Wednesday, 15 August 2012

කළු නැන්දගෙ දුව

අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර තවමත් මට මතක තිබේ. ඔවුන් ගොවිතැනින් දිවි ගෙවූ අහිංසක මිනිසුන් ලෙස මා සිතේ තැන්පත්ය.

එම පවුල් දෙකම වෙසෙන්නේ එකම ඉඩමකය. එය වර්තමානයේදී ඔවුන්ගේ දරුවන්ගේ වාසභූමීන් ලෙස බෙදී යමින් තිබේ. නමුත් ගහ කොලින් වට වූ අඳුරු පාළු ස්වභාවයකින් යුතු වූ එම ඉඩම මට තවමත් මතකය.

සුදු නැන්දාගෙත් කළු නැන්දාගෙත් දරුවන් මටත් වඩා වැඩිමහලුය. ඔවුන්ගෙන් ඇතැමෙක්ද දැන් තරමක දරුවන් සිටින දෙමාපියෝ වෙති. ඒහෙත් කළු නැන්දාගේ පුතුට අමතර එකම දියණිය වයස අවුරුදු 40ක්ද ඉක්මවමින් අවිවාහකව වෙසෙන්නීය. මා කළු නැන්දාගේ දුව ලෙස හඳුන්වන්නේ ඇයවයි.

හිටි අඩියේ කළු නැන්දාගේ දුව මතක් වීම අහම්බයක් නොවේ. ඇය කොහොමත් සුනිල් එදිරිසිංහයන්ගේ 'චන්ද්‍රමඬල' ගීතය හේතුවෙන් සැලකිය යුතු කාලයක් අමරණීය වී සිටිනු ඇත. චන්ද්‍රමඬල ගීතය ගී පැදුර වෙත ලිවීම සඳහා සොයන්නට වූ විට මට යූ ටියුබයේ තිබී හමුවුණේ නිධානයකි. සුනිල් එදිරිසිංහයන්ගේ ජව සම්පන්න හඬ සදා නොමැකෙනු ඇතැයි විශ්වාස කිරීමට මා කැමති වුවද එය වියැකෙන දිනක් පැමිණෙන බව මම දනිමි. සුනිල් එදිරිසිංහයන් සහමුලින්ම අමතක වන අනාගතයක්ද වන බව මම දනිමි. එහෙත් චන්ද්‍රමඬල ගීතය ගුවන්විදුලියේදී කුඩා කල සවන් විඳි වතාවලදී මෙන්ම වර්තමානයේදීත් මා වෙත කළු නැන්දාගේ දුව සිහිගන්වයි.



කළු නැන්දාගේ දුව රැකියාවක් කරයි. එය සුවිශාල වැටුපක් හෝ සමාජ තත්ත්වයකට හිමිකම් ලබන්නක් නොවේ. ඇගේ රාජකාරි ස්ථානයට යාමට සිදුවන අවස්ථා වලදී ඇතැම්විට ඇය මට හමුවේ. එවිට ඇය 'කොහොමද මල්ලී' යැයි මා අමතා කල හැකි උදව්වක් කරයි. සාමාන්‍යයෙන් කාර්යාලයෙන් ප්‍රමාද වී පැමිණෙන දින වලදී මා ගම මැදින් නිවසට පැමිණෙන අතරමග ඈ පසු කර යමි. ඇය තමන්ගේ නිල ඇඳුම වූ නිල් පැහැ සාරිය හැඳ ඇගේ මිතුරියක්ද සමග ගමන් ගන්නීය. ඇය අහම්බෙන් හෙළන බැල්ම විටෙක මා නෙත ගැටෙන අතර ඒ බැල්ම මතින් ඇය බෙහෙවින් තෘප්තිමත්ව සිටින බවක් මම හඟිමි. අවස්ථාව අනුව ඇයට සිනාවකින් සංග්‍රහ කරමි.

වසරකට පමණ පෙර මාගේ නැන්දණියගේ අභාවයේ සත්දින පිංකම දැනුම්දීම සඳහා මා කළු නැන්දාගෙ නිවසට ගියෙමි. එය පෙර කී ඉඩමේ කෙළවර කඳු බෑවුමක පිහිටා ඇත්තකි. මෝඩ ගඩොලින් බැඳ වැලි මිශ්‍ර මැටි බදාමයෙන් කපරාරු කර ඇත. විමසිල්ලෙන් බැලූ විට එය එකම එක කාමරයක් පමණක් බව පෙනේ. නමුත් පැරණි ගැමි නිවසක මෙන් විවෘත කුඩා ආලින්දයක් එහි විය. ගෙබිම ගොම ආලේපනයකි. ඒ ආලින්දය කෙළවරක පොළොවේ මැටියෙන්ම සාදා ගොම ආලේප කල ලිප් දෙකකි. ඒ මත දැල්වී අවසන් වූ දර අඟුරුය. පසෙකින් දර කැබලි කීපයක් සහ මැටි හට්ටි කීපයකි.

