Showing posts with label cigarette. Show all posts
Showing posts with label cigarette. Show all posts

Tuesday, 8 May 2018

ඇගේ සාරය සොයා


අඩක් දැවී ගොස් ඇති දුම්වැටිය සිය සියොළඟම මා වෙත පූජා කරන්නට දැල්වී බලා හිඳී. විනාඩි කීපයකට මා ගත සිත තැතිගැන්මෙන් මුදවා සමාපත්තියකට ගෙන එන්නට දුම්වැටිය ජීවිතය පුදන්නේය.

මා හාත්පස අඳුරු බිත්ති අතර කිසිදු ආලෝකයක් නැති අඳුරකට මුහුණ දී හිඳිමි. වියළී පිළිස්සී අඟුරුව ගල් වී ගිය හදවත් කුහරයක පතුලේ මම දුම්වැටියේ ආලෝකය පමණක් ඇතිව බලා හිඳිමි.

ඇගේ ආදරයේ තවදුරටත් සාරයක් නොමැති බව වැටහුණු ඇසිල්ලේම සියොළඟම පිපිරී අවකාශයට විසිරී ගියේය. එකෙනෙහිම කළු කුහරයක් පරිද්දෙන් මාගේ ආදරයේ සියළු ස්කන්ධය හදවතට කැටිව මා ද එතුල සිර වී ඇත. ආදරයේ අධික ස්කන්ධයම මා ඉන් මුදවනු නොහී ඒ වෙත අල්ලා තබාගෙන ඇත. ආදරයට පවතින්නේ කිනම් ස්කන්ධයක්ද යන්න ආදරය සෙලවෙන තුරු කිසිවකුට වැටහෙන්නේ නැත. එහෙයින් මා තුල වූ ආදරය කළු කුහරයක් නිපදවන්නට තරම් විසල් වන බවක් කිසි විටක මට වැටහී තිබුනේ නැත. එහෙත් නොවිය යුතු දේම සිදුව ඇත.

ලිංගික ඇසුරක් තුල එක් උපරිමයකින් නැවතී එහි තෘප්තිය මොහොතක් විඳ ඇකිලෙන පිරිමින්ට ගැහැණියගේ සුරතාන්තයේ අනන්තය නොපෙනී ගොස් ඇත්තේ එලෙසින්මය. ඇය පිරිමියා ඉක්මවා සැරිසරන්නීය. ස්ථානීය සුවය සැපක් යැයි විශ්වාස කර එහි තැන්පත් වන්නට කැමති පිරිමින්ට නොවැටහෙන්නේ එය ය. ආදරයේ සාරය අහිමි වන තුරු පිරිමින්ට ආදරය වැටහෙන්නේ නැත. එය වැටහුණු විට පිරිමින් හිස් ලූ ලූ අත දුවමින් ආදරයේ සාරය සොයන්නට නිරර්ථකව වෙහෙසෙති.

ඇයගේ ආදරයේ සාරය ඇත්තේ ඈ තුලමය. එය කිසිදු පිරිමියකුට හිමි නොවේ. එය ඇයට පමණක් වැටහෙන, ඇයට පමණක් අයත් වන, පිරිමින් තමන් සතු යැයි රැවටෙන එහෙත් කිසිදා සදහට පිරිමියකු හට හිමි නොවන්නකි. ඇයගේ ආදරයේ සාරය සරුංගලයකි. එහි නූල නොකඩා තමන් අත තබාගැනීමට ගැහැණිය දක්ෂය.

මා සාරය අහිමි හදවතක් තුල තනිව ඇත්තෙමි. ඒ හදවත තව දුරටත් මා වෙනුවෙන් උද්දීපනය නොවේ. එය හැඟීයාමම බියකරුය. ජිවිතය බැලූ බැල්මට කෙතෙක් උද්දාමව පැවතියද ජීවිතය කැප කළ අරමුණ අහිමිව ඇති බව පසක් වීම මරණය තරම්ම බියකරුය.

ඇගේ ආදරයේ සාරය කොහිද? ඒ සොයන්නට යාම ම මා විසින් ඈ වෙත දරනා ආදරයට කරන පිටුපෑමකි. මගේ ආදරය මා කෙරෙන් ඈ වෙත කොන්දේසි විරහිතව විහිදෙන්නකි. එය සජීවී අජීවී සියල්ලට හිරු රැසක් මෙන් සමව විහිදෙන්නක් වී ආත්මාර්ථකාමීව නොතිබුණේ නම් ප්‍රතිපලය අමතක කර වඩාත් උත්තම තැනක රැඳෙන්නට මට අවකාශ තිබුණි. එහෙත් මා උත්තම නැති ආත්මාර්ථකාමී මනුස්සයෙකි. එහෙයින් ඇගේ ආදරය නැවත මා වෙත විහිදෙන්නේද යන්න සියුම්ව නිරීක්ෂණය කිරීමේ පිරිමි ගොන්කම මම කරමි. ඇගේ ආදරය ඇත්තටම කොහිද? එහි සාරය මවෙතින් ඉවත්ව රැඳී ඇත්තේ කොහිද? නොඑසේනම් ඇගේ ආදරය එහි සාරය කිසි කලෙක මා වෙත හිමි නොවූ, ආදරයේ නාමයෙන් සිදු කල එදිනෙදා වතාවත් සහ ක්‍රියාවන් පමණක්ව පැවති මායාවක් පමණක්ද?

