Showing posts with label god. Show all posts
Showing posts with label god. Show all posts

Wednesday, 17 June 2020

හිතන්න දේවල් නැතිකමට



සමන් සහ මගේ මිත්‍රත්වයට අවුරුදු 16කට වැඩි මිසක් අඩු නෑ. ඌ ජීවිතේ ගැන වෙන පැත්තක් හිතන්න පෙළඹවීම් ඇති කරපු යාළුවෙක්. කොළඹ ටවුන්වලත්, ගම්වලත්, කැලෑවලත් ඇවිදින්න මාව ඇදන් ගිය යාළුවෙක්. ජීවිතේ ගියපු හොඳම චාරිකාවත් උගේ අනුග්‍රහයෙන් ලැබුණ එකක්. මොන ප්‍රශ්ණ ආවත් කොයි තරම් ඈත් වුණත් දැනටත් ඕන දෙයක් කතා කරන්න පුළුවන් යාළුවෙක්.

කොවිඩ් අස්සෙ ගේ ඇතුලටම වෙලා ඉද්දි ඌට ඉස්සර කතා කරපු දර්ශනවාදය මතක් වෙලා අපි සෑහෙන්න ඒ ගැන චැට් කලා. ජීවිතේ සමහර දේවල්වලදි අපි ක්‍රියා කරන විධිය හරිද වැරදිද කියන ප්‍රශ්ණය හිතන්න ඌට වෙලාවක් ලැබිලා. ඒකෙදි ලියපු දීර්ඝ ඊමේල් එකක් මේක. ඌ හිතන විධියත් මම හිතන විධියත් වෙනස් වීම ගැන පැහැදිලි කරන්න ලියපු එකක්. මේව සර්ව සම්පූර්ණ ලිවීම් නෙවෙයි. ඕන දිහාකට වැවෙන්න ඇකිලෙන්න පුළුවන් ඒව...

මේ ටික උඹේ චැට් එක බලන අතරෙ හිතුණ බයිල ටිකක්. උඹට හිතෙන ඒවත් කියපං.



ඔය පයිතගරස් ප්‍රමේය ප්‍රායෝගිකව සාධනය කරන වීඩියෝ එක එව්වේ නිකං. සීමාවල් සහ සීමාවල් බිඳින එක ගැන කතා කරපු නිසා. සීමාවල් බිඳින්න පුළුවන් වෙන්නේ මුලින්ම ලෝකය තේරුම් ගන්න උත්සාහ කළොත් විතරයි. සීමාවල් අඳුනගන්නෙ එතකොට. පයිතගරස් ලොක්කා ලෝකෙ තියෙන දේවල් තේරුම්ගන්න උත්සාහ කළා විතරක් නෙමෙයි හැමෝටම ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට ඒක මූලධර්මවලට ගෙනාවා. එයා ලෝකයේ චින්තනයේ වෙනස්වීමක් වෙනුවෙන් ලොකු දායකත්වයක් කලා.

අපි බුදුන් වහන්සේව සලකන්නෙත් හිත කියන එක තේරුම් ගන්න උත්සාහ කරපු හිතේ ස්වභාවය මූලධර්ම වලට/ තියරිවලට ගොඩනගන්න උත්සාහ කරපු කෙනෙක් විදියට.

මම මේ චැට් එක ඊයෙ දවසෙ මුල ඉඳන්ම කියෙව්වා. උඹ මගෙන් අහල තියෙන සමහර දේවල් අපි සෑහෙන කලින් කතා බහ කරලා තියෙනවා. හැබැයි උඹ ඊට පස්සේ ඉදිරියට ඒ ගැන හිතලා නෑ වගේ කියලා මට හිතෙන්නේ. එහෙම උනානං උඹට තාමත් ඒ ප්‍රශ්න තියෙන්න විදිහක් නෑ. නමුත් මම උඹට මොකුත් කියන්නෑ ඒකට. උඹ ගෙවන ජීවිතේ එක්ක උඹට ඒ ගැන හිතන්න පොඩ්ඩක්වත් චාන්ස් එකක් ලැබෙන්නෙ නැතිව ඇති. නමුත් මට කාලය ගැන ලොකු ප්‍රශ්නයක් නැති නිසා මම එක එක දේවල් හිත හිත ඉන්නවා. වැඩක් ඇති නැති ඔළුවට එන හැම එකම හිතනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ මම ගොඩක් දේවල් තේරුම් අරන් කියලා. නමුත් උඹ තාම කරමින් ඉන්න කතාබහ තවදුරටත් කරන එක තේරුමක් නෑ කියල නම් මට තේරිලා තියෙන්නේ. ඒ වගේම මම ලොකු රවුමක් වටයක් ගහලා තේරුම් ගන්න දේ උඹ අසුරු සැනින් තේරුම් ගන්නවා කියලත් මම දන්නවා. සමහර දේවල් උඹ තේරුම්ගන්නෙ ජානමය හැකියාවෙන්. කිසිම තියරියක් නැතුව මේක මෙහෙම තමයි කියලා උඹ තේරුම් ගන්නවා. හැබැයි ඊට පස්සේ ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නවා.

උඹගේයි මගෙයි වෙනස අපි දෙන්න හිතන විදිය ක්‍රම දෙකක් වීම. Two separate thinking patterns. උඹ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත ආගමික පොත් ටිකයි හාමුදුරුවන්ගේ බණ ටිකයි ඔළුවේ තියාගෙන කතා කරන්නේ. මම ඊට වෙනස් ලයින් එකක ඉන්නේ. ඔය දෙකේම ලොකු වෙනසක් නැතුව ඇති. නමුත් අපිට වඩාත් පැහැදිලි මාවත මොකක්ද කියලා තෝර ගන්න ඕනේ. ඒකෙදි අපි දෙන්නා තෝරගන්න පාරවල් දෙක දෙකක් වෙන්නත් පුළුවන්.

