Tuesday, 19 October 2010

කම්කරුවාගේ ණය අයදුම්පත

“පුළුවන් දෙයක් කරල දෙන්න සර්...”

රත්නපාල ණය අයදුම්පත මගේ මේසෙ උඩින් තිබ්බා...

ඔහුගේ මුහුණේ තිබුණෙ යටහත්පහත් බවයි, බයාදුකමයි එක්ක මුසු වුණ හිනාවක්. ජීවිතේ දශක පහකට ආසන්න වෙන්න ගෙවපු මනුස්සයෙක්ට වඩා වයස්ගත බවක් ඔහුගෙ මුහුණෙන් පෙණුන.

“මට ඉතිං ‍මේක අනුමත කරන එක තීරණය කරන්න බෑනේ....”

මම කෘතිම හිනාවක් එක්ක වැටුප් ලේඛණය අතට ගත්තා.

“පඩියෙන් සීයට හතලිහ ඉක්මවද්දි ණය වලට කපල යවන්න බෑනෙ රත්නපාල...”

“සීයට හතලිහ යනවද සර්...?”

“ඉන්නකෝ බලන්න... ම් ම්... පනිනව නේන්නම්.... මොකද කරන්නේ...?”

“අනේ සර් පුළුවන් දෙයක් කරල දෙන්න...”

“මට මොනවද කරන්න පුළුවන්? මම කරන දේටත් සීමාවක් තියෙනවනේ...”

“පුළුවන් නම් එකවුන්ටන් සර්ට කතා කරල බලන්න සර්... ‍දුවගෙ කසාදෙ ලබන මාසෙ තියෙන හින්දයි සර් මේ ලෝන් එක දාන්නේ...”

“ඔහොම ඉන්නකෝ ටිකක්”

මම ගණකාධිකාරිගේ කාමරයට එබුණා. මම දැණගෙන හිටිය ඒ වෙද්දිත් ඔහු ප්රධාන අධ්යක්ෂ කාර්යාලයේ රැස්වීමක බව. ඒත් කාමරයට නොඑබී රත්නපාලට කටින් ඒක කිව්වට විශ්වාස කරන්නෙ නෑ...

“සර් නං නෑ රත්නපාල... රැස්වීමක... පුළුවන් නම් එනකල් ඉන්න”

“හා සර්...”

දෙකට නැමිල ගෞරවය උපරිමව දක්වමින් ආපහු ණය අයදුම්පත ගත්ත රත්නපාල අපේ අංශයෙන් පිටත සේවාදායකයන්ගෙ පුටු තිබුණ පැත්තට ඇදුණා.
.........................

මම මේ කාර්යාලයේ රාජකාරි ආරම්භකරල වැඩි කාලයක් නැතත් රත්නපාල කියන සාමාන්ය කම්කරු තනතුරේ වෘත්තිකයා මම හොඳට දැනගෙන හිටිය. මම රාජකාරි කරපු පරිපාලන කාර්යාලය යටතේ තිබුණ උප කාර්යාලයක සේවය කරපු ඔහු එම කාර්යාලයේ සියළුම සේවකයන්ගෙ රාජකාරිමය අවශ්යතා වෙනුවෙන් මගේ කාර්යාලයට නිතර පැමිණියා. ඔහුගේ රාජකාරි සගයන්ගෙ සියළු දුක්ගැනවිලි වාර්තා කලේ ඔහු. ඒ පැමිණි හැම වෙලේම තමන්ගෙ දරුවන් දෙදෙනා ගැනත් ඔහුට තේරෙන දේශපාලනය ගැනත් වචනයක් දෙකක් කියවන්න ඔහු පුරුදු වෙලා හිටිය. මම මගේ වැඩේ කරමින් වුණත් ඔහුට ඇහුම්කන් දුන්න නිසා (අඩු තරමෙ එහෙම පෙන්නපු නිසා) ඔහු ‍මාව ගෞරවණීය මිතුරෙක් කරගත්ත. වෙන නිලධාරියෙක් හමුවෙන්න පැමිණියත් ඔහු මට වචනයක් කතා කරල යන්න අමතක කලේ නෑ. මාසෙක දෙකක ඉඳන් ඔහු ඔහුගේ දියණියගේ විවාහය වෙනුවෙන් වෙහෙසුණා.