ඇගේ ආදරයේ සාරය කොහිද? එය ඈ කැමති තැනකය. ඇගේ කැමැත්ත තුල ඇයට සතුටක් ලැබෙයි නම් නැවත සාරය සොයමින් වල්මත් වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. සාරය අහිමි බුලත් විටක් මෙන් හපයක් වීමට සූදානමින් විකල්ප සෙවිය යුතුය. නැත්නම් මිය යා යුතුය. නොඑසේ නම් මල් උයන්, මත් ලැගුම්, තරු, සඳු, දේදුණු, වැසි, හිම රැඳුණු ඇගේ දිනයක අවසානයේ මේ කුටියේ ඇඳ මත ඇයගේ හුදෙක් වල්ලභයා ධුරය නොසිතාම භාර ගත යුතුය.

දුම්වැටිය නිවෙන්නට පෙර මම තවත් දුම් වැටියක් දල්වමි. එහි මඳ ආලෝකය අැය නික්ම ගොස් ඉතිරිව ඇති හිස්කම පමණක් නැවත නැවතත් පෙන්වමින් සිත පුළුස්සා දමයි.

ඒ හිස්කම නැවත නැවතත් දකින්නට අකමැත්තෙන් දුම්වැටියකුදු නොදල්වා මේ පාලුව ගෙවා දැමිය නොහැක. විකල්ප මහත් තරමක් නැත. මේ පාලු ගැඹුරේ මත්ව මෙහිම මිය යාමද, ඇගේ හදවතට ඈ හිත්ගත් කලාපයක නැවත පොපියන්නට ඉඩ දී නික්ම යාමද, තවමත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් බලගැන්වී ඇති ආදරය දරාගෙන රැඳී සිටීමද, නැතිනම් වඩා සාධනීය අවසානයක් වෙනුවෙන් කාලයට තවත් ඉඩ දීමද මා වෙත ඉතිරිව ඇති විකල්ප ය.

එහෙත් තීරණය ගන්නට නොහැකි දහසක් හේතු හිස මත හොවා මම හැකිලී හිඳිමි. එහෙයින් දැනට අඳුරේ ගැලී පැවතීම මිස අන් විකල්පයක් මට නැත. ආදරය ප්‍රබලවත්ම එහි වියෝවද ප්‍රබලය. අඳුරුය.

ගැහැණිය සතුව සාරයක් ඇතැයි පිරිමින් එය සොයන්නට යයි. ජීවිතය උහතෝකෝටික කරගනී. එහෙත් ගැහැණියගේ සාරය ඇයද නොදන්නා එකක් බවට කිසිදු සැකයක් නැත. ඇයට එය වගක් නැත. එහෙයින් ඈ සියල්ලට විවෘතය. සියල්ල දරාගන්නට මහා ලොකු වෑයමක් ඇයට අවශ්‍ය නැත. ගැහැණිය දුහුල් යැයි සිතන්නට පිරිමින් කැමති වුවද ගැහැණියගේ දෘඩ බව හමුවේ පිරිමින් පිදුරු ගසකට දෙවෙනි නැත. එහෙත් පිරිමි ලෝකය තුල ගැහැණියගේ අර්ථ දැක්වීම සහමුලින්ම වෙනස්ය. ඒ අර්ථ දැක්වීම තුල රැඳෙන්නට ගැහැණුන් කැමති වන තාක් පිරිමින්ට පාටි දැමිය හැක. හිත වියලා දැමීමට ඉන් පසු පිරිමි ඉගෙන ගනු ඇත.

මම තවත් දුම්වැටියක් දල්වමි. හාත්පස අඳුරට ඉන් එලියක් නැත.

Wednesday, 9 September 2015

කොට කෑලි


මමයි කුමායි අහම්බයකින් කාලෙකට පස්සෙ හමු වුණේ ටිකක් ඈත ගමක පැවතුණු එකම පොදු රාජකාරියට ආයතන දෙකකින් සහභාගි වුණ නියෝජිතයන් විධියටයි.