උඹ සිද්ධාර්ථ කියන පොත කියවල තියනවද? ඒක ලියලා තියෙන්නේ හර්මන් හෙස කියල ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක්. මහාචාර්ය සෝමරත්න බාලසූරිය පරිවර්තනය කරල තියෙනව. ෆිල්ම් එකකුත් තියෙනව. මම හිතන්නේ අපි බලලා ඇති. ඒකෙ තියෙන්නෙ යාළුවො දෙන්නෙක්ගෙ කතාවක්. උන් දෙන්නම සත්‍යය සොයාගෙන යනවා. දෙන්නටම මගදී බුදුහාමුදුරුවන් හම්බෙනවා. එක යාලුවෙක් ඒ වෙලාවෙම බුදුහාමුදුරුවො ගැන පැහැදිලා මහණ වෙනවා. අනිත් කෙනාට ඒක හරියන්නෙ නැහැ. එයා කියනවා සත්‍යය කියන එක තමන්ම තේරුම් ගත යුතු දෙයක් මිස වෙන කෙනෙක්ව අනුගමනය කිරීමෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එනිසා එයා යාළුවට සමුදීලා එයාගෙ ගමන යනවා. එයා නගරයකට ගිහිල්ලා පොඩි රස්සාවක් කරලා ටික ටික ධනවතෙක් වෙනවා. හොඳට සල්ලි හොයනවා. නගරයේ ඉන්න ලස්සනම කෙල්ලො ආශ්‍රය කරනවා. දරුවෙක් හදනවා. ජීවිතයේ කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒත් අවසානයේ එයා හොයන සත්‍යය එයාට හමු වෙන්නේ නැහැ. එනිසා එයා සියලුදේ අතහැරලා යනවා. එතකොට එයාට හම්බෙනවා ගඟක ඔරු පදින තොටියෙක්. මෙයා මේ තොටියාට උදව් කරගෙන ඉන්නවා. ඔය අතරේ එයා දවසක් ගඟේ තමන්ගෙ ඡායාව දකිනවා. ඒ දකින්නේ තමන්ගේ ම තාත්තාව. ඒ කියන්නෙ ඒ වෙද්දි එයා වයසට ගිහිල්ලා එයාගේ තාත්තාගෙ මුහුණුවර තමයි දැන් එයාට තියෙන්නේ. එයා ඒ ඔස්සේ හිතන්න ගන්නවා. එතකොට එයාට තේරෙන්න ගන්නවා ජීවිතය කියන්නේ ප්‍රවාහයක් කියලා. ඒක හරියට ගඟක් වගේ එක දිගට ගලනවා. තාත්තාලා අපිව බිහි කළා. අපි තව දරුවන් බිහි කරනවා. දරුවෝ තවත් දරුවන් බිහි කරනවා. ඒක හරියට ගඟක් වගේ. ජීවිතය ප්‍රාණීන් අතරින් ගලාගෙන යනවා. තාත්තලා සීයලා වෙද්දි පුතාලා තාත්තලා වෙනවා. එයාට ජීවිතේ චක්‍රීය ස්වභාවේ වැටහෙන්න ගන්නවා. අවසානයේ එයා ඒක තමයි සදාතනික ඇත්ත කියල තේරුම් ගන්නවා. ඇතිවීම, පැවතීම හා නැති වීම.

ඔය පොත මමත් ආයෙ කියවන්න ඕනේ. දැන් කියවද්දී එකේ වෙනත් අර්ථයක් මට තේරෙන්න ඉඩ තියෙනවා.

උඹ හිතනවා ලෝකෙ කෙළවර හොයාගන්න බැරිකම අපිට තියෙන සීමාවක් කියලා. මිනිස්සු කියන්නේ සීමාවල් බිඳගෙන දියුණු වෙච්ච සත්ව කොට්ඨාශයක්. උඹ අකැමති නං ඒක දියුණුවක් විදියට සලකන්න එපා. නමුත් පොදු අර්ථයෙන් ඒකට කියන්නේ දියුණුව කියලා. කැළෑවේ ගල් ගුහාවක් අස්සේ ගල් ආයුධ වලින් මුගටියෙක්ව තලාගෙන කාපු කාලෙ ඉඳන් අපි මේ වෙද්දි සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන වෙනත් ග්‍රහලෝකයකට යානයක් යවල ඒ ග්‍රහලෝකය ගැන හොයන්න පුළුවන් තරමට දියුණු වෙලා තියෙනවා. ඒ වැඩේ මීට අවුරුදු සීයකට කලින් හිතන්න පුළුවන් කමක් තිබුන එකක් නෙවෙයි. ඒ පැත්තෙන් එහෙම දියුණු වෙද්දී අපි අනිත් පැත්තෙන් මිනිස් ශිෂ්ටාචාරය සංවර්ධනය වුනේ කොහොමද කියලා ඉතිහාසය දිහාවට පරීක්ෂණ කරමින් යනවා. ඒ අනුව උඹ, මම, ඇමෙරිකාවෙ මිනිස්සු, චීන මිනිස්සු, ඕස්ට්‍රේලියාව මිනිස්සු ආදී සියලු හෝමෝ සේපියන්ලා අප්‍රිකාවෙන් සම්භවනය වුණ බව අපි හොයාගෙන තියනවා. ඒක තනි මිනිහෙක් හොයාගත්ත එකක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ එක එක මිනිස්සු එක එක පැති ඔස්සේ පරික්ෂා කරල සනාථ කරගත්ත දෙයක්. ඒකෙදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලෝකෙ තේරුම් ගැනීම කියන කාරණය මනුස්සයෙක්ට තමන්ගේ ජීවිත කාලය තුලදී සම්පූර්ණ කරලා ඉවර කරන්න බැරි බව. ඕන මිනිහෙක්ට පුළුවන් සාමූහික ක්‍රියාවලියක කොටස් කාරයෙක් වෙන්න විතරයි.

විශ්වය කෙළවර හොයාගෙන ගියත් අපිට වෙන්නේ ඒ ගමනේ අවුරුදු 70ක 80ක විතර කාලයක් නියෝජනය කරන්න විතරයි. ඉස්සර මිනිස්සු හිතාගෙන හිටියේ ඉර පෘථිවියේ වටේ කැරකෙනවා කියලා. ඊටත් කලින් මිනිස්සු ඉර දෙවියෝ කියලා හිතාගෙන වන්දනාමාන කරා. 1500 ගණන්වලදී කොපනිකස් තමයි සූර්ය කේන්ද්‍රීය වාදය කියලා එකක් ගෙනාවේ. එයා ඒකෙන් අදහස් කරන්නේ ඉර මැදි කරගත්ත ඉර වටා යන සෞරග්‍රහ මණ්ඩලයක්. ඒක එයා කිව්වෙ නිකං නෙවෙයි අභ්‍යවකාශයේ තියෙන වස්තූන්වල චලනය නිරීක්ෂණය කරලා. හැබැයි පල්ලියෙන් එයාගේ අදහස් වලට සීමාවල් දැම්මා. එයා කිව්වෙ බොරු කියලා පිළිගන්න කියලා එයාට බල කරා. තමන් විසින් හොයාගත්ත දේවල් ප්‍රතික්ෂේප කරන්න එයාට සිද්ධ වුණා. පහුකාලෙක ජෝර්දානෝ බෘනෝ කියන ඉතාලියේ දාර්ශනිකයා කොපර්නිකස්ගේ අදහස හරි කියලා කිව්වා. එයාටත් පල්ලියෙන් බලපෑම් කරා. හැබැයි එයා තමන්ගේ මතය වෙනස් කර ගත්තෙ නෑ. ඒ නිසාම එයාව පණපිටින් පුච්චලා මැරුවේ. සත්‍යය හොයන්න උත්සාහ කරපු මිනිස්සුන්ට තිබුණේ ඔහොම අතීතයක්. හැබැයි ඒ සියලු දෙනාම විසින් මිනිසුන්ගේ සිතීමේ සීමා පුළුල් කරලා තියෙනවා. ඉස්සර පෘථිවිය විතරක් ලෝකය කියලා හිතපු මිනිස්සු දැන් විශ්වය ගැනත් මන්දාකිණි ගැනත් විශ්වයේ සීමාවෙන් එපිට තියෙන තවත් විශ්ව ගැනත් කතා වෙනවා හිතන්න පටන් අරන් තියනවා.