ගෙතුළ සිට සමස්ත හිසම ‍ඇතිරිල්ලකින් ආවරණය කරගෙන කළු නැන්දා පිටතට පැමිණියාය. ඇයගේ මුහුණුවර කුඩාකල මතකයන් අතුරින් මතුකර ගැනීමට මා දැරූ තැත ව්‍යර්ථ විය. දැන් ඇයගේ මුවේ ඇත්තේ එක් දතකි. ඇය උපැස් පලඳින්නීය. කාලවර්ණව තිබූ කෙස් සැලකිය යුතු තරමක් සුදු වී ඇත.

මා ඇයට දානය ගැන පවසා ඇගේ සහභාගීත්වය අපේක්ෂා කරන බැව් පැවසීමි. දානය කෙසේ වෙතත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට තමා පැමිණෙන බව දන්වමින් ඇය ආගිය තොරතුරු කියවන්නට විය.

ඇයත් දියණියත් එම නිවසේ වෙසෙයි. දිනපතා උදෑසන 6ට රාජකාරියට වාර්තා කිරීමට දියණිය පිටව යන්නීය. ඇය ඊට ප්‍රථම ආලින්දයේ ඇති ලිපේ බතක් සහ එළවළුවක් දෙකක් පිසියි. දිවා ආහාරය ලෙසද මුලක් බැඳගන්නා ඇය නික්ම ගිය පසු කළු නැන්දා නැවතත් විවේකයෙන් වෙසෙයි. උදේ දවල් දෙක එක් වේලකින් පිරිමහගනියි. දියණිය සවස 5-6 අතර සේවය නිමවී පැමිණෙන තුරු බලා හිඳියි.

ඇය තම අවිවාහක දියණිය පිළිබඳ දුක් වන්නීය. නමුත් ඇයටද විකල්පයක් නැති සෙයකි. දියණිය තම තනිකම රැකියාවට දියකර හරී. නිවසට පැමිණ ගුවන් විදුලියෙන් සිත මොට්ට කරගනියි. සිත මුළා කරගනියි.

කළු නැන්දාගේ දියණිය කාලවර්ණය. උසය. සිනාව පියකරුය. ඇය පිළිබඳ අනුකම්පාත්මක හැඟීමක් මට ඇත. එය දැනෙන්නට පටන්ගත්තේ ඇයගේ දින චර්යාව පිළිබඳ කණ වැකුණු දා පටන්ය. ජීවිතයේ තනිකම දිනයේ සිදුවීම් තුළ බොඳකරගන්නට ඇය උත්සාහ දරයි.

ඇයගේ ජීවිතය කුමන අතකට යන්නේද යන්න පිළිබඳ මට අදහසක් නැත. කළු නැන්දාත් ඇගේ දියණියත් පිළිබඳ මට ඇත්තේ දුකකි. අසංවේදී වීම දුක නැති කිරීමේ මග ලෙස මට වැටහී යමින් ඇත. මන්ද මා ඉපදෙන්න‍ටත් පෙරම මාගෙන් සැලකිය යුතු කොටසක් මට අහිමිව ගොස් තිබේ.

තවමත් සතියකට දෙකකට වරක් කළු නැන්දාගේ දුව බැල්ම හෙළා සැඟව යන්නීය. දැන් ඇගේ බැල්ම තුල මට සතුටක් පෙනෙන්නේ නැත.

Saturday, 11 August 2012

ප්‍රේමකීර්ති ද අල්විස් - විචිත්‍ර ගීපද රචකයෙක්, වචන විශිෂ්ඨයෙක්, සුපිරි සන්නිවේදකයෙක්...


මාස කීපයකට කලින් ප්‍රේමකීර්ති පිළිබඳව ලියන්නට මට උවමනා වුණා. ක්ලෝඩ් ප්‍රනාන්දු මහතා විසින් ලංකාවෙබ් අඩවියට රචිත ලිපියක් හැඩගස්වා දැමීම වඩා හොඳ බව හිතුණේ එය සරල සහ විස්තරාත්මක එකක් වුණ හින්දා. ඒ වුණාට කම්මැලිකම මාව පස්සට ඇද්දෙ වැඩේ බාගෙට තුන්කාලට නතර කරලා. නමුත් එහෙම කරල හරි යන්නෙත් නැති නිසා මේ ලියවෙන්නෙ ඒ ලිපියයි. ක්ලෝඩ් මහතාගෙ ලිපිය වගේම ප්‍රේමකීර්ති ගැන ලියවුණු වෙනත් අඩවි කීපයකටත් ගොඩවදින්න සිද්ධ වුණා මේ වෙනුවෙන්.

-------------------------------------------------------------

ප්‍රේමකීර්ති ද අල්විස් - විචිත්‍ර ගීපද රචකයෙක්, වචන විශිෂ්ඨයෙක්, සුපිරි සන්නිවේදකයෙක්...



