මම නිවසට වස්තුවක් ගෙන ආමි. එය නැවුම්ය. නොයිඳුල්ය. සුවඳවත්ය. සුපිරිසුදුය. තවත් පොත් පත්තර පෙරලා සුන්දරත්වය විවරණය කරන වදන් සියල්ලක්ම ගෙන වර්ණනයේ යෙදෙන්නට තරම් එය මනරම්ය. එහෙත් මා මේ කතාව ඔබට කිව යුතුය. එහෙයින් මම පොත් පෙරලන්නට නොයමි.
එය ගෙන ඒමට මට මහා කර්තව්‍යයන් රැසක් කිරීමට සිදු විය. මෙ වූ මහාර්ඝ වස්තුව දුටු මොහොතේ පටන් නිවසට ගෙන ඒම දක්වා ගතවූ දිගු කාලය එලෙසින්ම කීම දුෂ්කර බැවින් සැකෙවින් කියමි.
එය දුටු මොහොත කාලානුරූපීව නිශ්චිත නැතත් එය දිස්වූ මොහොත මා විඳගත් අපූරුව මට හොඳහැටි මතකය. එහි සුවඳට රැවටී පියඹා ආ සමනළුන් රෑනක් ඒ අසලින් පියාඹා ගියේ මා වික්ෂිප්තවමිනි. විහඟ ගී රාවයක් නිරතුරුව ඒ අස රැඳුණේ එය නිරතුරු එලිමහනේ සොබාදහමේ රඳවමිනි... ඒ සියල්ල එක් ක්ෂණයකින් ම සිත වෙලා වශීකෘතකොට ශුන්‍ය වී ගියේ එයත් මාත් අතර හිඩැසද ශුන්‍ය කරමිනි. සමනළුන්ට කෙදිනකවත් පුරවා සැනසෙනු නොහැකි සෞම්‍ය වූ හැඟුම් රාශියක් විසින් එකී හිඩැස පුරවා දමන ලදී... ඉතින් මා ඒ වස්තුව අසල විය.
එතැන් පටන් දින ගණනක්ම මා ඒ අස රැඳුණු අතර නිරතුරුවම මාගේ පුද්ගලික සියලු දෑ නවතා දමා එකී වස්තුව වෙත ආශක්තව හුන්නෙමි. මා ඒ වටා ගී කීයෙමි. කවි ගැයීමි. ගිතාරය තාල භාණ්ඩයක් කොට නිතැතින් ඒ අස්වසනු පිණිස වැයීමි. මා ඒ අස වැතිරී දින ගණන් ගෙවීමි.
ම ජීවිතය මේ මනනන්දනීය වස්තුවෙන් විනිර්මුක්ත කරගත නොහෙන බැව් පසක් වන තුරුම මම ඒ අසල දැවටී හුන්නෙමි. අවසන මම ප්රත්යක්ෂයන් අත්විඳිමි. මා ඉන් තොරව ජීවිතයේ අර්ථ නොදකින බැව් මම ප්රත්යක්ෂ කළෙමි... ඉදින් වහා එහි අයිතිකරුවන් ඇමතීමි.
දිගු කලෙක මතවාදී වාග් සංග්රාමයන්ට පසුව මා ප්‍රමාණවත් තරම් මේ වස්තුව ම සතුකර ගැනීමේ කාරණා වලින් සන්නද්ධ වූයෙමි. එකල්හිම අයිතිකරුවන් වෙත ඉන් දමා ගසා උන් අවනත කරවා කෙටි උත්සව ශ්‍රීයක් මවා පා වස්තුව නිවසට පන්නා ගෙන ආමි.
ඉන් පසු මා නිරතුරුවම වස්තුව වටා ප්‍රීතියෙන් නැටීමි... නැවත නැවතත් ගී ගැයීමි... ඒ සනසාලීමි... ඒ දෝවනය කරලීමි... එය නැවුම්වම තාරුණ්‍යයෙන් තබා ගනු වස් නේක වූ වෛවාරන්න කොස්මෙටිකයන් ගෙනවුත් ගල්වාලීමි. ලත් ඇසිල්ලක පිරිසිදු කලෙමි.
දින සති මාස ගෙවී ගියේ මා හා වස්තුව අතර වූ කුහුල බිඳවමිනි. පෙර ඒ පිළිබඳ නොදැන හුන් අවදියේ චිත්ත මස්තකයේ මැවුම් පෑ දර්ශනයන් තවත් නම් අරුමයක් නොවී හුරු පුරුදු විය. එවිට වස්තුව පිළිබඳ මා නොදැන හුන්නක් නොවීය. මා පිරි නොමැදි තැනක් නොවීය. මා නොදැවටුණු තැනක් නොවීය. මා නුදුටු ඇස නොගැටුණු මුල්ලකුදු නොවීය. මා ආදරය නොකල පෘෂ්ඨයකුදු නොවීය.
අවසන ඒ මා හට කිසිවකුදු නොවීය. හුදෙක් ඒ මගේ අයිතියක් වූවා මිස තවත් මට ඒ සන්තානයේ ආදරයක් නොවීය. මුලින්ම වස්තුව දුටු කෙනෙහි දැණුනු ආශ්වාදය එලෙසින්ම සිත්වදින එක් මොහොතක තෘප්තියක් පමණක් මා සතු විය. ඒ ද කෙමෙන් කෙමෙන් කල් ගනිමින් දැනී නොදැනී ගෙවෙමින් තිබූ දෛනික චර්යාවේ වර්තනයක් ඇතිකිරීමට අසමත් වී ය. සදාකල්ම ස්පර්ශ වේ යැයි උපකල්පිත සිතිවිලි කිසිවක් මා තුල ඉතිරි නොවී වියෝජනය වී යන්නට විය. මා වියවුල්ව තනිවන්නට වීමි.
