Saturday, 9 April 2011

අවුරුද්දට යට ඇඳුමක්!


ඔබ කූඹින්ගෙන් කරදර සිදුවන අළුත් අවුරුද්දට කියා ඇඳුම් ගත්තාදැයි මම නොදනිමි. කෑමටවත් දෙයක් නැති වුවත් දිළින්දන්ද ණයක් හෝ රෝල්කර අවුරුද්දට ඇඳුමක් මිලදී ගන්නේ සමහර විට ඒ මුළු අවුරුද්දේදිම ඔවුන්ට ලැබෙන එකම ඇඳුම නිසා වෙන්නට පුළුවන. මාගේ වට පිටාවේ සැම දෙනාමද අවුරුද්දට කියා ඇඳුම් මිලදී ගනිති. කඩවල සෙනග අස්සේ තෙරපෙමින් තෝරති. මෙය හැම අවුරුද්දකම සිදුවන ක්‍රියාවයි. මා දැන හුන් එක් මිතුරෙක් පැවසුවේ තෙරපෙන්නට ඇති ආසාව නිසාම ඔහු අළුත් ඇඳුමක් ගැනීමට අවුරුද්ද කිට්ටු වෙනතෙක් සිටන බවය. තෙරපීම එවැනි දෙයකි.

තෙරපී අහවර වී සියළු දෙනා අළුත් ඇඳුම් ඇඳ පෙනුම අළුත් කරගත්තද අභ්‍යන්තරය කිසිසේත් අළුත් නොවන පරණ එකමය කියා මම ඒ හැම අවුරුද්දකම කියා ඇත්තෙමි. ඒ කතාව දැන් පැරණිය. එවැනි කතා වලින් ඇති වැඩක්ද නැත. මගේ කතා අසා අළුත් වන උන්ද නැත. මිනිසුන් අළුත් වන්නට කැමති නැත. එබැවින් ඒ කතාව මම මෙවර නොකියන්නට තීරණය කළෙමි. මමත් අළුත් ඇඳුමක් ඇඳ අන් අය සමරනා ලෙසටම අවුරුද්ද සමරන්නට සිතාගෙන ඇත්තෙමි.

සති දෙකකට පෙර මම ඇයත් සමග නුගේගොඩ ඇඳුම් සාප්පු අවට සැරිසරා මිතුරෙක් වෙනුවෙන් ඇඳුමක් මිලදී ගතිමි. සාමාන්‍යයෙන් අවුරුදු කාලයට තියා අවුරුදු නැති කාල වලදීද ඇඳුම් සාප්පුවල ඇවිදීම මා ප්‍රිය කරන්නක් නොවේ. ජීවිතේ අති බිහිසුණු කාලයක් පුරා මා සතු වූයේ අතක ඇඟිලි ගානට වූ ඇඳුම් කීපයකි. ඒවා අපිරිසිදු නොවන මානයේ තබා එවකද මම ඇඳුම් ඇන්දෙමි.

දැන් සියල්ල වෙනස් වී ඇත. මා රස්තියාදු ජීවිතයෙන් මුදවා මහත්මයෙකු කිරීමට වෙහෙසෙනවුන් ගණනාවක් වෙනුවෙන් මම හැඩ ගැසී ඇත්තෙමි. ඉතින් ඇඳුම් අංශයෙන් ගත් කල මාගේ අල්මාරිය පිරෙන තරමට ඇඳුම් දැන් මට ඇත. සාමාන්‍යයෙන් වසරකදී කමිස සහ ටීෂර්ට් 4-5ක්, කලිසමක් හෝ දෙකක් වශයෙන් පසුගිය වසර දෙක තුන පුරා මා හට ඇඳුම් ලැබී ඇත.

මෙවර නව වසර වෙනුවෙන්ද මා හට ඇඳුම් ලැබී ඇත. ඇය විසින් මිලට ගෙන දුන් කලිසමේ වාටිය අම්මා විසින් මට උවමනා ප්‍රමාණයට සකසන ලද්දේය. ඇය විසින්ම ගෙන දුන් කමිසයක් අවුරුද්දට පසු කාර්යාල දිනය කිට්ටු කර එලි බැසීමට නියමිතව තවමත් පැකට් එක තුලය. කාර්යාල ප්‍රධානී විසින් ස්ව වියදමින් මුළු ආයතනයටම ටීෂර්ට් රැගෙන දුන් අතර ඉතා හොඳ යැයි සැලකිය හැකි වර්ගයේ එකක් මටද ලැබී ඇත. අම්මාද තවත් ටීෂර්ටයක් රැගෙනවිත් ඇත. මාගේ කිලුටු බැනියම් සේදීමට සිදුවීම පිළිබඳ විස්සෝපයෙන් මිදීමට ඒ සමගම ඇය විසින් බැනියම් දෙකක්ද ගෙනවිත් ඇත.

