝ Celtic කියල. Irish folk music, නැත්තං අයර්ලන්ත ජන ගීත ලෝකයෙ ගොඩක් නිර්මාණ වලට දායක වෙලා තියෙනව. ඒවට අයිතිකාරයො නැති නිසා සහ ඒව අදටත් වින්දනීය නිසා ලෝකයෙ ඉන්න නිර්මාණකාරයො අයර්ලන්ත ජන ගී තමන්ගෙ නිර්මාණ වලට අදටත් යොදාගන්නව. මේ වර්ගයේ සංගීතය අමතක වෙලා තිබිල මෑතකදි ඔළුවට පොල්ලකින් ගැහුව වගේ වැදුණෙ Orthodox Celts කණ්ඩායමේ ඇල්බම් කීපයක්ම අහන්න ලැබුණ හින්ද. ඔවුන් අයර්ලන්ත ගීත නිර්මාණය කලාට ඇත්තටම ඔවුන් සර්බියානු සංගීත කණ්ඩායමක්. ඔවුන්ගෙ ගොඩක් නිර්මාණ පැරණි ජන ගී වල ප්‍රතිනිර්මාණ, නැත්තං අපි cover versions කියල කියන ඒවා. නමුත් Orthodox Celts ඒවට ඔවුන්ගෙ වර්ණ නොසෑහෙන්න මිශ්‍ර කරල තියෙනව.

මේක මේ ලස්සන ගෑණු ළමයෙක්ට වහ වැටිල කියන සින්දුවක්.... Star Of The County Down නමින් හොයල බැළුවොත් මේ සින්දුවෙ අනුවාද ගණනාවක්ම එක එක සංගීතවේදීන් විසින් කරල තියෙන බව පෙනෙයි.




ඒ සින්දුවෙ ඉන්න ගෑණු ළමය තමයි මේක කියන්නෙ. එයා කොහෙදෝ හිර වෙලා... එතනින් එළියට ගන්නලු.




බලන්න වයලීනයත් එක්ක අතරමං වෙන්න පුළුවන්ද කියල...




එතකොට ලංකාවෙ ගල් සංගීතය ගැන කියද්දි ඔළුව අතගාල ටොකු අනින ස්කිට්සෝලට රම්බො හම්බවෙලා තියෙනව තෝසෙ කඩේක ප්ලේන්ටියක් ගගහ ඉන්නකොට! ඒ කතාවත් බලමු!

දන්නවනෙ වීරයො මැරිල කියල. ඉන්න උනුත් වීරකම් පෙන්නන්නෙ නැති බැරි උන්ටමයි. ඒ තරමට වීරයො ජෙනරලයිස් වෙලා...




Buena Vista Social Club එක්ක Orthodox Celts ඇල්බම් මට දුන්නෙ අපේ ලබෙන් හෙවත් ආගන්තු:කයා. උගෙන් මේ ටික අරන් ඌත් එක්කම හෙඩ් ඔෆිස් එකේ වට මේසෙ ඉඳගෙන දුමක් එක්ක මේ ටිකේ මුල්ම කොටස් අහද්දිම මම දැනගත්ත මගේ අතින් ඒ සංගීතය ගැන මෙහෙම බලු ලියවිල්ලක් ලියවෙනව කියල. La ben ටත් ඒක කවුද මන්දා දුන්නලු. කොහොම හරි මට ඒ ඇල්බම් කීපය සංගීතමය නිධානයක් වුණා. හරියට මාස ගාණක් පරිප්පුයි බතුයිම කකා ඉඳල එකපාර ෆ්‍රයිඩ් රයිස් එකක් දැක්කම එන හැඟීමෙම වෙන වර්ෂන් එකක්.

මේ ලියල තියෙන එව්ව ගැන මම දන්න ඉලව්වකුත් නෑ ලාවට එහෙං මෙහෙං කියවල දැනගත්තුව මිසක්. මොකද ඔය හෙවිල්ල අස්සෙ තමයි අළුත් එව්ව මාට්ටු වෙන්නේ... ඒ නිසා වැරැද්දක් තියෙනවනං පෙන්නුවොත් හොඳා.....