රාජකාරිය අවසන් වෙලා හවස 3ට විතර ගෙවල් බලා යන්න කලින් අපි දෙන්නා මහ පාර අයිනෙ ගමට හැරෙන හන්දියෙ ළඟ තිබුණ එකම සිල්ලර බඩු කඩේට ගොඩවුණා. දෙන්නා දුම් කූරු දෙකක් පත්තුකරගෙන ආගිය කතා කියවන්න ගත්තෙ පැරණි මතකයන් අතර හිතින් සැරිසරමින්.

පවුල් ගැනත් ළමයි ගැනත් සුපුරුදු කතා ටිකෙන් ටික යොමු වුණේ දේශපාලනේට.

ඉතිං කොහොමද ඡන්දෙ එහෙම? Yeahපාලනේ සැපද?

අනේ මන්ද බං... සේරම මහ අවුලක් වෙලා දැන්... උන් උන්ගෙ ප්‍රශ්ණ තමයි රටේම ප්‍රශ්ණ වෙලා තියෙන්නෙ. මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ හැමදාම ගොඩගැහෙනවා.

ඉස්සරත් එහෙම තමයි බං... තමන් වෙනස් නොවී රට වෙනස් වෙන්නෙ නෑ කියන එක මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.

ඒ වුණාට හැමදාම කට්ටිය ඡන්දෙ ඉල්ලන්නෙ වෙනසක් කරන්න. ඡන්දෙ ගත්තම වෙනස කරගන්නෙ එයාලට...


අපේ කතාව දුම් උගුරු අතර වරින් වර නතර වුණා... ප්ලේන්ටියක් බොන්න තැනක් පේන මානෙක නොතිබුණ නිසා කුමා පළතුරු බීම බොතල් දෙකක් ගත්තා. දුම් උගුරු අතරෙ සැන්ඩ්විච් කරමින් ඒ බීම බෝතලේ හිස් කරන අතරෙ තප්පර කීපෙකට මනෝ ලෝකෙකට ගිය මගේ අවධානය ආයෙමත් පියවි ලෝකෙට යොමුවුණා. ඒ වෙද්දි කුමාගෙ අවධානය යොමු වෙලා තිබුණෙ කඩේට ගොඩවෙලා හිටපු අපේ වයසෙම වගේ කියල හිතෙන කාන්තාවක් දිහාට.

සීනි 100යි, තේ කොල 50යි, පොඩි කිරිපිටි පැකට් එකයි, රතු ළූනු 100යි. මිරිස් කුඩු 50යි. පොල් ගෙඩියයි...

කඩේ මුදලාලි ලැයිස්තුවක් කියවනව. ලැයිස්තුවේ තියෙන්නෙ කවුන්ටරේ හිටගෙන හිටපු කාන්තාව ඉල්ලපුව. බඩු සියල්ල රුපියලේ ෂොපිං බෑග් එකකට දමාගත් ඇය ඒ මල්ල දකුණතේ ඇඟිලිවල පටලා පොල් ගෙඩියත් ඒ අතට ගත්තා.

වමතේ පොඩිවෙලා තිබුණ රුපියල් කොල කීපයක් මුදලාලි අතට ගියා. ඉතිරි වුණ කාසිවලින් ඇගේ සායෙ එල්ලිය හිටපු අවුරුදු 5-6ක විතර පොඩි එකාට ජෙලි පැකට් එකක් ලැබුණා. ඌ ඒක ගත්තෙ නිධානයක් ලැබුණ වගේ සතුටකින්. ඒ පොඩි එකා බාලාංශෙ වගේ පන්තියක වෙන්න ඕන. මඩ පැල්ලමින් බොර පාට වුණ සුදු කමිසෙ කලිසමට යට වෙලා තිබුණෙ බාගෙට.

ගනු දෙනු බේරපු කාන්තාව හිමින් හිමින් හන්දියෙන් හැරිලා ගම ඇතුලට ඇදුණා. පොඩි එකාගෙ පිටේ එල්ලුන ඉස්කෝල බෑග් එකේ ජනප්‍රිය දේශපාලකයෙක් ඉලක්කමක් දිහා බලාගෙන හිනා වෙමින් හිටිය.

මගේ කට කොනට හිනාවක් ආවා...

කුමාගෙ දුම් කූරෙ අග අඟලක අලු වැටියක්. මම උගෙ මූණ දිහා බැලුවා...

උගේ මූණෙත් උපහාසාත්මක හිනාවක්...

ඒත් ඒක හිනාවෙන්න ඕන දෙයක් නොවෙන බව ඌත් දන්න බව මම දන්නවා.

වැඩක් නෑ බං... බම්බුව...

දුම් කූරෙන් ක්ෂණිකව උගුරු දෙකක් ඇදලා කුමා කොට කෑල්ල බිම දාල සපත්තුවෙන් පොඩි කලා.

