Monday, 14 March 2011

බහිර්ශීල දමනය | පොතේ නැති කතාවක්!


තවද එක් සමයෙක්හි අප මහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩ වාසය කරන කල්හි අනේපිඬු සිටාණන්ගෙන් නිරන්තරයෙන් දානමානාදිය ලබන්නේ වරෙක් ඉන් ම‍ඳෙක් ඉවත්ව බුද්ධ වංශය ප්‍රකාරව පිණ්ඩපාතයෙහි වැඩීම යෙහෙකැයි කල්පනා කල සේක.

උන් වහන්සේ පාත්‍රයද විවෘතව ගෙන යටිකුසෙහි තෙරපා මද ජනාකීර්ණ පුළුල් මාවතක් පසෙකින් සන්සුන් ගමනින් පිඬු සිඟා වඩින්නට වූහ.

මෙකල්හි බුදුන්ගේ කීර්තියත් උන්වහන්සේගේ ධර්මයෙහි ස්වාධීනත්වයත් එහි වූ නොබිඳිය හැකි භාවයත් පිළිබඳව ඊර්ෂ්‍යා සහගතව බුදුන් පර්වශයෙහි ක්‍රෝධ සිත් ඇත්ව සිටි බහිර්ශීල නම් වූ එක්තරා බ්‍රාහ්මණයෙක් වේදයන් කියවා මඳ ඉසිඹුලන ඇසිල්ලේ ආරාමයේ කවුළු තිර අතරින් බුදුන් දිටී. සතුරා දුටු ක්ෂණයෙන් ගිණිදළු ලා සිරුර වෙලාගත් ක්රෝධයෙන් අනූනව මෙකී බ්‍රාහ්මණයා වහා මාවතට පිළිපන්ව බුදුන් මග අවුරා බුදු නෙතට මුහුණ ලා සිට හොත්තේය.

තම ගමන ඉදිරියේ අදිසියේ පහළ වූ රූපකාය දෙස නොබලාම ඒ පහළ වූයේ යහපත් අරමුණකින් නොවන බව වටහාගත් බුදුරජාණන් වහන්සේ ‘මොහු හා මුහුණ බැලීමෙන්ම අර්ථ විරහිත අගතියක්ම වේය’යි සිතා බහිර්ශීල බ්‍රාහ්මණයා මගහැරයාමට දකුණු පසට පා තැබූහ. එකෙණෙහිම බහිර්ශීලයාද ස්වකීය වම්පසට බරවී නැවත බුදුන් මුහුණ ලා ‍සිටියේය. එවිට බුදුන් තම වම් පසට හැරී නැවත බහිර්ශීලයන් මගහැරීමට තැත් දැරූහ. එකල්හි නැවතත් බහිර්ශීල තෙම බුදුන් අභිමුඛ වන ලෙසට තම දකුණු පසට බර වීය.

බහිර්ශීලයන්ගේ දුෂ්ට අභිප්‍රාය වූයේ බුදුන් හා ගැටුමක් නංවා තම වේද දැනුමින් බුදුන් පරාජය කොට මාවතෙහි යනෙනා මගීන්ගෙන්ද දුෂ්ට බස් අසවන්නට සලස්වා උන් අතර බුදුන් අවමානයට පත්කරලීමටය. එහෙත් ඉවසිලිවන්ත වූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ගොඩනැගෙන්නේ තේරුම්සහගත කිසිවක්ම නොවන බව වටහාගත්තේ බහිර්ශීල මගහැරයාමටම තැත් දැරීය. අවසන බහිර්ශීල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ උරයට තම අත ගසා තදින් තෙරපා උන්වහන්සේ නවතාලීය.

“වහසි බස් දොඩන ශ්‍රමණය, මා හා සම්මුඛ වන්නට මැලි වන්නේ කිම්ද? තට එතරම් කඩිනමක් කිමද?”

බහිර්ශීලයා ගුගුරාලීය.

