Showing posts with label sadness. Show all posts
Showing posts with label sadness. Show all posts

Friday, 26 May 2023

අම්මගෙ රොටිය

 


 

අම්මා රොටි හදද්දි
පැටි කාලෙදි ඉල්ලුවා මතකයි
අම්මා හීනි රොටියක් ඕන
කර කර ගාල හැපෙන්න
අම්මා කොහොම හරි
රොටියක් හදල දුන්නත්
සමහර වෙලාවට හිතපු තරම්
ඒක තුනී නැතිවෙනකොට
හිත නොරොක් වුණත් මතකයි

අද ඉඳහිට පවුලට
ගෑස් ලිපේ රොටී හදනකොට
තේරෙනවා අමාරුව
අඟුරු නොවී අමුත් නැතිව ගාණට
රොටි තුනී කරල පුච්චන
මතක් වෙනව අම්මව
අකීකරු ගින්දර එක්ක
දර ලිපේ රොටි පුච්චපු
හිත කඩා වැටෙනවා එතකොට

පවුලේ අය රොටි දෙක තුන
හරිම රහයි කියා කනකොට
හිත යටින් නැගෙන සතුටට
දැනෙනවා අම්මාත් හවුල් බව
අම්මා හදන විදියටම
ඒ රහටම සුවඳටම
රොටිය පිච්චිලා එනකොට
හිත පිරී සැනසෙන්නෙම
මතක් වෙලා අම්මාව

2023-05-21

Wednesday, 9 September 2015

කොට කෑලි


මමයි කුමායි අහම්බයකින් කාලෙකට පස්සෙ හමු වුණේ ටිකක් ඈත ගමක පැවතුණු එකම පොදු රාජකාරියට ආයතන දෙකකින් සහභාගි වුණ නියෝජිතයන් විධියටයි.

රාජකාරිය අවසන් වෙලා හවස 3ට විතර ගෙවල් බලා යන්න කලින් අපි දෙන්නා මහ පාර අයිනෙ ගමට හැරෙන හන්දියෙ ළඟ තිබුණ එකම සිල්ලර බඩු කඩේට ගොඩවුණා. දෙන්නා දුම් කූරු දෙකක් පත්තුකරගෙන ආගිය කතා කියවන්න ගත්තෙ පැරණි මතකයන් අතර හිතින් සැරිසරමින්.

පවුල් ගැනත් ළමයි ගැනත් සුපුරුදු කතා ටිකෙන් ටික යොමු වුණේ දේශපාලනේට.

ඉතිං කොහොමද ඡන්දෙ එහෙම? Yeahපාලනේ සැපද?

අනේ මන්ද බං... සේරම මහ අවුලක් වෙලා දැන්... උන් උන්ගෙ ප්‍රශ්ණ තමයි රටේම ප්‍රශ්ණ වෙලා තියෙන්නෙ. මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ හැමදාම ගොඩගැහෙනවා.

ඉස්සරත් එහෙම තමයි බං... තමන් වෙනස් නොවී රට වෙනස් වෙන්නෙ නෑ කියන එක මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.

ඒ වුණාට හැමදාම කට්ටිය ඡන්දෙ ඉල්ලන්නෙ වෙනසක් කරන්න. ඡන්දෙ ගත්තම වෙනස කරගන්නෙ එයාලට...


අපේ කතාව දුම් උගුරු අතර වරින් වර නතර වුණා... ප්ලේන්ටියක් බොන්න තැනක් පේන මානෙක නොතිබුණ නිසා කුමා පළතුරු බීම බොතල් දෙකක් ගත්තා. දුම් උගුරු අතරෙ සැන්ඩ්විච් කරමින් ඒ බීම බෝතලේ හිස් කරන අතරෙ තප්පර කීපෙකට මනෝ ලෝකෙකට ගිය මගේ අවධානය ආයෙමත් පියවි ලෝකෙට යොමුවුණා. ඒ වෙද්දි කුමාගෙ අවධානය යොමු වෙලා තිබුණෙ කඩේට ගොඩවෙලා හිටපු අපේ වයසෙම වගේ කියල හිතෙන කාන්තාවක් දිහාට.

සීනි 100යි, තේ කොල 50යි, පොඩි කිරිපිටි පැකට් එකයි, රතු ළූනු 100යි. මිරිස් කුඩු 50යි. පොල් ගෙඩියයි...

