Showing posts with label men. Show all posts
Showing posts with label men. Show all posts

Saturday, 29 September 2012

ගැහැණු අදාල කරගැනීම

ගැහැණුන් කියන බොහොමයක් දේවල් වලට පිරිමින් එකඟ වෙන බව පෙන්නුවත් ඇත්තටම ගැහැණු සම්බන්ධ සුළු කාරණා කීපයක් ඇරුණම එයාල සම්බන්ධව වෙනත් කිසිම දෙයක් පිරිමින්ට අදාල නෑ. ඇත්තම කිව්වොත් විශේෂයක් නෑ. ගැහැණු සම්බන්ධව එයාල මොනව කරගත්තත් ඒක පිරිමින්ට ප්‍රශ්ණයක් නෙවෙයි. පිරිමින්ට උවමනා වෙන්නෙ තමන්ට අදාල ටික ගැහැණු අතින් ඒ විධියට සිද්ධ වෙන එක විතරයි.

අවුරුදු කීපෙකට කලින් මගේ මිත්‍රයා සංජීව එයාගෙ බිරින්දෑ එක්ක ආපු වෙලේ අපි ගැහුවා සුපුරුදු පරිදි ටවුම වටේ පොඩි රවුමක්. ඒක අපේ යාළුවො සෙට් එක එකතු වුණාම පුරාණෙ ඉඳන් කරගෙන ආපු සාමාන්‍ය වල බැහිල්ලක්. මේ පාර සංජීවගෙ බිරින්දෑ ෂානිකා එක්ක මංජුලගෙ ගෑණු ළමයත් අපට එකතු වුණා.

ටවුමෙ මැදදි ගෑණු ළමයින්ට ඕන වුණා ෂොපිං කරන්න. පිරිමි අපිනං කවදාවත් එහෙම සෙට් වුණාම ෂොපිං කරන සිරිතක් තිබුණෙ නෑ. අපි වැඩිම වුණොත් පකඩ හෝ කඩල ටිකක්, වඩේ කීපයක් අරන් හප හප යයි. ඒ වුණාට මෙදා පාර ඒක වුණේ එහෙම. ගෑණු අයට ෂොපිං කරන්න යන්න දෙන එක කල යුතු වැඩක් වුණා. ඉතිං කාන්තාවො ෂොපිං කරල එනකල් අපි කඩේ එලියට වෙලා කදයක් දැම්මා.

ඒ වෙනකොට මට ආපු ප්‍රශ්ණෙ කාන්තාවොත් එක්ක ෂොපිං කිරීමේ ගැටළුවට මූණ දෙන්නෙ කොහොමද කියන එක. ඒ වෙනකොට පවුල් ජීවිතේ අත්දැකීම් තිබුණ සංජීවගෙ උත්තරේ හරිම සරළයි.

"ඕන එකක් ලස්සනයි කිව්වම වැඩේ ඉවරයි. දවසක් මායි ගෑණියි ඇඳුම් ගන්න ගියාම එයා එකක් ‍තේරුවම ඒක හොඳ නෑ කියල මම කිව්ව කියල මාර ප්‍රශ්ණයක් වුණේ.. එදා ඉඳන් මම එකක්වත් හොඳ නෑ කියන්නෙ නෑ... ඇත්තටම උන්ට කැමති එකක් කරගත්තට අපිට ඒක අදාලම නෑනෙ බං... මට අදාල වෙන ටික හරියට තියෙනකල් පවුල් අවුලක් වෙන්නෙ නෑ..."

මේක සාමාන්‍යයෙන් හැමවෙලේම වගේ ඇත්තක්. පිරිමි අය ගැහැණු අයවත් ගැහැණු අය පිරිමි අයවත් ඔහොම පොඩ්ඩක් රවට්ටනවා... ඒක එකිනෙකාට නොකියා ඉන්න තාක් කිසි ප්‍රශ්ණයක් නැතිව වැඩේ වෙයි... කිව්වොත් වෙන්නෙ මෙහෙම රෑ තිස්සෙ ඇහැරගෙන අකුරු කොටන්න.