“පින්වත් බ්‍රාහ්මණය, මා කුසගිනි නිවාගනු පිණිස යමක් සොයාගැනීම පිණිස පිණ්ඩපාතයෙහි වඩින්නෙමි. තොපට අවැඩක් වන කිසිවක් මා සිදුකර නැති බව තොප දන්නවා ඇත. මාගේ මග අවුරන්නේ කිමද?”

බුදුරාජාණන් වහන්සේ කරුණා වදන් බහිර්ශීලයන් වෙත මුදාහල සේක.

එහෙත් බහිර්ශීල බ්‍රාහ්මණ තෙම කිසිවක් අත්හැර දැමීමට සූදානම් වූවෙක් නොවේ. වේද ශාස්ත්‍රය සමගින් තර්ක ශාස්ත්‍රයද ඔහු මැනවින් ප්‍රගුණ කර සිටියෙකි.

“මා හට අවැඩක් සිදුකළ බව ‍තොපට සිහි නොතිබුණාට කලයුත්තක් මට නැත. තා තාගේ වහසි බස් දෙඩීම ඇරඹූ දා පටන් කළේ මා හටත් මාගේ දහමටත් නින්දාවක්මය.”

“බ්‍රාහ්මණය, මා ඔබටවත් ඔබගේ දහමටවත් නිගරුවක් කියා නැත. මා හුදෙක් මවිසින් ගවේෂණය කර සාක්ෂාත් කරගත් කාරණා ගැන පමණක් දේශනා කරන්නෙමි. තොපගේ දැනුම අනුව තොප මාගේ වහසි බසට කන් යොමුකරවූවා නම් තොපගේ බුද්ධි මහිමය අනුව තොපටම එය අවබෝධ වී ද තිබිය යුතුය.”

බහිර්ශීලත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවෙමින් පවතින වාදයට යොමුවෙනු වස් ආරාමයේ හුන් බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයෝ පිරිසක්ද බහිර්ශීල අසලින් පෙළගැසී සිටගති.

“තගේ වහසි බස් තා තියාගනුව. තා මේ නගරයේ වැසියන් මුළා කරන්නේය. සිටාණන්ද මහ රජුන්ද රවටා අනුග්‍රහ ලබන්නේය. උන් අප කුලය කෙරේ බිඳවන්නේය. අප හට උවටැන් කල වැසියන් මුළාවෙන් වශී කර උන්ගේ උවටැන් ලබන්නේය.”

“බ්‍රාහ්මණය, මා කිසිවෙකු රවටා නැත. උවටැන්ද යැද නැත. ප්‍රභූ හෝ වේවා දිළිඳු හෝ වේවා මට එහි දුහුවිලි පිඩක් බඳු වූද වෙනසක් නැත. මාගේ ධර්මයේ අර්ථයක් දැක ඉන් තම ජීවිතය ආලෝකමත් කරගත්තෝ මා හටත් මාගේ ධර්මයටත් සඟරුවනටත් අනුග්‍රහ දක්වන්නෝ වෙති. මා ඒ කිසිවක් සඳහා යදින්නෙකු නොවේ. මා ඒ මත යැපෙන්නෙක්ද නොවේ...”

බුදුන්ගේ කරුණා වදනත් බහිර්ශීලයන්ගේ ගොරහැඬි භාෂිතයත් කරණ කොටගෙන සිය ගණනක් ජනයා මේ අවනඩුව වටා රොක්වන්නට විය. ඇතැමුන් බහිර්ශීල වෙත පක්ෂවද ඇතැමුන් විපක්ෂවද උනුන් අතර රහසින් හේතු මුමුණන්නට වූහ. වැසියන් ඇතැමෙක් උපේක්ෂා සිතින් නිහඬව සවන් යොමු කල අතර බුදුන් සරණගොස් හුන් ඇතැමුන් බුදුන් තෙපලන වදනක් පාසා සාධුකාරය දෙන්නට විය. සහය පල කරන්නට වූ ඇතැම් පිරිසක් බහිර්ශීලයා සහ බුදුන් වහන්සේ විසින් දොඩන වදනක් පාසා ඔල්වරසන් දෙමින් කෑ ගසන්නට වීය.