හිතපං උඹ 1400 ගණන්වල ඉපදුන එකෙක් කියලා. එතකොට උඹට විශ්වය ගැන තියෙන අදහස දැන් තියෙන එක වෙන්නෙ නෑ. ඒ කියන්නෙ අපි විශ්වාස කරන සත්‍යය පරම එකක් නෙවෙයි. කරුණු ගොඩකට සාපේක්ෂයි. සත්‍යය කියන අදහස වෙනස් වනසුළුයි.

සත්‍යය කියන්නේ ඒක නෙමෙයි කියලා උඹ කියයි. ඒකත් සත්‍යයේ කොටසක්. විශ්වයේ කෙලවර ගැන උඹ උනන්දුයි නම් ඒකෙ කෙළවරක් ගැන හොයන්න පටන්ගත්ත උන්ට වුන දේවල් දැනගන්න එක හොඳ නිසයි ඔය ටික කිව්වෙ.

මේ දේවල් කියන්නෙ මගේ තිංකිං පැටර්න් එක පැහැදිලි කරන්න. ලෝක ඉතිහාසයේ විද්‍යාත්මක සත්‍යය හොයපු අය ගැන දැනගන්න විවේකය සහ ඩේටා තියෙන වෙලාවක cosmos (2014) කියන වාර්තා වැඩසටහන් ටික හොයාගෙන බලන්න.

හැබැයි ඉඳලා හිටල ආගමික ශාස්තෘවරු කියන කට්ටිය බිහිවෙලා ලෝකයට පරම සත්‍යය කියලා එකක් දේශනා කරනවා. ඒ අනුව බිහිවෙච්ච ආගම් හාරදාස් ගාණක් ලෝකෙ තියෙනවා. අපි උපන් ආගම හොඳම එක කියලා විශ්වාස කරන්න අපිට පුරුදු කරලා තියෙන නිසා අපි හිතෙනවා අපි විශ්වාස කරන ආගම තමයි හරිම එක කියලා. නමුත් ලෝකයේ තියෙනවයි කියන ආගම් හාරදාස් ගණන බැලුවම පස්සෙ අපේ ආගම නිවැරදිම එක වෙන්න තියෙන හැකියාව හාර දාහෙන් එකයි. ආගමක් කියල දෙයක් බිහි වෙන්නෙ අනුගාමිකයො ටිකෙන් ටික වර්ධනය වෙලා පසුකාලීනව. මුලදි ඒක එක මනුස්සයෙක් විසින් පවතින ක්‍රමයට අභියෝග කරමින් ඉදිරිපත් කරන අදහස් ටිකක් විතරයි. සමහර විට ඒ මනුස්සය ජීවත් වුණ පරිසරය, කාලසීමාව වගේ දේවල් එක්ක ඒ කාලෙට ඒක පරම සත්‍යය කියල පේන්න පුළුවන්.

අපි ඉපදුන ආගම බුද්ධාගම වුන නිසා අපි රහත් වෙන එක ගැන නිර්වාණය ගැන ඒව මේව හිතන්න පෙළඹිලා තියෙනවා. ලෝකෙ තව මිනිස්සු තම තමන් විශ්වාස කරන ආගම් අනුව අපි ඉපදුනේ කොහොමද අපි ඉන්න ඕනි කොහොමද අපි යන්නේ කොහෙටද වගේ ප්‍රශ්න වලට උත්තර හොයමින් ඉන්නවා. බහුතරයක් දෙනා ආගමික වතාවත් කරමින් ආගමෙන් කියල දෙන විධියට ජීවත් නොවෙමින් නමට ආගමික වෙලා ඉන්නවා.

හැබැයි ලෝකෙ තියෙන බුද්ධාගම නොවෙන අනිත් බොහොම ආගම් සැලකුවම ඒවයෙ තියෙන්නෙ ලෝකය දෙවියෙක් විසින් මැවුවා කියල එකක්. ලෝකයේ සිද්දවෙන දේවල් තීරණය කරන්න සර්වබලධාරී පොරක් ඉන්නවා. උඹට වෙන හොඳ-නරක සියල්ල තීරණය කරන්නේ උන්නාන්සෙ.

එහෙම අදහසක් නැතුව ආගමක් වගේ දේකට පවතින්න අමාරුයි. මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අවසාන උත්තරේ තියෙන්නෙ 'ඒක දෙවියන්ගේ කැමැත්ත' කියන අයිඩියා එකේ.

දැන් එතකොට බුද්ධාගම ඊට වැඩිය වෙනස් ද? බැලූ බැල්මට බුද්ධාගමේ දෙවියෙක් ගැන කියන්නේ නෑ. අඩුගානේ ලෝකයේ සියලු දේවල් සර්වබලධාරී දෙවියෙක් විසින් තීරණය කරන දේවල් කියලා උගන්වන්නේ නැහැ. එතකොට බුද්ධාගම මෙච්චර කාලයක් පැවතුනේ කොහොමද? මිනිස්සු බුද්ධාගම ප්‍රශ්න කරල නැද්ද? බුද්ධාගම අදහන මිනිහෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැද්ද? ඔය උඹට ආව වගේ ප්‍රශ්න බෞද්ධ මිනිස්සුන්ට ඇතිවෙලා නැද්ද? එක එක මිනිස්සු එක එක විදිහට ඉපදෙන්නේ ඇයි කියන එක ප්‍රශ්ණයක් වුනේ උඹට විතරද?