කාන්තාව රවට්ටන්නෙ නැතිව බොහොම තදින් ඇයට ඇත්තම කියලා ජීවිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරගෙන ආදරේ කියන සංකල්පය ඇතුලෙ පවතින එක මාර අමාරුයි. එහෙම වෙන්න තියෙන නොහැකියාව ගැන මට හොඳ අත්දැකීම් තියෙන නිසා අන්තිමේ මම තීරණය කළේ ආදරේ කියන්නෙ සංස්කෘතික මරිසියක් කියල.

අර චාමින්දගෙ වචන ටික නදීකගෙ ගිටාර් කෑලි අස්සෙ කසුන් කියල දාන්නෙ නියමෙට...


Tuesday, 22 March 2011

මිනිසා සම්පූර්ණ කිරීමට කියවීම! පිරිමියා සම්පූර්ණ කිරීමට ගැහැණිය!


ගැහැණිය සහ පිරිමියා කියන දෙපාර්ශවය එහෙම දෙපාර්ශවයක් විධියට වෙන් වෙලා තියෙන්න හේතු වෙන කාරණය සංස්කෘතික පසුබිමක කතාකරද්දි කියවෙන දෙයක් තමයි ගැහැණිය විසින් පිරිමියා සම්පූර්ණ කරනවා කියන එක. මේක අනිත් පැත්තට පිරිමියා ගැහැණියව සම්පූර්ණ කරනව කියලත් ගන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන පණ්ඩිත වාක්‍යය අනුව ඔය දෙගොල්ලොම හොඳට කියෙව්වානම් දෙගොල්ලොන්ටම දෙගොල්ලො නැතිව ඉන්න තිබුණ. මේ ලියන, කියන, ගායන, කන, බොන, ගිලින, රසවිඳින, වමනෙ දාන, කඳුළු උණන, හොටු පෙරන කතා වලින් සෑහෙන්න ටිකක් නැතිවෙන්න තිබුණ.

ඒත් ඒක එහෙම වෙන්නේ නෑ.

ඒ කියන්නෙ මිනිස්සු කියවන්නෙ නෑ කියන එක නෙවෙයි.

සමහර විට කියවලවත් මිනිහෙක්ට සම්පූර්ණ වෙන්න බෑ කියන එක වෙන්න පුළුවන් ඕකෙ යටි කතාව. කොහොමත් කියවන එකම කරන පොත්ගුල්ලන්ගෙන් ඇති වැඩකුත් නෑ. ඒත් පොත් කියෙව්වත් නැතත් මේ ගැහැණිය හෝ පිරිමියා භාවිතයෙන් එකිනෙකා සම්පූර්ණ වෙන්න දරන උත්සාහය ස්වභාවිකයි.

ඒත් සම්පූර්ණ වෙන්න උවමනාවක් ඇති වෙන්නෙ තමන් අසම්පූර්ණයි කියල හිතෙන නිසා.

ඒ කියන්නෙ තමන් සතු නොවෙන දේවල් ටිකක් තියෙන බාහිර පුද්ගලයෙක් යොදාගෙන තමන්ට නැති ටික වහගෙන තමන් සම්පූර්ණ වෙනවය කියන එක. ඒක හරියට වතුර පිරුනු වීදුරුවක් වගේ. පිරුනු වීදුරුවක් තවත් පුරවන්න බෑ. වීදුරුවක් පිරෙන්න නම් ඒක හිස් වෙන්න ඕන.

ඒත් එක්කම ඔය ගැහැණු පිරිමි සම්බන්ධයෙදි කියනව මේ ගැලපීම ගැන. කැමති පාටෙ ඉඳන් අහන්න ආසම සින්දුව දක්වාම මේ කතන්දරේදි ගැලපීම් තමයි හොයන්නේ. ඒක මහ තේරුමක් නැති වැඩක් කියල පස්සෙ කාලෙක ගොඩක් දෙනා තේරුම්ගන්නව වුණාට ජනප්‍රිය කතිකාවෙදි ඒක එහෙම තමයි.