රැස්වී සිටි වැසියන්ගෙන් ‍තමා වෙත ලැබෙන උත්තේජයෙන් ප්‍රාණවත්ව ඔද වැඩී බහිර්ශීල තෙම ගුගුරන්නට විය.

“තාගේ කෙරුම් ගැන තා එසේ කීවාට සැබෑව ලොව දනී. තා මේ දනව්වට නිග්‍රහයෙකි. අපගේ පුරයෙන් තා නෙරපිය යුතුය. එතැනින් නොනැවතී තා මේ දේශයෙන්ද පිටමං කල යුතුය.”

“එසේය... නිවට ශ්‍රමණය... තා මේ දේශයේ මායිමෙන් පිටමං කල යුතුය. තා මේ දේශයටම නින්දාවකි. දේශයට මුළාව වගුරුවන බරකි.”

“ලොව ඇරඹි දා පටන් ලෝ වැසියන් අර්ථයෙන් පෝෂණය කල අපගේ වේදයන් තා හෙළාදකින්නේය. තාගේ මුග්ධකම ඉන්ම ප්‍රදර්ශණය වන බව නොපෙනේද? තා අපගේ පාරම්පරික දැණුම පාගා ඒ මත සිට මුසාවාද පතුරුවන අධමයෙකි. වහා මෙරටින් පිටවෙව.”

“මෙතුවක් අපගේ ශාස්ත්‍ර ඇසුරෙන් උපදෙස් ලබා රට පාලනය කල රජුන්ද මේ වහසි බස් දොඩන්නා විසින් මුලාවේ හොවා ඇත. මෙතුවක් සාමයෙන් පැවතුණු දේශය තොපගේ මුසා කියුම් වලින් බෙදී වෙන් වී යන්නේය. තා වහා මෙරටින් පිටමං කල යුතුය.”

බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයන්ද වාදයට එකතු වී බිරුසම් දෙන්නට විය.

බ්‍රාහ්මණයන්ගේ කෑ ගැසීම විසින් වාදය කෙමෙන් අරගලයක් බවට පත් කල අතර වටකොට සිටි ජනයා අතරින් සියුම්ව ඇරඹි වාග් හරඹය එකිනෙකා පොරබැදීමක් බවට පත් වීය. බුදුන් හා බහිර්ශීල වටා හුන් සාමාන්‍යය ජනයා දෙපිරිස එකිනෙකා අවුළුවා පොරයෙහි යෙදුණු අතර ඉන් ඔද වැදුණු බ්‍රාහ්මණ ගෝල පිරිසෙහි නොදැමුණුන් කීප දෙනෙක් බුදුරජාණන් වහන්සේ තෙරපාලීමටත්, පොළොවේ පෙරළාලීමටත් උත්සාහ ගති.

එහෙත් එම ස්ථානයෙහි රැඳී සිටි විහාරය අසල මාවත් පිරිසිදු කරන බුදුන් දහම් අසා පැහැදී හුන් කම්කරු පිරිසක් බුදුරජාණන් වහන්සේ වට‍කොට උන්වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ග්‍රහණයෙන් මුදවා පසෙක වූ ගසක් මුලට කැඳවා ගෙන ගියෝය.