Saturday, 21 July 2012

ගල් ජීවිතයෙන්...



කාර්යාලයෙ ඉතාම හදිස්සි වැඩක යෙදෙන්න පටන්ගන්නකොටම දුරකථනය සාක්කුව ඇතුලෙ වෙව්ලන්න ගත්තා. මේ වෙලාව ලේසියෙන් කෙනෙක්ට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒත් මේ ඇමතුම කොයිම වෙලාවකදිවත් රිජෙක්ට් කරන්න පුළුවන් එකකකුත් නෙවෙයි. ජීවිතේ ඉතිරිවෙලා තියෙන මනුස්ස සම්බන්ධ කීපය අතරින් එකක් එහා කොනේ තියෙන බව මම දන්න නිසයි ඒ.

හලෝ....

මම ඇමතුමට පිළිතුරු දුන්නා...

උඹ අම්බාණක් වැඩද?

ගනේගොඩ අද නම් තවමත් හොඳ සිහියෙන්...

නෑ නෑ ෂේප්...

ඒ මම කවදත් දෙන උත්තරය. ගනේගොඩ වෙනුවෙන් මම දන්න තරමින් මම ලේසියෙන් බිසි වෙලා නෑ. කොහොමත් ඔහු එහෙම කතා කරන්නෙ මාසෙකට දෙකකට සැරයක් විතරයි...

උඹ බිසි වුණත් කරන්න දෙයක් නෑ බං.. මම දැන් ටිකකට කලින් අම්බාණක් ඇඬුව. මේක දරාගන්න අමාරුයි බං.

ඔහු කියාගෙන ගියා.

ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?

මුකුත් වෙලා නෑ. දරාගන්න අමාරුයි බං. මේව මං කාටද කියන්නෙ?

මොකද ඉතිං අඬන්න හේතුව?

හේතුවක් නෑ හර්ෂ මට අම්ම මතක් වුණා. චූටි මතක් වුණා. අමරෙගෙ පරණ සින්දු ටික ඇහෙනකොට හිස්ට්‍රියට ගිහින් ඉතිං ඇඬුණ. මේව කියන්න එකෙක් නෑ බං. මිනිස්සුන්ට කවදද මේව තේරෙන්නෙ.

මිනිස්සුන්ට වැඩ තියෙනවනෙ ඉතිං. දරාගන්න වෙනවා.

උඹ කියන්නෙ විකල්පයක් නෑ කියලද? උඹ කවදාවත් එහෙම අඬල නැද්ද?

සෑහෙන්න ඉස්සර. අම්මයි තාත්තයි හින්ද.

උඹ මොකද කළේ ඉතිං.

මං ගල්ගැහුණ ඉතිං. වෙන කරන්න දෙයක් නෑ. ඒ කාලෙ එහෙම ඒව කතා කරන්න තරං ෆිට් මනුස්සයෙක් හිටියෙ නෑනෙ.

දරාගන්න එක තමයි නේද බං සීන් එක? දරාගන්නෙ කොහොමද මචං. ඒකෙත් ඉවරයක් නෑ බං. හැඟීම් දැණෙනව වැඩි වුණාමත් මාර වාතයක්.

දැන් අපි ඉන්න ලෝකෙදි ඒක ලෙඩක්.

මොනව කරන්නද බං.. උඹ එහෙනං වැඩක් කරගනිං.

ළඟපාත දුමක් තියෙනවනං ඉතිං ඔය ෆීලිං එක වාෂ්ප කරල දාන්න... නැත්තං නින්දක් දාල නැගිටින්න.

වෙන කරන්න දෙයක් නෑ බං. මං ගාව රුපියල් දහයක් තිබුණා. ගේ අස්සෙ අවුස්සල බලල ඉතිරි ගාන හොයාගන්න ඕන දුමක් ගේන්න.

හා හා ඕන එකක්. හොයාගන්න බැරි වුණොත් ආයෙත් ඇති තරම් අඬන්න.


දුරකථන සංවාදය සුපුරුදු බායි කීපයකට පස්සෙ නිමා වුණේ හිතේ තැන්පත් වුණ බරක් එක්ක. හැමදාම ඔහුත් එක්ක සංවේදී සංවාදයකින් පස්සෙ මට තනියෙන් හිතන්න ඉතිරි වෙන හැඟීම මට දැණුනෙ කාලෙකින්. ඒ තරමට ඔහුත් මමත් ඈත් වෙන්න අරන්. ඇත්තම කිව්වොත් ජීවිතේ අපි අතර ලොකු ප්‍රතිරෝධයක් ඇති කරලා. එකිනෙකා එක්ක සංවාදෙකට වඩා අදහස් තමන් තුලම ගොනු වෙන තනිකමක් ගොඩනැගිලා.