කඩේ මුදලාලි ලැයිස්තුවක් කියවනව. ලැයිස්තුවේ තියෙන්නෙ කවුන්ටරේ හිටගෙන හිටපු කාන්තාව ඉල්ලපුව. බඩු සියල්ල රුපියලේ ෂොපිං බෑග් එකකට දමාගත් ඇය ඒ මල්ල දකුණතේ ඇඟිලිවල පටලා පොල් ගෙඩියත් ඒ අතට ගත්තා.

වමතේ පොඩිවෙලා තිබුණ රුපියල් කොල කීපයක් මුදලාලි අතට ගියා. ඉතිරි වුණ කාසිවලින් ඇගේ සායෙ එල්ලිය හිටපු අවුරුදු 5-6ක විතර පොඩි එකාට ජෙලි පැකට් එකක් ලැබුණා. ඌ ඒක ගත්තෙ නිධානයක් ලැබුණ වගේ සතුටකින්. ඒ පොඩි එකා බාලාංශෙ වගේ පන්තියක වෙන්න ඕන. මඩ පැල්ලමින් බොර පාට වුණ සුදු කමිසෙ කලිසමට යට වෙලා තිබුණෙ බාගෙට.

ගනු දෙනු බේරපු කාන්තාව හිමින් හිමින් හන්දියෙන් හැරිලා ගම ඇතුලට ඇදුණා. පොඩි එකාගෙ පිටේ එල්ලුන ඉස්කෝල බෑග් එකේ ජනප්‍රිය දේශපාලකයෙක් ඉලක්කමක් දිහා බලාගෙන හිනා වෙමින් හිටිය.

මගේ කට කොනට හිනාවක් ආවා...

කුමාගෙ දුම් කූරෙ අග අඟලක අලු වැටියක්. මම උගෙ මූණ දිහා බැලුවා...

උගේ මූණෙත් උපහාසාත්මක හිනාවක්...

ඒත් ඒක හිනාවෙන්න ඕන දෙයක් නොවෙන බව ඌත් දන්න බව මම දන්නවා.

වැඩක් නෑ බං... බම්බුව...

දුම් කූරෙන් ක්ෂණිකව උගුරු දෙකක් ඇදලා කුමා කොට කෑල්ල බිම දාල සපත්තුවෙන් පොඩි කලා.

Wednesday, 15 August 2012

කළු නැන්දගෙ දුව

අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර තවමත් මට මතක තිබේ. ඔවුන් ගොවිතැනින් දිවි ගෙවූ අහිංසක මිනිසුන් ලෙස මා සිතේ තැන්පත්ය.

එම පවුල් දෙකම වෙසෙන්නේ එකම ඉඩමකය. එය වර්තමානයේදී ඔවුන්ගේ දරුවන්ගේ වාසභූමීන් ලෙස බෙදී යමින් තිබේ. නමුත් ගහ කොලින් වට වූ අඳුරු පාළු ස්වභාවයකින් යුතු වූ එම ඉඩම මට තවමත් මතකය.

සුදු නැන්දාගෙත් කළු නැන්දාගෙත් දරුවන් මටත් වඩා වැඩිමහලුය. ඔවුන්ගෙන් ඇතැමෙක්ද දැන් තරමක දරුවන් සිටින දෙමාපියෝ වෙති. ඒහෙත් කළු නැන්දාගේ පුතුට අමතර එකම දියණිය වයස අවුරුදු 40ක්ද ඉක්මවමින් අවිවාහකව වෙසෙන්නීය. මා කළු නැන්දාගේ දුව ලෙස හඳුන්වන්නේ ඇයවයි.

හිටි අඩියේ කළු නැන්දාගේ දුව මතක් වීම අහම්බයක් නොවේ. ඇය කොහොමත් සුනිල් එදිරිසිංහයන්ගේ 'චන්ද්‍රමඬල' ගීතය හේතුවෙන් සැලකිය යුතු කාලයක් අමරණීය වී සිටිනු ඇත. චන්ද්‍රමඬල ගීතය ගී පැදුර වෙත ලිවීම සඳහා සොයන්නට වූ විට මට යූ ටියුබයේ තිබී හමුවුණේ නිධානයකි. සුනිල් එදිරිසිංහයන්ගේ ජව සම්පන්න හඬ සදා නොමැකෙනු ඇතැයි විශ්වාස කිරීමට මා කැමති වුවද එය වියැකෙන දිනක් පැමිණෙන බව මම දනිමි. සුනිල් එදිරිසිංහයන් සහමුලින්ම අමතක වන අනාගතයක්ද වන බව මම දනිමි. එහෙත් චන්ද්‍රමඬල ගීතය ගුවන්විදුලියේදී කුඩා කල සවන් විඳි වතාවලදී මෙන්ම වර්තමානයේදීත් මා වෙත කළු නැන්දාගේ දුව සිහිගන්වයි.