තමන්ට සම්පූර්ණ වෙන්න තමන් නොවෙන කෙනෙක් හොයන අතරෙම ඒ වගේම උවමනාවල් ටිකකට තමන්ට ගැලපෙන එක්කෙනෙක් හොයනව. මේ ගනුදෙනුව සිද්ධ වෙන්නෙ හැඟීම් ස්ථරයක නිසා ඔය දෙක අතිපිහිත වෙන එක මොහොතකදි වැඩේ ගොඩ යනව.

මේ කතාව අනිත් පැත්තට හිතල මෙන්න මෙතනට එමු.

ඔබේ ගැහැණිය විසින් ඔබව සම්පූර්ණ කිරීම ඔබේ බලාපොරොත්තුව නම් ඔබ තෝරාගන්නා ගැහැණිය ඔබ සතු නොවන දේවලින් සමන්විත විය යුතුයි. එනම් ඔබේ සම්පූර්ණ විරුද්ධ ස්වභාවයන්ගෙන් යුක්ත විය යුතුයි. ඒ අනුව ඔබත් ඇයත් එක් වූ විට අන්‍යෝන්‍ය වශයෙන් ඔබලා දෙදෙනා එකිනෙකා හේතුවෙන් සම්පූර්ණ වේ.

ඒ අනුව පිරිමියාට ගැලපෙන ගැහැණියකගෙන් ඔහුට සම්පූර්ණ වෙන්න ලැබෙන්නෙ නෑ. පිරිමියෙක්ට සම්පූර්ණ වෙන්න ඕන නම් ඔහු හොයාගන්න ඕන ඔහුට නොගැලපෙන ගැහැණියක්!

ඔව්.. මේ වචන සෙල්ලම් අස්සෙ අතරමං වෙනවට වඩා ඒක ලේසි වෙයි...

Monday, 18 October 2010

ආදරයක් වෙනුවෙන්… සතුටින් ඉතිරී..

අපි පන්තිය අවසන් වෙලා හෙමින් හෙමින් පාර දිගේ ගියේ එදා දවසෙ ඉස්කෝලෙදි වුණ සිදුවීම් ගැන කතාවක් එක්ක. පන්තියට ආපු එක එක ඉස්කෝල වල ළමයි අතරෙ ඈත් ඇගේ යෙහෙළියන් කණ්ඩායමත් අපට ඉදිරියෙන් යමින් හිටිය. ඉස්කෝලෙ ඇඳුම් වලට දෙගුණ වුණ සුන්දරත්වයක් එක්ක උන් හිනා වුණේ පිටිපස්ස බලමින් අපි ගැන කතා කරමින් කියල අපට තේරුණ.

මම හිටියෙ මට පිටුපාගෙන ඉදිරියෙන් යමින් හිටපු ඈ දෙස බලාගෙන... තව වංගු දෙකක් පහුවුණ ගමන් ඇයටත් මටත් තනිව කතාකරන්න තියෙන දේවල් ගැන හිතමින්... හැමදාම වගේ කියන්න ඕන කියලා හිතාගෙන එන දේවල් මට අදත් අමකත වෙන්න අරන්. ඊයෙ රෑ කරුණු විධියට මතක තියාගත්තු එකක්වත් දැන් මට මතක නෑ...

මම ඇගේ මිතුරියන් දිහා බලන්න ගත්තා... කෙලිලොල් වියේ යෞවනය තමයි ඔය...

ඇගේ මිතුරියන් සියළු දෙනාට පෙම්වතුන් හිටිය නිර්මලීට හැර...

