Showing posts with label revolution. Show all posts
Showing posts with label revolution. Show all posts

Thursday, 27 August 2020

The Boy Who Harnessed the Wind (2019) - චිත්‍රපටිය ගැන අදහස්

 



ස්පොයිල් විය හැක

මේ චිත්‍රපටිය බලන්න ගන්නෙ චිත්‍රපටි ගෘප් එකකින් ලැබෙන ඔත්තුවක් මත. චිත්‍රපටියෙ නමින්ම ඉඟි කරන විදියට මේක ධනාත්මක සිතුවිලි ඇති කරන චිත්‍රපටියක්. තමන්ගෙ සීමා බිඳගෙන ඉදිරියට යන ජීවිතයක් පිළිබඳ චිත්‍රපටියක්. එහෙම චිත්‍රපටි මහ ලොකු ගාණක් නැතත් තියෙන ඒව බැලුවම දැනෙන හැඟීම් ජීවිතේ ගැන සුබවාදී සිතුවිලි ඇති කරනව. ඒකට ඒ චිත්‍රපටිය හැදෙන්නෙ මොන රටේද, උන් කතා කරන්නෙ මොන භාෂාවද, උන් මොන පාටද, තේමා වෙන්නෙ මොකක්ද වගේ කිසි දෙයක් අදාළ නෑ. මිනිස්සු විදියට තමන් උපන් ජීවන තත්ත්වය ස්වෝත්සාහයෙන් වෙනස් කරගෙන වඩා පහසු ජීවන තත්ත්වයක් කරා යන චරිත අපිවත් දිරිගන්වනව. මේ චිත්‍රපටිය බලන්න ගන්නෙම ඒ අදහස ඇතිවයි.

Chiwetel Ejiofor කියන නළුවාගේ නම කවදාවත් මතක තිබුණේ නැහැ. ඔහු රඟපෑ මතක ඇති රංගනයක් තියෙන්නෙ 12 years a slave චිත්‍රපටියෙ පමණයි. නමුත් චිත්‍රපටි ගණනාවක සහය නළුවෙක් විදියට පෙනී සිටි ඔහුගේ පෞරුෂය හිතේ ඇඳිල තියෙන එකක්. මේ චිත්‍රපටිය ඔහුගේ අධ්‍යක්ෂණයක්. තිර රචනයත් ඔහුගේමයි. කරන චරිතයත් කරනව උපරිමයෙන්ම.

මලාවි රාජ්‍යයේ දිළිඳු ගොවි පවුලක අවුරුදු 13ක පුතා ඇහිඳගන්න දැනුමකින් තමන්ගෙ පියාගෙ වගාවට වතුර පොම්ප කරන්න සුළං මෝලක් නිර්මාණය කිරීම තමයි චිත්‍රපටියෙ තේමාව වෙන්නෙ. ඒක බැලූ බැල්මට මහ ලොකු දේකුත් නෙවෙයි වගේ පෙන්න පුළුවන්. නමුත් එහෙම තීරණයක් ගන්න ඔහුට සිද්ධ වුණේ ඇයි කියන එක චිත්‍රපටිය පුරාම විහිදුවන ඛේදනීය හේතුවක්. ඒ තීරණය ගන්නෙ ඔහුගෙ කුතුහලය නිසා විතරක්ම නෙවෙයි. කුතුහලය ඔස්සේ යන්න පුළුවන් යම් දුරකට. නමුත් බාධක නොසලකා මිනිහෙක් වෙනස් වැඩකට බහින්නෙ විකල්පයක් අවශ්‍ය නිසා. විකල්පයක් සෙවීම ඔහුගේ වැඩක් බවට පත් කරගත්ත නිසා. තමන්ට කල හැකි දෙයින් වැඩක් ගත්ත නිසා. මිනිස් ශිෂ්ටාචාරය ලෝකය වෙනස් කරන මට්ටමට සංවර්ධනය වෙන්නෙම එහෙම මිනිස්සු නිසා. ඒ අර්ථයෙන් ගත්තම විලියම් කම්ක්වම්බා කියන දරුවා මිනිහෙක්.

චිත්‍රපටිය පුරාම දකින්න ලැබෙන මානව බැඳීම් හා ඝට්ටනයන් ඉතාම සංවේදීයි. පවුල පිළිබඳවත් සාමූහිකත්වය සහ සහජීවනය පිළිබඳවත් මේ ජනතාව තුළ තියෙන ආකල්පය බොහොම ගෞරවණීය එකක් බව පේනවා. ඒ වගේම ඒක පාරම්පරිකව උරුමකරගෙන ආපු වටිනාකමක් බවත් පේනවා. ඉපදුන නිසා ජීවත් වෙනවාට වඩා වටිනාකමක් එකිනෙකා සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින බව පැහැදිලියි. නමුත් චිත්‍රපටියෙ කියවෙන කාල සීමාව වෙද්දි දේශපාලකයන් විසිනුත් ව්‍යාපාරික ප්‍රජාව විසිනුත් ජනතාව සතු ඒ වටිනාකම් වෙනස් කරමින් ලාභ ප්‍රයෝජන ලබා ගන්න විධිය චිත්‍රපටිය තුළට යොදාගැනීමෙන් චිත්‍රපටියේ වටිනාකම තව ඉහළ ගිහින් තියෙනවා.

චිත්‍රපටිය හැදෙන්නෙ පොතකින්. පොත ලියල තියෙන්නෙ විලියම් කම්ක්වම්බා විසින්ම තම අත්දැකීම ඇසුරිනුයි. පොත කියවන්න හොයාගැනීමේ උවමනාවකුත් තියෙනවා. අප්‍රිකානු කලාපයේ ජීවිත ගැන වඩා යථාර්ථවාදී විස්තරයක් චිත්‍රපටියටත් වඩා පොත තුළ විස්තර වෙනව ඇති කියල හිතෙනවා. කවුරුන් හෝ ඒක පරිවර්තනය කරනවානම් පැති කීපයකින් රස විඳින්න පුළුවන් කෘතියක් වෙයි කියලත් හිතෙනවා.

මේක නාට්‍යමය චිත්‍රපටියක්. දූවිලි පිරුණු කාෂ්ටක කැළඹිලි සහිත ගමනකින් ඔබව නිල්ලත් සැනසිල්ලත් පිරුණු අවසානෙකට ගෙන යන චිත්‍රපටියක්. එහෙනම් බලන්න!


https://www.imdb.com/title/tt7533152/

Friday, 12 April 2013

ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද!