ඒ දුක්මුසු දවස මට තවම මතකයි. මේ දවස 1988 පෙබරවාරි 16 වෙනිදා. ගුවන්විදුලි සංස්ථාවෙ විකාශයට සවන් දෙන එක මගේ දවසේ අංගයක් වුණා. සාමාන්‍ය විධියටම මම දවල් 12.45 සිංහල ප්‍රවෘත්ති අහන්න රේඩියෝව දැම්මා. ප්‍රවෘත්ති නිවේදකයා එකපාරම කියවන එක නතර කලා. විනාඩි 2-3ක නිහඬතාවයක් ගත වුණා. ප්‍රවෘත්ති විකාශය නැවතීම ගැන මට ඇතිවුනේ කුතුහලයක්. ඒත් නොහිතපු විධියට තවත් හුරුපුරුදු කටහඬක් ඒ නිසලතාවය බින්දා. ප්‍රේමකීර්ති ද අල්විස් ඒ ශෝකජනක, ඛේදජනක පණිවිඩය ජාතියටම කිව්වා. ඒ ජනප්‍රිය චිත්‍රපටි නළුවෙක් වගේම ගෞරවණීය දේශපාලකයෙක් වුණ විජය කුමාරතුංගගෙ කුරිරු ඝාතනය ගැනයි. ඒ පුවෘත්තියෙන් පස්සෙ මට කතාකරගන්න වචනත් නැති වුණා. සාමය අගය කරන රටක ජනතාවට ප්‍රේමකීර්ති තමන්ගෙ හැඟීම්බර කලබල හඬින් ඒ හිතාගන්නත් බැරි භයානක පණිවිඩය හෙලි කළා.

තවත් ඒ වගේම කාලකණ්නි දවසක් හරියටම අවුරුද්දයි, මාස පහයි දවස් පහළොවකින් උදා වුණා.ඒ 1989 ජූලි 31 වෙනිදා. ආණ්ඩුවෙ රේඩියෝවෙන් ඒ දරුණු දුක්ඛදායක ප්‍රවෘත්තිය එලි කලා උදේ 6.00 ලුහුඩු ප්‍රවෘත්තිවලින්. විජයගේ ඝාතනය ගැන නිවේදනය කරපු ඒ විශිෂ්ට නිවේදකයාටත් නාඳුනන කල්ලියක් වෙඩි තියල තියෙන බවට ඇහුණ සිරස්තලය විශ්වාස කරගන්නත් අමාරු වුණා. මම හිටි තැනම දුකෙන් ගල් ගැහුණෙ ඒ ප්‍රවෘත්තිය අදහාගන්න බැරිව ඇසුත් උලුප්පගෙන.

ප්‍රේමකීර්ති ද අල්විස්ව කෲර මිනිස්සු ටිකක් වෙඩි තියල මරල දාල තිබුණා. ඒ වයස අවුරුදු 42දි. මාධ්‍ය වාර්තා අනුව උන් 1989 ජූලි 31 වෙනිද මැදියමේ ප්‍රේමකීර්තිගෙ හෝමාගම තිබුණ බාගෙට හදපු ගෙදර දොරට තට්ටු කරල තියෙනවා. ප්‍රේමකීර්තිගේ බිරිඳ නිර්මලා අඬමින්, කෑ ගසමින් ඔහුට කරදරයක් නොකරන්න අයැදුවත් උන් බලෙන්ම ඔහුව ගෙදරින් එලියෙ අඳුරට ඇදගෙන ගියා. ඔහු අහිංසක ගෞරවාන්විත මනුස්සයෙක්. අහල පහල හිටපු කිසිම 'හොඳ' මනුස්සයෙක්වත් ඒ වෙලාවෙ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙලා නෑ.

පහුවදා උදේ ඔහුගෙ දේහය ගම්වාසීන් විසින් හොයාගත්තෙ ළඟපාත කාණුවක තිබිලා. සාමකාමී සමාජයක සමස්ථ ජාතියම ඇස්වල කඳුළු පුරවගත්තා. සිද්ධවුණ දු:ඛිත සිදුවීමට අවුල් වුණ හිත්වලින්, දුක්බර හදවත්වලින් ඔවුන් ඇහුම්කන් දුන්නා.

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඉපදුණේ 1947 ජූලි 31 වෙනිද කොළඹදි. මාලිගාකන්ද මහ විද්‍යාලයෙන් ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලැබුව. ඊට පස්සෙ මරදානෙ ආනන්ද විද්‍යාලයට ඇතුල් වුණා. තරුණ ප්‍රේම් ආනන්දයෙ දක්ෂ සිසුවෙක් වුණා වගේම විද්‍යාලයෙන් ප්‍රකාශ කෙරුණු 'ආනන්දය' වාර්ෂික සඟරාවෙ සංස්කාරක සහ 'ධම්ම ජයන්ති' මාසික පුවත්පතේ සම සංස්කාරකවරයෙක් වුණා. ඔහුත් සමග එකට අධ්‍යාපනය ලබපු පරම්පරාවට බන්දුල පද්මකුමාර (ජනමාධ්‍යවේදී සහ වර්තමාන ලේක්හවුස් සභාපති), රංජිත් ලාල් සිල්වා (නිම්වලල්ල චිත්‍රපටියේ අධ්‍යක්ෂ) සහ කවුරුත් දන්න ජනමාධ්‍යවේදියෙක් වුණ ඒ.ඩී. රංජිත් කුමාර (සරසවිය පුවත්පතේ හිටපු සංස්කාරක) වගේ අය හිටියා.