මගේ වම්පසින් ගමන්ගත්තු සංජුල හැර මගේ අනෙක් මිතුරන් හැමෝමත් පෙම්සුව විඳිමින් හිටිය එක එක මට්ටම්වලින්...

“සංජු උඹට අරය ගැන මුකුත්ම හිතෙන්නෙ නැද්ද බං?”

මම නිර්මලීව පෙන්නල සංජුට තට්ටුවක් දාල ඇහුවා...

“අනේ බං මම කවදාවත් එයා ගැන හිතල නෑ...”

“උඹට හිතුණ දවසක කියහං. ඒකි හොඳ කෙල්ලක්...”

එතනින් පස්සෙ අපි වෙන්වෙන හන්දියට යනකල් අපි අතරෙ කතාවක් ඇති වුණේ නෑ... යාළුවෝ සේරම එක පැත්තට වෙන්වුණා... මමයි ඇයයි අපි යන පාරට වැටුණා...

...........................

සති කීපයක් ගෙවුණා. ආයෙත් අපට පන්ති තියෙන දවසක්... ඉස්කෝලෙදි සංජු මට කිට්ටු වුණා...

“හර්ෂ, මචං අරයට කොල්ලෙක් නැද්ද ඇත්තටම?”

කොල්ල ඇහුවෙ හෙණ ලැජ්ජාවෙන් වගේ...

“උඹට එයා ගැන හිතුණද අන්තිමේදි....? නෑ.. නෑ... මම දන්න තරමින් අහලකවත් නෑ... මොකද උන් සෙට් එකේ සංගමේ අනුමැතිය අනුව තමයි කොල්ලො approve වෙන්නේ... ඉතිං ඉන්නවනං මම දන්නවා...”

“උඹ කතා කරල බලනවද උඹේ එක්කෙනා එක්ක?”

“හරි මම කතා කරන්නම්... ඒත් ඉතිං ඒක උඹ ඒකිගෙන්ම ඇහුවනම් ඉවරයි...”

“ඉස්සෙල්ල හොයල බලමු”

...........................

සංජු මගේ බයිසිකලේ ගත්තා... මම නැග්ග ඒකෙ බාර් එකට... මාවත් දාගෙන සංජුවා පැද්දා නිර්මලී ගෙදර යන පාර දිගේ... එයා එයාගෙ ලැසි ගමනින් හෙමින් හෙමින් යමින් හිටිය. සංජු එයා ගාවදි බයිසිකලේ තිරිංග තද කලා...

“ඔයාගෙ ජීවිතේට වසන්තය ඇවිත් තියෙනවද නිර්මලී”

මම කෑ ගැහුවා... නිර්මලී බය වෙලා වගේ... අපි දිහා බලාගෙන පාර මැද ගල් පිළිමයක් වෙලා...

“ඔන්න මම වසන්තය අරන් ආවා”

සංජු බයිසිකලේ මගෙ අතට දීල නිර්මලී ගාවට ගියා... මම උන් දෙන්නට යන්න දීල පැත්තකට වුණා...
...........................

ඊට පස්සෙ ගෙවුණෙ අවුරුදු කල්පයක් තරම් දිග කාලයක්... ඒ කාලෙදි වරින් වර කොළඹ රොටරියෙදි සක්‍යා සහ නුගේගොඩ ගම්සභා හන්දියෙන් හැරිල යන පාරෙ පන්ස‍ලේ ටියුෂන් පන්ති වලදි සංජුගෙයි නිර්මලීගෙයි ආදර කතාව ගලාගෙන ගියා... වතාවක් කඳුළු, තව වතාවක් හිනාව...

අතරින් පතර මම ඒ දෙන්නගෙ කතාව පැත්තකින් අහගෙන හිටියා... කැමතියි අකමැතියි... ජීවිතේ සරල රේඛාවක් නෙවෙයි...

