Wednesday, 2 January 2013

ඉතිරි පෙරේතයා


පොඩි කාලෙ ටීවී එකේ තියෙන ටෙලි නාට්‍ය බලද්දි මේ වැඩේ ගොඩක් දෙනෙක්ට වෙලා ඇති. ඔය ඒවයෙ කෙල්ලො කොල්ලො, යාළුවො එහෙම හෝටලේක මේසයක් වටේ ඉඳගෙන බීම බොන සීන් තියෙනවනේ. ඒවයෙදි සමහර වෙලාවට එයාල එතනින් නැගිටල යන්නෙ අර බීම වීදුරුවෙ බාගයක් විතර ඉතිරි වෙලා තියෙද්දි. ඒක දකිද්දි පුංචි කාලෙ මටනං තද වුණා.

ඇයි උන් ඒ ටිකත් බීල නැගිටින්නෙ නැත්තෙ? මං හිටියනං අනිත් උන්ගෙ ඒවත් එක්ක බොනව. උන්ට ඕන තරං ඇති සල්ලි බීම බොන්න. උන් කො‍හොමත් හැම සතියෙම ඔහොම බීම ඉතිරි කරල යනව. ෂික්... අපට නෑනේ...

ඒ දවස්වල පැණි බීම කියන්නෙ ටිකක් විතර පොෂ් බීමක්. අපේ ‍තාත්තලට කවදාවත් ඒව බොන්නවත් අපට අරන් දෙන්නවත් උවමනාවක් වෙලා නෑ. ඒ වුණාට තාත්ත එක්ක ටවුමෙ රවුමක් දාපු දවසකටනං සමහර වෙලාවට එහෙම චාන්ස් එකක් වදිනව. ඒ දවස්වල තිබුණෙ ඒවට පෙරේතකම. ඒ කාලෙ හිතුවෙ රස්සාවක් කරල සල්ලි හම්බ වුණාම මුළු කඩේම තියෙන බීම සල්ලි වලට ගන්න ඕන කියලා.

ඒ වුණාට රස්සාවල් කරන්න ගනිද්දි අපේ අවශ්‍යතාවයන් වෙනස් වෙලා...

හැබැයි තාමත් ඔහොම ටෙලිවල, චිත්‍රපටිවල බීම ඉතිරි කරල නැගිටල යන එක මාව අවුස්සන සීන් එකක්.

පොඩි කාලෙ ඇපල් ගෙඩියක් කියන්නෙ මාර දුර්ලභ පලතුරක්. ටවුමෙ බස්ටෑන්ඩ් එක ගාව ලොකු පළතුරු කඩේ විතරයි ඇපල් තිබුණෙ. ඒවත් අර නියම ඇපල් හැඩේ තියෙන රතු පාට ඒවා. ඒ කාලෙ ඒව අපට අරන් දෙයි කියල හීනෙන්වත් අපි හිතන්නෙ නෑ.

හැබැයි තාත්ත රාජකාරිවලට කොළඹ ගිහින් එනකොටනං ඇපල් ගෙඩි දෙක තුනක්, රඹුටන් වල්ලක් වරදින්නෙ නෑ. හොඳම වැඩේ ඒ ඇපල් කන්න ලැබෙන විධියයි. කවදාවත් අපට ඇපල් ගෙඩියක්ම කන්න අවස්ථාවක් නෑ. අර අඹ කනව වගේ. ඒ කාලෙ අඹනං ඕන තරං. සත විසිපහ, පණහ වගේ ගණංවලටයි මතක කාලෙදි අඹ කෑවෙ. නමුත් අපට ඇපල් නං හම්බවුණේ කෑල්ලක් විතරයි. තියෙන ගෙඩි කීපය ‍කට්ටිය අතරෙ බෙදෙද්දි එහෙමයි වුණේ.

ඒ නිසාම ඇපල් කෑල්ලෙ ඇටයි නැට්ටයි ඇර අනිත් සේරම කනව. ඇට තියෙන හරියෙ කන්න බැරි විධියෙ කොටස් ටිකත් කාල දානව.

ටීවී එකේ කට්ටිය ඇපල් කන්නෙ මැද නාරටියක් වගේ ඉතිරි කරල. හරියටම ඇපල් ගෙඩිය වටේට කෑලි කඩාගෙන කාල. සෑහෙන්න ඉතුරුයි. උන් ඒ ඉතිරි කෑල්ල නිකංම විසි කරනව. මගේ ගණනය කිරීම් අනුව ඒ කොටසෙ ඇපල් ගෙඩි බාගයක්ම තිබුණා. ඒ නිසා ඒව දකිනකොටත් මාව ඇවිස්සුනා...

