Showing posts with label frame. Show all posts
Showing posts with label frame. Show all posts

Thursday, 4 April 2013

ඩවුන් ටවුන් පල්ස් බලමුද?


සංගීතය කියන එකට පැහැදිලි ඩෙෆිනිෂන් එකක් කවුරුවත් දීල තියෙනවද කියල මම දන්නෙ නෑ. මේ වෙනකොට කියවල තියෙන හැම ඩෙෆිනිෂන් එකක්ම තියෙන්නෙ එක රාමුවකට කොටු වෙලා. ඒ කියන්නෙ එක්කෙනෙක් උත්තර භාරතීය රාගධාරී සංගීතය යනු සංගීතය වේ කියල කියද්දි තව කෙනෙක් යුරෝපීය සංගීතය යනු සංගීතය වේ කියල කියනවා. ඔය හැම සංගීතෙකටම වඩා දකුණු ඇමරිකානු සංගීතෙ සංගීතෙ තමයි කියන කට්ටියකුත් ඇති.

ඔය ගොඩ දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්ණෙ ඔය සංගීත නිර්වචනයෙදිත් එනවා.

අපේ එක චෝයි ඔයාගෙ එක කක්කි!

අපේ එක තමා හොඳ කියන එක අපේ ඔළුවට අමුණපු සර්කිට් බෝඩ් එකක්.

හැබැයි ඔය සර්කිට් ගලවල ටිකක් නිදහසේ හිතුවම සංගීතය කියන්නෙ අපි හිතනවට වඩා ලොකු එකක් කියල තේරෙන්න වැඩි කාලයක් යන එකක් නෑ. අපට ඒ සම්පූර්ණ ටිකම දැණෙන්නෙ නැති වෙන්න පුළුවන්. හැබැයි අනිත් මිනිහ අහන එව ගැන ඉවසන්න අපට පුළුවන් වෙනව එහෙම වුණාම.

සමහර විට අපි කවදාවත් කැමති වෙයි කියල හිතන්න බැරි සංගීතෙකට අපි කැමති වෙන්නත් පුළුවන් එතකොට.

ලංකාවෙත් සංගීතෙ කියල අපි දන්න කාලෙ ඉඳන් පවතින ධාරාවක් තියෙනවා. ඒක ඔය ඉස්සර කෝලම්, ටීටර් වල ඉඳන් චිත්‍රපටි ඔස්සේ ජෝතිල වික්ටර්ල හරහා ඇවිත් භාතිය සංතුෂ්ල ඉරාජ්ල ශිහාන්ලගෙනුත් පස්සෙ මේ වෙද්දි ඔය රුවන් හෙට්ටිආරච්චි වගේ කෙනෙක් ගාවට ඇවිත් තියෙනවා.

හැබැයි ඒ මේන් ස්ට්‍රීම් එක.

ඔයිට විකල්ප ස්ට්‍රීම් කීපෙකුත් තියෙනවා. කසුන් කල්හාර, නදීක ගුරුගේ වගේ අය එයිට විකල්ප වෙන ස්ට්‍රීම් එකක යනවා. ඇත්තටම ඒව විකල්පමයි කියල කියන්නත් බෑ.

ඔය ස්ට්‍රීම් කිව්වට ඒව මේ වෙන වෙන ම ගලාගෙන යන ඇල පාරවල් නෙවෙයි. මම කැමතියි ඒව වෙන් වෙන්ව ගලන ඒත් යම් අවස්ථාවලදි එකට එකතු වෙමින් ආයෙම වෙන් වෙමින් ගලන ඇල පාරවල් කියල හිතන්න.

හරි... බයිල නොගහ කියන්න ආපු වැඩේ කියඤ්ඤං!

ඉතිං ඔය කියපු ඇල පාරවල් අතරින් වෙනස්ම වුණ ඇල පාරවල යන සෙට් එකක් අප්‍රේල් 6 වෙනිද කොන්සර්ට් එකක් කරනවා. තියෙන්නෙ කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව හවස 7 ඉඳන්!
ඒකෙ නම තමයි Down Town Pulse කියන්නේ. වැඩි විස්තර ඕන අයට පහලම දීල තියෙන සම්බන්ධතා පාවිච්චි කරල ඒ ගැන දැනගන්න පුළුවන්. ඒ වුණාට මුකුත්ම නොකියත් බෑනෙ.


ඩවුන් ටවුන් පල්ස්

2013 අප්‍රේල් 06 හවස 7 සිට

මහල්වරාව බේකරිය අසල

ගාස්තු කිසිවක් නැත


මේක මේ පවත්වන්නෙ දෙවෙනි වතාවට. ගිය අවුරුද්දෙත් අපේ කට්ටියටම මේක ගැන ඔත්තුව ලැබුනෙ බොහොම කලින්. ඒ වුණාට අපි ඒක ගණං ගත්තෙ නෑ. මොකද සහභාගි වෙන සංගීත ශිල්පීන්ගෙන් කලින් නම හරි අහල තියෙන අය හිටියෙ කීප දෙනයි. ඒ වුණාට පස්සෙ ඒ ගැන විස්තර ඇහුවම නොගිය ගොන් කම ගැන කම්පා වෙන්න වුණා. ඒ නිසා මේ පාරනං අතාරින්න හිතක් නෑ.

