Showing posts with label paintings. Show all posts
Showing posts with label paintings. Show all posts

Tuesday, 26 July 2011

වලා චිත්‍ර



මිනිස් චිත්තය කල එලි බහින මූලිකම අවස්ථාවක් චිත්‍රය ලෙස මම හඳුනමි. ඒ එසේ සිත පිලිබිඹු කල හැකි වෙනත් මූලික ආකාර ලෙස මා දන්නා වචනය සහ අභිනයට අමතරවය. කුරුටු චිත්‍ර වල සිට දැවැන්ත නිර්මාණකරුවන්ගේ සුවිසල් නිර්මාණ දක්වා වූ චිත්‍ර රාසියක් තුල අතරමං වීමෙන් මා ලද තෘප්තිය මා කෙරෙන් ගිලිහී බොහෝ කල්ය. එහෙත් මා ජීවිතයට බැඳී ඇති සාධක ගණනාවක් අතුරින් චිත්‍රය තවමත් දැවැන්ත භූමිකාවක හිඳියි.

වටපිටාව දෘෂ්‍යව ග්‍රහණය කරගැනීමේ දක්ෂයෙකු වූ මා මිතුරු සමන් මට සිහිවේ. ඔහුත් මමත් දුම් රොටු වල නැගී අවකාශය සිසාරා හැමූ කාලයේ චිත්‍ර පිළිබඳව අපි බොහෝ දේ කතා කර ඇත්තෙමු. එවක පින්තූර කඩය වෙත පැමිණෙන ඡායාරූප ශිල්පියෙකු සතු වූ කඩමාලු හැඳි වයස්ගත මහල්ලාගේ දුක්බර මුහුණේ ජනප්‍රිය ඡායාරූපය දෙස විනාඩි ගණන් බලා හිඳ එතුල වූ නොයෙක් කුඩා රූප පිළිබඳ අපි කතා කළෙමු. මා එම මහල්ලාගේ හැඟීම් අතර මංමුලාව ඇති විට සමන් දුටුවේ මහළු මුහුනේ වූ චන්ද්‍ර ආවාටයන්ය. බ්‍රහස්පතිගේ රතු පැල්ලමය.

ඉඳහිට වහලක් මුදුණේ කුලක වූ විට අහස දෙස බලා නාගරික එලියේ අවපැහැගැන්වී ඇති අහසේ ලා තරු පොකුරක් දෙකක් විසින් අඳිනු ලබන චිත්‍ර ගැන අපි කතා කර ඇත්තෙමු. අදුරු අහසේ ලා සඳැති මොහොතක වරින් වර සඳ මුවා කරන ගැබ්බර වලාවන් දෙස අපි බලා සිටියෙමු. ඒ විරාම අතර බොහෝ නිෂ්චල නිහඬ කාලයන් ගණනාවක් ගෙවී ගොස් ඇත.

ඉන් පසුවද විවිධ උච්ඡාවචනයන්ට ලක්වෙමින් මමත් ඔහුත් ඈත්වී ඇත්තෙමි. ජීවිතයේ හමුවූ මා මෙන්ම වූ මිතුරාත් මමත් සමීප ඇසුරින් මිදී දැන් බොහෝ කල්ය. දැන් ඔහු විවාහකව වෙසෙන අතර තමන්ගේම ආයතනයක මෘදුකාංග සහ දෘඩාංග සමග ඔට්ටු වී හිඳී. මා අදත් මෙලෝ රහක් නැති ජීවිතයක මෙලෝ රහක් නැති රසය විඳිමින් මෙලෝ රහක් නැති යථාර්ථයට මුහුණ දෙමින් හිඳිමි.