සාමාන්යයෙන් රජයේ සේවකයෙක්ගෙ වැටුපෙන් ණය සඳහා බැංකුව වෙත යවන්න පුළුවන් වෙන්නෙ ඔහුගේ වැටුපෙන් සියයට හතලිහක උපරිමයක් විතරයි. ආයතන සංග්‍රහය කියල අපි පාවිච්චි කරපු නීති පොතේ මේ බව පැහැදිලිව කියල තිබුණ. ඒ නිසාම කෙනෙක්ගෙ මූලික වැටුපෙන් සියයට හතලිහ ඉක්මවල ණය වාරික යවන්න අනුමත වෙන්නෙ නෑ කොහොමත්...

මාසෙකට රුපියල් දොලොස්දාහක මූලික වැටුපක් අරගන්න රත්නපාලගේ වැටුපෙන් දැනටත් සියයට හතලිහේ සීමාව සුළු ගණනකින් ඉක්මවල ණය සඳහා කැපෙමින් තිබුණ.

‍රාජකාරිය නීතියට කරනවද නැත්තං මනුස්සකම වෙනුවෙන් කරනවද කියන එක හැමදාම උහතෝකෝටිකයක්...

වතාවක් එක උසස් නිලධාරියෙක් තමන්ගෙ කතාවකදි ඔහුටත් අහන්න ලැබුණ කතාවක් කිව්ව. ඒ අනුව ලංකාවෙ රාජ්ය සේවකයෝ වර්ග තුනක් ඉන්නව. එක් වර්ගයක් කිසිම වැඩක් කරන්නෙ නෑ... ඔවුන් හදන්නෙ පුළුවන් තරම් වැඩේ නොකර ඉන්න. අනිත් වර්ගය වැඩ කරනවා. ඒත් නීති රීති අකුරටම ක්රියාත්මක කරන්න යාම මත ඔවුන්ගෙනුත් වැඩක් වෙන්නෙ නෑ... අනිත් පාර්ශවය කොහොම හරි වැඩේ වෙන තැනට වැඩ කරන අය. ඔවුන් නීතියේ සිදුරු වලින් රිංගල හරි වැඩේ කරන්න උත්සාහ කරන අය.

මට ඕන වුණේ ඔය තුන්වන කණ්ඩායමේ ඉන්න. ඒත් ඒක හිතන තරම් ලේසි නෑ... හැම වෙලාවෙම අභ්‍යන්තර කැපිල්ල එක්ක පරෙස්සම් වෙන්න වෙනව. වරදිනකල් බලන් ඉන්න අර මුල් කණ්ඩායමේ අය ඉන්නව. ඒ මදිවට විගණන විමසුමක් වගේ දේකදි මොන දේ කිව්වත් වරද වරද විධියට අරන් අර නීති පොත් වල වගන්ති අතර අපව හිර කරල රස්සාවත් නැති කරන තත්ත්වයක් තියෙනව.

වචන ගොඩක් ලියවුණ රෙගුලාසි පොත් දෙකක් මගේ මනුස්සකම කියන එක දෙපැත්තෙන් තෙරපන්න අරන් තිබුණ.
.........................

“එකවුන්ටන් සර් ඇවිල්ලද සර්?”

රත්නපාල ආයෙත් මගෙ මේසෙ ගාව හිටගෙන.

“ආ.. ඔව් ආවා... ගිහින් කතා කරල බලන්න”

මට සිදුරක් විධියට පෙණුනෙ ගණකාධිකාරීගෙ කාර්යාලයේ යතුරු සිදුර.... ඔහුගේ අනුමැතිය මගේ සීමාව ලිහිල් කරන බව මම දැනගෙන හිටිය.

රත්නපාල හෙමින් හෙමින් ගණකාධිකාරිගේ කාර්යාලය පැත්තට ගියා...