මෙකෙණෙහිම මාවතේ දුහුවිලි අවුස්සමින් අනේපිඬු සිටු වාසල ප්‍රධාන සෙනෙවියා ප්‍රමුඛ අසරුවන් පිරිසක් පවන් වේගයෙන් එම ස්ථානයට පැමිණියෝය. වහා ගැටුම් නතර කල ජනයා රක්ෂා ස්ථාන කරා පසුබෑ අතර ගැටුමට මුල් වූ අන්ත පාක්ෂිකයන් කිහිප දෙනෙක් පමණක් බහිර්ශීල ප්‍රමුඛ බ්‍රාහ්මණයන් වටා රැඳී සිට අවසන් මොහොතේ හිස් ලූ අත දිව ගියෝ බහිර්ශීල ස්වකීය ගෝලයන් සමගින් තනිව සිටගති.

සිටු ආරක්ෂකයන් බහිර්ශීල හා උහු ගෝලයන් වටකොටගත්තේ වහා උන් බිම දණ ගැස්වීය. ප්‍රධාන සෙනෙවියා බුදුන් අසලට ගොස් වැඳ වැටුණේය.

“ස්වාමීණී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට මිසදිටුවන් අඩන්තේට්ටම් කරන බව වාත වේගයෙන් වාසලට සැලවීය. අප මහසිටුතුමා කෝපයෙන් සැලෙයි.”

“සෙනෙවිය, සිටුතුමාවත් ඔබවත් කවුරුන්වත් එසේ කෝප වීමට අවශ්‍ය නැත.”

බුදුරජාණන් වහන්සේ ‍බිනීය.

“බහිර්ශීල සහ ගෝලයන් තම නොදැමුනු බව පෙන්වාලූවා පමණයි. ඔවුන් මට හානියක් කළේ නැත. මා ගතේ එක් සීරීමකුදු රහිතව රක්ෂා සහිතව සිටින බව සිටුතුමා වෙත සැල කරන්න.”

“එසේය ස්වාමීනි, එහෙත් මේ නීචයන්ට දඬුවම් පැමිණවීමට අපහට අණ ලැබී තිබේ. ඔබ වහන්සේගේ අවසරය සහිතව මම මුන් කුදලා වාසලට ගෙන යමි. අවසර ස්වාමිනි...”

ප්‍රධාන සෙනෙවියා නැගිට බහිර්ශීල ඇතුළු පිරිස යදම්ලෑමට අනෙකුත් ආරක්ෂකයින්ට සන් කළේය.

“නවතින්න සෙනෙවිය...”

බුදු රජාණන් වහන්සේ ඉදිරියට විත් ආරක්ෂකයන් වලකාලීය.

“මාගෙන් අයෙකුට දඬුවම් පැමිණවීමට අවසර ඉල්ලීමට තරම් සිටුතුමා මා කෙරේ අව‍බෝධ හීන වීද? මොවුන්ට දඬුවම් දීමට අවසර මාගෙන් ලැබෙන්නේ නැත. මොවුන්ව නිදහස් කරන්න.”

“එහෙත් ස්වාමිනි, මොවුන් ඔබතුමාට කෙනෙහිලිකම් කළෝය. ප්‍රසිද්ධියේ ඔබ වහන්සේට නිග්‍රහ කළෝය. අවමානයට පත් කළෝය. මොවුන් යළි එවැන්නක් නොකිරීම පිණිස දඬුවමට ලක් කල යුතුයි...”

“නැත සෙනෙවිය. වෛරය සන්සි‍ඳෙන්නක් නොවේ. වෛරය මාගේ දේශනයෙන් ඉවතහල යෙදුමකි. මා ඒ වෙනුවට මොවුන් වෙනුවෙන් මෙත් වඩමි. මොවුන් මුදා හරින්න. ඔවුන්ට නියමිත දණ්ඩනය ඔවුනගේම කර්ම ශක්තිය අනුව ලැබෙනු ඇත.”

