සාමාන්‍ය ජීවිතය අහිමිවන රෝහල් ඇඳක් මතදී ජීවිතය නැවතත් හමුවීමට ඉඩ තිබේ. කල්පනාවක්, සිතිවිල්ලක් නොනැගී පීඩා වුන හිතකින් ආයෙත් ජීවිතේ ගැන හිතන්නට පුංචි අවස්ථාවක් එමගින් ලැබේ.
ඕනෑම මිනිසෙක්ට ජීවත්වීමට උවමනා කරන ශක්තිය ලැබෙන්නේ ඔහු තුල ඔහු ගැනම පවතින ආත්ම විශ්වාසය, ගර්වය වැනි සාධක ගණනාවක් නිසා බව මම සිතමි. ආහාර නැති වූ පමණින් මිනිසකු මියගිය යන්නේ නැත. එහෙත් ජීවිතයට ඇති ආදරය බිඳුණු මිනිසකු එක් මොහොතක් වත් ජීවත් වේ යැයි මම නොසිතමි.
ජීවත්වීම ශාරීරීක සාධකවලට වඩා මානසික සාධක මත රැඳී පවතින්නකි. මිනිසා 'මිනිසා' වීම හේතුවෙන් උරුමයෙන් ලැබී ඇති තවත් එක් තත්ත්වයකි එය.
පසු ගිය සති කීපය ගෙවී ගියේ නොසිතූ පරිදි ඇවිලුණු ගිණි නිවන්නට උත්සාහ දරමින් ය. ඉතාම විශ්වාසයෙන් තීරණය කල ඇතැම් දේවල් සියයට සියයක්ම විශ්වාසදායී නොවන බව හෙලි වීමත් සමග ජීවිතයට ගිණි ඇවිලීම සාමාන්‍ය දෙයක්දැයි කියන්නට ප්‍රමාණවත් අත්දැකීම් මට නැත.
වල දැමූ අතීත ඩ්‍රැකියුලාවකු නැවත උත්ථානය වී ඇත. ඩ්‍රැකියුලාට එක් ක්ෂණයකින් ඔබේ ජීවීතය සුනු විසුනු කොට එහි සාරය උරා බීමට හැක. පෙනෙන හැටියට අතීතයේදී වල දමන්නට පෙර ඩ්‍රැකියුලාගේ හදවත පසාරු කර රිදී උලක් යවා නැත. ඉතින් නියමිත මොහොත පැමිණෙන තෙක් බලා සිටි ඩ්‍රැකියුලා ජීවීතය උරා බොන්නට වලෙන් නැගිට පැමිණ තිබේ.
ජීවීතය පිළිබඳ තීරණය කරන්නට පෙර ඒ ගැන ස්වයං ඇගයීමක් කල යුතුය. කිසිසේත්ම සාධාරණ නොවුනත් එය කල යුතුය. එය ලියා දැක්විය හැක්කක් නොවේ.
කෙතරම් රැඩිකල් අදහස් දැරූවද සියලුම දෙනා උත්සාහ කරන්නේ සාමාජික වශයෙන් 'හොඳ' යැයි සම්මත දිවියක් ගෙවන්නටය. අපරාධකරුවන් යනු ඒ හොඳ පෙනුම නඩත්තු කරන්නට වෙනම වෙහෙසෙන පිරිසකි. වක්‍රාකාරයෙන් සමාජයට අහිතකර දෑ කරන බොහොමයක් ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්නට පිංකම් කරති. ඇත්ත ජිවිතේ ජඩකම් සමාජ මාධ්‍ය හරහා වසා ගන්නට උත්සාහ කරන නූතන වංකයින්ද සිටිති.
මා සියයට සියයක් සාධාරණ පට්ට පර්ෆෙක්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් සමාජයට අවම කරදරයක් කරමින් ජීවත් වෙන්නට උත්සාහ දරන්නෙක්මි. සල්ලි තියෙන විට විනෝදයත්, සල්ලි නැති විට ඔහේ ජීවීතයත් ගෙවන්නෙමි. අවාසනාවකට නිතර මුදල් අත නොරැඳීම නිසා මගේ ජීවීතය බොහෝ විට ඒකාකාරී ය. ජීවිතය ගැටලුවක් වීමට එයද එක් හේතුවක් බව මම දනිමි.
එහෙත් හැකි හැම විටම මා මානුෂික වෙන්නට උත්සාහ දරමි. බොහොමයක් තැන්වලදී අත්හරින්නට සිදුවුවද තීරණය මා සතු වන හැමවිටම මා සාධාරණ වෙන්නට උත්සාහ දරමි. මේ සටහන රෝහල් ඇඳක් මතදී දුරකථනයෙන් කොටන්නට සිදුව ඇති කාරණය සම්බන්ධයෙන්ද එවන් තත්ත්වයක් පවතී.
මා අනතුරට පත්කල කොල්ලා ගැන මට දුකක් ඇත. ජීවීතය ඇරඹූ විගස අනතුරකින් චෝදනාවකට ලක් වීම තරුණයෙකුට විය හැකි අවාසනාවන්තම දෙයකි. එම තරුණයාගේ පියා යන්තම් තරුණ වියේ්දී විවාහ වු අවුරුදු පනහක්වත් නැති පහල මධ්‍යම ප්‍රාන්තිකයකු බව පෙනේ. අනතුර සැලවූ විගස රෝහලට පැමිණ මා පිලිබඳව සොයා බලා අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට ඔහු වග බලා ගත්තේය.
ඇතැම් විට ඒ ඔහුගේ කපටිකම වෙන්නට හැකිය. එහෙත් ඔහු වඩා ප්‍රායෝගිකය. ඔහු කපටියෙක් බව කියන්නට තරම් මුහුණ බලා අභ්‍යන්තරය කියන්නට මා පුහුණු වී නැත.
ඔහු තුලින් තමන්ගේ දරුවා වෙනුවෙන් කල හැකි සියල්ලම කරන පියෙක්ව මම දකිමි. මට මගේ පියාද, බිරිඳගේ පියාද ඇතුලු බොහෝ පියවරුන් සිහිවේ. ඔවුන්ගේ දුක සිහිවේ. සියලු දේ කලමනාකරණය කරමින් තම දරුවාගේ අනාගතය ආරක්ෂා කරගන්නට උත්සාහ දරන මේ පියා විඳින දුකෙහි වෙනසක් මට නොදැනේ.
සංවේදීකමත්, උවමනාවට වඩා කල්පනා කිරීමත් කඩා දැමිය නොහැකි තරමට ජීවිතයට බද්ධ වී ඇති පුරුදු බැවින් ඒ තුල ඕනෑම වෙලාවක ගිලී යන්නට මට හැක. මා එයින් දුක් විඳිමි.
මිනිසුන්ව උවමනා තරමට වඩා විශ්වාස කිරීමෙන්ද මා බැට කමි. එයින්ද දුක් විඳිමි.
දුක නැති කරගන්නට එහි මූලය සොයා එය අතික්‍රමණය කල යුතුය. රෝහල් ඇඳෙන් එපිට ලෝකය තුල කරගන්නට වැඩක් ඇත.
ප.ලි. - මේ සටහන ඉතාම ඉහල බලාපොරොත්තුවකින් අවසන් වුවද අසනීප තත්ත්වය සුව වූ විගස නැවතත් සුපුරුදු ජීවිතයට මා හැඩ ගැසෙන බව මටද රහසක් නොවේ. එහෙත් තවත් බලාපොරොත්තුවක් ඇත.