ඔබට අහස බලන්නට ඉස්පාසුවක් තිබේදැයි මම නොදනිමි. මටද බොහෝ විට ඇත්තේ අහස හෝ වටපිටාවද බැලීමට නොහැකි ඉස්පාසු රහිත වන අවස්ථාය. එහෙත් ඉඩ ලද හැම විටෙකම මිනිසුන් දෙස නොබලා වටපිටාව දෙස බැලීමට මම හුරු වී සිටිමි. ඉන් මට ලැබෙන්නේ ඒ මොහොතේ තෘප්තිය පමණක් වුවද එය මට මගෙන්ද උපරිමව මිදිය හැකි අවස්ථා උදා කර දෙයි. පැරණි මතකයන් තුලටද අතීතයත් අනාගතයත් තුලටද මාගේ මනස තුල කරක් ගැසීමේ අවස්ථා එය උදා කර දෙයි.

මම හිස් අවකාශයට කියමි. මා විඩා වැටී තෙහෙට්ටුව සිටින ඕනෑම මොහොතක පණ්ඩිතයන්ගේ වාක්‍යයකට වඩා ස්වභාවධර්මය මට උදව්කාරීය. ඉන්ද අහස නිරතුරුවම මා හට උදව් කිරීමට සූදානම්ය. අනන්තය තෙක් එලූ උඩු වියනක් ලෙස පැතිරී විවිධ රටා මවන වලා පෙල අතර මම මිනිසුන් දකිමි. සතුන් ගහ කොල ඇතුලු මා දන්නා සියල්ල හා මා නොදන්නා මවාගත් බොහෝ හැඩතලයන්ද එතුල අන්තර්ගතය. එක් මොහොතකදී මට එතුල අතරමං විය හැකිය.

වලා චිත්‍ර මධුවිතකි. විටෙක මනරම්ව රූබර වූ ස්ත්‍රියකි. විටෙක ආතක් පාතක් නැති සිතිවිලි ‍ගොන්නකි.

මාගේ දිලිඳු දුරකථන කැමරාව සතුවූ කා‍ලයේ පටන් යන යන අහුමුළු පික්සලගත කිරීමේ පුරුද්ද අතරට වලා චිත්‍රයද මුසුවී සෑහෙන කලක් ගොසින්ය.

එදා මෙදා තුර මවිසින් පික්සලගත කරන ලද වලා චිත්‍ර කීපයක් නැරඹීමට මම ඔබට ආරාධනා කරමි.

Friday, 3 June 2011

ගොඩගම එලිමහන් පිරමීඩයේ චිත්‍ර ඇඳිල්ල!


මාතෘකාවෙන්ම වැඩේ අල වෙනව කියල තේරෙණව වුණත් ලියනව ඇර කරන්න දෙයක් නෑ.

දන්නවනෙ ගනේගොඩ අයියව. එයා මේ බ්ලොග් එකේ රැඳිල ඉන්න චරිතයක්. මගේ ජීවිතේ ඇතුලෙත් හැමවෙලේම රැ‍ඳෙන කෙනෙක්. මෙයාගෙ ගෙදර සම්පූර්ණයෙන්ම හදල ඉවර වුණේ මෑතකදි. ඒ කියන්නෙ ආලින්දය විධියට පාවිච්චි කරන්න යොදාගන්න කොටස අළුතින් හැදුවෙ ගෙදර ඉතිරිය සම්පූර්ණ කරලා අවුරුදු 12කට විතර පස්සෙ. හේතුව කම්මැලිකම. එයයි නෝනයි විතරක් ඉද්දි මොකටද ඔය තරම් උජාරුවට ගෙවල් කියල තමයි ගේ නොහදාම හිටියේ.

මේ ආලින්දය කොටසෙ වැඩි යමක් නැති එකම තමයි ගතිය. දකුණු පැත්තෙ තියෙන කොටසෙ උස් බිත්තියක් නෑ. කොට බිත්තියත් එක්ක ඉඳගන්න, නිදාගන්න ඉඩකඩ සහිතව පූර්ණ පහසුකම් තියෙන සිමෙන්ති බංකු කොටසක් තමයි තියෙන්නේ. මේ බංකුවෙ හැඩය අර්ධ වෘත්තාකාරයි. අර්ධ වෘත්ත කොටසෙත් වෘත්ත හැඩය තියෙන්නෙ බාගෙක විතරයි. අනිත් ටික හරියට වෘත්ත චාපයක් කැපුව වගේ තනි බිත්තියකින් වැහිලයි තියෙන්නෙ.