ප්‍රේමකීර්තිගේ පියා වැඩ කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙයි. ඒ නිසාම ඔහු හිතාගෙන හිටියෙ තමන්ගෙන් පස්සෙ තමන්ගෙ පුතාව එහෙ වැඩට සම්බන්ධ කරගන්නයි. ඒ වුණාට තරුණ පුතා ඒ ගැන කිසිම උනන්දුවක් පෙන්නුවෙ නෑ. ඒ වෙනුවට ඔහු කැමැත්තෙන් හිටියෙ ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වෙලා රේඩියෝ ශිල්පියෙක් වෙන්නයි. ඔහු නිතරම ඒ දවස්වල ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයො වුණ ඩී.එම්. කොළඹගේ, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, තේවිස් ගුරුගේ, ප්‍රොස්ෆර් ප්‍රනාන්දු, තිලක සුධර්මන් ද සිල්වා ‍වගේ අයගෙ කටහඬ වගේම නිවේදන ශෛලීන් අනුගමනය කළා. ඔහුගේ පියා ඉක්මනින්ම තමන්ගෙ පුත්‍රයාගෙ කලාත්මක දක්ෂතා වගේම හැකියාවන් ගැන දැනගත්තා. ඔහු තීරණය කලා දක්ෂ පැරණි ජනමාධවේදියෙක් වුණ ආතර් යූ. අමරසේන මහතාව හමුවෙන්න. ඔහු 'දවස' කණ්ඩායම විසින් ප්‍රකාශ කරපු 'විසිතුර' සතිපතා සිනමා පුවත්පතේ හිටපු සංස්කාරක. තරුණ ප්‍රේමකීර්තිට 'විසිතුර' පුවත්පතේ විශේෂාංග රචකයෙක් විධියට රැකියාව ලැබෙනවා. අත්දැකීම් බහුල ජනමාධ්‍යවේදියෙක් වුණ ආතර් යූ. අමරසේන තරුණ ප්‍රේම්ගේ සැඟවුණ හැකියාවල් සහ දක්ෂතා ඉක්මනින්ම හඳුනගත්තා.

මේ අතරෙ 1967 දෙසැම්බර් 17 වෙනිදා සහන නිවේදකයෙක් විධියට රේඩියෝ සිලෝන් ආයතනයෙන් ලැබුණ අනගි අවස්ථාව ප්‍රේමකීර්ති භාරගන්නවා. එහිදී ඔහුගෙ උපදේශකයා වුණේ කරුණාරත්න අබේසේකරයන්. ඔහු රේඩියෝ සිලෝන්හි ඒ කාලෙදි හිටපු බහුශ්‍රැත භාෂා විශාරදයෙක්, තනු නිර්මාපකයෙක් වගේම දක්ෂ නිවේදකයෙක් වුණා. මෙතනදි ප්‍රේමකීර්තිට තමන්ගෙ සුවිශේෂී ලිවීමේ හැකියාව වගේම ප්‍රවෘත්ති නිවේදන හැකියාව අතින් ක්‍රමයෙන් දියුණු වෙන්න අවස්ථාව ලැබෙනවා. රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි ගායනා කරපු 'හද පුද අසුනේ සෙනෙහස මැවුණා' ගීතය 1969දි ප්‍රේම් අතින් ලියවෙන්නෙ ඔහුගෙ කුළුඳුල් ගී පද රචනාව විධියටයි. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරපු 'ලොකුම හිනාව' චිත්‍රපටියට ෆ්‍රෙඩී සිල්වා ගායනා කරපු 'පරණ කෝට්' ගීතය ප්‍රේම්ගේ පළමු චිත්‍රපටි ගීතය විධියට ලියවෙන්නෙ ඒ අවුරුද්දෙමයි. ක්‍රමයෙන් ප්‍රේමකීර්ති ජනප්‍රිය වගේම වෙළඳපොලක් සහිත ගී පද රචකයෙක් බවට පත් වෙමින් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකට ගීත ලියන්න පටන්ගන්නවා.

අද කාලෙ වගේ පුද්ගලික නාලිකා හෝ රූපවාහිනිය කියල දෙයක් නොතිබුණ කාලෙක ජාතික ගුවන් විදුලිය වටේ අසන්නන් නිරායාසයෙන්ම රොද බැඳුණා. ඒ නිසාම ඔවුන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් විකාශනය වුණ බොහොමයක් ගීත රස වින්දා. ඔවුන්ගෙ හදවත් ස්පර්ශ කරපු ජනප්‍රිය ගායකයන් ගණනාවකටම ප්‍රේමකීර්ති ගී පද ලිව්වා. ඔහුගේ නිර්මාණශීලී ගී පදවලට පාදක වුණ දේවල් අතර හාස්‍යය සහ උපහාසය වගේම ආදරය, අනුරාගය, මිත්‍රත්වය, සාරධර්ම සහ සූදුව (මිනිසකු පිට නැගි අසරුවෙකි) පවා තිබුණා.

මේ ඒ අතර තිබුණ බොහොම ලස්සන ගීත කීපයක්. ඒවා අදටත් රසයෙන් අනූන බවට සැක නැහැ.