“නැත ස්වාමිනි, ‍අප හෝ මෙම කම්කරුවන් මෙහි නොවන්නට මොවුන් ඔබවහන්සේට තුවාල සිදු කරන්නටද ඉඩ තිබුණා. ඔබවහන්සේගේ ජීවිතයට පවා අනතුරක් කරන්නට ඉඩ තිබුණා. මොවුන් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි”

“ඔබ පවසන අයුරු මාගේ කර්ම ශක්තිය අනුව මා මෙතැනදී බහිර්ශීලයන් අතින් පිරිනිවන් පාත්‍ර වූවා නම් සහ එය වැළකීමට කිසිදු ක්‍රමයක් නොවූවා නම් එය එසේ සිදු විය යුතු වූවක්. එහෙත් එය එසේ සිදු වූයේ නැත. එසේ හෙයින් උපකල්පිත අපරාධයක් හේතුවෙන් මොවුන්ට දඬුවම් දීමට අවශ්‍ය වන්නේ නැත. මට අහිමි මා ගැන මා කරදර වන්නේ නැත. මාගේ ධර්මය ලෝවැසි සියලු දෙනාටම මෛත්රි ය වැඩීම මත පදනම් වූවක් වන්නේ එලෙසයි. ඔබට මා යම් පමණකින් හෝ අගයක් වේ නම් වහාම මොවුන් නිදොස් කොට වාසලට පිටව යන්න.”

බුදුරජාණන් වහන්සේ නිගරුවට ලක්වන බව සවන් ලූ ඇසිල්ලේ සිට උණුසුම්ව හුන් ප්‍රධාන සෙනෙවියා බුදුන්ගේ මෙම වදනින් සිසිලසට ලක්වීය. හෙතෙම නැවතත් බුදුන් වහන්සේ වන්දනා කළේය.

“ස්වාමීනි, ක්ෂමා කළ මැනව. ඔබ වහන්සේ කෙරේ ඇති අපමණ භක්ත්‍යාදරය හේතුවෙන් මා හට ඔබවහන්සේගේ ධර්මය අමතක වී ගියේය. අප මහ සිටාණන්ද මෙවෙලේ ඇත්තේ එලෙසින්මය. ඔබට සිදුවූ ගැහැට සවන් වැටුණු ක්ෂණයෙන් බහිර්ශීල බ්‍රාහ්මණයා තලාපියා දඟගෙට යැවීමට එතුමා ගුගුළේය. අප කෙරේ අනුකම්පාවෙන් වාසලට වැඩම කර අප මහ සිටාණන් කෝප සිඳනු වස් එතුමාණන් වෙත ධර්ම දේශනා කළ මැනව.”

“එසේය සෙනෙවිය. මා විහාරයට වැඩම කර දන් වළඳා සවස් යාමයේ වාසල වෙත පැමිණෙන බැව් ඔබ දැන් පිටව ගොස් සිටාණන් වෙත සැලකරන්න.”

ප්‍රධාන සෙනෙවි ඇතුළු ආරක්ෂක පුරුෂයන් බුදුන් වහන්සේ එම ස්ථානයෙන් නික්මෙන තුරු බහිර්ශීල ඇතුළු ගෝල පිරිස රැකවල් ලීමට සූදානම් විය. බුදුන් බහිර්ශීල දෙසට අවධානය යොමු කල සේක. බහිර්ශීල තෙම බිම වැටී දුහුවිලි වැකී මුඛයෙන්ද හුස්ම පිඹිමින් හුන්නේය. ආරක්ෂකයින් ඔහු හා ගෝලයන් වටකොට සිටගෙන සිටියෝය.

“බහිර්ශීලය... මා කිසිවකුට අයිති නැත. අවම ලෙස මා මටද අයිති නැත. එබැවින් මා හට තැවෙන්නට කිසිවක් නැත. මගේ ධර්මය ප්‍රකාශ කිරීමේ කුසලතාව මා වඩා තිබුණද ධර්මය මාගේ යමක් නොවේ. එය ස්වභාවධර්මයේ ඇති සත්‍යය මාගේ දැණුමින් හා විග්‍රහයෙන් ප්‍රකාශ කිරීමක් පමණි. මා හට අයත් වූවක් නොවේ. සත්‍ය වශයෙන්ම එයද පරම සත්‍යය වන සියල්ලෙහි ඇති නැසෙනසුළු භාව ප්‍රකාර වූ ස්වභාවධර්මයාගේ අර්ථයන්ට යටත්ව කලෙකදී නැති වී යන්නකි. ‍එහෙයින් මා ඒ ගැනද නොතැවෙමි. ඔබම මොහොතකට පෙර ප්‍රධාන සෙනෙවි තෙම කෙරෙන් දුටු ලෙස භක්තියෙන් අන්ධ වූ කළ ධර්මය නොපෙනී යයි.