ජීවිතේ අර්ථදැක්වීම් සෑහෙන්න ප්‍රමාණයක් අළුතෙන් හඳුනාගත්තු මිනිහෙක්ට ආදරේ වෙනුවට මිනිස් සම්බන්ධ වල ගනුදෙනු තේරෙද්දි ජීවිතේ අමාරු වෙන එක සරල ඇත්තක්. ඒ අස්සෙ වටේ තියෙන සීමිත මිනිස් සම්බන්ධතා අස්සෙ තියෙන ආදරේ දැණෙද්දි ඇඬනව තමයි. අඬනව ඇරෙන්න ඒකට වෙන විසඳුමක් නැති තරම්. තමන් අසරණයි නම්, තමන්ට උදව් කරන්න ඉන්න අය ඊටත් වඩා අසරණයි නම් මිනිහෙක්ට වෙන විකල්පයක් නැතුව ඇති.

ජීවිතයත් මරණයත් අතර එක්තරා යුද්ධයක් කරමින් ජීවත් වෙන මනුස්සයෙක් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද? හැම මාසෙකදිම ගිගා බයිට් විස්සක තිහක චිත්‍රපටි ටිකක් එක්ක දුම් කූරු හතරක් පහක් විතරක්??? සමහර විට ඔව්. ජීවිතේ වෙනස්වීම් එක්ක එතනින් එහා සංවාද සේරම වචන කීපයකට විතරක් සීමා වෙද්දි, මට ඔහු එක්ක රැඳෙමින් චිත්‍රපටියක් ගැන මොළේ අවුල් කරන සාකච්ඡාවක යෙදෙන්න කාලයක් නැති වෙලා ගිහින්.

එහෙම නැත්තං මුල්ලකින් ඇදල ගන්න 'මම කවුද' කියන උත්තර නැති ප්‍රශ්ණෙ ඔස්සේ හාවගේ ලොම්වලිනුත් මිදිල අභ්‍යවකාශයේ නිමක් නැති එකඟත්වයකුත් නැති සංවාදවල කිමිදෙන්න....

ජීවිතේ සංකීර්ණ වෙලා... හැඟීම් ගල්කරගන්න ඕන වෙලා. අච්චු වලට හැඩගැහුණ ජීවිත අස්සෙ හුරු පුරුදු ඇනුවල් වෙනස්වීම් ඇරුණම කිසිම අහම්බයක් නැතිවීම ඔහුගෙත් ම‍ගේත් සිග් සැග් සයිනාකාර ජීවිත ලීනියර් කරන්න අරන්...

උඹ ආයෙ එනකොට එහෙනං අළුත් වස්තු සම්භාරයක් අරන් වරෙන්...

ඔහු හැමදාම සමුගනිද්දි කිව්වෙ එහෙම.

ගිගා බයිට් විස්සක තිහක වස්තු සම්භාරය...

අඩු තරමෙ ඒ වචන කීපය තාමත් අපි සම්පූර්ණයෙන්ම ගල් වෙලා නෑ කියන එකට සාක්ෂියක් වුණා...

Tuesday, 3 January 2012

අවස්ථිතියෙන් මිදී....




පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.

සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.

විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....

ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...

ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...

ඔහු මුලින් හිතුවෙ එහෙම.

එහෙම හිතලා ලියන්න හිතපු ලියවිල්ල තවම ආරම්භ වෙලා නෑ... ලියන්න ඕන විධිය ගැන හිතුනට පේන්නෙ නම් ලියන්න දෙයක් හිතට නොඑන බවක්... තවමත් කොලයයි පෑනයි අතරෙ අඟලක ඉඩක්...

ඉලව් අවස්ථිතිය... පැතිකඩ රූපයි, විදුලි එලියයි, දුමයි එක්ක ඉදිරියට නොයන්නම හිරවුණ හිත...

ඔහු ඉරියව්ව වෙනස් කරල දුම්වැටියෙ අළු කැඩුවා.

ඊට පස්සෙ දිග දුම් උගුරක්. පෙනහළු වල ගර්ත සේරම පිරිල යන්න...

වෙනස්ම ලියවිල්ලක්? හැම වෙලේම ලියන්න පටන්ගන්නෙ එහෙම. ඒත් ලියවෙන්නෙ හැම වෙලේම එකම දේවල් ටිකක් ගැන. එකම විධියට. වෙනසක් නැතුවම...

සමහර විට ඒ චරිත එකිනෙකින් වෙනස් ඇති. මිනිස්සු ඒ චරිත වලට කැමති ඇති. ඉතිහාසෙ පුරාම වෙන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති.