ආදරයේ උල්පත වූ අම්මා, කුරුල්ලන්ට ගී ගයන්න, සිහින සතක් දුටුවෙමි මම, තනි තරුවේ - වික්ටර් රත්නායක

මේ නගරය, එක මොහොතක්, ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා

සමනලයා මල හා - එඩ්වඩ් ජයකොඩි

බිඳුණු පෙමට - රෝහණ වීරසිංහ

මල් තරුණ සමය - ගුණදාස කපුගේ / රූපා ඉන්දුමතී

ඈත රන් විමන්, ආදරණීය නේරංජනා, රටකින් එහා - ප්‍රියා සූරියසේන

මිනිසකු පිට නැගි අසරුවෙකි, බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ - සුනිල් එදිරිසිංහ

සුරංගීට දුක හිතුණා - නන්දා මාලිනී

එදා රෑ, මා හා එදා, මා නිසා ඔබ, සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චි

සිතින් මා නොසැලී - ටී.එම්. ජයරත්න

අනන්තයට මා ඉගිලෙන - ශ්‍රීමතී තිලකරත්න

මා එක්කලා අමනාපව වී දබර, කන්ද කෙන්ද කරනු පිණිස - මාලිනී බුලත්සිංහල

කැකිල්ලෙ රජ්ජුරුවෝ, හඳ මාමා උඩින් යතේ, පාන් කිරිත්තා, කුණ්ඩුමනී - ‍ෆ්‍රෙඩී සිල්වා


1974දි ප්‍රේමකීර්ති දෙවෙනි ශ්‍රේණියේ නිවේදකයෙක් සහ නිෂ්පාදකයෙක් විධියට උසස් කරනවා. ඊට පස්සෙ ඔහුට අසන්නන් වෙත සමීප වෙන්න අවස්ථා රැසක් උදාවෙනවා. 'ශනිදා සාදය' (හැම සෙනසුරාදාවකම උදේ 8 - දවල් 12 වෙනකල් - තවත් නිවේදකයන් එක්ක), 'සොඳුරු සෙවණ' (සඳුදා ඉඳන් සිකුරාදා දක්වා හවස 5 - 6), "සැරිසර පුවත්" (සතියකට වතාවක්) වගේ එකිනෙකට වෙනස් ජනප්‍රිය වැඩසටහන් කීපයක්ම ඔහු ඉදිරිපත් කරනවා. ඒ වකවානුවෙ අසන්නන්ට කෙලින්ම දුරකථනයෙන් සජීවී වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණෙ නැහැ. නමුත් ප්‍රේමකීර්ති ඔහුගේ 'සැරිසර පුවත්' වැඩසටහනට අසන්නන් සජීවීව සම්බන්ධ කරගනිමින් ඒ අළුත් අදහසට මූලාරම්භය දෙනවා. ඒ වකවානුවෙදි ඒක බොහොම සාර්ථක වුණා වගේම රසිකයින් විසින් ඉහලින්ම වැළඳගත්තා.

ක්‍රමයෙන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ඉහල යමින් හිටියත් 1977 වකවානුවෙදි ඔහුටත් දේශපාලන පළිගැනීමේ ගිලටීනයට අහුවෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ කීර්තියේ සැර දරාගන්න අමාරු වුණ ගුවන් විදුලියේ ඉරිසියාකාර පරිපාලනය හේතුවක් නැතිව ඔහුගේ වැඩ තහනම් කරල අනිවාර්යය නිවාඩු යැව්වා. ඔවුන් ප්‍රේම්ට විරුද්ධව අභූත, විකෘති චෝදනා ඉදිරිපත් කරල ඒවා විමසීමට විනය කමිටුවකුත් පත් කළා. නමුත් ඒ විමර්ශන කමිටුව ඔහු නිවැරදි බව දැනගෙන වහාම ඔහුව චෝදනා වලින් නිදහස් කළා. ඒ අනුව ප්‍රේම් නැවත ඔහුගේ මුල් තනතුරේ පිහිටුවන පාලනාධිකාරිය ඔහුට සිදුවූ අසාධාරණය ගැන අසන්නන්ට දැන ගන්නට නොදී සාමාන්‍ය විධියට රාජකාරිය කරන්නට බල කළා. ඔහු ස්ටුඩියෝවට ඇතුල්වෙන්නෙ තරහින්, සජීවී වැඩසටහනක් ගුවන්ගත වෙද්දි. ඒ වෙලාවෙ ඔහු තරහින්ම තදින් මේසය පැත්තක තිබුණ පුටුව අදිනවා. පුටුව බිම වැටෙන්නෙ සජීවී වැඩසටහනට බාධා වෙන විශාල ශබ්දයක් එක්ක. ඊට පස්සෙ මයික්‍රෆෝනයට කිට්ටු වෙන ප්‍රේම් තමන්නෙ සාමාන්‍ය ස්වරයෙන් අසන්නන් අමතනවා. "සමාවෙන්න හිතවතුනි, මම ප්‍රේමකීර්ති ද අල්විස්. නැවතත් ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇසුණු විශාල ශබ්දය පුටුව පෙරළෙන ශබ්දය මිසක් මම වැටුන ශබ්දය නෙවෙයි."

පසු කාලෙකදි ඔහුට අනුරාධපුරයෙ 'රජරට සේවය' ගුවන් විදුලියට දඬුවම් මාරුවක් ලැබෙනව. ඔහු වගේම දඬුවම් මාරුවක් ලැබිල ඇවිත් හිටපු ගුණදාස කපුගේ වගේම රජරට සේවයේ රන්බණ්ඩා සෙනෙවිරත්න, කරුණාරත්න දිවුල්ගනේ, රත්න ශ්‍රී විජේසිංහ, ජයතිලක බණ්ඩාර, මහින්ද දිසානායක, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වගේ නිර්මාණ ශිල්පීන් ඔහුට එහිදි හමුවෙනව.

