අද දවස (2008-09-20) මෑතකදි මම ගත කරපු හොඳම දවසක්...
සති කීපයක ඉඳන් කතා වුණ විධියට අද දිනය තුල අපේ හමුවීම සඳහා උදේ මම නුගේගොඩ බෝ ගහ ගාව හිටිය කට්ටිය එකතු වෙනකල්. උද්‍යෝගයෙන්. පාරෙ පන්ති ගිය නංගිලා මගේ ඇස් පිනවද්දි මම හිතුව කට්ටිය ටිකක් ප්‍රමාද වුණා නම් හොඳයි කියලා. :p ඒත් වැඩි වෙලාවක් නොගිහින් කළු ඇඳගත්තු උස හාදයෙක් ඇවිත් මට කතා කලා. ඒ
පාකර් හෙවත්
දම්ස් හෙවත් මහේන්ද්‍ර ධම්මික මල්ලි. හරිම ලස්සන හිනාවක් එක්ක සිහින් කටහඬක්. හරිම දැවැන්ත කසුන් කල්හාර කෙනෙක් කියල මට හිතුණ. අපි දෙන්න කදේ දාගෙන ඉද්දි මගේ දුරකථනයට බෝමන් කතා කලා අඩි කීපයක් එපිට ඉඳන්. හික් හික්... මට
මායි බෝයි රවියි තුන්දෙනා සෙට් වීම මතක් වුණා. එදත් ඕකම වුණා මට. ඔන්න ඉතිං බෝ සහ සමීරම් දෙන්නත් ඇවිත්.
බෝ ගැන කියන්න දෙයක් නෑනෙ ඉතිං. මාව කඳු තරණය කරන්න එක්ක යන මිතුරන් අතර තවත් එක පිස්සු කේස් එකක් හරිම හුරතල් අර හිනාවයි රැවුලයි එක්ක.
සමීරම් නම් කොණ්ඩෙ නැති මම වගේ. එයාට මටත් වඩා පිස්සු කියල මලී පසුව කිව්වා. සමීරම් බෝ වගේම කට වාචාලයෙක්. එයා ටිකක් අර චිත්‍රපටි අධ්‍යක්ෂ සෙනේෂ් බණ්ඩාර දිසානායක වගේ කියල මට හිතුණ.
තව දෙන්නෙක් එන්න හිටිය. ඒ දෙන්න එනකල් අපි ඒ කඩ පේලිය කෙලවර ඉන්දියානු කෑම කඩේට ගිහින් එලවලු සහ මාංශ මිශ්‍රණයක් වටේ පිෂ්ඨය ඔතල තිබුණ කෑමකින් සප්පායම් වුණා. ඔය අතරෙ ආවා ඊළඟ සාමාජිකයා හෙවත් පමිත්... හප්පා එයා හරි ලොකු කඩවසම් හැඩි දැඩි සිරුරක් තියෙන මල්ලියෙක්. එයාගෙ මූණෙ හැඟීමක් තිබුණෙ නෑ. ඒත් එයාගෙ සිතිවිලි දන්න නිසා මම දැනං හිටිය එයා තුල ඉන්න
පමිත්K ව බාහිරින් එයා ගල් කන්දක් වගේ.. එයත් අපිත් එක්ක කතාවෙන අතරෙ ශිවාගෙන් ඇමතුමක් ආවා. එයා එතනට ඇවිත් අපිව හොයනවා. එයා හෝටලය තුලට ගෙන්වාගත්තා. ශිවා හෙවත්
ශිවන්ත සුදු මට වඩා ටිකක් මහත කණ්නාඩි මූණක් තියෙන හරිම සැහැල්ලුවෙන් හරිම සුහදතාවයෙන් ඉන්න කොල්ලෙක්. බොහොම සුළු දේට පවා මහ හයියෙන් හිනාවෙමින් එයා කතා කලා...