කළු නැන්දාගේ දුව රැකියාවක් කරයි. එය සුවිශාල වැටුපක් හෝ සමාජ තත්ත්වයකට හිමිකම් ලබන්නක් නොවේ. ඇගේ රාජකාරි ස්ථානයට යාමට සිදුවන අවස්ථා වලදී ඇතැම්විට ඇය මට හමුවේ. එවිට ඇය 'කොහොමද මල්ලී' යැයි මා අමතා කල හැකි උදව්වක් කරයි. සාමාන්‍යයෙන් කාර්යාලයෙන් ප්‍රමාද වී පැමිණෙන දින වලදී මා ගම මැදින් නිවසට පැමිණෙන අතරමග ඈ පසු කර යමි. ඇය තමන්ගේ නිල ඇඳුම වූ නිල් පැහැ සාරිය හැඳ ඇගේ මිතුරියක්ද සමග ගමන් ගන්නීය. ඇය අහම්බෙන් හෙළන බැල්ම විටෙක මා නෙත ගැටෙන අතර ඒ බැල්ම මතින් ඇය බෙහෙවින් තෘප්තිමත්ව සිටින බවක් මම හඟිමි. අවස්ථාව අනුව ඇයට සිනාවකින් සංග්‍රහ කරමි.

වසරකට පමණ පෙර මාගේ නැන්දණියගේ අභාවයේ සත්දින පිංකම දැනුම්දීම සඳහා මා කළු නැන්දාගෙ නිවසට ගියෙමි. එය පෙර කී ඉඩමේ කෙළවර කඳු බෑවුමක පිහිටා ඇත්තකි. මෝඩ ගඩොලින් බැඳ වැලි මිශ්‍ර මැටි බදාමයෙන් කපරාරු කර ඇත. විමසිල්ලෙන් බැලූ විට එය එකම එක කාමරයක් පමණක් බව පෙනේ. නමුත් පැරණි ගැමි නිවසක මෙන් විවෘත කුඩා ආලින්දයක් එහි විය. ගෙබිම ගොම ආලේපනයකි. ඒ ආලින්දය කෙළවරක පොළොවේ මැටියෙන්ම සාදා ගොම ආලේප කල ලිප් දෙකකි. ඒ මත දැල්වී අවසන් වූ දර අඟුරුය. පසෙකින් දර කැබලි කීපයක් සහ මැටි හට්ටි කීපයකි.

ගෙතුළ සිට සමස්ත හිසම ‍ඇතිරිල්ලකින් ආවරණය කරගෙන කළු නැන්දා පිටතට පැමිණියාය. ඇයගේ මුහුණුවර කුඩාකල මතකයන් අතුරින් මතුකර ගැනීමට මා දැරූ තැත ව්‍යර්ථ විය. දැන් ඇයගේ මුවේ ඇත්තේ එක් දතකි. ඇය උපැස් පලඳින්නීය. කාලවර්ණව තිබූ කෙස් සැලකිය යුතු තරමක් සුදු වී ඇත.

මා ඇයට දානය ගැන පවසා ඇගේ සහභාගීත්වය අපේක්ෂා කරන බැව් පැවසීමි. දානය කෙසේ වෙතත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට තමා පැමිණෙන බව දන්වමින් ඇය ආගිය තොරතුරු කියවන්නට විය.

ඇයත් දියණියත් එම නිවසේ වෙසෙයි. දිනපතා උදෑසන 6ට රාජකාරියට වාර්තා කිරීමට දියණිය පිටව යන්නීය. ඇය ඊට ප්‍රථම ආලින්දයේ ඇති ලිපේ බතක් සහ එළවළුවක් දෙකක් පිසියි. දිවා ආහාරය ලෙසද මුලක් බැඳගන්නා ඇය නික්ම ගිය පසු කළු නැන්දා නැවතත් විවේකයෙන් වෙසෙයි. උදේ දවල් දෙක එක් වේලකින් පිරිමහගනියි. දියණිය සවස 5-6 අතර සේවය නිමවී පැමිණෙන තුරු බලා හිඳියි.