වික්ටර් රත්නායකයන්ගෙ 'ස' ඒක පුද්ගල ප්‍රසංගයට ප්‍රේමකීර්ති සුවිශාල දායකත්වයක් ලබා දෙනව. ප්‍රසංගයේ නිවේදන කටයුතු වගේම ගීතවල අරුත් හඳුන්වා‍දීමත් තුළින් ඔහු 'ස' හැඩගන්වනව. ඔහුත් සමග ඒ කටයුතුවල නියැලෙන අනිත් නිවේදකයන් වෙන්නෙ ‍නැසීගිය කේ.ඩී.කේ. ධර්මවර්ධන සහ කුලරත්න ආරියවංශ යන දෙපලයි.

අසූව දශකයෙදි ලංකාවෙ රූප මාධ්‍යය ජනප්‍රිය වීමත් එක්ක විවිධ රූපවාහිනී නිෂ්පාදනවලට සම්බන්ධවෙන්න ඔහුට අවස්ථාව හම්බවෙනව. විශේෂයෙන්ම කෘතහස්ථ කලාවේදී ටයිටස් තොටවත්තයන් විසින් හඬකැවුණු 'දොස්තර හොඳ හිත' ළමා කාටුන් වැඩසටහනේ අමතක නොවෙන ගීත රචනා වෙන්නෙ ප්‍රේමකීර්තිගේ පෑනෙන්. ඔහු සහභාගි වුණ අනිත් වැඩසටහන වුණේ ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණ 'අඳුන' කියන සමාජ අසාධාරණකම් ගැන හෙලිදරව් කරපු වැඩසටහන. ඔහු ඒ වැඩසටහන ඉදිරිපත් කලේ තමන්ගෙ දෑස් විතරක් පේන විධියට. ඒක ඒ දවස්වල සෑහෙන්න ජනප්‍රිය වුණා වගේම කතාබහට ලක්වුණා. ඒ වගේම හැම ඉරිදාවකම 'ආයුබෝවන්' වැඩසටහනනින් වෙනත් දෙමළ සහ ඉංග්‍රීසි නිවේදකයන් සමග ප්‍රේමකීර්ති හැමෝගෙම ඉරිදාව සුන්දර කලා.

ඔහු අද ජීවත්ව සිටියා නම් වර්තමාන නිවේදක නිවේදිකාවන්ට බොහොම හොඳ උදාහරණයක් වෙන්න තිබුණා. හඬ, භාෂාව හැසිරවීම මගින් ප්‍රේක්ෂකයාට ළංවෙන්නෙ කොහොමද කියන එක පිළිබඳව ඔහු දක්ෂ ගුරුවරයෙන් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම තවත් බොහොමයක් සුන්දර ගීත රාශියක් ඔහුගෙන් ලියවෙන්න ඉඩ තිබුණා.

ඔහුගේ නික්මයාම බිරිඳ නිර්මලා, දියණිය සුරංගි සහ පුතු පූර්ණට විතරක් නෙවෙයි ඔහුගේ ගී රචනා ප්‍රිය කරපු, හඬ ප්‍රිය කරපු කාටත් බරපතල පාඩුවක් බව රහසක් නෙවෙයි. ඔහුගේ සුවිශේෂී නිර්මාණ රසික හදවත් තුල තැන්පත්වෙලා තියෙන ආකාරයට ඒවා කවදාවත් විනාශ කරන්න පුළුවන් නිර්මාණ නොවෙයි. ඒ පිළිබඳ සැකයක් නෑ.

අවසාන කරන්න කලින් ප්‍රේමකීර්ති නැසීගිය ගායක මර්වින් පෙරේරාට ලියපු 'මේ නගරය' ගීතයේ අවසාන පද කීපය මට මතක් වෙනවා...


'ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා...'

Wednesday, 8 August 2012

ජනාදිපතිතුමනි! මේ ඔබේ අවදානය පිනිස නොවේ!


අද අපි ගොඩ දෙනෙක් සිටින්නේ කුක්කු බබාලා වාගේය. අපි මුකුත් දන්නේ නැතිය. මොකද අපි කුක්කු බබාලා නිසාය. ඒත් ඇත්ත කතාව ටිකාක් විතර අපිට තේරෙනවාය. ඒ අපි ඇත්තටම කුක්කු බබාලා නොවන බවය. ඒ බව අපි එක්ක කතාවට එන ඕන කෙනෙක්ට තේරෙනවාය. මොකද කුක්කු බබාලා වගේ හිටියත් කට ඇරියොත් මහදැනමුත්තාටත් ඉහලිං අපි පංඩිත නිසාය. ඒත් අපි කුක්කු බබාලා නොවෙන බව දැන දැනම කුක්කු බබාලා වාගේ ඉන්නට උත්සාහ කරන්නවාය.