පහුගිය 06 වෙනි සෙනසුරාද කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක ‍වගේ නේ... මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.

සංගීතය, ලංකාවෙදි නං ගීතය, සින්දු ගැන අපි ඕන තරම් කතා කරනවා. ඕන තරං සින්දු අහනවා. සාමාන්‍යයෙන් සංගීතය කියන එක විතරක් අහන්න තරං ඇම්මක් තියෙන උන් නං ටිකක් අඩුයි. නමුත් කොයි කවුරුත් සින්දුනං අහනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට සින්දු අහන්නෙ අහන්නං වාලෙ කිව්වොත් හරි. කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි, බූට් එකක් එහෙම කෑවම නං සින්දු හිටු කියලා මතක් වෙනව වුණාට සාමාන්‍යයෙන් වෙන අවස්ථාවලදි අපි සින්දු සීරියස් ගන්නෙ නෑ.

හැබැයි ඩවුන් ටවුන් පල්ස් කියන්නෙ සීරියස් වැඩක්. අඩු ගානෙ මම එහෙම හිතන්න කැමතියි. ඒ නිසාම ඒක අළුත් වැඩක් විධියට අඳුණගන්න තවත් සාධකයක් එකතු වෙනවා. රහක් නැති දියාරු බෝරිං සංගීත ව්‍යාපෘති අතරෙ මේක දැණෙන වැඩක් වෙන්නෙ ඒක නිසයි.

මුල්ම කාරණේ ම‍ට මේක සම්පූර්ණයෙන්ම ජීර්ණය කරගන්න බැරිවීම. ඒ කියන්නෙ ගෙදර ඉඳන් නිදහසේ අහන තරම් අවබෝධයෙන් මේක පහලට යවාගන්න බැරි වීම. දැනීම්, විඳීම් අතින් නම් වැඩේ යන්තම් ෂේප් කරගත්තා. නමුත් මේක එතනින් නතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැනිලා විඳලා එතනින් නතර කරන්න නම් මේ ගැන මෙහෙම කතා කරන එකෙත් වැඩක් නෑ.

ඒ නොහැකි වීමට හේතු වෙන පළවෙනි එක කොළඹ ආවම හැදෙන හිසේ ඇම්ම. සාමාන්‍යයෙන් ඇම්ම තියෙන්නෙ වෙන තැනක වුණාට කොළඹදි හිසේ ඇම්මකුත් එනවා. ඒක මට මෙතනට සෙට් වෙන්න ලොකුම බාධකය වුණා කියල මට හිතෙන්නෙ. අනිත් කාරණේ ඒක බලන්න යන්න සෙට් වුණ උන් ටික. උන්ගෙ රහ තිබුණෙ වෙන තැනක ;-) එතන වෙන ප්‍රොජෙක්ට් එකක් තිබුණ නිසා ඒකට සෙට් වෙන එක ප්‍රධාන වුණා. ඒ නිසා මේ සටහන ලියන්නෙ ඩවුන් ටවුන් පල්සෙදි රැප් කියපු drill team එකේ සින්දු එකහමාරක් විතර යද්දි නැගිටල ආපු එකෙක්.

ඩවුන් ටවුන් පල්ස් නිකංම නිකං සංගීත ප්‍රසංගයකින් වෙනස් වෙන්නෙ කොහොමද? මේ ගැන දැනටමත් තැන් කීපයක කතා කරල තියෙනව මම දැක්ක. ප්‍රධානම දේ මේ ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් වුණ ශිල්පීන් ප්‍රධාන ධාරාවේ නිර්මාණකරුවො‍ නොවීම. ඔවුන් විකල්ප සංගීතවේදීන් වීම. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල මේක කියවගෙන යනකොට සමහර විට පත්තු වෙයි. අනිත් කාරණේ ලංකාවෙ අපි ඉන්න සමාජ තලයෙදි ලයිව් නෑසුණ සංගීතයක් වෙනුවෙන් ඉඩක් ලැබීම. ඒ සංගීතය තුල සිංහල චවන මීට පෙර ඇහුණට වඩා වෙනස් විධියකට හඬනැගීම.

ප්‍රසංගය සම්බන්ධ මතකය පින්තූර ටිකකට එහා ගෙනියන්න අවස්ථාවක් ලබා දීම තමයි අනිත් විශේෂත්වය. ඒ තමයි මහා Down Town Pulse පුස්ථකය.

පොත


මේ වැඩේ කරන බේකරියෙ සෙට් එකේ විරාජ් මහත්තය මෙතන කියල තියෙන විධියට ලංකාවෙ විකල්ප සංගීතයේ මෑත යුගයේ තදයො විධියට අපි දන්න ඉන්ද්‍රචාප, නදීක වගේ අයගෙ අදහස් නම් පොතේ නැති වුණාට ප්‍රමාණික දැනුමක් තියෙනවයි කියල හිතන්න පුළුවන් කට්ටියක් පොතේ ගොඩක් දේවල් කියල තිබුණ. මම හැමදාම හිතනව වගේ මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි. ඒ නිසාම පොත මරු! ඇරියස් ටික ඊළඟ පාර අල්ලමු!

පොත කියවද්දිත්, වෙනත් ලිවීම් කියවද්දිත් මට තේරුණේ අපි ඕනම දෙයක් තේරුම්ගන්න කලින් ඒව අපි දන්න ආකෘතිවලට රිංගවන්න යනවය කියන එක. ඒක අපි හැමෝම කරන වැඩක්. ඒ ගැන ඉස්සර දවසක ලිව්ව මතකයි මෙතන සහ ඊටත් ඉස්සර මෙතන. (දැන් ඒ අතීතය ගැන ඉරිසියයි ඕයි!) අපි ලේසියටයි එහෙම කරන්නෙ. මොකද අපි දන්නෙ නැති, ඉගෙනගෙන නැති දෙයක් ගැන තේරුම්ගන්න කරන්න වෙන හැදෑරීම කරන්න අපි මාර කම්මැලියි. නැත්තං එහෙම හැදෑරීමක් ඕනය කියල අපිට හිතෙන්නෙ නෑ. ඒ නිසාම අපි දන්න ස්ට්‍රක්චර්ස් කීපයක් අස්සට දාල හැමදේම තේරුම්ගන්න යනව. ‍

