Saturday, 29 September 2012

ගැහැණු අදාල කරගැනීම

ගැහැණුන් කියන බොහොමයක් දේවල් වලට පිරිමින් එකඟ වෙන බව පෙන්නුවත් ඇත්තටම ගැහැණු සම්බන්ධ සුළු කාරණා කීපයක් ඇරුණම එයාල සම්බන්ධව වෙනත් කිසිම දෙයක් පිරිමින්ට අදාල නෑ. ඇත්තම කිව්වොත් විශේෂයක් නෑ. ගැහැණු සම්බන්ධව එයාල මොනව කරගත්තත් ඒක පිරිමින්ට ප්‍රශ්ණයක් නෙවෙයි. පිරිමින්ට උවමනා වෙන්නෙ තමන්ට අදාල ටික ගැහැණු අතින් ඒ විධියට සිද්ධ වෙන එක විතරයි.

අවුරුදු කීපෙකට කලින් මගේ මිත්‍රයා සංජීව එයාගෙ බිරින්දෑ එක්ක ආපු වෙලේ අපි ගැහුවා සුපුරුදු පරිදි ටවුම වටේ පොඩි රවුමක්. ඒක අපේ යාළුවො සෙට් එක එකතු වුණාම පුරාණෙ ඉඳන් කරගෙන ආපු සාමාන්‍ය වල බැහිල්ලක්. මේ පාර සංජීවගෙ බිරින්දෑ ෂානිකා එක්ක මංජුලගෙ ගෑණු ළමයත් අපට එකතු වුණා.

ටවුමෙ මැදදි ගෑණු ළමයින්ට ඕන වුණා ෂොපිං කරන්න. පිරිමි අපිනං කවදාවත් එහෙම සෙට් වුණාම ෂොපිං කරන සිරිතක් තිබුණෙ නෑ. අපි වැඩිම වුණොත් පකඩ හෝ කඩල ටිකක්, වඩේ කීපයක් අරන් හප හප යයි. ඒ වුණාට මෙදා පාර ඒක වුණේ එහෙම. ගෑණු අයට ෂොපිං කරන්න යන්න දෙන එක කල යුතු වැඩක් වුණා. ඉතිං කාන්තාවො ෂොපිං කරල එනකල් අපි කඩේ එලියට වෙලා කදයක් දැම්මා.

ඒ වෙනකොට මට ආපු ප්‍රශ්ණෙ කාන්තාවොත් එක්ක ෂොපිං කිරීමේ ගැටළුවට මූණ දෙන්නෙ කොහොමද කියන එක. ඒ වෙනකොට පවුල් ජීවිතේ අත්දැකීම් තිබුණ සංජීවගෙ උත්තරේ හරිම සරළයි.

"ඕන එකක් ලස්සනයි කිව්වම වැඩේ ඉවරයි. දවසක් මායි ගෑණියි ඇඳුම් ගන්න ගියාම එයා එකක් ‍තේරුවම ඒක හොඳ නෑ කියල මම කිව්ව කියල මාර ප්‍රශ්ණයක් වුණේ.. එදා ඉඳන් මම එකක්වත් හොඳ නෑ කියන්නෙ නෑ... ඇත්තටම උන්ට කැමති එකක් කරගත්තට අපිට ඒක අදාලම නෑනෙ බං... මට අදාල වෙන ටික හරියට තියෙනකල් පවුල් අවුලක් වෙන්නෙ නෑ..."

මේක සාමාන්‍යයෙන් හැමවෙලේම වගේ ඇත්තක්. පිරිමි අය ගැහැණු අයවත් ගැහැණු අය පිරිමි අයවත් ඔහොම පොඩ්ඩක් රවට්ටනවා... ඒක එකිනෙකාට නොකියා ඉන්න තාක් කිසි ප්‍රශ්ණයක් නැතිව වැඩේ වෙයි... කිව්වොත් වෙන්නෙ මෙහෙම රෑ තිස්සෙ ඇහැරගෙන අකුරු කොටන්න.

කාන්තාව රවට්ටන්නෙ නැතිව බොහොම තදින් ඇයට ඇත්තම කියලා ජීවිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරගෙන ආදරේ කියන සංකල්පය ඇතුලෙ පවතින එක මාර අමාරුයි. එහෙම වෙන්න තියෙන නොහැකියාව ගැන මට හොඳ අත්දැකීම් තියෙන නිසා අන්තිමේ මම තීරණය කළේ ආදරේ කියන්නෙ සංස්කෘතික මරිසියක් කියල.

අර චාමින්දගෙ වචන ටික නදීකගෙ ගිටාර් කෑලි අස්සෙ කසුන් කියල දාන්නෙ නියමෙට...


9 comments:

  1. සහතික ඇත්ත. ගැහැනියයි පිරිමියයි කියන්නේ එකට වෙසෙන නමුත් සිතුම් පැතුම් වලට සාපේක්ෂව මුළුමනින්ම වෙනස් දෙන්නෙක්.