Thursday, 21 July 2011

ශ්‍රී ලංකාවේ රස සම රිසි ගී

Elton John

පසුගිය සතිය තුල චාරිකා දෙකක් නිරතවීමේ භාග්‍යය මට හිමි විය. ඉන් එකක් නැගෙනහිර වෙරළ වෙත කල විනෝද ගමනක් හෙවත් වචනාර්ථයෙන්ම ට්‍රිපකි. අනෙක මාගේ ආයතන ප්‍රධානියාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස කැලණිය වෙත කල අවමගුල් චාරිකාවක් හෙවත් ඒත් ට්‍රිපකි. මේ චාරිකා දෙකෙහිදීම ගීත වලින් කිසිදු අඩුවක් ‍තිබුණේ නැත. නැගෙනහිර වෙරළ වෙත කල චාරිකාවේදී වැඩිමනත් ගැයුණේ 90 දශකයේ ගීත වූ අතර කැළණි චාරිකාවේදී ඉන් පෙර 70-80 දශකයන්හි ගීතද ගැයුණේ එම චාරිකාවේ හුන් බොහෝ දෙනා සිය 50වන දශකයේ පසුවූ වැඩිහිටියන් බැවිණි. වචන නොබලා ගී ගැයීමට හැකියාවක් නොමැති නිසා සහය ගායනයෙන් සහ පින්තූර ඇල්ලීමෙන් ඊට දායකත්වය දක්වමින් සිටින අතර චාරිකා දෙකෙහිදීම ඇසුණු ගීත කීපයක් පිළිබඳව මාගේ අවධානය යොමු විය. මේ ගීත කෙතරම් ගායනා කලද එහි අර්ථ පිළිබඳ අප විමසිලිමත් වී ඇත්තේ අවම ලෙස වන බැවින් මාගේ සිතට නැගුණු මේ අදහස් සම්බන්ධයෙන් මම පුදුමයට පත් වීමි. ‍

මේ ගීත අපි සිතා හුන් ආකාරයේ ගීත නොවේ.




මාල ගිරවියේ - මාල ගිරවියේ
මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්ට ආසයි
මං දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි

දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවී
උඹෙ මාලෙ හැබෑ රත්තරංද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ල ගත්තෙ කාගෙන්දැයි අසාවී

මගේ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකිබිඳීවී
අපෙ නැති බැරි කම් මේ තරමට අමිහිරිදැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී

මා කියවා ඇති සහ අසා ඇති ආකාරයෙන් නම් ගිරවියන්ට මාල නැත. මාලය යනු පුරුෂ ගිරවාට විශේෂ වූ ලක්ෂණයකි. එය එසේම නොවේ යැයි කියා තිබූ අවස්ථා කීපයක්ද ඇස ගැටුණු නමුත් ප්‍රධාන වශයෙන් මාලය යනු පිරිමි ගිරවාට පමණක් හිමි ආභරණයකි. එසේ නම් මෙම ගීයෙන් කියවෙන මාල ගිරවිය කවුරුද? විකල්ප දෙකක් තිබේ. එනම්,

1. මේ මාලයක් සහිත ගිරවකුගේ පෙම්වතියක්ව හෝ බිරිඳක්ව වෙසෙන මාල රහිත ගිරවියක් ගැන ගීයකි. එසේ නම් මේ ගමට එන්නට ආසාවෙන් ඉන්නා තැනැත්තා ගම එන්නේ පවුල් අවුලක් ඇති කරවන්නටය.

2. මෙය මාලයක් සහිත පිරිමි ගිරවකු ස්ත්‍රී විලාසයෙන් දැක, එම ගිරවා ගැන කියවෙන ගීතයකි. එනම් මෙය ස්ත්‍රී මානසිකත්වයක් ඇති පුරුෂ මාල ගිරවකු ගැන එම ස්ත්‍රී ගිරවාගේ පුරුෂ පිරිමි ගිරවා විසින් ගැයෙන ගීයකි. එනම් සමරිසි ප්‍රේම ගීයකි.




ලස්සන නම් නෑ පෙනෙන්නේ - ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී

උකුල් තලා සළා ආ නාරිලතාවෝ - අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ
වැයූ වගේ හවුල් වී - ගැයූ රඟේ කොවුල් ගී
ගියේ ඔවුන් ළඳුන් කොහේදෝ

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ - සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ
සිතූ සිතුම් බිඳීලා - පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ

මෙය බැලූ බැල්මට සාමාන්‍ය ප්‍රේම ගීයකි. විරහ ගීයකි. ඒත් මේ සිහි කරන්නේ අපි සිතනා ආකාරයට පැරණි පෙම්වතියක් ගැන බවක් නම් පෙනෙන්නේ නැත. මෙහි සඳහන් වන්නේ දසුන්, කසුන්, අමිල සහ අමල් යන පිරිමින් ගැනයි. ඒ අතරිනුත් අමිල මතක් වීම ම සැපතක් බව කියයි. අපි හිටු කියා මෙම ගිය ගැයුවාට පෙනෙන අයුරින් නම් මෙයද සමරිසි ප්‍රේම ගීයකි.




ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //

හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //


මෙම ගීතය වසර තිහක පමණ ඉතිහාසයක් ඇති, ප්‍රසංග වේදිකාවේද, විනෝද චාරිකාවලදීද, බොහෝ උත්සව අවස්ථා වලදීද ගැයෙන ජනප්‍රිය ගීතයකි. කාන්තාවන්ගේ හැටහතර මායම් ගැන විවිධ පද පේලි ලියා මෙහි අර්ථය සැඟවීමට ගීත රචකයා උත්සාහ ගෙන ඇතත් ඇත්ත වශයෙන්ම මෙහි වරින්වර නැවත නැවත ගැයෙන ආකාරයට මෙම ගීයෙන් කියවෙන්නේ සුරංග නැමැත්තෙක් ස්නානය කරන අවස්ථාවක් ගැනයි. මෙහිදී එම සුරංග නැමැත්තාව යුවතියක ලෙස ගෙනහැරපෑමට රචකයා අතිශය සුන්දර සහ සාර්ථක උත්සාහයක් ගෙන ඇත. එසේ වුවත් මෙහි අර්ථයද දැන් ඉතා පැහැදිලිය.