ඩවුන් ටවුන් පල්ස් කණ්ඩායම් ගැනත් එහෙම කියවීම් කීපයක් මම දැක්ක. නිර්මාණකරුවා ගේන යෝජනාව අහනව වෙනුවට තමන් හිතං ඉන්න එක ඇතුලට නිර්මාණකරුවව ගේන්න යන එක. හරියට අපිට ඉන්න බොස්ල වගේ. එලියට බැහැල කල්පනා කරන්න කැමතිම නෑ. කොහොම වුණත් ඒ හින්ද සමහර කියවන්නන්ට ‍ඩවුන් ටවුන් පල්ස් නිර්මාණකරුවන්ව අහුවෙන්නෙ නෑ. ඕනවට වඩා ගොඩක් පොත් කියෙව්වමත් ඔහොම ඒව වෙනව මගෙ හිතේ.

එකපාර පොතට පැන්නට මට මුලින්ම කියන්න ඕන එතනදි සහ පසුව හිතුණ අමු දේවල් ටිකක් ගැන. මට මුලින්ම හිතුණෙ ‍ඩවුන් ටවුන් පල්ස් අතරෙදි ඔය කියන පල්ස් දෙකක් අතරෙ හෙන පත සානුවක් තියෙනව නේද කියලයි. ඒ කියන්නෙ ලොකු පල්ස් දෙකක් අතර ලොකු ෆ්ලැට් ගතියක්. එහෙම වුණේ ගොඩක් සංගීත කණ්ඩායම්වල නිර්මාණ එකම ටෝන් එකකින් තිබීම. සමහර විට ඔවුන්ට තියෙන එකම නිර්මාණ ටික ඒව වෙන්න පුළුවන්. නමුත් මේක අළුත් වැඩක්, සහ ප්‍රසංගයක් නිසා තෝරගන්න ගීත අතරෙ පොඩි ටෝන්මය විවිධත්වයක් තිබුණ නම් හොඳයි කියල හිතුණ.

ගෝෂා - චින්තක ගීතදේව


අජිත් කුමාරසිරි මේ කැටගරියෙ තදයා හෙවත් ආරම්භකයා කිව්වොත් හරි. ඔහු ගැන අපි දන්නෙ අවුරුදු ගාණක ඉඳන්. ඒ නිසාම මේ විධියෙ සංගීතෙකට කැමති අය අතරෙ අජිත් දැන් ස්ටාර් කෙනෙක්. එදා ඒක මට තේරුණා. ඔහුට එහෙම වෙන්න ඕනවට වඩා අවශ්‍යතා සම්පූර්ණයි. නමුත් ඔහු ගායනා කරපු ගීත ගැන මගෙ කැමැත්තක් නෑ නයි නටවන එක ඇරුණම. මේ දවස්වල ජිනීවා කේස් එක ආයෙමත් නැගල යන නිසා මාත් එක්ක හිටපු එක්කෙනෙක් පෙරුම් පුරාගෙන හිටියෙ ඒක කියයි කියලා. ඒ කොහොම වුණත් ඒ වගේ තැනකදි කලින් අපි අහපු දන්න සින්දුවක් කිව්වනං ‍වඩා හොඳ වෙන්න තිබුණා.

අජිත් කුමාරසිරි


කලිනුත් කිව්ව වගේ ‍ඩවුන් ටවුන් පල්ස් අවබෝධයෙන් ජීර්ණය කරගන්න විධියක් නෑ එතන තත්ත්වෙ උඩ. ඒ නිසා අළුත්ම සින්දු යූ ටියුබ් හරි මොකක් හරි එකකින් අහනකල් දිරවගන්න එක ලේසි වෙන එකක් නෑ.

අනිත් එක ඩ්‍රිල් ටීම්. එයාල එනව කිව්වම මම සතුටු වුණා. නමුත් එයාල වෙනුවෙන් තිබුණ ඇරෙන්ජ්මන්ට් එක ටිකක් අවුල් වගේ. ඒ නැතත් මොකක්දෝ අවුලක් තිබුණා. එතන හිටපු ක්‍රවුඩ් එකට එයාලව අල්ලගන්න පුළුවන් වුණාද මන්දා. අපිත් රැඳිල හිටියෙ එයාල එනකල්. නමුත් මැදදි නැගිටින්න වුණා.

ඩ්‍රිල් ටීම්


සමහර වෙලාවට සින්දුවලට පොලිටික් කෑලි උවමනාවෙන්ම දාලද මන්දා කියලත් හිතුණා. ඒ වෙලාවෙ හිතුණෙ. දැන් මතක නෑ මොනව ගැනද හිතුණෙ කියල. සමහර විට විකල්ප වීමේ උවමනාවම ඒකට පෙළඹෙව්වද මන්දා. ඔතනදි විකල්ප වෙන්නෙ කොහොමද, ඇයිද කියන එකත් හිතන්න වෙනවා. ලෝකෙ එක එක කාලෙදි ඒ ඒ තත්ත්වයන්ට අදාලව විකල්ප සංගීතඥයො බිහි වෙලා ඇති. ඒ කියපු විකල්ප සංගීතය කියල අපි දන්නෙ සංගීතෙ ප්‍රධාන ධාරාවකට අභියෝගයක් කරන වෙනත් සංගීතයක් කියල නම් ඒක ‍මෙතනදි හරි. මොකද මෙතනදි එලියට ආපු වචන සහ සංගීතය අපි සාමාන්‍යයෙන් සින්දුවලින් අහන වචන හෝ සංගීතය නෙවෙයි.