ඇය තම අවිවාහක දියණිය පිළිබඳ දුක් වන්නීය. නමුත් ඇයටද විකල්පයක් නැති සෙයකි. දියණිය තම තනිකම රැකියාවට දියකර හරී. නිවසට පැමිණ ගුවන් විදුලියෙන් සිත මොට්ට කරගනියි. සිත මුළා කරගනියි.

කළු නැන්දාගේ දියණිය කාලවර්ණය. උසය. සිනාව පියකරුය. ඇය පිළිබඳ අනුකම්පාත්මක හැඟීමක් මට ඇත. එය දැනෙන්නට පටන්ගත්තේ ඇයගේ දින චර්යාව පිළිබඳ කණ වැකුණු දා පටන්ය. ජීවිතයේ තනිකම දිනයේ සිදුවීම් තුළ බොඳකරගන්නට ඇය උත්සාහ දරයි.

ඇයගේ ජීවිතය කුමන අතකට යන්නේද යන්න පිළිබඳ මට අදහසක් නැත. කළු නැන්දාත් ඇගේ දියණියත් පිළිබඳ මට ඇත්තේ දුකකි. අසංවේදී වීම දුක නැති කිරීමේ මග ලෙස මට වැටහී යමින් ඇත. මන්ද මා ඉපදෙන්න‍ටත් පෙරම මාගෙන් සැලකිය යුතු කොටසක් මට අහිමිව ගොස් තිබේ.

තවමත් සතියකට දෙකකට වරක් කළු නැන්දාගේ දුව බැල්ම හෙළා සැඟව යන්නීය. දැන් ඇගේ බැල්ම තුල මට සතුටක් පෙනෙන්නේ නැත.

Saturday, 21 July 2012

ගල් ජීවිතයෙන්...



කාර්යාලයෙ ඉතාම හදිස්සි වැඩක යෙදෙන්න පටන්ගන්නකොටම දුරකථනය සාක්කුව ඇතුලෙ වෙව්ලන්න ගත්තා. මේ වෙලාව ලේසියෙන් කෙනෙක්ට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒත් මේ ඇමතුම කොයිම වෙලාවකදිවත් රිජෙක්ට් කරන්න පුළුවන් එකකකුත් නෙවෙයි. ජීවිතේ ඉතිරිවෙලා තියෙන මනුස්ස සම්බන්ධ කීපය අතරින් එකක් එහා කොනේ තියෙන බව මම දන්න නිසයි ඒ.

හලෝ....

මම ඇමතුමට පිළිතුරු දුන්නා...

උඹ අම්බාණක් වැඩද?

ගනේගොඩ අද නම් තවමත් හොඳ සිහියෙන්...

නෑ නෑ ෂේප්...

ඒ මම කවදත් දෙන උත්තරය. ගනේගොඩ වෙනුවෙන් මම දන්න තරමින් මම ලේසියෙන් බිසි වෙලා නෑ. කොහොමත් ඔහු එහෙම කතා කරන්නෙ මාසෙකට දෙකකට සැරයක් විතරයි...

උඹ බිසි වුණත් කරන්න දෙයක් නෑ බං.. මම දැන් ටිකකට කලින් අම්බාණක් ඇඬුව. මේක දරාගන්න අමාරුයි බං.

ඔහු කියාගෙන ගියා.

ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?

මුකුත් වෙලා නෑ. දරාගන්න අමාරුයි බං. මේව මං කාටද කියන්නෙ?

මොකද ඉතිං අඬන්න හේතුව?

හේතුවක් නෑ හර්ෂ මට අම්ම මතක් වුණා. චූටි මතක් වුණා. අමරෙගෙ පරණ සින්දු ටික ඇහෙනකොට හිස්ට්‍රියට ගිහින් ඉතිං ඇඬුණ. මේව කියන්න එකෙක් නෑ බං. මිනිස්සුන්ට කවදද මේව තේරෙන්නෙ.

මිනිස්සුන්ට වැඩ තියෙනවනෙ ඉතිං. දරාගන්න වෙනවා.

උඹ කියන්නෙ විකල්පයක් නෑ කියලද? උඹ කවදාවත් එහෙම අඬල නැද්ද?

සෑහෙන්න ඉස්සර. අම්මයි තාත්තයි හින්ද.

උඹ මොකද කළේ ඉතිං.

මං ගල්ගැහුණ ඉතිං. වෙන කරන්න දෙයක් නෑ. ඒ කාලෙ එහෙම ඒව කතා කරන්න තරං ෆිට් මනුස්සයෙක් හිටියෙ නෑනෙ.