ඉතිං ඔන්න නුගේගොඩ ඉඳන් බස් දෙකක ඇවිත් අපි කට්ටියම පෝලිමට එකතු වුණා BMICH එක ඉදිරියේ. මේ වතාවෙ රුපියල් 10ක ටිකට් එකක් ගන්න වුණා අපට. ඒක හොඳයි කියල මට හිතුණෙ රුපියල් 10ක් ඇතිද කියන පුරස්ණයත් එක්කමයි. කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිල විලාසිතාවක් විධියට වන්දනා කරන අය නිසා නිදහසේ පොත් තෝරන්න සහ මිලට ගන්න ඒ වෙත එන පාඨකයන්ගේ නිදහස ඇහිරුණා කියන චෝදනාව ඇත්තක්. සමහරු ඒකට යන්නෙ වෙන වෙන වැඩ වලට. ඒක හරහා තමන්ගෙ වෙනත් හිස්තැන් පුරවගන්නත් සමහරු ඒකට ආවා. මම දන්න පොත් පාඨකයින් කීප දෙනෙක් එක්කම කතා කරපු වතාවකදි එයාලත් මේ ටිකට් ක්‍රමය සාධාරණීකරණය කලා. කොහොම හරි මේ වතාවේ ඇතුල්වීමේ ගාස්තුව රුපියල් 10යි.
අපි පොකුණ පහු කරන් ඒකට පනින්න නොහැකි වීම ගැන පසුතැවෙමින් ප්‍රධාන ශාලාවට ඇතුලු වුණා. ටික දුරක් යන්න ලැබුණෙ නෑ. අපේ
යාළුවෙක් අපට ඉදිරියෙන් ඇවිත් අපව පසු කලා ගෑණු ළමයෙක් එක්ක. අපි කට්ටියම හොඳින් දන්න නිසා අපි එයාට කතා කලාට එයා අපට හස්ත මුද්‍රාවෙන් කතා කරන්න බැරි බව කියල වහාම ගියා. අපි පුදුම වුණා. එයා ගැන තර්ක කලා. කොහොම හරි එතනින් එහාට ඒක අරන් යන්න ඕන වුනේ නෑ.
අපි පොත් අතරට එකතු වුණා. ප්‍රදර්ශණයේ පළමු දවස් වීමත් අපි ටිකක් උදෙන්ම පැමිණි නිසාත් වැඩිය සෙනගක් හිටියෙ නෑ. වෙන වතාවලදි ප්‍රධාන ශාලාවට ඇතුල් වුණ ගමන්ම තියෙන කොරිඩෝරය හරහා එහා පැත්තට යන්න පුදුම සටනක් කරන්න වෙනවා. අපි හිටපු වෙලාවෙ ඒ තරම් සෙනගක් නොහිටියත් වෙළඳ කුටි තුල නම් සැලකිය යුතු කොටසක් හිටියා.
ඔය අතරෙ අපේ එකම කාන්තා සාමාජිකය හෙවත්
මලී මෙනෙවිය සම්ප්‍රාප්ත වුණා. :p එයාගෙ අම්ම එක්ක. එයා ගැන නම් නොකියන එක හොඳයි. මම කියන්න ගියොත් මොනා කියවෙයිද මන්දා.. හික් හික්.. වැඩිය කතා කරන්න ලැබුණෙ නෑ ඉතිං. ;) කොහොම වුණත් කලින් දැකල නැති නිර්මාණ සහ අදහස් හරහා අඳුණගෙන හිටපු යාළුවො ටික අඳුණ ගන්න ලැබීම සතුටක්. මම හිටියෙ උපරිම තෘප්තියෙන් ඒ මොහොතෙ. ඔය අතරෙ ආවා තවත් යාළුවෙක්. ඒ අපේ මහ ගෙදර
අසිත-k හෙවත් අසි. සරල කොල්ලෙක් හරිම classic ගතියක් තිබුණා. පන්තියකට සහභාගි වෙන ගමන් අපිව බලන්නම ඇවිත්. හරිම සුන්දර හමුවීමක්...
ඉතිං අපි පොත් කුටි අතර සරමින් පොත් බලමින් සහ මිලදී ගනිමින් රවුම් ගැහුවා. බෝ ජීවිතය පිළිබඳ පොත් හොයන අතරෙ මම හෙව්වෙ කාලයකට කලින් කියවපු පොත් නැවත මුද්‍රණය කරල තියේද කියලයි. සමීරම් මාර්ටින් වික්‍රමසිංහගෙ පොත් එකතුවක් හෙව්ව. අනිත් අය මොනා හෙව්වද මන්දා. මලී මොනවදෝ පොත් ලැයිස්තුවක්ම උස්සන් ඇවිත් තිබුණ. අපි වගේයැ ගෑණු. ඒ පොත් සේරම ගත්තද කොහෙද. සමීරම් මං වගේම විද්‍යා පුබන්ධ රසිකයෙක් කියල මට වැටහුණා. එයත් ආතර් සී. ක්ලාක් පිස්සෙක්. දෙන්නම සිංහලට පරිවර්තිත විද්‍යා පුබන්ධ සියල්ලක්ම වගේ කියවල තිබුණ. මට මාර ගතියක් ආව ඇඟට. එක වගේ ගස් ටිකක් අන්තිමේ මෝලෙදි සෙටා වෙලා... හික් හික්..