මෙන්න මේ අය තමයි එදාට සින්දු කියන්නේ...


අමිල සහ ගිහාන් ප‍්‍රමුඛ HAPPY JOURNEY

ගීතදේව සහ ෂැගී සමඟ GHOSHA

ඉසුරු කුමාර සමග MIXMASTER BLONG

සරා සමග WANTED

සාක්‍යා සහ චරිත් සමග WAKHAN THANKA

අජිත් කුමාරසිරිගේ NO BAND WITH AJITH

මාධව සමඟ SKITZO

WESTනාහිර DRILL TEAM

O2 හෙවත් අම්ලකර


අපි කීප දෙනෙක් නම් සැට් වෙන්න පතාගෙන ඉන්නවා... හැකියාවක් තියේනං සංගීතෙ වෙනම විධියෙ අත්දැකීමක් විඳින්න කැමතිනං යන එකයි ඇත්තෙ ඕං...



ඩවුං වටුං පුල්සේ විස්තරේ ‍මෙව්වයිං බලාගන්ට!


‍මූනත්තහඩු පුස්තකේ විස්තරේ

සංවිධායක විරාජ් අයියගේ මාධ්‍ය සාගජ්ජාව

කල්ට් ලියන ධර්මෙ අයියගෙ අටුවාව

කුරුළු නාදේ

ගූ ගල් පුල්සේ

ඔබ නළයෙන් ගලයි...

Thursday, 26 May 2011

පින්තූරේ...


ආරියපාල මහත්තය විසි අටවෙනිද පෙන්ෂන් ගන්නව. ඒ ගැන කාටත් තිබුණෙ පුංචි දුකක්. කාර්යාලෙ වැඩ කරපු බොහොම සුහදශීලී මනුස්සයෙක්. අපට වඩා ලොක්කෙක් වුණාට හිටියෙම ‍පොඩි මිනිස්සු එක්ක. රාජකාරියට පණ ඇරලා. වැඩක් කරගන්න ආපු මනුස්සයෙක්ව වැඩේ කරල දෙන්න බැරි වුණත් පුළුවන් තරම් සතුටින් පිටත් කරන්න හැකියාව තිබුණ නිලධාරියෙක්.

පුද්ගලිකවම මට බොහොම දැනමුතුකම් දීපු ගුරුවරයෙක්. කාර්යාලයේ රාජකාරිවලදි වගේම මගේ පුද්ගලික සහ වෙනත් ආර්ථික ගැටළු වලදිත් හොඳ යාළුවෙක් වගේ උදව් කලේ ආරියපාල මහත්තයා.

සමහර විට ඒ මිතුරුකම ඇතිවුණේ එයාටත් මගේ වයසෙම වගේ පුතාල දෙන්නෙක් හිටපු නිසා වෙන්න පුළුවන්.

පෙන්ෂන් යද්දි එයාට මොනවද දෙන්නේ...? ඒක හැමෝටම තිබුණ ගැටළුවක්.

මට තදින්ම දැණුන ගැටළුවක්.

හිතල හිතල අන්තිමේ මම තීරණය කලේ සමරුවක් විධියට එයාගෙ පින්තූරයක් රාමු කරල දෙන්න.

කාර්යාලෙන් අවුරුදු දෙකකට කලින් ත්‍රිකුණාමලේ ට්‍රිප් එක ගිය වෙලේ ගත්තු පින්තූර වගයක් මගෙ ළඟ තිබුණා. ඒ අතර ආරියපාල මහත්තයව බොහොම සුන්දර කෝණ කීපයකින් අරගත්තු ලස්සන පින්තූරය කීපයක්ම තිබුණා.

මම ඉන් එකක් අරන් කොම්පියුටරෙන් කපලා කොටල ඇද හදල ලස්සන මතුකරල ගත්තා. ඒක පින්තූර ස්ටුඩියෝවකින් ප්‍රින්ට් කරලා පෙනුම තියෙන රාමුවකුත් දැම්මෙව්වා. අපරාදෙ කියන්න බෑ බැලූ බැල්මට නියම පින්තූරයක්. මම ඒක ආරියපාල මහත්තයට හොරෙන් කාර්යාලෙ අනිත් යාළුවන්ට පෙන්නුවා. කට්ටියම ඒක බැලුවෙ ලොකු පෙරේතකමකින්. උපරිම වර්ණනාවකින් මගේ හිතේ ආඩම්බරයක් ඇති කරමින්.

කට්ටිය බැලුවට පස්සෙ අදාල දවස වෙනකල් මම ඒක ඔතල අරන් තිබ්බා.

විසි අටවෙනිද උදා වුණා. දවසම ගෙවුණෙ ටිකක් පාළු මූසල බවක් එක්ක. බොහොම තදින් අපේ දුක සැප බෙදාගත්තු සහෝදරයෙක් වගේ වැඩිහිටියෙක් අදින් පස්සෙ අපෙන් සමුගන්නවා. ඒ ගැන තිබුණ දුක නොකිව්වට කාටත් තදින් දැණිල තිබුණා. ආරියපාල මහත්තයා සුපුරුදු හිනාවෙන් වෙනදටත් වඩා ලෙන්ගතුකමින් දවස ගෙවන්න ලොකු උත්සාහයක යෙදුණත් එයාගෙ හිතේ තිබුණ දුකත් හැමෝටම තේරුණා.