අළුත් මේස් කුට්ටමක් මා සතුව ඇති අතර අකුරු තුනේ කොංපැණියෙන් මිළට ගත් පැරණි සපත්තු කුට්ටමේ එක් සපත්තුවක අඩිය මැදින්ම පැලීයාම හේතුවෙන් මසකට කලින් මම නමවත් අසා නැති, ඒත් හොඳ වේ යැයි සිතු වර්ගයක සපත්තු ජෝඩුවක් මිළට ගත්තෙමි.

දැන් සියල්ල හරිය. එහෙත් තවමත් අළුත් යට ඇඳුමක් හෙවත් තේරෙන සිංහලෙන් ජංගියක්නම් කාගෙන්වත් ලැබුණේ නැත. සපත්තු ජෝඩුව හැර සියල්ල අන් අය සැපයූ බැවින් ජංගියක් හෝ දෙකක්ද වෙනත් අයෙකු විසින් රැගෙන දේ යැයි මම බලාපොරොත්තු වෙමි. එහෙත් සියල්ලන් මා බාහිරව අලංකාර කිරීමට තැත් දරනවා විනා යටට අඳිනවාද නැද්ද කියා සොයාබලන්නේ නැත.

ඒක හරියට ජීවිතේ වගේය. හරියට අවුරුද්ද වගේමය. උඩින් අළුත් ඇඳුමක් අඳින බොහෝ දෙනා යටට ඇඳ ඇත්තේ අවුරුද්දක්ම ඇඳි යට ඇඳුමක් වීමට ඉඩ තිබේ. සමහර විට ඒ ගැන සොයා නොබලන්නේ ඒවා අතිශය පුද්ගලික යැයි සැලකෙන නිසා විය හැක.

ඒ කියන්නෙ මගේ අභ්‍යන්තරය කාටවත් වැඩක් නැත.

පිටින් හොඳට හිටියාම ඇති වාගේය.

20 comments:

  1. මටනම් අළුතෙන් ඇඳුමක් ගත්ත කාලයක් මතක නැහැ, මොනා හරි ගන්න ගියාම හිතෙනවා අපොයි ගල් බෝතලේක සල්ලි නේද කියලා එතනින්ම අදහස වෙනස් වෙනවා.

    කොහොමත් මිනිස්සුන්ට වැදගත් බාහිර ඔපය විතරයි පොලිස් නීතිය නැත්නම් යටට අඳින එකත් එච්චර වැදගත් නැහැ

    ReplyDelete
  2. ඔන්න බලහන් h, හෙට ඉඳන් යට ඇඳුම්ම තමා අදාල කෙනාගෙන් තෑගි හම්බ වෙන්නේ... :D

    ReplyDelete
  3. කාගෙවත් අභ්‍යන්තරය බලන්න කාටවත් වුවමනාවක් තියෙනවාද? එහෙම වුණානම් ලෝකය මීට වඩා හොඳ තැනක් වෙයි..

    ReplyDelete
  4. යකෝ උඹ ඔහොම ඕන ඕන දේවල් බ්ලොග් එකෙන් ඉල්ලන්න එපා. අච්චර ඇඳුම් අරන් දුන්නට පස්සෙවත් ඕකක් උඹ සල්ලි දීලා ගනිං.

    මොකෙන් මොක උනත් කතාව ඇත්ත. කොහෙත් මොකෙත් ඔහොමනේ!

    ReplyDelete
  5. මරණෙ, මුචා : උඹලගෙන් මූට අවුරුදු තෑග්ග විදියට ජංගි ටිකක් අරන් දීපන්කෝ. උඹල යාලුවො වෙන්නෙ බොන වෙලාවට විතරද? මේ හරේ ජංගි හොයද්දිත් යාලුවො වගේ සපොර්ට් එකක් දීපං :D

    ReplyDelete
  6. හරේ, ඔය කිව්වහම තමයි මතක් උනේ, දැන් ඉන්ජෙක් වෙලා ඉන්න මගේ යාළුවෙක් කැම්පස් යන කාලෙ ඌට තිබුනු එකම ජංගිය මාසයක් අඳිනවාළු.