අවසන් වුනු දුම් වැටිය නිවල පොඩි කරපු ඔහු පුටුවෙන් නැගිට්ටා. බෝල රාමුවෙ එල්ලුණ කෝට් එක දාගෙන කාමරයෙන් එලියට අඩිය තිබ්බා. ඔහුගෙ ගත පුරා දැවටුණෙ උහුලගන්න අමාරු දෙසැම්බර් සීතලක්. ඒක තෙතමනයක් නැති වියලි සීතලක්. ඒ සීතලේ ගැහෙන්න පටන්ගන්න කලින් ඔහුගෙ අත ආයෙමත් දුම් වැටියක් හෙව්වා.

නිවසේ ඉදිරි වැට උඩ ඉඳගත්තු ඔහු වලාකුළෙන් වැහුණු අඳුරු අහසට දුම් උගුරක් විද්දා... ඒ දුමින් කිසි දෙයක් මැවුණෙ නෑ. පාවෙන රුවල් නැවක්, මායාකාරියක්, හිම මිනිහෙක්.... කිසි දෙයක් මැවුණෙ නෑ...

ඒත්  ඒ දුම වියැකිලා යද්දි වලාකුළු අතරෙ ඔහුට එක තරුවක් පෙණුනා.

ඔහු ඒක දැක්කෙ අද. මේ දැන්.

ඒක අළුත් තරුවක්.

ඒත් ඒ තරුව ඊයෙත් පායන්න ඇති... හැමදාම පායන්න ඇති. ඒක ඔහුට අළුත් වුණේ ඔහු ඒක අද දැකපු නිසා මිස තරුව අළුත් නිසා නෙවෙයි.

ඒ මොහොතෙදි ඒ තරුව කවදාවත් නොදිලුණ තරම් දිලිසෙන්න ගත්තා. තරුවේ එලියෙන් ආයෙමත් ඔහුගෙ අනර්ඝ පැතිකඩ රූපයක් මැවුණා.

වෙනස් වෙන්නෙ මම! වටපිටාව හැමදාම එකවගේ... නැත්තං අඩුගානෙ වටපිටාවෙ වෙන වෙනස්කම් දිග කාලයක් පුරා වෙන නිසා ඒව එකපාරම දැණෙන්නෙ නෑ.

ඔහුට එහෙම හිතුණ. ඒක බොහොම වතාවක් හිතිල තියෙන දෙයක් බවත්, මේ මොහොතෙ ආයෙම ඒක මතක් වුණ බවත් ඔහුට ඒ එක්කම මතක් වුණා.

මල ඉලව්ව!

ඔහු දුම් වැටියෙ කොටේ ඉවතට විසි කරල නැගිට්ටා... ආයෙමත් කාමරේට වැදුණ.

පෑනයි කොලයයි අතරෙ ඉඩ ආයෙමත් විනාඩි ගාණක තිස්සෙ පැවතුණා....

ඊට පස්සෙ කොලය මත ගැටුණ පෑනෙ තීන්ත නොකඩවා ගලාගෙන ගියා.

Friday, 20 May 2011

අනේ ඒකත් කරල දෙන්න...



ගිය පාර වර්ල්ඩ් කප් එක දිනවන්න කියල සක්‍ර දේවෙන්ද්‍රව හොයාගෙන ගිය ලාසිංහ දෙවියන්ව ඔයාල දන්නවනේ. පහුගිය වතාවෙ වැඩේ අප්සෙට් වුණ හින්දා උන්නැහේ කාලයක් ඉහල පාලනාධිකාරිය ගැන කලකිරිල තමයි හිටියෙ. පස්සෙ බැලින්නම් ඔය ඉහල පාලනාධිකාරි කියන ඒව සේරම එකයි කියල උන්නාන්සෙට තේරුණා. කොහෙද ඉතිං උදේ ඇහැ ඇරුණු වෙලේ ඉඳන් රෑ සැතපෙනකල්ම ඇසිල්ලක් ලද ඇසිල්ලේ රූප පෙට්ටියට ඔළුව ඔබාගෙන ඉන්නව මිසක් බ්ලොග් එකක්, පොතක් පත්තරයක් කියවනව කියලයැ. ඔය නිසා උන්නාන්සෙ හිතාගෙන හිටියෙම රූප පෙට්ටියෙන් පෙන්නන තරමටම පාලනාධිකාරිය සුන්දරයි කියලා. අනික ගතවුණ කාලෙ ඇතුලත ලංකාවෙ මිනිස්සුන්ට ඒ තරම් යාතිකා කරගෙන ඉන්න තරම් දෙයකුත් ලැබුණෙ නෑ වෙන්න ඇති. මොකද ඊට පස්සෙ උන්නාන්සෙට ලක්වැසියන් කෙරෙහි නැමී ඉන්න වුණේ නෑ...