සාම්ප්‍රදායිකව අපි අහපු සිංහල ගීතයෙ වචන වෙනස් කලේ චාමින්ද රත්නසූරිය කියලයි මට හිතෙන්නෙ. අජිත් කුමාරසිරිව මට අහුවෙන්නෙ ඊට පස්සෙ. ඩැඩීල අහුවෙන්නෙ ඊටත් පස්සෙ. වෙන කව්රු නව රැල්ලට සින්දු කිව්වත් ඒ වචන හරිම සාම්ප්‍රදායිකයි. හැමදාම අපිට ආදරේ විග්‍රහ කරගන්න හඳයි, වැවයි, ඇසුයි නැතිව අමාරුයි. දැන් දැන් මේ සංකේත ටික නාගරීකරණය වෙලා වුණාට යොදාගන්නෙ අර අර්ථයෙන්මයි. පැහැදිලි චිත්‍රයක් වගේ දර්ශණය ගානට මවල දෙනවා. ඇස් දෙක පියාගත්තම සමනල්ලු පියාඹනවා. දැන් නං සමහරු මුලින් වීඩියෝ එකට නටලා ඒකට හරියන්න තනුවක් දාලා ඒකට වචන දාලයි සින්දු හදන්නෙ කියල තේරෙනවා.

මොනව වුණත් අපි විඳින හැඟීම් අමාරුවෙන් හරි වචන කරන එක චාමින්දට, අජිත්ට සහ ඩැඩීට පස්සෙ මට ටොප් එකටම අහුවුනේ ‍ඩවුන් ටවුන් පල්ස් වලින්. ඒ වචන අළුත්!

ඒ එක්කම අමිල සඳරුවන් ගැන මට තිබුණ අදහස තව පළල් වුණා කියල හිතෙනවා මේකෙන්. එයාගෙ ස්වභාවික ගැයිල්ල මට මතක් කලේ බොබ් ඩිලන්ව. ඩිලන්ගෙ අහල තියෙන සින්දු අතරෙ ඔහුත් බොහොම ස්වභාවිකව හඬ හැසිරෙව්ව කියල මතකයි. අමිල කියන මේ සින්දුව ඊයෙ පෙරේදා දවසක හමුවීම ආයෙමත් අමිලව අළුත් කලා.




කව්රු මොනව කිව්වත් මෙහෙම තැනකට ආපු ‍ඩවුන් ටවුන් පල්ස් සංගීතවේදීන් ගැන මට තියෙන්නෙ ලොකු පැහැදීමක්. සංගීතය කියන එක අවශ්‍ය අයට ඒක පිපාසයක් වගේ එකක්. එහෙම එකේ මිරිඟු ගොඩක් එක්ක ඉඳල හිටල වතුර වලක් හම්බවෙන කාන්තාරෙක උන් කරන වැඩේ සිරා.

මම දන්නෙ නෑ එතන හිටපු කී දෙනෙක් කවදා වෙනකල් වැඩේ දිගටම කරයිද කියලා. මොකද ලංකාවෙ නෙවෙයි කොහෙදිත් ජීවත් වෙද්දි මාකට් එක ඕන වෙනවා. ජීවිතේ එක්ක ගනුදෙනු කරද්දි පැෂන් එක අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. මමනං කියන්නෙ එහෙම වෙන දවසක අතෑරලා දාන්න කියලයි. නිකං පඩ ෂෝ සහ බයිල ගගහ අසාර්ථක ප්‍රොජෙක්ට්වල රැඳිල ඉන්න එපා.

මට අහුවුණ තව එකක් මේ විකල්ප කියන අයගෙ තියෙන සමාජ භීතිකාව ගැන කතා. මීඩියා භීතිකාව හෝ මීඩියා වලින් හැංගීම හෝ වෙනම කොටසක් විධියට කැපිල පෙන්න තියෙන උවමනාව කියල ගමු. ඒක මානසික අසහනයක්? මටනං එහෙම හිතෙන්නෙ නෑ. ඒ තරං මම එක්කෙනෙක්ගෙවත් ඇත්ත ජීවිතේ දන්නෙ නෑ. අර කලින් කියපු විරාජ්ගෙ ඉන්ටවිව් එ‍කේ තිබුණ විධියටනං මාධ්‍යවලට විකිණෙන්න ඕන නෑ කියල කට්ටිය කිව්වලු. අනේ මන්දා ඕවා.

උඹලට සල්ලි නෑ කියලනං මට හිතෙනව. තිබුණ නම් වීඩියෝවක් කරල දායි. මොකද ඇත්තටම එහෙම මීඩියාවලට ගියා කියල අවුලක් නෑ. සමහර විට යම් දවසක උඹල බලපෑමක් කරන්න පුළුවන් කොටසක් විධියට හැදෙද්දි ඒ අවකාශය ඕපන් වෙයි. එතකොට හැංගිල වැඩක් නෑ. හැබැයි මීඩියාවලට තමන්ව උරාගන්න දුන්නොත් විනාසයි. ඒක ගානට වෙන්න ඕන වැඩක්. පුළුවන් නම් මීඩියා එක්ක ගනුදෙනු කරන අළුත් විධියක් හොයාගනිල්ලා.

කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා උඹල කරන විධියට හරි කරන එක ලොකු දෙයක් කියල මම හිතන්නෙ. මොකද එහෙම නොකර ඉන්න අය ඉන්නවා. උන් වෙන වෙන බිස්නස් කරනවා. නැත්තං කම්මැලිකම හරි වෙන මොකක් හරි නිසා උන් මෙහෙම වැඩ කරන්නෙ නෑ. ඔය රියැලටි ප්‍රෝග්‍රෑම්වලින් එහෙම කුණු මුල්ලට වෙලා හිටපු උන්ට තල්ලුවක් දුන්නා. නමුත් අපි දන්නව රියැලටියෙන් එලියට එද්දි ගොඩක් විට උන් ආයෙත් හරි යන්නෙ කුණු මුල්ලටම තමයි කියල. මොනව වුණත් රියැලටියටවත් නොයා අතෑරල දාල ඉන්න උන්ට පට්ට මානසික අසහනයක් තියෙනව වෙන්න ඕන.

මේ ලියවිල්ලෙ තරංග ආයාමය සෑහෙන්න දිග නිසා නතර කරන්න වෙලාව හරි. අන්තිමේදි කියන්න තියෙන්නෙ කතා කාරයො මොනව කිව්වත් තමන්ට දැණෙනකල් වැඩේ ඇදගෙන යමු කියලයි. කොහොමත් අපේ රටේ න්‍යායකාරයො වැඩියි. ඒකට මාත් ඇතුලත්. දන්න මගුලකුත් නෑ කොරන උලව්වකුත් නෑ. දන්නෙ රටේ නැති මල විකාරවලින් කොල පුරවන්න විතරයි. ඒ පුරවන‍්නෙත් අනිත් මිනිස්සු කරපු කියපුව ගැන. ඒවත් ඕන තමා. හැබැයි ඒව බේස් කරගෙන වෙනස් වෙන්න උවමනාවක් නෑ. ඒ නිසා මම කියපුවවත් ගණං ගන්න එපා.