එහෙම වෙන්න බෑනෙ. මිනිස්සුන්ට ඔය ප්‍රශ්න ඇවිත් ඇති. එතකොට ඒකට දෙන උත්තරය මොකක්ද? ලොකු වටයක් ගහල අන්තිමට ලැබෙන උත්තරේ තමයි ඒක උගේ කරුමේ කියන එක. ඒ කියන්නෙ කර්මය.

මම කියන්නේ බුද්ධාගමේදි සර්වබලධාරී දෙවියෝ කියන අදහස හැදෙන්නේ වෙන විදිහකට. කර්මය විදිහට. උඹ උනත් ඔය වචනෙන් දමල ගහනව ඇති මිනිස්සුන්ට. කර්මය. මම හිතන විදියට නම් බුද්ධාගමේ දී කර්මය කියන්නේ දෙවියන් වහන්සේ. කර්මය කියන වචනෙ දාපු ගමන් සියලු තර්ක අහෝසි වෙනවා.

'සියලු දේ ඔබේ කර්ම ශක්තිය මත තීරණය වෙනව. මේ ආත්මෙදි ඔබ විඳින දුකට හේතුව පහුගිය ආත්මයකදී ඔබ කරන ලද පාපකර්ම. මේ ආත්මෙදි ඔබ පෝසත් වීමට හෝ දුප්පත් වීමට හේතුව පසුගිය ආත්මයකදී ඔබ දානමානාදිය ලබා දුන්නාද නැද්ද කියන එක. ඔබ ගිය ආත්මයේදී විරූපී මනුස්සයෙකුට හිනා වුණා නම් ඔබ මේ ආත්මෙදී විරූපී මිනිහෙක් වෙලා ඉපදෙනවා. එහෙම නැත්තං සතෙක් වෙලා ඉපදෙනවා. ඔබ මේ ආත්මෙදි කාලකන්නි වෙලා ඉන්නෙ ගිය ආත්මෙදි පාපකර්ම කරල තියෙන හින්ද.'

ඕක නෙවෙයිද උඹ ඉගෙන ගෙන තියෙන්නෙ?

අපේ පාලනයෙන් තොර දෙයක් විසින් අපිව පාලනය කරනව. හරියට දෙවියන් වහන්සේ වගේ.

මම අදහස් කරන්නේ නෑ බෞද්ධ දර්ශනය වැරදියි කියලා. අනිත් සියලු ආගම් සහ දර්ශනයන් වගේම ඒක ලෝකය තේරුම් ගන්න පුළුවන් එක ක්‍රමයක්. කැමති කෙනෙක්ට ඒ ක්‍රමයට ලෝකය තේරුම් අරගෙන සිස්ටම් එකේ පැවැත්මට අවම වශයෙන් දායක වෙලා මැරෙනකම් ෂේප් එකේ ඉන්න පුළුවන්. ඒකෙදි පරිස්සම් වෙන්න වෙනවා. මොකද අවුරුදු දෙදහස් ගාණක් තිස්සේ පැවත එන එකක් ඒ විදිහටම පවතිනවා කියලා අපිට හිතන්න අමාරු නිසා. ඒ නිසා බුද්ධ දර්ශනය වර්තමාන ස්වභාවය තේරුම් ගනිද්දි පරිස්සම් වෙන්න වෙනවා.

හරි. එතකොට නිවන් දැක්කම හරිද සේරම? කියන්නෙ එහෙමයි. හැබැයි දැකපු අය ඉන්නවද? දැක්කයි කියල කියන අය ඉන්නවා. එයාලව ෂුවර්ද? අපි නිවන් දැකලද සෝවාන් වෙලාද කියල දැනගන්නෙ කොහොමද?

නිර්වාණ මාර්ගයේ ඔය කියන සෝවාන් සකෘදාගාමි වගේ වචන වලින් අදහස් කරන්නේ එක එක බුද්ධි මට්ටම්. ඒ කියන්නේ ඒ මට්ටමට ආවට පස්සෙ ඌ අනිත් පැත්තට හැරෙන්නෙ නැහැ මළාටවත්. ඒක හරියට එකතු කරන්න දන්න එකෙක් 2+2 සමානයි 5යි කියලා කවුරු කිව්වත් පිළිගන්නෙ නෑ වගේ එකක් තමයි. ඒ දැනුම් මට්ටමට ආවට පස්සෙ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ මට්ටම් ළඟා කරගන්න මිනිස්සු හැම කාලෙකම ඉන්නවා. සමහරු කතා කරනවා බොහොම අය කතා නොකර ඉන්නවා. මොකද මේ කාලය එහෙම සුදුසු කාලයක් නෙවෙයි. මම රහත් කියල ඇත්තටම රහත් වුන එකෙක් කිව්වොත් ඌව මරාගෙන කන්නෙ නැති එක විතරයි. බෝසත් දිව්‍ය රාජයා බුදුවෙන උපතේ ඉපදෙන්න පස් මහ බැලුම් බැලුවෙ ඒකයි. මේ බුද්ධෝත්පත්ති කාලයක් නෙවෙයි. හැබැයි හිට් නොවන බුදුවරු අදටත් ඕන තරම් ඉන්නවා. සමහර විට බොහොම දෙනෙක් තමන් ඉන්න මට්ටම ගැන අවබෝධයක් නැතුව ජීවත් වෙනවා. බුද්ධාගම වගේ හිතේ මට්ටම් ගැන කතා කරන දර්ශනයක් ගැන අහල තියෙන, ඒ ගැන උනන්දු කෙනෙක් පොඩ්ඩක් ඒ ගැන හිතන්න හොයන්න පෙළඹෙනවා. ව්‍යාපාරික දැනුමක් සහ ඔය බුද්ධි මට්ටම කියන දෙකම තියෙන අය තමන්ගෙ රහත් බව ප්‍රකාශ කරල ඒකෙන් ව්‍යාපාරයක් කරනවා.

උඹ කැමති නං දිගට කතා කරමු.



Friday, 20 May 2011

අනේ ඒකත් කරල දෙන්න...