දරාගන්න එක තමයි නේද බං සීන් එක? දරාගන්නෙ කොහොමද මචං. ඒකෙත් ඉවරයක් නෑ බං. හැඟීම් දැණෙනව වැඩි වුණාමත් මාර වාතයක්.

දැන් අපි ඉන්න ලෝකෙදි ඒක ලෙඩක්.

මොනව කරන්නද බං.. උඹ එහෙනං වැඩක් කරගනිං.

ළඟපාත දුමක් තියෙනවනං ඉතිං ඔය ෆීලිං එක වාෂ්ප කරල දාන්න... නැත්තං නින්දක් දාල නැගිටින්න.

වෙන කරන්න දෙයක් නෑ බං. මං ගාව රුපියල් දහයක් තිබුණා. ගේ අස්සෙ අවුස්සල බලල ඉතිරි ගාන හොයාගන්න ඕන දුමක් ගේන්න.

හා හා ඕන එකක්. හොයාගන්න බැරි වුණොත් ආයෙත් ඇති තරම් අඬන්න.


දුරකථන සංවාදය සුපුරුදු බායි කීපයකට පස්සෙ නිමා වුණේ හිතේ තැන්පත් වුණ බරක් එක්ක. හැමදාම ඔහුත් එක්ක සංවේදී සංවාදයකින් පස්සෙ මට තනියෙන් හිතන්න ඉතිරි වෙන හැඟීම මට දැණුනෙ කාලෙකින්. ඒ තරමට ඔහුත් මමත් ඈත් වෙන්න අරන්. ඇත්තම කිව්වොත් ජීවිතේ අපි අතර ලොකු ප්‍රතිරෝධයක් ඇති කරලා. එකිනෙකා එක්ක සංවාදෙකට වඩා අදහස් තමන් තුලම ගොනු වෙන තනිකමක් ගොඩනැගිලා.

ජීවිතේ අර්ථදැක්වීම් සෑහෙන්න ප්‍රමාණයක් අළුතෙන් හඳුනාගත්තු මිනිහෙක්ට ආදරේ වෙනුවට මිනිස් සම්බන්ධ වල ගනුදෙනු තේරෙද්දි ජීවිතේ අමාරු වෙන එක සරල ඇත්තක්. ඒ අස්සෙ වටේ තියෙන සීමිත මිනිස් සම්බන්ධතා අස්සෙ තියෙන ආදරේ දැණෙද්දි ඇඬනව තමයි. අඬනව ඇරෙන්න ඒකට වෙන විසඳුමක් නැති තරම්. තමන් අසරණයි නම්, තමන්ට උදව් කරන්න ඉන්න අය ඊටත් වඩා අසරණයි නම් මිනිහෙක්ට වෙන විකල්පයක් නැතුව ඇති.

ජීවිතයත් මරණයත් අතර එක්තරා යුද්ධයක් කරමින් ජීවත් වෙන මනුස්සයෙක් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද? හැම මාසෙකදිම ගිගා බයිට් විස්සක තිහක චිත්‍රපටි ටිකක් එක්ක දුම් කූරු හතරක් පහක් විතරක්??? සමහර විට ඔව්. ජීවිතේ වෙනස්වීම් එක්ක එතනින් එහා සංවාද සේරම වචන කීපයකට විතරක් සීමා වෙද්දි, මට ඔහු එක්ක රැඳෙමින් චිත්‍රපටියක් ගැන මොළේ අවුල් කරන සාකච්ඡාවක යෙදෙන්න කාලයක් නැති වෙලා ගිහින්.

එහෙම නැත්තං මුල්ලකින් ඇදල ගන්න 'මම කවුද' කියන උත්තර නැති ප්‍රශ්ණෙ ඔස්සේ හාවගේ ලොම්වලිනුත් මිදිල අභ්‍යවකාශයේ නිමක් නැති එකඟත්වයකුත් නැති සංවාදවල කිමිදෙන්න....

ජීවිතේ සංකීර්ණ වෙලා... හැඟීම් ගල්කරගන්න ඕන වෙලා. අච්චු වලට හැඩගැහුණ ජීවිත අස්සෙ හුරු පුරුදු ඇනුවල් වෙනස්වීම් ඇරුණම කිසිම අහම්බයක් නැතිවීම ඔහුගෙත් ම‍ගේත් සිග් සැග් සයිනාකාර ජීවිත ලීනියර් කරන්න අරන්...