පුළුවන් තාක් දිගටම ගේමෙ ඉමු! ජය වේවා!



-----------------------------------------------------------------
පින්තූරවලට අනුග්‍රහය ලබා දුන් ලිෂාන්ට ස්තූතිය!

ඩවුන් ටවුන් පල්ස් පස්සෙන් යන්න ඕන නම්!
down town pulse on FB

Thursday, 4 April 2013

ඩවුන් ටවුන් පල්ස් බලමුද?


සංගීතය කියන එකට පැහැදිලි ඩෙෆිනිෂන් එකක් කවුරුවත් දීල තියෙනවද කියල මම දන්නෙ නෑ. මේ වෙනකොට කියවල තියෙන හැම ඩෙෆිනිෂන් එකක්ම තියෙන්නෙ එක රාමුවකට කොටු වෙලා. ඒ කියන්නෙ එක්කෙනෙක් උත්තර භාරතීය රාගධාරී සංගීතය යනු සංගීතය වේ කියල කියද්දි තව කෙනෙක් යුරෝපීය සංගීතය යනු සංගීතය වේ කියල කියනවා. ඔය හැම සංගීතෙකටම වඩා දකුණු ඇමරිකානු සංගීතෙ සංගීතෙ තමයි කියන කට්ටියකුත් ඇති.

ඔය ගොඩ දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්ණෙ ඔය සංගීත නිර්වචනයෙදිත් එනවා.

අපේ එක චෝයි ඔයාගෙ එක කක්කි!

අපේ එක තමා හොඳ කියන එක අපේ ඔළුවට අමුණපු සර්කිට් බෝඩ් එකක්.

හැබැයි ඔය සර්කිට් ගලවල ටිකක් නිදහසේ හිතුවම සංගීතය කියන්නෙ අපි හිතනවට වඩා ලොකු එකක් කියල තේරෙන්න වැඩි කාලයක් යන එකක් නෑ. අපට ඒ සම්පූර්ණ ටිකම දැණෙන්නෙ නැති වෙන්න පුළුවන්. හැබැයි අනිත් මිනිහ අහන එව ගැන ඉවසන්න අපට පුළුවන් වෙනව එහෙම වුණාම.

සමහර විට අපි කවදාවත් කැමති වෙයි කියල හිතන්න බැරි සංගීතෙකට අපි කැමති වෙන්නත් පුළුවන් එතකොට.

ලංකාවෙත් සංගීතෙ කියල අපි දන්න කාලෙ ඉඳන් පවතින ධාරාවක් තියෙනවා. ඒක ඔය ඉස්සර කෝලම්, ටීටර් වල ඉඳන් චිත්‍රපටි ඔස්සේ ජෝතිල වික්ටර්ල හරහා ඇවිත් භාතිය සංතුෂ්ල ඉරාජ්ල ශිහාන්ලගෙනුත් පස්සෙ මේ වෙද්දි ඔය රුවන් හෙට්ටිආරච්චි වගේ කෙනෙක් ගාවට ඇවිත් තියෙනවා.

හැබැයි ඒ මේන් ස්ට්‍රීම් එක.

ඔයිට විකල්ප ස්ට්‍රීම් කීපෙකුත් තියෙනවා. කසුන් කල්හාර, නදීක ගුරුගේ වගේ අය එයිට විකල්ප වෙන ස්ට්‍රීම් එකක යනවා. ඇත්තටම ඒව විකල්පමයි කියල කියන්නත් බෑ.

ඔය ස්ට්‍රීම් කිව්වට ඒව මේ වෙන වෙන ම ගලාගෙන යන ඇල පාරවල් නෙවෙයි. මම කැමතියි ඒව වෙන් වෙන්ව ගලන ඒත් යම් අවස්ථාවලදි එකට එකතු වෙමින් ආයෙම වෙන් වෙමින් ගලන ඇල පාරවල් කියල හිතන්න.

හරි... බයිල නොගහ කියන්න ආපු වැඩේ කියඤ්ඤං!

ඉතිං ඔය කියපු ඇල පාරවල් අතරින් වෙනස්ම වුණ ඇල පාරවල යන සෙට් එකක් අප්‍රේල් 6 වෙනිද කොන්සර්ට් එකක් කරනවා. තියෙන්නෙ කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව හවස 7 ඉඳන්!
ඒකෙ නම තමයි Down Town Pulse කියන්නේ. වැඩි විස්තර ඕන අයට පහලම දීල තියෙන සම්බන්ධතා පාවිච්චි කරල ඒ ගැන දැනගන්න පුළුවන්. ඒ වුණාට මුකුත්ම නොකියත් බෑනෙ.


ඩවුන් ටවුන් පල්ස්

2013 අප්‍රේල් 06 හවස 7 සිට

මහල්වරාව බේකරිය අසල

ගාස්තු කිසිවක් නැත


මේක මේ පවත්වන්නෙ දෙවෙනි වතාවට. ගිය අවුරුද්දෙත් අපේ කට්ටියටම මේක ගැන ඔත්තුව ලැබුනෙ බොහොම කලින්. ඒ වුණාට අපි ඒක ගණං ගත්තෙ නෑ. මොකද සහභාගි වෙන සංගීත ශිල්පීන්ගෙන් කලින් නම හරි අහල තියෙන අය හිටියෙ කීප දෙනයි. ඒ වුණාට පස්සෙ ඒ ගැන විස්තර ඇහුවම නොගිය ගොන් කම ගැන කම්පා වෙන්න වුණා. ඒ නිසා මේ පාරනං අතාරින්න හිතක් නෑ.

මෙන්න මේ අය තමයි එදාට සින්දු කියන්නේ...