-----------------------------------------------------------------------------
ප.ලි. මෙය හුදෙක් විනෝද වීමට මිස සමරිසි ප්‍රේමය හෙලාදැකීමටවත්, මෙම ගීත ගායකයන්, රචකයන් හෝ තනු නිර්මාපකයන් අවමානයට ලක් කිරීමටවත් ලියන ලද්දක් නොවේ. සමරිසි ප්‍රේමය යනු විෂමරිසි ප්‍රේමය මෙන්ම හුදු එක් තත්ත්වයක් පමණක් ලෙස මවිසින් සැලකෙන අතර මෙම ගීත මා මෙන්ම රසය කැමති සියල්ලන් විසින් ඉතා ආසාවෙන් රස විඳිනු ලබන විශිෂ්ඨ ගීත වේ. මුල් පද රචනා දෙක ලබාදීම වෙනුවෙන් ලංකා ගී පොතට ස්තූතිවන්ත වෙමි.

Monday, 4 July 2011

ප්‍රාර්ථනා



Daddy හෙවත් අප්පච්චිලාගෙ සංගීත කණ්ඩායමේ ව්‍යාපෘතිය ගැන ලියන්න හිතිල සෑහෙන්න කල් වුණාට සියල්ලටම වඩා ඉහලින් තියෙන කම්මැලිකම විසින් ඒ උවමනාව යටපත් කරල තිබුණෙ. ඇත්තටම කියන්න දේකුත් නෑ. මාරයි කියනව ඇරෙන්න.

ලංකාවෙ තියෙන සංගීත රටා අස්සෙ උඩම තියෙන රටා වලින් ගැලවිලා මුල ඉඳන්ම නිර්මාණ කරපු ඩැඩීල සිංහල වචන එදා මෙදා තුර සංගීතය අස්සෙ ඇහුණ විධිය වෙනස් කලා කිව්වොත් හරි. ඒක එහෙම කරන වෙනත් නිර්මාණකරුවන් කිහිපදෙනෙක් අතරෙ ඩැඩීල වෙනම පාරක යමින් ඉන්නේ. ඒක වැඩිය සෙනග ගැවසෙන පාරක් නොවුණට ඔවුන්ට නිදහසේ ඒකෙ ඇවිදින්න පුළුවන් බවයි පේන්නේ.

මේක ලියන්න හිතුවෙ ඔවුන්ගෙ අරාබිය ඇල්බමය හොඳට පට්ට ගහල ඇති වෙලත් කාලයක් ගත වුණාට පස්සෙ. සංගීත භාණ්ඩ හැසිරවීම ගත්තම ඔවුන් බීටල්ස්ලව තදින්ම ආභාශයට අරන් තියෙන බව පේනව. කට හඬවල් භාවිතය ගත්තත් එහෙමයි. ඒ අස්සෙ ඔවුන් තම තමන්ට අනන්‍ය විලාසයන් හොයාගෙන යමින් ඉන්න බවයි තේරෙන්නේ.



මේ දවස්වල මොළේ කචල් එකක් නිසා වැඩිය ලියන්න බෑ... විඳින්න විතරයි...



මේ තියෙන්නෙ අප්පච්චිලගෙ අරාබියෙ තියෙන සින්දුවක්. මට අනුව නම් හොඳම එකක්. විරේෂ් කුරේ හෙවත් එයාලගෙ භාසාවෙන් චිකා ලංකාවෙ කට හඬ හැසිරවීමේ දක්ෂයන් අතරට ඉබේම වැටෙනව මේ සින්දුවෙන්.

මේ තියෙන්නෙ තවත් ඒ වගේම එකක්.

Sunday, 12 June 2011

කවියට හැඩයක්! | කිසිම හැඩයක් නැතිව

මුළු ලෝකයමත්
ඉන් එහා විශ්වයත්
බ්‍රෑන්ඩ් නේම් අස්සට ගේන්න
තතනන මොහොතක
හිතයි ඩිංගක්
මිදී ඒ වියවුලෙන්
එපිට ගොස් හැරී බලන්නට
ආයෙමත්

දුටු, විඳි, කල නිර්මාණ සියල්ලම
අච්චු අස්සට ගෙන
නාමකරණය කොට
කැටගරි කරවා
ඩේටා බේස් වලට දමා
ඒ ‍ඒ දේ වලට කැමති
ඒ ඒ අයට
ඕනැ ඕනැ හැටියට
මුදා හරියි එකින් එක
යටින් ඇඩ් එක්ක...
'හායි මෙයාලා...
ඔන්න මම ඔයාල ආසම සින්දුව ගෙනාවා...'