හෙළුවැල්ලෙන්ම කියල දැම්මොත් අපි සේරම දන්නවා වුනාට දන්නෙ නෑ වගේ ඉන්න ආසය. එහෙම ඉන්න එකට කියන තනි වචනය 'නරුමවාදය' කියා ශිෂ්ශත්තෙට පාඩං කරන අයියා කෙනෙක් කිව්වේය. බැරි වෙලාවත් අපිට දැන දැන බොරු කරන්න බැරි ඇත්ත කේස් එකකට මූන දෙන්න සිද්ද වුනොත් අපි එතනින් මාරු වෙනවාය. ඒකට කියන්නේ 'බබා හුකුං දානවා' කියලාද කියන එක මට ෂුවර් නැතිය.

මේ සේරම කියන්නේ එක තැනකට එන්නය.

ඊයෙ පෙරේදා ජනාදිපතිතුමා අපේ නගරෙට ආවේය. නගරේ පුරා කටවුට් ඇලවුනි. ලකුනු දමාගන්න ගමේ ජනතා නියෝජිත සියලුම අංකල්ලා උන්දලාගේ මූනත්තහඩුව අමුනා ජනාදිපතිතුමාගේ ලයිප් සයිස්ට වඩා සයිස් එකේ කටවුට් ගැසුවෝය. සමහර කටවුට් නිසා පාරවල්වල හන්දි ඇහිරිලාය. බස් ස්ටැන්ඩෙකේ පාර පුරා ගසා ඇති කටවුට් එකක් නිසා අද දවසේත් වාහන එහෙ මෙහේ යන එකේ අනතුරක් තිබුනේය. මොකද පාරේ බාගයක් ඒකට වැහිලාය. එහා පැත්තෙං එන වාහනේ පේන්නේ නැතිය.

නගරයේ හන්දියේ ලොකු රවුන්ඩබවුට්ටෙක වටේ සැනකෙලියක් වගේය. ‍එක එක පාටින් කටවුට් පිරිලාය. වෙසක් තොරන් වගේය. එකම වෙනස ඒවා බලන්ඩ බැරි තරං අජූත මූනවල්වලින් පිරිල තියෙන එකය. සමහර කටවුට් ජනාදිපතිතුමාගෙන් රැස් විහිදෙන ආකාරය මනරම් ලෙස විදහා දැක්වෙන ආකාරයට සාදා තිබුනේය.

ගුගල් අර්ත් එකේ හරහට බලන්න පුළුවන්නං ඔයාලටත් ඒ මනරම් දර්සනේ බලන්න පුළුවන්ය. එහෙම පුළුවන් වුනානං අපේ ජනාදිපතිතුමා දැන් ඉන්නේ කොහේද කියලාත් හරියටම කියන්නත් පුළුවන්ය. මොකද උන්දෑ යන යන තැන අහස සිඹින කටවුට්ය. හතුරෙක් නැති එක ‍හොඳට හිටියේය. නැත්තං ගුගලෙන් බලා ගේමක් දෙන්න පුළුවංය.

හතුරෝ මර්ධනේ කරාය කියලා එතුමා ඉන්නේ නිදහසේය කියා මට හිතෙන්නේ නැතිය. උන්නාන්සේ ඉන්නේ හරි බයෙන් වගේය. කොයිතරං බයෙන්ද කියනවානං නගරයේ මීටර් 10න් 10ට පොලිසි, ආමි මාමලා සිටියෝය. අනේ ඒ වෙනුවට පොලිස් නැන්දිලාවත් හිටියානං ඒ පොඩි වෙලාවට අපේ නගරය ලස්සන වෙන්න තිබුනාය. ඒ බව අජිත් කුමාරසිරි නැමැති ගල් මූසල සින්දුකාරයාද එයාගේ ත්‍රස්තවාදී සින්දුවක කියලා තියෙනවාය.

උන්නාන්සෙගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් නගරේ පාරවල් හේදුනේය. දූවිලි පොඩිත්තක්වත් නැති අළුතෙං තාර දාපු පාරවල් වගේ එදා දවසේ අපේ පාරවල් තිබුනේය. ඒ වුනාට අපට ඒවායේ යන්නට හම්බ වුනේ නැති තරංය. පාරේ වාහනයක්වත් නවත්තනවාට පොලිස් මාමලා ඉඩ දුන්නේ නැත. කොටිංම මගේ පුංචි බයිසිකලේ පාර අයිනේ නතර කරන්නේ නැතිව අතුරු පාරක අස්සකට ගොස් නතර කරන ලෙස පොලිස් මාමා කෙනෙක් මට කිව්වේය. සමහරවිට ජනාදිපතිතුමා මිනිස් පුළුටක් නැති වාහනයක් නැති දුමක්, දූවිල්ලක් නැති පොලිසිය විතරක් ඇති කාන්තාරයක් වගේ නගරයකට කැමතියි වෙන්නට පුළුවන්ය. එහෙමත් නැත්තං උන්දැටත් මට වගේ ස්වසන රෝගයක් තියෙන නිසා වාහන දුම පාලනය කරා වෙන්න පුළුවන්ය. මගේ ටිකිරි මොලේටත් ඔව්වා තේරෙනවාය.