සැකෙවින්ම මා වරෙක දැඩිව ලොල්ව විසූ වස්තුව කෙමෙන් කෙමෙන් මා තුල අවිශේෂව නිදන්ගතව ඇති සියල්ල මෙන් විශේෂණය නොවී පවතින්නට විය. එහෙයින්ම මා තුල ඒ කෙරේ වූ සැලකිල්ල මදින් මද වියැකී ඒ හුදෙක් මා මෙතෙක් නිවසට ගෙනා සෑම වස්තුවකටම අත්වූ ඉරණම වෙත අනාතගය හොවමින් වී ය.
කලෙක ඇවෑමෙන් මා තරුණ විය ඉක්මවා වයෝවෘධ විය. මාගේ මහාර්ඝ වස්තුවද කෙමෙන් දුහුවිලි නැගී, කඩතොලු වී, රැල් නැගී සුනම්‍ය වූ ලක්ෂණ වියැකී වන්නට විය. මා ඒ පිළිබඳ අවබෝධ හීන ව සිටි අතර තවත් ඒ මා නිවසේ අංගයක් දෝ යන්න නොනැගෙන තරමට ඒ මට එදිනෙදා පසුවන එක් සිද්ධියක් පමණක්ම වෙමින් හොත්තේය. මේ සිතන මොහොතේද එය මා පසෙක පවතින අතර ම සිතේ ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැත්තේ ය. දැන් ඒ ඉවත හෙලා විනාශ කිරීමට කාලයයි.
මා වෛරී නෙතින් ඒ දෙස බලමි. ඒත් මොහොතක් නැවතත් සිත් යොමා බැලිය යුතු බැව් මට හැඟේ.
මා ඉන් උගෙන ඇත්තෙමි. මා ජීවිතය තුල අත්පත් කරගන්නා ලද සියළු වස්තු කෙරෙන් මා අවශෝෂණය කොට නොගත් දෑ රාශියක් මා මෙකී වස්තුවෙන් උකහා ඇත්තෙමි. කලෙක මාගේ සමස්ත තෘප්තියම දරාගත් වස්තුව තවත් එක් වස්තුවක් පමණක්ම යන වග මා උගෙන ඇත්තෙමි. එය මාගේ පරිහරණයෙන් ඉඳුල්ව යන, කුණු වැකී දිරාපත් වන සේම මගේ මසැස තව වරක් රවටන එක් වස්තුවක් පමණක් වුව මට ඒ විනාශ කර දැමුමට සිත් නොදේ. වරෙක එය මාගේ ජීවිතය විය. එක් මොහොතක හෝ මාගේ ජීවිතයේ සමස්ථයම ඒ වස්තුව වෙන ඌණනය වූ නිමේෂයන් මා පසු කර ඇත. එහෙයින් එය ජීවී ලෙස මා පැවැත්වූ සාධකයකි. මාගේ සිහිය නොවිකල්ව පැවැත්වූ මාගේ නේක පිරිමැදීම් හා පෙම් කිරීම් සුවචව විඳගත් නිෂ්චලයකි. මාගේ ආදරය දරාගත් උසුලන්නකි.
මා නැවත ඒ වස්තුව දෙස දෙවූ දෑසින් බලමි.
දකින්න එය!
එසේය. එය මුල් වර මෙන් පැහැපත්ය. නොයිඳුල්ය. මනරම්ය. සුපිරිසිදුය. සුවඳවත්ය.
එය නැවතත් නැවුම්ය.
.............................
සේයාව මෙතනිං
මහාර්ඝ වස්තුව පිළිබඳ කෙරුණු විග්‍රය මහාර්ඝය. නැවුම්ය.
ReplyDeleteඅදයි කාලෙකින් බ්ලොග් කියවන්නේ..
ReplyDeleteඋඹේ writing නම් එල..
නියමයි!!!
ReplyDeleteමං හිතන්නේ ඕක පිරිමින්ට වැඩි වශයෙන් හා ගැහැණුන්ට මද වශයෙන් තියන ලෙඩක්..! ගෑණුන්ට මද වශයෙන් එන්නේ ස්භාවයෙන් එන ලෝබ ගතිය නිසා වෙන්න ඇති.. නමුත් කාටත් එකයි..
කොයි දේ ගෙනාවත් ගෙනාව අළුත දූවිලි පිහිදානවා.. වතුර බිදක් වැටෙන්න දෙන්නේ නෑ.. කොටින්ම වැඩ ඇරිලා ආව ගමන් අළුත් දේ බදාගෙන.. ටික දිනකින් ටිකක් එපාවෙනවා.. මතක නැතිවෙනවා.. තව අළුත් දෙයක් ගෙනාවම තිබ්බ මතක ටිකත් අමතක වෙලා යනවා.. ලෝක ස්භාවය ඔහොම වෙන්න ඇති..
කොහොම උනත් අපේ අනුෂ් කිව්වා වගේ මේක ලියලා තියන විදිය ඒ කියන්නේ පරිස්සමෙන් වචන තෝරගෙන රටාවට ලියලා තියන විදිය නම් නියමයි..!!!! :-)
මට නම් බොහෝ වෙලාවට වෙන්නේ මේක තමයි. මේ ඊයේ පෙරේදා මම ටෝයියෙක් ගත්තා උනත් මට දැන් ඒ ටෝයියා එපා වෙලා වගේ…
ReplyDeleteහතර දෙනාම සූරයෝ….
ReplyDelete