උඹ ආයෙ එනකොට එහෙනං අළුත් වස්තු සම්භාරයක් අරන් වරෙන්...

ඔහු හැමදාම සමුගනිද්දි කිව්වෙ එහෙම.

ගිගා බයිට් විස්සක තිහක වස්තු සම්භාරය...

අඩු තරමෙ ඒ වචන කීපය තාමත් අපි සම්පූර්ණයෙන්ම ගල් වෙලා නෑ කියන එකට සාක්ෂියක් වුණා...

Wednesday, 11 March 2009

පැල්ලම්


දුක හිතුණා මට
මගේ නොසැලකිල්ලෙන්
මඩ පැල්ලම් ඉසුණාට
අපි දෙදෙනා එක්ව
පාට කල බිත්තියේ

ඒ නොසැලකිල්ලට
සිත දුකින් පිරී නුඹෙ
දෑස් රතු වූ විට
තවත් දුක් වුණා මම
නුඹෙ දුකත් හිතාගෙන

තව වරක් එක්ව අපි
මඩ කහට ‍සෝදලා
වර්ණ ගන්වමු විනා
අන් යමක් නොමැත මට
දැන් නුඹට කියන්නට

එන්න නුඹ නෙත් පිහන්
මේ අපේ බිත්තියේ
මඩ කහට විසිරුවා
ආයෙමත් එකතු වී
එකට පැල්ලම් මකමු


ecH on 2009-03-09


මෙය රෙදි සෝදන කුඩු, සබන්, සිමෙන්ති හෝ තීන්ත දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

Thursday, 26 February 2009

ගෙ ගෙ ගෙ ගෙ ගෙම්බෝ

මේක සෑහෙන්න කාලයකට කලින් අපි කීප දෙනෙක් අතර ඇති වුණ කතාවක්. හරිම මුග්ධ සටහනක් වෙන්න පුළුවන්...

පාරෙ යද්දි වාහනේකට අහු වෙල බැගෙට තැලිල දඟලන ගෙම්බෙක් දැක්කොත්?

නොදැක්ක වගේ යන එක හොඳම විසඳුම වෙන්න පුළුවන්.

මොකද බාගෙට තැලුණම ගෙම්බ සාමාන්‍ය තත්ත්වෙට ව‍ඩා ආතල් එකේ ඉන්නවද කියල අපි දන්නෙ නෑනේ.

ඕන නම් ගෙම්බාව වේදනාවෙන් මුදවාගන්න හොඳට තියෙන ටිකත් පාගල ගෙම්බව මරලම දානවද?

මොකද කරන්නේ?

Monday, 5 January 2009

අහෝ මා ප්‍රිය පෙම්වතිය :(

පුරා වසර පහකටත් වැඩි කාලයක් පුරා මාත් එක්ක ජීවත් වුණ, මගේ සියළු දේ බෙදාගත්ත, මට බොහොම දේවල් ලබාගන්න අතරමැදියෙක් වුණ, මගේ යාළුවන්ට අනුව මගේ girl friend වුණ මගේ කාර්යාලීය පරිගනකයෙන් සමුගන්න කාලය ඇවිත්.

වසර පහකුත් මාස හයක් පුරා මගේ නිවස සහ කාර්යාලය වුණ ආයතනයෙන් සමුගන්න සිද්ධ වෙලා මට. ඉතිං ඒ කාලය පුරාම මාත් එක්කම ගැවසුණ පරිගණකයෙනුත් සමුගන්න වෙනවා මට. එයා වසරකට විතර කලින් අළුත් වුණා මොළ දෙකේ සකසනයක් එක්ක. ඒ වුණත් එයා මාත් එක්ක කරන ගනුදෙනුව නම් වෙනස් වුණේ නෑ මේ වෙනකල්ම.

මේ කාලය තුල මම ‍ඉගෙනගත් දේවල්, ම‍ගේ අළුත් ජාල මිතුරන්, වෙනත් දැනුම සහ පුද්ගලික වෙනත් කාරණා සියල්ලත් එයා මට ලබාදුන්නෙ කිසිම මැසිවිල්ලකින් තොරව. හනේ මම එයාට වද දුන්න තරමක්! කී වතාවක් නම් එයාව brain wash කරන්න ඇද්ද.

මේ සටහන එයා වෙනුවෙන්... නැවත කවමදාවත් හමුවන්න නියමිත නැති මගේ පරිගණක පෙම්වතිය වෙනුවෙන්.... දුකින්...