ඉතිං ලාසිංහ දෙවියො තමන්ගෙ වාසභවනෙ ස්විමිං පූල් එකට වෙලා ලෝකල් අමෘතය ටිකක් තොලගාන ගමන් දිව්‍යාංගනාවන්ගෙ සුමුදු පිරිමැදීම් විඳගෙන ඉන්න අතරෙ උන්නාන්සෙගෙ මොබයිල් එක කෑගහන්න ගත්තා. ෂුවර් එකට පහල ලංකා පුරේ දේවාලෙකින් ඇමතුමක්‍. ඉස්සරනම් ඕවට මොබයිල් ෆෝන් තිබුණේ නෑ. සක්‍රතුමාගෙ වගේම පඬුපුල් පුටුවක් තමයි තිබුණෙ. ඒත් ඒකත් සක්‍රතුමාගෙ එක වගේම ඔරිජිනල් එකක් නෙවෙයි. ඔය චීන දෙයියො ටිකක් ආධාර වශයෙන් මවල දීපුවනේ... හත් අටවතාවක් රත්වෙද්දි ඒකෙත් ෆියුස් ගියා. ඒ නිසා සක්‍රතුමාගෙ නියෝගය මත හැම දෙයියෙක්ටම හායි කියල කට ඇරල කියන්න පුළුවන් ගොඩ්ඩ්‍රොයිඩ් කිරි ටොයියා ෆෝන් එක ගානෙ හම්බ වුණා.

ලාසිංහ දෙවියො ෆෝන් එක දිහා බැළුව. දෙයියන්ටම තියෙන ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් කෙලින්ම දෙයියො බැලුම් දානව වගේ ලයිව් ලෝකෙ වෙන දේවල් බලන්න පුළුවන්. කොළොම්පුරේ පොරසිද්ධ දේවාලෙක මහා යාතිකාවක්. කපුවා රෙදි ගලවගෙන කන්නලව් කරනවා. පණ යනකල් නටනවා.. දිගටම නැටුවොත් හන්දි ගැලවිලා විසිවෙන තරමට. දේවාලෙ වටේ සෙනගත් ටිකක් ඉන්නවා. අත්වල පඬුරුත් යහමින් තියෙනව වගේ. ලාසිංහ දෙයියො ක්ෂණයෙන් ඇඟ පිහිදගෙන දේවාලෙට වැඩම කරා.

"පස්වාන්දහසකට බුදුවන්ඩ දෙවියනේ... ගැත්තන්ට අනුකම්පා කර මේ කන්නලව්වට හිත් යොමන ‍සේක්වා...
උඩ උඩ වර බිම බිම වර පොළොව යටින් වර...
අහ අහ වර කහ කහ වර ගන්ධ බලන් වර...
ලැට්ටොප් ගෙන අයි පෝන් ගෙන වයර් ගහන් වර...
ලිමෝ කෘසර් හැමර් පොෂේ ඕන එකක වර...
නා නා නා නා නා නා නා නා නා නා නා..."

කපුවා කියවන්න ගත්තා... මොඩන් යාතිකාවක් නිසා දෙයියන්ට ටොක්කක් ඇන්න වගේ තේරුණා. ඉතිං දෙයියො කපුවට ආවේස වුණා ඔහෙ හිටු කියලා. දැන් කතාව යන්නෙ කපුවගෙ හඬින් ලාසිංහ දෙයියො අර දේවාලෙ ඉදිරිපිට හිටපු මහජනතාව අමතන විධියට.

"මෙතරම් ජන පිරිසක් එකතු වී මාගේ උපකාරය බලාපොරොත්තු වෙන කාරණේ කුමක්ද?"

අර ජනතාව සේරම දෙනා බිම බලාගෙන දොහොත් මුදුන් දීල වැඳගත්තා. ඒ අතරෙ හිටපු ප්‍රධාන සංවිධායක වගේ පෙණුන මනුස්සයෙක් දෙකට නැමීගෙන ඉදිරියට ආවා.

"අවසර දේවයිනේ... අපි මේ සමස්ථ ලංකා සිල්ලර කඩහිමියන්ගේ සංගමයෙන්..."

ඒ මනුස්සය බැගෑපත්ව කිව්වා...

"ඔව්... කාරණාව කියන්න..."

"අනේ දේවයිනේ... ඔබ වහන්සෙ දන්නවනෙ පෝය දවසෙ මත්පැන් විකුණන්න නීතියෙන් තහනම් කියල."

සංගමේ සභාපති බිම බලාගෙන වැඳගෙන කිව්වා...

"ඔව් ඔව්... අපට දිවැස් කියා එකක් තියෙන්නේ අල්මාරියේ දා තියන්ට නොවෙයි නරය! ඒක බොහොම අගේ ඇති නීතියක්. තොපලාගේ පාලකයින්ගේ අලංකාරවත් ධාර්මික රාජ්‍ය පාලනකෘත්‍යය මැනවින් විදහාපාන අවස්ථාවක්."