    ReplyDelete
  2. "කිව්වොත් වෙන්නෙ මෙහෙම රෑ තිස්සෙ ඇහැරගෙන අකුරු කොටන්න." අපොයි! :D

    ආදරේ කියන වචනේ දාන්නේ ඔය හැම එකම අඩංගු මිශ්‍රණේට කියලයි මට හිතෙන්නේ. අනෙකාගේ හිත සතුටු කරන්න පොඩි බොරුවක් කියන්නෙත් ඒ මිශ්‍රණේම තියෙන්න ඕන දෙයක් වෙන්න ඇති.

    ReplyDelete
  3. ඔය කතාව සෑහෙන්න දුරට හරි.. බොරුවට හරි පිරිමි අය ශෝක් කියන එක හොදයි තමයි කමෙන්ට්ස් සීයක් විතර දෙනවට වඩා...

    පවුල් ජිවිත ඇතුලේ ගෑණුත් හිතනවා ඇත්තේ ඔහොමම තමයි ‍‘‘ මට අදාල වෙන ටික හරියට තියෙනකල් පවුල් අවුලක් වෙන්නෙ නෑ..." කොහොම කලත් වර්ග දෙකක දෙන්නෙක් නේ එකට ඉන්නේ ඒ නිසා එහෙම වෙන්නත් එපැයි..

    හැබැයි අනිත් අතට ෂුවර් පිරිමි ඔය ගෑණු අතින් වෙන වැඩ ටික ඒ වෙදියට උනේ නැත්තං ඒකත් හෙනම අලයක් කර ගන්නවා ෂුවර් :p

    ReplyDelete
  4. එක්තරා වයසකදි මේ දේවල් තීරණය කරන මිනුම් දඩු වෙනස් කියලායි මට හිතෙන්නේ. අවුරුදු විස්ස විසිපහේ කාලෙන් එක විදියකටත් ඊට පස්සේ තවත් විදියකටත් අපේ වයස එද්දි තවත් විදියකටත් ඕවා වෙනස් වෙනවා කියලා මගේ හම අස්සේ මම දැකපු දෙයක්.
    හැම පවුල් ජීවිතයක් අස්සේම දේවල් බෙදාගන්න තරමට තමයි හැබැයි ඒක සුන්දර වෙන්නේ. මුලින් මුලින් ඒක මහ වදයක් වගේ පෙනුනත් කාලයක් යද්දි ඒ සිදුවීම් වලට අපි හුරු වීමක් වෙනවා. අනෙකාගේ සතුට වෙනුවෙන් යම් කැපවීමක් කලයුතුමයි ඒක හින්දා මේ කෙල්ලන්ව ශොපින් අරන් යන්න හෙම මතක තියා ගත්තා නම් හරි.

    ReplyDelete
  5. මට නං මෙලෝ බෝලයක් තේරෙන්නෑ බං. බලහං මේක කියවන වෙලාවෙත් මෙතන වලියක්. ළමයින්ට පින්තූර පොතක් තියනවලු ඉස්කෝලෙ වැඩ වලට ඕනෙ කරන. ගෙඩි රුපියල්ම හයසීයක්.

    ඉතිං මං කිව්වා ඒකෙ ඇති පින්තූර සහ නැති පින්තූරද ඇතුළු සියල්ල නෙට් එකෙන් ගමුය, රුපියල් හයසීයට හොඳට කමුය කියා. මොන? ඒකමලු ඕනෙ.
    ඔය වගේ එව්වට හදපු සින්දු නැද්ද හැබෑට?

    ReplyDelete
  6. කේක් හැම තිස්සේම කන එකේ පොඩි අයිසිං පාරක් දැම්මට අවුලක් නෑ කියලත් හිතෙනවා.., ඒත් අපේ අත්දැකීම් වගේයැ.., දැන් තල්ස්තෑනි දෙන්නා දෙමාල්ලෝ නෙව.
    එකවගේ එවුන් දෙන්නෙක් එකට ඉන්න එක නම් වස කම්මැලී.., දෙන්නට දෙන්නා ආස එකම දේට නිසා ඒ පරතරයේ අලුත් දෑ ඉපදෙනවා අඩුයි. එකෙකුට එකෙක් වෙනස් නම් මරු.., වලි දාගෙන හරි ඉන්න පුලුවන් තරමේ වෙනසක් තියෙනවා..!
    ඒ වෙනස මට නම් ආතල්..

    ReplyDelete
  7. කේස් එක කියන්නේ අපේ උන්දැට සුටුස් ගාලා තේරෙනවනේ මම බොරුවට 'ඒක ලස්සනයි ඉක්මනට ගන්න මගුලක් අරං යං' කිව්වම.

    ReplyDelete
  8. මූනු පොතේ ශෙයාර් වෙච්ච කතන්දරයක් මතක් උනා...බිරිඳගේ තේරීම් වලට හිනා වෙන්න එපා..ඔයත් එයාගෙ තේරීමක්නෙ කියලා..

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!