Wednesday, 31 December 2008

2009 ගැන නිකං ඉන්න බැරි කමට....

හැමෝම අළුතෙන් උදාවෙන කැලැන්ඩර් අවුරුද්දෙ අසිරිය සමරන්න සූදානමින්. බෝනස්ද අරවද මේවද දීමනා ලැබුණත් නොලැබුණත් හැමෝගෙම මුහුණු වල බලාපොරොත්තුවක් පිරිලා.

මට නම් අළුත් අවුරුද්ද ව‍ගේ දින මිශ්‍ර වුණ සංකල්ප වැඩිය දැනෙන්නෙ නෑ. ඔය දවස් මතක තියාගෙන ඉන්න පුළුවන් කාටද? මතක තියාගන්න තව කොයි තරම් දේවල් තියෙනවද? ඒ නිසා මගේ යාළුවන්ගෙ වුණත් උපන්දින වලට මගේ සුභ පැතුම් ලැබෙන්නෙ කවුරු හරි ඒක කිව්වමයි. එහෙම වුණාට වටේ ඉන්න හැමෝම අළුත් අවුරුද්ද ගැන කතා කරද්දි මටත් පුංචි කිතියක් දැනෙනව තමයි. මට තියෙන වැදගත්ම වැඩේ තමයි පළවෙනිද වරුවෙන් වැඩ ඉවර කරන්න පුළුවන් වීම. ආයතනයෙන් ලැබෙන උදේ කෑම සහ දවල් කෑම දෙක කාල කලින් පැනල කොහේ හරි ගිහින් සෙටා වෙන එක තමයි කට්ටියගෙ සැලැස්ම. මමත් ඒ එක්කම විසිවෙයි.

අළුත් අවුරුද්දත් එක්ක මගේ ජීවිතේ වෙනසක් වෙන්න නියමිතයි. ඒක හරියට වුණොත් මගේ ඔන්ලයින් ජීවිතයත් සීමා කරන්න සිද්ධ වෙයි. වෙනස් රස්සාවක්, වෙනම සහෝදර සේවක පිරිසක් එක්ක මට අළුත් ගමනක් යන්න පුළුවන්කම ලැබිලයි තියෙන්නේ. පුරා අවුරුදු පහක් රැකියාව කරපු තැන අතිශයින්ම මට හොඳම තැනක් වුණත් මගේ වෘත්තීයමය දියුණුව උදෙසා මට යන්න වෙනව. දුකයි සතුටයි දෙකම.

කාලයක් තිස්සෙ හිතේ තියෙන වැඩ කන්දරාවක් ඉවර කරන්න පටන්ගන්න ඕන. අළුත් ජීවිතයක් ඇත්තටම පටන්ගන්න කා‍ලෙ ඇවිත් දැන්..

බලමු මොකද වෙන්නෙ කියලා.

මට නම් අළුත් අවුරුද්ද කියල විශේෂයක් නෑ ඉතිං. ඒ වුණාට කට්ටයටම ලබන අළුත් කැලැන්ඩර් අවුරුද්ද සල්ලි වලින් සහ ගුණ ධර්ම වලින් ඉතිරේවාහ්!


Saturday, 15 November 2008

Three dots

To be continued...

Just as my visible self
I'm Confused inside...
Should I place it
Or just leave it behind...

The three dots
which I've been placing
in almost every ending line
of the poems I wrote
meant that is ...
to be continued...

....
...
..
.

To be continued...

Thursday, 2 October 2008

වැනීම සහ මරණය

මම ඉන්නෙ වැනෙමින්... අද දවසෙ කාර්යාලයේ වුණ සිද්ධියක් නිසා මම සිත් තැවුලෙන්. කාලයක් අපිව දරුවො වගේ බලාගත්ත අපේ බොස්ව එලවීමේ ඉහල කලමණාකාරීත්වයේ කුමණ්ත්‍රණයක අළුයට තිබුණ ගිණි පුපුරු අද මතු වුණා. ඒ ගැන කියන්න කලින් මම අපේ බොස් ගැන කියන්නම්.