ඔබ ඔබගේ ධර්මය බදා වැළඳ සිටියි. ඊට භක්තිමත්ව සිටියි. එහෙත් එතුළ ඇති හර ඔබට නෙපෙනී ගොස් ඇති සෙයකි. ඔබ ඉන් ඉගෙන නොගනී. එය නැතිවේ යැයි බියෙන් සිටී. සදාකල් එය රැක්මට හැකැයි සිතා එය ආරක්ෂා කරයි. එහෙයින් එය අන් ධර්මයන් කෙරේ වෛරයම පතුරුවයි. අන් ධර්මයක් ඔබේ සතුරකු කරගනියි.

ඔබ අවබෝධ කටයුත්තේ සදාකල් පවතින්නක් නොමැති බව නොවන්නේද? එසේනම් හැකි තරම් යහපත් වීමට ක්‍රියා කරනු විනා කළ හැකි අන් යමක් වේද? යහපත් වූ අදහස් ගොන්නක් වෙත භක්ත්‍යාදරය පාමින් එම අදහස් සුරකිමින් එහෙත් එය අමතක කර එයට විරුද්ධ සෑම දෙයක්ම විනාශ කරන්නට යාමෙන් ඔබේ වෘතය ආරක්ෂා වේද? ඔබට සිතන්නට ඇති ඉඩ බොහෝමයි බහිර්ශීලය...

මාගේ ධර්මයේ වෛරය නැත. එහි ඇත්තේ හුදෙක් මෛත්‍රිය පමණි. එහෙයින් ඔබටද මාගෙ මෛත්‍රිය හිමිවේ. ඔබ මගේ සතුරකු නොවේ. යන්න. නැගිට ගොස් හොඳින් ස්නානය කර පිරිසිදු වී ඔබගේ අද දවස නැවත විමසීමක යෙදෙන්න. ඔබට ඔබවම ගැටලුවක් වන ඕනෑම මොහොතක මා ඔබට උදව් කිරීමට සූදානම්...”

බුදුරජාණන් වහන්සේ බහිර්ශීල වෙත දීර්ඝ ලෙස අවවාද කොට නැවත ශාන්තව පිණ්ඩපාතයෙහි වැඩීම පිණිස නික්ම ගිය සේක.

බහිර්ශීල බ්‍රාහ්මණයා ආරක්ෂකයන්ගේ දෙපා අතරින් පෙනෙන සන්සුන් ගමනින් ඉවතට වඩින බුදුන් දෙස දෑස් අයා සිටියේය.

විකල්ව ඇවිස්සී ඒ මේ අත විසිරී තිබූ තම සිත තුළ මහා සැනසීමක සලකුණු කෙමෙන් පහළවන බැව් ඔහුට දැනෙන්නට විය.

14 comments:

  1. මාරයි බන්.
    වෙන මොනා හරි කිව්වොත් අගේ අඩු වෙයි කියලා බයයි.