ඒ අස්සේ
දකින අමුතු යමක් ගැන
වෙර යොදා හොයා බලා
එය විංසයෝජනය කොට
කෑලි වලට කඩා
කෑලි ගානට ගෙවා
පෙර සැදූ අච්චු අස්සට ඔබයි
"අහා මෙය මේකකි
අර අරකකි
ඔය ඕකය
ඔය ඔක්කොම මේකය"

ජීවිතය ස්ටෑන්ඩඩ් කරවා
කන බොන දකින විඳින
සියළු විලාසයන්ට
සෑදූ ආකෘතියෙන් පිට
පවත්නට නොහැකි වන
එක බින්දුවේ සිස්ටම් හැදෙන
වර්තමානය මෙයයි
අතීතයේදීත් මතකයි
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම
කැටගරයිස් කර
නූතන ගිරවුන්ට ගණින්නට
ගණන් ගැන අන් උන්ට බනින්නට
නාහන උන් නසන්නට
මරා ඇනිවසරියෙදි මස් බුදින්නට
නොදෙඩූ මහා දාර්ශනිකයා
අද වගේම අපූරුයි

එවිට එක මොහොතක
ඔය කියන ආකෘති
තූ තූ කොටපියා හැර
අමුවෙන් ලොවට විවරව
ඵල දරන බිජුවට ගෙන
"මෙය ලෙඩක් මෙය ලෙඩක්
කලින් අපි දැකල නෑ"
වාද බයිලා ගයා
ඒ නවමු බිජුවටම
තූ තූ කොටපියන
පොලිස් ජීවිත

ඒ අස්සේ
කඳු ගල් හෙල් අතර
අනන්ත හැඩ මවා
ගලා යන ගංගාව ගැන...
නොගිණෙන නා නා විසිතුරෙන්
දෑස් අයස්කාන්ත කරවන
වලා පෙල ගැටෙන සිඳු තරඟ ගැන...
සෙකන්ඩ් මොහොතක සිනාසී
මිලි සෙකන්ඩුවෙන් පුෂ්පාග්නිතව
නැවත ප්‍රේමීව උරේ හිස තබන ඇය ගැන...
මතවාද අස්සට ඔබන්නට වෙර දරා
එක ලෙස තබන්නට වෙහෙසුනද
එක ලෙස නොම ගලන
අනන්ත ක්ෂුද්‍ර කම්පනැති ජීවිත ගැන...

ලියන්නට වෙන කවියට විතරක්
මොකටද එක විධියක හැඩයක්?


2011-06-12

Sunday, 15 May 2011

ආයුබොවන් ගුඩ් මෝනින් ||| ත්‍රී ||| රන්වල බලකායෙන්


හරිම හොඳයි හැම බබාම අද ඇවිල්ල වේලසනින්
අපි පන්තිය පටන් ගනිමු ආයුබොවන් ගුඩ් මෝනින්

ආයුබොවන් ගුඩ් මෝනින්

අද පාඩම පටන්ගන්න කලින් සැවොම මේ අහන්න
ලොකු වුණාම වෙන්න කැමති කවුද කියල මට කියන්න
අත උස්සල මට කියන්න

කලින් ලියපු රන්වල බලකායෙ ත්‍රී ප්‍රසංගය ගැන සටහන කියෙව්වනම් මම ඒක කොහොම හරි බලන්න උවමනාවෙන් පෙලුන බව ගැන දන්නව ඇති. මගෙ චාන්ස් එකකටද කොහෙද ඒකෙ කමෙන්ට් එකක් දාපු නවීන් මාධව සහෘදයා ත්‍රී ප්‍රසංගයේ ඊලඟ දර්ශන වාරය ගැන ඔත්තුවක් දීල තිබුණ. ඒක අනුව අදාල දවස්වලදි ක්‍රියාත්මක වෙලා ත්‍රී බලන්න අවස්ථාවක් ලබාගන්න මට පුළුවන් වුණා. අපි කව්රුත් දන්න පොරක් නම් වියදම් කරපු සල්ලිත් අපරාදෙ කියල කිව්වට මටනම් එහෙම හිතුණෙ නෑ. මම සහ මාත් එක්ක ඒක බලපු එයා, මෙයා, මෙයා සහ මෙයා කියන හතර දෙනාම ත්‍රී හොඳට එන්ජෝයි කලා. ප්‍රේක්ෂකාගාරයෙන් ආපු ප්‍රතිචාර අනුවත් එහෙම අවුලක් නම් පෙණුනෙ නෑ. සමහර විට ඉතිං ජස්ටින් බීබර්, ලේඩි ගාගා, රිහානා අහද්දි දොම්කිට දොං තරිකිට වගේ සද්ද ටිකක් අජූත වෙන්න පුළුවන්... :ඇහැක් ගහමි.