අමිල සහ ගිහාන් ප‍්‍රමුඛ HAPPY JOURNEY

ගීතදේව සහ ෂැගී සමඟ GHOSHA

ඉසුරු කුමාර සමග MIXMASTER BLONG

සරා සමග WANTED

සාක්‍යා සහ චරිත් සමග WAKHAN THANKA

අජිත් කුමාරසිරිගේ NO BAND WITH AJITH

මාධව සමඟ SKITZO

WESTනාහිර DRILL TEAM

O2 හෙවත් අම්ලකර


අපි කීප දෙනෙක් නම් සැට් වෙන්න පතාගෙන ඉන්නවා... හැකියාවක් තියේනං සංගීතෙ වෙනම විධියෙ අත්දැකීමක් විඳින්න කැමතිනං යන එකයි ඇත්තෙ ඕං...



ඩවුං වටුං පුල්සේ විස්තරේ ‍මෙව්වයිං බලාගන්ට!


‍මූනත්තහඩු පුස්තකේ විස්තරේ

සංවිධායක විරාජ් අයියගේ මාධ්‍ය සාගජ්ජාව

කල්ට් ලියන ධර්මෙ අයියගෙ අටුවාව

කුරුළු නාදේ

ගූ ගල් පුල්සේ

ඔබ නළයෙන් ගලයි...

Friday, 20 March 2009

එන්න, කොන්ද පණ නැති ශ්‍රී ලාංකිකයෙක් වෙන්න.

මේ සටහන මතවාදී යුධ බිමේ යුධ වදින රණ විරුවකු‍ගේ තවත් ඒක පාර්ශවීය මානුෂීය මෙහෙයුමකි. එකම වෙනස මින් ජයගත ‍නොහැකි වීමයි.

අනේ මන්ද මට රූපවාහිනී වල තියෙන මල විකාර ගැනම ලියන්න හිතෙන්නෙ ඇයි කියල. ඒකට හේතුව ගොඩක් දරුණු එකක්. ඒක මොකක්ද කියල පසුව කියන්නම්.

අද රූපවාහිනිය බලල මම මට හැමදාමත් හිතෙන ඒත් කවදාවත් කියන්න නොහිතුණ දෙයක් ගැන කියන්න කල්පනා කලා. පවුලේ අනිත් අයගේ හිත සුව පිණිස එයාල බලන නාලිකා බලන්න වෙන තවත් කාලකණ්නියෙක් තමයි මමත්. මට නොදැනුවත්වම මම රූපවාහිනිය අසල රැ‍ඳෙන හැම වෙලාවෙම ඒකෙ යන මල විකාර මගේ ඔළුවට වැටෙනව.

මේ රූපවාහිනී නාලිකා වල පෙන්වන රබර් නාට්‍ය ගැන විතරක් දැනට කතා කලාම ඇති කියල මට හිතුණ. දැන් ලංකාවෙ හැම නාලිකාවකම වගේ රබර් නාට්‍ය යනව. ‍මේව අතරෙ හොඳ ඒව නෑ කියනව නෙවෙයි. ඒ වුණාට මිනිස්සුන්ව ඉන්න තැනින් ඉහලට ගෙනියන ආකාරයේ නිර්මාණ නම් නැති තරම්. මේ කතා මේ තරම් දිගට ඇදෙන්නෙ මේ වගේ.

tvteledrama road

මේකෙ රතුපාටින් පේන ඉර දිගේ කතාව සරලව කියන්න පුළුවන් වුණාට මේ පෙන්නන ඒවයෙ මිනිස්සුන්ගෙ මන්ද බුද්ධික වැඩ නිසා කතාව කියවෙන්නෙ කළු පාට ඉර දිගේ වටේම අරන් ගිහින්.

සරලව වෙන්න පුළුවන් දේවල් මිනිස්සුන්ගෙම ගොං කම් නිසා දිගට ඇදීම මත තමයි මේ කතා මේ තරම් දිගට ඇදෙන්නේ. මේ නාට්‍ය වල මිනිස්සු එකෙකුට එකෙක් විශ්වාස නෑ. සුදු මිනිස්සු නොහිතන මොහොතක කළු වෙනව. කෙලින් තීරණ ගන්න බැරි ගතිය නිසා සරලව වෙන්න තියෙන දේ දිගට ඇදිල රබර් වෙලා නාට්‍ය කාරයව පෝසත් කරනව.

මේ දිහා මිනිස්සු බලන්නෙත් තමන්ට වෙන ගානට හායි හූයි කියාගෙන. අපේ ගෙදර අයටත් වැඩේ තේරුණාට බලන්න වෙන එකක් නෑ. රූපවාහිනිය ක්‍රියා විරහිත කරලත් ඉන්න බෑ. මම ගෙදර අයට කිව්ව මේව බලල සත්තුන්ටත් අන්න වෙනව කියල. තීරණයක් ගන්න බැරිව ලත වෙන කොන්ද පණ නැති පී වර්ගයේ අය වෙනව කියල.

මේ ගැන කාලෙක ඉඳන් කතාවක් යන්තම් තිබුණත් තාම මේ මානසිත අවපාතකරණය බරපතල සමාජ ගැටළුවක් විධියට තේරුම් අරන් නෑ කවුරුවත්. මම කලිනුත් නොයෙක් තැන්වල කියල තියෙනව වගේ අපට ප්‍රභාකරන්ට වඩා සතුරෙක් ඉන්නව. ඒ සතුරා කොයි තරම් කපටිද කියනවනම් එයා අපේ සතුරෙක් කියලවත් කට්ටියට තේරෙන්නෙ නෑ. එයා අපිට විෂ කවන්නෙ සීනි තවරල. සීනි බෝල කන්න මිනිස්සු හරි කැමතියිනේ.

සමහර විට උතුරේ මානුෂික මෙහෙයුමට පස්සෙ ලොක්කන්ට තේරුණොත් තව යුද්ධ කරන්න තියෙනව සමාජය දියුණු කරන්න. දැනට යන්තම් පවතින ඒ යුද්ධයක මමත් යුධ සෙබලෙක් ;) තවත් සෙබලු යුධ වදිනව. සමහර විට එයාල දන්නෙත් නෑ එයාල යුද්ධයක් කරනව කියල. කොහොමත් මේ ‍නොපැහැදිලි සතුරාගෙන් මිනිස්සුන්ව මුදාගන්න පුළුවන් හැම තැනම එයාල සටන් කරනව. බොහෝ විට මට නම් ඒක නිසා හෙම්බත් වෙන එකට වඩා දෙයක් වෙන්නෙ නෑ. නමුත් සෙබලෙක් මිය යන තුරු යුද්ධය නවත්වන්නෙ නෑ.