මේක හදල තියෙනව දැක්ක ගමන් මම කිව්වෙ මේක එලිමහන් රංග පීඨයක් වගේ කියල. මොකද මැද තියෙන්නෙ ලොකු ඉඩක්. ඉඳගන්නත් හොඳ තැනක් තියෙනවා. බිත්ති දෙකකින් ඇරුණම අනිත් දෙපැත්තෙන්ම පරිසරයට විවෘතයි.


මෙහෙම හදන්න ඒ දවස්වලම පැලෑනක් තිබිල තියෙනව. මොකද දන්න කාලෙ ඉඳන් ගෙදර ඔය කියන අළුත් කොටසෙ අත්තිවාරම තිබුණෙත් ඔය හැඩේට තමයි. අවසානෙදි කියන්න වෙන්නෙ මේ විධියට මේක හදල තියෙන්නෙ තනිකර සෙට්වීමේ ආතල් එක උදෙසාමයි. ඊට අමතරව අර බංකුව උඩට වෙලා හුළං වැදි වැදී දුමක් එක්ක පොතක් කියවන එක, නැත්තං රස්නෙ දවසක හොඳට දිගෑදිලා දපන එක වගේ ආතල් වලටත් මේක කියාපු පොට් එක කියලයි ගනේ කියන්නේ.

මට සෙට් වුණේ අර තනි බිත්තියෙ චිත්‍රයක් අඳින්න. නිකං නෙවෙයි පිරමීඩ චිත්‍රයක්. අර ඔළුවට වෙස්මූණු දාගෙන අත් පය කොකා මාක් ගහගෙන ඉන්න පිරමීඩ චිත්‍ර. බිත්ති වල ඇඳිල්ල කලින් කරලම නැති වැඩක් වුණාට ගනේ ඉතිං කියන්නෙත් එහෙම වැඩක් විතරයි නිසා මගෙත් තෘප්තිය වෙනුවෙන් ‍වැඩේ කරමු කියල සෙට් වුණා.

මුලින්ම කලේ ජංජාලෙ සැරිසරල ‍අඳින්න තරම් නීට්, පැහැදිලි පින්තූරයක් හොයාගන්න එක. ඒක ඒ තරම් අමාරු වු‍ණේ නෑ. අඩි 4x8 වගේ සයිස් එකකට කරමු කිව්ව නිසා මම ඒ පරිමාණයට අර හොයාගත්තු පින්තූරය එහෙ මෙහෙ කරල හැදුවා. ඊට පස්සෙ ඒකෙ අඟල් බාගෙ කොටු වලින් ග්‍රිඩ් එකක් දැම්මා. ඒ කිව්වෙ බිත්තියට ට්‍රේස් කරගන්න ලේසි වෙන්න පින්තූරෙ පුරා කොටු ගැහුවා. පස්සෙ ඒක ප්‍රින්ට් එකක් ගත්තා.


මේකත් අරන් ගිහින් අදාල පුද්ගලයට පෙන්නුවමයි මිනිහ ඔළුවෙ අතගහගත්තෙ.

"අම්මේ මචෝ මේක උඹ මේ තරම් සිරාවට ගත්තට මෙච්චර ඕන නෑ... අපි මෙන්න මුන් තුන්දෙනා විතරක් අඳිමු."

එහෙම කියලා පොර මට චිත්‍රයෙ කොටසක් පෙන්නුවා. ඊට පස්සෙ අඩි 4x8 ප්‍රමාණයට ඒ කොටස ආයෙත් ස්කේල් කරන්න වුණා.