    ReplyDelete
  2. “බහිර්ශීලය... මා කිසිවකුට අයිති නැත. අවම ලෙස මා මටද අයිති නැත. එබැවින් මා හට තැවෙන්නට කිසිවක් නැත. මගේ ධර්මය ප්‍රකාශ කිරීමේ කුසලතාව මා වඩා තිබුණද ධර්මය මාගේ යමක් නොවේ. එය ස්වභාවධර්මයේ ඇති සත්‍යය මාගේ දැණුමින් හා විග්‍රහයෙන් ප්‍රකාශ කිරීමක් පමණි."
    තව මේ වගේ කතා ලැබුණොත් දාන්න :-)

    ReplyDelete
  3. මට මේක කියෙව්වම සද්ධර්මරත්නාවලිය හරි ජාතක පොත හරි මතක්වුණේ. ඒත් මේ පොතේ නැති කතාවක් නෙව. තවත් මේ වගේ කතා ලියන්න :-)

    ReplyDelete
  4. / ඔබ ඔබගේ ධර්මය බදා වැළඳ සිටියි. ඊට භක්තිමත්ව සිටියි. එහෙත් එතුළ ඇති හර ඔබට නෙපෙනී ගොස් ඇති සෙයකි. ඔබ ඉන් ඉගෙන නොගනී. එය නැතිවේ යැයි බියෙන් සිටී. සදාකල් එය රැක්මට හැකැයි සිතා එය ආරක්ෂා කරයි. එහෙයින් එය අන් ධර්මයන් කෙරේ වෛරයම පතුරුවයි. අන් ධර්මයක් ඔබේ සතුරකු කරගනියි. /

    / ඔබ අවබෝධ කටයුත්තේ සදාකල් පවතින්නක් නොමැති බව නොවන්නේද? එසේනම් හැකි තරම් යහපත් වීමට ක්‍රියා කරනු විනා කළ හැකි අන් යමක් වේද? යහපත් වූ අදහස් ගොන්නක් වෙත භක්ත්‍යාදරය පාමින් එම අදහස් සුරකිමින් එහෙත් එය අමතක කර එයට විරුද්ධ සෑම දෙයක්ම විනාශ කරන්නට යාමෙන් ඔබේ වෘතය ආරක්ෂා වේද? ඔබට සිතන්නට ඇති ඉඩ බොහෝමයි බහිර්ශීලය /

    කියන්නට වදන් නොමැත්තේ හෙයින් කිසිවක්ම නොපවසමි.

    දැවෙන ගිනියම් වූ සිත් සතන් සිහිල් වී නිවී සැනසේවා!!!, පමණක්ම පවසන්නට මට අවසර,

    ReplyDelete
  5. දුකා - අවුලක් නෑ තැවෙන්න හේතුවක් නෑනේ.. ;-)

    මජී - කතා ලැබුණොත් නෙවෙයි හිතුණොත් දාන්නං :D ඔය කියල තියෙන පොත් දෙකේ රටාවත් එක්ක අපේ එච්.ඒ.කේ. පිස්ස මහත්තයගෙ ඉට්ටයිල් එක අනුව තමයි ලියන්න හිතුවෙ. ඒ තරම්ම හරි නෑ... :-S

    රවි - ඔයා උපුටපු කොටසේ කතාව අවුරුදු දෙදාස් පන්සීයක් තිස්සෙ අහලත් ‍ඉගෙන නොගත්තු එකේ මේක මොකක්ද :D

    ReplyDelete
  6. මේ නම් මා වැනි නිර්-ආගමිකයෙකුගේද සිත් නිවාලන අපූරු බනකි!

    ReplyDelete
  7. පටේ පට්ටය. අතිශයින් කාලීනය. බ්ලොග් කරුවන් ගේ පෙළපොත්/ටියුටෝරියල් ඇත්නම් නිර්දේශ කල යුතු වේ.

    මගේ තෙරුමේ හැටියට බුදුහාමුදුරුවෝ හිටය නම අද බුද්ධාගම දකින්නේ බමුණු වාදයක් හැටියට. ජේසු තුමා මර්ධනය කල යුදෙව් අධිපති වාදය වගේ තමයි කතෝලික පල්ලිය පසුකාලීනව හැසිරුනේ. යටත්විජිත වාදීන් විසින් ගොඩ නගපු දේශීයත්වය හෙලා දකින ක්‍රම වෙදයම නේද නිදහසින් පස්සේ බලවත් වූ දේශීය මතවාද අනෙක් මත සම්බන්ධයෙන් අනුකරණය කරන්නේ.