ආදරේ, අධ්‍යාපනේ, ජීවිතේ හැමදේම අවබෝධ වෙමින් ගෙවපු කාලයක ම‍ගේ ජීවිතේ පැත්තක බිත්තියක් පාමුල ඉඳගෙන මේ දෙන්න එයාලගෙ ආදර කතාව ලියමින් හිටිය...

සංජු විශ්ව විද්‍යාලයට ගියා...

නිර්මලීට හොඳ රස්සාවක් හම්බ වුණා...

අළුත් යාළුවො, අළුත් වාසස්ථාන සහ අළුත් ‍පෙම්වතියන් එක්ක මම ටික ටික ඒ අයගෙනනුත් තවත් බොහෝ දේවල් වලිනුත් ඉවත් වුණා... මම වෙනත් මාර්ගයක මගේ ගමන යමින් හිටිය...

අතරින් පතර ගමේදි සංජු හමුවුණ වෙලාවලදි ඒ දෙන්න හොඳින් ඉන්න බව ආරංචි වුණා...
...........................

අද දවල් මට නොදන්න අංකයකින් ඇමතුමක් ආව.

“හලෝ...”

“හර්ෂ?”

“ඔව්...”

“මම මේ සංජුල. ඔයා ගෙදරද ඉන්නේ?”

“හප්පා... මම නං දැන් ඔෆිස් එකේ... මේ දවස්වල ඉරිදත් වැඩ... ඇයි ඇයි?”

“හවස කීය වෙයිද ගෙදර යද්දි?”

“මම කොහොමත් පහමාර හය වෙද්දි ගෙදර යනවා... ඇයි?”

“හරි මම එන්නම් ඒ වෙලාවට”

“හා හරි.. අවුලක් නෑ...”

“හරි එහෙනම් තියන්නං”
...........................

හවස හයයි කාල වෙද්දි සංජු අපේ ගෙදර ආවා.

“මම මේ ආවෙ උඹට මුලින්ම ආරාධනාව කරන්න”

සංජු මගේ අතට කවරයක් දුන්නා.

“හිහ්... මට හිතුණා ඔහොම එකක්! තැංක් යූ...”

මට දැණුනේ කියන්න බැරි තරම් ලොකු සතුටක්...

“ඔයාට සෑහෙන්න වගකීමක් තියෙනවනේ.. ඒ නිසා මුලින්ම කියන්න ඕන කියල හිතුවේ... එන්නම ඕන හරි”

“අවුලක් නෑ එදාට එන්න පුළුවන්...” මම කැලැන්ඩරේ බලල කිව්ව...

අපි දෙන්න හරි බරි ගැහිල ලොකු කතාවක් පටන් ගත්ත.
...........................

සංජු ගිය වෙලේ මට හිතුණෙ මේ ගැන ලියන්න ඕන කියලා... ඒ මේ ලෝකෙ ප්‍රේමය සපථ කරගෙන ඒක විවාහය දක්වා අරන් ගිහින් සතුටින් පවත්වගන්න පෙම්වතුන් වෙන්වෙන්... ඒ වගේ විවාහය දක්වා යන ප්‍රථම ප්‍රේම ගොඩක් අඩු එකේ මේ අවස්ථාව ගොඩක් විශේෂයි.. ඒ නිසා මම මේ සටහනින් සුභ පතනවා ඔවුන් දෙදෙනාට සුභම සුභ යුග දිවියකට...


ඕං කමිං!

ප.ලි. අර ඒ දවස් වල මගේ ජීවිතේ හිටපු ඇය තවත් ඇයවලුන්ගෙන් ප්‍රතිස්ථාපනය වුණා... එක එක පැතිවල සැරිසරල ගොඩනැගිල තියෙන මගේ ජීවිතේට වෙන්න පුළුවන් හොඳම දේ දැන් මට සිද්ධ වෙලයි තියෙන්නේ... ඇය මේ සටහන කියෙව්වම අද මට මොනව අහගන්න වෙයිද මන්දා... ඔන්න කෝල් එකක් කියනකොටම...