අපේ බොස් පොඩි ළමයෙක්. එයා පරිපාලනය ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඒ වුණාට කවුරුත් තම තමන් තමන්ගෙ වැඩේ හරියට කරනව නම් නිසි විධියට වැඩ ටික සිද්ධ වෙනවා ය කියන අරමුණින් එයා අපිට සෑහෙන නිදහසක් දුන්නා. ආයතනයේ වසර පහක කාලය තුල මුලදි ඕක හරියට ක්‍රියාත්මක වුණා. මොකද ආයතනය ඇරඹුමේදිම ඒකට එකතු වුණ සේවක පිරිස තුල හරිම එකමුතුවක් සහ අන්‍යෝන්‍ය වටහාගැනීමක් තිබුණ නිසා. නමුත් කල් යද්දි ක්‍රමයෙන් ඒක වෙනස් වුණා. හිටපු අය යද්දි අළුතෙන් එකතු වුණ අයට ආයතනය පාරාදීසයක් වුණා. ඒ නිසාම එයාල ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන අරගත්තා. ප්‍රතිපලය වුණේ අපිට ක්‍රමයක් පැමිණීම. ක්‍රමය කියන්නෙ වෙනත් ලොක්කෙක් පැමිණිම පරණ කෙනා ඉද්දිම.

අළුත් ලොක්කා රජයේ සහ වෙනත් ඉහල ආයතන කීපයක පරිපාලන තනතුරු දරපු පාලකයෙක්. හැබැයි එයා පාලනය කරල තියෙන්නෙ දරදඬු ආයතන. අපේ ආයතනය අර්ධ ලෙස නිර්මාණාත්මක එකක් වීම නිසාම එයාට අපිව හදාරන්න වුණා මුල ඉඳන්ම. ඒක නම් එයා හරියට කලා. ඊට පස්සෙ එයා පරිගණක පද්ධතිය තුල අපේ වැඩ ක්‍රමවත් කලා. අපට කරන හැම වැඩක්ම සටහන් කරන්න වුණා සහ ඒක හොඳක් වුණා කීප අතකින්.

නමුත් දැන් තත්ත්වෙ වෙනස්. දැන් මේ ලොක්කො දෙන්නා ඉන්නෙ බල අරගලයක... ඒකෙදි නම් දෙන්නා කිසිම ලොකු බවක් පෙන්නන්නෙ නෑ. අපේ භාෂාව තුල නම් ඇරගන්නවා කියල තමයි කියන්න වෙන්නේ.

මේ කතා වැඩක් නෑ... දැන් අපේ පරණ ලොක්කට ඉහලම කලමණාකාරීත්වයෙන් යන්න කියන තරමට තත්ත්වය දරුණු වෙලා. එහෙම වුණොත් මාත් එක්කම ආයතනයේ කීප දෙනෙක්ම ආයතනය තුල රැඳී ඉන්න අදහස අත හරියි...

දැන් මට රස්සාවල් හොයන්න වෙනව. අයෙත් ඉරිදට Sunday Observer ගන්න වෙනව. ජීවත් වෙන්න එපැයි වෙනත් අය වෙනුවෙන්.

බලමු මොකද වෙන්නෙ කියලා.

මම ගියොත්! මගේ මාර්ගගත ජීවිතයත් ඉවරයි. මට කාලෙකට මැරෙන්න පුළුවන්! අයෙ කවද හරි කොහෙන් හරි සම්බන්ධ වෙනකල්.

නමුත් මම හිතනවා එහෙම නොවෙයි කියලා.

Saturday, 6 September 2008

ප්‍රමෝදය බිඳ වැටී...

ප්‍රමෝදය බිඳ වැටී...


සිහින කන්දේ මුදුනේ
සදාකල් රැ‍ඳෙන්නට
නොහැකි බව
නොදැණුනිද නුඹට...
ඒ මුදුන
අල්පෙනිති තුඩක් මෙන්
තියුණු වන විට...

ඒ මත පය තබනු නොහී
බිමට බට කල
කඳු පාමුල නිමක් නැති
වියලි කතර නිමා නොවන
නොදුටුවාද නුඹ
කඳු නගින්නට පෙර..

සිත දුකෙන් පිරෙන බව
නොසිතුනිද නුඹට
නැවත ඒ කර්කශ
යථාව පසක් වන විට...

වරෙක මහා සයුරක්ව
නෙක දනන් පිහිනූ ඉමක්
කාලයෙන් විපරිතව
නොපිට පෙරලී
කතරක් වූ අයුරු
නොදනීද නුඹ...

ඒ කන්දත්...
ඝන කතරත්..
මහ සයුරත්...
ඉන් අපිට
ක්ෂිතිජයෙනුත් එහා
කඳු මුදුනේ සිට නැරඹූ
නිම් නැති විශ්වයත්...

නුඹේ සිත අද්දර
අත්ලට ගත හැකි බව
නොදනීද නුඹ
තවමත්...