චිත්‍රයෙ සේරම හදාගත්තට පස්සෙ දෙන්නත් එක්ක මනින ටේප් එකයි ඇළුමිනියම් මට්ටම් ලීයයි එහෙ මෙහෙ කරකවමින් බිත්ති කොටසෙ හරි මැදට වෙන්න අපට ඕන කොටු ටික ඇඳගත්තා. ඒක ඒ තරම් අමාරු වැඩක් වුණේ නෑ. දෙන්නම අති පණ්ඩිතයො වුණ නිසා දෙතුන්පාරක් අල වෙන්න ගිහින් තමයි ෂේප් කරගත්තෙ. :P

ඊට පස්සෙ මම පැන්සලක් අරන් අර කොලේ බලාගෙන ඒකෙ කොටුවෙන් කොටුව බිත්තියට කොපි කරමින් වැඩේ කරන්න පටන්ගත්තා. එතකොට තමයි වැඩේ බරපතලකම තේරුණේ. අර ගයිඩ් එකට ගත්තු කොලේ කොටු හැමතැනම. මුල් වර්ශන් එකේදි මම දාපු කොටු ටිකයි පස්සෙ ස්කේල් වෙනස් කරපු වතාවෙ පැන්සලෙන් ඇඳපු කොටු ටිකයි සේරම ටැපලෙනවා අඳින්න ගියාම. දෙතුන් වතාවක්ම වරද්දගත්තත් මකන කෑල්ලක බාගයක් ගෙවෙනකල් මකල ආයෙත් හරියට ඇඳගත්තා. කොහොමින් හරි අන්තිමේ ඇදක් නැතිව වැඩේ කෙරුණා.


ඊට සති දෙකකට පස්සෙ තමයි මම ආයෙත් ඒ පැත්තෙ යැවුණෙ හරියටම පහුගිය මැයි 30 වෙනිදා. එදා ගනේගොඩ අයියා පින්සල් දෙකක් එක්ක තීන්ත ටිකත් ලෑස්ති කරල තිබුණ. ඊට අමතරව එයා අර චිත්‍රවල ඉරි ඉතිරි කරල අනිත් වැඩක් නැති ඉරි සේරම බිත්තියේ පාට තීන්ත වලින් වහල තිබුණ. ඉතිං මම කෙලවරක ඉඳන් පටන්ගත්ත වැඩේ. අතරින්පතර දුමක් දෙකක් එහෙ මෙහෙ ගියා.


අන්තිමේ final, last අවසාන ප්‍රඩක්ට් එක විධියට කළු දාර සහිත පිරමීඩ චිත්‍ර සම්පූර්ණ වුණා. පාට කරන්නත් මුලින් අදහසක් තිබුණට පස්සෙ හිතුණා පාට කරනවට වඩා නිකංම තියෙන එක හොඳයි කියලා. මදි පාඩුවට ‍‍මෝස්තරයක් දාමු කියලා ෆයිල් කවරෙකින් අච්චුවක් කපාගෙන බෝඩරෙකුත් ගැහුවා යටට වෙන්න. දැන් වැඩේ හරි. හොඳ නෑ වගේනම් ආයෙ ඒ පැත්තෙ ගිය දවසක මට වැඩ තියෙයි.


ඔන්න ඔහොම තමයි ගොඩගම එලිමහන් පිරමීඩයෙ චිත්‍ර ඇඳුණෙ. වැඩේ පොඩි අවුලක් මාට්ටු වුණා පස්සෙ. ඒක ඒ හැටි ගාණකුත් නෑ. ඇහැක්නං හොයාගන්ට! තව ඉතිං බිත්තිවල චිත්‍ර ඇඳිල්ල ගැන ලියන්න හිතාගෙන ඉන්නකොට මකුළු පැංචිත් ඒ ගැන ලියල තිබුණා. ඒකත් බලන්නකෝ.