මානව හිමිකම් ගැන උද්ඝෝෂණ කරවන
එන්ජීඕ එකක් දමා ගන්නෙමි එහි මුල් තැන


ත්‍රී කියන්නෙ ලංකාවෙ සිංහල ගැමියාගේ ජීවිතයේ සංස්කෘතික ප්‍රසංගයක්. දැන් ගැමියො නෑ කියල අපි හිතුවට අවුරුදු ගාණක් පරණ ගැමියන්ටත් වඩා පරණ අය තමයි දැන් ලංකාවෙ ඉන්නේ.... ඒව වැඩක් නෑ... ත්‍රී, ලංකාවෙ අක්මුල් විහිදුවල තියෙන සිංහල ජනගීය සහ වෙනත් සංගීතමය මූලාශ්‍ර ඇසුරු කරගනිමින් නිර්මාණය වුණ නූතන නිර්මාණ සරණියක්. රුහුණු මායා පිහිටි කියන තුන් සිංහලයේ උඩරට, පහතරට සහ සබරගමු කියන ත්‍රිවිධ සම්පුදායන්ගේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් තමයි ත්‍රී තුල නිරූපණය වෙන්නේ. ලයනල් රන්වල මහත්මයාගෙ අහසෙ ඉන්නවලු, ගම අවුලඤ්ඤං, යුද්දෙටත් ඇවිත් කියන ප්‍රසංග තුනම එහෙම ඒවා තමයි. නමුත් ත්‍රී කියන්නෙ ලයනල් රන්වල මහතාගේ ඝෘජු දායකත්වය අහිමි වුණත් එතුමා බිහිකරපු සම්ප්‍රදාය රැකගනිමින් සිංහල ජන නාද රටා නූතනය එක්ක එකතු වුණ අවස්ථාවක්.


ගයන නටන ඉස්ටාර්ල දැක මගෙ බඩ දනවා
සීසන් ටෙන් එකේදි හරි මම තරුවක් වෙනවා


මේකෙදි තර්ක කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. නිකං ජන ගීයක කෑල්ලක් දාපු පමණින් කොහොමද ඒක සිංහල ජන ගීතය වෙන්නෙ කියලා... ඒ තර්කෙ හරි. සමහර විට එහෙම කෙරුණ නිර්මාණත් අපට අහන්න තියෙනවා. බෙර සද්දයක්, තම්මැට්ටමක් දාපු පමණින් සංගීතය ජන ගී ආරක් ගන්නෙ නෑ. එහෙම ගත්තොත් භාතිය සන්තුෂ්, සෙන්ටිග්‍රේඩ්ස් වගේ අයත් එහෙම නිර්මාණ කරල තියෙනවනේ. නමුත් ඒ නිර්මාණ සේරම ජන ගී විලාසයකින් ගැයෙන්නෙ නෑ. ත්‍රී සහ රන්වල බලකායෙ වෙනත් නිර්මාණ විශේෂ වෙන්නෙ එතනදි. ඒ නිර්මාණවලදි ගීත ගැයෙන රටාව, හඬ උස් පහත් වීම්, එතකොට අර මල ඉලව් ශ්‍රැතිය කියන එක සහ සංගීත රටාවන් වගේ අංග තියෙන්නෙ විවිධ ජන ගී නිර්මාණ වල ඒ ඒ ලක්ෂණ අනුව.

එහෙම කියලා ත්‍රී එකෙත් හැම නිර්මාණයක්ම එහෙමය කියල කියන්නත් බෑ.


තම තමාගෙ ගැන විතරක් දරුවනි හොඳ නෑ හිතන්න
ආස කෙනෙක් නැද්ද මෙතන රටට සේවයක් කරන්න


රඟපෑම් වලදි නළු නිලියන් සියළු දෙනාම සෑහෙන්න කැපවෙලා තිබුණ. වෙනස් නාට්‍යමය අංග ගණනාවකදි ඒවයෙ ප්‍රධාන චරිත නිරූපනය වුණ විධිය සහ පසුබිම් රඟපෑම් අති විශිෂ්ඨයි. කොහොමත් ඔය පසුබිම් රංගනය රන්වල බලකායෙ නිර්මාණ වල ‍ලොකු දෙයක් කරනවා. එක් එක් රංගන ශිල්පායා‍ට එක එක නිර්මාණයෙදි කරන්න වෙනම චරිතයක් තියෙනවා. උවමනා කෙනෙක්ට මේ වීඩියෝවෙන් ඒ ගැන සහතික කරගන්න පුළුවන්.