හවස ‍තේ වෙලාවත් එක්ක පුංචි සාදයක් පිලියෙල වුණා. ගුණ කථන, ගුණ වැයුම්, සින්දු, කවි, කතා එක්ක බටර් පාරවල් කීපයක්ම අවකාශයට එකතු වුණා. සේරම ලොක්කොයි සොක්කොයි කතා කරල ඉවර වුණාම කවුරුත් තම තමන්ගෙ තෑගි ආරියපාල මහත්තයට දුන්නා. ඊට පස්සෙ තමයි එයාගෙ කතාව පටන්ගත්තේ...

සාම්ප්‍රදායික ස්තූතියකින් පටන් අරන් කාර්යාලෙ හැමෝගෙම හොඳ කියපු ආරියපාල මහත්තයා තමන්ගෙ ඉතිහාසය ගැනත් රාජකාරි ජීවිතය ගැනත් දිගට කතා කලා. රාජකාරියේ නොයෙක් දුක් විඳල කැපීම්, ඇදීම්, නොසැලකීම් ගොඩකට මූණ දීල හොඳ ස්ථාවරයකට ආපු ගමන්මග ගැන දැණෙන්න කියන්න එයාට පුළුවන් වුණා. රාජකාරියට තිබුණ ආදරයත් රාජකාරියෙන් තෘප්තිමත් වීමත් ඒක ජීවිතේටම විහිදුවීමත් වගේ දාර්ශණික දේවල් ගැනත් කතා කලා.

අපට තේරුණේ එයා රාජකාරියට තදින් ඇලිල හිටපු නිලධාරියෙක් කියලයි. ජීවිතේ අවුරුදු හතලිහක්ම රාජකාරියේ නියැලිලා හිටපු නිලධාරියෙක් විධියට එයාගෙ ජීවිතේම වෙලා තිබුණෙ රාජකාරිය. ඒකෙන් ගැලවීම ජීවිතේ නෙවෙයි වගේ කියල එයා හිතන බව අපට තේරුණා.

කතාව අවසානයේ එයාට ඇඬුම් ආවා. ලේන්සුවෙන් ඇස් දෙක පිහින ගමන් එයා කතාව නතර කරල ඉඳගත්තා. කාටත් තිබුණෙ දැඩි දුකක්. ඒත් වන්දනා කිරීම්, වැළඳගැනීම් ගොඩකට පස්සෙ එයාට සමුදෙන්න අපට සිද්ධ වුණා. වාහනේට තෑගි ටික පටවල දීපු කිට්ටුවෙන්ම හිටිය අපි කීප දෙනෙක්ව ආයෙත් වැළඳගෙන ආරියපාල මහත්තයා ගෙදර යන්න පිටත් වුණා.


********************


පහුවදා උදේ වැඩට යද්දි හැමෝම කලබල වෙලා හිටිය හේතුව දැනගත්තම මට උන් හිටි තැන් අමතක වුණා. විජිතවත් ඇදගෙන එවෙලෙම පිටත්වෙන්න මට උවමනා වුණත් කාර්යාලෙම පොදු වාහනයකින් කට්ටියක්ම පිටත් වෙන්න සූදානමින් හිටියා.

ආරියපාල මහත්තය දුක වැඩිකමටද කොහෙද කලින්දා හොඳටම බීල වාහනේ හප්පගෙන.

අපි යද්දි බොඩිය ගෙදරට ගෙනල්ලත් ඉවරයි. ගෙදරට යන පාරෙ දිගටම වාහන නතර කරල නිසා අපේ වාහනේ ඈතින් නතර කරල අපි පයින් ගේ දිහාවට පිටත් වුණා. ආරියපාල මහත්තයගෙ පොඩි පුතා ඇස් රතු කරගෙන අපිව පිළිගත්තා.

කලින්දා රාජකාරියෙන් සමුගත්තු ආරියපාල මහත්තය අද ජීවිතයෙනුත් සමු අරන් තිබුණා. එයාගෙ නිසල දේහය ගේ මැදක නිහඬව තිබුණා. අනතුරක් වුණ බවක් පේන්න නැහැ. මිය ගිහින් වුණත් ‍තේජාන්විත මුහුණ ඒ වගේමයි.

මගේ ඇස් වලට සීරුවෙන් කඳුළු ගලාගෙන ආවා.

මට පේන දර්ශනය ටිකෙන් ටික බොඳ වුණා. ඒ අතරින් මට පෙණුනා...

මම දුන්නු පින්තූරෙ ආරියපාල මහත්තයගෙ ඉහ අද්දරින් තියලා....

ඒකට මල් මාලයකුත් දාලා...




පින්තූරයේ ඉන්නේ Wilfrid Brambell නම් අයර්ලන්ත ජාතික නළුවෙකි.