"එහෙමයි එහෙමයි... අපි මේ ආවෙ ඔබ වහන්සේට කියල පෝය දවස් වලට මේ...."

"තෙපර බාන්නේ නැතිව වහා කියනු කාරණය..."

"නෑ දේවයිනේ... අපි මේ සිල්ලර කඩ හිමියන්ගේ සංගමය විධියට මේ ඉල්ලීම කරන්න වෙන කෙනෙකුත් නෑ... ඔබ වහන්සේට කන්නලව්වක් කරන එක විතරයි අපට ඉතිරි වෙලා තිබුණේ..."

"අගෙයි අගෙයි.. දෙවියන් ජෝකර්ලා වී ඇති රටක මා හට තවමත් මෙතරම් භක්ත්‍යාදරයක් දැක්වීම ඔබගේ හිතසුව පිණිසම වන්නේය... ඉතින් කාරණය කියව..."

ලාසිංහ දෙයියන්ට පුංචි ආඩම්බරයක් දැණුනා...

"දෙවියනේ අපේ පාලක උන්නාන්සෙල ලව්වා පෝය දවස් වලට දුම්වැටි විකිණීමත් තහනම් කොරල දෙන්ට ඇහැක්නං.."

"මොනවා...? දුම්වැටි? ඇයි එව්ව විකුණන්න තහනම් කරන්නේ...?"

"මේකයි දේවයිනේ... ඔය මත්පැන් විකුණන උදවිය පෝය දවස් වලට තමයි වැඩියෙන්ම ආදායම ලබන්නේ... මොකද එදාට බෝතලේ විකිණෙන්නෙ බෝතල් දෙකේ මිලට නෙව... ඉතිං අපිත් කල්පනා කළේ සංගමයක් විධියට සංවිධානය වෙලා දුම්වැටි තහනමකුත් පෝය දාට ඉල්ලගන්න. එතකොට අපිට එව්වත් දෙගුණෙකට විකුණලා හොඳ ගාණක් හෙව්වෑකි..."

ලා සිංහ දෙයියන්ට තරු පෙණුනා... උන්නාන්සෙ කොයිතරම් කම්පනය වුනාද කිව්වොත් වහාම එතනින් චුත වුණා. කපු උන්නැහේ ඇදගෙන වැටුණා.

සිල්ලර කඩහිමියන්ගේ සංගමයේ උදවිය සෑහෙන්න වෙලාවක් බිම බලාගෙන වැඳගෙන හිටියා...

Thursday, 21 April 2011

ගණංජෙනී බීඩි | For a healthy smoke

වැල වගේ පෝස්ට් දැම්මට පස්සෙ ආයෙ කාලෙකට ලියන්න මාර කම්මැලියි. ඒ වුණාට දවස් කීපයකින් මුකුත්ම ලියන්න වෙන එකත් ෂුවර් නැති නිසා පොඩි ආතල් පෝස්ට් එකක් දාන්න හිතුණා. මේ වර්ගයේ පෝස්ට් දාන්න වෙනම එකක් හදාගෙන යමින් හිටියට කම්මැලිකම හින්දා ඒ සේරම දේවල් ගොළුබෙලි වේගෙන් තමයි සංවර්ධන කරා යැවෙන්නේ...

ඔන්න ඉතිං අපේ ඔෆිස් එකේ ඉන්නවා සස්සන නංගි කෙනෙක් ජෙනී කියලා. එයා ඉතිං ටිකක් ගණං නිසා අපි කියන්නෙ ගණංජෙනී කියල. එයාට ඔය තරුණ ගෑණු ළමයින්ට තියෙන පුංචි පුංචි අසනීප වර්ග ටිකකුත් තියෙනව. හැබැයි කොයි තරම් අප්සෙට් වුණත් එයා අපේ අහිංසක විහිළු උපරිමේකට දරාගන්න පුළුවන් හරිම හොඳ ළමයෙක් තමයි.

ඉතිං එයාගෙ උපන් දිනේ හෙවත් බීඩී එක තිබුණා අප්‍රේල් මුල් සතියෙ.

උපන් දින වලදි සාමාන්‍යයෙන් වෙන විධියට සෙක්ෂන් එකේ සෙට් එකේ දිළිඳු දායකත්වයෙන් එයාට තෑග්ගක් අරන් දෙන අතරෙ මම එයාට දෙන්න හදපු බර්ත් ඩේ කාඩ් එක තමයි පහල තියෙන්නේ. ඉස්සර පින්තූර කඩේ වැඩ කරද්දි නම් ෆොටෝෂොප් වලින් දාපු වැඩ කෑලි දැන් දාන්නෙ අතින් තමයි.

වැඩි කතා ඕන නෑ...