ගිය පාර වර්ල්ඩ් කප් එක දිනවන්න කියල සක්‍ර දේවෙන්ද්‍රව හොයාගෙන ගිය ලාසිංහ දෙවියන්ව ඔයාල දන්නවනේ. පහුගිය වතාවෙ වැඩේ අප්සෙට් වුණ හින්දා උන්නැහේ කාලයක් ඉහල පාලනාධිකාරිය ගැන කලකිරිල තමයි හිටියෙ. පස්සෙ බැලින්නම් ඔය ඉහල පාලනාධිකාරි කියන ඒව සේරම එකයි කියල උන්නාන්සෙට තේරුණා. කොහෙද ඉතිං උදේ ඇහැ ඇරුණු වෙලේ ඉඳන් රෑ සැතපෙනකල්ම ඇසිල්ලක් ලද ඇසිල්ලේ රූප පෙට්ටියට ඔළුව ඔබාගෙන ඉන්නව මිසක් බ්ලොග් එකක්, පොතක් පත්තරයක් කියවනව කියලයැ. ඔය නිසා උන්නාන්සෙ හිතාගෙන හිටියෙම රූප පෙට්ටියෙන් පෙන්නන තරමටම පාලනාධිකාරිය සුන්දරයි කියලා. අනික ගතවුණ කාලෙ ඇතුලත ලංකාවෙ මිනිස්සුන්ට ඒ තරම් යාතිකා කරගෙන ඉන්න තරම් දෙයකුත් ලැබුණෙ නෑ වෙන්න ඇති. මොකද ඊට පස්සෙ උන්නාන්සෙට ලක්වැසියන් කෙරෙහි නැමී ඉන්න වුණේ නෑ...

ඉතිං ලාසිංහ දෙවියො තමන්ගෙ වාසභවනෙ ස්විමිං පූල් එකට වෙලා ලෝකල් අමෘතය ටිකක් තොලගාන ගමන් දිව්‍යාංගනාවන්ගෙ සුමුදු පිරිමැදීම් විඳගෙන ඉන්න අතරෙ උන්නාන්සෙගෙ මොබයිල් එක කෑගහන්න ගත්තා. ෂුවර් එකට පහල ලංකා පුරේ දේවාලෙකින් ඇමතුමක්‍. ඉස්සරනම් ඕවට මොබයිල් ෆෝන් තිබුණේ නෑ. සක්‍රතුමාගෙ වගේම පඬුපුල් පුටුවක් තමයි තිබුණෙ. ඒත් ඒකත් සක්‍රතුමාගෙ එක වගේම ඔරිජිනල් එකක් නෙවෙයි. ඔය චීන දෙයියො ටිකක් ආධාර වශයෙන් මවල දීපුවනේ... හත් අටවතාවක් රත්වෙද්දි ඒකෙත් ෆියුස් ගියා. ඒ නිසා සක්‍රතුමාගෙ නියෝගය මත හැම දෙයියෙක්ටම හායි කියල කට ඇරල කියන්න පුළුවන් ගොඩ්ඩ්‍රොයිඩ් කිරි ටොයියා ෆෝන් එක ගානෙ හම්බ වුණා.

ලාසිංහ දෙවියො ෆෝන් එක දිහා බැළුව. දෙයියන්ටම තියෙන ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් කෙලින්ම දෙයියො බැලුම් දානව වගේ ලයිව් ලෝකෙ වෙන දේවල් බලන්න පුළුවන්. කොළොම්පුරේ පොරසිද්ධ දේවාලෙක මහා යාතිකාවක්. කපුවා රෙදි ගලවගෙන කන්නලව් කරනවා. පණ යනකල් නටනවා.. දිගටම නැටුවොත් හන්දි ගැලවිලා විසිවෙන තරමට. දේවාලෙ වටේ සෙනගත් ටිකක් ඉන්නවා. අත්වල පඬුරුත් යහමින් තියෙනව වගේ. ලාසිංහ දෙයියො ක්ෂණයෙන් ඇඟ පිහිදගෙන දේවාලෙට වැඩම කරා.

"පස්වාන්දහසකට බුදුවන්ඩ දෙවියනේ... ගැත්තන්ට අනුකම්පා කර මේ කන්නලව්වට හිත් යොමන ‍සේක්වා...
උඩ උඩ වර බිම බිම වර පොළොව යටින් වර...
අහ අහ වර කහ කහ වර ගන්ධ බලන් වර...
ලැට්ටොප් ගෙන අයි පෝන් ගෙන වයර් ගහන් වර...
ලිමෝ කෘසර් හැමර් පොෂේ ඕන එකක වර...
නා නා නා නා නා නා නා නා නා නා නා..."

කපුවා කියවන්න ගත්තා... මොඩන් යාතිකාවක් නිසා දෙයියන්ට ටොක්කක් ඇන්න වගේ තේරුණා. ඉතිං දෙයියො කපුවට ආවේස වුණා ඔහෙ හිටු කියලා. දැන් කතාව යන්නෙ කපුවගෙ හඬින් ලාසිංහ දෙයියො අර දේවාලෙ ඉදිරිපිට හිටපු මහජනතාව අමතන විධියට.

"මෙතරම් ජන පිරිසක් එකතු වී මාගේ උපකාරය බලාපොරොත්තු වෙන කාරණේ කුමක්ද?"

අර ජනතාව සේරම දෙනා බිම බලාගෙන දොහොත් මුදුන් දීල වැඳගත්තා. ඒ අතරෙ හිටපු ප්‍රධාන සංවිධායක වගේ පෙණුන මනුස්සයෙක් දෙකට නැමීගෙන ඉදිරියට ආවා.

"අවසර දේවයිනේ... අපි මේ සමස්ථ ලංකා සිල්ලර කඩහිමියන්ගේ සංගමයෙන්..."

ඒ මනුස්සය බැගෑපත්ව කිව්වා...

"ඔව්... කාරණාව කියන්න..."

"අනේ දේවයිනේ... ඔබ වහන්සෙ දන්නවනෙ පෝය දවසෙ මත්පැන් විකුණන්න නීතියෙන් තහනම් කියල."

සංගමේ සභාපති බිම බලාගෙන වැඳගෙන කිව්වා...

"ඔව් ඔව්... අපට දිවැස් කියා එකක් තියෙන්නේ අල්මාරියේ දා තියන්ට නොවෙයි නරය! ඒක බොහොම අගේ ඇති නීතියක්. තොපලාගේ පාලකයින්ගේ අලංකාරවත් ධාර්මික රාජ්‍ය පාලනකෘත්‍යය මැනවින් විදහාපාන අවස්ථාවක්."

"එහෙමයි එහෙමයි... අපි මේ ආවෙ ඔබ වහන්සේට කියල පෝය දවස් වලට මේ...."

"තෙපර බාන්නේ නැතිව වහා කියනු කාරණය..."