    සතුරා/පිඩකයා කොපි කිරීම මානව චින්තනයේ ලක්ෂණයක් ද?

    ReplyDelete
  8. ඉතාම සාර්තක ලෙස බුදු දහමේ සාරය ඔබ මේ ලිපියට ගොණුකරතියෙනවා. 'බණ' නොව ප්‍රායෝගික වීම. ඉඩක් ලැබුණොත් මේ දක්වා ඇති මගේ ලිපිය හා ඒ යට ඇති කොමෙන්ට්ස් සියල්ල කියවන්න. මට පුළුවන් ප්‍රමාණයට ගත්ත පුංචි උත්සාහයක්. http://pitastharayablog.blogspot.com/2010/04/blog-post.html#comments

    අපිට කිසි සම්බන්ධයක් නැති තත්ත්වයක දී මෛත්‍රිය ඇගයීමට ලක්වුණාට අපේ ඇත්ත ජීවිතයට අදාල තැන්වල දී නම් ලැබෙන සමහර ප්‍රතිචාර හරිම භයානකයි :)

    ReplyDelete
  9. රිටිගල - උපතින් බෞද්ධ මාක් එක ගහල තිබුණට දැන් පිළිගැනීම අනුව නම් ‍මාත් නිර්ආගමික තමයි. හැබැයි ඕන වෙලාවෙදි බැම පෙරලී වන්දනා කරන්න පුළුවන් මරිසියත් එක්ක ;-)

    සුජීව - ඔය ප්‍රතිවාදියා කොපි කිරීම කියන එක ජෛව සාධකයක් කියල මට හිතෙන්නේ. ප්‍රතිවාදියා ගලකින් ගැහැවම ප්‍රතිවාදියාට ගහනවා ඊටත් ලොකු ගලකින්‍... :D

    ReplyDelete
  10. පි2 - ඔයාගෙ සටහන මම ඒ දවස් වලම කියෙව්වා... කමෙන්ට් ලියලල තියෙන බව දැක්කෙ නම් දැනුයි. ඔයා කියන කතාව ඇත්ත. චිත්‍රපටියක් බලල, නැත්තං තමන්ගෙ නොවෙන කෙනෙක්ගෙ ජීවිතේ දිහා බලල සංවේදී වෙන අය ඒකම තමන්ට වෙද්දි මරුමුස් වෙන අවස්ථා ඕන තරමි.

    හරියට ගෙදර ගෑණිට තඩිබාන ගමන් කාන්තා විමුක්තිය ගැන කතා කරනව වගේ වැඩක් ඒක.

    මේක ලියන මමත් කියවන හැමෝමත් අඩු වැඩි වශයෙන් එහෙම නෙවෙයි කියල කියන්න බෑ.

    ReplyDelete
  11. ela kiri...
    මා කිසිවකුට අයිති නැත. අවම ලෙස මා මටද අයිති නැත. එබැවින් මා හට තැවෙන්නට කිසිවක් නැත...

    ReplyDelete
  12. ස්තූතියි සබන් :D

    ReplyDelete
  13. ඉතා අනර්ඝයි. ඔබේ බ්ලොග් එකේ ලින්ක් එක ශ්‍රී ලංකාවේ දේශපාලනය පිටුවට දැමීම ගැන ඉතාමත්ම ස්තුතියි.

    ශ්‍යාමන්

    ReplyDelete
  14. ශ්‍යාමන් - කමෙන්ටුවට ස්තූතියි. ඒත් ඔයා කියන කතාව මට පැහැදිලිනම් නෑ... කවුරු හරි මාව ෂෝ කේස් එකේ දාලද?

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!