මම ඉපදුණ මගේ රටට නිහඬ සේවයක් කරන්න
මම ආසයි ජනාධිපති උපදේශක කෙනෙක් වෙන්න


මුළු ශාලාවම දෙදුරුම් කවපු බෙර සද්දෙ නම් අමතක කරන්න බෑ. නම් වලින් මතක නැති එක එක බෙර වර්ග කීපයකින් සහ තම්මැට්ටම්, වයලින්, බටනලා එක්ක ගිටාර් සහ ඩ්‍රම් ඇතුළු වෙනත් අපරදිග භාණ්ඩ පාවිච්චි කරල සංගීතය කම්මැලි නැති ගති තැනක පවත්වගන්න ඒ නිර්මාණකරුවො සමත්වෙලා තිබුණ. කලින් සටහනෙත් කියපු විධියට පැරණි දේ පැරණි විධියටම තිබීමෙන් ඒවට සෙතක් වෙන්නෙ නෑ සමහර දේවල් සැලකුවම. පැරණි ගෘහ නිර්මාණ වගේ එව ඒ විධියටම තිබීම මත ජනප්‍රිය වුණාට සංගීතය ඇතුළු වෙනත් ඇතැම් කලාවන් පැරණි වේශයෙන් පවතින්නෙ නෑ. විශේෂයෙන් ලංකාව වගේ රටවල ඒක එහෙම වෙන්නෙ නෑ. ඒව අළුත් වෙන්නෙ නූතනත්වය එක්ක එකතු වුණාම විතරයි. ඒකෙදි පැරණි දේ සමහරක් නැති වෙනවා. නමුත් කිසි දෙයක් එකම විධියෙන් දීර්ඝ කාලයක් පවතින්නෙ නෑනේ. එහෙමවත් ඒ දේවල් ඇහුණෙ නැත්තං ඕව කට්ටිය අහයිද? ඒව සිංහල දෙමළ අවුරුදු කාලෙට ඔහේ ඇහෙනව විතරනේ සහ කලම්බෝ කලම්බෝ බලපු තරම් පිරිසක් ත්‍රී නොබැලුවෙ ඒ නිසා නේ...


මාධ්‍යවේදියෙක් වෙනව මමනම් ලොකු වීලා
රටට සේවෙ කරනව ඉල්ලන සින්දුව දීලා

කැමතිම සින්දුව දීලා


කොහොමත් මම ත්‍රී බලපු බිෂොප් විද්‍යාලයේ රංග පීඨය ඒ නළු නිලියන්ට පුමාණවත් මදි බවක් දැණුනා. ඔවුන්ගෙ මුල් ප්‍රසංගයේ වීඩියෝ ට්‍රේලරයෙදි ඔවුන් දුව පැන නටපු තරමට නටන්න බිෂොප් වේදිකාවෙදි ඉඩක් ලැබුණෙ නෑ වගේ. කොහොමත් මට දැණුනු එක අඩුවක් වුණේ නර්තනයන්ගේ අඩුව. ඇතැම් ගීත වලට මීට වඩා ප්‍රසාංගික බවක් එකතු කරන්න තිබුණා නම් හොඳයි වගේ කියල මට හිතුණ. ගම අවුලඤ්ඤං ප්‍රසංගයේ ගීත රූපවාහිනියෙන් බලල තියෙන මට ඒ නිර්මාණ නර්තණ සහ නාට්‍යමය අංග වලින් ගොඩක් පොහොසත් කියල හිතුණ. ඒ අතින් ත්‍රී ට තවත් පියවරක් දෙකක් ඉදිරියට යන්න අවකාශ තියෙනවා.