"නෑ දේවයිනේ... අපි මේ සිල්ලර කඩ හිමියන්ගේ සංගමය විධියට මේ ඉල්ලීම කරන්න වෙන කෙනෙකුත් නෑ... ඔබ වහන්සේට කන්නලව්වක් කරන එක විතරයි අපට ඉතිරි වෙලා තිබුණේ..."

"අගෙයි අගෙයි.. දෙවියන් ජෝකර්ලා වී ඇති රටක මා හට තවමත් මෙතරම් භක්ත්‍යාදරයක් දැක්වීම ඔබගේ හිතසුව පිණිසම වන්නේය... ඉතින් කාරණය කියව..."

ලාසිංහ දෙයියන්ට පුංචි ආඩම්බරයක් දැණුනා...

"දෙවියනේ අපේ පාලක උන්නාන්සෙල ලව්වා පෝය දවස් වලට දුම්වැටි විකිණීමත් තහනම් කොරල දෙන්ට ඇහැක්නං.."

"මොනවා...? දුම්වැටි? ඇයි එව්ව විකුණන්න තහනම් කරන්නේ...?"

"මේකයි දේවයිනේ... ඔය මත්පැන් විකුණන උදවිය පෝය දවස් වලට තමයි වැඩියෙන්ම ආදායම ලබන්නේ... මොකද එදාට බෝතලේ විකිණෙන්නෙ බෝතල් දෙකේ මිලට නෙව... ඉතිං අපිත් කල්පනා කළේ සංගමයක් විධියට සංවිධානය වෙලා දුම්වැටි තහනමකුත් පෝය දාට ඉල්ලගන්න. එතකොට අපිට එව්වත් දෙගුණෙකට විකුණලා හොඳ ගාණක් හෙව්වෑකි..."

ලා සිංහ දෙයියන්ට තරු පෙණුනා... උන්නාන්සෙ කොයිතරම් කම්පනය වුනාද කිව්වොත් වහාම එතනින් චුත වුණා. කපු උන්නැහේ ඇදගෙන වැටුණා.

සිල්ලර කඩහිමියන්ගේ සංගමයේ උදවිය සෑහෙන්න වෙලාවක් බිම බලාගෙන වැඳගෙන හිටියා...

Tuesday, 5 April 2011

ක්‍රිකට් වර්ල්ඩ් කප් ෆයිනල් - දේව විද්‍යාත්මක විග්‍රහයක්!


මා කලින් සූදානම්ව සිටියේ ලෝක කුසලානය පිළිබඳව නිකං විද්‍යාත්මක විග්‍රහයක් කිරීමටය. මා හට සාමාන්‍ය හෝ හැකියාවක් ඇත්තේද මෙලෝ රහකට නැති නිකං විද්‍යාත්මක විග්‍රහයන් කිරීම සඳහා පමණි. එහෙත් වඩාත් හේතුසහගත කාරණා සලකා බැලීමේදී ලෝක කුසලානයේ ජය පරාජය කෙරෙහි අන් කවර සාධකයකටත් වඩා ‍දේව විද්‍යාත්මක සාධක ඇති බව පෙනී යන බැවින් සිදු වූ දෙය දේව විද්‍යාත්මක ලෙස විග්‍රහ කරන්නට සිතුවෙමි. මදක් දීර්ඝ බැවින් කඩිමුඩියේ කියවීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.


...........................................................


කහ පාටින් සිංහයාගේ ලාංඡනය ගහපු නිල් පාට විල්ලුද සළු කෑල්ල ඉන වටේ ඔතාගත්තු ලාසිංහ දිව්‍ය රාජයා සක්‍ර භවනේ දොරටුවෙන් ඇතුල් වුණේ ටිකක් බය පක්ෂපාතව. සිරි ලංකාව වගේ පුංචි රටකට අධිපති වුණ පලියට සක්‍ර භවන වගේ ලොකු කාර්යාලයකට හැම වෙලේම එන්නෙ යන්නෙත් නැති නිසා ලාසිංහ දෙවියන්ට පුංචි නුහුරකුත් නොදැනුණාම නෙවෙයි.

ලාසිංහ දෙයියන්ට ටිකක් මහන්සි දැණුන. ලංකාවෙ හතර දිග්බාගෙම කරක් ගහල පඬුරු ගැන හොයාගෙන ඒ පයින්ම සක්‍ර භවනට වැඩියෙ එකපාරම වැ‍ඩේ කරගන්න. අහසින් වැඩිය වුණත් මේ රත්තරං මාල, කරාබු, වළලු, ඔටුනු තියෙන නිල ඇඳුම දාගෙන කට්ට අව්වෙ අහසින් වඩින එකත් එසේ මෙසේ කෙරුවාවක් නෙවෙයිනෙ.

දාඩිය ටික නිවෙන්න වලාකුළු කෑල්ලක් බෙල්ලට තදකරගෙන අතේ තිබුණ පඬුරු චෙක් එක දාපු බෑග් එකත් ටිකක් තද කරල අල්ලගෙන ලාසිංහ දෙවියො සක්‍ර භවනෙ පිළිගැනීමේ කවුන්ටරේට ළං වුණා.

"මේ... සුරංගනාවි..?"

ලාසිංහ දෙයියො කවුන්ටරේ හිටපු සුරංගනාවියට කතා කලා... මේ දවස් වල රෑ වැඩ කරනවද මන්දා සුරංගනාවි හිටියෙ නිදි මතේද කොහෙද...

"ඇයි?"

දෙගම්මැද පන්සලේ දේවාලෙ ටකරං වහලට වඳුරො පනිනව වගේ කටහඬකින් සුරංගනාවි ලාසිංහ දෙයියන්ව ඇමතුවා.

"මේ... සක්‍ර දේවේන්ද්‍රයාණන් වැඩ ඉන්නවද?"

මස් කන දෙයියන්ට වඩා කටු කන දෙයියන්ගෙ රැස් වැඩියි කියල ලාසිංහ දෙයියොත් දන්න නිසා ටිකක් නෙවෙයි ගොඩක්ම ගෞරවේ දීල තමයි කතා කළේ...

"හ්ම්... වැඩනං තමයි. ඒත් දැන් නං හම්බවෙන්න බෑ... මේ උන්නාන්සෙ භෝජන වළඳන වෙලාව... උදේ එන්න තිබුණනෙ.."

"අනේ ඉතිං, මම කලින්ම එන්නයි හිටියෙ. ඒ වුණාට හිතපු තරම් පඬුරු එකතු වුණේ නැති නිසා අන්තිම වෙනකල් ඉන්න වුණා.... හෙට ෆයිනල් එක නෙව... කොහොම හරි උන්නාන්සෙ හම්බ වෙන්නම ඕන අද..."