ඒ නිසා මමත් මේ කිසිම තේරුමක් නැති සටහන දානව.

මේක කියවල වැඩක් නැති නිසා මම මෙතනින් ගත්තු මේක අහන්න. ඒකත් වැඩක් නැත්තං ඉතිං.....




Pitastharaya Kasun Kalhara-The Romantic Opera(New Album)

අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් - මේ සින්දුව උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය ලියපු එකක්. සංගීතය සහ ගායනය කසුන් කල්හාර.

ඒ වගේ තව සින්දුවක් අහන්න මෙතනට යන්න.

Sunday, 8 March 2009

Helixed...

Helixed...

In my 2D sine curved life
I was just believing
that all the nonsense they talk
is just some other crap
which is going to stop
my free and calm tour
of the life I was going
to be made splendid

Then there was you
on the other dimension
which made it deep
on the other axis...
it was simply a revolution
I was not planning
in any way I could think

Now my life is a helix
in the 3D world


ecH on 2009-03-08


yakomapo

Wednesday, 15 October 2008

ආදර බයිලා සමග පුරුදු වෙනස් වීම

අදහස් ගොන්නක් හිතේ තියාගෙනයි මේ සටහන ලියන්නේ... මේක ඉලාස්ටික් වෙන්න ඉඩ තියෙනවා. ඒත් ලියන්නම ඕන.

අද (2008-10-14) මම මගේ පෙම්වතිය එක්ක කොටු ගැහුවා.. රවුම් නෙවෙයි. ඒ කියන්නේ පරිමිත විවිධ බහු අස්‍රාකාර හැඩ ඔස්සේ අපි අද ඇවිද්දා. කිලෝමී‍ටර් ගානක් වටේම මිනිස්සුන්ව ඉරිසියාවෙන් සහ හීනමානී දුප්පත්කමින් පුපුරවමින් අපි අපේම පුංචි Portable LAN එකක් හදාගෙන දෙඩෙව්වා. බස් කීපයක් පුරා දොඩමලු වුණා. ආයෙත් කාලෙකට ගන්න බැරි දේවල් සහ අවස්ථා ගොඩක් අද අපි අහිංසක විධියට භුක්ති වින්දා. මම ආයෙත් ඇයගෙන් පිරිලා දැන්....

ඇය සමුඅරන් ගියාට පස්සෙ මම ඇයට කවියක් කෙටුව. මේ තියෙන්නෙ නැවත සංස්කරණය කරපු එකක්.

නුඹේ අත්
පොකුරු මත
මා දමා ආ
මගේ අත
නැතිවත්
මා පූර්ණයි
සිත පුරා පිරි
නුඹේ මතකින්

දන්නැද්ද මඤ්ඥං වුණාම ලියවෙන ඒවා ;)

අපි දෙන්නා පෝයට වහපු වාහන හදන ස්ථානයක ආවරණය පැතුවා වැහැපු වෙලේක. වැස්ස පායලත් පැය බාගයක් යන කල් අපි කතා කලා බොහොම දේවල්. අපේ මහගෙදර විප්ලවවාදී කවියා ගැන කතාවක් ඇදුණු වෙලාවක අපිට මාතෘකාව විධියට ආයෙත් විප්ලවය ආවා.

තනි තනි මිනිස්සු වෙනස් නොවී මොන තරම් මූලධර්ම වලින් විප්ලව කලත් පලක් නෑ. මේ කියන විප්ලවයෙන් පස්සෙ ආයෙත් තියෙන්නෙ පරණ පාලන ක්‍රමයමයි. වෙනස් ලොක්කො ටිකක් ඇවිත් වෙනස් දර්ශණයක් එක්ක. එයාල එක පරම්පරාවක් ඕක කරයි. ඒත් මේ පොදු මහජනයාගේ කුහක කම් සහ පොදු තෘෂ්ණාව එක්ක කවදාවත් කතිකාමය විප්ලවයෙන් සර්ව සාධාරණ සමාජයක් කෙසේ වෙතත් ටිකක් ෂේප් එකක් වත් ගොඩනගන්න බෑ.

මට මතක් වෙන්නෙ 1984. මේක ජෝජ් ඕවල් ලියපු පොතක්. මම කියෙව්වෙ නම් සිංහල පරිවර්තනය. මේකෙ කියවෙන්නෙ විප්ලවයක් හරහා සමාජවාදී අන්තයකට ගිය සමාජයක් ගැන. ඕන නම් පොත හොයාගන්න. මගේ චිත්‍රපටි බාන මිතුරාට කියල මමත් චිත්‍රපටිය හොයාගන්න ඕන බලන්න.

විප්ලවයක් අපට ඕන. ඒක දැනුමේ විප්ලවයක්. සිතිවිලි විප්ලවයක්. මිනිස්සු හිතන විධි වෙනස් වෙන්න ඕන. ඒ වෙනුවෙන් විධිමත් පිලිවෙලක් සම්මත වෙන්න ඕන. ඒක කවදාවත් නොවෙන නිසා විප්ලවයක් කියලා හැමදාම අපිට වචන ටිකක් විතරක් තියෙයි.

මිනිස්සු තමා හිතන විධියට හුරු වෙලයි ඉන්නේ. පුංචි කාලෙ ඉඳන් ඔළුවෙ පිරෙන නා නා විධ දේවල් නිසා ඇත්ත නිවැරදිව දකින්න තියෙන හැකියාව මොට වෙලයි තියෙන්නේ මිනිස්සුන්ගේ. ඇත්තටම කිව්වොත් මාත් එක්කම. මම අර සම්පත් කිව්ව වගේ මගේ මොලය හෝදමින් ඉන්න අවධියක් තමයි දැන් පසුවෙන්නේ. ඒකෙදි මට මගේ මොලේ ඇතුලෙ හිර වෙලා තියෙන මල විකාර එක එක අහු වෙල, මම ඒව විනාශ කරල තියෙනව ඕන තරම්.