අපි 2 විතර වෙනකල් හිටියා පොත් අතර. විවිධ විකාර දොඩවමින් අපි ඇවිද්දා කකුල් රිදෙනකල්. අවසානෙදි කෝක් වඩියකින් තොලකට තෙමාගෙන අපි ආවා...
------------------------------------
සතුට සොයා යාම පිළිබඳ සටහනක් ලියන්න සෑහෙන කාලෙක ඉඳලා උත්සාහ දරමින් සිටියත් කාලය සහ නිර්මාණාවේශය පිළිබඳ ගැටළු නිසා ඒක ටිකෙන් ටික යට ගැහුණා. ලඟදීම බලන්න පුළුවන් වෙයි. අද දවස පුරා මම ලැබුවෙ මම හොයාගෙන ගිය, ඒ හරහාම පරිසමාප්ත වුණ සතුටක්. එක වගේ යාළුවො ටිකක්. විවිධ දේවල් හදාරන, දැනුම සොයන කට්ටියක්. ඒ නිසාම කවදාවත් කතා කරන්න දේවල් නැතිව ගොළු නොවෙන පිරිසක්. එකම දෙයක් වෙනුවෙන් කතිකාවතක්. විවිධ තර්ක විතර්ක තියෙන නමුත් ගැටීම අවම සම්බන්ධ ටිකක්. හරිම අපූරුයි. මම ගෙවපු හරිම සුන්දර උදය වරුවක්. ඇත්තටම මම හරිම සන්තෝෂයෙන් ගෙවපු උදය වරුවක්...
ඒත් ඒ සතුට එක්කෙනෙක් නිසා සවස් වරුවෙදි අහිමි වුණා මට. :( සවස් වරුවෙ මම වෙනම මම කෙනෙක් වුණා. මම ඒ තුල වෙනම සතුටක් ලැබුවා. කිලෝමීටර කීපයක් ඇවිදල අපි අපේ සුපුරුදු අවන්හලට ගියා සප්පායම් වෙන්න. ඒ වෙලාවෙ සම්පූර්ණ අවන්හලම පිරිල තිබුණ මොහොතක අපි දෙන්නා අසරණව ආයෙත් යන්න සූදානම් වෙද්දි අපට අඬගහල අසුන් දෙකක් දීපු අයියට ගොඩක් ස්තූතියි. අපි දෙන්නම එයාට හිනාවකින් ස්තූති කලා. ඉතිං ආයෙත් මට උළුදු වඩේ පාරක් දාන්න ලැබුණා ප්ලේන්ටි වීදුරු 1½ක් එක්ක. ඒ එක්කම පලතුරු ආශ්‍රිත කෑම වර්ග දෙකක්ම අපි බඩට දාගත්තා.
අන්තිමේ අපේ අත් අතර පැටලිලා අයෙත් අපි පාරට බැස්සා. ඇය මාව නැවතත් ඇයත් මාත් තනිව ඉන්න ලෝකයට ගෙන ගියා. මිනිස්සු අපට හිනා වුණා. අපි දිහා බැලුව කන්න වගේ. ඒ සේරම මට වැටහුණා. ඇයටත් ඒ වගේම වැටහෙන්න ඇති. ඒත් ඇය මාත් එක්ක ඇවිද්දා මුළු ලෝකෙම අමතක කරල. ලෝකයට අනුව අපි පරිසමාප්ත පෙම්වතුන් නොවෙන්න ඇති. ඒත් අපි දන්නවා අපි කවුද කියලා... ඇයයි මමයි අපේ යාළුවොයි.
ඒක එහෙම තමයි ඉතිං.
අන්තිමේදි හික් හික් තමයි කියන්න වෙන්නේ.
෴