    1) ඉස්සරහා පැත්තට සතියයි
    2) අනිත් පැත්ත හරෝලා පස්ස ඉස්සරහට වෙන්න සතියයි
    3) කණ පිට හරෝලා ඉස්සරහ පැත්තට සතියයි
    4) කණ පිට හරෝලා පස්ස ඉස්සරහට සතියයි

    මාසයක් අවසානයේදී ජංගිය මාරාන්තික සමූහ ඝාථක අවියක් ලෙස යුද්දයට යවන්නට පුළුවං.

    ReplyDelete
  7. මේක නන් සම්පූර්ණ ඇත්ත කතාවකි.......මොනවා උනත් මොහුට මෙම වසරේ ජංගියක් තෑගි වශයෙන් ලෑබේවායි මා පතමි.....:-D

    ReplyDelete
  8. බලපන් උඹ ක‍රන ජ‍රා වැඩ. ජංගි කතාවක් දාලා යට තියෙනවා 6 ක් සුවඳ විඳලා කියලා. සික්! විලි ලැජ්ජයි. :D

    ReplyDelete
  9. අද අන්තර්ජාලයේ තාක්ෂනික ගැටළුවක් උද්ගතව තිබුනත් මේ කමෙන්ටුව නොදමා බැරි වුනා. ඔබ කියන එක ඇත්ත, මිනිස්සු බාහිර ආටෝපෙට තමයි රැවටෙන්නේ. මමත් මේ අදහසම දරපු ලිපියක් දැම්මා "වැවුන කොණ්ඩෙයි, කැඩුන ඔරලෝසුවයි, රන් මුද්දයි" ඒකෙනුත් අපේ මිනිස්සුන්ගේ ආකල්පමය දියුණුම හොදින් පේනවා...

    ReplyDelete
  10. ROFL දැනට කීදෙනෙක් සුවද විඳලද ජංගියේ ? :P

    ReplyDelete
  11. ඒකනේ ඔච්චර දෙවල් ලැබුන එකේ ඒක සල්ලි දීලා ගත්තා නම් මොකද වෙන්නේ..

    ReplyDelete
  12. මම නම් අදුම් ගන්නෙත් මට පහසු ඒව විතරයි ඒකත් අවුරුද්දටම කීපයක් විතරයි.. එත් ලංකාවෙ ජීවත් වෙනවකොට පහසු ඇදුම් අදින අයට බැනුම් අහන්න වෙනව.. බන් මටත් හැමොම කියන්නේ එහෙමයි බන්.. ඔය ඇදුම් මාතෘකාව මට අරහන්.. ලංකාව මාර රස්නේ රටක් වුනත් අපෙ උන් අඩින්නෙ සුද්දගෙ විදියට සමහරු ඇදුම් වලට වියදම් කරන්නේ තේරුමක් නැති විදියට කන්න අදින්න නැති මිනිස්සු ගන හිතන්නෙ නැනේ මේ මෝඩ යක්කු..

    ReplyDelete
  13. ම - මටනම් ගල් වලට වඩා වෙනත් උවමනාවල් ගැන මතක් වෙනව. ඒත් ඉතිං වෙනත් උවමනාවල් කියලත් ගත්තම ඒ හැටි උවමනා ඒවමත් නෙවෙයි... යටට අඳින්න ඕනමයි කයල නීතියක් තියෙනවද කොහේ හරි? මම සමහර දවස් වලට සිවිල් තමයි ඉන්නේ... :P

    චමි - එහෙමවත් දුන්නනම් ලොකු දෙයක් බං. ඒ ගානත් ඉතිරියි නේ... ;-)

    අවුට් - සිරාවටම කාටවත් එහෙම උවමනාවක් නෑනේ... මේ මාත් ඇතුළුව... හොඳට හිනාවෙන එවුන් හරි හොඳයි කියල හිතුණට හිනා නොවී බුම්මං ඉන්න මිනිස්සු තරම් හොඳ නැති වෙලාවල් මට ගොඩක්විට සෙට් වෙලා තියෙනවා...

    මුචා - මම බැලුවෙ බං එහෙමවත් චාන්ස් එකක් ගන්න. බැරි වෙලාවත් මේක කියවල හදව උණු වුන පාඨකයෙක් මටඅර කෑලි තුනේ පැකට් එකක් අරන් දෙයිද දන්නෙ නෑනේ...

