පසුගිය සතිය තුල චාරිකා දෙකක් නිරතවීමේ භාග්‍යය මට හිමි විය. ඉන් එකක් නැගෙනහිර වෙරළ වෙත කල විනෝද ගමනක් හෙවත් වචනාර්ථයෙන්ම ට්‍රිපකි. අනෙක මාගේ ආයතන ප්‍රධානියාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස කැලණිය වෙත කල අවමගුල් චාරිකාවක් හෙවත් ඒත් ට්‍රිපකි. මේ චාරිකා දෙකෙහිදීම ගීත වලින් කිසිදු අඩුවක් තිබුණේ නැත. නැගෙනහිර වෙරළ වෙත කල චාරිකාවේදී වැඩිමනත් ගැයුණේ 90 දශකයේ ගීත වූ අතර කැළණි චාරිකාවේදී ඉන් පෙර 70-80 දශකයන්හි ගීතද ගැයුණේ එම චාරිකාවේ හුන් බොහෝ දෙනා සිය 50වන දශකයේ පසුවූ වැඩිහිටියන් බැවිණි. වචන නොබලා ගී ගැයීමට හැකියාවක් නොමැති නිසා සහය ගායනයෙන් සහ පින්තූර ඇල්ලීමෙන් ඊට දායකත්වය දක්වමින් සිටින අතර චාරිකා දෙකෙහිදීම ඇසුණු ගීත කීපයක් පිළිබඳව මාගේ අවධානය යොමු විය. මේ ගීත කෙතරම් ගායනා කලද එහි අර්ථ පිළිබඳ අප විමසිලිමත් වී ඇත්තේ අවම ලෙස වන බැවින් මාගේ සිතට නැගුණු මේ අදහස් සම්බන්ධයෙන් මම පුදුමයට පත් වීමි.
මේ ගීත අපි සිතා හුන් ආකාරයේ ගීත නොවේ.
මාල ගිරවියේ - මාල ගිරවියේ
මට උඹත් එක්ක අපේ ගමට පියාඹන්ට ආසයි
මං දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි
දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවී
උඹෙ මාලෙ හැබෑ රත්තරංද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ල ගත්තෙ කාගෙන්දැයි අසාවී
මගේ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකිබිඳීවී
අපෙ නැති බැරි කම් මේ තරමට අමිහිරිදැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී
මා කියවා ඇති සහ අසා ඇති ආකාරයෙන් නම් ගිරවියන්ට මාල නැත. මාලය යනු පුරුෂ ගිරවාට විශේෂ වූ ලක්ෂණයකි. එය එසේම නොවේ යැයි කියා තිබූ අවස්ථා කීපයක්ද ඇස ගැටුණු නමුත් ප්‍රධාන වශයෙන් මාලය යනු පිරිමි ගිරවාට පමණක් හිමි ආභරණයකි. එසේ නම් මෙම ගීයෙන් කියවෙන මාල ගිරවිය කවුරුද? විකල්ප දෙකක් තිබේ. එනම්,
1. මේ මාලයක් සහිත ගිරවකුගේ පෙම්වතියක්ව හෝ බිරිඳක්ව වෙසෙන මාල රහිත ගිරවියක් ගැන ගීයකි. එසේ නම් මේ ගමට එන්නට ආසාවෙන් ඉන්නා තැනැත්තා ගම එන්නේ පවුල් අවුලක් ඇති කරවන්නටය.
2. මෙය මාලයක් සහිත පිරිමි ගිරවකු ස්ත්‍රී විලාසයෙන් දැක, එම ගිරවා ගැන කියවෙන ගීතයකි. එනම් මෙය ස්ත්‍රී මානසිකත්වයක් ඇති පුරුෂ මාල ගිරවකු ගැන එම ස්ත්‍රී ගිරවාගේ පුරුෂ පිරිමි ගිරවා විසින් ගැයෙන ගීයකි. එනම් සමරිසි ප්‍රේම ගීයකි.
ලස්සන නම් නෑ පෙනෙන්නේ - ඉස්සර සුවඳයි දැනෙන්නේ
එදා සොඳුරු පිය දසුන් - මෙදා සිහිනයකි කසුන්
මතක් වුනත් අමිල සැපතකී
උකුල් තලා සළා ආ නාරිලතාවෝ - අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ
වැයූ වගේ හවුල් වී - ගැයූ රඟේ කොවුල් ගී
ගියේ ඔවුන් ළඳුන් කොහේදෝ
සවන් පුරා පිරීලා වස්දඬු රාවේ - සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ
සිතූ සිතුම් බිඳීලා - පැතූ පැතුම් සිඳීලා
ජීවිතේ ගමන් විලාසේ
මෙය බැලූ බැල්මට සාමාන්‍ය ප්‍රේම ගීයකි. විරහ ගීයකි. ඒත් මේ සිහි කරන්නේ අපි සිතනා ආකාරයට පැරණි පෙම්වතියක් ගැන බවක් නම් පෙනෙන්නේ නැත. මෙහි සඳහන් වන්නේ දසුන්, කසුන්, අමිල සහ අමල් යන පිරිමින් ගැනයි. ඒ අතරිනුත් අමිල මතක් වීම ම සැපතක් බව කියයි. අපි හිටු කියා මෙම ගිය ගැයුවාට පෙනෙන අයුරින් නම් මෙයද සමරිසි ප්‍රේම ගීයකි.
ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා
සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //
වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා
සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //
ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ
සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //
හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ
සුරංග නාවි සුරංග නාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී //
මෙම ගීතය වසර තිහක පමණ ඉතිහාසයක් ඇති, ප්‍රසංග වේදිකාවේද, විනෝද චාරිකාවලදීද, බොහෝ උත්සව අවස්ථා වලදීද ගැයෙන ජනප්‍රිය ගීතයකි. කාන්තාවන්ගේ හැටහතර මායම් ගැන විවිධ පද පේලි ලියා මෙහි අර්ථය සැඟවීමට ගීත රචකයා උත්සාහ ගෙන ඇතත් ඇත්ත වශයෙන්ම මෙහි වරින්වර නැවත නැවත ගැයෙන ආකාරයට මෙම ගීයෙන් කියවෙන්නේ සුරංග නැමැත්තෙක් ස්නානය කරන අවස්ථාවක් ගැනයි. මෙහිදී එම සුරංග නැමැත්තාව යුවතියක ලෙස ගෙනහැරපෑමට රචකයා අතිශය සුන්දර සහ සාර්ථක උත්සාහයක් ගෙන ඇත. එසේ වුවත් මෙහි අර්ථයද දැන් ඉතා පැහැදිලිය.
-----------------------------------------------------------------------------
ප.ලි. මෙය හුදෙක් විනෝද වීමට මිස සමරිසි ප්‍රේමය හෙලාදැකීමටවත්, මෙම ගීත ගායකයන්, රචකයන් හෝ තනු නිර්මාපකයන් අවමානයට ලක් කිරීමටවත් ලියන ලද්දක් නොවේ. සමරිසි ප්‍රේමය යනු විෂමරිසි ප්‍රේමය මෙන්ම හුදු එක් තත්ත්වයක් පමණක් ලෙස මවිසින් සැලකෙන අතර මෙම ගීත මා මෙන්ම රසය කැමති සියල්ලන් විසින් ඉතා ආසාවෙන් රස විඳිනු ලබන විශිෂ්ඨ ගීත වේ. මුල් පද රචනා දෙක ලබාදීම වෙනුවෙන්
ලංකා ගී පොතට ස්තූතිවන්ත වෙමි.