ලාසිංහ දෙවියො බැගෑපත් වුණේ කොහොම හරි දේව අනුහසින් ෆයිනල් මැච් එක දිනාගන්න ඕන නිසාමයි.

"අද කවදද? සිකුරාදා... ඇයි බදාද අවෙ නැත්තේ? මහදෙවි දවසෙ එන්න එපැයි. ඔන්න ඉන්දුදීපෙ ප්‍රාන්ත දෙවියො කට්ටිය නම් බදාද සෙමි ෆයිනල් යද්දිම ඇවිල්ල සක්‍රදේවේන්ද්‍රතුමා එක්ක ගනු දෙනු කතාකරගෙන ගියා... "

ඒ පාර සුරංගනාවි කිව්වෙ ටිකක් සීතල වෙලා වගේ...

"කමක් නෑ උන්නාන්සෙ වලඳල අහවර වුණාම කතා කරමු. මම මෙතනට වෙලා ඉන්නම්..."

"මේ දවස් ටිකේම දිව්‍ය ලෝකෙයි මනුස්ස ලෝකෙයි වෙලාවල් එකගානට ටියුන් කරල තියෙන්නෙ ඔය වැඩේ වෙන බව දන්න හින්දා. එහෙනම් ඔතනින් ඉඳගෙන ඉන්නකෝ"

ලාසිංහ දෙවියො පැත්තක තිබුණ ආසන පේලියක එක ආසනේක ඉඳගත්තා. එහෙ මෙහෙ යන සුරංගනාවියො දිහා බැල්ම දාගෙන හිටියා.

වෙලාව ගෙවුණා... ‍භෝජන වෙලාවට පස්සෙ අතුරුපස වෙලාවත්, ඊට පස්සෙ විවේක වෙලාවත්, ඊටත් පස්සෙ පැයක විතර නිද්‍රා වෙලාවකටත් පස්සෙ සක්‍ර දිව්‍යරාජයා එක්ක හවස තේ පානය සමග කතාවක යෙදෙන්න ලාසිංහ දෙයියන්ට පුළුවන් වුණා. සක්‍ර දිව්‍ය රාජයගෙ කාර්යාලෙ පඬුපුල් ආසනේට ළඟින්ම තිබුණ සුදු පාට මේසෙ අනිත් පැත්තෙ ආසනේක ලාසිංහ දෙයියො අසුන්ගත්තා.

"හෙහ් හෙහ්... ලංකාවෙන් ආපු බවක් කලිං කිව්වනං මාත් එක්ක අමෘතය වඩියකුයි දිව්‍ය භෝජන ටිකකුයි ගන්ට තිබුණ නොවැ..."

ගාම්භීර සක්‍ර දිව්‍යරාජයා සුදු යටි රැවුළ අතගාමින් කිව්වා.

"අනේ ඉතිං සිරි ලංකාව වගේ පුංචි කොලණියක් බලාකියාගෙන ඉන්න මං වගේ පුංචි දෙයියෙක් එක්ක ඔබවහන්සේ මොනවට පෑහෙන්න යනවද? මේ තේ බින්දු දෙකතුනක් ඔබ වහන්සේ එක්ක වලඳන්න ලැබුණ එකත් කොයි තරම් වාසනාවක්ද?"

ලාසිංහ දෙවියො ගෞරවේ දීල කතා කලා.... මුලින්ම කට වරද්දගෙනත් බැරි බව උන්නාන්සේ තේරුම් අරන් හිටිය.

"බොහොම හොඳයි... දැන් ගනිමු බලන්ට ගෙනාපු පඬුරු එහෙම..."

සක්‍ර දෙවියො පඬුපුල් ආසනේ හොඳට හරි බරි ගැහුණා. ලාසිංහ දෙවියො කිහිල්ලෙ ගහන් උන්නු බෑග් එක දිගඇරල පඬුරු චෙක් එක මේසය උඩ තියල සක්‍ර දිව්‍යරාජයා දිහාවට හෙමින් තල්ලු කලා.

"මිලියන විස්සයි? මොනවයින්ද මේ? රුපියල් වලින්...? සිරිලංකන් රුපීස්? හපෝ හොඳටෝම මදිනේ..."

සක්‍ර දිව්‍යරාජයා ඇස් උඩ තියන් කිව්වා.

ලාසිංහ දෙයියන්ගෙ මූණ බෙරි වුණා...

"අනේ දේවයිනේ මම කියල කොහෙන් හොයන්නද? ලංකාවෙ නරයො ඉතිං ක්‍රිකට් දිනවන්න කියලම පඬුරු දාන්නෙ නෑ නෙව. ඔය ගාන එකතු කරගත්තෙත් ඔය දුර දුවන බස් වලින් සල්ලි වැටෙන දේවාල ටික හූරලා... ඒ මදිවට හැම මුල්ලකම තියෙන පන්සල්, දේවාල ගානෙ යන්න වුණානෙ මට..."

සක්‍ර දිව්‍යරාජයා පඬුපුල් ආසනෙන් නැගිටල අත්‍ දෙක පස්සට කරල බැඳගෙන කල්පනා කරමින් මේසෙ වටේ කැරකෙන්න ගත්තා.

"ඒව්ව ඉතිං මාකටින් තමයි... තමුන්නැහැලා ගැන මිනිස්සුන්ගෙ පැහැදීම වැඩිකොරාගන්ට තමුන්නැහැලා දැනගන්ට ඕන."

"ඒ වුණත් දේවයිනේ ෆයිනල් එකට එන්න තරම් වැඩකාර නරයො ටිකක් ඉන්න රටක් වුණ එකේ මේව මේ මුදලින් ගණන් හිලව් වලින් මනින එක යෝග්‍ය නෑ නේද?"

"මේකනේ ලාසිංහ උන්නැහේ... ‍අවුරුදු තිහ හතලිහකට උඩදිනං ඔය සෙන්ටිමෙන්ටල් කාරණා උඩ සලකල මම ඔහේ කියන එක අහන්ට තිබුණා. ඒත් දැං කාලෙ එක්ක බැලුවහම මටත් සේරටම කලියෙං පඬුරු තත්ත්වෙ ගැන බලන්ට වෙලා නෙව."

"ඉතිං දේවයිනේ ඔබ වහ‍න්සේ මේ මිලියන විස්ස ගැන සලකන්ට බෑ කියන්නෙ අහවල් කාරණයක් හින්දද කිව්වනං? මම මේ උපන්තේකට මේ තරං පඬුරු තොගයක් ඔබ වහන්සේට ඇන්න ආවමයි නෙව..."