මෙගා නාට්ටියක් කරමි කොටස් දෙතුන්දහක
එහෙන් මෙහෙන් රඟපානව මමත් එහෙක දෙහෙක

අනෙ අපිත් එහෙක දෙහෙක



හැබැයි ඒක ගැන එහෙම චෝදනා කරන එකත් වැරදියි. මොකද නළු නිලියන් 15ක් පමණ පිරිසක් නිර්මාණ 10ක් 12ක් අතරෙ විවිධ රංග වේශයන්ට මාරු වෙමින් ඇඳුම් මාරු කරගනිමින් රඟපාද්දි ඔවුන්ට ඒ මත නියැලෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ හින්දා හැම නිර්මාණයකදිම දැණෙන්න නටයි කියල බලාපොරොත්තු වෙන එක තේරුමක් නෑ. නමුත් ත්‍රී වඩා නාට්‍යමය වීමේ අවශ්‍යතාවය නම් මට පසුවත් දැණුනා. අපි හිතමු ආයෙ බලන්න අවස්ථාවක් ලැබුණොත් මොකක් හරි වෙනසක් :D මොනව වුණත් ත්‍රී තුල තිබුණ නිර්මාණ විවිධත්වය සෑහෙන්න හොඳයි. බොහොම මන්දගාමී වගේම නටන්න ඕන නම් කෙනෙක්ට නටන්නත් පුළුවන් රිද්මයේ නිර්මාණ කීපයක්ම තිබුණා. ඒ එක්කම ඒ නිර්මාණ වල අවස්ථාවන් නිරෑපණය සෑහෙන්න හොඳින් වුණා කියල මගේ දුර්වල නිරීක්ෂණ වලදි තේරුණා. අනාගතේ කවුද වෙන්නෙ කියන නිර්මාණයේ පුංචි එවුන්ගෙ මවා නොගත් සජීවී රඟපෑම් හැමෝටම දැණුනා. මම හිතන්නෙ වයස් බේදයකින් තොරව හැමෝම ඒකට කැමති වුණා. ගාමින්ද ප්‍රියවිරාජ්නෙ ලියල තියෙන්නෙ. මේ සටහනේ මැද්දෙ තැනින් තැන තියෙන්නෙ ඒ සින්දුව තමයි. ඊට අමතරව සිහිගිරි පුරේ කියන චිත්‍රපටි ගීතයෙ රංගනයට මම සෑහෙන්න කැමති වුණා. දිලීපගෙ ලිවිල්ලයි, සහන්ගෙ සංගීතයයි සුරේන්ද්‍ර එක්ක උරේෂාගෙ ගැයිල්ලයි ගැන කියන්න දෙයක් නෑ. ඊ ළඟට මහ බඹාට මූණු දෙකයි, මං මැරිලා, අනේ රකෝ (අනේ යකෝ?) එක්ක නැගෙනා හිරු කියන නිර්මාණයත් මගේ හිතට හොඳටම වැදුණා. ඔය මං මැරිලා කියන සින්දුවත් අපි කරන වැඩවලටම හිනා වෙන්න පුළුවන් සින්දුවක්. අනේ රකෝ කියන සින්දුව බොහොම ලස්සනට ගැයෙන ලස්සන තනුවක් තියෙන ප්‍රේම ගීතයක්. අවසාන අංගය විධියට තිබුණ බෙර වර්ග වලින් කෙරුණ නිර්මාණය විශිෂ්ඨයි. මට මතක් වුණේ හික්කඩුවෙ Elephant Foot බෑන්ඩ් එකේ නිර්මාණ. තම්මැට්ටම් දවුල් සහ උණ කඳන් වලින් නැගුණ සද්ද සේරම එක තාලයක් හදන්න සුසර වුණා හරිම සීරුවට... Tyronne Silvaගෙ ඩ්‍රම්ස් වල සද්දෙ වගේ දැණෙන්න තම්මැට්ටම ගහපු අයිය ගැන මාත් එක්ක හිටපු එක්කෙනෙක්ගෙ හිත ගිහිං තව පොඩ්ඩෙන් ලොකු අලකලංචියකුත් වෙන්න තිබුණා.


කෙනෙක් කරන දේ වැදගත් තමන්ට වාගෙම රටටත්
තමන් කැමති දේ කියන්න අත උස්සල කෙනෙක් තවත්


ත්‍රී ප්‍රසංගයේ නිර්මාණ අඩංගු සංයුක්ත තැටියේ සඳහන් විධියට ඒ හැම නිර්මාණයකම ජන ගී මූලයන් අඩංගුයි. ඒ සංයුක්ත තැටියෙ තියෙන නිර්මාණ බොහොමයකට මම දැන් වහ වැටිලා. විශේෂයෙන් ප්‍රදීප් මුතුකුඩආරච්චි සහ ශිරාණි වික්‍රමසිංහ දෙපලගේ කට හඬ එක්ක මම හොඳටම බැඳිලා. ප්‍රසංගය අතර මිලට ගත්තු රන්වල බලකායෙ කලින් ප්‍රසංග වල නිර්මාණ ඇතුලත් වුණ ගම අවුලඤ්ඤං ඩීවීඩී තැටියෙ තිබුණ විධියට ප්‍රදීප් මුතුකුඩආරච්චි කියන්නෙ ලංකාවෙන්ම විශිෂ්ට ස්ථාන ලබපු ගායන ශිල්පියෙක්. තරුවක් වීම අත්හැරල ඔහු ඉන්නෙ ලාංකික ජන සංගීතය පවත්වාගැනීමේ ව්‍යාපෘතියක. ශිරාණිගේ ක‍ට හඬ ජන ගී ආරටම ගැලපෙන තියුණු හඬක්. ඒ හඬෙන් කුෂානි සඳරේකා, ඉන්දිකා උපමාලි වගේ කෙනෙක්ගෙ සින්දුවක් අහන්න ඇත්නම්...


මම කැමතියි ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න
ලොකු වුණාම හරි ආසයි ක්‍රිකට් වලට යන්න