පස්සෙ කාලෙදි අපි ඇවිස්සුනෙ මිනිස්සු සිගරට් කොට බාගෙට බීල විසිකරන එකට. අපි කිව්වෙ ඔය චිත්‍රපටිවලට නිතර සෙට් වුණ ගනේගොඩ, නලිය සහ මම. ඔය කව්බෝයි චිත්‍රපටිවල පේන්නම බැරි එක තමයි සිගරට් එක බාගෙට බීල විසි කරන එක. සමහර වෙලාවලදි නළුවො සිගරට් එක පත්තු කරල අතේ තියාගෙන වෙන කතාවක් දාගෙන ඉන්න එකටත් අපට තද වුණා. අඟලක් විතර අළු වෙනකල් ඌ ඒක අතේ තියාගෙන කතාව. සමහර වෙලාවට සිගරට් එක ඈෂ් ට්‍රේ එකේ තියල යන එකටත් අපි නොසන්සුන් වුණා. උන්ට කිසි අගයක් නෑ...

අනිත් කාලකන්ණි තමයි බොනකොට කට වටේ හලාගන්න උන්. ඒක මාර අපරාදයක්. සමහර උන් බෝතලේ කටේ තියාගෙන කට දෙපැත්තෙං වැක්කෙරෙන ගමන් බොනවා... පොඩ්ඩක් විනයක් ඇතිව බිව්වනං තව ෂොට් එකකට බඩු ඉතිරි කරගන්න තිබුණා. බොන්නෙ විනය ටිකක් කඩාගන්න වුණාට බොද්දි විනයක් තියෙන එක හොඳයි.

ආයෙත් හිතට දුකක් දැණෙන වෙලාවක් තමයි යෝගට් එකක් හෙම කන වෙලාව. යෝගට් එක කාලා අඩියෙ ඉතිරි වෙන ටික හැන්දෙන් ගන්න අමාරු වෙද්දි ටිකක් අවුල්. හරකෙක්ට වගේ දිවක් නැති එක ගැන දුකක් දැණෙන වෙලාවක් ඒක. එහෙම තිබුණ නම් මූණෙ ගාගන්නෙ නැතිව යෝගට් කෝප්පෙම පොලිෂ් කරා වගේ ඉවර කරන්න තිබුණා. ඒහෙම කියලා දැනටත් තැන නොතැන නොබලා පෙරේතකම ආවොත් යෝගට් කෝප්පෙ අඩිය දිවෙන් සුද්ද කරන්න ට්‍රයි කරන එක ජොලි වැඩක්.

ඔයිට අමතර සමහර දේවලුත් කිසි ගානක් නැතිව පාවිච්චි වෙනව මට පේනව. හැබැයි ඒව තාම තද වෙන විධියෙ ඒව නෙවෙයි.

11 comments:

  1. සහතික ඇත්ත. ඕක මටත් හිතිල තියනව. විශේෂයෙන්ම සිගරට් කොටේ විසි කරද්දි.

    ReplyDelete
  2. කොටේ අදින්න මාර මාකට් එකක් තියෙන්නේ අපේ රටේ . ඒ උනාට ඒක හොඳ වැඩක් නෙමෙයි. සිකැරට් එකේ දරුණුම හරිය තමයි ඒ..

    අර චිත්‍රේ නම් ඉස්තරම් කොළුවෝ..... අනර්ඝයි....

    ReplyDelete
  3. හැබැයි ඉතිං ගොඩක් වෙලාවට අන්තිම ශොට් එක දාලා තමයි වැඩේ ලෙඩේ වෙන්නේ!

    ReplyDelete
  4. හරේ මේ කතාව මෙච්චර දිගටම කියල දැම්මට මේ කතාව ලියන්න ඕනෙ නිමිත්ත තියෙන්නෙ මෙන්න මේකෙ කියලා තමයි මට නම් හිතෙන්නෙ......

    "ඔයිට අමතර සමහර දේවලුත් කිසි ගානක් නැතිව පාවිච්චි වෙනව මට පේනව."