    රංග - වැඩක් නෑ බං මුං ගැන කියලා... බොන්න හම්බුණේ නෑ කියල කිව්වනං ඔන්න අරන් දෙයි. යටට ඇඳලද කියල හොයන්න තරං මුන් යාළුවො නෙවෙයි.

    ReplyDelete
  14. දුමී - හප්පා... ඕක දැං තිබුණ නම් ලංකාවට දැන් වගේ බොරුවට නැතිව ඇත්තටම වෙන රටවල් එක්ක ගේම ඉල්ලන්න තිබුණ නේද? ඔයවගේ කතාවක් අපි දන්න කෙනෙකුටත් වෙලා තියෙන විධිය මෙන්න මෙතන තියෙනවා :D

    පසන් - මගේ පැතුමත් ඒකයි මචෝ... එතකොට මම සළුපිලිමය ත්‍යාග අතින් සර්ව සම්පූර්ණයි... :-)

    අනු - අඩේ ඒක මේකත් එක්ක නියමෙට පටස් වෙනව නේ.... ඔය සුවඳ බලන්න කියල කියන්නෙ මම දාන වමනෙ වල... මේ පාර දාපු එකනම් හොඳ සුවඳයි වගේ ...:D

    දිනේශ් - ඒක වෙන්නෙ එහෙම තමයි නේද දිනේශ්...? එක අතකට ඒ වෙනුවෙන් කරන්න දෙයකුත් නෑ වගේ. මිනිස් සම්බන්ධ ගොඩක් විට ඇතිවෙන්නෙ බාහිර පෙනුම හරහානෙ. ඉතිං ඇතුල ගැන දැනගන්න ඇසුරු කරන්නම වෙනව....

    බනී - මේ පාර සෑහෙන පිරිසක් විඳල තියෙන බං ;-)

    දිනේෂ් - ඒක තමයි බං මම තව දවසක් දෙකක් බලල සල්ලි දීල එකක් දෙකක් අරගන්නව... :D

    නවීන් - ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ... කොට කලිසමයි ටී එකයි ගහගෙන වැඩ කරන්න තිබුණනම් මාර ගති වුණාට එහෙම චාන්ස් එකක් නෑනේ.... :D

    hare :-) - අඩෝ.... තෝ මම කමෙන්ට් කරන්න කලින් කට්ට්යට කමෙන්ට් දාල නේද? ආයෙ එහෙම ඕව කරල අහුවෙන්න එපා හරි... :P

    ReplyDelete
  15. අවුරුද්දට ඇඳුම් ගන්නවා කියන එක නම් හෙන ගොන් පාට් එකක්. මිනිස්සුන්ට අඳින්න මතක් වෙන්නේ ඒ කාලෙට විතරයි. මමත් ගෙදරට මේ පාර සල්ලි දෙනවා. ඇඳුම් දෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
  16. මේ කමෙන්ටුවලට උඩින් "සුවඳ විඳලා" කියන්නේ මොනවායේ සුවඳ ඳ?

    පාවිච්චි කරපු යට ඇඳුමේ සුවඳ ද?

    ReplyDelete
  17. මොනවා උනත් කතාව ඇත්ත.., ඒකට සිම්පල් ප්ලෑන් එකක් පාවිච්චි කරපන්.., එකපාර අවුරුදු දෙක තුනකට හරියන්න ජ** අරන් දාපන්.., ලේසියි පහසුයි..!!!

    ReplyDelete
  18. ආගා - කොහා කෑ ගහද්දි, ටීවී එකේ රබන් සද්දෙ ඇහෙද්දි එක පාර මතක් වෙනව ඇති අම්මට හුඩු.. මම හෙළුවෙන් නේද කියලා.... :D :D

    ගෙදර සම්බන්ෂයෙන් නම් මමත් ඒක තමයි මේ පාර කලේ...

    කතන් - නෑ නෑ... වමනෙ වමනෙ... ඒව හැබැයි යට ඇඳුම තරම් සුවඳ නෑ....

    ලිෂා - ඒකත් සිම්පල් ප්ලෑනක් තමයි... එතකොට ආයෙ ඒව ගැන වද වෙන්න ඕන නෑනේ... ;-)

    ReplyDelete
  19. මළ විකාර!!!!!!!

    ReplyDelete
  20. වික්හාර ඇත්තේ මෙතනය.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!