කෙනෙක්ට හිතන්න පුළුවන් මෙතන තියෙන්නෙ මරිසියක් කියලා. රන්වලලා ජනගීය මාකට් කරල සල්ලි හොයනව නේද කියල කෙනෙක් කියයි. ඒක එහෙම තමයි. එහෙම වටිනාකමකින් තොරව කිසිම දේකට පවතින්න බැරි තර්කයක් ඇතුලෙ ඔවුන් කරන දේ වෙනුවෙන් ඔවුන්ගේ පැවැත්ම ස්ථිර කර ගන්න මූල්‍යමය ගණුදෙනු පැවතීම අවුලක් නෙවෙයි. ඒක අවුලක් නම් ඒ සිස්ටම් එක හැදිල තියෙන විධියෙ අවුලක් මිස රන්වලලගෙ අවුලක් නෙවෙයි. දන්න තරමින් රජය හෝ කිසිම සංවිධානයක් හෝ ආයතනයක් ඔවුන්ට අනුග්‍රහය දක්වන්නෙ නෑ මේ නිර්මාණවල නියැලෙන්න. ඔවුන්ගෙ ප්‍රසංගය යම් අනුග්‍රහයක් මත සිද්ධ වුණාට ඔවුන්ගේ ජීවිත වලට අනුග්‍රහයක් වෙන්නෙ ඔවුන්ගෙ නිර්මාණ විතරයි. ඒකෙදි මැසිවිල්ලක් නැතිව ඔවුන් කරගෙන යන වැඩේ ප්‍රශසංසනීයයි. සමහර විට ජන ගීය හරහා නිර්මාණකරණයේ යෙදෙන එක ඔවුන්ට ආර්ථිකව වාසියක් දෙන කාරණයක් වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට තරගයක් නැති නිසා.


ක්‍රීඩාවත් හොඳයි පුතේ පෙරටම යන්න
උපන් රටට ගෞරවයක් අත්කර දෙන්න


ප්‍රසංගය බලන්න ඇවිත් හිටපු අයගෙන් සැලකිය යුතු කොටසක් අවුරුදු 15ට විතර අඩු දරුවන්. අපට ඉදිරියෙ හිටියෙ එක් දරුවෙක් කරපින්නගෙන තවත් දඟ මලු දෙකක් පාලනය කරගෙන හිටපු තරුණ යුවලක්. ඔවුන්ගේ රසය පවතින තැන සහ ඔවුන්ගේ දරුවන් ඒ තැන් වලට යොමු කරන්න දරන වෑයම ගැන සතුටක් ආවා. ඒ නිසා ප්‍රසංගය මැද පුංචි එවුන්ගෙ බෙරිහන් දීම්, කෑ ගැසීම් එක්ක සුරතල් ප්‍රතිචාරත් ඉවසගන්න අපට පුළුවන් වුණා.

සාමාන්‍යයෙන් කාර්යාලයෙදි හැමදාම ජාතික ගීය අහල මට ඒක දැණෙන්නෙ නැති නිකංම නිකං සින්දුවක් විතරක් වෙලා තිබුණට තම්මැටිටම් බෙර සහ වයලීන වලින් සංගීතවත් වුණ ජාතික ගීය මට ජීවිතේ පළවෙනි වතාවට දැණුනමද කොහෙද. පස්සෙ දැනගත්තු විධියට ඒක මට විතරක් වුණ දෙයක් නෙවෙයි. ඒක ඇහුවමයි හිතුණෙ මෙච්චර දවසක් ජාතික ගීය කියල අහපු එකේ සංගීතය විසින් ඒකෙ වචන වල අර්ථ මරල නේද කියල. ඇත්තට හැමදාම අහපු ජාතික ගීය වෙනුවට ඔය වර්ෂන් එක හොයාගන්න පුළුවන් නම්... උත්සාහයක් දරමු.

මම කියන්නෙ ලංකාවෙ මුල් තියෙන හැමෝටම ත්‍රී දැණෙයි. විශේෂයෙන් අපේකම, දේශීයත්වය ගැන පම්පෝරිය විතරක් තියෙන ගොඩක් දෙනෙක්ට මේක තමන්ව පරීක්ෂා කරන්න හොඳ අවස්ථාවක් වෙයි. බ්‍රිට්නි, එකෝන් අහන ගමන් බටහිරට බණින හෙළයන්ට මේක හොඳ අවස්ථාවක් තමන් ඉන්න තැන ගැන බලන්න. තමන් පෙනී ඉන්න යන දේ තුල තමන් ඇත්තටම ඉන්නවද බලන්න. (එකෝන්, බ්‍රිට්නි මාත් අහනවා. එයාල මේ පෝස්ට් එකේ ආරාධිත රංගණයක ඉන්නේ)

ඉතිං ආයෙ තිබුණොත් ගිහින් බලන්න. එක එක්කෙනාගෙ කතා වලට අහු නොවී තමන් ගිහින් වින්දනය කරන්න. තියෙන දවසක් ආරංචි වුණොත් මටත් කියන්න. මොකද හොඳට ඉඩකඩ තියෙන වේදිකාවක ආයෙමත් ත්‍රී අපූර්වත්වය විඳගන්න ආසයි...


මටනම් බෑ අව්වෙ දිගට ක්‍රිකට් ගහන්න
මෙමට ඕන ක්‍රිකට් බෝඩ් එකට පනින්න
බෝඩ් එකට පනින්න
පැනල සේවෙ කරන්න
ක්‍රීඩකයින් තෝරන්න
වර්ල්ඩ් කප් එක ගන්න