ඒ අස්සේ අපේ චන්ද්‍රිකා අක්කලාගේ ගෙවල් පැත්තට ප්‍රාදේසීය සබාවෙං දවස් ගානක් වතුර එවන්නේ නැතිව මහ අලකලංචියක් වෙලාය. එයා ගමේ අයගෙං සල්ලි එකතු කරලා වතුර බවුසරයක්ම ගමට ගෙන ගියාය. බූලි තුන ගානේ ගමේ කට්ටිය වතුර බෙදාගෙන තිබුනාය. ගමම එකතු වුනොත් කරන්න බැරි වැඩක් නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවාය. ජනාදිපතිතුමා චන්ද්‍රිකා අක්කාගේ මේ වීර ක්‍රියාව දැනගත්තානං එයාට වීර පදක්කමක් දෙන එක ෂුවර්ය.

හැබැයි ඔන්න ආස්චර්යය නං උදා වුනේය. ඇත්තට ඒක මහම මහ ආස්චර්යයක්ය. ඒක උදා වුනේ අර කලිං කිව්ව රවුන්ඩබවුට් එකටය. සෑහෙන්න ඉස්සරනං ඒක මැද හිටියේ රන විරුවෙක්ය. හරියටම කිව්වොත් රන විරුවෙක්ගේ පිලිමයක්ය. රන විරුවෝ කිච වීගෙන එනකොට ඒක එතනින් ගැලවී නගරයේ මුල්ලක වෙන තැනකට ගියේය. ඊට පස්සේ ආතක් පාතක් නැතිව තිබුන රවුන්ඩබවුට් එකේ මැද ඊයෙ පෙරේදා හිටි අඩියේ රෝස මල් පිපුනේය. රැයක් ගෙවිලා පහුවදා උදේ වෙනකොට හොඳට පිපුනු ලස්සන රෝස මල් රොත්තක් රවුන්ඩබවුට් එක මැද දිලිසි දිලිසි නගරෙ ලස්සන කලේය. ඒවා නගර සභාවේ හෙන ආස්චර්යමත් වැඩය. ඒකෙ ඉන්න උන්දලා ජාතික ටීවී එකෙං බලා ගෙවතු වගා හෙම ‍කරන ඈයො වෙන්න ඕනෑය.

උදේ හම්බවුන ත්‍රීවීල් අයියා කිව්වේ පැය දෙකකට රුපියල් කෝටි විස්සක්ම වියදං කොරලා කියලාය. පොලිස් මාමලාගේ ඩියුටි ගාස්තු එක්ක උන්දලාගේ වාහනවලට තෙල් ගහනකොටම බරගානක් යන්න ඇති කියලා ඒ අයියා කීවේය. කටවුට් හදන උන්ගේ රස්සා ගැනත් ලොක්කන් උනන්දු බවක් උන්දෑ කිව්වා මතකය. ඒවා ජනතා මුදල් කියලා ඒ අයියාට තරහා ගිහින් තිබුනාට උන්දෑ ඔය වැඩේට සතයක්වත් දීලා නැති බව මම දන්නවාය. ඒ නිසා උන්දා කිව්වේ ඇත්තද බොරුද කියා මම දන්නේ නැතිය. ලකුනු ටිකක් වැටෙන එක හැම එකටම වඩා වටිනවා වෙන්න ඕනෑය.

ඇත්තටම මේ කැටයං සේරම ‍නිකං ලකුනු දාගන්න කොරන පුක් වැඩ බව මේ පුංචි මට යන්තං කිලෝමීටර වෙනවාය. ඔය සන්තෑසිය ජනාදිපතිතුමා සම්බන්දයෙං විතරක් නෙවේය. මුළු රාජ්‍ය අංසයේම ව්‍යාප්ත වෙලා අහවරය. පුද්ගලික අංසෙත් නෑ කියන්න බෑය. දැන් සේරම සිද්දවෙන්නේ ලොක්කාගෙන් ලකුනු දාගන්න එක උඩය. වැඩ නොකරාට කමක් නැත. වැඩ කරන උන් වැඩම කරන නිසා උන්ට ලකුනු ගැන හිතන්න වෙලා නැතිය. ඒ හින්දා උන් කරන වැඩ ටිකටද ලකුනු දාගන්න ඕන තරං කට්ටිය ඉන්නවාය.

අපේ ජනාදිපතිතුමා මට වඩා ගොඩ්ඩ්ඩාක් ලොකු ඇත්තෙක් හින්දා උන්දැටත් මේවා නොතේරෙනවා වෙන්න බැරිය. ඒත් උන්දෑත් මං වගේම කුක්කු බබෙකි. උන්දෑත් මේව සේරම දැන දැන දන්නේ නෑ වගේ ඉන්නවාය. ඉතිං රටේ ලොකුම ඇත්තාගෙන් පටං අරං පාතම ඉන්න මං වගේ එකෙක් වෙනකල් රටම කුක්කු බබාලා බව දැන් පැහැදිලිය. මෙච්චර අකුරු කොටලා තටමලා මට ඕන වුනේ ඒක කියන්නය.


පස්සෙ ලිව්වා...

ජනාදිපතිතුමා මගේ බ්ලොගය කියවනවා වෙන්න බැරිය. අඩුගානේ ලේකංතුමාවත් බලනවා වෙන්ඩ බැරිය.

ඒත් දැක්කොත් කරන්ඩ දෙයක් නැත. කරන්ඩ තියෙන එකම දේ නොදැක්කා වගේ ඉන්න එකය.