6 comments:

  1. හ්ම්ම්ම.. ඉතිං ‍ඔව්වා ඔහොම තමා.. කැමති විදියට වැඩ කරන්න අපිට අයිති තැන් නෙවෙයිනේ.. පොදු නීතියට කාටත් හිස නමන්න වෙනවා..
    මං හිතන්නේ මේ රත්නපාල කියන කෙනා පුරුද්දට ණය ගන්න කෙනෙක් ද දන්නේ නෑ.. මොකෝ දැනටමත් 40% වෙනකම්ම කැපෙනවා නම්..

    අනිත් අතින් බැලුවොත් අපේ රටේ මිනිස්සු තියන තරමින් වැඩ කරන්නේ පුරුදු නැති එකේ අවුල තමයි සේරටම මුල.ඒ අතින් බලද්දි පව් කියන්නත් බෑ.. අනික්‍‍ අතින් දූ‍ගේ කැමැත්ත වෙනුවෙන් නේ ඒ තාත්තා සල්ලි හොයන්න මහන්සි වෙනවා ඇත්තෙත්.. අනේ මන්දා ඕවට මොනවා කියන්නද කියලා

    ReplyDelete
  2. නියමයි..!
    (මෙය කියවා දැමූ කමෙන්ටුවක් බව සලකන්න.)

    ReplyDelete
  3. මේක හරිම සාමාන්‍ය දෙයක්..
    ඔය විදිහටම ඔයිට වඩා ටිකක් ලොකු රස්සාවක් කරන කෙනෙක් ආවා නම් ඔය ණය ලැබෙන්න තියෙන්න සුදුසුකම වැඩියි. සීයට හතලිහෙන් එහා ගියා වුනත් ණය ගන්න පුළුවන් කමක් තියෙනවා. අපි උනත් අපේ මනුස්සකම හා රාජකරි නිදහස ගැන හොයන්න බය වෙන්න ඕනේ නෑ. මොකද ඒ වගේ අයට පැනලා උදව් කරන්න (අපේ ඉහවහා ගිය මනුස්සකමට) හැමතැනින්ම ඉඩ සලසලා තියෙන්නේ.
    ඊටත් වඩා ඒ වගේ කෙනෙක් ඔහොම පොඩි ගාණක ලෝන් එකක් ගන්න ඔහොම එන්නේ නෑ නේ නේද? එයාගේ දුවලා බන්දලා දෙන්නේ ඔය වගේ පොඩි ගාණක මගුලකින් නෙමෙයි නේ නේද?
    මේ වගේ දේවල් කියෙව්වම හරි මොකක්ද වරද මොකක්ද කියලා හිතන්න ගියාම මේ සමාජ ක්‍රමය ගැන දැනෙන්නේ කළකිරීමක් විතරමයි.

    ReplyDelete
  4. පවු අසරන මනුස්සයා. අපි ඔය වගේ තත්වයක හිටියනම්………මොනවා කරන්නද ?

    මේක ලියපු එක හොඳයි

    ReplyDelete
  5. @මලී – ගොඩක් ඔය මට්ටමේ තනතුරු දරණ අයට තියෙන පොදු තත්ත්වයක් ඕක… සමහරු තමන්ගෙ දුවව තුන් හතරවතාවක් බන්දනවා ණය ගන්නම

    @ Ansh Lucky Sri Jay, පිටස්තරයා – ටෙස්ටිං වලට උදව් කලාට තැංකියු මචංලා….

    @ බු – නියමයි! ඔහොම තත්ත්වයක් තියෙනවා… ලොකු රස්සාවක් කරද්දි එයාට ණය ගන්න තියෙන සුදුසුකම් වැඩියි. බැංකු වුණත් ඒ ගැන මුකුත් කියන්නෙ නෑ… මේ සිස්ටම් එක එහෙම හැදුණ එකක්! මේ සටහන කම්කරුවෙක්ගෙ ණය අයදුම්පතක් වුණේ ඒකයි!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!