මම පහුගිය දවසක වුණ සිද්ධියක් කියන්නම්. අපේ ආයතනයට අමු ද්‍රව්‍ය සපයන ආයතනයේ වෙළඳ නියෝජිත මහත්මය (x ලෙස ගමු) දවසක් අපිත් එක්ක දුමකට සෙට් වුණ වෙලාවක අපි ජීවිතේ ගැන කතා කලා. මේ පුද්ගලය විවාහ වෙලා වැඩි කාලයක් නෑ. ඒ අපි දන්න තරුණියක් එක්ක. x කියන්නෙ කන බොන දේවල් මගඅරින විධියෙ කෙනෙක් නෙවෙයි. ජීවිතය ජොලියෙ ගෙවන්න ආස කෙනෙක්. ටික ටික ගෙවන්න වාහනයකුත් අරන්. අපට වඩා හොඳින් ඉන්නව වගේ පේනව. ඒ වුණාට අපට තියෙන ආර්ථික මැසිවිල්ල එයාටත් තියෙනව. එයාට අපට වඩා තියෙනව වගේ. වාහනේට ගෙවන්න මාසෙකට රුපියල් 40,000ක් අනිවාර්යයෙන් ඕනලු. ඊට අමතරව නඩත්තු වියදම් වුණත් එහෙමයිලු. x මේ කතා කියමින් අපිත් එක්ක කතා කලා.

ඒ අස්සෙ එයා මෙහෙම කිව්ව.

"මොනව වුණත් අපි ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න විධිය වෙනස් කරන්න අමාරුයිනේ බං"

ඒක x ගේ අදහස. ම‍ට හිතෙන්නේ මේ වෙනස් නොවීමයි අවුල. අපි අපේ උවමනාව වටහා ගන්නෙ නෑ. ඒ අනුව වෙනස් වෙන්නෙත් නෑ. කලිනුත් කිව්ව වගේ අපි පුරුදු වලට ඇබ්බැහි වෙලා තව තව දරුණු ලෙස පුරුදු වලට ඇබ්බැහි වෙමින් ඉන්නව. මේ පුරුදු වෙනස් කරල මිස විප්ලවයක් ගැන හිතන්න බෑ. ඇත්තටම අපි වෙනස් ‍වීම ගැන හිතන්නවත් කැමති නෑ. හිතන විධියත් (Pattern) අපි පුරුදු කරගෙන ඉන්න නිසා විධිමත් හැදෑරීමකින් මේ ගැන කතා කරල විසඳගත්තොත් මිස වෙන විසඳුමක් මට පේන්නෙ නෑ.

ඕන නම් මේ සේරමත් දාර්ශණික සහ ආගමික තර්ක තුල දිය කරන්න පුළුවන්. ඒව තුල තියෙනව හිත සනසන ධනාත්මක චින්තනවාදී අදහස් ඕන තරම් මේ ‍වගේ විකාර නොහිතෙන්න.

මේ කවිය ලිව්වෙ ගනේගොඩ විමානේ සිට...


වෙනස් වීම



නුඹ වෙනස් වන්න
ලෝකය වෙනස් කරන්න

උස් මිටි භේද නැති
දුප්පත් පෝසත් වෙනස නැති
අද අපගේ සිහින තුල ඇති
ලොවක් බිහි කරන්න
නුඹ වෙනස් වන්න

...

..

.

ඒත් ..

නුඹ වෙනස් නොවේ
නුඹට වෙනස් වීමට ඇති
අවස්ථා සියල්ල
කරුමයටත්
දෙවියන්ටත්
ඉගැන් වූ බොරු වලටත්
යට කර
එයටම ඇබ්බැහිව
වෙනස් වනු නොහැකිව
නුඹ ලෙසම හිඳින නුඹ
කෙදිනකවත්
වෙනස් නොවේ

කුණු වෙමින්
නොවෙනස් ලොවක



© හරේෂ් එරංග
2008-10-02


෴

Tuesday, 23 September 2008

විප්ලවය - මගේ විප්ලවීය මිතුරන්ට

විප්ලවය


නුඹත් මමත් එක්ව
නොපිට පෙරලුනු ලෝකය
පෙරලන්නට හොඳ පිටට
කරන විප්ලවය
ඇත්තටම කාටද
ලොවටද...
අපටද...

එසේ පෙරලුවත් අප
සිහිනෙන් හෝ ලෝකය
එය පෙරලී පවතීද
සදහටම...

ලොව එතෙක් මෙතෙක්
පිරිපුන් මිනිසුන් නොමැති කල
එසේ වන්නට තැත් දරා
පෙරලෙන්නේ අපම පමණද...

උපන් දා සිට
නා නා විසූක දස්සන
උදේ හවා පානය කොට
මත් වී හිඳින මිනිසුන්
කෙසේ පිලිගන්නද
ඔවුන්ගේ මත් බව...

රජ පෙල පතින් උරුම වූ
බුදුන් සතු වූ බලය
බුදුන් ජීවත් කරවූ සේම
අදටත් වලංගුද එලෙසින්ම
විප්ලවයට...

ජේසුන්ට නොමැති වූ එම බලයම
ජේසුන් කුරුසිපත් කරවූ ලෙසම
වලංගුයි අදටත්
බලය නොමැතිව
ලොව තනන්නන් සියල්ලට
එම සේම...

නමුත් මියැදෙන්නේ
කා වෙනුවෙන්ද
කැපවන්නේ කාහටද
බේබද්දන් වෙනුවෙන්
දිවි පුදන්නේ කුමටද

...

ලොව පෙරලා පලක් නැත
එය නිති ඒ මේ පෙරලෙන
ස්වභාවයේ නීතියට යටත් හෙයින්
ලොවින් එපිටට ගොස්
නුඹට යා හැකි බව දැන
නැවතත් එන්න කූඩුවට
ජීවිතය විඳින්න

ලොව දෙස බැලූ විට
විශ්වය හා සමව ගෙන
අත්‍යුනික කාලයක්
එහි වසන අප
සිහින පමණක් දකිමු

සිහින තුල අපවම සොයා
අපට හමුවූ පසු අප
නිහඬවම
වෙනස් වන ලොව දෙස බලා
සිනාසෙමු
විප්ලවය ඉවත හැර
වෙළෙඳුන්ට විකුණන්න දී එය
බේබදු ලෝකයට
බීමත් ආතල් වලට...


© හරේෂ් එරංග ද සිල්වා
2008-09-23




෴

Thursday, 28 August 2008

මගේ භාෂා ලෝකය

මේක කවියක්. හික්!

විස්තර කමෙන්ට්ස් වලින් කතා කරමු.