    ReplyDelete
  5. මේ කතාව කියෙව්වාමයි මතක් වුනේ මම කවදාවත් සිගරට් එකක් ඉවර වෙනකම් බොන්නේ නෑ නේ කියලා.
    මට මුල්ම දුම් උගුරු කිහිපයක් එක්ක ඒකේ මට උවමනා වින්දනය ලැබෙනවා.එතනින් එහාට මට ඒක දුකක් නැතිව විසි කරන්න පුළුවන්. පැනි බීම නොබොන හින්දා නොදන්නවා වුනත් සැරබීම බොද්දිත් කොහොමත් ඉතිරි වෙනවා. ඒකටත් අර මුල කියපු හේතුවම වෙන්න ඕනේ. පෙරේතකමට වඩා එන්ජෝයි වෙන්න බොන එක වෙන්න ඇති නේද ඒ? පුහ්.... :පී
    වයින් නම් එහෙම නොබොන්නේ අන්තිම ටිකේ කුඩු තියෙන්න පුළුවන් හින්දා. ඒක නම් හැමෝම කරන දෙයක් නේ.

    ReplyDelete
  6. මම නම් කියන්නේ ඔය විදුරු වල සිගරට් වල විතරක් නෙවයි.. මාළු මස් වල කට්ට උනත් ඉතිරි කරන එක මට පෙන්නන් බෑ.. තෑම අපතේ යවනවා මේ මිනිස්සු හරියට!

    ඉතිරි පෙරේතයා.. මරු නම!

    ReplyDelete
  7. සියල්ලන්ටම කියෙව්වාට අදහසක් දුන්නාට ස්තූතියි! වෙන වෙනම උත්තර බඳින්න කම්මැලිය් අප්පා...

    රුපියල් විසි පහෙන් පහලොවක්ම විසි කරද්දි දුක නැද්ද නේද ;-)
    සිගරැට් එක පිටකොටුව හරියට වඩා මහරගමදි අප්සෙට් තමා :-)
    කොයිතරං නොබී ඉන්න ගියත් අන්තිම ෂොට් එකත් දාගන්නමනෙ හිතෙන්නේ ;-)
    කිව්වත් වගේ කියන ඒවට වඩා නොකියන ඒව ගොඩයි මේ කාලෙ ;-)
    මොනව වුණත් මමනං තාමත් පෙරේතකමටත් බොනවා. එව්ව වයසත් එක්ක හැදෙයි ම‍යෙ හිතේ :-|
    ඔය මාළු කටුවල නං මොනවද කන්න තියෙන්නේ ඔයිට වඩා කටු කද්දි :-S

    ReplyDelete
  8. //...ඒ කාලෙ හිතුවෙ රස්සාවක් කරල සල්ලි හම්බ වුණාම මුළු කඩේම තියෙන බීම සල්ලි වලට ගන්න ඕන කියලා....//

    පොඩි කාලේ මාත් හිතාගෙන හිටියා ටිපිටිප් කම්පැණි එක සල්ලිවලට ගන්න :P

    ReplyDelete
  9. අවතාරුත් කාලයක් බීම බෝතලෙන් බීලා පොඩ්ඩක් ඉතුරු කරලා එන්න පුරුදු වෙලා හිටියා .දැන් නම් ගෙදරින් යැපෙන හින්දා අපරාදේ කියල ඒකත් බීලා දානවා

    ReplyDelete
  10. අම්මප ඇත්ත ඕයි........

    ReplyDelete
  11. මමයි මගේ මිත්‍රෙයකුයි මේ ලඟදි කතා කලා ඇයි දුම්වල බාග සයිස් එකක් නැත්තේ කියලා. කිව්වත් වගේ සමහර වෙලාවල් තියෙනවා බාගයක් බිව්වාම ඇතිවෙන. හැබැයි අපි මත්වතුර බොන්නේ මත් නොවී සෙට් වෙන්නනම් කොකාකෝලා වලිනුත් ඒක කරන්න පුළුවන්. මම නම් බොන්නේ මත් වෙන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහර වෙලාවල් තියෙනවා මේක දැම්මොත් මම වැටෙයි කියලා ටක්කෙටම ෂුවර්. ඒ වෙලාවට මම නම් ලඟ ඉන්න එකාට බොන්න කියනවා මිසක් අරක්කු ඉතුරු කරන්න යන්නේ නම් නෑ..

    කොහොමත් මටත් බීලා ඉවර වෙච්ච මේසෙක ෂොට් 2-3 වීදුරු වල ඉතුරු වෙලා තියෙන එක ටිකක් අවුල් සහගත දර්ශනයක්. ඒත් ඉතිං ඔය තියෙන්නේ ඒ තුන් හතර දෙනාගේ කඩඉම් ෂොට් එකනම් ඉතිං මොනවා කරන්නද? 

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!