ලාසිංහ කියන්නෙ ලංකාවෙ අතරමග මුල්ලකට වෙලා කකා බිබී ඉඳල මාස දෙක තුනකට සැරයක් විතර වටේ තියෙන දේවාල වලට විසිට් එකක් දාන අයිස් දෙයියෙක් නිසා ලෝකෙ වෙන දේවල් ගැන උන්නාන්සෙට තිබුණෙ අඩු දැණුමක්. ඒකටත් එක්ක සක්‍ර දිව්‍ය රාජයා කියන්නෙ අළුත් තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තමන්ගෙ රාජකාරිය කරන ශ්‍රේෂ්ඨ නායකයෙක්.

"ලාසිංහ දෙයියන්ට මම කියන එක තේරෙන්නෙ නෑ නෙව... හිටින්නකෝ..."

සක්‍ර දිව්‍ය රාජයා ආයෙත් පඬුපුල් ආසනේ ඉඳගත්තා. මේසෙ දිහාවට ආසනේ ළං කරගත්තා. මේසෙ යටින් තවත් පොඩි ලාච්චුවක් වගේ එකක් එළියට අරගෙන මොන මොනවදෝ එබුවා. එතකොටම මේසෙ දෙබෑ කරගෙන මතුවුණේ පැපොල් ලැප්ටොප් එකක්. ලාසිංහ දෙයියො ඇස් උඩතියන් බලං ඉද්දි සක්‍ර ‍දිව්‍යරාජයා මොන මොනවදෝ ඔබලා ලැප්ටොප් එකේ තිරේ ලාසිංහ දිහාවට හැරෙව්වා.

"කියවනව බලන්න ඕකෙ තියෙන ඉලක්කම..."

සක්‍ර ‍දිව්‍යරාජයා කිව්වා...

"එක්දාස් දෙසිය දහයයි! මේ මොකක්ද මේ?"

"ඒක තමයි කියන්නේ... මේ තියෙන්නෙ ඉන්දුදීපෙ ප්‍රාන්ත භාර දෙවිවරු ගෙනාපු පඬුරු වල එකතුව. මිලියන එක්දාස් දෙසිය දහයක්... ඒකත් ඉන්දියන් රුපියල් වලින්.... ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් නම්...."

සක්‍ර ‍දිව්‍යරාජයා ආයෙත් ලැප්ටොප් එකේ බොත්තං එබුවා...

"අද එක්ස්චේන්ජ් රේට් එක අනුව ලංකාවෙ රුපියල් වලින් ආසන්නව මිලියන තුන්දාහක් විතර...."

සක්‍ර ‍දිව්‍යරාජයා බැරෑරුම් බැල්මක් දැම්මා... ලාසිංහ දෙවියන්ගෙ මූණ තවත් බෙරි වුණා...

"අනේ දෙයියනේ... දැන් මම මොකද කරන්නේ...? ලංකාවෙ මිනිස්සු කොයිතරං බලාපොරොත්තුවෙන්ද ඉන්නේ... මාව මෙහෙට එවන්න කන්නලව් කළේ තිහ හතලිහක් දෙනා වුණත් ෆයිනල් එක දිනන එක ලංකාවෙම ප්‍රාර්ථනාවනේ දෙයියනේ..."

"ඔහේ ඔහොම කියනවා... ලංකාවෙ රජතුමත් කන්නලව් කරන්න යන්නෙ ඉන්දියාවේ තිරුපති උන්නැහේගෙ කෝවිලේ... ඔන්න තිරුපති උන්නැහේ කිව්වා ඒ වැඩේ ඉවර වුණ ගමන් තවත් පඬුරු ගේන්නම් කියලා...."

සක්‍ර ‍දිව්‍යරාජයා කිව්වෙ කට කොණකට හිනාවක් එද්දිමයි.

"එහෙනං දේවයිනේ ඔබ වහන්සේ මට දැන් මොනවද කරන්න කියන්නේ...?"

"මුන්නැහේ ගෙනාපු පඬුරු ටික ඔහේ තියෙච්චාවේ... දැන් ගොහින් මුකුත් නොවුණ ගානට ඉන්ට. දිනුවත් පැරදුණත් ඒක සිරිලංකාවෙ දේව ඇදහිල්ල එක්ක ඒ තරං ප්‍රස්ණයක් නෙවෙයි. ප්‍රස්ණයක් වුණත් ඒ ඔහේට විතරයි නෙව. එහෙම අවුලක් වුණොත් මම ඔහේට මේ ළඟපාතකට මාරුවක් හදල දෙන්නම්.... ඒක ඒ හැටි අවුලක් කරගන්ට එපා... සිරිලංකාව වගේ නෙවෙයි නෙව ඉන්දුදීපෙ... මේ තරම් පඬුරු පූජා කරල ඉන්දුදීපෙට කප් එක නොලැබුණොත් කී කෝටියක් දෙවිවරුන්ට කෙලවෙනවද? ඒ නිසා අපි මේ පාර ඉන්දුදීපෙ පැත්තට වාසිය හරවන්නයි ඉන්නේ..."

"ඔබ වහන්සේ වගකීම බාරගන්නවනං මට කමක් නෑ... මම එහෙනං ගිහිං එන්නම්... ඔබ වහන්සේට දීර්ඝායු වේවා..."

ලාසිංහ දෙයියො සක්‍ර ‍දිව්‍යරාජයා ළඟ වැඳ වැටුණා.

"හා... හොඳයි හොඳයි... එහෙනං පරෙස්සමට යන්ට"

"අවසර දේවයිනේ... එක ප්‍රස්ණයක්?"

"ඒ පාර මොකද?"

"මං ඔබ වහන්සේට මේ තරං ළඟින් ඉඳන් මේ තරං දුක් වුණා... ‍ඔබවහන්සේගෙ පාණ්ඩුකම්බල ශෛලාසනය ගිණියම් වුණේ නෑ නෙව?"

"හොහ් හොහ් හෝ...."

සක්‍ර ‍දිව්‍යරාජයා මහ හයියෙන් හිනා වුණා...

"රත්වෙලා රත්වෙලා දැන් කාලෙකට කලින් මේකේ කොයිල් එක පිච්චුණානෙ ඕයි."

සක්‍ර ‍දිව්‍යරාජයා පඬුපුල් ආසනේ මැදුරු කවුළුව පැත්තට හරවගත්තා.

ලාසිංහ දෙයියො හෙමින් හෙමින් පිටවීමේ දොරටුව පැත්තට ඇදුණා...